2015-10-31

උතුරෙන් මුස්ලිම් ජනයා සුද්ද කිරීමෙන් වසර 25කට පසු

පානදුර නෝලිමිට් සාප්පුව ගිනි තැබීමට පෙර
නෝලිමිට් සාප්පුව ගිනි ගනිමින් - අද වනතුරු ම පරීක්ෂණ වාර්තා නැත. 
1990දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් උතුරේ මුස්ලිම් ජනතාව සිය ගම්බිම්වලින් පලවා හැර දමා මේ වසරට අවුරුදු 25ක් සම්පූර්ණ වේ. 75,000ක් පමණ මුස්ලිම් ජනතාව මෙසේ පලවා හරින ලදී.

යුද්ධය අවසන් වී වසර හයක් ගත වී තිබේ. එහෙත් මුස්ලිම් අවතැන් වූවන්ගේ ප්‍රශ්නය තවමත් විසඳී නැත. තවමත් මුස්ලිම් අවතැන් වූවෝ විශාල පිරිසක් සරණාගත කඳවුරුවල ජීවත් වෙති. ඔවුන් විල්පත්තු වනාන්තරය අසල ප්‍රදේශවල නැවත පදිංචි කිරීම හේතුවෙන් සිංහල ජාතිවාදීන්ගෙන් මෙන් ම පරිසර සංවිධානවලින් ද විරෝධය එල්ල විය.

කෙසේ වෙතත්, උතුරෙන් අවතැන් වූ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්නය තවමත් නො විසඳුණු බරපතල ගැටලුවකි. දෙමළ අවතැන් වූ ජනයාගේ ප්‍රශ්න කෙරෙහි තරම් අවධානයක් එයට යොමු වී නැත.

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් උතුරේ මුස්ලිම් ජනතාව පන්නා දැමූ ආකාරය අතිශය නින්දිත ය. මුස්ලිම් ව්‍යාපාරිකයන් පැහැර ගෙන කප්පම් ගනිමින්, විරෝධය පළ කළවුන් මරා දමමින් හා හිංසනයට ලක් කරමින්, ස්ත්‍රීන්ගේ කණ් ඉරා අබරණ මංකොල්ලකමින්, ඇඳි වත හා තවත් සුළු දේවල් ප්‍රමාණයක් පමණක් ඉතිරි කර අන් සියල්ල මංකොල්ලකමින් කරන ලද මෙම නින්දිත පලවා හැරීම වාර්ගික සුද්ද කිරීමක් ලෙස සැලකිය හැකි ය. නැගෙනහිර පළාතේදී මිලිටරි අංශයේ නායක කරුණා අම්මාන්ගේ හා දේශපාලන අංශයේ නායක කරිකාලන්ගේ මෙහෙයවීමෙන් මෙම වකවානුවේදී කොටි සංවිධානය විසින් කරන ලද මුස්ලිම් ඝාතන සංහාරක අරමුණු ප්‍රදර්ශනය කරන ඒවා විය.

සංහාරය, වාර්ගික ශුද්ධිය වැනි වචන භාවිතා කිරීමේදී දෙමළ ජාතිවාදීන් තමන් ගැන ම නැවත සිතා බැලිය යුතු ය.

මෙම ලජ්ජා සහගත පළවා හැරීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවක් දස වසකට පමණ පසු දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ නායකත්වය පැත්තෙන් පළ විය. එහෙත්, මුස්ලිම් බහුතරයක් ජීවත් වන නැගෙනහිර පළාතේදී කොටි සංවිධානයත්, මුස්ලිම් ජනතාවත් අතර තිබුණු ආතතිය දිගට ම පැවතිණි. අවසානයේදී කොටි සංවිධානය අවසන් ඊලාම් යුද්ධය ආරම්භ කිරීමට තෝරා ගත්තේ මුස්ලිම් ජනාවාසයක් වූ මූතූර් ය. ඒ සමග ම අවසන් ඊලාම් යුද්ධයේ මුල් ම සරණාගතයන් බවට පත් වුණේ ද මුස්ලිම් ජනතාවයි.

මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ මූලික ආකල්පවල වෙනසක් සිදු වූ බවක් ප්‍රදර්ශනය කිරීමට ඔවුන් අසමත් වීම හා අද වන තුරුත් දෙමළ ජාතිවාදී කොටස් මේ සම්බන්ධයෙන් සංවේදී නො වීම ජාතිවාදයේ ගැඹුරු ඛෙදවාචකය නිරූපණය කරයි.

දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යස්ථ බලවේග පැත්තෙන් යම් සාධනීය තත්වයක් දක්නට ලැබේ. උතුරු පළාත් සභාවේ බෝනස් මන්ත්‍රී ආසනයක් මුස්ලිම් ජාතිකයකුට පිරිනැමීම එවැනි එක් සාධනීය පියවරකි. පසුගිය සමයේ සිදු වූ දෙමළ ඝාතන සංහාරක අරමුණින් සිදු වූයේ ද යන්න පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව මේ වසර මුලදී ඒකච්ඡන්දයෙන් සම්මත කළේ ය.

උතුරින් දෙමළ වැසියන් ඉවත් කිරීම හෙළා දකින හා ඉවත් කරන ලද මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීමේ වැදගත්කම අවධාරණය කරන යෝජනාවක් ද උතුරු පළාත් සභාවේ මේ අන්දමින් ම ඒකච්ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකි වන්නේ නම් එය දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යස්ථ බලවේගවල ජයග්‍රහණයක් වනු ඇත.

තම ජාතියේ නමින් සිදු වූ මෙම ක්‍රියා හෙළා දකිමින් හා මුස්ලිම් ජනතාවගේ යළි පදිංචි වීමේ අයිතියට ගරු කරමින් දෙමළ ජාතික සන්ධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය අගය කළ යුතු තත්වයකි.

අවතැන් වූ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය තව දුරටත් දිග්ගැසීමට හේතු වන තවත් කාරණයක් වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ තිබුණු ජාතිවාදී හා මුස්ලිම් විරෝධී ප්‍රතිපත්ති ය. මූලික වශයෙන් ම, මෙම ගැටලුව විසඳීම සඳහා තීරණාත්මක මැදිහත් වීමක් කිරීමේ උවමනාවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණේ නැත. ඒ වෙනුවට, මුස්ලිම් ජනතාව ආර්ථික වශයෙන් විනාශ කර දැමීමේ අරමුණින් කටයුතු කළ සිංහල ජාතිවාදී බලවේගවලට උඩගෙඩි දෙන ප්‍රතිපත්තියක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අනුගමනය කරන ලදී.

මුස්ලිම් ජාතිකයන්ට හිමි කඩ සාප්පුවලට පහර දීමෙන් ඇරඹුණු මෙම ක්‍රියාවලිය රාජ්‍ය අනුග්‍රහයෙන් නීතිමය රැකවරණය ලබමින් ඇදී ගොස් අවසානයේදී ධර්ගා නගරයේ සිදුවීම්වලියෙන් උච්චස්ථානයට පැමිණියේ ය. එම සිද්ධි ඇවිළවීම සම්බන්ධයෙන් ඍජුව චෝදනාවට ලක් වන බොදු බල සේනාව සම්බන්ධයෙන් නව රජය යටතේ පවා විමර්ශනයක් සිදු වන්නේ නැත.

පද්ධතිය තුළට මුල් බැසගෙන තිබෙන ජාතිවාදයේ හා වාර්ගික එදිරිවාදිත්වයේ ගැඹුර සරළ උදාහරණයකින් පෙන්වා දිය හැකි ය. ප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරයක් වන නෝලිමිට් ආයතනයට අයත් විශාලත ම රෙදි පිළි අලෙවි ආයතනය වූ පානදුර නෝලිමිට් සාප්පුව 2014 ජුනි 21 දින ගිනි ගන්නා ලදී. එය ගිනි තැබීමක් ද, ඉබේ ගිනි ගැනීමක් ද යන්න තවමත් හෙළිදරව් කර නැත. රස පරීක්ෂක වාර්තා මත නිගමනයකට එළඹෙන බව පොලිසිය පැවසුව ද, එම සිද්ධිය පිළිබඳ සොයා බැලීමක් ජනමාධ්‍ය විසින් හෝ මේ දක්වා කර නැත. අඩු තරමේ එය ගිනි තැබීමක් නොව ගිනි ගැනීමක් ය කියන එක හෝ නිවේදනය කර නැත.මෙම ගිනි තැබීම පිටුපස කිසියම් බලවත් පාර්ශ්වයක් සිටිය හැකි බව පරීක්ෂණ යට ගැසුණු ආකාරයෙන් ම පැහැදිලි ය.

2015 ජනවාරි 08 දින සිදු වූ ආණ්ඩු වෙනසින් පසුව ජනවාර්ගික ආතතීන් බොහෝ දුරට අවම වී තිබේ. වාර්ගික ආතතීන් උත්සන්න වීමට රාජ්‍ය අනුග්‍රහය කෙතරම් ඉවහල් වූවා ද යන්න එයින් ම නිරූපණය වේ. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නම් දෙමළ ජාතිවාදය මත පදනම් වූ ප්‍රබල සංවිධානය මෙන් ම, සිංහල ජාතිවාදය මත පදනම් වූ මහින්ද රාජපක්ෂ බල හවුල ද පරාජය කර දමා තිබෙන සංදර්භය තුළ ජාතිවාදය මේ වන විට ආන්තික කුඩා කොටස් වෙත පසුබැස තිබේ. මෙය ඉතා සාධනීය තත්වයකි. එහෙත් ජාතිවාදය නැගී සිටීමේ අනතුර පහ වී නැත. එය නැවතත් මහා ගිනි ජාලාවක් ලෙස ඇවිලිය හැකි පහසුවෙන් නො නිමෙන ගිනි පුපුරකි. එය නො නිවා රැක ගන්නා ආන්තික කණ්ඩායම් අධිෂ්ඨානශීලී බව අමතක කළ යුතු නැත.

ජාතිවාදය මත ම තව දුරටත් බලාපොරොත්තු දල්වා සිටින සිංහල, දෙමළ, මුස්ලිම් ආන්තික කණ්ඩායම් ඉතිහාසයට ම උරුම කර දිය හැකි වන්නේ ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමෙනි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-30

ශිෂ්‍ය සටන් හා විසඳුම් සෙවීමේ මහජන ක්‍රියාකාරිත්වයන්

ලංකාදීප ඡායාරූපයකි
ලංකාවේ සෑම ජන කොටසකට ම ප්‍ර‍ශ්න කන්දරාවකට මුහුණ දීමට සිදු වී තිබේ. විශ්ව විද්‍යාල සිසුන්ට ද ප්‍ර‍ශ්න රාශියකි. 

නිදසුනක් ලෙස, විශ්ව විද්‍යාලවලින් පිට වන උපාධිධාරීන්ට රැකියා නැත. ඔවුහු රජයේ රැකියා ඉල්ලති. රජය මේ වන විටත් අනවශ්‍ය තරම් කලා උපාධිධාරීන් පිරිසකට රැකියා දී තිබේ. ඇතැමෙකුට කරන්නට හරි හමන් වැඩක් නැත. එහෙත්, මහජන මුදලින් ඔවුන්ට වැටුප් ගෙවනු ලැබේ. ඒ බර දරන්නේ මැද පෙරදිග රැකියා කරන ගෘහ සේවිකාවන් ඇතුළු විදේශ ශ්‍ර‍මිකයන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි පිරිස් ය. ඔවුන්ට රජයෙන් ලැබෙන උපකාර අවම ය. 

උපාධිධාරීන්ට ප්‍ර‍මාණවත් අන්දමින් රැකියා සපයන්නට තරම් පෞද්ගලික අංශය පුළුල් වී නැත. පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙන් ම ව්‍යවසායකයන්ට ද ගැටලු රැසකි. 

විශ්ව විද්‍යාල සිසුන් පාර වසාගෙන උද්ඝෝෂණය කරන විට පාරේ පැය ගණන් කාලකන්නි වෙමින් දුක් විඳින්නේ ද මේ දුක් විඳින ජනතාව ම ය. 

සිසුන්ට අමානුෂික ලෙස පහර දුන් පොලිසියේ නිලධාරීහු ද අයත් වන්නේ මේ පීඩිත ජනතාවට ම ය. 

ජනතාව මුහුණ දෙන ප්‍ර‍ශ්නවලට ඇති විසඳුම කුමක්දැයි ඇසුවොත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ තවත් පිරිස් පවසනු ඇත්තේ විසඳුම විප්ලවය හෙවත් ඒ එක්, එක් පක්ෂ අතට බලය දීම බවයි. 

සමාජවාදය ගොඩනැගීමට නම් ඔවුන් අතට බලය දිය යුතු ය. බලය ගැනීම සඳහා තමන් සූදානම් කර ගැනීම පිණිස මේ අය තමන් අයත් වන පක්ෂය ගොඩනගති. පක්ෂ ගොඩනගන්නට නම් ඒ වෙනුවෙන් කැප වෙන අරගලකාරී මිනිසුන් හෙවත් විප්ලවවාදීන් අවශ්‍ය ය.

විප්ලවීය ජීව ගුණය ගොඩනගන්නටත්, පවත්වාගෙන යන්නටත් අරගල අවශ්‍ය ය. විප්ලවීය ජනතාවක් කියන්නේත් එක්තරා ආකාරයක මොබ් එකකි. උද්ඝෝෂණ, පොලිසිය සමග ගැටුම්, ගුටි කෑම්, පහර දීම්, හූ කීම්, ජනතාව උද්වේගකර ලෙස ඇමතීම්, සමාජවාදය වෙනුවෙන් ශපථ කිරීම්, හිරේ යාම්, ජීවිත පරිත්‍යාග, වීරයන් අවශ්‍ය ය. 

මේ විප්ලවීය උණ ජනතාවට ද බෝ කළ යුතු ය. ඒ වෙනුවෙන් ඔවුන්ගේ චින්තනය ඔවුන් සිතන ආකාරයට පුළුල් කළ යුතු ය. අප සිතන ආකාරයට නම් පටු කළ යුතු ය. ආගමික ස්වරූපී විශ්වාස ගොඩනැගිය යුතු ය.  ඒ වෙනුවෙන් සටනට පෙළඹවිය යුතු ය. බලය සියතට ගෙන සියල්ල උඩු යටිකුරු කර වෙනස් කර නැවත ගොඩනැගිය යුතු ය. විප්ලවීය වෙනසකින් විමුක්තිය ලැබේ යන්න විශ්වාස කළ යුතු ය. 

