2015-12-14

අජානේය ඉස්කූටරය හා ඕඩිකොලොං බෘංගා

ඕඩිකොලොං බෘංගා කාලයක් තිස්සේ ඇහෙන බස් සිංදුවකි.

එය වචන, තනුව, සංගීත, ගායනය යන හැම පැත්තෙන් ම ‘අජානේය ඉස්කූටර තුරඟා පිට වඩිනා' යන ගීය අනුකරණය කරයි.

එසේම, අනුකරණය කෙතරම් හිස් ක්‍රියාවක් ද යන්න පෙන්නුම් කිරීමට කදිම නිදසුනකි.

මෙහි ඇති 'බාගෙට සැලුන් දොරින් රිංගා' යන යෙදුම තුළ කිසියම් සුන්දරත්වයක් තිබේ. සැලුන් දොර යනු කොහොමටත් බාග දොරකි. 'බාගෙට සැලුන් දොරින් රිංගා' යන්නෙන් අදහස් කරන්නේ ඒ සැලුන් දොරේ බාග ස්වභාවය ද නැතිනම් වෙන යමක් ද යන්න පැහැදිලි නැත.

මෙහි කියවෙන්නේ ටියුෂන් පංතිවල පෙම් කරන බව ය. එය නරක වුණත් ආතල් වැඩකි යන අදහස ද එහි තිබේ. එහි සමස්ත අදහස ‘සිල්පය පසෙක තියා - සිල්පද බිඳින නියා - ටියුසන් පුවත අසන් සොඳිනා' යන යෙදුමින් ප්‍රකාශ වේ.

එහි කිසිදු ගැඹුරු අදහසක් නැත. එහි අර්ථය නම් එහි භාවිතාව ය. ඒ කියන්නේ බස්වල, ත්‍රිරෝද රථවල කඨෝර හඬ යටපත් කළ හැකි ඩ්‍රම් බීට් මතු කරගෙන රිද්මයක් පවත්වා ගැනීමයි. සංගීත ප්‍රසංග, මංගල උත්සව ආදියේදී බමන නර්තනයට එය හොඳ සංගීතයකි. මේ එකක්වත් වැරදි යයි මම අදහස් නො කරමි. එහෙත්, සම්භාව්‍ය කලාව යනු මේ අන්දමට උපයෝගී කර ගන්නා භාණ්ඩයක් හෝ සේවාවක් නො වේ.

සම්භාව්‍ය කලාව මිනිස් චින්තනය වඩා ව්‍යක්ත එකක් බවට පත් කරයි. ඒ ව්‍යක්තභාවය නිසා මිනිස්සු නිකම් ම නිකම් ගැහැනුන්, පිරිමින් මට්ටමට වඩා ඉහළට ඉපිලී සමාජයේ සෙසු මිනිසුන් ගැන ද වගකීමක් ඇති පුරවැසියන් බවට පත් වේ යයි අපේක්ෂා කරනු ලැබේ. එහෙත් හැම විට ම එහෙම වන්නේ නැති නිසා සම්භාව්‍ය කලාව ග්‍රාම්‍ය කලාවට වඩා ඇත්තෙන් ම විශිෂ්ට ද යන්න මම නො දනිමි. කෙසේ වෙතත්, මා පෙනී සිටින්නේ  කලාවේ සම්භාව්‍යත්වය වෙනුවෙනි. (මිනිස්කම යනු සම්භාව්‍ය කලාව සමග සම්බන්ධකමක් ඇති දෙයක් නො වේ යයි මම සිතමි. සම්භාව්‍ය කලාව ඇසුරු කරන්නන් අතර ඉතා නරක මිනිස්සු ද, ග්‍රාම්‍ය කලාවන් ඇසුරු කරන්නන් අතර හොඳ මිනිස්සු ද සිටිති.)

නිර්මානයක වැදගත් ම සාධකය අව්‍යාජත්වය යි මම සිතමි.අනුකරණය කුමන මට්ටමෙන් කළත් බොල් ක්‍රියාවකි. ඇතැම් ඉහළ පෙළේ නිර්මානකරුවෝ ද අනුකරණයෙහි යෙදෙති. වෙනස තිබෙන්නේ ඔවුන් අනුකරණය කරන්නේ දේශීය නිර්මාන නො වීමයි.

අනුකරණවලට ද ජනප්‍රිය වන්නට පුළුවන. ඕඩිකොලොං බෘංගා තවමත් ඇසෙන මුත්, අජානේය ඉස්කූටරය දැන් ඇසෙන්නේ නැත.



