2015-12-17

පංති වෙන්න දඟළන වෘත්තික කණ්ඩායම් අතර බැංකුකරුවෝ

වෘත්තික කණ්ඩායමකට සමාජ පංතියක් වෙන්නට පුළුවන් ද?

සමාජ පංතියක් යනු කුමක් ද? පංතියක් යනු සමාජ, ආර්ථික පදනමින් වෙන් කර දැක්විය හැකි සමාජ කණ්ඩායමකැයි සරළව අර්ථ කථනය කළ හැකි ය.

වෘත්තික කණ්ඩායමක් යනු කිසියම් පොදු දැනුම හා කුසලතා පද්ධතියක් මත පදනම්ව රැකියාවක යෙදී සිටින පිරිසක් ලෙස සැලකිය හැකි ය. ඔවුන් හා සමාන සමාජ, ආර්ථික පදනම් වෙනත් වෘත්තිකයන්ටත් තිබිය හැකි නිසා ඔවුන් වෙන ම පංතියක් වන්නේ නැත.

එහෙත්, ලංකාවේ ඇතැම් වෘත්තිකයෝ වෙන ම පංති බවට පත් වන්නට උත්සාහ කරති. එසේ කරන්නේ සමාජ ආර්ථික ස්ථාවරයන් බලහත්කාරෙන් හා ඉක්මණින් අත්පත් කර ගැනීමෙනි. මෙය පහසුවෙන් කළ හැකි වන්නේ රජය සමග එක් වී මහජනතාව සූරාකෑමෙනි.

මේ සඳහා පැහැදිලි ම උදාහරණය දේශපාලකයෝ ය. ඔවුහු අමු අමුවේ ම රාජ්‍ය සම්පත් තමන්ගේ ගිනුමට බැර කරගෙන ක්ෂණිකව ධනවත් වෙති. විස්තර කිරීම අනවශ්‍ය ය. කරන හැටි කවුරුත් දනිති.

මෙවැනි තවත් වෘත්තික කණ්ඩායමක් වන්නේ වෛද්‍යවරු ය. රජයේ සේවයේ වෛද්‍යවරු යයි කියන්නට බැරි වෛද්‍යවරු තමන් අනිවාර්යයෙන් ම රජයේ සේවයේ කොටසක් විය යුතු තත්වයක් ඇති කරගෙන සිටින නිසා ය. ඒ ගමන් ඔවුහු පෞද්ගලික ව්‍යාපාරවල යෙදෙති. ඒ වෙනුවෙන් රාජ්‍ය දේපල හා රජය විසින් වැටුප් ගෙවන කාලය ද යොදවති.

මේ ටික කිව්වා ම දොස්තරලා රෙදි කරට ගෙන එන්නේ මෙන්න මේ වගේ යාං හෑලි කියාගෙන ය. “ඔපරේෂන් එකක් කරනකොට මග නවත්වන්න පුළුවන් ද? ලෙඩෙක්ගෙ ජීවිතයක් බේරගන්න අපි කොච්චර මහන්සි වෙනවා ද? අපට ගෙවන පඩිය කීය ද?"

