2016-07-17

වාමාංශික පිරිමින් නවකතාවෙන් විච්ඡේදනය කිරීම

මං ඔය එන එන පිළිවෙලට පොත් කියවන කෙනෙක් නෙමෙයි. ඒත් මං කියවන්න හිතාගෙන හිටපු පොත් කීපයක් පසුගිය දිනවල මං කියෙව්වා. මහින්ද කුමාර සෙනරත් පරිවර්තනය කරපු මිහයිල් ෂෝලහොව්ගෙ 'දොන් නදිය නිසලව ගලා බසී' පොත් හතරයි, පී.බී. ජයසේකරගේ 'මරියා සිලොනිකා වස්තුව'යි, සුරේඛා සමරසේනගේ 'මේ කතාව'යි තමයි ඒ පොත්. ඕවා කියවන අතරෙ තව, තව එව්වාත් කියෙව්වා. ඒ වුණාට යමක් ලියන්න ඕනැ ය කියලා හිතෙන්නේ මේ පොත් ගැනයි.

මේ කතා තුනම කතා කරන්නේ එක ම දෙයක් පිළිබඳව. ඒ තමයි, මාක්ස්වාදී ආගමික දේශපාලනය. කවුරුවත් ඒක ආගමක් ය කියලා ඍජුව කියන්නෙ නැති වුණාට ඒක ආගමක් වගේ ජරාවක් ය කියන එක මේ හැමෝ ම අඩු වැඩි වශයෙන් පෙන්වා දෙනවා.

ෂෝලහොව් ලියන්නේ මාක්ස් ලෙනින්වාදී ආගම ව්‍යාප්ත වීම ආරම්භ වූ 1917 අවට කාලය තුළ සෝවියට් දේශයේ රතු පාට කුරුස යුද්ධ නිසා දොන් නදීබඩ කොසාක්වරුන්ගේ ජීවිතයට එයින් කරපු බලපෑම හෙවත් විනාශය ගැනයි. ස්වයං පෝෂිත ගොවි සමාජයක මිනිස්සු තමන්ට අදාළ නැති කම්කරු විප්ලවයක් එක්ක කරන අරගලය ගැන අතිශය ගැඹුරු සාහිත්‍යමය විග්‍රහයක් එහි අඩංගු වෙනවා. එය පරිවර්තනය කිරීම මහින්ද කරපු ලොකු වැඩක්.

පී.බී. ජයසේකර මූලිකව විෂය කර ගන්නේ වාම දේශපාලනයේ මාක්ස්වාදී යුගයේ අවසන් සමය නම්, සුරේඛා සමරසේන විෂය කර ගන්නේ පශ්චාත් මාක්ස්වාදී යුගය. එහෙත් මේ යුග තුන හරහාම ගලා යන්නේ එක ම ආගමික දුස්සීලයක්.

මාක්ස්වාදී හා පශ්චාත් මාක්ස්වාදී ආගමික සංස්ථාවන්ගේ හොඳ නරක හා එයින් සමාජයට සිදු වන බලපෑම පිළිබඳ සාකච්ඡා කරන මේ දෙන්නා යුග දෙකක ලේඛකයෝයි.

පී.බී. ජයසේකර සම්මත කතා ආකෘතිය තුළ රහස් සැඟවී ගත්, කුතුහලය සපිරි කතාවක් කියන ගමන් පරමාදර්ශී චරිතයක් ද ගොඩනගනවා. ඒ තමයි කරුණාපාල. අසරණ වුණ ගැහැනියකට වරදට සමාව දීපු, අනුන්ගේ ලෙයින් සැදුණු ආබාධිත දැරියක තමන්ගේ ම දරුවකු ලෙස රැක බලා ගන්නා, කම්කරුවන්ගේ, ගොවීන්ගේ අරගලවල ඉදිරියෙන් සිටින, නාට්‍ය කරන, මිනිස්කම උතුරා ගිය කරුණාපාල තමයි චරිතය. සියලු චරිත ගොඩනැගෙන්නේ මේ පරමාදර්ශී චරිතය වටායි. ඔහුගේ පරමාදර්ශයන් සමග තබා අපට සෙසු චරිත විනිශ්චය කරන්නට මාපකයක් ලේඛකයා ඉදිරිපත් කරනවා.

කතානායකයා වචනයේ පරිසමාප්ත අරුතින් ම උතුම් ජීවිත හා සමාජ අරමුණු වෙනුවෙන් කැප වුණ මානව දයාවේ ප්‍රතිමූර්තියක් වන් මිනිසෙක්. ඒ එක්තරා අතකට වාමාංශික පරමාදර්ශී මිනිසා හෙවත් වාමාංශිකයන්ගේ දේශපාලන ෆැන්ටසිය. එ් වුණාට මරියා සිලොනිකා වස්තුවේ අපට හමු වෙන චරිත ඒ ෆැන්ටසිය වන්දනා කරන ගමන් සාමාන්‍ය මිනිසුන් කරන කපටිකම්, කුහකකම් විතරක් නෙමෙයි පූර්ණ ආබාධිත දැරියක දූෂණය කිරීම වැනි නින්දිත අපරාධත් කරන අයයි.

ෂෝල‍හොව්ගේ කතාවේ මෙවැනි වීරයන් නැහැ. ඔහු පරමාදර්ශ හොයන්නේ නැහැ. රුසියානු විප්ලවයේ මුල් යුගයේ සෝවියට් දේශයට පක්ෂපාතී සමාජවාදී ලේඛකයකු ලෙස පවා ඔහු කරන්නේ පවත්නා ඇත්ත ඒ විදියට නිරූපණය කිරීම විතරයි. ඒත්, ලංකාවේ අපි වාමාංශික පරමාදර්ශී චරිත පරිකල්පනය කරන්නට පෙළඹෙන්නේ ඇයි? මං හිතන්නේ එහෙම වුණේ වාමාංශික දේශපාලනය තුළ අප මුහුණ දීපු බරපතල ගැටලුවක් නිසා ය කියලායි.

පී.බී. ජයසේකරට සුරේඛා සමරසේන හමු වෙන්නේ නැහැ. හේතුව සුරේඛා සමරසේන විග්‍රහ කරන යුගයයි, පී.බී. ජයසේකර විග්‍රහ කරන යුගයයි අතර තිබෙන වෙනස නිසා. සුරේඛා ලියන දේවල් හා ඒවා ලියන විධිය පී.බී. ජයසේකරට පවා දරා ගන්නත් බැරි වෙයි වගේ.

පී.බී. ජයසේකරගේ ලෝකයේ දේශපාලනික යයි සිතන ගැහැනිය අදේශපාලනිකයි. උන්නතිකාමියි. පාරිභෝජනවාදීයි. අමානුෂිකයි. ඒ තමයි කතානායකයාගේ බිරිය. පී.බී. ජයසේකරගේ ලෝකයේ පිරිමි දේශපාලනය කරනවා. ඒ පිරිමින්ට ගැහැනු පේන්නේ අදේශපාලනික, පටු සන්තර්පණයන් සොයා යන, වරදට සමාව දිය යුතු බොළඳ සත්ව කොට්ඨාසයක් ලෙසයි. 

එහෙත්, සුරේඛා කතා කරන්න පටන් ගන්නෙ පී.බී. ජයසේකර නිහඬ වෙන තැනින්. සුරේඛා සමරසේන කියලා ගැහැනියක් ඇවිත් පී.බී. ජයසේකරලාගේ වාමාංශික පිරිමි ලෝකයට නෙළාගෙන, නෙළාගෙන යනවා. වෘෂණ කෝෂවලින් අල්ලලා අඹරනවා. මූණට කෙළ ගහනවා. වාමාංශික රැවුල්කාර පිරිමින්ගේ කලිසම් ගලවලා පාරවල් දිගේ එළවනවා.

මේ ප්‍රහාරයේ මූල බීජය ලියැවුණේ සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා නවකතාවෙයි. වාමාංශික, රාජ්‍ය නොවන සංවිධාන පුරුෂ ලෝකයේ චරිතයක් අරගෙන සුනේත්‍රා ඒක ඒ අතට මේ අතට හරව හරවා එහි නිරුවත පෙන්වන්නේ ස්ත්‍රී ශ්‍රේෂ්ඨත්වයක් පිළිබඳ කිසියම් ආකාරයක ප්‍රති පුරුෂෝත්තමවාදී ස්ත්‍රී ස්වෝත්තමවාදයකින්.