පවතින ක්‍ර‍මය ආරක්ෂා කරන්නෝ මෙම රැල්ල නැගී එන විට එය මර්දනය කරති. අරගලකරුවෝ ද මර්දනය අපේක්ෂා කරති. මර්දනය ඔස්සේ රැල්ල තවත් නැගී එන්නට ද ඉඩ තිබේ. ඉවුරු බිඳගෙන පෙරළාගෙන යන්නට ද ඉඩ තිබේ. සමහර විට මහා විනාශයකින් අවසන් වන්නට ද ඉඩ ඇත. 

ඉතිහාසයේ හැමදාමත් සිදු වුණේ එලෙස ය. 

ප්‍රශ්නවලට විසඳුම් දන්නේ යයි සිතා සිටින පෙරටුගාමීන් පිරිසක් හැමදාමත්, හැම සමාජයකමත් සිටිති. 

එහෙත්, විසඳුම් දන්නා පුද්ගලයන්ට වඩා වැදගත් වන්නේ විසඳුම් සොයන සමාජ ක්‍රියාකාරිත්වයන් ය. 

ජනවාරි 8දා මහින්ද රාජපක්ෂ ක්‍ර‍මය පරාජය කරමින් ඉදිරියට යමින් තිබෙන්නේ ද විසඳුම් සොයන සමාජ ක්‍රියාකාරිත්වයකි. එහි හැම විට ම ජයග්‍ර‍හණ නැත. 

විවිධ ක්ෂේත්‍ර‍වල විවිධාකාරයෙන් විසඳුම් සොයන සංවාදයන් තිබේ. එය බහුවිධ ය.

පරමාදර්ශ හා ආගමික ස්වරූපී විශ්වාසයන් ප්‍ර‍වර්ධනය කරමින්, ඇදහිලිවන්ත ජන රාශි වීදි බැස්සවීම බලය සඳහා ක්‍රීඩාවේ ස්වභාවයයි. එය වැරදි යයි අපි නො කියමු. දේශපාලනයේ හැටි එහෙම ය. ඉතිහාසය ඉදිරියට යන්නට ද එවැනි අරගල ඉවහල් විය. 

එහෙත්, විසඳුම් සෙවීමේ මහජන ක්‍රියාකාරිත්වයන් තිබෙන්නේ අයුතු ජනරාශිවල ම නො වේ. 

විසඳුම් සඳහා සැබෑ සංවාදය තිබෙන්නේ වඩා ඉවසිලිවන්ත, බලලෝභී නො වන, යථාර්ථය තේරුම් ගත් ජනතාවන් අතර ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-29

කාටත් වාහනයක්! ඒත් අපට මේ තරම් වාහන දරා ගත හැකි ද?

2015 වසරේ මේ වන විට අලුතින් ලියාපදිංචි කර තිබෙන වාහන සංඛ්‍යාව ලක්ෂ පහකට ආසන්න වෙමින් තිබෙනවා.

පොදු ප්‍ර‍වාහන සේවා දුර්වල ශ්‍රී ලංකාවේ හැමෝටම කාර් එකක්, ත්‍රිරෝද රියක් හෝ අඩු තරමේ මෝටර් සයිකලයක් හෝ තිබෙන එක හොඳයි. 

ඒත්, මේ තරම් වාහන කන්දරාවක් අපේ රටේ පාරවලට දරා ගන්නට පුළුවන් ද? ඒ තරම් ඉන්ධන දැවීමක් අපේ ආර්ථිකයට, පරිසරයට දරා ගන්නට පුළුවන් ද?

ඒ නිසා පෞද්ගලික වාහන භාවිතය අවම කරමින්, පොදු ප්‍ර‍වාහන සේවා දිරි ගැන්විය යුතුව තිබෙනවා. 

කොලොම්පුරේ ට්‍රැෆික් මැදින් – හෙමින් හෙමින් හෙමින් හෙමින් යන ගමන පිළිබඳ දත්ත රැසක් මෙම ලිපියෙහි අඩංගු වෙනවා. 

කොළඹ අධික වාහන තදබදය අවම කරන්නට නම් ඇත්තෙන් ම පෞද්ගලික වාහන අධෛර්යය කරමින් පොදු ප්‍ර‍වාහන පද්ධති දිරිමත් කළ යුතුයි. ඒ වුණාට දැන් සිදු වන්නේ එය නෙමෙයි. අඩුම තරමේ 40දෙනෙකුවත් ගමන් කරන බස් වම් පැත්තේ එක තීරුවකට දමලා එකක් පස්සේ එකක් බඩගාන්නට සලස්වලා තිබෙනවා. 

ඒ විතරක් නෙමෙයි, පොලිස් නිලධාරීන් ඉන්නේ බස් රියදුරන්ගෙන් පළිගන්න වගෙයි. බම්බලපිටියේ මැජස්ටික් සිටි හරියේ නිතර ඉන්න බබා මූණක් තියෙන උරහිසේ තරු තියෙන පොලිස් නිලධාරියා උදාහරණයක්. 

බස් සේවකයන් අතර අවිනීත අය බොහෝ සේ ඉන්නවා. ඔවුන් පොල් පටවනවා සේ සෙනග පටවනවා. ජීවිත රැසක් දෑතේ තබාගෙන රිය පදවන ගමන් දුරකථන ඇමතුම් ගන්නවා. ඔවුන් විනයගත කළ යුතුයි. ඒ ගමන් ම, ඔවුන් දිනපතා මගීන් ලක්ෂ 10ක් විතර කොළඹට ගෙනැවිත්, ආපසු ගෙන ගිහින් කරන සේවය ගැනත් අප සිතා බැලිය යුතුයි. 

බස් රියදුරන්ට බල්ලන්ට වගේ කතා කරන පොලිස් නිලධාරීන් මාර්ග වැරදි සිදු වන නෝනා මහත්තුරු ඉදිරියේ හරිම කාරුණිකයි. ලොකු, ලොකු SUV ඉදිරියේ හරිම බයාදුයි. 

කොළඹ වාහන තදබදය අඩු කරන්නට බස් රථ දිරිගැන්විය යුතුයි. ඒ වෙනුවෙන් බස් රථවලට මාර්ගයේ මංතීරු දෙකක් ලබා දිය යුතුයි. එකක් සෑම බස් නැවතුමක ම නවත්වමින් යන බස්වලට. අනෙක ශීඝ්‍ර‍ගාමීව යන බස්වලට. එවැනි බස්වලට ගුවන් පාලම්වලින් යන එක තහනම් කිරීමත් වැරදියි. 

ඒ වගේ ම තමන්ගේ වාහනයේ වැඩි පිරිසක් රැගෙන යන කාපූලිං ක්‍ර‍මය ද දිරි ගැන්වීම හොඳ දෙයක්. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-28

අනුරාධපුරයේ නයිට් ක්ලබ් මිනීමරුවන් මුවා වෙන්නට හැදුවේ දේශප්‍රේමයට ද?

අනුරාධපුරයේ කඩ පනහ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන ගිය ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රම ද සොයිසා නම් කරාටේ ශූරයා ඝාතනය කර, තවත් අයට පහර දී තුවාල සිදු කර, රාත්‍රී සමාජ ශාලාව කුඩු පට්ටම් කර දැමීම සම්බන්ධයෙන් මේ වන විට පිරිසක් අත්අඩංගුවට පත් වී තිබේ.

ඒ කට්ටිය අධිකරණයට ඉදිරිපත් කරන විට ගියේ කමිසවලින් මුහුණු වසාගෙන මාර ලැජ්ජාවෙනි.

එහෙත්, පෝර උර ඇඳගෙන, සැලසුම් සහගතව පහර දීමට ගියේ මාර වීරයන් පිරිසක් වගේ ය. ඝාතනය සැලසුම් කළ පුද්ගලයා මේ වීරයන්ට හොඳට බොන්නට දී තිබේ. ඔවුන් මිනී මරා හිරේ යන්නට සැරසෙන්නේ අරක්කු ෂොට් කීපයකට ය.

මෙම රාත්‍රී සමාජ ශාලාව දැන් වසර කීපයක සිට පවත්වාගෙන යන අතර ගිය අවුරුද්දේ ඊනියා සුචරිතවාදීන්ගෙන් මෙයට විරෝධය නැගිණි. ඒ අවස්ථාවේදී මාධ්‍ය ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසා සමග සාකච්ඡා කරද්දී ඔහු ඇසුවේ පූජා නගරයෙන් පිටත නීත්‍යානුකූලව රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන යාමේ වරද කුමක් ද කියා ය. කොළඹ මිනිසුන්ට සතුටු වන්නට තිබෙන අයිතිය අනුරාධපුරයේ මිනිසුන්ට තිබෙන එකේ වරද මොකක් ද යන්න ඔහුගේ ප්‍රශ්නය විය.

අනුරාධපුරය යනු ලංකාව් දියුණු ම නගර අතරින් එකකි. එහෙත් එය පිහිටා තිබෙන්නේ ගොවි ගම්මානවල කේන්ද්‍රස්ථානයක් ලෙසයි. එසේ ම එය සංචාරක මධ්‍යස්ථානයක් ද වේ.

ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසා ඝාතනය කළ අය පෙනෙන විධියට සූදානම් වී තිබෙන්නේ රාත්‍රී සමාජ ශාලාවට පහර දීම දේශප්‍රේමයෙන්, ජාතියෙන්, ආගමෙන් හා සංස්කෘතියෙන් මුවා කර ගන්නට ය. එහෙත්, එහිදී මිනීමැරුමක් සිදු වීමෙන් ඔවුන්ගේ සැලසුම අසාර්ථක වී තිබේ.

මිනීමැරුම සිදු වුණේ නැතිනම් මේ වන විට මේ ප්‍රහාරය ආරක්ෂා කරන්නට කොළඹ ජාතිවාදීන් හා ආගම්වාදීන් ඉදිරිපත් වනවා නිසැක ය.

මේ මිනීමැරුමට සම්බන්ධ වූ අය හොඳට කන, බොන, ෆන් ගන්නා පිරිසකි.

පහත පළ වන්නේ ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසා විසින් 2014 නොවැම්බර් මාසයේ මුල ඉරිදා දිවයින පුවත්පත වෙත ලබා දෙන ලද සම්මුඛ සාකච්ඡාවකි.

ඔබ රටේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ රියෑලිටි තරුවක්‌ විදිහට...?
පුංචි කාලේ ඉඳල රියෑලිටි මගේ ඇඟේ තිබුණා. ඒ දේ මට පෙන්වන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඒකෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන මගේ දක්‍ෂතාවය රටට පෙන්නුවා. ඊට අමතරව මම ලෝක වාර්තා අටක්‌ පිහිටුවලා තියෙනවා.

මෙහෙම දක්‍ෂතා තියෙන කෙනකුගේ වෘත්තිය මොකක්‌ද...?
ව්‍යාපාර සහ කරාතේ උපදේශනය.
ව්‍යාපාර මොනවද...
සංචාරක හෝටලයක්‌ කරගෙන යනවා.

කොහේද...?
අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ...

එතැන තියෙන්නේ සංචාරක හෝටලයක්‌ නෙමෙයි නයිට්‌ ක්‌ලබ් එකක්‌...?
නෑ... ඒක සංචාරක හෝටලයක්‌.

ඔබ කොහොමද සංචාරක හෝටලයක්‌ කියන්නේ...?
සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය ඇතුව කරගෙන යන නිසයි.

එතකොට එතැන රාත්‍රි සමාජ ශාලාවක්‌ නැද්ද...?
තියෙනවා... සංචාරක හෝටලයක්‌ තුළ සංචාරකයන්ට ලබා දෙන සේවාවක්‌ විදිහට නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න පුළුවන්. 

රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යැමට ප්‍රධාන වශයෙන් තිබිය යුතු සුදුසුකම් මොනවද...?
අංක එකට මත්පැන් බලපත්‍රය තියෙන්න ඕනා. පරිසර බලපත්‍රය, ශබ්ද බලපත්‍රය සහ සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය තිබුණොත් ප්‍රමාණවත්.

ඒ සියලු බලපත්‍ර ඔබට තියෙනවද...?
ඔව්.

හරි... ඒත් අනුරාධපුරය වගේ ඓතිහාසික පූජනීය නගරයක නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න සුදුසුයි කියලා ඔබ හිතනවද...?
නයිට්‌ ක්‌ලබ් එකක්‌ ඇතුළෙ ඔය මිනිස්‌සු කියන තරම් මහ ලොකු දෙයක්‌ වෙන්නේ නෑ. සෙක්‌ස්‌වලට යන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා. ඒ සීමාව ඇතුළේ මිනිස්‌සු වින්දනයක්‌ ලබනවා. මෙතැනට එන කොල්ලෝ බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා ලොකු තෘප්තියක්‌ ලබනවා. ඒ වින්දනය රටට අගුණ නෑ. රටකට තියෙන්න ඕනෑ. එහෙම හරි වින්දනයන් ගන්න බැරි තැන තමයි මිනිස්‌සු විවිධ අපචාර ක්‍රියාවලට යොමු වෙන්නේ. 

ඒක හරි කියමු... අනුරාධපුරය වැනි පූජනීය නගරයකට රාත්‍රි සමාජ ශාලාවක්‌ සුදුසුද...?
පූජනීය නගරය තියෙන්නේ හෝටලය ළඟ ඉඳලා කිලෝ මීටර් පහක්‌ දුරින්නේ. එහෙම බලනවා නම් කොළඹත් පූජනීය නගරයක්‌. කැලණි විහාරය තියෙනවා. බෙල්ලන්විල පන්සල. ගංගාරාමය ඒවාත් පූජනීය ස්‌ථානනේ. සිරිමා බෝධියට සමානයි. එහෙම නම් කොළඹ කොල්ලන්ට විතරද ආතල් ඕනෑ අනුරාධපුරේ බයියන්ට නයිට්‌ ක්‌ලබ් ඕනෑ නැද්ද.

මේක ආතල් පිළිබඳ ප්‍රශ්නයක්‌ නෙමෙයි. නුවර දළදා මාළිගාව ඉදිරිපිට ක්‌ලබ් එකක්‌ දැම්මොත් ඔබ එකඟ වෙනවද...?
බෞද්ධයෙක්‌ විදිහට මම ඒකට කැමති නෑ... දළදා මාළිගාව කියන්නේ බෞද්ධයාගේ මුදුන්මල්කඩ.

