2016-01-08

පුරවැසියා පරාද ද? (ජනවාරි 08 විප්ලවයෙන් වසරකට පසු)

කිසි ලෙසකින්වත් නැවත එපා! 
ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා වසරක් ගෙවී යද්දී, ඒ අරගලයට උර දුන් බොහෝ දෙනෙක් සටහන් තබනු ඇත්තේ කලකිරීමෙනි.

කලකිරීම පහසු ය. එහෙත්, දේශපාලනිකව තත්වයන් තේරුම් ගනිමින් යහපත් සමාජයක් වෙනුවෙන් වන පුරවැසි අරගලය ඉදිරියට තල්ලු කිරීම එතරම් පහසු නැත.

ශ්‍රී ලංකාවේ අපි නායකත්වයක් නැති ජනතාවක් ය යන්න භයානක ඇත්තකි. එහෙත්, අප තෝරාගෙන තිබෙන්නේ අපට ගැලපෙන නායකයන් බවට ද තර්ක කළ හැකි ය.

අපගේ දේශපාලන නායකයෝ අන්ත දූෂිතයෝ ය. මිනීමරුවෝ ය. පල් හොරු ය. ස්ත්‍රී දූෂකයෝ ය. මිථ්‍යාව පසුපස දුවන මුග්ධයෝ ය. පහසුවෙන් තේරුම් ගත හැකි මෝඩ කපටියෝ ය. ඇත්තේ ඉහත කී ලක්ෂණවල අඩු වැඩිකම් පමණි.

අපෙන් නායකත්වය ඉල්ලා සිටින විකල්ප පුද්ගලයන් හා ව්‍යාපාර කෙබඳු ද? ඔවුන් එක්කෝ ජාතිවාදයෙන් තම අරමුණ කරා යා හැකි යයි සිතන්නෝ ය. නැතිනම් ලෝක විනාශවාදියෝ ය. ඒ කියන්නේ වයසින් හා ඥානයෙන් මුහුකුරා නො ගිය සිසුන්, තරුණයන් වැනි පිරිස් රවටා ඔවුන් අන්ධ භක්තිකයන් බවට පත් කරගෙන ඔවුන්ගේ ජීවිත මතින් සිය අරමුණු වෙත යන්නට උත්සාහ කරන්නෝ ය.

අපට එවැනි නායකයන් පිරිසක් ලැබී ඇත්තේ ඇයි? මූලික ප්‍රශ්නය තිබෙන්නේ ජනතාව වන අපගේ ම ය. ජනතාව ලෙස අප ද දූෂිතයෝ ය. අපි කෙතරම් නීති ගරුක ද? පාර පනින්නට පදික මාරුව ළඟ කොළ එළිය දැල්වෙනකල් බලා ඉන්නට අපි කීදෙනෙක් සූදානම් ද? භාවිතා කරන පොලිතින් වෙන් කර කසල බඳුනකට පමණක් දමන්නට අප කීදෙනෙක් සූදානම් ද? නිවස ඉදිරිපිට පාර අපේ යයි අපි කීදෙනෙක් සිතනවා ද? තමන්ගේ රැකියාව, ව්‍යාපෘතිය එහි පාර්ශ්වකරුවන්ට සාධාරණය ඉටු වන පරිදි හරියට කළ යුතු යයි සිතන්නේ කී දෙනා ද?

අප කැරකෙමින් සිටින්නේ විෂම චක්‍රයක ය. අපට ගැලපෙන නායකයන් අපට ලැබේ. ඉන් පසු අපි උන්ට බැන බැන කලකිරෙන්නෙමු.

ජනවාරි 8 අප විසින් ජනාධිපතිවරයකු පත් කර ගන්නා ලදී. ඔහු අපට අවශ්‍ය ආකාරයේ නායකයකු වූයේ නැත. එහෙත්, ඔහු නායකයකු ලෙස ගොඩනැගෙනු ඇතැයි අපි අපේක්ෂා කළෙමු. 2016 වන විට බොහෝ දෙනෙක් කලකිරී සිටිති. නිදසුනක් ලෙස ගතහොත්, ජාතිවාදී, පසුගාමී චින්තනයක් ප්‍රවර්ධනය කරන බාල පුවත්පත් කලාවක සංකේතයක් ලෙස සැලකිය හැකි දිවයින පුවත්පතේ කතුවරයා මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය උපදේශකවරයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිය පදනම් ශක්තිමත් කර ගැනීම සඳහා ද ඔහු තමන්ට සමීප කර ගනිමින් හා ඉදිරියට ගනිමින් සිටින්නේ රාජපක්ෂ පාලනය තුළ ඉතාම නරක අන්දමින් කටයුතු කළ පිරිස් ය.