මේ පොතට සම්මාන ලැබුණු වෙලාවේ පොදු පුරුෂයන්ගේ ලෝකයේ වීරයකු වූ සුචරිත ගම්ලත්ට මාරාවේශ වෙනවා. එයා පොදු පුරුෂයාට නෙළන්නේ මෙන්න මෙහෙමයි: "ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්‌. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව දැකල සුමිත්‍රා රාහුබද්ධ කියල කෙනෙක්‌ නාටාමි භාෂාවෙන් ඒ ජාතියෙම කතාවක්‌ ගොතල සම්මානෙකුත් ගත්ත. මේ වගේ පොත් ලියල පොත් කියවන මිනිස්‌සුන්ගෙ කාලය විනාශ කරන එක විශාල අපරාධයක්‌. හොඳ පොත් කියල මේ පපඩම් නවකතාවලට සම්මාන දෙන සාහිත්‍ය මණ්‌ඩලවල ඉන්න අයත් ඒ අපරාධයේ හවුල්කාරයෝ."

ඇය අවුරුදු පතා පොත් ලියනවා ය, භාෂාව හොඳ නැති ය වැනි විගඩම් මිස හරයක් ඇති විචාරයක් ඔවුන්ගේ කෘති සම්බන්ධයෙන් කිරීමට සුචරිත ගම්ලත් දක්වා කිසිදු විචාරකයෙක් සමත් වූයේ නැත. තමන්ගේ බැනිල්ලට පදනමක් අවශ්‍ය නිසා අන්තිමේදී බොහෝ දෙනෙක් එල්ලුණේ ‍ගුණදාස අමරසේකරගේ කරේ ය. ඔහු කී දෙයක් වන්නේ ඇගේ පොදු පුරුෂයා ව්‍යාජයක් ය කියා ය. ඒ කියන්නේ යථාර්ථවාදී නො වනවා ය කියා ය. ඒ වනාහි ඉතා නො ගැඹුරු, ව්‍යාජ ප්‍රකාශයකි. එහෙත්, මෙවැනි ගොබ්බ කතා ද ලංකාවේ විචාර ලෙස සැලකේ.

පිරිමින්ගේ ස්වයංජාත වැනි දුර්වල නවකතාවලට සම්මාන දෙන විට ‍මේ විචාරකයන් මේ තරම් කිපුණේ නැති බව විමසා බැලුවොත් පෙනේ. සුනේත්‍රාගේ නවකතාව විශිෂ්ට එකක් නො වුණත්, එහි වැදගත්කම ඇති වන්නේ එය වාමාංශික අධිපතිවාදී විචාරකයන් කුපිත කළ ආකාරය නිසායි. වාමාංශික, එන්ජීඕ දේශපාලනයේ ඉතා සුලබ චරිතයක් වන පොදු පුරුෂයා කතාවේ පිරිමියා ව්‍යාජයක් ය කියා බැහැර කරන්නේ අන් කිසි හේතුවක් නිසා නෙමෙයි, සුනේත්‍රා ලංකාවේ වාමාංශිකයන්ගේ නිරුවත ඉදිරියේ දර්පණයක් සවි කරන නිසායි. 

මම ශාස්තෘ නවකතාව ලියපු වෙලාවෙත් මං මේ අත්දැකීමට මුහුණ දුන්නා. බොහෝ වාමාංශික පිරිමි ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ. ඒ පොත ගැන හැත්තැ එකේ මහ නඩුවේ විත්තිකාරයකු වූ ප්‍රේමපාල හේවාබටගේ හා පැට්‍රික් ප්‍රනාන්දු කිව්වේ ඒ පොත කියවන්න බැරි එකක් ය කියායි. පොත දොරට වැඩි දාට පහුවෙනිදා ම එය වැඩක් නැති එකක් ය කියා ලියපු ටැබූ සබ්ජෙක්ට්ස් පවා එක රැයින් පොත කියවා හමාර කළා. වාමාංශිකයෝ කියවීම ප්‍රතික්ෂේප කළා. මං ලියන රාවය පත්තරේ පවා ශාස්තෘ පොත ගැන වචනයක්වත් ලියවුණේ නැහැ. ඉන්ද්‍රනාම ද්විලිංගික වීම, විප්ලවවාදී කවියන් තමන්ගේ අතින් කුඩා දරුවන් ඝාතනය කළ අය වීම වැනි දේ දරා ගන්න වාමාංශිකයන්ට බැහැ. ඒවා ව්‍යාජ ය කියලා කිව්වාට ඒක තමයි ඇත්ත.  

වරක් අපි ජානකී සූරියආරච්චි නම් ළමා පොත් ලියන ළමා විය ඉක්මවා ගොස් නැති ලේඛිකාවගේ දොයියම්මා නම් කවිය ස්ත්‍රීවාදී ඇසකින් විමසමින් බ්ලොග් සටහනක් ලිව්වෙමු. ඊට පසු අපට කතා කළ ජානකී ඇයට ස්ත්‍රීවාදිනියක යයි කීම හරියට ත්‍රස්තවාදියකු කියන්නා වගේ ය කියා එම සටහන ඉවත් කරන්නැයි ඉල්ලා සිටියා ය. එය අපහාසාත්මක සටහනක් නො වන නිසාත්, පොත් ලියා විකුණනවා නම් ඒවා මිළ දී ගන්නා මිනිසුන්ට ඒවා ගැන කතා කරන්නට ඇති අයිතියට ගරු කළ යුතු බවත් මම ඇයට පෙන්වා දුන්නෙමි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ගාමිනී මතුරට වැනි එයාගේ අංකල්ලා ගැන කියමින් අැය මා බිය වද්දන්න ද උත්සාහ කළා ය.

සුනේත්‍රා රාජකරුණානායක වනාහි ජානකී සූරියආරච්චිගේ වර්ධනීය අවධියක් යයි මට සිතේ. ඇගේ පොදු පුරුෂයා විචාරක පිරිමින් භූමිතෙල් ගෑවුණු ගැරඬින් බවට පත් කිරීමට හේතු වුණේ ජානකීගේ දොයියම්මා සේ ස්ත්‍රියගේ සමාජ භූමිකාව ප්‍රශ්න කළ අහම්බ ස්වරූපය හේතුවෙන් වන්නටත් පුළුවන. එහෙත්, සුරේඛා වනාහි එවැනි ලේඛිකාවක් නො වේ. ඇය ලියන්නේ පණුවන් නලියන කාණු පල්ලවල් අත පත ගෑ කුණු වැකි අතකිනි.

මිනී කපන්නකු මළසිරුරකට දක්වන ගරුත්වය හෝ නො දක්වන සුරේඛා සමරසේන මේ ඊනියා වාමාංශිකයන්ගේ කුහක ලෝකය හම ගැසූ කුකුළකුගේ බොකු බඩවැල් ඇද දමා එය හොද්දට ගැනීම සඳහා ලී කොටයක් උඩ තබා කෑලි කෑලි කපනවා සේ කපා වළඳකට දමයි. එය පී.බී. ජයසේකරගේ මරියා සිලොනිකා වස්තුව සේ බළල් මස් පිස සුදු ඇතිරිලි සහිත මේසයක් මත දීසියක් ලෙස ඉදිරිපත් කිරීමක් නො වේ. එය වනාහි බළල් කුණ ඉඳා කාපියව් කියා අමුවෙන් ම මූණේ ගැසීමක් වැනි ය. එහි භාෂාව, ආකෘතිය ආදී සියලු ලක්ෂණ එසේ ය. ප්‍රබන්ධය යථාර්ථය බව ද යථාර්ථය ද ප්‍රබන්ධයක් බව ද යන කරුණු දෙක ම පසක් කර දෙන ඇගේ කතාව ලියන සුරේඛා සමරසේන ද එහි චරිතයකි.

ඉතින් සාහිත්‍ය විචාරය හා සම්මාන විනිශ්චය අරක් ගෙන සිටින, පොත් ලියන කාලයට ඒවාට සම්මාන ගැනීම ද නො ලියන කාලයට විනිශ්චය ද කරන ලංකාවේ සාහිත්‍ය මාෆියාව සුරේඛාගේ මේ කතාව ගැන කිසිවක් කතා නො කිරීම පුදුම විය යුතු කාරණයක් ද?

