2016-04-28

වරලත් විචාරකයන්, කියවන්නන් හා සිතන්නන් ගැන මගේ රසවින්දනය

මම වරලත් විචාරකයෙක් නොවන බව මුලින් ම කිව යුතු ය. මා ලියන්නේ මා නරඹන කලා කෘතිවලින් මා විඳින රසය ගැන ය. එය මගේ තරමට අනුකූල එකකි. මට නම් හිතෙන්නේ විචාරය කියන්නේත් ඒ රෙද්ද ම තමා කියා ය. එහෙත්, නූගත් පොදු ජනතාව වන අපි විචාර ලියනවා කිව්වා ම ඇතැමුන්ගේ පුක නලියයි. 

ලයිසන් ගත් විචාරකයන් යයි තමන් ගැන සිතා සිටින අය ගැන ද මට රසවින්දනයක් තිබේ. ඔවුන් කරන්නේ පොත් කියවීම, පොත් කියවනවාට වඩා තමන් කියවනවා යයි කියවීම, පොත්වලින් කෑලි අහුලා ගැනීම, ඒවා වෙනත් තැන්වල කොපි පේස්ට් කිරීම, අපට හමු වන සමාජ ප්‍ර‍ශ්න ඒ පොත්වල තිබුණු දේවලට අනුකූලදැයි පරීක්ෂා කිරීම, එයට අනුකූල නම් හරි දැමීම හා නැතිනම් වැරදි දැමීමයි. 

මම වෘත්තියෙන් ලේඛකයෙක්මි. පරිවර්තකයෙක්මි. මගේ වෘත්තිය වෙනුවෙන් මම අඩු තරමේ දිනකට පැය දහයක්වත් කියවමි; ලියමි. කාගේවත් නිර්දිෂ්ට ග්‍ර‍න්ථ කියවීමේ උවමනාවක් මට නැත. මා කියවන්නේ මට උවමනා යයි මට හිතෙන දේවල් ය. නිර්දිෂ්ට ග්‍ර‍න්ථ කියවන අය නො කියවන බොහෝ දේ ද මම කියවමි. ඒ කිසිවක් මතක තබා ගන්නට මම විශේෂ උත්සාහයක් නො ගනිමි. එක එකා ලියන විකාරවලින් මගේ ඔලුව පුරවාගන්නට මට විශේෂ අමාරුවක් නැත. මගේ සිත මම හිස්ව තබා ගමි. මන්ද එතකොට මට සිතන්නට දිග පළල එහි තිබේ. එහෙත් මා කියවන දේවලින් මා තුළ වෙනසක් ඇති වේ. මගේ චලනය සිදු වන්නේ එසේ ය. මට හිතුණොත් මම වෘත්තීය ජීවිතයෙන් බැහැර කිසිවක් නො කියවා ද සිටිමි. තමන් කිසියම් පොතක් කියවා අර පොත කියෙව්වාදැයි සෙසු අයගෙන් අසන අය මට නම් මෝඩ ආක්‍ර‍මණිකයන් පිරිසකි. උන්ට බයේ පොත් කියවන්නට තරම් අමාරුවක් ද මට නැත. 

ඔයා දන්නෙ නැහැ, මං දන්නවා, මං අර පොත කියවලා තියෙනවා යි කියමින් කෑලි කොපි පේස්ට් කරන මෝඩ පණ්ඩිතයන්ට බය නොවෙන එක හා එසේ නො හැසිරෙන එක දේශපාලන අරගලයේ කොටසකැයි මම සිතමි. 

මම වරලත් කියවන්නෙක් නො වෙමි. මන්ද, මා මාර කියවන්නෙක් බව කියන්නට මට උවමනාවක් නැත. මම ඇත්තෙන් ම එහෙම කෙනෙක් ද නො වෙමි. වරලත් කියවන්නන් ගැනද මට රසවින්දනයක් තිබේ. ඔවුන් කියවීමට වඩා කරන්නේ තමන් කියවන බව කීම හා අනෙක් අය නො කියවන බව පෙන්වීමට උත්සාහ කිරීමයි. 

