2016-06-18

ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ යුගය

අජිත් පැරකුම් ජයසිංහ විසින් සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපියකි. 

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහගේ මරණයත් සමග ජවිපෙ දේශපාලනය ගැන කතාබහ යළිත් මතු වී තිබේ.

මිය යන විට සෝමවංශ අමරසිංහ තව දුරටත් ජවිපෙ සාමාජිකයකු හෝ වූයේ නැත. එහෙත්, ඔහුගේ ජීවිතයේ සැලකිය යුතු කාලයක් ගෙවුණේ ජවිපෙ දේශපාලනය වෙනුවෙනි. 1989න් පසු ඔහු ජවිපෙ නායකයා බවට පත් වූයේ ය.

ඔහුගේ මූලික ලක්ෂණයක් වන්නේ ඔහු පරමාදර්ශවාදියෙක් නො වීම යයි මම සිතමි. ඔහු මාක්ස් ලෙනින්වාදය ගැඹුරින් හැදෑරූ අයෙකු හෝ ඇත්තෙන් ම එවැනි දෘෂ්ටිවාදීමය දේශපාලනයක් මත පදනම් වූ අයෙකු හෝ යයි සිතිය නො හැකි ය. එහෙයින් ඔහුගේ නායකත්වය යටතේ ජවිපෙ දෘෂ්ටිවාදීමය වශයෙන් කැපී පෙනෙන පක්ෂයක් බවට පත් වූයේ ද නැත.

වරක් ඔහු ලංකා පුවත්පතට සිය ජීවිත කතාව ලියාගෙන ගිය අතර, එය ජවිපෙ සාමාජිකයන් අතර ජනප්‍රිය එකක් වූයේ නැත. හේතුව ජවිපෙ වැනි පක්ෂයක් අපේක්ෂා කරන පරමාදර්ශී විප්ලවීය නායකත්වයක ලක්ෂණ එම කතාවෙන් මතු නො වීමයි. එහෙත්, ඒ වනාහි ඇත්ත සෝමවංශ අමරසිංහ වූ අතර ඇත්ත ජවිපෙ ද ඔහු වැනි මිනිසුන්ගේ පක්ෂයක් බව ඔහු මිය යන විට ඔප්පු වී හමාර ය. 

සෝමවංශ අමරසිංහ නායකත්වය දුන් ජවිපෙ සිංහල-බෞද්ධ මූලික ශ්‍රී ලාංකික ජාතිකවාදය මත පදනම් වූ සමාජවාදී පක්ෂයක් ලෙස සැලකිය හැකි ය. එහි පංති පදනම ග්‍රාමීය දිළින්දන්ගේ සිට නාගරික පහළ මධ්‍යම පංතිය වෙත වේගයෙන් චලනය වූ ආකාරයක් ද දැකිය හැකි ය.

ඒ අනුව ජවිපෙ දේශපාලනය ද මධ්‍යම පංතික උවමනාවන් මත හැඩගැසිණි. මෙහිදී ලංකාවේ මධ්‍යම පංතිය කුමක් ද යන්න හඳුනා ගැනීම වැදගත් ය.

ලංකාවේ පවතින ධනේශ්වර ක්‍ර‍මය තුළ ආධිපත්‍යය බෙදී යන්නේ ධනේශ්වර හා මධ්‍යම පංතිය අතරයි. මධ්‍යම පංතිය ප්‍රමාණාත්මකව මෙන් ම දෘෂ්ටිවාදීමය වශයෙන් ද ශක්තිමත් එකකි. එහි කේන්ද්‍ර‍ය රජයයි. මධ්‍යම පංතිය ප්‍ර‍ධාන වශයෙන් ම සැදුම් ලබන්නේ රජයේ නිලධාරීන්, රාජ්‍ය ව්‍යවසාය සේවකයන් හා රජය සමග කොන්ත්‍රාත් කරන්නන්, දේශපාලකයන් ආදීන්ගෙනි. ඔවුන්ගේ පැවැත්ම හා පංතිමය සුරක්ෂාව මූලිකව ම රාජ්‍ය බදු ආදායම් මත රඳා පවතී.

