2016-02-17

කිලිනොච්චියේ සිට ලියමි


සටන් විරාම සමයෙන් පසු පළමු වතාවට යාපනයේ හා කිලිනොච්චියේ ඇවිද්දෙමි. මිනිසුන් හමු වුණෙමි. එය යුද සංචරණයක් නො වේ. වන්දනාවක් ද නො වේ. මම කිසිදු තැනක් විශේෂයෙන් බලන්නට නො ගියෙමි. එය නිකම් ගමනකි. 

කලින් හමු වූ ඇතැම් මිනිසුන් දැන් හමු විය නො හැක. අප පාගන පොළව මත ඔවුන්ගේ ලේ තැවරී තිබිය හැකි ය. 

බොහෝ දේ වෙනස් වී ඇත. අලුත් මං ඉදි වී ඇත. ඒ මත සමතල තාර පලස් ය. වීදි දෙපස සල්පිල් ය. වෙළඳාම සරු ය. සුන්බුන් බිම ඇද දමා අලුත් ගොඩනැගිලි ඉදි වී ඇත. පාර හරහා මුර කපොළු නැත. පලාලි ගුවන් තොටුපළ වටා තවමත් අධි ආරක්ෂක කලාපයකි. එයට යට වී ඇත්තේ ජනතාවගේ ඉඩම් ය. පොලිසියේ ලොකු ලොක්කෝ සිංහලයෝ ය. ඔවුහු තේරෙන හැටියට පැමිණිලි විසඳති. අපට හමු වූ දෙමළ මිතුරෝ හඩන්නට බැරි නිසා සිනාසෙති. 

හමුදාව කඳවුරුවල සිටිති. කිලිනොච්චියේ පන්සලක ශබ්ද විකාශනයෙන් පිරිත් පිට වේ. බීතෝවන් එලිසා වෙනුවෙන් රචනා කළ වාදනය රැගෙන චූන් පාන් රථයක් පාරේ යයි. කරණවෑමිහලක මහ හඬින් වේග රිද්ම ගීයක් වාදනය වේ. තරුණයෝ නව රිද්මයට කොණ්ඩය කපති. අල්ලපු කඩයේ ශාරීරික ව්‍යායාම කරමින් තවත් තරුණයන් පිරිසක් ඇඟ හදා ගනිති. 

ඒ කාලයේ අප සිංහල යයි දැනගත් විට එදිරිවාදී හෝ සැකමුසු හෝ ඇසින් අප දෙස බැලූ සිංහල නොදත් මිනිසුන් වෙනුවට කෑම කඩයේදී හමු වන්නේ සිංහලෙන් කතා කර, සුහදව සංග්‍රහ කරන දෙමළ මිනිසුන් ය. 

කුඹුරුවල අස්වනු නෙළා අවසන් වෙමින් තිබේ. වී පටවා ගත් ලොරි බරට බරේ ඇදී යයි. මිනිස්සු, ගැහැනු, ළමයි ජීවිතය සොයා බයිසිකල් පදිති. තැන තැන පොලිතින් එක් රැස් වෙමින් තිබේ. මිනිසුන්ගේ මුහුණුවල විවිධ කතා ලියැවී ඇත. ඒ මතින් දැල්වෙන්නේ බලාපොරොත්තු ය. 

බොහෝ දේ වෙනස් වී ඇත. බොහෝ දේ දකුණේ ජීවිතයට සමාන වෙමින් තිබේ. අපි මාධ්‍ය ගැන කතා කළෙමු. මාධ්‍ය අපරාධ වාර්තා කරන්නේ හැඟීම් ප්‍රකෝප කරන ලෙස බව මිතුරෙක් කීය. ‘උදයන් කියන්නේ දෙමළ ජාතික සන්ධානය කියන එක. වාලම්පුරි ප්‍රචාරය කරන්නේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලාගේ දෙමළ ජාතිවාදී අදහස්. ඔය දෙකම වැඩක් නැහැ,' නිහඬ දෙමළ මිතුරෙක් මා සමග කීවේ ය. 

