2016-08-01

අප සල්ලි ගත්ත බිලුත් අරන් හෙට 4ට ජාතික පුස්තකාලෙට එන්න


පිලිප් ශාන්තගේ “අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම“ ග්‍රන්ථය එළිදැක්වීම 2016 අගෝස්තු 02 වන දින හවස 4.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි. එදින මෙම බ්ලොගයේ කර්තෘ වන අජිත් පැරකුම් ජයසිංහ,අසංග අබේගුණසේකර හා ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි යන අය අදහස් දැක්වීමට ද නියමිතයි. අප ලියන්නේ මුදලට බව නිතර කියන අපේ පාඨකයන්ට අප මුදල් අරගත් බවට සාධක ඇති බිල්පත් හෝ වෙනත් දේ ද රැගෙන හෙට පැමිණ අභියෝග කළ හැකි ය. 

බ්ලොග්කරණයෙන් අදහස් පළ කිරීමේ අයිතියේ අලුත් මානයක් විවෘත කරන්නට අප දායක වූ හැටි ගැන එහිදී කතා කරන්නට බලාපොරොත්තු වෙමි. 

පහත පළ වන්නේ පිලිප් ශාන්ත සමග රාවය පුවත්පත විසින් කරන ලද සංවාදයක සටහනයි.

ඔබේ කුළුදුල් ග්‍රන්ථය සදහා ඔබ එකතු කර ගෙන තිබෙන ලිපි මොනවාද?
මේ පොතට මම වර්ග තුනක ලිපි ඇතුළත් කර තිබෙනවා. යුද්ධය කියන දේට මම පෙර සිටම විරුද්ධව හිටිය කෙනෙක්. ඒ කාලයේ යුද්ධයට විරුද්ධ අදහස් පුවත්පත් වල පළ වුණේ අඩුවෙන්. එම අදහස් ඵල කිරීමට මාධ්‍යයක් නොතිබීම නිසා මම එම විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමට 2006 වගේ කාලයේ බ්ලොග් එකක් ආරම්භ කළා. ඒ කාලයේ දේශපාලන බ්ලොග් තිබුණේ තුනක් හෝ හතරක් පමණයි. මෙම පොතට මම ඒ බ්ලොග් එකේ ලියන ලද ලිපි වලින් තෝරා ගත් කීපයකුත් ඇතුළත් කර තිබෙනවා. පසුව මා විසින් වෙබ් අඩවි සදහා ලියන ලද ලිපි වලින් තෝරා ගත් ලිපිත් මෙම පොතට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම සිළුමිණ පුවත්පතේ පළ වුණු ලිපි වල එකතුවකුත් මෙහි තිබෙනවා. 

එම ලිපි හරහා ඔබ ගෙනෙන දේශපාලන සංවාදය කුමක් ද?
සාමාන්‍යයෙන් පසු ගිය ආණ්ඩුව කාලයේ මුහුණ දීමට සිදුවූ ගැටලුත් සමග මට දැනුණු දේවල් තමයි මම එම ලිපි හරහා මතු කිරීමට උත්සාහ කර තිබෙන්නේ. බොහෝ අවස්ථාවල මූලික වුණේ යුද්ධය සමග තිබූ ජාතික ප්‍රශ්නයත්, ඊට විසඳුම් සෙවිය යුත්තේ කුමන් ආකාරයෙන් ද කියන දේත්, ජාතිවාදී ප්‍රවණතාවන්ට මුහුණ දෙන්නේ කෙසේද කියන දේ පිළිබඳව හා ආර්ථික කරුණු පිළිබඳව තමයි එම ලිපි එකතුව තුළ අඩංගු වී තිබෙන්නේ.

මේ ග්‍රන්ථය සදහා ඔබ තෝරාගෙන තිබෙන නමත් විශේෂයි.
මම එම නම යොදා ගෙන තිබෙන්නේ පොතේ ඇතුළත් එක් ලිපියක සදහන් වන කරුණකින්. එම තේමාව යටතේ ලිපි තුනක් මම ලියා තිබෙනවා. එයට පාදක වුණේ 1978 සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් පසුව ගම් වලට ප්‍රාග්ධනය ගලා ඒමේදී වූ සිදු වීමක් තමයි පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම. වෙල්ලස්සේ ඉඩම් ආණ්ඩුවට පවරාගෙන, බුකර් නම් බ්‍රිතාන්‍ය ආයතනයක් මගින් එම කර්මාන්ත ශාලාව පටන් ගත්තා. ඒ අවස්ථාවේ විශාල වශයෙන් ආණ්ඩු විරෝධී දේශපාලන ක්‍රියාකාරිකයෝ පැල්වත්තට ගිහින් එයට විරුද්ධව දේශපාලනික පියවර ගත්තා. ප්‍රාග්ධනය ලෙස පැමිණ එම ආයතන මගින් වෙල්ලස්සේ ජනයා සූරාගෙන කන බවටයි එම විරෝධතාවය ඇති වුණේ. ඒ කාලයේ සිටි බණ්ඩාරවෙල මන්ත්‍රී කෙනෙකු සහ බදුල්ලේ දිසා ඇමති යූ.එන්.පී. දේශපාලඥයෙක් අපූරු කතාවක් කීවා. ඔහු කීවේ, මෙහේ මිනිස්සු විරුද්ධ වුණාට ඒ කොම්පැණි වල අය ලංකාවට එන්නේ ලංකාවේ ආයෝජනය කරන්න,ඒ ආයෝජනයන් සිදු කිරීම ලංකාවේ ආර්ථිකයට හයියක්, ඒ නිසා හරි විදියටනම් අපි කළ යුත්තේ ඒ අය ඉඹලා පිළිගන්න ඕන කියලායි ඔහු කියා සිටියේ. ඒ කතාව මිනිස්සුන්ට දැනුණේ තමන්ට එල්ල කළ අපහාසයක් ලෙසයි. එය අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම ලෙස උපහාසයට ලක් කළා. එය මගේ ලිපියක සදහන් කර තිබෙනවා. එය තමයි මම පොතේ නම ලෙස යොදා ගෙන තිබෙන්නේ. 