අප මෙම සටහන තබන්නේ සුරේඛා ගැසූ බෝම්බයෙන් තුවාල වී, එහෙත් රහසේ ප්‍රතිකාර කිරීම නිසා ඔඩු දුවා, කුණු වී ගිය තුවාලවල වෙලුම් පටි ඇද දමා ඕජස් ගලන ඇඟ මස් තවත් නිරාවරණය කර දැමීමට ය. හෙට අනිද්දා සම්මාන බෙදා ගන්නා විට සුරේඛා නම් ලේඛිකාවක් සිටි බව හා ඇය මේ කතාව නම් නවකතාවක් ලියූ බව අමතක නො විය යුතු හෙයින් සුරේඛාගේ මේ කතාව කියවිය යුතු ම පොතකැයි අපි නිර්දේශ කරන්නෙමු.

මෙය විචාරයක් නොව ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්න.

ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

22 comments:

  1. හැම මිනිහෙකුටම කරන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් විතරයි. හැකියාවේ සීමිත බව, දැනුමේ සීමිත බව, කාලාවසරයේ සීමිත බව ආදී දහසකුත් සීමාවන් ඒකට හේතුවයි. සාහිත්‍ය කෘතියක් කරන්නා වගේම එය විචාරයට ලක් කරන්නාත් මේ සීමාසහිත බව නිසා සිය කාර්යය අසම්පූර්ණ කරගන්නවා.
    ඒ නිසා, ගැරහිය යුතු මට්ටමේ කෘති වලට නරකයි කීම ඇරෙන්න සියුම් සාහිත්‍ය විචාර මටනම් පිළිගන්නේ නැහැ.
    කොහොම වුනත්, මේ සාහිත්‍යකරුවන් හතර දෙනාම නොකියා කියන බව ඔබ පෙන්වා දෙන මාක්ස්වාදයේ ආගමික ස්වරූපය මේ කතා කියවන බොහෝ දෙනකු විසින් ග්‍රහණය නොකරගනු ඇතැයි මා විශ්වාස කරනවා.
    ඔබ එය ග්‍රහණය කළේත් බොහෝ දෙනකු එය ග්‍රහණය නොකරගනු ඇත්තේත් මා කිවූ සීමිත බව නිසා බැවින් ඔබගේ හෝ ඔවුන්ගේ වරදක් දැකීමත් නිශ්පලයි.

    ReplyDelete
  2. මම මේ කතාව පොත කියවා දැන් මාස ගනනක් වෙනවා. ඔබේ මේ සටහන නිසා ඒ ගැන යමක් සාකච්ඡා වෙන එක හොඳබව සිතෙනවා. ඇත්ත. සුරේඛගේ නවකතාව තුල ඔබ ඔය කියන ආකාරයේ මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාරවල නිරුවත හෙලිවෙන බව මම පිලිගන්නවා. ඒක සාමාන්‍ය නවකතාවල කෙරෙන ජේවීපී සමාජවාදය විවේචනයෙනුත් ඔබ්බට පියවර කිහිපයක් තැබූ කෘතියක්. නමුත් යම් කලා කෘතියක චින්තනය, දැක්ම පොහොසත් වූ පමනින්ම එය විශිශ්ට හෝ සම්මානයට පාත්‍ර විය යුතු යයි නිගමනයකට එන්න බැහැ නේද? සුරේඛාගේ නවකතාවට පුද්ගලිකව මම කැමති නැහැ. . මේ කතාව තුල මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර පිලිබඳ විවේචනාත්මක දේශපාලනයක් විතරක් නෙමෙයි ඒක ස්ත්‍රීවාදී ස්වරූපයක්ද ගන්නා බව පේනවා. මට වෙලාවටට හිතෙනවා සුරේඛාගේ මේ නිර්බය සහ රැඩිකල් විවේචනයේෙ හදිස්සිය නිසාම ඇයට තම නවකතාව සියුම්ව ඔපමට්ටම් කරගැනීමට තිබූ අවස්ථාවන් ගිලීහී ගිහින් ඇති බව. කොටින්ම බොහෝ අවස්ථා තුල විස්වසනීයත්වය බිඳ වැටීම් නිසා එහි සමතුලිතතාවය ගිලිහෙනවා. නවකතාවේ සෑම වදනක් තුලම මොකක් හෝ ඉක්මනක් නැතිනම් ආවේගයක් දක්නට ලැබෙනවා. ඒ තුලම එහි කලාත්මක භාවිතාවන් ඇගෙන් ඈතට දිවෙනවා ඇති. මගේ මතය අනූව මේ කතාව පරිසමාප්ත හෝ මා කැලඹවූ කෘතියක් විදියට භාරගන්න බැහැ. සාහිත්‍ය සම්මානවලදී බොහෝ විට අපේ රටේ අංගසම්පූර්නම වූ කෘති සඳහා පමනක් සම්මාන හිමි නොවන නිසා මේ කතාවට ඒ සඳහා යම් ඉඩක් විවරවී තිබෙන්නත් පුලුවන්. නමුත් මේ වර්ශයේ පලවූ වෙනත් නවකතාත් මේ සමඟ මොනතරම් තරඟයක් ලබා දෙයිදැයි අප දන්නේ නැහැ. මම පුද්ගලිකව කැමතියි තිත්ත තොල් කියන පොතට. එය ස්ත්‍රීවාදී ද දේශපාලන වාදීද නැත්නම් මොනයම් වාදයක් මතුකරනවාදැකි කියන්න බැරි අමුතු තාලේ එකක්. අඩුපාඩු සහිතව වුනත් අසන්ධිමිත්තා නවකතාව පවා යම් ඉදිරි පියවරක් තබා තිබෙනවා.
    - කලා කවුළුව (ෆේස්බුක්හි පළ වූවකි.)

    ReplyDelete
    Replies
    1. මම තිත්ත තොල් කියවා නැහැ. ඒත්, අසන්ධිමිත්තා කියෙව්වා. ඒකත් සාකච්ඡාවට භාජනය විය යුතු පොතක් කියලායි මම හිතන්නේ. සුරේඛාගේ පොත සියුම්ව ඔප මට්ටම් කරපු එකක් නෙමෙයි. ඒත්, එහෙම වෙන්නම ඕනැද? ඔය කියන ශිල්පීය පරිසමාප්තභාවය සම්මානවලට අදාළයි. ඒ වුණාට ඒක රසවින්දනයට හෝ සංවාදයට අදාළ නැහැ. හැබැයි ලංකාවේ සම්මාන පාදක නවකතා ජාවාරම ඇතුළේ කතාබහට ලක් විය යුතු කෘති ගැන කතාබහක් ඇති නොවීම බරපතල ප්‍රශ්නයක්.

      Delete
  3. /* මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ගාමිනී මතුරට වැනි එයාගේ අංකල්ලා ගැන කියමින් අැය මා බිය වද්දන්න ද උත්සාහ කළා ය. */

    හැක, හැක, හැක.

    ReplyDelete
  4. මේ කතාව දොරට වැඩුම වෙලාවෙම අරගෙන කියෙව්වේ. සුරේඛා මොකක් නමුත් ඇරියස් එකක් කවර් කරන්න ලියූවක් වගේ මිස වෙන ගත යුත්තක් එතන මටනම් පෙනුනේ නෑ.

    ReplyDelete
  5. හිතමු X කියල කෙනෙක් කතාවක් ලියනවා.

