2016-03-20

අජන්තාට ආදරෙන් ලියූ සටහනක්

හෂිත අබේවර්ධන විසිනි

අමරදේව ගයන ගී අතර මා අඬවන ගී කීපයක් ඇත.. එක් ගීයක් නම් මහගම සේකර පරසතු මල් චිත්රපටියට ලියූ 'සඳකත් පිණිදිය' ගීයයි. ඒ ගීය අවසන් වන්නේ 'සුසුම් හෙළන තුරු ලතා ලපල්ලේ.. සිහිල් සුවඳ හා එතී...මගේ කවුළු දොර තුළින් එබී ඔබ සොයා ඇදේ' යනුවෙනි..



මගේ කවුලු දොර තුළින් එබී ..............

ඉන් පසුව, ඇසිය යුතු ගීය බිහිවුනේ 1993-95 අතර කාලයේ විය යූතුය.

ඒ ගීය අසන විට මා නිතැතින්ම සිටින්නේ පේරාදෙණියේ ගලහ පාරේ කෝච්චි පාරට උඩින් ඇති, සුද්දා හැදූ ගල්පාලම මත සිටගෙන ඒ අසළ ඇති උස, රතු මල් පිපෙන, ගහ දිහාබලා ගෙනය, වෙලාව පාන්දර හතරට පමණ විය යුතුය.

උදෑසන පින්නේ විදුලි බුබුලු වෙතින් නික්මෙන්නේ අඳුරු පැහැ එළියකි. ඒ අතරේ සරසවි උයන ශාලාව දෙසට විහිදෙන දුම් රිය මග පින්නේ දිළිසෙයි. විජේවර්ධන ශාලාවේ වරක් වර්ණපාල මහතා විසූ ශාලාවේ මතු මහලේ සිවුවෙනි කවුළුවෙන් 'දන්නා මුහුණ' පෙනෙතැ‍යි බලමින් ඇවිද යමි. ඇය පේරාදෙණිය රෝහලේ සේලයින් හා හයිඩ්රකෝටිසෝන් බට හයක් අතර බව මට මොහොතකට අමතක වූ බව සිහිවෙයි. මම නැවත පාර පනිමි.

වරක් සයිමන් මතක් කළ කහපාට රොබරෝසියා නො-වරණ මාස් කන්ද අයිනේ ගස් පෙළ පසු කරමින් සරසවි උයන ශාලාව වෙත යමි.

වයලීනයක් ඔලුව පුරා වැයෙයි... එබඳු ප්රාරම්භ වාදනයක් ඇති සින්දු ලංකාවේ සුලබ නැත. සින්දුවකට එබඳු වැයුමක් ලියවෙන්නේ පද පෙළ නිසාය.. උදෑසන අහසේ අරුන්දතී තාරකාව පායා ඇත. හිත වෙලා ගත් අවිනිශ්චිත බව, මරණයේ සෙවණැල්ල අමතක කරන සෝබර බවින් මරණය කෙරේ සිත උකටලී කෙරෙන [melancholic] ගීයක පද සඳකත් පීණිදිය හා වෙලී ඇත්තේ වෙන්කර හඳුනා ගත නොහැකි අන්දමිනි, ඒ මගේ මනසේය. එය සමාන අසමානතා අතර තිත් යා කරයි.

'ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට හිතුණා..'

මේ තරම් හිතට අවිනිශ්චිත බව දනවන වෙනත් පද දෙකක් මගේ මතකයේ නොවේ, ඒ නිසා මම 'තරු අරුන්දතී' ගීය නිතර නො අසමි, එය ඉඳලාම අසන දිනයක සිත පුරවන මිහිරි ශෝකය දුලබ සුරාවක් මෙන් සුරැකිව තබා ගනිමි.

මහගම සේකරට පසුව අමරදේවට හොඳම ගීතය ලියා ඇත්තේ අජන්තා විය යුතුය. අමරදේව ගේ හඬේ ඇති උකටලී බව තීව්ර කෙරෙන වෙනත් ගීයක් [මා මළ පසු ගීයෙන් පසුව] ලියවී ඇත්නම් ඒ තරු අරුන්දතී ම ය. ගී දෙකේම වයලිනය රැහැ‍යි හඬක් ඇති කරනවා යයි මට හිතෙන්නේ 'සාංකාවෙනි'.

අජන්තා ගේ පරිණතිය ඇත්තේ මේ ගීයේය. එය මා වෙළා ගන්නේ බැසයන දම්පාට සඳ එළියක් මෙනි. එක වරක් ඇසූ පසු බොහෝ වතාවක් නොඅසා බැරි යැයි හිතෙන 'තරු අරුන්දතියේ' ඇති තනිකම ජීවිත අත්දැකීමකට සමපාත වීම ඉන් මිදීමේ පහසුව සැළසීය. [එදා මා සමග පේරා දෙණිය රෝහලේ කොරිඩෝවක බොහෝ වෙලා ඉඳගෙන සිටි අනිත් අජන්තා -ආචාර්ය අජන්තා හොරදාගොඩ- මියගොස් මාස කීපයකි.]



