2016-03-28

ගෝටයිම්බර කෝලමෙන් ආණ්ඩුවේ රස්සාවකට

මුලින් ම මේක කියන්න ඕනැ. මේක විචාරයක් නෙමෙයි. මොකද මං ලයිසන් විචාරකයෙක් නෙමෙයි. ඒකට අවශ්‍ය ය කියන ඇකඩමික් සුදුසුකම් මට නැහැ. හැබැයි, අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට තමන් විඳපු රසයක් බෙදාගන්නට තිබෙන අයිතිය වෙනුවෙන් මං පෙනී ඉන්නවා. ඇකඩමික් තග දමමින් පොදු ජනයා නිහඬ කිරීමට විරුද්ධව අරගලයක් අපට තිබෙනවා. 

පසුගිය දවස්වල අපූරු නාට්‍ය අත්දැකීම් දෙකක් ලැබුණා. කොළඹින් බැහැර ඉන්න අපට නාට්‍ය බලන්න ලැබෙන අවස්ථා අඩුයි. ගම්වල නාට්‍ය පෙන්නුවාට හේතු කීපයක් නිසා ඒවා සාර්ථක නැහැ. එකක් ටිකට් මිළ වැඩියි. පවුල් පිටින් යන්නත් එපායැ. අනෙක ශාලා දුර්වලයි. 

ගෝටයිම්බර කෝලම පෙන්නුවේ එළිමහනේ. ප්‍රෝසීනියම් වේදිකාවෙන් මහ පොළවට බැහැලා. ඒත් ගමක නම් නෙමෙයි. කොළඹ ම තමයි. කොළඹ හතේ පදනම් ආයතනයේ. 

අපි නො දන්න නෙළුම් පොකුණ වගේ රංග ශාලා තිබෙන කොළඹ නගරයේ එළිමහනේ නාට්‍ය පෙන්නන්න ඕනැද? ප්‍රෝසීනියම් වේදිකාව ගැන ලංකාවේ නාට්‍යකරුවන් නිරන්තරයෙන් ම සිය අතෘප්තිය ප්‍රකාශ කර තිබෙනවා. නාට්‍යය ජනතාව අතරට යා යුතුයි කියන විශ්වාසය ඔවුන් අතර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ අත්හදා බැලීම් කරනවා. හැබැයි, බොහෝ විට ඒ අත්හදා බැලීම් කොළඹින් ම අවසන් වෙනවා. 

ගම්වල තවමත් දෙබස් කථන මුද්‍රා නාට්‍ය පෙන්වනවා. ඒ කියන්නේ භාතිය සන්තුෂ්ලාගේ සංගීත සංදර්ශන වගේ ජාතියක්. කලින් නාට්‍යේ හඬ පටිගත කරනවා. ඊට පස්සෙ ඒ කැසට් එක වාදනය කරන ගමන් වේදිකාවේ රඟපානවා. 

ගම්වල නාට්‍ය පෙන්නන්නේ එළිමහනේ හදපු සංගීත සංදර්ශන වේදිකාවල. ඒවායේ ඉඳන් කියන දෙබස් ඈතට ඇහෙන්නේ නැති නිසායි ඔය තාක්ෂණය භාවිතා වුණේ. දැන් නම් එෆ් එම්, ක්ලිප් මයික් එහෙම තිබෙන නිසා ඔය ගැටලුව නැහැ. දැන් පාට පාට එළි අල්ලලා, කෘත්‍රිම දුම් එහෙම දමලා, එෆ්.එම් මයික් ගහගෙන කරන්නෙත් පරණ නාට්‍ය ම තමයි. හැබැයි ඉතින් ඒක තමයි වර්තමාන ගැමි කලාව. 

මං රැඳවුම් කඳවුරුවල, ගම්වල ඉස්කෝලවල නාට්‍ය කරලා තිබෙනවා. ඒවායේදී මුහුණ දෙන අභියෝග වෙනස්. අවශ්‍ය ශබ්දය නිෂ්පාදනය කරන්න ළමයින්ට අමාරුයි. ඒ නිසා ගම්වල ළමයින් එක්ක බාගෙට එළිමහන් ඉස්කෝල හෝල්වල නාට්‍ය පෙන්නනකොට ප්‍රේක්ෂකයෝ කෑගහනවා ඇහෙන්නෙ නැහැ කියලා. දවසක් එක නාට්‍යයකදී ප්‍රේක්ෂකයෝ බලෙන් වගේ මයික්කාරයා දැම්මා වේදිකාවට. මිනිහා ඉතින් චරිතෙන් චරිතෙට පැන පැන මයික් එක කටට ඇල්ලුවා. ඒකෙ නාට්‍යය තිබුණෙ එතන. ඕක තමයි ඇත්තෙන් ම ගම්වල තත්වය. ගමේ නාට්‍ය කලාව තවම දහඅට සන්නියෙන් උඩට ඇවිත් නැහැ. 

