2015-11-06

ලංකාවේ දේශපාලනය සුපුරුදු මුග්ධත්වයේ ගිලී යයි ද?

අද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට විරෝධතා පාගමනින් එද්දී තවත් සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත ගියේය. ඒ අද දින ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබුණු බැවිනි. පොලීසියට එම උද්ඝෝෂණ ව්‍යාපාරයට අදාළව රාජකාරි කටයුතු ඇති බව කොමිසමට දන්වා අවසර ගෙන පිටත්ව ඒම නිසා ප්‍රකාශ සටහන් කර ගැනීම 8 වන දින දක්වා කල් තැබිණි.කොමිසම අසළට පැමිණි සිසුන් සමග මේ සුහද කතා බහක නිරතවන්නේ නව සිහළ උරුමයේ නායක(පක්ෂයේ සිටින්නේ ඔහුම පමණකි) සරත් මනමේන්ද්‍ර ය. ඇතැම්විට 'අතරමගදී අහම්බයෙන්' හමුවුණු සිසුන්ගෙන් ඔහු සුවදුක් විමසනවා විය හැකිය. -ප්‍රියාන් විජේබංඩාරගේ සටහනකිනි
ලංකාවේ දේශපාලන සමාජය ජාති, ආගම්, මතවාද හා පක්ෂ වශයෙන් බෙදී විසිරී සිටින්නේ කෙටි කලක සිට නො වේ. මෙම බෙදීම් ඉතා ගැඹුරු වන අතර ඒවා පිරිද්දීම අතිශය සංකීර්ණ කාර්යයකි.

බිඳී, විසිරී ගිය ජාතියකට නායකත්වය දීමට තරම් පුළුල් දැක්මක් හා හැකියාවක් ඇති නායකත්වයක් රටට නැත. එවැනි විභවයක් තිබෙන නායකයෙක් කිසිදු දේශපාලන පක්ෂයක ඉදිරි මට්ටමක දකින්නට ද නැත.

එසේම, රටේ පවතින දේශපාලන පක්ෂ හා ව්‍යාපාර සියල්ල ද ප්‍රජාතන්ත්‍රවාදී නො වන, නිරවුල් දැක්මක් හා වැඩපිළිවෙලක් නැති ඒවා ය. රාජ්‍ය නො වන සංවිධාන වැනි සිවිල් සමාජ සංවිධාන පැත්තෙන් ගත් කල ද තත්වය එයයි. දේශපාලන පක්ෂ හා සංවිධානවල නායකත්වය අල්ලාගෙන සිටින පුද්ගලයෝ ප්‍රජාතන්ත්‍රවාදයට බියක් දක්වන අතර, සිය බලය රැක ගැනීම වෙනුවෙන් කුමන්ත්‍රණය කරමින් තනතුරුවල එල්ලී සිටිති. පක්ෂ, සංවිධාන ආදියෙහි නායකයෝ අඩ සියවසකටත් වැඩි කාලයක් එම තනතුරු දරන අවස්ථා තිබේ. දෙවෙනි පෙළ නායකයින් නිර්මානය වන්නට ඉඩ නො දී එසේ නායකත්වයේ එල්ලී සිටින්නෝ පසුව ආඩම්බර කතා ද කියති.

ශ්‍රී ලංකාවේ දේශපාලන හා සිවිල් සමාජ ව්‍යාපාරවලට වඩා ජනතාව ඉදිරියෙන් සිටිති. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා බෑඟිරි ගාන දේශපාලන හා සිවිල් සමාජ සංවිධානවලට වඩා බිම් මට්ටමේ මරණාධාර, සුබසාධන වැනි සංවිධානවල පවා ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් තිබේ.

ලංකාවේ දේශපාලන නායකයන්ට වඩා ජනතාවගෙන් කොටසක් හෝ ඉදිරියෙන් සිටින බව කිව යුතු ය. එවැනි ජනතාවන්ට කිරීමට සිදු වී තිබෙන්නේ වඩා යහපත් ප්‍රතිඵල වෙනුවෙන් තත්වයන් කළමනාකරණය කරන්නට උත්සාහ කරන එක ය. නායකයින් නැතිනම්, සිටින නායකයින් හෝ කළමනාකරණය කර ගත යුතු ය. සංවිධාන නැතිනම් තිබෙන සංවිධාන හෝ කළමනාකරණය කර ගත යුතු ය.