මේ කාරණා ඇතැම් වෛද්‍යවරුන්ට අදාළව ඇත්ත ය. එහෙත්, එවැන්නන් සිටින්නේ අතළොස්සකි. ඔවුන්ට අපේ ප්‍රණාමය පිරිනැමේ. එහෙත්, බහුතරයක් වෛද්‍යවරු කරන්නේ මේ වැඩ කරන අතළොස්සට මුවා වී බිස්නස් කිරීමයි. අත්සන් කිරීමක් නැති නිසා වාට්ටුවලට නො ඇවිත් මගහරිති. ඔන්කෝල් එක වෙලාවේ ලෙඩා නො බලා දුරකථනයෙන් බෙහෙත් දෙති. එකෙකුගේ ඩියුටිය වෙනුවෙන් වෙන අය යොදවති. උදාහරණයක් ලෙස නයිට් ඩියුටිය වෙන අයට විකුණති. නැතිනම් දොස්තර සැමියාගේ ඩියුටියට දොස්තර බිරිය එවති. පැය හයේ වැඩමුරය නො කරති. ඇතැම් බාහිර රෝගී අංශවල වැඩ බෙදාගෙන ඇති ආකාරය අනුව වෛද්‍යවරයකු රෝගීන් බලන්නේ දවසකට පැය දෙකක් පමණි. මෙසේ කරන ගමන් දුරකථන දීමනා (රු. 6000), නිදි බාධක ඇතුළු දීමනා (රු. 35,000) ආදී සියලු වරප්‍රසාද ගනිති. පැය 130 ම අතිකාල (එක් පැයකට රු. 320ට වැඩි ය) ලියා ගනිති. මොවුන් සංවිධානගත මාෆියාවක් බැවින් ඉහළ නිලධාරීහු මේ සියල්ල දැන දැන ඒවා අනුමත කරති. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න වෛද්‍යවරයකු ලෙස මේ සියල්ල හොඳින් දන්නෙකි.

දොස්තරලා පංතියක් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන්නේ මහජන මුදල් මේ අන්දමින් නින්දිත ලෙස සූරාකෑමෙනි. 

ලංකාවේ බැංකුකරුවෝ ද මෙසේ සමාජ පංතියක් වන්නට උත්සාහ කරන වෘත්තිකයන් පිරිසකි. අතීතයේදී බැංකු තිබුණේ අතළොස්සක් නිසා හා ඒවා ද රජයට අයත් ඒවා වූ නිසා ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලැබිණි. පෞද්ගලික බැංකු පැමිණීමත් සමග ම ඔවුන්ගේ රැස් බැස්සත්, තවමත් එ් සඳහා උත්සාහය අතහැර නැත. රාජ්‍ය අනුග්‍රහයෙන් හා පොදු අරමුදල්වල ආරක්ෂාවෙන් පවත්වාගෙන යන රාජ්‍ය බැංකු මේ තත්වය පවත්වා ගැනීමට මහෝපකාරී වී තිබේ. ආගමික හා ජාතික නිවාඩු දවස් සති අන්තයකට වැටුණු විට ඒවා සති මැද සෙසු ජනතාව වැඩ කරන දවසක නිවාඩුවකින් හිලව් කර ගන්නා වෙනත් වෘත්තියක් ලෝකයේ තිබේදැයි මම නො දනිමි. එවැනි ආර්ථික කෘරත්වයන් වාර්තා වන්නේ බැංකු ක්ෂේත්‍රයෙන් වීම විස්මිත ය.

දෙසැම්බර් 15දා බැංකුකරුවන් කළ වර්ජනය වනාහි අතිශය ප්‍රතිගාමී එකකි. එයට හේතු මොනවා ද? ඒවා වනාහි රාජ්‍ය ආර්ථික ප්‍ර‍තිපත්තිවලට එරෙහිව කළ වෘත්තීය සටනකි. වර්ජනයට පෙර ඒ පිළිබඳ රජය සමග සාකච්ඡා කර විසඳා ගන්නට ඔවුන් උත්සාහ කළා ද? නැත. මෙම වර්ජනය ඉතා පැහැදිලි කඩාකප්පල්කාරී ක්‍රියාවකි. ඔවුන් එවැනි තත්වයකට තල්ලු වන්නේ ද දොස්තරලාට මේ ආණ්ඩුව සමග පැන ඇති මළ වැනි ම හේතු මත ය. 