අජානේය ඉස්කූටර තුරඟා පිට වඩිනා ගීය රත්න ශ්‍රී විජේසිංහගේ කවියක සංස්කරණයකි. එයට පාදක වන්නේ උම්මග්ග ජාතකයේ සිරි කාලකන්නි ප්‍රශ්නයයි. ඒ කතාව දන්නේ නැතිනම් ලිපියේ අග ඒ කතාව උපුටා දක්වා තිබේ.

පහත පළ වන්නේ එම කවිය පිළිබඳ පළ වූ විචාරයකි.

උම්මග්ග ජාතකයේ සිරි කාලකන්නි ප්‍රශ්නයේ දැක්‌වෙන පරිදි, 'උදුම්බරා දේවී මඟ සසිමින් සිටි ඒ කාලකණ්‌ණියා දැක 'මෙබඳු සම්පත්තියක්‌ ධරා ගත නුහුණුයේ මේ යෑ'යි ඌ දිසාව බලමින් සිනාසුණා හ.' අප කවියා නිර්මාණයට මුල පුරනුයේ, එහි දී නිහඬ වූ පිංගුත්තර ලවා කතා කරවමිනි.

අජානේය ඉස්‌කූටර තුරඟු පිට
නැගී වාත වේගෙන් ඉගිළෙන කලට
බදා හිමි දෙවුර ඉස්‌සී බලන විට
වැටේ දැයි කිරුළ සිතුණි ය බිසවුන්ට

මෙහි එන 'අජානේය ඉස්‌කූටර්' සහ 'තුරඟු' යන පද සලකා බලමු. නවීන ව්‍යවහාරයක්‌ හා පුරාණ යෙදුමක්‌ එක්‌තැන් කිරීමකි, එය. කවියා එයින් ධ්වනිත කරනුයේ සර්වකාලීන තේමාවක්‌ මෙහි එන බව ම නො වේ ද? බිසවුන්ගේ බිය, කිරුළ වැටීම පිළිබඳ ව ය. මේ 'කිරුළ' යනු, ධනය, බලය, ආධිපත්‍යය, සැප සම්පත් යන සියල්ලේ සංකේතයකි. ඒ සියල්ල කවියා එක ම වදනක්‌ තුළ රුවා දක්‌වයි.

තක්‌සලාවේ ඉහළ ම ලකුණු ලබා ගත් සිසුවාට උරුම වූයේ පාර කැපීම යි. කුමරුටත් කුමරියටත් පාර කැපෙන්නේ ගැමි දෑතිනි.

අහා බලන් ගැමි දෑතේ අනුහසින
කැපී ගමට මඟ හිනැහෙයි රතු පසින

මෙහි එන 'අහා' යන පදය විස්‌මයක්‌ දනවන්නා සේ ම 'අනුහස්‌' යන්න හඟවන්නේ ඇදහිය නොහැකි බලය, පූජනීයත්වය ආදිය යි. මඟ හිනැහෙන්නේ 'රතු' පසිනි. 'රතු' යන වදනින් කවියා සංකේතවත් කරනුයේ තාරුණ්‍යයේ විප්ලවය යි. එය ඌන රැකියා නියුක්‌තියේ විප්ලවයක්‌ ද වෙයි.

දමා නුවර - රජ කුමරිය කිරුළ හිමී
කිරිමදුවැල් දිගේ මම මෙහි පැමිණියෙමී

නගරය හැර දමා කථකයා පැමිණෙන්නේ ගමට ය. ඔහු ගේ ආත්මීය මූලයන් රෝපිත ව පවත්නේ ගම තුළ ය. 'කිරිමදුවැල්' යන එක ම පදයෙන් ඒ බව සූචනය වෙයි. සිරි කාලකන්නි කෙරෙහි ළෙන්ගතු බවක්‌, සෙනෙහසක්‌ ඇති කරවන්නට ඒ එක ම වදන වුව සමත් වෙයි.

පොළව බුද්ධියට හඬ නගන වචනයකි. එය ම හදවතට තුඩු දීමට නම් මිහි මඬල - මිහිකත - මිහිය වැනි වදන් විය යුතු ය. උචිත බස්‌ නියර නිසා කාව්‍යය මධුර බවට පත් වන්නේ ය. කාව්‍යයක බස්‌ වහර සැකසෙන්නේ මෙම ක්‍රමවත් රටාව තුළ ය.

(බඹරැන්දේ මහානාම හිමි, කාව්‍ය විචාර දර්ශන, 17 පි.)

