2016-07-09

පාලිත තෙවරප්පෙරුම සිද්ධියෙන් නිරූපණය වූ ජනප්‍රිය පාසල් අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ කෙසේ ද?

පසුගියදා මතුගමදී හා මීගහතැන්නේදී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුමගේ මූලිකත්වයෙන් සිදු වුණ සිද්ධි දාමය රටේ අධ්‍යාපනයේ ගැටලු ගැන ජනතා අවධානය යොමු කරන සිද්ධියක් විය. එපමණක් නොව, එම සිද්ධිය අධ්‍යාපනය ගැන මාධ්‍යවල, සිවිල් සංවිධානවල හා දේශපාලකයන්ගේත් අඩු දැනුම ගැන ද හෙළිදරව් කළේ ය.

බොහෝ මාධ්‍ය විසින් සුපුරුදු පරිදි කරනු ලැබුවේ භාවාතිශය ලෙස මෙම සිද්ධිය වාර්තා කිරීමයි. හැමදාමත් සිදු වෙන්නා වගේ ම මෙහිදීත් මාධ්‍යවල බාල වාර්තාකරණය නිසා අවුල්සහගත තත්වය තවත් වර්ධනය විය. අවසානයේදී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ළමයින් නවදෙනෙකු බලහත්කාරයෙන් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කළේ ය. ඔහුත් මව්වරුන් නවදෙනෙකු ඇතුළු පිරිසකත් අයුතු ජනරාශි පිළිබඳ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර පසුව ඇප පිට නිදහස් කරන ලදී.

මෙම අයුතු ජනරාශි චෝදනාව වැදගත් ය. ප්‍රශ්නයක් විසඳා ගැනීමට කටයුතු කළ හැක්කේ අයුුතු ජනරාශියකින් විතර ද? අයුතු ජනරාශි ඇති වනතෙක් ප්‍රශ්නය ඔඩු දිව්වේ ඇයි? රජයේ නියෝජ්‍ය ඇමතිවරයකු වන පාලිත තෙවරප්පෙරුම ප්‍රශ්න විසඳන මාර්ගය විය යුත්තේ අයුතු ජනරාශි බලමුළුගැන්වීම ද?

අයුතු ජනරාශියට ඉංග්‍රීසියෙන් මොබ් යයි කියනු ලැබේ. මොබ් එකක් යනු කුමක් ද? එය වනාහි කිසියම් ප්‍ර‍ශ්නයකදී ආවේග මත පදනම්ව ප්‍ර‍තිචාර දක්වන ජන සාමූහිකයකි. අයුතු ජනරාශි හෙවත් මොබ් මේ සමාජයේ පිළිගත් සංස්කෘතියක් බවට පත් වී තිබේ. මොබ් මානසිකත්වය බරපතල සමාජ ගැටලුවකි. මොබ්වල සාමාජිකයන් වන ආවේගශීලී පුද්ගලයෝ වනාහි තර්කානුකූලව සිතන මතන පිරිසක් නො වේ. තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි. මහජන උද්ඝෝෂණවලදී මෙම ශක්තිය ප්‍රචණ්ඩ අයුරින් භාවිතා කිරීම මොබ් එකක් හෙවත් අයුතු ජන රාශියක් නිර්මානය කිරීමට හේතු වේ. මොබ් මානසිකත්වය හා වීරත්වය යනු එකක් නොව දෙකකි. වීරත්වය මතු වන්නේ වඩා අව්‍යාජ, බුද්ධිමත්, සංවේදී හා සිතා මතා ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය. මොබ් මානසිකත්වයෙන් යුතුව යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන බොහෝ පුද්ගලයෝ මොබ් මානසිකත්වය පහව ගිය පසු පශ්චාත්තාපයට ගොදුරු වෙති.

