2015-12-21

කන්නන්ගරට පිස්සු ද? හැටි ද?

මේ ලිපිය සමග තිබෙන වීඩියෝවේ කතා කරන විදර්ශන කන්නන්ගර සහෝදරයා මම තේරුම් ගන්නේ මේ මොහොතේ ලංකාවේ වාම දේශපාලනයේ ආධිපත්‍යය පිහිටුවන්නට උත්සාහ කරන කණ්ඩායම් කීපය අතර සිටින එක් නායකයෙක්. මට තේරෙන විධියට ඔහු මේ මොහොතේ උත්සාහ කරමින් සිටින්නේ වාම දේශපාලනයේ සංස්කෘතික අවකාශයේ ආධිපත්‍යය පිහිටුවීම වගේ වැඩක. මට තේරෙන විධියට වාම දේශපාලනයේ බුද්ධිමය නායකත්වය පිහිටුවීම වගේ වැඩක යෙදී සිටින සුමිත් චාමින්ද මහතා සමග සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග මොහු ප්‍රේමයෙන් වෙළී සිටින බවක් පෙනෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මට තේරෙන විදියට උත්සාහ කරමින් සිටින්නේ වාම දේශපාලනයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අත්පත් කරගෙන සිටි රැඩිකල් අවකාශය තුළ ස්ථානගත වන්නටයි.

මේක ඉතා පැහැදිලි බල ව්‍යාපෘතියක්. මේ බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉතා දුර්වල ස්ථානයකින්. ආර්ථික වශයෙන් දුර්වල, දේශපාලනික වශයෙන් ජනප්‍රිය නැති, සමාජ ප්‍රාග්ධනය දුර්වල තැනකින් තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්න වෙන්නේ. ඔවුන් දැනට සිටින තැන මේ වැසිකිලියෙන් නිරූපණය වෙනවා. බාල චීන ටයිල් හා කණ්ණාඩියක් අල්ලපු, කැත වර්ණ ගාපු මේ අවලස්සන වැසිකිළියේ කොමඩ් සීට් එකත් කැඩිලා. මෙහි මළ පහ කිරීමට මොහු වාඩි වනවා ඇත්තේ නිකම් ම කොමඩ් එක උඩ. නැතිනම්, ඔහු මළ පහ කරන්නට උවමනාව තිබුණත් මෙහි එය නො කර තද කරගෙන ගෙදර යනවා ඇති. මේක බොහෝ විට මෙවැනි වාම කණ්ඩායමක් සිය කාර්යාලය, සාමූහික නවාතැන, මූල කඳවුර විදියට පාවිච්චි කරන තැන වෙන්න ඇති. මම මේ වගේ වාම කණ්ඩායම් එක්ක වැඩ කර ලබා තිබෙන සාමාන්‍ය අත්දැකීම වන්නේ මේ කාර්යාල නඩත්තු කරන්නට හරි අමාරුයි. කොයි තරම් විනයගත කරන්නට උත්සාහ කළත්, වාමාංශික සහෝදරවරුන් තුළ පොදු දේපල ගැන සුබවාදී අදහස් ඇති කරන එක හරි අමාරුයි. ඒක ගැන වෙන ම පසුව කතා කරමු.

දැන් මේ අය සිටින මේ දුෂ්කර තත්වය තුළ ඔවුන්ට ඉදිරියට යාමට අවශ්‍ය සාධක කීපයක් තියෙනවා. එකක් තමයි, ඔවුන්ට සතුරන්, තරගකරුවන් අවශ්‍යයි. ඔවුන් කියන්නේ ඔවුන්ගේ සතුරා ධනපති ක්‍රමය කියලා වෙන්න පුළුවන්. සමහර විට, ධනපති ආණ්ඩුව, යූඇන්පිය තමන්ගේ සතුරා ය කියා කියන්නත් පුළුවන්. එහෙත්, ඒවා ඔවුන්ට ලොකු වැඩියි. ඒ සතුරන් මොවුන්ව සලකන්නේ අලියාගේ කම්මුලේ වහන මැස්සකුගේ මට්ටමින්. ඒ නිසා තමන්ට ගැලපෙන සතුරෙක් නිර්මානය කර ගත යුතුයි. මෙතැනදී නම් ඔවුන් තෝරාගෙන තිබෙන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාව.