මේ මොහොත වන විට ශ්‍රී ලංකාව පසුගිය වසර 10ක කාලය තුළ ආර්ථිකයට කරන ලද හානිවලට වන්දි ගෙවමින් සිටියි. නාස්තිකාරී ව්‍යපෘති වෙනුවෙන් ලබා ගත් විදේශීය ණය වෙනුවෙන් වාරික හා පොළිය ගෙවීමේ බරින් ආර්ථිකය හෙම්බත් වී තිබේ. ඒ බරට උර දෙන ප්‍රධාන ම පිරිස වන්නේ විදේශ ශ්‍රමිකයෝ ය. විදේශ ආදායම් නැංවීම පැත්තෙන් ඉතා ම වැදගත් වන ඍජු විදේශ ආයෝජන සිදු වන බවක් පෙනෙන්නට ඇත්තේ ම නැත. සංචාරක කර්මාන්තයෙහි ද කැපී පෙනෙන වර්ධනයක් නැත. මේ අතර සම්ප්‍රදායික අපනයන කර්මාන්ත වන තේ, රබර් ක්ෂේත්‍රවල ඇත්තේ දරුණු කඩාවැටීමකි. එය වතු කම්කරුවන් අතර හා ග්‍රාමීය සමාජය තුළ දරුණු කම්පනයක් ඇති කර තිබේ. මේ අතර, ආනයන පාලනයක් ද නැත. රටට දරා ගත නො හැකි තරමට වාහන වැනි දේ ආනයනය කෙරේ. ඒ වෙනුවෙන් දේශපාලකයන්ට හා ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන්ට බදු සහන ද ලබා දේ.

රාජ්‍ය ආදායම් පැත්තෙන් ගත් කල ද ඇත්තේ දරුණු අර්බුදයකි. රේගු නිලධාරීන් රාජ්‍ය ආදායම් අහිමි කරමින් අල්ලස් ගන්නා ආකාරය දැන් රටට ම හෙළිදරව් වී තිබේ. දේශපාලකයෝත්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහුත් තමන්ට අවුරුදු පහෙන් පහට දෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය විකුණමින් එළිපිට ම මහජන මුදල් ගසා කති. රජයේ බදු ආදායම් බිඳ වැටී ඇත. ව්‍යාපාරිකයෝ රජයේ නිලධාරීන් හා දේශපාලනඥයන් සමග එක්ව ආදායම් බදු වංචා කරති. රජය ප්‍රධාන වශයෙන් ම ආදායම් ලබන්නේ සමාජයේ දිළිඳු කොටස් මත පනවනු ලබන බදුවලිනි.

බදු ගෙවන ජනතාවට ලැබෙන මහජන සේවාවන්ගේ තත්වය අතිශය පහත් ය. දරුවන්ට පහසුකම් සහිත පාසල් නැත. රෝහල් සේවා දුර්වල ය. පොදු ප්‍රවාහන සේවාවන් සෙනගින් පිරී ඉතිරී යයි. මාර්ග තදබදය හේතුවෙන් ශ්‍රම කාලයත්, ඉන්ධනත් නාස්ති වෙයි.

මෙවැනි තවත් බොහෝ දේ ලිවිය හැකි ය. එහෙත්, දේශපාලන සමාජයක් ලෙස අප විසින් සලකා බැලිය යුතුව තිබෙන්නේ කළ යුත්තේ කුමක් ද යන්නයි. පසුගිය දිනවල ජනාධිපතිවරණයක් ද, මහ මැතිවරණයක් ද පැවැත්විණි. නැවත ජාතික මට්ටමේ ප්‍රධාන මැතිවරණ පැවැත්විය යුත්තේ තවත් වසර පහකිනි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක යම් ආකාරයකට සන්ධානගත වී ශක්තිමත් ආණ්ඩුවක් ද පිහිටුවාගෙන තිබේ. වැළඳ ගන්නා ගමන් පිටුපසින් පිහියෙන් අනිනු ඇතැයි ප්‍රධාන පක්ෂ දෙකට ම සැක සංකා තිබේ. ලාංකීය දේශපාලන සංස්කෘතියේ ස්වභාවය අනුව ඒ ගැන පුදුම විය යුතු නැත. එහෙත්, දේශපාලකයන් ඒ ගැන සිත සිතා තැවෙනවා වෙනුවට කරන්නට ඕනෑ තරම් දේ රටේ තිබේ. අපට ඇති ප්‍රශ්නය වන්නේ ඔවුන් ඒවා කරනවා ද යන්නයි.