    ඒකෙ ප්‍රධාන චරිතය, අන්තිම නිවට, පීඩිත පසුබිමකින් එන, දේශපාලනය ගැන ලොකු ගැඹුරු විග්‍රහයක් නැති, ජීවිත කළෙම අනුන්ට "ගේමක් දෙන්න" විකල්ප චරිතයක් වෙන්න පුළුවන් කියලා හිතෙන විදියට එක එකාගේ පස්සේ ගිය එකෙක්. ඒ ඒ කාලෙට පොර තරුණ කාලේ ජෙප්පන්ගෙන් කික් වෙලා මිනී මරන්න යනවා. ජෙප්පෝ පොර ගැන දන්නා නිසා ලොකු වැඩකට නොගත්තත් (මොකද නරක කළු චරිතයක් නේ) කොහොම හරි පූරුවේ පවකට පොර වධකාගාරෙකට යනවා. පොරගේ "අදාළ නැති" කම ආමි උන්ටත් තේරුණු නිසා ගුටි දෙක තුනක් ඇන්නත් ජීවිත හානියක් නැතුව එලියට එනවා. පස්සේ ජාතික වාදේ නැගල එනකොට පොර ආයෙත් විකලපයක් හොයන්, ඔය කොළඹ ලොකු ලොකු පොෂ් එන් ජී ඕ වලට වැද්ද ගන්නේ නැති නිසා රෝහිත භාෂණ ලට සෙට් වෙනවා. උනුත් පොරව ගණන් ගන්නේ නෑ කඩේ යවා ගන්න ඇරෙන්න. ඒත් ඉතින් වාමාංශිකයන්ගේ සුපුරුදු පුරුද්ද අනුව පොඩ්ඩ බැරි වෙන කොට කෙලින නිසා පොරට එතනිනුත් ගුටි කාපු credential එකක් අරන් අයින් වෙන්න පුළුවන් වෙනවා. පස්සේ ගුරු කමක් හොයා ගන්නවා. (එතනත් හරියට උගන්නන්නේ නැහැ සමාජය ගැන කුහක වයිරයෙන් ඉන්නවා ඇරෙන්න. මොකද නරක කළු චරිතයක් නේ. කළු චරිතයක් නම් කළු වෙන්න එපයි.) පස්සේ පොරට ටිකක් හරි යනවා බ්ලොග් එකක් ලියන්න පටන් අරන් හිට්ස් එන කොට. ආඃ - යන්තම් මහන්සියෙන් සල්ලි හොයන් කාර් එකක් ගන්නවා. (පොරට මාර චූන් පොඩි කාර් එකක් ගත්තම. මොකද කළු චරිතයක් නේ, සරලවම චාටර් වෙන්න එපයි) ඉතින් පොර ඊට පස්සේ ජීවිතේ කර ගන්නේ බ්ලොග් එකේ දේශපාලනේ. කොළඹ එන්න ඕනෙත් නැහැ. සරල දෙයක් ලියපු ගමන් මාරයි ව්‍යක්තයි කියල කමෙන්ට්ස් නුත් වැටෙනවා, පොරට ජීවිතේට හම්බ නොවුණු නායකත්වයක් පිලි ගැනීමක් ලැබෙනවා. කතා පවත්වන්න, සම්මාන එහෙමත් ලැබෙනවා. පොරට තේරෙන්නේ නැහැ පොරගේ මාර විචාරක ෆෑන්ස් ල නැව් ටෝක් දුන්නු පොඩි උන්ටත් වැන්දන් ඉඳපු චරිත කියලා. පොර කියන්න පටන් ගන්නවා මේක තමයි සමාජවාදේ කියලා. (පොතේ, මේක juxtapose වෙනවා ඒ කාලෙම මෙන්ස්ට්‍රීම් හාමුදුරුවන් විවෙචානේ කරගෙන, "මේක තමයි බුද්ධාගම" කියන සමන්තබඩ්ඩ එක්ක. පොර කියන දේවලුත් කෑලි කෑලි අරන් බැලුවම ඇත්ත නේ.)

    මේ වෙලාවේ හිට් වෙන්න ලේසිම වට්ටෝරුව අරන් ආප්ප බානවා වගේ ලියන එකයි, එක ලිපියක් චාටර් උනා නම් ටක් ගාලා වෙන එකක් දාන එකයි කරහම පොරත් එක විදියක "ශාස්තෘ" කෙනෙක්. කතාව එතනින් ඉවරයි!

    දැන් මේ කතාවට Y, Z, කියලා පොරවල් විචාර ලියනවා, "හිටපු සමහර වාමාංශික ක්‍රියාකාරීන්ට රෙඹ යන්න දීල තියනවා, ලොවෙත් නැති පොතක්","කොහොමද සමන්තබඩ්ඩ එක්ක character juxtaposition එක, මාර rhetorical device එකක් නේද", "කෝ අජිත් පරකුම්ලා නිකන් ** කාපු රිලව් වගේ ඉන්නේ මේක දැක්කේ නෑ වගේ, හොඳටම රිදිලා නේද" කියලා. අජිත් ලා කියනවා මේක එහෙම මැජික් එකක් නෙවෙයි නිකන් කවුදෝ එක්කෙනෙක් ඇරියස් එකක් කවර් කරලා, තමන්ගේ හතුරන්ට විරුද්ධ prejudices ටික වට්ටෝරු caricature එකකට දැම්ම පලියට එක මාර සාහිත්‍ය කෘතියක් වෙන්නේ නෑ, ඒකට චූන් වෙන්නෙත් පරණ ඇරියස් කාරයෝ කියලා. උන් ඉතින් ලොකුවට ගණන් ගන්නේ නැහැ.

    අජිත්ලා ද Y, Z ද හරි? ලංකාවේ ගොඩක් වෙලාවට මේක තීරණය වෙන්නේ කෙනෙක් ගේ දේශපාලනේ උඩ .

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ජීවිතයක් ඔය විදියට වුණත් කියවන්නට පුළුවන්. හැබැයි ඒ කරන්නේ මතුපිටින් ස්පර්ශ කරමින් තමන්ට අවශ්‍ය රාමුවක් ඇතුළට දාගන්න එකයි.

      ඔය අදහසෙන් මට මොකවත් වෙන්නෙ නැහැ. ඔබට නම් චූන් වෙන්නට පුළුවන්.

      Delete
    2. // හැබැයි ඒ කරන්නේ මතුපිටින් ස්පර්ශ කරමින් තමන්ට අවශ්‍ය රාමුවක් ඇතුළට දාගන්න එකයි. //

      අර ඔයා ජාතිකවාදියෝ, මහින්ද සපොර්ටර්ලා, අනික් වාමාංශිකයෝ, ජෙප්පෝ, වමේ නායකයෝ, රට ගිය උන්, මධ්‍යම පන්තිකයෝ විග්‍රහ කරනවා වගේ ද?

      Delete
    3. පැරෝ, මේක තමුන්ගේ දේශපාලන ජීවිතය ගැන කියවීමක් නෙවෙයි. තමුන් ගේ ග්‍රන්ථ විචාරය සහ රසවින්දනය ගැන කියවීමක්. ඒක නිසා ඉතින් වයිඩ් බෝල වලට ගහන්න ඕනේ නැහැ. කියන පොයින්ට් එක තෙරුම් ගන්න බලන්න නිවිහැනහිල්ලේ ආයෙත් කියවලා හරි..

      Delete
    4. ලියන දෙයක් නිවිහැනහිල්ලේ හිතලා ලියනවා නම් හොඳයි. ඔය ලියලා තියෙන එක අවලාදයකට හරබර වචන ටිකක් එල්ලීම විතරයි.

      මං ඔය ඔබ කියන ලැයිස්තුවේ සිටින අය විග්‍රහ කරලා තිබෙන්නේ මතුපිටින් විතරක් නම්, ඒ බව පැහැදිලි කරලා ලියන්න. ඔය වගේ හරි වැරදි දාන නිර්මාල් රංජිත්ලා වගේ පොල්කටු උසාවි විනිශ්චයකාරවරුන්ට අපි මීට කාලෙකට ඉස්සර උත්තර දුන්නා.

      විනිශ්චයකාරවරුන් අපට අවශ්‍ය නැහැ. ඒ වුණාට හරි හමන් නඩුකාරයෙක් නම් තමන්ගේ තීන්දුව ලිඛිත විග්‍රහයක් ලෙස ඉදිරිපත් කරනවා.

      අපට ඉන්නෙ පොත්වල හරි, වැරදි, තරු, බෝල දාන ප්‍රාථමික ගුරුවරු වගේ විශ්ලේෂකයෝ.

      Delete
    5. දෙයක් කියවලා තේරුම් ගන්න බැරි මෙහෙම උන් ඉතින් ගුරු කමුත් කරා නේ. අනේ රටේ අද්‍යාපනය!

      පැරෝ, නිවීහැනේ කියවනවා. මේකෙන් කියන්නේ ශාස්තෘ (සහ in general ඔහොම ඊනියා "විච්චේදනය කරන" කරන වට්ටෝරු පොත්) නම් ඕනේ නම් තමුසේ ගැන උනත් ලියන්න පුළුවන්, ඒකටත් චූන් වෙන ඇරියස් කාරයෝ ටිකක් ඉඳියි, ඒ පොත ගණන් ගත්තේ නැතොත් (ශාස්තෘ/සුරේඛා කවුරුත් ගණන් ගත්තේ නැහැ වගේ) "ඇයි පැරකුම් සද්ද නැත්තේ බයද" කියල අහන සෙට් එකකුත් ඉන්න පුළුවන් (ඔය තමුසේ දැන් අහනවා වගේ) -- ගණන් නොගන්නේ බයටම වෙන්නේ නැහැ, අවලාද ටිකක් කියපු පලියට පොතක් හොඳ වෙන්නේ නැහැ කියල. දැන් තමුසේ එක ගන්නේ තමුසෙගෙ ජීවිතේට විරුද්ධ අටැක් එකක් වගේ.

