2015-11-01

සුමිත් චාමින්ද නම් අසහාය විප්ලවවාදියා විච්ඡේදනය කිරීම

සුමිත් චාමින්ද කියන්නේ කවුරුද කියා නො දන්නා අයට ඔහුගේ රූපයක් 
සමාජ දේශපාලන කතිකාවට විවිධ පුද්ගලයන් කරන මැදිහත් වීම් දෙස අපි හැමදාමත් බලන්නේ ඉතා ම සුබවාදීවයි.

විවිධ මට්ටම්වල අය විවිධාකාරයෙන් මේ කතිකාවට දායක වෙනවා. එතැනදී කාගේත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට කවුරුත් ගරු කළ යුතුයි. අදහසක් ප්‍රකාශ කළාම ඒ අදහස ගැන කතා කරනවා මිසක් ප්‍රකාශය කළ පුද්ගලයා ගැන කතා කිරීමේ තේරුමක් නැහැ.

ජැක්සන් ඇන්තනි චිත්‍රපටයක් නිර්මානය කළාම ඒ චිත්‍රපටය ගැන මිස ජැක්සන් ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. ජැක්සන් පසුගිය ආණ්ඩුවට කඩේ ගිය එකෙන් හෝ ප්‍රසන්න විතානගේ ජාතික දෙමළ අරගලයට පක්ෂවාදී වන එකෙන් හෝ ඔවුන්ගේ චිත්‍රපට මනින්න බැහැ.

ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරින් දේශපාලන කතිකාවට මැදිහත් වන, වාමාංශික හෝ විප්ලවවාදී හෝ දේශපාලනය කරන බව කියන ඇතැමුන් අතර මාර පණ්ඩිතමානීකමක් තිබෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් ගත් කල පර්යේෂණ පත්‍රිකා හෝ ග්‍රන්ථ පළ කරන්නේ නැහැ. ඒ වුණාට, පුවත්පත් ලිපි, බ්ලොග්, ෆේස්බුක් සටහන් ආදියෙන් ලොකු ප්‍රාඥබවක් බලාපොරොත්තු වෙනවා.

ඒ අතරේ මේ දේවල් ම කරන වෙනත් අය ගර්හාවට ලක් කිරීමෙනුත් කැපී පෙනෙන්නට උත්සාහ කරනවා.

විශ්ව විද්‍යාලයට එන නො මේරූ ළමයින්ගේ පැවරුම් බලලා හරි වැරදි දාන පුරුද්දට සංවාදවලට ඇවිත් වැරදි දානවා. හරි දේ මොකක් ද කියා මේ අය කියන්නේත් නැහැ.

ශාස්ත්‍රාලීය පරිසරයක් නො වන දේශපාලන සංවාද තලයේ ඔවුන් කැපී පෙනෙන්නට හදන්නේ ශාස්ත්‍රාලීය ශික්ෂණයේ ව්‍යාජයක් ප්‍රදර්ශනය කරමින්. තමන්ගේ ලිපි අග්ගිස්සට ආශ්‍රිත ලේඛන ලැයිස්තුවක් එකතු කරන එක ඒ අතරින් එක වැඩක්. වෙබ් අඩවියක, බ්ලොග් අඩවියක තබන සටහනකදී එහෙම නො කර අදාළ තැනට කෙළින් ම සම්බන්ධ කරන්නට පුළුවන් වුණත්, ඔවුන් සිය ලිපිය අග්ගිස්සට අර ලැයිස්තුව එකතු කරනවා. ඒ පණ්ඩිතමානීකම පෙන්වන්නටයි.

මෙවැනි ප්‍රයෝගවලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ අනෙක් අය බය කරලා ආධිපත්‍යය පතුරුවන්නයි. මේක හිනා යන වැඩක්. මම මෙවැනි එක් පඬියකු වන සුමිත් චාමින්දගේ මෙම ලිපියේ මා පිළිබඳ සඳහන් වන එක් කොටසක් විච්ඡේදනය කිරීමෙන් පමණක් මම මේ කාරණය පැහැදිලි කරන්නම්.

