2016-03-12

ගිත, කවි, රචනා සහ හෑලි........

අජන්තා රණසිංහ 
තුෂාර දන්කැටිය විසිනි (ආරාධිත ලේඛකයෙකි)

අජන්තා රණසිංහගේ වියොවත් සමග මෙරට සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට ගේය පද රචකයෙක් අහිමි වුණා. එ් අහිමි වීමත් සමග මට මතක් වුණේ කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස්, කේ.ඩි.කේ. ධර්මවර්ධන, ප්රෙමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කුමාරදාස සපුතන්ත්‍රි, කුලරත්න ආරියවංශ, ලූෂන් බුලත්සිංහල වැනි රචකයන් නොමැති වූවානම් මෙරටේ ගීත සාහිත්‍ය ක්ෂේත්‍රයක් පිළිබඳව කතා කිරිමටවත් නොහැකිවෙන බවයි.

මේ කීප දෙනාගෙ ගීපද රාශිය ඉවත් කොට සිංහල ගීතාවලිය දෙස බැලුවහොත් ඉතිරිවන්නේ,"නම්පොත", "මගුල් ලකුණ"වැනි හෑලි ටිකක්.

සැබැවින්ම මෙම රචකයන් භාෂාවෙන් හරඹ පෑ විශිෂ්ටයන්. විටෙක භාෂාවද මොවුන් අතින් පෝෂණය වුණා. හොදම වචන හොඳම විදියට ගලපන්න විතරක් නෙමෙයි මේ රචකයන්ට පුලුවන්. ඕනැම වචනයක් හොඳට ගලපන්නත් පුලුවන් මේ අයට.

අජන්තා රණසිංහගෙ නින්ද නේන රාත්‍රියෙ සිංදුවෙ එන මේ වචන දිහා පොඩ්ඩක් බලන්න.

අරුණෝදයේ ඔබේ
නෙතු සඟලේ කැලුම් සලා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනා සලා
සෙනෙහේ විජිනි පතින් සනහන්
මට පවන් සලා....

මෙ පද ගැලපුම හරිම ලස්සන වගෙම ඒ වචනත් ලස්සනයි.



වචන ගැලපුම ලස්සනයි කියන්නෙ, පෙම්වතියට ගොඩාක් ආදරේ කරන පෙම්වතෙකුට පෙම්වතිය දැක්කහම මුවගට එන වචනවලට සමාන වචන තමයි මෙ ගීතයෙ තියෙන්නේ. මේ වගේ ලස්සන වචන ගෙත්තම් කරන්නට අජන්තා සමත්. මොහුගෙ ගීත බොහොමයකම මෙ භාව සූචක ගුණය තියෙනව.

අජන්තා දුහුලුමලක් ච්ත්‍රපටයට ලියු බොඳ මීදුම් කඳුරැල්ලේ කියන ගිතයෙත් ලස්සන යෙදුම් ගොඩක් තියෙනවා.

අනාගතේ කිරුලු දරා 
දෙපා මුලට වඩිනතුරා
ලවන් පොඟන මියුරු තෙපුල්
හෙටත් වාසනා

ලවන් පොඟන මියුරු තෙපුල් වගෙ යෙදුම් කොතරම් මිහිරිද?




පාළු සුසානේ
ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි (ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටිය)

අතිශය විරහ වේදනාවකට පත්වු කෙනෙකුගෙ මුවගින් මතුවන හැඟීම් සිහිගන්වනව මේ පදවලින්.



කේ.ඩි.කේ ලියපු "දෙයදර විලිකුන් සුරත් පලේ - පෙම් මදිරා අයදිමින් සැලේ" යන වචන හරිම අපූරුයි. රතුතොල් දෙකක් ඇයට තියනවා කියල හරි අපූරුවට කේඩිකේ කියනවා.



කේඩිකේගෙ "කුමරියක පා සළඹ සැලුවා" කියන සින්දුවෙ නොකියා කියන ගුණය මනාව තියෙනව.



