2015-03-31

කෝච්චි නැත; වයිෆයි ඇත

අවන්ත ආටිගලගේ අනගි කාටුනයක් 
නොමිළේ වයිෆයි පහසුකම් ලබා දීම ගැන අපේ කිසිම තරහක් නැත.

එහෙත්, අන්තර්ජාලය පාවිච්චි කරන අයට ඒ වෙනුවෙන් භාවිතා කරන උපකරණවලට ගෙවන්නට සිදු වන මිළ සමග සන්සන්දනය කර බැලූ විට තමන් සම්ප්‍රේෂණය කරන දත්ත වෙනුවෙන් ගෙවන්නට සිදු වෙන බිල එතරම් ලොකු එකකැයි මට නම් නො පෙනේ.

මට නම් තේරෙන හැටියට නොමිළේ වයිෆයි දීම නරක දෙයක් නො වුණත්, එතරම් ප්‍රයෝජනවත් දෙයකැයි කිව නො හැකි ය. මේ පහසුකම වැඩිපුර භාවිතා වන්නේ වැල බලන්නට, සමාජ ජාල හරහා ලිංගික පහස වෙනුවෙන් කුමන්ත්‍රණ කරන්නට, නොමිළේ වයිෆයි දුන් ආණ්ඩුවට මඩ ගසමින්, ඒකාධිපති පාලනයක් යළි පිහිටුවා ගන්නට, ඕපාදූප දොඩන්නට, කටකතා පතුරුවන්නට හා කඩාකප්පල්කාරී ක්‍රියාවලට ආදියටයි.

ලංකාවේ ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව හා ප්‍රජාතාන්ත්‍රික දිවි පැවැත්ම සංවර්ධනය කිරීම අතිශය වැදගත් සාධක දෙකකි. ඒ සඳහා ව්‍යාපෘති දියත් කිරීම නිදහස් වයිෆයි තරමට ම හෝ ඊටත් වඩා වැදගත් ය.

මිනිස්සු දුම්රිය ස්ථානයකට හෝ වෙනත් පොදු ස්ථානයකට එන්නේ ගමනක් බිමනක් යාම වැනි නිශ්චිත අරමුණකට ය. වයිෆයි ගන්නට එහි එන පිරිසක් ද බිහි වුණොත් එය අමතර කරදරයක් වන්නට ද පුළුවන.

ඒ නිසා වයිෆයි ගැන උඩ පැනීම නවත්වා දැන් ඉතින් අවධානය යොමු කළ යුත්තේ වෙනත් වැදගත් මහජන සේවාවන් ගැනයි. දුම්රිය නැවතුමේ කෝච්චි වෙලාවට දුවනවාද, ඒවායේ ඉඩ තිබෙනවා ද යන්න ගැනත් ආණ්ඩුව බැලිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මහින්ද උත්සාහ කරමින් සිටින්නේ කුමකට ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් මහින්ද ඉවත් වීමත් සමග එම පක්ෂයට නවීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වීමේ කදිම අවස්ථාවක් උදා විය.

එහෙත්, ශ්‍රීලනිපයට ඒ අවස්ථාව පාවිච්චි කරන්නට බැරි විය. එසේ වන්නට මූලික හේතුව වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශක්තිමත් ලෙස එම කාර්යයට මැදිහත් නො වීමයි. ඔහු සිය හිස මත කඩා වැටුණු පක්ෂ නායකත්වය උපායශීලී ලෙස මෙහෙයවීමට අසමත් වී තිබේ.

ඔහු හමුවේ ඇති අභියෝග සුළුපටු නො වේ. එක පැත්තකින් ජාත්‍යන්තර වශයෙන් බලය තහවුරු කර ගන්නට සිදු වී තිබේ. අනෙක් පැත්තෙන් ජාතික වශයෙන් ද ස්ථාවරත්වය පිළිබඳ අභියෝග තිබේ.

මෛත්‍රීපාලගේ පාලනය නිරායාසයෙන් ම මහින්ද රාජපක්ෂගේ පාලනය සමග සන්සන්දනය වීම වැළැක්විය නො හැකි ය. විශේෂයෙන් ම ශ්‍රීලනිපයත්, පොදුවේ සිංහල දේශපාලන ප්‍රජාවේ සැලකිය යුතු පිරිසකුත් මහින්දගේ දුර්දාන්ත, දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකත්වය ශක්තිමත් පාලනයක් ලෙස සැලකූ හ. එවැනි සමාජයකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් දරා ගැනීමේ ගැටලු තිබේ.

දේශපාලන පළිගැනීම් සිදු නොවන විට ලංකාවේ ජනයා හා ජනමාධ්‍ය එය පාලනයේ දුබලකමක් ලෙස හුවා දක්වන ආකාරය දැකිය හැකි ය. ඇතැම් ජනමාධ්‍ය ප්‍රකාශනයේ නිදහස භාවිතා කරන්නේ වැඩි වැඩියෙන් ජාතිවාදය හා වෛරය පැතිරවීම පිණිස ය.

සොරුන්ට එරෙහිව නීති මාර්ගයෙන් පමණක් කටයුතු කරන විට, දේශපාලන බලය පාවිච්චි කර සාක්ෂි වසන් කළ වංචනිකයෝ 'කෝ අපිව ඇල්ලුවද?' යි අසන්නට තරම් එඩිතර වී සිටිති.

සමාජය සෙමෙන් වෙනස් වෙමින් තිබේ. ඒ වෙනස දරා ගත නො හැකි අය ආණ්ඩුව පෙරළීමට වේගයෙන් වැඩ කරති.

වෙනසක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන බලවේග දැන් ඔලු අවුල් කරගෙන ය. තමන් කළේ කුමක් ද යන්න ඔවුන් මුලින් ම සිහිපත් කර ගත යුතු ය. 2015 ජනවාරි 08දා අප මුල පිරූ වෙනස නිර්මානය කිරීමේ වගකීමෙන් අපට අත්මිදිය නො හැකි ය.

ගතානුගතිකවාදී, ප්‍රතිගාමී ප්‍රතිවිප්ලවය නුගේගොඩින්, නුවරින්, අනුරාධපුරෙන්, රත්නපුරෙන්, කුරුණෑගලින් ඉදිරියට යමින් තිබේ. දූෂිත, දුර්දාන්ත, ඒකාධිපති පවුල් පාලනය යළි පිහිටුවන්නට දරන මෙම උත්සාහය පරාජය කිරීමේ වගකීම අප අත්හළ යුතු නැත.

මහින්ද නැවත බලයට ගෙන ඒමේ ව්‍යාපාරය විසින් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා හමාර ය. මහින්ද උත්සාහ කරමින් සිටින්නේ සිය පුද්ගල බලය තහවුරු කළ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වළක්වා ගැනීමට බව පැහැදිලි ය.

ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ඔහු නිර්මානය කරමින් සිටින අවුල මේ වන විට වෙනස වෙනුවෙන් කැප වූ බලවේග වෙත ද කාන්දු වෙමින් තිබේ. වෙනසෙහි මූලික අභිප්‍රාය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට නො යනයා නො හැකි සිරවීමකට හසු වී තිබේ.

වෙනස වෙනුවෙන් දායක වූ ජවිපෙ, ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය වැනි බලවේග මේ වන විට සෙලවී ඇති බවක් පෙනේ. ඔවුන්ගේ අවධාරණයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවතට යොමු වී තිබේ. එළඹෙන මහ මැතිවරණයේදී සිය බලය තහවුරු කර ගන්නා ආකාරය ඔවුන්ගේ මූලික අවධානය වී ඇති බව පෙනේ.

එහෙත්, මේ රටේ ජනතාවට මහ මැතිවරණයට වඩා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ මූලික අරමුණ කෙරෙහි වහා අවධානය යොමු කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-30

රුපියල් දහයෙ ආප්ප; රුපියල් දහයෙ ප්ලේන්ටි

ආණ්ඩුව ජනතාවට සහන සැලසීමේ අරමුණින් යම් ක්‍රියාමාර්ග ගත්තේ ය. තෙල් හා ගෑස් මිළ අඩු කරන ලදී. ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ ද අඩු කරන්නට පියවර ගන්නා ලදී. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලද අතර, පෞද්ගලික අංශයේ සේවක වැටුප් ද වැඩි කරන ලෙස ඉල්ලා සිටින ලදී.

අඩු කරන ලද බඩු මිළෙහි සහනයන් ජනතාව වෙත ගලා නො යාම පිළිබද ගැටලුවක් දක්නට ලැබිණි. කඩවල බත් පිඟානේ, පාන් ගෙඩියේ, ප්ලේන්ටියේ, ත්‍රිරෝද රථ ගාස්තුවේ අඩු වීමක් දක්නට නො ලැබිණි. ජනතාව මැසිවිලි නගන්නට වූ හ.

ආණ්ඩුව යම් අණ කිරීම් කළේ ය. ප්ලේන්ටිය, ආප්පය රුපියල් දහයට දිය යුතු යයි අණ කිරීම ඉන් එක් ක්‍රියාමාර්ගයකි. එහෙත් මේ වන විට ඒවා විහිළු බවට පත් වී තිබේ.

කඩවල දැන් පාලන මිළට තේ කෝප්ප භාගය විකිණේ. ඇතැම් කඩ හිමියෝ ආප්ප හැදීම නවත්වා ඇත.

සුළු වෙළෙන්දන්ගේ පැත්තෙන් ද කියන කතාවක් තිබේ. කවුරුත් බලන්නේ ලාභ උපරිම කරගන්නට ය. ආප්පයේ, තේ කෝප්පයේ මිළට බලපාන තවත් සාධක රැසක් තිබේ.

ජැකලින්ගේ කෑම සූත්‍ර කඩයේ ආප්පයක මිළ ද රුපියල් දහය කරන්නැයි ආණ්ඩුව කියන්නේ නැත. එහෙම කරන්නට බැරි හේතුව එතන විකුණන ආප්පය යනු පිටි, තෙල්, ආප්ප සෝඩා, ලුණු හා ගෑස් පමණක් නො වන නිසා ය. හන්දියේ කඩේ වුණත් තත්වය එසේම ය.

මෙවැනි ඊනියා මිළ පාලනයන් කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න ආණ්ඩුව දැන්වත් කල්පනා කර බැලිය යුතු ය.

රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ මිළ පාලනය නොව සමස්තයක් ලෙස වෙළඳපොළ නියාමනය කිරීම හා ජනතාවගේ මිළ දී ගැනීමේ ශක්තිය වැඩි දියුණු කිරීමයි.

එහෙත් වත්මන් ආණ්ඩුව වැඩ කරන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ ක්‍රමවේදයටයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ෆුල් ෆේස්; ෆුල් චාටර්

ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහි උද්ඝෝෂණය සංවිධානය වූ ආකාරය වැදගත් ය. එය සමාජ ජාල හරහා සංවිධානය වූ ව්‍යාපාරයකි. සැබෑ මහජන අවශ්‍යතාවක් වෙනුවෙන් සිදු වූ සැබෑ මහජන අරගලයකි. 

උද්ඝෝෂකයන්ට ජෝන් අමරතුංග දැක්වූ ප්‍රතිචාරය ජෝක් ය. 

තර්කය සරළ ය. ෆුල් ෆේස් හෙල්මට් දමාගෙන සොරුන් මංකොල්ලකෑමට එනවා ය කියා හෙල්මට් තහනම් කිරීම වැරදි ය. ඇඟිලි සලකුණු වළක්වා ගන්නට සොරුන් අත් මේස් දැම්මොත් ඒවාත් තහනම් කරනවා ද? 

දේශපාලකයන් සොරකම් කරනවා ය කියා දේශපාලනය තහනම් කරන්නේ නැහැ නේ ද? 

ෆුල් ෆේස් තහනම් කිරීම ආණ්ඩුවේ තවත් ෆුල් චාටර් වැඩකි. ෆුල් ෆේස් තහනම් කළා ය කියා මංකොල්ලකෑම් නවතින්නේ නැත. 

මෙවැනි ගොන් ආතල් අයත් වන්නේ කලින් ආණ්ඩුවේ ස්ටයිල් එකට ය. ඒ කාලේ වගේ නො ව දැන් ජනතාව තමන්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් පළ කරන්නට බිය නැත. ඒ නිසා ඒ කාලේ වගේ ගැලවෙන්නට බැරි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-29

ප්‍රියන්ත සිරිසේන ඝාතනය හා ප්‍රබන්ධ ප්‍රවෘත්ති 'කලාව'

පහත අමුණා ඇති වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී වන ප්‍රියන්ත සිරිසේන මිය ගිය ආකාරය පිළිබඳ සිදු වන ප්‍රචාරය ගැන එම වීඩියෝවේ කරුණු පැහැදිලි කරන්නේ අපරාධය සිදු වූ ප්‍රදේශය භාර ග්‍රාමසේවකවරයා ය. 

