2016-04-01

ආකල්ප නීතිගත කළ හැකි ද?

මෙම සටහන තබන්නට පෙර දින සවස 4.15ට කොළඹ කොටුවෙන් කලුතර බලා පිටත් වන ශීඝ්‍රගාමී දුම්රියේ පැමිණි මම කලුතර උතුර දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය හා සම්බන්ධව ඉත්තෑපාන - පරෙයිගම දක්වා ධාවනය වන බසයේ මතුගමට පැමිණියෙමි. 

මේ කන්තෝරු බසයට ගොඩ වීම වෙන ම ජවනිකාවකි. ඒ සඳහා මගීන් සූදානම් වන්නේ පානදුර දුම්රිය ස්ථානයේ සිටයි. එතැන් සිට ම දුම්රිය දොරවල් ළඟ සෙනග පොරකති. ඉන් අනතුරුව දුම්රියෙන් පැන පණ කඩාගෙන දුව යති. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ එහි පාපුවරුව අසලට යන එක ප්‍රමාණවත් ය කියා ය. උඩට නැගීම ඉබේ ම සිදු වේ. 

මේ තරගයේ යෙදෙන්නේ දිනපතා ම මේ බසයේ යන එන පිරිසක් වීම ද විශේෂයකි. තරගය හොඳින් එකිනෙකා සමග ගනුදෙනු කරන පිරිසක් අතර ය. අලුත් අවුරුද්දට මුදල් එකතු කර රියදුරාට හා කොන්දොස්තරට තෑග්ගක් දෙන්න යෝජනාවක් ද කසු කුසු ගානවා ඇසිණි.  

මෙසේ තරග වැද මෙම බසයට ගොඩ වන මහත්වරුන් කීපදෙනෙක් පළමු ඉස්පාසුවෙන් ම හැමදාමත් කරන්නේ බුලත් විටක් සැපීමයි. උදේ මිළ දී ගන්නට ඇතැයි සිතෙන පත්තර කොළයේ එතූ බුලත් විට මේ වන විට මැළවී ගොසිනි. ඔවුන් හපන්නේ අන්තිම ටික ය. 

හොඳින් ඇඳ පැළඳ සිටි එක් මහත්මයෙක් බුලත් විට සපා ෂොපිං කවරයකට කෙළ ගැසුවේ ය. අනතුරුව මෙම කවරය බසයේ කවුළුවෙන් පිටත පාර මැද්දට අතහැරියේ ය.

මෙම පුද්ගලයා කොළඹ සිට කලුතරට එන තෙක් බුලත් විට නො සපා සිට ගමට යන බසයේදී බුලත් විට හපා අර අන්දමින් පිළිකුල් සහගත ලෙස හැසිරුණේ ඇයි ද යන්න පුරවැසියකු හා ග්‍රාම්‍ය මිනිසකු අතර වෙනස තේරුම් ගැනීමට කදිම අවස්ථාවකි. ග්‍රාම්‍ය හා ගැමි යන වචන දෙක ද දේශපාලන අරුත් දෙකක් ඇති වචන වේ. ගැමියකුට පුරවැසියකු විය හැකි මුත්, ග්‍රාම්‍ය මිනිසකුට පුරවැසියකු විය නො හැකි ය. ග්රාම්‍ය මිනිස්සු ගමේ පමණක් නො ව නගරයේ ද ජීවත් වෙති. 

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් පසුගිය මාර්තු 29දා කොළඹදී පවත්වන ලද කාන්තාවන් සවිබලගැන්වීම සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳ සංකථනයට එක් වෙමින් නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා වැදගත් අදහසක් ප්‍රකාශ කළේ ය. කාන්තාවන් සවිබලගැන්වීමේදී ආණ්ඩුවට නීති සම්පාදනය කළ හැකි මුත් එයින් සියල්ල වෙනස් නො වන බවයි. ආකල්ප නීතිගත කළ නො හැකි බව ඔහු පැවසුවේ ය. ආකල්ප වෙනස් නො කර සමාජ වෙනසක් ඇති කළ නො හැකි ය.