ලංකාවේ වැවිලිකරුවෝ ද විශේෂයෙන් ම යටත් විජිත සමයේ හා වතු රජයට අයත්ව තිබුණු සමයේ මෙවැනි පංති මානසිකත්වයකින් කටයුතු කළ හ. වතු කම්කරුවන් සූරා කමින්, අතට පයට වැඩකාරයන් තබාගෙන, කොට කලිසම් ඇඳ, උස මේස් හා ඩෙක් සපත්තු දමා උජාරුවෙන් ඉංග්ලිෂ් මොටර් සයිකලයේ අධි වේගයෙන් පැද ගිය වතු මහත්තුරුන්ට අද සිදු වී ඇත්තේ කුමක් ද? තමන්ගේ වෘත්තීය තත්වය ආරක්ෂා කර ගන්නට පුළුවන් කර්මාන්තය ආරක්ෂා වුණොත් පමණක් බව වෘත්තිකයන් වටහා ගත යුතු ය. 

මෙය අදට අදාළව නම්, තමන්ගේ වෘත්තීය තත්වය ආරක්ෂා කර ගත හැකි වන්නේ රට හා ආර්ථිකය රැක ගත්තොත් පමණක් බව වෘත්තිකයන් තරයේ මතක තබා ගත යුතු ය. 

මේ සෙල්ලම් අවසන් කළ යුතු බව ලංකාවේ පීඩිත ජනතාවගේ නාමයෙන් අපි අවධාරණය කරන්නේ ඒ නිසා ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

16 comments:

  1. /* රාජිත සේනාරත්න වෛද්‍යවරයකු ලෙස මේ සියල්ල හොඳින් දන්නෙකි. */

    (නො) දත් දොස්තර!

    ReplyDelete
    Replies
    1. පැරාලා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවද, කරන්න හදන්නේ මොකක්ද කියලවත් හරියටම දන්නේ නැතුව දොස්තරලගේ බලපත්‍ර කපන එක පිලිබදව බොලොග් ලියද්දි රාජිතලා විසින් මන්ත්‍රීලාට වාහන බලපත්‍ර ලබාදෙන බව කිසිදු හිරිකිතයක් නැතුව කියනව

      Delete
  2. මෙවැනි වර්ජන සම කළ හැක්කේ ඉන්දියානු හමුදාවට විරුද්ධව පැරාලා සංවිධානය කළ පාසල් සිසුන් ගේ පන්ති වර්ජනවලට ය!

    අහෝ එවැනි ශෝක ජනක විකාරයක්.

    මා දිනක් (1989 ජූලි) මහරගම බෝ ගහ ළඟ බස් නැවතුමේ සිටියදී අසල පාසලේ සිසුන් මුඛවාඩම් බැඳගෙන පාසල් බිත්තිවල පළමුව මව්බිම වැනි ජඩ පෝස්ටර් අලවමින් සිටියා. ඒ බොහෝ දෙනෙකු රාජ්‍ය භීෂණයේ ගොදූරු වී වලපල්ලට ගිය බව පසුව දැන ගන්නට ලැබුණා!