මම සිතමි. මා මෙන් ම අනෙක් හැම කෙනෙක්මත් සිතති. මා වැඩිපුර සිතන්නේ කතන්දර ගැන ය. මන්ද, මා කැමති කතන්දරකාරයෙක් වෙන්නට ය. ජීවන අරගලයෙන් ඉසිඹුවක් ලත් විට ලියන්නට කතන්දර රැසක් මට තිබේ. ඒවා මැරෙන්නට පෙර ලියන්නට හැකි වේදැයි මම නො දනිමි. මන්ද, මා වෘත්තීය ලේඛකයෙක් වුණත් මට ලියන්නට සිදු වී තිබෙන්නේ ජීවත් වෙන්නට ය. අඹු දරුවන්ගේ කුස් පුරවන්නට ය. ඒ වෙනුවෙන් අදාළ දේ ය. (උදාහරණයක් ලෙස මේ බ්ලොග් එක ලියනවාට මට සිරිකොතෙන්, එන්ජීඕවලින්, කොටින්ගෙන්, මුස්ලිමුන්ගෙන්, සීඅයිඒ එකෙන්, ඉන්දියාවෙන්, බටහිරින්, නැගෙනහිරින්, උතුරින්, දකුණින්, වයඹින්, ඊසානෙන්, ගිනිකොණෙන්, නිරිතෙන්, උඩින් හා යටින් රුපියල්, ඩොලර් හෝ ගා ලැබේ. ඒවා ගනින්නට ද මට වෙලාව ඕනෑ ය.) 

විවිධ සමාජ කාරණා ගැන මට සිතෙන දේ මම මේ බ්ලොගයේ හා ඇතැම් විට පුවත්පත්වලත් ලියමි. ඒවා මාර සීරියස් දේශපාලන තීසීසයන් නො වේ. නිකම් බ්ලොග් පෝස්ට් ය. ඇතැම්හු මා ඉස්සර කියූ ඒවා උපුටා දක්වා මං ඒ කාලෙ එහෙම කිව්වා, දැන් මෙහෙම කියනවා යි කියති. ඉතින් මං එහෙම තමා ය. එදා හිටන් එක ම දේ කියනවා නම් මං එක තැන ඉන්න මිනිහෙකි. මා ඉන්නේ චලනයක ය. ඒවා කියවන මිනිස්සු මට බනිති. විරුද්ධ අදහස් ලියති. සංවාද ඇති වේ. වෙනත් අය ලියන, කියන, කරන දේවලට ඒ සංවාදවල බලපෑම් ඇති වේ. උදාහරණයක් ලෙස ඇතැම් මගේ සිනාවට ලක් වූ පඩිවරු මා එක්ක තරහම තරහ වී ඇත. ඊයේ පෙරේදා එක් අයෙක් මට පාරේදී හමු වූයේ ය. මම සිනාසුනෙමි. එහෙත් ඒ පුද්ගලයා ලේන්සුවකින් මුහුණ වසාගෙන නො දැක්කා සේ ගියේ ය. මට නම් මේ ලියන දේ මොනවා වුණත්, කා එක්කවත් පෞද්ගලික තරහක් නැත. පෞද්ගලික තරහවල් ද ඔක්කොම මම දේශපාලන ෆයිල් එකට දමා ඇති නිසා පෞද්ගලිකව යාලු වන්නට ගැටලුවක් නැත. 

මා වැදගත් නැත. ඔබ සංවාද කරන්න. 

මම වරලත් සිතන්නෙක් නොවෙමි. වරලත් සිතන්නන් හෙවත් චින්තකයන් ගැන ද මට රසවින්දනයක් ඇත. ඔවුන් වැඩි දෙනෙකුට තමන්ගේ සිතිවිලි නැත. නැතිනම් අනුන්ගේ සිතිවිලි හා තමන්ගේ සිතිවිලි පැටලී ඔලුව පැටලුණු නූල් බෝලයක් සේ අවුල් ජාලයක් වී ඇත. 

මේ ටික ලියන්නට සිදු වුණේ අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍ර‍පටය ගැන ලියන්නට ඇති දැඩි අවශ්‍යතාව නිසා ය. 

ඊට කලින් පොදු ජනතාවගේ රස වින්දන අයිතිය මත පහරන පණ්ඩිතයන් ගැන මට ඇති සමච්චල් සිතුවිල්ල ගැන විවෘතව කිව යුතු නිසා මෙසේ ලියුවෙමි. 