මං හිතන්නේ දීප්ති කුමාර ගුනරත්න සහෝදරයාත් මේ අයගේ තරගකාරයෙක් වෙන්න ඇති. ඔහුගේ දේශපාලනයත් මේ හා සමානයි. ඒ වුණාට මං හිතන්නේ මීට වඩා පරිණතයි. මේ හැම අදහසක් එක්ක ම මම ‘මං හිතන්නේ' කියන කෑල්ල භාවිතා කරන්නේ මේ මගේ නිරීක්ෂණ නිසායි.

හොඳයි, දැන් මේගොල්ලන් සිය බල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට මොනවද කළ යුතුව තිබෙන්නේ? ඔවුන් සෙසු දේශපාලන, සමාජ ක්‍රියාකාරිකයන් අතර තමන් සුවිශේෂ බව පෙන්විය යුතුයි. ඒක කරන්නේ කොහොම ද? 

මේ කාලේ සඳලංකාව පැත්තේ ඉන්නවා එක්තරා ඍෂිවරයෙක්. ඒකා හමුදාකාරයෙක් කියලත් කියනවා. මිනිහා ළඟ කිසියම් අද්භූත බලයකින් ලැබුණු තෙලක් තියනවාලු. දැන් ඔහු ඒක ඩයිලියුට් හෙවත් තනුක කරලා මිනිසුන්ට බෙදනවා. දුප්පත්, අලස, නූගත්, බේබදු, මිථ්‍යා විශ්වාස පිළි ගන්නා, ප්‍රාතිහාර්ය දකින්නට කැමති, විවිධ ප්‍රශ්නවලින් හෙම්බත් වුණ, රෝගී, අසරණ මිනිස්සු බස් හයර් කරගෙන සඳලංකාවේ යනවා. ගිහින් අර ඩයිලියුට් කරපු විශ්ව ශක්තිය ඇඟේ ගාගෙන, සල්ලි දීලා කුප්පිවල දමාගෙන එනවා. 

ලාභය මත දිවෙන ධනේශ්වර ආර්ථික ක්‍රමය තුළ එක් සමාජ කණ්ඩායමක් ආර්ථික වශයෙන් අසරණ වෙනවා. සංස්කෘතික පසුගාමිත්වය, අලසකම, නූගත්කම, බේබදුකම, ආගම, ස්වාභාවික විපත්, ගැටුම් හා රෝගාබාධ වැනි හේතු මත ඔවුන්ගේ අසරණකම තවත් ගැඹුරු වෙනවා. එය කාලකන්නිකමක් වෙනවා. 

සමාජයට විමුක්තිය ලබා දීම සඳහා ඉදිරිපත් වන පිරිස මාකට් කරන්නේ මේ මිනිසුන්ගේ දුකයි. ඔවුන් අසරණකමින් මුදා ගැනීම සඳහා විප්ලවය කිරීමට, සමාජවාදය ගොඩනැගීමට තමන්ට බලය දෙන ලෙස කරන ඉල්ලීම තමයි ඔවුන්ගේ දේශපාලනය. මෙතනදී බලය දිය යුත්තේ තමන්ට පමණයි යන්නත් ඔවුන් අවධාරණය කරනවා.