    ReplyDelete
  3. පැරාට දැන් අමුතුම ආකාරයේ පිස්සුවක් හැදිගෙන එන ආකාරයක් දක්නට ඇත. පිඩිත ජනතාව වෙනුවෙන් දොස්තරලාට ලබාදී ඇති වරප්රපසාද පිලිබදවත් බැංකු කරුවන් සිදුකල සංකේත වර්ජනය පිලිබදවත් ලියමින් පිඩිත ජනතාව වෙනුවෙන් යහපත් ආර්ථිකයක් සැදීමට යහපාලන නඩය සමග එක පෙලට කොන්දේසි විරහිතව හිටගෙන ඇත. පැරාට යහපාලන ආණ්ඩුවේ ආර්ථික දැක්ම පිලිබදව රනිල්ටත් වඩා ලොකු විශ්වාසයක් ඇත.
    ලංකාවේ සෞඛ්යය වැඩි දියුණු කිරීම පිලිබදව මතයක් ගොඩනැගීම පිලිබදව කතා නොකරමින් දොස්තරලාට දී ඇති වරප්රයසාදයන් පිලිබදව මහජන විරෝධයක් ඇතිකල යුතුයැයි දිගට හරහාට පැරා විසින් ලියමින් සිටින්නේ ඇයි? පැරා කියන විදිහට ජනතාව පිඩාවට පත්වී සිටින්නේ දොස්තරලා නිසාද? දොස්තරලාට තම රාජකාරි වෙලාවෙන් පසු (සමහරු හොරෙන් රාජකාරි වෙලාව තුල) බෙහෙත් ලබා දීමට සිදුවී තිබෙන්නේ දොස්තරලාගේම ගැටලුවක් නිසාද? නැත්නම් දොස්තරලා ගෙවල් ගානේ ගිහින් මිනිස්සුන්ට බලෙන් බෙහෙත් ගන්න එන්නයැයි පවසමින් සිටිද?
    ඇත්තටම සිදුවි තිබෙන්නේ කුමක්ද? අද රජයේ රෝහල් වලින් සාමන්ය ලෙඩ රෝග සදහා බෙහෙත් ගැනීමට යම් මුදලක් වියදම් කල හැකි මිනිසකු කැමති නැත ඒ සදහා බලපාන ප්රලධාන හේතුන් වන්නේ රජයේ රෝහල් පෞද්ගලික බෙහෙත් ශාලා මෙන් සෑම හන්දියකම නොමැති වීම, බෙහෙත් හිගකම සහ සම්පුර්ණ දවසක්ම බෙහෙත් ගැනීම සදහා අපතේ යෑම වැනි කරුණුය. තවද රජයේ රෝහල් වලදි දොස්තරලා හොදට බලන්නේ නැතය යන විශ්වාසයක් සහ අත්දැකිමක් මිනිසුන්ට තිබිමද තවත් හේතුවක්ය
    දෙවන කරුණනම් ලංකාවට අවශ්ය තරමට දොස්තරලා නොමැති වීමය. දොස්තරලා තව දුරටත් වැඩි කිරීම සමාජයට දරාගත හැකිද යන්න පිලිබදවද ගැටලුවක් ඇත.
    තුන්වන කරුණනම් ජනතාවගේ සෞඛ්යබ පුරුදු යහපත් නොවිමය. මේ නිසා සාමාන්යය යෙන් වැඩි පිරිසක් රෝගි තත්වයන්ට පත්වි ඇත. ජනතාවගේ සෞඛ්ය් පුරුදු යහපත් කිරීමට සෞඛ්යර ක්ෂේත්රි යේ දරණ උත්සහය ප්රනමාණවත් නැත. මෙය සෞඛ්ය්ට අමතරව මහජනයාගේ ආකල්ප දියුණු කිරීමක් දක්වා යා යුතුය (උදා, අපද්රැව්යජ බැහැර කිරීම, පොහොර හා කෘමි නාෂක භාවිතය, ව්යුයාම, ආහාර පුරුදු........)
    දොස්තරලාට ලබාදෙන පර්මිට් 1 පිලිබදව හා ඒ මගින් මහජනතාවට වන පිඩාව ගැනත් කතා කරන පැරා ජනතාව වෙනුවෙන් සෞඛ්යල සිටුවීමට රජය (ආණ්ඩුවද ඇතුලුව) කාර්ය පිලිබදව කිසිවක් නොලියයි.
    අනෙක් අතට දොස්තරලා රූට නින්දක් නැතුව 365 දවසේම සල්ලි හොයමින් මානුෂික ගුණාංග අමතක කර දමමින් සිටින්නේ දොස්තරලාගේම පමණක් වරදකින් නොවේ, දොස්තරලා මෙන්ම කොන්දොස්තරලාද, නිතීඥයෝද, ගුරුවරුද, අනෙකුත් වෘත්තිකයෝද, තමන්ගේ වෘත්ති වලින් හෝ රුකියාවෙන් පසු ත්රීදවිල් හයර් කර හෝ මුදල් හොයති. මේ සමාජය සියල්ලන්ට බල කර සිටින්නේ මුදල් සෙවිමටය, වාහන ගැනීමටය, ණය වීමටය, කාර් ගැනීමටය. ජිවිතය විදීමෙන් මිනිසුන්ව ඇත්කර ඇත්තේ පැරාගේ මධ්යපම පාන්තික රජයන්ය. එම මධ්යදම පාන්තික රජයන් සමගම මිනිසුන්ගේ ජිවිත යහපත් කිරීම සදහා වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් පැරාලාට නැත.

