2015-11-30

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ සිකුරාදා ගල් ගසා මරයි ද?

අලුත් ම ආරංචි පවසන්නේ සවුදි රජය විසින් ගල් ගසා මරා දැමීමට නියම කර තිබෙන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණීය දණ්ඩනය මේ සිකුරාදා සිදු වීමට යම් ඉඩක් තිබෙන බවයි.

දැන් දඬුවමෙහි හරි වැරදි පිළිබඳ හෝ සවුදි අරාබිය පිළිබඳ හෝ ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග යාමෙහි ගැටලු පිළිබඳ හෝ කතා කරන්නට කාලයක් නැත.

දැන් කළ යුතුව තිබෙන්නේ මේ දඬුවම වළක්වා ගැනීමට හැකි හැම දෙයක් ම කිරීමයි.

එය කරන්නේ කෙසේ ද?

මේ වෙනුවෙන් මේ වන විටත් යම් යම් සංවිධාන කටයුතු කරමින් සිටින බව අපි දනිමු.

රිසානා සිද්ධියේදී සවුදිය ලංකාවට යම් කාලයක් දුන්නේ ය. එහෙත්, එම කාලය තුළ සිදු වූ යම් සුළු සිද්ධි මරණ දඬුවම නො වැළැක්විය හැකි එකක් වන්නට හේතු විය. මෙතැනදී අප සිතිය යුතුව තිබෙන්නේ වැදගත් ම දෙය වන්නේ මරණ දඬුවම වළක්වා ගැනීම බවයි. ඒ නිසා සවුදි අරාබිය කුපිත කර ගන්නේ නැතිව මෙම ප්‍ර‍ශ්නය විසඳා ගන්නට වගකීමක් දේශපාලනඥයන්ට, ජනමාධ්‍යවලට හා සිවිල් සමාජයට තිබේ.

කරුණාකර වහා මෙයට මැදිහත් වන්නැයි ඔබට හැකි ආකාරවලින් ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට, ජාත්‍යන්තර සංවිධානවලට, රාජ්‍ය නොවන සංවිධානවලට, සිවිල් සමාජ නායකයන්ට කියන්න.

ලංකාවේ ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදය හා වෙනත් බලවත් රටවල් සමග තිබෙන සම්බන්ධතා භාවිතා කරමින් මේ වෙනුවෙන් මැදිහත් විය යුතු ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-28

සිරිසේන බ්‍රදර්ස් සෙට් වෙන්නේ මොබිටෙල් එකෙන් ගේමක් දෙන්න ද?

මහින්දගේ ආණ්ඩුව පෙරලූ පුද්ගලයා බවට ලංකාදීප පුවත්පතේ ලියැවුණු තුසිත හල්ලොලුව ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙනුත්, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍ර‍ධානියකු වන ක්‍රිෂාන්ත කුරේ හා ෆිරෝ ෆාරුක් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙනුත් නෙරපා තිබේ.

මේ පසුපස අවුල් දෙකක් තිබේ. එකක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී තනතුරේ සිට ටෙලිකොම් අධ්‍යක්ෂ තනතුරට පත් වූ කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සභාපති ලෙස ලබන වැටුප තුන් ගුණයකින් වැඩි කරන්නට යාමයි. එයට මේ අධ්‍යක්ෂවරු විරුද්ධ වූ බව කියැවේ.

දෙවැන්න තරගකාරී ජංගම දුරකථන සේවා සමාගමක් වන හච් මිළ දී ගන්නට මොබිටෙල් සැරසීමයි. ඒ ගැන කියන්නේ ඩයලොග් සමාගම ඒ වෙනුවෙන් පිරිනැමූ මිළ ඩොලර් මිලියන 78ක් මුත් මොබිටෙල් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 130ක් පමණ ගෙවන්නට යන බවයි.

මේ අල්ල පනල්ලේ අයියා සිරිසේන කර තිබෙන වැඩක් නිසා මෙතන මොකක් හෝ හුටපටයක් වන බව නම් පැහැදිලි ය. 

අයියා සිරිසේන මහින්දගේ චක්ගෝලයකු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා මොබිටෙල්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බව අලුත් ම වාර්තා පවසයි. 

හච් කොම්පැනිය වැඩි මිළට මිළ දී ගැනීමේ ගනුදෙනුව ආරම්භ කළේ මේ කපිල චන්ද්‍රසේනයි. 

වැඩි ගානකට ගන්නේ කුට්ටියක් සාක්කුවට දමා ගැනීමේ පරණ පුරුදු ක්‍ර‍මයට වෙන්නටත් පුළුවන.

මේ ගැන මල්ලි සිරිසේන, ජනාධිපති සිරිසේන හා අදාළ ඇමතිවරු කතා කළ යුතු ය.

අපි දන්න පරණ සෙල්ලම් නම් බුදු මල්ලියේ කරන්නට දෙන්නට බැරි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-27

රතු ධනවාදය බිහි වෙන තුරු ජනතාව රවටමු ද? ඇත්තට මුහුණ දෙමු ද?

ආණ්ඩුවේ අයවැය යෝජනාවලිය විග්‍රහ කිරීමේදී අප විසින් සලකා බලනු ලබන කාරණා කීපයක් තිබේ.

ඒ අතරින් පළමුවැන්න අපට මේ ආණ්ඩුව වහා පෙරළා දැමීමට හෝ මේ සමාජ ක්‍රමය අවුල් කර දැමීමට හෝ අවශ්‍යතාවක් නැත. ආණ්ඩුවට වසර පහක් රට පාලනය කිරීම සඳහා ජනවරමක් තිබේ. එසේම, සමාජ ක්‍රමය අවුල් කර දැමූ පමණින් සමාජවාදය නිර්මානය වන්නේ නැත. සමාජවාදය යනු ඉබේ හැදෙන එකක් නොව, හැදිය යුතු එකකි. දැන් සමාජවාදීන් ලෙස පෙනී සිටින වාමාංශික පක්ෂ කිසිවකට ඒ සඳහා කටයුතු කිරීමේ ධාරිතාවක් නැත. ඒවායේ නායක කාරකාදීහු අංග සම්පූර්ණ දෙබිඩ්ඩෝ ය. ඔවුන්ට දේශපාලනය හා සැබෑ ජීවිතය දෙකකි. මේ දෙබිඩිකම නැති කර නො ගෙන සමාජ විප්ලවයකට මුල පිරිය නො හැකි ය.

පවත්නා ආණ්ඩුව පත් කර ගත්තේ කෘෘර ඒකාධිපතිත්වයකට එරෙහි දීර්ඝකාලීන අරගලයකිනි. පත් කර ගත් ආණ්ඩුව පරිපූර්ණ එකක් නො වේ. එහෙත්, ඔවුන් සාපේක්ෂ වශයෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන බව කුහකයින් නො වන ඕනෑ ම කෙනෙකුට පෙනේ. පෙරටුගාමී පුරවැසි බලවේග ලෙස අප උත්සාහ කළ යුතු වන්නේ ආණ්ඩුවේ සීමා මායිම් තුළ එයින් ඉටු කරවා ගත හැකි උපරිමය ලබා ගන්නට ය. ඒ සඳහා ඔවුන්ට උපකාර කළ යුතු තැන්වලදී උපකාර ද, විවේචනය කළ යුතු තැන්වලදී විවේචනය ද කළ යුතු ය. අපගේ උපායමාර්ගය එයයි.

අයවැය යෝජනා සලකා බැලීමේදී එහි එක් එක් කාරණා සලකා බැලිය යුතුව තිබෙන්නේ සමස්ත සංදර්භය තුළ ය. එම සමස්ත සංදර්භය නිර්මානය වීමේදී මහින්ද රාජපක්ෂගේ අන්ධකාර දශකයේ බලපෑම අති විශාල බව අප අමතක කළ යුතු නැත.

අයවැය සම්බන්ධයෙන් ආණ්ඩුව මුහුණ දෙන ගැටලු තේරුම් ගැනීමේ වගකීමක් පෙරටුගාමී පුරවැසියන්ට තිබේ.

පසුගිය දශක ගණනාවක් තිස්සේ සීමාවකින් තොරව ලබා ගන්නා ලද ණය ආපසු ගෙවීමේ වගකීම රජයට තිබේ. ශ්‍රී ලංකා රජය මේ වන විට විදේශවලට පමණක් ඩොලර් බිලියන 50කට වඩා ණය ය. ඒවා ගෙවීමට රජයේ සමස්ත වියදමෙන් 40%ක් පමණ වෙන් කෙරේ.

ලංකාව මුල් කාලයේදී විදේශ ණය ලබා ගත්තේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි නිශ්චිත ඉලක්කගත සංවර්ධන ව්‍යාපෘති සඳහා ය. ණයත්, නාස්තිය හා දූෂණයත් අතර සම්බන්ධය මහින්දගේ කාලයේදී උපරිමයට ළඟා විය. දැන් ණය ගැනීම වැඩි වශයෙන් සිදු වන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා ගත් ණය ආපසු ගෙවීමට හා එදිනෙදා වියදම් පියවා ගැනීමටයි. මේ ආණ්ඩුව ද ණය ගැනීම අඩු කර නැති බව කිව යුතු ය.

මෙවැනි සංදර්භයක් තුළ ආණ්ඩුවට නත්තල් සීයා කෙනෙකු වීමේ හැකියාවක් නැති බව වටහා ගැනීමේ වගකීමක් ජනතාවට නැද්ද? 

ආණ්ඩුවට කළ හැකි දේ අතර තිබෙන ප්‍ර‍ධාන කාර්යයක් වන්නේ රාජ්‍ය වියදම් අවම කර ගනිමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි. පුළුල්ව විහිදුණු ධනේශ්වර රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් සමාජවාදීන් පෙනී සිටින්නේ ඇයි ද යන්න තේරුම් ගත නො හැකි කාරණයකි. රාජ්‍ය අංශය පුළුල් වෙන්නට, වෙන්නට ධනේශ්වර ආණ්ඩුවේ බලපෑම ද වැඩි වේ. එසේම, ජනතාව මත පැටවෙන බදු බර ද අති විශාල වේ. දූෂණය ද ඉහළ යයි. 

රාජ්‍ය අංශය ම මේ වන විට ආර්ථිකයට දැවැන්ත බරකි. දේශපාලකයාගේ සිට ඇට මහත්තයා දක්වා නිකමුන්ගෙන් පිරි රාජ්‍ය අංශයට වැටුප්, විශ්‍රාම වැටුප්, බදු සහන ආදිය ගෙවන්නේ දෙයියන් දුන් සල්ලිවලින් නො වේ. ලංකාවේ ආර්ථිකයේ බර දරා සිටින්නේ මේ කිසිදු වරප්‍රසාදයක් නො ලැබෙන මැද පෙරදිග රැකියා කරන ගැහැනු, පිරිමි, ඇඟලුම් කම්හල් කම්කරුවන් හා වැවිලි කම්කරුවන් ආදීන් බව නිරන්තරයෙන් සිහිපත් කළ යුතුව තිබේ.

පීඩිත පංතික ව්‍යාපාර සටන් කළ යුත්තේ මේ ජනතාවන් වෙනුවෙන් මිස ඔවුන් සූරා කන ධනපති,  දේශපාලක හා නිලධාරි පැළැන්තිය වෙනුවෙන් නො වේ.

නිකම් සිට මහජන මුදලින් පඩි හා විශ්‍රාම වැටුප් කන්නට රජයේ සේවයට බැඳීම අධෛර්යවත් කළ යුතු ය. රජයේ සේවය කාර්යක්ෂම කළ යුතු ය. විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ඉඩ නො දිය යුතු ය. එහෙත්, රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප සමාජ ආරක්ෂාවක් නැති පීඩිතයන්ට බරක් විය යුතු නැත. ඒ නිසා විශ්‍රාම වැටුප් විධිමත් කළ යුතු ය.

එසේම, රජයේ සේවකයන්ට ලබා දෙන වරප්‍රසාද රජයේ සේවයේ කාර්යක්ෂමතාව සමග සම්බන්ධ කළ යුතු ය. බදු සහන ආදී වරප්‍රසාද භුක්ති විඳිමින් ජනතාව පෙළන රජයේ සේවය වෙනුවට වචනයේ පරිසමාප්ත අරුතින් ම සේවයක් වන රාජ්‍ය අංශයක් ගොඩනැගිය යුතු ය.

මෙම කරුණු ටික පෙරදැරි කරගෙන ඔබ දෙස ම බලන්න. ඔබ පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද? ලංකාවේ වාමාංශිකයන් හා විප්ලවවාදීන් යයි කියන අය පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන් ද?

පීඩිත පංතික ව්‍යාපාර යයි තමන් හඳුන්වා ගන්නා පක්ෂ, කල්ලි, කණ්ඩායම් මේ මොහොතේ පෙනී සිටින්නේ මධ්‍යම පංතියේ කාර් සිහිනය වෙනුවෙනි. පෞද්ගලිකව මෝටර් රියක් හිමි කර ගත හැකි මට්ටමට රට දියුණු වෙනවාට අපි කැමති ය. එහෙත්, පීඩිතයන්ට තිබෙන මූලික ප්‍රශ්නය කාර් නො වේ.

ඔවුන්ට පෝෂණය අවශ්‍ය ය.
නිවාස අවශ්‍ය ය.
රැකියා අවශ්‍ය ය.
දරුවන්ට අධ්‍යාපනය අවශ්‍ය ය.
සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය ය.
සමාජ ආරක්ෂාව අවශ්‍ය ය.
ගමනාගමනයට පොදු ප්‍රවාහන පහසුකම් අවශ්‍ය ය.
............................................

ආණ්ඩුව අවධානය යොමු කළ යුත්තේ ඒ වෙනුවෙන් ය. සහනාධාර දිය යුත්තේ අත්‍යවශ්‍ය අය වෙනුවෙනි. පොදුවේ සමාජයේ මිළ දී ගැනීමේ හැකියාව වර්ධනය කිරීම හා නිදහස් වෙළඳපොළ මෙහිදී ප්‍ර‍බල සාධක දෙකකි. ආණ්ඩුව නිදහස් වෙළඳපොළ මත යම් පාලනයක් ද පවත්වාගෙන යයි. එය ඔවුන් හඳුන්වන්නේ සමාජ වෙළඳපොළ ක්‍ර‍මයක් ලෙසයි. 

ලෝකයේ පවතින්නේ ධනේශ්වර ක්‍ර‍මයකි. ලංකාවට පමණක් සමාජවාදී වන්නට බැරි ය. හැම රෙද්දට ම නව ලිබරල්, නව ලිබරල් කිය කියා නැටුවාට මේ සමාජවාදීන්ට විකල්ප නැත. වාදයන් පසෙක තබා බැලූ කල ලංකාව සංවර්ධනය වෙන්නට නම් දේශීය හා විදේශීය ආයෝජකයන් දිරි ගැන්විය යුතුව තිබේ. ඒ වෙනුවෙන් ශ්‍ර‍ම වෙළඳපොළ ලිබරල් කරන්නට ද සිදු වේ. කම්කරු පංතියට එහි අහිතකර විපාක නැති බවක් මම නො කියමි. එහෙත්, සැබෑ කම්කරු පංතිය හා ගතානුගතික වෘත්තීය සමිති ව්‍යාපාරය අතර සම්බන්ධය අවම ය. ලංකාවේ වෘත්තීය සමිති යනු මධ්‍යම පංතික අවයවයකි. ඒවායේ නායකයන් කම්කරුවන් හඳුනන්නේවත් නැත. විදේශ ශ්‍ර‍මිකයන්, ගෘහ සේවකයන්, සාප්පු සේවකයන්, සනීපාරක්ෂක සේවා සමාගම් කම්කරුවන්, ඉදිකිරීම් කම්කරුවන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි සැබෑ වැඩ කරන ජනතාවට දැනටත් ඔය වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් නැත. ඔවුන් සිතන්නේ රස්සාව ගැන මිස වෙනත් කරුණු ගැන නො වේ. පෞද්ගලික අංශයේ සෑම මට්ටමක ම පාහේ සේවකයන්ගේ තත්වය මීට වෙනස් නො වේ. 