දැන් අපි අජානේය ඉස්කූටර් තුරඟාට නැවත සවන් දෙමු.



සිරිකාලකන්ණි ප්‍රශ්නය

මියුළු නුවර වැසි පිංගුත්තර නම් ළදරුවෙක් තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප උගෙන නිමවූයේ, සිරිත් ලෙස ආචාර්යවරයා තමාගේ දෙවඟනක් බඳු දියණියද කැඳවා ගෙන යවයි ඔහුට පාවා දුන්නාහ. ඔහු නමින් පිංගුත්තර වුවද පින් නැත්තෙක. කාලකණ්ණිය. කුමාරිකාව මහ පිණැත්තීය. ඈ කෙරෙහි සිත නොඇළුන මානවකයා ඈ නුරුස්නේ ආචාරීන්ගේ බස් අකමැත්තෙන් ඉවසා රාත්‍රීයෙහි සකස් කර දුන් මංගල යහනෙහි සැතපීහ. කුමාරිකාව අවුත් ඇඳට නැගෙන්නාහාම මානවකයා ඇඳින් බැස බිම වැදහොත්තේය. කුමාරිකාවද ඇඳින් බැස ඔහු සමීපයට ගිය විට ඔහු එතනින් නැගිට ඇඳට යන්නේය. මෙසේ ඇඳට බිමට යාමෙන් වෙහෙසට පත් කුමාරිය ඇඳෙහිම සැතපුනීය. ඒ කාලකණ්ණියා බිම වැදහොත්තේය. මෙසේ සතියක් ආචාරීන්ගේ නිවසෙහි සතියක් යවා ඈ කෙරෙහි සෙනෙහෙ නැතිවත් ආචාරීන්ගේ බස පැහැර නොහැරිය හැකි බැවින් ඈ තමාගේ නුවරට කැඳවා ගෙන නික්මුණේය. අතර මගදී කිසි කතාබහක් පමණ කුදු නැති මියුළුනුවරට පැමිණියේ පලගත් දිඹුල් ගසක් දැක සාදුකින් පීඩිතවූයේ ගසට නැගීලා දිඹුල් කඩාගෙන කන්නට වන. කුමාරිකාවද සා දුකින් පීඩිත වූයේ මටත් දෙවයි ඇයදීය. ඇයි තිට අත්පා නැද්ද? ගසට නැගී දිඹුල් කඩාගෙන කවයි කීහ. සා දුකට වඩා දුකක් නැති හෙයින් කුමාරිකාවද ගසට නැග දිඹුල් කඩාගෙන කන්නටවන. මානවකයාත් ඈ ගසට නැගී බව දැන වහා ගසින් බැස ගසවට කටු ගසාලා කාලකණ්ණියා කෙරෙන් මිදිනියි කියාලා නුවරටම පැනගියේය. කුමරිය ගසමුල කටු හෙයින් බැසපීයන්ට නොහැකිව උඩම හුන්නීය.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ එදවස් උයන්කෙළි කෙළ සවස්වේලේ නුවරටම වදනාහු දිඹුල් ගස උන් කුමාරිකාව දැක ඈ පිළිබඳව සිත් ඇතිව පුරුෂයන් ඇත්ත නැත්ත විචාරා පාවාදුන් ස්වාමියා පලාගිය බව අසා කුමාරිකාව ගඟින් බස්වා ඇතුපිට නංවා ගෙන මාළිගාවට ගෙන ගොස් රුවන් රැසක් පිට සිටුවා අගමෙහෙසුන් කළහ. ඈ රජ්ජුරුවන්ට ප්‍රියය. මන වඩිති. දිඹුල් ගසදී දුටුබැවින් උදුම්බරා දේවිය යි ප්‍රසිද්ධ වූහ.

