2015-09-29

ලංකාවේ පාසල්වල කක්කුස්සි ප්‍රශ්නය

ලංකාවේ පාසල්වල මෙවැනි වැසිකිළි සුලබ ය.
ශ්‍රී ලංකාවේ පාසල්වල වැසිකිළි, කැසිකිළි පහසුකම් ගැන රජයේ අවධානය යොමු වී තිබේ. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ 2013 වසරේ සංඛ්‍යාලේඛන අනුව, 9905ක් පාසල් අතරින්  24%ක ම වැසිකිළි, කැසිකිළි පහසුකම් නැති බව වාර්තා වේ. 

පාසල් අතරින් 16%කට ජල පහසුකම් නැත. 15%කට විදුලි බලය නැත. 

මා කුඩා කාලයේදී මගේ පාසලට ඉතා විශාල විවෘත කැසිකිළියක් තිබිණි. පාසලේ කෙළවරක වන රොදක් අද්දර තිබූ එය හැඳින්වුණේ හුජ්ජ ගල ලෙසයි. පාසලේ කැසිකිළි පහසුකම් අවම වූ එසමයේ ලොකු කුඩා කවුරුත් මේ ගල් පොත්තට ගිය හ. ඉඳහිට එහි ඇතැමෙක් මළ පහ කර ද තිබිණි. හුජ්ජ ගල අවට දං කැළෑවක් ද, කොහොල්ලෑ ලාවලු ගසක් ද තිබිණි. 

දැන් ද ඇතැම් පාසල්වල තත්වය මෙයයි. ලංකාවේ පාසල් අතරින් 99%ක ම තිබෙන්නේ ඉතා අපිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත නො වන වැසිකිළි, කැසිකිළි ය. හේතුව ඒවායේ පහසුකම් අවම වීම, විධිමත් පිරිසිදු කිරීමේ ක්‍රමයක් නො තිබීම, වැරදි භාවිතයන් හා ආකල්ප ගැටලු ය. 

පාසල් අතරින් 99%ක ම සනීපාරක්ෂක කම්කරුවන් නැති බව අපේ නිරීක්ෂණයයි. බොහෝ පාසල්වල වැසිකිළි පිරිසිදු කිරීම කරන්නේ පාසල් දරුවෝ ය. නැතිනම් මව්පියෝ ය. පවිත්‍රතා කටයුතු වෙනුවෙන් සේවයේ යොදවන අය වෙනුවෙන් මුදල් ගෙවීම මව්පියන්ට පැවරීම ඉතා සුලබ තත්වයකි. ඉතා අඩු වැටුපට සේවයේ යොදවනු ලබන කම්කරුවන් විශාල පිරිසක් පාසල්වල සිටිති. මේ අය අතරින් බහුතරය කාන්තාවෝ ය.

ළඟම පාසල හොඳම පාසල යන නව අධ්‍යාපන ඇමතිතුමාගේ සංකල්පය අනුව පාසල් 1200ක වැසිකිළි, කැසිකිළි පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි දැනට අවධානය යොමු වී තිබේ. පාසලකට ලක්ෂ 20 බැගින් මුදල් වෙන් කිරීමේදී වැසිකිළි පහසුකම් නැති පාසල්වලට ප්‍රමුඛ අවධානය යොමු විය යුතු ය. 

වැසිකිළි, කැසිකිළි ප්‍රශ්නයේ තවත් ගැඹුරු පැතිකඩක් වන්නේ පාසල්වල තිබෙන පහසුකම් ප්‍රමාණවත් නො වීමයි. විවේක කාලයේදී වැසිකිළි, කැසිකිළි අසල පෝලිම් දක්නට ලැබීම පාසල්වල සුලබ තත්වයකි. අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන් මෙම ස්ථාන ඉක්මණින් අපිරිසිදු වේ. පිරිසිදු කිරීම සඳහා විධිමත් ක්‍රම නොමැති වීම හේතුවෙන් බොහෝ පාසල්වල වැසිකිළි ස්ථාවරව ම අන්ත අපිරිසිදු තත්වයක පවතී. 

වැසිකිළි, කැසිකිළි හැදීමෙන් පමණක් පාසල්වල සනීපාරක්ෂාව පිළිබඳ ගැටලුව විසඳෙන්නේ නැත. පාසල්වලට සනීපාරක්ෂක කම්කරුවන් පත් කළ යුතු ය. වැසිකිළි, කැසිකිළි පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද පාසල්වලට ලබා දිය යුතු ය. බොහෝ පාසල්වල මුස්නක් ගන්නට, සබන් දියර ටිකක් ගන්නට ප්‍රතිපාදන නැත. විෂබීජ නාශක යෙදීමක් නම් සිදු වන්නේ නැති ම තරම් ය. 

වැසිකිළිය නිවැරදි ලෙස භාවිතා කිරීම පිළිබඳ පාඩම් ප්‍රාථමික පංතිවල විෂයමාලාවලට ද ඇතුළත් කළ යුතු ය. ලංකාවේ බහුතරයක් ජනයා තවමත් සිතන්නේ වැසිකිළිය අපිරිසිදු තැනක් ලෙස පවත්වාගෙන ගියාට කමක් නැත කියා යයි මට සිතේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-28

මානසික රෝගීන්ට නිසි ප්‍රතිකාර නො කිරීම හා ළමා ඝාතන රැල්ල

පනාගොඩ, කපුරුගොඩ කවිඳු දේවින්ද නමැති දස හැවිරිදි දරුවා කපා, කොටා මරා දැමූ ඝාතකයා ද මානසික රෝගියකු බව පෙනේ. ගල්වලක රැකියාව කරද්දී ඇති වූ අනතුරකින් ඔහුගේ ලිංගේන්ද්‍රය ඉවත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ දරුවාගේ පියාට දරා ගත නො හැකි වේදනාවක් ඇති කිරීමට බව ඔහු පවසා තිබේ.

මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු ඝාතනයට යොදාගත් මන්නා පිහිය පොලිසියට පෙන්වීමට යැමේදී පය ලිස්‌සා පැරණි ගල් වළකට වැටී ඇති බවට හා එහිදී පෙරළී ආ ගලකට සැකකරුගේ දෙපා යටවී බරපතළ තුවාල ලබා ඇති බවට ද වාර්තාවක් පළ වී තිබේ.

හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සැකකරු කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

පොලිසියට නැවතත් සැකකරුවන් ආයුධ පෙන්නන්නට ගෙන යාමට අවසර ලැබී ඇති බවක් පෙනේ. බරපතළ තුවාල ලැබූ සැකකරු පොලිස්‌ ආරක්‌ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර, සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාරයේ සිටින සෙසු ‘වීරයන්ගෙන්' රැක ගැනීමට අමතර ආරක්ෂාව යෙදවීමට සිදු වී ඇති බව ද වාර්තා වේ.

මෙම බරපතල අපරාධකරුවන් මරා දැමීමේ දැඩි ආශාවක් තිබෙන පිරිසක් ද මෙම සමාජයේ සිටිති. එවැනි අය මෙතැන ඇවිත් කමෙන්ට් ද දමති. එහෙත්, කවර හෝ මිනිසකු මැරීම නම් අතිශය සංවේදී කාර්යය පෞද්ගලිකව කිරීමට හා එහි වගකීම භාර ගැනීමට ඒ කීදෙනෙකුට පුළුවන් ද?

මේ ඝාතකයන් හා ඔවුන් ඝාතනය කිරීමේ උවමනාවෙන් පෙළෙන, තනිව හෝ පිරිසක් සමග එක්ව එසේ කිරීමට කැමති අයත්, එම ඝාතන අනුමත කරන අයත් යන මේ සියල්ලෝ ම මානසික ගැටලුවලට මැදි වී සිටින අය වෙති. අනතුරක් හේතුවෙන් ලිංගය ඉවත් කරන්නට සිදු වීම අතිශය බරපතල මානසික ගැටලු ඇති කරන තත්වයකි. 

මෙම අපරාධ මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබීමත් සමග ම ඒවා සිදු වීම තව තවත් වැඩි වීමෙන් පෙනෙන්නේ වාර්තාකරණය විසින් මෙවැනි මානසික රෝගීන් තුළ අපරාධ සඳහා පෙළඹවීමක් ඇති කරන බව නොවේ ද?

ලංකාව මානසික වශයෙන් රෝගී සමාජයකි. අනුන්ට වධ දෙමින් ලවුඩ්ස්පීකර්වලින් තරගෙට කෑගසන ආගමිකයෝ ද මේ රෝගීන්ගෙන් ම කොටසක් මිස සුවපත් කරන්නෝ නොවති. භයානක අන්දමින් මානසිකව ගිලන් වී සිටින ලාංකික සමාජය සුවපත් කිරීමේ මෙහෙයුමක් කඩිනමින් අවශ්‍ය ය.

කොටදෙනියාවේ ළමා ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර එවැනි වරදක් සම්බන්ධයෙන් දඬුවම් ලද අයෙකි. එහෙත්, ඔහුගේ රෝගී තත්වය පිළිබඳ අවධානය යොමු කරන්නට අධිකරණය අසමත් වී තිබේ.

අධිකරණ විනිසුරුවරුන් ගැන ද යමක් කිව යුතු ය. විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් ද ගැටලු සහගත ය. 1980 දශකයේ අගභාගයේදී දැන් මනෝ විශ්ලේෂණය සඳහා ප්‍රසිද්ධ ලේඛකයකු වන විනිසුරුවරයකු පිළිබඳ කතාවක් මගේ මිතුරෙක් මට කීවේ ය. කිසියම් නඩු විභාගයක් පිණිස උසාවියේ සිර කූඩුවට දමා සිටි සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරීහු සිර කුටිය තුළට ඇතුළු වී පහර දුන් හ. එසේ පහර දුන්නේ අදාළ විනිසුරුවරයා ඉදිරියෙන් පිහිටි බංකුවේ නඩු අසමින් සිටියදී ය. පහර කෑමට ලක් වූ පුද්ගලයා කෑ ගසා තමන්ට සිදු වූ අසාධාරණය විනිසුරුවරයාට කීවේ ය. විනිසුරුවරයා කළේ පහර කෑමට ලක් වූ පුද්ගලයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක් කිරීමයි. මේ කතාව ඇත්තක් වුණත්, බොරු වුණත්, ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ පවතින ගැටලුකාරී තත්වය එම කතාවෙන් නිරූපණය වේ. ලංකාවේ බොහෝ විනිසුරුවරුන්ගේ හැසිරීම් ගැලපෙන්නේ පසුගාමී වැඩවසම් සමාජවලටයි.

ලංකාවේ විනිසුරුවරුන්ට අපරාධ මනෝ විද්‍යාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දිය යුතු ය. එසේ ම, සමාජයට බරපතල ගැටලු බවට පත් වන මානසික රෝගී අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වෙන ම බන්ධනාගාර අංශයක් ආරම්භ කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-27

පනස් වසරක් පුංචි දරුවෙක්

අදට මට පනහයි - නැගිට්ටා විතරයි

රූකාන්තගෙ ගී පදේකින් ඊයෙ රෑ
පනස් හැවිරිදි
පුංචි ළමයෙක් ඉපදිලා
චූ දමාගෙන
නිදි ඇඳේ
නැගිටපං

වහලෙ උළු කැටයක් ගලෝගෙන
ඉර බලන්නට යයි එයා
“හායි! කම්මැලි මාළුවෝ
මොකද හයිබ්‍රිඩ් කාරෙකක්
පිටේ බැඳගෙන ගස් බෙනේ?

“අම්මපා මේ පිස්සු ලෝකය
මොකද මේ හැටි දිය වෙලා
වහින කැත හඳ හතක් පායන ගිනියමේ"
කඳු උඩින් ඔහු පාවෙලා
අවවාදයක් ගන්න මිනිහෙක් හොයනවා

හෙට ඉඳන්වත් පිළිවෙලක්
වෙන්න බලනා පඹ වැලක්
එති එතී මළ පාළුවේ 
මෙහෙම කවියක් ලියනවා

“පුංචි කවියක වලිගයේ
ජීවිතේ රහ දැවටිලා
කාගෙදෝ හුරු කටහඬක්
පනස් වසරින් ඇහෙනවා
දෙනෝ දාහක පාළුවේ
ෆ්ලෑෂ් එළි ගත් අත් මැදින්
කළුවරේ මං හොයනවා
මං කවුද මං දන්නෙ නැහැ
අසරණව හිත අඬනවා"

තවම නො ලියූ
කවිය සිහිනෙන්
සුවඳ සේ ගෑවී මැකී
පනස් වසරක පුරාණේ
ඒ කවිය ඔහු සොයනවා
සියක් වසරක් සෙවූ අතැඟිලි වෙවුලමින්
කවිය ලිස්සා වැටෙනවා 

- අජිත් පැරකුම් ජයසිංහ
2015-09-27

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-26

සවුදි අරාබිය මානව හිමිකම් කොමිෂමේ සභාපතිත්වයට පත් වුවහොත්............

රායිෆ් බදාවි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ වත්මන් සභාපතිත්වය හිමි ජර්මනියටයි. මේවසරේදී ජර්මනියේ වාරය අවසන් වන අතර අලුත් ම වාර්තා පවසන්නේ සවුදි අරාබිය දැන් එම තනතුරට ඇස ගසාගෙන ඇති බවයි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සාමාජික රටවල් සංඛ්‍යාව 47කි. එම රටවල් තෝරා ගනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මහ සභාවේ ඡන්දයෙන් ගූගෝලීය කලාප අනුවයි. සවුදි අරාබියේ සාමාජිකත්වය ද 2016දී අවසන් වීමට නියමිත ය. මානව හිමිකම් කොමිෂමේ සභාපති ධුරය පත් කර ගන්නා ඡන්දය 2015 දෙසැම්බරයේදී පැවැත්වීමට නියමිත ය. 

සවුදි අරාබියේ මෙම බලාපොරොත්තුව පිළිබඳ පුවත පළ වන්නට දින කීපයකට පෙර අලුතෙන් ඝාතකයන් අටදෙනෙකු බඳවා ගැනීමට එරට රජය දැන්වීම් පළ කළේ ය. 

මේ අවුරුද්දේ මේ වන විට සවුදි රජය විසින් මරණීය දණ්ඩනය පනවා තිබෙන මිනිසුන් සංඛ්‍යාව 85කි. ගිය අවුරුද්දේ 87දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලදී. 

මෙසේ මරා දමන මිනිසුන් අතරින් වැඩි දෙනෙක් ධනවත් නො වන අයයි. 

එක්සත් ජනපදය මිනිසුන් ප්‍රසිද්ධියේ ගෙල සිඳ මරන, කාන්තාවන්, ක්‍රිස්තියානින්, සමලිංගිකයන් හා එරට පවතින ක්‍රමය විවේචනය කරන රායිෆ් බදාවි වැනි බ්ලොග්කරුවන් පවා මර්දනය කරන සවුදි අරාබියේ මෙම උවමනාවට එරෙහිව සටන් කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. බදාවිට වසර 10 සිර දඬුවමක් හා කස පහර 1000ක් නියම වූයේ රජය විවේචනය කිරීම නිසා ය.

මෙම හේතු මත එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනටත් සවුදි අරාබිය සුවිශේෂ අවධානය යොමු විය යුතු රටක් ලෙස සලකයි. 

පසුගිය ජනවාරියේදී සවුදි අරාබිය ඉස්ලාමයේ ශුද්ධ නගරය වන මක්කමේදී කාන්තාවකගේ හිස ගසා දැම්මේ ය. 

