2016-03-16

මේ ඝන අන්ධකාරයෙන් මිදෙන මං සිතමු


ඊයේ මාර්තු 15 දින ලෝක පාරිභෝගික හිමිකම් දිනයයි. 2012 / 13 ගෘහ ඒකක ආදායම්  වියදම් සමීක්ෂණය අනුව ලංකාවේ ජනතාවගෙන් 90.2%ක් ම විදුලි පාරිභෝගිකයෝ ය. එහෙත්, මෙම සටහන තබන මොහොත වන විට ඔවුන්ගේ පාරිභෝගික හිමිකම් අභියෝගයට ලක් වී තිබේ.

එයට ආණ්ඩුව වගකිව යුතු ප්‍රමාණය කෙතරම් ද යන්න පිළිබඳව සංවාදයක් ඇත. හැම දෙයකට ම ආණ්ඩුවට බැනීම ජනප්‍රිය දෙයකි. අප නම් සිතන්නේ මෙයට වැඩිපුර වගකිව යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලය හා එහි ඉංජිනේරුවන් බවයි.

විදුලිය විසන්ධි වුණ ලෝකයක මිහිර හෝ අමිහිර විඳ ගනිමින් සිටින මේ සමය විදුලියට ප්ලග් වුණ ජීවිත ගැන සාකච්ඡා කරන්නට සුදුසු මොහොතකි.

මේ වන විට මුළු ලෝකය ම සිටින්නේ දැඩි අර්බුදයක ය. සිරියාව, යේමනය ඇතුළු අරාබි අර්ධද්වීපයේ හා නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ හා තුර්කියේ දරුණු අර්බුද එම රටවල ජනයාට පමණක් නොව මුළු ලෝකයටමත් බරකි. 

චීන ආර්ථිකයේ මෑත ඉතිහාසයේ පැවති විස්මිත වර්ධනය මේ වන විට දකින්නට ලැබෙන්නේ නැත. චීනයේ වසර 25ක ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධනය වාර්තා වූයේ 2015 වර්ෂයේයි.

මැද පෙරදිග සිට යුරෝපයේ විශේෂයෙන් ම ජර්මනිය වැනි රටවලට සිදු වන දැවැන්ත සරණාගත සංක්‍රමණය විසින් කලාපය දුෂ්කර තත්වයකට පත් කර ඇත. සරණාගතයන් දරා ගත හැකි ප්‍රමාණය උපරිමයට ළඟා වී හෝ උපරිමය පසු කර ඇති බව ද රටේ ජනගහණයේ අභ්‍යන්තර සාමය අනතුරට පත් වී ඇති බව ද ඇතැම් ජර්මානුවෝ පවසති. 

යුරෝපා සංගමය බටහිර ධනවාදයේ සිදු වූ කැපී පෙනෙන වර්ධනයකි. එය විවෘත දේශ සීමා ඇති, පුළුල් දේශපාලන ප්‍ර‍ජාවන් හා සංස්කෘතීන් ගොඩනැගෙන හා වර්ධනය වන අවකාශයක් වනු ඇතැයි බලාපොරොත්තු වුණත්, ඒ වෙනුවට අද වන විට එය බිඳී විසිර යාමේ අවදානමකට මුහුණ දී සිටියි. එක්සත් ජනපදය ද සිය ආර්ථික වර්ධනය දුබල වීම වළක්වා ගැනීමට අරගලයක් කරයි. 

ග්‍රීසියේ මුල්‍ය කඩාවැටීමේ තර්ජනය, ජපානය හා චීනය අතර ආතතිය, බ්‍රසීලයේ දුබල ආර්ථිකය, යුරෝපය හා උතුරු ඇමරිකාවත්, රුසියාවත් අතර ඇති සීතල යුද්ධය වැනි තවත් ප්‍රශ්න රැසකි. 

ලෝකයේ ඉදිරි ගමනට මෙම සියලු අර්බුද වැදගත් වන මුත් එක් කරුණක් පැහැදිලි ය. ගෝලීයකරණය තුළ මුළු ලෝකය ම එකිනෙකා මත යැපෙන බව පැහැදිලි ය. ජය පරාජය තීරණය වන්නේ එකිනෙකා මත යැපෙන මෙම දැවැන්ත යන්ත්‍ර‍ය තුළ හොඳින් අල්ලාගෙන සිටින්නට රටකට ඇති හැකියාව මත ය. 

ලංකාව අද මුහුණ දී සිටින අර්බුදය අප විසින් තේරුම් ගත යුතුව තිබෙන්නේ මෙම සංදර්භය තුළ ය.