ආණ්ඩුව මේ වන විට පළාත් පාලන ආයතන ආසනවලින් 25%ක් කාන්තාවන්ට වෙන් කිරීම සඳහා නීති ගෙනැවිත් තිබේ. එහෙත්, කාන්තාවන්ට සමාන තත්වය, නායකත්වය හා තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ අවස්ථාව ලැබෙන්නට නම් සමාජ ආකල්පවල සෑහෙන වෙනසක් සිදු විය යුතු ය. 

ආකල්ප වෙනස් කිරීමෙහිදී වැඩි ම කාර්යභාරයක් කළ හැක්කේ අධ්‍යාපනයට හා මාධ්‍යවලටයි. දේශපාලකයන්ගේ කාර්යභාරය වන්නේ ඒ සඳහා පහසුකාරකත්වය සැපයීමට හා නියාමනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. 

මා ඉහත කී පිළිකුල් සහගත උදාහරණය දැක්වූයේ ද ඇමති හර්ෂ ද සිල්වා විසින් ගෙනහැර දක්වන ලද කරුණක් හේතුවෙනි. ඔහු කුඩා කාලයේදී මිනිසුන් බස්වල යන එන ගමන් තමන් පරිහරණය කරන දේ පාරට විසි කරනු දැක ඇති බවත්, දැන් එවැනි දේ සිදු නො වන බවත් ඔහු විශේෂයෙන් පැවසී ය. නැත. තවමත් එවැනි දේ සිදු වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

22 comments:

  1. ට්‍රිප් යන උන් අනන්තවත් දේ පාරට විසි කර කර යන්නේ....

    පැරා නිකමට හිතන්න සුද්දොත් අරගෙන අපේ වරුනේ ගැන අම්බ පච කෙල කෙල යද්දි වින්ඩ්ස්ක්‍රීන් එක පුරා වමනේ පාරක් දැම්මම කොහොම්ද කියලා....

    අනේ අපේ හැදියාව සඟිස්කුරුතිය සබ්බත්වය...

    අම්මගෙ රෙද්ද... වැනලා තිබුනා බං වැලේ....

    ReplyDelete
    Replies
    1. හැබයි යූ ඇන් පී එකට නම් ඕක ලේසියෙන් කරන්න පුළුවන්...

      රෝසී මැඩම්ගේ ෆිනිෂින් ඉස්කූල් රට වටේම දාලා.... නොමිළේ නම් කරන්න නරකයි...

      Delete
    2. නොමිළේ කළොත් කට්ටිය එන්නෙ නැහැ. ගාන වැඩි වන තරමට තමයි කට්ටිය එන්නෙ.

      Delete
    3. මේ සියල්ලටම හේතුව සිංහල බෞද්ධ සංස්කෘතියට ඊනියා බටහිර සභ්‍යත්වය බලෙන් කැවීමට යාමය.

      නලින් ද සිල්වා

      Delete
  2. බස්වලට කෝච්චි වලට නැගගන්න දිවීම, ඒ වාහන තුළ ඇතිකරන තෙරපීම, සිරුරු දුර්ගන්ධය පැතිරවීම, තව වසර 50 කට මෙහා නවතින පාටක් නැහැ. අපි හිතනවා, ඊළඟ පරපුර මෙහෙම නොකරයි කියලා. නමුත් එය මිත්‍යා විශ්වාසයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අවුරුදු 50 කින් නවතින්නේ? මේවා පරම්පරාවෙන් පරම්පරාවට යන සංසාර පුරුදු!

      ඒත් එක්කම, සිංගප්පූරුවේ කලින් තිබුණු පාරේ කෙල ගැසීම වැනි කැත සිරිත් වෙනස් කලේ කොහොමද කියාත් සිතා බලමුද? එය කලේ නීතිය තදින්ම ක්‍රියාවේ යෙදීම මගින්. අපේ ආකල්ප වෙනස් කල හැකි එකම ක්‍රමය ඒකයි.