දැන් මගේ සිත නැවත බියෙන් වෙළී යයි. අජන්තා ගැන කුමක් ලියන්නද, ඔහු රසදිය මෙන් ඇඟිලි අතරින් පෙරී යන ගී රචකයෙකි. ඒ අතරේම ඔහු රිදී දහරක් මෙන් අඳුරේද දිදුළයි. ඔහුගේ එක් වෙසෙස් ගුණයක් වන්නේ ඔහු සතු පුළුල් බවයි. [මේ පුළුල සතුව ඔහුට පෙර අයෙකු සිටියා නම් ඒ ජෝන් ද සිල්වා සූරීන් හා කරුණාරත්න අබේසේකර සූරීන් පමණක් වෙන්න ඇත]. 'ජගදානන්දන' බඳු බැතියෙන් උතුරන ගීයක් සේම 'විල්ලුද පුංචි දෙපා' වැනි ගීයක් ලිව්වේ එකම අතකින් දැයි අසන තරමට ඔහුගේ රචනා පරාසය විස්මිත ව පැතිරී ඇත. කාලිදාස 'ආප'යට පර්යාය වදන් දහසක් දැන සිටීම කාලිදාසගේ වරදක් නොවේ.

ගී පදයෙන් ඔහු ස්පර්ශ කළ සෑම විෂයයක් ම එහි පරිසමාප්තික ප්රකාශනය දක්වා මුහුකුරා යැවීමට සමත් කවිකමකට උදාහරණ ලෙස 'බෝධියේ විහාරයේ' ගීය දැක්විය හැකිය. අදත් බාලිකාවන් ගී තරඟයකට යනවා නම් තෝරා ගන්නා එක් ගීයක් වන්නේ වන්නෙ 'බෝධියේ විහාරයේ' බව අවුරුදු අටක ප්රායෝගික අත් දැකීමක් ඇත.

සාරංගාට ම ලියූ 'සිරිමාබෝ මැඩ' ගීය දුවක් නැලවීමට ඉබේ මතක් වීම අපටද පොදු අත් දැකීමකි. ඒ අජන්තා සතු චිරන්තන සාහිත්යයේ, ජන ශ්රැතියෙ සංකේත ස්විය කරණය කරගැණිමේ මහත් කෞශල්යය නිසා විය යුතුය.

අජන්තා ගේ සින්දුවෙන් සින්දුව ගෙන බොහෝ දේ ලිවිය හැකි මුත්, ඔහු අපේ ජීවිත හා බැඳි ඇති අයුරු ලියා තැබීම මගේ අරමුණ විය. මහගම සේකර සමරුවකට ඔහුගේ ගී රචනා ගැන කතා කිරීමට එන්න ‍යැයි ආරාධනා කළ විට, 'නෑ, ඕකට හරියන්නේ මම නෙවෙයි.' කියා ධර්මසිරි ගමගේ වෙත අප යොමුකළ දා ලේක් හවුසියේ පඩි පෙළ බැස ආ 'තරුණ' ජේත්තු කාරයා අවසන් වරට රූපවාහිනියේ දකින විටද වියපත් බවේ ඉරි අතරින් එබී බැලූ හැටි පේරාදෙණිය ඉස්පිරිතාලේ හිටි 'ඇය' ද මා ද දැක පැහැදිලි කරගෙන ඒ ගැන කතා කළෙමු.

දැන් ඔහු තවදුරටත් වියපත් නොවෙන ඉසව්වකට ගමන් කර ඇත.

'නොගිහින් එන්න බැරි' නමුත් නොයාම ඉන්නවා නම් මොනතරම් පහසුද?

හෂිත - 2016 පෙබරවාරි 27
රසවතිය








මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

3 comments:

  1. අපූරු ලියවිල්ලක්, ගීතයන් තරමටම රස විඳිය හැකි.

    ReplyDelete

  2. සැබෑ අනුස්මරණයක්. කලාත්මක ජීවිතයක් ගැන ගීතවත් මතක් කිරීමක්.

    මගේ දෑසට සැබවින්ම කඳුළු නැගෙන්නේ මෙවැනි ප්‍රතිභාවන් සහිත
    නිහතමානී මිනිසුන් සිංහල භාෂාවට නැවත නොලැබෙන ලකුණු හැම අතින්ම පෙනෙන්නට තිබෙන බැවිනි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.