ලූෂන් ද අලුත් උපමා යොදල හැඟීම් ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට සමතෙක්.

බලන්න මෙ එකම ගීත ඛණ්ඩය විතරක්.

නෙලුම් පතක රැදි පිණි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙනතුරා



මේ උපමාව පෙර නොවු විරූ එකක්.ඔබ සමග රෑ එළිවෙනතුරු හිටියත් ඔබට හානියක් කරන්නෙ නෑ කියන එක මේ පද ටිකෙන් අඟවනව.

සුනිල් ආරියරත්නගෙත් කුලරත්න ආරියවංශගෙත් ගීත මේ වගෙමයි. මේව ගැන ලියනවනම් පොත් ගානක් ලියන්න පුලුවන්.

මෙ විශිෂ්ටයො (කී නොකී) ටික නැත්නම් ලංකාවෙ අපට අහන්න වෙන්නෙ මෙන්න මෙ වගෙ ඒව.

ඔයාට මාව එපානම්
කලින් කියන්නට තිබුණා
මෙච්චර දුරක එක්ක නෑවිත්
මගින් හැරෙන්නට තිබුණා.....(තුක් විතරක්!)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

15 comments:

  1. /* මෙ විශිෂ්ටයො (කී නොකී) ටික නැත්නම් ලංකාවෙ අපට අහන්න වෙන්නෙ මෙන්න මෙ වගෙ ඒව. */

    ඇයි මේවා?
    http://pemgee.blogspot.com/

    ReplyDelete
  2. අජිත් අය්යා මගෙ මාලෙට මැණිකක් ඔබ්බවල.මගෙ කේක් එකට අයිසින් එකක් දාල.හරිම ලස්සනයි

    ReplyDelete
  3. අනිවාරයෙන්ම......//මේව ගැන ලියනවනම් පොත් ගානක් ලියන්න පුලුවන්.//..මොකද ඔවුන් ගී ලීවෙ භාෂාව...කලාව..යන සියලුම විෂය පත පිලිමද පූර්න දැනුමක සිට...ඉතින් ඒවා රහ නොවන්නේ මන්ද...විදිය නොහැක්කේ මන්ද??..
    මෙ විශිෂ්ටයො (කී නොකී) ටික නැත්නම් ලංකාවෙ අපට අහන්න වෙන්නෙ මෙන්න මෙ වගෙ ඒව.

    //ඔයාට මාව එපානම්
    කලින් කියන්නට තිබුණා
    මෙච්චර දුරක එක්ක නෑවිත්
    මගින් හැරෙන්නට තිබුණා.....(තුක් විතරක්!)// ඉතින් මේවගේ තැනකට ලංකාවේ ගීත කලාව ඇද වැටුනේ මන්ද....රසිකයා..ඔව් රසික ජනතාව නිසාය..ඔවුන් පැරණි ගීත කලාව වැනි දැනුමින් පෝශිත ගීත කලාවක් ඉල්ලා සිටියානම්...අවශ්‍ය තාව ඉටුවනු ඇත...මාසිතන පරිදි මේ වනවිට ඉටුවී ඇත්තේ රසිකයින්ගේ මන දොල සපිරීමය.....ඉතින්....සපුරාගනිමු අපින් පැරනි ගීවැල් වලින්ම....රාමු ගත සමාජයක..

    ReplyDelete
    Replies
    1. කන්න මොනවත්ම නැති කාලෙට මින්ස්සු අලි මඥ්ඥොක්කා හරි තම්බන් කනවා කියලා අහලා සේනානායක වේරලියද්ද ඒ කාලේ රූපවාහිනී වැඩසටහනකට ඇවිත් කිවුවා.

      Delete
  4. හික්.... හික්....

    සිරස බෝම්බ ගහලා කුඩු කරපු දවසේ දුකක් වගේම පොඩි සතුටකුත් දැණුනේ මේ නිසා වෙන්න ඇති..