‘මේ ලැබිල තියෙන අවස්ථාව පාවිච්චි කරන්න ඕනැ මිනිසුන් විදියට අපි එකතු වෙන්නයි.' ඔහු කී වදන් මගේ දෙසවන් පුරා රැව් දෙයි. 

රේල් ගේට්ටුව වැසිණි. රතු එළි නිවි නිවී දැල්වෙයි. කිලිනොච්චියේ අබලන් ඒ 9 මහා මාර්ගයට සමාන්තරව දිගු වැලි මගක් දිගේ පයින් ගමන් කරන අතර එය කුමක්දැයි අතීතයේ දිනෙක මම මිතුරකුගෙන් ඇසීමි. 

“ඒ තමයි, ඉස්සර රේල් පාර. සටන්කරුවෝ සිල්පර කොටන්වලින් බංකර් හැදුවා."

මම දුක් වුණෙමි. ඒ අන් කිසිවක් නිසා නොව මම දුම්රියවලට ආදරය කරන නිසා ය. 

“දෙමළ ඊලම පුංචි රාජ්‍යයක්. ඒකට මහාමාර්ග විතරක් ඇති. දුම්රිය පාරවල් ඕනැ නැහැ," මිතුරා කීවේ ය. අප අතර දේශපාලන මතභේදයක් ඇති වූ පසු ඔහු කිසි දිනෙක මා හා කතා කළේ නැත. 

යුද්ධය බුර බුරා ඇවිලෙද්දී ඔහු විදේශගත වූයේ ය. පුංචි දෙමළ ඊලම වෙනුවෙන් පළා නො ගොස් සටන් කළ මිනිස්සු ඒ බිමේ ම වැළලී ගිය හ. ඊට වඩා ලොකු ශ්‍රී ලංකාව ඉතිරි විය. 

රතු පාට දුම්රියක් වේගයෙන් ධාවනය විය. රතු පාට එළි නිවී ගේට්ටුව ඇරිණි. කහපාට එළියක් නිරතුරුව දැල්වෙයි. එය කොළ පාට එළියක් නො වන්නේ ඇයිදැයි කල්පනා කිරීම වැදගත් ය.


 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

23 comments:

  1. පැරා,
    මහින්ද, රනිල් වගේ දිගටම සාම සාකච්චා කලානම්, ඔබ කවද කිලිනොච්චියේ ඉඳන් බ්ලොග් ලියයිද ? දෙමල මිනිසුන් ආර්ථික ලෙස කවද දිවුණු වෙයිද? කවද ඔය දෙමල තරුණයෝ හොන්දමොස්තර විලාසිතා කරයිද ?
    අද ඔය කියන සහෝදරත්වය සාමකතා තිබුනානම් තියෙයිද ?
    මතක තියාගන්න පැරා ඔය කියන සාමේ ඔය සිදුවුණ යුද්දයට වඩා කෘරයි!!

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වෙ... රනිල් හැදුවෙ මේක දසදහස් ගනන් නොමැරී සිවිල් ක්‍රියාමාර්ගයකින් විසදගන්න... 2005 රනිල් බලයට පත් උනානම් කොටි සංවිධානෙ තව කොටස් 3-4 කැඩෙනව.. ප්‍රභාකරන් මැරෙන්නෙ බොහෝවිට සංවිධානය ඇතුලෙන්ම එන ප්‍රහාරයකින්... කිලිනොච්චියෙ, මුලතිව් වල ඉන්න මිනිස්සු සාමය නිසා කැලෙන් එලියට ඇවිත් ලෝකය දැක්ක.. මෝඩ වම්මු, සිංහලජාතිවාදියො හා දෙමල ජාතිවාදියො රට යුද්ධෙට තල්ලු කලා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. 1983 ඉදල 1994 වෙනකම් ඔයකියන කොටස් 3-4 කඩුවේ නැත්තේ ඇයි දන්නේ නෑ.
      1993 දී නම් රටේ ජනාධිපති කෑලි කීපයකට කැඩිලා තමයි ඉවර උනේ