මොබ් මානසිකත්වය වීරත්වය ලෙස සලකන ශ්‍රී ලංකාව නම් රටේ රාජ්‍ය පාලන හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ නීති හා පටිපාටි හෙවත් ප්‍රොටොකෝල් බිඳ දමමින් ආයතන යටපත් කරමින් මොබ් මැදිහත් වන අවස්ථා ඉතා සුලබ ය. පාලිත තෙවරප්පෙරුමගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා දේශපාලකයන්, ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැනි මතභේදාත්මක භික්ෂූන්, වෘත්තීය සමිති, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රැඩිකල් වාමාංශික පක්ෂ, බොහෝ පෞද්ගලික ජනමාධ්‍ය, පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් ආදිය මෙසේ ප්‍රොටොකෝල් විරෝධී මොබ් මානසිකත්වය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛ සංවිධානයි.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලය හා සම්බන්ධ ප්‍රශ්නය එම පාසලට පමණක් සීමා වූවක් නො වේ. එය වනාහි මුළු රටේ ම පවතින සංකීර්ණ ප්‍රශ්නයක නිරූපණයක් පමණි. ප්‍රශ්නය ජනප්‍රිය පාසල් තරගයයි. තමන්ගේ දරුවන්ට හොඳම දෙය ලබා දෙන්නට මව්පියන් උත්සාහ කරන එක සාමාන්‍ය තත්වයකි. එහෙත්, හොඳම දේ යයි සමාජය පෙන්වන හැම දෙයක් ම ඇත්තෙන් ම හොඳම දේ ද?

ප්‍රාථමික දරුවා පාසල් යා යුත්තේ නිවස අසල පාසලකට ය. එය දරුවාගේ කායික, මානසික සෞඛ්‍යය පැත්තෙන් ඉතා හොඳ ය. රජයේ ‘ළඟම පාසල - හොඳම පාසල' සංකල්පය ප්‍ර‍ගතිශීලී එකක් වන්නේ එම සංදර්භය තුළය. එහි ඇති ගැටලු විසඳා දිය යුතු ය. ප්‍රාථමික අධ්‍යාපනය සමාප්ත කරන සෑම සිසුවෙකුට ම පහසුකම් සපිරි ද්විතීයක පාසලක අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලැබිය යුතු ය. රජයට බලපෑම් කළ යුත්තේ සෑම ප්‍රාථමික පාසලක ම හා ද්විතීයක පාසලක ම පහසුකම් වැඩිදියුණු කරන්නට ය.

එහෙත් මේ රටේ මහජනතාව අරගල කරන්නේ කුමක් සඳහා ද? හැමෝට ම අවශ්‍ය තමන්ගේ දරුවන් ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගන්නට ය. ඒ පාසලේ පහසුකම් ප්‍ර‍මාණවත් ද, පංති කාමරවල ඉඩකඩ තිබේ ද, යහපත් අධ්‍යාපන වාතාවරණයක් තිබේ ද යන්නට වඩා වැදගත් වී තිබෙන්නේ පාසලේ නම ය. නමක් ඇති පාසලකට ගිය පමණින් දරුවන්ට අනාගතේ තැනක් ලැබේ යයි ඇතැමෙක් සිතති. මෙය මිථ්‍යාවකි. ගම්වල සාමාන්‍ය පාසල්වලට ගිය අය විශාල පිරිසක් සමාජයේ කැපී පෙනෙන තත්වයන්ට පැමිණ තිබේ.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලය ආශ්‍රිතව ඇති වූ ගැටලුව ඇසුරෙන් ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන මෙම ගැටලුව විග්‍ර‍හ කර දැක්විය හැකි ය. මතුගම, අගලවත්ත, බුලත්සිංහල යන ආසනවල බොහෝ ප්‍රදේශවල මධ්‍යස්ථානය මතුගමයි. මෙම ප්‍රදේශයේ මව්පියන් තම දරුවන් ඇතුළත් කරන්නට වැඩියෙන් ම පොරකන්නේ මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයටයි. දෙවන ස්ථානය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට ද, තුන්වන ස්ථානය මතුගම ශාන්ත මේරි විද්‍යාලයට ද හිමි වේ. මේ පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නට බැරි වූ විට සමහරු මතුගම අදිකාරම් හා ඇතුලත්මුදලි කණිෂ්ට විද්‍යාලවලට ළමයින් ඇතුළත් කරගෙන එතැන් සිට අර කී පාසල්වලට ළමයින් රිංගවා ගැනීමට මාන බලති.

