2015-06-30

මහින්දයි මෛත්‍රීයි හවුල් වුණොත් දෙන්නා ම ඉතිහාසයේ එක ම කුණු කූඩයට

මහින්ද ශ්‍රීලනිපය දෙකට කඩන බව ඉතා පැහැදිලි ය. 

ඔහුට කළ හැකිව තිබෙන ප්‍රගතිශීලී ම කැඩිල්ල නම්, ඔහුගේ හොරු සෙට් එකත් එක්ක හැකි නම් බුලත් කොළය හා අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත හා නිමල් සිරිපාල යන තුන් බානත් අරගෙන තොලොංචි වී යන එක ය. 

මහින්දගේ හොර නඩයේ ගැලවී යාම විසින් ශ්‍රීලනිපයට නවීන පක්ෂයක් ලෙස ඉදිරියට යාමට මග විවර කර දෙනු ඇත. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතැනදී මඩේ හිටවපු ඉන්න සේ සිටීම තේරුමක් නැත. අප ඔහු බලයට පත් කළේ මේ හොරු සමග කූට්ටාලි වන්නට නො වන බව ඔහු මතක් කර ගත යුතු ය. තමන්ගේ ජනවරම කුමක් ද යන්න ඔහු නැවත සිහිපත් කර ගත යුතු ය. රට වෙනස් මගකට යොමු කළ නායකයකු ලෙස ඉතිහාසගත වන්නට මෛත්‍රීපාලට ලැබී තිබෙන අවස්ථාව පාරාජිකා වූ මේ චෞරයන් නිසා නැති කර ගත යුතු නැත. 

මේ සොරුන් සමග එක් වුණොත් ඔහු ඉතිහාසගත වනු ඇත්තේ ජනවරමට පිටු පෑ ගුණමකු කාලකන්නියකු ලෙසයි. ඔහු එවැන්නකු වන බවක් මෙතෙක් ඔහු පෙන්වා නැත.

මෛත්‍රීපාල නිවැරදි තීරණයක් ගත යුතු ය. ඔහු මහින්දට ඉඩ දුන්නොත්, ඔහු බලයට පත් කරන්නට ඉදිරියට පැමිණ අවදානම භාර ගත් දේශපාලනඥයන් හා ජනතාව ඔහුට අහිමි වනු ඇත. මහින්ද සමග ගියොත් ඔහුට කිසිවක් ලැබෙන්නේ නැත. අන්තිමට සිදු වන්නේ ඔහුට ඔහුවත් අහිමි වී ඔහු ද මහින්දගේ ම බුක්තියට සින්න වීමයි. අවසානයේදී ඔහුට වතුර බෝතලයක පිහිට ලැබෙනු නියත ය. 

මෛත්‍රී මහින්දත් සමග එක් වුණොත් මේ දෙන්නා ම ඉතිහාසයේ එක ම කුණු කූඩයකට දක්කන්නට ජනවාරි 08 විප්ලවයේ ජනතා බලවේගයට සිදු වනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

සංගා දේශපාලනයට එන එක නරක ද?

කුමාර් සංගක්කාර දේශපාලනයට එන නො එන එකේ හොඳ නරක පසුගිය දිනවල සාකච්ඡා වෙමින් තිබිණි. 

ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන බවට වාර්තා පළ වී තිබිණි. 

ඔහු එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් තමන් දේශපාලනයට නො එන බව නිවේදනය කළේ ය. 

අද අයිලන්ඩ් පුවත්පතේ ද මේ පිළිබඳ බොළඳ කතුවැකියක් ලියා තිබේ. එයින් ද කියන්නේ දේශපාලනය නරක දෙයක් නිසා හොඳ සංගා එයට නො ආ යුතු බවයි. 

දේශපාලනය නරක දෙයක් කළේ ලංකාවේ දේශපාලකයෝ ය. එය නරක ම දෙයක් බවට පත් වුණේ පසුගිය දශකය තුළ ය. මෙම සමය තුළදී දේශපාලකයා යනු අමු අමුවේ මහජන දේපල මංකොල්ල කන්නකු බවට පත් කරන ලදී. 

මේ ක්‍රමය වෙනස් කළ යුතු ය. ඒ සඳහා හොඳ පෞරුෂයන් දේශපාලනයට පිවිසිය යුතු ය. ක්‍රීඩාවේ පරමාදර්ශී චරිතයක් වූ සංගාට දේශපාලනයේදී ද එසේ වන්නට බැරිකමක් නැත. 

දේශපාලනය අනිවාර්යයෙන් ම දූෂණය විය යුතු නැත. ලංකාව මේ මොහොතේ මුහුණ දී තිබෙන ප්‍රශ්නය ක්‍රිකට්වලින් විසඳන්නට බැරි ය. එ් සඳහා දේශපාලන පුරෝගාමිත්වයන් අවශ්‍ය ය. සංගා ඒ සඳහා හොඳ පෞරුෂයකි.

කලින් ද ක්‍රිකට් නායකයන් දෙදෙනෙක් දේශපාලනයට පිවිසුණ හ. එක් අයෙක් අර්ජුන රණතුංග ය. අනෙක් පුද්ගලයා සනත් ජයසූරිය ය. මේ දෙදෙනා ම දේශපාලනයේදී එතරම් සාර්ථක වූයේ නැත. එහෙත්, මේ වන විට අර්ජුන රණතුංග කෙරෙන් යම් පරිණතබවක් පළ වේ. 

කුමාර් සංගක්කාර මේ දෙදෙනාට ම වඩා ක්‍රිකට් ක්‍රීඩාවේදී පරිණත ය. එම පරිණතකම දේශපාලනයට උපයෝගී කර ගන්නට බැරිකමක් නැත. 

ඔහු වැනි තරුණ නායකයන් දේශපාලනයට පිවිසීම ඉතා හොඳ දෙයකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-29

ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරකි

ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරක් බව අපි නැවතත් අවධාරණය කරමු. 

මේ වන විට රාජපක්ෂවාදී සොරු දත මැදගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලා පසුගිය කාලයේ සොරකම් කර මුදල් යොදවා ඡන්ද කර දිනා ගන්නට ය. 

මේ සිහිනය සැබෑ කිරීමට ඉඩ නො දිය යුතු ය. මහජනතාව ලෙස අපි නැවතත් මේ සොරුන්ට බලයට පත් වන්නට තිබෙන සියලු මාර්ග අවහිර කළ යුතු ය. 

අපි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ මේ සොරුන්ට අනුග්‍රහ දක්වන්නට නො වේ. සොරුන් දේශපාලනයෙන් අතු ගා දමන්නට ය. 

ඔවුන්ට නාම යෝජනා දී ඔවුන් පරද්දන්නැයි අපෙන් ඉල්ලන්නට එපා. 

මේ චෞර කැලත මහින්දට ම භාර දෙන්න. 

ශ්‍රීලනිපයෙන් අලුත්, දක්ෂ පිරිසකට අවස්ථාව දෙන්න. 

අපි පාර්ලිමේන්තුව පිරිසිදු කරමු. 

(මෙම පෝස්ටර් ෆේස්බුක් මගින් බෙදා හරින ලද ඒවා ය. ඒවායේ නිර්මානකරුවන්ට ස්තුතියි.) 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

සීසර්ගේ දේ සීසර්ට - මහින්දගේ දේ මහින්දට

මහින්ද රාජපක්ෂවාදියකු වන පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න සිය ෆේස්බුක් පිටුවේ සුසිල් ප්‍රේමජයන්තගේ ඡායාරූපයක් පළ කරමින් THIRAYEN PITUPASA MAHINDA WENUWEN AYOMAYA SHAKTHIYA යි සටහන් කර තිබිණි.

පූජකයෝ ජේසු අමාරුවේ දාන්න මිනිසුන් ලවා ප්‍රශ්නයක් ඇසූ බව බයිබලයේ සඳහන් වෙනවා. අහපු ප්‍රශ්නය තමයි සීසර්ට බදු ගෙවිය යුතු ද යන්න. එපා කිව්වා නම් ජේසු අමාරුවේ වැටෙනවා. ගෙවන්න කිව්වා නම් යුදෙව්වන් ඒ අදහසට විරුද්ධ වෙනවා. කාසියක් ගෙන්වා ගත් ජේසු ඇහුවා එහි තිබෙන්නේ කාගේ රූපය ද, නම ද කියා. එහි තිබෙන්නේ සීසර්ගේ නම හා රූපය යි පැවසූ විට ජේසු කීවේ ‘සීසර්ගේ දේ සීසර්ට දෙන්න. දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න' කියා ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් ද තිබෙන්නේ මෙවැනි පිළිතුරකි. එහිදී කීමට සිදු වන්නේ ‘මහින්දගේ දේ මහින්දට දෙන්න. දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න' යි කියා ය.

මෙතැනදී දෙවියන් යනු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නො වේ. මේ වන විට ඔහු ජනවාරි 08 විප්ලවයේ බලාපොරොත්තු සුන් කරන යම් ක්‍රියාමාර්ග ගෙන හමාර ය. එක පැත්තකින් එය ඔහුගේ වරදක් නො වන්නට ද පුළුවන. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාර ගනිද්දී එතරම් ගැඹුරට සිතා නො බැලුවා විය හැකි ය. සරළව කිවහොත්, ඔහු විසින් පරදවන ලද, ඔහුව පැරදවීමට ගොස් අසාර්ථක වූ පක්ෂයකට ඔහුට නායකත්වය දිය නො හැකි ය. එහි මූලික සදාචාරාත්මක ප්‍රශ්නයක් ද බැඳියා පිළිගැටුමක් (conflict of interests) ද තිබේ.

පවතින ශ්‍රීලනිපය යනු මහින්ද රාජපක්ෂගේ නිර්මානයකි. එය සමන්විත වන්නේ මහින්ද රාජපක්ෂ රජකු සේ ප්‍රවර්ධනය කළ, ඔහුගේ ඒකාධිපති පාලනය නිහඬව ඉවසා සිටි, රාජපක්ෂ පවුලට පක්ෂයේ බලය පවරා දුන්, රාජපක්ෂ පවුලේ අත පල්ලෙන් වැටෙන දෙයකින් සැනසුණු, මහජන දේපල සොරකමින් ධනවත් වූ, තමන් කළ අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගෙන් මුක්තිය අපේක්ෂා කරන බලවේගයකිනි. ඇමතිවරුන්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෝ ඊටත් පහළ මට්ටම දක්වා ම තත්වය එයයි. මෙම බලවේගය මහින්ද නැවත බලයට පත් කිරීම සඳහා වෙහෙසෙන්නේ හේතු ඇතිවයි. ඔවුන්ගේ පැවැත්ම තීරණය වන්නේ මහින්දගේ පැවැත්ම මත ය. මහින්ද යනු හුදු පුද්ගලයෙක් නො වේ. සමාජ ක්‍රමයකි.

මෛත්‍රීපාල සිරිසේන යනු මේ ක්‍රමයට ඇතුළතින් ම අභියෝග කළ පුද්ගලයෙකි. එහෙත්, ඔහු ජනාධිපතිවරණය ජය ගත්තේ රාජපක්ෂ ක්‍රමයේ අනුගාමිකයන්ගේ ඡන්දයෙන් නො වේ. ඔහු දිනුවේ රාජපක්ෂ ක්‍රමයට එරෙහිව සටන් කළ මිනිසුන්ගේ ඡන්දයෙනි. ඔහුට ශ්‍රීලනිපයෙන් ඡන්ද වැටුණේ අතළොස්සකි. එහෙව් පක්ෂයක නායකත්වය අතට ගැනීම හා දැන් එය ගොඩ දමන්නට වෙර දැරීම යනු මහත් අභාග්‍යසම්පන්න තත්වයකි.

ඔහු මහින්ද රාජපක්ෂ සමග කුමන අන්දමේ සම්මුතියකට එළඹ තිබේ ද යන්න අපැහැදිලි ය. එහෙත්, දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් මෛත්‍රී හා මහින්ද යන දෙදෙනා ම තරග කරන්නට සැරසෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි.

අගමැති අපේක්ෂකයෙකු නම් නො කරන බව ද අධ්‍යයනය කර තිබේ. එසේම, මහින්ද රාජපක්ෂ තම අපේක්ෂකයන් වෙනුවෙන් වෙනම ද, මෛත්‍රීපාල සිරිසේන තම අපේක්ෂකයන් වෙනුවෙන් වෙනම ද කැම්පේන් කරන්නට යන බව දැනගන්නට තිබේ.

එසේ සිදු වේ නම්, මේ වනාහි මෛත්‍රීපාල සිය දිවි නසා ගැනීමක් බඳු ය.  මහින්දගේ ජනප්‍රියත්වය පාවිච්චි කරමින් සිය ගෝලබාලයන් වන චම්පික රණවක, රාජිත සේනාරත්න වැනි අය බෝඩ් කර ගන්නට ඔහු උත්සාහ කරන බව පෙනේ. එහෙත් මහින්ද සමග සම්මුතියකට ගියහොත් මෛත්‍රී පිලේ නියෝජිතයෝ නියත වශයෙන් ම පරදිනු ඇත. ඔවුන්ට ලැබෙන ඡන්දයෙන් ද සිදු වන්නේ මහින්ද පිලේ චෞරයන් ම වැඩිපුර බලයට පත් වීමයි.

මේ අන්දමින් ඡන්ද කෙරුවාව කළහොත් මෛත්‍රීට අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙක ම නැති වනු ඇත. කොයි ආකාරයෙන් ආවත් ශ්‍රීලනිපයට මෙම ඡන්දය දිනන්නට බැරි ය. මහින්දගේ අගමැති සිහිනය සැබෑ වන්නේ ද නැත. එය සැබෑ වුණහොත්, මෛත්‍රීගේ ජනාධිපති ධුරයට වතුර බෝතලයක පිහිට ය.

