2016-07-29

වර්තමාන වැඳිල්ලේ අජූව

වැඳිල්ල අද වන විට පට්ට ජෝක් එකක් වී තිබේ.

මෙහෙම ගොන් වැඳිල්ලක් සිංහල සංස්කෘතියේ තිබුණේ නැත. ඒක හැදුවේ දූ දරුවෝ වැනි ටෙලි නාට්ටිවලිනි. ඉන්පසු අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒක රුවිතෙට ඇරියේ ය.

පිදීමට බඳුන් වීමට කිසිදු සුදුසුකමක් නැති, එහෙත්, අනුන් ලවා පුදවාගෙන බලවත් වීමට කැමති හාමුදුරුවන්, ගුරුවරුන් හා දේශපාලකයන් විසින් මේ වැඳිල්ල අද වන විට සමාජ පිළිකාවක් බවට පත් කර තිබේ.

මේ වීඩියෝව එහි ඇති අජූව මොනවට නිරූපණය කරයි.

කරුණාකර ඔබේ දරුවාගේ කොන්ද බිඳ නො දමන්න. මේ කුණු වැඳිල්ලට විරුද්ධ වන්න. අඩු තරමේ වැඳීමේ ගෞරවයවත් තබා ගන්න.



මේ ට්ක කලකට ඉහත මවිසින් තබන ලද සටහනකි.

අකිලගේ වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල

පසුගිය ජුනි මාසයේ දිනක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අතින් සිදු වූ අත්වැරැද්දක් මෙසේ ඡායාරූපගත විය. පිරිවෙන් ආචාර්යවරුන්ට පත්වීම් ලිපි දීගෙන දීගෙන යද්දී, එක දිගට භික්ෂූන්ට දෙකට නැවී වැන්ද අකිල විරාජ් අතපසු වීමකින් ගිහි පරිවේණාචාර්යවරයකුට ද දෙකට නැවී වැන්දේ ය.

එය හුදු අත්වැරැද්දක් වුව ද ජනමාධ්‍ය ඒ ඔස්සේ අධ්‍යාපන ඇමතිවරයා උපහාසයට ලක් කළේ ය. අපි අද කතා කරන්නට යන්නේ අකිලගේ වැඳිල්ල ගැන නො වේ. පාසල්වල තිබෙන වැඳිල්ල ගැනයි. එය අකිලට අදාළ ය.

මේ වන විට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැඳිල්ල ක්‍රියාත්මක වන්නේ තනිකර ම අනාගත පරම්පරාවේ කොඳු නාරටිය බිඳ දැමීමේ වැඩසටහනක් ලෙස බව මගේ නිරීක්ෂණයයි. නගරයේ පාසල්වලට වඩා ගමේ පාසල්වල වැඳීමේ ක්‍රියාවලිය අවුල් සහගත ය. මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන්ගේ මෙන් ම ගුරු සංගම් හා වෙනත් සමාජ සංවිධානවල ද අවධානය යොමු විය යුතු ය. 

වැඳිල්ල පිළිබඳ මගේ අත්දැකීම අතිශය කඨෝර ය. වත්මන් හා අතීත සිසු සිසුවියන් පාරේ හමු වූ විට හිතවත්කමට වචනයක් දෙකක් කතා කළ සැණින් පවා, තැන නො තැන නො බලා ළමයි ගුරුවරුන්ට වඳිති. බස් නැවතුම්පළේදී හෝ පොළේදී කිසිවෙක් දෙකට නැවී ඔබට වඳින විට ඇති වන හැඟීම කෙබඳු ද? මට නම් වහා එතැනින් පළා යාමට සිත් වේ. එසේ නො කරන ලෙස මම සිසුන්ට උපදෙස් දී ඇත්තෙමි. එහෙත්, සමාජයේ තිබෙන පොදු රැල්ල තුළ අපට ද එසේ නො සැලකුවහොත් අප අමනාප වනු ඇති බව සිසුන් සිතන බව මගේ නිරීක්ෂණයයි.