ඉතින් අපි ඇයි ඔවුන්ට බලය දිය යුත්තේ? ඒකට ඔවුන්ගේ පිළිතුර මේකයි. “අපි අවංකයි. අපි ඇත්තට ම දිළින්දන්ට ආදරෙයි. අපි ධනපති පංතියත් එක්ක තරහ ම තරහයි. කොච්චර තරහද කියනවා නම් අපි මළත් යාලු වෙන්නෙ නැහැ. අපට උන් පෙන්නන්න බැහැ යකෝ! ධනවාදය මතක් වෙනකොටත් අපේ ඇඟේ මයිල් කෙළින් වෙනවා. ඊළඟට අපි කළ යුතු දේ හරියට ම දන්නවා. අපි ඒ ගැන පොත් ගොඩක් කියවලා තියෙනවා. දැනටත් හදාරනවා. අපට බලය දෙන්න. අපි කරලා පෙන්වනවා. තේරුණා ද?"  

සඳලංකාවේ හමුදාකාරයා ළඟට යන සමාජ තීරය ම මේ අය ළඟටත් එනවා. සමහරු සඳලංකාවෙන් පස්සෙ වෙන කොහේ හරි බොහෝ විට වයඹ පළාතේ ගමක ප්‍රාතිහාර්යකරුවෙකු ළඟටත් යනවා. නැතිනම් එහෙම යන එක සම්පූර්ණයෙන් ම නවත්තලා විප්ලවවාදී දේශපාලනයක් කරනවා. 

ධනවාදය කොයි තරම් නරකයි කිව්වත්, විකුණන්නට ශ්‍රමය විතරක් නෙමෙයි මොළය හා සුබවාදී ආකල්ප තියෙන කම්කරුවෙකුට බුද්ධිමත් ලෙස කටයුතු කළොත්, කාටවත් ගේම් නො ගසා, සතුටින් ජීවත් වෙන්නට බැරි නැහැ. මගෙත් එක්ක කතාබහට සෙට් වුණ රැඩිකල්වාදීන්ට මං කියලා තියෙනවා ඕනැ නම් මාව කේස් ස්ටඩි එකක් ලෙස හදාරලා බලන ලෙස. මං එහෙම කම්කරුවෙක්. මගේ ජීවිතේ මං මුහුණ දුන් ඇතැම් තත්වයන් අතිශය භයානකයි. මං අවුරුදු විසි හතරෙදි මරණය ළඟට ම ගිහින් ආපහු බිංදුවෙන් ජීවිතේ පටන් ගත් කෙනෙක්. මහින්ද රාජපක්ෂගේ කාලෙ නැවත සියල්ල දමා ගහලා රටින් පිටවෙන්න සිදු වුණ කෙනෙක්. ඒත් සංස්කෘතික පසුගාමිත්වය, අලසකම, නූගත්කම, බේබදුකම, ආගම වැනි හේතු මත මගේ අසරණකම තවත් ගැඹුරු වෙලා එය කාලකන්නිකමක් වුණේ නැහැ. 

ඒ නිසා, මං කියන කම්කරුවාට සඳලංකාවට හෝ විදර්ශන කන්නන්ගර ළඟට නො ගිහින් පවතින්නට පුළුවන්. එතකොට මං වැරදි ද? 

මට පෞද්ගලිකව සල්ලි ගොඩක් ඕනැ නැහැ. හැබැයි මට සමාජ සුරක්ෂිතභාවයක් අවශ්‍යයි. මගෙත් එක්ක කතා කරන ඇතැම් දීප්තිවාදීන් අහනවා උඹේ ඉන්දියන් කාර් එකේ එයා බෑග් නැහැ නේ ද කියලා. මට තිබෙන ලොකු ම ප්‍රශ්නය ඒක නෙමෙයි. ඒකෙ ක්ලච් එක තියෙන එක. මේ දවස්වල මං මගේ කම්කරු බිරිඳට මේ ක්ලච් එක පුරුදු කරන්න දරන මහන්සිය මමයි දන්නෙ. එයා බෑග් ප්‍රශ්නෙත් ප්‍රශ්නයක් තමයි. ඒත්, දැනට අපේ බුද්ධිමත් කම්කරු පංතිය පොදුවෙ ම ඉන්නෙ ඇල්ටො මට්ටමේ. කලින් අපි හිටියෙ හන්ඩ්‍රඩ් බයික් මට්ටමේ නේ. දැන් අපි ඊට වඩා දියුණුයි. ඉස්සරහට බලමුකෝ.