සුපුරුදු ලෙස ම ඔවුන්ට ප්‍රමුඛ වී තිබෙන්නේ වැඩ කිරීම නො ව, තමන්ට ලැබුණු ආමාත්‍යාංශය සතු බලය, යන එන යාන වාහනවල තත්වය, ගිනි අවි හා පුහුණුව වැනි කාරණායි. කිසිදු ඇමතිවරයෙක් වැදගත්, කැපී පෙනෙන වැඩකට අත ගසා ඇති බවක් නො පෙනේ.

එහෙත්, නීතියේ පාලනය, යහපාලනය පැත්තෙන් යම් සුබවාදී කාරණා කාටත් දැකිය හැකි ය. ඒ ගැන සලකා බැලිය යුතු වන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ අවසන් සමය වන විට තිබුණු තත්වයට සාපේක්ෂව මිස නිරපේක්ෂව හෝ ප්‍ර‍කාශිත පරමාදර්ශයන්ට සාපේක්ෂව නො වේ. 

මෙම කරුණ සම්බන්ධයෙන් ආසන්න සිද්ධියක් උදාහරණයක් ලෙස සලකා බැලිය හැකි ය. පසුගිය ඔක්තෝබර් 29දා පොලිසිය විසින් උද්ඝෝෂණයේ යෙදුණු සිසුන්ට අමානුෂික අන්දමින් පහර දීම එම සිද්ධියයි. එම පහර දීම රජය විසින් සැලසුම් සහගතව කරන ලද්දක්දැයි කියන්නට සාක්ෂි නැත. රජය එම සිද්ධියේදී පොලිසිය ආරක්ෂා කරන්නට කටයුතු කළේ නැත. එම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට ස්වාධීන පරීක්ෂණ ගණනාවක් ම පැවැත්වේ. 

රජයේ ආර්ථික ප්‍ර‍තිපත්තිය ඉදිරි දින කීපය තුළදී එළිදැක්වෙනු ඇත. ජනප්‍රිය ආර්ථික ප්‍ර‍තිපත්ති සම්පාදනය කිරීමේ හැකියාවක් රජයට නැති බව ඉතා පැහැදිලි ය. මන්ද, ලංකාව තිබෙන්නේ කර වටක් ගිලුණු ආර්ථික මඩ වලකයි. 

ආණ්ඩුවෙන් බලාපොරොත්තු විය හැක්කේ දේශීය හා විදේශීය ආයෝජන ආකර්ශනය කිරීම අරමුණු කර ගත්, සුළු හා මධ්‍ය පරිමාන ආයෝජන, සංචාරක කර්මාන්තය, අපනයන කෘෂිකර්මාන්තය වැනි අංශ දිරි ගන්වන ආර්ථික ප්‍රතිසංස්කරණ සමූහයකි. එසේම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වනු ඇත. සේවක වැටුප් ඉහළ නැංවීමේ බලාපොරොත්තු ඉටු වනු ඇතැයි සිතිය නො හැකි ය. 

එහෙත්, දේශපාලකයන්ගේ හා රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් කැප කිරීම් සිදු නො කර, ජනතාවට පටි තද කර ගන්නට කියන්නට ඔවුන්ට අයිතියක් තිබේ ද? දේශපාලකයන් හා රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මහජන මුදලින් භුක්ති විඳින අයුක්ති සහගත වරප්‍ර‍සාද නැති කර දැමිය යුතු බවට ජනතාව උද්ඝෝෂණ කළ යුතු ය. නින්දිත අන්දමින් හොරෙන් විකුණා ගන්නා තීරු බදු රහිත වාහන බලපත්‍ර‍ එවැනි එකකි. දැන් මෙම හොර ජාවාරමට ජ්‍යේෂ්ඨ හා මධ්‍යම මට්ටමේ රජයේ නිලධාරීහු විශාල පිරිසක් ද පැටලී සිටිති. 