බලයේ සිටින ජනාධිපතිවරයකු තමන් වටා එක් රැස් කර ගන්නා පුද්ගලයන් ඉතා වැදගත් ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුව, ඇමති මණ්ඩලයට පත් කරන ලද ඔහුගේ නියෝජිතයන්, ඔහුගේ උපදේශකයන්, මාධ්‍ය මෙහෙයුම්කරුවන් ආදීහු ප්‍රගතිය අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු සුන් කරන අය වෙති. එහෙත්, මෙම පිරිස් රාජපක්ෂවාදයේ මධ්‍ය ස්නායු බවට පත් වී සිටි අය බව ද අමතක නො කළ යුතු ය.ඔවුන් අහිමි වීම රාජපක්ෂවාදයේ පරාජයකි.

බලයට පත් වී වසරකට පසුවත් ජනාධිපති මෛත්‍රීපාල තවමත් සිටින්නේ මහින්ද රාජපක්ෂ සමග අරගලයක ය. ඔහු තවමත් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිය පදනම ශක්තිමත් කර ගැනීමේ අතිශය උන්නතිකාමී වැඩසටහනක ය. ඔහු තවමත් රාජ්‍ය පාලනයට බැරෑරුම් ලෙස මැදිහත් වී ඇති බවක් නො පෙනේ. රාජපක්ෂ ඒකාධිපතිවාදය පරාජය කිරීම තීරණාත්මක සාධකයක් බව ද අප අමතක නො කළ යුතු ය. එහිදී කුමන කොන්දේසියක් යටතේ හෝ රාජපක්ෂ පවුලට නැවත බලයට පත් වීමට ඉඩක් නො තැබීම දේශපාලනික වශයෙන් වැදගත් කාරණයකි. එහෙත්, එය කළ යුත්තේ රාජපක්ෂවාදයෙන් ඇතුළතින් ම මිදෙන ගමන් ය. ජනාධිපතිවරයාගේ වසරක කාර්යසාධනය තුළ එය කෙතරම් දුරට අත්පත් කරගෙන ඇත් ද යන්න ද අප සාධාරණ අන්දමින් කල්පනා කළ යුතු ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වසරක කාර්යසාධනය නරක එකකැයි මම නො සිතමි. එය පරමාදර්ශී එකක් නො වේ. පරමාදර්ශයන් බලාපොරොත්තු වන්නේ කුමට ද? ඔහු රාජපක්ෂ අභියෝගය සාර්ථක අන්දමින් පසුබස්වා තිබේ. ප්‍රජාතන්ත්‍රය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මුලපිරීම් කර තිබේ. 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ආරම්භ කරන ලද එය මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ වැඩසටහනක් දක්වා ඉදිරියට පැමිණ තිබේ.

දූෂිතයන්ට තව දුරටත් මුක්තිය ලැබීම පිළිබඳ බොහෝ දෙනෙක් කලකිරී සිටිති. එහෙත්, දේශපාලන මැදිහත් වීම් හරහා දූෂිතයන්, දේශපාලන ඝාතකයන් වැනි සමාජයට එරෙහි අපරාධකරුවන්ට දඬුවම් කරනු වෙනුවට නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන්ට ස්වයංව ශක්තිමත් වීම සඳහා ආණ්ඩුව පහසුකම් සපයා තිබේ. එය ඵලදායී වෙමින් තිබෙන බව මේ වන විට අපරාධ පරීක්ෂණවල සිදු වෙමින් තිබෙන දේවලින් පෙනේ.

ආර්ථික පැත්තෙන් ගත් කල ආණ්ඩුව තවමත් අඳුරේ අතපත ගාමින් සිටින බවක් පෙනේ. එහෙත්, රාජපක්ෂවාදය විසින් නිර්මානය කරන ලද ආර්ථික වියවුලෙන් මිදෙන ගමන් ම, රටට ගැලපෙන චිරස්ථායී ආර්ථික මූලෝපායක් සම්බන්ධයෙන් සංවාදයක් පැවතීම ද වැදගත් ය.

නායකයන් ගැන ලොකු බලාපොරොත්තු තබා ගන්නට බැරි බව ජනවාරි 8 විප්ලවයෙන් වසරක් ගත වන විට නැවත ඔප්පු වෙමින් තිබේ. එහෙත්, තවත් ඒකාධිපතියකු ගැන සිතීම ප්‍රශ්නයට විසඳුම නො වේ. එහෙත්, කලකිරී පැත්තකට වීම ජනතාව පැත්තෙන් ගත් කල වගකීම් විරහිත ක්‍රියාවකි. සවිඥානක, සක්‍රිය පුරවැසියා යනු හැම විට ම යහපත් සමාජයක් සඳහා අරගලයේ වැදගත් පාර්ශ්වකරුවෙකි. පුරවැසියාට සිය මැදිහත්වීම සාර්ථක අන්දමින් කළ හැත්කේ අන්තයන් වෙත තල්ලු නො වී ඉතා උපායශීලී ලෙස මැදිහත් වීමෙනි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

14 comments:

  1. nikan kade noya hitu, wililejja nedda ?

