2015-11-09

ජැක්සන්ට ඇඩ්‍රස් නැද්ද?

නළුවා රොෂාන් රවීන්ද්‍ර ය
ජැක්සන් ඇන්තනිගේ ‘ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය ගැන කවුරුවත් කතාවක් නැත. මහින්ද රාජපක්ෂ බලයේ සිටියා නම් මේ වන විට ජැක්සන් කොහොම නටනු ඇද්ද?

අද කාලේ චිත්‍රපටයක් බලා වින්ද රසය ගැන කියන්නටවත් බැරි ය. චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂ ව්‍යාපාරිකයන්ට ඒවා හුදු ප්‍රචාර පමණි. මේ අතර ලෝකෙ ම අතැඹුලක් සේ දන්නවා යි සිතා සිටින පොත් හතක්, අටක් කියවා දැමූ පඬියන් පිරිසක් ද කලාව, සාහිත්‍යය හා දේශපාලනය ගැන සාකච්ඡා හයිජැක් කරන්නට පුළුවන් යයි සිතාගෙන සිටිති. 

මෙම සටහන ලියන්නේ ජැක්සන් නම් ප්‍රතිගාමී දේශපාලකයා වෙනුවෙන් නොව, ඔහු තුළ සිටින කලාකරුවා වෙනුවෙනි. 

කලාකරුවෝ වනාහි ජනතාව ගැන සංවේදී පිරිසක් ය යන මිථ්‍යාවක අපි නම් ගැලී නැත. ඇතැම් කලාකරුවෝ සංවේදීභාවය මාකට් කරන වෙළෙන්දෝ ය. එය ජැක්සන්ට ය අනෙක් බොහෝ අයට ය කියා වෙනසක් නැත. ඒ නිසා කර්තෘ දෙස බැලීම තේරුමක් නැත. බැලිය යුත්තේ කෘතිය දෙස ය. එහෙත්, කෘතියේ අව්‍යාජත්වය යනු කලාවේ වැදගත් සාධකයකි. සාමාන්‍ය රසිකයකු වන මට නම් එය කෘතියේ වැදගත් ම සාධකයයි. 

ජැක්සන්ගේ ‘ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය කතා කළ යුතු විෂයක් තේමා කර ගන්නා කදිම චිත්‍රපටයකි. එය සම්මත ස්වරූපයේ ප්‍රබන්ධ කතාවකි. එහෙත්, එහි තිබෙන මූලික ලක්ෂණය වන්නේ එය මනා වියමනක් ලෙස ගොතා ගන්නට යම් උත්සාහයක් දරා තිබීමයි. ලංකාවේ සිනමාකරුවන්ට කතාවක් ගොතා ගැනීමේ බරපතල වියවුලක් ඇත. 

ජැක්සන්ගේ කතාව භාවාතිශය අන්තයක් කරා චලනය වන බොලිවුඩ් ශෛලියේ එකකි. චිත්‍රපටයේ ආකෘතිය ද බොහෝ දුරට එවැනි ය. එහි කිසිදු නැවුම්බවක් නැත. එහෙත්, එය තරමක් දුරට හොඳින් සංවිධානය කර, පිරිපහදු කරන ලද කතා වස්තුවකි. 

වඩා වැදගත් වන්නේ ජැක්සන් විෂය කර ගන්නා තේමාවයි. ඔහුගේ චිත්‍රපටය ලංකාවේ පාතාල ලෝකයේ පරිණාමයෙහි එක්තරා යුගයක් ඉතා පැහැදිලිව සලකුණු කරමින් විවරණය කරයි. ඒ වනාහි හෙරොයින් ව්‍යාප්ත වන්නට පෙර පාතාල ලෝකයයි. 

හෙරොයින් ව්‍යාප්ත වන්නට පෙර යුගයේ ලුම්පන් පංතියේ මිනිස් කසලවල ජීවිත ජැක්සන් සිය චිත්‍රපටය තුළ සියුම් ලෙස චිත්‍රණය කරයි.ඇත්ත හෝ බොරු හෝ විය හැකි, එහෙත් විද්වත් සමාජය ඇත්ත යයි පිළි ගනු ලබන, නන්දසේන රත්නපාලගේ සමාජ විද්‍යා පර්යේෂණවල සිට සලාම් බොම්බේ වැනි චිත්‍රපට දක්වා කෘති රැසක් එයට මූලාශ්‍ර වී තිබේ.