මේ ප්‍රධාන පාසල් තුන ම ළමයින්ගෙන් පිරී ඉතිරී ගිය, ප්‍රමාණවත් පහසුකම් නොමැති, මානව සම්පත් හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ ද බරපතල ගැටලු ඇති, ඒ තරම් ලොකු නමක් ද නැති පාසල් ය. එහෙත් අගලවත්ත, බදුරලිය, කලවාන, මීගහතැන්න, පැලවත්ත, වලල්ලාවිට, දොඩංගොඩ, නෑබඩ, වරකාගොඩ, බුලත්සිංහල වැනි පැතිවල මව්පියන් හැකි නම් තම ළමයින් එවන්නේ මේ මතුගම නගරයේ පාසල්වලටයි. ඒ මදි අය තවත් ටිකක් එහායින් පිහිටි හොරණ, කලුතර, පානදුර, කොළඹ පාසල්වලට ළමයින් යවති. ගම්වල පාසල්වලට ළමයින් යවන්නේ ප්‍ර‍ධාන පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නට බැරි වුණොත් පමණි.

මීගහතැන්න මතුගමින් කිලෝමීටර් 16ක් පමණ දුරින් පිහිටි සුන්දර ගම් පෙදෙසකි. එහි පිහිටා තිබෙන මෙරිල් කාරියවසම් මහා විද්‍යාලයේ මෑතදී අති නවීන ශ්‍රවණාගාරයක් පවා විවෘත කරන ලදී. අර්බුදයට තුඩු දී තිබෙන මීගහතැන්න ප්‍රාථමික පාසල මේ පාසලේ ප්‍රාථමික අංශයයි. පසුගිය වසරකදී මෙම පාසලේ සිසුවියක ශිෂ්‍යත්ව විභාගයෙන් රටේ ම දෙවෙනි තැන ගත්තා ය.

පාසලේ අනුමත සමාන්තර පංති ගණන තුනකි. එය අනවසරයෙන් හතරක් කිරීම නිසා මෙම පාසලේ කලින් සිටි විදුහල්පතිවරයකු වැඩ තහනමට පවා ලක් වූයේ ය. පාසල්වල සමාන්තර පංති සංඛ්‍යාව තීරණය කරන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිනි. නගරයේ පාසලක පංතියක් වැඩි කළ විට එය අවට ගම්වල පාසල් රැසකට බලපායි. පළමු ශ්‍රේණියට ළමයින් 10ක් හෝ ඊටත් වඩා අඩුවෙන් ළමයින් ඇතුළත් වන පාසල්වලට එයින් ගැටලුවක් ඇති වේ. එක වර ම එම පාසල වැසී නො ගියත්, කාලයක් යන විට එය වැසී යන තැනට වැඩ සිදු වේ. මතුගම කලාපයේ පාසල් රැසක් මෙසේ වැසී ගොස් තිබේ. මෑතදී එවැනි පාසල් කිහිපයක් නැවත ආරම්භ කළේ දැඩි පරිශ්‍ර‍මයකිනි.

අර්බුදයට තුඩු දුන් දරුවන් නවදෙනා සම්බන්ධයෙන් ඇත්ත බොහෝ මාධ්‍ය විසින් ගවේශනය කළේ නැත. අයදුම් කරන ලද පාසලකට නො තේරුණ දරුවන් වෙනුවෙන් මව්පියන් කළ යුතුව තිබෙන්නේ කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම් දීමයි. කලාප අධ්‍යාපන කාර්යාලව විසින් ඔවුන්ට ඉතා ඉක්මණින් පාසල් ලබා දෙයි. එහෙත්, තමන් කැමති පාසලට ම දරුවන් ඇතුළත් කිරීමට උත්සාහ කරන ඇතැම් මව්පියන් එසේ දෙන පාසල් භාර ගන්නේ නැත. ඇතැමෙක් තමන්ගේ දරුවන්ට පාසල් නො ලැබුණ බව කලාප කාර්යාලයට දැනුම් දෙන්නේ ද නැත. එසේ කරන්නේ පාසල් ලැබෙන නිසා ය. ඔවුන් ඊළඟට කරන්නේ දේශපාලකයකු පසුපස යාමයි. දේශපාලකයෝ ද මේ මව්පියන්ට යථාර්ථය වටහා දෙනවා වෙනුවට කරන්නේ අයථා මාර්ගවලින් දරුවන් ඇතුළත් කිරීමයි. මෙය සෑම වසරක ම සිදු වේ. එයට දේශපාලන කෝටාව යයි ද ව්‍යවහාර වේ.