සවුදිය දැන් දෙවියන් අදහන්නේ නැති මිනිසුන් ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීමට නව නීති හඳුන්වා දෙන්නට යන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. 

ඒකාධිපති රාජ පාලනයට එරෙහිව ජනතාව නැගී සිටීම මර්දනය කිරීම සවුදි පාලකයන්ගේ නව නීතිවල අරමුණයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

දියලුම මරණය


ඇල්ල පාමුල ගල් තලාවට
පාවෙලා ආවා
වෙළාගෙන සිටි අත් ලිහී
පාවෙලා ආවා
බැඳුණු හදවත් නැවතිලා
සිම්බ දෙ‍කොපුල් නිල් වෙලා
පරඬැලක් සේ ප්‍රාණ විරහිත
පාවෙලා ආවා

ඇල්ල මුදුනින් දියට වැටිලා මල් දෙකක්
පාවෙලා ආවා

ආදරේ ඉතිහාසයේ
සෑමදාමත් වාගෙමයි
ජාති කුල මල
භේද ආගම්
ධනය අධ්‍යාපනය ඈ ගෙන
කාලයේ දියලුම ගලා යනවා

ජීවිතේ සැඩ දියේ වැටිලා
පාවෙලා යනවා

(දියලුම ඇල්ලෙන් පැන සිය දිවි නසා ගත් සිංහල තරුණියක හා දෙමළ තරුණයකු ගැන ලියූ කවියකි.)
අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-25

එකක් කඩතොලු වසන්නට ගොස් නැතක් කඩතොලු හැදුණු කොටදෙනියාවේ ළමා ඝාතනය

"මගේ පුතා එදා නිවසේ නිදාගෙන සිටියේ. පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ උදේ පාන්දර එකපාරටම නිවසට පැමිණියා. පස්‌සේ ඔවුන් පුතාගෙන් නොයෙකුත් දේ විමසන අතරේ පුතාගේ කාමරය අවුස්‌සමින් ඊයම් කොළ හෙව්වා. ඒ පුතා මත්කුඩු පානය කරන බව පවසමින්. එත් ගෙදර තිබුණු ඊයම් කොළයක්‌ නැහැ. පස්‌සේ ඔවුන් පුතාව අරගෙන යන්න ගියා.

“මම එදිනම සවස කොටදෙණියාව පොලිසියට පුතා බලන්න ගියා.. ඒත් දරුවා බලන්නවත් පොලිසිය මට ඉඩ දුන්නේ නැහැ. පොලිසියේ හිටපු උසස්‌ නිධාරියෙක්‌ ඉතාම කෝපයෙන් පහත් විදිහට මට බැණ වැදුණා. මම පොලිසියෙන් අහන්නේ ඇයි අපිට එහෙම කළේ කියලා. මගේ පුතා වරදක්‌ කළේ නැහැ. ඒ බව මම නිවසට ආපු පොලිස්‌ නිලධාරින්ට පුන පුනා කිව්වා. නමුත් ඔවුන් මට කන් දුන්නේ නැහැ. මහා මිනීමරුවෙක්‌ අරන් යනවා වගේ මගේ දරුවා අරගෙන ගියා.

“මම පොලිසියේ මහත්වරුන්ගෙන් අහන්නේ එකම දෙයයි. මගේ දරුවා තවමත් අවුරුදු දහහතක පාසල් ශිෂ්‍යයෙක්‌. කොහොමද මේ වගේ අවමානයක්‌ කළාම ඔහු සමාජයට මුහුණ දෙන්නේ. දරුවා ලබන වසරේ අපොස උසස්‌ පෙළ වභාගයට පෙනී සිටිනවා. මගේ දරුවා ඉගෙනීමට දක්‍ෂයි. ඔහු පහ වසර ශිෂ්‍යත්වය පවා සමත් වුණු දරුවෙක්‌. මගේ දරුවට අනාගතේ විවාහයක්‌වත් කර දෙන්න මට බැරි වන තත්ත්වයක්‌ නිර්මාණය වේවි. ඒකට වග කියන්න පොලිසියට පුළුවන්ද?"

මේ සැප්තැම්බර් 24දා දිවයින පුවත්පතේ වාර්තාවකින් ගත් කොටසක්. කතා කරන්නේ කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි ය. පසුගියදා කොටදෙනියාව පොලිසිය විසින් සේයා දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළේ ඇගේ 17 හැවිරිදි පුතාවයි.

මේ ඒ ගැන සැප්තැම්බර් 21දා දිවයින පුවත්පතේ ම පළ වූ වාර්තාවෙන් කොටසක්:

“කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ බරපතල සැකයක්‌ මතුවී ඇතැයි පොලිස්‌පති එන්.කේ. ඉලංගකෝන් මහතා "දිවයින"ට පැවසීය

“දැනටමත් ඒ පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක්‌ පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර ඒ ඔස්‌සේ සිදුකරන විමර්ශන අනුව ඝාතකයා කොටු කර ගැනීමට හැකි වනු ඇතැයිද පොලිස්‌පතිවරයා සඳහන් කළේය.

"සැක සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌ අයකු සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක්‌ පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණයෙන්ම අසභ්‍ය වීඩියෝ දර්ශන ගබඩා කර තිබූ බවද පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

"එම පරිගණයකය මේ වන විට වැඩි දුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යවා වාර්තාවක්‌ ලබා ගැනීමටද පොලිසිය කටුයුතු කර තිබේ.

"සිදු කරගෙන යනු ලබන විමර්ශන අනුව සේයා ඝාතනයේ සැකකරුවන් ඉක්‌මනින්ම කොටු කර ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළ පොලිස්‌පතිවරයා මෙය අභිරහසක්‌ වීමට පොලිසිය කිසිසේත්ම ඉඩක්‌ නොතබන බවද පැවසීය.

“මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනකු මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද පොලිසිය කටයුතු කර තිබේ.

“සේයා ඝාතනයට සම්බන්ධ ඝාතකයා නිශ්චිතව හඳුනා ගැනීම සඳහා පොලිසිය දැනටමත් ජීව විද්‍යාත්මක පරීක්‍ෂණ ගණනාවකට යොමු වී ඇති අතර දැනට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ සේයා ළැදැරියගේ සිරුරේ තිබූ කොටස්‌ සන්සන්ධනය කර ඩීඑන්ඒ පරීක්‍ෂණයක්‌ සිදු කිරීමටද පියවර ගෙන ඇත."

මෙම වාර්තා දෙක ම ලියන්නට සමන් ගමගේ නම් මාධ්‍යකරුවා සම්බන්ධ වී ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

මෙම වාර්තාකරණයේ ඇති ගැටලු කීපයක් පෙන්වා දෙන්නට කැමැත්තෙමි. “සැක සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌ අයකු සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක්‌ පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණයෙන්ම අසභ්‍ය වීඩියෝ දර්ශන ගබඩා කර තිබූ බවද පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත."

තවත් වාර්තාවල සඳහන් වන ආකාරයට මෙම ලැප්ටොප් පරිගණකය ඉහත සඳහන් කළ බාල වයස්කාර සිසුවාට අයිති එකකි. කිසිදු පරිගණකයක් සම්පූර්ණයෙන් ම අසභ්‍ය වීඩියෝ දර්ශනවලින් පුරවන්නට බැරි ය. සාමාන්‍යයෙන් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය හා වෙනත් මෘදුකාංග ස්ථාපිත කිරීම සඳහා පරිගණකයේ සැලකිය යුතු ඉඩක් වෙන් වේ. ‘අසභ්‍ය' වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වූ වැඩිහිටි පුද්ගලයකු හෝ සිය පරිගණකය සම්පූර්ණයෙන් ම එවැනි වීඩියෝ දර්ශනවලින් පුරවා ගනු ඇතැයි සිතිය නො හැකි ය. එසේම, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඒවා පරිගණකයේ ගබඩා කර ගත යුතු නැත. ඒවා නැරඹීමේ පහසුකම් ලබා දෙන වෙබ් අඩවි ඕනෑ තරම් තිබේ. පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි වෙබ් අඩවි ගණනාවක් ලංකාවේ සිට නැරඹිය නො හැකි අන්දමට බාධා පනවන ලදී. ඒවා තවමත් එසේ ය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදෙස් දෙන අය මෙම විෂය ගැන කෙතරම් ගැඹුරු අවබෝධයක් ඇති අය ද යන්න ඇත්තෙන් ම ගැටලුවකි.  

අනෙක් පැත්තෙන් අසභ්‍ය යයි කියන වීඩියෝ බැලීම අපරාධයක් ලෙස සැලකිය හැකි තරම් අමුතු වැඩක් නො වේ. මේ පාසල් සිසුවා ඒවා බලන ඉතා සීමිත පිරිසක් අතරින් එක් අයෙකු ලෙස සැලකිය නො හැකි ය. මෙවැනි වීඩියෝ දර්ශන කිසිදාක නරඹා නැති අය ඒවා ගැන අසාමාන්‍ය පරිකල්පන නිර්මානය කරගෙන ඇති බව පෙනේ. ඒවා බලා තිබෙන ඇතැම් අයත්, පොලිසිය හා ආණ්ඩුවත් හැසිරෙන්නට උත්සාහ කරන්නේ ඒවා නරඹා නැති ගැමියන්ගේ මානසිකත්වයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සිසුවා බරපතල අගතියකට පත් වූයේ ය. 

පොලිසිය ඔහු හා තවත් පුද්ගලයෙක් රිමාන්ඩ් කළේ ඇයි ද යන්න බරපතල ප්‍රශ්නයකි. ඔවුන්ගේ ඩී.එන්.ඒ. සහ ඝාතකයාගේ ඩී.එන්.ඒ. නො සැසඳෙන බව දැන් පොලිසිය ම පවසයි. පරීක්ෂණ මෙහෙයවීම සඳහා සැක සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ යුතු ම ද? අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් කිරීම කළ යුත්තේ පරීක්ෂණයේදී සැලකිය යුතු දුරට සාක්ෂි තහවුරු වුණොත් නොවේ ද? මව්පියන්ගෙන් යැපෙන බාල වයස්කාර පාසල් සිසුවකුට අධිකරණයෙන් පළා යාමට හෝ සාක්ෂි විනාශ කිරීමට තරම් හැකියාවක් තිබේ ද? පොලිසියේ ක්‍රියාකලාපය නිසා ඔහු සියදිවි නසා ගන්නට ඉඩ තිබෙන තත්වයක් නම් නිර්මානය වී තිබේ. රිමාන්ඩ් සිරගෙදර ඔහුට තිබෙන ආරක්ෂාව කුමක් ද? මෙවැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් සැකයට භාජනය වන්නන්ට සමාජය දක්වන ප්‍රතිචාරය මෙම පාසල් සිසුවාට රිමාන්ඩ් බන්ධනාගාරයේදී කුමන අන්දමින් බලපාන්නට ඇද්ද? 

මෙම සිසුවාගේ ලැප්ටොප් පරිගණකය ගැන අතිශයෝක්ති වාර්තාව මාධ්‍ය වෙත ලබා දෙන්නට ඇත්තේ පොලිසිය විසිනි. කිසිදු පැහැදිලි සාක්ෂියකින් තොරව සැකකරුවකු පමණක් බවට පත් වී තිබෙන බාල වයස්කාර පුද්ගලයකුගේ අතිශය පෞද්ගලික ජීවිතය පිළිබඳ එවැනි තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමත්, මාධ්‍ය ඒවා වාර්තා කිරීමත් කෙතරම් සදාචාරවාදී ද? ළමයකු සම්බන්ධයෙන් මේ අන්දමින් කටයුතු කිරීම අපචාරයක් නො වන්නේ ද? එසේ පිළි ගන්නේ නම්, එයට වගකිවයුතු පොලිසිය හා මාධ්‍ය වින්දිතයාට වන්දි ගෙවන්නේ කුමන ආකාරයෙන් ද?

මෙම අපරාධයේදී ජනමාධ්‍ය කටයුතු කළ ආකාරය අතිශය නින්දිත ය. විශේෂයෙන් ම, සිංහල පුවත්පත් හා සමාජ මාධ්‍ය කටයුතු කළේ අතිශය ආචාරධර්ම විරෝධී ස්වරූපයකිනි. දරුවාගේ මළ සිරුර හමු වූ අවස්ථාවේ මාධ්‍යකරුවන් දරුවාගේ පියා එක එක ආකාරයට තබමින් නිරුවත් මළ සිරුර ඡායාරූප හා වීඩියෝගත කරන්නට යාම හේතුවෙන් පියාත්, ජනමාධ්‍යකරුවනුත් අතර ගැටුමක් ඇති විය. ජනමාධ්‍ය විසින් පියා ද, මව ද, දරුවාගේ සීයා ද සැකයට භාජනය කරන ලදී. පවුලේ ගැටුම් හා පියාගේ අතීත සිද්ධි අතිශයෝක්තියට නඟමින් ඔවුන් වැරදිකරුවන් බවට පත් කරමින් ඔවුන්ගේ ජීවිත බරපතල අනතුරුදායක තත්වයකට පත් කරන ලදී. 

පොලිසිය විමර්ශන කරන ආකාරය අතිශය අපූරු ය. ඔවුන්ගේ සැකයට භාජනය වන හැම දෙයක් ම සැණෙකින් ජනමාධ්‍ය වෙත දැනුම් දෙන ආකාරය දැකිය හැකි ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුන්වන සැකකරුවකු ද දැන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පිළිබඳව ද කලින් සැකකරුවන් පිළිබඳ සේ ම අනාවරණය කිරීම් හා පූර්ව විනිශ්චයන් සම්පාදනය සිදු වෙමින් තිබේ. 

බරපතල අපරාධයක් ඉදිරියේ ලංකාවේ වගකිවයුතු ආයතන හා සමාජය හැසිරෙන්නේ තනිකරම අයුතු ජනරාශියක් ලෙසයි. පසුගිය කාලයේ නම් පොලිසිය කළේ සැකකරුවන් නඩු විභාගයකින් තොරව මරා දැමීමයි. අධිකරණය, රජය හා සමාජය ඒ සැකකරුවන් ඝාතනය අනුමත කරමින් සැකකරුවන් ඝාතනය කළ මිනීමරුවන්ට නීතිමය මුක්තිය ලබා දුන්නේ ය. දැන් ඒවා සිදු වන්නේ නැත්තේ ආණ්ඩුව මුක්තිය ලබා දීමට සූදානම් නැති නිසා බව පැහැදිලි ය. සැකකරුවන් මරා දැමීමේ වගකීම සම්බන්ධයෙන් පෞද්ගලිකව කටයුතු කරන්නට සිදු වූ කල පොලිසිය තුළ සිදු වී තිබෙන පරිවර්තනය නිරීක්ෂණය කළ විට පසුගිය කාලයේ සිදු වූ ඝාතන හා ආණ්ඩුව අතර සම්බන්ධය පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන. 