මහා මන්දිරවල කැත කුණු ගලන පිළිකනු විවර වන මුඩුක්කුවල ජීවිතය දෙස ජැක්සන් අපේ නෙත යොමු කරයි. මහා මන්දිරවල ජීවත් වන සත්ගුණවත් දානපතියන් පස්සා දොරින් පාතාලය සමග කරන ගනුදෙනු හා එක්තරා ධනවත් වෙළඳ පැළැන්තියක සමෘද්ධිය පසුපස වැකී ඇති ලේ සලකුණු ජැක්සන් සිය සිනමාවෙහි චිත්‍රණය කරයි. 

ජැක්සන් විෂය කර ගන්නා තේමාව හෙරොයින් සම්ප්‍රාප්තියත් සමග සුසමාදර්ශීය වෙනසකට භාජනය වෙයි. එම යුගය තුළ මුඩුක්කුවල මිනිස් කසලවල ජීවිත රටා වෙනස් වේ. පැල්පත්වල බරට ටයර් දැමූ ටකරං වහලවල ඇස්බෙස්ටස් හෙවිලෙයි. බිම ටයිල් වෙයි. එහෙත්, පාතාලයත්, ධනකාමයත්, දේශපාලනයත් අතර සම්බන්ධයේ මූලික හරය වෙනස් වන්නේ නැත. දේශපාලනය වක්‍රව පාතාලය සමග ගනුදෙනු කිරීම වෙනුවට පාතාලයෝ ම දේශපාලකයෝ වෙති. 

එදා මෙන් ම අදත් ධනවත්තු හා දේශපාලකයෝ පාතාලය සමග ගනුදෙනු කරති. පාතාලයින්ගේ සමෘද්ධිය තාවකාලික ය. ඔවුහු කෙටි කලක් රැස් විහිදා කාණු පල්ලේ මිය යති. බලවත්තු ඒ පාතාලයාගෙන් මේ පාතාලයාට මාරු වෙති. යුග වෙනස් වුවත්, ලුම්පන් පංතියේ ඉරණම වෙනස් වී නැත. ඔවුහු තවමත් ධනවතුන් අතින් ඉවත විසි වෙන මිනිස් කසල ම වෙති. 

ජැක්සන්ලා වැනි කලාකාරයෝ පැළැන්තියක් එවැනි ධනවතුන් හා බලවතුන් ළඟ සබුක්කු පාර කමින් වුව සපත්තු වැළඳ බදාගෙන වන්දිභට්ටකම් කරති. 

හෙරොයින් යුගයේ මිනිස් කසලවල ජීවිතය විවරණය කරන්නට ‘ඇඩ්‍රස් නෑ' දෙවෙනි කොටස නිර්මාණය කරන්නට ජැක්සන්ට පුළුවන් වේ නම් ඇත්තට ම ලංකාවට කෙසේ වෙතත් ජැක්සන්ට ඇඩ්‍රස් ලැබෙනු ඇත. 

මේකත් කිව යුතු ය. ජැක්සන් මහේන්ද්‍ර පෙරේරා විනාශ කර ඇත. නළුවා නම් රොෂාන් රවීන්ද්‍ර ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

4 comments:

  1. කලා කරුවා සහ සංවේදී යන වචන දෙක වෙන් කල නොහැකි වචන දෙකක් බව මගේ හැඟීමයි. කලාකරුවන් පීඩිත පාලකයන්ට විරුද්ධව පෙරමුණ ගන්නේ ඔවුන් සාමාන්‍ය මිනිසුන්ගේ දිවි පෙවෙත ගැන සංවේදී නිසාය. ජැක්සන් එවැන්නකු නොවන බව පැහැදිලිව ප්‍රදර්ශණය කර ඇත. එවන් 'කලාකරුවන්' කරන්නේ සමාන්‍ය මිනිසුන්ගේ දුක මුදල් ඉපයීම සඳහා ප්‍රඩක්ට් එකක් නිශ්පාදනය කිරීමයි. මෙම චිත්‍රපටිය නොබැලීමෙන් මෙවන් නලා කරුවන් ප්‍රතික්ශේප කල යුතුය යන මගේ පිලිගැනීම.

    ReplyDelete
    Replies
    1. සංවේදී යයි කියන වෙනත් බොහෝ කලාකරුවනුත්, ජැක්සනුත් අතර ලොකු වෙනසක් නැත. මෙම චිත්‍රපටය කතා බහ කළ යුතු එකකැයි මට සිතේ.

      Delete
  2. බලු මැක්කාගෙ රචනාව වගේ. කොහේ ගියත් මහින්ද.

    ReplyDelete
    Replies
    1. ඉතින් ආඩම්බර වෙන්න බැරියැ මහින්ද මෙච්චර සමාජයට බලපාලා තියෙන එක ගැන.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.