බුද්ධිමත් කම්කරුවෙක් විදියට මට අවශ්‍ය තවත් බොහෝ දේ තිබෙනවා. මං ඉන්නෙ ගමක. වැඩ කරන්නෙ කොළඹ. දිනපතා උදේ හවස යන එන කෝච්චියේ, බස් එකේ සෙනග. පාරෙ ට්‍රැෆික්. හවසට වැඩ ඇරිලා ඔය විදර්ශනලා වගේ අය සංවිධානය කරන සාහිත්‍ය මධු සාදයකට එහෙම සහභාගි වෙලා ගෙදර යන්න විදියක් නැහැ. බස් නැහැ. අපේ ගමේ තියෙන්නෙ එක චිත්‍රපටි හෝල් එකයි. නාට්‍යවල ටිකට් මිළ අධිකයි. හෝල්වල පහසුකම් අවමයි. හොඳ පොත් කඩයක් නැහැ. මහජන පිට්ටනියෙ පහසුකම් මදි. ඉස්කෝලවල පංති කාමර තදබදයි. ගුරුවරු ළමයි ටියුෂන් පංතියට ආවෙ නැතිනම් පළි ගන්නවා. රජයෙ සේවකයෝ අපිව හූරා කනවා. අපි එච්චර රෝහල් ගානෙ යන අය නෙමෙයි. ඒ වුණාට ඒවායේ සේවය අන්තිම සවුත්තු බව දන්නවා. මේ දවස්වල එළවළු ග්‍රෑම් 250 රුපියල් පනහට අඩුවෙන් ලැබෙන්නෙ වට්ටක්කා විතරයි. අමු මිරිස් ග්‍රෑම් 100 රු. 90යි. පලතුරු මාර ගණන්. පොළේ වෙළඳං කරන පීඩිත පංතියේ සහෝදරයෙක් ගිය සුමානේ කොමඩු ගෙඩියකට මගේ බිරිඳව ඇන්දුවා. ඒක මදේ සුදු පාට හද්දා ගැටයක්. දේශපාලකයන්ව නම් මට ඒ තරම් දැනෙන්නෙ නැහැ. උන් අපේ ජීවිතවලට ඍජුව සම්බන්ධ නැහැ. හැබැයි, පහුගිය කාලෙ මහින්ද රාජපක්ෂ අපේ සිතුවිලි නිසා අපේ ජීවිතයට තර්ජනය කළා. ඒ නිසා අපි විශාල බරක් යොදා, මහන්සි වෙලා ඒ මළ කරදරය අයින් කළා. මං හිතන්නෙ මහින්ද ඉඳපු කාලෙ විදර්ශනලාගේ කටේ මෙච්චර සද්දෙ තිබුණෙ නැහැ. 

අපට කම්කරුවන් ලෙස තිබෙන ප්‍ර‍ශ්න අතරින් එකක් තමයි බලය පිළිබඳ ප්‍රශ්නය. ඒත්, ඒ වෙනුවෙන් උතුරු කොරියාවේ ආණ්ඩුව වගේ එකක් අත්හදා බැලීමේ උවමනාවක් අපට නැහැ. කම්කරුවන්ට තිබෙන්නේ ආර්ථික ප්‍ර‍ශ්නයක් විතරක් නෙමෙයි. ආර්ථික ප්‍ර‍ශ්නය විසඳා ගන්න අපි දැන් අත්පත් කරගෙන තියෙන දේ අහිමි කර ගන්නත් කම්කරුවෝ සූදානම් නැහැ. 