එහෙත් තවමත් රන්ජන් රාමනායකගේ, සජිත් ප්‍රේමදාසගේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දක්වා ම දේශපාලන නායකයන් අයුතු ජනරාශි සමග රැල්ලට ගහගෙන යන්නට සූදානම් බව පසුගිය දිනවල මේ අය කළ මරණ දඬුවම ගැන කළ ග්‍රාම්‍ය ප්‍රකාශවලින් පෙනිණි. දේශපාලකයන්, වගකිවයුතු ආයතන හා ජනමාධ්‍ය දක්වා ම කටයුතු කරන ස්වරූපය විසින් පැරණි ප්‍රස්ථාව පිරුළක් සිහිපත් කරයි. “එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා - නැතක් කඩතොලු හදා දුන්නයි කම්මලේ ආචාරියා."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-24

මළමිනී සහ ළමයින් සමග ලිංගිකව එක් වීම

නෙක්‍රොෆීලියා කියන්නේ මළ මිනී කෙරෙහි ආසක්ත වී ඇතැම් විට ඒවා සමග සංසර්ගයේ යෙදීමට පෙළඹෙන මානසික රෝගී තත්වයක්. නෙක්‍රොෆීලියා යන වදන ශවකාමය ලෙස සිංහලට පරිවර්තනය කරන්නට පුළුවන්. කොටදෙනියාවේ සේයා දැරිය මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන ජනමාධ්‍ය විසින් කරනු ලබන විස්තරවල ඔහු මෙවැනි මානසික රෝගියකු බව පැවසෙනවා.

ජනමාධ්‍ය විසින් වෛරී චේතනා ජනතාව තුළ ඇති කිරීමේ අරමුණින් කරන මෙවැනි වාර්තාකරණයන් සම්පූර්ණයෙන් විශ්වාස කළ නො හැකි වුණත්, මෙම සැකකරුවා මානසික රෝගියකු වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

නෙක්‍රොෆීලියා මානසික තත්වයෙන් පෙළෙන පුද්ගලයකු පිළිබඳ ගාමිනි වියන්ගොඩ විසින් ‘මායාවාස’ ලෙස පරිවර්තනය කරන ලද ඉසබෙල් අය්යන්දේ ලියූ The House of Spirits නවකතාවේ සඳහන් වෙනවා.

“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා රෝසා ගේ සිරුර හිස් කොට අවසන් වන තෙක්, නහරවැල්වලට බෙහෙත් එන්නත් කර, සිරුර නහවා ආමෝදි විනාකිරෙන් හා සැවැන්දරා සාරයෙන් දෝවනය කර අවසන් වන තෙක්, ක්ලාරා ඇසි පිය නො හෙලා ඒ තැන රැඳී සිටියා ය. මෘත ශරීර සංරක්ෂක පාප්ප තවරා, වක් වූ ගෝනි ඉදි කට්ටකින් මෘත දේහය මසා අවසන් වන තෙක් ඈ එ තැන රැඳී සිටියා ය. අන්තිමේ දී දොස්තර කුළුවාස් පයිප්ප බක්කියට ගොස් දෑත් සෝදා ගත්තේ ය. දෑසේ කඳුළු පිස දා ගත්තේ ය. අනිකා ලේ සෝදා හැර බොකු එකතු කෙළේ ය. තවමත් ක්ලාරා එතැන ය. අනතුරු ව, අපරිමිත ශෝකයෙන් දොස්තර කුළුවාස් සිය කළ කබාය ඇඟලාගෙන එත තැනින් පිට විය. එ විට, මීට පෙර ක්ලාරා දැක නො සිටි තරුණයා රෝසාගේ දෙ තොල සිඹින්නට විය. ගෙල සිඹින්නට විය. දෙ තන උරන්නට විය. ඇගේ දෙ පා අතරේ මුහුණ හොවා රහසඟ සිඹින්නට විය. තව මත් ක්ලාරා ගේ දෑස් එ තැන ය. අන්තිමේ දී තරුණයා මළ සිරුර මුහුදු හත්තකින් පිසලෑවේ ය. එම්බ්‍රොයිඩරි කළ රෑ ගවුම ඇන්දෙව්වේ ය. හති දමමින් ඇගේ හිස පීරුවේ ය. ඉන් පසු, දොස්තර කුළුවාස් සහ නානා විත් සුදෝ සුදු වස්ත්‍රෙයන් රෝසා සරසා, ඇගේ සරණ මංගල්‍යය වෙනුවෙන් කළ ඔටුන්න ඇගේ හිස ලෘවේ ය. අනතුරු ව, රෝසා සිය මනාලිය වී නම් තමා ගේ ගෙයි එළිපත්ත හරහා ඈ ඔසවාගෙන යන සෙනෙහසින් ම, තරුණයා රෝසාව දෑතට ගත්තේ ය...." (මායාවාස, ගාමිනී වියන්ගොඩ, පි. 61, 62)

නෙක්‍රොෆීලියා මානසික තත්වය ගැන ඉතිහාසය පුරාමත් යම්, යම් සඳහන් වීම් තිබෙනවා. අලුත මිය ගිය කාන්තාවකගේ සිරුර සමග ලිංගික ක්‍රියාවක යෙදුණු මළ මිනී සංරක්ෂකයකු පිළිබඳව වාර්තා වීමෙන් පසු, නැවත එසේ සිදු වීම වැළැක්වීම සඳහා පැරණි ඊජිප්තුවේ මිය ගිය රූමත් කාන්තාවන්ගේ සිරුරු සංරක්ෂණය කළේ දින කීපයකට පසුව බව ග්‍රීක් ලේඛක හෙරඩෝටස් (ක්‍රි.පූ. 484-425) සිය ‘ඉතිහාස' නම් කෘතියේ සඳහන් කර තිබෙනවා.

බෞද්ධ විනය පිටකයේත් මේ ගැන සඳහන් කිරීමක් ඇති බව මා අසා තිබෙනවා. ලංකාවේත්, ඇතැම් මෘත ශරීරාගාරවල මෙවැනි ක්‍රියා සිදු වන බවට කටකතා තිබෙනවා.

ළමයකු ලිංගිකව ආසක්ත වන පුද්ගලයකු ගැන සාහිත්‍යයේ සඳහන් වන ප්‍රකට ම උදාහරණය තමයි, ව්ලැදිමිර් නබුකොවුගේ ලොලිටා නවකතාව. ළමයින්ට ලිංගිකව ආසක්ත වන මානසික තත්වය හැඳින්වෙන්නේ පීඩොෆීලියා හෙවත් ළමාකාමය යන නමින්. ශවකාමීන් වගේ නෙමෙයි, මේ සමාජයේ ළමාකාමීන් සුලබයි. සමාජයේ සෑම තරාතිරමක ම මෙවැනි පුද්ගලයන් දකින්නට ලැබෙනවා. ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්ට පවා ළමාකාමී චෝදනා එල්ල වී තිබෙනවා. පැරණි සංස්කෘතීන් බොහොමයක ළමාකාමයට ඉඩ දී තිබෙනවා. ළමයින් විවාහ කර ගැනීම වර්තමානයේදී පවා දුර්ලභ තත්වයක් නොවෙයි.

එහෙත් නවීන සමාජය මෙහි තිබෙන අමානුෂිකත්වය හඳුනාගෙන තිබෙනවා. එහෙයින් ශිෂ්ට සමාජය එය පිටුදකිනවා. එපමණක් නොවෙයි, එය වැළැක්වීම සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. ළමා විය හා සම්බන්ධ වන කුමන හෝ ආකාරයක ලිංගිකත්වය අපචාරයක් ලෙසයි සැලකෙන්නේ. ළමයාගේ කැමැත්තෙන් සිදු වුණත්, එය දූෂණයක් ලෙසයි සැලකෙන්නේ. ළමයින්ගේ ආරක්ෂාව සඳහා මෙය ඉතා වැදගත්.

එහෙත්, සමාජ ආකල්ප තවමත් මුළුමනින් ම මෙම තත්වය හා අනුගත වී නැහැ. එසේම, මෙය මනෝ විද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව තරමක් අවුල් සහගත කලාපයක් ලෙසත් සලකන්නට පුළුවන්. කොහොම වුණත්, වැඩිහිටියන් ළමයින් දූෂණය කිරීම ඉවසන්නට නවීන ශිෂ්ට සමාජය කිසි සේත් ම සූදානම් නැහැ.

කොටදෙනියාවේ ඝාතනය නිසා ශවකාමය හා ළමාකාමය ගැන බැරෑරුම් ලෙස සිතන්නට අපට සිදු වී තිබෙනවා. ලංකාවේ සිටින මෙවැනි මානසික රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විධිමත් වැඩපිළිවෙලක් තිබෙනවා ද? විශේෂයෙන් ම ළමාකාමීන් දරුවන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක්. ඒ නිසා එය සමාජාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලකන්නට සිදු වෙනවා. එවැනි රෝගීන්ට ලංකාවේ නිසි පරිදි ප්‍රතිකාර සිදු වන්නේ නැහැ. ඔවුන් දීර්ඝකාලීනව සමාජයෙන් ඈත් කර ප්‍රතිකාර කළ යුතුව තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල මෙවැනි සමාජ ගැටලු කළමනාකරණය කර ගන්නා ආකාරය ගැන අපි හැදෑරිය යුතුයි.

සියල්ලට විසඳුම තිබෙන්නේ මරණ දඬුවම තුළ යයි සිතන ජනප්‍රිය මුග්ධ සිතුවිල්ල පසෙක ලා මේ ප්‍රශ්න ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-23

අකිලගේ වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල

පසුගිය ජුනි මාසයේ දිනක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අතින් සිදු වූ අත්වැරැද්දක් මෙසේ ඡායාරූපගත විය. පිරිවෙන් ආචාර්යවරුන්ට පත්වීම් ලිපි දීගෙන දීගෙන යද්දී, එක දිගට භික්ෂූන්ට දෙකට නැවී වැන්ද අකිල විරාජ් අතපසු වීමකින් ගිහි පරිවේණාචාර්යවරයකුට ද දෙකට නැවී වැන්දේ ය.

එය හුදු අත්වැරැද්දක් වුව ද ජනමාධ්‍ය ඒ ඔස්සේ අධ්‍යාපන ඇමතිවරයා උපහාසයට ලක් කළේ ය. අපි අද කතා කරන්නට යන්නේ අකිලගේ වැඳිල්ල ගැන නො වේ. පාසල්වල තිබෙන වැඳිල්ල ගැනයි. එය අකිලට අදාළ ය.

මේ වන විට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැඳිල්ල ක්‍රියාත්මක වන්නේ තනිකර ම අනාගත පරම්පරාවේ කොඳු නාරටිය බිඳ දැමීමේ වැඩසටහනක් ලෙස බව මගේ නිරීක්ෂණයයි. නගරයේ පාසල්වලට වඩා ගමේ පාසල්වල වැඳීමේ ක්‍රියාවලිය අවුල් සහගත ය. මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන්ගේ මෙන් ම ගුරු සංගම් හා වෙනත් සමාජ සංවිධානවල ද අවධානය යොමු විය යුතු ය. 

වැඳිල්ල පිළිබඳ මගේ අත්දැකීම අතිශය කඨෝර ය. වත්මන් හා අතීත සිසු සිසුවියන් පාරේ හමු වූ විට හිතවත්කමට වචනයක් දෙකක් කතා කළ සැණින් පවා, තැන නො තැන නො බලා ළමයි ගුරුවරුන්ට වඳිති. බස් නැවතුම්පළේදී හෝ පොළේදී කිසිවෙක් දෙකට නැවී ඔබට වඳින විට ඇති වන හැඟීම කෙබඳු ද? මට නම් වහා එතැනින් පළා යාමට සිත් වේ. එසේ නො කරන ලෙස මම සිසුන්ට උපදෙස් දී ඇත්තෙමි. එහෙත්, සමාජයේ තිබෙන පොදු රැල්ල තුළ අපට ද එසේ නො සැලකුවහොත් අප අමනාප වනු ඇති බව සිසුවෝ සිතන බව මගේ නිරීක්ෂණයයි.

අපි කුඩා කාලයේදී දෙමව්පියන්ට හා ගුරුවරුන්ට වැඳීම සිංහල අලුත් අවුරුද්ද, පාසල් වසරක ආරම්භය හා අවසානය, විශේෂ විභාග පූර්ව අවස්ථා ආදී සීමිත අවස්ථා ගණනකට සීමා විය. ඇත්තම කියනවා නම්, ම නම් මුලින් ම මව්පියන්ට වැන්දේ කසාද බඳින්නට පිටත් වූ දවසේ ය. මගේ මව්පියන් ද ගුරුවරුන් වූ මුත්, ළමයින් හා සිසුන් ලවා වන්දවා ගැනීමේ අමාරුවක් ඒ පරපුරට තිබුණේ නැත. එහෙත්, වත්මන් ගුරු පරපුරට වඩා අවංකකමකින් ඔවුහු ඉගැන්වීම කළ හ. ජීවිතයේ කිසිදාක ටියුෂන් නො කළ හ. අගහිඟකම් මැද දරුවන් හදා වඩාගෙන සාර්ථක ජීවිත ගත කළ හ.

එහෙත්, රූපවාහිනිය පැමිණීමෙන් පසු දූදරුවෝ වැනි ටෙලිනාට්‍ය ඔස්සේ දරුවන් දෙමව්පියන්ට වැඳීම ප්‍රවර්ධනය කරන ලදී. ගෙයින් දොට්ට බහින වාරයක් ගානේ ළමයින් දෙමව්පියන්ට වඳින සංස්කෘතියක් මේ රටේ තිබුණු බවට ව්‍යාජයක් ජනමාධ්‍ය මගින් මේ වන විට නිර්මානය කර තිබේ. 

මේ වන විට වැඳීම වැඩියෙන් සිදු වන්නේ මුදලට දෙන ටියුෂන් අධ්‍යාපනයේදී බව මගේ නිරීක්ෂණයයි. වානිජ චේතනාවෙන් කරන පහේ ශිෂ්‍යත්වය වැනි තරගකාරී ටියුෂන් පංතිවලදී ගුරුවරුන් තමන්ට හිමි නැති වටිනාකමක් නිර්මානය කර ගැනීමට වැඩි වැඩියෙන් වන්දවා ගනිති. 

ප්‍රාථමික ගුරුවරුන් වඳින හැටි ළමයින්ට කියා දෙන මුවාවෙන් ළමයින් බලෙන් බිම දමා වන්දවනු මම දැක ඇත්තෙමි. මගේ දියණියක් පාසලට ඇතුළත් වී දින කීපයකට පසු වඳින විට නැමෙනවා මදි යයි කියා ගුරුවරිය ඇය බලෙන් බිම ඔබන අයුරු මගේ දෑසින් දුටුවෙමි. වැඳිල්ල කෙතරම් විකාරයක් වී තිබේ ද යත් මගේ දියණියක් තවත් ළමුන් පිරිසක් සමග ඇගේ පංතිය පිරිසිදු කිරීම සඳහා මව්පියන් මුදල් ගෙවා යොදවා තිබෙන කාන්තාවට ද ඇය අතුගාමින් සිටියදී කුණු ගොඩේ වැටී වඳිනු මම දැක ඇත්තෙමි. ගුරුවරුන් බෞද්ධ නො වන දරුවන් ලවා පවා වන්දවා ගන්නා ආකාරය මම දැක ඇත්තෙමි. මගේ දරුවන් ඇතැම් මතක් වූ විට නින්දට යාමට පෙර මට ද වඳිතිි. මම ඔවුන්ගේ වැඳිල්ලට විරෝධයක් දක්වා නැතිමුත්, ඔවුන් වැඩිහිටියන්ට වැඳීම සඳහා දිරි ගන්වා තිබෙන්නේ සුවිශේෂ සමාජ අවස්ථාවලදී පමණි. 