එතකොට සිරිමා බෝධිය කියන්නේ මොකක්‌ද...?
මේ සිද්ධස්‌ථාන දෙක අතර වෙනසක්‌ නෑ කියලා මම පිළිගන්නවා. ඕනෑම පූජා නගරයක කිලෝ මීටර් දෙකකින් එහා පැත්ත සාමාන්‍ය නගරයක්‌. ඒත් මගේ හෝටලය තියෙන්නේ සිරිමා බෝධියට කිලෝ මීටර් පහක්‌ දුරින්.

අනුරාධපුරේ පදිංචිකරුවකු විදිහට ඔබ පූජාභූමිය දකින්නේ කොහොමද...?
පූජා භූමියට මගේ විශාල ගරුත්වයක්‌ තියෙනවා. ඒක අඹ මල් රේණුවක්‌ තරම්වත් වෙනස්‌ වෙලා නෑ. ඒත් රටේ නීතියට අනුව පූජා භූමිය තියෙන්නේ අනුරාධපුර නගරයේ ඉඳලා කිලෝ මීටර් දෙකක්‌ දුරින්. එතැනින් මෙහාට සාමාන්‍ය නගරයක්‌. මගේ හෝටලය තියෙන්නේ පූජා භූමියේ ඉඳලා කිලෝ මීටර් පහක්‌ දුරින්. එහෙම නම් නුවර දළඳා මාළිගාව ඉදිරිපිටත් හෝටලයක්‌ තියෙනවා. රටේ නීතිය හැම පළාතකම මිනිස්‌සුන්ට එකක්‌ වෙන්න ඕනෑ. කොළඹ මිනිස්‌සුන්ට එක නීතියකුත් නුවරට තව නීතියකුත් අනුරාධපුරයට තව නීතියකුත් තියෙන්න බෑ.

ඔබ කියන්නේ දළදා මාළිගාව ඉදිරිපිට තියෙන හෝටලය තුළත් නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යනව කියලද...?
නෑ... නෑ... මම එහෙම කියන්නේ නෑ. ඒ හෝටලයට මත්පැන් බලපත්‍ර තියෙනවා. රටේ සෑම පුරවැසියකුටම එක සමාන අයිතියක්‌ තියෙන්න ඕනෑ. අනිත් එක මගේ හෝටලය පූජනීය නගරය තුළ පිහිටලා තියෙනවා නම් බාර් ලයිසන් දෙන්නේ නෑ. සංචාරක මණ්‌ඩලයේ ලයිෂන් එක දෙන්නෙත් නෑ. ඔය හැම ලයිෂන් එකක්‌ම මගේ හෝටලයට තියෙනවා. අනිත් එක පූජා භූමිය ඇතුළෙ තමයි වෙන තරම් නරක වැඩ වෙන්නේ... අරක්‌කු තැබෑරුම් කීයක්‌ තියෙනවද. මස්‌ කඩ තියෙනවා. ගණිකා ජාවාරම කරගෙන යන තැන් තියෙනවා. පූජා භූමියේ ප්‍රධාන දොරටුවට කෙළින්ම තියෙන්නේ මාළු ලෑල්ලක්‌. ඇයි ඒ දේවල් ගැන කතා කරන්නේ නැත්තේ.

පූජා භූමිය ඇතුළේ වෙන නරක වැඩ මොනවද...?
මට ඒවා කියන්න බෑ. මම හෙටත් ජීවත් වෙන්න ඕනෑ අනුරාධපුරේ.

ඔබ තවමත් ළමයින්ට කරාතේ පන්ති කරනවද...?
ඔව්...

ගුරුවරයෙක්‌ විදිහට රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යන එක සුදුසුද...?
මම මේ ව්‍යාපාරයේ වැරැද්දක්‌ දකින්නේ නෑ. මම කරන්නේ කොළඹ තරුණයන්ට තියෙන අයිතිය අපේ තරුණයන්ටත් ලබාදීමයි. මේක පළාතට කරන සේවයක්‌. අපේ මව්බිම ශ්‍රී ලංකාව නම් අපිටත් කොළඹ මිනිස්‌සුන්ට තියෙන අයිතිය තියෙන්න ඕනෑ. අනුරාධපුරේ දැන් බයියෝ නෑ. ඒ මිනිස්‌සුත් කැමතියි ගෙවල්වල තියෙන ප්‍රශ්න අමතක කරලා අඩියක්‌ පුඩියක්‌ ගහලා කෙල්ලෙක්‌ එක්‌ක ඩාන්ස්‌ කරලා විනෝද වෙන්න. 

අපි නම් දකින්නෙ තවමත් අනුරාධපුරේ ජීවත් වන බහුතරය මහ පොළවත් සමග ගැටෙන මිනිස්‌සු. පොළව තඩිගහලා දුක්‌මහන්සියෙන් හරි හම්බ කරගන්න මුදල ඔබේ නයිට්‌ ක්‌ලබ් එකේදී සොච්චමක්‌
ක්‌ලබ් එකට එන්න කියලා අපි මිනිස්‌සුන්ට බල කරන්නෙ නෑ. මිනිස්‌සුන්ගේ කැමැත්ත අනුව නයිට්‌ ක්‌ලබ් එකට එයි. නැත්නම් වෙන තැනකට යයි. අනුරාධපුරේ සමහර කොල්ලෝ කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට ඇවිත් යනවා. මේක පූජනීය නගරයක්‌ කියල මිනිස්‌සුන්ගේ අයිතිය නැති කරන්න හොඳ නෑ. 

ඔබේ පන්තිවල ළමයි නයිට්‌ ක්‌ලබ් එකට එන්නේ නැද්ද...?
එනවා. මම ඉන්නව දැක්‌කම 'සර් ෆන් එකක්‌ ගන්න ආවා' කියලා කලා බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා විනෝද වෙලා යනවා.

නයිට්‌ ක්‌ල්බ් එකේ වෙන්නෙ කලා බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා යන එක විතරද...?
ඔව්...

නයිට්‌ ක්‌ලබ් එකක්‌ කරන එක වැරැද්දක්‌ නෙමයිද...?
එහෙම නෙමෙයි... ඔයාල දැන් මට ලොකු කළු පැල්ලමක්‌ ගහලා තියෙනවා. සමාජයත් නයිට්‌ ක්‌ලබ් දිහා බලන්නේ එක කෝණයකින් විතරයි. මම කියන්නේ ඒ බලන කෝණය වැරදියි. නයිට්‌ ක්‌ලබ් රටකට අවශ්‍ය දෙයක්‌ කියලා තේරුම් ගත්ත දවසකට මම එළිපිටට එන්න සූදානම්.

ඔබ නයිට්‌ ක්‌ලබ් එක දකින කෝණය මොකක්‌ද...?
ලංකාවේ නීතියක්‌ තියෙනවා නේ. රටේ පුරවැසියන් විදිහට රටේ වලංගු නීතියට අපි ගරු කරන්න ඕනෑ. ඒ නීති රාමුව ඇතුළෙ නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න අවසර දීලා තියෙනවා නම් ඒක අනුරාධුපරයේද... කොළඹද... කියලා නෑ. රටේ ඕනෑ තැනකට වලංගුයි. නැත්තම් ලංකාවට නයිට්‌ ක්‌ලබ් තහනම් කරන්න ඕනෑ. අපේ හෝටලයේ කරන්නේ අපිට තියෙන මත්පැන් බලපත්‍රයට මත්පැන් විකුණනවා. ඒකට එකතු කරලා තියෙනවා ඩී.ඡේ. සංගීතය. සහායට නර්තන ශිල්පීන් එකතු කරලා තියෙනවා. ඒ කෙනෙක්‌ එක්‌ක ඩි්‍රන්ක්‌ස්‌ එකක්‌ අරගෙන ඩාන්ස්‌ එකක්‌ දාන්න අවස්‌ථාව දීලා තියෙනවා. එතැනින් එහාට ඒ ළමයින්ව ගණිකා වෘත්තියෙ යෙදවීමක්‌වත්, එහෙම නැත්නම් වෙන යම් දෙයක්‌වත් සිදුවෙන්නේ නෑ.

ඔබ වගකීමෙන්ද කතා කරන්නේ...?
ඔව්...මගේ ක්‌ලබ් එකෙන් කෙල්ලෙක්‌ව එළියට අරගෙන පෙන්නුවොත් හෙට මම නයිට්‌ ක්‌ලබ් එක වහනවා. සීමාවෙන් එහාට කිසිම දෙයක්‌ වෙන්න මම ඉඩ තියලා නෑ. මගේ හෝටලයේ වැඩ කරන කාන්තාවන්ට උපරිම ආරක්‍ෂාව දීලා තියෙනවා.
අඩුම තරමින් අවශ්‍ය දෙයක්‌ ගන්න එළියටවත් යන්න දෙන්නේ නෑ. නිවාඩුවට ගෙදර යනකොටත් හෝටලයේ ආරක්‍ෂක නිලධාරියෙක්‌ ඇවිත් බස්‌ එකට දාලා යන්නේ. එහෙම කොන්දේසි මාලාවකට යටත් කරලා තමයි ගැහැනු ළමයින්ව සේවයට අරගෙන තියෙන්නේ.

දැන් ඔබ කියන්නේ ඔබේ නයිට්‌ ක්‌ලබ් එක ඇතුළෙ බීලා නටනවා ඇරෙන්න වෙන කිසිම දෙයක්‌ වෙන්නේ නෑ කියලද...?
ක්‌ලබ් එකේ වැඩිම වුණොත් කෙල්ලෙක්‌ කොල්ලෙක්‌ තුරුළු වෙලා ඉඳිවී. නැති නම් කෙල්ලෙක්‌ කොල්ලෙකුගේ ඔඩොක්‌කුවේ වාඩි වෙයි. එච්චරයි. එතැනින් එහාට කිසිම දෙයක්‌ වෙන්නේ නෑ. ලංකාවේ ක්‌ලබ් අරගෙන බැලුවොත් ආලෝකය වැඩියෙන්ම තියෙන්නේ අපේ ක්‌ලබ් එකෙ. අනිත් එක තමයි කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට රෑට එන ගෙස්‌ට්‌ව සෙට්‌ කරගෙන උදේට කෙල්ල ඩීල් වෙනවා. මගේ ක්‌ලබ් එකේ ඒවා වෙන්නේ නෑ. වැඩ කරන ගෑනු ළමයින්ට ආරක්‍ෂාව දීගෙන, කන්න බොන්න දීගෙන ලොකු පඩියක්‌ දීගෙන තියාගෙන ඉන්න එක මට පාඩුයි. ඒත් මම ඒ දේවල් කරනවා.

කාන්තාවන්ට ලොකු පඩියක්‌ ගෙවනවා කිව්වේ කීයක්‌ විතරද...?
රුපියල් හැත්තෑපන්දහක්‌ විතර අපි ගෙවනවා. වෙනම ටිප් එකත් හම්බ වෙනවා. ඒ ගැන අපි හොයන්නේ නෑ.

එහෙම පඩියක්‌ ගෙවන්න ලොකු ආදායමක්‌ ඇති...?
ආදායමක්‌ තියෙනවා. ඒ වගේම වියදමත් වැඩියි.

ඔබටත් සහෝදර සහෝදරියන් ඇති. ඔබතුමාගේ සහෝදරියක්‌ මේ වගේ නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කළොත්...?
නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කරනවා කියන එකේ හොඳ පැත්තක්‌ මම දකින්නේ නෑ. ඒත් ජීවිතය වරද්ද ගත්ත කාන්තාවෝ මේ රටේ ගොඩක්‌ ඉන්නවා. ඒ අයගේ දරු පවුල් රැකගන්න මොකක්‌හරි රැකියාවක්‌ කරන්න ඕනෑ. සමහර කාන්තාවෝ පුංචි පුංචි ජොබ් කරනවා. එහෙම කරලා ගන්න පඩිය පවුලක්‌ නඩත්තු කරන්න මදි. මේ රස්‌සාවේදී හොඳ වැටුපක්‌ ලබන්න පුළුවන්. අනිත් එක මේ රස්‌සාව ඇඟ විකිණීමක්‌ නෙමෙයි. අදටත් මගේ නයිට්‌ ක්‌ලබ් එක වටලලා ගණිකාවක්‌ අත්අඩංගුවට අරගෙන නෑ. හොයලා බලන්න.

පූජා නගරයක්‌ ආසන්නයේ මෙවැනි රාත්‍රි සමාජශාලාවක්‌ ආරම්භ කරනකොට ඔබට බලපෑම් ආවේ නැද්ද...?
එහෙම බලපෑම් කරන්න කවුරුවත් හිටියේ නෑ.

මේ රාත්‍රි සමාජශාලාව ආරම්භ කරල දැන් කොච්චර කාලයක්‌ වෙනවද...?
අවුරුදු එකහමාරක්‌ විතර වෙනවා.

ඒ කාලය පුරා කිසිම බලපෑමක්‌ ආවේ නැද්ද...?
නෑ..

ඒ කියන්නෙ ඔබ ප්‍රදේශයේ ප්‍රබල චරිතයක්‌...?
අනේ නෑ... මම බොහෝම පුංචි මිනිහෙක්‌...

එහෙම නම් ඔබට දේශපාලන බලය ඇති...?
නෑ... මට කිසිම දේශපාලන බලයක්‌ නෑ.

ඒත් ඡන්ද කාලෙට දේශපාලනඥයන්ට උදව් කරනවා නේද...?
කිසිම දේශපාලනඥයකුට උදව් කරලා නෑ. දේශපාලනය කියන්නේ මහ වදයක්‌.

දේශපාලන බලයක්‌ නැතුව මෙවැනි නගරයක්‌ තුළ රාත්‍රි සමාජ ශාලාවක්‌ කරගෙන යන්න බෑ...?
සංචාරක මණ්‌ඩලයේ ලයිෂන් එක තියෙනවා නම්... බාර් පර්මිට්‌ එක තියෙනවා නම්... නයිට්‌ ක්‌ලබ් එකක්‌ කරන්න දේශපාලන හයියක්‌ ඕන නෑ. නයිට්‌ ක්‌ලබ් එකක්‌ කියන්නේ රටක අවශ්‍යතාවයක්‌. විදේශීය සංචාරකයෝ අනුරාධපුරයට ආපුවහම සිද්ධාස්‌ථාන බලලා රාත්‍රියට දඹුල්ල සීගිරිය ප්‍රදේශවලට යනවා. ඒ ප්‍රදේශවල සංචාරකයන්ට අවශ්‍ය 'ස්‌පා' හැම දෙයක්‌ම තියෙනවා. දැන් අනුරාධපුරයට එන සංචාරකයෝ බොහෝ දුරට අපේ නයිට්‌ ක්‌ලබ් එකට එන්න පුරුදු වෙලා ඉන්නවා.