“අද ‘රාවය’ වාම බුද්ධිමය සංවාදය අත් හල සහ එජාප ව්‍යාපෘතියේ දෘෂ්ටිවාදී කර්තව්‍යන් ඉටු කරන පුවත්පතක තැනට වැටී ඇති සෙයකි. (‘රාවය’ අතීතයේදී පිරවූ විකල්ප කතිකාමය අවකාශය අත්පත් කර ගන්නා සැබෑ විකල්ප පුවත්පතක අවශ්‍යතාව අද බරපතල ලෙස දැනෙමින් තිබෙන අතර ‘ සත්හඬ’ තුළ නව සංවාද අවකාශයක් විවර කරගත හැකිඳැයි සොයා බැලීම වැදගත්ය.) ‘රාවය’ට ලියන අජිත් පැරකුම් ජයසිංහ නවලිබරල් වෙළඳපල මූලධර්මවාදය ආරක්ෂා කරන මාවතේ කොතෙක් දුර ගොස් තිබේද කියතොත් මෑතකදී පුබුදු ජයගොඩ සහෝදරයා සමග මූනත්තහඩු පොතේ (Facebook) කළ වාදයකදී “ධනවතුන් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලැබීමේ ඇති ප්‍රශ්ණය කුමක්දැයි” ඔහු විමසා ඇත. (අජිත් පැරකුම් ධනවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති සම්බන්ධය ගැනද නවලිබරල් ප්‍රතිසංස්කරණ ගැනද ලියා තිබූ දේ න්‍යායික සහ කරුණුමය වැරදි වලින් ගහණය. නමුත් ඉදිරියේදී වඩා දැන උගත් පිරිස් මේ සංවාදයට එක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය). නමුත්, ජනවාරි 08 න් පසුව නවලිබරල්වාදය එළිපිට ආරක්ෂා කළ හැකි තත්වයක් සහ ප්‍රවණතාවක් සිංහල කතා කරන සිවිල් සමාජය තුළින් මතු විය හැකිව තිබීමේ තත්වය අප සැලකිල්ලට ගත යුතුය. මගේ මතය නම් මෙම ‘විය හැකි භාවයට’ එක් හේතුවක් වන්නේ පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරය පසුබිම් කොට ගෙන දේශපාලන ප්‍රධාන ධාරාව තුළ ආර්ථික ගැටළු නිර්-දේශපාලනීකරණය වීමක් ප්‍රවණතාත්මකව සිදුවීමයි."

මෙතැනට මගේ නම පටලා ගැනීමේ අරමුණ මා දැන උගත් අයකු නො වන බව කීම පමණයි. එහි ඇත්තක් තිබේ. මම නම් කොහොමත් වැඩි දැන උගත් අයෙකු නො වේ. එහෙත්, තමන් දැන උගත් අය බව උජාරුවෙන් ප්‍රකාශ කරන මෙවැන්නන්ගේ බොරුව තේරුම් ගැනීමේ තරමට දැන උගත්කමක් නම් මට තිබේ. මෙහි මගේ අගතිගාමිත්වය සඳහා නිදසුනක් ලෙස ඔහු දක්වන මගේ අදහස් දැක්වීම මෙසේයි:

“උසස් අධ්‍යාපනය කියන්නේ ලෝකෙ කොයි රටකවත් අනිවාර්ය අධ්‍යාපනයක් නෙමෙයි. ධනේශ්වර සමාජයේ උසස් අධ්‍යාපනය කියන්නේ ආයෝජනයක්. සමාජ ආරක්ෂණයක් ඇති සමාජවල උසස් අධ්‍යාපනය ලබා ගන්නට අපහසු සිසුන්ට උපකාර කරන ශිෂ්‍යාධාර වැඩසටහන් තිබෙනවා. ලංකාවේ මහපොළත් ඒ වගේ එකක්. ශිෂ්‍යයන්ට සහන පොළියට ණය ලබා දීම වඩා සාධාරණ ක්‍රමයක්. එවිට ඔවුන්ට රැකියාවක් කරමින් ඒ ණය ගෙවන්නට පුළුවන්.

“ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය වනාහි ජනතාව ඉතා නින්දිත අන්දමින් සූරා කන වෘත්තික ජාවාරම්කරුවන් පිරිසක්. ඔවුන්ට තම ලාභය පවත්වාගෙන යන්නට වෛද්‍ය හිඟයක් තිබිය යුතුයි. ලංකාවේ වෛද්‍යවරුන් සුලබ වන ඕනෑම ආකාරයක ක්‍රියාමාර්ගයකට ඔවුන් විරුද්ධ ඒ නිසායි.