මෛත්‍රීට තවමත් කරන්නට දේ ඉතිරි වී තිබේ. මහින්දගේ දේ මහින්දට දිය යුතු ය. ඒ කියන්නේ ඔහු නායකත්වය දෙන චෞර කැළට ඔහු සමග ම යන්නට ඉඩ දිය යුතු ය. සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා වැනි තිරයෙන් පිටුපස සිටින මහින්දගේ අයෝමය ශක්තීන්වලට ද තීරණයක් ගන්නැයි දැනුම් දිය යුතු ය. කරන්නේ කුමක්දැයි නො දැන නිදි කිරන නිමල් සිරිපාලට ද තීරණයක් ගන්නට බල කළ යුතු ය. මහින්ද සමග මෛත්‍රී කිසිදු සම්මුතියකට යා යුතු නැත.

ශ්‍රීලනිපය මහින්දගෙන් වෙන් විය යුතු ය. චෞරයන්ට නායකත්වය දීමේ වගකීම මහින්දට ම භාර දිය යුතු ය. මෛත්‍රීපාල විසින් කළ යුතුව තිබෙන්නේ ශ්‍රීලනිපයේ අලුත් පිරිසක් ඉදිරියට ගැනීමයි.

ශ්‍රීලනිප රාජපක්ෂ ක්‍රමයෙන් ගලවාගෙන නවීන පක්ෂයක් බවට පත් කිරීම මෛත්‍රීපාලට පැවරී තිබෙන යුගයේ කාර්යභාරයකි. ශ්‍රීලනිපය මහින්දගෙන් බේරා ගැනීම යනු රට දූෂණයෙන් බේරා ගැනීමේ ම අදියරකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-28

මෛත්‍රී - මහින්ද සම්මුතිය මොකක් ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ අතර නිර්මානය වී තිබෙන සම්මුතිය ගැන තවමත් පැහැදිලිව හෙළිදරව් වී නො මැත. 

එහෙත්, ලැබී තිබෙන වාර්තා අධ්‍යයනය කිරීමේදී අනුමාන කළ හැකි කාරණයක් වන්නේ දෙපාර්ශ්වය ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමේ සම්මුතියක් නිර්මානය වී තිබෙන බවයි. 

අගමැති අපේක්ෂකයකු නම් නො කරන අතර, මහින්ද සිය අපේක්ෂකයන් වෙනුවෙන් ද මෛත්‍රී තමන්ගේ පාර්ශ්වය වෙනුවෙන් ද ප්‍රචාරණයේ යෙදෙන්නට ඉඩ තිබේ. මේ වෙනුවෙන් මහින්ද ජාතික ලැයිස්තුවෙන් තරග කිරීමට ඉඩ තිබේ. 

කෙසේ වෙතත්, මෙවැනි සම්මුතියක් ඇති වී තිබේ නම් ජනාධිපති මෛත්‍රීපාලට එරෙහිව ඔහුගේ පාර්ශ්වයෙන් පවා දැවැන්ත විරෝධයක් එල්ල වන්නට ඉඩ තිබෙන බව ද වාර්තා වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-27

මිරුසුවිල් අධිකරණ තීන්දුවට එරෙහිව උද්ඝෝසණ කරන සියලු දෙනා අත්අඩංගුවට ගනු!

2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ මරණීය දණ්ඩනයට ලක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.

එම ඝාතනය හා සම්බන්ධ නඩු වාර්තා අනුව මෙහි සිදු වී තිබෙන සිද්ධිය මෙසේ ය.

සරණාගතයන් වූ මෙම සිවිල් වැසියන් ඝාතනයට ලක් වන්නේ ඒ වන විට හමුදාව විසින් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර තිබුණු ඔවුන්ගේ ඉඩකඩම් වෙත ගොස් එහි ගඩා ගෙඩි ආදිය කඩාගෙන ආපසු සරණාගත කඳවුරු වෙත එන්නට සූදානම් වද්දී ය. ඔවුන් මේ අවදානම් ගමන යන්නේ බඩගින්න නිසා බව පැහැදිලි ය.

මෙම ප්‍රදේශ හමුදා පාලනය යටතේ පැවති අතර එහි සිදු වූ දිගු දුර මෙහෙයුමක් නැත. ඒ නිසා දිගු දුර මෙහෙයුම් බලකායක් මේ සමග පටලවා ගැනීම සම්පූර්ණයෙන් ම වැරදි ය. දිගු දුර මෙහෙයුම් කණ්ඩායම්වල සාමාජිකයෝ කිසිවෙක් කිසි කලෙක සිය කටයුතු ගැන කයිවාරු ගසා නැත. ඉතා විධිමත් පුහුණුවක් ලබන ඔවුන් කරන්නේ මිලිටරි කාර්යයකි. ඉතා සැලසුම් සහගත ලෙස ඉලක්ක හඹා යන ඔවුන් අතින් ඝාතන සිදු වන බව ඇත්ත ය. එහෙත් ඒවා යුදමය කාර්යයන් මිස ආසාවට මිනීමැරීමේ මෙවැනි පහත් ක්‍රියා නො වේ. 

මෙම ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිදරව් වන්නේ මරා වැසිකිළි වලකට දැමීම පිණිස හමුදා භට පිරිසක් විසින් රැගෙන යමින් සිටියදී පළා යාමට සමත් වූ මහේෂ්වරන් නමැති දෙමළ සිවිල් වැසියෙක් පසුව ඒ පිළිබඳ රජයට සම්බන්ධ ඊපීඩීපී සංවිධානයට දැනුම් දීම නිසා ය.

පසුව ඊපීඩීපී සංවිධානයේ මැදිහත් වීමෙන් යුද හමුදා පොලිසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්විණි. සිද්ධිය වූ ස්ථානයට මහේෂ්වරන් රැගෙන ගොස් සිටියදී ඒ අසල ගැවසෙමින් සිටි හමුදා අනුඛණ්ඩයක් දැක ඔවුන් කැඳවා විමර්ශනය කළ අවස්ථාවේ මහේෂ්වරන් එම කණ්ඩායමේ සිටි සුනිල් රත්නායක හඳුනා ගත්තේ ය.

ඔහු සුනිල් රත්නායක හඳුනා ගන්නේ වැසිකිළි වළ අසල සිටි බෙලිකපන්නා ලෙසයි. බෙල්ල කැපීම සඳහා වැසිකිළි වළ අසලට රැගෙන යන විටත් වළ තුළ මිනිසුන් දඟළනු මහේෂ්වරන්ට දැනී තිබේ. සුනිල් රත්නායක දැකීමෙන් මහේෂ්වරන් අතිශය භීතියට පත් වූ බව වාර්තා වේ.

යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුනිල් රත්නායක විසින් මළ මිනී වළ දැමූ ස්ථානය පෙන්වන ලද අතර නඩුවේ සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබා දුන්නේ ද ඔහු විසිනි. මෙම ඝාතනය වීරෝදාර ක්‍රියාවක් ය කියන අය එය පාවා දීමක් ලෙස සලකනවා ද?

මෙවැනි ඝාතනයක් ඔප්පු කිරීම ඉතා දුෂ්කර ය. දක්ෂ නීතිඥයකුට තවමත් මහේෂ්වරන්ගේ සාක්කිය බිඳ සුනිල් නිදහස් කර ගන්නට අවස්ථාව තිබේ. සෙසු පිරිස නිදහස් වන්නේ ඒ නිසා ය. එහෙත්, සුනිල් තමා එම ඝාතනය කළ බව පිළි ගත් බවත්, එයට සම්බන්ධ සෙසු පිරිස් පාවා දුන් බවත් ඇත්තකි. ඔහුට එය කරන්නට නියෝග දුන් අය බේරී ඔහු පමණක් වරදකරු වූ බව ඇත්ත ය.

වයස අවුරුදු පහක දරුවකු ඇතුළු නිරායුධ මිනිසුන් අටදෙනෙකුගේ බෙලි මන්නයකින් කපා මරා දැමූ මෙම මිනීමරුවා විරුවකු ලෙස සලකා ඔහු බේරා ගැනීමට උද්ඝෝෂණ කරන්නට ඉදිරිපත් වන මිනිස්සු ද මිනීමරු මානසිකත්වයකින් යුත් අය වෙති.

අහිංසක දෙමළ ළමයකු මරා දැමීම පවා ඔවුන්ට වීර ක්‍රියාවකි.

මේ වනාහි සිංහල ජාතිකවාදීන් විසින් පවා පිටුදැකිය යුතුව තිබෙන අතිශය නින්දිත ජාතිවාදයකි. ඔවුන් මේ කරන්නට යන උද්ඝෝෂණය සිංහල සමාජයට ම කරන අවමානයකි. සිංහලකම යනු හැකි හැම අයුරින් ම දෙමළුන් මරා දැමීම ද?

විනෝදය පිණිස මිනී මරන මෙවැනි මිනීමරුවන් දකුණේ සිංහලයන් විශාල පිරිසක් මරා දමා ඇති බව ද අමතක නො කළ යුතු ය.

ඔවුන් මේ කරන්නට යන්නේ සිංහලයා රුවන්ඩාවේ හුටු ගෝත්‍රිකයන් ලක්ෂ පහක් මරා දැමූ ටුට්සි ගෝත්‍රවාදීන්ගේ තත්වයට හා හිට්ලර්ගේ නාසිවාදීන්ගේ තත්වයට පහත හෙළන්නට ය. ඔබ එයට ඉඩ දෙනවා ද?

යුද හමුදා පොලිසියේ මැදිහත් වීමෙන් කරන ලද මූලික පරීක්ෂණයක් මත පදනම් වූ සාධාරණ අධිකරණ තීන්දුවකට එරෙහිව පවත්වන්නට යන මෙම උද්ඝෝෂණය නීති විරෝධී ය. එයට සහභාගි වන සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ඩයස්පෝරා සැණකෙළිය හා ජාතිවාදී හබන් කුකුළන්ගේ රජ මඟුල

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම පහසු කාර්යයක් නො වන බව අපි කවුරුත් දනිමු. එය ලංකාවේ ප්‍රශ්න අතර ඇති වැදගත් ම ප්‍රශ්නය ලෙස ද ඇතැමෙක් හඳුන්වති. ජාතීන්ගේ ප්‍රශ්නය කල් තබා විසඳා ගත්තා නම් නිදහසින් පසු ලංකාව අද වන විට තිබෙන්නේ මේ තත්වයේ නො වන බව ප්‍රත්‍යක්ෂ ය. ජාතීන් අතර ගැටුම නිසා අපි තිස් අවුරුදු යුද්ධයක පැටලුණෙමු. එයින් මෙරට ආර්ථික හා සමාජ දේහයන්ට සිදු වූ හානිය සුළුපටු එකක් නො වේ. යුද්ධය අවසන් වී දැන් පස් වසරකි. එහෙත් තවමත් එක රටක, එක ජාතියක් ලෙස ක්‍රියාත්මක වන්නට මෙරට ජනතාව සමත් වී නැත.
             
ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම කුමක් ද යන පැනයට විවිධ දේශපාලන විශ්ලේෂකයන් විසින් විවිධ පිළිතුරු සපයා තිබේ. ඒ සියලු පිළිතුරු සරළ වර්ගීකරණයකට ලක් කළ හැකි ය. එක් පිළිතුරක් වන්නේ ප්‍රමාණාත්මකව සුළුතර ජාතීන් මහ ජාතියේ ආධිපත්‍යයට යටත්ව ජීවත් විය යුතු ය යන්නයි. එහෙත් සුළුතර ජාතීන් මෙම විසඳුම පිළිගන්නට මැළි වෙති. එය ඔවුන්ගේ අභිමානයට හානිකර ලෙස සලකති. එම නිසා එම විසඳුම යල් පැන ගිය එකකි.

දෙවන විසඳුම යෝජනා වන්නේ සුළුතර ජාතීන් පැත්තෙනි. ඒ වනාහි රාජ්‍ය ප්‍රතිසංස්කරණයකි. මෙම රාජ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනාවේ එක් අන්තයක වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක්ත පිහිටුවීම ද තිබේ. අතරමැද තැන්වල ලංකාව සහසන්ධීය රාජ්‍යයක් බවට පත් කිරීම, සන්ධීය රාජ්‍යයක් බවට පත් කිරීම, ජාතීන් අතර බලය බෙදා ගැනීම, බලය විමධ්‍යගත කිරීම ආදී විවිධ යෝජනාවලි තිබේ. ලංකාව තුළ යම් රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වී තිබෙන අතර 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව පළාත් සභා පිහිටුවීම එයින් ප්‍රධාන එකකි. පළාත් සභා ක්‍රියාත්මක වීමේ ඉතිහාසය දැන් වසර 27කි. එහෙත් මෙම වසර 27 තුළ පළාත් සභා ඔස්සේ බෙදා ගත් බලතල තම උන්නතිය සඳහා යොදා ගන්නට සුළුතර ජාතීන් පූර්ණ වශයෙන් සමත් වී නැත. යුද්ධය එයට එක් හේතුවකි. එසේ ම, කිසිදු බලය බෙදා ගැනීමක් ක්‍රියාත්මක නො වන, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයකට ලංකාව පසුගිය සමයේ නතු වී තිබීම ද තවත් හේතුවකි.

ඉහත කී විසඳුම් මාර්ග දෙක හැර තුන්වන විසඳුමක් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති බව මම මගේ ලිපි හරහා කලක සිට යෝජනා කර ඇත්තෙමි. එය දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන් ම සමාජ සංවර්ධනය සමග ද සම්බන්ධ එකකි. ඒ වනාහි, මෙම දිවයිනේ දේශ සීමා තුළ ජීවත් වන සියලු ජනයා නව දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් ගොඩනගා ගැනීමයි. මම එය ලාංකික අනන්‍යතාව ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි. ඇතැමෙක් මෙය ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම ලෙස ද හඳුන්වති. ජාතිය යන වචනය ගැටලු සහගත ය. සිංහල, දෙමළ, මුස්ලිම් යනු ජාතීන් බව ඇතැමෙකුගේ තර්කයයි. තවත් අය තර්ක කරන්නේ ඒවා ජනවර්ග බව හා ජාතිය යනු වඩා පුළුල් ශ්‍රී ලාංකිකත්වය බවයි. කුමක් හෝ වේවා වඩා පුළුල් දේශපාලන ප්‍රජාවක් වෙත අප යොමු විය යුතු ය. ජනවාර්ගික හෝ ජාතික අනන්‍යතාවන්ගේ සීමාවන් ඉක්මවා ගිය නව ලාංකික දේශපාලන ප්‍රජාවක් ලෙස මෙරට ජනතාව නැවත සංවිධානය විය යුතු ය.