චිත්‍ර‍පටය ගැන ඔන්නොහේ ඊළග පෝස්ට් එකෙන් ලියමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

48 comments:

  1. brother, smoking is your private thing like sex. please remove the photograph from the post, because you a sort of icon in the society.

    ReplyDelete
    Replies
    1. It's one of the finest photographs of APJ.

      Kudos to the photographer. Better keep it.

      Delete
    2. Please do not remove it. It reflects your thoughts on this blog post.

      Delete
    3. අයින් කරන්න එපා.. ගැලපෙනම ෆොටෝ එක..

      Delete
    4. පැරා ඩී.එස්.සේනානායක මහත්තයා වගේමයි ඒ පින්තූරේ ඉන්නේ.

      Delete
  2. Replies
    1. සමිතා?

      Delete
    2. මේක අපේ බ්ලොග් සහෝදරයෙක් තමයි මට එව්වෙ. කවුරුද කියලා මතක නැහැ. අයිති කෙනාට අනිවාර්යයෙන් ක්‍රෙඩිට් එක ලැබිය යුතුයි. මං කළේ ග්‍රේස්කේල් කරලා තව පොඩ්ඩක් මොනවද එව්වා චුට්ටක් කරන එක විතරයි. ෆොටෝ එක ගත්තු කෙනා ඉදිරිපත් වෙලා කියනවා නම් ස්තුතියි.

      Delete
    3. ෆොටෝ එක ගත්ත කෙනාගෙ නම ජෝන් ඩෝ. බොරුනම් කීර්ති වර්නකුලසූරියගෙන් අහන්න.

      - Dimithri

      Delete
    4. ///////ෆොටෝ එක ගත්ත කෙනාගෙ නම ජෝන් ඩෝ. බොරුනම් කීර්ති වර්නකුලසූරියගෙන් අහන්න.///////////////
      +++++++++++++

      Delete
    5. ජෝන් ඩෝප්

      Delete
    6. මේක ගත්තෙ එයාගෙ වයිෆ් Jane Roe

      Delete
    7. මම හිතුවෙ පුතා Johnnie Doe ගත්තා කියලා. කවුද කිව්වා දුව Janie Doe ගත්තේ කියලා.

      Delete
  3. අපි වනාහී වර නොලත් කොමෙන්ටු කොටන්නෝ වම්හ!

    ඇනෝ හමුදාව සමග ගනු කඩුව, වර සටනට!

    ReplyDelete
    Replies
    1. සා රස

      වැරදුනා නේද ලොක්ක, ගනු සටන එනු කඩුවට කියපිය

      Delete
    2. Ano 10.57 a.m.
      ++++++++++

      Delete
    3. ස රස තුමා profile picture එකට දාලා තියෙන්නේ අනුරාධපුරේ ශ්‍රී මහා බෝධියත් රුවන්වැලිසෑයත් අතර මාවතේ ඉස්සර තිබුණු විදුලි පහනක ඡායාරූපයක් නේද?

      Delete
    4. මොන පිස්සුද. මේකා මේ දාගෙන ඉන්නේ ලේක්හවුස් එකේ තියන ලයිට් එකක පින්තූරයක්. ඒ කියන්නේ මූ මරාට පන්දම අල්ලනවා කියන එකයි.

      Delete
    5. මමත් මුලින් හිතුවේ ඕක අනුරාධපුරේ විදුලි පහන් කණුවක් කියලා තමයි. ඒත් පසුබිමේ තියෙනවා මාර ගසක් සහ Araucaria columnaris ගසක්. අනුරාධපුරයේ රුවන්වැලිසෑය අසල මාර ගස් තිබුණත් Araucaria columnaris ගස් නැහැ. ටික වේලාවක් කල්පනා කළ මගේ මොළයට මීටර් වුණා මෙවැනි විදුලි පහන් කණු, මාර ගස් සහ Araucaria columnaris ගස් තිබෙන ස්ථානයක්. ඒ තමා පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමිය. සාරසගේ profile picture එකට යොදා ගෙන තිබෙන්නේ එහි තිබෙන පහන් කණුවක්.