      Delete
    2. මේ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන්න එපා කියලා කවුරුවත් කියලා නැහැ. ඒ වුණාට ක්‍රියාත්මක කළොත් කියන්නෙ මොකක් ද? ලොකු එවුන් හොරකම් කරනවා ඒවාට නීති නැහැ. පොඩි අපට තමයි ඔක්කොම කියලා.

      ලොකු එවුන්ගෙ හොරකම් මිනීමැරුම් ඇල්ලුවාමත් අපි ම තමයි කියන්නේ ඒ ඔක්කොම බොරු සාක්කි කියලා.

      Delete
    3. මෙහෙම් එකකුත් මම දැකල තියනවා. මේ මිනිස්සුම සිංගපුරුවේ ගියාම ජිවිත කාලෙම සිංගපුරුවේ ජීවත් වුණා වගේ බොහොම හොඳට විනීතව හැසිරෙනවා. ලංකාවේ ඉඳන් සිංගපුරුවට යන්න ගතවෙන පැය හතරකටත් අඩු කාලයක් ඇතුලත මෙහෙම වෙනස්වීමක් වෙන එකත් මහා පුදුමයක්.

      Delete
    4. ලී ක්වාං යූ (නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ) පෞද්ගලිකව කියපු දෙයක් මම කියන්නම්. ලංකාවට වැරදුනේ කොතනද කියලා ඇහුවාම කිව්වා මේ වගේ කතාවක්‍.

      "මම අපේ අයට D තුනක් පුරුදු කළා. Discipline, Devotion, Democracy. හැබැයි මේක මම දුන්නේ ඕඩර් එකකට. මුලින් Discipline, දෙක Devotion අන්තිමට Democracy. ලංකාව කළේ මුලින්ම දුන්නේ Democracy. ඒක මුලින් දුන්නට පස්සේ අනිත් කිසි දෙයක් හදන්න බැහැ. ලංකාවට වැරදුනේ ඔතනයි"

      Delete
    5. //මේ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන්න එපා කියලා කවුරුවත් කියලා නැහැ. ඒ වුණාට ක්‍රියාත්මක කළොත් කියන්නෙ මොකක් ද? ලොකු එවුන් හොරකම් කරනවා ඒවාට නීති නැහැ. පොඩි අපට තමයි ඔක්කොම කියලා. //

      මේවාට තියෙන්නේ එකම පිළිතුරයි. මිනිසුන් කියන දේ වලින් නොසැලී දිගටම නීතිය ක්‍රියාත්මක කිරීම විතරයි. හැබැයි, එය හැමටම අදාළ විය යුතුයි. උදාහරණයක් ලෙස, ලී කුවාන් යූ, දූෂණ චෝදනා ලත් තමන්ගේ කැබිනට් ඇමති වරයෙකුට සිර ගෙය හෝ සිය දිවි නසාගැනීම යන දෙකින් එකක් තෝරාගැනීමට දීම ගත හැකියි. (ඔහු තෝරාගත්තේ දෙවැන්නයි) නීතිය මේ අන්දමට ක්‍රියාත්මක කරනවානම්, ලංකාවේ මිනිසුන් හැදීම අපහසු නැහැ. එහෙත්, එය සඳහා 'transformational leader' කෙනෙක් සිටිය යුතුයි. අපේ අවාසනාවකට, එවැන්නෙක් පේන තෙක්මානයක නැහැ.

      Delete
  3. ආකල්ප වෙනස් කරන්න හොඳ කාර්ය භාරයක් TV චැනල් වලට කරන්න පුළුවන්.අවාසනාවට උන් කරන්නේ දේශපාළුවන්ගේ අමන කතා ප්‍රසිද්ධ කිරීම විතරයි

    ReplyDelete
  4. ඇයි අර පාරිසරික පොලෝසිය කියල එකක් තියෙනවා නේද? ඒකෙන් කරන්නේ මේ වගේ ගොබිලන්ව අල්ලන එකනේ.