එවැනි නව දේශපාලන ප්‍රජාවක් තුළ ජාතික අනන්‍යතාවන් ද්විතීයක වේ. එසේ වූ කල ජාතික පදනමින් බලය බෙදා ගැනීමේ සිට වෙනම රාජ්‍යය දක්වා කතිකාවන් ද නො වැදගත් තත්වයට පත් වේ. යුද්ධයෙන් පසු අපි මෙම නව දේශපාලන ප්‍රජාවක් ගොඩනගා ගැනීමේ අවධියට පිවිස ඇත්තෙමු. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදීන් කුමන තර්ක ගෙන ආවත්, සමාජයක් ලෙස අප ගමන් කරමින් සිටින්නේ පුළුල් දේශපාලන ප්‍රජාවක් වෙතයි. ජනවාරි 08දා සිදු වූ ප්‍රජාතාන්ත්‍රික විප්ලවය මෙම ගමනේ ප්‍රධාන මං සලකුණකි. එය මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සමගියේ වැදගත් සන්ධිස්ථානයකි. අප යා යුත්තේ එතැනින් ඉදිරියට මිස ආපස්සට නො වේ.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් තොරව අපට නව ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනගා ගත නො හැකි ය. කුමන අඩුපාඩුකම් තිබුණත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි එ් සඳහා පදනමක් සැකසුවෙමු. එය ක්‍රියාත්මක වීම අවශ්‍ය ය. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන කතිකාව ද අතිශය වැදගත් ය. එය තව දුරටත් ඉදිරියට යා යුතුව තිබේ. මධ්‍යම රජය තුළ සුළුතර ප්‍රජාවන්ට වැඩි අවස්ථා ලබා දීම මෙහි ඊළඟ අදියරයි. මධ්‍යම රජය හා පළාත් සභා අතර සුහද සංහිඳියාවක් සහිත සංවර්ධන අදියරක් වෙත රට ගෙන යා යුතු ය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් තිබෙන්නේ ඒ මාවතේ ය.

මෙම පූර්විකාව ලියන්නට අප පෙළඹුණේ මේ දිනවල කතාබහට ලක් වී තිබෙන කරුණක් නිසා ය. ඒ වනාහි දෙමළ ඩයස්පෝරාව සමග අන්තර් ක්‍රියාකාරිත්වයකට යන්නට ලංකාවේ රජය ගෙන තිබෙන පියවරයි. ගැටුම් කළමනාකරණය හා සාමය ගොඩනැගීම සම්බන්ධව කටයුතු කරන දකුණු අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රාහකත්වයෙන් ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් හා විදේශ ඇමති මංගල සමරවීර අතර පැවති සාකච්ඡා පිළිබඳ රටේ අවධානය යොමු වී තිබේ. ජුනි 23දා ඩේලි නිව්ස් පුවත්පතේ මුල් පුවතේ අරමුණ වී තිබෙන්නේ මේ සාකච්ඡා හේතුවෙන් දෙමළ ඩයස්පෝරාව බෙදී ඇති බව පෙන්වීමයි. එවැනි ප්‍රකාශනයක් මේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්නට කෙසේ ඉවහල් වේ ද යන්න සැක සහිත ය. තමන් සාකච්ඡා කරන්නේ දෙමළ ඩයස්පෝරාව දුර්වල කරන්නට ය කියා කී විට සිදු වන්නේ තමන් සමග සාකච්ඡාවට පැමිණි පාර්ශ්වයට එරෙහිව අවි අමෝරා ගන්නට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබීමයි. ගෝලීය දෙමළ සංසදය හා දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව මේ වන විටත් ඩයස්පෝරාවේ දෙමළ ජාතිවාදීහු අවි අමෝරාගෙන සිටිති.

විදෙස්ගත ලාංකික ප්‍රජාව හෙවත් ඩයස්පෝරාව යනු සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජාතීන් ඇතුළත් වන බහුවිධ ප්‍රජාවකි. ඩයස්පෝරාවෙන් සැලකිය යුතු පංගුවක් දෙමළ ජනයා බව ඇත්ත ය. එසේ වුණේ ලංකාවේ තිබුණු තත්වය හේතුවෙන් ලෝකයේ අනුකම්පාව දෙමළ ජනයාට ලැබී ඔවුන්ට සංවර්ධිත රටවල රැකවරණ ලැබුණු නිසා ය. ඒ අවස්ථාව සිංහලයන්ට ලැබුණේ නැත. අපේක්ෂා භංගත්වයට පත් සිංහලයන්ට විදෙස් රටවලට යන්නට සිදු වී තිබෙන්නේ බෝට්ටුවලිනි. දෙමළ විදෙස්ගත ප්‍රජාව වඩා සංවිධානාත්මක ය. පසුගිය සමයේ කොටි සංවිධානය ඔවුන් අතර සුවිසල් සංවිධාන ජාලයක් ගොඩනැගුවේ ය. කොටි සංවිධානය ලංකාව තුළ ශක්තිමත්ව තිබුණු අවධියේදී දෙමළ ඩයස්පෝරාව විවිධ ස්වරූපවලින් එයට ආධාර කිරීම සිය මූලික වගකීම කර ගත්තේ ය. එහෙත්, කොටි සංවිධානයේ පරාජයෙන් පසු දෙමළ ඩයස්පෝරාව තුළ විභේදනයන් කැපී පෙනෙන්නට විය. කොටි හිතවාදී කොටස් අතර ද බල අරගලයක් ඇති විය.

මේ අතර පුළුල් ම විභේදනය නිර්මානය වූයේ ඩයස්පෝරාව හා ලාංකීය දෙමළ ජනතාව අතරයි. තවත් යුද්ධයක් යෝජනා කරන දෙමළ ඩයස්පෝරා කොටස්වල උවමනාව මත යුද්ධයේ බිලි බවට පත් වන්නට තරුණ තරුණියන් පිරිසක් ලංකාවේ උතුරු නැගෙනහිරින් යළි නිර්මානය කර ගැනීම අතිශය දුෂ්කර තත්වයට පත් වී තිබේ. යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර පළාත් රටේ සෙසු පළාත් සමග යළි සම්බන්ධ වීමත්, ප්‍රාග්ධනයේ හා ශ්‍රමයේ නිදහස් සංචලනයකට අවස්ථාව ලැබීමත් හේතුවෙන් ලංකාවේ දෙමළ ස්වෝත්තමවාදී යුද්ධයක් යළි ඇරඹීම කළ නො හැක්කක් වී තිබේ. මෙම අර්බුදය නිසා, ඩයස්පෝරාවේ දෙමළ ජාතිවාදීන්ගෙන් කොටසක් ලංකාවේ දෙමළ ජනයාට හා තම තමන්ට ම අලෙවි කර ගත්තේ ප්‍රජාතාන්ත්‍රික අරගලයක් ඔස්සේ වෙන් වීම සඳහා ජනමතවිචාරණයක් වෙත ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ලංකාව බෙදා වෙන් කිරීම සඳහා වූ ජනමතවිචාරණයක් පැවැත්වීම මෙම උපායමාර්ගයේ ඉලක්කය වී තිබේ.

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය මූලික ම කොන්දේසිය වන්නේ සිංහල ජාතිවාදයයි. ලංකාවේ මධ්‍යම රජය හැකි තරම් දුරට සිංහල ජාතිවාදයට නතු වීම ඔවුන්ට ආශිර්වාදයකි. එසේම, පළාත් සභා අසාර්ථක කිරීම ද මෙම උපායමාර්ගයේ ම කොටසකි. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන්ට අවශ්‍ය වුණේ ලංකාවේ දෙමළ ජනයා අකර්මන්‍ය කිරීමටයි. එය 2005 ජනාධිපතිවරණයේදී කොටි සංවිධානය විසින් දියත් කරන ලද මැතිවරණය වර්ජනය කිරීමේ උපායමාර්ගයේ ම දිගුවකි. එම වර්ජනය සිදු නො විණි නම්, එදා මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණය දිනා ගන්නට ලැබෙන්නේ නැත. එසේම, මෙදා ද දෙමළ ජනයා ලවා මැතිවරණය වර්ජනය කරවන්නට කොටි සංවිධානය සමත් වුණා නම් ජනාධිපතිවරණය නැවත වතාවක් දිනන්නේ මහින්ද රාජපක්ෂ ය.

මහින්ද රාජපක්ෂ පාලන ක්‍රමය සිංහල ජාතිවාදය මත පදනම් වූවකි. සිංහල ජාතිවාදීහු සාම සාකච්ඡාවලට විරුද්ධ වූ හ. සාම සාකච්ඡා තුළ සිර වී ඊලාම් සංකල්පය අතහැර දමන්නට බල කරනු ලැබ තිබුණු කොටින්ට මහින්ද රාජපක්ෂ බලයට පත් වීම ආශිර්වාදයක් විය. යුද්ධයෙන් සිය අරමුණ ජයගන්නට හැකි වනු ඇතැයි හෝ යුද්ධයෙන් බලවත් වී නව සාකච්ඡා වටයකට පිවිසෙන්නට හැකි වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූ හ. එහෙත් ශ්‍රී ලංකා රජය කොටි සංවිධානය යුද්ධයෙන් පරාජය කළේ ය.

කොටි හිතවාදී ඩයස්පෝරා බලවේගයේ දැන් උපායමාර්ගය වන්නේ වෙන් වීම සඳහා වන ජනමතවිචාරණයක් දිනා ගැනීමයි. වෙන් වීම සාධාරණීකරණය කරන්නට නම් ලංකාවේ දෙමළ ජනයා දිගින් දිගට ම අසාධාරණයට  හා මර්දනයටලක් විය යුතු ය. යාපනය හමුදා කොලනියක තත්වයේ ම තිබිය යුතු ය. ඉඩම් වැඩි ප්‍රමාණයක් අධි ආරක්ෂක කලාප තුළ තිබිය යුතු ය. ඉඩම් අහිමි ජනයා සරණාගත තත්වයේ ම සිටිය යුතු ය. දෙමළ ජනයා දිළිඳුභාවයේ හා කාලකන්නිකමේ ම ගිලිය යුතු ය. ලංකාවේ සුළුතර ප්‍රජාවන් ජාතිවාදී පීඩාවන්ට ලක් විය යුතු ය. වසරකට පෙර ධර්ගා නගරයේ සිදු වූ ආකාරයේ ක්‍රියා රට පුරා පැතිරිය යුතු ය. 

ඔවුන්ගේ මෙම උපායමාර්ගය හා සමපාත වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට ගෙන ආ දේශපාලන ව්‍යාපාරය නො වන බව ඔබට සක් සුදක් සේ පැහැදිලි වනු ඇත. කොටින්ට අවශ්‍ය රාජපක්ෂ ක්‍රමයයි. සිංහල ජාතිවාදයයි. සිංහල ජාතිවාදය පසුබසින තරමට ඔවුන්ගේ දෙමළ ජාතිවාදී වැඩසටහන ද පසුබසියි. 

මේ වන විට කොටි සංවිධානයේ හා වෙනත් දෙමළ ජාතිවාදී සංවිධානවල ජාතිවාදී ප්‍රවණතා සෑහෙන දුරට පසුබැස තිබේ. කොටි සංවිධානය හා සම්බන්ධ එක් පාර්ශ්වයක් විසින් පිහිටුවන ලද රුද්‍රකුමාරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩු ව්‍යූහයට ඉදිරියට යන්නට අවස්ථාවක් ලැබුණේ නැත. එහි ඊනියා මන්ත්‍රීන්ට ලොකු සමාජ පිළිගැනීමක් නැත. මේ ඊනියා ආණ්ඩුව වෙනුවෙන් දෙවන වටයක මැතිවරණවත් පැවැත්වීමට ඔවුන්ට ශක්තිය නැත. 

දෙමළ ඩයස්පෝරාව සමග ඍජුව අන්තර්ක්‍රියා කිරීමෙන් ජාතිවාදී ප්‍රවණතා වෙනුවට සාමූහිකත්වය ප්‍රවර්ධනය කරන්නට පුළුවන. මේ වන විට දෙමළ ජාතිවාදී සන්නද්ධ අරගලයකට ලංකාවේ භූමියේ ඉඩක් නැති තරම් ය. යම් හුදකලා ත්‍රස්තවාදයකට අවකාශයක් ඇතත්, පැතිරුණු සන්නද්ධ අරගලයක් ගැන නම් හිතන්නටවත් බැරි ය. ලංකාවේ දෙමළ ජනයාට තම ජාතිය ගැන හැඟීම් තිබෙන මුත් ඔවුන්ට යළි යුද්ධයක පැටලීමේ කිසිදු උවමනාවක් නැති බව පැහැදිලි ය.

දෙමළ සමාජයට මූලික වන්නේ යුද්ධයෙන් විනාශ වූ තම ජන ජීවිත යළි ගොඩනගා ගැනීම සහ ආර්ථික හා සමාජ සංවර්ධනය මිස ජාතිවාදය නො වේ. එහෙත්, සිංහල ජාතිවාදය පවතින තාක් කල් දෙමළ සමාජය තුළ ද ජාතිවාදයට වෙළඳපොළක් සොයා ගත හැකි ය. සිංහල සමාජයේ මෙන් ම දෙමළ සමාජයේ ද ජාතිවාදය ඔස්සේ බලය ගොඩනගා ගැනීමට උත්සාහ කරන කපටි අවස්ථාවාදීහු සිටිති. සිංහල සමාජයට ද ජාතිවාදයෙන් කිසිදු යහපතක් අත් කර ගත නො හැකි බවට හොඳ ම උදාහරණය යුද්ධයෙන් පසු වසර පහමාරක් තිස්සේ මහින්ද රාජපක්ෂ පාලනයේ පැවති අසාර්ථකත්වයයි.