      // මං ඔය ඔබ කියන ලැයිස්තුවේ සිටින අය විග්‍රහ කරලා තිබෙන්නේ මතුපිටින් විතරක් නම්, ඒ බව පැහැදිලි කරලා ලියන්න. //

      එක එක අරන් ලියන්න කම්මැලියි, ඒවා ලියපු වෙලාවල කියල තියනවා. ඊයේ පෙරේදත් කිව්වා, මිනිහෙක් ගේ දියවැඩියාව ගැන ඔහේ කතා කරපු වෙලාවේ.

      Delete
  6. පොතේ කියෙව්වේ නැති නිසා මුකුත් ලියන්න අමාරුයි. නමුත් ෂෝලහොව් හා සිලොනිකා වත්ස්තුව ගැන ඔබේ අදහසට එකඟයි. ඔබේ ශාස්තෘ පොත ගැනත් ලියන්න මමත් හිතන් ඉන්නවා.

    ReplyDelete
  7. මගේ යාලුවෙක් ශාස්තෘ කියවලා මළා.

    ReplyDelete
    Replies
    1. පැරා සමඟ පොත් දෙකක් හා පල් හෑල්ලක් ගැන
      ===============================

      ඔන්න පැරා ආයෙත් බාල්දියක් පෙරළා ගන්න හදනවා. වමට ගහනවා නම් උඹට මොන පල් හෑල්ලත් විශිෂ්ට යි නේ ද මචං?

      දේශපාලනය ගැන කතා කළොත් හාෂණ සහෝදරයාටත් කලා විචාරය ගැන කතා කළොත් ගම්ලත් සහෝදරයාත් කුණු පොල් කෝම්බයක් දෙකක් ගහන එක හැරෙන්නට උඹට වෙන කතා කරන්න දෙයක් නැති ද මචං?

      ඇයි බං උඹ Pasternak ගේ Doctor Zhivago ත් උඩ දාන්නේ නැත්තේ? එච්චර යි මෙතනට අඩු දැන්. වමට මඩ ගහන්න ඒක ලිව්වට Pasternak ට උඹලගේ ධනවාදී සංස්ථාපිතය විසින් අර ඩයිනමයිට් සම්මානය පුදනු ලැබුවානේ. ඕන නම් සරච්චන්ද්‍රගේ හෙට එච්චර කළුවර නැහැත් එකතු කර ගනිං. ජානකීගේ වචනයකින් කියනවා නම් එතකොට “ෂෝයි”. හැබැ යි මචං එක දෙයක් කියන්න ඕන: Pasternak ට හෝ සරච්චන්ද්‍රට හෝ තිබුණු භාෂාව ව්‍යවහාර කිරීමේ හැකියාව (වචන ගැළපීම ඇතුලු ව) නම් උඹ ඔය උඩ දාන නෝනලාට නැහැ. සුනේත්‍රා කෙසේ වෙතත් අර අනිත් ස්ත්‍රී රත්නයට නම් ඒක ගෑවිලාවත් නැහැ.

      ඔය ස්ත්‍රී රත්නය විසින් විරචිත පල් හෑල්ල කවුරුන් හෝ හිතවතෙකු අපට එවලා තිබුණා. අපරාදේ ඒක අපට එව්වේ. අප කියවීමට ඇති බැඳීම නිසා ම ඕකත් කියවන්න ගත්තා. පිටු දහයක් විතර කියෙව්වා. අනේ! අපො යි! ශික්ෂණයක් ඇති කෙනෙකුට කියවන්න පුළුවන් පොතක් ද ඕක? කුණු ගඳේ ඔක්කාරයට එනවා. අප ඉක්මනින් පුස්තකාල කාමරයෙන් එළියට පැන ගත්තා. සෑහෙන කාලයක් දූවිල්ල තට්ටු වැදිලා තිබ්බ උඹ ඔය උඩ දාන ග්‍රන්ථ රත්නයේ ඉතුරු ටික කියෙව්වේ මේ මෑතක දී. ඒ උඹ නිසා ම යි මචං. පොත කියවීමට පෙර ඩොම්පෙරිඩෝන් මිලිග්‍රෑම් දහයක් බොන්න වුණා වමනයට එන එක පාලනය කර ගන්න. අප දැනන් හිටියා උඹ කොයි වෙලාවක හරි ඔය නෝනා අභ්‍යවකාශගතකරණයට යමක් ලියන බව. උඹ ඔය පොත ගැන හෝ උඹේ මේ විචාරය/ප්‍රචාරය ගැන හෝ පොඩි පූර්ව දැනුම්දීමක් කළා මීට මාසයකට විතර කලින්. මතකනේ එදත් බාල්දියක් පෙරළා ගත්තා උඹ?

      මචං, උඹ කියවා තිබූ පොත්වලින් Sholokhov ගේ "And Quietly Flows the Don” වැදගත් එකක්. අප ඉංගිරිසියෙන් සිංහලයට කෙරෙන පරිවර්තන කියවන්නේ කලාතුරකින්. ඔය මෙවලම් පරිවර්තන කියවන්න කාලය නාස්ති කරන එක බොරු වැඩක්; අපේ රුධිර ධාතුව රත් වෙන එක විතර යි වෙන්නේ. මෑත කාලයේ දී වැඩකට ඇති පරිවර්තනයකට අප කියෙව්වේ අ‍ර සුදුවැලිකන්දගේ කාලිඩ් හොසෙයිනි පරිවර්තනයක් විතර යි. ඒක හොඳ වෑයමක්. ඒත් සෙනරත්ගේ පරිවර්තනය මීට අවුරුදු දහයකට විතර එහා අප කියෙව්වා. ඒක දැවැන්ත වැඩක්. අප එකඟ නැහැ සෙනරත් ඇතැම් අදහස් පරිවර්තනය කරලා තියෙන විකාරරූපී ආකාරයට. ඒත් අප මෙතන දී සලකන්නේ අන්තර්ගතය ගැන. උඹ එළඹෙන ඇතැම් නිගමන අර්ධ සත්‍යයන්. ඒත් සාධනීය යමක් ද උඹ ඒ අතර පවසනවා

      උඹ මේ පොත ගැඹුරින් කියවන්න ඇති බව අප විශ්වාස කරනවා. එහෙම නම් උඹ Sholokhov උඹේ මට්ටමට කපා ගැනීමක් නේ ද මෙතන කරන්නේ? Sholokhov ගේ "And Quietly Flows the Don” 1912 විතර කාලයේ සිට පළමු වැනි ලෝක යුද්ධයත් රුසියන් විප්ලවයත් රුසියන් සිවිල් යුද්ධයත් සිදු වූ කාල පරාසය තුළ විහිදෙන්නක්. 19 වැනි ශතවර්ෂයේ දෙවැනි භාගයේ දී ක්‍රිමියන් යුද්ධය නිසා පිරිහී ගිය දොන් නිම්නයේ දොන් කොසැක්වරුන්ගේ ජන ජීවිතය 20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී සිදුවන පෙර පැවසූ ගැටුම් සමඟ මුහුණ දෙන දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ විචිත්‍ර සාහිත්‍යයික නිරූපණයක් Sholokhov විසින් සිදු කෙරෙනවා. පසමිතුරු ජාතීන් දෙකක් අතර සිදු වූ ප්‍රේම සම්බන්ධයක් ද අසම්මත ප්‍රේම සම්බන්ධයක් ද ඔහු එයට එක්කර සංවේදී පෙළක් බවට පත් කරවනවා. සෙනරත්ගේ පරිවර්තනය පළ වූ කාලයේ Sholokhov ගේ "And Quietly Flows the Don" පිළිබඳ ලියමින් අප පැවසූ දෙය මෙවැන්නක්: "එක් ඉවුරකටවත් නො ඇලී දොන් නදිය මේ අලකලංචි මැදින් නිහඬ ව සෙමින් ගලා යන්නේ යම් සේ ද ෂෝලහොව්ගේ 'And Quietly Flows the Don' නවකතාවේ පෙළ ද වම් ඉවුරට ද දකුණු ඉවුරට ද නො ඇලී නිහඬ ව සෙමින් ගලා බසී".