    ReplyDelete
  5. දැන් තියන හුඟක් සින්දු අහනවට වඩා හොඳයි කෝච්චියේ හෝන් එක කණට තියාගන්න එක.

    ReplyDelete
  6. Just like, without BlogSpost writers, we have to read some useless newspapers.

    J Ovitige

    ReplyDelete
  7. පොඩි කාලෙ ළමයෙක්ව ටියුෂන් පන්ති දුවෝනව වගේම සෞන්දර්ය කලාවකට ක්‍රීඩාවකට අමතර ක්‍රියාකාරකමක් හැටියට යොමු කරවන්න කියල කියන්නෙ ඕකයි.අද තියෙන ටෙක්නෝ සමාජය ඇතුලේ ආධ්‍යාත්මයක් සහිත දරුවෙක් බිහි කරන්න ඒක වටිනව.මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ කියල නිහාල් නෙල්සන් කියපු අදහසම කංසා බොන්ට සොඳා කියල චින්තිලට අමුවෙන්ම ඇදල දාන්න වෙලා තියෙන්නෙ මෙන්න මෙහෙම ඇති උන නිර්මාණශිලිත්වයේ දුප්පත්කම නිසා.සංගීත ප්‍රසංග නිවේදකයෙකු උන හේමසිරි හල්පිටට එදා යුගයේ තිබුන නිර්මාණශිලිත්වය කලා උපාධියක් තියෙන දුකාට අද යුගයේදී නැති වීමම අපේ හෝදා පාලුවට හොඳ උදාහරණයක්!

    ReplyDelete
  8. උදේකට බස් එකක ගියෝත්,රේඩියෝ එකක් ඇහුවොත් දවසම සෘණාත්මකයි.. විලාපේ..විලාපේ... ඉවරයක් නෑ විලාපේ... ඒ අතින් පහල බාලාන්ශෙ රැප් හොඳයි.හිනා යනව වත් උන් කියන ඒවට.. හෙහ් හෙහ්
    (හැබැයි ප්‍රබුද්ධයි කියන උදවියත් සද්ද නැතුව පරණ සින්දු ටිකම ඉන්ඩෝ ශෝ වල ගිණි ගණන් වලට විකුණ විකුණ ඉන්නවා මිසක් අලුට් වැඩක් කරන්නෙ නෑ.බනිනවා විතරයි.)
    ජයවේවා..!!

    ReplyDelete
  9. අර අන්තිම සින්දුව ලියපු එකා බැරිවෙලා හරි 'මගින් හැරුනා' නම් හොම්බට දෙකක් අනින්න තිබුනා. ලියපු එකාට වඩා හපන් කියපු එකා.Aru

    ReplyDelete
  10. සෙනෙහසේ මුට්ටියේ..තම්බලා ආදරේ..
    නිරතුරු ඔබට පොවන්නම්..
    හදේ වේදනා දල්වලා ගින්දරෙන්..
    මුට්ටිය රත්කර ගන්නම්..

    එහෙම කියන්න එපා.. බලන්න කොච්චර ලස්සන හැඟීම්බරද කියලා ඔය මන් කියපු ගීය එහෙම..