ඩයස්පෝරාව සමග අන්තර්ක්‍රියාකාරිත්වයක් ගොඩනගා ගැනීම යනු අපෙන් දුරස්ථ වී සිටි අපේම සහෝදර ජනතාවක් සමග යළි සම්බන්ධ වීම මිස වෙනත් අපභ්‍රංශයක් නො වේ. එම අන්තර් ක්‍රියාකාරිත්වය ඔස්සේ සිංහල හා දෙමළ ජාතිවාදී ප්‍රවණතා පරාජය කිරීමට උත්සාහ කළ යුතු ය. දෙමළ, සිංහල සමාජයන් යළි එක්සත් කිරීමේ උත්සාහයන් නො ගෙන ඒ සමාජයන් දෙක අතර තිබෙන දුරස්ථභාවය නඩත්තු කිරීමෙන් ලංකාවට කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත් වන්නේ නැත.

ඩයස්පෝරාව සමග කටයුතු කිරීම සංහිඳියාව සඳහා අවශ්‍ය පියවරකි. එය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කමිටුව විසින් ද නිර්දේශ කරන ලද ක්‍රියාමාර්ගයකි. එසේම, එය සංවර්ධනයට ද ඉවහල් කර ගත හැකි ය. විවිධ හේතු මත ලංකාවෙන් බැහැර වූ ජනයාට සිය ධනයෙන්, දැනුමින්, කුසලතාවලින් රටේ සංවර්ධනයට දායක වන්නට අවස්ථාවක් ලබා දිය හැකි ය. ඒ සඳහා සතුටින් ඉදිරිපත් වීමට කැමති මිනිසුන්ට පිළිගැනීමක් ලබා දිය යුතු ය.


මහමැතිවරණයක් ආසන්නයේදී තම අනාගත පැවැත්ම තර්ජනයට ලක් වී තිබෙන ඇතැම් අගතිගාමී බලවේග දැන් මෙම සාධනීය පියවර දඩ මීමා කරගෙන ජාතිවාදය ඇවිස්සීමට පටන් ගෙන තිබේ. එයට ඉඩ නො දිය යුතු ය. එය ජනවාරි 08 ජයග්‍රහණයේ හරය පාවාදීමකි. මේ කුමන තුප්පහිකමක් දජනතාව නො මග යවමින් පටු ජනප්‍රියත්වය වෙනුවෙන් කරන මේ ජරා ක්‍රීඩාව මොවුන්ට ඇති වන්නේ නැද්ද? මොවුන්ට තමන්ගේ බල ව්‍යාපෘති හැර රට ගැන අන් කිසිදු හැඟීමක් තිබේ දමොවුන් මේ ජාතිවාදයෙන් මිදෙන්නේ කවදා ද? ඔවුන් රටට කරන විනාශය ජනතාව තේරුම් ගන්නේ කවදා ද

කියවන්න:

ඩයස්පෝරාව සමඟ සාකච්ඡාවලට එරෙහි වීම මුවාවෙන් යළි ජාතිවාදය පිට නැඟීම

සිළුමිණ 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-25

මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම්

අපි ගිය සතියේ මේ මාතෘකාවෙන් ම මතුගමදී සම්මන්ත්‍රණයක් පැවැත්වූයෙමු. මෙම ලිපිය පළ වන විට පාර්ලිමේන්තුව විසුරුවා තිබෙන්නටත් පුළුවන. රටම මහමැතිවරණයක් අපේක්ෂාවෙන් සිටියි. වෙනස් වී තිබෙන ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවකින් තොරව රටට ඉදිරියට යන්නට බැරි ය.

පුරවැසියන් ලෙස අප බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න විග්‍රහ කර ගැනීම වැදගත් ය. ඒ සඳහා පළමුව පුරවැසියා කවුරු ද යන්න ද විග්‍රහ කර ගත යුතුව තිබේ. පුරවැසියා යනු හුදු ගැහැනියක හෝ මිනිසකු හෝ නො වේ. පුරවැසිභාවය පිළිබඳ නූතන විග්‍රහය ධාරා දෙකක් ඔස්සේ සිදු වේ. ඉන් එක් ධාරාවක් වන්නේ ලිබරල් පුද්ගලවාදී දෘෂ්ටිවාදී ධාරාවයි. දාහත්වන හා දහඅටවන සියවස්වල සිට ගොඩනැගෙන මෙම දෘෂ්ටිවාදයට අනුව පුරවැසියන්ට මානව ගරුත්වය හා සම්බන්ධ වගකීම් පැවරේ. පුරවැසියෝ ස්වෛරී, ස්වාධීන ජනතාවකි. ඔවුහු බදු ගෙවති. නීතියට ගරු කරති. ව්‍යාපාරික ගනුදෙනු කරති. ජාතිය තර්ජනයට ලක් වූ අවස්ථාවලදී එය ආරක්ෂා කරති. එහෙත් පුරවැසියා දේශපාලනිකව නිෂ්ක්‍රීය ය.ඔවුන්ගේ මූලික අවධානය යොමු වන්නේ ආර්ථික වශ‍යෙන් වඩා යහපත් තත්වයන් ඇති කර ගැනීමටයි. පුරවැසියන්ගේ සිවිල්, දේශපාලන හා සමාජ හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ රජයටයි.

දෙවන ධාරාව වන්නේ ප්‍රජා ජනරජ දෘෂ්ටිවාදයයි. මෙමගින් පුද්ගලයාගේ දේශපාලනික ක්‍රියාකාරිත්වය අවධාරණය කෙරේ. ඒ අනුව පුරවැසිභාවය යනු ක්‍රියාකාරී ක්‍රියාවලියකි. එය නිෂ්ක්‍රීය තත්වයක් නො වේ. පුරවැසියා රාජ්‍ය කටයුතුවලදී සක්‍රිය ය. ඔහු නීති සම්පාදන ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගි වෙයි.

ලංකාවට අදාළව ගතහොත්, දැනුවත්ව හෝ නො දැනුවත්ව, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් දෙදෙනා විසින් අඩු වැඩි වශයෙන් මෙම ධාරා දෙක නියෝජනය කරන ලදී. ඉතාම සුබවාදීව හා සම්භාව්‍ය ලෙස කල්පනා කළහොත්, මහින්ද රාජපක්ෂට අවශ්‍ය වූයේ මුලින් සඳහන් කරන ලද ආකාරයේ ලිබරල් පුද්ගලවාදී පුරවැසියෙකි. එබැවින් ඔහු රජය හා විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කළ අතර පුරවැසියා දේශපාලනික වශයෙන් නිෂ්ක්‍රීයව රාජ්‍යය සමග හිඳිමින් ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැප විය යුතු විය.

එහෙත්, එකී අවම සම්භාව්‍යත්වය හෝ ආරක්ෂා කර ගැනීමට ඔහුට නො හැකි වූයේ පුරවැසියාගේ සිවිල්, දේශපාලන හා සමාජ හිමිකම්වලට ගරු කිරීමට ඔහුගේ පාලනය අසමත් වූ නිසා ය. ඔහුගේ පාලනය විසින් බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන ලදී. මහජන මුදල් භාවිතා කිරීම පාරදෘශ්‍ය වූයේ නැත. ඔහු විසින් දියත් කරන ලද සංවර්ධන වැඩසටහන දූෂණයෙන් පිරුණු එකකි. එය තුළ පුරවැසියා ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් ද දුබල කරන ලදී. රාජපක්ෂ ක්‍රමයට එරෙහි දේශපාලන ව්‍යාපාරය විසින් පුරවැසියාගේ සක්‍රිය දේශපාලන මැදිහත්වීම් ඉල්ලා සිටින ලදී. ඒ අනුව ගත් කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කරනු ලැබුවේ මෙවැනි සම්භාව්‍ය ප්‍රජා ජනරජ දෘෂ්ටිවාදයක් මත පදනම්ව ක්‍රියාකාරී වූ පුරවැසියෙක් විසිනි.

දැන් අප කතා කරන්නේ එවැනි පුරවැසියකුට ඉදිරි මහමැතිවරණය හමුවේ තිබෙන වගකීම් ගැනයි. අපේ පරමාදර්ශී පුරවැසියා කෙළින් ම සම්මුඛ වන්නේ රාජපක්ෂ අනුගාමිකයින් රෑනකටයි. ඔවුහු දූෂණය සමග ඍජුව හෝ වක්‍රව හෝ සම්බන්ධ, එය දිරි ගන්වන, ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකාධිපතිවාදයට කැමැත්තක් දක්වන, ජාතික-ආගමික-ලිංගික වශයෙන් ස්වෝත්තමවාදී, අතිශය පුද්ගලවාදී ලෙස සිතන ආත්මාර්ථකාමියෙකි. රට, ජාතිය, අනාගත පරපුර ආදියට වඩා ඔවුන්ට වැදගත් වන්නේ රාජපක්ෂ ක්‍රමයෙන් තමන්ට ලැබෙන පෞද්ගලික මානසික හා කායික තෘප්තියයි.

මෙම රාජපක්ෂ අනුගාමික බලවේගය සමග සංවාදයකට එළඹීම පුරවැසියාගේ මූලික වගකීමකි. රාජපක්ෂ අනුගාමිකයා වෙනස් කිරීමට උත්සාහ කිරීම සමාජ, දේශපාලනික ප්‍රතිසංස්කරණයක මූලික කාර්යයි. මහින්ද රාජපක්ෂ යනු හුදු පුද්ගලයෙක් නො වේ. ඒ වනාහි සමාජ ක්‍රමයකි. මහින්ද රාජපක්ෂත් සමග ම එකී සමාජ ක්‍රමය ම පරාජය කළ යුතු ය. එය පහසු කාර්යයක් නො වේ. රාජපක්ෂ ක්‍රමය යනු නිදහසින් පසු ලංකාවේ ක්‍රමානුකූලව පරිණාමය වූ මජර දේශපාලන ක්‍රමයක දිගුවකි. එය මේ රටේ මුල් බැස ගත් එකකි. එයට එරෙහිව නැගී සිටීම පහසු නැත.

නිදසුනක් ලෙස, සිංහල-දෙමළ-මුස්ලිම් ජාතිවාදයන් යනු මේ රටේ මුල් බැසගත් ඒවායි. සෑම ජනවර්ගයකම දේශපාලකයෝ එයින් යැපෙති. මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කමිටුව විසින් ද නිර්දේශ කරන ලද පරිදි ලාංකික විදේශගත ප්‍රජාව සමග අන්තර්ක්‍රියාකාරී වීම සඳහා රජය විසින් ගනු ලැබූ පියවරවලට එරෙහිව ආණ්ඩුවේ ම ජාතිවාදී කොටස් නැගී සිටින ආකාරය කදිම නිදසුනකි. දෙමළ ඩයස්පෝරාව සමග ඍජුව අන්තර්ක්‍රියා කිරීමෙන් ජාතිවාදී ප්‍රවණතා වෙනුවට සාමූහිකත්වය ප්‍රවර්ධනය කරන්නට පුළුවන. මේ සිදු වී තිබෙන්නේ බලය බෙදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් නො වන බව හා සිදු වෙමින් තිබෙන්නේ සුහදතාව වර්ධනය කර ගැනීම පමණක් බව පවා අමතක කර දමා තිබේ. මේ වන විට දෙමළ ජාතිවාදී සන්නද්ධ අරගලයකට ලංකාවේ භූමියේ ඉඩක් නැති තරම් ය. යම් හුදකලා ත්‍රස්තවාදයකට අවකාශයක් ඇතත්, පැතිරුණු සන්නද්ධ අරගලයක් ගැන නම් හිතන්නටවත් බැරි ය. ලංකාවේ දෙමළ ජනයාට තම ජාතිය ගැන හැඟීම් තිබෙන මුත් ඔවුන්ට යළි යුද්ධයක පැටලීමේ කිසිදු උවමනාවක් නැති බව පැහැදිලි ය. එහෙම තත්වයක් තිබියදී දෙළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීම යනු සංහිඳියාව සඳහ ඉවහල් වන ක්‍රියාවක් ය යන්න පවා අමතක කර දමා දැවැන්ත විරෝධයක් මතු කිරීමට ජාතිවාදීහු පියවර ගෙන තිබේ.

ජාතිවාදයෙන් දේශපාලන බලය ගොඩනගා ගැනීම යනු අලුත් දෙයක් නො වේ. සියලු ජාතීන්ට අයත් දේශපාලකයෝ ජාතිවාදයෙන් පෝෂණය වෙති. අවසාන වශයෙන් ඔවුන් විසින් රටට කරනු ලබන හානිය සුළුපටු නො වේ. ජාතිවාදය නිසා අපි තිස් අවුරුදු යුද්ධයක සාප ලද්දෙමු. දැන්වත් ජාතිවාදයෙන් අත් නො මිදුණොත් පමා වී හෝ අනාගතය ගොඩනගා ගන්නට ලංකාවට බැරි ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදී දේශපාලනය පරාජය කිරීම මේ අනුව ඉදිරි මැතිවරණයකදී පුරවැසියන්ගේ මූලික වගකීමකි.

පසුගිය සමයේ රටේ දේශපාලනය දූෂණය සමග සම්බන්ධ වූ තරම කෙරෙහි ද පුරවැසි අවධානය යොමු විය යුතු ය. දූෂණය හා දේශපාලනය අතර සම්බන්ධයට ද දිගු ඉතිහාසයක් තිබේ. එහෙත් එය උපරිමයට ගියේ මහින්ද රාජපක්ෂ ක්‍රමය තුළයි. නිදසුනක් ලෙස, ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ඔත්තු සැපයීම වෙනුවෙන් කොටි සංවිධානයෙන් කෝටි ගණන් මුදල් ගත් මහජන නියෝජිතයෝ ද වත්මන් පාර්ලිමේන්තුවේ සිටිති. මෙවැනි භයානක අපරාධකරුවන්ට හා දූෂිතයන්ට නීතියෙන් රැකවරණ ලබා දීම ද රාජපක්ෂ ක්‍රමයේ මූලික ලක්ෂණයකි.

මෙවැනි දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට හා සොරකම් කරන ලද මහජන මුදල් ආපසු ලබා ගන්නට නව රජය වූ පොරොන්දුව ඉටු කළේ නැත. එයට හේතුව දේශපාලන ගැටුම තුළ ජනාධිපතිවරයාත්, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයත් සිය බලය තහවුරු කර ගන්නට ගත් ක්‍රියාමාර්ගයි. ඒ වෙනුවෙන් දූෂිතයන් සමග එළඹි සම්මුති හේතුවෙන් දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග අඩාල විය.

දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කිරීම මෙම මහමැතිවරණයේදී පොරොන්දුවක් බවට පත් කර ගන්නට පුරවැසියන් වග බලා ගත යුතු ය. පසුගිය සමයේ සොරකම් කරන ලද මුදල් මෙම මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ආයෝජනය වෙමින් තිබේ. එපමණක් නොව, කුමන පක්ෂය බලයට පත් වුණත් මන්ත්‍රීන් මිළ දී ගෙන සියතට බලය ගන්නා බවට මහින්ද රාජපක්ෂවාදීහු දැනටමත් පාරම් බාති. මුදල් වෙනුවෙන් පක්ෂ මාරු කිරීමේ ඉතිහාසයක් තිබෙන මන්ත්‍රීවරුන් නැවත බලයට පත් නො කිරීම මෙහිදී අතිශය වැදගත් ය.

දේශපාලනයට මුවා වී බිස්නස් කරන්නන් වෙනුවට වෘත්තීය දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. රාජ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජනවාරි 08දා ජනතාව දුන් ජනවරම ඉදිරියට ගෙන යා හැකි පාර්ලිමේන්තුවක් පත් කර ගන්නට අපි වග බලා ගත යුතු ය.

පුරවැසියන් ලෙස අප බර තැබිය යුතුව තිබෙන්නේ නිශ්චිත එක් දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරවීමට නො ව දූෂිත දේශපාලන ක්‍රමය පරදවන්නට ය.
- අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2015 - 06 - 28

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-24

රජය නීති විරෝධී ඝාතන සිදු කරන වධකාගාරයක තත්වයේ සිට ශිෂ්ට ආයතනයක් බවට පත් කිරීම

පසුගිය කාලයේ සිදු වූ පැහැරගැනීම් හා නීති විරෝධී ඝාතන පිළිබඳ දැන් යම් යම් පරීක්ෂණ සිදු වෙමින් තිබේ.

දෙහිවල ප්‍රදේශයේ වෛද්‍ය ශිෂ්‍යයින් දෙදෙනකු ඇතුළු ළමයින් පස්දෙනකු අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ හබයාස් කෝපුස් පරීක්ෂණයේ සාක්ෂි දෙමින් රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසුවේ නාවික හමුදාවේ කමාන්ඩෝ භටයින් ළමයින් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි බව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නා‍ගොඩ ඇතුළු නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් දැන සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

කැරැළි මර්දනය මුවාවෙන් රාජ්‍ය ත්‍රස්තවාදයේ යෙදීම පිළිබඳ නිදහස් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවල අපකීර්තිමත් ඉතිහාසය 1971 කැරැල්ලට පෙර වකවානුව දක්වා ම විහිදෙයි. 1989 කැරැල්ල සමයේදීත් රාජ්‍ය ත්‍රස්තවාදය මහා පරිමාණෙන් දියත් වූ අතර, මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී දෙමළ කැරැල්ල සමග එය උපරිම මට්ටමට ළඟා විය.

මෙම වකවානුවල කැරැලිකාරී ව්‍යාපාර ත්‍රස්තවාදී කටයුතුවල යෙදුණු බව සැබෑ ය. එහෙත්, මහජන පරමාධිපත්‍යයට යටත් රජයක් විසින් කැරැලි මර්දනය සඳහා රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගැනීම ලොව කිසිදු ශිෂ්ට ආයතනයක් හෝ පුද්ගලයකු විසින් හෝ අනුමත කරන්නේ නැත. අසවල් රට එසේ කරන නිසා ඒ රටට එරෙහිව කතා නො කරමින් අපට එරෙහිව කතා කිරීම වැරදි ය යන තර්කය රාජපක්ෂ ආණ්ඩුව විසින් නිතර මතු කරනු දක්නට ලැබිණි. මෙය ඉතා අශිෂ්ට තර්කයක් බව අමුතුවෙන් කිව යුතු නැත. කවුරු අශිෂ්ට වුණත් උදාර මිනිස්සු සිය ශිෂ්ටත්වය අහිමි කර ගන්නේ නැත. 

අනෙක් පැත්තෙන්, රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගන්නේ නැතිව කැරැලි මර්දනය කළ නො හැකි ය යන්න ද ඉතා පුහු තර්කයකි. කොටි සංවිධානය අවසන් වශයෙන් පරාජය වූයේ යුදමය ක්‍රියාමාර්ග නිසා මිස රාජ්‍ය ත්‍රස්තවාදය නිසා නො වේ. යුද්ධයේ අවසන් අදිය‍රේදී භාර වූ කැරැලිකරුවන් මරා දැමීම වැනි නීති විරෝධී ක්‍රියාවලින් යුද ජයග්‍රහණයේ කීර්තියට හානි වූවා මිස අන් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් අත් වූයේ නැත. ජාතිවාදී වීමට රජයට අයිතියක් නැත. එහෙත්, ජාතිවාදී නිලධාරීන් විසින් කරන ලද ඇතැම් ක්‍රියා හේතුවෙන් අද වන විට යුද්ධයෙන් පසු ස්ථිර සාමයක් හා සංහිඳියාවක් ගොඩනැගීමට බාධා සිදු වී තිබේ. 

රාජ්‍ය ත්‍රස්තවාදය සම්ප්‍රදායිකව ම කැරැලිකාර ව්‍යාපාරවලට ආශිර්වාදයක් ලෙස සලකනු ලැබේ. කැරලිකරුවන්ට එරෙහිව රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් පීඩාවට පත් වන ජනතාව කැරැලිකරුවන්ට සානුකම්පිත වන බවට පිළිගැනීමක් තිබේ. 

එහෙත්, දරුණු මර්දනීය ක්‍රියාමාර්ගවලින් ජනතාව බියපත් කිරීමෙන් අසාධාරණකම්වලට එරෙහිව ජනතාව නැගී සිටීම වැළැක්විය හැකි ය යන විශ්වාසයක් බලය සමග හැමදාමත් බැඳී පවතී. ආණ්ඩුවේ සිට පවුලේ මව්පියන් දක්වා ම බලවත්තු මෙම විශ්වාසයෙන් යුතුව කටයුතු කරති. බලයෙන් සියල්ල කර ගත හැකි බව විශ්වාස කරන්නෝ අශිෂ්ටයෝ ය. එවැනි අය අවසානයේදී බලය නිසා දූෂණය වී එයින් විනාශය අත් කර ගනිති. 

පෞද්ගලික කාර්යයක් වන ආගම් ඇදහීම ප්‍රසිද්ධියේ කරමින් එයින් ප්‍රචාරය ලබා ගන්නා, සුදු ඇඳුම් අඳින, ටයි හා සාටක අාදිය පළඳින, ඉංග්‍රීසියට හා බටහිර සංස්කෘතියට වඳින පුදන, ඒ අනුව ජීවත් වෙමින්, තම දරුවන් ද ඒ අනුව හැඩගස්වන, සුරංගනා කතා කියන, මහජන මුදලින් වරප්‍රසාද ලබන දේශපාලකයන් හා නිලධාරීන් තමන් විසින් නායකත්වය දෙනු ලබන ජනතාව ම පැහර ගන්නා, වධ බන්ධනයට ලක් කරන, ඝාතනය කරන, අතුරුදහන් කරන පිරිසක් බවට පත් වීම තරම් නින්දිත, අශීලාචාර තත්වයක් තවත් කොහි ද?

තවද, මේ වැඩිහිටි මිනිසුන්ගේ අනුදැනුමින් මෙසේ ඝාතනය කර තිබෙන්නේ බාල වයස්කාර ළමයින් නම්, එය කෙතරම් තුච්ඡ තත්වයක් ද? 

ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය අවසන් කළ යුතුව තිබේ. ඒ සඳහා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම මෙන් ම රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුණුවුන්ට සංකේතාත්මකව හෝ දඬුවම් පැමිණවීම අත්‍යවශ්‍ය ය. 

ජනවාරි 08දා සිට මේ දක්වා කාලය තුළ මේ රටේ රාජ්‍ය ත්‍රස්තවාදය අවම වී තිබේ. මෙම සමය තුළ රජය විවේනය කළ දේශපාලකයන්, මාධ්‍යකරුවන් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ඝාතනයට ලක් වුණේ හෝ අතුරුදහන් කරනු ලැබුවේ නැත. භයානක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වූවන් කිසිවෙක් පැන යාමට උත්සාහ කළා ය කියා මරා දැමුවේ නැත. රජය එසේ නීත්‍යානුකූලව කටයුතු කළා ය කියා මේ රටේ අලුත් කැරැලි පැන නැගුණේ ද නැත. අපරාධවල සුවිශේෂ වර්ධනයක් සිදු වුණේ ද නැත. 

පසුගිය කාලයේදී අවනීතිය සාමාන්‍යකරණය විය. ඒ නිසා දේශපාලකයෝ හා රාජ්‍ය නිලධාරීහු ද තම සීමාවන් අමතක කර දමමින් අවනීතියට අනුගත වූ හ. එසේ නො කර පැවැතිය නො හැකි තත්වයක් මේ රටේ තිබිණි. මේ ක්‍රමය වෙනස් කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-22

ඩයස්පෝරාව සමග සාකච්ඡාවලට එරෙහි වීම මුවාවෙන් යළි ජාතිවාදය පිට නැගීම

සුරේන් සුරේන්ද්‍රන්
ගැටුම් කළමනාකරණය හා සාමය ගොඩනැගීම සම්බන්ධව කටයුතු කරන දකුණු අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රාහකත්වයෙන් ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් හා විදේශ ඇමති මංගල සමරවීර අතර පැවති සාකච්ඡා පිළිබඳ රටේ අවධානය යොමු වී තිබේ. 

අද ඩේලි නිව්ස් පුවත්පතේ මුල් පුවතේ අරමුණ වී තිබෙන්නේ මේ සාකච්ඡා හේතුවෙන් දෙමළ ඩයස්පෝරාව බෙදී ඇති බව පෙන්වීමයි. එවැනි ප්‍රකාශනයක් මේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්නට කෙසේ ඉවහල් වේ ද යන්න සැක සහිත ය. තමන් සාකච්ඡා කරන්නේ ප්‍රතිවාදියා දුර්වල කරන්නට ය කියා කී විට සිදු වන්නේ තමන් සමග සාකච්ඡාවට පැමිණි පාර්ශ්වයට එරෙහිව අවි අමෝරා ගන්නට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබීමයි. ගෝලීය දෙමළ සංසදය හා දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව මේ වන විටත් දෙමළ ජාතිවාදීහු අවදි වී සිටිති.

විදෙස්ගත ලාංකික ප්‍රජාව හෙවත් ඩයස්පෝරාව යනු සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජාතීන් ඇතුළත් වන බහුවිධ ප්‍රපංචයකි. එහි දෙමළ ජනතාව අඩංගු් වන බව ඇත්ත ය. ඩයස්පෝරාවෙන් සැලකිය යුතු පංගුවක් දෙමළ ජනයා බව ද ඇත්ත ය. එසේ වුණේ ලංකාවේ තිබුණු තත්වය හේතුවෙන් ලෝකයේ අනුකම්පාව දෙමළ ජනයාට ලැබී ඔවුන්ට සංවර්ධිත රටවල රැකවරණ ලැබුණු නිසා ය. ඒ අවස්ථාව සිංහලයන්ට ලැබුණේ නැත. අපේක්ෂා භංගත්වයට පත් සිංහලයන්ට විදෙස් රටවලට යන්නට සිදු වී තිබෙන්නේ බෝට්ටුවලිනි. 

එහෙත්, සියලු දෙමළ ජනයා කොටි නො වෙති. මේ වන විට කොටි සංවිධානයේ හා වෙනත් දෙමළ ජාතිවාදී සංවිධානවල ජාතිවාදී ප්‍රවණතා සෑහෙන දුරට පසුබැස තිබේ. කොටි සංවිධානය හා සම්බන්ධ එක් පාර්ශ්වයක් විසින් පිහිටුවන ලද රුද්‍රකුමාරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩු ව්‍යූහයට ඉදිරියට යන්නට අවස්ථාවක් ලැබුණේ නැත. එහි ඊනියා මන්ත්‍රීන්ට කිසිදු සමාජ පිළිගැනීමක් නැත.

දෙමළ ඩයස්පෝරාව සමග ඍජුව අන්තර්ක්‍රියා කිරීමෙන් ජාතිවාදී ප්‍රවණතා වෙනුවට සාමූහිකත්වය ප්‍රවර්ධනය කරන්නට පුළුවන. මේ සිදු වී තිබෙන්නේ බලය බෙදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් නො වන බව ද, සිදු වෙමින් තිබෙන්නේ සුහදතාව වර්ධනය කර ගැනීම බව ද අප වටහා ගත යුතු ය.

මේ වන විට දෙමළ ජාතිවාදී සන්නද්ධ අරගලයකට ලංකාවේ භූමියේ ඉඩක් නැති තරම් ය. යම් හුදකලා ත්‍රස්තවාදයකට අවකාශයක් ඇතත්, පැතිරුණු සන්නද්ධ අරගලයක් ගැන නම් හිතන්නටවත් බැරි ය. ලංකාවේ දෙමළ ජනයාට තම ජාතිය ගැන හැඟීම් තිබෙන මුත් ඔවුන්ට යළි යුද්ධයක පැටලීමේ කිසිදු උවමනාවක් නැති බව පැහැදිලි ය. 

දෙමළ සමාජයට මූලික වන්නේ යුද්ධයෙන් විනාශ වූ තම ජන ජීවිත යළි ගොඩනගා ගැනීම සහ ආර්ථික හා සමාජ සංවර්ධනය මිස ජාතිවාදය නො වේ. එහෙත්, සිංහල ජාතිවාදය පවතින තාක් කල් දෙමළ සමාජය තුළ ද ජාතිවාදයට වෙළඳපොළක් සොයා ගත හැකි ය. සිංහල සමාජයේ මෙන් ම දෙමළ සමාජයේ ද ජාතිවාදය ඔස්සේ බලය ගොඩනගා ගැනීමට උත්සාහ කරන කපටි අවස්ථාවාදීහු සිටිති. 