මේ වන විට ඇතැම් ඥාති නිවසකට යන්නට නො සිතෙන තරමට වැඳිල්ල වධයක් වී තිබේ. එම නිවසට ගොස් එන්නට ලෑස්ති වන විට ගෙදර සියල්ලෝ පෝලිමේ ඇවිත් වැඳ වැටෙති. ඒ මදිවාට ඔවුන් අපගේ නිවසට පැමිණි විට ද යන්නට ලෑස්ති වී අපට වැඳ වැටෙති. මම සිංහලයෙක්මි. එහෙත් ආගමක් නො අදහමි. එබැවින් මගේ මව්පියන්ට සුවිශේෂ අවස්ථාවකදී වඳින්නට හැර අන් අයට වඳින්නට මම කැමැත්තක් නො දක්වමි. මට කිසිවෙක් වඳිනවාට ද මම නො කැමැත්තෙමි. 

මේ වැඳිල්ල අපේ දරුවන්ගේ කොන්ද බිඳ දමන බව මම කලින් ද කීවෙමි. වැඳීල්ල ආදරයේ ප්‍රකාශනයකැයි මම නො සිතමි. එය බලයට යටහත් පහත්භාවය ප්‍රකාශ කිරීමේ ස්වරූපයක් බවට පත් කරගෙන තිබේ. වැඩිහිටි පුද්ගලයන් නාමල් රාජපක්ෂ නම් බාලයාට වඳින ආකාරය පසුගිය කාලයේ සුලබ විය. මර්වින් සිල්වාගේ වැඳිල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ වැඳිල්ල වැනි දේ පසුගිය කාලයේ සෑහෙන්න කතාබහට ලක් විය. සමාජ පසුගාමිත්වයන් හයියෙන් වැළඳ ගැනීමෙන් වීරයන් වන්නට උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ වරක් මහ නායක හිමිවරුන් සමග සාකච්ඡාවට ගොස් වාඩි වුණේ වෙනත් විශේෂ අමුත්තන් මෙන් පහත් අසුන්වල නොව කාපට් එක උඩ ය. 

වැඳිල්ල සම්බන්ධයෙන් නීති රීති පැනවීම රජයකට අයිති කටයුත්තක් නො වේ. එහෙත්, වැඳීම සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්මානය කර ගැනීමේ බරපතල වගකීමක් ආගමික නායකයන්ට හා ගුරුවරුන්ට තිබේ. ගුරුවරුන් ළමයින්ට ආදරය ප්‍රකාශ කළ යුතු ය. ළමයින්ට ද ගුරුවරුන්ට ආදරය ප්‍රකාශ කරන්නට අවස්ථාව දිය යුතු ය. එහෙත්, වැඳීම බලහත්කාරයෙන් ප්‍රවර්ධනය නො කළ යුතු ය. එය ආයතනගත නො කළ යුතු ය. වැඳීම අනාගත පරපුරේ කොන්ද බිඳ දැමීම සඳහා යොදා ගැනීමට ඉඩ නො දිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-22

අප කොළඹ පොත් පොළ වර්ජනය කළ යුත්තේ ඇයි?

කොළඹ පොත් පොළ ගැන මං මීට කලින් අවුරුදුවලත් ලියලා තිබෙනවා. 


පටන් ගන්න දවසේ මං පොත් පොළේ ගියා. ඒ ගියේ වෙනත් ගමනක් යන ගමන් මගේ පොත් වගයක් කුටියකට භාර දෙන්න. මං පළ කළ ශාස්තෘ නවකතා පොතේ පිටපත් රැසක් ඉතිරි වී තිබෙනවා. වසර ගණනක සිට මම එය විකුණන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ඒත්, මට පොත් කරගහගෙන කුටි හොය, හොයා යන්න කම්මැලි හිතුණා. පොත් පොළ කියන්නේ මට නම් හැමදාමත් හිසරදය හැදෙන තැනක්. 

මං වගේ කර්තෘ ප්‍රකාශකයෙක් තමන්ගේ පොත් අරගෙන වෙළඳ කුටි ගානේ යනවා මං දැක්කා. පොත් කීපයක් කුටියක තබා යාමත් අමාරු වැඩක්. ලේඛකයන්ට තමන්ගේ නිර්මාන වෙනුවෙන් ප්‍රකාශකයන්ගෙන්, පොත් සාප්පු හිමියන්ගෙන් මුදල් ලබා ගැනීමේ ඇති අමාරුව ගැන මං පොත් කීපයක් පළ කරලා ඉගෙන ගත්තා. 

කොහොමත්, කර්තෘ ප්‍රකාශනය ව්‍යාපාරික පැත්තෙන් සාර්ථක නැහැ. එහෙම නම්, කර්තෘත් කුඩා පරිමාණ හෝ ප්‍රකාශකයෙක් විය යුතුයි. ලේඛකයන් ප්‍රකාශකයන් වීමෙන් ලේඛකයා මැරිලා ප්‍රකාශකයා මතු වෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ ලේඛකයා ඒ වැඩෙන් අයින් වෙන්න ඕනැ.

ලංකාවට අනවශ්‍ය තරම් කුඩා පරිමාණ පොත් ප්‍රකාශකයන් පිරිසක් සිටින්නේ මහා ප්‍රකාශකයන්ගේ අවිධිමත්කම නිසායි. ලේඛකයන්ට, සැපයුම්කරුවන්ට කලට වෙලාවට මුදල් නො ගෙවීම තමයි ඇත්තෙන් ම මහා පරිමාණ පොත් ප්‍රකාශකයන්ගේ ව්‍යාපාරික දියුණුවේ රහස. 

බොහෝ දෙනෙක් පොත් ලියන්නේ ලේඛකයෙකු ලෙස සමාජ පිළිගැනීම ලබාගන්න, සම්මාන ලබන්න, ජීවිතයේ සැඳෑ සමයේ ආත්ම තෘප්තියකින් යුතුව ජීවත් වෙන්න වැනි දේවලට. මේ වැඩි දෙනෙක් ලේඛනය වෙනුවෙන් කරන කැප කිරීම වෙනුවෙන් සාධාරණ වේතනයක් ලබන්නේ නැහැ. එපමණක් නොවෙයි, ලේඛකයෝ බොහෝ දෙනෙක් දිළින්දන් බවටත් පත් වෙනවා.

තමන්ගේ නම ඉදිරියෙන් විශාල පොත් සංඛ්‍යාවක නම ලියා ගන්න අපට කැමැත්තක් තිබෙනවා. ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් ලියනවා මිස ගුණාත්මකභාවය ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මෙය වැඩිපුර ම දකින්නට ලැබෙන්නේ පරිවර්තන සාහිත්‍යය තුළයි. ඇතැම් අය පොත් කියවීමට වඩා කරන්නේ පරිවර්තනය කිරීමයි. 

පොත් පළ කරන්නේ නැතිව වෘත්තීය ලේඛකයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ම දැන් පොත් පරිවර්තනය කරන ක්‍රමයට පරිවර්තන කරන්නේ නැතිව වෘත්තීය පරිවර්තකයෙක් වෙන්නත් පුළුවන්. මේ බව මම මගේ වෘත්තීය ජීවිතය තුළ දැක තිබෙනවා. එමගින් දිළින්දෙකු නො වී තමන්ගේ ජීවිතය ගත කරන්නටත් පුළුවන්. ඒත්, බොහෝ දෙනා පොත් ලියන්නන් බවට පත් වන්නට අපරිමිත වෙහෙසක් දරනවා. පොත් ලියමින් දිළින්දන් ලෙස ජීවත් වෙනවා. 

පසුගිය කාලයේ විශාල නවකතා සංඛ්‍යාවක් පිටවුණා. විශාල සංඛ්‍යාවක් විවිධ සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර වුණා. ලංකාවේ සාහිත්‍ය සම්මානවලින් යම් කිසි ගුණාත්මක ප්‍රමිතියක් පවත්වාගෙන යන එකම සම්මාන උළෙල ග්‍රේෂන් සම්මානය විතරයි. විවිධ සම්මාන උළෙලවලදී සම්මාන ලැබූ කෘති පවා ලංකාවේ සාහිත්‍යයේ ගැඹුරු මතකයන් නිර්මානය කරලා නැහැ. එයට හේතුව මොකක්ද?

මං හිතන්නේ ඒ හේතුව නිරූපණය කරන සංකේතයක් තමයි කොළඹ පොත් පොළ. මට නම් ඒක තනිකරම පිස්සුවක්. පොත් ප්‍රකාශකයන්ට ඒක නියම ම පොළක්. පොළක් විතරමයි. වෙන මොකුත් නැහැ. පාරිභෝගිකයන් එයට පොදි කන්නේ නත්තල්, අවුරුදු කාලවලට බාගේන් සේල්වලට පොදි කනවා වගේමයි. ඒවායෙදි වෙනවා වගේ ම මෙතනදිත් පාරිභෝගිකයා වෙළඳ ගැටවලට අහු වෙනවා. අඩු ගානට පොත් ගොඩක් ගත්තා කියා හිතාගෙන සතුටින් ගෙදර යනවා. ලේඛකයා මේ පොළේ සැපයුම්කරුවෙක් හෙවත් බඩු සප්ලයි කරන කෙනෙක් බවට පත් වෙලා. 

මං නම් පොත් පොළට යන්නෙ වෙන මොකවත් නිසා නෙමෙයි ගියේ නැතිනම් කොණ් වන නිසා ය කියා මගේ යාළුවෙක් විහිළුවට කියනවා. පොත් පොළේ යන වැඩි දෙනෙක් සෙල්ෆි ඡායාරූප අරන් ෆේස්බුක් දානවා. එහි ගිය බව හා ගත් පොත් ගැන කතා කිරීමත් මේ දිනවල ජීවිතයේ අංගයක්. 

ලංකාවේ සාහිත්‍යය කියන්නේ බාල ප්‍රකාශන, අවසර නොලත් පරිවර්තන, අගෝස්තුවේ හා සැප්තැම්බරයේ කරන දොරට වැඩීම්, බෙදා ගෙන කන සම්මාන, පිට කසන විචාර, කර්තෘභාග සොරකම් හා කොළඹ පොත් සල්පිල සහ තවත් මෙහි නොකී දේවල් සමුදායක අච්චාරුවක්. 

පොත් ලියන තරම්, පොත් පළ කරන තරම්, සම්මාන ලැබෙන තරම් ඇයි පොත් ගැන කතාවක් නැත්තේ? පොතකින්, කලා කෘතියකින් විඳ ගත් රසය ගැන ලිවීමක්, විචාරයක් සිදු වෙන්නේ නැත්තේ ඇයි? මේ තරම් ලේඛකයන් සිටින රටක සහෝදර ලේඛකයකුගේ පොතක් ගැන රස වින්දනයක් ලියන්න ඉදිරිපත් වීම අඩු වෙන්නේ ඇයි? 

කාගේවත් ආරාධනයකින් තොරව, නියමිත මිළ ගෙවා කලා කෘති මිළ දී අරගෙන, ඒවායින් විඳි රසය ගැන පොදු අවකාශවල ලියා සංවාදයක් ඇති කරන්නට ඕනෑ ය කියන දේශපාලන අදහසක මම ඉන්නවා. ඒ වෙනුවෙන් මේ බ්ලොගයේ හා මා ලියන පුවත්පත්වලත් මම උත්සාහ කර තිබෙනවා. මගේ නිරීක්ෂණ කීපයක් මං කියන්නම්. 

යම් නිර්මාණයක් හොඳයි කිව්වොත් විතරක් ඒ නිර්මානකරුවා ස්තුතියි කියනවා. එහෙම නැතිනම්, අඩු තරමේ තමන්ගේ නිර්මානයට ලැබුණු ප්‍රචාරය ගැනවත් ස්තුතියි කියන්නට ඔවුන් ඉදිරිපත් වන්නේ නැහැ. ඒ වුණාට බ්ලොග් පාඨකයන් අහනවා මේක ලියන්න කීයක් ගත්තා ද කියලා. රස වින්දන, විචාර ලිවීම කරන්නේ හිතවත්කමට හෝ මුදලට ය ආදී වශයෙන් බොහෝ දෙනෙක් හිතනවා. සාහිත්‍ය දේශනවලට පවා විශාල මුදලක් අය කරන සමයක නොමිළේ රසවින්දනයක් ලියන්න ඉදිරිපත් වීම මෝඩ වැඩක් ලෙස සලකන සාහිත්‍ය සමාජයකයි අපි ජීවත් වෙන්නේ. 

බොහෝ දෙනෙක් කරන්නේ නිර්මානකරුවාට පෞද්ගලිකව අමතා එය හොඳ නිර්මානයක් බව කියන එකයි. ඒක හරිම ආරක්ෂිතයි. යාළුකමත් ආරක්ෂා වෙනවා. එහෙම නැතිව අවංකව රසය බෙදාහදාගන්න ගියොත් සිදු වන්නේ තමන් පොතක් පළ කළ වෙලාවක ඒකට රිටර්න් එක ලැබෙන එකයි. සාහිත්‍ය සමාජය සාමාන්‍යයෙන් අනෙකා ඝාතනය කරන්නේ නො දැක්කා සේ සිටීමෙනුයි. 

මට නම් හිතෙන්නේ ලංකාවේ දැනුම සම්බන්ධ දේශපාලනය තුළ සිදු විය යුතු දෙයක් තමයි කොළඹ පොත් පොළ වර්ජනය කිරීම. කොළඹ පොත් පොළ කියන්නේ සංස්කෘතියක්. මම ඉහත අසම්පූර්ණ ලෙස සටහන් කළේ ඒ සංස්කෘතියේ ලක්ෂණ කීපයක්. අවාසනාවට ලංකාවේ දැනුම සංස්කෘතිය මේ පොත් පොළට අහු වෙලා. 

මම කියන්නේ පොත් හෝ වෙනත් කලා කෘති බාගේන් සේල්වලින් අඩු මිළට මිළ දී ගන්න අපට අවශ්‍ය නැහැ කියලා පාඨකයන්, ග්‍රාහකයන් විදියට අපි දැඩිව කියන්න ඕනැ. ඒක කරන්න ඕනැ මේ පොත් පොළ වර්ජනය කරලායි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-21

දෙමළ හෘදය සාක්ෂිය නැතිව සිංහල හෘදය සාක්ෂිය හෙවත් ඔබ නැතුව ඔබ එක්ක

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයට පාදක කර ගන්නේ ෆියදෝර් දොස්තයෙව්ස්කිගේ Gentle Spirit ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇති කතාවේ අනුවර්තනයකි. එය තල කිහිපයක් ඔස්සේ රස විඳිය හැකි චිත්‍රපටයකි. දොස්තයෙව්ස්කිගේ කෙටි නවකතාවෙන් ආභාසය ලබන කතාවේ චරිතවල චලනය හා මනෝභාවයන් වෙන ම තලයක තබා රස විඳිය හැකි ය. එහෙත්, ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ කතාව හා දොස්තයෙව්ස්කිගේ කතාව අතර ඇත්තේ මතුපිට සාම්‍යයක් පමණකැයි මට සිතේ. පොලීකරුවා, ඔහුගේ බිරිය වන තරුණ ගැහැනිය, ඇය මුහුණ දෙන ආර්ථික හා සමාජ ගැටලු, සේවිකාව, උකස් මධ්‍යස්ථානය සහිත දෙමහල් ගොඩනැගිල්ල, පොලීකරුවාගේ උන්නතිකාමී බලාපොරොත්තුව, ඔහුගේ රැකියාව අහිමි වීම පසුපස රහසක් තිබීම, ඔහු එය සිය බිරියගෙන් සැඟවීම, රිවෝල්වරය සම්බන්ධ සිදුවීම් හා තරුණියගේ සියදිවි නසාගැනීම වැනි දේ ඍජුව ම දොස්තයෙව්ස්කිගේ කතාවෙන් ගත් ඒවා මුත්, මේ කතා දෙක ඇතුළාන්තයෙන් හාත්පසින් ම වෙනස් කතා දෙකකි. දොස්තයෙව්ස්කිගේ චරිත විවරණය, චරිතවල මනෝභාවයන් හා ගැටුම් ප්‍රසන්නගේ කතාවට වඩා හාත්පසින් ම වෙනස් ය. දොස්තයෙව්ස්කිගේ 41 හැවිරිදි හිටපු හමුදා නිලධාරියකු වූ පොළීකරුවා හා ඔහුගේ 16 හැවිරිදි බිරිය අතර ගැටුම, අවබෝධය හා ආදරය ගොඩනැගෙන ආකාරය ප්‍රසන්නගේ කතාවේ හිටපු හමුදා නිලධාරියා හා දෙමළ ජාතික තරුණිය අතර සම්බන්ධයට වඩා වෙනස් ය. එහෙත්, කතා දෙක ම අවසානයේ තරුණිය සිය දිවි නසා ගන්නේ පිරිමියාගේ ආදරය වැළඳ ගැනීමට ඇති බිය නිසා යයි කියවේ.