එහෙයින් මධ්‍යම පංතිය යනු වරප්‍ර‍සාදිත පංතියකි. එම පංතියේ උවමනාවන් කම්කරු පංතියේ උවමනාවන් සමග සමපාත වන්නේ නැත. මධ්‍යම පංතියට උවමනා වන්නේ රාජ්‍යය රැක ගන්නට හා ශක්තිමත් කරන්නට ය. ශක්තිමත් කරන රාජ්‍යය රැක ගත යුතු වන්නේ වැඩ කරන ජනයා ගෙවන බදු මුදල් වලිනි. මෙහිදී මධ්‍යම පංතියේ පැවැත්ම තනිකර ම රඳා පවතින්නේ ලංකාවට විදේශ විනිමය ගෙන එන විදේශ ශ්‍ර‍මිකයන්, ඇඟලුම් කම්කරුවන් හා වැවිලි කම්කරුවන් මත ය.

ජවිපෙ මෙම සමාජ කොටස් අතර පදනම් වීම වෙනුවට කළේ මධ්‍යම පංතියේ පහළ හා මැද ස්ථරය සිය පදනම කර ගැනීමයි. ජවිපෙ දේශපාලන තීරණ හා තීන්දු තනිකර ම මෙම පංතියේ උවමනාවන් මත පදනම් විය. ජවිපෙ කම්කරු පංති විඥානයක් ගොඩනැගීමට අසමත් වූ අතර ඒ වෙනුවට කම්කරු පංතිය අතර ද ප්‍ර‍වර්ධනය කළේ මධ්‍යම පංතික විඥානයයි.

මෙය උදාහරණයකින් පැහැදිලි කරනවා නම් ජවිපෙ විසින් ජනතාව අතර ප්‍ර‍වර්ධනය කරන ලද ජීවන පරමාදර්ශය වූයේ නිදහස් අධ්‍යාපනය ඔස්සේ විශ්වවිද්‍යාලයට ගොස් උපාධි ලබා රජයේ සේවයට බැඳී කටයුතු කරන මධ්‍යම පංතිකයෙක් මිස ශ්‍ර‍මයේ අභිමානය වෙනුවෙන් පෙනී සිටින පුහුණු කම්කරුවෙක් නොවේ.

මෙම දේශපාලනයට ඇත්තෙන් ම මාක්ස් ලෙනින්වාදයක් අවශ්‍ය නැත. එහෙයින් ජවිපෙට එය හුදු අාභරණයක් පමණක් විය. එහෙත්, එකී ආභරණය ම ජවිපෙ ගමනට බාධාවක් ද විය. තමන්ට ගැලපෙන තත්කාර්යවාදී දේශපාලනයකට නැඹුරු වෙනවා වෙනුවට ජවිපෙ පරමදර්ශවාදයන් දේශනා කරන, එහෙයින් ම යථාර්ථවාදී විකල්පයක් යෝජනා කළ නො හැකි,  හුදු විවේචනයට පමණක් සීමා වන පක්ෂයක් බවට පත් වූයේ ද ඒ නිසා ය.

මෙය වැඩිදුරටත් පැහැදිලි කරන්නේ නම්, ජවිපෙ ගැඹුරු හැදෑරීමක් සහිත දෘෂ්ටිවාදීමය පක්ෂයක් ද නො වේ. එය රඹුටං වාරයට රඹුටං ද, දූරියන් වාරයට දූරියන් ද, අඹ වාරයට අඹ ද විකුණන්නා සේ කලින් කලට අන්ත ජාතිවාදයත් ලිබරල්වාදයත් අතර පැද්දෙමින් තිබේ. හිටි හැටියේ මාක්ස්වාදී කැරැලි ද සිදු වන අතර, අනිවාර්ය ප්‍ර‍තිඵලය වන්නේ ජවිපෙට ආගන්තුක දේහයන් වන මෙම කොටස් පළවා හැරීමයි. හිරු කණ්ඩායම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදිය උදාහරණ වෙති.

එහෙත්, සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වීම සිදු වන්නේ මෙවැනි සංදර්භයක නො වේ. ඔහු ඉවත දැම්මේ ජවිපෙ පරමාදර්ශවාදීමය හැව යයි මම සිතමි. ඉන් අනතුරුව, දෘෂ්ටිවාදයන්ගෙන් තොර ලෝකයක් තුළ තත්කාර්යවාදී දේශපාලනයක නියැලෙන්නට ගිය ඔහුට ජාතිවාදයෙන් ගැලවෙන්නට අවශ්‍ය දැක්මක් හෝ එවැනි දැක්මක් ඇති කර ගැනීමට කාලයක් හා අවකාශයක් ලැබුණේ නැත. ඒ නිසා අවසානයේදී ඔහුට ද සියලු ජාතිවාදී පසුගාමීන්ගේ අනාථ කඳවුර වන රාජපක්ෂවාදී ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධානගත වන්නට සිදු විය.