      Delete
  2. //‘මේ ලැබිල තියෙන අවස්ථාව පාවිච්චි කරන්න ඕනැ මිනිසුන් විදියට අපි එකතු වෙන්නයි.' ඔහු කී වදන් මගේ දෙසවන් පුරා රැව් දෙයි//

    දෙමළ මිනිස්සුන්ට ඒ වැඩේ කරගන්න දෙන්නේ නැත්තේ දකුණේ වගේම උතුරේත් ඉන්න ජරා දේශපාලුවෝ.

    //කුඹුරුවල අස්වනු නෙළා අවසන් වෙමින් තිබේ. වී පටවා ගත් ලොරි බරට බරේ ඇදී යයි. මිනිස්සු, ගැහැනු, ළමයි ජීවිතය සොයා බයිසිකල් පදිති. තැන තැන පොලිතින් එක් රැස් වෙමින් තිබේ. මිනිසුන්ගේ මුහුණුවල විවිධ කතා ලියැවී ඇත. ඒ මතින් දැල්වෙන්නේ බලාපොරොත්තු ය//

    ඒ බලාපොරොත්තු වලට විෂ පොවන්නට හදන දේශපාලුවන් තමයි ඒ මිනිස්සුන්ව ආයෙත් නොමරා මරන්නේ.

    //“ඒ තමයි, ඉස්සර රේල් පාර. සටන්කරුවෝ සිල්පර කොටන්වලින් බංකර් හැදුවා."//

    නැහැ නැහැ. එයාලා විතරක් නෙවෙයි. අපේ හමුදාවත් එහෙම කළා.

    //රතු පාට දුම්රියක් වේගයෙන් ධාවනය විය. රතු පාට එළි නිවී ගේට්ටුව ඇරිණි. කහපාට එළියක් නිරතුරුව දැල්වෙයි. එය කොළ පාට එළියක් නො වන්නේ ඇයිදැයි කල්පනා කිරීම වැදගත් ය//

    කොළ එලිය කවුරුන් හෝ දල්වා දෙනතුරු බලා නොඉඳ අපිම එය දල්වාගැනීමට උත්සාහ කළයුතුය.


    ReplyDelete
    Replies
    1. //කොළ එලිය කවුරුන් හෝ දල්වා දෙනතුරු බලා නොඉඳ අපිම එය දල්වාගැනීමට උත්සාහ කළයුතුය. // +++++++++++

      Delete
    2. ethaa age athi commentuwak wicha,thuma.

      Delete
    3. ඉස්සර රතු කොඩි දාපු දැන් කොළ කොඩි දාන අය නම් ඔය ඉන්නේ.

      Delete
  3. මා ලියූ ගීතයක්.

    ගායනය- තිසල් පාදුක්ක විදාන
    සංගීතය- විශාරද ඉන්දු ප්‍රේමතිලක

    පොල් ගස තාල වර්ගයේ
    තල් ගස තාල වර්ගයේ
    පොල් ගස් යට තල් ගස් යට
    බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
    උන් සුවර්ගයේ

    තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
    මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
    ඒ වතුරේ පීන පීන
    මේ වතුරේ පීන පීන
    දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
    භූමදානයේ

    හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
    කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
    ඒ ලුනු රස පදමට ගෙන
    දෙහි ඇඹුලට මුසු කරගෙන
    මුළු රට කිරිබත් කන දිනයක් ගැන
    සිත විමසන්නේ

    (2009)