සිංහල සමාජයට ද ජාතිවාදයෙන් කිසිදු යහපතක් අත් කර ගත නො හැකි බවට හොඳ ම උදාහරණය යුද්ධයෙන් පසු වසර පහමාරක් තිස්සේ මහින්ද රාජපක්ෂ පාලනයේ පැවති අසාර්ථකත්වයයි. යුද්ධයෙන් පසු ජාතිවාදය විසින් සිදු කළේ ඉන් පෙර ගොඩගසන ලද ජාතිවාදී වසුරු ගොඩ නැවත වතාවක් ජාතිවාදයෙන් ම අයිසිං කිරීම පමණි. 

ඩයස්පෝරාව සමග අන්තර්ක්‍රියාකාරිත්වයක් ගොඩනගා ගැනීම යනු අපෙන් දුරස්ථ වී සිටි අපේම සහෝදර ජනතාවක් සමග යළි සම්බන්ධ වීම මිස වෙනත් අපභ්‍රංශයක් නො වේ. එහි කිසිදු වරදක් නැත. එම අන්තර් ක්‍රියාකාරිත්වය ඔස්සේ අපට සිංහල හා දෙමළ ජාතිවාදී ප්‍රවණතා පරාජය කළ හැකි ය.  අප උත්සාහ කළ යුත්තේ ඒ වෙනුවෙනි. එසේම ජාතිවාදී ප්‍රවණතා පරාජය කිරීමට වෙනත් මාර්ගයක් නැති බව ද අවධාරණය කළ යුතු ය. 

දෙමළ, සිංහල සමාජයන් යළි එක්සත් කිරීමේ උත්සාහයන් නො ගෙන ඒ සමාජයන් දෙක අතර තිබෙන දුරස්ථභාවය නඩත්තු කිරීමෙන් ලංකාවට කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත් වන්නේ නැත. 

ඩයස්පෝරාව සමග කටයුතු කිරීම සංහිඳියාව සඳහා අවශ්‍ය පියවරකි. එසේම, එය සංවර්ධනයට ද ඉවහල් කර ගත හැකි ය. විවිධ හේතු මත ලංකාවෙන් බැහැර වූ ජනයාට සිය ධනයෙන්, දැනුමින්, කුසලතාවලින් රටේ සංවර්ධනයට දායක වන්නට අවස්ථාවක් ලබා දිය හැකි ය. ඒ සඳහා සතුටින් ඉදිරිපත් වීමට කැමති මිනිසුන්ට පිළිගැනීමක් ලබා දිය යුතු ය. 

දැන් මේ ප්‍රගතිශීලී පියවර දඩ මීමා කරගෙන යළි සිය පටු ජාතිවාදී අවස්ථාවාදී ව්‍යාපෘතිය යළි ඉදිරියට ගැනීමට ජාතික හෙළ උරුමය හා මහින්ද රාජපක්ෂ පසුපස යන ජාතිවාදී බලවේග පොරකන්නට පටන් ගෙන තිබේ. 

මේ කුමන තුප්පහිකමක් ද? මොවුන් මේ ජාතිවාදයෙන් මිදෙන්නේ කවදා ද? ඔවුන් රටට කරන විනාශය ජනතාව තේරුම් ගන්නේ කවදා ද? 

ජනතාව නො මග යවමින් පටු ජනප්‍රියත්වය වෙනුවෙන් කරන මේ ජරා ක්‍රීඩාව මොවුන්ට ඇති වන්නේ නැද්ද? මොවුන්ට තමන්ගේ බල ව්‍යාපෘති හැර රට ගැන අන් කිසිදු හැඟීමක් තිබේ ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

කුමන්ත්‍රණ ඔස්තාද්ලාගේ වැල් බයිලා සහ චතුර බෙලිඅතු යාම

2015 ජනවාරි 08දා ලංකාවේ සිදු වූ දේශපාලනික පෙරළිය දේශපාලන අරුතකින් විග්‍රහ කරනවා වෙනුවට පෞද්ගලික කුමන්ත්‍රණවල ප්‍රතිඵල හුවා දැක්වීමේ ප්‍රයත්නයක් දැකිය හැකි ය.  

ජනවාරි 08 විප්ලවය තමන්ගේ කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් යයි උදම් අනන අය අතර අතුරලියේ රතන හිමි, චම්පික රණවක, රාජිත සේනාරත්න, චන්ද්‍රිකා බණ්ඩාරනායක පමණක් නොව ලංකාදීප පුවත්පතට ලිපි මාලාවක් ලියන තුසිත හල්ලොලුව සහ ඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න ද සිටිති. 

මේ අය අතරින් ඇතැමෙක් තමන් ගැන මාර අභිමානයකින් පෙළෙන අතර එහි තරම කොච්චර ද යන්න චතුර සේනාරත්න පසුගියදා කළ ප්‍රකාශයකින් පෙනේ. චතුර සේනාරත්න බෙලිඅත්තෙන් ඡන්දය ඉල්ලා මහින්ද රාජපක්ෂ පරදා ඔහුගේ දේශපාලනය අවසන් කරන බවට දෙඩූ වහසි බස අර තුසිත හල්ලොලුවගේ ලිපි වැනි ම හෝ ඊටත් වඩා ගොන් පාට් එකකි. 

ජනවාරි 08 ඔය කියන තරම් කුමන්ත්‍රණයක් තිබුණේ නැත. ඒ වනාහි මේ රටේ ජනතාව විසින් නිර්මානය කරන ලද මෘදු ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් මිස අන් යමක් නො වේ. එහි ප්‍රධාන භූමිකාව රඟ පෑවේ ඔය කියන කයිවාරුකාරයන් නො ව එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල සිරිසේනයි. 

මෛත්‍රීපාල සිරිසේන ඔය කාගේවත් නිර්මානයක් නො වේ. ඔහු දේශපාලනයේ සිටි අයෙකි. රාජපක්ෂ ආණ්ඩුව තුළ අසහනයෙන් සිටි දේශපාලකයෙකි. ඔහු පොදු අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වීම යනු කාගේවත් කුමන්ත්‍රණයක් නොව ඒ සඳහා ගත්, අභියෝගාත්මක එඩිතර තීරණයකි. 

මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරයේ බරින් වැඩි ප්‍රමාණයකට උර දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඊළඟට වැදගත් ම භූමිකාව කළේ ජනවාරි 08 විප්ලවය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කළ ජනතා බලවේගයි. කුමන්ත්‍රණකරුවන් මෙම ක්‍රියාවලිය තුළ පුංචි දැති රෝද ටිකක් වුණා මිස ඔය කියන තරම් වැදගත්කමක් තිබුණේ නැත. ඇත්ත එයයි. 

තමන්ගේ දේශපාලන කුමන්ත්‍රණ ගැන අධි තක්සේරුවකින් සිටින මේ වැඩි දෙනෙකුට ඇත්තම කිව්වොත් මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වී ආසනයක් දිනා ගැනීමේ හැකියාව ද නැත. අරයා, මෙයා සමග රහසිගත සාකච්ඡා පවත්වමින්, ඒවා මාධ්‍යවලින් ප්‍රචාරය කරමින් මාර ගේම් ගහන මාර පොරවල් ලෙස පෙනී සිටින්නට මොවුන් දරන උත්සාහය වනාහි අනුකම්පා සහගත අසරණකමක් මිස අන් යමක් නො වේ. 

මීළඟ මහමැතිවරණයේදී මේ කුමන්ත්‍රණ ඔස්තාද්ලා ගැන ද ජනතාව වග බලා ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-21

මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම සංවාදශීලී සම්මන්ත්‍රණය මතුගමදී

ඉදිරි මහ මැතිවරණයේදී පුරවැසියන් වශයෙන් අප ඉතා සැලකිල්ලෙන් හා වගකීමෙන් අපේ ඡන්දයව පාවිච්චි කළ යුතුයි. උත්තරීතර යයි සැලකෙන අපේ රටේ පාර්ලිමේන්තුව පසුගිය කාලයේ මහජන මුදල් මංකොල්ලකන්නන්ගේ, කුඩු වෙළෙන්දන්ගේ, එතනෝල් ජාවාරම්කරුවන්ගේ, කැසිනෝකාරයන්ගේ, ඔට්ටුකරුවන්ගේ, අපරාධකරුවන්ගේ, ස්ත්‍රී දූෂකයන්ගේ හා මැරවරයන්ගේ තෝතැන්නක් විය.

පාර්ලිමේන්තුව යනු අපේ ජීවිතයට බලපාන වැදගත් තීන්දු, තීරණ ගන්නා, නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනයකි. එවැනි තැනක් මෙවැනි දූෂිතයන්ගෙන් පිරී ගිය විට අපේ හා අනාගත පරම්පරාවල ජීවිතය අතිශය ඛෙදජනක තත්වයට පත් වීම වළක්වන්නට බැහැ.

එබැවින් මැතිවරණයේදී අපේ ඡන්දය පාර්ලිමේන්තුව පිරිසිදු කරන ඡන්දයක් බවට පත් කර ගත යුතුයි. ඉහත කී ආකාරයේ ජාවාරම්කාරයන් හා දූෂිතයන් පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතුයි. අපගේ ඡන්දයෙන් පත් විය යුත්තේ ජනතා හිතෛෂී දේශපාලකයෝයි.

පාර්ලිමේන්තුවට පිරිසිදු දේශපාලනඥයන් පත් කර යැවීමේ වගකීම අප අතට ගත යුතුයි.

අප පත් කර යවන මහජන නියෝජිතයන් ජාතිවාදීන් නො වන, නිතිය සුරකින, අධිකරණයට ගරු කරන, මහජන දේපල මංකොල්ල නො කන, අල්ලස් නො ගන්නා වෘත්තිකයන් පිරිසක් විය යුතුයි.

මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම
සංවාදශීලී සම්මන්ත්‍රණය
කථිකයෝ:
රාවය කර්තෘ වික්ටර් අයිවන්
සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක
මාධ්‍යවේදී චූලානන්ද සමරනායක

ජුනි 21 සවස 3ට
මතුගම ශ්‍රවණාගාරයේදී

පුරවැසි පවුර - මතුගම


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-20

විස්ස සම්මත වුණත් මහමැතිවරණය පරණ ක්‍රමයට ම තියන්න වන්නේ ඇයි?

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 237කි. මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 145ක් වන අතර 55 ක් දිස්ත්‍රික් සමානුපාතික ලැයිස්තුවෙන් ද ජාතික ලැයිස්තුවෙන් 37ක් ද තේරී පත් වේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැනටමත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව හා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය 20වන සියවසේ මුල් යුගයේ සිට 1977 දක්වා කාල පරිච්ඡේදය තුළ ක්‍රමිකව සිදු වූ විකාශනයකි.

1948 ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව ආසන 50කින් සමන්විත රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තෝරා පත් කර ගන්නා ලදී. ඒ වෙනුවෙන් 1931.06.13 සිට 1931.06.20 දක්වා දින 7ක් පුරා මැතිවරණය පැවැත්විණි. 1936දී පත් වූ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පැවතියේ ද එම ආසන සංඛ්‍යාව ම ය .

ඉන්පසු 1945 දී පත් කරන ලද සෝල්බරි කොමිසමේ නිර්දේශානුකූලව දිවයින පුරා මැතිවරණ කොට්ඨාස 89 ක් පිහිටුවන ලදී. ඒ අනුව පළමු මහමැතිවරණය 1947.08.23 සිට 1947.09.20 දක්වා දින 19ක් පුරා පැවැත්විණි.

මැද කොළඹ ත්‍රිමන්ත්‍රී ආසනයක් වශයෙන්ද, කඩුගන්නාව අම්බලන්ගොඩ-බළපිටිය, බදුල්ල සහ බළන්ගොඩ ද්වි මන්ත්‍රී ආසන වශයෙන් ද ප්‍රකාශයට පත්වූයෙන් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාව 95ක් වූ අතර ඊට අමතරව ආණ්ඩුකාරයා විසින් තවත් මන්ත්‍රීවරුන් 6 දෙනකු ද පත් කරන ලදි. 1947, 1952 සහ 1956 වර්ෂයන්හි පැවති මහමැතිවරණවලදී බලපැවැත්වුණේ ආසන 101ක් වූ මෙම සංයුතියයි.

දෙවන පාර්ලිමේන්තු මැතිවරණය 1952.05.24 සිට 1952.05.30 දක්වා දින 4ක් පුරා පැවැත්විණි. 1956.04.05 සිට 1956.04.10 දක්වා දින 3ක් තිස්සේ පැවති තුන්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ද මෙම ආසන සංඛ්‍යාව නො වෙනස්ව පැවතිණි.

නියෝජිතයෝ

1956 දී පත් කරන වෝල්ටර් තල්ගොඩපිටිය කොමිෂම විසින් මැතිවරණ කොට්ඨාස සීමා නැවත නිර්ණය කරන ලදී. ලංකා ඉතිහාසයේ පළමු වරට එක් දිනක් තුළ මහමැතිවරණය පැවැත්වුණේ 1960 මාර්තු 19දා ය. එම මැතිවරණයේදී ආසන 151ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර ගන්නා ලදී.

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 145ක් වූ අතර කලින් බහු මන්ත්‍රී ආසන වශයෙන් පැවැති අම්බලන්ගොඩ-බළපිටිය, බළන්ගොඩ හා බදුල්ල තනි මන්ත්‍රී කොට්ඨාස වශයෙන්ද, දකුණු කොළඹ, අකුරණ, මඩකලපුව, මූතූර් ද්වි මන්ත්‍රී කොට්ඨාස වශයෙන්ද, මැද කොළඹ ත්‍රිමන්ත්‍රී කොට්ඨාසයක් වශයෙන් ද නැවත නම් කරන ලදී.

සංයුතිය

1960 වසරේ ම ජූලි මාස‍යේදී තවත් මහමැතිවරණයක් පැවති අතර එහිදී ද ආසන සංඛ්‍යාව 151ක් විය. 1965 මාර්තු 22දා පැවැත්වුණු මහමැතිවරණයේදී හා 1970 මැයි 27දා පැවති මහමැතිවරණයේදී ද මෙම සංයුතිය නො වෙනස්ව පැවතිණි.