දැන් මේ මං කියන කම්කරුවා විදර්ශනලාට අවුල්. ඇයි මං බ්ලොග් ලියනවා නේ. විදර්ශනලාව ප්‍රශ්න කරනවා නේ. සුමිත් චාමින්ද, නිර්මාල් රංජිත් දේවසිරි වගේ පඬිවරු අපව හඳුන්වන්නේ මෝඩයන්, පොත් නො කියවන්නන් විදියට. ඒ‍ නිසා ඒ අය මේ ලිපිය කියවන්නට එන්නෙ රතු පෑන කණේ ගහගෙන. හරි, වැරදි දාන්න, යටින් ඉරි ගහන්න. ඒකත් එක්තරා ලෙඩක් තමයි. මං නම් හිතන්නේ පොත් කියවනවා ය කියා ඕනෑවට වඩා අනෙක් අයට පෙන්වන්නට උත්සාහ කරන අය කියන්නේ මානසික රෝගීන් පිරිසක්. කවුරුහරි තමන් හුස්ම ගන්නවා ය කියලා ආඩම්බරෙන් ප්‍රචාරය කරනවා නම් ඒ පට්ට පිස්සෙක්. හැබැයි, තමන් ව්‍යායාම කරනවා ය කියා ප්‍රචාරය කරන එකාත් පිස්සෙක්. තමන් පොත් කියවනවා ය කියා උජාරුවෙන් කියන එවුන් ඉන්නෙ ඔය දෙවෙනුව කී මට්ටමේ.

මේ පොත ගැන කියන්නේ මං මේක කියවපු බව ගැන කියන්න නෙමෙයි. ඔබ එය කියවිය යුතු බව කියන්නයි. පොතේ නම ‘බෝල්ෂෙවික්වාදය න්‍යාය හා භාවිතය'. කර්තෘ බර්ට්‍රන්ඩ් රසල්, පරිවර්තනය කළේ නිශාන්ත කුලරත්න සහෝදරයා. රාවය ප්‍රකාශනයක්. 


දැන් මේ වීඩියෝ එකේ විදර්ශන කියන්නෙ මේකනේ. අපි විප්ලවේ පටන් ගත්තා ම නිර්මාල්, බලන් ඉඳපල්ලා, තොපිට තමයි ඉස්සෙල්ල ම වැඩේ දෙන්නෙ කියන එකනේ. ඇයි ඒ? ගොඩනැගෙමින් තිබුණා ය කියන විමුක්ති දේශපාලනයකට නිර්මාල් අඩ තිබ්බලු. කොහොම ද? රාජපක්ෂ ආණ්ඩුව පෙරළලා. ඒ කියන්නෙ, විමුක්ති දේශපාලනයට නැගිටින්නට නම් මහින්ද බලයේ සිටිය යුතුව තිබුණා. නිර්මාල් කළ යුතුව තිබුණෙ ඒක පෙරළන්න උදව් කරන එක නෙමෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කෙළින් කරන එක.  

විදර්ශන කන්නන්ගරට පිස්සු ද, නැතිනම් ඒ එයාගෙ හැටි ද කියා තේරුම් ගන්නට ආලෝක ධාරාවක් ‘බෝල්ෂෙවික්වාදය න්‍යාය හා භාවිතය' කියන පොතෙන් යොමු කර ගන්නට පුළුවන්. ජවිපෙ සිට පෙසප, දීප්ති, විදර්ශන ආදීන් හරහා සමස්ත පෙරටුගාමී මාක්ස්වාදී දේශපාලනය ම තේරුම් ගැනීම සඳහා සිතිවිලිවලට ආහාරයක් එහි තිබෙනවා. 

විදර්ශන කන්නන්ගර සහෝදරයා මාතෘකාව දැකලා කේන්ති ගත්තා නම් තරහ නිවාගෙන ආපහු හිතන්න. මාතෘකා හා ලිපිවල ශෛලිය එක්ක සුමිත් චාමින්ද වගේ පෞද්ගලිකව තරහා වෙන්න එපා. ෆේස්බුක් මිතුරු ලැයිස්තුවෙන් අන්ෆ්‍රෙන්ඩ් කරන්න කලබල වෙන්නත් එපා. ධනේශ්වර මාධ්‍ය ලෝකයක් ඇතුළේ බ්ලොග්කරුවන් ලෙස සිට ගන්නට අප කරන අරගලය ගැනත් ද්විඝටනාත්මකව විග්‍රහ කරගෙන සංවාදය කරගෙන යමු. 