ඩෙනිස් පෙරේරාගේ ගෝටයිම්බර කෝලම භාවිතා කළේ තොවිල් ආකෘතිය. ඒක දුම්මල, පන්දම්, ගොක් සැරසිලි, බෙර, නැටුම් සහිත ව්‍යාජ තොවිලයක්. තොවිලයක් ඔස්සේ කාලීන දේශපාලන, සමාජ, සංස්කෘතික ප්‍රශ්න ගැන කරපු සාකච්ඡාවක්. තොවිලයේ තිබෙන ග්‍රාම්‍ය හා ප්‍රාථමික නාට්‍ය ලක්ෂණ සියල්ල එහෙමම එහි තිබුණා. ඒ ගමන් ම එය සෑම ආකාරයක ම ගතානුගතිකත්වය නිර්දය විධියට විවේචනයත් කළා. ආන්තික ලෙස ගතානුගතික ආකෘතියක් යොදා ගනිමින් ගතානුගතිකත්වය නිර්දය ලෙස විවේචනය කිරීම ම ප්‍රබල නාට්‍යමය අවස්ථාවක්. 

හැබැයි, ගෝටයිම්බර කෝලමේ කතාව අවුලක්. ඒකෙ සඳහන් වන ගෝටයිම්බර යුගයේ රටේ ඇති වන ප්‍රශ්නය වන්නේ මිනිසුන්ට මහසෝනා වැහෙමින් ඔවුන් එකින් එකා බැගින් ගැහැනුන් බවට පත් වීමයි. ගැහැනුන්ගේ සමාජ භූමිකාව වර්ණනා කරන ගමන් ම සමාජය ගැහැනුන් බවට පත් වීම සමාජ ප්‍රශ්නයක් ලෙසත් විග්‍රහ කරනවා. මහසෝනාට එරෙහිව සටන් කළ ගෝටයිම්බර රජ්ජුරුවෝත් අවසානයේදී මහසෝනා වැහී ගැහැනියක් බවට පත් වෙනවා. ස්ත්‍රී විරෝධයයි, ස්ත්‍රීවාදයයි දෙකම එකට ඔසවා තබන එක හරියට හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම වැනි දෙයක්. 

ගෝටයිම්බර කෝලම කොළඹ පදනම් ආයතනයේ පෙන්නුවා ම ඒකෙන් ආතල් එකක් ලැබෙන්නේ තොවිල් දැකලා නැති හරි එහෙම දැකලා නැති බව පෙන්නන හරි කොළඹ කූල්ටූර්කාරයන්ටයි.

නාට්‍ය කලාවේ ප්‍රායෝගික ප්‍රශ්න එක්ක පොරබදන එක තේරුමක් නැති වැඩක් ය කියලායි මම නම් හිතන්නේ. නාට්‍ය රසිකයන් බිහි නො වන්නට එක ම හේතුව නාට්‍යය ජනතාවට සමීප නො වීම නෙමෙයි. තාමත් නාට්‍යයක ටිකට් එකක් ගන්න යන මුදල කසිප්පු බෝතලේක ගානට වඩා අඩුයි. 

ජනතාවගේ රසිකත්වය ඉහළ නංවන්න පාසල් අධ්‍යාපනය, මාධ්‍ය ආදිය වැදගත් වෙනවා. ඒ වගේ ම සමාජ වටිනාකම් පිළිබඳ ආකල්පත් එතනදී වැදගත් වෙනවා. බල්ලන් මරා හරි සල්ලි හෙවීම හා හොඳින් හෝ නරකින් හෝ බලවත් වීම වැදගත් ය කියා හිතන සමාජයක නාට්‍ය කලාවට ලොකු වැදගත්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ ම කලාවෙන් ඒ කියන තත්වයන් වෙනස් කරන්නත් බැහැ. ඒ නිසා නාට්‍ය ජනතාවට සමීප කරන්නට ය කියලා ආකෘතික හරඹ කරන්නටඑච්චර මහන්සි වෙන්න ඕනෑ ය කියලා මම නම් හිතන්නේ නැහැ. 

ඕනැම කලාත්මක ප්‍රකාශනයක ආකෘතිය කියන්නේ අන්තර්ගතයෙන් ම මතු වන දෙයක් කියලායි මම නම් හිතන්නේ.

නාට්‍යයක් එක්ක ප්‍රේක්ෂකයාට ආත්මීය වෙන්නට වැදගත් වන්නේ ආකෘතියට වඩා අන්තර්ගතයයි. මේ බව ඔප්පු කරන්නට කදිම නිදසුනක් පසුගියදා පැවැත්වුණු බ්ලොග් සම්මාන උළෙලේ පෙන්නපු ආණ්ඩුවේ රස්සාවක් නාට්‍යයෙන් ලැබුණා. 

