2016-01-05

උසස් අධ්‍යාපනය ඊනියා නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් කර ගත යුතු ය.

2015 අගෝස්තු මාසයේ පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයට සිසුන් 255,191ක් පෙනී සිටිය හ. 

එයින් 155,447ක් විභාගය සමත් වූ හ. 

ඒ අතරින් 20,000කට මඳක් වැඩි සංඛ්‍යාවක් නොමිළේ අධ්‍යාපනය ලබා දීම සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ඇත. ඉතිරි පිරිස වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් රජයට නැත. රජයේ ප්‍ර‍තිපත්තිය ‘තොපි ඕනැ එකක් කර ගනිල්ලා,' යන්නයි.

ඉන් පසු විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍ර‍ශ්න ගැන අපට මහා හඬක් අසන්නට ලැබේ. ඔවුන්ට ප්‍ර‍ශ්න ඇති බව අපි දනිමු. බරපතල ම ප්‍ර‍ශ්නය වන්නේ රැකියා වෙළඳපොළට මේ උපාධිධාරීන් බොහෝ දෙනෙකුගෙන් වැඩක් නැති වීමයි. ඒ නිසා ඉන් පසු ඔවුන්ට රැකියා දෙන්නට ද සිදු වන්නේ මේ රටේ මහජන මුදලින් ම ය. 

එහෙත්, රජයේ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශය නො ලැබෙන 230,000කට වැඩි ඉතිරි පිරිස ගැන මේ සමාජය කතා කරනවා ද? ඔවුන්ගේ හඬ නංවන්නේ කවුරු ද? 

නොමිළේ අධ්‍යාපනය නො ලැබෙන වාතාවරණය තුළ සාධාරණ ගාස්තුවකට උසස් අධ්‍යාපනය ලබා ගන්නට ඔවුන්ට අයිතියක් නැද්ද? 

ඔවුන්ට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අවස්ථා පුළුල් වෙනවාට විශ්වවිද්‍යාල සිසුන් විරුද්ධ ඇයි? 

“අපි විරුද්ධ නැහැ. උසස් පෙළ සමත් සියලු දෙනා විශ්වවිද්‍යාලවලට බඳවා ගත යුතුයි" කියා නො කියන්න. 

මේ අවුරුද්දේ උසස් පෙළ සමත් 155,447 ම විශ්වවිද්‍යාලවලට ගන්නට නම් දැනට තිබෙන විශ්වවිද්‍යාල සංඛ්‍යාව මෙන් හයගුණයකටත් වඩා අවශ්‍ය ය. ඒ නිසා ඒක නො කෙරෙන වෙදකමකි. 

උසස් අධ්‍යාපනය සමාගම්කරණය කිරීම පිළිබඳ සමාජයේ බරපතල විසංවාදයක් ඇත. එහෙත්, උසස් අධ්‍යාපනය ලාභ නො ලබන සමාජ ආයතන යටතට පත් වීම පිළිබඳ විරුද්ධ වීමට හේතුවක් නැත. 

රජය විශ්වවිද්‍යාල සියල්ල හිමි කරගෙන, ඉතා අකාර්යක්ෂම අයුරින් ඒවා නඩත්තු කරමින්, ජනතාවගෙන් බදු අය කර, සීමිත පිරිසකට පමණක් අධ්‍යාපනය ලබා දීමේ ප්‍රතිපත්තිය ‘නිදහස් අධ්‍යාපනය' නො වේ. 

අධ්‍යාපනය ඔය කියන නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් කරගෙන ජනතාකරණය කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

27 comments:

  1. ඔබ ඔය කියන ලාබ නොලබන සමාජ ආයතන වලින් පවත්වාගෙන යනු ලබන නිසි ප්‍රමිතියෙන් යුතු රජයේ නොවන විශ්ව විද්‍යාල ගැනත් එවන් විශ්ව විද්‍යාලවලට විරුද්ධව කතා කරන නිදහස් අධ්‍යාපනය නිසි සේ භුක්ති විඳින අය ගැනත් දන ගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. කැමති නම් සොයා දැනගන්න. සොයා දැනගැනීම නුතන අධ්‍යාපනයේ එක වැදගත් කොටසක්.

      Delete
    2. ලාබ නොලබන රජය සහ පුද්ගලික අංශය එක්ව පවත්වාගෙන යන නිසි ප්‍රමිතියෙන් යුතු විශ්වවිද්‍යාල ලෙස හැදින්විය හැකි මුදල් අය කරන ආයතන දැනට ඇත.

      Delete
    3. ඇක්වයිනාස්

      Delete
    4. Anonymous January 6, 2016 at 7:44 AM වෙත,
      සැබවින්ම. මා ඔබට අපහාස වන අන්දමට ඔබේ දැනුම ප්‍රශ්න කළා නම් හෝ ඔබ එයට පිළිතුර නොදැන සිටියේ නම් සමාවන්න. ප්‍රශ්නය විමසීමෙන් දැනුම සොයා යාමේ නුතන අධ්‍යාපනය ප්‍රයෝගිකව යෙදීමක් තමා මා සිදු කළේ. :)
      මා මෙහිදී බලාපොරොත්තු වූ යේ ලියුම්කරුගෙන් ඍජු පිළිතුරක්.

      Anonymous January 6, 2016 at 12:48 PM වෙත,
      ඇක්වයිනාස් ආයතනය ආගමික සංවිධානයක් මගින් පවත්වාගෙන යනු ලබන ආයතනයක් තමයි.
      නමුත් එම ආයතනය "ලාබ නොලබන" ගනයට අයත් වෙනවද කියල මට සැකයි.



      Delete
    5. බණ කිව්වට පස්සේ උපාසක ඇත්තෝ අහන ප්‍රශ්න අහනවා වගේ අහන එක එතරම් හොද දෙයක් නොවෙයි මම හිතන්නේ. එය නව දැනුම සොයා යාමේ ක්‍රමයක් නොවෙයි. එක කම්මැලියන්ගේ කුඩා දරුවොන්ගේ ක්‍රමයක්. අනෙක එවිට ඔබට අනුන්ගේ පිළිතුර මත පමණක් යැපීමට වෙනවා. ඔබ අන්තර්ජාලය භාවිත කිරීමේ සමතෙක් නේ. ඉතින් ඒ අදාළ වෙබ් වලට ජර්නල වලට තහවුරු කරන ලද සංක්‍යා ලේඛන බාගත කරගෙන බලන්න. ප්‍රශ්නය විමසීමෙන් දැනුම සොයා යාමේ නුතන අධ්‍යාපන ක්‍රමයක් නොවේ. ඉතා ප්‍රථමික පැරණි එකක් නේ. ඔබ විසින් පොත පත සොයාගෙන කියවීමේදී ඔබ ඔබේ ප්‍රශ්නයට එක්වර පිළිතුරක් දකින්නේ නැහැ. එකිනෙකට වෙනස් බොහෝ මත දකිනවා. ප්‍රශ්නයට අදාළ නැති බොහෝ දේවලුත් ඔබ දකිනවා. ඒ සියලු දේ මැනවින් බලල ඔබ ඔබේ ප්‍රශ්නයට පිළිතුර සොයාගන්නේ. එයයි අධ්‍යාපනය තුලින් ඇතිවෙන අවබෝධය. ඒ නිසයි ප්‍රශ්න විමසීමට වැඩිය සොයා කියවා ඉගෙනීම නවීන සාර්ථක ක්‍රමයක් වෙන්නේ. ඒ වගේම නුතන සෙවුම් යන්ත්‍ර අද එය ඉතා පහසු කර තිබෙනවා.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. බණ කිව්වට පස්සේ උපාසක ඇත්තෝ අහන ප්‍රශ්න අහනවා වගේ අහන එක එතරම් හොද දෙයක් නොවෙයි මම හිතන්නේ.:

      ඒක ඔබේ අදහස. මම එයට ගරු කරනවා. නමුත් එයට පෞද්ගලිකව එකඟ වන්නේ නෑ. බණ කිව්වට පස්සේ අහන ප්‍රශ්නෙකින් කාට හරි උපකාරයක් වෙනවනම් අහන එකේ වැරද්දක් නෑ මයේ හිතේ. ඔය බුදු හාමුදුරුවන්ගේ කාලෙත් උපාසක උපාසිකාවෝ ප්‍රශ්න එහෙම අහල ඇති නෙව. බුදු හාමුදුරුවොත් ප්‍රශ්න ඇහුවම උත්තර නොදී ඉන්න ඇති කියල මම හිතන්නේ නෑ.


      එය නව දැනුම සොයා යාමේ ක්‍රමයක් නොවෙයි:

      ප්‍රශ්න අහල ලබන උත්තරය අහපු එක්කෙනාට "නව දැනුමක්" වෙන්න පුළුවන් බොහෝ විට. ඒ උත්තරේ කලින් අහලනම් ඉතින් ඒක එයට සාපේක්ෂව "පැරණි දැනුමක්." ඔබ ඔය කියන්න හැදුවේ ප්‍රශ්න ඇසීම දැනුම සොයා යාමේ නවීන ක්‍රමයක් නොවේ බව නම්, එකේ ඇත්තක් තියනවා. මම ඉතින් ප්‍රශ්නේ ඇහුවේ blog අඩවියකනේ. blog අඩවියකින් ප්‍රශ්න අහන එක නවීන ක්‍රමයක්.


      එක කම්මැලියන්ගේ කුඩා දරුවොන්ගේ ක්‍රමයක්:

      ඔව් ඒක නම් ඇත්ත තමයි. කම්මැලියෝ කෙසේ වෙතත් පොඩි ළමයි බොහෝ විට ප්‍රශ්න අහල අලුත් දැනුමක් ලබා ගන්නවා. ඇත්තටම පොඩි කලේ අම්මලට තාත්තලට කරදර කර කර අපි ලබාගත්තු දැනුම විස්වාස කරන්නත් අමාරුයි. ඔය සොක්‍රටීස් කියාල දාර්ශනිකයෙකුත් ප්‍රශ්න විමසීම, සාකච්ඡාව වගේ දේවල් දැනුම ලබා ගන්න විතරක් නෙවයි දැනුම නිර්මාණය වෙන්නත් උදව් වෙනවයි කියල කියල තියනවලු. තව දෙයක්.. පෞද්ගලිකව දැනුම ලබාගන්න තියන ලේසි ක්‍රමයක් භාවිත කරන එක කම්මැලි ක්‍රමයක් කියල මම දකින්නේ නෑ..


      අනෙක එවිට ඔබට අනුන්ගේ පිළිතුර මත පමණක් යැපීමට වෙනවා:

      ප්‍රශ්නයක් අහපු පලියට ඒක අහපු එක්කෙනා උත්තරය මත යැපෙනවා කියන්ට පුළුවනැයි? අර කතාවකුත් තියෙන්නේ... "කියන්නා කෙසේ කිවත්.. " කියල.


      ඔබ අන්තර්ජාලය භාවිත කිරීමේ සමතෙක් නේ:

      අනේ මන්ද. මම තාම අන්තර්ජාලයේ ළදරු මට්ටමේ ඉන්නේ මයේ හිතේ...


      ඉතින් ඒ අදාළ වෙබ් වලට ජර්නල වලට තහවුරු කරන ලද සංක්‍යා ලේඛන බාගත කරගෙන බලන්න:

      මම අහපු ප්‍රශ්නයට ගුණාත්මක පිළිතුරක් මිසක් සංඛ්‍යාත්මක පිළිතුරක් බලාපොරොත්තු උනේ නෑ.. කරුණාකර ඔබතුමාට ප්‍රශ්නය ආයි කියවන්න කියල ඉල්ලා සිටිනවා.


      ප්‍රශ්නය විමසීමෙන් දැනුම සොයා යාමේ නුතන අධ්‍යාපන ක්‍රමයක් නොවේ. ඉතා ප්‍රථමික පැරණි එකක් නේ:

      පළමු ප්‍රකාශයට මම කලින් උත්තරයක් දුන්න නෙව. ඔව්. එය ප්‍රාථමික ක්‍රමයක් තමයි. ඔබ මෙතැනදී අදහස් කරන්නැත්තේ මුලික කියන අදහස නේ? (බොළඳ කියන අදහස නොවෙයි නේ..?) අන්තරජාලෙ වේවා වාචිකව වේවා ප්‍රශ්නයක් ඇසීම කියන සංකල්පය පැරණි තමා. යමක් පරණ වෙච්ච පලියට බැහැර කිරීම හොඳ නෑ නේද....?


      ඊළඟට ඔබ සඳහන් කරන කරුනුත් එක්ක මම 100%ක් එකඟයි. එකේ කතා 2ක් නෑ.


      ප.ලි.:

      මා කලින් කිව්වා වගේ බලාපොරොත්තු වුයේ ලේඛකයාගෙන් ඍජු පිළිතුරක්.
      ඇත්ත. sliit එකයි ඇක්වයිනාස් එකයි ලාබ නොලබන ආයතන හැටියට දාල තියනවා wikipedia එකේ. අපි හිතමු ඒවා ලාබ නොලබන ආයතන කියල. ඒවායේ නිසි ප්‍රමිතියක් තියනවද කියන එක ප්‍රශ්නයක්. ඇරත් sliit එක රජයේ නොවන ආයතනයක් හැටියට නම් කරන්න බෑ.
      සංඛ්‍යා ලේඛන ගැන සඳහන් කරපු ඔබට මා ආරාධනා කරනවා මෙරට පවත්වාගෙන යනු ලබන රජයේ විශ්ව විද්‍යාලවලයි අනෙක් රජයේ නොවන විශ්ව විද්‍යාල අතරයි rankings වල පරතරය බලන්න කියල. එය විමසා බැලුවම ඔබට පෙනෙයි //රජය විශ්වවිද්‍යාල සියල්ල හිමි කරගෙන, ඉතා අකාර්යක්ෂම අයුරින් ඒවා නඩත්තු කරමින්\\ වගේ අදහස් පිළිගන්න ටිකක් අමාරුයි කියන එක...