ප්‍රියන්ත සිරිසේන මිය ගියේ ඝාතකයාගේ බිරිඳ සමග සංසර්ගයේ යෙදෙද්දී පිටුපසින් පැමිණි සැමියා විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ය යන ප්‍රවෘත්තිය නිර්මානය කළ ආකාරය හා එය ප්‍රචාරය කළ ආකාරය අධ්‍යයනය කළ යුතු ය. 

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග එය සිදු වන්නට ඇත්තේ මෙසේ ය යන අනුමානය බොහෝ දෙනෙක් විසින් ඇති කර ගන්නා ලදී. සමාජය ගැන ඇති සාමාන්‍ය අවබෝධය ඒ සඳහා පදනම් විය. එසේම, බොහෝ දෙනෙක් මෙම සිද්ධිය දුටුවේ තමන් ඔස්සේ ය. එය වනාහි තමන් වින්දිතයා හෝ ඝාතකයා වී නම් එය සිදු විය හැක්කේ කෙසේ ද යන්න ගැන තමන්ගේ පරිකල්පනයෙන් කරන ලද නිගමනයකි. 

සිද්ධිය සාකච්ඡා සිදු වූ සෑම කවයක ම පා‍හේ මේ අනුමානය කළ අය සිටිය හ. එය ඉතා සාමාන්‍ය පරිකල්පනයකි. 

සමාජ මාධ්‍ය ඇසුරු කළ ඕපාදූපකරුවෝ එය මුහුණු පොතේ ලියූ හ. ඔවුන්ගේ යහළු ඕපාදූපකරුවෝ ඒ ගැන අදහස් පළ කළ හ. අතිනුත් දමමින් ප්‍රචාරය කළ හ. 

මේ අතර ඕපාදූප වෙබ් අඩවි අතර ඇති තරගය ද ඉස්මතු විය. මෑතදී මෙවැනි වෙබ් අඩවියකින් බිඳී විත් එම අඩවියේ නම හා සමාන නමක් ප්‍රවර්ධනය කර ගන්නට උත්සාහ කරන්නෙක් මෙම ප්‍රවෘත්තිය නිර්මානය කර එය සමාජ ජාල ඔස්සේ බෙදන ආකාරය මම නිරීක්ෂණය කළෙමි. මෙම වෙබ් අඩවිය මහින්දට පක්ෂ ප්‍රචාර සිදු කරමින් ඒ පැත්තෙන් ආර්ථික ආධාර අපේක්ෂා කරමින් හෝ ලබමින් සිටින බවක් පෙනේ. 

මෙම ප්‍රවෘත්ති නිර්මානය කරන ආකාරය ඉතා රසවත් ය. මෙම ප්‍රවෘත්ති නිර්මානකරුවා මුලින් කීවේ මෙම මරණය ප්‍රියන්තත්, ඝාතකයාත් එක ගෙයි කෑමක් සමග ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවයි. ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ සිට සිය මල්ලීට බැන වැදුණු ආකාරය ද ලියුවේ ය. නැවතත් මෙම ප්‍රවෘත්තිය 'ෆලෝ අප්' කරමින් ජනාධිපති මෛත්‍රීපාල ඝාතන සැකකරුගේ කටඋත්තරය වෙනස් කර ඇති බව ද වාර්තා කළේ ය. 

මෙම ප්‍රවෘත්ති නිර්මාන සඳහා කිසිදු මූලාශ්‍රයක් අවශ්‍ය නැත. ඔවුන් කරන්නේ අදාළ චරිත තමන් හා තමන් දන්නා වෙනත් අය සමග සමපාත කර ගනිමින් ඔවුන්ගේ සිතුවිලි හා හැසිරීම අනුව සිදු විය හැකි දෙයක් ප්‍රවෘත්තියක් ලෙස ලියා පළ කිරීමයි. 

නිදසුනක් ලෙස, ප්‍රියන්ත සිරිසේන හා ඝාතන සැකකරු වැනි අය අපේ ගම්වල ද සිටිති. මෙවන් ප්‍රවෘත්ති කලාවක් මා කරනවා නම් කරන්නේ අපේ ගමේ එකාගේ කැරැට්ටුව මේ අයට ආරෝපණය කර ප්‍රවෘත්ති ලිවීමයි. 

මෙම ගොසිප් ඊළඟට බලපාන්නේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට ය. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී යම් වගකීමකින් කටයුතු කරන්නට උත්සාහ කරන වෙබ් අඩවියක් ඝාතනය සිදු වූ ප්‍රදේශයේ ජනතාව ප්‍රදේශය හැර යමින් සිටින බව වාර්තා කළේ ය. 

මේ වන විට ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල වෙබ් අඩවි පවා අනුගමනය කරන්නේ ගොසිප් ශෛලියයි. මේ සඳහා හොඳම උදාහරණය ලංකාදීප වෙබ් අඩවියයි. 

වෙබ් අඩවියක් ජනප්‍රිය කර ගැනීම සඳහා ඕපාදූප හා ප්‍රවෘත්ති ප්‍රබන්ධ කෙතරම් ඉවහල් කර ගත හැකි ද යන්නට විමල් වීරවංශ පක්ෂය විසින් පවත්වාගෙන යන ලංකා සී නිව්ස් උදාහරණයකි. මෑතක සිට ජවිපෙ ලංකා ටෲත් වෙබ් අඩවිය ද මෙම මාර්ගයට පිවිසෙමින් සිටියි. 

මෙම ප්‍රවෘත්ති ප්‍රබන්ධ ඉන් පසු ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලටත් බලපායි. එහෙත්, ඒ වන විට ඒවා සමාජයට කාන්දු වී බොහෝ කල් ය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සිදු වන්නේ හානි ප්‍රතිපූරණය කිරීමේ කාර්යයට අතගසන්නට ය. ඔවුන්ට වෙළඳපොළ හැදෙන්නේ එතැනිනි. ප්‍රධාන ධාරාවේ හානිපූරක වාර්තා ඉන් පසු නැවතත් ගොසිප් වෙබ් අඩවිවල ද පළ වේ. ඒවා කුමන්ත්‍රණ බව ද, එම කුමන්ත්‍රණ සිදු වූයේ මෙසේ යයි ද තවත් වාර්තා පළ වේ. මෙය තනිකරම ප්‍රවෘත්ති විෂම චක්‍රයකි. 

සමාජ ජාල ඔස්සේ මේ ප්‍රවෘත්ති ප්‍රබන්ධ පැතිරී යන්නේ අධිවේගයෙනි. එසේ වන්නේ ඇයි? ඒවා ෂෙයා කරන අය ඒවා විශ්වාස කරනවා ද? සම්පූර්ණයෙන් ම විශ්වාස කරනවා යයි කියන්නටත් බැරි ය. මේවා ෂෙයා කරන්නන් තුළ එක පැත්තකින් දේශපාලනික උවමනාකම් තිබේ. අනෙක් පැත්තෙන් මේ ගොසිප්වල ඇති කුණු රසයට ‍බොහෝ දෙනෙක් කැමැත්ත දක්වති. තවත් පැත්තකින් වෙනත් අයට නැති තොරතුරු මූලාශ්‍ර තමන්ට තිබේ ය කියා පෙන්වන්නටත් සමාජ ජාල පරිහරණය කරන්නෝ කැමැත්තක් දක්වති. 

අවසානයේ මේවායින් සිදු වන්නේ කුමන අන්දමක වුව මළ මිනිසකුට අපේ සමාජය දැක්වූ මානුෂික ගරුත්වය පවා නැති වී යන පරිහාණියක් සමාජයේ ඇති වීමයි. 

සියල්ල සැක කරන, හැම තැනක ම කුමන්ත්‍රණයක් දකින සමාජයක් නිර්මානය වීමයි. 

මේ ප්‍රවෘත්ති ප්‍රබන්ධවල වින්දිතයන්ට සිදු වන දේ ගැන කිසිවෙක් අවධානය යොමු නො කරති. 

මීට බොහෝ කලකට පෙර, සමාජ ජාල ප්‍රචලිත වෙන්නට පෙර යුගයකදී ජනමාධ්‍ය පාවිච්චි කිරීම  හෙවත් මීඩියා මැනිපියුලේෂන් සිදු වූ ආකාරය ගැන නිර්මානය වූ අනගි චිත්‍රපටයක් මට සිහිපත් වේ. එය වනාහි බැරි ලෙවින්සන් අධ්‍යක්ෂණය කළ, ඩස්ටින් හොෆ්මාන් හා රොබට් ඩි නීරෝ රඟන වැග් ද ඩෝග් චිත්‍රපටයයි. 
ජනපති සොහොයුරු සහ ඝාතකයා ගැන ‘ග්‍රාම නිලධාරී’ අපට කියූ කතාව
Posted by News Album on Saturday, March 28, 2015

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-28

ප්‍රියන්ත සිරිසේනගේ මරණය ගැන ප්‍රීති වන ජනයින් වෙතයි

ජනාධිපතිගේ බාල සහෝදරයකු වූ ප්‍රියන්ත සිරිසේන අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ මරණය මිනීමැරුමකි. ඔහුට පොරෝ පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් මෑතදී අමනාප වූ ඔහුගේ පැරණි මිතුරකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ප්‍රියන්ත සිරිසේන ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරය පරිසරය හා සම්බන්ධ තරමක් මතභේදාත්මක එකකි. පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි ව්‍යාපාර දැඩි ලෙස දේශපාලනීකරණය විය. ඔහු ද දේශපාලන බලය තම ව්‍යාපාර සඳහා යොදා ගත් අයෙකි. 

දැන් සාමාන්‍ය මිනිසකුට තමන්ගේ නිවස හදා ගැනීම සඳහා අසල ඇලෙන් වැලි ටිකක් ගොඩ දාගන්නට බැරි ය. වැලි යනු වටිනා ඛනිජ සම්පතක් වී තිබේ. 

වැලි රාජුගේ ව්‍යාපාර ශෛලිය වැලි ගොඩදැමීම, ගල් කැඩීම, ගස් කැපීම, ආණ්ඩුවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්, බාර් වැනි ව්‍යාපාරවල යෙදී සිටින අනෙක් අයගේ ශෛලියට වඩා වෙනස් යයි මම නො සිතමි. මෙබඳු ව්‍යාපාර කරන කිසිවෙක් අවංක නැත. අවංක වන්නට බැරි ය. ඒවා දූෂණ ජාලයක් හා බැඳී තිබේ. ඒ ජාලයේ තවත් බොහෝ අය සිටිති. විශේෂයෙන් ම දේශපාලකයෝ හා නිලධාරීහු ඒවා සමග සම්බන්ධ ය. 

සිය සහෝදරයා ජනාධිපති වුණා ය කියා ප්‍රියන්ත සිරිසේනගේ ජීවිතයේ වෙනසක් සිදු වී නැති බව ඔහු ජීවත් වූ හා මරණයට ගොදුරු වූ ආකාරයෙන් පෙනේ. මෙම තත්වය හිටපු ජනාධිපතිවරයාගේ ඥාති සංග්‍රහ මට්ටම සමග සන්සන්දනය කරන්නට කල් මදි යයි මම නො සිතමි. මන්ද, ජනාධිපති වී කෙටි කාලයක් ඇතුළත ම ඔහු සිය සහෝදර බලඇණිය ආණ්ඩුව තුළට රිංගවාගෙන අවසන් කර තිබිණි. ඉතා කෙටි කාලයක් තුළ ඔහුගේ පවුල් කවයේ අරය පුළුල් වූ ආකාරය කවුරුත් දනිති. ‍මෛත්‍රීපාල සිරිසේන දිගු කලක් ඇමතිකම් හෙබවූවෙකි. ඔහුගේ දේශපාලන ජීවිතය ද ඥාති සංග්‍රහයෙන් දූෂණය වී තිබේ. එහෙත්, මහින්ද රාජපක්ෂත් සමග සන්සන්දනය කළ විට එය පරිමාණයෙන් කුඩා බව පැහැදිලි ය. 

ප්‍රියන්ත සිරිසේන ප්‍රහාරයට ලක් වීමෙන් පසු ඔහු මරණයට පත් වන්නට පෙර මේ රටේ වගකීම් විරහිත මාධ්‍ය හා විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ කඳවුරේ සාමාජිකයෝ මේ මිනිසා නැවත නැවත ඝාතනය කළ හ. ඔහුගේ මරණය ගැන තමන්ගේ හිතලු රිසි සේ ප්‍රචාරය කළ හ. 

තරාතිරම කුමක් වුවත් ඔහු මෙම ප්‍රහාරයේ වින්දිතයා  බව බොහෝ දෙනෙකුට අමතක විය. 

කලහයකදී දරුණු ප්‍රහාරයකට ලක්ව වේදනාත්මක හා ඛෙදනීය මරණයකට ගොදුරු වූ මිනිසකු සම්බන්ධයෙන් දේශපාලනයෙන් තොරව සාධාරණ ඇසකින් බලන්නට බැරි තරමට මේ සමාජය පිරිහී තිබෙනවා නේ ද? 