මෙය ධනවාදයේ අර්බුදය ලෙස ද විග්‍ර‍හ කරන්නට හැකි ය. කෙසේ වෙතත්, එය ලෝක සමාජ, දේශපාලන, ආර්ථික අර්බුදයකි. 

ජාත්‍යන්තර පාරිභෝගික දිනය මෙතැනදී අදාළ වන්නේ කෙසේ ද?

සෑම මිනිසෙක් ම පාරිභෝගිකයෙකි. මිනිසා පරිභෝජනය කරයි. එසේම, පරිභෝජනය නො  කරන කිසිදු ජීව ප්‍ර‍පංචයක් නැත.

එහෙත් පරිභෝජනවාදය හා භාණ්ඩ වන්දනාව ලෝක ආර්ථිකයට බලපාන ප්‍ර‍තිගාමිත්වයක් බව ඇති වන අර්බුදයන් විසින් පුන, පුනා පෙන්වා දෙමින් තිබේ. 

ලෝකයට පරිභෝජනය ගැටලුවක් නො වන මුත් පාරිභෝජනවාදය දරා ගන්නට බැරි ය. මෙය ලංකාවට අදාළව විදුලි අර්බුදයෙන් ම සලකා බැලිය හැකි ය. අප විදුලිය භාවිතා කරන සියලු ක්‍රියාකාරකම් අපට ඇත්තෙන් ම අවශ්‍ය ද? 

ලංකාවේ ආර්ථිකය බරපතල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටියි. අපගේ ආනයන වියදම් හේතුවෙන් අපනයන ආදායම දැඩි ආතතියකට මුහුණ දී සිටියි. රටේ සංවර්ධනය සඳහා දේශීය ඉතුරුම් නොමැති බැවින් රජය සීමාන්තිකව ණය ගනියි. දැන් දැන් ණය ගන්නේ ගත් ණය ගෙවන්නට හා දෛනික පැවැත්ම සඳහා ය. 

අප ආනයනය කරන සියලු දේ අපට අත්‍යවශ්‍ය ද? අප මෙතරම් ඉන්ධන ප්‍ර‍මාණයක් දහනය කළ යුතු ම ද? මේ පාරිභෝජනවාදී ජීවන රටාව අප රැගෙන යන්නේ කොතැනට ද? 

අර්ථ ක්‍ර‍මය ධනවාදය වුවත්, සමාජවාදය වුවත්, මිනිස් සමාජය විසින් ආමන්ත්‍ර‍ණය කළ යුතුව තිබෙන බරපතල ම ගැටලුව වන්නේ පාරිභෝජනවාදයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

14 comments:

  1. //එහෙත් පරිභෝජනවාදය හා භාණ්ඩ වන්දනාව ලෝක ආර්ථිකයට බලපාන ප්‍ර‍තිගාමිත්වයක් බව ඇති වන අර්බුදයන්//
    //මිනිස් සමාජය විසින් ආමන්ත්‍ර‍ණය කළ යුතුව තිබෙන බරපතල ම ගැටලුව වන්නේ පාරිභෝජනවාදයයි. //

    පරිභෝජනවාදය කවදාවත් නිම නොවන මිනිස් ගුනයක්.. ඒකට බැනලා වැඩක් නෑ..
    අනික පරිභෝජනවාදය ඔබ හිතන තරම් නරක දෙයක් නෙමේ..අපි ජීවිතය පහසු කරගන්න භාවිතා කරන භාන්ඩ වාහන, ජංගම දුරකතන ව්ව්දී බොහොමයක් පරිභෝජනවාදයේ ප්‍රතිඵල...

    ඔබ සදහන් කරල තිබෙන ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව, යේමනය වගේ රටවල බොහෝ අර්බුධ ඇතිවෙලා තිබෙන්නේ පරිභෝජනවාදය නිසා නෙමේ අනෙකාගේ නිදහසට ගරු නොකිරීම යන කාරනාව මුල්කරගෙන..

    අනික මිනිස්සු සමාජවාදීන් ඔලුවට දාපු "ආන්ඩුවේ සුභසාධන වලට ලොල්කම" නිසා ආන්ඩුවලින් නිකම් දෙනදේ බලාපොරොත්තු වීම..
    සරනාගත ප්‍රශ්නය ඇරුනහම ග්‍රීසිය, ඉතාලිය, ස්පාඥය වගේ යුරෝපා රටවල ආර්තික අර්බුදවලට මුල මිනිස්සු ආන්ඩුවෙන් ලැබෙන සුභසාධක අධිකව බලාපොරොත්තු වීම සහ ඒවා ලබාදෙන්න ඒ රටවල රජයන්ට අධික ණය ගන්නට සිදුවීම..
    (උදා: ඉහත කී රටවල 100% නිදහස් අධ්‍යාපනය, 100% නිදහස් සෞඛ්‍ය ඇති, ආන්ඩුවෙන් රැකියාවක් නැත් සියල්ලන්ටම මාසෙකට යුරෝ 1500 විතර අතට පින් පඩියකුත් ගෙවන රටවල් ) මේ ක්‍රම නඩත්තු කරගන ඔවුන්ට යුරෝපා සන්ගමයේ ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය වගේ රටවලින් අධික ලෙස ගත් ණය ගෙවාගන්න බැරිව ඉන්නවා...