    ReplyDelete
    Replies
    1. ඔව්. අපි ආණ්ඩුවක් පත් කළේ ඒකත් එක්ක වැඩ කර අවම හෝ වෙනස්කම් කරන්න තමයි. ඒකෙ වැරැද්ද මොකක් ද? දැන් උපාලි සම්පත් මට කරන්න ය කියන්නේ වෙන මොකක් ද? උපාලි සම්පත් කරමින් සිටින්නේ කුමක් ද?

      Delete
    2. yes para, Upali is giving a good idea. talk about.. do not get angry as "baiyya", ppl who get angry when asking questions.

      Delete
    3. කරන්නේ මොකක්ද කියල කියන්නේ නැතුව නිකන් යෝජනා අරගෙන ආවට වැඩක් නැහැ. ආණ්ඩුව මේ වගේ යෝජනා ගෙන්නේ ඇයි කියන එක පිලිබදව පැහැදිලි කිරිමක් කරන්න ඕන. පැරා විතරක් නෙමෙයි ඔව වර්ජන කරන මිනිස්සුත් මේ ආණ්ඩුව හදන්න බර ඇද්ද?
      පැරා කියන්නේ දෝස්තරලගේ වරප්‍රසාද අඩුකරේ සෞඛ්‍ය දියුණු කරන්නද? සෞඛ්‍ය දියුණු කරන්න තියෙන යොජනා මොනවද? ඇයි අපිට සෞඛ්‍ය දියුණු කරන්න මේ වගේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න කියල ආණ්ඩුවට කියන් බැරි
      විධායක නිලධාරින්ගේ බලපත්‍ර කැපුවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නද? රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න මොනවද කරන්න ඔන කියල සාකච්ජා කරල යොජනාවලියක් අපිට ඉදිරිපත් කරන්න බැරිද?
      එතකොට මන්ත්රීරලගේ වරප්‍රසාද වැඩිකරන්නේ සංවර්ධනය වැඩි කරන්නද?
      ඇයි ආණ්ඩුවට රජයේ සේවයේ විශාම වැටුප වෙනස් කරන විදිහ පිලිබදව ජනතාව සමග කතා කරන්න බැරි මොනව හරි හන්ගන දෙයක් තියෙනව කියල දැනෙනව මේ වැඩ කරන විදිහෙන්.

      ආණ්ඩුවට කඩේ ගිහිල්ල ආණ්ඩුවට විරුද්ධ ඔක්කොටම අම්ම මුත්ත මතක් කරල බැන්නට ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ආණ්ඩුව චන්දය ගන්න කොට ඔය දෙවල් කියුව නැති නිසා මුලින් කතා කරල ඊට පස්සේ යොජනා ගෙන්න ඕන. යොජනා කිසි දෙයක් කියන්නේ නැතුව හොරෙන් කරාම හොද වුනත් වැඩක් නැහැ

      Delete
  4. // අතීතයේදී බැංකු තිබුණේ අතළොස්සක් නිසා හා ඒවා ද රජයට අයත් ඒවා වූ නිසා ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලැබිණි. //

    ඉතිහාසයද ප්‍රබන්ද කතා කරුවන් ගේ ග්‍රහනයට ලක් වූ යුගයක්......