    ReplyDelete
    Replies
    1. ඕක ඇනොනිමස් කියන්නේ කෙළින් කියන්න බය ඇයි? විලි ලැජ්ජා නැද්ද?

      Delete
    2. ඇනෝනිමස් මඩ ගහන්නේ ඇයි ? එයින් යමෙක් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ? එවැනි අය ඇත්තෙන්ම දුබලයින්...

      Delete
  2. ලංකාවෙ උන්ට හම්බවෙන්නෙ උන්ටම ගැලපෙන විමාන හා යක්කු කියන එකනම් දියුනු රටකට ගිහින් හිටපු ඔනෑම එකෙකුට තෙරෙනව... නීතියට ගරු නොකරන, 100 වැඩකරලා 1000 ගන්න බලන, අන්ත දූෂිත, ජාතිවාදී, ආගම්වාදී, මිත්‍යාදුශ්ඨික, ඊර්ශියාකාරී, කුහක හැතිකරයක් තමා ලංකාවෙ ජනගහනයෙන් බහුතරයකට ඉන්නෙ...

    විෂ්වවිද්‍යාල සිසුවගෙ ඉදන් මුදලාලි දක්වාම, වෛද්‍යවරයාගෙ ඉදන් ආන්ඩුවෙ කන්තොරුවක පියන් දක්වාම, සමාජවාදී පක්ෂවල අනුගාමිකයින්ගෙ සිට ජාතිවාදී පක්ෂවල අනුගාමිකයින් දක්වාම, ආරක්ශක ලෙකම්ගෙ ඉදන් පොලිස් කොස්තාපල් දක්වාම, කැබිනට් ඇමතිගෙ ඉදන් ප්‍රා.සභා මන්ත්‍රී දක්වාම බහුතරය ඉහතකී ගතිගුන තියෙන භ්‍රශ්ටයො තමා.. මේ මඩ වගුරේ පිපුන නෙලුම්මල් තමා රනිල්, හරීන්, හර්ෂ.ඩි සිල්වා, විජයදාස රාජපක්ෂ වගෙ ප්‍රාඥයින්....

    මමනම් ඉන්නෙ ලංකාවෙ නෙමේ.. මගෙ ලමයින්ගෙ ලමයිවථ් ඔකෙ හදන්නෑ.. නමුත් ඔහෙලට ලස්සන රටක් දකින්න ඔනෙනම් 2020 දී රනිල් රටේ විධායක නායකයා කරලා 2030 වෙනකම්වත් ප්‍රභල එජාප ආන්ඩුවක් හදාගනිල්ල...

    ReplyDelete
    Replies
    1. වෙන රටක තර්ඩ් ක්ලාස් වෙනවට වඩා මඩ ගොඩක් උනත් තමන්ගෙ රටේ ඔලුව කෙලින් කරන් ඉන්න එක නම්බු කාරයි.....

      Delete
  3. රනිල්, හරීන්, හර්ෂ.ඩි සිල්වා, විජයදාස රාජපක්ෂ වගෙ ප්‍රාඥයින්....???????????????????

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තෙ? විජේදාස පෝස්ටර් ගහගත්තෙ එයා පරාඥෑයෙක් කියල, ලියුමකුත් එව්වා අපිට. ඔයා දැක්කෙ නැද්ද?

      Delete
  4. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වසරක කාර්යසාධනය නරක එකකැයි මම නො සිතමි. එය පරමාදර්ශී එකක් නො වේ. පරමාදර්ශයන් බලාපොරොත්තු වන්නේ කුමට ද? ඔහු රාජපක්ෂ අභියෝගය සාර්ථක අන්දමින් පසුබස්වා තිබේ. ප්‍රජාතන්ත්‍රය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මුලපිරීම් කර තිබේ. 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ආරම්භ කරන ලද එය මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ වැඩසටහනක් දක්වා ඉදිරියට පැමිණ තිබේ.

    එච්චරයි

    ReplyDelete
  5. ආධුනික බ්ලොග්කාරිණියකගේ කිසිසේත්ම ආධුනික නැති කවි පෙළක් . කරුණාකර ගිහින් කියවා රස විඳ උනන්දු කරවන්න.

    ReplyDelete
    Replies
    1. ආධුනිකකම තිබෙන්නේ නිර්මානය තුළයි. ඇතැම් පළපුරුදු නිර්මානකරුවනුත් ආධුනික මට්ටමේ නිර්මාන කරනවා. අලුත් අයට හොඳ නිර්මාන කරන්නට බැරිකමක් නැහැ.