ඔබ කියන්නෙ අනුරාධපුරයට සංචාරකයන් ගෙන්න ගන්න නම් රාත්‍රි සමාජශාලා තියෙන්න ඕන කියලා...?
විදේශීය සංචාරකයෝ එන්නෙ වඳින්න නෙමෙයි. නරඹන්න. ඒ අය දවල් කාලෙට නරඹලා රාත්‍රි කාලය ගත කරන්න මේ වගේ තැන්වලට යනවා.

ඔබේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන් එන්නේ දේශීය සංචාරකයෝද. විදේශීය සංචාරකයෝද...?
දෙපිරිසම එනවා.

ඒත් අපිට දැන ගන්න ලැබෙන්නේ මේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන්ම එන්නෙ පාසල් වයසේ පසුවෙන ළමයි කියලයි...?
ඒක පිළිගන්න බෑ... අපි වයස දහඅටට අඩු ළමයි ඇතුළට ගන්නෙ නෑ.

ඒ කියන්නෙ ඇතුළු වෙනකොට අයිඩින්ටි චෙක්‌ කරනවද...?
නෑ. කෙනෙක්‌ දිහා බැලුවහම වයස කියන්න පුළුවන්නේ.

අපිත් එක්‌ක අවුරුදු දහහතක ළමයෙක්‌ ගියා. ඒ ළමයාව චෙක්‌ වුණේ නැනේ...?
අවුරුදු දහහතක්‌ කියන්නේ ලොකු ළමයෙක්‌. ඒ නිසා ඇතුළු කරන්න ඇති.

එහෙම නම් ඉතිං අවුරුදු දහඅටට අඩු ළමයින්ටත් යන්න පුළුවන්නෙ...?
සමහර වෙලාවට එහෙම මඟහැරෙනවා ඇති.

ඔබ කසාද බැඳලාද...?
ඔව්. මට ලොකු දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා.
ඔබගේ දරුවකු දිගින් දිගටම රාත්‍රි සමාජශාලා තුළට රිංගන්න පටන් ගත්තොත්...?
ඒක මට නවත්වන්න බෑ. අවුරුදු දහඅටෙන් පස්‌සේ සල්ලි තියෙනවා නම් ඒ දරුවට ඕන දෙයක්‌ කරන්න අයිතිය තියෙනවා.
ඒ කියන්නෙ ඔබේ දරුවකු නයිට්‌ ක්‌ලබ් ගියාට ගැටලුවක්‌ නෑ...?
කිසිම ගැටලුවක්‌ නෑ. එයාට වියදම් කරන්න සල්ලි තියෙන නිසානෙ යන්නේ.

සංවාදය - තරංග රත්නවීර - දිනේෂ් විතාන

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-26

පොයින්ට් 38 රිවෝල්වර වෙනුවට මිලිමීටර් 9 ස්වයංක්‍රීය පිස්තෝල ඉල්ලා අඬන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කරන වැඩ බලන්න කවුළුවක්

එක් දිනක පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා රුපියල් ලක්ෂ 46ක් වැය වන බව කතානායක කරු ජයසූරිය මහතා 2015 ඔක්තෝබර් 21දා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මන්ත්‍රීවරුන් තමන් කරන කාර්යය ගැන බැරෑරුම්ව සිතිය යුතු බව පෙන්වා දෙමිනි.

මේ ලක්ෂ 46 මහජන මුදල් ය. මෙය වැය වන්නේ පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් පමණි. පාර්ලිමේන්තුව නඩත්තු කරන්නටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නඩත්තු කරන්නටත් එමෙන් කීප ගුණයක මුදලක් දවසකට වැය වේ. ඒවාත් මහජන මුදල් ය.

එහෙම තිබියදී බොහෝ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නො වෙති. සහභාගි වන බන්ධුල ගුණවර්ධන වැනි අය මහජන කාලය ජාතිවාදය ඇවිස්සීම සඳහා භාවිතා කරති. 

දිනේෂ් ගුණවර්ධන වැනි අය සෙංකෝල උස්සති. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි දෙනෙක් සභාගත කෙරෙන පනත් කෙටුම්පත් ඇතුළු ලේඛන කියවන්නේ නැත. 

පාර්ලිමේන්තු ක්‍රියාවලි පිළිබඳ අවදියකින් නැති විශාල මන්ත්‍රීවරු පිරිසක් සිටිති.

පොයින්ට් 38 රිවෝල්වර වෙනුවට මිලිමීටර් 9 අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල ඉල්ලා පාර්ලිමේන්තුවේ අරගලයක් ඇති බව ද අසන්නට ලැබේ. මුන් මහජන නියෝජිතයෝ ද මිනීමරුවෝ ද?

අප විසින් පාර්ලිමේන්තුවට පත් කර යවන ලද මන්ත්‍රීන් වැඩි දෙනෙකුට සිය තනතුර වනාහි තීරු බදු රහිතව කාර් මිළ දී ගැනීමට හෝ එම බලපත්‍රය විකුණා අත යටින් ගාන කපා ගැනීමට හෝ ඇමතිකම්, කොන්ත්‍රාත්, කොමිස් ජාවාරම් ආදියට හෝ බලපතක් පමණි. 

Manthri.lk මන්ත්‍රීවරුන්ගේ කාර්යදර්ශනය .තරමක් දුරට නිරීක්ෂණය කරන වෙබ් අඩවියකි. අලුත් පාර්ලිමේන්තුව වෙනුවෙන් නම් තවමත් එය සූදානම් කර නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වීම්වලට, කාරක සභා ආදියට සහභාගි වන ආකාරය, සභාව ඇමතීම්, ප්‍රශ්න ඇසීම් හා ඡන්දය දෙන ආකාරය ආදිය මහජනයාට පහසුවෙන් විශ්ලේෂණය කළ හැකි ආකාරයක් එමගින් සකස් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය, හැන්සාඩ් වාර්තා ආදිය parliament.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය. 

ඔබ විසින් පත් කර යවන ලද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කුමක් කරන්නේ ද යන්න සොයා බැලිය යුතු ය. මම අජිත් පී. පෙරේරාට හා පාලිත තෙවරප්පෙරුමට ඡන්දය දුන්නෙමි. අජිත් පී. පෙරේරාගේ කාර්යදර්ශනය ගැන සතුටු විය හැකි මුත් පාලිත තෙවරප්පෙරුම පාර්ලිමේන්තුවේ යමක් කරනවාද යන්න පෙනෙන්නේ නැත. 

ඔබේ මන්ත්‍රීවරයා පිළිබඳවත් ඔබ සොයා බලන්න. මීළඟ ඡන්දයෙන් එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුතු ද යන්න ඒ අනුව නිගමනය කළ හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

උපුල් ශාන්ත සන්නස්ගල නිහඬ විය යුතු නැත

උපුල් නිහඬ ය. ඉංගිරිසියෙන් කියන ආකාරයට නම් ඩෙඩ් සයිලන්ට් ය. 

ඒ ඇයි කියා දුරකතන ඇමතුමක් දී අසන්නට තරම් ඔහු හා මා අතර සම්බන්ධයක් නැත. මා සිතන අන්දමින් මා ඔහු දෑසින් දැක තිබෙන්නේ ද එක් වතාවක් පමණි. 

උපුල්ගේ ටියුෂන් පංති කෙරුවාව ගැන නම් මගේ පැහැදීමක් නැත. එහෙත් ඔහු සිංහල වැනි නො සැලකිල්ලට ලක් වී තිබුණු වැදගත් විෂයක් මාකට් කළ කිරිල්ල ඇත්තෙන් ම ලොකු වැඩකි. එහෙත් උපුල්ගේ සිංහල වෙළඳපොළ නිසා සමාජයේ සිංහල දැනුම වැඩි වී ඇති බවක් නම් නො පෙනේ. ඔහුගේ පාරිභෝගිකයන් ඔහු නො තකා හැරියේ හරියට දෙල්කඳ පොළේ වෙළෙන්දියන් නො සලකා හරින අන්දමට ය. මාකටිං හා ජීවිතය එකක් නො වන බව උපුල් ඡන්ද කෙරුවාවෙන් ඉගෙන ගන්නට ඇතැයි සිතමි. 

මේ උපුල් ගැන මා මීට කලින් ලියූ සටහන් කීපයකි. ඔහුගේ අම්මා කෘතිය මට අනුව නම් හොඳ නවකතාවකි. 

ජීවිතයේ ක්ෂතිමය අත්දැකීම් මුළු ජීවිත කාලය තුළ ම හොල්මන් කරන එක උපුල්ටත්, විමල්ටත්, මටත් පමණක් නොව චාල්ස් ඩිකන්ස්ට පවා වූ දේ ය. 

උපුල් සෑහෙන්න කතා කළ අයෙකි. උපුල් කීමෙහි බිනීමෙහි දක්ෂයෙකි. ඔහු කතා කරන හැටි අහන් ඉන්නට ආසා ය. ඔහු රසවත්ව ලියන්නට ද දනියි. ඒ නිසා ඔහුට ග්‍රාහක සමාජයක් තිබිණි. එවැනි අයට අනෙක් අය ඉරිසියා කරති. ඒ නිසා බනිති. බනින විට සමාජය තමන් තුළ ඇති ඉරිසියාවත් කුළු ගන්වාගෙන ඒ බැනිලි භාර ගනිති. උපුල්ට බැන වැදුණු අය, උපුල් ඡන්දයෙන් පැරදුණු විට ‘හූ! හූ! ඇද්ද උඹට!' යි කියමින් කොකා පෙන්නූ අය හා උපුල් නිහඬ වී සිටින විට ‘ඇති යන්තං! ඌ ඉවරයි,' කියා සතුටු වන අය තමන්ගේ සතුට ගැන ආපසු හැරී කල්පනා කරනවා නම් වඩා හොඳ ය. 

ඡන්ද කාලේ උපුල් තමන් ගැන සෑහෙන්න ලොකුවට හිතාගෙන සිටියේ ය. එහෙත් ඡන්ද දායකයන් උපුල්ට දැක්වූයේ නිශේධනීය ප්‍රතිචාරයකි. කොළඹ දිස්ත්‍රික්කය දුෂ්කර පොළවකි. මා සිතන පරිදි උපුල්ට වඩා ඡන්ද ගත් අය ඇත්තෙන් ම දේශපාලනයේදී උපුල්ට වඩා දක්ෂයෝ ය. 

එහෙත්, ඡන්දයෙන් පසු උපුල් කලකිරී තිබෙනවා වෙන්නට පුළුවන. ඔහු මැතිවරණයට විශාල මුදලක් වියදම් කළේ ය. ඒ ගැන ඔහු එතරම් සිතිය යුතු නැත. මන්ද, පසුගිය කාලේ නො ගෙවා සිටි ආදායම් බදු ප්‍රමාණය ගණන් හදා බැලුවොත්, ඡන්ද කෙරුවාවට ගිය වියදම එයින් ද සුළු කොටසක් බව ඔහු දනියි. 

සමහර විට ඔහුගේ තරගකාරී ටියුෂන් මුදලාලිලා ඔහුගේ වෙළඳපොළ ඩැහැ ගත් නිසා දැන් එය ආපසු දිනා ගැනීමට ඔහු මහන්සි වී ටියුෂන් කරනවා වන්නට පුළුවන. 

ඔහු ලියන්නට පටන් ගත් කොළඹ කතාව නතර වී තිබෙනු දුටිමි. නැවත පටන් ගෙන නැති නම් ආපසු පටන් ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ආපසු රූපවාහිනියට ද ගොඩ වෙනවා නම් හොඳ ය. 

හඬක් තිබෙන මිනිසුන්ට නිහඬ වන්නට ඉඩ දිය යුතු නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-25

විමල්ගේ රෝමෝද්ගමනය හෙවත් විමලසිරි රෝමයට යාම

විමල්ගේ පාස්පෝට් හුටපටය මට නම් එච්චර තේරෙන්නේ නැත. මගේ ජීවිතයට මම පිටරට ගොස් තිබෙන්නේ දෙවතාවකි. එක වතාවක් යුනෙස්කෝ එකේ වැඩමුළුවකට ය. අනෙක් වතාවේ පණ බේරා ගන්නට ය. 

ඒ නිසා මට නම් ඔය පාස්පෝට්, වීසා හුටපට ඒ තරම් තේරෙන්නේ නැත. 

මේ හුටපටයේ නීතිමය කරුණුවලට වඩා වැදගත් වන්නේ දේශපාලනමය හා සමාජමය කරුණු යයි මම සිතමි.

විමල් වීරවංශ යනු නම් ගණනාවක් භාවිතා කර ඇති අනන්‍යතාව පිළිබඳ බරපතල ගැටලු ඇති පුද්ගලයෙකි. ඔහුගේ සැබෑ නම විමලසිරි ගම්ලත් යයි මම සිතමි. ඔහු හිරු පුවත්පත වෙනුවෙන් ඒ නම භාවිතා කළේ ය. එහෙත්, 1994න් පසු ජවිපෙ දේශපාලනයට පැමිණියේ විමල් වීරවංශ ලෙසයි. 

හිරු පුවත්පතේ වැඩ කරන කාලයේ ඔහු තවත් නමක් භාවිතා කළේ ය. ඒ විභූති වීදිය බණ්ඩාර යන නමයි. දැන් ඔහු සිය පුතුට දී ඇත්තේ විභූති කියන නමයි. 

පුවත්පත් කලාවේදීන් පෑන් නාමයන් භාවිතා කරන එක ඒ තරම් අමුතු දෙයක් නො වේ. එහෙත්, ඇතැම් පෑන් නාමයන් තුළ සැඟවුණු අරුත් තිබේ. 