මහින්ද රාජපක්ෂ කඳවුරේ අය මේ මරණය ගැන සතුටු වුණේ මේ වින්දිතයා මහින්ද පරදවා බලයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහෝදරයා නිසා ය. මේ මරණයෙන් මෛත්‍රීපාලට රිදෙන නිසා ය. 

රෝහණ විජේවීර, ආර්. ප්‍රේමදාස ආදීන් මිය ගිය වෙලාවේ මේ රටේ ජනතාවගෙන් කොටසක් දුක් වෙද්දී තව කොටසක් ප්‍රීතියෙන් රතිඤ්ඤා පත්තු කළ හ. ප්‍රභාකරන්ගේ මරණය මෙම ම්ලේච්ඡ මානසිකත්වයේ උපරිම තලයක් විය. 

ප්‍රියන්ත සිරිසේනගේ මරණය පිළිබඳ කතා කරන විට අප තවමත් ජීවත් වන්නේ ඒ ම්ලේච්ඡත්වය තුළ ම බව පැහැදිලි ය. 

පසුගිය ආණ්ඩුව කාලයේ නම් බොහෝ විට සිදු විය හැකි දෙයක් වූයේ මිනීමැරුම් සැකකරු ඝාතනය සඳහා යොදා ගත් අවිය පෙන්නන්නට ගිය අවස්ථාවේ ‍පොලිසියට පහර දී පැන යාමට තැත් කිරීමේදී වෙඩි වැදී හෝ දියේ ගිලී හෝ මිය යාමයි.

මේ හා සමාන තත්වයක් රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් ද දක්නට ලැබිණි.

ආණ්ඩු වෙනස් කළාට වැඩක් නැත. සමාජයක් ලෙස අපි ශිෂ්ට විය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-27

නූතනත්වය හා ගතානුගතිකත්වය අතර විභේදනය නිර්මානය කරන මහින්ද

මේ වන විට ආණ්ඩුවත්, විපක්ෂයත් පැහැදිලිව හඳුනාගත නො හැකි අමුතුම පාලනයක් ලංකාවේ බිහි වී තිබේ. එය කෙතරම් අවුල් සහගත තත්වයක් ද යත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය හිමිවිය යුත්තේ කාටද යන්න තමන්ටද ගැටලුවක්‌ව ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මාර්තු 24 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳ කතා කරමින් ජවිපෙ නායක අනුර කුමාර පෙන්වා දුන්නේ මෙය හවුල් ආණ්ඩුවක් බවත්, ආණ්ඩුවට සම්බන්ධ වූ පක්ෂයේ ම කොටසක් විපක්ෂයේ ද සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නැති බවත් ය.

එහෙත්, 2005 සිට ම මේ තත්වය තිබිණි. විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුව සමග එක් වී හවුල් ආණ්ඩුවක ස්වරූපයෙන් කටයුතු කරද්දී එජාපය විපක්ෂ නායක ධුරය ද හෙබවූයේ ය. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය එජාප මන්ත්‍රීවරු කිසිවෙක් තමන් එජාපයෙන් ඉවත් වූ බව නිල වශයෙන් පිළි ගත්තේ නැත. එදා තත්වයත් අද තත්වයත් අතර වෙනස වන්නේ එදා විපක්ෂ නායකයා එය අනුමත නො කිරීම හා අද විපක්ෂ නායකයා එය අනුමත කිරීම පමණි. මේ අනුමත කිරීම ද ඇත්තෙන් ම වචන පමණි. එදා මේ චමල් රාජපක්ෂට ම මෙවැනි ගැටලුවක් එදා ඇති වූයේ නැත.

මහින්ද රාජපක්ෂගේ මූලික පාලන උපායමාර්ගය වූයේ විරුද්ධ පාක්ෂිකයන් බිලී බාගෙන හා මිළ දීගෙන සිය පෞද්ගලික හා පවුල් අරමුණු මත පාදක වූ දේශපාලනය ඉදිරියට ගෙන යාමයි. අතිශය පෞද්ගලික වාසි සඳහා වූ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා තුනෙන් දෙකේ බලය ලබා ගත්තේ මේ ක්‍රමවේදය ඔස්සේ බව කවුරුත් දනිති. එදාත් එය ව්‍යවස්ථාදායකය තුළ අවුලකි. එහෙත්, ඒකාධිපති විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුද්ගල බලය විසින් මේ අවුල යටපත් කරන ලදී.

එහෙත් වර්තමානයේදී මේ අවුල මහා වියවුලක් ලෙස මතු කරනු දක්නට ල‍ැබේ. හේතුව අන් කිසිවක් නොව, විපක්ෂයේ සහයෝගය ලබා ගනිමින් මේ සැරසෙන්නේ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා ගොඩනගා ගන්නා ලද ඒකාධිපති බලතල ආපසු හරවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට වීමයි.

ඇත්තම කියනවා නම් මෙතන මහා අවුලක් නැත. ඇත්තේ වියවුලක් පිළිබඳ මත ගොඩනැගීමකි. අනෙක් පැත්තෙන් එවැනි අවුලක් නැති බව පෙන්වා දෙන්නට මත ගොඩනැගීමේ හැකියාවක් ආණ්ඩුවේ ජනමාධ්‍යවලට නැත. මෙය වනාහි දීර්ඝකාලීන ඒකාධිපති පාලනයක් තුළ රටේ ජනතාව හා දේශපාලකයන් අතර ගොඩනැගී තිබෙන නිවට සංස්කෘතියේ ප්‍රකාශනයකි. ප්‍රජාතන්ත්‍ර විරෝධී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට නො දුටු අවුලක් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට හදන විට පෙනේ. එහෙත්, 18 මෙන් ම 19 ගෙන එන විට ද අනුගමනය කෙරෙන්නේ එක ම ක්‍රමවේදයකි. ඒකාධිපතිවාදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන විට නො තිබූ ගැටලුවක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට උත්සාහ කරන විට දැකීම ඇත්තම කියනවා නම් සමාජයේ හා දේශපාලනයේ ගැටලුවකි.

කෙසේ වෙතත්, අවසානයේදී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාගත කරන්නට ආණ්ඩුව සමත් වී තිබේ. ඒ සඳහා අවම හෝ එකඟතා ප්‍රමාණයක් ඇති කරගෙන තිබේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර නැත. එ් සඳහා කල් ගැනීමට අවශ්‍ය නම් කල් ගැනීමේ ඇති වරද කුමක් ද? ඒකත්, මේකත් එකට ම එන්නට ඕනෑ ය කියා කොන්දේසි දමන්නේ නො කෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ද මදි අයයි. ඒ නිසා දැන් මේක කරමු. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පසුව කරමු.

මහ මැතිවරණය කල් යාම යටින් සිට මේ සියල්ල අවුල් කරන ප්‍රතිගාමී මහින්ද කඳවුරට ද මෙම තත්වය නරක නැත. පසුගිය සමයේ මහින්ද රාජපක්ෂගේ සෙවණේ සිටිමින් මහජන මුදලින් අයුතු වරප්‍රසාද භුක්ති විඳි බලවේගය දැන් ක්‍රමානුකූලව ප්‍රතිසංවිධානය වෙමින් තිබේ. මහින්ද හා කලාකරුවන් ලෙස තමන් හඳුන්වාගන්නා නලාකරුවන් අතර පැවති රැස්වීම මේ ප්‍රතිසංවිධානයේ එක් සන්ධිස්ථානයකි.

මහින්දගේ පුනරුත්පත්තිය ඇත්තෙන් ම කලබල විය යුතු කාරණයක් නො වේ. මහින්ද විසින් මේ සමාජය ඉතා පැහැදිලි රේඛාවකින් ඛණ්ඩනය කරමින් සිටියි. වර්තමාන අවුල නිර්මානය වන්නේ ද මෙම ඛන්ඩනය තුළයි. ඔහුට මෙම ඛණ්ඩනය නිර්මානය කිරීම සඳහා කාලය අවශ්‍ය ය. ඔහු එය සම්පූර්ණ කරන විට මෙම අවුල ද ලිහෙනු ඇත.

මහින්ද මේ සමාජය ඛණ්ඩනය කරමින් සිටින්නේ ඉතා පැහැදිලිව ම නූතනවාදය හා ගතානුගතිකවාදය ලෙසයි. ඇමරිකාවේ නම් මෙය ලිබරල් හා කොන්සවටිව් ලෙස සිදු විය. වත්මන් ආණ්ඩුවත්, එය සමග එක් වී තිබෙන විපක්ෂ කොටසුත් සහයෝගය දෙන්නේ ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකටයි. එම සංශෝධනයෙන් පාර්ලිමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා හා රාජ්‍ය සේවය ශක්තිමත් වේ. මහින්දගේ රැස් වළල්ල වටා එක්රැස් වෙමින් සිටින්නේ මේ සියල්ලට වඩා පුද්ගල බලය වැදගත් කොට සලකන පිරිසකි.

මහින්දගේ ප්‍රචාරණ ව්‍යාපාරය යනු ඒකීය දෙයක් නො වුණත්, ආණ්ඩුවට එරෙහි ප්‍රචාරණය ඒකීය සමූහයක් ලෙස සලකන්නට පුළුවන. එය අවසානයේදී සේවය කරන්නේ මහින්දගේ අරමුණටයි. මහින්ද කඳවුරේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය අධ්‍යයනය කිරීමෙන් මෙය යම් දුරකට තේරුම් ගන්නට පහසු ය.

මහින්ද කඳවුරේ ප්‍රචාරකයන් විසින් මතු කර දක්වන ප්‍රධාන තේමා දෙකක් මේ මොහොතේ දක්නට ලැබේ. එකක් ජාතික ගීය දෙමළෙන් ගැයීම සඳහා යළි අවසර දීමට ආණ්ඩුව ගත් තීරණයයි.

ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මානය කරන ලද නමෝ නමෝ මාතා ගීය ජාතික ගීය ලෙස පිළි ගනු ලැබුවේ 1951දී ය. එසමයේදීම එම ගීයේ තනුවට එම් නල්ලතම්බි විසින් 'නමෝ නමෝ තායේ නම් ශ්‍රී ලංකා' නම් ගීය දෙමළ කිවි එන්. නල්ලතම්බි විසින් නිර්මානය කරන ලදී. ජ්‍යොතිෂ කාරණයක් මත පදනම්ව 1961දී මෙම ගීය ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කරන ලදී. 

ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ සිංහල මෙන් ම දෙමළ ගී දශක ගණනාවක් තිස්සේ භාවිතාවේ තිබිණි. බොහෝ රාජ්‍ය හා නිල උත්සවවලදී සිංහල ජාතික ගීය ගායනා කරන ලද අතර ඇතැම් අවස්ථාවලදී දෙමළ ගීය ද ගායනා කරනු ලැබිණි. උතුරු හා නැගෙනහිරපළාත්වලදී හා දෙමළ බස කතා කරන ජනතාවගේ උත්සවවලදී බොහෝ විට ගායනා කරනු ලැබුවේ දෙමළ ජාතික ගීයයි. 1956දී සිංහල පමණක් එකම රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීමෙන් පසුව පවා ජාතික ගීයේ දෙමළ ස්වරූපය අහෝසි කර දමන්නට ආණ්ඩුව පියවර ගත්තේ නැත. හැටගණන්වලදී ඩඩ්ලි සේනානායක අගමැතිවරයා යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී ජාතික ගීයේ සිංහල මෙන් ම දෙමළ ස්වරූපය ද ගායනා කරන ලදී. අලුතින් ඉදි කරන ලද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය මණ්ඩපය විවෘත කිරීම පිණිස අගමැතිනි සිරිමා බණ්ඩාරනායක 1974දී යාපනයට පැමිණි අවස්ථාවේදී ද භාෂා දෙකෙන් ම ජාතික ගීය ගැයිණි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිංහල ජාතික ගීය ද ව්‍යවස්ථාගත කරන ලදී. හත්වන වගන්තියේ ඒ පිළිබඳ මෙසේ සඳහන් වේ. එහෙත්, යුද්ධය ජය ගත් මහින්දගේ ආණ්ඩුව 2010දී චක්‍රලේඛනයක් මගින් තහනම් කරන තෙක් දෙමළ ජාතික ගීය භාවිතාවේ තිබිණි. යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු ජාතික ගීය පිළිබඳ ඇති වූ කතිකාව පනස් වසරක කාලයක් තුළ තිබුණු කතිකාවට හාත්පසින් ම වෙනස් එකකි. ජයග්‍රාහී සිංහල ආණ්ඩුව පරාජිත දෙමළාගේ සොහොන් කොත් පවා උදුරා දැමූ අතර, යුද්ධයෙන් මිය ගිය ජනයා සැමරීමේ අවස්ථාව ද අහිමි කළේ ය. එතැනින් නො නැවතී ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ද අහෝසි කරන ලදී. 