    ReplyDelete
    Replies
    1. මේ ගීයේ ඇති අඩුව නම් සිංහල ජනයා හැඟවීමට තිසා වැව, නුවර වැව ගැන කියද්දී දෙමළ ජනයා හැඟවීමට ධාතුසේන රජු ඉදි කළ ඉරණමඩු වැව සහ ස්වාභාවික මාවිල් ආරු ගැන ලියා තිබීමයි. මේ වචනවල නිරුක්ති බැලුවත් මේවා සිංහල වචන. ඉරණමඩු කියන්නෙ රණමඩුව කියන එකට දෙමළ ඉයන්න එකතු වෙලා. මාවිල් කියන්නෙ මහවිල් කියන එක. මේ ගීයෙ, දෙමළ ජනයා හැඟවීමට දෙමළ රජවරු තැනූ වැවක් ගැන කිව යුතුව තිබුනා. මේ ගීය (සිංහල දන්න) දෙමළ පුද්ගලයෙකුට රසවිඳීමට පුළුවන් එකක් නෙමෙයි. ධාතුසේන රජු හදපු තවමත් සිංහල නිරුක්තියක් සහිත ඉරණමඩු වැව තමන්ගේ එකක් කියලා සිතන්න දෙමළ ජනයා ට හැකියාවක් නැහැ. මේ ගීය සිංහල ජාතිවාදියෙකු ගේ පද රචනාවක් වන්නේ ඒ නිසයි. මේ ගීයෙන් කරළා තියෙන්නේ සිංහලයන්ගේ ඉතිහාසය දෙමළුන් මත බලෙන් පැටවීමට උත්සාහ කිරීමකුයි. මේ නිසා මේ ගීය සැබෑ අරුතක් සහිත ගීයක් වීමට නම්, සිංහලයන් හැඟවීමට සිංහලයා ගේ උරුමයේ සංකේත භාවිතා කරන ආකාරයට දෙමළුන් හැඟවීමට දෙමළ ජනයා ගේ උරුමයේ සංකේත භාවිතා කළ යුතුයි. මෙරට අතීතයේ සිටි දෙමළ රජවරුන් කරවාපු නිර්මාණ ගැන කිවයුතුයි. එහෙම වෙන්නෙ නැත්නම්, එතැන ඇත්තේ සිංහලයන් ගේ ආධිපත්‍යය දෙමළුන් මත බලයෙන් පැටවීමට දරන ජාතිවාදි ප්‍රයත්නයක් පමණයි.

      Delete
    2. විචාරයට ස්තුතියි.
      ඉරණාමඩු සහ මාවිලාරු යන නම් යෙදුවේ ඒවා යුද්ධය සංකේතවත් කරන නම් නිසා මිස ඔබ කියා ඇති කාරණා නිසා නොවන බව දන්වමි.
      මෙය ජාතිවාදී ප්‍රයත්නයක් නම් නොවේ.

      Delete
    3. මේ මහත්මයා ගේ මනස වැඩ කරන ආකාරය මට නම් නොතේරේ. මේ පදමාලාව දෙස බැලූ කල මට නම් පෙනුනේ තිසා වැව, නුවර වැව ආදිය මගින් සිංහලයන් ද, ඉරණමඩු, මාවිල් ආරු ආදිය මගින් දෙමළ ජනයා ද හැඟවීමට ප්‍රයත්න දරා ඇති බවකුයි. එහෙත් මේ මහත්මයා දැන් කියන්නේ ඉරණමඩු, මාවිල් ආරු ආදිය මගින් යුද්ධය සංකේතවත් කරන නිසා එම නම් යෙදූ බවයි. එතකොට තිසා වැව, නුවර වැව ආදිය මගින් සංකේතවත් වන්නේ කුමක් ද?

      Delete
    4. /* මට නම් පෙනුනේ තිසා වැව, නුවර වැව ආදිය මගින් සිංහලයන් ද, ඉරණමඩු, මාවිල් ආරු ආදිය මගින් දෙමළ ජනයා ද හැඟවීමට ප්‍රයත්න දරා ඇති බවකුයි. */

      ඔව් ඔබ හරි. එය එලෙස තමයි.