දිනක් රජ්ජුරුවෝ උයන් කෙළියට යන පිණිස ගම්වැස්සන් ලවා මාර්‍ගය ඉදිකරවූහ. පින්ගූත්තරයාද රාජසම්මත බැවින් මෙහෙවර කරන්නේ කැසපට කවාගෙන උදැල්ලකින් මග නසින්නටවන. මාර්‍ගය සාදා නිමවන්නට පෙර රජ්ජුරුවෝ උදුම්බරා දේවීන් සමග මංගල රථයෙන් උයන් කෙළියට නික්මුණාහ. උදුම්බරා දේවිය මාර්ගය සසිමින් සිටි ඒ කාලකණ්ණියා දැක මෙබඳු සම්පතක් දරාගත නොහැකි වීයයි ඌ දිසාව බලමින් සිනාසුනාහ. රජ්ජුරුවෝ බිසවුන් සිනාසෙනවා දැක කිපී කුමක් නිසා සිනාසෙන්නෙහිදැයි විචාළහ. බිසව ඊට හේතුව ඇතිසැටියෙන් කීවාය. රජ්ජුරුවෝ තී කියන්නේ බොරුය. අනික් පුරුෂයකු දැක තී සිනාසුනේය. තී මරමියි කඩුව කොපුවෙන් ඇදගත්හ. බිසව භයපත්ව දේවයනි යළි පණ්ඩිතවරුන් විචාළ මැනවයි කීහ. රජ්ජුරුවෝ සේනකයන් අතින් විචාළහ. දේවයන් වහන්ස මැගේ බස් නො අදහමියි කවරෙක් නම් මෙබඳු ගැහැණියක් හැරපියා නැගීයේදැයි කීහ. බිසව සේනකයන්ගේ බස් අසා වඩාත් බියවූහ.

ඉක්බිති රජ්ජුරුවෝ සේනකයා කුමක් දනීද? මහෞෂධ පණ්ඩිතයන් විචාරමියි සිතා පණ්ඩිතයන් අමතා ගාථාවකින් විචාරන්නාහු ස්ත්‍රීයක් තොමෝ අධික රූ ඇත්තීද ආචාරශීලී වූද ඈ පුරුෂයෙක් නොකමැත්තේල. තෙපි ඒ අදහව්දැයි විචාළහ. එබස් අසා දේවයිනි මම අදහමි. පුරුෂයා දෛවය නැත්තේ වී නම් ශ්‍රී කාන්තාවද කාලකණ්ණියාද යන මොහු දෙදෙනා මුහුද එතෙර මෙතෙර සේද අහස හා පොළව සේද එක් නොවෙතියි වදාළහ. රජ්ජුරුවෝ ඒ අසා සතුටට පත්ව පණ්ඩිතයෙනි ඉදින් තෙපි අද මෙතන නැත්තාහු නම් අනුවණ සේනකයාගේ බස් අසා මෙබඳු ගැහැණු රුවණක් නොලද්දේ වෙමියි. මසු දහසක් පූජා කළහ. ඉක්බිති බිසව රජ්ජුරුවන් වැඳ ස්වාමීනී මේ පණ්ඩිතයන් නිසා මාගේ දිවි ලද්දේ වෙමි. එබැවින් මොහු මාගේ මලනු තනතුරෙහි තබා ගැනීමට අවසරය දෙනු මැනවි. මොහු හැර කිසි මිහිරි රසයක් අනුභව නොකරමි. කැමති වේලාවක වාසල් දොර හරවා පණ්ඩිතයන්ට මිහිරි රසයක් යවන්නට ලබන වරයක් ගතිමියි වර ලබාගත්හ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

16 comments:

  1. හරිම ඉහළයි පැරා, හරිම ඉහළයි. ඔබේ සාහිත්‍ය රසාස්වාදය මෙන්ම, මේ සාහිත්‍ය විචාරයද ඉහළින්ම අගය කරනවා. ඉඳහිටවත් මෙවැනි ලිපි නොලියන්නේ ඇයි? මා මීට පෙර ඔබේ මෙවැනි ලිපියක් කියවා නැහැ.

    බස් සංගීතය නම් මා බොහෝවිට ප්‍රිය කරන්නේ නැහැ. දුර ගමනක් බස් රථයේ යන්න වුනොත් මා අනිවාර්යයෙන්ම මගේ ජංගම දුරකතනයෙන්, ගබඩා කර ඇති ගීතවලට හෝ, ගුවන්විදුලියට සවන් දෙනවා. අර සින්දු අහන්න ගියාම පිත කෝප වෙනවා.

    සින්දු කොපිකර/අනුකරණය කර ගීත ගයන අයගේ 'ගායනා?' අනුකරණය කරන පරපුරකුත් බිහිවීමෙන් පෙනෙන්නේ, පිරිහීම විනා අන් කවරක්ද?

    ReplyDelete
  2. සිරි කාලකන්නි ප්‍රශ්නයේ එන 'පිංගුත්තරයා' සමාජ අසාධාරනයට ලක්වූවෙකියි මට සිතේ... කාන්තාවක සමග නිදාගැනීමට නොකැමති ඔහු ලිංගික බෙලහීනයෙකු හෝ සමලිංගිකයෙකු වියහැක..