      Delete
    6. // ස රස තුමා profile picture එකට දාලා තියෙන්නේ අනුරාධපුරේ ශ්‍රී මහා බෝධියත් රුවන්වැලිසෑයත් අතර මාවතේ ඉස්සර තිබුණු විදුලි පහනක ඡායාරූපයක් නේද? //

      ඒක පේරාදෙනි විස්සවිජ්ජාලේ පහන් කනුවක පින්තූරයක් ඇනෝ තුමා

      Delete
    7. // මොන පිස්සුද. මේකා මේ දාගෙන ඉන්නේ ලේක්හවුස් එකේ තියන ලයිට් එකක පින්තූරයක්. ඒ කියන්නේ මූ මරාට පන්දම අල්ලනවා කියන එකයි. //

      මෙම කාරුනික කොමෙන්ටුවට ඔබට ඉස්තූතියි ඇනෝ තුමා

      Delete
    8. // ටික වේලාවක් කල්පනා කළ මගේ මොළයට මීටර් වුණා මෙවැනි විදුලි පහන් කණු, මාර ගස් සහ Araucaria columnaris ගස් තිබෙන ස්ථානයක්. ඒ තමා පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමිය. සාරසගේ profile picture එකට යොදා ගෙන තිබෙන්නේ එහි තිබෙන පහන් කණුවක්. //


      ඔබට ඇත්තේ අනර්ග මීටරයකි ඇනෝ තුමා!

      Delete
  4. අර අහවල් පොත කියවලා තියෙනවද අහන අය මම නම් දකින්නේ හොඳම පොත් කාරයෝ ලෙස.. අහපු ගමන් කියෙව්වත් නැතත් මම නම් කියන්නේ "නෑ" කියලා.. මමත් කියෙව්වට මතකයේ තියා ගෙන කටපාඩම් කරගන්න දඟලන්නේ නෑ.. එහෙම කලොත් අපිට හිතන්න බැරි වෙනවා... කියෙව්වා, බැලුවා, ඇහුවා, විඳිනවා නම් වින්දා නැත්නම් දුක් වින්දා වැඩේ ඉවරයි...

    මේ පින්තුරය පෝස්ට් එකට පට්ට විදියට ගැලපෙනවා...

    සතුටුයි එක විදියට හිතන මිනිස්සු දැක්කාම...

    ReplyDelete
  5. මම කන, බොන, කියවන, ලියන විකන හෝ *කන දේවල් තෝරාගැනීමේ සම්පූර්ණ අයිතිය සහ වගකීම මා සතුය. අනික් අය කන, බොන, කියවන, ලියන විකන හෝ *කන දේවල් ගැන තීරණ ගැනීමට මට කිසිම අයිතියක්, යුතුකමක් හෝ වගකීමක් නැත.

    ReplyDelete
  6. Dear Ajith,

    Are u a sworn translator?

    ReplyDelete
  7. පට්ට.. චිත්‍රපටිය ගැන නම් කවද කාට කතා කරන්න බැරිද?

    ReplyDelete
  8. මට නං පැරා වරලත් විචාරකයෙක් තමයි. පැරාගෙ විචාර අපූරුයි.

    ReplyDelete
  9. කර්මය නම් කරුමය කියලා මට හැගුණු දේ මුහුණු පොතේ ලිව්වට පස්සේ මටත් වරලත් විචාරකයන්ගෙන් හොද සබ්බුවක් ලැබුණා.
    අන්න ඒ වගේ එවුන්ට හොඳ කණේ පාරක් මේක. බලා සිටින්නෙමි චිත්තරපට විචාරය එනතුරු.

    ReplyDelete
  10. ඔබගේ මේ ලිපිය ඉතා රසවත්ය මටත් ලියන්නට කතන්දර හුගක් තිබේ ජිවිතාය‍ේ බොහෝ බාධක එයට හරස් විය. නමුත් මේ දිනවල මා එක හැල්මේ, බාධක අමතක කොට නිර්මාණයක නියැලෙමි කට්ට අව්වේ මැරතන් තරගයක දුවන තරග කරුවෙකුට විසි කල සි්තල වතුර බාල්දියකි මට වදන් වලට පෙරලුනු ඔබේ මේ සිතුවිලි
    ස්තුතියි