ජනාධිපති මෛත්‍රීපාල ආපසු හැරවූයේ මේ ප්‍රතිගාමී පියවරයි. මහින්ද කඳවුරේ අය සිටින්නේ ජාතික ගීය ගැයිය යුත්තේ එක බසකින් පමණක් ය යන ස්ථාවරයේ ය. මෙම කතිකාව ප්‍රබුද්ධ තලයකදී සලකා බැලූ විට මා ඉහත කී විභේදනය පැහැදිලිව දැකිය හැකි ය. මහින්ද ඉන්නේ ගතානුගතිකත්වයේ ය. මෛත්‍රීපාලගේ කඳවුර නියෝජනය කරන්නේ නූතනත්වයයි. එහෙත් මෙම විභේදනය ලංකාව විෂයෙහි නරක නැත. එය වත්මන් අවුලෙහි සංකීර්ණත්වය අවම කරයි. අනෙක් පැත්තෙන් මෙය අලුත් ම තත්වයක් ද නො වේ. මහින්ද හැමදාමත් හිටියේ ගතානුගතිකත්වය, රණකාමය, ප්‍රජාතන්ත්‍ර විරෝධය වැනි කාරණා සමගයි. දැන් තිබෙන එකම වෙනස වන්නේ මහින්ද රාජපක්ෂගේ පරාජය නිසා නූතනවාදී බලවේග ශක්තිමත් වීමයි.

උතුරේ අධි ආරක්ෂක කලාප ලෙස පවත්වාගෙන යන ලද ඉඩම් ඒවායේ සම්ප්‍රදායික හිමිකරුවන්ට ආපසු පවරා දීම විෂයෙහි ද මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රගතිශීලී, මානුෂීය, නූතනවාදී ප්‍රවේශයකි. එයට එරෙහි ජාතිවාදී බලවේග ද මහින්ද රාජපක්ෂ කඳවුර තුළ සිටගන්නේ අහම්බෙන් නො වේ. 

අධි ආරක්ෂක කලාප ලෙස නම් කර හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ උතුරේ ඉඩම් අක්කර දහසක් ජනතාවට යළි පවරා දීමට රජය තීරණය කර තිබේ. එහි සංකේතාත්මක මුල් පියවර ලෙස ඉඩම් අක්කර 425ක් ජනතාවට භාර දීම සඳහා යාපනයේ උත්සවයක් පැවැත්විණි. මෙම සංකේතාත්මක මොහොතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන තිදෙනා ම සහභාගි වූයේ ආණ්ඩුව ඒ කෙරෙහි දක්වන සැලකිල්ල සංකේතවත් කරමිනි. පසුගිය සමයේ හිටි හැටියේ උග්‍ර දෙමළ ජාතිවාදියකු ලෙස හැසිරුණු උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මෙම උත්සවයේ කැපී පෙනුණු අනෙක් අමුත්තා ය.

මේ ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවෝ ඇතැමෙක් පරම්පරාවක කාලයක් සරණාගත කඳවුරුවල ජීවත් වෙති. විග්නේශ්වරන් කියන පරිදි ඔවුන් ජීවත් වන සරණාගත කඳවුරු 16ක් වසා දැමීමෙන් රජයට වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් ආපසු ලබා ගත හැකි ය.

ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දීම පිළිබඳ අකැමැති වන දෙකොටසක් සිටිති. ඒ වනාහි සිංහල හා දෙමළ ජාතිවාදියෝ ය. සිංහල ජාතිවාදීන්ට අවශ්‍ය මුළු යාපනය ම හමුදා ජනපදයක් කරන්නට ය.‍ දෙමළ ජාතිවාදීන් කරන්නේ හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද සියලු ඉඩම් වහා ආපසු දෙනු යන අතිධාවනකාරී ඉල්ලීම ඉදිරිපත් කිරීමයි. එයින් හමුදාව හා සිංහල ජාතිවාදීන් කුපිත කර, රජය හා සිංහල දෙමළ ප්‍රගතිශීලී දේශපාලනය අපහසුවට පත් කර, කිසිවක් සිදු නො වන තැනට තල්ලු කර ගන්නට ඔවුහු කැමති ය.

ඇත්තෙන් ම දැන් මේ ඉඩම් හමුදාව යටතේ තබා ගැනීමේ කිසිදු අරුතක් නැත. කොටි සංවිධානය හෝ වෙනත් කැරැලි හමුදාවකට උතුරේ සම්ප්‍රදායික යුද්ධයක් ආරම්භ කිරීමේ කිසිදු අවස්ථාවක් නැත. එවැනි තර්ජනයක් මවා පාමින් මේ ඉඩම් හමුදා යටතේ තබා ගැනීම සාධාරණීකරණය කරන්නන් කරන්නේ ලංකාවේ ආරක්ෂක අංශවලට අපහාසයකි.

කිසියම් නාගරික හෝ අර්ධ නාගරික හෝ ගරිල්ලා යුද්ධයක් නැවත ආරම්භ කිරීමේ හැකියාව මුළුමනින් ම බැහැර කළ නො හැකි මුත්, එවැන්නකට අවස්ථාව තිබෙන්නේ ජනතාවගේ මෙවැනි ප්‍රශ්න විසඳන්නේ නැතිනම් බව ද අප මතක තබා ගත යුතු ය. දෙමළ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන්, අයිතිවාසිකම් ලබා දීමෙන් හා බලය බෙදා ගැනීම ඔස්සේ සාමය හා සංහිඳියාව ස්ථාවර කර ගැනීමෙන් යුද ගැටුම් වළක්වා ගත හැකි ය. සාමය සඳහා අධි ආරක්ෂක කලාප අවශ්‍ය නැත.

මහින්ද කඳවුර ‍ඉදිරි කාලයේදී කෙටිකාලීනව දැඩි ජාතිවාදී ස්ථාවරයන් තෝරනු ඇති බව පැහැදිලි ය. ඔවුන් විසින් නිර්මානය කරමින් තිබෙන විභේදනය තුළ  ගතානුගතික කඳවුර තුළ බලය තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ට තිබෙන මාර්ගය එයයි. එයට සමාජයේ ඉල්ලුමක් ද ඇත. පහත් හැඟීම් ඇවිස්සීම කොහොමත් පහසු දෙයකි. එයට අවශ්‍ය විලි ලජ්ජා නැතිකම ඔවුන්ට ඕනෑවටත් වඩා ති‍බේ. 

ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරය මහින්දගේ අභියෝගය දෙස සුබවාදී ඇසකින් බැලිය යුතු බව මගේ අදහසයි. ආමන්ත්‍රණය කළ යුතු අභියෝග වෙන් කර දක්වන්නට මහින්ද පියවර ගනිමින් සිටියි. මෙම වියවුල හමුවේ අපි ද ඔලුව අවුල් කර ගත යුතු නැත. එය දේශපාලන නායකත්වයේ අවුලක් මිස අපේ අවුලක් කර ගත යුතු නැත. අප බැලිය යුත්තේ මේ සියල්ල මැදින් ජනතා න්‍යාය පත්‍රය ඉදිරියට යනවා ද කියා ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ඉදිරියට යමින් තිබේ. එය මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම දක්වා දීර්ඝ කළ යුතු ය. සොරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ වේගයේ අඩුවක් තිබේ. එය වේගවත් කළ හැක්කේ ආයතන ශක්තිමත් කිරීමෙනි. හෙමින් වුණත්, ස්ථිරසාර ගමනක් වෙත අප පිවිස තිබේ. ශක්තිමත් සතුරකු ලෙස මහින්ද පිළිගත යුතු ය. එය ඉදිරිගමනට අත්වැලක් කර ගත යුතු ය.
- රාවය 2015 - 03 - 29 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-26

පැරා කොළඹ පැමිණීම

අද මට කතාවක් ඉදිරිපත් කරන්නට සිදු වී තිබේ. 

මම දක්ෂ කථිකයෙක් නම් නො වෙමි. 

මස්ඉඹුලගේ සෙංකොට්ටං පොත ගැන ජනරළෙන් කරපු සම්මන්ත්‍රණයේදී මං කරප කතාවෙන් පසු අපේ රසිකාවක් කිව්වේ ලියන ඒවා තරම් කතා රස නැහැ කියලායි. 

ඒක නරක නැහැ. ඉස්සර දවසක මහින්ද චන්ද්‍රසේකර (පැන මඩ කඩිති ලියපු) නැති වීම නිසා ඔහුගේ ටැමුපරිය අදින්න කටුනේරියේ බාලිකා පාසලක ජයතිලක බණ්ඩාරත් එක්ක ගී රසවින්දනයක් කළා. ළමයි එහෙම හරි සතුටින් අහගෙන සිටියා ය කියා සිතපු නිසා මාත් උජාරුවෙන් පහළට බැස්සා. මහින්ද චන්ද්‍රසේකරගෙ ගී රසවින්දන බලලා තිබුණු සහෝද‍රයෙක් ඇවිත් මට මූණට ම කිව්වා දේශනය ගන්න දෙයක් නැහැ කියලා. 

අපට ඉතින් කවුරු දේශනවලට ආරාධනා කරන්න ද? මං ඉතින් මගේ රස්සාව වන ඉංග්‍රීසි ඉගැන්නිල්ලෙදි උත්සාහ කරනවා ළමයි නිදි නො කර තබා ගන්න. 

ඒ කොයි හැටි වෙතත්, ඔන්න නැවතත් මට කොළඹ රටේ ඇවිත් දේශනයක් පවත්වන්න ආරාධනාවක් ලැබිලා. ඒ නිසා අද හවස මං එනවා බ්ලොගිං ගැන කතා කරන්න කොළඹට. ඔය කමෙන්ට්වලින් මාව මරන් කන්න හදන මහත්තුරුන්ට ඕනැ නම් ශාරීරිකව ඒ දේ කරගන්න එන්න පුළුවන්. 

කරුණාරත්න පරණවිතානත්, නාලක ගුණවර්ධනත් කතා පවත්වන නිසා මුළු කාලය ම වැඩක් නැති වෙන එකක් නැහැ. 

මගේ මාතෘකාව නම් බ්ලොග්කරණයේ ජාත්‍යන්තර අත්දැකීම් ගැනයි. ඒ වුණාට මට හිතෙනවා මං බ්ලොග්කාරයෙක් වුණ විධිය කියන එක මීට වඩා රසවත් වෙයි කියලා.  ජාත්‍යන්තර වශයෙන් ම බ්ලොග්කරුවන් බිහිවන්නේ එහෙම තමයි කියලායි මට හිතෙන්නේ. ඔය නො දන්න මගුල් ගැන කතා කරනවාට වඩා ඒක‍ හොඳයි කියලා හිතෙනවා. කියපු දේ නො කළ නිසා සංවිධායකයෝ තරහ වෙයි ද? ඕනැ නම් ආයෙ එන්න කියන එකක් නැති වෙයි. ඔය මාතෘකාව ය‍ටතේ කතා කළත් ඒ ටික ම තමයි වෙන්නේ. මොකද කියන්නේ?

බලාධිකාරයන් විසින් කියපු විධියට ම කළා නම් ඉතින් අපි ‍බ්ලොග්කාරයන් වේවියැ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-25

බැසිල් පැන්නේ ඇයි?

බැසිල් ගොයිං හෝම්
ඡන්දය පැරදුණු සැණින් බැසිල් රාජපක්ෂ රටින් පැන්නේ ය. 

යන බවක්වත් තමන්ට නො කී බවත්, ගිය පසු හෝ තමන්ට කතා නො කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මෑතදී පුවත්පතකට කියා තිබිණි. 

බැසිල් හා මහින්ද අතර ද ආරාවුල් තිබුණු බව වාර්තා විය. විශේෂයෙන් ම මහින්දගේ පුත්තු බැසිල්ට බරපතල අන්දමින් චෝදනා කළ බව වාර්තා විය. 

මේ අතර චමල් රාජපක්ෂ ද වෙනස් මාවතක යන බව පෙනේ. 

මහ ලොකු ස‍හෝදර සමාගමටත් කෙළ වී තිබෙන්නේ පැණි වරකා ගහට හෙණ ගැහුවා සේ ය. 

මේ සියල්ලට හේතුව අසීමිත තෘෂ්ණාව, ධනයට - බලයට ඇති කෑදරකම හා සොරකමට බිය නො වීමයි.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතාවක්, දිවිනැගුම නිවාසලාභීන්ගේ නිවාස අලුත්වැඩියාවේදී සිදුවූ මුදල් අක්‍රමිකතාවක්, ලිත් තොගයක් මුද්‍රණය කිරීමේදී සිදු වී ඇති මුදල් අක්‍රමිකතාවක්, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා දීම සම්බන්ධ සිද්ධියක්, පවත්වන ලද සම්මේලනයක් සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වියදම් කිරීමේ සිද්ධියක් ගැන විමර්ශනය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ආපසු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ඉල්ලා සිටීමට යයි. 