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඒ කාලේ අනුලා බිසව නිම්ෆෝමේනියාවෙන් පෙලෙන්න ඇති. නමුත් ඒ බව හඳුනාගෙන නැහැ.

      Delete
  3. බස් සින්දු නරක ම නැති බව ඊයේ 120 බසයක දී වැටහිණි!

    මුලින් ම ගියේ නාට්‍ය ගීතවල තනුවලට ලියූ නව පදමාලා සහිත සින්දු කීපයකි. ඉන් පසුව ප්‍රියා සූරියසේන ගේ නොනවතින සින්දු පැය භාගයක් විතර ඇසුණි.

    ReplyDelete
    Replies
    1. රසික අයිය සිරි ලංකාවට ඇවිත් නෙහ්?

      Delete
  4. මේ විදිහේ ලිපි ඔබ අතින් ලියවීම සතුටක්. දිනපතා බස්වල යනකොට මේ දේ නිතර අද්දකින්න ලැබිල තියෙනව. හැබැයි අර රසික අයිය කියනව වගේ හොඳ බස් නැතුව නෙවෙයි.

    ReplyDelete
  5. හොඳ ම දේ තමයි බස් රථවල අධික ශබ්ධයෙන් ගීත වාදනය තහනම් කරන එක. එතෙන්දි අපිට වෙන්නෙ කොන්දොස්තර හරි රියදුරු මහත්තයගෙ හරි කැමැත්ත අනුව එයාල දමන මොකක් හරි ගාල ගෝට්ටියක් අහගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් තහනම් කරන්න දෙයක් නැහැ. දැනටමත් තහනම්. මගීන්ට අයිතිවාසිකම තිබෙනවා හඬ අඩුකරන්න කියා ඉල්ලන්න. නමුත් එතකොට වෙන්නේ මගියාට ගහලා එලියට ඇදලා දැමීමයි. එලෙස කතාකරන මගියකුට, අනික් මගීන් සහයෝගය දෙන්නේ නැහැ. හේතුව, බොහෝ දෙනා අර ටකරං සින්දු වලට කැමතියි. එහෙම නැත්නම් ඔවුන් එක්තරා ආකාරයක ශ්‍රවනාබාධිතයෝ.

      Delete
  6. උම්මග්ග ජාතකයේ මා වඩාත්ම ගරු කරන පිරිමියා සිරිකාලකණ්ණි.මහෞෂධ සිය බිරිදගේ ඇගේ ඉදුල් තවරා අව්වෙ සිටුවද්දී, බඹදත් රජු සිය මිණිපිරියක් සම යුවතියක් කෙරේ ලොබ බඳිද්දී සිරිකාලකණ්ණි ඇයව රකින්නට තමාට බැරි බව දැන, ඇයගේ සිරුරට අතක්වත් නොතබා අතහැර යනවා.

    ReplyDelete
  7. හැමදාම ලියන දේශපාලන අණ්ඩර අත්හැර කරන ලද මේ වියමන කියෙව්වෙමි මම.

    ReplyDelete
  8. ඔය ගීත දෙකම එක විදියට රස විඳින්න පුළුවන් නම් ඒක ලෙඩක්ද පැරා...

    ReplyDelete
    Replies
    1. ලෙඩක් නෙමෙයි. මේ දෙක එක විදියට රස විඳින්න පුළුවන් කියන එක බොරුවක්.

      Delete
    2. ඒක එහෙම නෙමෙයි කියලා මේ පෝස්ට් එකම සාක්ෂි දරනවා....

      ඔය ගීත දෙකම අහන ඕන වෙලාවක මම නම් රස විඳිනවා.. රස විඳීමේ මීටරයක් නම් මගේ ළඟ නෑ.. හැබයි දෙවන ගීය පොඩ්ඩක් අමතක වෙන්නේ ගායකයාගේ පසුගිය ක්‍රියාකලාපයන් උඩ..

      ඉස්සර මාතලන් ආදරය කරපු මාලනීට දැන් මාතලන ආදරේ නෑ...

      Delete
  9. Para Machan really good article.
    Please write this type of articles.

    ReplyDelete
  10. ඊය තුට්ටු දෙකේ ලියුමක් නේ. මොන පල් මෝඩයද ලිව්වෙ.
    (සරළවම සිංහල ජාතිය හා බෞද්ධාගම ගැන පැරාලගේ මතය වගේ එකක් ලිපිය ගැන මාත් ලිව්වා.)

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.