නිශාන්ත කුලරත්න 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

11 comments:

  1. වසර 1970 දී පැවති මහ ඡන්දයේ දී ජවිපෙට අවශ්‍ය වූනේ ඩඩ්ලි ගේ හත් හවුල් ආණ්ඩුව බලයේ තබා ගන්නද, නැතිනම්, සිරිමා-ඇන්ඇම්-කේනමන් තුන් හවුල් සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත් කරන්නද?

    ReplyDelete
  2. “ධනවාදය කොයි තරම් නරකයි කිව්වත්, විකුණන්නට ශ්‍රමය විතරක් නෙමෙයි මොළය හා සුබවාදී ආකල්ප තියෙන කම්කරුවෙකුට බුද්ධිමත් ලෙස කටයුතු කළොත්, කාටවත් ගේම් නො ගසා, සතුටින් ජීවත් වෙන්නට බැරි නැහැ. මගෙත් එක්ක කතාබහට සෙට් වුණ රැඩිකල්වාදීන්ට මං කියලා තියෙනවා ඕනැ නම් මාව කේස් ස්ටඩි එකක් ලෙස හදාරලා බලන ලෙස. මං එහෙම කම්කරුවෙක්. මගේ ජීවිතේ මං මුහුණ දුන් ඇතැම් තත්වයන් අතිශය භයානකයි. මං අවුරුදු විසි හතරෙදි මරණය ළඟට ම ගිහින් ආපහු බිංදුවෙන් ජීවිතේ පටන් ගත් කෙනෙක්. මහින්ද රාජපක්ෂගේ කාලෙ නැවත සියල්ල දමා ගහලා රටින් පිටවෙන්න සිදු වුණ කෙනෙක්. ඒත් සංස්කෘතික පසුගාමිත්වය, අලසකම, නූගත්කම, බේබදුකම, ආගම වැනි හේතු මත මගේ අසරණකම තවත් ගැඹුරු වෙලා එය කාලකන්නිකමක් වුණේ නැහැ.

    ඒ නිසා, මං කියන කම්කරුවාට සඳලංකාවට හෝ විදර්ශන කන්නන්ගර ළඟට නො ගිහින් පවතින්නට පුළුවන්. එතකොට මං වැරදි ද? ”

    මට හිතෙන ආකාරයට මෙහි අදහස වෙන්නේ මෙහෙම එකක්: ධනවාදය ඔය කියන තරම් නරක නැහැ. ඒක තුල ඉතාම දුගී කම්කරුවෙක්ට උනත් හොඳින් ජීවත් වන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ සංස්කෘතික පසුගාමිත්වය, අලසකම, නූගත්කම, බේබදුකම, ආගම වගේ අගතීන් ගෙන් ගැලවිලා බුද්ධිමත්ව කටයුතු කරන එක. ඒ නිසා ඇත්තටම ධනවාදය වෙනස් කරන්න අපි මහන්සි වෙන්න ඕන නැහැ.

    ඇත්තටම අපි ජීවත් වෙන සමාජය මෙච්චර සරලද?

    ReplyDelete
    Replies
    1. ධනවාදය සම්බන්ධයෙන් මා කියූ අදහස නිගමනයක් නෙමෙයි. එය හුදෙක් ම
      නිරීක්ෂණයක් පමණයි. එය වැරදි වෙන්නට හේතු සාධක වැඩිපුර තිබෙන්නේ සම්පත් බෙදී යාමේ විෂමතාවටත් වඩා අධි පරිභෝජනය තුළ කියලායි මට හිතෙන්නේ. විෂමතා තිබුණත් කාන්දු වීමත් තිබෙන නිසා, අවසානයේදී සම්පත් සංසරණයක් අඩු පාඩු සහිතව හෝ සිදු වෙනවා. එහෙත්, ඇතැම් පාරිභෝජනවාදී අතිධාවනකාරිත්වයන් ආපසු හරවන්න බැහැ.