“අනෙක විෂමතා සහිත සමාජයක කාගේ හරි අතේ මුදල් තිබෙන එක අපරාධයක් නෙමෙයි. ලංකාවේ සිසුන් විශාල පිරිසක් පිටරටවලට ගොස් මුදල් ගෙවා විවිධ උපාධි ලබාගන්නවා. බොහෝ දෙනා ආපසු ලංකාවට ඇවිත් වැඩ කරනවා. ඒකෙ තිබෙන වැරැද්ද මොකක් ද? (“ධනවතුන් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලැබීමේ ඇති ප්‍රශ්ණය කුමක්දැයි” ඔහු විමසා ඇත යනුවෙන් සුමිත් චාමින්ද පවසන්නේ ඒ ගැන ය.)


“පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වීම සමාජවාදයේ සංකේතාත්මක පියවරක් කියා ඔබ සිතන බව පෙනෙනවා. 89 අරගලයට පෙර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයෙන් ජවිපෙට කැනන් ෆොඩර් වන්නට වෛද්‍ය සිසුන් පවා එකතු වුණා. එය නැවත සිදු වේවි යයි ඇතැම් විට ඔබ බලාපොරොත්තු වෙනවා ඇති.


“අධ්‍යාපන පෞද්ගලීකරණය මේ වන විට ආරම්භ වන්නේ පෙර පාසලෙන්. එකේ පංතියේ සිට ම ළමයින්, මව්පියන් පීඩනයට පත් කර තමන්ගේ පංතියට ළමයින් ගෙන්වා ගන්නා ගුරුවරු ඉන්නවා.

ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙලා ඉවරයි. දැන් අවශ්‍ය එය නියාමනය කිරීම මිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විතරක් වැසීම නෙමෙයි.

“ඔබ ඇක්වයිනාස් යුනිවසිටි කොලේජ් වසා දමන්නැයි ඉල්ලා නො සිටින්නේ පල්ලියට බය නිසා ද?"


“නියාමනය කියන්නෙ,ඉහළ මධ්‍යම පන්තියට සහ ධනපති පංතියට විතරක් අධ්‍යාපනය වෙන් කරල සාතිෂය බහුතරය එයින් පිටමං කිරීමද?බලන්න ඔබ රෙදි ඇඳගෙනද කඩේ යන්නෙ කියල," යි රොෂාන් ලියනගේ ඇසූ ප්‍රශ්නයට මම මෙසේ පිළිතුරු දුන්නෙමි.

“බොරු කතාවක්නේ. ලංකාවෙ කොහෙද එහෙම පිටමං කිරීමක්. ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගන්නේ ඉසෙඩ් ස්කෝර් එක මත මිස පංති පදනමක් මත නෙමෙයි. විශ්වවිද්‍යාලවලින් බැහැර කරනු ලබන බහුතරයෙන් විවිධ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි, ඩිප්ලෝමා ලබා ගන්නා වැඩි දෙනෙක් සාමාන්‍ය පංතිවල ළමයි. රජයේ විශ්වවිද්‍යාලවලින් මුදල් ගෙවා බාහිර පාඨමාලා කරන අයත් සාමාන්‍ය පංතියේ අය. කාටහරි ටිකක් වැඩිපුර සල්ලි තියෙන එක ඒ අයගෙ වරදක් නෙමෙයි. ඒ අය වැඩිපුර මුදල් ගෙවලා ඉගෙන ගත් පළියට දුප්පතුන්ට හානියක් වෙන්නෙ නැහැ."

සුමිත් චාමින්දගේ ලිපියේ අග තිබෙන මහේශාක්‍ය ආශ්‍රිත ලේඛන ලැයිස්තුවෙන් මේ කාරණාව සොයා ගන්නට බැහැ.

අජිත් පැරකුම් ධනවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති සම්බන්ධය ගැනද නවලිබරල් ප්‍රතිසංස්කරණ ගැනද ලියා තිබූ දේ න්‍යායික සහ කරුණුමය වැරදි වලින් ගහණය යි ඔහු දෙන නිගමනයට අදාළ වන කිසිවක් ද ඒ ලැයිස්තුවේ නැහැ. ඔය කියන දේ කුමක් ද යන්න ගැන මට අවබෝධයක් නැති නිසා මට එය සොයා උපුටා දක්වන්නට හැකියාවකුත් නැත.