සාමාන්‍යයෙන් පුද්ගලයකුට නම තබන්නේ මව්පියන්ගේ රුචි අරුචිකම් පරිදි ය. තමන්ගේ නම තමන්ට ම තබා ගන්නට ලැබුණු විට නම් දමා ගන්නා ආකාරය නිරීක්ෂණය කරන එක ඉතා රසවත් ය. විශේෂයෙන් ම විප්ලවවාදී පක්ෂවලදී මෙය රසවත් අධ්‍යයනයකි. 

මම පක්ෂයේ වැඩ කරන කාලේ මට පක්ෂයෙන් නම් දෙකක් දුන්නේ ය. එකක් කුමාරසිරි යන්නයි. අනෙක ඇලිකේවෙල යන්නයි. මම මේ නම් භාවිතා කළ මුත් ඒ නම්වලට කැමැත්තක් දැක්වූයේ නැත. මම නම් දමා ගනිද්දී දමා ගත්තේ ඒ කාලේ හැටියට මොඩ් නම් ය. 

මහණ වී සිවුරු හරින අයත්, පසුව නම් වෙනස් කර ගන්නා අයත් ඒ කාලේ මොඩ් නම් දමා ගත් විට හැඩරුව සමග ඒ නම නො ගැලපීම නිසා විහිළුවක් බවට පත් වේ. 

මාටින් වික්‍රමසිංහ ශූරීන් සිය කතාවල චරිතවලට කාලයට ඉදිරියෙන් ගිය අරවින්ද, මාලන්, ඊශා වැනි නම් තැබුවේ ය. 

නම්වලින් තරාතිරම නිරූපණය කරන හෝ වන හෝ එක ලංකාවේ සිංහල සමාජයේ එක්තරා උරුමයකි. හොඳ නැති වුණත් එය වෙනස් කළ නො හැකි දෙයකි.

විමල් අනුන් ගර්හාවට පත් කිරීමට උපන් පුතයෙකි. එය ද ඔහුගේ අනන්‍යතා අර්බුදයේ ම කොටසකි. අනන්‍යතාව නිසා පීඩාවට පත් වූ අය පසුව අනුන්ගෙන් පළි ගැනීමට පෙළඹීම සිදු විය හැකි දෙයකි. 

එහෙත්, විමල්ට තිබෙන අනන්‍යතා අර්බුද ගැන සිතන විට ඔහු ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූවා ය යන කාරණයත් අමතක කළ නො හැකි ය. විප්ලවවාදී ය කියන පක්ෂයක් හරහා එන විටවත් සිය ඔලුව සුද්ද, බුද්ද කර ගන්නට විමල්ට බැරි විය. එයින් පෙනෙන්නේ ඒ පක්ෂයේ තත්වයයි. 

සිය බිරිය තමන්ට වඩා වැඩිමහල් වීම සඟවා ගන්නට විමල් හොර උප්පැන්න හැදුවේ ය. බොරු උපන් දින දරුවන්ගේ උප්පැන්න සහතිකවලට ද දැමුවේ ය. පසු කලෙක ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයකු වූ විට ඒවා වෙනස් කර ගත යුතු යයි සිතුවේ ය. වෙනස් කරන්නට ගොස් නැවත නෑවේ ය. 

විමල් තවමත් මෙවැනි සෙල්ලම් නවතා නැති බව මේ පාස්පෝට් හුටපටයෙන් ද පෙනේ. වරක පාස්පෝට් එක නැති වූ බව කියා අලුත් එකක් ලබා ගන්නා ඔහු, තමන් අලුත් පාස්පෝට් එකක් ගත් බව අමතක වී, නැති වූ බව කියූ පරණ එක ඉදිරිපත් කර ඒ මත වීසා ද ලබා ගනියි. 

රටේ නීති හදන තැනට අප විසින් පත් කර යවා ඇත්තේ නීතියට අංශු මාත්‍රයක ගෞරවයක් නැති මිනිසුන් බවට විමල් හොඳ උදාහරණයකි. 

නිවාස ඇමති කාලේ රජයේ ගෙවල් කුණු කොල්ලයට නෑයන්ට බෙදූ හැටි ගැන කතා කරන්නට උවමනා නැත. හොර හිත ජන්ම ගතියක් විය හැකි ය.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-22

ඇවන්ට්ගාඩ් මිනිස් බල ජාවාරමේ ගොදුරක් ගැන විස්තරයක්

ඇවන්ට්ගාඩ් සමාගම විසින් ඇෆ්ගනිස්තානයේ සේවයේ යොදවා තිබෙන හිටපු හමුදා සෙබළෙක් අපට කියූ කෙටි විස්තරයකි මේ. රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ලැබෙන මුත්, අවුරුද්දකට පමණ වරක් නිවාඩු ලැබ නිවසට පැමිණ ගත කරන කාලය හැර අනෙක් මුළු කාලය ම සේවයේ යෙදිය යුතු ය. 

ඔහු සේවය කරන්නේ ඇමරිකන් හමුදා කඳවුරක අභ්‍යන්තර ආරක්ෂකයකු ලෙසයි. නිවාඩු පිණිස හෝ රැකියාව අතහැර දමා ආපසු එන විට හැර අන් කිසිදු අවස්ථාවක කඳවුරෙන් පිටතට යා නො හැකි ය. කඳවුර ඇතුළේ රැවුල කොණ්ඩය කපා ගැනීම වැනි සුළු කටයුත්තකට පවා විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. මෙම සේවකයන් මුදලක් ඉතිරි කර නිවෙස්වලට එවන්නේ නො කා, නො බී, දිළින්දන් ලෙස ජීවත් වීමෙනි. 

ඔවුන් රැකියාව කරන්නේ අධික අනතුරුදායක වාතාවරණයක් තුළ බව ඉතා පැහැදිලි ය. රුපියල් ලක්ෂයක වැටුප යනු එවැනි රැකියාවක් වෙනුවෙන් කිසි සේත් ම ප්‍රමාණවත් වැටුපක් නො වේ. 

මෙවැනි අනතුරුදායක රැකියා වෙනුවෙන් මිනිස් බලය සපයන සමාගමක් වන ඇවන්ට්ගාඩ් සමාගම සෑම හමුදා සෙබළකු වෙනුවෙන් ම ඔහුට ගෙවන වැටුප මෙන් කීප ගුණයක් ඇමරිකන් හමුදාව වැනි ආයතනවලින් ලබා ගනියි. 

මේජර් නිස්සංක සේනාධිපති තමන්ගේ ගුණ වයමින් පුවත්පත්වල දැවැන්ත දැන්වීම් පළ කරන්නේ සෙබලුන්ගෙන් ගසා කන මේ සල්ලිවලිනි. ඒ දැන්වීම්වල ඔහු ලියවා ගන්නේ සෙබලුන්ට ඔහු දෙවියකු බවයි. 

මේ සෙබලුන්ගෙන් ගසා කෑ සල්ලිවලින් දැන් සෑහෙන පිරිසක් මිළ දී ගෙන ඇති බව ද පෙනේ. ඒ අතර පත්තර කොම්පැනි පමණක් නොව, දේශපාලකයෝ හා රජයේ නිලධාරීහු ද සිටින බව පෙනේ. 

මෙය රටට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාරයක් නිසා එය රැක ගත යුතු යයි කිසිවෙක් කියනවා නම්, අනෙක් සියලු දූෂණ අතර හිටපු හමුදා සෙබලුන්ගේ ජීවිත නින්දිත අන්දමින් සූරා කන මෙම මිනිස් බල ජාවාරමත් තිබෙන බව මතක තබා ගන්න. 

ඇවන්ට්ගාඩ් සමාගමේ සූරාකෑමට ලක් වන අය ඔබගේ හඬ අවදි කරන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

නිදහස් වූ කිරිල්ලිය තමලිනී සහ සිරගත දේශපාලන සිරකරුවෝ

ඡායාරූපය අනුරුද්ධ ලොකුහපුආරච්චි විසිනි
මම එක් වතාවක් තමිලිනීව දැකලා තිබෙනවා. 2002දී යාපනයේ පැවැත්වුණු කලා උළෙලකදීයි. දෙමළ කලාකරුවන් මෙන් ම දකුණේ සිංහල කලාකරුවන් ද සහභාගි වූ මෙම කලා උළෙල සංවිධානය කිරීමේදී කොටි සංවිධානයත් වැඩ කොටසක් කළා. ඒ සංවිධායිකාවන් අතර බෙල්ලේ සයනයිඩ් කරලක් එල්ලාගෙන සිටි තමිලිනීත් හිටියා. ඇය ඒ වන විටත් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ නායිකාවයි. ඇය සහ අනෙකුත් කොටි සෙබළියන් අතර තිබුණු සම්බන්ධය නිරීක්ෂණය වුණේ වාමාංශික දේශපාලන සංවිධානයක සහෝදර සම්බන්ධයක් වගේ.

තමිලිනී කියන්නේ ඉතා දිළිඳු හා පීඩිත සමාජ පසුබිමකින් පැවත එන්නියක්. ඇය දේශපාලනික වශයෙන් බලවත් ස්ථානයකට පැමිණියේ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි දේශපාලනය නිසායි.

2009 මැයි 17 දා රජයේ ආරක්ෂක අංශ වෙත භාරවූ සුබ්‍රමනියම් ශිවගාමි නොහොත් තමිලිනි පසුව රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. වසර තුනක් පමණ රිමාන්ඩ් භාරයේ සිටි ඇයට අධි චෝදනා ගොනු නො කර පුනරුත්ථාපනයට යොමු කිරීමට නීතිපතිවරයා කටයුතු කළා. පසුව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරෙන් පුනරුත්ථාපනය වූ ඇය නිදහස්ව සාමාන්‍ය ජීවිතයක් ගත කළා. ඇය මිය ගියේ අක්මාවේ පිළිකා තත්වයකින්. 

2009 ජුලි මාසයේ ලංකාවේ ජාතීන්ගේ ප්‍ර‍ශ්නය තුළ සුසමාදර්ශීය වෙනසක් සිදු වුණා. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් මෙන් ම දේශපාලනමය වශයෙන් ද පරාජය වී ඇති සංදර්භයකයි ජාතික ප්‍රශ්නය දෙස බලන්නට අපට සිදු වී තිබෙන්නේ. 2015 වන විට දෙමළ ජාතිවාදය මෙන් ම සිංහල ජාතිවාදය ද පසුබැස ලිබරල්වාදය ඉදිරියට පැමිණ තිබෙනවා.

යුද්ධයට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව දෙක වනරජය හා කොටි සංවිධානය පමණක් නොව ඇතැම් අතුරු පාර්ශ්වත් යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදියට වගකිව යුතුයි. නිදසුනක් ලෙස ඇතැම් ජනමාධ්‍ය හා ජාතිවාදී දේශපාලන පක්ෂ යුද්ධයේදී කළ කාර්යභාරයත් සොයා බැලිය යුතුයි. යුද අපරාධ කරන්නට අවි අතට ගන්නට අවශ්‍ය නැහැ. ඒවා ප්‍රවර්ධනය කිරීමත් අපරාධයක්. ඇතැමුන් දැනටත් කරමින් ඉන්නේ එයයි. 

ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් යුද්ධයේ ඇත්ත කතාව වාර්තා කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් සත්‍ය කොමිෂමක් වැනි ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. එහෙත්, තමන්ගේ වැරදි පොදුවේ පිළිගනිමින් පොදු සමාවක් භාර ගන්නට කැමති යුද්ධයේ සියලු පාර්ශ්වවලට ඒ සඳහා අවස්ථාවක් ලබා දිය යුතු බව මා සිතනවා. ඒ පොදු සමාව තුළ යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදියට වගකිව යුතු කේ.පී.ගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා සියලු දෙනා ඇතුළත් කර ගත යුතු බවයි මගේ මතය. මෙය සංයුක්ත අදහසක් නො වන බව මම පිළිගන්නවා. ඒ ගැන සමාජ සංවාදයක් අවශ්‍යයි.

වසර 10ක, 15ක කාලයක් තිස්සේ නඩු නොමැතිව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නයත් මේ ගැටලුවේ ම එක කොටසක්. ඔවුන් දේශපාලන සිරකරුවන් නො වේ ය කියනවාට වඩා ජාතික අර්බුදය නිසා දේශපාලන හේතු මත නීති උල්ලංඝනය කළ සියලු දෙනා ගැන අදහස නැවත අර්ථකථනය කර ගත යුතුව තිබෙනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-21

පරිවර්තන සාහිත්‍යයේ පත් සිඳුණු වසන්තයේ පිපිණු මල් කැකුළක්

මම සිංහල පරිවර්තන නවකතා කියවන්නට එතරම් කැමැත්තක් නො දක්වමි. 

මම වෘත්තීය පරිවර්තකයකු ලෙස ඉංග්‍රීසියෙන් සිංහලට මෙන් ම සිංහලෙන් ඉංග්‍රීසියට ද පරිවර්තනය කරමි. එක්තරා ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් දිගු කලක සිට මගෙන් මෙම සේවාව ලබා ගනියි. ඒ පත්තරයේ ඉංග්‍රීසි හොඳ නැතැයි කිසිවෙක් නො කීවත්, මම වැරදිලාවත් ඉංග්‍රීසියෙන් යමක් ලිව්වොත් භාෂා අම්පයර්ලා ඇවිත් ඇඟිල්ල උස්සති. ඒ ලංකාවේ හීනමානකාරයන්ට තිබෙන එක බරපතල ව්‍යාධියකි. 

අනෙක් ව්‍යාධිය නවකතා ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කිරීම හා සම්බන්ධ ය. පළමු ප්‍රශ්නය මේ පරිවර්තකයන් වැඩිදෙනෙකු කරන්නේ තමන් කියවූ කෘතිය තමන්ට තේරෙන පරිදි සිංහලෙන් ලිවීමයි. වැඩේ තියෙන්නේ එහෙම ලියන එකත් කියවන මිනිසුන්ට තේරෙන්නට ලියන්නට බැරි වීමයි. 

මේ දිනවල මම පරිවර්තන කෘති දෙකක් කියවමින් සිටිමි. මේවා අලුත් ඒවා නො වේ. පරණ ඒවා ය. මා මිත්‍ර පී.බී. ජයසේකර විසින් පරිවර්තනය කරන ලද න්ගුගි වා තියෙන්ගෝගේ කුරුසේ ලූ යක්ෂයා කෘතිය සම්බන්ධයෙන් මට තිබෙන ගැටලුව එය සාමාන්‍ය පරිවර්තනයකින් එහාට යන්නට අසමත් වීමයි. 