පරීක්ෂණ නිසි ලෙස සිදු වෙනවා නම් තවත් සිද්ධි ඕනෑතරම් තිබිය හැකි ය. 

මහින්ද රාජපක්ෂ දැන් නැවතත් බලයට පැමිණීම සඳහා ජනතාව පෙළගස්වමින් සිටියි. ඔහුට එරෙහිව කිසිදු නඩුවක් ගොනු නො වීම ඔහු සිය වාසියට පාවිච්චි කරමින් සිටියි. 

රජය විසින් ගනු ලබමින් තිබෙන ප්‍රගතිශීලී පියවර අවුල් කිරීම සඳහා ඔහු කුමන්ත්‍රණ කරමින් සිටියි. 

මේ සෙල්ලම් දිගට ම කරන්නට දෙනවා ද යන්න ගැන ආණ්ඩුව බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුව තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ජයග්‍රහාහකයින් පරාජිතයින්ට අත දීම: ශ්‍රි ලංකාව යුද්ධයෙන් පසු ඉගෙන නොගත් පාඩම.

මාතෘකාව උපුටා ගත්තෙ මගේ මුහුණුපොතේ මිතුරකු වන චතුර වැල්ලගේගෙන්.

මාතෘකාවත් එක්ක ගිය ඡායාරූපය තමයි මේ. 

තීරණාත්මක ලෝක කුසලාන තරගයක ඉරණම අන්තිම පන්දුවට පෙර පන්දුවට එල්ල කළ හයේ පහරකින් වෙනස් කළ නවසීලන්ත කණ්ඩායමේ ග්‍රාන්ට් එලියට් මේ නැගිට සිටින්නට අත දෙන්නේ අවසන් පූර්ව තරගයෙන් ලද පරාජයෙන් දුකට පත්ව බිම ඇද වැටුණු දකුණු අප්‍රිකානුවකුටයි. 

ග්‍රාන්ට් දකුණු අප්‍රිකාවේ ඉපිද, හැදී වැඩී, පසුව නවසීලන්තයට සංක්‍රමණය වී එහි ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලැබූවෙක්.

ලෝකය කෙතරම් සොඳුරු ද? මිනිසුන්ට කෙතරම් පුංචි දෙයකින් මිනිස්කම උත්කර්ෂයට නැගිය හැකි ද? 

අපි ක්‍රීඩා කළ යුතුයි. අපේ රටේ ජනතාවත් රූපවාහිනී තිරවල අලවාගෙන සිටින ඇස් ඉවතට අරගෙන හරියට ක්‍රීඩා කරනවා නම් අපටත් මීට වඩා උසස් මිනිසුන් වෙන්න අවස්ථාව තිබෙනවා. මං කියන්නේ යුද්දෙදි වුණත් එහෙමම තමයි. 

චතුර කියන කතාව ඇත්ත බවට පත් කරන්න ජයග්‍රාහී සිංහලයිනි, ඔබ තවමත් පමා නැහැ නේ ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-24

නැවත සම්ප්‍රදායික යුද්ධයක් විය නො හැකි උතුරේ ඉඩම් හමුදාවට කුමට ද?

අධි ආරක්ෂක කලාප ලෙස නම් කර හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ උතුරේ ඉඩම් අක්කර දහසක් ජනතාවට යළි පවරා දීමට රජය තීරණය කර තිබේ. එහි සංකේතාත්මක මුල් පියවර ලෙස ඉඩම් අක්කර 425ක් ජනතාවට භාර දීම සඳහා යාපනයේ උත්සවයක් පැවැත්විණි.

මෙම සංකේතාත්මක මොහොතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන තිදෙනා ම සහභාගි වූයේ ආණ්ඩුව ඒ කෙරෙහි දක්වන සැලකිල්ල සංකේතවත් කරමිනි.

පසුගිය සමයේ හිටි හැටියේ උග්‍ර දෙමළ ජාතිවාදියකු ලෙස හැසිරුණු උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මෙම උත්සවයේ කැපී පෙනුණු අනෙක් අමුත්තා ය.

මේ ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවෝ ඇතැමෙක් පරම්පරාවක කාලයක් සරණාගත කඳවුරුවල ජීවත් වෙති. විග්නේශ්වරන් කියන පරිදි ඔවුන් ජීවත් වන සරණාගත කඳවුරු 16ක් වසා දැමීමෙන් රජයට වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් ආපසු ලබා ගත හැකි ය.

ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දීම පිළිබඳ අකැමැති වන දෙකොටසක් සිටිති. ඒ වනාහි සිංහල හා දෙමළ ජාතිවාදියෝ ය. සිංහල ජාතිවාදීන්ට අවශ්‍ය මුළු යාපනය ම හමුදා ජනපදයක් කරන්නට ය.‍ දෙමළ ජාතිවාදීන් කරන්නේ හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද සියලු ඉඩම් වහා ආපසු දෙනු යන අතිධාවනකාරී ඉල්ලීම ඉදිරිපත් කිරීමයි. එයින් හමුදාව හා සිංහල ජාතිවාදීන් කුපිත කර, රජය හා සිංහල දෙමළ ප්‍රගතිශීලී දේශපාලනය අපහසුවට පත් කර, කිසිවක් සිදු නො වන තැනට තල්ලු කර ගන්නට ඔවුහු කැමති ය.

ඇත්තෙන් ම දැන් මේ ඉඩම් හමුදාව යටතේ තබා ගැනීමේ කිසිදු අරුතක් නැත. කොටි සංවිධානය හෝ වෙනත් කැරැලි හමුදාවකට උතුරේ සම්ප්‍රදායික යුද්ධයක් ආරම්භ කිරීමේ කිසිදු අවස්ථාවක් නැත. එවැනි තර්ජනයක් මවා පාමින් මේ ඉඩම් හමුදා යටතේ තබා ගැනීම සාධාරණීකරණය කරන්නන් කරන්නේ ලංකාවේ ආරක්ෂක අංශවලට අපහාසයකි.

කිසියම් නාගරික හෝ අර්ධ නාගරික හෝ ගරිල්ලා යුද්ධයක් නැවත ආරම්භ කිරීමේ හැකියාව මුළුමනින් ම බැහැර කළ නො හැකි මුත්, එවැන්නකට අවස්ථාව තිබෙන්නේ ජනතාවගේ මෙවැනි ප්‍රශ්න විසඳන්නේ නැතිනම් බව ද අප මතක තබා ගත යුතු ය. දෙමළ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන්, අයිතිවාසිකම් ලබා දීමෙන් හා බලය බෙදා ගැනීම ඔස්සේ සාමය හා සංහිඳියාව ස්ථාවර කර ගැනීමෙන් යුද ගැටුම් වළක්වා ගත හැකි ය. සාමය සඳහා අධි ආරක්ෂක කලාප අවශ්‍ය නැත.

උතුරේ ඉඩම් යළි ජනතාව අතට පත් කිරීම ඉතා ප්‍රගතිශීලී පියවරකි. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුවට දිරි වඩමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු
. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ජාතික ගීය වැදි බසින්

මුහුණු පොතේ සංසරණය වන මෙය ජෝක් එකක විධියට හරි නිර්මානාත්මකයි. මෙය පතුරුවා හරින්නේ ජාතික ගීය දෙමළ බසින් ගයනවාට විරුද්ධ අයයි. ඒත්, මම නම් ජාතික ගීය දෙමළෙන් ගයනවාට කැමතියි. එහෙම ගැයුවා ය කියා එය වැදි බසින් ද ගැයිය යුතු නැහැ. වැදි ජනතාව එහෙම එකක් ඉල්ලලාත් නැහැ. අනෙක වර්තමාන වැදි බස සිංහල භාෂාවේ උපකුලකයක් මිස වෙනම බසකුත් නෙමෙයි. 

දැන් මේක ඕනැ නම් මාතර කට්ටිය කියන විධියටත් කියන්න පුළුවන්නේ.
"ඔහෙ වේ අප විද්‍යා
ඔහේ වේ අප සත්‍යා
ඔහේ වේ අප ශක්තී
අප හද තුළ භක්තී
ඔහෙ වේ ආලෝකේ
ඔහෙ වේ අනුප්‍රාණේ 
ඔහේ අප ජීවන වේ
අප මුක්තිය ඔහෙ වේ"

ඒ වුණාට මාතර කට්ටිය වෙනුවෙන් අපි එහෙම කරන්න ඕනැ නැහැනේ. 

ජාතික ගීය දෙමළෙන් ගැයුණේ එය ජාතික ගීය ලෙස පිළි ගත් මුල් කාලයේ ඉඳලාමයි. එය තහනම් කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. මේ තහනමට අවුරුදු පහකට වැඩිය ඉතිහාසයක් නැහැ. ඒත් අවුරුදු හැටක විතර කාලයක් ප්‍රශ්නයක් නො වී ජාතික ගීය දෙ‍මළෙන් ගායනා කර තිබෙනවා. 

මතක තියා ගන්න. මේක ඊලාම් ගීය නෙමෙයි. මේ ඔබේ ශ්‍රී ලංකා මාතා ගීයේ දෙමළ පරිවර්තනය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-23

බාල චීන බඩු ලංකාවට එන එක නැවැත්විය හැකි ද?

ඉදිරි දින කීපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ කරන සංචාරය අතරතුර දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. 

බාල චීන භාණ්ඩ මේ වන විට ලංකාවේ පාරිභෝගිකයන්ට මෙන් ම වෙළෙන්දන්ටත් හිසරදයක් වී තිබෙනවා. 

පසුගිය දිනෙක මා අමතා ලිපියක් ලියා ගත් එක් මහත්මයෙක් චීනයේ සංචාරයක් අතරතුරදී ගෙන ආ පෙන් ඩ්‍රයිව් තොගයක් නිසි ලෙස ක්‍රියාත්මක නො වීම නිසා ඔහු දැවැන්ත පාඩුවක් විඳගෙන තිබෙනවා. ඔහු උත්සාහ කළේ චීන රජයට ඒ පිළිබඳ පැමිණිලි කරන්නටයි. එහෙත්, එයින් කුමන ප්‍රතිඵලයක් ලැබුණා ද යන්න දන්නේ නැහැ. 

බාල චීන භාණ්ඩ නිසා මේ වන විට අප සෑහෙන්න බැට කා හමාරයි. එතරම් බාල විධියට භාණ්ඩ හදන්න පුළුවන්කමත් එක්තරා දක්ෂකමක් ය කියා හිතෙන තරම් බාල විධියට ලාභ ලබන්නට චීනයට පුළුවන්. 

එහෙත්, මා දන්නා තරමින්, චීනය ‍‍දියුණු රටවලට මෙවැනි කුණුකන්දල් නො යවන්න වග බලා ගන්නවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ හොඳම ජාත්‍යන්තර හිතවතා වුණේ චීනය වුණාට චීනය ලංකාව සූරා කෑවේ නම් අන්තිම නින්දිත වි්ධියටයි. බාල භාණ්ඩ මේ සූරාකෑමේ ප්‍රධාන ස්වරූපයයි. 

ලංකා‍වට බාල චීන භාණ්ඩ ගලා එන්නේ එක පැත්තකින් ලාංකික ව්‍යාපාරිකයන්ගේ තිබෙන අධික ලාභ ලැබීමේ කූට මානසිකත්වය නිසායි. 

චී‍නයේ මෙන් ම ලංකාවේත් සිටින මෙවැනි සටකපට වෙළෙන්දන් නිසා ලංකා‍වේ ජනතාවටත් චීනයේ ප්‍රතිරූපයටත් සිදු වන හානිය වළක්වා ගන්නට මේ වෙළඳ ගිවිසුම හරහා හෝ නියාමනයක් ඇති වෙනවා නම් එය ලොකු දෙයක්. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-22

ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කර රට ස්ථාවර කරන තෙක් මහ මැතිවරණ පවත්වන්නට ඕනෑ ද නැත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවේ ඇමති තනතුරු භාර ගැනීමත් සමග මේ වන විට දේශපාලනය පූර්ණ අවුලක් බවට පත් වී තිබේ. 

ආණ්ඩුව හා විපක්ෂය හඳුනා ගන්නට බැරි තරම් නූල් බෝලයක් වී තිබේ. 

ශ්‍රීලනිපය ආණ්ඩුවට සහාය දෙමින් ආණ්ඩුවේ ද, විරුද්ධ වෙමින් විපක්ෂයේ ද සිටියි. ජනාධිපති ශ්‍රීලනිපයේ නායකයා ය. මේ අතර ශ්‍රීලනිපයේ හිටපු නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පිටින් බලය ඩැහැගැනීම සඳහා ජනතාව බලමුළුගන්වමින් සිටියි. 

රාජ්‍ය පාලනය තුළ එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව, උපායමාර්ගය කුමක්දැයි අපැහැදිලි ය. එහෙම එකක් තිබෙනවා ද යන්න ද තේරුම් ගන්නට බැරි ය. 