      ප. ප. ලි.:

      මට ඔබේ අනන්‍යතාව ගැන සැකයක් මතු වෙලා තියනවා... අනේ මන්ද... ඔබතුමා පැරා මහත්තයාදවත් කියල... ඒක නම් කොහොමටත් වෙන්න බෑ. මොන මෝඩයද තමන්ගේ අඩවියේ නිර්නාමික වෙන්නේ? මට පිස්සු...

      Delete
    8. ඔබේ පිළිතුරේ ඇතුලත් කරුණු මම හිතන්නේ ප්‍රමාණවත්. ඒවා හරියාකාරව පෙලගස්සවා ගැනීමෙන්ම ප්‍රශ්න ඇසීමෙන් දැනුම සොයා ගැනීමේ අදීනව දැක ගත හැකියි. ඔබ කැමතිනම් ඔබ මුලින්ම අහපු ප්‍රශ්නෙට පිළිතුර ඔබම සොයා බලන්න. මට විශ්වාසයි සති කිහිපයකින් ඔබ ලෝකයේ විශ්විද්‍යාල අධ්‍යාපනය සහ ඒවායේ විවිද ක්‍රම ඒවායේ ඇති අවස්ථා සහ ගැටළු ගැන හොද දැනුමක් ඇත්තෙකු වේවි. ඔබේ හැකියාවන්හි වෙනස ඔබටම අදහාගත නොහැකි වේවි.

      Delete
    9. ආදීනව යනුවෙන් ඔබ අදහස් කලේ කුමක්ද යන්න මට ප්‍රශ්නයක් උනත් ඔබ අවසානයේ කරන යෝජනාව මම අගය කරනවා. කෙසේ වෙතත් මම හිතන විදිහට මේ ලිපියේ මුලික හරය වන්නේ උසස් පෙළ සමත් වුවත් මෙරට විශ්ව විද්‍යාලවල ඉඩක් නැති අයට සිදු වන අසාධාරණය. මේ කාරණය සම්බන්ධයෙන් ලේඛකයා තරමක් දුරට ආවේගශීලී වීම ගැන වැරද්දක් කියන්නත් බෑ... ඇත්තටම කාටහරි අධ්‍යාපන අවස්ථාවක් අහිමි වෙනවා කියන්නේ ලොකු අසාධාරණයක්. ඒ නමුත් ලේඛකයා අවේගශිලිත්වයෙන් ඔබ්බට ගිහින් ටිකක් පිළිගන්න අමාරු කරුණු ලිපියේ යොදල තිබ්බ හින්ද තමයි ඔහුගෙන් ම ප්‍රශ්නය විමසුවේ. ඔහු පිළිතුරු නොදුන්නත් ඔබ හෝ එයට උනන්දුවක් දැක්වීම මම අගය කරනවා. ඒ නමුත් මගේ අරමුණ ඉටු නොවීම ගැන තරමක් දුකක් තියනවා...

      Delete
    10. රටේ හැමෝටම ජර්මනියේ වගේ නොමිලේ උපාධියක් දෙනවා නම් මමත් කැමතියි. එත් අපි හිතන්න ඕනේ ආණ්ඩුව කියන්නේ මහින්දවත් රනිල්වත් මෛත්‍රී වත් ජේවීපී වත් නෙවෙයි. ආණ්ඩුව කියන්නේ අපි. අපිට වැඩි පඩි ඕනේ, බදු අඩුවෙන්න ඕනේ, කාන්තාවෝ මැද පෙරදිග නොගිහින් ඉන්න ඕනේ, බටහිර ට අපේ බදු විකුණා ගැනීමට බාල්දු නොවී ඉන්න ඕනේ, චීනෙන් ණය නොගෙන ඉන්න ඕනේ, වැඩිපුර ගන්න ගන්න අපේ අවුරුදු 2500 ක සංකෘතියට හානි වෙන කැසිනෝ නිරුවත් වෙරල තීර වගේ අසික්කිත දේවල් කරනේ නැතුව ඉන්නේ ඕනේ, එකී නොකී ඔක්කොම ඕනේ.

      හැබැයි හැමෝටම නොමිලේ උපාධියත් ඕනේ. එත් මේකියන ඒවා කරන්න කෝ ආණ්ඩුවට සල්ලි ? (රජයන් මේ කරන කාලකන්නි නාස්තිය නවත්තල යම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් බව ඇත්ත. එත් එක ප්‍රමාණවත් නැහැ.) ඉතින් නොකෙරෙන වේද කම ගැන කතා නොකර කෙරෙන දෙයක් ගැන බලන එක නරකද ?

      ............................................................................................................................

      //අධ්‍යපනය ලැබිය යුත්තේ කිසියම් හෝ වෘත්තියක් කිරීමට යනුවෙන් සිතිමට මේ සමාජය අපට පුරුදුකර ඇත.//

      මමත් මේ ගැන නම් ඔබ සමග එකගයි. අද්‍යාපනය වෘත්තියකටම එල්ල කරන්නේ නැතුව මිනිසෙක් නිර්මාණය කරන්න ඕනේ. අධ්‍යාපනය ලැබිය යුත්තේ වෘත්තියක් කිරීමටම නොවෙයි.
      හැබැයි වෘත්තියක් කිරීමට අධ්‍යාපන අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එහෙම නැති වුනාම තමයි දොස්තර මහත්තුරුත් හොස්ස ලගින් මැස්ස ගියාම කොන්දොස්තර මහත්තුරු වගේ හැසිරෙන්නේ.


      //එබැන් අප සියල්ලන් එකතුවී පවතින ක්‍රමයම වෙනස් කල යුතුය. //

      කෝදුරු තෙල් හත් පට්ටයක් ගෙනල්ලත් නොකෙරෙන වේද කම ගැන ම කතා නොකර කෙරෙන දෙයක් ගැන බලන එක නරකද ?