මේ රටේ වාමාංශිකයන් සිතන්නේ ආණ්ඩු තිබෙන්නේ ජනතාවගෙන් බදු අය නො කර, ධනවතුන්ගේ හා පීඩිතයන්ගේ මුදල් මංකොල්ල කා, මධ්‍යම පංතියට නිකම් ඉඳිමින් ගන්නට වැටුප්, විශ්‍රාම වැටුප්, තීරු බදු රහිත වාහන, ගෙවල් ආදිය සපයන සරදියෙල් කෙනෙක් කියා ය. 

ඔවුන්ගේ සමාජවාදී පරමාදර්ශ වන චීනය, වියට්නාමය වැනි රටවල ආර්ථික ප්‍ර‍තිපත්ති හදාරන්න. මොවුන් බලයට පැමිණියහොත් කරන්නේ එයයි. ඒ වනාහි ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයෙන් තොර, ඒකාධිපති රතු ධනවාදයකි. රතු නව ලිබරල්වාදයක් ලෙස ද එය හඳුන්වන්නට පුළුවන. ඔවුන්ට ඒ සඳහා පාර කපා දෙන්නට මේ රටේ ජනතාව සිය ජීවිත කාලකන්නි කර ගත යුතු නැත. 

අප විකල්ප වෙනුවෙන් අරගල කළ යුතු ය. එහෙත්, ජනතාවගේ ජීවිත කාලකන්නි නො කරන මූලික කොන්දේසිය ආරක්ෂා කර ගත යුතු ය. 

පහත පළ වන්නේ මේ රටේ වරප්‍ර‍සාද, සුබසාධනය, සමාජාරක්ෂාව අවම කම්කරු ප්‍ර‍ජාවක් ගැන ලිපි දෙකකි. 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-25

රාගම දුම්රිය සිද්ධියෙන් ප්‍ර‍කාශ වන පොදු ප්‍ර‍වාහනයේ දැවෙන ප්‍ර‍ශ්නයට වහා විසඳුම් දෙනු!

කලුතර නගරයෙන් උදේ හයහමාරට පටන් ගත් විට කාර්යාල වේලාවේදී දුම්රිය පෙළක් ම වැල නො කැඩී කොළඹ දෙසට ඇදෙයි. සවස ද හතරහමාරට පමණ පටන් ගත් විට දුම්රිය වැලක් මුහුදුබඩ දුම්රිය මාර්ගය දිගේ ධාවනය වේ. මේ දුම්රිය එන්නේ එකක් පසුපස එකක් ලෙස ය.

මෙම තත්වය සෙසු දුම්රිය මාර්ගවල ද මෙසේ ම ය.

දුම්රිය රියදුරෝ මහත් වගකීමකින් යුතුව ධාවනය කරති.

දුම්රිය දෙපාර්තමේන්තුව දවසකට මගීන් 165,000ක් කොළඹට ගෙන එයි. (කොළඹ ට්‍රැෆික් විස්තර මෙතැනින්)

මම දුම්රියේ එන්නේ එය ඉතා ඉක්මණින් කොළඹට ළඟා වන නිසා ය. ශීඝ්‍රගාමී දුම්රියක් සාමාන්‍යයෙන් පැයකට අඩු කාලයකදී කලුතර සිට කොළඹට ළඟා වෙයි. බසයක් ඒ වෙනුවෙන් පැය එකහමාරකට වැඩි කාලයක් ගනියි.

මා ගමන් කරන්නේ දෙවන පංතියේ ය. ඒ වාඩි වී යා හැකි නිසා නොව ටිකක් තදබද වී හිටගෙන යා හැකි නිසා ය. තුන්වන පංතිය යනු තනිකර පොල් ලොරියකි. දෙවෙනි පංතිය කියා වැඩි වෙනසක් නැත.

මේ පොදු ප්‍රවාහන සේවාවල තත්වයයි. මෙවර අයවැයෙන් ද පොදු ප්‍රවාහනය දියුණු කිරීම සඳහා කිසිදු හරවත් යෝජනාවක් කර නැත. වැදගත් අලුත් ආයෝජන ද නැත. මෙය අයවැයෙහි තිබෙන ලොකුම ගැටලුවකි. මෙයට හේතුව වැඩකට නැති නිදිමතයෙක් ප්‍රවාහන ඇමති වීමයි. අයවැයෙන් මුදල් ලබා ගැනීමට හෝ ව්‍යාපෘති කිරීමට ඔහුට උවමනාවක් ඇති බවක් නො පෙනේ.

පසුගිය සඳුදා රාගමදී පුපුරා ගියේ පොදු ප්‍රවාහන සේවාවල මගී අසහනයයි. පොල් පැටවූ ලොරි වැනි දුම්රියවලට මගීන් නගින්නේ පිළිකුළෙනි. කෙටි කාලයකින් ගමන නිම කරගන්නට ය. දුම්රියෙන් බසින මගීන් පිටතට එන්නේ පැසවූ හොරි ගෙඩියක් පුපුරා සැරව විසි වෙන්නාක් සේ ය.

එවැනි හොරියක් ඇතුළේ සිටින මගීන් ප්‍රකෘති තත්වයෙන් හැසිරීම ද අපේක්ෂා කළ නො හැකි ය.

එහෙත්, දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළෙමින් සිටි, වයස අවුරුදු 63ක් වන වැඩිහිටියකු වූ දුම්රියේ රියදුරාට පහර දෙන්නට හැකිකම ඇත්තේ නම් තිරිසනුන්ට ය. 

වරද තිබුණේ රියදුරාගේ නොවේ. දුම්රිය පද්ධතියේ ය. ඒ කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ හා ප්‍ර‍වාහන අමාත්‍යාංශයේ ය. 


  • මෙවැනි තත්වයක සිටි රෝගියකු අතට ජීවිත දහස් ගණනක් භාර දුන්නේ ඇයි?
  • ඕනෑම නිරෝගී පුද්ගලයෙක් ක්ෂණිකව රෝගී විය හැකි ය. දුම්රිය රියදුරකුට රෝගී වූ විට දෙපාර්තමේන්තුව දෙන්නට විසඳුමක් නැද්ද?
  • මෙවැනි මහජන කැළඹිලිවලදී මොබ් මානසිකත්වයේ සිටින පුහු වීරයෝ ඉදිරියට එති. පොලිසිය සිටියේ කොහි ද? ඔවුන් දුම්රිය රියදුරාට ආරක්ෂාව නො දුන්නේ ඇයි?


අයවැය විවාදය අතරතුරදී පොදු ප්‍ර‍වාහන සේවා සංවර්ධනය සඳහා මුදල් වෙන් නො කර, අලුතෙන් ප්‍ර‍වාහන ක්ෂේත්‍ර‍යට අදාළ බදු පැනවීමට විරෝධය පළ කරමු. 


  • දුම්රිය දෙපාර්තමේන්තුවට අලුතෙන් දුම්රිය එන්ජින් හා මැදිරි ලබා දෙනු! 
  • පොදු හා පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කර කාලසටහනකට බස් ධාවනය කරනු! 
  • කුඩා බස් හිමියන් ගොනු කර බස් සමාගම් පිහිටුවනු!
  • පොදු ප්‍ර‍වාහන බස් රථ ධාවනය වම් පස එක් මං තීරුවකට පමණක් සීමා කරන ට්‍රැෆික් නීති අහෝසි කරනු! 
  • තමන්ගේ පෞද්ගලික වාහනයේ ආසන සංඛ්‍යාවෙන් 3/4ක් හෝ මගීන් නැති පෞද්ගලික වාහන කාර්ය බහුල වේලාවලදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ධාවනය අධෛර්යවත් කරනු! කාපූලින් සේවා දිරි ගන්වනු!


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-24

ජීවිතය අන් තැනක: ශාස්තෘ

ප්‍රියන්ත ලියනගේ , සත්හඬ 2015 නොවැම්බර් 15 

මහත්තයගෙ නම කියන්නැයි ව්‍යාපාර ස්වරූපී හඬකින් කියූ ඇය මා දෙස නොබලාම සිය ස්පාඤ්ඤ ජාතික ආච්චි අම්මාගෙන් සොරකම් කරගෙන පෝල් අයිවන් මට තෑගි දුන් අනතුරුව මා තුලනිට දුන් පළමු තෑග්ග වූ ඒ අනාගතය කියන මායාකාර උල්පත් පෑන ගෙන නම් ලැයිස්තුවක් ලියූ මොනිටර් අභ්‍යාස පොතක හිස් රූලක් මත එහි රත් පැහැ තුඩ තැබුවාය.

‘ඉන්ද්‍රනාම’ මම කියමි’


අද අපේ ලියමනේ ශාස්තෲගේ කතාව කතුවරයා අවසන් කරන්නේ එලෙසින්. ඔව්; ඔහු ශාස්තෲ බවට පත් වූ ඉන්ද්‍රනාමය. වෙනත් විදියකින් කියනවා නම් අපේ කාලේ වාමාංශික දේශපාලනය තුළ මංමුලා වූ ඉන්ද්‍රනාමය. ඉතින් ඉන්ද්‍රනාමගේ හෝ ශාස්තෲගේ කතාවට පිවිසීමට මත්තෙන් එහි කතුවරයාගේ ජීවිතය ගැන කෙටි එබී බැලීමකට යාමට මා කැමැතිය. ඔහු අජිත් පැරකුම් ජයසිංහය. 

අජිත් ශාස්තෲ කෘතිය නම් කරන්නේ සම්පූර්ණ මනඃකල්පිත ප‍්‍රබන්ධයක් ලෙසය. එහෙත් මේ කෘතිය තුළ දී ප‍්‍රබන්ධ නාම සහිතව වුවත් අපට හමුවන්නේ යුගයක වාමාංශික දේශපාලනය වෙනුවෙන් දිවි දෙවැනි කොට වැඩ කෙරූ මිනිස් ප‍්‍රාණීන් සමූහයකගේ අවතැන් ජීවිත කතාවය.

එකී ‘වාමාංශික ව්‍යාපාරය’ ඉන්ද්‍රනාමලා නැතුව ද අදත් යෙහෙන් වැජඹේ. ඒ ධනපති නායකයන්ගේ ආශිර්වාදය ද සහිතවය. උන්ට අනුව විවිධ හේතූන් මත ඒ දේශපාලනය හැර ගිය සියල්ලෝම ද්‍රෝහීන්ය. වීරයන් හා ද්‍රෝහීන් නිර්ණය කරනා නිර්ණායක එතරම් ම සරලය. එහෙත් ඉතිහාසය එතරම් සරල නැත. වාමාංශික අවකාශයෙන් ඉවතට විසි වූ හෝ විසි කර දැමූ ඉන්ද්‍රනාමලා යනු ඒ සරල නොවූ ඉතිහාස පරිච්ඡේදයේ ජීවප‍්‍රාණීහු වෙති.

ඉන්ද්‍රනාමට වාමාංශික දේශපාලනයේ පළමු අඩිතාලම වැටෙන්නේ සිරිල් මාමාගෙනි. සිරිල් මාමා යනු 71 අපේ‍්‍රල් කැරැුල්ලට සම්බන්ධව සිරගතව සිට පැමිණියෙකි. ඉන්ද්‍රනාමගේ අත්තම්මාගේ දුර ඥාති පුතෙකු වූ ඔහු නැවතී සිටියේ ඒ අත්තම්මාගේ සෙවණේ ඉන්ද්‍රනාමලාගේ නිවසේය. 71 කැරැල්ලෙන් පසුව ජවිපෙන් ඉවත්ව සිටි ඔහු ඒ වෙද්දිත් වෙනත් වාමාංශික ව්‍යාපාරයක් හැදීමේ ව්‍යායාමයක නිරතව සිටියෙකි. ‘වානේ පන්නරය ලැබූ හැටි’ සහ වෙනත් විප්ලවීය සාහිත්‍ය කෘති හරහා ඉන්ද්‍රනාමව වාමාංශික දේශපාලනයට ආශක්ත කර වූ පළමු වාමාංශික මඟ පෙන්වන්නා වූයේ සිරිල් මාමාය. සිරිල් මාමා තම දේශපාලන මුල් ගෙය හැරපියා වෙනත් වාමාංශික ව්‍යාපාරයක් නිර්මාණය කරන්නට වෙහෙස වෙමින් සිටිය දී ඉන්ද්‍රනාම ශිෂ්‍යයකු ලෙස ‘පංති පහේ’ දේශපාලනයෙන් සිරිල් මාමා හැරපියා පැමිණි දේශපාලන නිවසේ පූර්ණකාලීනයකු ලෙස පදිංචි වන්නේය.

කතෝලික බැතිමතියකු වූ ආච්චි අම්මාගේ ආදරයෙන් හා දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන අම්මාගේත් වෘත්තීය සමිති දේශපාලනයේ නිරතව සිටි තාත්තාගේත් සිරිල් මාමාගේත් ඇසුරෙන් මිදී සිය නිවස හැර දමා එන්නේ මේ නව භෞතීෂ්මයත් සමඟය. නව දේශපාලන ව්‍යාපාරයක් හදන්නට සිතන සිරිල් මාමාට අනුව පැරැුණි නමුත්, ඉන්ද්‍රනාමට අනුව අලූත් වාමාංශික නිවස හා එහි කටයුතු එතෙක් පටන් ඉන්ද්‍රනාමගේ ජීවිතය විය. ඒ ජීවිතය තුළ ඔහුගේ ජීවන සහකාරයෝ වූයේ සේදර, අභය, අසිත, ලැම්බට්, සිරිමෙවන්, සනත්, සෝභිත, නෙළුම් ආදීහුය. මර්දනකාරී වටපිටාවක පක්ෂය නමැති මාහා යාන්ත‍්‍රණයේ දැති රෝදය කරකැවූ ඔවුන් එහි තෙවන පෙළ බළඇණිය විය. ව්‍යාපාරය මර්දනය හමුවේ පළමු පෙළ බළඇණියේ සියල්ලෝම පාහේ විනාශ වූහ. දෙවන පෙළ බළඇණියේ ද සෑහෙන්න පිරිසක් ඊට ගොදුරු වූහ. අතරින් පතර ඉතිරි වූ බොහෝ දෙනකු සිටියේ සිරගෙවල්වල හා තැන් තැන්වල හුදෙකලාවේය. සමහරු රට හැර ගොස් සිටියහ. ඉතින් වනගත වුණු ඉන්ද්‍රනාමලා හා එක්ව සේදරලා ව්‍යාපාරය යළි සකසන්නට විවිධ උත්සාහයන් දැරීය. ඒවා තුළ ඉස්මතු වූ ඇතැම් පෞද්ගලික අගතීන් ද නැත්තේ නොවේ. එහෙත් ඒවා ව්‍යාපාරයක අගතීන්ගෙන් සහමුලින් වියෝ වූ ඒවා ද නොවේ. මේ සියල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස එම දේශපාලන හෙයියම්මාරුව ද අසාර්ථක වූ තැන ඉන්ද්‍රනාම ඉන්දියාවේ ප‍්‍රත්‍යන්ත ජනපදයකට පලා යයි.