    ReplyDelete
  11. මානව සංහතිය අතිදීර්ඝ කාලයක් තිස්සේ සංචිත කළ අතිමහත් දැනුම් සම්භාරය තම ස්නායු පද්ධතිය තුළට ස්වීකරණය කර ගෙන එම දැනුම සමතික්‍රමණය කිරීමෙන් තොර ව ශාස්ත්‍රීය ප්‍රගමනයක් ලබන්නේ කෙසේ ද? රෝදය යළි සොයා ගැනීමට මොවුන්ට ඇති ග්‍රස්තික ලාලසාවය අවිඥානික ව ප්‍රකාශ කිරීමක් පමණි ඉහත කුහක ලියමන. එය ප්‍රචාරණය කරන්නවුන් ද ඉන් එහාට ගිය ශාස්ත්‍රීය ශික්ෂණයක් නොමැත්තවුන් ය. ඇරිස්ටෝටල්ගේ සිට නෙයෝමී ක්ලයින් දක්වා ද භරතමුණිගේ සිට ගයාත්‍රී ස්පිවැක් දක්වා ද ගැඹුරු කියවීමකින් තොර ව කළ හැකි විචාර කලාව කුමක් ද? ඒ වූ කලී පැරා ආකාර නන්දෙඩවිලි පමණි.

    මහැදුරු ගම්ලතුන්ගේ කීර්තීශේෂභාවෝපගත වීමෙන් පසු ලාංකීය චිචාර කලාවේ කාල-අවකාශය ස්ථිතික වී ඇත. එම කාල-අවකාශය යළි ගතිකාවස්ථාවකට ගෙන යා හැකි වන්නේ ගම්ලත් ආකාරයේ දැවැන්ත කියවීමකින් විනා පැරා ආකාරයේ වෘෂභ කතා හෝ ගැම්බර් දැමීම් හෝ මඟින් නො වේ.

    පැරාටත් පැරාගේ ප්‍රවර්ධකයන්ටත් අප පවසන්නේ ඉන්දිය සාගරයේ ඇසට නො පෙනෙන තරම් කුඩා කොදෙව්වක චූල සංස්කෘතික අවකාශයක සිරගත නො වී යුරෝපය හෝ ඉන්දියාව හෝ වැනි මහා සංස්කෘතික අවකාශයක තම වින්තනය පතිත කර ගන්නා ලෙස යි. කියවන්න, කියවන්න, කියවන්න.

    ලාංකීය දේශපාලන වියුණුසටහන්කරණයේ මහා කෙරුම්කරුවා ලෙස ස්වආත්මප්‍රකාශනයක යෙදෙන පැරාගේ හඳගම කියවීමේ මහා විචාර වියමන කියවීමට අපි නො ඉවසිල්ලෙන් බලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. අම්මා හුක... මේ ඇනෝ කොමෙන්ට් එක කියවලා මාව උත්තෝලනය වෙන්න ගත්තා.... ඉස්සර අපි අරුණිගෙ පෝස්ට් වලින් උස්සල එඩිට් කරලා දාන කොමෙන්ට් වගේ...

      Delete
    2. පැරකුම් ගැන කී කතාවට එකඟයි. නමුත් සුචරිත ගම්ලතා ඔච්චර පොරක්ද? මටනම් මිනිහ පේන්නෙ හරි හමන් දැක්මක් නැති පල්හෑලි ලියන අපතයෙක්වගේ. ඊට වඩා ගුණදාස අමරසේකරල තව හොඳයි උන්ගෙ ගෝත්‍රික සිංහල ජාතිවාදෙ පැත්තක තිව්වොත්.

      Delete
    3. මම පරිවර්තනය පිළිබද උගත් ඩිප්ලෝමාවේදී මගේ ව්‍යාපෘතිය වුණේ ගයාත්‍රි ස්පිවැක්ගේ Can Subaltern Speak පරිවර්තනය කිරීමයි. මගේ සුපරීක්ෂකවරයා වුණේ මහාචාර්ය චන්ද්‍ර‍සිරි පල්ලියගුරු ය. එය හොඳ පරිවර්තනයක් නො වේ යයි මට සිතුණ නිසා මම එය පළ නො කළෙමි. කෙසේ වෙතත්, මම එම පාඨමාලාවෙන් මෙරිට් එකක් ලබා ගතිමි.