      ..............................................................
      මගේ ජීවිත කාලය තුල රට පාලනය කල ඇත්තෝන්ගේ වැඩ වල හැටියට නම් මම හිතන්නේ නැහැ තව අවුරුදු 50 කදී වත් උසස් පෙළ සමත් වෙන හැමෝටම උපාධියක් නොමෙලේ දෙන්න හැකි වේවි කියල. ඒ අතරෙත් උනන්දුවෝ NVQ ක්‍රමය විවුර්ත වී.වී. ආදී ක්‍රම වලින් ගිහින් උපාධි ගන්නවා. නමුත් තවත් වැඩ කාරයෝ ටිකක් උපාධි නැති කම නිසා හිර වෙලා ඉන්නවා. ඒ අයට වැඩ කරන ගමන් කසාදෙට කලින් උපාධියක් ගන්න විදියක් හැදුවොත් රටේ අදායමට හොදයි.
      අනික තමයි ලොකුම විහිලුව. නිදහස් අද්‍යාපනය ගැන මොරදෙන පුද්ගලික විශ්වවිද්‍යාල වහන්න කියන HNDE , NDT , CGTTI වගේ අය හැමෝම හොරෙන් City & Guilds කරනවා. මේවා හරි කැත වැඩ විදියට මම දකින්නේ. මම ලංකාවෙන් ලබාගත් පලමු පශ්චාත් උපාධිය හැරෙන්නට ලොව ඉහලම අද්යාපන සුදුසුකම දක්වා ඉගෙන ගත්තේ නොමිලේ. නමුත් අද්‍යාපනය කියන්නේ අධ්‍යාපනයම මිසක් නොමිලේ අද්‍යාපනය පමණක් නොවෙයි.

      පුද්ගලික විශ්වවිද්‍යාල වසා දැමීම ගැන බොහෝ දෙනෙක් කරන කතාව වෙනුවට පුද්ගලික විශ්විද්‍යාල ගුණාත්මක බවිත් යුතුව නියාමනය කරන්නේ කොහොමද කියල කතාකරනවා නම් කොතරම් වටිනවද ?

      Delete
  2. Agree. Country must look after රජයේ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශය නො ලැබෙන 230,000කට වැඩි ඉතිරි පිරිස and also school dropouts below that, rather than graduates.

    ReplyDelete
  3. පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධය තනිකරම වෘත්තිමය ඊර්ෂියාව මත පදනම්වුවකි. වැඩි වැඩියෙන් දොස්තරලා, ඉංජිනේරුවෝ බිහිවෙනවට උන් බයයි. තමන්ට තිබෙන අවස්ථා නැතිවෙනවට. ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වන එකටත් විරුද්ධ ඒකයි. ලංකාවේ ඔය සරසවි වලට තේරෙන ය හිතාගෙන ඉන්නේ ඒගොල්ලන්ට රැකියා දෙන එකත් රජයේ වගකීමක් කියලයි.

    ReplyDelete
    Replies
    1. ඉංජිනේරුවන් අතර එහෙම ප්‍රශ්ණයක් නෑ. හරියට හෙයල බලන්න . ලංකාවේ වරලත් ඉංජිනේරුවෙක් වෙන්න පුලුවන් විශ්ව විද්‍යාලයකට නොගිය අයෙකුට වුවත්

      Delete
    2. ඔව් ඉංජිනේරුවන්ට එහෙම ගැටළුවක් නැහැ. IESL හෝ CIE-UK වරලත් ඉංජිනේරුවෙක් වීමට උසස්පෙළ සමත් නම් පුළුවන්. CIE-UK මිල අධික වුනත් IESL ඒ තරම් මිල අධික නැහැ. එසේ උසස්පෙළ නැතිව පවා වාරි දෙපාර්තුමේන්තුවේ පුහුණු සහතික මගින් පැමිණි අය මා දැක තිබෙනවා. වරලත් ඉංජිනේරුවෙක් වීමට ලංකාවේ තිබෙන ගොඩාක් ක්‍රම කියන්නට පුළුවන්. දොස්තර ගොල්ල තමයි බය. ඒගොල්ල ඉතින් රජයෙන් ම පටන් ගතිපු නොමිලේ අවුරුදු 4 සම සෞක්‍ය උපාධියට පවා බය වුන අයනේ. :D

      Delete
    3. /සම සෞක්‍ය උපාධියට පවා බය වුන අයනේ/
      පැරාමෙඩික්ලා හදන්න දෙන්නෑ, පබ්ලික් හෙල්ත් ෆැකල්ටියක් අරින්න දෙන්නෑ,නර්ස්ලට ෂෝර්ට් කෝර්ස් තියන්න දෙන්නේ නෑ, ඇත්තටම මේක රටක ජනතාවක් ප්‍රාණ ඇපකරුවන් කරගැනීමක් නේද?

      Delete
    4. ඉන්ජිනෙරුවන්ට එහෙම ප්‍රශ්නයක් නෑ. අපිට තියෙන ප්‍රශ්නෙ දැන් අලුතෙන් එන උපාධි දාරින්ට හරියට මූලික දැනුම නැතිකමයි, ගොඩක් අය කට්ටකාගෙන වැඩ කරන්නෙ නැතිකමයි

      Delete
    5. මුලික දැනුම නැති වුනේ නම් 2000 අවුරුද්ද හෝ ඒ ආසන්නයේ ඉංජිනේරු පීඨ විසින් ගත මෝඩ තීරණයක් නිසා. ඊට කලින් ඉංජිනේරු පීඨ වල බවුතික විද්‍යාව වැනි විෂය අවුරුද්දක් පමණ ඉගැන්නුවා. පසුව මුළු ඉංජිනේරු පාඨමාලාවම තාක්ෂණික අධ්‍යාපනයට සීමා කළා. ලංකාවේ රජයේ ඉංජිනේරු පීඨ (විවුර්ත වී.වී හැර) විද්‍යාවේදී උපාධියක් පිරිනැමුවට වැඩිදුර විද්‍යා අධ්‍යාපනයක් ඔවුන්ට ලබාදෙන්නේ නැහැ. අනික පැය 5ක් තිබු ප්‍රයෝගික පරීක්ෂණ වල වෙලාව සමාසික ක්‍රමය තුලදී පැය 3ක් කරපු එක. වෙලාව අඩු වුනාට පරීක්ෂණ වෙනස් වුනේ නෑ. එක නිසා ළමයි දැන් ඒවා කොහොමහරි ඉවරකරලා ලකුණු ගන්න බලනවා මිසක් ඉගෙන ගන්නබලන්නේ නෑ. කට්ට කාගෙන වැඩ කරන්න අකමැත්ත නම් ඉතින් ඉන්ජිනේරුවොන්ගේ විතරක් නෙවෙයි මුළුමහත් සාඩම්බර ශ්‍රී ලංකික ජනතාවගේ ලක්ෂණයක් වීගෙන එන්නේ දැන් නම්.