දොස්තයෙව්ස්කි සිය ප්‍රබන්ධය රුසියාවේ එවකට පැවති සමාජ යථාර්ථය සමග සමපාත කරන පරිද්දෙන් ම ප්‍රසන්න සිය චිත්‍රපටය ලංකාවේ සමාජ යථාර්ථය සමග සම්බන්ධ කරයි. ඔහු තෝරා ගන්නේ පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවයි. යුද සමය හා සම්බන්ධ වරදකාරී පශ්චාත්තාපයක් සමග හුදකලා, නිහඬ, පොලීකරුවකුගේ ජීවිතයක් ගත කරන සිංහල, බෞද්ධ හිටපු හමුදා සෙබළෙක් අපට හමු වෙයි. ඔහු යාපනයෙන් ආ, යුද්ධය නිසා අනාථ වූ, ඇයට නො ගැලපෙන පුරුෂයකු සමග විවාහ වීමේ ඉරණමට මුහුණ දෙන්නට සිදු වූ දෙමළ ක්‍රිස්තියානි තරුණියකට පෙම් කර ඇය විවාහ කර ගනියි.

දොස්තයෙව්ස්කිගේ කතාවේ සෙබළාගේ රහස අභිමානය පිළිබඳ කාරණයකි. එහෙත්, ඔබ නැතිව ඔබ එක්ක චිත්‍රපටයේ සරත්සිරිගේ අභිරහස ඊට වඩා බියකරු සිද්ධියකි. ඔහු එයින් පශ්චාත්තාප වෙමින් අතීතයෙන් හැකි තරම් ඈත් වී දිවි ගෙවයි. ඔහු මසුරු ලෙස මුදල් රැස් කරන්නේ කවුළුවෙන් ඔබ්බේ දක්නට ලැබෙන තේ වත්ත මිළ දී ගැනීමේ උන්නතිකාමී සිහිනයකිනි.

ඔහු සෙල්විගේ ආදරයට බිය වූ බව ඔහු පවසයි. ඇගේ ආදරය ඔහුගේ උන්නතිකාමී අරමුණට බාධාවකැයි ඔහු සිතයි. ඔවුන් දෙදෙනා අතර නිර්මානය වන්නේ දැඩි නිහඬතාවකි. ඒ නිහැඬියාව ඇය වේදනාවට පත් කරයි.

ආදරය සම්බන්ධයක් තුළ ස්ත්‍රියගේ අපේක්ෂා හා පුරුෂයාගේ අපේක්ෂා අතර ඇති ගැටුම මෙම චිත්‍රපටයේ තවත් තලයකි. සෙල්වි අපේක්ෂා කරන ලෝකය හා සරත්සිරි අපේක්ෂා කරන ලෝකය හාත්පසින් ම වෙනස් ලෝක දෙකක් නොවේ ද? අවසානයේදී සරත්සිරි මිනිසත්කම වටහා ගන්නේ සෙල්වි නිසා ය. එහෙත්, සෙල්වි පතන ආදරය භෞතික යථාර්ථයක් වන කල ඇය එයින් පලා යයි. ස්ත්‍රියගේ ආදරය භෞතිකව පැවතිය නො හැකි දෙයක් ද?

ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය පුපුරුවා හරින මැදිහත්වීම කරන්නේ ගාමිණී ය. ඒ නම ද සංකේතාත්මක ය. හේ තවමත් රාජකාරියේ යෙදී සිටින හමුදා සෙබළෙකි. අතීතයෙන් සැඟවී ජීවත් වන සරත්සිරි සොයා ගාමිණී එන්නේ අතීතය ද රැගෙන ය. ගාමිණී සරත්සිරි විසින් සඟවාගෙන පසුතැවිලි වන අතීතය යළි මතු කරයි. සරත්සිරි ගාමිණී සමග ඇති මිත්‍රත්වය නිසා බොරු සාක්කි කියා අපරාධ දඬුවමකින් ගාමිණී ගලවා ගත් අයෙකි. ගාමිණීට එය අමතක කළ නො හැකි උපකාරයකි. එහෙත් සරත්සිරිගේ හෘදය සාක්ෂිය තුළ එය සුව කළ නො හැකි තුවාලයකි. ගාමිණී සහ තවත් දෙදෙනෙකු විසින් දූෂණය කර මරා දමන ලද තරුණිය වෙනුවෙන් යුක්තිය ඉටු නො කිරීමේ වරදකාරිත්වයෙන් සරත්සිරිගේ හෘදය සාක්ෂිය දැවෙයි. යුද්ධය නිසා අසරණ වූ දෙමළ තරුණියක් සිය යටහත් බිරිඳ බවට පත් කර ගැනීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ ඒ වරදකාරී හැඟීම සමනය කර ගන්න ද? එහෙත්, ඔහු ඇයට ආදරය හෝ නිසි ගරුත්වය ලබා දෙන්නේ නැත. ඇය තව දුරටත් ඔහුගේ යටත් වැසියෙකි. ඔහු සිකන පරිදි ඔහු වනාහි ඇයට කතා කිරීමට කට අරින්නට නිදහස ලබා දුන් ඇගේ කෘතවේදිත්වය හිමි විය යුතු ගැලවුම්කරුවා ය.

ජාතික වශයෙන් සුළුතර වූ දෙමළ ජාතිකයා වෙනුවෙන් යුක්තිය ඉටු නො කිරීම පිළිබඳ සිංහලයාගේ වරදකාරී හෘදය සාක්ෂිය ප්‍රසන්නගේ චිත්‍රපටයේ මූලික තේමාවයි. දොස්තයෙව්ස්කිගේ කතාවේ ගැහැනියත්, පිරිමියාත් අතර ගැටුමට හේතු වන මූලික කාරණා අතර වයස් පරතරය සැලකිය හැකි ය. එහෙත් ඔබ නැතුව ඔබ එන්න චිත්‍රපටයේ එවැනි පරතරයක් දක්නට නො ලැබේ. ඒ වෙනුවට ඇත්තේ ජාතික ප්‍රශ්නයයි. තරුණිය යුද්ධයෙන් දැඩි ලෙස පීඩිත වූ පාර්ශ්වයක් නියෝජනය කරයි. ඇය වනාහි ජාතිවාදී නො වන, අවි නො ගත්, නිරායුධ දෙමළ සිවිල් වැසියා ය. ඇගේ සොයුරන් මරා දමන්නේ හමුදාවෙනි. ඔවුන් කොටි සංවිධානයේ සාමාජිකයන් නො වන බව සෙල්වි පවසන්නී ය. ඇයට ගම්බිම් හැරපියා කඳුකරයට පළා එන්නට සිදු වී තිබෙන්නේ ද, ඇගේ මව්පියන් අතුරුදහන්ව ඇත්තේ ද යුද්ධය නිසා ය. ඔවුන් ද නිරායුධ සිවිල් වැසියෝ ය. ගාමිණී ඇතුළු පිරිස විසින් දූෂණය කර මරා දමනු ලබන්නේ ද නිරායුධ තරුණියක ය.

එහෙත්, දෙමළ තරුණියට පිස්තෝලය සමග ඇති වන සම්බන්ධය, ඇය එයින් සරත්සිරි මරන්නට දරන උත්සාහය ආදියෙන් නිරූපණය වන කෘර මානසිකත්වය හා පළිගැනීමේ චේතනාව සමග නරඹන්නාට ඇය හිටපු සටන්කාරියක් ද යන සැකය නිතැතින් ම මතු වේ. දොස්තයෙව්ස්කිගේ කතාවේ රිවෝල්වරයට තිබෙන සංකේතාත්මක වටිනාකමට වඩා සපුරා වෙනස් වටිනාකමක් ලාංකීය සන්දර්භය තුළ තිබේ. ගාමිණී කීවා සේ ඇය කොටි කෙල්ලක් ද? නැතිනම් ඇගේ පළිගැනීමේ මානසිකත්වය නිසග, සාධාරණ තත්වයක් ද?

සරත්සිරි ඇය ඔහු මරන්නට උත්සාහ කළ බව දකිනවා ද? දොස්තයෙව්ස්කිගේ කෙටි නවකතාවේ නම් පිරිමියා ඇගේ අපරාධ චේතනාව දකියි. එය දුටු පසු පවා ඔහු ඇය කෙරෙහි දක්වන කරුණාව ඇගේ පරාජය සලකුණු කරනවා ද? ඇය මානසික හා ශාරීරික ව්‍යාකූලත්වයකට පත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ද? ඔහුගේ ආදරයට ඇය බිය වෙනවා ද? ඇය සිය දිවි නසා ගන්නේ ඒ නිසා ද? අධ්‍යක්ෂවරයා මෙම ප්‍රශ්න අප ඉදිරියේ විවෘත අවසානයන් සහිතව තබයි.

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය ජාතික ප්‍රශ්නයෙහිදී හා යුද්ධයෙහිදී සිංහල හෘදය සාක්ෂිය ප්‍රශ්න කරන්නකි. එය පදනම් වන්නේ සිංහල ජාතිකවාදය පීඩක ජාතිවාදයකි හා දෙමළ ජාතිකවාදය පීඩිත ජාතිවාදයකි යන ගතානුගතික මාක්ස්වාදී ආස්ථානය මත ය. එහෙයින් සාමාන්‍යයෙන් ප්‍රසන්න අනුගමනය කරන ස්ථාවරය අනුව යමින් මෙ චිත්‍රපටයෙහි ද දෙමළ ජාතිකවාදය යනු සිංහල අධිපති ජාතිකවාදයෙන් පීඩාවට පත් වන ජනතාවකගේ අරගලයක් නිසා අනුකම්පාව හිමි විය යුතු තත්වයක් ලෙස නිරූපණය කරයි. මේ වෙනුවෙන් ඔහු ඉදිරිපත් කරන කතාවල සාමාන්‍ය යෙන් දක්නට ලැබෙන භාවාතිශය ලක්ෂණ මෙහි ද දක්නට ලැබේ. පුරහඳ කළුවර චිත්‍රපටයේ මිය ගිය සොල්දාදුවාගේ වල හාරා මිනී පෙට්ටිය විවෘත කර බැලූ විට හමු වන්නේ කෙසෙල් කොටන් ය. මෙම භාවාතිශය ප්‍රකාශනය සිංහල ජාතිකවාදීන් කුපිත කළ අතර, මිලිටරිය එම චිත්‍රපටය වර්ග කළේ දෙමළ විමුක්ති අරගලයට හිතවාදී මානසික යුද ව්‍යාපෘතියක් ලෙසයි.

මෙම ගැටලුව ම මෙම චිත්‍රපටයේ ද දක්නට ලැබේ. හිටපු සොල්දාදුවකු වන සරත්සිරිගේ වරදකාරී පශ්චාත්තාපයට හේතු වන ගාමිණී හා තවත් සොල්දාදුවන් දෙදෙනෙකු විසින් දෙමළ තරුණියක් දූෂණය කර මරා දැමීම භාවාතිශය ප්‍රබන්ධයකි. මෙම චිත්‍රපටයේ සිංහල හෘදය සාක්ෂිය ප්‍රශ්න කිරීම සඳහා යොදා ගන්නා මෙම ප්‍රයෝගය එහි පවතින භාවාතිශයකම නිසා අසාර්ථක එකකි.

අනෙක් පැත්තෙන්, යුද්ධය හා සම්බන්ධ දෙමළ හෘදය සාක්ෂියක් ද තිබේ. විශේෂයෙන් ම තුන්වන ඊලාම් යුද්ධය යනු තව දුරටත් දෙමළ ජාතිය මත පටවන ලද යුද්ධයක් නො වේ. ඒ වනාහි දෙමළ ජාතික විමුක්ති අරගලයේ නායකත්වය විසින් සාම ක්‍රියාවලියක් සිතාමතා කඩාකප්පල් කරමින්, සිංහල ජාතිවාදීන් සමග අශුද්ධ අවබෝධයකින් යුතුව තෝරා ගන්නා ලද උන්නතිකාමී ජාතිවාදී යුද්ධයකි. ජයග්‍රහණය වෙනුවෙන් ජාතිය පරදුවට තබන ලද ගල උඩ සටනකි.

ජාතික ප්‍රශ්නයට ජාතිවාදයෙන් විසඳුම් සෙවිය නො හැකි ය. දෙමළ ජාතික විමුක්තිවාදීන් ලද පරාජය දෙමළ ජාතිකවාදයේ මෙන් ම දෙමළ ජාතියේ ද පරාජයකි. එම විනාශය සම්බන්ධයෙන් හා එකී යුද්ධය විසින් සමස්ත ලෝකයට ම ඇති කරන ලද ප්‍රතිඵල සම්බන්ධයෙන් දෙමළ ජාතියට හෘදය සාක්ෂියක් නැද්ද? මේ චිත්‍රපටයේ ඒ හෘදය සාක්ෂිය නිරූපණය වන්නේ කොතැන ද? මෙම ගැටලුවෙහිදී සිංහල ජාතිකවාදය අධිපති භූමිකාවක් සිදු කළ බව අවිවාදිත ය. එහෙත්, තුන්වන ඊලාම් යුද්ධය සිදු වන විට දෙමළ ජාතිකවාදය තව දුරටත් ප්‍රතිචාරාත්මක ජාතිවාදයක් පමණක් නොවේ. ප්‍රගතිශීලී කලාකරුවන් එය කෙරෙහි සානුකම්පිත වීම අවශ්‍ය නැත.

කලාත්මක රස වින්දනය ඔස්සේ ජනතාවගේ හෘදය සාක්ෂිය ආමන්ත්‍රණය කිරීමෙන් ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ප්‍රසන්න විතානගේගේ සිනමාවේ අරමුණක් නම්, ප්‍රසන්නගේ චිත්‍රපටයෙන් එය සිදු වන්නේ නැත. හේතුව ඔහු ජාතික ප්‍රශ්නය විෂයෙහි සිටගන්නා ස්ථාවරය ආන්තික එකක් වන හෙයිනි. යුද්ධයේ දෙමළ වගකීම සිතාමතා අමතක කර දමමින් යුද ජයග්‍රාහකයා වන සිංහලයා තුළ වරදකාරී හෘදය සාක්ෂිය අවදි කරන්නට දරන තුලනාත්මක නො වූ ප්‍රයත්නය විසින් සිංහල මනස තුළ ජනනය කරන්නේ තව දුරටත් සිංහල ජාතිවාදය ම මොළවන හැඟීමකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-18

සීපා එපා ද?