අපි කුඩා කාලයේදී දෙමව්පියන්ට හා ගුරුවරුන්ට වැඳීම සිංහල අලුත් අවුරුද්ද, පාසල් වසරක ආරම්භය හා අවසානය, විශේෂ විභාග පූර්ව අවස්ථා ආදී සීමිත අවස්ථා ගණනකට සීමා විය. ඇත්තම කියනවා නම්, ම නම් මුලින් ම මව්පියන්ට වැන්දේ කසාද බඳින්නට පිටත් වූ දවසේ ය. මගේ මව්පියන් ද ගුරුවරුන් වූ මුත්, ළමයින් හා සිසුන් ලවා වන්දවා ගැනීමේ අමාරුවක් ඒ පරපුරට තිබුණේ නැත. එහෙත්, වත්මන් ගුරු පරපුරට වඩා අවංකකමකින් ඔවුහු ඉගැන්වීම කළ හ. ජීවිතයේ කිසිදාක ටියුෂන් නො කළ හ. අගහිඟකම් මැද දරුවන් හදා වඩාගෙන සාර්ථක ජීවිත ගත කළ හ.

එහෙත්, රූපවාහිනිය පැමිණීමෙන් පසු දූදරුවෝ වැනි ටෙලිනාට්‍ය ඔස්සේ දරුවන් දෙමව්පියන්ට වැඳීම ප්‍රවර්ධනය කරන ලදී. ගෙයින් දොට්ට බහින වාරයක් ගානේ ළමයින් දෙමව්පියන්ට වඳින සංස්කෘතියක් මේ රටේ තිබුණු බවට ව්‍යාජයක් ජනමාධ්‍ය මගින් මේ වන විට නිර්මානය කර තිබේ. 

මේ වන විට වැඳීම වැඩියෙන් සිදු වන්නේ මුදලට දෙන ටියුෂන් අධ්‍යාපනයේදී බව මගේ නිරීක්ෂණයයි. වානිජ චේතනාවෙන් කරන පහේ ශිෂ්‍යත්වය වැනි තරගකාරී ටියුෂන් පංතිවලදී ගුරුවරුන් තමන්ට හිමි නැති වටිනාකමක් නිර්මානය කර ගැනීමට වැඩි වැඩියෙන් වන්දවා ගනිති. 

ප්‍රාථමික ගුරුවරුන් වඳින හැටි ළමයින්ට කියා දෙන මුවාවෙන් ළමයින් බලෙන් බිම දමා වන්දවනු මම දැක ඇත්තෙමි. මගේ දියණියක් පාසලට ඇතුළත් වී දින කීපයකට පසු වඳින විට නැමෙනවා මදි යයි කියා ගුරුවරිය ඇය බලෙන් බිම ඔබන අයුරු මගේ දෑසින් දුටුවෙමි. වැඳිල්ල කෙතරම් විකාරයක් වී තිබේ ද යත් මගේ දියණියක් තවත් ළමුන් පිරිසක් සමග ඇගේ පංතිය පිරිසිදු කිරීම සඳහා මව්පියන් මුදල් ගෙවා යොදවා තිබෙන කාන්තාවට ද ඇය අතුගාමින් සිටියදී කුණු ගොඩේ වැටී වඳිනු මම දැක ඇත්තෙමි. ගුරුවරුන් බෞද්ධ නො වන දරුවන් ලවා පවා වන්දවා ගන්නා ආකාරය මම දැක ඇත්තෙමි. මගේ දරුවන් ඇතැම් මතක් වූ විට නින්දට යාමට පෙර මට ද වඳිතිි. මම ඔවුන්ගේ වැඳිල්ලට විරෝධයක් දක්වා නැතිමුත්, ඔවුන් වැඩිහිටියන්ට වැඳීම සඳහා දිරි ගන්වා තිබෙන්නේ සුවිශේෂ සමාජ අවස්ථාවලදී පමණි. 