      කුහක දේශපාලන අභිලාෂයන්ගේ ගාමක බලයෙන් මිදුණු නිමේෂයක, බුද්ධිමතෙකු වන උඹට ඔන්න ඔය සත්‍යය වැටහෙනවා. ඒක නිස යි වමට මඩ ගහන්න මෙහෙයවෙන උඹේ ඔය අතින් ම පහත රුවන් වැකිය ලියවෙන්නේ:

      “ෂෝල‍හොව්ගේ කතාවේ මෙවැනි වීරයන් නැහැ. ඔහු පරමාදර්ශ හොයන්නේ නැහැ. රුසියානු විප්ලවයේ මුල් යුගයේ සෝවියට් දේශයට පක්ෂපාතී සමාජවාදී ලේඛකයකු ලෙස පවා ඔහු කරන්නේ පවත්නා ඇත්ත ඒ විදියට නිරූපණය කිරීම විතරයි."

      ඔන්න ඔය හේතු ව නිස යි ඊනියා "සමාජවාදී යථාර්ථය" කියල දෙයක් කරපින්නා ගත්ත ස්ටැලින්වාදී නිලධාරිතන්ත්‍රය 1941 දී කෘතියට ස්ටැලින් ත්‍යාගය දෙත් දී උඹලගේ ධනපති පංතිය අප පෙර කිව්ව ඊනියා ඩයිනමයිට් සම්මානය 1965 දී කර්තෘට දෙන්නේ (1965 වන විට Sholokhov කොහොමත් ස්ටැලින්වාදී වම හැර ගොස් අවසන්).

      Cont...

      Delete
  8. ඒත් කුහක දේශපාලන අභිලාෂයන්ගේ ගාමක බලයෙන් මෙහෙයවෙන නිමේෂයක නරුමවාදියෙකු වන උඹ සත්‍ය විකෘති කරමින් යුදවාදී හා පශ්චාත් යුදවාදී සමාජයක දොන් කොසැක්වරුන් මුහුණ දුන් සියලු දුක්ඛ දෝමනස්සයන්ගේ වරදකාරීත්වය රුසියානු විප්ලවයේ ගිණුමට බැර කරමින් මෙසේ පවසනවා:

    “ෂෝලහොව් ලියන්නේ මාක්ස් ලෙනින්වාදී ආගම ව්‍යාප්ත වීම ආරම්භ වූ 1917 අවට කාලය තුළ සෝවියට් දේශයේ රතු පාට කුරුස යුද්ධ නිසා දොන් නදීබඩ කොසාක්වරුන්ගේ ජීවිතයට එයින් කරපු බලපෑම හෙවත් විනාශය ගැනයි. ස්වයං පෝෂිත ගොවි සමාජයක මිනිස්සු තමන්ට අදාළ නැති කම්කරු විප්ලවයක් එක්ක කරන අරගලය ගැන අතිශය ගැඹුරු සාහිත්‍යමය විග්‍රහයක් එහි අඩංගු වෙනවා."

    අජූව යි නේ ද මචං උඹේ වැඩ?

    දැන් අපි පී. බී. ගේ "මරියා සිලොනිකා වස්තුව" ගැන කෙටියෙන් බලමු. පී. බී. නවකතාවේ ශිල්පීය ක්‍රම පිළිබඳ මනා ශික්ෂණයක් පෙන්වනවා. උඹ මචං අර උඩ දාන ස්ත්‍රී රත්නයට ඒ සූරකමේ පේන තෙක් මානයකට එන්නවත් බැහැ. එහෙත් පී. බී. තමන්ගේ සූර ශිල්පීය දක්ෂතාවය නිසරු නිර්මාණයක් වෙනුවෙන් නිස්කාරණයේ නාස්ති කරනවා. වාම විප්ලවවාදියා යනු "සමාජය නම් මඩ ගොහොරුවේ කලල් දිය බිඳගෙන එහෙත් කලල් නො ගෑ වී මතු ව පැමිණි සුධවල අරවින්දයක් ය" යන සත්තාව පිළිබඳ අර දීඝ නිකායේ මහාපදාන සූත්‍රයේ එන යති දෘෂ්ටියක් මරිය සිලොනිකා වස්තුවෙන් නිරූපණය වෙනවා. ඒක වාම විප්ලවීය දේශපාලනය පිළිබඳ ඉතා නිෂේධනීය ජනප්‍රියවාදී "පොප්" කියවීමක්. එමඟින් වාම විප්ලවීය දේශපාලනයත් වාම විප්ලවවාදියාත් සමාජයෙන් පරාරෝපිත, විගලිත පරමාදර්ශයන් බවට පත් කරනවා. වාම විප්ලවීය දේශපාලනයට සාන්තුවරයන් හෝ මුනිවරයන් හෝ අවශ්‍ය නැහැ. එහෙම අය ඔය ජ.වි.පෙ නම් ඉන්නවා ලු නේ ද? ඒ වගේ ම තමා පී.බී. වාම විප්ලවවාදියා ලෙස සංකේතගත කර ගන්නා චේ කල්ලි කෙතරම් වාමවාදී ද යන්න ගැටලුවක්. පොතක් ජනගත කරන දවසක සවස කොළඹ හතේ ග්‍රීන්පාත් එකේ දී හරි ටොරින්ටන් එකේ දී හරි ඔය කියන චරිත අනන්තවත් දැක ගත හැකි යි. කොණ්ඩ වවාගෙන, රැවුල් වවාගෙන, කරාබු දාගෙන, චේගේ රූපය තිබෙන ටී ෂර්ටයක් ඇඳගෙන කවි නමින් වාක්‍යක් දෙකට තුනට කඩා ලියුවා ම ඒ අය වාම විප්ලවවාදින් වෙනවා නම් විප්ලවය මාර සිම්පල් වැඩක්නේ බං.

    උඹ මචං ඊට වඩා ගැඹුරු කියවීමක් තිබෙන මිනි‍සෙකු බව අප දන්නවා. උඹට අප පවසන දෙය මනා ලෙස ඥානනය වෙනවා. ඒක නිසා උඹ මෙන්න මේ ටික ලියනවා:

    "පී.බී. ජයසේකර සම්මත කතා ආකෘතිය තුළ රහස් සැඟවී ගත්, කුතුහලය සපිරි කතාවක් කියන ගමන් පරමාදර්ශී චරිතයක් ද ගොඩනගනවා. ඒ තමයි කරුණාපාල. අසරණ වුණ ගැහැනියකට වරදට සමාව දීපු, අනුන්ගේ ලෙයින් සැදුණු ආබාධිත දැරියක තමන්ගේ ම දරුවකු ලෙස රැක බලා ගන්නා, කම්කරුවන්ගේ, ගොවීන්ගේ අරගලවල ඉදිරියෙන් සිටින, නාට්‍ය කරන, මිනිස්කම උතුරා ගිය කරුණාපාල තමයි චරිතය. සියලු චරිත ගොඩනැගෙන්නේ මේ පරමාදර්ශී චරිතය වටායි. ඔහුගේ පරමාදර්ශයන් සමග තබා අපට සෙසු චරිත විනිශ්චය කරන්නට මාපකයක් ලේඛකයා ඉදිරිපත් කරනවා."

    ඒත් උඹ ගම කනවා ඊ ළඟ ඡේදය මෙහෙම ලියලා:

    "කතානායකයා වචනයේ පරිසමාප්ත අරුතින් ම උතුම් ජීවිත හා සමාජ අරමුණු වෙනුවෙන් කැප වුණ මානව දයාවේ ප්‍රතිමූර්තියක් වන් මිනිසෙක්. ඒ එක්තරා අතකට වාමාංශික පරමාදර්ශී මිනිසා හෙවත් වාමාංශිකයන්ගේ දේශපාලන ෆැන්ටසිය."

    එහෙම ෆැන්ටසියක් වාමාංශිකයනට තිබෙන බව උඹට කිව්වේ වාමාංශික නො වන ජ.වි.පෙ කවුරු හරි ද? හීනෙන් ද කිව්වේ? මචං, අපට තිබෙන්නේ පංති රහිත, පුද්ගලික දේපළ වෙනුවට පොදු දේපළ මත පදනම් වූ සමාජයක් පිළිබඳ අරමුණක් හා අභිලාෂයන් මිස ෆැන්ටසියක් නො වේ.