ඉන් අනතුරුව අපට අභිමුඛ වන්නේ ඉන්ද්‍රනාම නොව ශාස්තෲවරයෙකි. එම ශාස්තෲ යළි ලංකාවට එන්නේ ඔහු හැරදා ගිය බිරිඳගෙන් හා නොදුටු දරුවාගෙන් සමුගෙන ජීවිත රඟ මඬලෙන් බැස යාමේ අරමුණ පෙරදැරිවය.

‘‘1987 දී සැබැවින්ම ඉන්ද්‍රනාම නම් වන මම නෙළුම් සහ තවත් තිදෙනෙක් විප්ලවවාදී පක්ෂයේ පංච පුද්ගල කමිටුවක එකට දේශපාලනය කළෙමු. ඒ වනාහී මගේ සත්‍ය ගවේෂණයේ මුල් පියවරයි. ඔවුන්ගෙන් ඇතැමෙක් හා තවත් අය මට ඉදිරි දින කිහිපයේ දී නැවත හමුවෙති....’’

එම හමුවීම් තුළ වන සේදර යනු මර්දනයට ලක් වුණ ව්‍යාපාරය වෙනුවට නව පන්නයක ව්‍යාපාරයක් හදන්නට දේශපාලනයෙන් පලා යමින් සිටි ඉන්ද්‍රනාමව යළි පොලඹවා ගත් සගයාය.

කාන්තා බැංකු ව්‍යාපාරයක් හරහා අලූත් ව්‍යාපාරයකට අඩිතාලම දමා ගන්නට ඉන්ද්‍රනාම කල්පනා කළේ සේදරගේ පෙලඹවීම නිසාය. එහෙත් බැංකු ව්‍යාපාරය සරුවට යද්දී දේශපාලන පක්ෂය ගොඩනැගීමේ සේදරගේ වුවමනාව හීන වී යයි. අවසානයේ එය අසාර්ථක වෙද්දී එහි ඉතිරි තැන්පතු මුදල් ද සමඟ සේදර ඔහුට ද හොරෙන් රට පනියි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ ණයකරුවන්ගෙන් බේරීම සඳහා වංචාකාරයකු ලෙස ඉන්ද්‍රනාමට ද රටින් පලා යාමට සිදු වීමයි.

සූර්ය වන්දනාව අභිචාරයක් කර ගනිමින් ශාස්තෲ ලෙස යළි උත්ථානය ලබන්නේ එම පලා ගිය වංචාකරුවා වූ ඉන්ද්‍රනාමය. නෙළුම් යනු ද පසුව එම ආගමික රැුහැනේම පැටළුණ ඉන්ද්‍රනාමගේ විප්ලවවාදී පක්ෂයේ ඔහු සමඟ එකම පහේ කමිටුවක සිටි සාමාජිකාවකි. ඇය එකල ඉන්ද්‍රනාම රහසින් පෙම් කළ පේ‍්‍රමවන්තිය ද වූවාය. 

නෙළුම් යනු තමන් හා එක්ව දේශපාලන සටනක් කළ සහෝදරියයි. ඒත් ඒ නෙළුම්ට ඉන්ද්‍රනාම ශාස්තෲ ලෙස අද පවසන්නේ වෙනස් කතාවකි. ‘‘නෙළුම් අපි මේ ක‍්‍රමය වෙනස් කරන්න දේශපාලන සටනක් කරන්නෙ නැහැ. අපි මේ සමාජ ක‍්‍රමයේ පොදු දුර්ගුණවලින් හැකි තරම් මිදුණු උත්තර ප‍්‍රජාවක් නිර්මාණය කරන්න වෙහෙසෙනවා. ලෝකයේ බහුතරය අපි වැනි උත්තම ප‍්‍රජාවක් වුණොත් ලෝකය වෙනස් වෙයි...’’
ඒ උත්තම ප‍්‍රජාවේ මහා ආගමික කාව්‍ය නිර්මාණය කළ ශාස්තෲ වූයේ ඉන්ද්‍රනාම නම් හිටපු විප්ලවවාදියාමය. එහෙත් සත්‍යය නම් තමන් ලිංගිකාර්ෂණයෙන් දපනෙ වැටුණු උමා දේවිය කෙරෙහි ඔහු සිත තුළ වූ ලිංගික ප‍්‍රහර්ශයේ ප‍්‍රතිඵලයක් ලෙසින් එම මහා කාව්‍යය බිහි විමයි. මේ සූර්ය වන්දනා ප‍්‍රජාවේ මහා ආගමික ග‍්‍රන්ථයේ උත්පත්ති කතාව එබඳුය.

ශාස්තෲගේ කතාව මෙලෙසින් ඔබට තවදුරටත් සිද්ධි වාචිකව විස්තර කිරීමට මම නොයමි. ශාස්තෲ යනු හිටපු විප්ලවවාදියෙකි. ‘විප්ලවවාදී පක්ෂ’වලින් විවිධ හේතූන් මත සාමාජිකයෝ පිටව යති. ඒවාට රාජ්‍ය මර්දනය, පෞද්ගලිකත්වය ඉස්මතු වීම, පක්ෂවල අත්තනෝමතික ස්වභාවය මේ සියල්ලම හේතු පාදක විය හැකිය. ඒ පිටව යන මිනිසුන් ඉන් අනතුරුව විවිධ නවාතැන්පොළවල නවතියි. ඉන්ද්‍රනාම නම් හිටපු විප්ලවවාදියා තම නවාතැන කරගන්නේ තමන් විසින්ම ගොඩනැගූ සූර්ය වන්දනාව අභිචාරයක් කොට ගත් ආගමික මධ්‍යස්ථානයකි. අප මතක තබාගත යුතු වැදගත් දෙය නම් මේ ආගම් ගොඩ නගන්නෝ ආගමික නොවූ තාර්කික චෞරයන් බවය. එහෙත් මේ ආගම්වල බැතිමතුන් අතාර්කික මිනිසුන්ය. වත්මන් විප්ලවී යැයි කියා ගන්නා බොහෝ දේශපාලන පක්ෂ ද මේ ආගම් බඳුය. ඒවායේ බොහෝ සාමාජිකයන්ට පක්ෂ නායකයන් යනු ආගමික ශාස්තෲන් වැනිය. ඒත් ඒ බැතිමත් සාමාජිකයන් නොදන්නේ ඒවායේ බොහෝ නායකයන් තාර්කික වූ අම්බ කපටීන් බවය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-22

පැහැදිලි අයවැය යෝජනාවලියක්

කැඩිච්ච සිංහලෙන් පැය හතරකට වඩා දිග කතාවක් අසා සිටීම කම්මැලි වැඩක් වුණත් අයවැය වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකි 
අයවැය යෝජනා යනු ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය ප්‍රකාශ කරන අවස්ථාවකි. ඒවා ක්‍රියාත්මක කරන්නටත් පුළුවන. නො කරන්නටත් පුළුවන.

රජයේ අයවැය යෝජනා අතර කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තිබේ. ඒවා මෙසේ ය:


  • අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය
  • සහනාධාර ක්‍රම අධෛර්ය කිරීම
  • වාහන භාවිතය අධෛර්ය කිරීම
  • ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම
  • සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම


අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය

අයවැයෙන් ඇතැම් භාණ්ඩවල මිළ පාලනය කර තිබේ. ඇතැම් මිළ පාලනයන් නරක දේ නො වන බව කුකුළු මස් වැනි භාණ්ඩ සම්බන්ධයෙන් කලක සිට ක්‍රියාත්මක වන මිළ පාලනයන් දෙස් දෙයි. මිළ පාලනය හේතුවෙන් වටිනාකම එකතු කළ නිෂ්පාදන අලෙවියට ද දිරිමත් කෙරේ. උදාහරණයක් ලෙස මස් වෙළෙන්දෝ කුකුළාගේ හම ගසා හම වෙනම විකුණා, සම රහිත කුකුළු මස් වැඩි මිළකට විකුණති. චිකන් කොටස් අලෙවියක් ද තිබේ. එහෙත් වටිනාකම එකතු කිරීම මීට වඩා දෙයක් වෙනවා නම් හොඳ ය. ආප්ප, ප්ලේන් ටී වැනි භාණ්ඩවල මිළ පාලනය කරන්නට ද පසුගිය දිනවල ආණ්ඩුව මැදිහත් වූයේ ය.මිළ පාලනය යනු ඉතා කල්පනාකාරීව කළ යුතු දෙයකි. ප්‍රායෝගිකත්වයෙන් අඩු වුණත්, ජනප්‍රියත්වය රැක ගැනීමට ඉවහල් වේ

සහනාධාර ක්‍රම අධෛර්ය කිරීම

මෙය මතභේදයට තුඩු දෙන කාරණයකි. සහනාධාර ලැබිය යුත්තේ ඒවා අත්‍යවශ්‍ය කොටස් වෙත ය. සියලු දෙනාට සහනාධාර අවශ්‍ය නැත. උදාහරණයක් ලෙස ඉහළ පෙළේ පාසල්වලට ළමයින් යවන මව්පියන්ට නොමිළේ දෙන බාල රෙද්දෙන් වැඩක් නැත. එහෙත් දිළිඳු පාසල් දරුවන්ට එක නිල ඇඳුම් රෙදි කට්ටලයකට වඩා ලබා දිය යුතු ය. 

පොහොර සහනාධාරය ද විශාල නාස්තියකට හේතු වී තිබේ. පොහොර සහනාධාර ලබා දිය යුත්තේ වෘත්තීය ගොවියන්ට ය. එසේම, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර දිරිගැන්විය යුතු ය.

සමාජවාදී අර්ථයකින් ගත්තත් මෙම පියවර දිරි ගැන්විය යුතු ය. ජනතාව ලෙස ආණ්ඩුව ලවා කරවා ගත යුත්තේ ජනතාවගේ මිළ දී ගැනීමේ ශක්තිය වැඩි කර ගැනීම සඳහා පියවර ගැනීම මිස හැම රෙද්දකට ම මැදිහත් වන ආණ්ඩුවක් ගොඩනැගීම නො වේ. ආණ්ඩුවල පාලන හැකියාව අනවශ්‍ය තරම් ශක්තිමත් වීමට සහනාධාර ද එක් හේතුවකි.

එහෙත්, ආණ්ඩුවට විරුද්ධව ජනතාව උසිගන්වන්නට බලා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හා ඔවුන් කඩේ යවන මහින්ද රාජපක්ෂ බලවේගයට මේවා පනින රිලවුන්ට ඉනිමං වැනි ය. මෙවැනි ක්‍රියාමාර්ග පැහැදිලි කර දීමට අවශ්‍ය මාධ්‍ය ශක්තිය ආණ්ඩුවට තිබේ ද යන්න සැක සහිත ය.

දේශපාලකයන්ට හා ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන සහනාධාරය අත්හිටුවීම රජය විසින් ගන්නා ලද විප්ලවීය ම ප්‍රතිපත්තිමය පියවරයි. මෙය මහ දවල් මංකොල්ලයක් වැළැක්වීමකි. මෙම ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට ධෛර්යය දීම ජනතාවගේ පැත්තෙන් ගත යුතු සමාජවාදී පියවරකි. දේශපාලකයන් තරම් ම දූෂිත ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් මෙයට එරෙහිව අවි අමෝරා ගැනීමට ඉඩ තිබේ. 

වාහන භාවිතය අධෛර්ය කිරීම

මේ වන විට කොළඹ මාර්ග තදබදය දරා ගත නො හැකි තත්වයකට පත් වී තිබේ. ලංකාවේ මාර්ග පද්ධතියට දරා ගත නො හැකි තරම් වාහන සංඛ්‍යාවක් භාවිතයට පැමිණ ඇති බව පැහැදිලි ය. (කොළඹ වාහන තදබලය ගැන මෙතනින් කියවන්න) වාහන ආනයනය වෙනුවෙන් වැය වන්නේ විදේශ විනිමයයි. 

එහෙත්, මිනිස්සු තමන් ළඟ වාහනයක් තබා ගැනීමට පෙළඹෙන්නට එක් හේතුවක් වන්නේ පොදු ප්‍රවාහන සේවාවල දුර්වලකම ය. පෞද්ගලික වාහන හා ත්‍රිරෝද රථ නැතිනම් කොළඹින් බැහැර ජනයාට ගමන් බිමන් යන්නට ක්‍රම අල්ප ය.

පොදු ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීමේ වැදගත් යෝජනා අයවැයෙහි නැත. බස් සේවා ඒකාබද්ධ කර විධිමත් කිරීමට හෝ බැරෑරුම් උත්සාහයක් ආණ්ඩුව පැත්තෙන් නැත. ප්‍රවාහන ක්ෂේත්‍රයේ කුඩා ව්‍යවසායකයන් ඒකාබද්ධ කර සමාගම් නිර්මානය කිරීම ද නියාමනයෙහිදී වඩා ඵලදායී වේ. ලංගමට තව බස් ගෙන්වීම නම් වැඩක් ඇති වැඩකැයි සිතිය නො හැකි ය. ලංගම, දුම්රිය වැනි ලාභ ලැබිය හැකි ව්‍යාපාර මහජන මුදලින් නඩත්තු වීම අවසන් කිරීමට පියවර ගත යුතු ය.

පික් මී වැනි කුලී රථ සේවා සම්බන්ධීකරණ මෙවලම් කොළඹින් බැහැරට ද හඳුන්වා දීමට පෞද්ගලික ව්‍යවසායකයන් දිරි ගැන්විය යුතු ය.

මේ වන විට වාහනය උපයෝගී භාණ්ඩයකට වඩා පාරිභෝජන සංස්කෘතික ලක්ෂණයක් වීම සෑම සමාජ තරාතිරමක් කරා ම විහිදී තිබේ. ඒ නිසා වාහන භාවිතය අධෛර්ය කිරීමේ පියවර දැඩි විරෝධයට ලක් වනු ඇත.

කෙතරම් ජනප්‍රිය නැති වුණත්, මෙම පියවර ආරක්ෂා කර ගැනීම ආර්ථිකය පැත්තෙන් වැදගත් ය. 

ඍජු විදේශ ආයෝජන හා සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම

ආයෝජන මණ්‌ඩලය, අපනයන සංවර්ධන මණ්‌ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතන ප්‍රතිව්‍යූහගත කිරිමට නියමිත අතර එම ප්‍රතිව්‍යූහගත ක්‍රියාවලිය අවසාන වන තෙක්‌ ඒ සඳහා සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය නම් වූ සංවිධානයක්‌ පිහිටුවීමට යෝජනා කර තිබේ.

රටට විදෙස්‌ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා විදේශිකයන්ට ඉඩම් බදු දීමේ දී පනවා ඇති බදු ඉවත් කිරීමට ඉඩම් පනත යටතේ හඳුනාගත් ආයෝජනවල හිමිකාරිත්වය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් ඉවත් කිරීමටද සලකා බැලීමට නියමිතය.