    ReplyDelete
  11. අමරදේව ගයන ගී අතර මා අඬවන ගී කීපයක් ඇත.. එක් ගීයක් නම් මහගම සේකර පරසතු මල් චිත්රපටියට ලියූ 'සඳකත් පිණිදිය' ගීයයි. ඒ ගීය අවසන් වන්නේ 'සුසුම් හෙළන තුරු ලතා ලපල්ලේ.. සිහිල් සුවඳ හා එතී...මගේ කවුළු දොර තුළින් එබී ඔබ සොයා ඇදේ' යනුවෙනි..
    මගේ කවුලු දොර තුළින් එබී ..............
    ඉන් පසුව, ඇසිය යුතු ගීය බිහිවුනේ 1993-95 අතර කාලයේ විය යූතුය.
    ඒ ගීය අසන විට මා නිතැතින්ම සිටින්නේ පේරාදෙණියේ ගලහ පාරේ කෝච්චි පාරට උඩින් ඇති, සුද්දා හැදූ ගල්පාලම මත සිටගෙන ඒ අසළ ඇති උස, රතු මල් පිපෙන, ගහ දිහාබලා ගෙනය, වෙලාව පාන්දර හතරට පමණ විය යුතුය.
    උදෑසන පින්නේ විදුලි බුබුලු වෙතින් නික්මෙන්නේ අඳුරු පැහැ එළියකි. ඒ අතරේ සරසවි උයන ශාලාව දෙසට විහිදෙන දුම් රිය මග පින්නේ දිළිසෙයි. විජේවර්ධන ශාලාවේ වරක් වර්ණපාල මහතා විසූ ශාලාවේ මතු මහලේ සිවුවෙනි කවුළුවෙන් 'දන්නා මුහුණ' පෙනෙතැ‍යි බලමින් ඇවිද යමි. ඇය පේරාදෙණිය රෝහලේ සේලයින් හා හයිඩ්රකෝටිසෝන් බට හයක් අතර බව මට මොහොතකට අමතක වූ බව සිහිවෙයි. මම නැවත පාර පනිමි.
    වරක් සයිමන් මතක් කළ කහපාට රොබරෝසියා නො-වරණ මාස් කන්ද අයිනේ ගස් පෙළ පසු කරමින් සරසවි උයන ශාලාව වෙත යමි.
    වයලීනයක් ඔලුව පුරා වැයෙයි... එබඳු ප්රාරම්භ වාදනයක් ඇති සින්දු ලංකාවේ සුලබ නැත. සින්දුවකට එබඳු වැයුමක් ලියවෙන්නේ පද පෙළ නිසාය.. උදෑසන අහසේ අරුන්දතී තාරකාව පායා ඇත. හිත වෙලා ගත් අවිනිශ්චිත බව, මරණයේ සෙවණැල්ල අමතක කරන සෝබර බවින් මරණය කෙරේ සිත උකටලී කෙරෙන [melancholic] ගීයක පද සඳකත් පීණිදිය හා වෙලී ඇත්තේ වෙන්කර හඳුනා ගත නොහැකි අන්දමිනි, ඒ මගේ මනසේය. එය සමාන අසමානතා අතර තිත් යා කරයි.
    'ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහි ගියේද මට හිතුණා..'
    මේ තරම් හිතට අවිනිශ්චිත බව දනවන වෙනත් පද දෙකක් මගේ මතකයේ නොවේ, ඒ නිසා මම 'තරු අරුන්දතී' ගීය නිතර නො අසමි, එය ඉඳලාම අසන දිනයක සිත පුරවන මිහිරි ශෝකය දුලබ සුරාවක් මෙන් සුරැකිව තබා ගනිමි.
    මහගම සේකරට පසුව අමරදේවට හොඳම ගීතය ලියා ඇත්තේ අජන්තා විය යුතුය. අමරදේව ගේ හඬේ ඇති උකටලී බව තීව්ර කෙරෙන වෙනත් ගීයක් [මා මළ පසු ගීයෙන් පසුව] ලියවී ඇත්නම් ඒ තරු අරුන්දතී මය. ගී දෙකේම වයලිනය රැහැ‍යි හඬක් ඇති කරනවා යයි මට හිතෙන්නේ 'සාංකාවෙනි'.