මේ අවුල මැද අප ද අවුල් විය යුතු ද? නැත. එය ඔවුන්ගේ අවුලක් මිස අපේ අවුලක් නො වේ. අප බැලිය යුත්තේ අපගේ න්‍යාය පත්‍රය ඉදිරියට යනවා ද කියා ය. 

මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටලුව විසඳා ගත යුතුව තිබේ. මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ය. ඒ සඳහා නො තිබුණු පාර්ලිමේන්තු සහයෝගය දැන් ලැබී තිබේ ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නටත්, යහපාලනය පිහිටුවන්නටත් හේතු වේ. 

දූෂිතයන්ට දඬුවම් කිරීම ද යහපාලනයේ අනාගතය ස්ථාවර කිරීම සඳහා අත්‍යවශ්‍ය ය. එසේම ජනතාවගෙන් කොල්ල කෑ ධනය ආපසු ලබා ගත යුතු ය. සමාජ අපරාධවල යෙදුණු අය සිරගත කළ යුතු ය. සමස්ත සමාජය ම පුනරුත්ථාපනය කළ යුතු ය. 

මේ කාර්යයන් සඳහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය ය. මහින්ද රාජපක්ෂ වැනි මේ වන විට සිරගෙවල්වල සිටිය යුතු අපරාධකරුවන් බැඳ දැමිය යුතු ය. ඔවුන්ට නටන්නට පොළව සකසා දිය යුතු නැත. 

ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කර රට ස්ථාවර කරන තෙක් මහ මැතිවරණ පවත්වන්නට ඕනෑ ද නැත. 

අපට අවශ්‍ය දින වකවානු නො වේ. වෙනස නිර්මානය කිරීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

පාන්කිරිත්තෝ

කුරුල්ලන් ඉන්නෙ අපට ඡායාරූප ගන්න නෙමෙයි. කවි ලියන්න.
හැමදාම පාන්දර
"අජිත්, අජිත් වේස කොටිය" 
කිය කියා මට බනින 
කුරුල්ලෙක් ඉන්නවා
අල්ලගන්නයි හිටියෙ 
මං ඌව බෙල්ලෙන් ම

ළඟදි මං දැක්කා
කුරුල්ලෙක් කඩිසර
අවානක් සේ 
පෙඳේ විදහා නටන
සුදු ‍තොප්පියක් දමන
කිය කියා අර බලු සිංදුව
හදනවා කූඩුවක්
නිවස ළඟ 
පහත අඹ අත්තක

ඉල්ලගෙන කන්නයි
හදන්නේ හාදයා උඹ
බළල්ලුත් සැරිසරති
කුරුල්ලොත් තව සිටිති
උඹේ ඔය මැටි පාන
අනාරක්ෂිත එකකි

අපේ උපදෙස් කුමට
බර ය බිත්තර බඩට
දැම්මෙ පොඩි දිගටි ගෙඩි
දෙකක් ඔය යස රඟට

එදා සිට ඒ යුවල 
රැක්කෝ ය එබිජුවට
පියඹමින් කාලයේ
බල බලා වටපිට
අපේ ගෙදරට එන
බළල් රාළයින් හට 
යන්න බැරි විය ළඟින්
කෙටු‍වෝ ය කුරුල්ලෝ 
හොටින් ටික් ටික් හඬින්

එක් දිනක් උදේ මම 
දුටිමි කිරිලිය තුඩින්
බිඳින හැටි බිත්තර
සෙලවුණා දෙකක් ගුලි
ඇරන් බලි කටවල්

මෙන්න දැන් කුරුල්ලන්
ලොකු වෙලා තරමකට
තොප්පි දාගෙන සිටිති 
මව්පියන් වාගේ ම
ඉගිලෙන්න ලෝකයට

පාන්කිරිත්තන්
කළු තඩි බළලුන් 
බියපත් කළ හැටි 
දුටු මට සිහි කළෙ
ප්‍රේමකීර්තිගෙ
පාන්කිරිත්තා

'පාන්කිරිත්තා 
නැටුම නවත්තා
කේන්තියෙන් ආවා
කෑදැත්තාගේ 
කළු අත්තටුවෙන්
අල්ලා සෙලවූවා'

තොප්පි දාන් උන්
පැටවුන් දුටු විට
කැමිලස්ගේ සිරිබිරිස්
සිහිපත් විය මට
ඉපදෙනකොටමත්
සිරිබිරිස් දරුවන්
තොප්පි දමාගෙන 
ඉපදී සිටි හැටි 

මා ඉපදී ඇති
මේ දිවයින ගැන
එහි මිනිසුන් ගැන
කුරුළු සතුන් ගැන
අව් වැසි ගුණ ගැන 
සතුටක් ඉපදිණ
මට දුන් දේ ගැන

 - අජිත් පැරකුම් ජයසිංහ - 2015- 03 - 21

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-21

ගෝඨා භය දුරු වීම

මේ දිනවල පුවත්පත්වල හා රූපවාහිනියේ ගෝඨාභය රාජපක්ෂ සමග කරන සම්මුඛ සාකච්ඡා නිරීක්ෂණය කළ විට මහින්ද රාජපක්ෂ පාලනයේ පරා‍ජයෙන් පසු උදා වී තිබෙන මාධ්‍ය නිදහසේ තරම තේරුම් ගත හැකි ය. 

වෙනත් දෙවන පෙළ දේශපාලකයන් ප්‍රශ්න කරන  නිදහස් ස්වරූපයෙන් ම ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රශ්න කිරීමට සාමාන්‍ය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යකරුවන්ට ගට ලැබී තිබේ. එය ඇත්තෙන් ම ලොකු වෙනසකි. 

එපමණක් නොව, බලයෙන් ගිලිහුණු ගෝඨාභය රාජපක්ෂට ද පළමු වතාවට මාධ්‍ය ඉදිරියේ මහත්මා ලෙස හැසිරෙන අභියෝගය භාර ගන්නට සිදු වී තිබේ. 

රාජ්‍ය බලය පාවිච්චි කරමින් චන්ඩි භූමිකාවක් රඟ ගෝඨාභය රාජපක්ෂ පෑ කලින් ඇඳගෙන සිටි සන්නාහ ගැලවී නිරුවත් වන විසුළු ස්වරූපය ජනමාධ්‍යයන්ගෙන් නිරූපණය වේ. 

ලේක්හවුසියේ වැඩ කළ පෝද්දල ජයන්ත හිංසනයට ලක් කර මරා දමන්නට තැත් කරන්නට පෙර ගෝඨාභය රාජපක්ෂ ඔහු හා සනත් බාලසූරිය ගෙන්වා තර්ජනය කළ ආකාරය ඔවුන් විසින් එකල ජනමාධ්‍යවලට හෙළි කර තිබිණි.

ඒ ගෝඨාභය රාජපක්ෂ දැන්නම් තොත්ත බබෙකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි බරපතල සිද්ධි ගැන ඔහු කිසිවක් දන්නේ නැත. දුමින්ද සිල්වා, ගලගොඩඅත්තේ ඥානසාර වැනි අය සමග සම්බන්ධයක් ද තිබී නැත. එපමණක් නොව පළා ගිය බැසිල් රාජපක්ෂ යන බවක් ඔහුට කියාත් නැත. ගියාට පසු මේ දක්වා දුරකථනයෙන් කතා කර ද නැත. 

ඒ කාලයේ සෞභාග්‍යවත් ජීවිතයක් සොයා ඇමරිකාවට පැන ගියාට දැන් එහි යන්නට ඔහු කැමති නැත. ගියොත් රස්සාවක් සොයාගෙන ජීවිතය අලුතින් පටන් ගන්න වෙනවා ලු. එහි සිටින කොටි හිතවාදීන් ඔහු සිරගත කිරීමට අවශ්‍ය කටයුතු කරනු ඇති ලු. ඔහු මේ ‍රටේ සිරගෙයක ඉන්නට ඊට වඩා කැමතියි ලු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

හිස සුන් මළ කඳන්, අත් පා කැපූ සිරුරු කොළඹින් හමු වන්නේ ඇයි?

පසුගිය සතියේ දෙමටගොඩ ප්‍රදේශයෙන් හිස හා අත් පා සුන් මළකඳක් හමු විය. එම මළ සිරුරේ ම පා දෙක ඊට පැය කීපයකට පෙර ආසන්න ප්‍රදේශයක කුණු ඇලකින් හමු විය. 

ඒ ආසන්න වකවානුවේ ම කුණු වූ මළසිරුරක් දියවන්නා ඔයෙන් හමු විය. එම සිරුරේ ම අතක් නාවල ඇලකින් හමු විය. ඒ අතේ නියපොතු ගලවා වධ දී තිබිණි.

මේ සිරුරුවල අත් පා කපා තිබුණේ එක පිහි පහරකින් පළපුරුදු මස් කපන්නකු විසිනි. 

මෑත කාලයේදී කොළඹින් පුද්ගල අතුරුදහන්වීම් වාර්තා නො වූ බව පොලිසිය කියයි. එතකොට මේ මරා දමන ලද පුද්ගලයෝ කවුරු ද? 

මෙය පාතාල කල්ලි අභ්‍යන්තර ගැටුමකැයි පොලිසිය සැක කරයි. 

තවත් සැක කළ යුතු පැති තිබේ. 

මේ අය වෙනත් ප්‍රදේශවලින් පැහැරගෙනැවිත් ඝාතනය කළ අය විය හැකි ය. 

මේ පසුගිය කාලයේ පැහැරගෙන ගොස් සඟවාගෙන සිටි පුද්ගලයන් විය හැකි ය.

කිසියම් අන්තවාදී දේශපාලනික, ආගමික කල්ලියක් මේ පිටුපස ඉන්නවා විය හැකි ය.

කෲර අන්දමින් ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ මළසිරුරු ප්‍රදර්ශනය කිරීම දේශපාලනික අරමුණකින් කරනවා විය හැකි ය. එසේ නම්, ඒ කාගේ අරමුණක් ද?

මේවා විමර්ශනය කළ යුතු ය. එසේ ම, වහාම මෙම තත්වය පාලනය කර ගත යුතු ය. 

රටේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සඳහා පොලිසිය ප්‍රමාණවත් හා නීත්‍යානුකූල අන්දමින් මැදිහත් විය යුතුව තිබේ. 

උදා වූ නිදහස අපරාධ රැල්ලක් මතු කර ගැනීම සඳහා අවස්ථාව කර ගැනීමට ඉඩ නො දිය යුතු ය. 

විශේෂයෙන් ම තරුණ ජනයා කෙරෙහි රටේ අවධානය යොමු විය යුතු ය. පසුගිය ජනවාරියේ මහ දවල් කොළඹ කොස්ගස්හන්දියේදී බිල්ඩර් ප්‍රසාද් නම් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර පයින් ම පළා ගිය කොට කලිසම් ඇඳි හිරිමල් තරුණයෝ පස්දෙනා තවමත් නිදැල්ලේ ය. 

මගේ මිතුරකුගේ ඥාතියකු අහංගම ගොයියාපාන ප්‍රදේශයේ ගඟක දිය නෑමට ගොස් සිටියදී ඔවුන් සමග සිටි ගැහැනු ළමයින්ට එහි සිටි බීමත් තරුණ පිරිසක් විසින් විහිළු කර තිබේ. මෙහිදී ඇති වූ ගැටුමකින් පසු, අසල තැනකින් යගදාවක් රැගෙන ආ තරුණ පිරිසෙන් එක් අයෙකු විසින් පහර දීම නිසා මගේ මිතුරාගේ ඥාතියාගේ හිස් කබලේ තැනක් කුඩු වී තවමත් සිහි නැතිව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ආසන්න නිවෙස්වල පදිංචිකරුවන් විය හැකි බව මගේ මිතුරා කියයි. පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්නට කටයුතු කර නැති බව ඔහු චෝදනා කරයි. 

මේ දිනවල බිග් මැච් අතරතුර බීමත් තරුණ පිරිස් හැසිරෙන ප්‍රචණ්ඩ ආකාරය ද අධ්‍යයනය කරන විට තරමක් නරක තත්වයක් නිරීක්ෂණය කළ හැකි ය. අවනීතික බලහත්කාරය විසින් රබර් බෝලයක් සේ යට ගසාගෙන සිටින ලද සමාජ ප්‍රචණ්ඩත්වය උදා වූ නිදහසත් සමග යළි හිස ඔසවමින් තිබේ. 

සුදු වෑන් භීතිකාව හෝ සැකකරුවන් පළා යන්නට තැත් කළ මුවාවෙන් ඝාතනය කිරීම මෙයට විසඳුම නො වේ. ප්‍රචණ්ඩත්වය නීති මාර්ගයෙන් හා සමාජ අධ්‍යාපනයෙන් පිටුදැකිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-19

බලි බලමු. අලි නො බලමු

සත්ව හිංසන ‍චෝදනා මත කන්ඩලමේදී අද දින අත්අඩංගුවට ගන්නා ලද අලි පැටියා යා පිටේ යන්නේ කවුරුද (ඡායාරූපය: ලංකාදීප)
හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නම් සංවිධානයක් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේ ය. අරමුණ හීලෑ අලින් ඇති කරන්නන්ට එරෙහිව සත්ව හිංසන නීති ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීමයි. 