    ReplyDelete
  2. පැරා,
    මෙතැනදී කරන්න ඕනේ තම නිවසේ සුර්යබල පද්දතියක් මගින් ජාතික පද්දතියට විදුලිය මුදාහරින ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි. මගේ මිතුරකු කිව්වේ මසකට රුපියල් 60000 විදුලි බිල ගෙවපු කර්මාන්ත ශාලාවක් මෙවැනි සුර්යපැනල මගින් ජාතික විදුලි පද්දතියට මුදාහැරිම නිසා දැන් විදුලි බිලක් නොගෙවයි .
    මොකද සුර්යපැනල මගින් උදේ නිපදවන විදුලිය කෙලින්ම පද්දතියට යොමුකලාම හිතන්න එකක 500 නිපදවූවා කියල ඔබ එය ජාතික සැපයුමට ලබාදෙන අතර ඔබට අවශ්‍ය වෙලාවේ විදිලිය ලබාගැනීම නිසා එකක 500 ක් පාවිච්චි කලානම් දැන් ඔබට කිසිම මිලක් ගෙවිමට් නෑ.
    මෙවැනි ක්‍රමයක් සදහා විදුලිබල මණ්ඩලයට රුපියල් 40000 ක මුදලක් ගෙවියයුතුයි ඔවුන්ගෙන් විශේෂ මීටරයක් ගැනීමට ඊට අමතරව එකක 200 ක් නිපදවන සුර්ය පැනල සදහා රුපියල් ලක්ෂ 5ක් වැනි මුදලක් වැයකලයුතු වෙනවා.
    රජය පාරිබෝගිකයට අඩුමිලට මේවා ලබාගැනීමට පහසුකම් දෙන අතර සුර්යපැනල ශ්‍රී ලංකාවේ නිපදවීමට උවමනා ක්‍රියාමාර්ග ගැනීමයි කල යුත්තේ.

    ReplyDelete
    Replies
    1. මං ලියන්න ආවේත් මේකමයි.
      සෝලා පැනල් චීනෙන් ගෙන්වන එක ලාබවෙයි ලංකාවේ හදනවාට වඩා.
      බැටරි මිල තවත් අඩු වුණු මාත් අපේ ගෙදරට දාන්නයි ඉන්නේ. මොකද මෙහේ දවල් එකොලහේ සිට තුන විතර වෙනකල් කෙරෙන සූර්ය විදුලිය නිපදවීම අපට පයෝජනයක් නෑ සති අන්තයට හැර. ග්‍රිඩ් එකට දීමේ ආර්ථික වාසිය දැන් නෑ.

      Delete
    2. "සුර්යපැනල ශ්‍රී ලංකාවේ නිපදවීමට උවමනා ක්‍රියාමාර්ග ගැනීමයි කල යුත්තේ"
      මේක හිතන තරන් ලේසි වැඩක් නෙවෙයි, සෑහෙන හයිටෙක් වැඩක්.
      ලොකු ආයෝජනයක් අවශ්‍යයි. (හැබැයි ලොකු ආයෝජනයක් කලත් පාඩු නෑ, අනාගතය කියන්නෙ සූර්ය බලය තමයි ).
      දැනට චිනෙ හදනවා ලාබම එක. ඉන්දියාව හදනවද දන්නෙ නෑ. කොරියන් සම්සුන්ලත් හදනවා ඊට ටිකක් හොඳයි.
      ජපන් ෂාප්, කියොසෙරා වගේ ඒව බෙස්ට් කොලිටි බට් අශ්ප ගනන්.

      Delete
    3. මේ කියන "net metering" ක්‍රමය අනුව රාත්‍රියට විදුලිය කැපුවොත් ඒකට වෙනම පිලියමක් ලෙස බැටරි බෑන්ක් එකක් දාන්න වෙනවා. මේවා සියල්ලටම යන වියදම සහ නඩත්තු වියදම එක්ක බැලුවාම සාමාන්‍ය නිවසකට මේකෙන් වාසියක් වෙන්නේ නෑ.