තිබෙන පෙළ ඒ අන්දමින් පරිවර්තනය කිරීමට වඩා වටිනාකමක් පරිවර්තකයා විසින් කෘතියට එක් කළ යුතු ය. එනම්, මුල් කෘතියේ තිබෙන සංදර්භය, සමාජය හා අත්දැකීම අපේ අත්දැකීම් ලෝකයට සමීප වන පරිදි පරිවර්තනය කිරීමයි. පරිවර්තන කෘතිය කියවන සිංහල පාඨකයාට පහසුවෙන් තේරෙන පරිදි හා මුල් කෘතියේ රසයට සමාන රසයක් විඳ ගන්නට හැකි වන පරිදි පරිවර්තනය කිරීම හුදු පෙළ පරිවර්තනය කිරීමට වඩා එහා ගිය දෙයකි. ඒ.පී. ගුණරත්නගේ බැද්දේගම පරිවර්තනය හෝ ඊරියගොල්ලගේ මනුතාපය පරිවර්තනය ගැන අප අදත් කතා කරන්නේ ඒ නිසා ය. 

සුගතපාල ද සිල්වා අපට සිටි හොඳ ලේඛකයෙකි. එහෙත්, ඔහු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු ලේඛක ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයිස් පරිවර්තනය කළේ ය. ලංකාව පසුබිම් කර ගත් ෆනී බෝයි සිංහල පරිවර්තනය කියවන විට අපට හමු වන්නේ අප දන්නා කොළඹට වඩා අමුතු එකකි. එය හොඳ පරිවර්තනයක් නො වන්නේ ඒ නිසා ය.

මේ දිනවල කියවන අනෙක් කෘතිය වන්නේ මහින්ද සෙනරත් ගමගේ විසින් පරිවර්තනය කරන ලද දොන් නදිය නිසලව ගලා බසී නවකතාවෙහි පළමු පොතයි. මේ එහි දෙවන මුද්‍රණයයි. පරිවර්තනයක් හා ප්‍රකාශනයක් සම්බන්ධයෙන් නො සැලකිලිමත්කම පිළිබඳ මේ පොත කදිම උදාහරණයකි. පරිවර්තන දෝෂ යයි සිතිය හැකි තැන් විශාල ගණනක් මෙන් ම, සෝදුපත් දෝෂ ද මේ දෙවන මුද්‍රණයෙහි ද එමට ය. ලේඛකයකු හා පරිවර්තකයකු සංස්කාරකවරයකුගේ සේවය ලබා ගත යුත්තේ ඇයි ද යන්න ශ්‍රී ලංකාවේ ලේඛකයන්, පරිවර්තකයන් තේරුම් ගත යුතු ය. දොන් නදිය මීළඟ මුද්‍රණයකදී හෝ සංස්කාරකවරයකුගේ සේවය ලබා ගත්තොත් එය හොඳ කෘතියක් බවට පත් කළ හැකි වනු ඇත. එහි බසෙහි සාධනීය ලක්ෂණ රැසක් තිබේ. නැත්තේ සංස්කරණයකි. මේ පොතෙහි එක් තැනක ඌ යන වචනයේ බහුවචනය ලෙස ඌලා කියා යොදා තිබෙනු දැක මට බසයේදී තනිවම හිනා ගියේ ය. 

ජනප්‍රිය විශ්ව සාහිත්‍ය කෘති පළ වූ හැටියේ පරිවර්තනය කිරීමේ මාර තදියමක් ලංකාවේ පරිවර්තකයන්ට තිබේ. ඇත්තෙන් ම ඇතැම් පරිවර්තකයන් පරිවර්තනය කරන්නේ පොත කියවන ගමන් ම බව පෙනේ. තදියමට දනි පනි ගා පරිවර්තනය කිරීම නිසා මේ ඇතැම් කෘති තව කෙනෙකුට හරියට පරිවර්තනය කරන්නටවත් නො ලැබේ. 

පරිවර්තකයන් කර්තෘගෙන් අවසර නො ගෙන හොරෙන් පරිවර්තනය කරන එක ගැන මම මෙහි කිසිවක් නො ලියමි. හේතුව මා මෙය ටයිප් කරන්නේ මෙහෙයුම් පද්ධතියක චෞර පිටපතක් සහිත පරිගණකයකින් වන බැනි. 

හෂිත අබේවර්ධන විසින් පරිවර්තනය කර තිබෙන බා ජින්ගේ පත් සිඳුණු වසන්තය ගැන යමක් කතා කළ යුතු යයි සිතුවේ එය මා සිතන අන්දමින් විවේකී මනසකින් කරන ලද සාර්ථක පරිවර්තනයකැයි මට සිතෙන නිසා ය. සොඳුරු බසකින් ලියන ලද ජනප්‍රිය විදේශ සාහිත්‍ය කෘති මෙලෝ යකෙකුට නො තේරෙන ඕලාරික බසින් පරිවර්තනය කරන ලංකාවේ පරිවර්තන ඔස්තාද්ලාට පත් සිඳුණු වසන්තය අත් පොතක් ලෙස භාවිතා කළ හැකි ය. මම එහි මුල් කෘතිය කියවා නැත. එහෙත්, හෂිත භාවිතා කරන කට වහර වැනි, මටසිලිටු, ඒත් සුන්දර බස නිසා එය මුල් කෘතියැයි හිතෙන තරමට ම අපට සමීප ය. 

කලා කෘතියකින් විඳ ගත් රසය සාමාන්‍ය පාඨකයින් ලෙස බෙදා ගැනීමේ සංස්කෘතියක් අප අතර නැතිකම බරපතල ගැටලුවකි. 

මෙසේ වන්නට එක හේතුවක් වන්නේ ලංකාවේ කලාකාරයන් අතර තිබෙන පිට කැසීම, හෙළා දැකීම හා නිහඬව මරා දැමීම යන තුන් කුහකවතයි. 

අනෙක වන්නේ සාමාන්‍ය මිනිසුන් තමන් විඳින රසය ගැන කතා කිරීම හෙළා දකින ශාස්ත්‍රාලීය පණ්ඩිතයෝ ය. ඔවුන් කටයුතු කරන්නේ රස වින්දනය හා විචාර කලාව යනු පණ්ඩිතයන් කාටවත් නො තේරෙන බසකින් කරන විනිශ්චය කිරීමක් ය කියා සිතාගෙන ය. තමන් විඳි රසය ගැන කියනවා වෙනුවට කොහෙන් හෝ ණයට ගත් අදහසක් තමන්ටත් නො තේරෙන භාෂාවකින් ලියා, තමන්ට නො තේරෙන දේ තුළ මාර අරුතක් ඇතැයි සිතන සිය ගෝල බාල ගල්වැද්දන් හමුවේ ගුප්ත ශාස්තෘවරුන් වී පිම්බෙන්නට හදන ශාස්ත්‍රාලීය ගෙම්බන්ට එරෙහිව දේශපාලන අරගලයක් පොදු ජනතාවට තිබේ. 

අප විඳ ගත් රසය ගැන කාටත් තේරෙන බසින් කතා කළ යුත්තේ ඒ නිසා ය.

මේ උපුටා ගැනීම පත් සිඳුණු වසන්තයේ අවසානයෙන්.

දම් පාට බ්ලවුස් එක. කොට කළු සාය. දිලිසෙන ඇස් දෙක, හීනි ඇහි බැම... මගේ ඉස්සරහ රූපයක් මැවුණා. 

ඒත් විදුලියක් කෙටුවා වාගේ ඒක නැතුව ගියා. 

මං කෙහෙ කැරැල්ල දිහා බලාගෙන මූණ කිට්ටු කළා. කෙහෙ කැරැල්ලෙ ලිලී මල් සුවඳක් දැවටිලා තිබුණා. 

මං ඒක සිප ගත්තේ හරියට ලස්සන මතකයක් සිප ගන්නවා වාගේ. 

ඒ කෙස් කොයි තරම් සිනිඳුද?

කෙහෙ කැරැල්ලෙ මල් සුවඳක් තැවරිලා. 

ඒ නිසා මට දකුණුදිග වසන්තය මතක් වුණා. 

ඒත් මගේ ජීවිතයට ආයෙ කවදා නං වසන්තයක් උදා වේවි ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-20

රණතුංග පවුල

වරාය ඇමති හා සභාපති එක ටීම් එකේ හිටපු කාලෙ. ඒ බැට්ල් ඔෆ් මරූන්ස්.
දැන් බැට්ල් ඔෆ් මොරාන්ස්
පසුගිය දිනෙක අන්ධ ජ්‍යෝතිෂඥයා ජාතියේ අන්ධයන්ට අනාගත වාක්‍යයක් කියමින් ප්‍ර‍සන්න රණතුංග මීළඟ අගමැති වනු ඇති බව කීවේ ය.

එහෙම වුණොත් ඔහු මීළඟ ජනාධිපති වන්නටත් බැරි නැත.

දැනටත් රණතුංග පවුල දේශපාලනය හා දේශපාලනික බලයට අදාළ නිලධාරි තන්ත්‍ර‍ය ආක්‍ර‍මණය කර ඇත.

2010 මහ මැතිවරණයේදී රුවන් රණතුංගට ගම්පහින් ඉඩ ලබා දෙමින් අර්ජුන රණතුංග කලුතරින් ඉදිරිපත් වී ඡන්දය දිනා ගත්තේ ය. ඒ සරත් ෆොන්සේකා නායකත්වය දුන් ප්‍ර‍ජාතන්ත්‍ර‍ාදී ජාතික සන්ධානයෙනි. එහෙත් ඔහු ඇත්තෙන් ම කලුතර නියෝජනයක් කළේ නැත. ඔහුට ඡන්දය දුන් කලුතර ජනතාවට කොකා පෙන්නූ ඔහු පසුව ගම්පහට ම සේන්දු වූයේ ය. තව පොඩ්ඩෙන් මේ පාර ගම්පහින් රණතුංග බ්‍ර‍දර්ස් තුන්දෙනෙක් ම පාර්ලිමේන්තු යනවා ය.

ක්‍රිකට් පාලක මණ්ඩලයට නිශාන්ත රණතුංග රිංගවා ගන්නට ද අර්ජුනට උවමනා ය. ඔහු වරාය අධිකාරියේ සභාපතිකමට කිසිදු හිරිකිතයකින් තොරව සිය සහෝදරයා වූ ධම්මික රණතුංග පත් කර ගත්තේ ය.

මේ කී රණතුංගලා හැර තවත් රණතුංගලාත් සිටිති. ඔවුනුත් කලට වේලාවට කරලියට එනු ඇත. 

හරියට මේ රටේ රණතුංගලා හැර වෙනත් කවුරුවත් නැතුවා වැනි ය. මේ වනාහි රාජපක්ෂ පවුලේ මජරකමට නො දෙවෙනි එකකි.

අන්ධ ජ්‍යෝතිෂවේදියාගේ අනාවැකිය සත්‍ය වනු බලන්නට නො ලැබී ඇස් අන්ධ වේවායි පතමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-19

වී, තේ වැනි ගොවියන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතු දිග පළල කෙතරම් ද?

උද්ඝෝෂණයේ යෙදෙන කලවානේ කුඩා තේ වතු හිමියෝ
ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපාරය විසින් ඔක්තෝබර් 15දාට යෙදුණු ලෝක ආහාර දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද සුළු ගොවීන්ගේ, කිරි ගොවියන්ගේ හා සුළු ධීවරයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ජනතා තවලම අවසන් දිනයේදී කොළඹදී එයට සහභාගි වීමේ අවස්ථාව ලැබිණි. 

ආහාර ස්වෛරීත්වය ඇති කිරීමට බල කිරීමේ අරමුණින් පැවැත්වුණු එහිදී ගොවීන්, ධීවරයන් මුහුණ දී සිටින ප්‍ර‍ශ්න පිළිබඳ ප්‍ර‍බල හඬක් නැගුණා. 

මේ දිනවල කුඩා තේ වතු හිමියන් තේ මිළ පහළ යාම නිසා දැඩි අර්බුදයකට පත් වෙලා. ඔවුන් තේ දළුවලට සහතික මිළක් ඉල්ලනවා. හරියට වීවලට සහතික මිළක් දෙනවා වගේ. 

වී ගොවියන්ගේ අස්වැන්න රජය මැදිහත් වී මිළ දී ගන්නවා. එහෙත්, ඒ අස්වනු නිසි පරිදි විකසනය කරන්නට හෝ ඒවා වෙළඳපොළේ හරි හැටි අලෙවි කරන්නට හෝ රජයට වැඩපිළිවෙලක් නැහැ. අක්‍රිය මත්තල ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩාවලත් මේ වන විට වී ගබඩා කරලා. 

දැන් රජය තේ වෙළඳපොළට මැදිහත් වෙන්න සලකා බලමින් ඉන්නවා. රජය තේ මිළ දී අරගෙන මොනවා කරන්න ද? ඒවා ගබඩා කර තබාගෙන වී වගේ පසුව විනාශ කර දමාවි. 

ගොවීන්ගේ අස්වනුවලට මිළක් නැති වීමේ ප්‍ර‍ශ්නයට මෙය විසඳුමක් ද? ගොවීන් ආරක්ෂා කර ගත යුතු බව ඇත්ත. ඒත්, මේ නාස්ති කර දමන්නේ ද මේ රටේ මහජනතාවගේ මුදල් ම තමයි. 

ආහාර වෙළඳපොළට රජය තීරණාත්මක ලෙස මැදිහත් විය යුතු බවට ජනතා තවලම විසින් යෝජනා කර තිබෙනවා. ඒ කියන්නේ ආහාර මිළ දී ගන්නට හා අලෙවි කරන්නට රජය මැදිහත් විය යුතු බව ද? 1970ගණන්වලදී වගේ වී අලෙවි මණ්ඩලයෙන් වී මිළ දී ගෙන, කොටා සමුපකාරයෙන් විකුණන ක්‍ර‍මයක් සාර්ථක වේ වි ද? 

දේශීයව වගා කරන ආහාර ද්‍රව්‍ය සඳහා වසර පුරා ක්‍රියාත්මක වන නිශ්චිත ආනයන බද්දක් ද යෝජනා කර තිබෙනවා. ඇතැම් වකවානුවලදී ආහාර බෝගවල මිළ අධික ලෙස ඉහළ යාමෙන් පාරිභෝගිකයා දැඩි අපහසුවකට පත් වෙනවා. එහෙම වුණා ම පාරිභෝගිකයා පැත්තෙන් ඉල්ලා සිටින්නේ එම බදු අඩු කරන ලෙසයි. 