ඉන්දු ලංකා විස්තීර්ණ ආර්ථික ගිවිසුම හෙවත් CEPA ලබන වසර අවසන් වන විට සකසා ගත හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති මෝදි සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු කරන ලද ප්‍රකාශයෙහි සඳහන් කළේ ය. දිනමිණ පුවත්පත එය වාර්තා කරන්නේ මෙසේ ය: “ඉන්දියාව සමග ස්ථිර වෙළෙඳ සහ ආර්ථික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රටවල් දෙකේම පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම වැදගත් වෙනවා. මේ පිළිබඳව අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඊ ළඟ අවුරුද්දේ රටවල් දෙක අතර ස්ථිර ආර්ථික ගිවිසුමකට එළැඹීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා."

මේ වන විටත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් දේශීය ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් වෙතින් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. සීපා ගිවිසුමත් සමග භාණ්ඩ මෙන් ම සේවා වෙළඳපොළ ද විවෘත වන නිසා අලුත් තත්වයට හැඩගැසීමට තමන්ට බැරි වනු ඇති බවට හා තමන් විනාශ වනු ඇති බවට බියක් ඔවුන් අතර තිබේ. ඔවුහු තම බිය සමාජයේ පතුරුවා හරිමින් සිටිති. 

සීපා විරෝධය සම්බන්ධයෙන් මේ කරුණත් සඳහන් කළ යුතු ය. සීපා විරෝධී උද්ඝෝෂණයේ ඉදිරියෙන් ම සිටින ඇතැම් ව්‍යාපාරිකයන් බාල නිෂ්පාදන වැඩි මිළට අලෙවි කරමින් ජනතාව සූරාකෑමෙහි නම් දරා සිටින අයයි. ඇතැම් වෘත්තිකයන් වනාහි සිය වෘත්තීය සුදුසුකම සීමිත පිරිසක් අත රඳවා ගැනීමට කටයුතු කරමින්, එම සුදුසුකම භාවිතා කරමින් මාෆියා කල්ලියක් සේ රටේ ජනතාව සූරා කන අයයි. ඔවුන්ට රට ගැන තිබෙන හැඟීම සිය නිෂ්පාදන හා සේවා තුළට එක් කරන්නට බැරි වීම ඇත්තෙන් ම කණගාටුදායක තත්වයකි. 

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් වාසි ලබන අය මෙන් ම පාඩු ලබන අය ද දෙපැත්තේ ම සිටිති. ඉන්දියාව දැවැන්ත ආර්ථිකයක් වන නිසා ලංකාවට බිය වීමට හේතු වන තත්වයක් මෙහි තිබීම පිළි ගත හැක්කකි. එහෙත්, විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනයත් සමග රාජ්‍යයන් අතර දුර අවම කරන ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ජාතික ආර්ථික සීමාවන් බොඳ වී යාම වැළැක්විය නොහැකි ය. එසේම එය ලෝකයේ සමාජ දේශපාලනික සංවර්ධනය සඳහා අවශ්‍ය තත්වයකි. ලංකාව දක්ෂ වුණොත් වෙනස් සංදර්භයක් නිර්මානය කර ගැනීමට ද බැරි නැත. පටු සංරක්ෂණවාදී විරෝධය වෙනුවට වඩා හොඳ අන්තර් රාජ්‍ය සම්බන්ධයක් හා සංවාදයක් ගොඩනඟා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික දක්ෂභාවයයි.

මීට බොහෝ කලකට පෙර වාර්තා වී තිබුණු ආකාරයට ගිවිසුම අනුව ලංකාව භාණ්ඩ 32ක බදු ඉවත් කරන අතර ඉන්දියාව භාණ්ඩ 114ක බදු ඉවත් කරයි. සේවා ක්ෂේත්‍රයේ උප අංශ 20ක් ලංකාව විසින් විවෘත කරනු ලබන අතර ඉන්දියාව 80ක් විවෘත කරයි. විධායක, කළමනාකාර හා විශේෂඥ රැකියා සඳහා ලාංකිකයන්ට සීමාවකින් තොරව වීසා නිකුත් කිරීමට ද ඉන්දියාව එකඟ වේ. සංඛ්‍යාවලින් පෙන්වන තරම් ම මෙම කරුණු ලංකාවට එක වරම වාසිදායක නොවන්නට පුළුවන. එහෙත්, වෙනස් වන තත්වයන්ට හැඩ ගැසීමට ලංකාවට ඇති ශඛ්‍යතා අව තක්සේරු කර ගත යුතු නැත.

ලංකාවේ ආර්ථිකය එහි ප්‍රත්‍යාස්ථතාව ඔප්පු කර පෙන්වා තිබෙන්නේ වරක් දෙවරක් නො වේ. විවෘත ආර්ථිකයට හැඩගැසුණු ආකාරය, යුද්ධයට මුහුණ දුන් ආකාරය හා රාජපක්ෂ යුගයේ දූෂණය දරාගෙන නැගී සිටි ආකාරය ආදිය උදාහරණ වෙයි.

අනෙක් පැත්තෙන් සීපා ගිවිසුම තවමත් තිබෙන්නේ සාකච්ඡා මට්ටමේ ය. එහි ශ්‍රී ලංකාවට ඇති අවාසි ඉවත් කර ගැනීම සඳහා ඉඩකඩ තවමත් තිබේ. ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් කළ යුතුව තිබෙන්නේ සීපා එපා කියා එය මුළුමනින් ම ප්‍රතික්ෂේප කිරීම නොව, සාධාරණ තත්වයන් නිර්මානය කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් අතරින් එක් කොටසක් එයට එරෙහිව දැවැන්ත හඬක් නඟමින් සිටිති. ජාතිවාදී දේශපාලන පක්ෂ ද ඒ සමග එක් වී සිටිති. අනෙක් පක්ෂය නිහඬ ය. සීපා ගැන සමබර සංවාදයක් සිදු වන්නේ නැත.

රජය පැත්තෙන් සීපා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කිසිදු කාර්යයක් දැනට සිදු වන්නේ නැත. තමන් සාකච්ඡා කරන කරුණු පිළිබඳව රටට හෙළිදරව් කර පුළුල් සංවාදයක් ඇති කළ යුතු ය. මෙම සාකච්ඡා රටට විවෘත විය යුතු ය. එසේ නොමැතිව මෙම ගිවිසුම අත්සන් කරන්නට යාමෙන් සිදු වන්නේ අනර්ථයකි. 

ඉන්දියාව තමන්ගේ හිස මතට පැටවෙන ආධිපත්‍යයක් නොව කලාපයේ නායක භූමිකාවක් රඟන රාජ්‍යයක් ලෙස පිළිගෙන දෙරට අතර සම්බන්ධය අර්ථකථනය කර ගැනීම ලංකාවට යහපත් ප්‍රතිඵල ලබා දීමට ඉවහල් වනු ඇත. දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියාව බලවත් රාජ්‍යයක් ය යන යථාර්ථය අපට ප්‍රතික්ෂේප කරන්නට බැරි ය. ඉන්දියාව බලවත් වූ පමණින් අප දුබල වන්නේ නැත. අපගේ ශක්තිය තීරණය වන්නේ අප ඉන්දියාව සමග කටයුතු කරන ආකාරය අනුවයි. අපගේ දේශපාලනික අරමුණු පැහැදිලි කර ගනිමින් ඉන්දියාව පවා නිසි මග ගෙන යාමේ හැකියාව කලාපයේ සෙසු රටවල් විසිනු ඇති කර ගත යුතු ය.

ලෝකය ඉදිරියට යන්නේ වෙළඳපොළ හා වෙනත් ආර්ථික සම්බන්ධතා පුළුල් කර ගනිමිනි. එය ධනවාදය මෙන් ම, සමාජවාදය විසින් ද පිළි ගන්නා ලද කරුණකි. එයට එරෙහි වන්නේ ජාතිකවාදී හුදකලාව ප්‍රවර්ධනය කරන අයයි. ලෝකය සමග බද්ධ වීමට බිය පසුගාමී ජාතිවාදය විසින් සමාජයකට ඇත්ත වශයෙන් ම හිමි කර දෙන්නේ හුදකලාව ය. එබැවින් කලාපීය වශ‍යෙන් ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික සම්බන්ධතා වර්ධනය කර ගැනීම අපගේ දේශපාලන වගකීමකි. රාජ්‍ය නායකයන් මෙන් ම දේශපාලන පක්ෂ ද මෙහිදී පුළුල් හා අනාගතවාදී දැක්මක් සහිතව කටයුතු කළ යුතු ය.

සිදු වෙමින් පවතින ගෝලීයකරණය ධනේශ්වර ආධිපත්‍යයකින් යුක්ත ගෝලීයකරණයක් බව ඇත්ත ය. එහෙත්, එය ප්‍රතික්ෂේප කර ජාතිකවාදය වැළඳ ගැනීමේ හැකියාවක් ප්‍රගතිශීලීන්ට නැත. කළ යුතුව තිබෙන්නේ ධනවාදී ගෝලීයකරණය මෙච්චල් කර ගනිමින්, කම්කරුවන්ගේ, පීඩිතයන්ගේ හිමිකම් සුරැකෙන පරිදි ගෝලීයකරණය හැඩගස්වා ගැනීමට අරගල කිරීමයි. ගෝලීය ධනවාදයට එරෙහි අරගලය කිසි සේත් ම ජාතිකවාදී නො විය යුතු ය.

ජනතාව මේ ප්‍රශ්න දෙස බලන්නේ ජාතිවාදී රාමු තුළ යම් යම් ආකාරයෙන් ස්ථානගත වෙමිනි. අසල්වැසි රට තමන් ගිල ගන්නට එන්නේ යයි බියක් ඇති වන්නේ ඒ නිසා ය. ජාතිවාදීන් හැම විට ම බලන්නේ තමන්ට ලෝකයේ අනෙකුත් රටවල් ගිල දැමිය හැකි ක්‍රමයක් තිබේ ද කියා ය. අන්තර් රාජ්‍ය සම්බන්ධකම් අර්ථකථනය කර ගැනීමේදී මේ පටු දැක්ම ඉක්මවා ගිය නව සංවාදයක් ගොඩනගා ගැනීම රාජ්‍ය නායකයන්ගේ වගකීමකි. 

ආර්ථික ජාතිවාදයේ සීමා පෙන්වා දීමට උදාහරණයක් ලෙස මෙම කරුණ දැක්විය හැකි ය. ලංකාවේ ප්‍රධාන තේ අපනයන වෙළඳපොළක් වන්නේ තුර්කියයි. එහෙත්, ලංකාවෙන් එරටට අපනයනය කරන තේවලට 145%ක බද්දක් පැනවේ. ඒ නිසා තුර්කිය සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබේ. අපට නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා කරන්නට අවශ්‍ය පදනම වන්නේ අපේ භාණ්ඩ බදු විරහිතව අපනයනය කර ගැනීම පමණි. 

ලෝකයේ දේශසීමා ඉවත් විය යුතු ය. ප්‍රාග්ධනයට නම් දැනටමත් සංචලනය සඳහා සුවිසල් නිදහසක් හිමි වී තිබේ. එහෙත්, ශ්‍රමයේ සංචලනය තවමත් සිදු වන්නේ අනතුරුදායක සංක්‍රමණ ඔස්සේ ය. ශ්‍රමයේ නිදහස් සංචලනය වෙනුවෙන් අප අරගල කළ යුුතු ය. ඒ සඳහා අපගේ ජාතික රාජ්‍ය සීමා මායිම් විවෘත කරන්නට අප ද සූදානම් විය යුතු ය.

එදාත්, අදත් ලෝකයේ රාජ්‍ය අතර සම්බන්ධතා වර්ධනය වූයේ වෙළඳපොළ නිසා ය. අතීතයේ පටන් ම වෙළඳපොළ නිදහස් එකකි. ජාතික රාජ්‍යය ශක්තිමත් වෙමින් වෙළඳපොළ ද දැඩි ජාතිකවාදී පදනම්වලින් සංවිධානය වන්නට පටන් ගත්තේ මෑත සියවස් දෙකක පමණ කාලයේදී ය. ජාතිකවාදය ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාවන් ඉලක්ක කර ගැනීම ප්‍රගතිශීලී කාර්යයකි. ඒ සඳහා ලෝකය සමාජවාදී වන තෙක් බලා සිටිය යුතු නො වේ. අභියෝගාත්මක පියවරවලට අත ගසන්නේ නැතිව එය කළ නො හැකි ය. සීපා අභියෝගයක් බව සැබෑ ය. එහෙත්, වෙළඳපොළ නිදහස්කරණය මානුෂික අවශ්‍යතාවකි. ඒ හා සම්බන්ධ තත්වයන් කළමනාකරණය කර ගන්නට උත්සාහ කිරීම මිස ආර්ථික ජාතිවාදයට මුවා වීම විසඳුමක් නො වේ. 

අගමැතිවරයාගේ ප්‍රකාශයෙහි ඓතිහාසික යථාර්ථයක් ප්‍රකාශයට පත් කරන කොටසක් ද තිබේ. “අපේ රටවල් දෙක අතර වෙළෙඳ සම්බන්ධතා අවුරුදු දෙදහස් පන්සියයක් අතීතය කරා දිව යනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ දී තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් වෙළෙඳාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා . මේ සම්බන්ධතාවය අප ඉදිරියටත් ගෙන යා යුතුයි."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-17

සේයා ඝාතනයට හේතුව ඇති තැන අඳුරු නිසා පහන් ආලෝකය තුළ හේතුව සෙවිය හැකි ද?

සේයා මැරූ මිනීමරුවන් මරන බව ශපථ කරමින් ආවේගශීලීව හැසිරීම මේ වන විට ෆේස්බුක්හි සිට එම දැරියගේ මළගෙදර දක්වා ම විහිදී තිබෙන රැල්ලකි. සේයා දැරිය හඳුන්වා දීමට වචන නාස්ති කළ යුතු යයි මම නො සිතමි. කයිට්ස්හි විද්‍යා දැරිය ඝාතනයට ලක් වූ අවස්ථාවේදී ද මේ හා සමාන හැසිරීමක් යාපනයේ දක්නට ලැබිණි.

එම දැරියගේ නිවස අසල රැස් වූ පිරිස් ඝාතකයා හෙළිදරව් කරන්නැයි පොලිසියට බල කරමින් අවමංගල්‍යයට ද බාධා වන පරිදි හැසිරුණ හ. ඔවුන් ඇත්තෙන් ම කළේ විමර්ශනයට බාධා කිරීමයි. මිය ගිය දැරියට පවා සාමය අහිමි කර ඇත. ඝාතනයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ සූදානම් වෙමින් තිබේ. ඇත්තෙන් ම මෙම උද්ඝෝෂණ කරන්නේ කාට එරෙහිව ද යන්න කවුරුවත් දන්නේ නැත. අපරාධකරුවකුට එරෙහිව උද්ඝෝෂණය කළ යුත්තේ එම අපරාධකරුවා අපරාධයෙන් ගැලවීමට බලය යොදා ගන්නා බලවතෙකු නම් ය. පොලිසියට එරෙහිව උද්ඝෝෂණ කළ යුත්තේ පොලිසිය පරීක්ෂණ නිසි පරිදි කරන්නේ නැතිනම් හෝ ඝාතකයන් ආරක්ෂා කරන්නේ නම් ය. මහජන නියෝජිතයන්ට එරෙහිව උද්ඝෝෂණය කළ යුත්තේ ඔවුන් මෙම ක්‍රියා ප්‍රවර්ධනය කරනවා නම් ය. එහෙත්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපරාධකරුවන් මහජන නියෝජිතයන් ලෙස පත් කර නො එවන්නැයි දැවැන්ත ප්‍රචාරයක් රටේ තිබියදීත් අපේ ඡන්දදායකයෝ අපරාධකරුවන් නැවත පාර්ලිමේන්තුවට පත් කර එවූ හ. මේ උද්ඝෝෂණය කරන ජනතාව ඇත්තෙන් ම උද්ඝෝෂණය කරන්නේ තමන්ට ම එරෙහිව ය. මන්ද, දූෂකයා සිටින්නේ ඔවුන් අතර ය.