මේ සංවිධානයේ සාමාජිකයෝ අලින් නො ව අලි අයිතිකාරයෝ ය. පසුගිය කාලයේ රජය හැම අලි අයිතිකාරයකුට ම එරෙහිව කටයුතු කළේ නැත. කටයුතු කළේ අලි පැටවුන් නීති විරෝධී ලෙස සොරකම් කරගෙන රැගෙන විත්, අවසර නොමැතිව, දේශපාලන අනුග්‍රහයෙන් ඔවුන් ඇති දැඩි කළ අයට එරෙහිව ය. 

හීලෑ බල්ලන්, බළලුන් හා ඇතැම් විට හරකුන් ආදිය සිටිති. එහෙත් හීලෑ අලි ඇතැයි මම නම් නො සිතමි. මන්ද, මිනිස් සමාජයේ නිදහසේ ජීවත් වන කිසිදු අලියකු දැක නැති හෙයිනි. හීලෑ ය කියන අලින් ද ඉන්නේ පයට විලංගු දමා ය. හීලෑ නම් විලංගු මොකට ද?

අලි හිමිකරුවකු වීම එක පැත්තකින් නම්බුවට කාරණයකි. බම්බු නම්බුව කෙසේ වෙතත්, මේ අලි අයිතිකාරයෝ ඉන් පසු අලියා විකුණාගෙන කති. ඉතා අනතුරුදායක පරිසරයන්හිදී කොටන් ඇදීම සඳහා අලින් යොදා ගැනිණි. දැන් එය තරමක් අඩු ය. එහෙත්, ‍‍ඒ වෙනුවට රට පුරා පෙරහැර කර්මාන්තයක් ආරම්භ කර, වසර පුරා පවත්වාගෙන යනු ලැබේ. පසුගිය දිනෙක පාසලක පා ගමනකටත් අලියෙකු සම්බන්ධ කරගෙන තිබිණි. ඒ අලියා එම පාසලේ වර්තමාන හෝ ආදි සිසුවෙකු වූයේ නැත. 

ඔබ මහත් භක්තියෙන්, අභිමානයෙන් නරඹන නුවර පෙරහර වැනි පෙරහරවල යන අලින්‍ට නිදහසේ පා තබන්නට බැරි තරම් ළඟින් ඔවුන්ගේ දෙපා විලංගු ලා ඇති බව ඔබ දන්නවා ද? ඒ විලංගු නිසා ඔවුන් ගමන් ගන්නේ දැඩි වේදනාවෙන් බව ඔබ දන්නවා ද? ගමන් නො කරන අවස්ථාවලදී පවා මේ දැවැන්ත සතුන්ට අඩි කීපයකට වඩා චලනය වන්නට බැරි වන පරිදි ඔවුන් ගස්වලට, කණුවලට තබා බැඳ ඇති බව ඔබ දන්නවා ද? අලියෙක් ඔබ ජීවත් වන තරම් ම කාලයක් ජීවත් වෙයි. ඒ මුළු ජීවිත කාලය පුරා ම ඔවුන් ජීවත් වන්නේ විලංගුවෙන් පා බැඳ බව ඔබ දන්නවා ද? 

ලංකාවේ නම්බුකාර මිනිස්සු අලි වහල් සේවයේ යොදවා, ඔවුන්ට වධ දෙමින් මුදල් උපයා ගන්නා බව ඔබ දන්නවා ද? අද පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් ඔවුන් ඉල්ලා සිටියේ නිදහසේ මේ සත්ව හිංසනය කරගෙන යාමට අවසර දෙන ලෙසයි. ඔවුන් වෙනුවෙන් සත්ව හිංසන නීති ලිහිල් කරන්නට ඔබ ඉඩ දෙනවා ද?

මේ සත්ව හිංසනයට එරෙහි වන්නට අපට කළ හැකි දේ තිබේ. කිසි විටෙක අලින් ප්‍රදර්ශනය කෙරෙන පෙරහැර ආදිය නරඹන්නට යන්න එපා. අලින් පිට යාම් ආදිය කරන්න එපා. 

සතුන් වතු කියන්නේත් මෙවැනි ම තැනකි. ඒවායේ මෙම වධ බන්ධනය සෙසු සතුන්ට ද දෙනු ලැබේ. සතුන් වතු බලන්නට ද යන්න එපා. වනෝද්‍යානවල වන ජීවීන් නරඹන්නට යන විටදී වුව සතුන්ගේ සාමාන්‍ය ජීවිතයට හිරිහැර සිදු නො වන පරිදි එය කරන්නට වග බලා ගන්න. 

දියුණු මිනිස්සු සතුන් ගැන මානුෂිකව සිතති. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-18

ජාතික ගීය දෙමළෙන් ගැයීමට යළි අවසර දීම හරි ද?

ජාතික ගීය දෙමළෙන් ගැයීම නැවැත්වීමට මහින්ද රාජපක්ෂ රජය ගත් තීරණය අවලංගු කර එය දෙමළෙන් ගැයීමට අවසර දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ජාතික විධායක සභාවේදී මෙම ප්‍රශ්නය මතු කළ පසු ය. 

කෙසේ වෙතත් මේ පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිත ය. 

ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මානය කරන ලද නමෝ නමෝ මාතා ගීය ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කර ජාතික ගීය ලෙස පිළි ගනු ලැබුවේ 1951දී ය. එසමයේදීම එම ගීයේ තනුවට එම් නල්ලතම්බි විසින් 'ශ්‍රී ලංකා තායේ නම් ශ්‍රී ලංකා' නම් ගීය දෙමළ කිවි එන්. නල්ලතම්බි විසින් නිර්මානය කරන ලදී. 

දෙමළ ජාතිවාදීන් මෙම ගීය පිළි නො ගත් අතර, ශ්‍රී ලංකා නාමයට පවා කැමැත්තක් නො දැක්වූ හ. දෙමළ ජනතාව අතර ලංකාව සම්බන්ධයෙන් ව්‍යවහාර වන්නේ ඉලංකෛ යන වචනයයි. ශ්‍රී ලංකා යන නිල නාමය සහිත ගීය පාසල් උත්සව ආදියෙහිදී ගායනා කරන ලදී. එය නිල ජාතික ගීය නො වුණ ද ජාතික ගීයේ දෙමළ ස්වරූපය ලෙස පිළිගැනිණි.

වසර පනහකට වැඩි කාලයක් ව්‍යවහාරයේ තිබුණු මෙම දෙමළ ගීය 2009 යුද ජයග්‍රහණයෙන් පසු ජාතිවාදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සම්බාධකවලට ලක් විය. 

එකම තනුවට නිර්මානය කරන ලද, එක ම ගීය විවිධ භාෂාවලින් ගායනා වීම වර්තමානයේ සුලබ තත්වයකි. එසේම එකම ගීයේ කොටස් විවිධ භාෂාවලින් ගායනා වීම ද දැන් ඉතා සුලබ ය. 

බහු සංස්කෘතික වූ ‍ලොව වෙනත් රටවල ද ජාතික ගීය භාෂා කීපයකින් ගායනා වේ දකුණු අප්‍රිකාව නිදසුනකි. 

ජාතික ගීය දෙමළෙන් ගැයීමෙහි ඇති වරදක් නැත. නො දන්නා භාෂාවකින් ලියැවුණ ගීයක් ගායනා කරන්නැයි දෙමළ පාසල් දරුවන්ට හෝ ජනතාවට බල කරන්නට රජයට හිමිකමක් නැත. හමුදා බලහත්කාරය යොදවා නො දන්නා භාෂාවකින් ගීයක් ගැයෙව්වාට ජාතික සමගිය ඇති වන්නේ ද නැත. සිදු වන්නේ හිත් පතුළේ වෛරය මුල් බැස ගැනීම පමණි. 

අද වන විට ලංකාවේ දේශපාලන නායකයන්ගෙන් බහුතරය කොළඹ රාජකීය පිරිමි පාසලේ හෙවත් රෝයල් කොලීජියේ ආදි සිසුවෝ ය. ඔවුහු අදත් සිය පාසල් ගීය ලෙස ගයන්නේ ඉංග්‍රීසි ගීයකි. 

එවන් සංදර්භයක් තුළ ඈත පිටිසර පොළොන්නරුවේ ලක්ෂ උයන ගොවි ගම්මානයේ උපන් ගොවි පුතකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිවාදී බලහත්කාරයක් ඉවත් කරන්නට ගන්නා මෙම පියවර අගය කළ යුතු ය. 

ශ්‍රී ලංකාවේ ජාතික ගීය හා ජාතික කොඩිය පිළිබඳ කතිකාවක් ඇත. ‍ඒවා ඒ හැටියෙන් ම පිළි ගත යුතු ය යන්න අපේ ස්ථාවරය නො වේ. සිංහල හා දෙමළ ජාතික සීමාවන් අතික්‍රමණය කළ ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීමත් සමග මේවා නැවත සාකච්ඡා විය යුතු කරුණු ය. එහෙත්, ඉදිරියට යන්නට නම් මේ පියවර පවා වැදගත් ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-17

අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන් ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එරෙහිව ද කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය ය

මතභේදයට තුඩු දී තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

පරීක්ෂණ අවසන් වන තෙක් තමන් සේවයට වාර්තා නො කරන බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැනුම් දී ඇති බව අගමැතිවරයා පැවසී ය.

සිදුධිය විමර්ශනය සඳහා පත් කර තිබෙන ත්‍රිපුද්ගල කමිටුව ආරක්ෂා කරමින් කතා කළ අගමැතිවරයා කමිටු සාමාජිකයන් තිදෙනාගේ සුදුසුකම් පෙන්වා දුන්නේ ය.

පසුව කතා කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ එම කමිටුව තමන්ට පිළි ගත නො හැකි බවයි. ඔහු පවසන්නේ එම නීතිඥවරුන් තිදෙනා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ අය බවයි. එමගින් සිද්ධිය පිළිබඳ විරෝධය යට ගැසීමට රජය උත්සාහ කරන බව ඔහු පැවසී ය.

මෙතැන සිදු වී තිබෙන දෙය වන්නේ මෙයයි. රජය පෙබරවාරි 27දා භාණ්ඩාගර බැඳුම්කර නිකුතුව ප්‍රසිද්ධ කළේ 9.5%ක පොළී අනුපාතයකට වසර 30කින් කල් පිරීම සඳහා රුපියල් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමටයි. එහෙත් එය අවසන් වූයේ12.5%ක පොළිය යටතේ රුපියල් බිලියන 10ක් ලබා ගැනීමෙනි. වෙන්දේසියේදී රුපියල් බිලියන 20.7ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම තිබුණු බව වාර්තා වේ.

විමර්ශනය කළ යුතුව තිබෙන කරුණු වන්නේ ප්‍රසිද්ධ කර තිබුණු 9.5% ‍පොළිය 12.5% දක්වා ඉහළ ගිය ආකාරය හා ලබා ගත් ණය මුදල වැඩි කළේ ඇයි ද යන්නයි.එම තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කිසියම් සමාගමකට වාසිදායක වන අයුරින් මහ බැංකු අධිපතිවරයා කටයුතු කර තිබේ ද යන්න විමර්ශනය කළ යුතු ය. මෙම ගනුදෙනුවෙන් වාසි ලබා තිබෙන්නේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමකි.

අර්ජුන් ඇලෝසියස් මෙවැනි ගනුදෙනු ඔස්සේ මීට පෙරත් වාසි ලබා ඇති බවට චෝදනා එල්ල වේ. එසේම, අර්ජුන් මහේන්ද්‍රන් දැනට එක්සත් ජනපදය විසින් මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් සිරගත කර තිබෙන මුල්‍ය ව්‍යාපාරික රාජ් රාජරත්නම් සමග සමීපව කටයුතු කළ අයෙකු බව ද කියැවේ. රාජ් රාජරත්නම් හා වත්මන් මුදල් ඇමති රවි කරුණානායක අතර පැවති ගනුදෙනු හා සම්බන්ධ නඩු විභාගයක් ද ලංකාවේ අධිකරණයේ පැවැත්වේ.

මෙම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා අගමැතිවරයා විසින් පත් කර තිබෙන කමිටුව සති කීපයකින් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත ය. එම වාර්තාව පදනම් කරගෙන ඉදිරි කටයුතු තීරණය කරන බව රජය පවසයි. 