ආයෝජන ප්‍රවර්ධනය සඳහා බාධාකාරී විනිමය පාලන පනත අහෝසි කිරීමට හා ආයෝජන හිතකාමී විදේශ විනිමය කළමනාකරණ පනතක්‌ හඳුන්වාදීමට ද අයවැයෙන් යෝජනා කර තිබේ.

දේශීය ශ්‍රමිකයන් සමඟ කටයුතු කරනු ලබන විදේශ‍ීය ඉදිකිරීම් සමාගම් සඳහා දැනට පවත්නා බදු නිදහස තවදුරටත්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ පුහුණුවන ශ්‍රමිකයන් සඳහා රුපියල් 10000 ක මාසික දීමනාවක් ලබා දීමත්, සංවර්ධන ඉලක්ක සමග ඉදිකිරීම් කර්මාන්තයේ පිබිදීමක් අපේක්ෂාවෙන් ගත් පියවරක් බව පෙනේ.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම

සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ගේ ගැටලු අවම කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට කර තිබෙන යෝජනාව ද ප්‍රශස්ථ පියවරකි. එසේම 2016 දී මිලියන 500 ක ණය මුදලක් වෙන් කර තිබේ. භාණ්ඩ අලෙවිකරණය සඳහා අතහිත ලබා දෙන බව ද පැවසේ.

කෘෂි, ධීවර වැනි ක්ෂේත්‍ර වෙනුවෙන් ද යම් වැදගත් යෝජනා ඉදිරිපත් වී තිබේ. එහෙත්, මේ ක්ෂේත්‍ර කෙරෙහි යොමු කර තිබෙන්නේ සාපේක්ෂව අඩු අවධානයක් බව පෙනේ. අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වී ඇති බවක් අයවැයෙන් පෙනේ. 

විශ්‍රාම වැටුප

2012 වසරේ ජනගහණ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට සමස්ත ජනගහණයෙන් 12.4%ක් වන ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණ අනුපාතය 2020 වන විට 16% දක්වා ද, 2050 වන විට 29%දක්වා ද වැඩි වනු ඇතැයි ප්‍ර‍ක්ෂේපණය කර තිබේ. එබැවින් වගකීමක් ඇති කිසිදු රජයක් ජනතාවගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමට කටයුතු කරනු ඇතැයි සිතිය නො හැකි ය. (ජනගහණයේ වැඩි වන වැඩිහිටි අනුපාතය ගැන මෙම ලිපියෙන් කියවන්න

විශ්‍රාම වැටුප් ක්‍රම විධිමත් කළ යුතු ය. සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රම නො වේ. ඒවා විධිමත් කළ යුතු ය. එහෙත් රජය කරන්න යන්නේ කුමක් ද යන්න ගැන පැහැදිලිව කිව යුතු ය. 

මේ වන විටත් පෙරටුගාමී සමාජවාදී ව්‍යාපාරය වැනි පක්ෂ මෙය විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමක් ය යන ආන්තික මතය ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-21

සිංග්ලිෂ් අයවැය හා ලාංකිකයන්ගේ පශ්චාත් යටත් විජිත භාෂා අරගලය

අයවැය ගැන තව හැදෑරිය යුතු ය. මේ සටහන අයවැය ගැන නො වේ. රවී කරුණානායකගේ සිංහල ගැන ය. 

මේ වනාහි පළමු වරට සිංග්ලිෂ්වලින් කියැවුණු අයවැය යයි මම සිතමි. රවී කරුණානායකගේ සිංහල පිටපත ලියා තිබුණේ ඉංග්‍රීසි අකුරෙන් ද කියා මම නො දනිමි. මොහිදීන් බෙග් සිංදු කීවේත් ඒ වගේ ය. 

එහෙත්, රටේ වැඩි දෙනෙක් ඔහුට අනුකම්පා කළ හ. 

“මයි සිංහල ඉස් නොට් වෙරි ගුඩ්" යි කියන, නමින් සිංහල වන කොළඹ කේන්ද්‍රීය එක්තරා පැළැන්තියක් මට නිතර හමුවෙයි. එහෙත්, ඔවුන් ඒ තරම් ඉංග්‍රීසි දන්නේත් නැති බව ඔවුන් ලියන දේ අනුව පෙනේ. ඔවුන් වැඩිපුර හදාරා ඇත්තේ ඉංග්‍රීසි කථනය හා ව්‍යාපාර ලේඛනය වැනි දේ බව මම සිතමි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශාරද දැනුමක් තිබේ යයි කියන්නට හැකි වන්නේ ඉංග්‍රීසි සාහිත්‍යය ඇසුරු කර ඇති අයටයි. එහෙත්, ලංකාවේ සිටින සිංහල දන්නේ නැති බව ආඩම්බරෙන් කියන වැඩි දෙනෙක් ඉංග්‍රීසි සාහිත්‍යය දන්නේ ද නැත. එහෙත්, චතුර ඉංග්‍රීසි උච්චාරණයෙන් ඔවුන් සමාජය යටපත් කර ගැනීමට සමත් වෙති. මොවුන්ගේ සම්භවය බ්‍රිටිෂ් කවුන්සිල් නම් යටත් විජිතවාදී ටියුෂන් සෙන්ටර් එක ය. 

සම්මන්ත්‍රණ, සම්මේලන ආදියෙහිදී රාජ්‍ය අංශය නියෝජනය කරමින් සාරගර්භ ඉදිරිපත් කිරීම් කරන බොහෝ ප්‍රවීණයෝ ඉංග්‍රීසි කථනයෙහිදී සිටින්නේ සාමාන්‍ය ව්‍යවහාරික මට්ටමේ බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි. එහෙත්, ඔවුන් විෂය සම්බන්ධයෙන් විශාරදයෝ ය. ලේඛනවලදී ද ඔවුහු වඩා හොඳින් භාෂාව හසුරුවන බව පෙනේ. ඔවුන්ගේ කථන ව්‍යවහාර සීමාව සලකුණු වන්නේ ගෙදරදී සිංහලෙන් කතා කිරීම, සේවා ආයතනයේදී බොහෝ විට සිංහලෙන් වැඩ කිරීම, මහජන සම්බන්ධතාවලදී සිංහල භාවිතා කිරීම, දේශපාලනයෙහිදී සිංහල ජාතිකවාදියකු වීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ඔවුන් ඉදිරිපත් කරන කරුණු මිස ඔවුන්ගේ භාෂාව ගැන අවධානයක් යොමු නො වීම නිසා ගැටලු පැන නො නැගීම වැනි හේතු මත ය. 

ලංකාවේ අති බහුතරයකට ඉංග්‍රීසි යනු දෙවන භාෂාවක් පමණි. එය පළමු භාෂාව බවට පත් කරන්නට උත්සාහ කළ මධ්‍යම පංතික රැල්ල යටපත් වී යාම සිංහල ජාතිවාදයේ එක් සාධනීය ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. එහෙත් දෙවෙනි භාෂාවක් ලෙස ලාංකික ඉංග්‍රීසියේ ප්‍රමිතිය ඉහළ නංවා ගත යුතු ය. විශේෂයෙන් ම කථනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය.

රවී කරුණානායක දෙමළ ජාතිකයකු බව පෙන්වා දීමට බන්දුල ගුණවර්ධන පසුගියදා දැරූ උත්සාහයේදී රවී කරුණානායක තමන් සිංහලයකු බව දැඩිව අවධාරණය කළේ ය. ඔහු විවාහ වී සිටින්නේ (මට මතක හැටියට) මැලේ ජාතික කාන්තාවක සමග පැවසූ බව මට මතක ය. 

රවී කරුණානායක අයත් වන්නේ සිංහල භාෂාව ගෙදර වැඩකාරයින්ගේ භාෂාව ලෙස සැලකූ අගනාගරික ප්‍රභූන්ගේ පංතියට යයි මම සිතමි. වාමාංශික ලක්ෂ්මන් ගුණසේකර සහෝදරයා අතින් සන්ඩේ ඔබ්සර්වර් පත්තරයේ මෙවැනි කතුවැකි ලියැවෙන්නේ වඳ වී යමින් තිබෙන මේ පැළැන්තිය වෙනුවෙනි. කල් ඉකුත් වූ භාෂාවෙන් ඔලුව කරකැවෙන මෙවැනි උද්ධච්ඡ අපභ්‍රංස ලියන්නේ තමන්ගේ ඉංග්‍රීසි පාණ්ඩිත්‍යය පෙන්වීමට හැර අන් කුමකට ද?

රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවලට මුදල් හිඟ වීමත් සමග පැවැත්ම පිළිබඳ ප්‍රශ්න පැන නැගී සිටින මෙම පැළැන්තියට ජනමාධ්‍ය තල්ලුවක් ඔබ්සර්වර් පත්තරයෙන් දෙන්නට ලක්ෂ්මන් ගුණසේකර උත්සාහ කරනවා විය හැකි ය. 

හොඳ ඉංග්‍රීසි පත්තරයක් කරන්නැයි රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස ලක්ෂ්මන් ගුණසේකර තේරුම් ගෙන තිබෙන ආකාරය සන්ඩේ ඔබ්සවර් කියවන විට පෙනේ. රැකියා ඇබෑර්තු අංශය තවමත් ඔබේ පුවත්පතේ වැදගත් ම කොටස බව හා එහෙමට වෙනසක් අපට නම් නො පෙනෙන බව අප මිත්‍රයාට පෙන්වා දෙන්නේ කණගාටුවෙනි. 

ලක්ෂ්මන් ගුණසේකර වනාහි අප දන්නා ඉතා හොඳ වාමාංශික අරගලකරුවෙකි. ඔහු වනාහි සයිබර් විප්ලවවාදියෙක් නො වේ. වීදියෙහිද සිටින අරගලකරුවෙකි. ඔහු පශ්චාත් යටත් විජිත කතිකාව ගැන ද හොඳින් දන්නේ ය. එහෙත්, යටත් විජිත විරෝධී අරගලය තුළ ලාංකික ඉංග්‍රීසි භාෂාවක් වෙනුවෙන් කරන අරගලයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට ඔහු කැමති නැත. මෙය බොහෝ බුද්ධිමතුන්ගේ හා වාමාංශිකයන්ගේ ලක්ෂණයකි.

පශ්චාත් යටත් විජිත කතිකාවේ තවත් පඬිවරයකු වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම තමන් මවගේ ඔඩොක්කුවේ සිට ඉංග්‍රීසි කතා කළ අයෙකු බව ප්‍රසිද්ධියේ ආඩම්බර කතා කියනු මම අසා ඇත්තෙමි. සංස්කෘතික සමානත්මතාව වාගාඩම්බරයක් නො වී භාවිතාවක් බවට පත් කළ යුතුව තිබේ. ඒ වෙනුවෙන් වන සටන වැදගත් දේශපාලනික අරගලයකි. 

දේශපාලනය තිබෙන්නේ ශිෂ්‍ය උද්ඝෝෂණවල පමණක් යයි සිතා සිටින වාමාංශික සහෝදරයන්ගේ අවධානය මෙවැනි ක්ෂේත්‍රවලටත් යොමු විය යුතු ය.

ලංකාව වනාහි කලක් නයිජීරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් යැවූ රටකි. එහෙත්, සුද්දන්ට හුකාගනිල්ලා (screw you) යි කියූ චිනුවා ඇචිබෙ වැනි විශ්ව සම්භාවනාවට පත් ලේඛකයන් ලංකාවෙන් බිහි වුණේ නැත්තේත්, ලංකාව බිහි කළ මයිකල් ඔන්ඩච්චි වැනි අය දේශපාලනික වශයෙන් නො වැදගත් වන්නේත් මේ දේශපාලනික දෙබිඩිකමේ ප්‍රතිඵලයක් ලෙසයි. එපමණක් නොව, දැන් මාලදිවයිනවත් ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගන්නේ නැති මට්ටමට පොදු භාවිතාව තුළ ඉංග්‍රීසිය පිරිහී ඇත්තේත් ඒ නිසා ය.

ව්‍යාපාර ක්‍රියාවලි බැහැරින් ලබා ගැනීමේ (BPO) ව්‍යාපාර පැත්තෙන් ලංකාවට දකුණු ඉන්දියාවේ මට්ටමට කිට්ටු වීමට හෝ බැරි වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ ද මෙයයි. එවැනි ආයතනවල වැඩ  කිරීමට තරම් කෝල් සෙන්ටර් ගර්ල්ස්ලා ලංකාවේ නැත. හේතුව කෝල් සෙන්ටර් මට්ටමේ අයට ලංකාවේ ඊට වඩා ලොකු ඇකඩමික් මට්ටමේ රස්සා ලැබෙන තරම් ලංකාවේ ඉංග්‍රීසි බස දුර්වල වීමයි. 

ඉංග්‍රීසි භාෂාව විෂමතා සංරක්ෂණය කිරීමේ මාධ්‍යයක් බවට පත් කර ගත්, කොළඹ කේන්ද්‍රීය බුද්ධිමත්තු මෙම තත්වයට වගකිව යුතු ය. 

රවී කරුණානායක ලක්ෂ්මන් ගුණසේකරට වඩා මෙම කාරණයෙහිදී ප්‍රගතිශීලී බව මම සිතමි. හේතුව ඔහු මෙවැනි භාෂා දෙබිඩ්ඩන්ගෙන් ගැලවී මහජනතාව අතරට පිවිසෙන්නට උත්සාහ කරන බව පෙනෙන බැවිනි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-20

ලංකාවේ සිදු වූ සුසමාදර්ශීය වෙනසට ගැලපෙන පොදු සමාවක්

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ බවට චෝදනා ලබන දේශපාලන සිරකරුවන් 59දෙනකු වසර පහකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පසුගියදා පැවසුවා. (අදාළ පුවත මෙතැනින්) දෙමළ දේශපාලන සිරකරුවන් 99දෙනෙකු පුනරුත්ථාපනය වී නිදහස් වීමට කැමැත්ත පළ කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

පසුගිය දිනවල ඇප පිට නිදහස් වුණේත්, මෙවැනි සැකකරුවන් පිරිසක්. එහෙත්, ප්‍රධාන වශයෙන් ම මහින්ද රාජපක්ෂ කඳවුරට අයත් ජාතිවාදීන් පවසන්නේ නිදහස් වන්නේ කොටි ත්‍රස්තවාදීන් බවයි. නඩු ඇතිව හෝ නැතිව දීර්ඝ කාලයක් රිමාන්ඩ් සිරගතව සිටියා නම් ඔවුන් දැනටමත් දණ්ඩනයකට ලක් වී හමාරයි. 

ඔවුන් ත්‍රස්තවාදීන් වුණත්, නැතත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සම්බන්ධ වර්තමාන තත්වය සලකා බැලූ විට සියලු දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දීම සාධාරණීකරණය කළ හැකියි. 

එයට හේතුව මේ වන විට කොටි සංවිධානයේ නායකයන් කීපපොළකට ම එසේ සමාව හිමි වී තිබීමයි. කුමරන් පත්මනාදන් හා කරුණා අම්මාන් ඒ අතරින් ප්‍රධාන දෙදෙනෙක්. එසේම, පසුගියදා මිය ගිය කොටි සංවිධානයේ දේශපාලන මණ්ඩල සභිකාවක් ය කියන තමිලිනී ද, කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් ද නිදහස ලැබූ තවත් අයයි. තමිලිනී නො නිල පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගි වූ කෙනෙක්. 