    මේ එක්ක ම පැවසිය යුතු දෙයක් තිබෙනවා. "පිරිමින්ගේ ස්වයංජාත වැනි දුර්වල නවකතාවලට සම්මාන දෙන විට මේ විචාරකයන් මේ තරම් කිපුණේ නැති" යනුවෙන් උඹ පවසන දෙය සත්‍යය විකෘති කිරීමක්. කිසියම් කෘතියක් ඇගයීමේ දී එහි පෙළ දේශපාලනික ව කියවීම පමණක් කළ යුතු නැහැ. ස්වයංජාත යනු රමණීය භාෂාකරණයක්. රන් කරඬුව වගේ නීරස බසකින් ලිය වුණ ගොබ්බ කතාවලට සම්මාන දෙන, ධනපති පාලක පන්තියට කඩේ යන, කුලීකාර විනිශ්චය මණ්ඩලවල සිටින අය විළි වසා ගැනීමට හිටි ගමන් ස්වයංජාත වැනි සාහිත්‍යාත්මක ව ඇගයිය යුතු පොත් වලටත් සම්මාන දෙනවා . සූර භාෂා ව්‍යවහාරයන්ගේ අග්‍රඵල දෙකක් වුණ සරච්චන්ද්‍රගේ මළවුන්ගේ අවුරුදු දා සහ මළගිය ඇත්තෝ වැනි කෘති උඹ ඊනියා "පිරිමින්ගේ" යන සම්බන්ධ විභක්ති විශේෂණයෙන් වෙසෙසා නො සලකා හරිනවා ද?

    මචං, අර උඹේ වන්දනවාට පාත්‍ර වන, උඹ විසින් අභ්‍යවකාශගත කෙරෙන ස්ත්‍රී රත්නයේ පල් හෑල්ල ගැනත් ටිකක් කතා නො කළොත් හොඳ නැහැ‍ නො වැ. ඒත් වැඩි දෙයක් කතා කරන්න නැහැ; කතා කළ යුතුත් නැහැ. මේ ටික හරි කථන භාෂණයෙන් ලියන්නේ ක්වෝට් කරන්න, සර්ච් කරන්න බැරි වෙන විදියට. උඹ මචං මේ ගැන මැදිහත්වීමක් කළ නිස යි අප මේ ටික හරි ලියන්නේ. උඔ වමට ගහන්නේ මොනවා වුණත් යම් ශික්ෂණයක් ඇති ව යි. උඹට ඔය ලිංගික ඌනිතතාවාදය කියන ගාය නැහැ. ඒක ලොකු දෙයක්.

    Cont...

    ReplyDelete
  9. අපගේ හිතවත් ශාස්ත්‍රාලීය ස්ත්‍රීවාදිනියක ඔය උඹ උඩ දමන ග්‍රන්ථ රත්නය පිළිබඳ මාහැඟි කතාවක් මේ ළඟක දී අපට පැවසුවා. එම ප්‍රකාශය උඹ ඔය උඩ දාන ඇගේ කතාව ගැන සකලාර්ථය ම සම්පිණ්ඩනය කරන්නක්: "සාහිත්‍යයත් ඉවර යි; ස්ත්‍රීවාදයත් ඉවර යි"

    වැඩවසම් සමාජ සම්බන්ධතාවල සිට සමකාලීන ධනපති දේශපාලනයට එරෙහි ව නැඟී සිටින වාම හෝ වාම යැයි කියා ගන්නා හෝ දේශපාලන ව්‍යාපාරවල පුද්ගල සම්බන්ධතා දක්වා සකලවිධ ගතිකයන් උඹේ ඔය ස්ත්‍රී රත්නය ඇගේ කතාව තුළ දකින්නේ, විවරණය කරන්නේ ලිංගික සූරා කෑමක් විදියට යි. හත් ඉලව්වක් නෙ බං! එක අතකින් ඔය උඹේ ස්ත්‍රී රත්නයට නිෂ්පාදන සම්බන්ධතා සමඟ මානව ශිෂ්ටාචාරය පවුල් සංස්ථාව, රාජ්‍ය සංස්ථාව හා පුද්ගල දේපළ යනුවෙන් සංවිධිත ව ප්‍රගමනය වන ආකාරය ගැන මාර්ක්ස්මය කියවීමක් නැති ව ඇතිනේ. උඹේ ඔය ස්ත්‍රී රත්නය (නව)කතාවේ පෙළ තුළ මවන පුරුෂ චරිත ඇගේ සාවද්‍ය දෘෂ්ටිවාදය ප්‍රචාරණයට මවන කිසිඳු විශ්වසනීයත්වයක් නැති රූකඩ පමණ යි. හැදෑරීමක් නැති චරිත ඇය විසින් ම මවනු ලැබ, ඇය විසින් ම ඒවා උත්කර්ෂණයට ලක් කරනු ලැබ, ඇය විසින් ම ඒවා දුෂ්ටත්වයට පත් කරනු ලැබ, ඇය විසින් ම ඒවාට පහර දෙනු ලබනවා. පරීකල්පනීය ලොව තුළ ඇය කරන උතෝපියානු විප්ලවය වාස්තවික ස්ත්‍රීවාදී කතිකාවට කරන අවමානයක්. උඹ මචං මොන තරම් උඩ දැම්මත් ඔය ස්ත්‍රී රත්නයේ ඔය පල් හෑල්ල ඇගේ චිත්ත සන්තානයට වද දෙන යම් අතීත සිදුවීමක් පිළිබඳ පීඩනය මුදා හැරීමක් පමණ යි. ඇය ඇගේ මනෝ ලෝකය තුළ ඇගේ මනස තුළ සිටි හෝ සිටින හෝ අර අප පෙර පැවසූ ආකාරයේ සරලමතික වාමවාදියෙකුට ඇති තරම්. පහර ගසනවා. ඕවා සාහිත්‍ය නිර්මාණ වෙන්නේ නැහැ. ඔය වගේ පල් හෑලි ලියූ තවත් ස්ත්‍රීන් පසු ගිය කාලයේ අප දැක්කා.

    මානව සමාජය යනු හුදු ලිංගික සූරාකෑමට ලක් වන එක් පංතියක් හා එයට එරෙහි ව නැඟී සිටින තවත් පංතියක් එකිනෙක ගැටීමෙන් ප්‍රගමනය වූවක් ලෙස සැලකීම ම ස්ත්‍රීවාදී කතිකාව පරාරෝපණය කිරීමක්. මේ වූ කලී ස්ත්‍රීවාදී කතිකාව පුළුල් සමාජ විපර්යාසයකට දායකත්වය දෙන විප්ලවීය දේශපාලනයක අන්තර්-සම්බන්ධතාවයන්ගෙන් ගලවා, නිදන කාමරයේ හෝ කුස්සිය මුල්ලේ හෝ විප්ලවයක් බවට යළි පත්කරවීමේ පසුගාමී ව්‍යායාමයක්. සමාජය වෙනස් කිරීමේ පුළුල් කාර්යභාරයේ දී අන්තර්ඡේදනීය එළඹුමක් දක්වා වර්ධනය වී ඇති ස්ත්‍රිවාදී කතිකාව එම පුළුල් කාර්යභාරයෙන් ගලවා ඉවත් කර ගෙන හුදකලා අරගලයක් බවට යළි පත් කිරීම ප්‍රතිගාමී නො වේ ද? තුන් වැනි රැල්ලේ ස්ත්‍රීවාදී කතිකාව එහි දෙවන රැල්ල දක්වා පරාවර්තී ගතිකයකට පත් කිරීම ප්‍රතිගාමී නො වේ ද? bell hooks ගේ සිට Simone de Beauvoir දක්වා ආපසු යෑම ප්‍රතිගාමී නො වේ ද? අනේ මචං, උඹේ ඔය ස්ත්‍රී රත්නයට කියනව ද ටිකක් ගැඹුරින් හදාරන්න කියලා ලාංකීක Simone de Beauvoir වෙන්න කලින්? මොක ද Simone de Beauvoir ගැඹුරු දැක්මක් තිබුණ සුධීමතියක්. හැදෑරීමක් සහිත ස්ත්‍රීවාදීනියනි, මේ ප්‍රතිගාමීත්වයට එරෙහි ව නැඟී සිටිනු මැනවි.