තේ වැනි අපනයන භෝග සම්බන්ධයෙන් මේ ක්‍ර‍මවේදවලින් විසඳුම් ලබා ගන්නට බැහැ. එහෙත්, තේ කර්මාන්තය වගේ ම කුඩා තේ වතු හිමියාත් ආරක්ෂා කර ගත යුතුයි. තේ කර්මාන්තය ආශ්‍රිත රැකියාවල යෙදී සිටින ජනගහණය ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 10%ක් පමණ වෙනවා. තේ කර්මාන්තයේ යෙදෙන ජනගහණය ගැන විස්තර kiyanna.lk වෙතින් කියවන්න. 

ගොව්යන්ට පොහොර සහනාධාර දීම, වාරිමාර්ග නඩත්තු කිරීම, අස්වනු මිළ දී ගැනීම හා අලෙවිය ආදී කෘෂිකර්මාන්තය සම්බන්ධ සියලු කටයුතුවලට මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලා සිටීම වැරදියි. ඒ වෙනුවෙන් රජය ව්‍යවසාය ආරම්භ කිරීම අසාර්ථක වැඩක්. 

දේශපාලනිකව ගත්තත් ජනතාව කළ යුතුව තිබෙන්නේ රජය තව තවත් ශක්තිමත් කරන එක නොවෙයි. රජයේ තැන අත්පත් කර ගැනීමට ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී මහජන සංවිධාන උත්සාහ කළ යුතුයි. 

එහෙත්, මහජන මුදලින් නඩත්තු වන අති ප්‍ර‍බල සංවිධානයක් වන රජය ලවා නියාමනය නිසි පරිදි සිදු වීමට වග බලා ගත යුතුයි. 

මේ ප්‍ර‍ශ්න විසඳා ගන්න පුළුල් සංවාදයක් සමාජයේ ගොඩනැගිය යුතුයි. 

කෘෂිකර්මයට අපි මොකක් ද කරන්නේ? ඒක තමයි ප්‍ර‍ශ්නය. 

ඒත්, කෘෂිකර්මාන්තය වැඩක් නැහැ කියන එක ඒකට උත්තරයක් නෙමෙයි. හේතුව, රටේ ජනගහණයෙන් අඩක්වත් නියැලී සිටින කෘෂිකර්මාන්තයට විකල්ප නිර්මානය කිරීම කෙටි කාලීනව කළ හැකි දෙයක් නෙමෙයි. අනෙක් පැත්තෙන්, එය ධරණීය සංවර්ධනයකට ඉවහල් වෙන්නේත් නැහැ. 

එක්සත් ජාතීන් විසින් ඉදිරි වසර 15ක කාලය සඳහා සම්මත කරගෙන තිබෙන ධරනීය සංවර්ධන ඉලක්ක 17හිත් සංවර්ධනයේදී ජනතාව, පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා. එම ඉලක්ක ගැන kiyanna.lk වෙතින් කියවිය හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-18

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ගැන ඔබ අවදියෙන් ද?

රටත්, ජනතාවත් රාජ්‍ය විරෝධී හා ජනතා විරෝධී කුමන්ත්‍රණ පිළිබඳ අවදියෙන් සිටිය යුතු ය. ඒ ගැන රජය හෝ ආණ්ඩුව අවදියෙන් සිටින්නේ යයි නො සිතිය යුතු ය. මේ රටේ දේශපාලනය හා දේශපාලකයන් ඉදිරිගාමී ජනතා ක්‍රියාකාරිත්වයන්ට ගව් ගණනක් පසුපසින් සිටින බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. 

මේ ලියන මා ඇතුළු බොහෝ දෙනෙක් පසුගිය ජනවාරියේ ඇරඹී අගෝස්තුවේදී තරමක් දුරට ස්ථාවර වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය වෙනුවෙන් කොන්දේසි විරහිතව දායක වූයෙමු. අප එය කරද්දී අප එසේ කරන්නේ තාන්න, මාන්න, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් යයි කියූ පෙරටුගාමීන් යයි සිතාගෙන සිටින උඩඟු විප්ලවවාදීන්ට අපට කීමට තිබෙන්නේ අපි 2004දී ඔබ ඇතුළු ජවිපෙ කළ කී දෙයින් පාඩම් උගත් පිරිසක් බවයි. 

ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂගේ පසුගාමී ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහා උපයෝගී කර ගත හැකිව තිබුණු දේශපාලන විකාරකාරයන් පිරිස කළමනාකරණය කරගන්නට මේ රටේ ජනතාව සමත් වූ හ. ඇතැම් අතිවාම විකාරකාරයන් කළමනාකරණය වුණේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය විසින් නොව හිටපු මහරජාගේ ප්‍රතිගාමී වැඩසටහනෙන් බව මතක් කර දෙන්නට කැමැත්තෙමු. 

අප විසින් බලයට පත් කරන ලද ආණ්ඩුවෙන් අරක වුණා ද මේක වුණාදැයි අසමින් කෝචොක් කරන රාජපක්ෂවාදීන්ගෙන් හා විප්ලවවාදී විකාරකාරයන්ගෙන් අපට කියන්නට තිබෙන්නේ එක ම එක දෙයක් පමණි. ඉදිරිපත් වී සිටි විකාරකාරයන් අතරින් රජා පැරදවීමට උපයෝගී කර ගත හැකි විකාරකාරයන් පිරිස සමග අපි එක් වුණෙමු. මහින්ද පැරදවූවත්, ඔවුහු තවමත් විකාරකාරයෝ ම ය. ඔවුන් ප්‍රතික්ෂේප කළා ය කියා තෝරා ගන්නට වෙනත් නායක යන් ජනතාව ඉදිරියේ නැත. ඇයි මං ෂෝක් නැද්දැයි අහන අයට අපට කියන්නට තිබෙන්නේ නාගෙන එන්න කියා පමණි. ඔබ ගැන නො දන්නේ ඔබ ම පමණි. 

බලයේ ඉන්නා විකාරකාරයන්ගෙන් උපරිමය කර ගන්නට අරගල කිරීම අද දවසේ අපගේ උපායමාර්ගයයි. ඒත්, ඔවුන් කරන විකාරවලින් ඔවුන්ගේ ම වලත් කපා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයත් අනතුරට පත් කරති. 

රාජපක්ෂ රෙජිමේ මහ ඇණ, මුරිච්චි තවමත් එළියේ පහළියේ ය. උන්ගේ කෙළි හෙළිදරව් වෙමින් තිබුණත් උන්ට හෙණයක්වත් නැත. ඇවන්ට්ගාඩ් ජාවාරම, ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, සිල්රෙදි මගඩිය, රාඩා මගඩිය වැනි කේස් කීපයක් කර මුලින් මාට්ටු වී තිබේ. රාජපක්ෂයින් දැන් සූදානම් වන්නේ මේවා වෙන අයගේ පිට දමා ගැලවීමට ය. 

වෙලේ සුදා සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියා කළ ආකාරය උදාහරණයකට ගත හැකි ය. ලද පළමු අවස්ථාවෙන් ම උපරිම දණ්ඩනය දී වෙලේ සුදා සම්පූර්ණයෙන් ම අකර්මන්‍ය කර දමා ඇත. මරණීය දණ්ඩනය හරි ද වැරදි ද කියන කාරණය කුමක් වුවත්, එය සාර්ථක දේශපාලන උපායමාර්ගයකි. යුද අපරාධ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණවලට පෙර ප්‍රධාන අපරාධකරුවන් සම්බන්ධයෙන්, පවත්නා නීතිමය රාමුව තුළ දැනට තිබෙන චෝදනා හා සාක්ෂි මත අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ඇති වන පීඩනයත් අවම කර ගත හැකි ය.

මේ අතර මොවුන් නිකම් ඉන්නවා යයි සිතන්නටත් බැරි ය. ඔවුහු ජනවාරි 9දා උදේත් කුමන්ත්‍රණයක් කර බලය රැක ගැනීමට උත්සාහ කළ හ. දැනටත් අධිකරණයට බලපෑම් කරති. නීතිය ඉදිරියේ ඔවුන්ට කළ හැකි වික්‍රමයන් ඔවුන් විසින් සිදුවීම් කීපයකින් පෙන්වා දී තිබේ. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත නො හැකි ආකාරයට අධිකරණ තීන්දු නිකුත් වීම, මහජන දේපල සොරකම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ලලිත් වීරතුංගට හා අනුෂ පැල්පිටට ඇප ලැබීම වැනි සිද්ධිවලින් ඔවුන් පෙන්වා දුන්නේ ඔවුන්ගේ ශක්තියේ තරමයි. 

ඔවුන් පසුගිය කාලයේ එළා ගත් දූෂණයේ දැල හකුළා දමා පාඩුවේ ඉන්නවා යයි සිතිය යුතු නැත. මොන අන්දමේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට අර අඳිමින් ඉන්නවාදැයි බුද්ධි අංශ පමණක් නොව ජනතාව ද විමසිලිමත් විය යුතු ය. 

මන්ද, මේ කුමන්ත්‍රණය සිදු වනු ඇත්තේ ඔවුන්ගේ ගැලවිජ්ජාවට පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් එරෙහිව නිසා ය. 

විකාරකාර පාලකයන්ට ද පුංචි උපදේශයක් දෙන්නට කැමැත්තෙමු. ඔබගෙන් රාජපක්ෂයින්ට ලැබුණු දයාව ඔවුන්ගෙන් ඔබට ලැබෙන්නේ නැති බව ඒකාන්ත ය. අඩි හයක් පොළව යට කතාව නැවත මතක් කර ගන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-17

උසාවිවල නඩුකාර හාමුදුරුවරු ඉදිරිපිට ම අල්ලස් ගන්නා රටක්

දිල්රුක්ෂි වික්‍රමසිංහ
රේගු නිලධාරි රැකියාව කියන්නේ සමහර විට රජයේ සේවයේ සාමාන්‍ය සුදුසුකම් මත ලබා ගන්න පුළුවන් වැඩි ම වැටුප් ලැබෙන රැකියාව වෙන්න ඇති. 

රේගු නිලධාරියකු වෙන්න මූලික වශයෙන් අවශ්‍ය වන්නේ කිසියම් උපාධියක් සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය සමත් වීමයි. මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට නම් වැටුපත් ඒ තරම් ලොකු එකක් නෙමෙයි. 

ඒ කොයි හැටි වෙතත්, රේගු නිලධාරියෙකු වෙනවා කියන්නේ පංතියක් ඉහළට පනින්න ලැබෙන අවස්ථාවක්. මෙවැනි අවස්ථා තහවුරු කරන වෙනත් වෘත්තීන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් අතළොස්සක් පමණයි. 

මේ පංති පිම්ම පිටුපස තිබෙන්නේ ආනයන, අපනයන, ආගමන, විගමන කටයුතුවලදී රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කරන වැදගත් කාර්යභාරයක් වෙනුවෙන් ලැබෙන සාධාරණ දිරිගැන්වීමක් නම් ඒ ගැන කවුරුවත් ඉරිසියා කළ යුතු නැහැ. 

ඒත්, මේ පසුපස තිබෙන්නේ රටට හෙරොයින්, එතනෝල්, විෂ රසායනික ඇතුළු අහිතකර දේ ගෙන එන්නට ඉඩ දීමෙන් ලබා ගන්නා අයුතු ලාභ නම්, එතැන තිබෙන්නේ බරපතල ප්‍රශ්නයක්. 

පසුගිය දිනවල අධිකරණය වෙලේ සුදා එල්ලා මරන්නට තීන්දු කළා. එහෙත්, වෙලේ සුදා එක්ක එකතු වී බිස්නස් කළ දුමින්ද සිල්වා සුදාට නඩුවත් නැහැ. වෙලේ සුදා එක්ක කස්ටම් සුදාලා රැසකුත් ගනුදෙනු කරන්න ඇතැයි අනුමාන කරන්නට පුළුවන්. 

මේ අතරවාරයේ රුපියල් කෝටි 12.5ක අල්ලසක් ගනිද්දී රේගු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම නිලධාරීන් උත්සාහ කර තිබෙන්නේ ව්‍යාපාරිකයකු විසින් රජයට ගෙවිය යුතුව තිබෙන විශාල බදු මුදලක් මගහරවා එය තමන්ගේ සාක්කුවට දමා ගැනීමටයි. අත්අඩංගුවට පත් වුණේ තිදෙනෙකු පමණක් වුණාට සෑහෙන පිරිසක් මෙයට සම්බන්ධ ඇතිවාට සැකයක් නැහැ. 

බොහෝ විට අල්ලස් සම්බන්ධයෙන් චෝදනාවට ලක් වන්නේ පොලිස් නිලධාරීන්, විදුහල්පතිවරුන්, ග්‍රාමසේවා නිලධාරීන් වැනි අයයි. එහෙත්, රටේ උසාවිවල විනිසුරුවරයා ඉදිරිපිට ම නිලධාරීන් අල්ලස් ගන්නවා. විනිසුරුවරුන් මෙය නො දන්නවා යයි සිතන්න අමාරුයි. නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ කියලා ජනතාව නිශ්ශබ්දව ඉන්නවා. 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ පවසන්නේ මහජනතාව සහයෝගය දෙනවා නම් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට කොමිසම සූදානම් බවයි. ඒ වෙනුවෙන් 1954 කියන දුරකථන අංකයත් විවෘත කර තිබෙනවා. 

අල්ලස් ගැනීම මෙන් ම අල්ලස් දීම ද වරදක්. එහෙත්, සුළු කටයුතු කර ගන්නට බොහෝ රජයේ ආයතනවලදී පුංචි, පුංචි අල්ලස් දෙන්නට ජනතාව පෙළඹෙනවා. රජයේ සේවයේ පහළ ශ්‍රේණිවල නිලධාරීන් අතර පවතින දරිද්‍රතාවත් අල්ලස හා දූෂණය පැතිරෙන්නට හේතුවක්. 