කොටි සංවිධානය විසින් කරන ලද ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුතු නායකයන් වන මොවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගන්නා සංදර්භයක් තුළ, ඔවුන්ගේ ඇණැවුම මත එම ත්‍රස්ත ක්‍රියා සිදු කළ සාමාන්‍ය සාමාජිකයන්ට, හිතවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සාධාරණ නැහැ. 

මෙම තත්වය මීට පෙර කැරැලිවලත් දකින්නට ලැබුණා. 1989 කැරැල්ල සමයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. අඩු තරමේ මුහුදු මගින් රටින් පළා යාම සම්බන්ධයෙන් ආගමන විගමන නීති හෝ ක්‍රියාත්මක වුණේ නැහැ. 

එහෙව් ජනතා විමුක්ති පෙරමුණ දැන් එක පැත්තකින් කේ.පී.ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් අධිකරණයට මැදිහත් වන්නේ ඇයි? එය ජාතිවාදය හැර අන් කුමක් ද? අනෙක් පැත්තෙන් ඒ ජවිපෙම දේශපාලන තීන්දුවක් මත තමන් විසින් ම නීති විරෝධී අන්දමින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ කුමාර් ගුනරත්නම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටීම සාධාරණ ද? 

නීති විරෝධී දේශපාලන ක්‍රියාමාර්ගවල වගකීම තමන් භාර නො ගෙන තමන්ගේ යටතේ සිටි පුද්ගලයන්ට භාර දී අත පිස දා ගැනීම පිළිබඳ හොඳම නිදර්ශනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. ඡන්ද ප්‍රචාරක රූපවාහිනී දැන්වීම්වලට හා ඡන්ද රැස්වීම්වලට මගීන් ප්‍රවාහනය කළ බස් රථවලට මුදල් නො ගෙවීම සම්බන්ධයෙන් ඔහු දැන් දෙන පිළිතුරු බලන්න. මේ අතරවාරයේ ඇතැම් මුදල් හොර රහසේ ම ගෙවා දමා ද තිබේ. ඒවා ගෙවන අයට ඒ මුදල් ලැබුණේ කොහෙන් ද යන්න ද ප්‍රශ්නයකි. එතැනදී ද මහින්ද වගකීම අන් අය පිට පටවයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් ඔහුගේ ලේකම් වූ ලලිත් වීරතුංගට හා තවත් අයට නඩු පැවරී තිබේ. මහින්ද පවසන්නේ සත්භාවයෙන් කටයුතු කර තිබෙන රජයේ සේවකයන්ට එරෙහිව නඩු පවරා ඇති බවයි. 

තීරණ, තීන්දු ගන්නන්ගේ අසත්භාවය නීතියේ රාමුව තුළට හසු කර ගන්නට බැරි වීම ඇත්තෙන් ම ඛෙදවාචකයකි. මෙහි නරක ම පැතිකඩ වන්නේ කැරැලිවලට සහභාගි වූ සාමාන්‍ය මිනිසුන් නීතියෙන් උපරිම දණ්ඩනයට ලක් වෙද්දී නායකයන් ගැලවී යාමයි. 1989 කැරැල්ලෙන් පසුව අත්අඩංගුවේ සිටි බොහෝ දෙනෙක් පුනරුත්ථාපන වැඩසටහන් ඔස්සේ නිදහස් කරන ලදී. එහෙත්, සිවිල් නීති යටතේ නඩු පවරා වැරදිකරුවන් වූ ඇතැමෙක් දීර්ඝ කාලීන සිර දඬුවම් වින්ද හ. මෙය 1971 කැරැල්ලේදී ද සිදු විය. ඔවුන් දේශපාලන සිරකරුවන් ලෙස සැලකුණේ ද නැත. 

මෙය දෙමළ කැරැල්ල සම්බන්ධයෙන් ද සිදු වෙමින් තිබේ. රාජපක්ෂ යුගය සම්බන්ධයෙන් ද සිදු විය හැකි ය. තෝරුන්, මෝරුන් දැලෙන් රිංගා යද්දී හාල්මැස්සන් කොටු විය හැකි ය. 

ශ්‍රී ලංකාවේ පසුගිය දශක තුනක යුද වකවානුව තුළ දේශපාලනය ද හසු කර ගත හැකි සත්‍ය ගවේශන කොමිෂමක් හා දේශපාලන හේතු මත වැරදි කරන ලද සියලු දෙනාට සමාව ගැනීමේ අවස්ථාවක් හා ක්‍රමවේදයක් නිර්මානය කළ යුතු වන්නේ මෙම සංදර්භය තුළ ය. මහජන දේපල සොරකම් කිරීමත් මෙයට අයත් වනවා ද යන්න ද සාකච්ඡා කළ යුතු ය. මහජන දේපල විනාශ කිරීම හා ඒවා සොරකම් කිරීම අතර වෙනසක් තිබේ ද? 

2009 මැයි මාසයේ කොටි සංවිධානය සහමුලින් ම යුද්ධයෙන් පරාජය කිරීම යනු ලංකා ඉතිහාසයේ මෑත යුගයේ සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලන සුසමාදර්ශීය වෙනස සඳහා පදනමයි. මෙම සුසමාදර්ශීය වෙනස ලංකාවේ සමාජය විසින් තවමත් ග්‍රහණය කරගෙන නැත. දේශපාලන බලවේග තවමත් අතීතකාමී අන්දමින් හැසිරෙන්නේ ඒ නිසා ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදයන් හා ආගම්වාදයන් අතික්‍රමණය කරමින් යෝධ පිම්මක් ඉදිරියට තැබීමේ හැකියාව පසුගිය ජනවාරි 8 වෙනස සමගින් ඇති විය. එහෙත්, අපි තමවත් අතීතයේ කුණු කන්දල් සමග හැල හැප්පෙමින් එක තැන පල් වෙමින් සිටින්නෙමු.

2009දී සිදු වූ සුසමාදර්ශීය වෙනස හා 2015 ජනවාරි 08 අඩු තීව්‍රතාවකින් සිදු වූ සමාජ විප්ලවය තේරුම් ගන්නේ නම් ප්‍රභාකරන් හෝ කේ.පී. හෝ කරුණා අම්මාන් හෝ සෝමවංශ අමරසිංහ හෝ කුමාර් ගුනරත්නම් හෝ මහින්ද රාජපක්ෂ හෝ ලාංකීය සමාජයට තව දුරටත් වැදගත් සාධක වන්නේ නැත. 2009ට පෙර තිබූ තත්වයන් හෝ මහින්ද රාජපක්ෂගේ අඳුරු දශකයේ තත්වයන් හෝ ප්‍රතිනිර්මානය කරන්නට කිසිදු සිහින දකින්නෙකුට බැරි ය. අප උත්සාහ කළ යුත්තේ අනාගතය හැඩගස්වා ගන්නට ය. ඒ සඳහා බුද්ධිමත් දේශපාලන නායකත්වයක් නැතිකම මේ මොහොතේ දක්නට ලැබෙන අර්බුදයයි. අලුත් නායකත්වයක් පිළිබඳ සිහින පරම්පරාවක් හෝ ඈතට කල් දමන්නට සිදු වී තිබේ. ඉන්න නායකයන් සමග කලකිරෙන්නේ නැතිව කටයුතු කරන්නේ කෙසේ ද යන්න පුරවැසි බලවේග විසින් අධ්‍යයනය කළ යුතුව තිබේ. එක් පැහැදිලි කොන්දේසියක් තිබේ. එනම්, මෙතැනින් ඉදිරියට මිස ආපසු ගමනක් නැත. ඒ බව මහින්ද රාජපක්ෂ මෙන් ම දෙමළ ජාතිවාදීන් ද තේරුම් ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-19

ඈනුමට මාස අටයි; රට ඈලියාවට යැවූ අය නිදහස්

මහේස්ත්‍රාත්වරයා නඩු විමසන අවස්ථාවේ මහා හඬින් ශබ්ද නඟා අධිකරණ ශාලාවේ ඈනුමක් පිටකර අධිකරණයට අපහාස කළැයි වරද පිළිගත් රත්මලානේ ඉමේෂ් වසන්තට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා මාස අටක අනිවාර්ය සිරදඬුවම් නියම කළේය. ඔහු හෙරොයින් නඩුවක සැකකරුවෙකි. (ලංකාදීප)

ඕනෑනම් අපහාස කරන්න ම ඈනුම් ඇරිය හැකි ය. මෙය එවැනි ඈනුමක්දැයි නො දනිමු. සමහර විට පුරුද්දට ඉබේ ම ගිය එකක් වන්නට ද පුළුවන. ලංකාව සමස්තයක් ලෙසත්, විශේෂයෙන් ම පහළ සමාජ කණ්ඩායම්වලත් මෙහෙම කාරණාවලදී එහෙමට විනයක්, ශික්ෂණයක් නැත.

අනෙක් පැත්තෙන් ඈනුමක් යාම, පඩයක් යාම වැනි පූර්ණ පාලනයකින් තොරව සිදු වන, ඇතැම් විට වළක්වා ගැනීමට ද නො හැකි ජෛව ක්‍රියා අපහාසාත්මක යයි විග්‍ර‍හ කිරීම අතිශය අසාධාරණ ය. මේ අන්දමින් ම කිවිසුම් යාම, කැස්ස, ළමයින් ඇඬීම, ඇසි පිය ගැසීම වැනි ක්‍රියා ද අපහාසාත්මක යයි සලකන්නට පුුළුවන. 

මේ පසුගිය මහ මැතිවරණ සමයේ උද්‍යෝගිමත් ජවිපෙ සාමාජිකයකු වූ චමීර ජීවන්ත දෙද්දුවගේ එම සිද්ධිය දෙස බැලූ ආකාරයයි.

ලෝක උරුමයක් වුණු සීගිරියේ කැටපත් පවුරේ කුරුටුගාපු උදයාට ජනාධිපති සමාව ලැබෙන්නෙත්,
උසාවියේ ඈනුමක් ඇරපු ඉමේෂ් වසන්තට මාස අටක හිර දඬුවම් ලැබෙන්නෙත්,
.
.
ඇයි කියල අහන්නෙපා.. දෙමළ නොවුණු එක ඉමේෂ්ගේ වැරැද්ද.. ඒකට අපි මොනව කරන්න ද? මොහොමඩ් මහත්තයෝ, ඔය නඩුකාරකම දීපං ළමේක්ට නෙමෙයි බල්ලෙක්ට.

ඕනෑම ප්‍රශ්නයක් ජාතිවාදී ඇහැකින් විග්‍රහ කරන්නට පුළුවන්. ඒත් මෙතන තිබෙන ප්‍රශ්නය ඒක ද?

උදයා මෙන් ම ඉමේෂුත් අයත් වන්නේ එක ම සමාජ පංතියකට. ඔවුන් මේ අන්දමින් පීඩාවට පත් වන්නේ ඔවුන් ඒ පංතියට අයත් වන නිසා මිස ජාතිය අනුව නෙමෙයි. උදයා වෙනුවෙන් බොහෝ අය පෙනී සිටියේ ඇය දෙමළ නිසා නෙමෙයි. ඇය එතරම් ආධුනික, ගැමි තරුණියක් නිසායි. ඉමේෂ්ට අනුකම්පාව හිමි නො වන්නේ හෙරොයින් පිළිබඳ නිර්මානය කර තිබෙන සමාජ මතය නිසායි. 

ඔවුන් මේ ආකාරයෙන් දණ්ඩනයට ලක් වන්නේ ලොකු ලොක්කන් නීතිය සත පහකට මායිම් නො කරන, නීතියත් ලොකු ලොක්කන් ඉදිරියේ ඇඹරෙන රටක. 

මීට සියවසකට පමණ ඉහතදී එස්. මහින්ද හාමුදුරුවෝ මේ ගැන කිව්වා.

“උස් තැන් දැක හැකිළෙන්නේ 
මිටි තැන් දැක පුප්පන්නේ 
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වන්නේ"

මේ වනාහි මේ අසාධාරණයන්ට එරෙහිව අවදි වෙන්නට කාලයයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-18

අඩෝ අත ගහපිය!

ඉතාලියේ කඨින පෙරහරක්. ලංකාවේ කියලා එහෙමට වෙනසක් නැත.
පහුගිය දවස්වල අපේ පාඨකයෙක් මට ලියුමක් එවලා තිබුණා.

පැරා,

මතකද අපි පුංචි කාලෙ තිබ්බ කඨින පෙරහැරවල්. උදේ පාන්දරට 20-30ක පමණ වයසක පිරිසක් පොල්ලක් වටේ ඔතපු කඨින චීවරය ඔසවාගෙන පැට්‍රල් මැක්ස් ලාම්පුවක් පත්තු කරල කරගහගෙන සාදු සාදු කිය කියා පන්සලට දුවනවා. අපිත් කබ කඩ කඩා ඇවිත් කඨිනෙට අතගහනවා. ඉස්පාසුවක් ලැබුනොත් අහල පහල ගෙදරකින් කහට උගුරක් එහෙම පිලිගන්වනවා. ඒ කාලෙ කඨිනෙ ඔහේ සම්ප්‍රදායකට පවත්වපු අති සරල, චාම් බොදු කටයුත්තක්.

දැන් කොහොමද කඨින කෙරුවාව? කවුරුහරි සල්ලි යහමින් තියෙන පොරක්ගෙ ගෙදරින් තමයි කඨිනෙ පිටත්වෙන්නෙ. (බොහෝ විට මේ අනුග්‍රාහක දායකයා අවිධිමත් විදියට සල්ලි හම්බු කරන අය. සල්ලි පොලියට දෙන පොලියෙස්ටර්ලා, බාර් අයිතිකාරයො, හොර ලී වෙළෙන්දො, දේශපාලුවන්ගෙ ලේකම්ලා වගේ අය තමයි මේවට උජාරුවෙන් ඉදිරිපත් වෙන්නෙ.) ඒ ගෙදර එකම උත්සවයක්, සැරසිලි, ලයිට් දාල දාස් ගානකට catering කරල කෑම විතරක්නම් මදැයි, බීමත් එහෙම දෙනව අහුමුලුවල. කඨින පෙරහැරට නැටුම් කණ්ඩායම් කිහිපයක්, සමහරවිට අලි ඇතුන් පවා රැගෙන, කඨින සිවුර කරඬුවක තියලා, ලස්සනට සරසපු වාහනයක පීකර් බැඳගෙන, පිරිත්/බණ cd එකක් දමලා ලොකු පෙරහරක් ගම වටේ යනවා. යන්නෙත් නිකන් නෙවෙයි කනපැලෙන්න අලි ඩොං රතිඤ්ඤා පත්තු කර කර. ඔවුන් රතිඤ්ඤා ගෙවල්වල මිදුලටත් විසි කරනවා, ඩෝප් මරගාතෙ ආතල් ගන්න. නිදාගෙන ඉන්න මිනිස්සු උඩ ගිහින් බිම වැටිල, අම්ම මෝ නැතුව බැන බැන ගිහින් කඨිනෙට අතගහනවා. නැට්ටුක්කාරයොත් නට නට යන්නෙ පදමට ගහලා. අර පහුගිය දවස්වල කඨිනෙක අස්පයට ඇඳපු හාදයෙක් කැබ් එකක ඇමිනිලා කිලෝ මීටර් 5ක් විතර දුරක් ගියේ මේ විනය පිරිහීම හා අවිචාරය නිසා.