මෙම ඊනියා උද්ඝෝෂණ මාධ්‍යවලින් ආවරණය කිරීම නිසා ඒවා දිරිගැන්වී තිබේ. තඹ දොයිතුවකට වැඩක් නැති අදහස් ප්‍රකාශ කරන මුග්ධ ආවේගශීලීන් මාධ්‍ය විසින් වීරයන් කරනු දක්නට ලැබේ. සැකකරුවන් මරා දැමීමට දොඩන්දූවේ ජනතාව සූදානම් බව කියන කාන්තාවක් ජාතික රූපවාහිනියේ කතා කරන ආකාරය දුටිමි. තවත් එවැනි ආවේගශීලී කාන්තාවක් ඇමති රන්ජන් රාමනායකට කතා කරන්නේ හරියට වරදකරු ඔහු ලෙස සලකා ය. රන්ජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ එම වීඩියෝව ප්‍රචාරය කර තිබෙුණේ ය. ළමා කටයුතු භාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර වැඩ භාර ගන්නා උත්සවයේදී සජිත් ප්‍රේමදාස කළ කතාවෙන් ද කියැවුණේ මෙවැනි අපරාධ කරන අයට නීතිය ක්‍රියාත්මක කර වැඩක් නැති බව හා ඔවුන් සමාජයෙන් තුරන් කර දැමිය යුතු බවයි. ඔහු කියන්නේ ද සැකකරුවන් මරා දැමිය යුතු බවයි.

මෙම ප්‍රශ්නයේදී රාජ්‍ය මාධ්‍යවල සිට දේශපාලකයන් දක්වා බොහෝ අය කටයුතු කරන්නේ මහජන ආවේග ඇවිස්සෙන ආකාරයට බව මෙම උදාහරණවලින් ඉතා පැහැදිලි ය. පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය සුපුරුදු ලෙස ම ආවේග අවුස්සනසුළු භාවාතිශය වාර්තාකරණයක යෙදෙනු දක්නට ලැබිණි.

මේ රටේ ජනතාව හා ඔවුන්ගේ නායකයන් ජීවත් වන්නේ මොබ් මානසිකත්වයකින් බව අපි මීට කලින් ද පෙන්වා දුන්නෙමු. නො ගැඹුරු ආවේගශීලිත්වය, නීතිය අතට ගැනීම, ප්‍රචණ්ඩත්වය, විනාශකාරී ක්‍රියා හා ඉන් අනතුරුව පසුතැවිලි වීම හා නීතියට බිය වීම මෙම මොබ් මානසිකත්වයේ ප්‍රධාන ලක්ෂණ වේ.

මොබ් මානසිකත්වයෙන් සිටින පුද්ගලයන්ට යථාර්ථය අවබෝධ කර ගැනීම දුෂ්කර ය. තත්වය කෙතරම් භයානක ද යත්, අප මෙසේ ලියන විට ඔවුන් සිතන්නේ අප කතා කරන්නේ අපරාධකරුවන්ගේ අයිතිවාසිකම් ගැන ය කියා ය. ඒ අතර, අපි අපරාධකරුවන්ට පක්ෂග්‍රාහී ය වැනි අතාර්කික අදහස් පවා ඔවුන් තුළ පහළ වේ. පසුගිය දින කීපය තුළ මම මේ ලක්ෂණය ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්, කවියන්, ගීත රචකයන් අතර පවා නිරීක්ෂණය කළෙමි. 

එහෙත්, අපි දිගින් දිගට ම මෙසේ කතා කරන්නේ සමාජයක් ලෙස අප අපරාධකරුවන් බවට පත් වීම වළක්වාගන්නට ය. සේයා දැරිය දූෂණය කර මරා දැමූ ඝාතකයා මරා දැමීමට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාසගේ සිට දොඩන්දූවේ කාන්තාව දක්වා අපේ රටේ මිනිසුන් ඇද වැටී තිබෙන තත්වයෙන් ඔවුන් ගලවා ගැනීම අපේ අරමුණයි. පව්කාරයන්ට ප්‍රතිචාර දැක්විය යුත්තේ අප ද පව්කාරයන් බවට පත් වීමෙන් නො වේ.

ඇතැම් මාධ්‍ය මෙම ඝාතනය සම්බන්ධ සැකය මිය ගිය දැරියගේ පියා වෙත ද යොමු කළේ ය. පොලිසිය ඔහු පිළිබඳ විමර්ශනය කරමින් දුරකථන කුළුණු දත්ත මාර්ගයෙන් ඔහු අපරාධය සිදු වන අවස්ථාවේ වෙනත් ස්ථානයක සිට ඇති බව තහවුරු කර ගත්තේ ය. ජනමාධ්‍ය විසින් අවුළුවන ලද ආවේගශීලිත්වය නිසා දැරියගේ පියාගේ ජීවිතය පවා අනතුරට ලක් විය.

අප මෙවැනි ගැටලු ආමන්ත්‍රණය කළ යුත්තේ ශිෂ්ට සමාජය ඒවා කරන ආකාරය අනුවයි. භාවාතිශය ලෙස මාධ්‍ය විසින් ආවරණය කරනු ලබන බිහිසුණු අපරාධයකින් පසු අධි සංවේදිත්වයක් පෙන්වමින්, බොළඳ වීරත්වයකින් යුක්තව අපරාධකරුවන් මරන්නෙමැයි, කපන්නෙමැයි, කොටන්නෙමැයි කියමින් හැසිරෙන සමාජ ස්ථරය අත තොරොම්බල් වන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි. මරණීය දණ්ඩනය යනු ආවේග විමෝචනය කිරීමේ මාර්ගයක් නො වන බව අප මුලින් ම වටහා ගත යුතු ය. එය අයත් වන්නේ දණ්ඩනයට හා විශෝධනයටයි. දණ්ඩනය යනු දඬුවම් කිරීමයි. විශෝධනය යනු නිවැරදි කිරීමයි. රටක අධිකරණය හා සිරගෙවල් පවතින්නේ ඒ වෙනුවෙනි.

මරණීය දණ්ඩනය යනු අපේ රටට අලුත් දෙයක් නො වේ. පසුගිය ආණ්ඩුව කාලයේ මෙවැනි භයානක අපරාධකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය වුණේ අපරාධයට යොදා ගන්නා ලද ආයුධ පෙන්නන්නට ගිය විට පැන යන්නට උත්සාහ කළා ය කියා වෙඩි තබා හෝ දියේ ගිල්වා හෝ මරා දැමීමයි. අඩු තරමේ මරා දමන ලද සැකකරුවා අපරාධකරුම ද යන්න තහවුරු කර ගැනීමේ කිසිදු විභාගයක් නො පවත්වා අවියම් අන්දමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලදී. එම මරණ දඬුවම ක්‍රියාත්මක කළ පොලිසියට අධිකරණයේ හා රජයේ සහයෝගය ලැබුණු අතර එම ක්‍රියාමාර්ගය මහජන ප්‍රසාදයට ලක් විය. එහෙත්, අවසානයේදී සිදු වී තිබෙන්නේ කුමක් ද? අපරාධකරුවන් මේ අන්දමින් මරා දැමීමෙන් හෝ මෙවැනි අපරාධ සිදු වීම වැළැක්වී නැත. අවසානයේදී සිදු වී තිබෙන්නේ සමාජයක් ලෙස අප ද අපරාධකරුවන් බවට පත් වීම පමණි.

ප්‍රශ්නය ඇත්තේ වෙන තැනක ය. අප කරමින් ඉන්නේ යතුර නැති වූ අඳුරු තැන එය සොයනවා වෙනුවට වීදි පහන යට යතුර සොයනවා වැනි දෙයකි. මේ භයානක අපරාධ නැති කිරීම පහසු නැත. ඒ වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු ය. සමාජ ආරක්ෂාව වැඩි දියුණු කළ යුතු ය. ඊටත් වඩා වැදගත් වන්නේ මෙවැනි අපරාධ ඇති වන්නට හේතු වන සමාජ ආකල්ප වෙනස් කිරීමයි. මෙවැනි අපරාධවලට ප්‍රතිචාර දක්වන ආකාරය හා සම්බන්ධ ආකල්ප ද වෙනස් විය යුතු ය. ඔබේ දරුවා පාසලෙන් ලබන අධ්‍යාපනය ගැන හා මාධ්‍යවලින් දකින දේ ගැන යළි මෙනෙහි කරන්නට මෙය අවස්ථාවක් කර ගන්න. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-16

පරිසරයට ආදරය කරන ජනාධිපතිවරයෙක් ලැබීම වාසනාවකි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරිසරයට ඇල්මක් දක්වන පුද්ගලයකු බව ඔහුගේ අදහස් හා ක්‍රියාවලින් පෙනේ. දේශපාලකයන්ට මුදල් හා බලය ගැන හැර වෙනත් දෙයක් ගැන අදහස් තිබීම අමුත්තක් ලෙස දැනෙන තරමට පසුගිය කාලයේ දේශපාලනය පිරිහිණි.

විධායක ජනාධිපතිවරයා පරිසර ඇමති වීම ඇත්තෙන් ම ලංකාවේ වත්මන් සංදර්භය තුළ ඉතා වැදගත් ය. පරිසර සංවිධාන, බුද්ධිමතුන් හා සමාජ ක්‍රියාකාරිකයන් මෙම තත්වයෙන් උපරිම ප්‍ර යෝජන ගන්නට උත්සාහ කළ යුතු ය. පසුගිය කාලයේ ජනාධිපතිවරයා හා ඔහුගේ සහෝදර සමාගම සියතට ගන්නට කිසිදු උත්සාහයක් නො දැරූ අමාත්‍යාංශ අතරින් පරිසර අමාත්‍යාංශය එකක් බව මේ මොහොතේ සිහිපත් වේ.

මහා නගර සංවර්ධනය සම්බන්ධ අමාත්‍ය චම්පික රණවක ද පරිසරය පිළිබඳ සංවේදී දේශපාලනඥයන් කිහිප දෙනා අතරින් එක් අයෙකි.

සංවර්ධනය හා පරිසරය අතර ඇති සදාකාලික ගැටුම කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය බුද්ධිය හා හැඟීම් මේ දෙපළගෙන් ලැබෙනු ඇතැයි සිතිය හැකි ය. සරළව කීවොත්, මනරම් පරිසරයක් හිමි ශ්‍රී ලංකාව සංවර්ධනය විය යුත්තේ ඒ පරිසරය, එහි ජීවත් වන මිනිසුන්, ඔවුන්ගේ ජන ජීවිතය සතුන්, ගහකොළ සමග රැකගෙන එය වඩා සුන්දර වන අයුරින් ය. එසේ නැතිව, පදිංචිකරුවන් පළවා හරිමින් හෝ කොංක්‍රීට් ගොඩගසමින් හෝ නො වේ. 

පරිසරය සම්බන්ධයෙන් තවත් වැදගත් අමාත්‍යාංශ කීපයක් වන්නේ අධ්‍යාපන, ජනමාධ්‍ය හා පළාත් පාලන අමාත්‍යාංශයි.

කසල කළමනාකරණය සම්බන්ධ මූලික වගකීම පැවරෙන්නේ පළාත් පාලන ආයතනවලට වුව ද, එම ඒවාට පමණක් විසඳාගත නො හැකි තරමට ප්‍රශ්නය සංකීර්ණ ය. හරි නම් ලංකාවට ප්‍රතිචක්‍රීයකරණ අමාත්‍යාංශයක් අවශ්‍ය මට්ටමට අපද්‍රව්‍ය කළමනාකරණය ගැඹුරු ප්‍රශ්නයක් වී තිබේ.

ප්‍රතිචක්‍රීයකරණ කර්මාන්තවලට උපරිම සහන ලබා දී ආයෝජකයන් ඒ කෙරෙහි දිරි ගැන්විය යුතු ය. ඉවත ලන පොලිතින් හා ප්ලාස්ටික්වලින් පෙට්‍රෝලියම් ඉන්ධන නිපදවන කර්මාන්තශාලාවක් දැන් හොරණ ක්‍රියාත්මක වේ.

ලංකාවේ පරිසරය විනාශ වන්නට බලපාන තවත් ප්‍රධාන ගැටලුවක් ඇත්තේ පුරවැසි ආකල්පවල ය. ඉවක්, බවක් නැතිව පොලිතින් හා ප්ලාස්ටික් භාවිතා කිරීම, තැන - නො තැන නො බලා පොලිතින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම හා ඒවා පිළිස්සීම නිසා බරපතල පාරිසරික ප්‍රශ්න ඇති වී තිබේ.

අධික ලෙස පොලිතින්, ප්ලාස්ටික් සමාජයට නිකුත් කරන සුපිරි වෙළඳසල් වැනි ආයතන ද අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ කර ගත යුතු ය.

සමාජය ඇබ්බැහි වී තිබෙන නරක පාරිසරික පුරුදු දුරලීම සඳහා අධ්‍යාපනය ලබා දීමේදී පාසලට හා ජනමාධ්‍යවලට සුවිසල් කාර්යභාරයක් පැවරේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

කොමීඩියන් ඩිව් ගුණසේකර

2003 ඔක්තෝබර් අවසානයේ දිනෙක අපි හිරු පුවත්පත වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට ඩිව් ගුණසේකර හමු වීම සඳහා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානය වෙත ගියෙමු. ඔහු අපට සම්මුඛ සාකච්ඡාව ලබා දීමට එකඟ වී සිටිමුත්, ඒ මොහොත වන විට ඔහු සිටියේ පස්ස කැඩුණු කඩියකු සේ හදිස්සියකිනි.

එවිට ඩිව් රාජ්‍ය භාෂා කොමිසමේ සභාපතිය. කලින් පැවැති චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ඔහු ලද එම තනතුරට 2001 දී බලයට ආ රනිල් වෙන කෙනෙකු පත් නොකළේය. චන්ද්‍රිකා රනිල්ගෙන් ආණ්ඩුව පැහැර ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් උද්දාමයෙන් නළියමින් සිටියේ ය. හෙට අනිද්දා ම තමන්ට ද ලේසියෙන් ම ඇමතිකමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන්දෝ ඔහු අප සමග කතා කළේ නො සැලකිල්ලෙනි. ඕයි, තමුසෙලා වැනි වචන පවා ඔහු අපට දමා ගැසුවේ ය. අපි ආපසු ආවේ ඔහුගේ දේශපාලන ළදරු හැසිරීම ගැන කතා කරමිනි. දින කීපයකට පසු චන්ද්‍රිකා විධායක ජනාධිපති බලතල පාවිච්චි කරමින් අමාත්‍යාංශ තුනක් සියතට ගෙන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අවුල් කිරීම ආරම්භ කළා ය.

