2016-03-17

මංජුල වෙඩිවර්ධනගේ පියෙටා රස විඳිමු

ප්‍රසාද් අලුත්වත්ත - මියදුණු ඇසතු ගස යට පියෙටා [Pieta under the dead Asathu tree]
කලකින් දුටු කතා කළ හැකි කවියකි. හොඳ කවියක් දැක්කාම එළ, පට්ට, සිරා හා මල් මිටවල පිංතූර දික් නො කර එයින් විඳ ගත් රසය ගැන කතා කළ යුතු ය. එහිදී තමන් වරලත් විචරකයන් යයි සිතා සිටින අනන්‍යතා අර්බුදවලින් පෙළෙන පණ්ඩිතයන් කියන දේ ගණන් නො ගත යුතු ය. රසවින්දනය පොදු ජන අයිතියක් බව ඔවුන් උගත යුතු ය.

කලාව ගැන කතා කිරීම වැදගත් ය. මන්ද, කලාවේ ඇති දේශපාලනය මතු කර ගත හැක්කේ ඒ ගැන කතා කිරීමෙනි. නැතිනම් කලාකාරයෝ කලාවෙන් දේශපාලනය කරන්නට යති. එය කලාව දුබල කරයි.


පියෙටා - මයිකලාන්ජලෝ
පියෙටා.................

ඇසතු ගහ යට මරියනී
ඇසග පිපිරුණු මරියනි
සකල අවි මැද දිරියෙනි
ඇසතු ගහ යට මරියනී

පුත් කුමරු ඔය උකුළත
ඇත්තටම සැතපෙනවද
නෙත් අරින්නට බැරුවද
සිත් සතන් නැති හෙටකට

මියුණු ගසකට හැකිවෙද
නගනු බෝපත් වෙණ නද
බිඳුණු සුරුවම විනිවිද
බොදුනු හදවත පෙනුනිද?

කුරුස ගසකින් බැස එන
ඇසතු ගස යට කැළඹෙන
එකම පපුවක කැළතෙන
සුසුම කොතැනක නවතින?

-මංජුල වෙඩිවර්ධන
2016 මාර්තු 16

පියෙටා යනු මරියතුමිය ජේසුතුමාගේ මළ සිරුර දෑතින් ගෙන සිටින දර්ශනයක් ඇතුළත් ක්‍රිස්තියානි වැළපුම් කලාංගයකි. මයිකලාන්ජලෝ ඇතුළු කලාකරුවෝ රැසක් මෙය මූර්ති ස්වරූපයෙන් නිරූපණය කර තිබේ.

මේ සමග දැක්වෙන ප්‍රසාද් අලුත්වත්තගේ ග්‍රැෆික් චිත්‍රයෙහි නිරූපණය වන්නේ ඇසතු ගසක් යට පාසල් දරුවකුගේ ලේ වැකි මළසිරුරක් දෑතින් වඩාගෙන සිටින මවකි.

ඇය වටා සිටින්නේ දස මාර සේනාවයි. එය බොහෝ දුරට මහනුවර යුගයට අයත් හිඳගල බිතුසිතුවම්වල දැක්වෙන මාර පරාජය වැනි චිත්‍රයකට සමාන ය.
මාර පරාජය - හිඳගල පන්සල
කවිය වෙනම ම වදන් සිතුවමකි. ඇසතු ගස යනු බුදුන්ට බුද්ධත්වය ලබා ගැනීම සඳහා සෙවණ දුන් බෝධියයි. එය යට වාඩි වී සිටින්නේ මරියා ය. ඇගේ ඇස අග පිපිරී තිබේ. ඒ ඇයි ද යන්න අප සිතිය යුතු ය. දෑස් කුඩා කරගෙන බොහෝ කල් මග බලා සිට වෙන්නට ඇතැයි මට සිතේ. සකල අවි මැද ඇය නො බියව ඇසතු ගස යට සිටින්නේ බුදුන්ගේ මාර පරාජය සිහිපත් කරමිනි. ඒ පුත්‍ර ස්නේහය නිසා ය. මරියා එවැනි මවකගේ සංකේතයකි.