      නයෝමි ක්ලයින් සුනාමියෙන් පසු ලංකාවට ආ වෙලාවේ ඇය සමග ලංකාවේ චාරිකා කරන්නට සරත් ප්‍ර‍නාන්දු සහෝදරයා මට යෝජනා කළේ ය. ඇගේ චාරිකාව සම්බන්ධීකරණය කරන්නට සරත් ප්‍ර‍නාන්දු සම්බන්ධ විය. මා එම ගමන නො ගියේ එවකට මා හිරු පුවත්පතේ කර්තෘ ලෙස වැඩ කළ නිසා ය. ඉතා දුෂ්කර තත්වයන් යටතේ සතිපතා පළ කළ එම පුවත්පතට මගේ ශ්‍ර‍මය එදා අවශ්‍ය විය. නයෝමි ක්ලයින්ගේ The Shock Doctrine: The Rise of Disaster Capitalism පොත ලිවීමට මෙම ගමන ඉවහල් විය.

      අනෙක නයෝමි ක්ලයින්ගෙන් හා ගයාත්‍රි ස්පිවැක්ගෙන් ඉතිහාසය නතර වුණේ නැති බව ද දැනගන්න.

      පහත දැක්වෙන්නේ මවිසින් කරන ලද පරිවර්තන දෙකකි.

      යටත්විජිතකරණය හා ගෘහනීකරණය (I – කොටස)

      යටත්විජිතකරණය හා ගෘහනීකරණය (II – කොටස)

      පසුගිය දස වසරක පමණ කාලය තුළ මවිසින් පරිවර්තනය කිරීමට හා සංස්කරණය කිරීමට යෙදුණු ලේඛන රැසක ද තිබුණේ දැනුම ය.

      අප විරුද්ධ දැනුමට නො වේ. දැනුම භාවිතා කර නිර්ප්‍ර‍භූන් පෑගීමට හිස් පඩියන් දරණ පසුගාමී උත්සාහයටයි.

      එසේ කරන්නට උත්සාහ කරන්නේ දැනුම නම් සුවිසල් අවකාශයෙන් තමන් අත පත ගෑ අංශු මාත්‍ර‍ය අනුන්ගේ ගෙල සිඳින්නට අසිපතක් ලෙස භාවිතා කරමින් ය.

      මම අවුරුද්දකුත්, මාසයකුත්, දවසක් එළියකන්ද ඇතුළු වධකාගාරවල අත්දැකීම් ලැබුවෙමි. තව වසර ගණනාවක් ලංකාවේ බොහෝ සිරගෙවල සිට පුනරුත්ථාපන කඳවුරු බවට පත් වූ සිරගෙවල් දක්වා අත්දැකීම් ලැබුවෙමි.

      අවුරුදු 22ක් පදවිය, මැදවච්චිය, අනුරාධපුර, බදුරලිය, අගලවත්ත, මතුගම සහ කොළඹ තවත් පාසල්වල ගුරු වෘත්තිය කළෙමි.

      වසර 30ක් වමේ ව්‍යාපාරයේ සිටියෙමි. මේවා ජීවිතයෙන් කරන ලද පර්යේෂණයි.

      එතකොට ඒවා දැනුම නො වේ ද? අප මේ ලියන ඒවා පදනම් වන්නේ ඒ දැනුම මත නො වේ ද? ඔබ කියන විශ්ව දැනුමෙන් ඒ දැනුම බැහැර කරන්නට ඔබට ලයිසන් දුන්නේ කවුරු ද?

      උගත්කම ඇත්තේ සහතිකවල හෝ කියවූ පොත්වල පමණක් නො වේ.

      වාමාංශික පණ්ඩිතයන්ට මේ බ්ලොගයට පැමිණ තමන්ගේ නමින් කමෙන්ටුවක් දමන්නටවත් බැරි තත්වයක් ඇති වී තිබෙන්නේ දැනුම පොත්වලින් එහාට ඇති නිසා ය.

      අවසානයේදී දැනුමට වඩා නිර්මානශීලිත්වය ප්‍ර‍බල වන බව මතක තබා ගන්න.