දේශපාලනය කියන මාතෘකාවටම අකමැති පිරිසකුත් සමාජයේ ඉන්නවා නේද?
සමාජයේ තරුණ පරම්පරාවේ එක් කොටසක් ඉන්නවා ඒ අය දේශපාලනය කියන දේ ගැන කතා කරන්න අකමැතියි. බොහෝ වෙලාවට විශ්වවිද්‍යාල තුළත් එය තිබෙනවා. විශ්වවිද්‍යාල දේශපාලනයෙන් පරිපූර්ණත්වයට පත් වී හැම විටම දේශපාලන කරුණු සමග කතා කරන සහ විරෝධතා දක්වනවා කියන දේ තමයි බොහෝ විට එළියට පේන්නේ. ඒ නමුත් සමාජයේ සහ විශ්වවිද්‍යාල තුළ බොහොම අතළොස්සක් පමණයි දේශපාලනයට උනන්දු වන අය සිටින්නේ. ඒ අය කතා කරන දේශපාලනයේ හරි හෝ වැරැද්ද කුමක් වුවත් දේශපාලනය පිළිබදව උනන්දු වීම පවා යහපත් ප්‍රවණතාවක් ලෙසයි මම නම් දකින්නේ. එහෙත් එහෙම අය සිටින්නේ අතළොස්සයි. 

අපේ ජීවිතයේ ඉපදීමේ සිට මරණය දක්වාම දේශපාලනය සම්බන්ධයි. ඒ පිළිබදව උනන්දු නොවෙනවා කියන්නේ යථාර්තවාදී ලෝකයෙන් එළියට යන්න හදන උත්සාහයක්. සමහර අය දේශපාලනය ගැන කතා කරන්නවත් කැමති නෑ. ඒත් ඒ අය දන්නේ නැහැ දේශපාලනය නොවෙයි කියා කතාවට ගන්නා අනෙකුත් මාතෘකා තුළත් දේශපාලනික දේ තිබෙන බව. වෙනත් විෂයන් තුළ වුවත් ක්ෂුද්‍ර විෂයක් ලෙස දේශපාලනික කාරණා ඇතුළත්ව තිබෙනවා. දේශපාලනයට සංවේදී නොමැති කොටස් වල අයට එය තේරෙන්නේ නැහැ. දේශපාලනයට මතුපිටින් අපි අකමැති වුවත් අපේ ජීවිතේ ඉපදීමේ සිට මරණය දක්වාම දේශපාලනයට ගැට ගැසී තිබෙනවා. ඒ නිසා අපට කවදාකවත් දේශපාලනයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ.

ජාතිවාදයට විසදුම යුද්ධය නොවෙයි. එහෙත් යුද්ධයක අවසානයේ තාමත් කතා වෙන ජාතිවාදය ගැන ඔබේ අදහස මොකද්ද?
ජාතිවාදය ගැන සලකා බැලීමේදී සමාජය ගැන එක් අතකින් දුක් විය යුතුයි. එක් අතකින් සතුටු විය යුතුයි. ජාතිවාදය කියන දේ එක්තරා ප්‍රමාණයකට අපේ ශරීර වල ඇතුළේ තිබෙන දෙයක්. එය ජන සමාජයේ ජන විඥානය තුළට කිදා බැස තිබෙන දෙයක්. කුඩා කල්ලි ලෙසත් බෙදීම් ඇති කරගන්නවා. උඩ රට, පහත රට ලෙසත් කුල වශයෙනුත් බෙදෙනවා. ප්‍රාදේශීය වශයෙන් බෙදෙනවා. ඊළගට ජාතීන් වශයෙනුත් බෙදෙනවා. එහෙම ප්‍රවණතාවයක් අපේ ජන විඥානය තුළ තිබෙනවා. හැබැයි එහෙම තිබුණත් සමස්ථයක් ලෙස එකිනෙකා හා ඇන කොටා ගන්නා මට්ටමට එය දියුණු වෙන්නේ නැහැ. ඒ නමුත් ජාතිවාදයෙන් ඔද්දල් වුණු, ඇණ කොටා ගන්නා මට්ටමට කතා කරන හා සමාජය මෙහෙය වන සීමිත කොටසක් සමාජයේ ඉන්නවා. ඒ පිරිසට ඉතිරි අයත් මෙහෙය වීමට හැකියාව තිබෙනවා. එම නිසා එවැනි අයට ආකල්පමය වෙනසක් ඇති වන ආකාරයේ අදහස් වල පරිවර්තනයක් සිදු විය යුතුයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

9 comments:

  1. මං එදින වෙනතුරු බලාගෙන ඉන්නේ පිලිප් ශාන්ත ලියූ ඒ බ්ලොග් එක කුමක්දැයි දැන ගැනීමටයි!