ඉහත දක්වන ලද ඊනියා සංවාදයට (පුබුදු ජයගොඩ සහෝදරයා සමග මූනත්තහඩු පොතේ (Facebook) කළ වාදයකදී) මැදිහත් වන සුමිත් චාමින්ද ලියන්නේ මෙසේ ය:

ලංකාවේ නවලිබරල්කරණය වෙනුවෙන් පෙනී සිටින සිංහල ලේඛකයින් ජාතිකවාදීන්ට වඩා ලිං මැඩි චින්තනයක් සහිත වුන් බව පෙනේ. උසස් අධ්‍යාපනයේ හුවමාරු භාණ්ඩකරණයට එරෙහි අරගලය ගෝලීය අරගලයක් බව මේ ලිං මැඩියන් නොදනී. හැදෑරීමෙන් තොරව සිතට එන ඕනෑම පල් හෑල්ලක් ලිවීමට තමන්ට අවසර පත්‍රයක් ලැබී ඇතැයි කල්පනා කරන "නිදහස් වෙළඳපල මුලධර්මවාදීන්" දැන් සිංහල සමාජය තුලිනුත් බිහි වෙමින් සිටින සෙයකි. නිදහස් වෙළඳපල මුලධර්මවාදය වනාහී අද පවතින වඩාත්ම ගතානුගතිකවාදී හණ මිටි අදහසකි. නවලිබරල්කරණයේ ම්ලේච්ජත්වය ඉදිරියේ උසස් අධ්‍යාපනය රැක ගැනීමේ ගෝලීය අරගලය ගැන පහත ලිපිය කියවන්න.., http://discoversociety.org/.../defending-higher.../"

ගෝලීය වූ පලියට හැම අරගලයක් ම නිවැරදි වන්නේ නැත. නිදසුනක් ලෙස මේ වන විට මුස්ලිමුන්ට එරෙහිවත් ගෝලීය අරගලයක් තිබේ. ඔහු මේ පඬිවදන ලියූ ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධී ව්‍යාපාරය සමග එකතු නො වන්නන් ළිංමැඩියන් බව සොයා ගැනීම සඳහා සුමිත් චාමින්ද කළ පර්යේෂණයේ වාර්තාව දක්වන්නැයි මා ඉල්ලා සිටි කල ඔහු කළේ මගේ එම අදහස් දැක්වීම මකා දැමීමයි.

වාමාංශිකයන් ලෙස තමන් හඳුන්වා ගන්නා සුමිත් චාමින්ද වැනි පඬියන්ගේ සංවාද යයි කියන මේ වාගාලාපවලින් ජනතාව ඇමතීමේ උවමනාවක් ඔවුන්ට ඇත්තෙන් ම නැත. එහෙම උවමනාවක් තිබෙන කිසිවෙක් තමන්ගේ මත ප්‍රශ්න කරන අය දැන උගත්කමක් නැති අය කියා බැහැර කරන්නේ නැත. පිළිතුරු නො දී මගහරින්නේ ද නැත. දැන උගත් අය එසේ නැති අයට උගන්වති. මොවුන් කරන්නේ එය නො ව තමන්ට නැති අනන්‍යතාවක් හදා ගන්නට උත්සාහ කිරීමයි. 

ශාස්ත්‍රාලීය දක්ෂමක් නැතිකම වෙන ම දෙයකි. එහෙත් අඩු තරමේ ශාස්ත්‍රාලීය ශික්ෂණයක් හෝ ඇති කර ගන්නට මේ පඬියන් උත්සාහ කළ යුතු ය. සුමිත් චාමින්දගේ නම මෙහි සඳහන් කළේ උදාහරණයක් ලෙස පමණි.

අවසාන වශයෙන් මෙය ද කිව යුතු ය. වාමාංශික අදහස් කියන්නේ ද සියවස් ගණනක් පැරණි, ඇටුවම් බැස ගත්, යල් පැන ගිය අදහස් පද්ධතියක් මිස, විකල්ප හෝ නවීන අදහස් නො වේ. ඒ නිසා ඒවා ප්‍රශ්න කළ යුතු ය. ඒ ප්‍රශ්න කිරිම හා ඒ සමග සාධනීය ලෙස සම්මුඛ වන එක දේශපාලනික ය. එහෙත්, බොහෝ වාමාංශිකයන් එය කරන්නේ ආගමික ස්වරූපයකිනි. නිදසුනක් ලෙස ඔවුන් ‘නිදහස් අධ්‍යාපනය' ලෙස හඳුන්වන රාජ්‍ය දෘෂ්ටිවාදය මත පිහිටි ඒකරූපී අධ්‍යාපනය ඔවුන්ට සමාජවාදී දෙයකි. රජය විසින් අධ්‍යාපනය ලබා දිය යුතු යයි මාක්ස් හෝ එංගල්ස් හෝ ලෙනින් හෝ වෙනත් කවුරුවත් කියා නැත. 