මෙතැනදී සිදු වන බරපතල අසාධාරණයක් කෙරෙහි කිසිවකුගේ අවධානය යොමු වන්නේ නැත. පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ නියමිත පටිපාටිය අනුව කටයුතු කර එක් ලකුණක් අඩු වීම නිසා වෙනත් පාසලකට දරුවන් ඇතුළත් කළ සාමකාමී මව්පියන් හූල්ල, හූල්ලා බලා සිටිද්දී අඩු ලකුණු ලැබූ දරුවන් පිරිසක් මේ දේශපාලන ලැයිස්තු හරහා පාසල්වලට ඇතුළත් වෙති.

පාසල්වලට බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලු තිබේ. නිදසුනක් ලෙස මෙම සිසුන් අතරින් පස්දෙනෙකුට අදාළව මතු කරන කරුණක් වන්නේ ඔවුන්ගේ නිවෙසට ආසන්න තල්පැදිවල ප්‍රාථමික පාසලට යාම ඔවුන්ට ප්‍රායෝගිකව දුෂ්කර බවයි. මෙය විමර්ශනය කළ යුතු කරුණකි. පාසලට ඇති ආසන්නතාවේ පදනමින් දරුවන් පාසල්වලට බඳවාගැනීමේ පටිපාටියේදී කරන්නේ නිවසේ සිට පාසලට ඇති දුර අරය ලෙස ගෙන වෘත්තයක් ඇඳ එම වෘත්තය තුළ ඇති සෙසු පාසල්වලට ලකුණු පහ බැගින් අඩු කිරීමයි. මෙහිදී සලකා බලන්නේ ගුවන් දුරයි. එහෙත්, ලංකාවේ කිසිදු දරුවෙක් ගුවනින් පාසල් යන්නේ නැත. මෙම පටිපාටියේ ඇති ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීම දුෂ්කර කරුණක් නො වේ.

එසේම, ලංකාවේ පාසල්වලට දරුවන් බඳවා ගන්නා පටිපාටිය අනුව, මව්පියන් සියලු කටයුතු විවාහයට පෙර සිට පවා සැලසුම් කළ යුතුව තිබේ. වැඩ කිරීම නිසා ඇති වන ප්‍රායෝගික තත්වයන් තුළ පදිංචිය මාරු කිරීමට සිදු වන දෙමව්පියෝ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමෙහිදී මහත් අසරණ තත්වයට පත් වෙති. මේ හේතුවෙන් නිවස ආසන්න පාසල තිබියදී දුර බැහැර පාසල්වලට යන්නට ද ළමයින්ට සිදු වේ.

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී පදනම් කීපයක් සලකා බලනු ලැබේ. ඒ අතර ප්‍ර‍ධාන ඒවා වන්නේ ආසන්න පදිංචිය, ආදි ශිෂ්‍යයන්ගේ දරුවන් වීම, පාසලේ දැනට ඉගෙන ගන්නා දරුවන්ගේ සහෝදරයන් වීම, ආරක්ෂක අංශයේ සේවකයන්ගේ දරුවන් වීම, හා අධ්‍යාපන කාර්ය මණ්ඩලවල සේවකයන්ගේ දරුවන් වීම ආදියයි. අන් සියලු සාධක අතහැර දමා පාසලට ආසන්න පදිංචිය පමණක් සැලකිල්ලට ගත හැකි වන ආකාරයට අධ්‍යාපන පද්ධතිය හා අදාළ වෙනත් යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුව තිබේ. එසේම, ජනතාවගේ ආකල්ප වෙනස් කරන්නට ද රජය කටයුතු කළ යුතු ය. ඒ හැරෙන්නට ජනප්‍රිය පාසල් ප්‍ර‍ශ්නයට විසඳුමක් නැත.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