මේ ආසන සංඛ්‍යාව 168 දක්වා වැඩි වූයේ 1977 මහමැතිවරණයේදී ය. ඒ සඳහා පාදක වූයේ 1974දී පත් කරන ලද නොයෙල් තිත්තවැල්ල කොමිසමේ සීමා නිර්ණය කිරීම් ය. මැතිවරණ කොට්ඨාස 160ක් ක්‍රියාත්මක වූ අතර මැද කොළඹ, නුවරඑළිය - මස්කෙළිය ආසන වෙනුවෙන් මන්ත්‍රීවරුන් තිදෙනා බැගින් ද, බේරුවල, හාරිස්පත්තුව, මඩකලපුව හා පොතුවිල්යන මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් මන්ත්‍රීන් දෙදෙනා බැගින් ද තෝරා පත් කර ගන්නා ලදී. මෙම ආසන බහු වාර්ගික ආසන ලෙස සලකා ඒ වෙනුවෙන් වැඩි නියෝජනයක් ලබා දෙන ලදී.

අවසන් වරට ආසන මට්ටමෙන් නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සිදු වූයේ 1983 මැයි 18 දින ආසන 18ක් වෙනුවෙන් පැවැත්වුණු අතුරු මැතිවරණ මාලාවේදී ය. 1989න් පසු පැවැත්වුණු මහමැතිවරණවලදී ආසන මට්ටමෙන් නියෝජිතයන් තෝරා පත් කර ගැනීමක් සිදු වූයේ නැත.

එහෙත්, මැතිවරණ පැවැත්වීමේ පහසුව වෙනුවෙන් එදා සිට අද දක්වා ම මැතිවරණ කොට්ඨාස 160ක් බලපැවැත්විණි. මෙම මැතිවරණ කොට්ඨාස 160ක ඉතිහාසය මේ වන විට වසර 50කට ආසන්න වේ. අඩ සියවසක් යනු කෙටි කාලයක් නො වේ. එබැවින් එය අඩු කිරීම පහසු කාර්යයක් වන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් යෝජනා කර තිබෙන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 145කි.

මැතිවරණ කොට්ඨාස 145 සංඛ්‍යාව අපට හමු වනුනේ 1959 වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් කරන ලද සීමා නිර්ණය කිරීමෙහිදී ය. එම සීමා නිර්ණය කිරීමේදී රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට පැවැති තලවාකැලේ, උඩුගම, හම්බන්තොට යන ඡන්ද කොට්ඨාසද, 1947 සිට පැවති වැල්ලවත්ත - ගල්කිස්ස, කඩුගන්නාව, ගලහ, මතුරට, කොටගල, දණ්ඩගමුව, අලුත්නුවර හා බුත්තල යන ඡන්ද කොට්ඨාසද අහෝසි කර අලුතින් මැතිවරණ කොට්ඨාස ගණනාවක් පිහිටුවන ලදී.

ඒ අනුව අපට හමු වන මැතිවරණ කොට්ඨාස සමන්විත වන්නේ ඊට පෙර පැවති මැතිවරණ කොට්ඨාස නාම 81කින් හා අලුතින් එක් වූ 64කිනි.

1960 පෙර සිට පැවති මැතිවරණ කොට්ඨාස:

1. උතුරු කොළඹ, 2. මැද කොළඹ, 3. දකුණු කොළඹ, 4. වැල්ලවත්ත ගල්කිස්ස, 5. ජාඇළ, 6. මීගමුව, 7. මීරිගම, 8. ගම්පහ, 9. අත්තනගල්ල, 10. කැලණිය, 11. අවිස්සාවේල්ල, 12. කෝට්ටේ, 13. හොරණ, 14. මොරටුව, 15. පාණදුර, 16. කළුතර, 17. මතුගම, 18. අගලවත්ත, 19. දඹුල්ල, 20. මාත‍ෙල්, 21. මිනිපේ, 22. වත්තේගම, 23. කඩුගන්නවා, 24. මහනුවර, 25. ගලහ, 26. ගම්පොල, 27. මතුරට, 28. නුවරඑළිය, 29. තලවකැලේ, 30. කොටගල, 31. නාවලපිටිය, 32. මස්කෙළිය, 33. අම්බලන්ගොඩ - බළපිටිය, 34. බද්දේගම, 35. උඩුගම, 36. ගාල්ල, 37. වැලිගම, 38. අකුරැස්ස, 39. මාතර, 40. හක්මන, 41. දෙනියාය, 42. බෙලිඅත්ත, 43. හම්බන්තොට, 44. කයිට්ස්, 45. වඩුක්කෝඩ්ඩයි, 46. කන්කසන්තුරෙයි, 47. යාපනය, 48. කෝපායි, 49, පේදුරුතුඩුව, 50. චාවාකච්චේරි, 51. මන්නාරම, 52. වවුනියාව, 53. ත්‍රිකුණාමලය, 54. මූතූර්, 55. කල්කුඩා, 56. මඩකලපුව, 57. පදිරිප්පු, 58. කල්මුණේ, 59. පොතුවිල්, 60. පුත්තලම, 61. නිකවැරටිය, 62. දොඩංගස්ලන්ද, 63. කුරුණෑගල, 64. දඹදෙණිය, 65. වාරියපොල, 66. දණ්ඩගමුව, 67. බිංගිරිය, 68. හලාවත, 69. නාත්තණ්ඩිය, 70. මැදවච්චිය, 71. අනුරාධපුරය, 72. කලාවැව, 73. හොරොව්පතාන, 74. පොළොන්නරුව, 75. අලුත්නුවර, 76. බදුල්ල, 77. බණ්ඩාරවෙල, 78. වැලිමඩ, 79. හපුතලේ, 80. බුත්තල, 81. මාවනැල්ල, 82. කෑගල්ල, 83. දැදිගම, 84. රුවන්වැල්ල, 85. දෙහිඕවිට, 86. කිරිඇල්ල, 87. රත්නපුරය, 88. නිවිතිගල, 89. බළන්ගොඩ

1960 වසරේ සිට අලුතින් එක් වූ ආසන නාම 64 මෙසේ ය:

8. දිවුලපිටිය, 10. මිනුවන්ගොඩ, 14. මහර, 15. දොම්පේ, 17. කොලොන්නාව, 19. දෙහිවල - ගල්කිස්ස, 21. කැස්බෑව, 22. කොට්ටාව, 23. හෝමාගම, 26. බුලත්සිංහල, 27. බණ්ඩාරගම, 30. බේරුවල, 34. ලග්ගල, 36. රත්තොට, 38. අකුරණ (ද්වි) 39. ගලගෙදර, 40. යටිනුවර, 41. උඩුනුවර, 43. සෙංකඩගල, 45. තෙල්දෙනිය, 47. වලපනේ, 48. හඟුරන්කෙත, 49. හේවාහැට, 50. කොත්මලේ, 57. බෙන්තර - ඇල්පිටිය, 58. හිනිඳුම, 60. රත්ගම, 61. අක්මීමන, 63. හබරාදූව, 68. කඹුරුපිටිය, 70. දෙවිනුවර, 72. මුල්කිරිගල, 73. තිස්සමහාරාම, 77. උඩුවිල්, 79. නල්ලූර්, 81. උඩුප්පිඩි, 84. කිලිනොච්චි, 95. අම්පාර, 94. නින්දවූර්, 98. යාපහුව, 99. හිරියාල, 104. වෙන්නප්පුව, 105. කටුගම්පොල, 106. කුලියාපිටිය, 108. පොල්ගහවෙල, 110. මාවතගම, 115. මිහින්තලේ, 117. කැකිරාව, 118. මින්නේරිය, 120. මහියංගනය, 121. බිබිලේ, 122. පස්සර, 124. සොරණාතොට, 125. ඌව පරණගම, 129. මොනරාගල, 131. ගලිගමුව, 133. රඹුක්කන, 135. යටියන්තොට, 140. පැල්මඩුල්ල, 142. රක්වාන, 144. කලවාන, 145. කොළොන්න

සංශෝධන

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අනුව අප නැවත මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයකට යනවා නම් එය පහසුවෙන් කළ හැකි වන්නේ වෝලටර් තල්ගොඩපිටිය කොමිසමේ සීමා නිර්ණය කිරීම් පදනම් කරගෙන ය.

එහෙත්, 1974දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් නැවත සීමා නිර්ණය කිරීමක් කළේ ඒ වන විට තිබුණු අලුත් අවශ්‍යතා නිසා ය. එමගින් අලුතෙන් මැතිවරණ කොට්ඨාස 15ක් ඇති කරන ලද අතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 151 සිට 168 දක්වා වැඩි කරන ලදී.

20වන ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යට‍‍ෙත් මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව යළි 145 දක්වා අඩු කර ආසන පදනමින් හා දිස්ත්‍රික් සමානුපාතික පදනමින් තේරී පත් වන මන්ත්‍රී සංඛ්‍යාව 200 දක්වා වැඩි කළ යුතුව තිබේ.

මෙය පහසු කාර්යයක් වන්නේ නැත. මන්ද, යම් යම් ගැටලු නිසා 1974දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් කරන ලද සංශෝධන අමතක කර ආපසු 1959ට යන්නට අපට හැකියාවක් නැත.

සීමා නිර්ණය

එබැවින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තත්, සීමා නිර්ණය කිරීම පහසු කාර්යයක් වන්නේ නැත. නැවත සීමා නිර්ණය කිරීමේදී ජනතාවගේ අදහස් දැක්වීම්වලට හා ගැටලුවලට සවන් දීමට සිදු වීම අනිවාර්ය ය.

මෙහිදී 1977ට පෙර පැවති තත්වයට වෙනස් තත්වයක් දැන් නිර්මාණය වී තිබෙන බව ද අමතක කළ යුතු නැත. 1988 සිට මේ ර‍ෙට් පළාත් සභා ව්‍යුහයක් ක්‍රියාත්මක වන බව ද අප අමතක කළ යුතු නැත. තිබුණු මධ්‍යම ආණ්ඩුවට අමතරව දැන් පළාත් ආණ්ඩුවක් ද, 225 ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අමතරව මහජන නියෝජනය සඳහා පළාත් සභා මන්ත්‍රීන් සිය ගණනක් ද සිටිති.

මනාප පොරය

එසේම, ආසන මට්ටමින් හා දිස්ත්‍රික්ක සමානුපාතික පදනමින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේදී වෙන වෙන ම මැතිවරණ දෙකක් එකවර පවත්වන්නට සුළු පක්ෂ විසින් කරනු ලබන යෝජනාව ද නො සලකා හැරිය යුත්තක් නො‍ වේ. එසේ නම් ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කරන්නට සිදු වනු ඇත. එයින් නැවතත් මනාප පොරයක් ද ඇති වේ.

කෙසේ වෙතත්, අවසන් වශයෙන් කිව යුතුව තිබෙන්නේ මෙයයි. මේ වන විට පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය තුළ වහා ම මහමැතිවරණයක් පවත්වන්නට සිදු වීම නො වැළැක්විය හැකි ය. මන්ද, ජනවාරි 8දා ජනවරම සමඟ මෙම පාර්ලිමේන්තුව සමපාත වන්නේ නැත. අපට අලුත් මහජන නියෝජිතයන් පිරිසක් අවශ්‍ය ය. ඒ වෙනුවෙන් පවත්වනු ලබන මහමැතිවරණය පැරැණි සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන්නට සිදු වීම නො වැළැක්විය හැකි දෙයක් වී තිබේ. එය හොඳ නැත. එහෙත් කරන්නට වෙනත් දෙයක් නැත.

අජිත් පැරකුම් ජයසිංහ (සිළුමිණ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-19

රටකට ඕනෑ අපමණ අගයක් - ජාතික නායක ජනපතිවරයෙක්

පසුගියදා පැවැති ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතවරුන් සහ ඇමැතිවරුන් සහ ජනාධිපතිවරයා අතර හමුවේදී මිහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක බවට පත් කිරීමට පක්ෂය එකඟ වූ බවට රාජපක්ෂ කඳවුරේ වෙබ් අඩවි උදම් ඇනුවේ ය. එහෙත්, ඇත්තෙන් ම සිදු වී තිබුණේ එය නො වේ.

සිදු වී ඇත්තේ පක්ෂය සමගි කිරීම සඳහා කමිටුවක් පත් කිරීමයි. ඒ වෙනුවෙන් පත් වී තිබෙන්නේ රාජපක්ෂ කඳවුරට සමීප පිරිසකි. එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න, ශ්‍රීලනිප උප ලේකම් ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම සහ ටී. බී. ඒකනායක යන මන්ත්‍රීවරු එම කමිටුවට අයත් වෙති.

මේ සියල්ලෝ ම පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීමට වැඩ කළ අයයි. මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ කිසිවෙක් මෙම කමිටුවේ නැත. මෙම කරුණින් ගම්‍ය වන අරුත් ගැන අපගේ අවධානය යොමු විය යුතු ය.

පොදු අරමුණක් සහිත ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්නවා වෙනුවට මහින්ද අගමැති කරගෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවශ්‍යතාව වැඩිපුර ම තිබෙන්නේ බරපතල දූෂණ චෝදනා ඇති පිරිසටයි. ඔවුන්ගේ සැබෑ අරමුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයෙන් පහ කර සිය ගැලවුම්කාරයා වන මහින්ද රාජපක්ෂ යළි බලයට පත් කරගෙන නතර කළ තැන සිට කාගෙන කාගෙන යාම බව නො දන්නේ කවුරු ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන 2014 නොවැම්බර් 21දා අතිශය බැරෑරුම් දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය භාරගෙන තරග කරන්නට ය. පළපුරුදු දේශපාලනඥයකු වූ ඔහු එම තීරණයේ බරපතලකම ගැන ඉතා හොඳින් දැන සිටියේ ය. එහෙයින් ම, මෙම තීරණය දැනුම් දුන් මොහොතේ ඔහු අතිශය හැඟුම්බර වූ අයුරු අපට හොඳින් මතක ය. ඔහු නිවැරදි ය. ජනවාරි 8දා ඔහු පරාජය වූවා නම්, තමන් මුහුණ දෙන්නේ කුමන තත්වයකට ද යන්න ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු ඔහු පැවසී ය.