      Delete
  6. 2009-2014 කාලයේ පාලනයට වඩා නරක්වීම ඉතා අපහසු දෙයකි. ට්‍රයි කරලත් කරගන්න බැරිවගේ දෙයකි. එනිසා ඔන්න ඔහේ නරක අඩුයි කියල හිතාගෙන ඉන්නවා අපි

    ReplyDelete
  7. //අපට එවැනි නායකයන් පිරිසක් ලැබී ඇත්තේ ඇයි? මූලික ප්‍රශ්නය තිබෙන්නේ ජනතාව වන අපගේ ම ය. ජනතාව ලෙස අප ද දූෂිතයෝ ය. අපි කෙතරම් නීති ගරුක ද? පාර පනින්නට පදික මාරුව ළඟ කොළ එළිය දැල්වෙනකල් බලා ඉන්නට අපි කීදෙනෙක් සූදානම් ද? භාවිතා කරන පොලිතින් වෙන් කර කසල බඳුනකට පමණක් දමන්නට අප කීදෙනෙක් සූදානම් ද? නිවස ඉදිරිපිට පාර අපේ යයි අපි කීදෙනෙක් සිතනවා ද? තමන්ගේ රැකියාව, ව්‍යාපෘතිය එහි පාර්ශ්වකරුවන්ට සාධාරණය ඉටු වන පරිදි හරියට කළ යුතු යයි සිතන්නේ කී දෙනා ද?//

    1. මම සිතන්නේද අප රටේ ජනතාව සිතන ආකාරය වෙනස් කල යුතු බවය. අපට කිසිවකු විසින් හෝ මේක සුරපුරයක් කරනතුරු බලා සිටිමෙන් කිසිවක් සිදුවන්නේ නැත. අපට යහපත් ප්‍රර්ථනාවන් තිබිමට පුලුවන අප ඒ වෙනුවෙන් වෙනස් වෙන්නේ නැතිනම් අපගේ යහපත් ප්‍රාර්ථනා ඉටු වන්නේ නැත.

    2. ජනතාව බුද්ධිමතුන් සහ නිවරදි තිරණ ගන්නා පුද්ගලයින් ලෙස ඔවුන් රවටමින්ද, ඔවුන් සතුව උත්තරිතර බලයක් ඇතැයිද කියමින් අපව රවටමින් සිටින පාලකයන්ව අප පෙන්විය යුතුව ඇත. රනිල් සහ මෛත්‍රී ගේ යහපාලනය මගින් එය වෙනස් නොවන බවත් ජනතාව තව දුරටත් හුදකලා වීම පමණක් සිදුවන බව අපට හොදටම පෙනෙන්නට ඇත. ජනවාරි 8වනදා වෙනස්වුයේ පාලකයාගේ රූපය පමණක් යන්න මාගේ අදහසය. හෙට වුවද නැවත මහින්ද වැනි පාලකයකුට බිහිවිමේ විභවයක් ඇත. (මාතලන් පවා විශ්වාස කරන්නේ සොදුරු ඒකාධිපතියෙක් සිටිය යුතු බවය. මෙය මාතලන්ගේ පමණක් නොව බහුතරයකගේ අපේක්ෂාවය)

    3. යහපාලන නඩය අතහැරදමා ජනතාවට නැවත මහින්ද දෙසට හැරීමෙන් අමුතුවෙන් දෙයක් ලැබෙන්නේද නැත. වෘත්තිය සමිත් නායකයින් , පුරවැසි පෙරමුණු සහ සිවිල් බුද්ධිමතුන් සිතන ආකාරය මේ යහපාලන නඩය කළමණාකරණය කරගෙන මේක ලස්සන කිරිම සිදු කිරිම යහපත් ප්‍රාර්තනාවක්ය. මා විශ්වාස කරනුයේ මෙයට විකල්පව සමාජ ව්‍යාපාරයන් ශක්තිමත් කල යුතුයි යන්නය.


    ReplyDelete
  8. මමත්වය නැතිකරගැනීමට කාලය පැමිණ ඇත.. අද කතාවද මයි සෙල්ෆ් ගැනය.. යුවර් සෙල්ෆ් අමතකව ඇත... ගාන්ධි මුණුබුරාගේ කතාව ඔහුට තේරුනා යයි සිතමි

    ReplyDelete
  9. පුරවැසියාට සිය මැදිහත්වීම සාර්ථක අන්දමින් කළ හැත්කේ අන්තයන් වෙත තල්ලු නො වී ඉතා උපායශීලී ලෙස මැදිහත් වීමෙනි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.