      Delete
    4. //අප විරුද්ධ දැනුමට නො වේ. දැනුම භාවිතා කර නිර්ප්‍ර‍භූන් පෑගීමට හිස් පඩියන් දරණ පසුගාමී උත්සාහයටයි.//

      ඔබ සමග එකඟයි අජිත්. මම වාමාංශිකයකු නොව ධනවාදී අන්ත දක්ෂිණාංශික ප්‍රතිගාමියෙක්මි. නමුත් ඔබගේ ඇතැම් මැදහත් අදහස්වලටද ලේඛන ප්‍රතිභාව හා ඔබගේ ජීවිතය තුළින් ලද පන්නරය බෙහෙවින් අගය කරමි. දිගටම ලියන්න. ඔබට ජය පතමි.

      Delete
    5. ගයත්‍රියි නයෝමියි කිව්වම මාර අපේ කමක් දැනනවා නේද? ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ලක් දියනියන් දෙන්නෙක් නේද?

      Delete
    6. "පැරා ආකාර" කියනවට‍ වැඩිය හොඳයි පැරාකාර කිව්ව නං.

      ඔක්කොමත් හරි April 28, 2016 at 11:17 PM ඇනෝත් හරි!

      Delete
    7. ගයාත්‍රියි නයෝමියි හිටියෙ සොයිසාපුර ෆ්ලැට් වල නේද රට යන්න ඉස්සර?

      Delete
    8. ගයත්‍රි යි, නයෝමි යි, සොයිසාපුරේට එන්න කලින් ඉඳලා තියෙන්නෙ මතුගම.

      අලින්නේ අපේ වැඩ.

      Delete
  12. වරලත් විචාරකයෝ වෙන්නම ඕනේද අපි දකින,බලන,කියවන දේවල් ගැන අපේ අදහස අනික් අය සමගින් බෙදා ගන්න.

    ReplyDelete
  13. දුමක් ඔහොම දෙපාරක් ඇද්දනං ෆිල්ටරේ ගාව :D

    ReplyDelete
  14. ඉලක්කයක් ගන්නට තරම් උස ගොස් සිටින පැරා වැනි අය අනතුරුදායක දෙබර වලට මෙසේ පළමු ගල් ගැසිය යුතුය. මෙය මා බ්ලොගය ලියන්නට පටන්ගත් මුල් කාලයේම කතා කරන්නට අවශ්‍ය වූ දෙයක් වුවත් ආධුනික බ්ලොග්කරුවෙකු එවැනි කතිකාවක් ඇරඹීමෙන් ඇතිවන ලොකු ප්‍රයෝජනයක් නොපෙනුණු බැවින් මුට්ටිය දමා බැලීමෙන් අනතුරුව අදහස පස්සට දැම්මෙමි. "හොඳ පොත් විකිණෙන්නේ නෑ" "හොඳ චිත්‍රපටි බලන්න සෙනඟ නෑ" ආදී ප්‍රවාදද මේ චින්තන ඒකාධිකාරයේ ප්‍රතිඵලයකි. බටහිර මාධ්‍ය ඒකාධිකාරය ගැන කතා කරන බොහෝ දෙනෙකු නොදකින දෙයක් වන්නේ කුඩා කළ සිටම කිසියම් චින්තන ඒකාධිකාරයක් ඇති පිරිසක් විසින් අපට "හොඳ පොත්" "හොඳ චිත්‍රපට" "හොඳ සින්දු" ආදිය ගැන කියාදෙන බවයි. (මෙයින් කියන්නේ බටහිර මාධ්‍ය ඒකාධිකාරයක් නැති බව නොවේ.) ඒ සමඟම, අපේ රස වින්දනය මේ නිර්ණායක සමඟ නොගැලපෙන විට වැරැද්ද ඇත්තේ නිර්ණායකයේ නොව අපේ රස වින්දනයේයයි සිතන්නට අපට බල කෙරේ. අපට "හොඳ දේශපාලනය" ගැන නිර්දේශ ඉදිරිපත් කරන්නට මෙවැනි කණ්ඩායම් විසින් පසුබිම හදාගන්නේ මේ ආකාරයේ විචාර හරහාය. අනුන්ගේ නිර්ණායක වලින් තමන්ගේ රසවින්දනය මනින ජනතාවක් හැමදාම අතෘප්තිමත් කණ්ඩායමක් වශයෙන් තබා ගැනීම පහසුය. ලෝකය හොඳින් පෙනෙන්නේ තමන්ව හිස් කරගත් තරමටය. (පෙනෙන දේ එසේම ලිවිය හැක්කේ තමන් තමන්ටම අවංක වූ තරමටය.) පැරා තමාව හඳුන්වාගන්නා ලේබල් මොනවා වුවත් ලාංකීය සමාජය විනිවිද දැකීමේ හැකියාව අතින් පැරා සිටින්නේ ශාස්ත්‍රාලීය සුදුසුකම් ඇති වෙනත් බොහෝ අයට වඩා ගවු ගණනක් ඉදිරියෙනි.