    ReplyDelete
    Replies
    1. This is perfect truth. Each and every fact Para highlights is easily visible in our society. Even bank peons own big houses in cities. They do it investing money through low interest loans. Even though looking silly and naive, these people are proud of their money. It's ok. This is a class very destructive to social growth. Even peons look down upon teachers like fools who never went to school. They behavior is exxtremely disgusting.

      Delete
    2. This is perfect truth. Each and every fact Para highlights is easily visible in our society. Even bank peons own big houses in cities. They do it investing money through low interest loans. Even though looking silly and naive, these people are proud of their money. It's ok. This is a class very destructive to social growth. Even peons look down upon teachers like fools who never went to school. They behavior is exxtremely disgusting.

      Delete
    3. 77ට පෙර පෞද්ගලික බැංකු තිබුණේ කොළඹ හා ප්‍රධාන නගර දෙක තුනක විතරයි. ඒ නිසා ඒක ප්‍රබන්ධයක් නෙමෙයි.

      Delete
  5. මෙම කාරණය සම්බන්ධයෙන් මා සිටි පරිභෝජනවාදී යයි කිව හැකි ස්ථාවරය වෙනස් වූයේ පැරාගේ අධ්‍යයනය කිරීමෙන් සහ මිතුරන් සමඟ ඒ ගැන සාකච්ඡා කිරීමෙන්.

    ReplyDelete
  6. වෘත්තිකයන් පන්ති බවට පත් වීමට උත්සාහ කරන බව පෙනෙන්නේ සමාජ පන්ති ගැන ඉගැන්වෙන දෘෂ්ටිවාදයක් අධ්‍යයනය කර ඇති අයට පමණයි. අනිත් අයට පෙනෙන්නේ “ඔවුන් ඉතා ශක්තිමත් ලෙස එකමුතු වී“ සිටින බවක්.

    කෙසේ වෙතත්, වර්තමාන ආණ්ඩුවේ ඇතැම් තීරණ වලට එරෙහිව සටන් වැදීමට මොනම හෝ වෘත්තිකයකුට ඇති අයිතිය අනුලංඝනීයයි. ඔවුන්ගේ “පන්ති සටන“ එයට අදාළ කරගත යුතු නෑ. වෛද්‍යවරුන් හෝ බැංකු සේවකයන් මහජනතාව සූරා කන තවත් කණ්ඩායම් දෙකක් වූ පමණින් ඔවුන්ගේ සියළු අරගල හෙළා නොදැකිය යුතුයි.

    මගේ මතයනම්, වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ මැන්ඩේට් එක වූ යහපාලනය වෙතින් ඈත් වන පියවරක් පාසා කම්කරු පීඩිත ජනතාව උද්ෂෝෂණය කළ යුතුයි. සටන් වැදිය යුතුයි.