කෙසේ වෙතත්, දුප්පත් වුණත් අභිමානවත් සේවයක් ගැන රජයේ සේවකයන් දැනුවත් කිරීමේ වගකීමක් රජයට වගේ ම වෘත්තීය සමිති හා වෙනත් සිවිල් සංවිධානවලටත් තිබෙනවා. අල්ලස් ගන්නා අය ඉඳහිට අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීම වගේ ම හරිහැටි රාජකාරිය කරන රජයේ සේවකයන්ව අගය කරන්නත් වැඩපිළිවෙලක් තිබිය යුතුයි. අඩු තරමේ අපි, අපි හෝ ඒ දේ කළ යුතුයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-16

මේ චන්ඩි බලු වෙන සමය ද?

2015-10-15

රස වෑහෙන කොළඹ නව රථ වාහන ගමනාගමන සැලැස්ම

හයිලෙවල් පාරේ හා බත්තරමුල්ල හරහා නව රථ වාහන ධාවන සැලැස්ම අත්හදා බැලුවෙමි. 

කොට්ටාව සිට හයිලෙවල් පාරේ තුන්මුල්ල හන්දියට ශීඝ්‍ර‍ගාමී බසයෙන් යාමට ගත වූ වේලාව පැය 1යි විනාඩි 50යි. වෙනදාට වඩා වඩා විනාඩි 25කින් වැඩි විය. (සඳුදා උදේ 7 සිට)

කොට්ටාව සිට බත්තරමුල්ල හරහා බොරැල්ලට ශීඝ්‍ර‍ගාමී බසයෙන් යාමට ගත වූ කාලය පැය එකහමාරකි. (බ්‍ර‍ස්පතින්දා උදේ 7.30 සිට) වෙනදා මේ පාරේ මෙම දුර බසයකින් ගොස් නැත. බත්තරමුල්ල හන්දියේ සිට පාර්ලිමේන්තු වටරවුම දක්වා ගමන් කිරීමට පැය භාගයක් පමණ ගත විය.  

නව රථවාහන ධාවන සැලැස්ම ගැන ඔබගේ අදහස් දක්වන්න. 

කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය පිළිබඳ ඉතා රසවත් තොරතුරු ටිකක් කියන්න වෙබ් අඩවියේ පළ වූ මෙම සබඳතා පුරුකෙහි ඇති ලිපියෙහි (kiyanna.lk) සඳහන් වේ. එය කියවන්න. 

එහි සඳහන් වන වාහන තදබදය අවම කිරීම සඳහා යෝජිත ක්‍රියාමාර්ග අතර බස් රැපිඩ් ට්‍රාන්සිට් ක්‍ර‍මයක් තිබෙනවා. මහාමාර්ගය මැද වෙන ම බස් මාර්ගයක් සකසන ක්‍ර‍මවේදයක් වන එය මගේ සිත් ගත්තා. බේස්ලයින් පාර වැනි පුළුල් මාර්ගවල මෙය දැනටත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. බස් මාර්ගය වෙනම තිබෙන නිසා එහි වාහන තදබදය අවමයි. පහත පළ වෙන්නේ එවැනි බස් රථ මාර්ගයක පිංතූරයක්. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-14

නීතිය ඉදිරියේ සියල්ලෝ සමාන ය; සමහරු වැඩිපුර සමාන ය

නීතිය ඉදිරියේ සමහරුන් වැඩිපුර සමාන වන ආකාරය ගැන නිදසුන් මේ දිනවල ඕනෑ තරම් ය.

සිද්ධි කීපයක් මෙසේ ය: 

පසුගිය වසර නවයක කාලය තුළ සිදු වූ බොහෝ වැරදි සම්බන්ධයෙන් වගකිව යුත්තා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව නිසි පරීක්ෂණයක් හෝ සිදු වන්නේ නැත. 

ඔහුගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ සිරිලිය ගිනුම සම්බන්ධයෙන් වංචනිකව කටයුතු කර තිබේ. ඒ පිළිබඳ ප්‍ර‍කාශයක් ලබා ගැනීමට පොලිසිය යන්නේ ඇයට අවශ්‍ය තැනටයි. 

නාමල් රාජපක්ෂ නීතිඥයකු ලෙස සුදුසුකම් ලබා ගත් ආකාරය ගැන චෝදනා රැසක් තිබේ. එයට අමතරව බලය වැරදි අන්දමින් භාවිතා කිරීම ගැන ද ඔහුට එරෙහිව චෝදනා නැගේ. පරීක්ෂණ නැත. 

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු ආකාරය, විදේශ පුහුණුවීම් ලබා ගත් ආකාරය, නාවික හමුදාවේ සිටිමින් දේශපාලනය හා ව්‍යාපාර කළ ආකාරය ගැන පරීක්ෂණවලින් ගත් පියවරක් නැත. 

ගෝඨාභය රාජපක්ෂ, ටිරාන් අලස් වැනි අය ඔවුන්ට එරෙහි බරපතල චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට සමත් වී සිටිති. දේශපාලන බලය නොමැතිව පවා පරීක්ෂණවලට බලපෑම් කිරීමේ හැකියාව ඔහුට තිබේ. 

ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට රජයේ මුදල් රු. 60 කෝටියක් වංචනිකව මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍ර‍චාරක කටයුතුවලට ලබා දී කළ හානිය එසේ තිබියදී ඔවුන්ට ඇප පිට නිදහස් වීමට අවස්ථාව ලැබී තිබේ. 

ඇවන්ට්ගාඩ් සමාගමේ සේවයේ නියුතු හිටපු ආරක්ෂක නිලධාරීන්ගේ වැටුපෙන් කොල්ල කෑ මුදලින් කෝටි ගණනින් සල්ලි විසි කිරීමෙන් ඇවන්ට්ගාඩ් සමාගමේ හා එය පිටුපස සිටින දේශපාලන බලවතුන්ගේ වංචා දූෂණ සඟවා ගැනීමට එහි සභාපති මේජර් නිස්සංක සේනාධිපති සමත් වී තිබේ. 

මෙවැනි තවත් සිද්ධි බොහෝ ය. 

මොවුහු බලවත්තු ය. මේ බලවතුන් කෙතරම් බලවත් ද යත් ශ්‍රේෂ්ඨාධිකරණය පවා අල්ලේ නටවන්නට ඔවුන්ට පුළුවන. 

මේ බලවතුන් ඉදිරියේ ආණ්ඩුවේ ඇත්තන් නිකම් ම නිකම් බවලත්තු ය. 

මේ අය බේරි බේරී නිකම් ම සිටිනු ඇතැයි සිතන්නේ නම් මුලාවකි. ඔවුන්ට සිය ආරක්ෂාව ස්ථාවර කර ගන්නටත් අවශ්‍ය ය. ඒ සඳහා අවස්ථාව ලත් සැණින් ඔවුහු බලය ඩැහැ ගන්නවා ද ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-13

පහර දිය යුත්තේ බොන්නට වතුර ඉල්ලූ ජනතාවට ද?

හම්බන්තොට බඳගිරියේ ජනතාව බොන්නට වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ හ. එහිදී පහර දීම් හා අත්අඩංගුවට ගැනීම් ද සිදු වී තිබේ.

ජනතා ප්‍ර‍ශ්න විසඳාගැනීම සඳහා සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතිය ජනතාවට තිබේ. 

ශුෂ්ක ප්‍රදේශයක පිහිටි බඳගිරියට උග්‍ර‍ පානීය ජල ගැටලුවක් තිබේ. පසුගිය මාර්තු 21දා ඇමති සජිත් ප්‍රේමදාස බඳගිරියේ හා බරවාකුඹුරේ ජනතාව හමු වී මෙම ප්‍ර‍දේශයේ පානීය ජල ප්‍ර‍ශ්නය විසඳීම පිළිබඳ සාකච්ඡා කළේ ය. එපමණක් නොව, ඒ වෙනුවෙන් රු. මිලියන 400ක් වෙන් කර තිබෙන බව ද පැවසුවේ ය. ජනතාව උද්ඝෝෂණය කරන්නට ඇත්තේ විසඳුම් පමා වන නිසා ය. 

පිරිසිදු පානීය ජලය ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයකි. එය ලබා ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ.

2012 වසර අවසන් වන විට පිරිසිදු පානීය ජලය පාවිච්චි කරනු පිරිස ජනගහනයෙන් 87.7%ක් පමණ වෙනවා. මේ රටේ ජනගහනයෙන් 41%ක් තවමත් තම පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නේ ළිං, අත්පොම්ප, නළ ළිං, වැනි ජල මුලාශ්‍ර මඟින්. (දිනමිණ 2014 - 02 - 27)

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 10%කටවත් තවමත් පිරිසිදු පානීය ජලය වෙත ප්‍රවේශය නැත. මේ අතර විෂ රසායනික ආදිය හේතුවෙන් භූගත ජලය දූෂණය වීම ද ඉහළ යමින් තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ මූලික ප්‍ර‍ශ්නයක් වන ජල ප්‍ර‍ශ්නයට විසඳුම් ලබා නො දී, හම්බන්තොටට ගුවන් තොටුපළක්, වරායක් හා ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවක් ලබා දෙන්නට පසුගිය පාලනය කටයුතු කළේ ය.

ඒ කෙසේ වෙතත්, දැන් මහජනතාවගේ සැබෑ ප්‍ර‍ශ්න ආමන්ත්‍ර‍ණය කරන්නට රජයට සිදු වී තිබේ. එය මගහැර යා නො හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-10-12

සියලු ගොවීන්ගේ නිෂ්පාදන මිළ දී ගන්නට රජයට පුළුවන් ද?

මා ජීවත් වන ගම් ප්‍රදේශයේ තේ ගොවීන් හෙවත් කුඩා තේ වතු හිමියන් අමු තේ දළු මිළ පහළ යාම නිසා දැඩි ලෙස දුෂ්කරතාවට පත්ව සිටිති. 

වතු වගාව හා කුඩා තේ වතු ආශ්‍රිතව තේ කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගන්නා ජනගහණය රටේ මුළු ජනගහණයෙන් 10%ක් පමණ වෙනවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්නය සුළුපටු ප්‍රශ්නයක් ලෙස සලකන්න බැහැ.

ගිය අවුරුද්දේ අවසානභාගය වන විට කිලෝවක් රු. 80ක් පමණ වූ අමු තේ දළු මිළ දැන් කිලෝවක් රු. 50ක් විතර වෙන්නට බැහැලා. රජය මාස කීපයක් කුඩා තේ වතු හිමියන්ට සහනාධාරයක් දුන්නත් දැන් එය නවතා දමලා. 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ මිළ දී ගන්නන් වන ඉරානය ඇතුළු මැද පෙරදිග කලාපයේත්, රුසියාවේත් පවතින කලබලකාරී තත්වය නිසා තමයි තේ සඳහා ඉල්ලුම අඩු වී තිබෙන්නේ. තේ කර්මාන්තය ඇති වැදගත්කම ගැන ජන ජීවිතයට සම්බන්ධ දත්ත රැසක් සහිත ලිපියක් මෙතැනින් කියවන්න. 

රබර් වගාවේ තත්වයත් එයමයි. තෙල් මිළ පහළ යාම හා කෘත්‍රිම රබර් මිළ ඉහළ යාම නිසා රබර් සඳහා ඉල්ලුම අඩු වෙලා. ඒ නිසා රබර් කර්මාන්තයත් හාන්සි. 

අද දිවයින පුවත්පතේ පළ වන වාර්තාවකට අනුව වෙළඳපොළේ මුං මිළ අඩු වීම නිසා මුං ගොවීනුත් දුකට පත් වෙලා. 

වී ගොවීන් ද වී මිළ පිළිබඳ තෘප්තිමත් නැහැ. 

මේ සියලු දෙනා සහනාධාර බලාපොරොත්තු වෙනවා. කොටින් ම කියනවා නම් ඔවුන් බලාපොරොත්තු වන්නේ රජය සහතික මිළකට ඔවුන්ගේ නිෂ්පාදන මිළ දී ගැනීමයි. 

මේ වැඩේ වී ගොවිතැනට අදාළව යම් දුරකට වෙනවා. රජය වී ගොවීන්ට පොහොර සහනාධාරය දෙනවා. ඉන් පසුව අස්වැන්නත් සහතික මිළට මිළ දී ගන්නවා. ඒවා ගබඩා කර තබාගෙන ඉඳලා පසුව විනාශ කර දමනවා. 

ගොවියන්ට දෙන මේ සහනාධාරවල බර රටේ සමස්ත ජනතාව ම විසින් දරා ගත යුතුව තිබෙනවා. 

ඇතැම් වගාවන් දිරි ගන්වන්නට සහනාධාර අවශ්‍යයි. එහෙත්, අස්වැන්න රජය විසින් සහතික මිළකට මිළ දී ගත යුතුයි කියන එක පිළිගත හැකි තත්වයක් නෙමෙයි. අස්වනු අලෙවියේදී නිදහස් වෙළඳපොළ මූලධර්ම මත කටයුතු කළේ නැතිනම් සිදු වන්නේ හානියක්. රජය විසින් මහජන මුදලින් වැඩි මිළට මිළ දී ගෙන කාලයක් ගබඩා කර තබා ගන්නා වී පසුව විනාශ කර දැමීම මේ සඳහා නිදසුනක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. 

තේ වගාව සම්බන්ධයෙන් නම් කිව යුතුව තිබෙන්නේ පසුගිය කාලයේ ඉවක්, බවක් නොමැතිව කැළෑ කපමින් තේ වගා කිරීමත් මෙම තත්වයට හේතුවක් වූ බවයි. එක් භෝගයක් මත උවමනාවට වඩා රඳා පැවතුණු විට, එම භෝගයේ මිළ පහළ ගිය විට මෙවැනි තත්වයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. 

ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම, බෝග විවිධාංගීකරණය වැනි කාර්යයන්හිදී රජය වැවිලිකරුවන්ට මග පෙන්විය යුතුයි. එහෙත් එවැන්නක් නිසි පරිදි සිදු වන්නේ නැහැ. 

ගොවීන් රැක ගැනීම සඳහා බෝග සඳහා ආනයන බදු ඉහළ නැංවීම පාරිභෝගිකයන් පැත්තෙන් සලකා බැලූ කල අසාධාරණයි.

ඒ නිසා, කළ යුතුව තිබෙන්නේ කෘෂිකර්මාන්තයට නිදහස් වෙළඳපොළ මූලධර්මයන් මත හැකි තරම් දුරට පාලනය වන්නට ඉඩ හරිමින්, ගොවීන්ට මග පෙන්වීම හා හදිසි මිළ පහළ වැටීම්වලදී සිදු වන හානි වෙනුවෙන් පමණක් රජය මැදිහත් වීමයි.