14 comments:

  1. මගේ යාලුවෙක් ඉස්කෝලෙ ගිහින් එල්ලිලා මලා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ, යාලුවා වෙනුවට උඹ ඒක කරගත්තනම් අපිට මේ වගේ බූරු කොමෙන්ටු කියවන්න වෙන්නේ නෑනේ!

      Delete
  2. http://sudukukula.blogspot.com/2016/07/blog-post_8
    මීගහතැන්න සිද්ධියට අදාල ලිපි කියවන්න sudukukula.blogspot.com වෙත යන්න.

    ReplyDelete
    Replies
    1. “එච්ටීඑම්එල් කෝඩ් එක සිංහලෙන්වත් ලියන්න බැහැ ලින්ක් වෙනවා. මම ඒකෙ ඉමේජ් එකක් පසුව දමන්නම්.”
      (අජිත් පැරකුම් ජයසිංහ මහතා)

      Para's Ignorance

      <a href="www.google.com">Para's Ignorance </a>

      මිනිසුන් දන්න දේවලුත් තියෙනවා; නො දන්න දේවලුත් තියෙනවා.

      Delete
    2. බොහොම ස්තුතියි.දැන් ඔබ කිසියම් ක්‍රමයක් භාවිතා කරලා මේක දැම්මා. ඒක මං දන්නෙ නැහැ. මං ඔක්කොම දන්නෙ නැහැනේ. කිසියම් කෙනෙක් කිසියම් දෙයක් නො දන්නා එකට කියන්නේ ඉග්නොරන්ස් කියලා නම් මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු එහෙම වෙන්න ඇති. හේතුව සියලු දේ දන්න කිසිම කෙනෙක් මේ ලෝකෙ නැහැ.

      සමහර විට ඔබ නම් සියලු දේ දන්නවා ඇති.

      මං දන්නෙ නැහැ කියන එක මං නම් දන්නවා.

      Delete
    3. බොහොම ස්තුතියි.දැන් ඔබ කිසියම් ක්‍රමයක් භාවිතා කරලා මේක දැම්මා. ඒක මං දන්නෙ නැහැ. මං ඔක්කොම දන්නෙ නැහැනේ. කිසියම් කෙනෙක් කිසියම් දෙයක් නො දන්නා එකට කියන්නේ ඉග්නොරන්ස් කියලා නම් මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු එහෙම වෙන්න ඇති. හේතුව සියලු දේ දන්න කිසිම කෙනෙක් මේ ලෝකෙ නැහැ.

      සමහර විට ඔබ නම් සියලු දේ දන්නවා ඇති.

      මං දන්නෙ නැහැ කියන එක මං නම් දන්නවා.

      Delete
  3. ජනප්‍රිය පාසලක් දෙමාපියන් සොයන්නේ හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා පමණක් නොව. එය සමග සමාජ තත්වයන් රැකියා පමණක් නොව සමහර විට අවාහ විවාහ පවා බද්ධ වී ඇත. මා දකින ලෙස විකල්ප දෙකක් පවතී... එකක් ජනප්‍රිය පාසල් සමග ජනප්‍රිය නොවන පාසල් මිශ්‍ර කිරීමය. උදාහරණයක් ලෙස රාජකීය විද්‍යාලයේ ප්‍රාථමිකය ලෙස තර්ස්ටන් විද්‍යාලය සහ ඒ අවට ඇති අනෙකුත් සියළු පාසල් එක් කල හැක. එවිට ඔක්කොම ළමයි රෝයල් ය. එසේ නැති නම් එක නමක් සෑම රජයේ පාසලකටම ලබා දීමය. 'රජයේ විද්‍යාලය', 'රජයේ ප්‍රථමික විද්‍යාලය' යන නම් ප්‍රමාණවත්ය. කෙසේ හෝ මෙය කිරීමට පාසල් මේනියාවෙන් සිටින ආදී ශිෂ්‍යන් කැමති වන්නේ නැත. රටේ මහා එවුන්ටත් පාසල් මේනියාව තිබෙන විට වෙන කරන්න දෙයක් නැත. කොතරම් ගමේ පාසල දියුණු කරත් ජනප්‍රිය පාසල් පිස්සුව ඉවරයක් වන්නේ රැඩිකල් අමාරු තීරණයක් ගතහොත් පමණි.