    ReplyDelete
  15. පැරාගේ දේශපාලන පක්කලි ලියවිලි දැක්කම කියවන්නට කාලය නාස්ති නොකළත් අනෙකුත් විචාරාත්මක අදහස්වලට කැමතියි. ජීවත්වෙන්න ලියන්නෙක් වුණාම ඔහොම එක එක ඇජෙන්ඩාවලට ලියන්න වෙනවා.

    කොහොමත් යමෙකුට තමන්ගේ අදහස් සමාජගත කිරීමට ඇති අයිතිය මා ඉහළින්ම පිළිගනවා.
    කලාව ගැන පැරා හිතන නිදහස් ආකාරයට ගරුකරමින්(ඒව ලියන්නෙ ජීවිකාව පිණිස නොවන නිසා වෙන්නැති කියවන්න හිතෙන්නේ. බොහෝ සෙයින් අපට ගෝචර වෙන්නේ) හඳගමගේ අලුත් වැඩේ ගැන ලියන ලියවිල්ල කියවන්න බලා ඉන්නවා.
    (මා මේ පැරාට දමන පළමු කොමෙන්ට් එක බවද කියන්න කැමතියි.)

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. අපේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම අවුල තමා අනික් මිනිස්සුත් තමන් වගේම සිතිය යුතුයි, තමන් රසවිඳින දෙයම රසවිඳිය යුතුයි, තමන්ගේ දේශපාලන මතයම දැරිය යුතියි කියන පටු මානසිකත්වය. එයින් මිදුණු දාට අපි සැබෑ නිවහල් ජාතියක් වේවි! බොහොම නිදහසේ ලියවුනු ලිපියක් වගේ. දේශපාලන පල් හෑලි වලට වඩා මේවා කොතරම් අපූරුද!

    smoking kills කියලා කොහෙද තියෙනවා දැක්කා :)

    ReplyDelete
  18. පැරා.....ෆොටෝ එක නම් මාර ගති. පිරිමියෙක් සිගරට් එකක් අතේ තියාගෙන ඉන්නකොට ගත්ත ෆොටෝස්වල පොඩි වෙනසක් මට දැණෙනවා. මහගම සේකර, ගාමිණි ෆොන්සේකා,ටෝනි අයගේ ෆොටෝස් උදාහරණ.

    ඇගේ ඇස් අග දැන් ලංකාවේ පෙන්නනවාද? ට්‍රේලර් එක දැක්ක නිසා උනන්දුවක් ඇතිවුනා, චිත්‍රාල්ගේ ගීතයයි, බෙංගෝලි නලුවාගේ රංගනයයි දැකගන්න උවමනාවෙන් ඉන්නේ.

    ප්‍රේක්ශකයෙක් හැටියට ෆිල්ම් එකක්, ටෙලියක්, නාට්ටියක් ගැන ලිව්වොත්"තමුසෙ මොනවද හදාරලා තියෙන්නේ" කියන ගොන් ප්‍රශ්නය එනවා. අපේ රටේ සිනමාකරුවා සහ නිළ විචාරකයා හැරුනු කොට ප්‍රේක්ෂකයා කියන්නේ නිකම්ම, නිකම් ෆිල්ම් හෝල් ටිකට් එකක් විතරක් කියලයි හිතන් ඉන්නේ. ඉස්සර ගැලරියෙ හිටියා හොඳ පිචැර් විචාරකයෝ.

    මම පැරාගේ විචාරය කියවන්න බලන් ඉන්නවා. ඔබේ විචාරයන් කියවීමට වටිනා බව මගේ අදහසයි!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.