මෙවැනි මුල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම කමිටු අවශ්‍ය ද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට සහ පොලිසියට මේ පිළිබඳ විමර්ශන මෙහෙයවන්නට බැරිකමක් නැත.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය පාදක කරගෙන සමාජයේ වැදගත් සංවර්ධනයන් රැසක් සිදු වී තිබේ. අගමැතිවරයා මෙම ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේ ය. විමර්ශනය පිළිබඳ දැවැන්ත මහජන අවධානයක් යොමු වී තිබේ. 

මෙහිදී මුල්‍ය අපරාධයක් සිදු වී තිබේ නම් සියලු සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය. ඒ විධිමත් විමර්ශනයක් ඔස්සේ ය. 

අගමැතිවරයා අසන ප්‍රශ්නයක් තිබේ. ඔහු අසන්නේ අද මෙම සිද්ධිය පාදක කරගෙන දැවැන්ත උද්ඝෝෂණයක් කරන විපක්ෂය පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී සිදු වූ දූෂණ පිළිබඳ මුනිවත රැක්කේ ඇයි ද යන්නයි. ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ය. එහෙත්, මේ ප්‍රශ්නය මතු කරමින් සිය වගකීමෙන් ගැලවී යන්නට අගමැතිවරයාට නො හැකි ය. 

විපක්ෂය ඉල්ලා සිටින පරිදි මෙතැනින් පටන් ගත යුතු ය. මහින්දවාදී විමල් වීරවංශගේ පක්ෂය ඉල්ලා සිටින්නේ අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නට ය. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සම්බන්ධයෙන් ද ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට අවස්ථාවක් කර ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ යුගය යහපාලනය තුළ අවසන් කළ යුතු ය.

පහත සඳහන් වන්නේ ලංකාදීප පුවත්පතින් උපුටා ගත් සිදු වීමකි. එහි සඳහන් වන ආකාරයට නඩත්තු නො ගෙවීම සම්බන්ධයෙන් සුළු සේවකයකුට අවුරුදු නවයකට වැඩි සිර දඬුවමක් නියම කර, මේ වන විට වසර එකහමාරක් පමණ සිරගත කර තබා තිබේ.

මහේස්ත්‍රාත්ගෙන් නීති විරෝධී සිර දඬුවමක්

අත්තනගල්ල උසාවියේ නඩත්තු නඩුවකදී නඩත්තු නොගෙවී යැයි මාස 116 ක හෙවත් නව අවුරුදු අට මාසයක සිර දඬුවමක් නියමවූ සුළු සේවකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
ඔහු සිය පෙත්සමින් කියා සිටියේ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා තමාට නීති විරෝධී සිර දඬුවමක් නියම කළ බවයි.
බොකලගම අනුර සමන් කුමාර (49) ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණාන්ද තිරානාගම මහතා මගින් කියා සිටියේ මහේස්ත්‍රාත්ගේ නඩු තීන්දුව නීති විරෝධී බවයි. මෙවැනි තීන්දුවක් දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයිද කීවේය.
දැනට මාස 17ක් දඬුවම් ගෙවා ඇතැයිද එම සිර දඬුවම අවසන් වන්නේ 2020 අප්‍රේල් 5 වැනිදා බවත් සිරකරුවකුගේ දිනක නඩත්තුව සඳහා රජයෙන් රුපියල් 300ක් වැය කරන බව බන්ධනාගාරය කියන බවත් ඒ අනුව තමා වෙනුවෙන් නිකරුනේ රජයේ මුදල් රුපියල් 1,044,000 වැය වන බවයි.

සීගිරියේ සංරක්ෂිත කැටපත් පවුරේ කුරුටු ගෑ මඩකලපුවේ තරුණියට දුන් දෙවසරක සිර දඬුවම ද මේ අන්දමින් ම මතභේදයට ලක් වී තිබේ. 

මා හඳුනන වයස අවුරුදු පනස්පහ ඉක්මවූ ගුරුවරයකුට පසළොස් වසරකට පමණ ඉහතදී ආබාධිත දැරියකගේ පපු පෙදෙස ස්පර්ශ කර හිරිඔතප් බිඳීමේ වරදට සය වසරක සිර දඬුවමක් නියම කරන ලදී. මෙම ගුරුවරයාට පෙර වැරදි නො තිබුණු අතර පසුගිය පසළොස් වසර තුළ ඔහුගේ කල්ක්‍රියාව සම්බන්ධයෙන් පැමිණිලි ද ලැබී නො තිබිණි. 

වැරදිකරුවන් දණ්ඩනයට ලක් කළ යුත්තේ ඇයි ද කියන කාරණය සම්බන්ධයෙන් මේ රටේ විනිසුරුවරුන්ට පැහැදිලි අවබෝධයක් තිබේ ද යන්න සැක සහිත ය. වැරදිකරුවකු දණ්ඩනයට ලක් කරන්නේ එක පැත්තකින් එම පුද්ගලයා පුනරුත්ථාපනය කරන්නට ය. අනෙක් පැත්තෙන්, එම පුද්ගලයා නැවතත් එවැනි වැරදි කළ නො හැකි තත්වයට පත් කරන්නට ය. 

මා විසින් ඉහතදී සඳහන් කරන්නට යෙදුණු සිද්ධි තුනේදී විනිසුරුවරුන් දඬුවම් නියම කරන්නේ මේ කාරණය ගැන සලකා බලා ද? 

විනිසුරන් දඬුවම් නියම කිරීමේදී කරන අත්තනෝමතික හෝ ද්වේෂසහගත ක්‍රියාවලින් මානව හිමිකම් උල්ලංඝනය වන පිරිස්වලට යුක්තිය සඳහා ක්‍රියාමාර්ග ගැනීමට තිබෙන අවස්ථා විරල ය. 

මෙවැනි අමානුෂික දණ්ඩනයන් හේතුවෙන් අගතියට පත් වෙන වැරදිකරුවන් හා ඔවුන්ගේ පවුල්වලට දඬුවම ලිහිල් කරවා ගැනීම සඳහා අභියාචනා කිරීම සඳහා පවා සරළ ක්‍රියාමාර්ගයක් නැත. 

ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය මෙම කරුණ සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු ය. විනිසුරන් දඬුවම් නියම කිරීමේදී කටයුතු කරන ආකාරය පිළිබඳ විධිමත් පටිපාටියක් සැකසිය යුතු ය. එසේම, අධිකරණ අභියාචනාවලින් තොරව තමන්ට ලැබුණු දඬුවම පිළිබඳ ඇගයීමක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් වැරදිකරුවන්ට තිබිය යුතු ය. 

එක හා සමාන වැරදිවලට විවිධ විනිසුරුවරුන් විසින්, විවිධ පුද්ගලයන්ට, විවිධ ආකාරයේ දණ්ඩනයන් පැනවීම අතිශය බරපතල වරදකි. එය වැළැක්විය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-03-16

ඔය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා ද?

ආණ්ඩුව විසින් ගැසට් කර තිබෙන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ නැත. සිදු වන්නේ විධායක ජනාධිපතිවරයා විසින් භුක්ති විඳින ලද අසීමිත බලතල ප්‍රමාණයක් සංශෝධනය වීම පමණි. යෝජිත ව්‍යවස්ථාව අනුව ද විධායක ජනාධිපතිවරයා රටේ බලවත් ම පුද්ගලයා වෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුමයැයි උද්ඝෝෂණය කරමින් සිටි ආන්තික කොටස්වලට දැන් මෙය එල්ලෙන්නට හොඳ වැලකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 1977ට පෙර පැවති විධායක අගමැති ක්‍රමය ඇති කළත්, ඇති වන ලොකු වෙනසක් නැත. හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක 1970 - 77 සමයේ රාජ්‍ය පාලනය කළේ ද ‍විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට වඩා ලොකු වෙනස්කමකින් යුක්තව නො වේ.

සැබෑ රාජ්‍ය නායකත්වයට විධායක බලතල නො ලැබෙන නවීන ආණ්ඩු ක්‍රම කිසිවක් ලෝකයේ නැත. මේ මොහොතේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන විප්ලවවවාදීන්ට අවශ්‍ය වන්නේ අන් කිසිවක් නොව තමන්ගේ ඒකාධිපති පාලනය පිහිටුවා ගැනීමට යෝග්‍ය අරාජිකත්වයක් නිර්මානය කර ගැනීමයි. 

එහෙත් ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය හා සම්බන්ධ ගැටලුවක් තිබිණි. එම ගැටලුව වන්නේ ලංකාවේ විධායක ජනාධිපතිවරයා සතුව අසීමිත බලතල තිබීමයි. ලංකාවේ විධායක ජනාධිපති ධුරය ව්‍යවස්ථානුකූල ඒකාධිපතියකු නිර්මානය කරන්නක් විය. 

ඒ බව ඔප්පු කර පෙන්වූයේ මහින්ද රාජපක්ෂයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී දෙමළ ජාතිවාදී කැරැල්ල මර්දනය කරන්නට ඔහු සමත් වීමත් සමග ම ඔහු අතිශය ප්‍රබල තත්වයකට පත් වූයේ ය. එයට අමතරව සටකපටකම් හා අශීලාචාරකම් ඔස්සේ ඔහු දැවැන්ත බලයක් ගොඩනගා ගත්තේ ය. අවසානයේදී, විධායක ජනාධිපති ක්‍රමය එහි නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන පවා ජීවත්ව සිටියා නම් ලජ්ජාවට පත් කරන තරමේ අවසානයක් කරා ඔහු ගෙන ආවේ ය. 

2009 ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව පරාජය කළේ ඒ රාජපක්ෂ ක්‍රමයයි. විධායක ජනාධිපති ක්‍රමය නො වේ. 

රාජපක්ෂ ක්‍රමය කෙතරම් මුල් විහිදුණු එකක් ද යත්, පසුගිය දිනවල රාජපක්ෂ පවුලේ අය හා ඔවුන්ගේ බත් බැලයන් සිහින දකිමින් සිටියේ දින සීයෙන් පසු එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ විධායක ජනාධිපති බලතල මුළුමනින් ම අහෝසි කර දමා, ඡන්දයෙන් පත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නාමික රූකඩයක් බවට පත් කර, බලවත් විධායක අගමැති ධුරය නැවත වතාවක් මහින්ද රාජපක්ෂ අතට පත් කර සුපුරුදු ක්‍රමය යළි පිහිටුවන්නයි. 

මෙම තත්වය හමුවේ දින සීයෙන් පසුව රාජපක්ෂ ක්‍රමය පැරදවීමේ විප්ලවය අවසන් වේ ද යන අභියෝගය අප ඉදිරියේ තිබිණි. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අනුව එවැන්නක් සිදු වන්නේ නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තව දුරටත් ආණ්ඩුවේ නායකයත්වයේ රැඳී සිටියි. එපමණක් නොව, ඔහුට නැවත වතාවක් ජනාධිපති ධුරය සඳහා තේරී පත් විමේ අවස්ථාව ද තිබේ. මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපති වන්නට ලැබෙන්නේ නැත. රාජපක්ෂ යුගය නියත වශයෙන් ම අවසාන ය. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩා වැදගත් වන්නේ රාජපක්ෂ ක්‍රමය අහෝසි කිරීම බව අපේ මතයයි. ශිෂ්ට විධායක ක්‍රමයක පූර්වාදර්ශය නිර්මානය කිරීමේ අවස්ථාව පොළොන්නරුවේ ගොවි ජනපදයක ඉපිද පඩියෙන් පඩිය නැගී ආ අව්‍යාජ ගැමියාට දැන් ලැබී තිබේ. 

රාජපක්ෂට නැවත නැගී සිටීමට බැරි වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට බලපෑම් කෙරුණේ ශ්‍රීලනිපයෙන් වීම ගැන ද අවධානය යොමු කර මහින්ද රාජපක්ෂ ගෞරවනීය විශ්‍රාම දිවියකට උත්සාහ කරනවා නම් සුදුසු ය. ‍එහෙත්, සොරකම් කළ මහජන දේපල නම් ආපසු දිය යුතු ම ය. එසේම, යුද්ධයේදී සිදු වූ වැරදි කෙසේ වෙතත්, යුද්ධය මුවාවෙන් සිතා මතා කරන ලද අපරාධවලට ද ඔහු දඬුවම් ලැබිය යුතු ය. 

මේ ආණ්ඩුවේ ජනමාධ්‍ය පරිපාලනයේ බරපතල ගැටලුවක් ඇති බව අපි ආණ්ඩුවේ අසාර්ථකත්වය හා මාධ්‍ය බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නම් ලිපියෙහි ද පෙන්වා දුන්නෙමු. අද උදෑසන වන විටත්, කැබිනට් අනුමැතිය ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දිනමිණ හෝ ඩේලි නිව්ස් පුවත්පත්වල පළ කරන්නට බැරි වීමෙන් අප කියන දෙය ඔප්පු වේ. මේ සම්බන්ධ දිනමිණ මුල් පුවත කියවා බැලීමෙන් මාධ්‍යකරණයේ අසාර්ථකත්වයේ තරම පෙනේ.