    ReplyDelete
  5. //සවස 4.15ට කොළඹ කොටුවෙන් කලුතර බලා පිටත් වන ශීඝ්‍රගාමී දුම්රියේ// පැරා මේ කියන්නේ රුහුණු කුමාරි ගැන වෙන්න ඕනේ. රුහුණේ ගියපු කාලයක් මතක නෑ :)

    බුලත් කෙල කතාව දැක්කම මගේ අත්දැකීමක් මතක් උනා. ලියන්න කම්මැලියි. ආකල්ප නීතිගත කළ නොහැකි වුවත් නීතිය සහ දඬුවම් මගින් යහපත් සමාජයක් නිර්මාණය කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක රුහුණු කුමාරි නෙමෙයි. මම මේකට නැග්ගෙ 4.29ට බම්මබලපිටියෙන්. එක්ස්ප්‍ර‍ස්. ඇරලා යනවා. 5.20 විතර වෙනකොට කලුතර.

      Delete
  6. ඇත්තටම ලංකාවෙ හදන්න බැරි තරම් අවුලක් පෙනෙන්නෙ නෑ.අර පුද්ගලයගෙ හැසිරීමෙන්ම ඒක පෙනෙනවා.මනාව නඩත්තුවන පද්ධතියක් තුල මිනිස්සු ස්වයං පාලනයකට ලක් වෙනවා.පිරිසිදු පඉසරයක් හදලා ඒක නඩත්තු කිරීම නිසි ආකාරයෙන් කලොත් ජනයා ඉබේම ඊට අනුගත වෙනවා.
    කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන මිලියන ගණන් දී ඉදිකොට,ප්‍රාදේශීය සභාවෙන් පිට කුණු අපට එපා කියන මරි මෝඩ හරක් රට පාලනය කරන තාක් මේවා ගැටලු තමා.
    සාපේක්ශව චීනුන්,ඉංදියානුවන් ට වඩා අපි කොතරම් ඉදිරියෙන්ද? හෙලා දැකීම,පහත් කොට සැලකීම නෙමෙයි.. මනා ක්‍රමයක් ක්‍රියාත්මක වන (පණ ඇති ක්‍රමයක්.) පරිසරයක මිනිස් ආකල්ප එකින් එක බලා සිටිද්දී දියුණු වේවි.
    ජයවේවා..!!

    ReplyDelete
  7. බස්රථ වලින් පිටතට කෙළගැසීම, කොල කැබලි, බස් ටිකට් හැමතැනම විසිකරීම,කඩල,රටකජු පොතු දැමිම ආදී බොහෝ දේ මිනිස්සු කරනවාය, මිනිසුන් එලෙස තමන් වටේ පරිසරය අවලස්සන කරමින් කුණු ඉවත් නොකිරීම පිලිබදව නගර සභා වලට බැනවදිනවා මාද දැක ඇත. සමහර අවස්ථාවලදී මා අතින්ද මෙවැනි වැරදි සිදුවනවාය..

    මිනිසුන්තුල ඇති මෙවැනි ආකල්ප වෙනස් කිරීමකින් තොරව සමාජය වෙනස් කිරීමට නොහැකිය, බස්වල, දුම්රියවල ආසනයක් තමන්ට හෝ තමන්ගේ සහෘදයෙකුට ලබා ගැනීම සදහා අවදානමක් ගනිමින් කටයුතු කරන මිනිසුන් මෙන්ම තමන්ගේ ළමයාට හොදට උගන්වා ගත්තහොත් තමන්ගේ ජිවතය ගොඩයනවායැයි සිතන මිනිසුන්ට පෙන්වා දිය යුත්තේ ඔබව තරගයකට යොමුකර ඔබගේම යහලුවා ඥාතියා හිතවතා හෝ නොහදුනන මිනිසකු ඔබගේ අනෙකා කර ඇත්තේ කවුරුන්ද යන්න පිලිබදව විමසිල්ලෙන් බලන ලෙසයි. මෙම තරගයෙන් දිගින් දිගටම පරදින්නේ අප අපම බව තේරුම්ගත්විට අප අප අතර තරගය වෙනුවට සියල්ලන්ට ජයගත හැකි එකගත්වයක් ගොඩ නැගෙනු ඇත.