    ReplyDelete
    Replies
    1. ඕකට විිසදුම බොහොම සරලයි. කරන්‍න තියෙන්නෙ උසස් අධයාපනයට තියෙන අවස්තා පුලුල් කරන එක විතරයි. එතකොට කඩයිම් විභාග අමාරැ කරන්න ඕනි නෑ. එතනොට කාටවත් හොද රස්සා හොයන්න ලොකු ඉස්කෝල වලට යන්න තියෙන උවමනාව නැති වෙනවා. පොඩි ඉස්කෝලෙකට ගිහින් වැඩේ කර ගන්න පුලුවන්. ප්රස්නය ඉවරයි.

      Delete
    2. ශානෙල්, රජයේ රැකියා පමණයි පාසල කුමක්දැයි සැලකිල්ලට නොගෙන ලබා දෙන්නේ.. උසස් අධ්‍යාපනයේදී පාසලට අමතරව විශ්ව විද්‍යාලයත් බලපානවා.. වැඩි දෙයක් ඕනනේ නැහැ ලංකාවේ ප්‍රකට ආයතනවල අධ්‍යක්ෂක වරුන්ගේ හා විධායක නිලධාරියන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා පාසල ගෙන සමීක්ෂණයක් කරන්න. උපාධියක් අවශ්‍ය රැකියාව ජනප්‍රිය ඉස්කෝලෙකට ගියා කියා ලැබෙන්නේ නැහැ. උදා. ඉංජිනේරුවරයෙක් ලෙස සලකන්න උපාධියක් අවශ්‍යයි. එත් ඉංජිනේරු උපාධි තිබු පමණින් ඔහු හෝ ඇයට සමහර ආයතන වල රැකියා ලැබෙන්නේ නැහැ.

      Delete
  4. තෙවරප්පෙරුම සිද්ධිය වගේම ඇතිවූ තවත් සිද්ධි ගණනාවකින්ම පෙන්වා දෙන්නෙ අධ්‍යපනයේ සෑම අංශයකම පැතිරී යමින් අර්බුධයක් බවට පත්වෙමින් පවතින ඛේදජනක කඩා වැටිමකි.

    ReplyDelete
  5. Results of these school issues start appearing when private international schools mushroomed everywhere in the country that was a decade ago. These international schools are the result of that. The SLFP governments never looked into this lack schools issue to provide a solution.

    It further deteriorated during last government some schools closed down since there are not enough children. Instead of improving the schools government closed them down.

    2-3 decade of stagnating problem need years to solve.

    After the new government came people start express their opinion in democratic ways. Previous government suppressed these demonstration with iron hand.

    ReplyDelete
  6. ගරු පාලිත තෙවරප්පෙරුම ශ්‍රීමතාණන්ගෙන් ළඟ දී ම ගුටි කෑමට නියමිත සම්මානනීය බ්ලොග්කරුවා කවුරු ද?

    නැත හොත්

    කෘන්තක දන්ත ධාතූන්වහන්සේලා දෙනමක ළඟ දී ම උදර කුහරයට වඩම්මවා ගැනීමට නියමිත සම්මානනීය බ්ලොග්කරුවා කවුරු ද?

    ReplyDelete
    Replies
    1. යක්කුන්ට බය එවුන් සොහොනේ ගෙවල් හදන්නේ නැත.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.