      Delete
  4. ඔය 20,000 තෝරන ක්‍රමයේත් ලොකු අසාධාරනයක් වෙනවා. උදාගරණයක් විදියට ගත්තොත් දිස්ත්‍රික් ජන අනුපාතය අනුව පීඨවලට ඇතුලත් කරගැනීම. ජන අනුපාතය ගනන් හදන්නේ 1980 ජන අනුපාතය අනුව. නාගරීකරනය අනුව 1980 වෙනත් දිස්ත්‍රික්කවල පදිංචි පව්ල් විශාල සංඛ්‍යාවක් කොලඹනට සංක්‍රමනය වී ඔව්න් ගේ දරුවන් කොලඹින් විභාගයට පෙනීසිටී. නමුත් ඔව්න්හේ ජන අනුපාතය අනුව විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නේ ඔව්න්ගේ දෙමව්පියන් කලිං පදිංචිවී සිටිය දිිස්ත්‍රික්කයේ ළමයෙකුට!. ඒ වෙනුවට කොලඹ ළමයෙකුගේ අවස්ථාව අහිමිවෙනවා !. ඒ වගේම තමයි 5 ශේණිය ශිෂ්‍යත්වය සමත්වී කොලඹ පාසලකට එන වෙනත් දිස්තූික්කයක ළමයෙක් නිසාද කොලඹ ළමයෙක්ගේ තැන අහිමිවෙනවා. ඒ වෙනුවට පිට දිස්ත්‍රික්කයක ළමයෙකුට වාසියක් සිදුවෙනවා. පසු ගිය වසරේ Z Score cut off marks බැලුවොත් මේක හොඳට අවබෝධ කරගන්න පුලුවං

    ReplyDelete
  5. 1. ලංකාවේ අපි අධ්‍යපනය ලබන්නේ මහජනතාවගේ බදු මුදල්වලින් කොටසක් වියදම් කරලාය. බදු මුදල් වලින් ජනතාවට අධ්‍යපනය, සෞඛ්‍ය නොමිලේම වාගේ ලබා දෙන්නේය. මම දන්නා තරමට ලංකාවේ සාමාන්‍ය ජනතාව තමන්ගේ බදු මුදල් වලින් අනිත් මිනිස්සුන්ට අධ්‍යපනය දෙන්න එපා කියා ඉල්ලීමක් කරන්නේ නැතිය. ජනතාවගේම බදු මුදලින් ජනතාවට අධ්‍යපනය දෙන්න අවශ්‍ය නැහැ කියා පවසන්නේ මහජන බදු මුදල් පාලනය කිරීම සදහා තාවකාලිකව භාරදී ඇති ආණ්ඩුය. එම ආණ්ඩුවලට අවශ්‍ය මෙලෙස වෙන් කරන පහසුකම් ප්‍රමාණය අවම කිරීමටය. එලෙස වෙන්නේ ජනතාවගේ අවශ්‍යතාවය නිසා නොව අධ්‍යපනය වෙළද භාණ්ඩයක් ලෙස අලෙවි කිරීමට හැකි නිසාය.


    2. පෞද්ගලික විශ්ව විද්‍යාලවලට පක්ෂව අදහස් දක්වන බොහෝමයක් එලෙස අදහස් දක්වන්නේ දැනට පවත්වාගෙන යන අධ්‍යපන ක්‍රමයේ පවතින දුර්වලතාවයන් සහ අඩුපාඩු හේතුවෙන්ය. බොහෝමයක් දෙනා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කල යුතුයැයි ඉල්ලා සිටින්නේ පවතින අධ්‍යාපනයේ තරගකාරිත්වයතුල එයින් විවිධ හේතුමත ඉවත්වන පුද්ගලයින්ට නැවත අවස්ථාවක් නොලැබෙන නිසාය. අධ්‍යපනයේ පවතින තරගකාරිත්වය නිසා පවතින ක්‍රමයෙන් එලියට යන පිරිසට සහ පසු කාලීනව වෙනත් ක්ෂේත්‍රයක් පිලිබදව ආශාවක් ඇතිවන පුද්ගලයන්ට ඉගෙන ගැනීමට අවස්ථාවන් ලබාදීම ඉතා වැදගත්ය. මෙම අවශ්‍යතාවය ප්‍රයෝජනයට ගැනීමට බලා සිටින මොනවා හෝ අලෙවිකර ලාභ උපැයිමට අපේක්ෂා කරන පුද්ගලයින් අතට මෙය ලබා දීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.


    3. මම දකින්නේ අධ්‍යපනයේ ගුණාත්මකභාවය පවත්වා ගනිමින් තිබෙන සම්පත් ප්‍රමාණය වැඩිකර දැනට බදවා ගනු ලබන ප්‍රමාණයට පුර්ණ ශිෂ්‍යත්ව ලබා දීමටත් අමතර ප්‍රමාණයකට අර්ධ ශිෂ්‍යත්ව සහ මුදල් ගෙවා අධ්‍යපනය ලැබිමට හැකිවන පරිදි රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතියක් පවත්වාගෙන යාම මම සිතනා පරිදි යහපත්වනු ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්දතියට අමතරව රජය විසින්ම පවත්වාගෙන යනු ලබන මුදල් ගෙවා අධ්‍යපනය ලැබිය හැකි ආයතන සැදිමෙන් තොරව පුද්ගලික විශ්වවිද්‍යාල සැදිමෙන් සිදුවන්නේ පාඨමාලාවල ගුණාත්මක භාවය අභාවයට යාමක්මය.


    4. දැනටමත් බොහෝ පුද්ගලයින් සහ ආයතන විසින් පරිඝණක, කළමනාකරණ සහතිකපත්‍ර නිකුත්කරනු ලබන අතර කිසිවකු විසින් එවා පිලිගැනීමකට ලක් කරන්නේ නැත. අනාගතයේ උපාධිවල තත්වයද එම මට්ටමට පැමිණිමට හැකි අතර දැන් පරිඝණක, කළමනාකරණ ආදී පාඨමාලා සහ හෙද වැනි වෘත්තිය පාඨමාලා වලට වියදම් කරන මුදල මෙන් අනාගතයේදි උපාධිවලට වියදම් කරන මුදලද අපරාධ වියදමක් වීමට ඉඩ ඇත..


    5. ලංකාවට සංචාරක කර්මාන්තය මෙන්ම විදේශයන්ට අධ්‍යපනය සහ පුහුණු ශ්‍රමය සැපයිම මගින් අනාගතයක් ඇතිබව ආණ්ඩු නොදැකිම බරපතල ගැටලුවක්ය. දැනටද පුහුණ ශ්‍රමිකයින් සහ වෘත්තිකයින්ට විදේශයන්වල යම් ඉල්ලුමක් පවති. මෙම ක්ෂේත්‍රය දියුණු කිරීම රටට ආදායම ලැබිමට හෝ අධ්‍යපනය ලබන පිරිසට විදේශ ගතවිමට හෝ ලැබෙන අවස්ථාවක්ය. එමෙන්ම දැනටද ලංකාව තුලද පුහුණු ශ්‍රමයේ දැඩි හිගයක් ඇත. දක්ෂ වැද්දුම්කරුවකු, පයිප්ප වැඩ දන්නා පුද්ලයකු, ආදී ඉදිකිරීම් ක්ෂේත්‍ර යේ දක්ෂයකු සොයා ගැනීම අතිශය අමාරුය.