      නමුත් විවිධ කරුණු දැකවීම්වලින් පසුව ඔබ කරන මාවිලාරු සහ ඉරණමඩු ගැන පදනම්ව "සිංහලයන් ගේ ආධිපත්‍යය දෙමළුන් මත බලයෙන් පැටවීමට දරන ජාතිවාදි ප්‍රයත්නයක්" ප්‍රකාශය ගැන පැහැදිලි කිරීමට තමා මා ඉහත කමෙන්ටුව, (එනම් ඒ නම් යුද්ධයේ සංකේත බව) යෙදුවේ.

      මෙහි පද වෙනස් කිරීමට වෙනත් නම් තිබේ නම් සඳහන් කරන්න.

      ධාතුසේන සහ අදාළ දේ ගැන කීමේ ඔබේ අදහස මට නොවැටහුණා නොවේ!

      ස්තුතියි.

      Delete
  4. අපූරූ සටහනක් පැරා.....

    වැඩි වැඩියෙන් ඔවුන් ආර්ථිකව වශයෙන් නගා සිටවිය යුතුයි...

    ReplyDelete
    Replies
    1. ඔවු.. එහේ මිනිස්සු වැඩි වැඩියෙන් ආර්තිකව දියුනු වෙනකොට, සුවපහසු මධ්‍යම පාන්තික ජීවිතයට හුරු වෙනකොට කැලේ හැන්ගිලා කරන ජාතිවාදී අරගල ගැන හිතන්න යන්නෑ

      Delete
  5. ‘මේ ලැබිල තියෙන අවස්ථාව පාවිච්චි කරන්න ඕනැ මිනිසුන් විදියට අපි එකතු වෙන්නයි.' වෙන්න ඕන ඒකයි. ඒ වෙනුවෙන් මැදිහත්වීමයි අවශ්‍ය...

    ReplyDelete
  6. යුද්දේ නිමා වීමෙන් අනතුරුව දකුණේ ජනයා ලබන යම් ප්‍රතිලාභයක් වේද එය උතුරේ ජනයාද එලෙසින්ම ලැබිය යුතුය.ඔවුන් සැහැල්ලුවෙන් ඉන්න බවක් පෙනෙනවා.ඔවුන්ගේ ඉඩම් නිදහස් කර ඒ මිනිසුත් එකම රටක සහෝදරයින් ලෙස පිළිගන්න තවමත් දකුණේ සමහරුන් සුදානම් නැත්තේ මොකද කියන එක මට නම් ගැටළුවක්.

    ReplyDelete
  7. වැඩි වැඩියෙන් ආර්ථික සංවර්ධනය කිව්වාට දෙමළ දේශපාලන අවස්ථාවාදය තුළ ඒක එහෙමම යථාර්ථයක් වෙන්නේ නෑ. ඔවුන් අතර ඇති ඇතැම් බෙදීම් හරිම විෂමයි. රළුයි. උදාහරණෙකට උතුරේ ධීවර ප්‍රශ්නෙදි දෙමළ ජාතික සන්ධානය ගොළුවො වගේ වැඩ කරන්නෙ. එතැන කුල ප්‍රශ්නයක් තිබෙනවා. මේ නිසා ධීවරයන්ට ආමන්ත්‍රණය කරන එක දේවානන්දා බාරගෙන හිටියා. දැන් නම් සුමන්තිරන් එහෙම ටිකක් කතා කරනවා. හැකිතරම් ධනවාදය සම්මුඛ කිරීමෙන්ම පලක් නොවෙන බව පැරාත් පිළිගන්නවා මම හිතන්නෙ.

    ReplyDelete
  8. // අපට හමු වූ දෙමළ මිතුරෝ හඩන්නට බැරි නිසා සිනාසෙති.//
    අපි සිංහල නිසාද කොහෙදො අපිව පෙනෙන්නෙ නෑ.. හෙහ් හෙහ්..
    හොඳ අවදි කිරීමක්.
    ජයවේවා..!!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.