ඔහු නැති ජවිපෙ දැන් රාජ්‍ය බලය ඉල්ලා සිටියි. ඔවුන්ගේ මූලික තර්කය වන්නේ නායකයන් කැප කිරීම් කරන යුගයක් උදා කිරීමට ඔවුන්ට හැකි බවයි. ඇත්තෙන් ම ජවිපෙට කළ හැකි උපරිමය ද එයයි. මන්ද, අද වන විට ඔවුන් අල්ලා ගත් පරමාදර්ශවාදයන් ද, පය ගැසූ විකල්පයන් ද අහිමි වී ඇත.

ඔවුන් මේ කියන්නේ කවුරු බලයට ආවත්, කරන්නට අලුත් දේ නැති බව ද,  කළ හැකි දෙය වන්නේ දැන් මේ කරන දේ ම දූෂණයෙන්, නාස්තියෙන් තොරව, කිසියම් ආකාරයක අත්ථකලමතානුයෝගී නායකත්වයක් යටතේ කළ යුතු බව නො වේ ද? ඇත්තෙන් ම මෙය ද ලෝක ප්‍ර‍වණතාවක් වී තිබේ. ග්‍රීසියේ සිරිසා, ඉන්දියාවේ ආම් ආද්මි වැනි පක්ෂවලින් ද, මෑතදී ජයගත් පිලිපීන ජනාධිපතිවරයාගෙන් ද ප්‍ර‍කාශ වන්නේ මෙම ප්‍ර‍වණතාවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

11 comments:

  1. /ජවිපෙ කම්කරු පංති විඥානයක් ගොඩනැගීමට අසමත් වූ අතර ඒ වෙනුවට කම්කරු පංතිය අතර ද ප්‍ර‍වර්ධනය කළේ මධ්‍යම පංතික විඥානයයි/ ඒක කොරන්ට ගිහිල්ල නේද ලොකු ලොකු කොම්පැනි ප්‍ර‍ඩක්ෂන් අතෑරලා ඉම්පෝර්ට් ඇන්ඩ් මාර්කටින් වැඩේට බැස්සේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ධනපති පංතියත් මධ්‍යම පංතියට යට වුණ දුර්වල එකක්. උන් මධ්‍යම පංතිය සතුටු කරන්න කටයුතු කරනවා මිසක් ලංකාවේ ධනේශ්වර ක්‍රමය තුළ ධනපති ආධිපත්‍යයක් වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. කම්කරු පංතියත් ජාඩියට මූඩිය වගේ. උනුත් මධ්‍යම පංතික පරමාදර්ශ මත පිහිටලා, රජයේ සේවකයන් වගේ වැඩ නො කර පඩි ගන්නා විධි ගැනමයි හිතන්නේ. ඒ නිසා ලංකාවේ ශ්‍රමයේ මිළ අධිකයි. ඵලදායිතාව පහළ. නිෂ්පාදන කර්මාන්ත වෙනුවට ආනයන හා අලෙවිය ආදේශ වන්නේ එහෙමයි. ඒ විතරක් නෙමෙයි, ලංකාවේ වටිනාකම් එකතු කිරීම් කර්මාන්ත පවා අවමයි. වැඩ කරන ජනතාව මැද පෙරදිග යනවා. එහෙදි නම් ඇත්තෙන් ම වැඩ කරනවා.

      මේක තමයි ලංකාවේ වම කියන එක ඇති කරලා තිබෙන විකෘතිය. මේ දේශපාලනය තුළ ඇති උලව් සමාජවාදයක් නැහැ.