    මචං, මේ විධියට බැලූ විට උඹේ ඔය ස්ත්‍රී රත්නයේ හිස්ටරික පල් හෑල්ල දෘෂ්ටිවාදාත්මක ව මාර ප්‍රතිගාමි යි. භාෂාව එහෙම කොහොම ද බලමු නේ ද? භාෂාත්මක නිර්මිතයක් වන සාහිත්‍ය කෘතිවල භාෂාව පිළිබඳ සොයා බලන එක ගැන උඹ ගැටලුවක් කර ගන්න එපා. උඹ ඔය උඩ දාන ස්ත්‍රී රත්නය විසින් විරචිත ග්‍රන්ථ රත්නයේ භාෂාව නම් මාර යි බං. කියලා වැඩක් නැහැ. ඇගේ කතාවේ භාෂාව ඉස්තරම් ම නිදර්ශනයක්. මොකට ද දන්නව ද? හඩු භාෂාව කියන එකට. පොත අතට ගත්ත ම බ්ලූමැන්ඩල් කුණු කන්ද ළඟ ඉන්නවා වගේ දැනෙන්නේ. ඒ තරම් සුවඳවත්. කථන භාෂාවටත් නැහැ; ලිඛිත භාෂාවටත් නැහැ. උඹ ඔය උඩ දාන ස්ත්‍රී රත්නය රාවයේ හිටිය කියලා ආරංචි යි. අපට තියෙන ප්‍රශ්නය ඒ ස්ත්‍රී රත්නය රාවට මොනව ද ලිව්වේ කියන එක. මොකක් වුණත් සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය හැරුණු කල කියවන්න පුළුවන් එක ම සිංහල පත්තරය රාවය නේ.

    අප පැරාට පවසන්නේ අප මෙම විවේචනය කරන්නේ උඔ ඔය උඩ දමන ග්‍රන්ථය ස්ත්‍රියක විසින් ලිය වුණු නිසා නො වන බව යි. ස්ත්‍රීන් විසින් ලියන ලද විශිෂ්ට කෘති අපගේ විචාරයට ලක් ව ඇත. ගැටලු ව වන්නේ වමට මඩ ගැසීමට පල් හෑලී හඩු බසින් ලියනා අවියත් ස්ත්‍රී රත්නයන් පැරා විසින් අඟහරු ලොවට යැවීම ය. කත්‍යානාගේ නිලි වැස්ස පිළිබඳ හෝ සේපාලීගේ මහාසාමි පිළිබඳ හෝ වචන දෙකක් ලියන්නට වේලාවක් නැති පැරාට, වමට මඩ ගසන ස්ත්‍රී රත්නයන් අභ්‍යවකාශගත කරන්නට නම් වේලාව ඇති සෙයකි. මෙය පැරාමය විචාර කලාවේ නව මුහුණුවර ද? මඩ ගැසීම කලාවක් ලෙස සලකන පැරාමය විචාර කලාවේ නිර්ණායක මත අනෝමාගේ පුනරැක්ති සම්පරීක්ෂා කළොත් ලැබෙන නිගමන කොහොම තියේ වී ද?

    හමාර දෙසුමේ දී අපට පවසන්නට ඇත්තේ මෙය යි: පැරා සාහිත්‍යකලා පිළිබඳ යළි බාල්දියක් පෙරළා ඇත. පැරා සංවාදයට ගෙන එන කෘති තුනෙක් දෙකක් පිළිබඳ ඔහුගේ නිගමන සමඟ අපට බොහෝ දුරට එකඟ විය හැකි ය. එහෙත් තුන් වැන්න නම් අජූව ය. එහි ඇති එක ම ප්‍රයොජනය නම් පැරා වැනි වමට මඩ ගසන්නට බලා සිටින වාම විරෝධීනට වමට මඩ ගැසීමට මඩ අනා දීම යි. ඡි:! තු:!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස්වලට ගරු කරනවා.

      එක් කරුණක් වැරදියි. මහාසාමි ගැන මා ලියූ සටහන මෙතැනින් කියවන්න. ඒක ලිව්වෙ ගිය අවුරුද්දෙ දෙසැම්බරයේ.

      සේපාලි මායාදුන්නේගේ මහාසාමි හා අතීතකාමයෙන් මිදෙන්නට අතීතය කියවීම

      Delete
    2. ජවිපෙ සහ එහි අනුශංගික කොටස් වම නොවෙයි කියනකොට මට ඇති වන ප්‍රශ්නය එතකොට වම කියන්නේ මොකක් ද කියන එකයි.

      මම විවේචනය කරන්නේ ලංකාවේ තිබෙන වමක් මිස ෆැන්ටසික වමක් නෙමෙයි. ඒ තියෙන වම තමයි ලංකාවේ වම. ඒක තමයි භාෂාව ඇතුළෙ වම ලෙස නාමකරණය වෙලා තිබෙන්නේ.

      ඒක වම නෙමෙයි නම් ලංකාවේ වම කියන්නේ මොකක් ද? පැහැදිලිව, සංයුක්තව කියන්න.

      Delete
    3. සහෝ, අපට ඔබගේ මහාසාමි කියවීම මඟ හැරී තිබෙනවා. අප කනගාටු වෙනවා ඒගැන. කනගාටුව පමණක් නො වෙ යි සමාව ඉල්ලා සිටිනවා ඔබ එසේ නො ලියූ බවට අප කළ ප්‍රකාශය පිළිබඳ.

      මචං. ශාස්තෘ පිළිබඳ අපට උනන්දුවක් තිබුණා. දවසක් අප විජිත යාපා පොත් මැදුරේත් සරසවි පොත් මැදුරේත් ඒක හෙව්වා. හමු වුණේ නැහැ. ශාස්තෘ පිට වුණු දවස්වල අප ලංකාවෙන් පිට සිටියේ. අපගේ ශිෂ්‍යයෙකුට පැවසුවා ඔබ අමතා පිටපතක් ලබා ගෙන එවන්නට. ඒත් ඒක කෙරුණේ නැහැ.

      ඔබ එහි marketing phase එක අවසන් කර තිබේ නම් එය PDF ආකෘතියට සැකසුවහොත් නරක ද? ඔබ සතු ව InDesign ආකෘතිය තිබේ නම් එය සරල කාරණයක්.

      ඔබ ඔබගේ ලේඛන හැකියාවෙන් කරන සමාජ මැදිහත් වීම පිළිබඳ අපට ඇගයීමක් තිබෙනවා. එය වැදගත් දෙයක්. එකඟ වීම හෝ නො වීම වෙනත් දෙයක්. මවං, සමාජ කතිකාවක් ජනනය කළ හැකි ලිපි දිගට ම ලියාගෙන යං ඔහොම. අප ‍කොහේ සිටියත් ඒවා කියවනවා. මේවායේ දී අප අතර ‍ඇති වන ශාස්ත්‍රීය ගැටුම් නිස‍ා ඒ කාලයේ තිබුණ සුහදත්වය නැති වෙන්නේ නැහැ මචං. ශාස්ත්‍රාලයෙන් පිට සිට ඔබ කරන හැදෑරීම විශිෂ්ට යි.

      දවසක මේ ඇනෝ වැඩේ නවතා හමු වී ආයෙත් වාද-විචාද වෙමු, සංවාද-විසංවාද වෙමු, රොස්-පරොස් වෙමු. සිනාසෙමු. වෙන් ව යමු.

      Delete
    4. // ඔබ එහි marketing phase එක අවසන් කර තිබේ නම් එය PDF ආකෘතියට සැකසුවහොත් නරක ද? //

      පැරෝ ඉලෙක්ට්‍රොනික් ෆෝර්මැට් ගැහුවා කියල පොත නිකම් දෙන්නම ඕනේ නැහැ. මේකත් කියවන්න Start Here: How to Self-Publish Your Book

      Also https://www.lulu.com/

      Delete
  10. හපොයි සංසාරේ.....

    ජානකී සූරියාරච්චිගේ කතාව හින්දයි එහෙම ලියවුණේ. පැරාගේ ලියවිල්ල නිසාම ජානකී ගැන ඇතිවුණු ගරුකටයුතු හැගීම හින්ද මං එයාගෙ සින්දු එකතුව 1000ක් ම දීල පුතු වෙනුවෙං ගත්ත ළගකදි. ඒක අලුත් වැඩක් තමයි. ඒත් ළමයින් වෙනුවෙන් කියවෙන සිංදුවල තියෙන්න ඕනෙම වෙනස් නැවුම් ගතිය සිංදුවෙන් සිංදුවට මුණගැහෙන්නෙ නෑ. හරිම ඒකාකාරීයි.

    ඒත් ඒකෙන් පැරා ලියූ දේ වැරදි වෙන්නෙ නෑ. අම්මා ගැන ඇගේ ගීය සහ ඇගේ ප්‍රවේශය ඇගයිය යුතු කරුණු ගාණකින් යුක්තයි.

    ඒත් ගෝඨා මාමියි... මහින්ද මාමියි.... සංසාරේ!!! ඒ මාමිල දෙන්න ගැනම එක සිංදුවක් මේ යස්සනී සිංදු තැටියට දාල නැති හැටි!!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.