    6. මා පෞද්ගලික අධ්‍යපන ආයතන ඇති කිරීමට එකග නැති විමට දෙවන හේතුව වන්නේ මේලෙස පුද්ගලික ආයතන ඇතිවීමත් සමගම රජයේ ආයතන අභාවයට යෑම නිසාය. දැනටද රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතියේ හොද මට්ටමේ ආචාර්යවරුන්ගේ, මහචාර්යවරුන්ගේ සහ උපදේශකයින් හිගයක් පවති. මේ සදහා විසදුමක් සෙවිමෙන් තොරව පුද්ගලික ආයතන ඇති කිරීමෙන් සහ ආචාර්යවරුන්ගේ වරප්‍රසාදයන් කපා දැමිම සහ වැටුප් මට්ටම අඩු මට්ටමක තබා ගැනීමෙන් තව දුරටත් විශ්වවිද්‍යාල පහළ මට්ටමකට යැමට හැකි අතර හැකියාවන් සහිත ආචාර්ය වරුන්ද වැඩි වරප්‍රසාද වලට පුද්ගලික ආයතනවලට යැමෙන් තව දුරටත් අර්බුධ ඇතිවිය හැකිය.

    ReplyDelete
    Replies
    1. 1. ලංකාවේ ආදායම අනුව හැමෝටම උසස් අධ්‍යාපන අවස්ථා ලබාදෙන්න පුලුවනිද? ලංකාවේ ප්‍රධාන අදායම් උපයන්නේ ගැහැණුන් මැදපෙරදිග ගොස් එවන මුදලිනි. මේ අදායමෙන් අධ්‍යාපන දීම හැර වෙන කරන්නට බොහෝ දේ තිබේ. ලංකාව වැනි ඉතාමත්ම දුප්පත් රටකට මෙවන් වියදමක් දැරිය හැකිද? අනිත් අතට දැනටත් උසස් අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදලින් අප නිසි ප්‍රයෝජයනයක් ලබා තිබේද? අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස විකිණීමට සිදුවී ඇත්තේ මේ නිසා නොවේද?

      2. පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන් ඉහත හේතුව නිසාය. එනම් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන බහුතරයකට රජයේ විශ්වවිද්‍යාල වලට යන්නට නොහැකිවන නිසාය. දෙවන හේතුව රජයේ විශ්වවිද්‍යාල වලින් දෙන බොහෝ උපාධි ලංකාවේ රැකියා වෙළඳපොල ඉලක්ක කරගත් ඒවා නොවීමෙන් රැකියා විරහිත් උපාධිධාරීන් බිහිවීමය.

      3. සුරංගනා කතාවල එන සංකල්පවල ගිලී සිහින දකින්නට අපට හැකි නමුත් යථාර්තය ඊට වඩා බොහෝ වෙනස් බව සිහි තබා ගත යුතුය. පිරිසකට ශිෂ්‍යත්ව දීමෙන් සහ තවත් පිරිසකට මුදල් අය කිරීමෙන් උසස් පෙළ සමතුන් හැමෝටම විශ්ව විද්‍යාල පහසුකම් දිය හැකිද? සිසුන්ට තමන් කැමති පාඨමාලාවක් හැදෑරිය හැකිද? මුදල් අයකිරීම යනු පෞද්ගලික අධ්‍යාපනයම නොවේද? පාඨමාලාවක ගුණාත්මකභාවය අදාල වන්නේ එයට මුදල් ගෙවා සහභාගිවන සිසුන්ට නේද? ඒ සඳහා ඔවුන් මුදල් ගෙවීමට කැමතිනම් පාඨමාලාවේ ගුණාත්මක බව ගැන අපට තිබෙන ප්‍රශ්නය කුමක්ද?

      4. පෞද්ගලික ආයතන වලින් ප්‍රධානය කරන සියලුම සහතික ලංකාවේ පිළිගන්නේ නැතිද? ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයක වසර 7ක් නාස්තිකර ලබාගත් උපාධියටද ලංකාවේ පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාගන්නට මා හට නොහැකිවිය. මා රැකියාවක් ලබාගත්තේ පෞද්ගලික ආයතනයකින් ලබාගත් අධ්‍යාපනයට පින්සිදුවන්නටය. පෞද්ගලික ආයතනවලින් දෙන සහතිකවලට පිළිගැනීමක් නැතිනම් ඒවාට ඉල්ලුමක් ඇතිවන්නේ නැත. පෞද්ගලික ආයතනවලින් සහතික ලබාගන්නා කිසිවෙකු තමන්ට රජයේ රැකියා ලබා දෙනලෙස උද්ඝෝෂණය කරනු ඔබ දැක තිබේද?

      5. ලංකාවට පෞද්ගලික උසස් අධ්‍යාපනික ආයතන අවශ්‍ය වන්නේ ඔබ කියන මේ හේතුව නිසාමය. හෝටල් පාසල්, ජර්මානු කාර්මික ආයතනය වැනි ආයතන ලංකාවට අවශ්‍යයි. රජයට මේ සඳහා පිරිවැය දැරිය හැකිද?

      6. පෞද්ගලික අධ්‍යාපනය නිසා රජයේ නිදහස් අධ්‍යාපනය අභාවයට යන්නේ කෙසේද? ලංකාවේ පෞද්ගලික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල් ද කාලයක් තිස්සේ ක්‍රියාත්මකවේ. එමගින් ලංකාවේ රජයේ පාසල්වලට සිදුවී ඇති බලපෑම කුමක්ද? මා සිතන පරිදි එමගින් සිදුවී ඇත්තේ රජයේ පාසල් සිය තරඟය හමුවේ තමන්ගේ තත්ත්වය උසස් කිරීමට ක්‍රියාකිරීම බවයි.

      Delete
    2. මංගල කියල තිබෙන්නේ හැමදාම ඇහෙන වට්ටෝරු කතා ටිකනේ. එකට උත්තර ලැබිල තියෙන නිසා ඒ ගැන මොකට ආයේ කියනවද ?