      Delete
  2. /නායකයන් කැප කිරීම් කරන යුගයක් උදා කිරීමට ඔවුන්ට හැකි බවයි./

    පරමාදර්ශී නායකයන්ගේ අවුල එයාලා මොකුත්ම කරන්න දන්නැති එක නේද? බලයටත් ඇවිත් පරමාදර්සෙත් පරිස්සම්කරගත්තොත් එයාලට වෙන්නේ මහානායක උන්නාන්සෙලාට වෙලා තියන දේ?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මේ වාමාංශිකයන් පුනරුත්ථාපනය කළ යුතුයි. මුලින් ම ඔය කවදාවත් රස්සාවක් කරලා නැති එවුන්ව උන්ගේ සුදුසුකම්වලට ගැලපෙන රස්සාවලට යැවිය යුතුයි. එතකොට උන්ට ජීවිතය දිහා අලුතින් බලන්න චැනල් එකක් ලැබෙනවා. අනුන්ගෙන් කකා ඉන්න පරපෝෂිතයන්ට කොහොමද වැඩ කරන ජනතාව ගැන තේරෙන්නෙ?

      Delete
  3. සයිමන්June 18, 2016 at 9:54 AM

    මම මේ ලිපිය කියවන්නේ නෑ, මොකද ඔය මැරුණු පුද්ගලයා වගේ හාල් කෑල්ලක් අරභයා ලියන දේවල් කියවීම මම සළකන්නේ මගේ කාලය අපතේ යැවීමක් ලෙස. ලිපිය කියවන්න ගත කරන විනාඩි දෙක හෝ තුන හෝ හතර හෝ මට නැවත ලබා ගන්න බැරි නිසා යි ඒ. ඉතින් මට කියන්න උවමනා වුණේ 1977 මහ මැතිවරණයේ දී ලංකාවෙන් අතු ගා, නැති කර දැමූ වම ගැන වසර 40 කට පසුවත් විශ්ලේෂණ, අරවා මේවා ලියන්න පැරා උනන්දු වන්න එපා කියලයි.

    ReplyDelete
    Replies
    1. වම අතුගෑවාට ඒ මතවාද තවම හැම ක්ෂේත්‍රයක ම ප්‍රබලයි. දැන් රනිලුත් ඒවායේ ගොදුරක්. ආණ්ඩුව හිටගෙන රස්සා දෙනවා රෝහල්වල එහෙම කම්කරු තනතුරු නිකම් ඉඳලා පඩි, විශ්‍රාම වැටුප් ගන්න. මේක තමයි වාමාංශික විප්ලවවාදයේ බලපෑම.

      Delete
    2. ///ආණ්ඩුව හිටගෙන රස්සා දෙනවා රෝහල්වල එහෙම කම්කරු තනතුරු නිකම් ඉඳලා පඩි, විශ්‍රාම වැටුප් ගන්න.///

      අයියෝ... එහෙනම් ලංකාවට මේ කපේදී ගොඩ ඒමක් නෑ වගේ පැරා.

      :(

      Delete
    3. ඒක තමයි මං කියන්නෙ, අපේ මිනිස්සු කෑගහන්නෙ ඇමතිවරුන්ගෙ කාර්වලට විතරයි. ඒත්, මේ වගේ පත්වීම් නිසා මහජන මුදල් කාබාසිනියා වන ප්‍රමාණය ඊට වඩා සෑහෙන ගුණයකින් වැඩියි.

      Delete
  4. ජවිපෙට ආණ්ඩු බලය ලැබුණොත් මෙතෙක් තිබුණු ආණ්ඩුවලට වඩා පහත් තත්වයකට රට වැටීමට ඉඩ තියේද?

    ReplyDelete
    Replies
    1. මම නම් එහෙම හිතන්නේ නැහැ. එකක් ජවිපෙට කවදාවත් තනිවම බලය ලබා ගන්නට බැහැ. අනිවාර්යයෙන් ම තවත් අය සමග සන්ධානගත වන්නට වෙනවා. අනෙක, ලංකාවේ පවතින දෙය උඩු යටිකුරු කරන්නට කිසිවෙකුට බැහැ. ජවිපෙට දැන් සිදු වන දේට එකතු කරන්නට පුළුවන් එක දෙයයි. ඒ තමයි, සාපේක්ෂ වශයෙන් දූෂණයෙන් තොර නායකත්වය. ඉන් එහා ගැඹුරු දැක්මක්වත් ජවිපෙට නැහැ. ලංකාවේ මධ්‍යම පංතිය එක්ක කරන්නට පුළුවන් විප්ලවයක් නැහැ. උන් වැඩ කරන ජනතාව බවට පත් කරන එක වුණත් විප්ලවයක්.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.