ආණ්ඩුවේ රස්සාවක් ඉදිරිපත් කරන Unnamed Theatre Group විසින් ලංකාවේ ගතානුගතික නාට්‍ය ඔස්තාද්ලාට තියුණු අභියෝගයක් එල්ල කර ඇති බවයි මට නම් හිතෙන්නේ. ලංකාවේ ස්ථාපිත කලාකරුවන් හා ඇකඩමික් පණ්ඩිතයන් විසින් මෙවැනි ප්‍රවණතා මරා දමන්නේ ඒ ගැන කතා නො කර සිටීමෙනුයි. සැනසිලි තෑගි දීමත් එවැනි ම ප්‍රතිගාමී වැඩක්. 

ගෝටයිම්බර කෝලමට ලැබුණු සැනසිලි තෑග්ගක් මං පෙන්නන්නම්. 

"1956 සරත්චන්ද්‍ර ගමේ කමතේ, තොවිල් පොලේ, රඟදැක්වුනු කෝලම්,නැටුම් නාඩගම් විදග්ධ නාට්‍ය ආකෘතියක් බවට පෙරළුවා. එකී ගැමි රංගනයන්ගේ තිබුණු ගොරහැඩි බව අකා මකා දමා සුලලිත, සුභාවිත සියුම් නාට්‍ය අත්දැකීමක් ගෙනදිය හැකි ආකෘතියකට රූපාන්තරණය කළා. එපමණකින් නොනැවතී එම නාට්‍යාකෘතිය සංකීර්ණ මිනිස් සබඳතා සහ ජීවන අත්දැකීම් බහාලිය හැකි ශක්තිමත් සහ සියුම් එකක් බව තමා විසින්ම කල නිර්මාණයන් හරහා තහවුරුකලා. ඉන් දශක 6 කට පසුව, ප්‍රෝසීමියම් වේදිකාවෙන් නැවත එළිමහන් දෙවොල් මඩු ආකෘතියට පසු බැස, සරත්චන්ද්‍ර විසින් සඟවා තැබූ ගැමි නාටකයේ ඇති ගොරහැඩි, විරෝධාකල්පික, පූජාවිධිමය මූලද්‍රව්‍ය මතුකර අද්යතන සංකීර්ණ දේශපාලනික ගැටලුවක් කේන්ද්‍රකොට වෙනස් නාට්‍ය අත්දැකීමක් ගෙනඊය හැකි අත්හදා බැලීමක් 'ගෝඨයිම්බර කෝලම'. මෑත කාලීනව මේ ආකෘතියේ කෙරුණු අභ්‍යාසයන් අතරින් වඩාත් සාර්ථක අභ්‍යාසය එය බවයි මගේ තක්සේරුව."

- අශෝක හඳගම

මං මේ කතාව විශ්වාස කරන්නෙ නැහැ. හේතුව, ගෝටයිම්බර කෝලමේ විහිළුවලට හිනා යන්නේත් නැතිව, හිනා නොවීත් බැරුව වගේ මට ඉදිරියෙන් අනෙක් පැත්තේ පුටුවක හඳගම ඇඹරි ඇඹරී හිටපු හැටි මං නාට්‍යය වගේ ම බලාගෙන හිටියා. 

ආණ්ඩුවේ රස්සාවක් ආකෘතික හරඹයක් නෙමෙයි. ඔවුන් නාට්‍යය පෙන්නපු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරත් නාට්‍ය වේදිකාවක් ඇති තැනක් නෙමෙයි. එහෙත්, සමස්ත ප්‍රේක්ෂකාගාරය ම කම්පනයට පත් කරන්නට ඔවුන් සමත් වුණා. ඒ අන් කිසිවක් නිසා නොවෙයි, නාට්‍ය පිටපතේ හා රංගනයේ තිබුණු ප්‍රබලකම නිසා. නාට්‍යයක සංගීතය කියන්නේ හරියට වාක්‍යයක යටින් ඉරක් ඇඳලා මතු කර පෙන්වනවා වගේ වැඩක් ය කියා සුගතපාල ද සිල්වා හෝ ධම්ම ජාගොඩ හෝ කියූ බවක් මට මතකයි. මං හිතන්නේ සංගීතයට විතරක් නෙමෙයි, ආලෝකය, වේදිකා පසුතල, රංග භාණ්ඩ, වස්ත්‍රාභරණ ආදී සියල්ලට මේ කතාව අදාළයි. ඒ වගේ ම නාට්‍ය ආකෘතියටත් අදාළයි. 