    අජන්තා ගේ පරිණතිය ඇත්තේ මේ ගීයේය. එය මා වෙළා ගන්නේ බැසයන දම්පාට සඳ එළියක් මෙනි. එක වරක් ඇසූ පසු බොහෝ වතාවක් නොඅසා බැරි යැයි හිතෙන 'තරු අරුන්දතියේ' ඇති තනිකම ජීවිත අත්දැකීමකට සමපාත වීම ඉන් මිදීමේ පහසුව සැළසීය. [එදා මා සමග පේරා දෙණිය රෝහලේ කොරිඩෝවක බොහෝ වෙලා ඉඳගෙන සිටි අනිත් අජන්තා -ආචාර්ය අජන්තා හොරදාගොඩ- මියගොස් මාස කීපයකි.]
    දැන් මගේ සිත නැවත බියෙන් වෙළී යයි. අජන්තා ගැන කුමක් ලියන්නද, ඔහු රසදිය මෙන් ඇඟිලි අතරින් පෙරී යන ගී රචකයෙකි. ඒ අතරේම ඔහු රිදී දහරක් මෙන් අඳුරේද දිදුළයි. ඔහුගේ එක් වෙසෙස් ගුණයක් වන්නේ ඔහු සතු පුළුල් බවයි. [මේ පුළුල සතුව ඔහුට පෙර අයෙකු සිටියා නම් ඒ ජෝන් ද සිල්වා සූරීන් හා කරුණාරත්න අබේසේකර සූරීන් පමණක් වෙන්න ඇත]. 'ජගදානන්දන' බඳු බැතියෙන් උතුරන ගීයක් සේම 'විල්ලුද පුංචි දෙපා' වැනි ගීයක් ලිව්වේ එකම අතකින් දැයි අසන තරමට ඔහුගේ රචනා පරාසය විස්මිත ව පැතිරී ඇත. කාලිදාස 'ආප' යට පර්යාය වදන් දහසක් දැන සිටීම කාලිදාසගේ වරදක් නොවේ.
    ගී පදයෙන් ඔහු ස්පර්ශ කළ සෑම විෂයයක් ම එහි පරිසමාප්තික ප්රකාශනය දක්වා මුහුකුරා යැවීමට සමත් කවිකමකට උදාහරණ ලෙස 'බෝධියේ විහාරයේ' ගීය දැක්විය හැකිය. අදත් බාලිකාවන් ගී තරඟයකට යනවා නම් තෝරා ගන්නා එක් ගීයක් වන්නේ වන්නෙ 'බෝධියේ විහාරයේ' බව අවුරුදු අටක ප්රායෝගික අත් දැකීමක් ඇත. සාරංගාට ම ලියූ 'සිරිමාබෝ මැඩ' ගීය දුවක් නැලවීමට ඉබේ මතක් වීම අපටද පොදු අත් දැකීමකි. ඒ අජන්තා සතු චිරන්තන සාහිත්යයේ, ජන ශ්රැතියෙ සංකේත ස්විය කරණය කරගැණිමේ මහත් කෞශල්යය නිසා විය යුතුය.
    අජන්තා ගේ සින්දුවෙන් සින්දුව ගෙන බොහෝ දේ ලිවිය හැකි මුත්, ඔහු අපේ ජීවිත හා බැඳි ඇති අයුරු ලියා තැබීම මගේ අරමුණ විය. මහගම සේකර සමරුවකට ඔහුගේ ගී රචනා ගැන කතා කිරීමට එන්න ‍යැයි ආරාධනා කළ විට, 'නෑ, ඕකට හරියන්නේ මම නෙවෙයි.' කියා ධර්මසිරි ගමගේ වෙත අප යොමුකළ දා ලේක් හවුසියේ පඩි පෙළ බැස ආ 'තරුණ' ජේත්තු කාරයා අවසන් වරට රූපවාහිනියේ දකින විටද වියපත් බවේ ඉරි අතරින් එබී බැලූ හැටි පේරාදෙණිය ඉස්පිරිතාලේ හිටි 'ඇය' ද මා ද දැක පැහැදිලි කරගෙන ඒ ගැන කතා කළෙමු.
    දැන් ඔහු තවදුරටත් වියපත් නොවෙන ඉසව්වකට ගමන් කර ඇත.
    'නොගිහින් එන්න බැරි' නමුත් නොයාම ඉන්නවා නම් මොනතරම් පහසුද?
    හෂිත-2016 පෙබරවාරි 27,

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.