2010 ජනාධිපතිවරණයට තරග කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් පළි ගැනීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ ආකාරය ගැන පූර්ව අත්දැකීමක් සමාජයට තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරය කළේ මහජන මුදල් හා රාජ්‍ය දේපල උපරිම අන්දමින් තම වාසියට උපයෝගී කර ගනිමින් ය. රජයේ ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් මෛත්‍රීපාල සිරිසේනට බැන්නේ බල්ලා, බූරුවා වැනි වදන් යොදාගෙන ය. ඔහුට ද සරත් ෆොන්සේකාට අත් වූ ඉරණම ම අත් වනු ඇති බව ප්‍රසිද්ධියේ පවසන ලදී. බොහෝ දෙනෙක් එසේ සිදු වනු ඇති බව විශ්වාස කළ හ. ඔවුන් සිතුවේ මහින්ද රාජපක්ෂ යනු පරාජය කළ නො හැකි අද්භූත බලවේගයක් ය කියා ය.

ශ්‍රීලනිපයෙන් ඉවත් වී, පක්ෂයේ බහුතරයක් ඔහුට එරෙහිව වැඩ කරද්දී ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද සිදු වී තිබෙන්නේ මේ සොර මුළෙහි ප්‍රාණ ඇපකරුවකු බවට පත් වීමට යයි කෙනෙකු සිතන්නට පුළුවන. ශ්‍රීලනිපය තුළ දූෂිත බලවේගය එතරම් බලවත් ය. පසුගිය සමය තුළ රාජ්‍ය පාලනය දූෂණය සමග වෙලුණු තරම කෙතරම් ද යත් ප්‍රධාන පාලක පක්ෂය වූ ශ්‍රීලනිපය මුල සිට අග දක්වා ම චෞර යාන්ත්‍රණයක් බවට පත් විය.

මේ චෞර යාන්ත්‍රණයෙන් ජනාධිපතිවරයා මෙන් ම ශ්‍රීලනිපය ද ගලවා ගත යුතුව තිබේ. එය පහසු කාර්යයක් නො වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, ජනවාරි 12දා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව දෙතැනක රැස් විය. මධ්‍යම කාරක සභිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය දක්වමින් නව නිලධාරි මණ්ඩලයක් ද පත් කර ගත් හ. පක්ෂයේ ව්‍යවස්ථාව අනුව, පක්ෂ සාමාජිකයකු ජනාධිපති ධුරයට පත් වුවහොත් එම පුද්ගලයාට පක්ෂ සභාපතිත්වය හිමි විය යුතු ය යන පදනම මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සභාපතිත්වයෙන් එම නිලධාරි මණ්ඩලය පත් කර ගන්නා ලදී. එහෙත්, ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සම්මුති සහගතව ක්‍රියාත්මක වෙමින් ශ්‍රීලනිපය දෙකට බෙදීම වළක්වා ගන්නා ලදී.

තමන්ට එරෙහි දූෂණ විමර්ශනවල ප්‍රතිඵල කුමක් වේ ද යන්න ඒ මොහොතේ ඔවුන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවයි. එහෙත්, දූෂණ විමර්ශන කඩිනම් කිරීමට ආණ්ඩුව අසමත් විය. එපමණක් නොව, ආණ්ඩුවේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති උපයෝගී කර ගනිමින් දූෂණ විමර්ශනවලට එරෙහිව උද්ඝෝෂණ කරන්නට ද රාජපක්ෂ හිතවාදීහු සමත් වූ හ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම ඉදිරියේ පමණක් නොව පාර්ලිමේන්තුවේ පවා දූෂණ විමර්ශනවලට එරෙහි උද්ඝෝෂණ පැවැත්විණි. එතැනින් නො නැවතී අධිකරණයට ද බලපෑම් කරන්නට රාජපක්ෂවරුන් සමත් වී තිබේදැයි ඇතැම් තීන්දු අනුව සිතේ.

2015 ජනවාරි 8දා මෙරට ජනතාවගෙන් බහුතරය මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙමින් ඔහු ජනාධිපති ධුරයට පත් කළේ මේ චෞර පිරිසට නායකත්වය දෙන්නට නො ව, රට ඔවුන්ගෙන් බේරා ගන්නට බව ජනාධිපතිවරයා නැවත සිහිපත් කර ගත යුතු ය.

ශ්‍රීලනිප නායකත්වය ජනාධිපතිවරයා මත කඩා වැටීම අවාසනාවන්ත තත්වයක් බව දැන් ඉතා පැහැදිලි ය. එය ඔහුගේ පමණක් නො ව රටේ ම අවාසනාවකි. එසේ නො වුණා නම් ශ්‍රීලනිපය ඉතා පැහැදිලිව මහින්ද හා මෛත්‍රී අතර බෙදී යනු නියත ය. එම බෙදීම ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍ර විරෝධය අතර බෙදීමක් ලෙසද, දූෂණය හා යහපාලනය අතර බෙදීමක් ලෙස ද සැලකිය හැකි ය. මහින්ද රාජපක්ෂගෙන් ගලවා ගත් ශ්‍රීලනිපයට නවීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස අලුත් පිම්මක් පැනීමේ අවස්ථාව ද තිබිණි.

ඒ සඳහා තවමත් ප්‍රමාද නැත. ජනාධිපතිවරයා විසින් කළ යුතුව තිබෙන්නේ ශ්‍රීලනිපයේ දූෂිත හා නවීන බලවේග සියල්ල යළි එක්සත් කරන්නට උත්සාහ කිරීම නො වේ. එය කිසි සේත් ම කරන්නට බැරි දෙයකි. එසේම එසේ කරන්නට යාමෙන් ජනාධිපතිවරයා බාල්දු වන එක ද වළක්වන්නට බැරි ය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වුණේ ජාතික නායකයකු ලෙස මිස දේශපාලන පක්ෂ නායකයකු ලෙස නො වේ. එම තත්වය රැක ගැනීම ඔහුගේ වගකීමකි. ජනතාවට අවශ්‍ය වන්නේ පොදු ජාතික අරමුණක් වෙනුවෙන් වැඩ කරන පොදු ජාතික නායකයෙක් වන ජනාධිපතිවරයෙක් මිස පක්ෂයකට මුල් තැන දෙන ජනාධිපතිවරයෙක් නො වේ. රටට අවශ්‍යව තිබෙන්නේ සියලු පක්ෂවලට නායකත්වය දිය හැකි දේශපාලන නායකයෙක් වන ජනාධිපතිවරයෙකි.

රාවය 2015 - 06 - 21

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

1990දී කළ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටු වන්නට වසර 25ක් ගත වීම

පානදුර මහාධිකරණය විසින් ජුනි 20දා වැදගත් තීන්දුවක් දෙන ලදී. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ද සිල්වා සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට බරපතල වැඩ ඇතිව අට වසරක සිර දඬුවමක් නියම කරන ලදී.

ඒ රොෂාන් ද සිල්වා 1990 වසරේ හොරණ පොලිසියේ අපරාධ ස්ථානාධිපති ලෙස සේවය කරන සමයේ අවුරුදු 16ක් වයස් වූ ඉංගිරියේ පදිංචිව සිටි ළමයෙකු මරා අතුරුදහන් කිරීම සම්බන්ධයෙනි. 

මේ වනාහි 1989 කැරැල්ල අවසන් වෙමින් පැවති සමයයි. මෙසමයේ මෙවැනි ඝාතන දහස් ගණනක් මේ රටේ සිදු විය. මේ වනාහි එවැනි අපරාධයකට වරදකරුවකුට දඬුවම් ලැබුණු අතිශය දුලබ අවස්ථාවකි. 

එය ද සිදු වී තිබෙන්නේ වසර 25කට පසු ය. වසර 25කට පසු හෝ යුක්තිය ඉටු වීම සතුටු විය හැකි කාරණයකි. එහෙත් වසර 25ක්! 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-18

වැලිකඩ ඝාතනය ගැන යුක්තිය සොයා කරන මේ සටන

ලංකාවේ සිරකරුවන් ඝාතනය කිරීමේ ඉතිහාසය බොහෝ ඈතට විහිදෙයි. ඉඳහිට සිදු වෙමින් තිබුණු මෙවැනි ඝාතන මහත් ආන්දෝලනාත්මක තත්වයට පත් වුණේ 1983 ජුලි කලබල අතරතුර වැලිකඩ දෙමළ සිරකරුවන් 53ක් ඝාතනය කිරීමේ සිද්ධියත් සමගයි.

දෙමළ සිරකරුවන් ඝාතනය කිරීම දිගට ම සිදු වූ අතර වසර 2000දී බණ්ඩාරවෙල බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරේ සිටි වයස අවුරුදු 30ට අඩු තරුණ දෙමළ සිරකරුවන් 26ක් ගම්වාසීන් හා වෙනත් අයගෙන් සැදුම්ලත් අයුතු ජන රාශියක් විසින් මරා දමන ලදී. 

2012 වසරේ වවුනියා රිමාන්ඩ් සිරගෙදර සිදු වූ ප්‍රහාරයෙන් එක් සිරකරුවකු මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබූ හ. 

මේ සියලු සිදුවීම්වලදී මිය ගියේ දෙමළ සිරකරුවන් නිසා සිංහල සමාජය මේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන උනන්දුවක් දැක්වූයේ නැත. 

2012 නොවැම්බර් 09දා වැලිකඩ සිරගෙදර සිදු වූ ඝාතනයේදී සිරකරුවෝ 27ක් මරා දමන ලදී. ඔවුන්ගෙන් බහුතරය සිංහල වූ අතර එම ඝාතන සාධාරණීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කරුණු වූයේ ඔවුන් දරුණු අපරාධකරුවන්, කුඩුකාරයන් හා බන්ධනාගාරය තුළ පොලිසිය කළ මෙහෙයුමට එරෙහිව කැරැලි ගැසූ අය කියා ය. 

මහින්ද රාජපක්ෂ පාලනය තුළ  රටේ අපරාධ මර්දනය කිරීම සඳහා ය කියමින් සැකකරුවන් විශාල පිරිසක් පැන යන්නට තැත් කළ බව කියා වෙඩි තබා හෝ දියේ ගිල්වා හෝ මරා දමන ලදී. මෙම සැකකරුවන්ට සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණේ නැත. 

වැලිකඩ ඝාතනය එහි එක් උච්චස්ථානයකි. 

වින්දිතයන්ගේ පවුල්වල අය හා ඇසින් දුටු සාක්කිකරුවන් කරන මෙම අරගලය ඉතා වැදගත් ය. 

නව රජය විසින් පසුගිය මාස කීපය තුළ මේ කැළෑ නීතිය අත්හිටුවන ලදී. එහෙත්, මේ ක්‍රමය ස්ථිරව පරාජය කිරීමට නම් මෙවැනි සිද්ධි ගැන සාධාරණ පරීක්ෂණ පැවැත්වීම හා වැරදිකරුවන්ට දඬුවම් කිරීම අත්‍යවශ්‍ය ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-17

සම්මානලාභී සෝමරත්න දිසානායකගේ සම්මානලාභී චිත්‍රපට පෙරහැර සම්මානලාභී රූපවාහිනියෙන්

මේ දවස්වල ජාතික රූපවාහිනිය සම්මානලාභී සිනමාකරුවන්ගේ චිත්‍රපට පෙන්වනවා ය.

ඒ අනුව සෝමරත්න දිසානායකගේ සරෝජා කලින් සතියේ සෙනසුරාදා පෙන්නුවා ය.

සෝමරත්න දිසානායකගේ පුංචි සුරංගනාවි ගිය සෙනසුරාදා පෙන්නුවා ය.

සෝමරත්න දිසානයකගේ සූරිය අරණ මේ සෙනසුරාදා පෙන්නනවා ය.

සෝමරත්න දිසානායකගේ අහවල් එක ඊළඟ සෙනසුරාදා පෙන්නුවා ය.

මේ පුටුවේ ඔය ගොම තැම්බ තියනකොට අපි ඔහොම වෙයි කියා හිතුවා ය.

මේ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ ය. 

හේතුව රූපවාහිනියේ මොන රෙද්ද පෙන්නනවා ද කියා කවුරුවත් දන්නේ නැති ය. 

ඒක කවුරුවත් බලන්නේ නෑ ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-06-16

රාජපක්ෂලාගේ ගෙවල්වල කුරුම්බා කැඩුවේ කවුරු ද?

‘මට පුදුම මගෙන් වැඩිපුර උදව් ගත්ත උදවියයි මට විරුද්ධව වැඩ කරන්නේ. එයාලගේ ෆයිල් තියෙන්නේ මගේ ළඟයි. අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ද්‍රෝහිකම් කරනවා. ඒවට මම තරහ ගන්නේ නැහැ. සමාජයේ හැටි ඔහොම තමයි.'

මේ හිටපු ජනාධිපති අද දිවයින පුවත්පතට කරන ප්‍රකාශයකි. මෙවැනි ප්‍රකාශවලින් ම ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳ පැහැදිලි වේ. ඔහු තවමත් ජීවත් වන්නේ දේශපාලකයන් විය යුත්තේ රජු වන තමන්ගේ මාළිගාවේ වළං හෝදන, පොල් කඩන බැලයන් ය යන මානසිකත්වයේ ය.

තම නිවසේ කුරුම්බා කැඩූ අය ගැන ඔහු මෙසේ කියන අතරතුර ඔහුගේ ගෙදර දෙහි කපමින් සිටි කට්ටඩියකු වන සුමනදාස අබේගුණවර්ධන පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දෙමින් රාජපක්ෂ පවුලේ දේපල පිළිබඳ කරුණු හෙළිදරව් කර තිබේ.

මෙහිදී වැදගත් වන්නේ මේ ෆයිල් කතාව ය. ඔහු මේ ෆයිල් ළඟ තබා ගන්නේ කුමට ද? යළි තමන් බලයට පැමිණි පසු පාවිච්චි කරන බව කියමින් තර්ජනය කරන්න ද? අපරාධ, දූෂණ, වංචා පිළිබඳ තොරතුරු වසන් කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව නීතිඥවරයකු වන ඔහු දන්නේ නැද්ද?

වහා මෙම ෆයිල් අත්අඩංගුවට ගත යුතු ය. ඒවා ද, ඒවා සඟවාගෙන සිටීම ද විමර්ශනය කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.