      අපි ධනවාදයට වඩා හොඳ සමාජ ක්‍ර‍මයක් වෙනුවෙන් අරගල කළ යුතු බව මම අනිවාර්යයෙන් පිළිගන්නවා. ඒත්, එසේ කළ යුත්තේ මේ ගතානුගතික මාක්ස්වාදීන් ඉදිරිපත් කරන සමාජවාදයේ පරිකල්පනය මත නම් නොවෙයි.

      සමාජවාදය කුමක්ද යන්න ගැන තිබෙන්නේ සංවාදයක් මිසක් නිගමන නොවෙයි. සමාජවාදය ජනතාව විසින් ගොඩනගා ගත යුතු දෙයක් මිස පොත පතින් ඉදිරිපත් කරනු ලබන විග්‍ර‍හයක් පිටපත් කිරීම නොවෙයි.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  4. ඔයා කේස්ටඩි කරන්න ගැලපෙන කම්කරුවෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. වරාය කම්කරුවකුගේ මූලික වැටුප කීයද කියලා හොයලා බලන්න. මේසන් බාස් කෙනෙක් වැඩ කරන දිනකදී පහසුවෙන් රු. 2500ක් හොයනවා. ඒ කියන්නෙ මාසික වැටුප රු. 50,000කට වැඩියි. මං ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගියේ වසර 22ක සේවයකට පසුව. මූලික වැටුප 18,000ක් විතරයි.

      කාන්තාවන්ට වෙනස්කම් තිබෙනවා. දක්ෂතා අනුව වෙනස්කම් තිබෙනවා. ඒ වගේ ම, ශාරීරික ශ්‍ර‍මිකයන්ගේ විශාල හිඟයක් තිබෙනවා. ඔවුන්ට කේවෙල් කිරීමේ හැකියාවක් නිර්මානය වී තිබෙනවා.

      මං කියන්නේ තත්වයන් වෙනස් බවයි. ඒ නිසා මේ කාරණා ගැන හිතන්න ඕනැ ආකාරයත් වෙනස්.

      Delete
  5. ඒ සතුරන් මොවුන්ව සලකන්නේ අලියාගේ කම්මුලේ වහන මැස්සකුගේ මට්ටමින්.
    This is the gist. If they are not able to pose a viable threat, they will have to live their dream for the rest of their lives.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලෝකේ වෙනස් වෙනව, නිශ්පාදන ක්‍ර‍ම වෙනස් වෙනව, නිවැරදිව කිව්වොත් දියුණු වෙනව. ඒත් විප්ලවවාදින්ට විතරක් දියුණු වෙන්න අමතක වෙලා. එයාල තාම උත්සහ කරන්නේ 19 සියවසේ තිබ්බ පසුගාමී ආර්ථික ක්‍ර‍මයක් විනාසකරල අළුත් එකක් හදන්න,එයාල නොදන්නේ විනාශ කරන්න හිතන් ඉන්න එක වෙනස් වෙලා දශක බර ගණනාවක් සහ එයාල හදන්න හිතා ඉන්න එක පේල් කියල හොයාගනත් සියවස් භාගයක් විතර ගිහිල්ලා කියන එකයි.