    ReplyDelete
  7. බඩගොස්තරවාදී බැංකු සේවක අරගලය පන්ති සටනේ ආරම්භය යැයි කියන මහත්වරු කරුණාකර පහත ප්‍රශ්න වලට පිළිතුරු මෙනෙහි කර බලන්න.
    1. රාජ්‍ය බැංකු වලට දේශපාලන බලය යොදා ප්‍රධාන ව්‍යාපාරිකයන් ණය ගන්නා විටත් ඒ ණය බොල් ණය ලෙස සලකා කපා හරින විටත් බැංකු වෘත්තීය සමිති කළේ මොනවාද?
    2. රාජ්‍ය බැංකු වල මුදල් ආණ්ඩුවෙ වියදම සදහා මැනිපියුලේට් කරන විට බැංකු වෘත්තීය සමිති දැක්වූ විරෝධය කුමක්ද?
    3. විදෙස් බැංකුවකින් රාජපක්ෂ රෙජීමය ණය ගන්නට උත්සාහ කළ විට ඊට ඇප වෙන්නයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවට කී කළ එය බැංකුවේ පැවැත්මට අහිතකර යැයි කියා ඉල්ලීම ප්‍රතික්ශේප කළ විටත් අවසානයේ බැංකු සභාපතිවරයා ඉල්ලා අස්වී ගෙදර යනවිටත් බැංකු වෘත්තීය සමිති කළේ කුමක්ද?
    4. නාමල් බේබිගේ අවශ්‍යතාවට රැකියාදීමේ තැනක් ලෙස මහජන බැංකුව යොදා ගන්නා විට එයට එරෙහි වූ බැංකු සභාපතිවරයාට ගෙදර යන්නට වූ විට බැංකු වෘත්තීය සමිති කළේ මොනවාද?
    5. ආණ්ඩුවේ වියදම පියවා ගන්නට සියළු රාජ්‍ය මූල්‍ය ආයතනයන්හි මුදල් හවසට ගෙන නැවත උදේ පාන්දරම පියවමින් පී බී ජයසුන්දර මනි රෝල් කරන විට බැංකු වෘත්තීය සමිති කළේ මොනවාද?
    6. බැංකුවල ප්‍රධාන කාර්යය ආයෝජනය වුවත් එසේ නොකර රජයට ණය දීම, ලීසිං හා උකස් පහසුකම් දීම ආදී ක්ෂේත්‍රයන්හි මුදල් හිර කරන විට වගකිව යුතු බැංකු වෘත්තීය සමිති විදිහට කළේ මොනවාද?
    උපුටනය - පිලිප් ශාන්ත සහෝදරයා

    ReplyDelete
  8. ඔබ සඳහන් කරන සේවක සංගම් වල, පිහිටුවීමේ අරමුණු වල හෝ එහි න්‍යාය පත්‍රයේ , ආයතනයේ දියුණුව සඳහා ධනාත්මක යෝජනා ඉදිරිපත් කිරීම , ඇතුලත් ව ඇත්දැයි නොදනිමි. කොළයේ එසේ ලියා තිබුනත් එවැන්නක්‌ කළ බවට මතකයක් නම් නැත . මේවයේ මුලිකම සහ එකම අරමුණ සේවක සුබසාධනය ලෙස සැලකුවද , ක්‍රියාවෙන් නම් මට පෙනෙන්නේ එය නායකාදීන්ගේ ඇජෙන්ඩාවට සාමාජිකත්වය පෙළ ගැස්වීමක් ලෙස පමණි .

    අනෙක් අතට ලංකාවේ බැංකු ක්ෂේත්‍රය , තග උපරිමයෙන් ඇති අංශයකි . තමන්ට ඕනෑ පමණින් සේවා සැපයීමේ ගාස්තු අය කර ගැනීමේ සිට , ඔබ සඳහන් කළ බොල් ණය පිළිබඳ තත්වයන් දක්වා එය දිගු වේ . නිසි නියාමනයක් නැති වීම ඊට මුලික හේතුවකි.

    ReplyDelete
  9. //දෙසැම්බර් 15දා බැංකුකරුවන් කළ වර්ජනය වනාහි අතිශය ප්‍රතිගාමී එකකි. එයට හේතු මොනවා ද? ඒවා වනාහි රාජ්‍ය ආර්ථික ප්‍ර‍තිපත්තිවලට එරෙහිව කළ වෘත්තීය සටනකි. වර්ජනයට පෙර ඒ පිළිබඳ රජය සමග සාකච්ඡා කර විසඳා ගන්නට ඔවුන් උත්සාහ කළා ද? නැත. //

    මේක කරුනක් විදිහට වැරදියි නේද? වර්ජනයට පෙර ආන්ඩුව සමග සාකච්ඡා වට දෙකක් පවත්වා තිබුනා. සෙසු වෘත්තීය සමිති වර්ජනය අත් හැරියේ දෙවන සාකච්ඡාවෙන් පසු. ඔබේ විග්‍රහය සමග එකග නැහැ. කොහොම නමුත් කරන විග්‍රහයට නිවැරදි කරුනු පදනම් කරගත යුතුයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.