විවිධ ආකාරයෙන් මහජන මුදල් ගසා කන දේශපාලකයන්ගෙන්, රජයේ නිලධාරීන්ගෙන්, කොන්ත්‍රාත්කරුවන්ගෙන් ආදීන්ගෙන් සමන්විත මධ්‍යම පංතික පැළැන්තිය රටට අවශ්‍ය ආර්ථික ප්‍ර‍තිසංස්කරණ ඉදිරියේ සටනට එළඹෙනු ඇත. 

මෙම පැළැන්තියේ පහළ තලය තුළ බලය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් අතර ඇවිළී තිබෙන සටන මෙහිදී ඉතා වැදගත් සංසිද්ධියකි. මධ්‍යම පංතියේ පහළ කොටස් සටන්කාමී ලෙස බලමුළුගැන්වීම සිදු වන්නේ මෙතැනින් ය. එය මේ වන විටත් ශිෂ්‍ය සටන් හරහා ආරම්භ වී තිබේ. මහින්ද රාජපක්ෂ බලවේගය මෙම සටන් පිටුපසින් කැරකෙන බවට අනුමාන කළ හැකි සාක්ෂි තිබේ. පසුගිය දිනෙක නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර‍ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් අතර කතාබහක ඡායාරූපයක් සමාජ ජාලවල සංසරණය විය. එය අහඹු හමුවීමක් නො වන්නටත් බොහෝ දුරට ඉඩ තිබේ.

ලංකාවේ සමස්ත දේශපාලනය ම රටේ දැන් පවතින තත්වයට වඩා විවිධ කල්ලි, කණ්ඩායම්, පක්ෂ ආදියෙහි බලය පිළිබඳ අවධානයෙන් කටයුතු කරයි. කිසිවෙක් පවත්නා තත්වයෙහි ලොකු පිංතූරය ග්‍ර‍හනය කර ගන්නට උත්සාහ කරන බවක් නො පෙනේ. එවැනි සංදර්භයක් තුළ පුරවැසි වගකීම වඩාත් වැදගත් වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

7 comments:

  1. මාරපන ගේ ඇවන්ට්ගාඩි ප්‍රකාශය නිසා ඔහු ඇමැති තනතුරින් ඉවත්කළ යුතු බවට සොෂල් මීඩියා කැම්පේන් එකක් යනවනේ, ජාතික ලැයිස්තුවට කෙනෙකු නම් කරන්නේ ඒයාගේ විශේෂඥ දැණුම නිසානේ (එහෙම නේ වෙන්ට ඕන), එනිසා අදාල කෙනා ඇමතිතනතුරට නුසුදුසු නම් පාර්ලිමේන්තුවෙනුත් ඉවත්කර සුදුසු වෙන කෙනෙක් ඇතුලට ගන්නෝන නේද?

    මේ ලිව්වේ පෝස්ට් එකට අදාල නැති දෙයක් නොවන නිසා කොමෙන්ටුවක් නෙවෙයි, තාම මාර පන ගැන පෝස්ට් ඇවිල්ලා නෑ, ගොඩක් වෙලාවට ඒ ගැන පළමුව ලියන්නේ පැරා වෙන්න පුළුවන් නිසායි මේක මෙතන ලිව්වේ. ඇණය ඇනයක් වෙන්නේ වැරදි තැනක තියනවනම්නේ.

    ReplyDelete
  2. “රටේ පවතින දේශපාලන පක්ෂ හා ව්‍යාපාර සියල්ල ද ප්‍රජාතන්ත්‍රවාදී නො වන, නිරවුල් දැක්මක් හා වැඩපිළිවෙලක් නැති ඒවාය.“ එබැවින් නිරවුල් දැක්මක් හා වැඩපිළිවෙලක් සහිතව අජිත් පැරකුම් විසින් පක්ෂයතුල අභන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති නව දේශපාලන පක්ෂයක් සකස්කල යුතුව ඇත. ඒ සදහා පස්වන ජේදයේ සදහන් කරන “ලංකාවේ දේශපාලන නායකයන්ට වඩා ඉදිරියෙන් සිටින ජනතාව “ සම්බන්ධකර ගත හැකිය.