      රටේ හැමෝටම ජර්මනියේ වගේ නොමිලේ උපාධියක් දෙනවා නම් මමත් කැමතියි. එත් අපි හිතන්න ඕනේ ආණ්ඩුව කියන්නේ මහින්දවත් රනිල්වත් මෛත්‍රී වත් ජේවීපී වත් නෙවෙයි. ආණ්ඩුව කියන්නේ අපි. අපිට වැඩි පඩි ඕනේ, බදු අඩුවෙන්න ඕනේ, කාන්තාවෝ මැද පෙරදිග නොගිහින් ඉන්න ඕනේ, බටහිර ට අපේ බදු විකුණා ගැනීමට බාල්දු නොවී ඉන්න ඕනේ, චීනෙන් ණය නොගෙන ඉන්න ඕනේ, හදල සංචාරකයෝ වැඩිපුර ගන්න ගන්න අපේ අවුරුදු 2500 ක සංකෘතියට හානි වෙන කැසිනෝ නිරුවත් වෙරල තීර වගේ අසික්කිත දේවල් කරනේ නැතුව ඉන්නේ ඕනේ, එකී නොකී ඔක්කොම ඕනේ. :D

      හැබැයි හැමෝටම නොමිලේ උපාධියත් ඕනේ. එත් මේකියන ඒවා කරන්න කෝ ආණ්ඩුවට සල්ලි ? (රජයන් මේ කරන කාලකන්නි නාස්තිය නවත්තල යම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් බව ඇත්ත. එත් එක ප්‍රමාණවත් නැහැ.) ඉතින් නොකෙරෙන වේද කම ගැන කතා නොකර කෙරෙන දෙයක් ගැන බලන එක නරකද ?

      Delete
    3. 1. අධ්‍යපනය පෞද්ගලිකරණය කල යුතුයැයි කියන පිරිස මුලින්ම ඒ සදහා පෙළඹෙන්නේ දැනට පවතින අධ්‍යපන ක්‍රමයේ දෝෂ නිසාය. ඔබගේ මුලික ප්‍රශ්නය වන්නේ දැනට අධ්‍යපනයට වියදම් කරන මුදලින් වියදම් කරන තරමේ ප්‍රතිඵලයක් ලැබේද යන්නය. දැනට ක්‍රියත්මකවන අධ්‍යාපන ක්‍රමයේ බොහෝ අඩුපාඩු ඇත. එය නිවරදි කිරිම ඉතාමත් අවශ්‍යය. එය නිවරදි කිරීමේ අවශ්‍යතාවය ඉටු නොකර එය විකිණිමෙන් ප්‍රතිඵලයක් ලැබේයැයි ඔබට විශ්වාස කල හැකි වුවද මා විශ්වාස කරනුයේ අධ්‍යපනය විකිණිමෙන් තොරව පවතින අධ්‍යපන ක්‍රමය වැඩිදියුණු කලයුතු බවයි.

      2. මා සදහන් කලේ විවෘත විශ්ව විද්‍යාලය වැනි ආයතනයන් ඇති කල යුතු බවය. එය රැකියාවල නියුක්තවන පුද්ගලයින්ට හා වෙනත් අධ්‍යාපනය අවශ්‍ය පුද්ගලයින්ට අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසා දීමක්ය. ඒ සදහා යම් මුදලක් අය කිරීම අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමක් සේ අවශ්‍ය කෙනෙකුට දැකිමේ බාධාවක් නොවන බවද කාරුණිකව දක්වමි.තවද, පෞද්ගලික අංශයට අඩු මුලික පිරිවැයක් දරා දැනට රටතුල පවතින සම්පත්ම භාවිතාකර අධ්‍යපනය විකුණා ලාභයක් ලැබිය හැකිනම් රජයට එවනි දෙයක් කල නොහැකියැයි පැවසිය හැක්කේ කෙසේද?

      3. පාඨමාලාවක ගුණාත්මකභාවය මුදල් ගෙවන පුද්ගලයා තිරණය කරන්නේනම් එහි ගුණාත්මකභාවය පිලිබදව අප කලබල විය යුත්තේ ඇයි ලෙස ඔබ විසින් ප්‍රශ්නකර ඇත. කිසියම් කෙනෙකු තමන් මොනයම් හෝ ආකාරයකින් උපයන මුදල් මත්ද්‍රව්‍ය සදහා වියදම් කරයිනම් අපි ඒ සදහා විරුද්ධවී එවායින් සමහරක් නිති විරෝදී මත්‍ද්‍රව්‍ය ලෙස නම් කර තියෙන්නේ ඇයි?, අපිට එයින් යම් කිසි වරදක් සිදුවන බැවින්ද?

      4. රජයේ උපාධියක් හෝ වෙනත් අධ්‍යාපන සුදුසුකමක් ලබාගත් පුද්ගලයකුට රැකියාවක් නොමැතිවීම පවතින අධ්‍යාපනයේ සහ පවතින සමාජ ක්‍රමයේ ගැටලුවක්ය. අධ්‍යපනය ලැබිය යුත්තේ කිසියම් හෝ වෘත්තියක් කිරීමට යනුවෙන් සිතිමට මේ සමාජය අපට පුරුදුකර ඇත. රජයේ විශ්වවිද්‍යාලයකින් හෝ පෞද්ගලික ආයතනයකින් පුද්ගලයකු යම් සහතිකයක් ඉල්ලා සිටින්නේ තමන්ට එම ක්ෂේත්‍රය පිලිබදව ඉගෙනීමට ඇති අවශ්‍යතාවය නිසාම නොවේය. කෙනෙකුට දොස්තර කෙනෙකු ඉංජිනේරුවකු හෝ වෙන කවුරුන් හෝ වීමට අවශ්‍ය වන්නේ එලෙසවු පසු සමාජයෙන් තමාට ලැබෙන යම් කිසි හෝ දෙයක් නිසාය. එය මුදල්, තත්වය හෝ වෙන ඕනෑම දෙයක් විය හැකිය.

      5. රජයට මුදල් ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන් එකතුකරගනු ලබන බදු මුදල් වලින්ය. ගැටලුව තියෙන්නේ රජය එකතුකරනු ලබන බදු මුදල් වියදම් කිරීම සහ ඒවා එකතු කිරිමේ ක්‍රමවේදයන් පිලිබදවය. බදු මුදල් වියදම් කිරිම පිලිබදව ජනතාවට යම් තරමක විශ්වාසයක්ද නැත. ජනතාවට ගැටලුව ඇත්තේ බදු මුදල් වැඩිවීම පිලිබදව නොව තමන්ගේ ආදායම වැඩි නොවීම පිලිබදව සහ ඒවා වියදම් වන ආකාරය පිලිබද විනිවිදභාවයක් නොමැතිවීමය. අප පවතින සමාජය අනුව මෙලෙස කිරීම සුදුසුයැයි සිතනවාට වඩා සමස්තය පිලිබදවම කල්පනාකර පවතින ක්‍රමය වෙනස් කිරීම සිදුකල යුතුය. පවතින සමාජ ක්‍රමයෙන් අධ්‍යාපනයය, මාර්ග තදබදය, පරිසර දුෂණය වෙන වෙනම ගලවා විසදුම් සෙවිම නැවත ගැටලුව වැඩිකිරීමක්ම වීමට ඉඩ ඇත. එබැන් අප සියල්ලන් එකතුවී පවතින ක්‍රමයම වෙනස් කල යුතුය. එය වෙනස් කල යුත්තේ කෙලෙසද? සකස්කල යුත්තේ කුමක්ද යන්න පිලිබදව සියල්ලන්ම නැවත සිතිය යුතුය.