ඊයෙ රෑ අපේ ගමේ කඨිනෙ, අපේ අල්ලපු ගෙදරකින් පෙරහැරට තේ දුන්නා. අද උදේ බලනකොට පළාතම වනසලා, කන්න දීපු තලගුලි වල කොල, මාළු පාන් කෑලි, Nescafe කෝප්ප හැමතැනම දාලා පාර දිගට. මුන් වගේ අශිෂ්ඨ ජාතියක්.

පැරා, බුද්ධාගමේ මේ paradox එක ගැන හොඳ බ්ලොග් එකක් ලියන්න.

මං මොනව ලියන්නද? ඔය ලියල තියෙන්නෙ ඔක්කොම.

පහුගිය දවස්වල මං තව මරු සීන් එකක් දැක්කා. ඒ කඨින පෙරහරේ හේවිස් කණ්ඩායම ගියේ වහල තියෙන ඩිමෝ බට්ටෙකුගේ පිටුපස පුටු තියාගෙන වාඩි වෙලා. මෝලමක් වගේ. දැන් සමහර කඨින පෙරහරවල අලිත් යනවා.

මං නම් ගේ ඉස්සරහින් කඨින පෙරහර ගියත් කිසිම දවසක අතගහන්න යන්නේ නැහැ. ඕනැ එකක් හිතාගත්තාවෙ. මං ආගම් අදහන්නෙ නැත්තෙ විවෘතවමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-16

ඇවන්ට්ගාඩ් ජාවාරම සහ ආණ්ඩුව සත් සමුදුරෙන් ම නෑම

මේ ලියන මට ඇවන්ගාඩ් එකේ නිස්සංක සේනාධිපති සල්ලි දී නැති බව මුලින් ම කිව යුතු ය.

ඇවන්ට්ගාඩ් කොම්පැනියේ සන්නද්ධ මුහුදු ආරක්ෂාව සපයන මිනිස් බල ජාවාරම මේ වන විට ආණ්ඩුව ඇතුළට රිංගා ඇඟ මස් කා වැඩෙමින් තිබෙන පිළිකාවක් වී තිබේ.

ඇවන්ට්ගාඩ් විසින් කා ඇත්තේ මාරපන, විජේදාස, වජිර තුන්කට්ටුව පමණක් නො වන බව ද අප මතක තබා ගත යුතු ය. එමගින් කැබිනට් සාමූහිකත්වය ද කා දමා තිබේ. එක එකා හිතෙන හිතෙන දේ කියන අරුම පුදුම තත්වයක් ඇති වී තිබේ.

නිමල් සිරිපාල නිදසුනකට ගන්න. ෆේස්බුක්වලට රැවටී ජනවාරි 8 කර ගත් මෝඩකම ගැන ජනතාව අද පසුතැවෙන බව මේ ඇමතියා කියයි. ඔහු ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුවට විරුද්ධව ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරයි. උගේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ඌ කරන රෙද්දක් ද නැත. කරන්න බැරි නම් දාලා පල! මූ එහෙම කරන්නේ නැතිව වෙන කාට ද බනිනවා ය. යකෝ මේක මාර ආණ්ඩුවක් ය. ආණ්ඩුව ඇතුළේ ම විපක්ෂය ය. මුන්ට වයර් මාරු වෙලා ය. මෙවැනි කාලකන්නින් තබාගෙන ආණ්ඩු කළ හැකි නම් ගුද මාර්ගයේ ඇබයක් ගසාගෙන කක්කා දමන්නටත් පුළුවන. 

ඒකාධිපති රාජපක්ෂ රෙජිමට විරුද්ධව දීර්ඝ අරගලයක් කළ මිනිසුන් නො තකා හරිමින් ආණ්ඩුව රාජපක්ෂගේ ඇම්බැට්ටයන් සමග කූට්ටාලි වූයේ ය. උන් මේ ආණ්ඩුව ඇතුළට කෙතරම් අඬු බඬු විහිදුවා තිබේ ද යන කාරණය ඇවන්ට්ගාඩ් සිද්ධියෙන් හොඳින් පැහැදිලි කර ගත හැකි ය. 

පොලිසියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණයේ, රජයේ සේවයේ සිටින රාජපක්ෂ සේවකයෝ ආණ්ඩුවේ ගොබිලන්ගේ කණෙන් රිංගනවා ය. මුන්ට ඒවා තේරෙන්නේ නැත. ඇත්තම කිව්වොත්, මුන් දන්න දේශපාලනයේ තරම එච්චර ය. 

කෝ දූෂිතයන්ට එරෙහිව පියවර ගත්තාදැයි දැන් ආඩම්බරෙන් අසන්නේ නිමල් සිරිපාල ද සිල්වා වැනි දූෂිතයෝ ය. ආණ්ඩුවට සෙට් වූ නිසා ලැබුණු සමාව හේතුවෙන් මුන්ට දැන් උන්ගේ ම අතීතය අමතක වෙලා ය. මුන් රාජපක්ෂ ගාව පොල් නො ගෑ බව ජනතාව දන්නවා ය. 

ඇවන්ට්ගාඩ් සිද්ධිය මේ ආණ්ඩුව සත් සමුදුරෙන් ම නා ගත් අවස්ථාවකි. ඇවන්ට්ගාඩ් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට හා තවත් අයට එරෙහිව නීති මගින් කටයුතු කරන්නට සුළු කාරණයක් ප්‍රමාණවත් ය. ඒ වනාහි නාවික හමුදාව විසින් කරමින් සිටි සේවාවක් පාරදෘෂ්‍යභාවයකින් තොරව, ඒකාධිකාරයක් ලෙස තමන්ට හිතවත් පුද්ගලයකුගේ සමාගමකට පවරා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමයි. ඇවන්ට්ගාඩ් හරහා අවි ජාවාරම් සිදු වූයේ ද යන්න ගැන නිසි විමර්ශනයක් සිදු නො වන බව පැහැදිලි ය. 

ඇවන්ට්ගාඩ් අධිපතිවරයා තමන්ට අල්ලස් පිරිනැමූ බව රාජිත සේනාරත්න පවසයි. අල්ලස් දීම, ගැනීම පමණක් නො ව අල්ලස් පිරිනැමීමක් පිළිබඳ තොරතුරු වසන් කිරීම ද නීතිමය පියවර ගත හැකි කාරණා ය. 

ඇවන්ට්ගාඩ්ට එරෙහිව කතා කරන ඇමතිවරුන් එසේ කරන්නේ කොමිස් නො ලැබුණු නිසා ය කියන්නට පවා එඩිතරකමක් කොමිස් ගත් ඇමතිවරුන්ට තිබේ. 

මේ අල්ල පනල්ලේ සිරිසේන කළේ ඇවන්ට්ගාඩ් කොම්පැනිය නාවික හමුදාවට පවරා ගන්නා එක ය. එහෙම පවරා ගත්තේ කුමන නීතියකින් ද යන්න ද පැහැදිලි නැත. 

මේ ජාවාරම නාවික හමුදාවට මේ තරම් ලාභ ලැබෙන අන්දමින් කරන්නට බැරි ය. එසේ බැරි වන්නේ වෙන මොකවත් නිසා නො ව මෙය ඉතා පැහැදිලිව ම ජාත්‍යන්තර මට්ටමේ ජාවාරමක් නිසා ය. ජාවාරම් කරන්නට දන්නෝ වනාහි රාජපක්ෂලා හා සේනාධිපතිලා වැනි ජාවාරම්කාරයෝ ය. නාවික හමුදා පටිපාටි මැද මෙවැනි ජාවාරම් කරන්නට බැරි ය. 

අනෙක් පැත්තෙන් ආරක්ෂක හමුදා බිස්නස්වලට බැස්සවීම යනු මෙවැනි රජයකින් අපේක්ෂා කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තියකට අනුකූල ක්‍රියාවක් නො වේ. 

අවසානයේදී ඇවන්ගාඩ් හරහා නීතියට පටහැණිව ක්‍රියා කළ රාජපක්ෂලාට වෙච්ච දේකුත් නැත. ඇවන්ට්ගාඩ් බිස්නස් එකත් නැත. මෙයින් උගත හැකි පාඩම මෙසේ ය:

සිරිසේනලා දන්නා දේශපාලනයකුත් නැත. ආර්ථික විද්‍යාවකුත් නැත. 

හැබැයි, කවුරුවත් උඩ පනින්නට ඕනෑ නැත. තවමත්, රාජපක්ෂ ක්‍රමයට වඩා මෙම ක්‍රමය ඉතා දහස් වාරයක් හොඳ ය. අප අරගල කරන්නේ මෙතැනින් ඉදිරියට යන්නට මිස අන්ධකාර රාජපක්ෂ යුගය කරා ආපසු යන්නට නො වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-14

පැරිසිය සම්බන්ධයෙන් අපගේ වගකීම

පැරිසියේ සිදු වූ සංකේතාත්මක වශයෙන් ඉතා වැදගත් සමූහ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ කවුරු ද?

ඍජුව වගකිව යුතු පුද්ගලයන්, සංවිධාන හා සමාජ කණ්ඩායම් හෙළිදරව් වනු ඇත. එහෙත්, වගකිව යුත්තේ ඔවුන් පමණක් ම ද? 

නැත. අපි සියලු දෙනා ම පාහේ අඩු වැඩි වශයෙන් මෙවැනි සියලු සිදුවීම්වලට වගකිවයුතු ය.

හදවතට තට්ටු කර බලන්න. ඔබත් කිසියම් දිනෙක, තමන් සෙස්සන්ට වඩා උසස් යයි සිතන කිසියම් අන්තවාදයක් ප්‍රවර්ධනය කර නැද්ද? එය ලිංගික, ආගමික, ජාතික, කුල, පාසල්, මතවාදී ආදී කුමන හෝ ස්වරූපයක් විය හැකි ය. 

සෑම ආකාරයක ම වර්ගවාදයන්, වර්ගවාදීන් හා ත්‍රස්තවාදීන් රාජ්‍ය ත්‍රස්තවාදය ද සමග පිටුදැකිය යුතු ය. 

ලිංගික, ජාතික, ආගමික, ගෝත්‍රික, කුල, ආර්ථික, මතවාදී ආදී ස්වෝත්තමවාදයන් කිසිවක් දිරි ගැන්විය යුතු නැත. 

සුළුතරයන් ගැන සමාජ සංවේදිත්වය වර්ධනය කර ගත යුතු ය. අසාධාරණයට ලක් වන සුළුතරයන් වෙනුවෙන් අරගල කළ යුතු ය. එහෙත්, සුළුතර ස්වෝත්තමවාදයන් ද බහුතර ස්වෝත්තමවාදයන් හෙළා දකින ආකාරයට ම හෙළා දැකිය යුතු ය.

පැරිසියේ මෙන් ම, අන්තවාදයේ ගොදුරු බවට පත් වී සිටින ලෝකයේ සැම තැන ම ජනයා වෙනුවෙන් ශෝක වීමට මේ අවස්ථාව නිමිති කර ගනිමු. 

අන්තවාදයන්ගෙන් මිදෙන ශීලයක් සමාදන් වෙමු. 

නිදහස් චින්තනය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා මානුෂිකත්වය අගයමු.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-13

ඉල් මහා මල් වට්ටි වෙන්දේසිය හා දීකිරට සාක්කි දෙන බළල්ලු

ඉල් මහා විරුවන් නම් මල් වට්ටිය වෙන්දේසි කරන ප්‍ර‍ධාන සල්පිල් තුනක් කොළඹ තිබේ. එකක් සෝමවංශ + වීරවංශ විසින් ඊයේ පවත්වන ලදී. අනෙක් දෙක ජවිපෙ හා පෙසප විසින් අද දින පවත්වනු ඇත. 

මේ තුන්ගොල්ල ම කියන්නේ අනෙක් අය වැරදි හා තමන් පමණක් හරි බවයි. මේ අය හා සෙසු වාමාංශික පක්ෂ ද වැරදි බව හා තමන් පමණක් ම හරි යයි කියන තවත් වාමාංශික පක්ෂ ද රැසක් තිබේ. මුළු ලෝකය ම වැරදියි, තමන් විතරක් හරි ය කියන වාමාංශික තනි පුද්ගලයෝ ද සිටිති. එහෙත්, මම නම් දකින්නේ මතවාද යනු සංවාදයක් බව හා එහි වැරදි නිවැරදිබව විනිශ්චය කළ හැකි එක ම බලවතා ඉතිහාසය පමණක් බවයි. 

පවත්නා ක්‍ර‍මයට එරෙහිව අරගල කිරීම සංවර්ධනය සඳහා ඉවහල් වේ. පවත්නා ක්‍ර‍මය විසින් එවැනි අරගල හඳුන්වන්නේ කැරැලි කියා ය. එමගින් ඒවා මර්දනය කරනු ලැබේ. එහෙත් කැරැලි ගැසීම නරක දෙයක් නො වේ. ඉතිහාසයේ ගමන් මග වෙනස් වී ඇත්තේ එවැනි කැරැලි නිසා ය. 

පවත්නා ක්‍ර‍මයට එරෙහිව කැරැලි ගැසීම මහත් වගකීමකින් යුත් භාරදූර කර්තව්‍යයකි. අරගලය සාර්ථක කර ගැනීමට නම් එයට ජනතාවගේ ප්‍ර‍ධාන හා වැදගත් බලවේගවල සහයෝගය දිනා ගැනීමේ හැකියාව තිබිය යුතු ය. 

මාක්ස්වාදී අරගල කම්කරු පංතිය මත පදනම් විය යුතු ය. කම්කරු පංතිය කුමක් ද යන්න ද හඳුනා ගත යුතු ය. රජයේ සේවකයන් කොතරම් දුරට කම්කරු පංතියට අයත් වෙනවා ද යන්න පිළිබඳ ලංකාවේ සමාජ සංවාදයක් අවශ්‍ය ය. මා දන්නා තරමින් නම් ලංකාවේ කිසිදු වාමාංශික පක්ෂයක් මේ රටේ සැබෑ පීඩිත කම්කරු පංතිය සමග දේශපාලනය කරන්නේ නැත. ඔවුන් අඩු තරමේ කාන්තාවන් සමගවත් දේශපාලනය කරන්නේ නැත. මේ වනාහි පිරිමි මළ කෝලං ගොඩකි. මේ එකකවත් නායක මණ්ඩලයේ ගැහැනු පුළුටක් නැත.

කෙසේ වෙතත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නම් කිසි සේත් ම, විප්ලවීය ප්‍ර‍ජාවක් නො වන බව තේරුම් ගත යුතු ය. සුළු ධනේශ්වර අවශ්‍යතාවන් මත පදනම් වන ඔවුහු සමාජ විප්ලවයකදී මූලික බලවේගයක් නො වේ.

මේ බව විශේෂයෙන් සඳහන් කළ යුත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් නායකත්වය ගන්නා ලද තරුණ කැරැලි දෙකක් අප දුටු බැවිනි. ඒ 1971 හා 89 කැරැලි ය. 