මේ වන විට ඇතැම් ඥාති නිවසකට යන්නට නො සිතෙන තරමට වැඳිල්ල වධයක් වී තිබේ. එම නිවසට ගොස් එන්නට ලෑස්ති වන විට ගෙදර සියල්ලෝ පෝලිමේ ඇවිත් වැඳ වැටෙති. ඒ මදිවාට ඔවුන් අපගේ නිවසට පැමිණි විට ද යන්නට ලෑස්ති වී අපට වැඳ වැටෙති. මම සිංහලයෙක්මි. එහෙත් ආගමක් නො අදහමි. එබැවින් මගේ මව්පියන්ට සුවිශේෂ අවස්ථාවකදී වඳින්නට හැර අන් අයට වඳින්නට මම කැමැත්තක් නො දක්වමි. මට කිසිවෙක් වඳිනවාට ද මම නො කැමැත්තෙමි. 

මේ වැඳිල්ල අපේ දරුවන්ගේ කොන්ද බිඳ දමන බව මම කලින් ද කීවෙමි. වැඳීල්ල ආදරයේ ප්‍රකාශනයකැයි මම නො සිතමි. එය බලයට යටහත් පහත්භාවය ප්‍රකාශ කිරීමේ ස්වරූපයක් බවට පත් කරගෙන තිබේ. වැඩිහිටි පුද්ගලයන් නාමල් රාජපක්ෂ නම් බාලයාට වඳින ආකාරය පසුගිය කාලයේ සුලබ විය. මර්වින් සිල්වාගේ වැඳිල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ වැඳිල්ල වැනි දේ පසුගිය කාලයේ සෑහෙන්න කතාබහට ලක් විය. සමාජ පසුගාමිත්වයන් හයියෙන් වැළඳ ගැනීමෙන් වීරයන් වන්නට උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ වරක් මහ නායක හිමිවරුන් සමග සාකච්ඡාවට ගොස් වාඩි වුණේ වෙනත් විශේෂ අමුත්තන් මෙන් පහත් අසුන්වල නොව කාපට් එක උඩ ය. 

වැඳිල්ල සම්බන්ධයෙන් නීති රීති පැනවීම රජයකට අයිති කටයුත්තක් නො වේ. එහෙත්, වැඳීම සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්මානය කර ගැනීමේ බරපතල වගකීමක් ආගමික නායකයන්ට හා ගුරුවරුන්ට තිබේ. ගුරුවරුන් ළමයින්ට ආදරය ප්‍රකාශ කළ යුතු ය. ළමයින්ට ද ගුරුවරුන්ට ආදරය ප්‍රකාශ කරන්නට අවස්ථාව දිය යුතු ය. එහෙත්, වැඳීම බලහත්කාරයෙන් ප්‍රවර්ධනය නො කළ යුතු ය. එය ආයතනගත නො කළ යුතු ය. වැඳීම අනාගත පරපුරේ කොන්ද බිඳ දැමීම සඳහා යොදා ගැනීමට ඉඩ නො දිය යුතු ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

16 comments:

  1. මේකත් අර ඔබතුමා සීන් එකේම ඊට වඩා නරක දිගුවක්.

    පසුගිය කාලේ වී ඇති අනිත් වෙනස තමයි කකුල් ඇල්ලීම, සමහරු කකුල් අල්ලලා ඇඟිලි ඉඹිනවා වගේත් පේනවා. මේක ඉන්දියානු බලපෑමක්.

    ReplyDelete
  2. //මේ වන විට වැඳීම වැඩියෙන් සිදු වන්නේ මුදලට දෙන ටියුෂන් අධ්‍යාපනයේදී බව මගේ නිරීක්ෂණයයි. වානිජ චේතනාවෙන් කරන පහේ ශිෂ්‍යත්වය වැනි තරගකාරී ටියුෂන් පංතිවලදී ගුරුවරුන් තමන්ට හිමි නැති වටිනාකමක් නිර්මානය කර ගැනීමට වැඩි වැඩියෙන් වන්දවා ගනිති. //
    ටියුශන් අය කියන තව කතාවක් තමයි
    'මේක අපි මේ සල්ලි හොයන්න කරන වැඩක් නෙමෙයි.. උඹලගෙ අනාගතේ වෙනුවෙන් කරන කැපකිරීමක්' කියලා. හැබැයි ක්ලාස් එකේ කාඩ් එක 2000 පැනලා.නැති බැරි එකෙකුට ෆ්‍රී කාඩ් එකක් වත් දෙන්නෑ.දුන්නත් ඌ ලවා පක්කලි වැඩ කරවනවා.. හොඳ නිරීක්ශනයක්.
    ජයවේවා..!!