    ReplyDelete
  3. පවතින යහපාලන ආණ්ඩුව බිහිකිරීම සදහා දායකත්වය ලබාදෙන ලද සමාජ ක්‍රියාදරයන් හා බුද්ධිමතුන් ආණ්ඩුවේ දුර්වලතාවයන් පවසමින් එහෙත් මෙය මහින්දගේ ආණ්ඩුවට වඩා වෙනස් බැවින් එය ආරක්ෂාකල යුතුයැයි පවසමින් සිටියි. එමෙන්ම මෙම ආණ්ඩුව කළමනාකරණය කර ගැනිමෙන් යහපත් සමාජයක් සකස්කල හැකියැයි එම පිරිසෙන් බහුතරයක් ඇත්තටම විශ්වාස කරන අතර සමහරුන් එය ප්‍රචලිත කිරිම මගින් පෞද්ගලිකව ලාභ ලබමින් සිටියි. එමෙන්ම ඔවුන් විශ්වාස කරමින් සිටින්නේ තමන්ගේ යොජනා හා ඉල්ලිමි පිලිබදව යහපාලන ආණ්ඩුව යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි යන්නයි එමෙන්ම ඒ සදහා තෙරපුමක් ආණ්ඩුවට ඇති කල යුතුයැයි ඇත්තටම විශ්වාස කරයි.

    එහෙත් අප තේරුම් ගත යුත්තේ ආණ්ඩුවට එල්ල කරන තෙරපුම සැලකීමට ලක් නොකරන්නේනම් අප කල යුත්තේ කුමක්ද යන්න පිලිබදවය. ඒ සදහා සංවිධානය වීම අත්‍යවශයෙන්ම අවශ්‍ය වන අතර ඉහත පිරිස් විශ්වාස කරමින් සිටින්නේ මිනිසුන් දැනුවත් කල පසු එය ඉබේම සමාජය තුලින් ඇතිවේය යනුවෙනි. එබැවින් නිතිපතා ඒ සදහා ආණ්ඩුවට තෙරපුම යෙදිය යුතුයැයිද, ආණ්ඩුව හා සංවිධාන කළමනාකරනය කර ගත යුතුයැයිද පවසයි. කවුරුන් විසින් කෙසේ කල යුතුද යන්න පිලිබදව පැවසිම අහම්බයකින් හෝ මග හරිමින් සිටියි.

    යහපාලන ආණ්ඩුව බලය ගෙන එමේදි ප්‍රධාන සටන් පාඨයන් වු දුෂනයන්ට එරෙහිව පවත්වන පරික්ෂණයන් අදවන විට යට යමින් තිබෙන අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කර විධායක බලතල අඩු කිරීම පිලිබදව කිසිදු කතාවක් අද වන විට පෙනෙන තෙක් මානයක නැත. එමෙන්ම මේවා පිලිබදව ආණ්ඩුවට තෙරපිමක් එල්ල කිරීමට නොහැකි වී ඇත්තේ ඇයිද යන්න පිලිබදව සිතිය යුතුව ඇත.

    තවද සමාජයේ එදිනදා ඇතිවන අර්බුධයන් වලදි ආණ්ඩුව බේරා ගැනීමට වලිකන සහ ඒ වෙනුවෙන් මතවාදයන් සකස්කරමින් සහ ප්‍රශ්නය වෙනත් දිශාවකට යොමු කිරීමට බහුතරයක් දැනුවත්වම හෝ නොදැනුවත්ව කටයුතු කරමින් සිටියි. උදාහරණයක් වශයෙන් සේයා දැරියගේ ඝාතනය සිදුවු අවස්ථාවේදි මරණ දඩුවම ලබා දීමට විරුද්ධව කටයුතු කරනු ලැබු අතර සමාජයතුල අපරාධ අඩුකිරීම , ළමා හා කින්තාවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ආරක්ෂාව හා රුකවරණය සම්බන්ධව සිදුකල යුත්තේ කුමක්ද යන්න පිලිබදව කිසිදු කතිකාවක් ඇති නොකලේය හෝ එය මගහැර ගියේය. අද දවසේ එවැනි තත්වයක් ඇතිවිමේ අවධානම යන්තමින්වත් අඩුවී නොමැති අතර, ගෙවල් වල අගුල් , දොර ජනෙල් සැදීම, ළමයින් බලා ගැනීමට කුලියට සේවකයින් ගැනීම හා ශ්‍රම වෙළද පොලෙන් යම් කාන්තාවන් ප්‍රමාණයක් ගිලිහිම පමණක් සිදුවී ඇත.