මේ ආගමික ස්වරූපී ගතානුගතික වාම අදහස් ප්‍රශ්න කළ යුතු ය. එසේ ප්‍රශ්න කරන විට එයට එරෙහිව මතු වන මෙවැනි බුද්ධිමය හා වෙනත් ස්වරූපී ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දෙන්නට ද සිදු වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

8 comments:

  1. Pudgalikawa dekapu deyak oya samahara maha vidwaththu prayogikawa harima patuyi.. pothwala chandi.. me pudgalayawa nam danne ne..

    ReplyDelete
  2. පැරා,

    පහත දැක්වෙන්නේ රසික ගේ අඩවිය තුල මා තැබූ කොමෙන්ටුවකට ඇනෝ වරයකු තැබූ කොමෙන්ටුවක කොටසක්.

    //සිoගප්පූරුවේ නීතිය කාටත් ඵකය.හොරකම් බෑරිය.සමාජ සුබසාදනය ඉතා ඉහලය.
    ඵ් නිස අමුතුවෙන් උද්ගෝශන කරන්න ඔන නෑත.
    සමාජ සාදාරණය සහ සුබසාදනය නොතිබුනා නම් මොන නීති තිබ්බත් ජනතාව නිකන් ඉන්නේ නෑත ගඩාපිට මුබාරක්ට බෙන් අලීට කල දේ කරන්වා ඈත.
    සිoගප්පූරුවේ උද්ගෝශන නෑත්තේ නීතියට බයේ නොවේ.උද්ගෝශන කරන්නට හේතු නෑති නිසාය

    //

    වාමාංශික අදහස් ඇති ලංකාවේ බොහෝ උදවිය සිතනේ රටක කලබල නැත්තේ රටේ සුබසාදනය ඉහලින් පවතින නිසා බවයි, අප රටේ වාමන්ශිකයන්, වුර්තිය සමිති වැඩවර්ජන පැවැත්වූ 1960 ට යුගයේ සිංගප්පුරුව අපුරු ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කළා එනම් ඔවුන් විදේශිය ආයෝජකයන්ට බදු නිදහස් කලාප ඇතිකර විදේශ වියාපාර ඇතිකිරීමට සියලු පහසුකම් ඇති කරනලද අතර අදාළ ආයතනයේ හිමිකරුට තම ආයතනයේ සේවකයකු නිසි ලෙස පවරන වැඩ මගහරිනම් ඔවුන් පහසුවෙන් රැකියාවෙන් ඉවත් කිරීමට සියලු පහසුකම් ලබාදුන්නා, වාමන්ශිකයන්ට අනුව කම්කරුවන් සුරාකෑමට ඉඩ ලබාදුන්නා.

    සිදුඋනේ කුමක්ද ? වැඩි වැඩියෙන් විදේශ ආයතන සිංගප්පුරුවට පැමිණීමයි මෙනිසා සිංගප්පුරුවේ රැකියා අවස්ථා ලගපාත මැලේසියාව වැනි රටවලට පමණක් නෙමෙයි ලංකාව ඉන්දියාව වැනි රටවල් වලටත් ලබාගත හැකි උනා.

    සිංගප්පුරුව ලොව සිටින දක්ෂම පුහුණු ශ්‍රමිකයන් තමරටට ගෙන්වා ගැනීමටත් පසුව පුරවැසිකම ලබාදීමටත් කල හැකි සියලුදේය සිදු කලා.

    දැන් අපි එහි පිඩිත ලෙස ජිවත් වූ ජනයට උනේ කුමක්දැයි බලමු. බොහෝදෙනාට රැකියා සුලබවිම නිසා තම හැකියා දියුණු කරගෙන තමාට ලැබෙන පඩියට වඩා වැඩි පඩියට රැකියා ලබාගැනීම නිසා බොහෝදෙනාට රක්ෂණ සහතියයක් ලබාගත හැකි උනා.

    මෙනිසා ඔවුන්ට රජයේ සුබසාදනය මත යැපීමට උවමනා උනේ නෑ.