    එමෙන්ම ආකල්ප වෙනස් කිරීම කල හැක්කේ අනවශ්‍ය නීතී පැනවිමෙන්යැයි සිතනවානම් එය මුලාවක්ය,

    ReplyDelete
    Replies
    1. //එමෙන්ම ආකල්ප වෙනස් කිරීම කල හැක්කේ අනවශ්‍ය නීතී පැනවිමෙන්යැයි සිතනවානම් එය මුලාවක්ය,//

      අපේ සමාජය මේ තරම් වත් ශීලාචාර වී ඇත්තේ තිබෙනා නීති නිසයි. එසේ නැත්නම්, ඔබේ අදහසේ හැටියට, කුමක් නිසාද?

      Delete
  8. නීති පැනවීමෙන් මිනිස්සු ශිලාචාර කරන්න බැහැ.පාරට බස් ටිකට් එක දාන එක.ටොෆි කොලේ විසික් කරන එක වගේ දේවල් නතර කරලා පටන් ගත්තොත් මේ විදියට පරිසරය අප්විත්ර් කරන එක යම් තරමකින් හෝ නතර කර ගන්න පුළුවන්.

    ආකල්ප වෙනස් කිරීමෙහි හැකියවක් තියෙන මාධ්‍ය වලින් පටු ආකල්ප ප්වර්ධනය කරනවා මිසක් සමාජයට වැඩදායි ලෙස ආකල්ප හසුරුවන බවක් නම් පේන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //ආකල්ප වෙනස් කිරීමෙහි හැකියවක් තියෙන මාධ්‍ය වලින් පටු ආකල්ප ප්වර්ධනය කරනවා මිසක් සමාජයට වැඩදායි ලෙස ආකල්ප හසුරුවන බවක් නම් පේන්නේ නැහැ.//

      මම නම් ඕනෑ තරම් දකිනවා මාධ්‍ය වලින් මෙබඳු හැසිරීම් විවේචනය කරනවා. එහෙත්, ඊට සමාන්තරව මිනිසුන්ගේ වෙනස් වීමක් නම් පෙනෙන්නේ නැහැ. එයින් පෙනෙන්නේ, ආකල්ප වෙනස් කිරීමට මාධ්‍ය වලට ඇති නොහැකියාවයි.

      ආකල්ප වෙනස් කිරීම අධ්‍යාපනයෙන් කල හැකි බවත් නිතර කියවෙනවා. මෙහි සත්‍යයක් තිබෙනවා. එහෙත්, පොලීසි වෙනුවට පාසල් පමණක් පිහිටුවහොත්, අපේ ප්‍රශ්නයට පිළිතුරු ලැබේවිද?

      Delete
  9. ආකල්ප වෙනස් වෙනප පැරා. හැබැයි ඉතා හෙමින්. අපි බලාපොරොත්තුවන වේගයට වැඩිය අඩුවෙන්. ඉස්සරට සාපේක්ෂව දැන් හොඳයි. යම් පිරිසක් ඉන්නව යහපත් ආකල්ප පතුරවන.

    ReplyDelete
  10. "ග්රාම්‍ය මිනිස්සු ගමේ පමණක් නො ව නගරයේ ද ජීවත් වෙති. "
    මම අද කඩුවෙලදි දැක්ක බස් නැවතුමේ ගහල තිබුන බුලත් කෙල ගැසීම තහනම් කියල.

    ReplyDelete
  11. හා, හා, හා, මතුගම බයියෙකු ගැන කතාවක්!

    බස්වල දුම්බීම තහනම් කළා වගේ බුලත් විට කෑමත් තහනම් කරන්න නම් පුළුවනි නේද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.