මා මේ පරණ කතාව කියන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම අහිමි වීමෙන් පසු ඔහු මේ දිනවල හැසිරෙමින් සිටින ආකාරය දැකීමෙනි. ඇත්තෙන් ම පව් ය. ඇතැම් වාමාංශික නිකම්මු හිතාගෙන ඉන්නේ ඔවුන් අවසන් හුස්ම හෙළිය යුත්තේ ද පාර්ලිමේන්තුවේ ම ය කියා ය. ඒ ගැන පමණක් සිතමින් රටේ දේශපාලන විපර්යාසයක් සිදු වෙමින් තිබූ වකවානුවක ඒ ගැන හාංකවිසියක් නො දන්නා සේ හිඳිමින් මැදමුලන වලව්වේ වළං හෝදමින් කල් ගෙවන්නට සමසමාජ කොමියුනිස්ට් නායකත්වය කටයුතු කළ හ.

ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ බාන තම ජාතික ලැයිස්තු මන්ත්‍රීකම වෙනුවෙන් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ පාවා දී බොහෝ කාලයකි. එම පක්ෂවල සිටි අවසන් දීප්තිමත් පෞරුෂයන් වන ජයම්පතී වික්‍රමරත්න, ලාල් විජේනායක වැනි අය ද දැන් ඉවත් වී හමාර ය. සමසමාජ කොමියුනිස්ට් පක්ෂවල දේශපාලන වලංගුභාවය දැන් අහෝසි වී ගොසිනි. ඉතිරි වී තිබෙන්නේ ඓතිහාසික උරුමයක් පමණි. 

මේ දිරා ගිය දත පාර්ලිමේන්තුවෙන් ගලවා දැමීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කිරීම ඇත්තෙන් ම ප්‍රශංසනීය ය. එහෙත් මොවුන්ගේ ශෝකී විලාප හමුවේ ජනාධිපතිවරයාගේ හිත උණු වෙයි ද කියා ද මහජනයා ලෙස අපි බිය විය යුතු ය.

ඩිව් ගුණසේකරලාට දැන් කළ හැකි ලොකු ම සේවය වන්නේ තව දුරටත් පාර්ලිමේන්තුවට දත නියවන්නේ නැතිව, දැරූ ඇමතිකම්වලින් පවා රටට හා ජනතාවට කළ වැඩක් නැතිමුත් මහජන මුදලින් ලැබෙන විශ්‍රාම වැටුප අරගෙන ගෙදර ගොස් උණුවතුර ටිකක් නා බුදුසරණ පත්තරය බලා ගන්නා එක ය.

සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවල නායකත්වය අරක් ගෙන සිටින බහිරවයන් ඒ අසුන්වලින් බැස යා යුතු ය. ලංකාවේ පැරණි ම දේශපාලන පක්ෂ වන ඒවායේ ඓතිහාසික උරුමයවත් ආරක්ෂා කර ගන්නට එය ඉවහල් වනු ඇත.

(පිලිප් ශාන්ත සහෝදරයාගේ උපදෙස් පරිදි ඇතැම් ඉතිහාස කරුණු සංශෝධනය කරන ලදී.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-15

තවත්කොටදෙනියාවක් ඇති නො වීමට

කොටදෙනියාවේ සේයා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි මහජන කෝපයක් ඇති වී තිබේ. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස, නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස, මරණීය දණ්ඩනය යළි ඇති කරන ලෙස ඉල්ලා සිටින අය මෙන් ම, සැකකරුවා මරා දමන්නට තමන්ට භාර දෙන ලෙස ඉල්ලන අයුතු ජන රාශි ද, පසුගිය කාලයේ මෙන් ආයුධ පෙන්නන්නට එක්ක යන ලෙස ඉල්ලා සිටින අය ද සිටිති.

මෙම ඝාතනය පිළිබඳ සාකච්ඡා කරන අපගේ අවධානය මුලින් ම යොමු විය යුතු කාරණයක් වන්නේ මේ වන විට ජනමාධ්‍ය විසින් කරමින් සිටින්නේ කුමක් ද යන්නයි. අද වන විට පුවත්පත් ගණනාවක් ඝාතනය සම්බන්ධයෙන් මතු කර තිබෙන සැකයන් හා ඒ ඔස්සේ ජන මනස තුළ ගොඩනගන පූර්ව විනිශ්චයන් විසින් බරපතල ප්‍රශ්න ඇති කරමින් තිබේ. මෙවැනි කෘෘර ඝාතනයක් වාර්තා කිරීමේදී ජනමාධ්‍යවල වගකීම ගැන සංස්කාරකයන්ට අදහසක් තිබේ ද යන්න සැක සහිත ය.

සුපුරුදු ලෙස සමාජ මාධ්‍ය මෙම මිනීමැරුම වාර්තා කිරීමේදී හා එයට ප්‍රතිචාර දැක්වීමේදී කටයුතු කළේ අතිශය ම්ලේච්ඡ ආකාරයකට ය. දැරිය මරා දමා තිබුණු නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ බෙදා දීමෙන් ඔවුන් කළේ එම දැරිය නැවතත් ඝාතනය කිරීමයි.

මෙවැනි ඝාතනයක් සිදු වූ සැණින් සැමට ම මතක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් මේවා මැඩලිය හැකි බවයි. නිල වශයෙන් නො වුණත්, පසුගිය කාලයේ මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රියාත්මක වුණේ නඩු විභාගයකින් පවා තොරව සැකකරුවා කෘෘර ලෙස ඝාතනය කිරීමේ දණ්ඩන ක්‍රමයකි. එයින්වත් මෙවැනි අපරාධ අඩු වූයේ නැතිනම්, නිල මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අවම වේ යයි සිතීම මුග්ධකමකි.

මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් වන අයව සිර කර තැබීම සඳහා මහජන බදු මුදල් වැය කිරීම අපරාධයක් යයි සිතන අය ද සිටිති. මෙවැනි අපරාධ කරන අය බොහෝ දුරට ළමා කාමුකත්වය හෙවත් පෙඩොෆීලියා නම් මානසික රෝගයෙන් පෙළෙන්නන් විය හැකි ය. සමාජයට අනර්ථකාරී මෙවැනි මානසික රෝගීන් හා භයානක අපරාධකරුවන් සමාජයෙන් වෙන් කර තැබීම වෙනුවෙන් දරන්නට සිදු වන පිරිවැය ගැන අපි එතරම් ලෝභ විය යුතු නැත. අවශ්‍ය නම් සිරගෙවල්වල තිබෙන ශ්‍රමයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ක්‍රම සම්පාදනය කළ හැකි ය.

මරණීය දණ්ඩනය ගැන අපගේ මූලික විරෝධය වන්නේ පුද්ගලයින්ට මෙන් ම සමාජයට හෝ ආණ්ඩුව වැනි සමාජ සංවිධානයකට හෝ පවා මිනීමැරීමට අයිතියක් නැති බවයි. පුද්ගලයෙකු මිනීමරුවකු වූවා ය කියා මා අයිති වන සමාජය සමග මිනීමරුවකු වීමට මම කැමති නැත.

මෙවැනි අපරාධ වළක්වා ගැනීම ගැන සිතන  විට අපගේ අවධානය ලක් විය යුතු ප්‍රධාන ම අංශ හතර වන්නේ ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම, අධ්‍යාපනය හා ජනමාධ්‍යයි. 

ආරක්ෂාව හා නීතිය ක්‍රියාත්මක කිරීම යන කාරණා ඍජුව ම රජයට අදාළ වන මුත්, අධ්‍යාපනය හා මාධ්‍ය සම්බන්ධ කටයුතු පිළිබඳ වැඩි වගකීමක් තිබෙන්නේ පුරවැසියන්ට ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-14

මරණ දඬුවම හා ලක්ශාන්ත නම් කවියා


කවියකු වන ලක්ශාන්ත
අතුකෝරල කියයි මෙලෙස

ඝාතකයකු සිර ගෙයි දා
බදු මුදලින් ඇයි නඩත්තු?
ඝාතනයට ලක් වූ ඒ
පුද්ගලයගෙ පවුලෙ අයත්
නොගෙවන්නෙද ඒකට බදු?
සාධාරණ සැකක් නැතිව
මිනිමරුවන් දැන ගත් විට
මරණ දණ්ඩනය දිය යුතු

මරුවකු වූ නිසා එකෙක්
අපි එක් වී මරමු ඌව
එහෙම කළොත් අපි කවුරු ද?
අපි කවියො ද ලක්ශාන්ත?

මරුවා හරි කෘෘර නිසා
සැලසුම් කර මැරුව නිසා
අපිත් මරමු ඒ මරුවා
සැලසුම් කර කෘෘර ලෙසට

එහෙම කළොත් අපි කවුරු ද?
අපි කවියො ද ලක්ශාන්ත?

වින්දිතයා වින්ද දුකට
කඳුළු උනයි අපේ නෙතට
ඒ හින්දා අපි එක් වී
වින්දිතයෙක් කරමු ඌව

එල්ලුම් ගස නැවත වවමු
කවි ලිවීම පසෙක තබමු
ලක්ශාන්ත එන්න යන්න
හෙට මරණෙට වැලි කිරන්න

හුස්ම ගන්න බැරි වන තුරු
උගුරු දණ්ඩ මිරිකන්නට
කවි ලියනා පෑන තබා
කඹේ ගන්න ලක්ශාන්ත

බරට බරක් වැලි එල්ලා
පාපුවරුව ගස්සාලා
කඩමු උගේ උගුරු දණ්ඩ
හෙට වෙනුවෙන් ලක්ශාන්ත

එහෙම කළොත් අපි කවුරු ද?
අපි කවියො ද ලක්ශාන්ත?

අජිත් පැරකුම් ජයසිංහ
2015 -09- 14

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-09-13

අම්මලාත් විකුණන ෆේස්බුක් පුතාලා

ෆේස්බුක්හි මගේ නමින් පවත්වාගෙන යන ප්‍රොෆයිලය  මම භාවිතා කරන්නේ මගේ ලිපි මාකට් කරන්නයි. ඒ අතර ඉඳහිට මගේ අදහස්, කවි, ජීවිතය ආදියත් බෙදා ගන්නට එය භාවිතා කරනවා. 

මට එන යහළු ඉල්ලීම් පිළිගනිද්දී මම සලකා බලන්නේ කාරණා කීපයක් පමණයි. ඉල්ලීම එවන්නා එම ඉල්ලීම එවන්නේ පිළිගතහැකි පුද්ගල නමකින් ද, මගේ මිතුරන් අතර එම පුද්ගලයාට මිතුරන් සිටිනවා ද, නැතිනම් ඔහු මා හඳුනන අයෙක් ද යන කරුණු විතරයි. 

මගේ පැරණි මිතුරන් විශාල පිරිසක් මට ෆේස්බුක්හි නැවත හමු වුණා. එය ඉතා මිහිරි අත්දැකීම් රැසක් මට සමීප කළා. 

මා සමග චැට් කරන අය අතර ඇතැමෙක් සමරිසියෝයි. මම සමරිසි විරෝධියෙක් නෙමෙයි. එ් වගේ ම සමරිසි ලෝලියකුත් නොවෙයි. ඇතැම් ආක්‍රමණශීලී සමරිසියන් ඉවත් කර දැමුවත්, තවත් බොහෝ අය තවමත් මගේ මිතුරන් අතර ඉන්නවා. 

යහළු ඉල්ලීම් එවන පිරිස් අතර මා දැක තිබෙන තවත් සුවිශේෂ පිරිසක් තමයි, විවිධ වයස්වල කාන්තාවන් ලෙස පෙනී සිටින පිරිමි. 

මම මෙවැනි අය සමග චැට් කර තිබෙනවා. ඇතැමෙක් උත්සාහ කරන්නේ අනෙකා බයිට් කරන්න. තවත් ඇතැමෙක් උත්සාහ කරන්නේ සල්ලි කීයක් හෝ කඩා ගන්න. ඇතැමෙක් එසේ හැසිරෙන්නේ කිසියම් මානසික උවමනාවක් නිසා වෙන්න ඇති. 

පසුගිය දිනෙක මෙසේ මා සමග චැට් කළ පුද්ගලයකුගෙන් මම ඇහුවා ඔබ පෙනී සිටින්නේ ඔබගේ අම්මාගේ නම හා පිංතූරය සහිත ප්‍රොෆයිල් එකක් හදාගෙන නේ ද කියලා. එසැණින් ඒ චැට් කිරීම අවසන් වුණා. 

පසුගිය දිනෙක මා අත්විඳි එක්තරා සිද්ධියක් නිසා දැඩි කම්පනයක් ඇති වුණා. කතාව මෙහෙමයි:

දිගු කලක සිට මා සමග සම්බන්ධකම් පවත්වන පැරණි මිතුරෙක් ඉන්නවා. මේ වන විට ඔහු ඉන්නේ විදේශගතවයි. ඔහුගේ බිරිඳත් මගේ මිතුරියක්. ඇයගේ නමින් ද ෆෙස්බුක් ගිනුමක් තිබුණා.

ඔවුන්ට නව යොවුන් විය පියමං කළ පුතෙක් ඉන්නවා. මේ පුතාගේ ගැටලුවක් සම්බන්ධයෙන් වරක් මගේ මිතුරිය මා සමග එම ගිනුමෙන් චැට් කළා. දුරකතනයෙන් ද කතා කළා. ඇය එතරම් අන්තර්ජාලය හා පරිගණක ගැන දැනුමක් ඇති අයෙක් නෙමෙයි. 

පසුගිය කාලේ මගේ ඇසක ශල්‍යකර්මයක් නිසා මම දින කීපයක් ගෙදර සිටියා. සතියේ දවසක උදේ එක පාරට ම මේ මිතුරියගෙන් චැට් බොක්ස් එකක් විවෘත වුණා. 

Hi

Hello!

Mokada karanne?

Mama me dawaswala asaneepen gedara inne.

Haha. Math thaniyama gedara inne.

මට ඒ උත්තරේ ඇල්ලුවෙ නැහැ. මං මාතෘකාව වෙනස් කරන්නත් එක්ක මෙහෙම ඇහුවා.

Putha dan mokada karanne?

මං එහෙම ඇහුවෙ අපි අන්තිමට කතා කළේ මේ කොල්ලගේ ප්‍රශ්නයක් නිසායි. මටත් එක පාරට ම පත්තු වුණේ නැහැ, මේ ෆේස්බුක් ගිනුම පාවිච්චි කරන්නේ ඌ ය කියලා. 

එතනින් චැට් කිරිල්ල ඉවරයි. මට එතකොටයි වැඩේ හරියට ම තේරුණේ. ටික වෙලාවකින් බලනකොට ඒ ගිනුම වහලා ම දාලා. 

මේ ගැන මොකක් කරන්න ද කියලා මම දෙතුන් දෙනෙක් එක්ක කතා කළා. ඒත්, මං ඒ ගැන යාළුවාට කියන්න ගියේ නැහැ. මොකද ඒ වන විටත් මේ කොලුවා යම් යම් ගැටලු ඇති කරලායි තිබුණේ. දරු පෙම නිසා ඒ ගැටලුවලදි මගෙන් උපදෙස් ගත්තාට ඒවා ක්‍රියාත්මක කරන බවක් මට පෙනුණෙ නැහැ. 

මේ කොල්ලා ඉපදෙන්න කලින් ඉඳන් අපි යාලුවෝ. උගෙ ආච්චිට හාල් ගරන්න මගේ යාලුවා කාලෙකින් කතා කළේ නැහැ. මටත් කතා කරන්න හිතෙන්නේ නැහැ.  

තමන්ගේ අම්මාත් විකුණන ෆේස්බුක් පරම්පරාවක් ලංකාවේ නිර්මානය වෙමින් ඉන්නා බව කියන්නයි මේ ටික ලිව්වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.