    ReplyDelete
  3. වැඳීම නිකං යාන්ත්‍රික දෙයක් වෙලා. ළමයි ගුරුවරුන්ට වැන්දාට අපේ කාලේ නම් කවමදාකවත් මම ගැරුවරයෙකුට වැන්දාදැයි මතක නැත. එහෙත් අපි ගුරුවරුන්ට දැක්වු ගව්රවය අද ළමයින් ලඟ නැත.

    ReplyDelete
  4. වඳින්න නෙමෙයි පුරුදු කරන්න ඕන.... ඇට දෙක මිරිකන්න

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මාතො, උඹ නම් ගහේ බඩුවක් බන්!
      මේකට බි.පෙ.සි.

      Delete
  5. හරි අවුල් අනේ, අදත් උදේ අපට බායි කියල යන්න ආපු දැරිවියක් එපා කියද්දී බිම පෙරලිල වැන්දා, එපා මට වඳිනවට මම කැමති නෑ කීවත් අහන්නේ නෑනේ, එහෙම කීවාම වඳිනව වෙනුවට හග් එකක් දුන්න නම් මක් වෙනවද? අඩු ගානේ මතක හිටින්න පුංචි හාද්දක්.

    ReplyDelete
  6. //වැඳීල්ල ආදරයේ ප්‍රකාශනයකැයි මම නො සිතමි. එය බලයට යටහත් පහත්භාවය ප්‍රකාශ කිරීමේ ස්වරූපයක් බවට පත් කරගෙන තිබේ.//

    මෙන්න මේක තමයි කතාව.

    ReplyDelete
  7. හුගක් කාලෙක ඉදන් අපේ මේ සංස්කෘතික අංගයට වෛර කරගෙන ලිපි පල කරනවා. ඔහේ අන්ධ භක්තිකයෙක් වෙලා හොර මිත්‍යාද්‍රෂ්ටික එකෙක් වෙලා හොරෙන් පල්ලි අස්සේ රිංග රිංග හිමීට වෛරය වපුරනවා. නොදකින් උබලගෙ පාරෙ යන එවුන්ට...

    ReplyDelete
    Replies
    1. ඔහෙට නම් වයස අවුරුදු පහළොවකට විස්සකට නම් වැඩි වෙන්න බෑ. නැත්නම් අඩුමගානේ අවුරුදු විස්සකට විතර එහා කාලේ මේ වගේ නාඩගම් වැඳිලි තිබුණේ නෑ කියල මතක නැති වෙන්නේ බැහැ.

      Delete
  8. වැඳීම නොවේ ලොකුම ප්‍රශ්නය වන්දවා ගැනීම යි.

    ReplyDelete
  9. ඕයි පැරා, මොනව ද බං මේ රාමසිංහ කියන්නේ? උඹ ලියන ඒවාට වැටෙන ආලෝචන මොනව ද බං? බලපං කො likes ගණන යි comments ගණන යි එක දවසට රාමසිංහගේ ප්‍රකාශයට!

    ReplyDelete
    Replies
    1. කවුද රාමසිංහ කියන්නෙ?

      Delete
  10. වැදිල්ලට වඩා කැමති සංගීත නැටුමි වැනි වැඩවසමි වලට නෑකමි කියන අය.....


    ReplyDelete
  11. "මේ වන විට ඇතැම් ඥාති නිවසකට යන්නට නො සිතෙන තරමට වැඳිල්ල වධයක් වී තිබේ. එම නිවසට ගොස් එන්නට ලෑස්ති වන විට ගෙදර සියල්ලෝ පෝලිමේ ඇවිත් වැඳ වැටෙති. ඒ මදිවාට ඔවුන් අපගේ නිවසට පැමිණි විට ද යන්නට ලෑස්ති වී අපට වැඳ වැටෙති."............... මමත් අකමැතිම සිරිතක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.