    මෙයයි විවුර්ත වෙළදාමේ සග ඔබකියන ධනපති ක්‍රමයේ ඇති වටිනාකම.
    විවුර්ත වෙළදාමේ වාසි අපරටට තරම් ලබාගතහැකි වෙනරටක් ලෝකයේම නැතුව ඇති, අප රටේ පිහිටීම මිට හේතුවයි.

    මෙහි මතක තබාගත යුත්තේ අපරට සුබසාදන ආර්ථිකයක් ඇති රටක් නොකර දිවුණු වෙන ලෝකයට තරග කළහැකි නිමවුම් නිපදවන සහ වෙලදාම් කරන රටක් වීමයි

    ReplyDelete
  3. ෆොටෝ දැම්මත් අපි නම් අඳුනන්නේ නෑ. ලිංක් එකක් දැම්මා නම් තමයි වටින්නේ!

    ReplyDelete
  4. (දුමින්ද රත්නායක ෆේස්බුක්හි තැබූ සටහනක්)

    ලිපිය එක්ක බොහෝ දුරට එකඟයි.

    එක පොඩි දෙයක්. කොමියුනිස්ට් ප්‍රකාශනේ මෙහෙම සටන් පාඨ 10ක් තියෙනවා:

    //රජය විසින් අධ්‍යාපනය ලබා දිය යුතු යයි මාක්ස් හෝ එංගල්ස් හෝ ලෙනින් හෝ වෙනත් කවුරුවත් කියා නැත.//

    //Nevertheless, in most advanced countries, the following will be pretty generally applicable.

    1. Abolition of private property and the application of all rents of land to public purposes.

    2. A heavy progressive or graduated income tax.

    3. Abolition of all rights of inheritance.

    4. Confiscation of the property of all emigrants and rebels.

    5. Centralisation of credit in the hands of the state, by means of a national bank with State capital and an exclusive monopoly.

    6. Centralisation of the means of communications and transportation in the hands of the State.

    7. Extension of factories and instruments of production owned by the state, the bringing into cultivation of waste lands, and the improvement of the soil generally in accordance with a common plan.

    8. Equal liability of all to labor. Establishment of industrial armies, especially for agriculture.

    9. Combination of agriculture with manufacturing industries, gradual abolition of the distinction between town and country, by a more equitable distribution of population over the country.

    10. Free education for all children in public schools. Abolition of children's factory labor in its present form. Combination of education with industrial production.//

    දහවෙනි පොයින්ට් එක.

    අනෙක් අතට, මේ කාලේ තුන්වෙනි ලෝකයේ රටවල් වල තියෙන සමාජ ආරක්ෂණ ක්‍රම (නිදහස් අධ්‍යාපනය/සෞඛ්‍යය/ප්‍රවාහනය) සූරා කෑම සිද්ධ වෙනවා.

    උදාහරණ දෙකක්.

    1. විදේශ ආයෝජකයන් ලාභ ශ්‍රමය සූරා කනවිට එයට අවශ්‍ය භෞතික වටපිටාව (ලාභ/නොමිලේ සෞඛ්‍ය සේවා, ප්‍රවාහනය, අධ්‍යාපනය යම් තරමකට) ඒ තුන්වෙනි ලෝකේ රටේ රාජ්‍යය විසින් හදල දෙනවා. ශ්‍රමය එච්චර ලාභ වෙන්නේ එහෙමයි. මෙහෙම නැතුව මේ සියලු සමාජ සේවා මුදල් වලට ගන්න වුනොත් ජීවත්වීමේ මිල අධික වීම නිසා වැටුප් ඉහල නග්ගන්න වෙනවා. ලංකාව වෙනුවට බන්ග්ලාදේශයට ගාමන්ට් ෆැක්ටරි යනවා. රටවල් මට්ටමෙන් සූරාකෑම.

    2. නිදහස් අධ්‍යාපනයේ පල ලබාගන්න "ඉහලම" අය විදේශ වල වැඩ කරනවා. එහෙම නැත්තන් ස්ථිරව සංක්‍රමණය වෙනවා. මේ මිනිසුන් ගොඩනැගීමේ පිරිවැය දරන්නේ දුප්පත් රට.