    අද දවසේ ප්‍රධාන ප්‍රශ්නයක්වී තිබෙන ශිෂ්‍ය උද්ඝෝශණයන් හා එයට පොලිසිය විසින් සිදුකරනු ලැබු පහරදීමද එලෙසමය. මෙහිදි පොලිසිය විසින් වැරදි කරන ලද බවත් පහරදීම අමානුෂික බවත් එයට එරෙහිව පරික්ෂණයක් කරන බැවින් මහින්දගේ ආණ්ඩුවට වඩා මෙය ප්‍රගතිගාමි ලෙස පවසන අතරම ශිෂයන්ට උද්ගෝෂණ කිරිමට අයිතිය ඇති බවත් , ගැටලු ඇති බවත් පවසමින් එය පිටුපස පෙරටුගාමීන් සිටින බැවින් පෙරටුගාමින්ට බනිමින් සිටියි එමෙන්ම පෙරටුගාමින් කියන කියන වෙලාවට පාරට බහිනවාය කියන අන්තරයට සහ ළමයින්ට එයින් ගැලවීමට උපදෙස් දෙයි.

    අහම්බයක් ලෙස හෝ අධ්‍යපනයේ ගැටලුවක් පවතින බවත් එය විසදීම සදහා ආණ්ඩුව කටයුතු කල යුතුයි යනුවෙන් පැවසීම මග හරිමින් සිටියි. ශිෂ්‍යයන් පාරට බැසීම වැරදිනම් ආණ්ඩුවට තෙරපුමක් ඇති කරන පුද්ගලයන් අධ්‍යාපනය පිලිබදව ප්‍රතිපත්තියක් සැකසිම පිලිබදව හෝ ආණ්ඩුවට බලපෑම් කල යුතුය. පොලිසියේ පහරදීමට ලබා දෙන පංගුවට වැඩි ප්‍රමාණයක් රටේ අධ්‍යාපනයේ ඇති ගැටලුන් පිලිබදව සාකච්ජාවට ලබාදීමට කටයුතු කල යුතුය.

    ReplyDelete
    Replies
    1. පවතින යහපාලන ආණ්ඩුව බිහිකිරීම සදහා දායකත්වය ලබාදෙන ලද සමාජ ක්‍රියාදරයන් හා බුද්ධිමතුන්ගේ ඊළග අරමුණවී තිබෙන්නේ නොවැම්බර් අග එන අය වැයෙන් ආණ්ඩුවට ඇතිවිය හැකි පිඩනය අඩු කිරීම සදහා දැන් සිටම මතවාදයන් සැදීමය.

      අය වැය ඉදිරිපත් කිරිමෙන් පසුව එහි මේ මේ අඩුපාඩු දුර්වලතා තිබුනද මහින්දගේ 10 අවුරුදු පාලනය රටේ ආර්ථිකය කඩා වැට්ටු බැවින් මෙය ආර්ථික සංවර්ධනය අපේක්ෂා කලහැකි අයවැයක් යනුවෙන් අනිඑාර්යයෙන්ම පැරා ලියනු ඇත.

      Delete
  4. යහපාලන අච්චාරුව පිස්සුනටනවා, ඒ උනාට විසඳුම කිසිසේත්ම හොර නඩේ ගෙන ඒම නොවේ.

    ReplyDelete
  5. මාර පන යටට ඇඳලද දන්නේ නෑ නේ ඉන්නේ...

    ReplyDelete
  6. //ලංකාවේ දේශපාලනය සුපුරුදු මුග්ධත්වයේ ගිලී යයි ද?// නාහෙ ළඟටම ගිලී යමින් සිටිනවා. “දැන් ඉතින් ඔලුවට උඩින් ගියාට කමක් නෑ“ කියල හිතන්න තව චුට්ටයි තියෙන්නෙ

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.