      Delete
    4. //අධ්‍යපනය ලැබිය යුත්තේ කිසියම් හෝ වෘත්තියක් කිරීමට යනුවෙන් සිතිමට මේ සමාජය අපට පුරුදුකර ඇත.//

      මමත් මේ ගැන නම් ඔබ සමග එකගයි. අද්‍යාපනය වෘත්තියකටම එල්ල කරන්නේ නැතුව මිනිසෙක් නිර්මාණය කරන්න ඕනේ. අධ්‍යාපනය ලැබිය යුත්තේ වෘත්තියක් කිරීමටම නොවෙයි.
      හැබැයි නොවුනත් වෘත්තියක් කිරීමට අධ්‍යාපන අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එහෙම නැති වුනාම තමයි දොස්තර මහත්තුරුත් හොස්ස ලගින් මැස්ස ගියාම කොන්දොස්තර මහත්තුරු වගේ හැසිරෙන්නේ.


      //එබැන් අප සියල්ලන් එකතුවී පවතින ක්‍රමයම වෙනස් කල යුතුය. //

      කෝදුරු තෙල් හත් පට්ටයක් ගෙනල්ලත් නොකෙරෙන වේද කම ගැන ම කතා නොකර කෙරෙන දෙයක් ගැන බලන එක නරකද ? : D

      Delete
  6. පැරකුම්,

    මාතෘකාවට අදාළ නැතිමුත් වැදගත් කරුණක් දක්වන්නම්. කුප්‍රකට ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිට නාවික හමුදාපති රවින්ද්‍ර සී විජේගුණරත්න මහතා මෙහෙයවන කණ්ඩායමකගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි සේනාධිපති විසින් අද සවස මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබේ. අද උදෑසන සිට නාඳුනන දෙදෙනෙකුගෙන් සමන්විත සැකකටයුතු යතුරු පැදියක් නිශ්ශංක සේනාධිපතිගේ කාර්යාලයට වටා කැරකැවෙමින් ඔත්තු බලමින් සිට තිබේ. ෆුල් ෆේස් හෙල්මට් පැළැඳ සිට ඇති දෙදෙනා ඉන්පසුව එම යතුරු පැදියෙන්ම ඔහුගේ නිවස වටාද සැක කටයුතු අන්දමින් සැරි සරා තිබේ. මේ පිලිබඳ සොයා බලද්දී ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගමේ නිලධාරීන් කිහිප දෙනෙකුගේද නිවෙස් වටා මෙවැනිම යතුරු පැදි සැරිසරා ඇත. සේනාධිපතිගේ නිවස සහ කාර්යාලය වටා කැරකැවුනු යතුරු පැදිය සේවකයන් විසින් වීඩියෝ ගත කරන ලද අතර එහි අංකය BAG 6093 ලෙස වීඩියෝවේ සටහන් වී ඇත.

    මේ සම්බන්ධයෙන් සේනාධිපති අද සවස මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔහු විසින් සපයන ලද වීඩියෝවේ සඳහන් අංක BAG 6093 යතුරු පැදිය කාට අයත් එකක් දැයි පොලිසිය විසින් කරන ලද සොයා බැලීමේ දී මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් පවසා ඇත්තේ එය නාවික හමුදාපතිවරයාගේ නමට ලියාපදිංචි කර ඇති එකක් බවයි. වැඩි දුරටත් කරන ලද පරීක්ෂන වලදී එය නාවික හමුදාපති යටතේ ඇති බුද්ධි අංශයන්ට අයත් යතුරු පැදියක් බවද සොයා ගෙන තිබේ.

    මාධ්‍ය වාර්තා අනුව නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගම නාවික හමුදාවට පවරා ගන්නා ලද්දේ එම කටයුතු නාවුක හමුදාවට කළ හැකි බවට වත්මන් නාවික හමුදාපතිවරයා විසින් අතිගරු ජනාධිපතිතුමාට රෙකමදාරු කරන ලද තත්ත්වයක් යටතේ ය. නමුත් පසුගිය කාලයේදී එය අසාර්ථක වී තිබුනේ ඇවන්ට් ගාඩ් සමාගම ලැබූ ආදායම නාවික හමුදාවට ලබා ගැනීමට නොහැකි වීමත් ඇවන්ට් ගාඩ් සමාගම රැකියා සපයා තිබූ 6700 ක පිරිසට රැකියා ලබා දීමට නාවික හමුදාව අපොහොසත් වීමත් නිසාය. පසුව නාවික හමුදාව පවසා සිටියේ එම කටයුතු ඉන්දීය, සිංගප්පූරු සහ මැලේසියානු සමාගම් වෙත පවරා දීමට යන බවයි. මෙම ප්‍රකාශයෙන් පසුව ඇවන්ට් ගාඩ් සමාගම නාවික හමුදාවට පවරා ගැනීම දේශප්‍රේමී කටයුත්තක් ලෙස රටට ජනතාවට කරන ලද ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව පැහැදිලි විය.

    පසුගිය අන්ත දූශිත රාජපක්ෂ රෙජීම සමයේදී ද නාවික හමුදාව නීති විරෝධී මනුෂ්‍ය ඝාතන පැහැරගැනීම් රාශියක් සිදුකර ඇති බව මේ වන විටත් පරීක්ෂණ වලින් හෙලි වී ඇති අතර නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම අත් අඩංගුවේ පසුවෙති. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැර ගැනීමක් සම්බන්ධයෙන් මේ වන විට හිරුණිකා මහත්මියගේ ආරක්ෂකයන් 6 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

    මා සිතන පරිදි මෙම සිදුවීම් සියල්ලම අන්ත දූශිත රාජපක්ශ මිනීමරු කල්ලිය විසින් කරන ලද කුමන්ත්‍රණයක් වියහැකි බවය. ඉතා අසීරුවෙන් දිනාගත් යහපාලනය ජනතාව අතර අප්‍රසාදයට පත් කරවන මෙම කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව ජනතාව පෙළගැස්විය යුතු අතරම පාදඩ රාජපක්ශ කල්ලිය විනාශ කර දැමීම කළයුතුමය.

    ReplyDelete
  7. HNDE course එක හොඳයිද ?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.