ඇගේ ඇකයේ සිටින පුත් කුමරුවා නිදිදැයි කවියා අසයි. කුමරු යන යෙදුමෙන් අපට සිදුහත් කුමරු ද සිහිගන්වයි. එය රාහුල කුමරු වෙනුවෙන් යසොදරාවතේ සුලබව යෙදෙන්නකි. කවියා අනාගතය දකින්නේ සිත් සතන් නැති හෙටක් ලෙසයි.

ඇසතු ගස මිය ගොසිනි. සුරුවම බිඳී ඇත. එතුළින් පෙනෙන හදවත බෞද්ධයන්ගේ හදවත වැනි ම එකක් නොවේදැයි කවියා අසයි.

කුරුස ගස හා ඇසතු ගස බෞද්ධ හා ක්‍රිස්තියානි සංකේත දෙකක් කදිමට එකට පෑහීමකි. ජේසුතුමා හා බුදු හිමියන් සිය උච්චස්ථානයන්ට එළඹුුණේ එ ගස් ළඟදී ය. කුරුස ගස වඩා කෘර ය. ඇසතු ගස නෙතට ප්‍රිය සෞම්‍ය දර්ශනයකි. දෙවිදියකින් වුවත් මේ දෙපල ළඟා වූයේ එක් ගමනාන්තයකට බව කවියා අදහස් කරනු වැනි ය. එය කුමක් ද? ආගමික අරුතට වඩා මානුෂික අරුතක් එහි ඇත.

සියලු හදවත්වල කැළතෙන්නේ එක ම සුසුමකැයි කවියා කියයි. ඒ සුසුම කුමක් ද? සමාජ සාධාරණත්වය වෙනුවෙන් පවත්නා ක්‍ර‍මයට එරෙහිව අරගල කිරීම හේතුවෙන් මරා දමන ලද දරුවන් වෙනුවෙන් මව්වරුන්ගේ විලාපයයි.

ජේසුතුමන් මරා දමන ලදී. එදා මරා දමනු නො ලැබූ බුදු හිමියන් බෞද්ධයන් අතින් අද ඝාතනයට ලක් වෙමින් තිබේ. දෙමළා මරා දැමීම වරදක්දැයි කියා පමණක් නොව ඇතින්න මරා අලි පැටවා යදමින් බැඳ සුරතලයට හදා ගැනීමට ගෙදර ගෙන ඒම වැරදිදැයි අසන්නේ බුද්ධ පුත්‍රයන් යයි තමන් හඳුන්වා ගන්නා අය ම ය.

ශූර ලෙස කවිය ගොඩනගන අතරතුර ම ඍජුව පණිවුඩ කීමේ පෙළඹුමකින් කවියා පීඩාවට පත් වන බවක් ද පෙනේ. එය ප්‍ර‍සාද් අලුත්වත්තගේ චිත්‍රයෙහි ද තිබේ. කවියන්ට එසේ වන්නේ සමාජය කවි ගැන කතා නො කරන නිසා විය හැකි ය.

පහත පළ වන්නේ ඉහත කවියේ දළ ඉංග්‍රීසි පරිවර්තන උත්සාහයකි. (යටත් විජිත භාෂා වහලුන්ට අපත්‍ය විය හැකි ය)


Pieta

Maria under the Asathu tree
Maria with weary eyes
Boldly under the Asathu tree
Surrounded all by guns

Princely son on your lap
Is he really sleeping?
Can’t he open the eyes
To a senseless tomorrow

Can a dead tree play
The fiddle of rustling leaves
Did you see the Buddhist heart
In the smashed idol

Down a tree of cross
Storming under the Asathu tree
Whither the sigh lingers
That boils in one heart


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

11 comments:

  1. මේ කවිය දැක මංජුල වෙඩිවර්ධනගේ වෙනත් කවියක් සිහිවිය. එය ගීතයක් ලෙස ද ගැයෙනා එකකි (අමරසිරි පීරිස්).

    ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී
    පෙම් කතාවේ මළුව අමදින්නී
    මග්දලාවේ මරියනී
    වන්දනාවේ
    වංක ගිරියේ
    අම්බපාලී
    මග්දලාවේ මරියනී

    කැට මුගුරු ගෙන පසුපසින් ආ උවැසුනේ
    ඝන අඳුරු රෑ කවුද ඈ හා තනිවුණේ
    සොඳුරු රූ සිරි දකින දෙනයන ගොළුවුණේ
    අනේ මරියා රුදුරු කතරක තනිවුණේ

    සංසාර අසපුවේ ගීතිකාවෝ රැව් නැගී
    කම්මුලේ අත ගසාගෙන සඳ ඉකිබිඳී
    ඔරසමේ හද විලාපය මත මල් පිපී
    ජීවිතේ හැටි කියා දුන්නෙද මරියනී

    Monsoon Moon – මෝසම් සඳ බ්ලොග් අඩවියෙන්

    ReplyDelete
  2. කවි සහ අපූරු චිත්‍ර රැසක් මේ ටිකේ බුකියේ වින්දා...

    ඔය මාර පරාජය කාළේ තුවක්කුත් තියෙනවා දඹුළු ගලේ සිතුවමේ....

    ReplyDelete
    Replies
    1. MR මාතලන් ...තුවක්කුත් තියෙනවා දඹුළු ගලේ සිතුවමේ .....හුටා ඒකාලෙත් [අ]විචාරක යකු ඉඳලා තියනවා එහෙනම් ....ගල්කටස් මොඩලයේ ඒවාද

      Delete
    2. තුවක්කුව තිබෙන්නේ දෙගල්දොරුවේ නේ ද?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. පංසල් කීපයකම මාර පරාජයේ තුවක්කු තියනවා.

      වෙනත් අරාබි හෝ යුරෝපීය දේවලුත් තියනවා පංසල් චිත්‍රවල

      Delete
    5. දෙගල්දොරුවෙ නම් එච්චර මතකයක් නෑ... නිතර යන එන තැනක් නෙමෙයි නේ....

      බලාගෙන ගියාම බුදු හාන්දුරුවන්ගේ කාලෙත් ෂොට් ගන් තීලා තියෙනවනේ... සුද්දෝ කොර වෙනවා....

      Delete
    6. තුවක්කුව තියෙන්නේ දඹුල්ලේ නෙමෙයි, පැරා නිවැරදියි වෙන්න ඕනේ...
      නුවර යුගයේ ඇඳපු චිත්‍ර නැහැ දඹුල්ලේ...

      Delete
  3. මංජුලගේ මුහුණු පොතේ මේ කවිය දුටුවෙමි, ඊට පෙර ප්‍රසාද් අලුත්වත්තගේ ග්‍රැෆික් චිත්‍රයද දුටුවෙමි. මගේ සිහියට මුලින් ම නැගුනේ කුලියාපිටිය සිද්ධියයි. ඒ සමග ම චිත්‍රය ද, කවිය ද එවැනි සිදුවීමකට පමණක් ලඝු නොකොට විශ්වීයව දැකිය හැකි බව මට සිහියට නැගුනි. බෞද්ධ සංකේත කිතුණු සකේත හා අමුණා ඇති අන්දම අපූරුය. මංජුලම ලියා ඇති අමරසිරි පීරිස් ගයන ගොල්ගොතාවේ සිහින ඇහිඳි ගීතයේද මෙවැනි අපූරු සංකලනයක් දැක ගත හැක.

    ReplyDelete
  4. පැරාගෙන් වටින විචාරයක්.. විචාරයට කැමතියි..

    ReplyDelete
  5. යකෝ හොඳක් ලිව්වම කොමෙන්ට් අඩුයිනේ, පැරාට බනින්නවත් එවුන් නැහැනේ

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.