    ReplyDelete
  2. Replies
    1. ෂැහ්, මේක මං දන්නවානේ!
      එය ලීවේ ෂාන් කියා කෙනෙකුයි.

      Delete
  3. මම මේක ඉස්සර අසාවෙන් කියවනවා.. දැන් අයි බ්ලොග් එක අප්ඩේට් නොවෙන්නේ.. පත්තර වැහෙන්න යන කාළේ..

    ReplyDelete
    Replies
    1. හැම බ්ලොග් එකටම සල්ලි හම්බ වෙන්නෙ නෑ බං....

      Delete
  4. පැරා මචං, උඹට අප සුබ පතනවා හෙට උඹ කරන්න යන වැ‍ඩේට. උඹ මෙන්න මේ ටිකත් කල්පනාවට ගනිං හෙට එතනට ගිහින් කට අරින්න කලින්.

    ඔය වැඩේට එන බහුතරය ශාස්ත්‍රාලීය පදනමක් තිබෙන අය. ඒ වගේ ම වාමාංශික හෝ වමට බර හෝ අය. ඒක නිසා උඹ එතනට ගිහින් උඹේ පරණ arrears recover කර ගන්න හදන්න එපා.

    මොකද පැරා හෙට ඔය වැඩේ තියෙන තැන setup එක එච්චර හොඳ නැහැ. ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ හෝ මහවැලි කේන්ද්‍රයේ හෝ ඕක තිබුණ නම් අප එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ ඕක තියෙන නිසා උඹේ ආරක්ෂාව ගැන අප සිතන්න ඕන. උඹ එතන බාල්දියක් පෙරළන් සුධීජන ප්‍රකෝප වීමක් කර ගත්තොත් පැන ගැනීම බොරු. උඹ ඇතුලේ හිර වෙනවා. ගොන්බානක් ඇන්නා වගේ අම්බානකට කාලා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය හරහා රජයේ දන්ත වෛද්‍යායතනයෙන් තමා පිටවෙන්න වෙන්නේ. අප කැමති නැහැ උඹට දයාන්ට වුණා වගේ දෙයක් වෙනවට. ඒක නිසා please පැරා, උඹේ කට පරිස්සම් කර ගනිං.

    අපට ඔය වැඩේට එන්න බැරි වුණත් අප උඹේ කටින් එතන දී පිටවන සෑම සියලු වචනයක් ම දැන ගන්නවා උඹ ගෙදර එන්නත් කලින්. සමහරවිට සජීවී ව අහන්නත් ඉඩ තිබෙනවා.

    අපේ පරණ සහෝදරවරු උඹෙන් අනවශ්‍ය ප්‍රශ්න අහලා උඹ අපහසුතාවට පත් කරන එකක් නැහැ. උඹ උඹේ කාරය පිරෙන්න බැංකු වාර්තා, ඔප්පුතිරප්පු, ඇකමතය ගත්ත බිල් යනාදිය අරන් එන්න ඕනැ නැහැ බං. ඒවා ගැන උනන්දු නැහැ එතනට එන ශාස්ත්‍රාලීය පිරිස. ඒත් උඹ කට පරිස්සම් කර ගනිං කෝකටත් කියලා මචං.

    අනෙක් කරුණ තමා උඹ එතනට ගිහිං වමා එක්ක බොරුවට හැප්පෙන්න එපා. එහෙම හැප්පෙන්න බලාපොරොත්තුවක් තිබේ නම් ශාස්ත්‍රීය පදනමක් නැති මනස්ගාත කියවන්න එපා.

    හෙට උඹ ටොරිංටන් එන්නේ සාන්ත පිලිප්පු කොලුවාගේ පොත ජනගත කරන වැඩකට මිසක් උඹේ Big Show එකකට නො වේ කියන කරුණ සිහියේ තබා ගනිං.

    අපගේ සුබ පැතුම් උඹට. මෙන්න ගනිං කෝල නො වී...

    ReplyDelete
  5. පැරාට මගෙන් සුභ පැතුම් !! පැරා වගේ තමන්ගෙ හැකියාවෙන් ඉහලට එන මිනිස්සුන්ට ගැරහීම සිංහලයෙන්ගෙ ගතියක්නෙ, ඒ නිසා ඔය පැරාට අවලාද නගන්නෙ ඉරිසියාකාර කුහකයො කියල තමයි මම නම් විශ්වාස කරන්නෙ.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.