      Delete
    4. රසික,
      ඔව් මගේ ඕස්ට්‍රේලියානු මිතුරකු කිව්වා වැඩියෙන් නිපදවන විදුලිය සදහා එහෙ ගෙවීමක් කරන බව, අපේ රටේ නම් වැඩිපුර නිපදවීම ඊලග මාසෙට එකතුවෙනවා.
      ඇත්තටම රසික කරන්න ඕනේ මේ තාක්ෂනය තියන සමාගම්වල වියාපර සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගසා ශ්‍රී ලංකාවේ කර්මාන්ත පටන්ගැනීමයි, මිට හේතුව මෙම පැනල වලට උවමනා මුලික අමුද්ර්ව්‍යක් වන ලොව හොදම සිලික වැලි අපට තිබීමයි.
      serendipity
      // බැටරි බෑන්ක් එකක් දාන්න වෙනවා//
      බැටරි දාන්න වෙන එක ඉතා වියදම් අදික වැඩක් මම සදහන් කල දේ තුල බැටරි නෑ.
      මෙම deep cycle battery එකක් රුපියල් 50000 පමණ වෙනවා මෙවැනි බැටරි 8 ක් වත් උවමනාවෙනවා එකක 220 පාවිච්චි කරන ගෙදරකට. වසර 2 කින් පමණ ඉවත් කලයුතු නිසා අපට දරන්න බෑ

      Delete
    5. රසික,
      කෙලින්ම ජාතික සැපයුමට ඔබ ලබාදෙනවනම් ඔබට බැටරි උවනම්නා නෑ
      පැනල සමග ඇති ඉන්වටර් ප්‍රමාණවත්
      එකම වෙනස විදුලිබල මණ්ඩලයෙන් තව මීටරයක් සවිකරනවා ඔබ ඔවුන්ට ලබාදෙන විදුලිය ගණනයට

      Delete
    6. ///කෙලින්ම ජාතික සැපයුමට ඔබ ලබාදෙනවනම් ඔබට බැටරි උවනම්නා නෑ
      පැනල සමග ඇති ඉන්වටර් ප්‍රමාණවත්
      එකම වෙනස විදුලිබල මණ්ඩලයෙන් තව මීටරයක් සවිකරනවා ඔබ ඔවුන්ට ලබාදෙන විදුලිය ගණනයට ///

      කරන්ට් එක කපන වෙලාවට කෙලින්ම සුර්ය පැනල් වලින් යම් ප්‍රමාණයක හෝ විදුලියක් දිවා කාලයේදී ලබා ගන්න පුළුවන් වීම වාසියක්...
      නමුත් රෑට කෙරෙන විදුලි කප්පාදුවක් සඳහා එයින් ලැබෙන විසඳුමක් නැහැ...

      Delete
    7. ලොකු පුතා,
      ඔව් , මේක කරන්ට් කපන රෑට විසදුමක් නෙමෙයි තමයි, නමුත් මේ බැටරි වල මිල දැරියට නොහැකියි එනිසා බැටරි දැමීම ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික නෑ.
      බටරිත් ලංකාවේ නිපදවනවානම් මෙය ප්‍රායෝගික වෙයි නමුත් PAYPAL නොදෙන ශ්‍රී ලංකාවේ මෙවැනි වැඩපිළිවලක් කරයි කියල හිතන්න බෑ.
      හැබැයි මේ ක්‍රමය රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් පාවිච්චි කරනවානම් ජාතික විදුලි උප්පාදනය අඩුකිරීමට පුළුවන් එහිදී පුද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමේ ඉල්ලුම අඩුකරන්න පුළුවන්

      Delete
  3. අන් රටවල ආර්ථික අමාරුකම්වලට සාපේක්ෂව ඉන්දියාවේ තත්වය කොහොමද?

    ReplyDelete
  4. ලොකු ලොකු රටවල් ඔක්කොම අමාරුවෙන් දුවනකොට ලංකාව විතරක් බේරෙන්න බෑනේ.. :p අපි පටි තද කර ගමු. (මෙච්චර කල් බුරුලෙන්නේ දිව්වේ) හැක්.

    ReplyDelete
  5. ///අප නම් සිතන්නේ මෙයට වැඩිපුර වගකිව යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලය හා එහි ඉංජිනේරුවන් බවයි.///
    මහින්දගේ ආණ්ඩුව තිබ්බනම් වැරදි ආණ්ඩුව මිසක් මණ්ඩලේ නෙමෙයි නේද පැරා...
    අයියෝ රෙදි...

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.