1989 දිග්ගැසුණු කැරැල්ලේ උපරිම තලයේදී හෝ ජවිපෙට කම්කරු පංතියේ සහයෝගය ලැබුණේ නැත. එහෙයින් පක්ෂයේ ශිෂ්‍ය නායකත්වය කළේ තුණ්ඩු කෑලි දී බලහත්කාරෙන් කම්කරු පංතිය මහා වැඩවර්ජනයක් කරා යොමු කරන්නට උත්සාහ කිරීමයි. 

මේ ඊනියා විප්ලවීය අරගල දෙකෙන් ඇත්තට ම සිදු වුණේ ලංකාවේ බුද්ධිමත් තරුණ පරම්පරා දෙකක් අකාලේ විනාශ වීමයි. 

දෙමළ ජාතික විමුක්ති අරගලය විසින් දෙමළ තරුණ පරම්පරාවට අත් කර දුන්නේ ද සමාන ඉරණමකි. මේ අරගල ගැන අලුතින් කල්පනා කළ යුතු බව අප කියන්නේ ඒ නිසා ය. 

එහෙත් සිදු වන්නේ කුමක් ද? වාමාංශික පක්ෂ හා කල්ලි, කණ්ඩායම් මේ නැවතත් සැරසෙන්නේ නොමේරූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගොනාට අන්දවා ගැනීමට නේ ද? 

මම හැම කෙනෙක් ගැන ම කතා කරන්නට යන්නේ නැත. මා හොඳින් දන්නා එක් කුඩා කල්ලියක් ගැන විතරක් කතා කරමි. 

HNDA සිසුන් පිරිසක් විසින් මට මෙම ලිපිය එවා තිබිණි. (ඉතිරි ටික කියවන්නට පෙර කැමති නම් මේ ලිපිය කියවා ආපසු එන්න. එය වෙන ම විවෘත වේ.) තමන් ගැන ලිවීම ගැන ඔවුන් සතුටු වනවා ඇත. එහෙත්, ඔවුන් නො දන්නා පසුබිමක් තිබේ. 

මෙම ලිපිය ලියන ලේඛකයා වනාහි හිරු පුවත්පතට ලිපි කීපයක් ලිවීමෙන් පසු තමන්ට ජීවිත තර්ජන ඇති බව කියා බටහිර රටක දේශපාලන රැකවරණ ලබා ගත් අයෙකි. ඔහුට තර්ජන කරන්නට ආණ්ඩුව හෝ සෙසු මාධ්‍යකරුවන් හෝ ඔහු ගැන දන්නේවත් නැත.   (ටෙරල් අබේසිංහගේ කරුණු දැක්වීම මත මෙම කරුණ යම් දුරකට වැරදි සහගත බව පිළිගනිමි. මගේ වරද ද ඔබට දැක ගැනීම සඳහා මේ අන්දමින් ඉතිරි කරමි. මගේ ස්ථාවරය වන්නේ මේවා ගැන විවෘතව කතා කර පිරිසිදු කර ගත යුතු බවයි.)

හිරු කණ්ඩායම ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් වැදගත් මැදිහත්වීමක් කළ බව ඇත්තකි. එහිදී එම කණ්ඩායම විසින් සෑහෙන අවදානමක් ද දරා ගන්නා ලදී. මෙම ලිපිය ලියන මම ද හිරු පුවත්පතේ කලක් කර්තෘ ධුරය දැරූ අතර, අපගේ මැදිහත්වීම් නිසා අපි මහින්ද රාජපක්ෂ රජයෙන් දැඩි ලෙස තර්ජනයට ලක් වුණෙමු. 

මම හිරු කණ්ඩායමෙන් කැඩී ගියේ අපගේ දේශපාලන කාර්යභාරය උතුරේ දෙමළ අරගලය කේන්ද්‍ර‍ කර ගත් එකක් නො වන බව හා අප දකුණේ සිංහල ජනතාව අතර දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැගිය යුතු බව අවධාරණය කරමි. අවසන් ඊලාම් යුද්ධයේදී අප සිටියේ යුද වැදී සිටි දෙපාර්ශ්වයට ම විරුද්ධව ය. යුද්ධය නතර කර සාකච්ඡා කළ යුතු බව අපේ ස්ථාවරය විය.

හිරු කණ්ඩායමේ ඉතිරි වූ පිරිස යුද්ධයේදී දෙමළ කැරැලිකරුවන්ට හුළං පුම්බමින් සිට, යුද්ධය පරාජය වෙමින් තිබියදී තමන්ගේ පමණක් ආරක්ෂාව තහවුරු කර ගනිමින් සෙස්සන් පාවා දී රටින් පළා ගිය හ. මේ කාලයේ යුරෝපයට පැන යන්නට විවිධ ක්‍ර‍ම සොයමින් සිටි දේශපාලන අපතයෝ ද නැවත ඔවුන් සමග එක් වූ හ. 

සිංහල පුවත්පතකට ලියූ දෙමළ මාධ්‍යවේදියකු ජීවිත අවදානමකට පත් වූ විට අප මෙම කණ්ඩායම සමග සිටින කවියකු ඇතුළු පුද්ගලයන් හරහා ඔහුට රටින් පිට වීමට ක්‍ර‍මයක් සලස්වා ගැනීමට උත්සාහ කළෙමු. ඔවුහු එම මාධ්‍යකරුවා රැවටූ හ. 

මෙම සටහන තබන මා සම්බන්ධයෙන් ඔවුන් බලා සිටියේ ජාතිවාදී ආණ්ඩුව අතින් මා සල්ලං වනතුරු ය. මේවා ලියූ විට ඇම්බැට්ටයන් දමා අප මේවා ලියන්නේ රටින් පළා යන්නට බැරි වුණ නිසා ය වැනි ගොන් කතා නො කියන ලෙස කරුණාකර ඉල්ලා සිටිමි.

කීර්තිමත් අරගලකාරී ඉතිහාසයක් ඇති හිරු පුවත්පත් හොරට සැලසුම් කරමින්, දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන් උද්ඝෝෂණවල පෙනී සිටින ව්‍යාජ ඡායාරූප සහිත ව්‍යාජ හිරු පුවත්පත් ඉදිරිපත් කරමින් මෙම කණ්ඩායම පුද්ගලයන් රටින් රට පන්නන ඒජන්සියක් ලෙස කටයුතු කළේ ය. 

ඔවුන්ගේ දේශපාලනය තවමත් පදනම් වන්නේ අන්ත දෙමළ ජාතිවාදය මත ය. එය මේ වන විට උතුරෙන් ද ප්‍ර‍තික්ෂේප වෙමින් තිබේ. 

දකුණේ විශ්ව විද්‍යාල සිසුන් අරගල භූමියට එළඹෙන විට මොවුන්ට කැසිල්ල හැදෙන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීම අමාරු නැත. ලංකාවේ සාමය නැති වන තරමට ඔවුන්ට බටහිර රටවල සිය පැවැත්ම තහවුරු වනු ඇත. 

දෙමළ අරගලය වසර තිහක් තිස්සේ ඇදී යන්නට උත්තේජක සැපයූ එක් ප්‍ර‍ධාන බලවේගයක් වූයේ බටහිර රටවල දේශපාලන රැකවරණ ලබා ගත් මෙවැනි ව්‍යාජ ජාතිවාදියෝ ය. 

මේ කිව්වේ දිග කතාවක් ඉතා සංක්ෂිප්තව ය. 

විශ්ව විද්‍යාලයේ සිටින මල්ලිලා මේ අයියලා කොයි කවුරුත් ගැන දැන ගන්නවා නම් හොඳ ය. ඔවුන්ට තිබෙන අවශ්‍යතා මොනවා ද යන්න හොඳින් අධ්‍යයනය කළ යුතු ය. 

තවත් මාසයක නමින් විරුවන් පිරිසක් බිහි කරන්නට අවස්ථාවාදීන්ට නැවත වරක් ඉඩ නො දිය යුතු ය. ඒ විරුවා ඔබේත්, මගේත් දරුවා බව සිතන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-12

සෝභිත හිමි වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද?

පන්සලේ ඉඳන් වෙනු වෙනුවට අනුශාසක
ජනයා පණ ගැන්වුවේ විලසට මහ ඝෝෂක
යහපාලනේ වෙනුවෙන් මුල පිරු පූරක

හිමියනි ඔබයි නිලනොලැබූ මහනායක
පද: තුෂාර දංකැටිය
සෝභිත හිමියෝ අද දැයෙන් සමු ගනිති. 

රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යෝත්සවයකි. එය සෝභිත හිමියන් විසින් තම අවමංගල්‍යය පිළිබඳ ප්‍ර‍කාශිත අදහස්වලට පටහැනි බව පැහැදිලි ය. 

එහෙත් රාජ්‍ය ගෞරව සහිත මෙම අවමංගල්‍යය දෙස නිශේධාත්මකව බැලිය යුතු නැතැයි මට සිතේ. එය දේශපාලනික අවමංගල්‍යෝත්සවයකි. සෝභිත හිමියන් විසින් කරන ලද කාර්යභාරය ගැන සිහිපත් කර ගැනීමටත්, එහිමියන් ප්‍ර‍මුඛ ප්‍ර‍ගතිශීලී සමාජ බලවේගය ජනවාරි 08 අරලයේදී ඉදිරියට ගත් අභිමතාර්ථ ඉටු කිරීම අවධාරණය කිරීමටත් මෙය අවස්ථාවක් කර ගත යුතු ය. 

ජනවාරි 08 අරමුණු ඉටු වුණා ද? නැතිනම් සුපුරුදු ලෙස ම ජනතාව පැරදුණා ද?  පාලකයන් යොමු වී තිබෙන්නේ කුමන දිශාවකට ද? 

ජනවාරි 08ට පෙර පැවති අන්ධකාර දස වසරේ (නාලක ගුණවර්ධනගෙන් ණයට ගත් අදහසකි) අවතාර වෙනත් වෙසකින් යළි පණ ලබමින් සිටිනවා ද?

කලකිරී අවතැන් වීම ප්‍ර‍තිගාමී ය. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, යහපාලනය වැනි අරමුණු වෙනුවෙන් වන අරගලය දිගට ම ගෙන යා යුතු ය. 

දූෂිතයන්ට එරෙහිව විමර්ශන නිසි පරිදි සිදු නො වීම නිසා රජය කෙරෙහි ජනතාව කලකිරී සිටින බවට අජිත් පී. පෙරේරා කරන මෙම ප්‍ර‍කාශයෙන් යථාර්ථය නිරූපණය වේ. 

පසුගිය ආණ්ඩුවේ බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ඇයි ද යන්නට තවත් නිදසුනක් ඇවන්ට්ගාඩ් පිළිබඳ මෙම ලිපියෙහි තිබේ. 

යහපාලනය යනු පළිගැනීම නො වේ. කිසියම් යුගයක් සම්බන්ධයෙන් පොදු සමාවක් ප්‍ර‍කාශයට පත් කිරීම වුව පිළිගන්නට පුළුවන. එහෙත්, වැරදිකරුවන්ට වාර්තාගත නො වී සිටීමට ඉඩ දීම වැරදි ය. එයින් ඔවුන් නිර්දෝෂී පුද්ගලයන් බවට තහවුරු වේ. එසේ ම බලවතුන්ට නීතියේ මුක්තිය ලැබේ යන අතිශය වැරදි පූර්වාදර්ශය නැවත තහවුරු කිරීම ද සිදු වේ. 

මේ ජාතික අවමංගල්‍යය සෝභිත හිමියන් දේශපාලනිකව නැවත ජීවත් කරවන්නට යොමු කර ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-11

කුමාර් උස්සන්නැයි අනුර ගෝඨාභයට කීම

අනුර කුමාරව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට එන්නට පුළුවන් තැනක් දක්වා උස්සා තැබුවේ ප්‍රේමකුමාර් ගුනරත්නම් ය.

එහෙව් ප්‍රේමකුමාර්ව මරන්නට අනුර ඔත්තු දුන්නා යයි ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ යනු විශ්වාස කළ හැකි පුද්ගලයෙක් නො වේ. එහෙත්, ඔහු සරම කොණකින් උස්සා තම මිනීමරු අතීතයේ අංශු මාත්‍රයක් පෙන්වන්නේ කිසිම පදනමක් නැතිව යයි මම නම් නො සිතමි. 

කෙසේ වෙතත්, මම නම් මේ ගැන කිසි සේත් ම පුදුම නො වෙමි. මේ වනාහි ලංකාවේ වාමාංශිකයන්ගේ සාමාන්‍ය අමානුෂික ස්වභාවයයි. මේ ව්‍යාපාරවල තිබෙන්නේ යාන්ත්‍රික පක්ෂ ධුරාවලියක් මිස මිනිස්කම් නො වේ. ඒක තේරෙනකල් බොහෝ දෙනෙක් ඒ ඊනියා සහෝදරකම් හරි සුන්දර යය් සිතති. 

ප්‍රේමකුමාර් ගුනරත්නම්, විමල් වීරවංශ සම්බන්ධයෙන් හැසිරුණේ ද මේ ආකාරයට ම වන්නට පුළුවන.

ඉතිහාසයක් මුළුල්ලේ මෙවැනි අමානුෂිකත්වයන් නැවත නැවත සිදු වී තිබේ. ලැයිස්තුව කියන්නට ගියොත් බල්ලො බත් කන්නේ නැත.

සත් ගුණවත් පුබුදු ජයගොඩලා ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් කැඩී ගිය අය කියන්නේ ද ඔය ටික ම ය.

මං නම් කියන්නේ රෝහණ විජේවීරගෙන් පසු ලංකාවේ ඔය කියන වාමාංශික දේශපාලනය කියන්නේ මේ අමානුෂිකත්වයට තමා ය. මිනිස්කම පාක්ෂිකභාවයට පාවා දීම එහි මූලික ලක්ෂණයකි. 

ඒකේ මිලිටරි එක උතුරේ තිබිණි. දකුණේ තිබුණේ ‘ඔලු මිලිටරි - කඳ මඩකරි' දේශපාලනයකි.

වාමාංශික දේශපාලනය සමග සෙට් වන හිත හොඳ මල්ලිලා මේ අමානුෂික යාන්ත්‍රණය ඔස්සේ කරකැවී එළියට එන්නේ පට්ට කුහකයන් වෙලා ය. නැතිනම්, අප වැනි පිස්සන් වෙලා ය.

වාසනාවට ලංකාවේ කාන්තාවන් මේවාට සෙට් නො වන නිසා දරුවන්ට තනකිරි ඩිංග හරි ලැබෙනවා ය. විප්ලවවාදී පිරිමින්ට මේ සන්තෑසිය නම් තේරෙන්නේ ම නැත. 

මට නම් මෙව්වායේ කිසිම මෙව්වා එකක් දැනෙන්නේ නැත. මගේ මෙව්වා එක මෙව්වා වෙලා ය. මුං හැරෙනකොට මට පේනවා ය. ඒ තරමට මං මුන් නිසා තැම්බී කර වෙලා ය. මං මේවා කියන්නේ නිකම් නො වේ. මම තරුණ කැරැලි තුනක් දුටුවෙමි. දෙකක් මැදින් ඇවිද ආවෙමි. ඒවායේ ගැඹුර බොහෝ දුරට වින්දෙමි. ඒවායේ නො තිබුණ එක ම දෙය මිනිස්කමයි. මිනිස්කම නැති දේශපාලනය වඳ ය. 