      කාලෙකට ඉස්සර ඔය වගේ අවුලක් වෙලා තිබ්බා පිලිපීනේ පැත්තේ, ලෝක 2 යුද්දේ කැලේට පසුබැස්ස ජපන් සෙබළු වගේ කින් ඉතිරි වෙච්ච එකෙක් මහ කළබැගැනියක් කලා කියලා ජපානේ අවුරුදු ගණනකට පෙර යටත් වූ බව නොදැන, අන්තිමට පරණ ජපන් මුලාදෑනියෙකුට පරණ යුනිෆෝම් අන්දල ගෙනත් අරුට යටත් වෙන්න නියෝග කලාලුනේ,

      ඒ වගේ ඔය ලෙනින්ට හරි මාක්ස් ට සිවුරක් අන්දලා ගෙනත් උන්දෑ ලවා අපේ වාමාංසිකයන්ට බනක් කියෙව්වොත් වත් හරියාද මංදා, ඔය ලෙනින්ල, මාඕල කරවල කරල තියා ඉන්නේ ඇයි කියන එක මට හරියටම අවබෝධ වුනේ අදයි.

      Delete
  7. පැරා,

    ඊයේ විවේක දවසේ මට නැරබීමට හැකිවුනා https://www.youtube.com/watch?v=ZdCNGkZoIZw
    මාර්කස් වාදී මහාචාර්ය Richard D. Wolff ගේ සංවාදයකට.

    ඔහු ඉතාවැදගත් තොරතුරු කීපයක් අනාවරණය කරනවා එනම් ඇමරිකාවේ රොනල්ඩ් රේගන් ජනාධිපති වීමට පෙර තිබු බදු ප්‍රතිපත්තිය හිමිහිට දියකර හැරී ආකාරයත් රොනල්ඩ් රේගන් ජනාධිපති වීමට පෙර රටේ සියලු ජනතාවගේ ආර්ථියකය සහ අධද්‍යාපනය දියුණු වූ ආකාරයත්, රොනල්ඩ් රේගන් පැමිණීමෙන් පසු රටේ කෝටිපති සමාගම් වලට රටේ ආදායම යාමත් මද්යම පන්තිය දිලිදු වීමත් යන කාරණායි.

    ඇත්තෙන්ම පැරා අද පවතින තොරතුරු තක්ෂණය යොදා වැඩිම සහ අඩුම ආදායම ලබන මිනිසුන් සහ ආදායම සාදාරනවා බෙදාහැරිම පිළිබද තීරණ ගැනීම වඩා පහසු වෙනවා. Keynesian ආර්ථික විද්‍යාත්මක ඉගැන්වීමෙන් වෙළදපොල ක්‍රමයේ ඇති දුර්වලතා මගහැර හත හැකි ආකාර පෙන්වා දෙනවා මෙම විදික්ක්රම වෙන කිසිම කාලයකටත් වැඩිය නිවැරදිව යොදාගත හැකි යුගයකයි අප සිටින්නේ, කල යුත්තේ ආදායම සාධාරණ ව බෙදෙන ත්තෙයක් (මෙය ආධායම සමව බෙදෙන ත්තෙයක් නෙමෙයි ) වැඩි මහන්සියක් ගන්නා පුද්ද්ගලයාට වැඩි ප්‍රතිලාභයක් ලැබිය යුතුයි.

    ඇත්තටම මෙවැනි අය ඉදිරිපත් කරන ක්‍රම විධි ඉතා දියුණුයි. අපේ රටේ සිටින මෝඩ මාක්ස් වාදීන් සමග සසදන විට අහසට පොලව මෙන් වෙනසකුයි ඇත්තේ.

    අදට ගැලපෙන අපුරු අදහසක් මෙහිදී ඇතිවෙනවා එනම් ප්‍රශ්නයක් අහනවා අද ඇමරිකාවේ මිනිසුන් විශ්‍රාම වැටුප ගැන කිසිත් නොදන්නා තරමට පත්වී ඇති බව අද ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින්නේ ඇමරිකාවේ දැනට වසර 20 ට පෙර සිදුවූ ප්‍රතිසංස්කරණයි ඇමරිකාවේ පෝසත් සමජයටත් මෙය දරාගත නොහැකි වී ඇති අද ශ්‍රිලංකාවේ මෙම ප්‍රතිසන්ස්කරණයන් ඉවක් බවක් නොමැතිව ඇති කලොත් ඉතා අසරණ තත්වයට පත්වෙනු ඇති.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.