    නිදහස්(නොමිලේ) අධ්‍යාපනය තියෙන්න ඕනෙද නැද්ද කියන්න මට නොතේරේ.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. //අජිත් පැරකුම් ධනවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති සම්බන්ධය ගැනද නවලිබරල් ප්‍රතිසංස්කරණ ගැනද ලියා තිබූ දේ න්‍යායික සහ කරුණුමය වැරදි වලින් ගහණය//

    සුමිත් චාමින්ද ගේ මේ ප්‍රකාශයට අනුව ධනවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති සම්බන්ධය සහ නවලිබරල් ප්‍රතිසංස්කරණ පිළිබඳව නිවැරදි න්‍යායක් තියෙනවා. ඒකට අනුව අපිට ලෝකය බෙදන්න පුළුවන් මේ ‘නිවැරදි න්‍යාය’ දන්න (සුමිත් චාමින්ද වගේ) සුවිශේෂ පිරිස සහ ඒක නොදන්න (පැරා,අපි) වගේ සාමාන්‍ය මෝඩ මිනිස්සු කියලා. අනේ මේ ‘නිවැරදි න්‍යාය’ තියෙන පොත මොකද්ද? ඒක ලිව්වේ කවුද? ඒ ‘නිවැරදි න්‍යායට’ ලෝකයේ වාමාංශික බුද්ධිමතුන් සියල්ල එකඟද?

    මේවා මේ x කණ්ඩායමට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට කවදාවත් ගැලවෙන්න බැරි ප්‍රශ්න. ඒගොල්ලෝ මේ ට්‍රයි කරන්නේ තමන් ‘න්‍යාය’ කියලා මහා පුදුමාකාර පරම සත්‍යයක් දන්නවා, එක දන්නේ නැති අනිත් මිනිස්සු අපිට වඩා (බුද්ධිමය අතින්) පහත් කියලා පෙන්නන්න. මේගොල්ලෝ අඩුම තරමේ පිටරටක විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තනම් තේරෙනවා එහෙම ‘න්‍යායක්’ නැහැ තියෙන්නේ විවිධ ‘න්‍යායන්’ විතරයි කියලා.

    පැරා අහන ප්‍රශ්නේ හරි - මේගොල්ලන් ලියපු ‘න්‍යායික පත්‍රිකා’ හරි ‘න්‍යායික ග්‍රන්ථ’ පෙන්නන්න කියන්න? මේගොල්ලන්ට ෂුවර් එකටම දෙන්න ඇහැකි පේටන්ට් එකක්නම් තියනවා. ඒ තමයි ‘පත්තර ලිපි සහ ෆේස්බුක් සටහන් වලින් පමණක් න්‍යායවේදීන් වීම’

    ReplyDelete
    Replies
    1. danne nathuwa katha karanna epa kiyawanna/ histiriyawa potha,vinodhaya potha, pruthuvikaranaya ha hejamoniya potha asid wessa potha paschath nuthanathwaya potha oya me ekakwath kiyawanne nathuwa mukuthne kiyala eka hariyata buddagama gena danne nethuwa eka adahanawa wage

      Delete
    2. මේ පිළිතුර චාමික පතිරණ කියන දෙය තේරුම් ගන්නට බැරිකමේ ප්‍රකාශනයක්. මේ කියන පොත් කියවලා තිබෙන්නේ සුමිත් චාමින්ද පමණක් ය, වෙනත් අය ඒවා කියවා නැත කියන අදහස වගේ ම දැනුම තිබෙන්නේ ඔබගේ මේ නිර්දිෂ්ඨ ග්‍රන්ථවල පමණක් ය කියන එකත් ඉතා බොළඳ අදහස්. ඔය කියන පොත් නරක බවක් අදහස් නො කරමු. එහෙත් ඒවා ද එතරම් ශාස්ත්‍රීය පොත් ලෙස සැලකිය නො හැකි ය. ඒවා වනාහි සුමිත් චාමින්ද පන්නයේ ම දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයක් බලාපොරොත්තු වන ශාස්ත්‍රීය විනයේ මුල් පොත කියවා නැති, නිදහස් හා නිර්මානාත්මක අදහස් වෙනුවට අනුන්ගේ අදහස් තමන්ට තේරෙන පරිදි සිංහලෙන් ලියන පඬිවරුන්ගේ ඒවා ය. ඒ අදහස් ඉදිරිපත් කළ මුල් ලේඛකයන්ගේ පොත් ඔවුන් ලියූ භාෂාවෙන් සොයාගෙන කියවන්න.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.