හැබැයි, මං දන්න තරමින් මං නම් කාවවත් තැම්බුවේ නැතුවා ය. මගෙන් තැම්බුණු එවුන් ඉන්නවා නම් කියනවා හොඳා ය. එතකොට මට ස්වයං විවේචනාත්මකව බැලිය හැකි ය.

මේ දේශපාලනයට පුළුවන් එක ම එක දෙයකි. අවුරුදු විස්සකට විතර වරක් පරම්පරාවක එඩිතර කොල්ලන් ටිකක්, තව අහිංසකයන් රොත්තක් එක්ක පරලෝකප්‍රාප්ත කරන්නට ය. 2009න් පසු මීළඟ එක 2025-29 විතර වෙන්නට ඉඩ තිබෙනවා ය. 

මම නම් කියන්නේ මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා ඉවහල් වන දේශපාලන සංවාදය තිබෙන්නේ වම යයි කියන ඔතන නො වේ. ඒක අපි අලුතෙන් හැදිය යුතු ය. මනුස්සකම සොයා යා යුතු ය. න්‍යායට, ආධිපත්‍යයට වඩා මිනිස්කමට මුල් තැන දෙන මිනිස් සාමූහිකයන් තුළින් මතු යම් දවසක ඉදිරිගාමී දේශපාලන ව්‍යාපාර බිහි වෙනවා ඇත. 

එහෙත්, මේ මිනීමරු විහිළුවලට තරුණයින් ගොදුරු වීම වැළැක්විය යුතු ය. 

මේ ඊනියා වම නිරුවත් කරන සාහිත්‍යයක්, කලාවක් ගොඩනැගීම අද දවසේ වැදගත් ම දේශපාලනයයි.

අපි මේ ගැන සංවාදයක් ශාස්තෘෘ නවකතාවෙන් ඇරඹුවෙමු. එය කියවන්නට කැමති අයට කොළඹදී සුළු මුදලකට හෝ නොමිළේ හෝ ලබා දිය හැකි ය. තැපැල් කන්තෝරු යාමට වෙලාවක් සොයා ගැනීමට නො හැකි නිසා තැපැල් කිරීමේ ඉල්ලීම් ඉටු කිරීමට නො හැකි බව කරුණාවෙන් සලකන්න. 

ඔබ කොළඹට එන යන වෙලාවක පොඩ්ඩක් රස්තියාදු වී ශාස්තෘෘ නවකතාව ලබා ගැනීමට කැමති නම්, කරුණාකර මගේ දුරකථන අංකය වන 077 5583470ට කතා කරන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-11-09

ජැක්සන්ට ඇඩ්‍රස් නැද්ද?

නළුවා රොෂාන් රවීන්ද්‍ර ය
ජැක්සන් ඇන්තනිගේ ‘ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය ගැන කවුරුවත් කතාවක් නැත. මහින්ද රාජපක්ෂ බලයේ සිටියා නම් මේ වන විට ජැක්සන් කොහොම නටනු ඇද්ද?

අද කාලේ චිත්‍රපටයක් බලා වින්ද රසය ගැන කියන්නටවත් බැරි ය. චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂ ව්‍යාපාරිකයන්ට ඒවා හුදු ප්‍රචාර පමණි. මේ අතර ලෝකෙ ම අතැඹුලක් සේ දන්නවා යි සිතා සිටින පොත් හතක්, අටක් කියවා දැමූ පඬියන් පිරිසක් ද කලාව, සාහිත්‍යය හා දේශපාලනය ගැන සාකච්ඡා හයිජැක් කරන්නට පුළුවන් යයි සිතාගෙන සිටිති. 

මෙම සටහන ලියන්නේ ජැක්සන් නම් ප්‍රතිගාමී දේශපාලකයා වෙනුවෙන් නොව, ඔහු තුළ සිටින කලාකරුවා වෙනුවෙනි. 

කලාකරුවෝ වනාහි ජනතාව ගැන සංවේදී පිරිසක් ය යන මිථ්‍යාවක අපි නම් ගැලී නැත. ඇතැම් කලාකරුවෝ සංවේදීභාවය මාකට් කරන වෙළෙන්දෝ ය. එය ජැක්සන්ට ය අනෙක් බොහෝ අයට ය කියා වෙනසක් නැත. ඒ නිසා කර්තෘ දෙස බැලීම තේරුමක් නැත. බැලිය යුත්තේ කෘතිය දෙස ය. එහෙත්, කෘතියේ අව්‍යාජත්වය යනු කලාවේ වැදගත් සාධකයකි. සාමාන්‍ය රසිකයකු වන මට නම් එය කෘතියේ වැදගත් ම සාධකයයි. 

ජැක්සන්ගේ ‘ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය කතා කළ යුතු විෂයක් තේමා කර ගන්නා කදිම චිත්‍රපටයකි. එය සම්මත ස්වරූපයේ ප්‍රබන්ධ කතාවකි. එහෙත්, එහි තිබෙන මූලික ලක්ෂණය වන්නේ එය මනා වියමනක් ලෙස ගොතා ගන්නට යම් උත්සාහයක් දරා තිබීමයි. ලංකාවේ සිනමාකරුවන්ට කතාවක් ගොතා ගැනීමේ බරපතල වියවුලක් ඇත. 

ජැක්සන්ගේ කතාව භාවාතිශය අන්තයක් කරා චලනය වන බොලිවුඩ් ශෛලියේ එකකි. චිත්‍රපටයේ ආකෘතිය ද බොහෝ දුරට එවැනි ය. එහි කිසිදු නැවුම්බවක් නැත. එහෙත්, එය තරමක් දුරට හොඳින් සංවිධානය කර, පිරිපහදු කරන ලද කතා වස්තුවකි. 

වඩා වැදගත් වන්නේ ජැක්සන් විෂය කර ගන්නා තේමාවයි. ඔහුගේ චිත්‍රපටය ලංකාවේ පාතාල ලෝකයේ පරිණාමයෙහි එක්තරා යුගයක් ඉතා පැහැදිලිව සලකුණු කරමින් විවරණය කරයි. ඒ වනාහි හෙරොයින් ව්‍යාප්ත වන්නට පෙර පාතාල ලෝකයයි. 

හෙරොයින් ව්‍යාප්ත වන්නට පෙර යුගයේ ලුම්පන් පංතියේ මිනිස් කසලවල ජීවිත ජැක්සන් සිය චිත්‍රපටය තුළ සියුම් ලෙස චිත්‍රණය කරයි.ඇත්ත හෝ බොරු හෝ විය හැකි, එහෙත් විද්වත් සමාජය ඇත්ත යයි පිළි ගනු ලබන, නන්දසේන රත්නපාලගේ සමාජ විද්‍යා පර්යේෂණවල සිට සලාම් බොම්බේ වැනි චිත්‍රපට දක්වා කෘති රැසක් එයට මූලාශ්‍ර වී තිබේ.

මහා මන්දිරවල කැත කුණු ගලන පිළිකනු විවර වන මුඩුක්කුවල ජීවිතය දෙස ජැක්සන් අපේ නෙත යොමු කරයි. මහා මන්දිරවල ජීවත් වන සත්ගුණවත් දානපතියන් පස්සා දොරින් පාතාලය සමග කරන ගනුදෙනු හා එක්තරා ධනවත් වෙළඳ පැළැන්තියක සමෘද්ධිය පසුපස වැකී ඇති ලේ සලකුණු ජැක්සන් සිය සිනමාවෙහි චිත්‍රණය කරයි. 

ජැක්සන් විෂය කර ගන්නා තේමාව හෙරොයින් සම්ප්‍රාප්තියත් සමග සුසමාදර්ශීය වෙනසකට භාජනය වෙයි. එම යුගය තුළ මුඩුක්කුවල මිනිස් කසලවල ජීවිත රටා වෙනස් වේ. පැල්පත්වල බරට ටයර් දැමූ ටකරං වහලවල ඇස්බෙස්ටස් හෙවිලෙයි. බිම ටයිල් වෙයි. එහෙත්, පාතාලයත්, ධනකාමයත්, දේශපාලනයත් අතර සම්බන්ධයේ මූලික හරය වෙනස් වන්නේ නැත. දේශපාලනය වක්‍රව පාතාලය සමග ගනුදෙනු කිරීම වෙනුවට පාතාලයෝ ම දේශපාලකයෝ වෙති. 

එදා මෙන් ම අදත් ධනවත්තු හා දේශපාලකයෝ පාතාලය සමග ගනුදෙනු කරති. පාතාලයින්ගේ සමෘද්ධිය තාවකාලික ය. ඔවුහු කෙටි කලක් රැස් විහිදා කාණු පල්ලේ මිය යති. බලවත්තු ඒ පාතාලයාගෙන් මේ පාතාලයාට මාරු වෙති. යුග වෙනස් වුවත්, ලුම්පන් පංතියේ ඉරණම වෙනස් වී නැත. ඔවුහු තවමත් ධනවතුන් අතින් ඉවත විසි වෙන මිනිස් කසල ම වෙති. 

ජැක්සන්ලා වැනි කලාකාරයෝ පැළැන්තියක් එවැනි ධනවතුන් හා බලවතුන් ළඟ සබුක්කු පාර කමින් වුව සපත්තු වැළඳ බදාගෙන වන්දිභට්ටකම් කරති. 

හෙරොයින් යුගයේ මිනිස් කසලවල ජීවිතය විවරණය කරන්නට ‘ඇඩ්‍රස් නෑ' දෙවෙනි කොටස නිර්මාණය කරන්නට ජැක්සන්ට පුළුවන් වේ නම් ඇත්තට ම ලංකාවට කෙසේ වෙතත් ජැක්සන්ට ඇඩ්‍රස් ලැබෙනු ඇත. 

මේකත් කිව යුතු ය. ජැක්සන් මහේන්ද්‍ර පෙරේරා විනාශ කර ඇත. නළුවා නම් රොෂාන් රවීන්ද්‍ර ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

පඬියකු සමග ආතල් හීනයක්

හීනය දැක්කේ ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසිනි

ඊයේ රාත්‍රීයේ හීනෙන් අපේ කාලයේ දාර්ශනයෙකු සමග බුද්ධිමය සංවාදයක් සිදුකිරීමෙන් පසු පහත සඳහන් නිගමනවලට එළඹීමට හැකිවුණු බව ලියා දන්වමි.

* ලෝකයේ රටවල් කිහිපයක නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා සිදුකරන සිසු අරගල කිහිපයක් ඇති බැවින් එය 'ගෝලීය අරගලයක්' වන අතර ලෝකයේ රටවල් කිහිපයක ඉස්ලාම් අන්තවාදී කැරලි පවතින නමුත් ඒවා 'ගෝලීය අරගල' නොවේ.( එසේම තිරසාර සංවර්ධනය,සමලිංගික අයිතිය ආදිය ඉල්ලා රටවල් කිහිපයක අරගල කිරීම කිසිසේත්ම 'ගෝලීය'නොවේ.)

*නායකයින්ගේ ප්‍රතිරූපය ගොඩනැංවීම වෙනුවෙන් හා අරගලයට ජනතා අවධානය දිනා ගැනීම පිණිස සිසු ජීවිත බිලිදීම ඕනෑම සිසු අරගලයක සිදුවිය හැකි බැවින් එය ඉතාම සාධාරණ වන අතර ඊට එරෙහිව වචනයකින් හෝ එරෙහිවීම පවතින රාජ්‍ය දෘෂ්ටිවාදය සමග බද්ධවී පාලකයින්ට සේවය කිරීමකි.(සැ.යු මෙහි ජනතා අවධානය යනු ජනමාධ්‍ය ආයතනවල අවධානය වන අතර රාජ්‍ය දෘෂ්ටිවාදය යනු තමන්ගේ මතයට එකඟ නොවන ඕනෑම අයෙකු ගොදුරු විය හැකි භයානක රෝගයකි.)

*රාජ්‍ය පාසල් හා විශ්වවිද්‍යාල වලින් නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතු අතර එක විභාගයක් අසමත් වුවහොත් ඉන් ඉදිරියට මුදල් ‍ගෙවා හෝ අධ්‍යාපනය ලැබීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති අතර අධ්‍යාපන අයිතිය ඇත්තේ අ.පො.ස උ/පෙ කඩයිම් විභාගය උසස් ලෙස සමත්වන සීමිත පිරිසකට පමණි. (සෙසු අයට දැනුම අගුණ වන බැවින් මෙය ජනතා හිතසුව පිණිසමය). රාජ්‍ය අධ්‍යාපන ආයතනවලින් කිසිසේත්ම රාජ්‍ය දෘෂ්ටිවාදය පතුරවන්නේ නැති නිසා ඒ සඳහා තව දුරටත් දිරි ගැන්වීම් කළ යුතුය.)

*ස්ලෝවේනියාවේ උපත ලැබූ 'ලුබ්ජානාවේ ටර්බෝ මනස' හෙවත් ශීෂෙක් නම් මිනිසෙක් විසින් මේ යුගයේ ලෝකයේ ඕනෑම රටක මහ පාරේ සාමාන්‍ය මිනිසුන්ට හිරිහැර කිරීම, විරෝධතා පා ගමන් යන ගමන් කඩ සාප්පු වලට පහරදීම හා කොල්ලකෑම, තමන්ගේම උන් බිලි දී මළ මිනී විකුණාගෙන කෑම ආදිය සම්බන්ධයෙන් තමාගේ එකඟත්වය පළකර ඇති බැවින් අපද ඊට එකඟවිය යුතුය.( එකඟ නොවන්නන් රාජ්‍ය දෘෂ්ටිවාදය නමැති භයානක රෝගයට අනිවාර්යයෙන්ම ගොදුරු වේ.)

* මේ යුගයේ වඩා සාධනීය සමාජයක් වෙනුවෙන් හීන දකින්නන් හා ක්‍රියාධරයින් ගෝලීය භාෂාවක් වන ඉංග්‍රීසි දැනුමෙහි කෙළපැමිණ ගෝලීය වශයෙන් 'ගෝලීය විප්ලවවාදියෙක්'ලෙස කටයුතු කළ යුතු අතර ඊට අදාළ පේටන්ට් අයිතිය හා දැනුම සම්බන්ධයෙන් වන සහතිකය ශිෂෙක්ගේ මෙරට බලයලත් නිලධාරී විසින් ලබාදෙනු ඇත.(අභියාචනා සලකා බලන්නේ තමාගේ මතයට ෆේස් බුක් එකේ like දමන්නන් share කරන්නන් පමණක් වන අතර තම මතයට එරෙහි වෙනත් මත like කර හෝ share කර තිබුණොත් එකී අභියාචනා පූර්ව දැනුම්දීමකින් තොරව කුණු බක්කියට දමනු ලැබේ.)තමාගේ කලින් මිතුරන් හෝ සිසුවියන්වී සිටි අය වෙනත් මත දරන්නේ නම් නිදහසට කරුණු කිව යුතුය.)

* හුදී ජනයා කලාව, සාහිත්‍යය,සිනමාව ආදි ක්ෂේත්‍රවල නිරතවෙමින් ‍හා ඒ ගැන කතා කරමින් පමණක් සෑහීමට පත්විය යුතු අතර පේටන්ට් අයිතිය හිමි අය පමණක් ක්‍රම විරෝධී දේශපාලනය කළ යුතුය.( පේටන්ට් හිමිවන්නේ දෙවියන් වහන්සේගෙන් බැවින් එය කිසිසේත්ම ප්‍රශ්න නොකළ යුතුය.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.