නාට්‍යය ආපසු පෙළ හා රංගනය වෙත අවධානය යොමු කළ යුතුයි. නාට්‍යයේ වැදගත් ම දෙය නාට්‍යයි. නැතිනම් ගැටුමයි. පෙම්වතිය විවාහ කර ගන්න ආණ්ඩුවේ රස්සාවක් නැතිකම බාධාවක් වී ඇති තරුණයෙකුට ආණ්ඩුවේ රස්සාවක් ලැබෙනවා. ඒ අළුගෝසුකම. ඔහු එයට කැමති නැහැ. ඒ මිනී මරන්න වෙන නිසා. ඒ අතරෙ පෙම්වතිය ගැබ් අරගෙන්. පෙම්වතාට අවශ්‍යයි දරුවා ගබ්සා කරන්න. ඒ ගැටුම තුළ පෙම්වතිය........... ඇය තමයි ගැහැනිය! නාට්‍යය බලන්න.

බ්ලොග් සම්මාන උළෙලේ ම පෙන්වපු රැඩිකල් නාට්‍යකරුවකු වන අසංක සායක්කාරගේ ‘ටොයියයි - බයියයි‘ කියන ජවනිකාව නාට්‍ය කලාව මුහුණ දී සිටින ඛෙදවාචකය කදිමට නිරූපණය කළා. සමාජ දේශපාලන ව්‍යාපාර විසින් බලාපොරොත්තු තබා තිබුණු නාට්‍යකරුවනුත් අවසානයේදී පොඩි මල්ලිලාගේ, චූටි මල්ලිලාගේ විකට ජවනිකාවලටත් ගව් ගානක් පසුපසින් ඇද වැටෙන එක තමයි ඛෙදවාචකය. 

පොල්ලෙන් ගැහුව වගේ ජෝක් බලාපොරොත්තුවෙන් නාට්‍ය බලන්නට යන ප්‍රේක්ෂකයන්ට යට වන නාට්‍යකරුවන්ට සියුම් හාස්‍යය කියන්නේ මොකක් ද කියන පාඩමත් ආණ්ඩුවේ රස්සාවක් නාට්‍යය පෙන්වා දුන්නා. 

“ටොයිලට් යන්නැති ප්‍රශ්නෙටත් අපි මොනව හරි කරමු."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. ආණ්ඩුවේ රස්සාවක් කෙටි නාට්‍යය ගැන සහ ටොයියයි බයියයි ජවනිකාව ගැන විචාරය මම හිතු දේට 100% සමානයි.

    ReplyDelete
    Replies
    1. ඉයන් ඇවිත් උන්නද?

      Delete
    2. ඔව් ඔව් ඔබව දැක්කා

      Delete
  2. ආණ්ඩුවේ රස්සාවක් ඉතා ඉහළ ගණයේ නාට්‍යයක්.
    එහි නිලිය සමග ප්‍රා ජේ සහ මා කතා කළා.

    ධනංජය කරුණාරත්න මෙවැනි ප්‍රබල කෙටි නාට්‍යය කිහිපයක්ම ලියා නිපදවා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ ට හොඳ ඇහැක් තියෙන්නේ. නිලිය පෙනුම නිසා කොහොම හරි කොක්ක ගහන්න ඇති හෙහ් හෙහ්.

      Delete
  3. පැරා,

    ඇත්තටම මේ යහපාලනය පෙන්නන නාට්‍ය හරිම ජුගුද්සාජනකයි http://www.divaina.com/2016/03/28/news01.html

    රටේ කෝටියක් වැඩ තිබියදී මේ වගේ දේවල් වලට මුදල් වියදම් කිරීම කණගාටුදායකයි.

    ReplyDelete
  4. අසංක තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රෙයා්ජනයක් ගත්තෙ නැහැ. අනේ මේ මොකක්ද කියල මමත් මහත් විස්සෝපයෙන් බලන් උන්නෙ.. අසංකගෙන් මං ඊට වැඩි වැඩක් බලාපොරොත්තු වුණා... අපරාදෙ ඒ වෙලාව...

    ReplyDelete
  5. මම මුළු සම්මාන උලෙලෙන්ම බැලුවේ ආණ්ඩුවේ රස්සාව නාට්‍යය විතරයි..

    අර නිල්පාටෙන් දාපු සැනසිලි තෑග්ග නම්.. හැක්.

    ReplyDelete
  6. ආණ්ඩුවේ රාස්සවක් නම් හොඳින් රස වින්දා...

    ReplyDelete
  7. ආණ්ඩුවේ රස්සාව ...මමත් දැකපු ඉහලම නාට්‍ය අත්දැකීමක්...

    ReplyDelete
  8. එදා පෙන්වපු නාට්‍ය දෙක පිලිබඳ ඔබේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.