2016-08-14

සන්නස්ගල, දෙරණ, අජිත් ගලප්පත්ති හා ලංකාවේ විචාර කලාව

අජිත් ගලප්පත්තිගේ කීර්ති නාමයට හානි වන අන්දමින් අපහාසාත්මක ලෙස කටයුතු කිරීම නිසා දෙරණ රූපවාහිනියට හා උපුල් ශාන්ත සන්නස්ගලට රු. ලක්ෂ 25 බැගින් වන්දි ගෙවීමට සිදු වී තිබේ.

මෙයට හේතු වී තිබෙන්නේ ගලප්පත්තිගේ විචාරයකි. ගලප්පත්ති කිසිදු ගුරුකුලයක් හෝ දෘෂ්ටිවාදියක් හෝ වෙනුවෙන් විශේෂයෙන් පෙනී සිටින්නෙකු නො වේ. අප දන්නා පරිදි හේ ස්වාධීන විචාරකයෙකි. මෙම සිදුවීම පිළිබඳ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වූ විස්තරය මෙසේ ය:

විත්තිකාර සන්නස්ගල මහතා 2003 දී නිෂ්පාදනය කළ ‘තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටිය පිළිබඳ විචාරයක් මාධ්‍ය වෙත යැවීම සඳහා තමා වෙත එවන්නැයි එහි නිෂ්පාදක සන්නස්ගල හා අධ්‍යක්ෂ අශෝක හඳගමගේ අත්සනින් යුතුව 2003 ජනවාරි 25 දිනැති ලිපියක් අජිත් ගලප්පත්ති වෙත ලැබී ඇත.

ස්වාධීන විචාරකයකු ලෙස ඔහු තම විචාරය 2003 ජනවාරි 31 දිනැති ‘දිණමිණ‘ පුවත්පතෙහි පළ කොට ඇත. පසුව එම විචාරයෙහි එක් වාක්‍යයක් එහි අර්ථය සපුරා වෙනස් වන අයුරින් විකෘති කොට අනවසරයෙන් ප්‍රචාරක පත්‍රිකාවක මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීම සම්බන්ධව එහි නිෂ්පාදක සන්නස්ගල මහතාගෙන් ‘360‘ වැඩසටහන ප්‍රශ්න කර ඇත. ගලප්පත්ති විචාරයක් ලිවීම සඳහා 2003 මාර්තු මාසයේ දී තමාගෙන් මුදල් ඉල්ලූ බව එහිදී සන්නස්ගල මහතා පවසන ලදී.


මෙයින් ගලප්පත්තිට බලවත් අපහාසයක් සිදුවී යැයිද ඔහු සමාජයේ යම් ආකාරයක පහත් තත්වයකට පත් වුණු බවත් අධිකරණයට අනාවරණය වන බවත් අධිකරණය දුන් නඩු තීන්දුවෙහි දැක්වේ.


සිනමා විචාරකයකු ලෙස කටයුතු කරන පැමිණිලිකාර අජිත් ගලප්පත්ති ස්වාධීනව කටයුතු කරන විචාරකයකු නොවන බව ඒත්තු ගැන්වීමට සන්නස්ගලගේ මෙම ප්‍රකාශය හේතු වන බවත්, අජිත් ගලප්පත්තිගේ විචාර කියවන පුද්ගලයින් තුළ එම විචාර ස්වාධීන විචාර ද යන ප්‍රශ්නයක් මතු විය හැකි බවද අධිකරණය තීන්දු කර ඇත.


මෙම නඩු තීන්දුව ඇසුරෙන් වැදගත් කරුණු කීපයක් මතු වේ. විචාරය යනු කුමක් ද? විචාරය හා ප්‍රචාරය එකිනෙකින් වෙනස් වන්නේ කොතැනින් ද?

විචාරය යනු කුමක් ද යන්න හඳුනා ගැනීම වඩා සංකීර්ණ ය. ලංකාවේ ඇතැම් දේශපාලනාගමික ගුරුකුලවලට අනුව විචාරය යනු ඔවුන් අනුදත් දැනුම් පද්ධතියකට අනුකූලව කරනු ලබන කියවීම් පමණ ය. ඒ අනුව, සාමාන්‍ය රසිකයන් තබා අජිත් ගලප්පත්ති වැනි පිළිගැනීමක් ඇති විචාරකයන් විසින් ලියනු ලබන විචාරයන් ද විචාර නො වේ. ලංකාවේ සිනමා විචාරයෙහි සමාරම්භකයකු ලෙස කීර්තියට පත් ජයවිලාල් විලේගොඩ වැන්නකු පවා ඔවුන්ගේ මිනුම් දඬු අනුව විචාරකයකු නො විය හැකි ය.

එහෙත්, විචාරය පිළිබඳ ඔවුන්ගේ ආකල්පවලින් පෙන්නුම් කරන්නේ අන් කිසිවක් නොව, ඔවුන් තමන් අනුයන ව්‍යූහවාදී, පශ්චාත් ව්‍යූහවාදී, පශ්චාත් නූතනවාදී ඈ න්‍යායික ධාරාවන් පවා හරි හැටි තේරුම් නො ගත් ගිරවුන් පිරිසක් බවයි.

අප නව න්‍යායික විචාර ප්‍රතික්ෂේප කරන්නේ නැත. එහෙත්, කලාව තුළ පැවතිය යුත්තේ න්‍යායික විචාරය පමණක් නො වේ. නව න්‍යායන්ට අනුව ගත්තත් සෑම කියවීමක් ම විචාරයකි. ලංකාවේ ඊනියා නව න්‍යාය ගුරුකුලවල හා මාක්ස්වාදී ගුරුකුලයේ සාහිත්‍ය විචාරකයෝ අප වැනි සාමාන්‍ය බ්ලොග්කරුවන් කලා කෘතියක් ගැන රසවින්දනයක් ලියූ විට අපට තර්ජනය කරන හා අපහාස කරන තැනකට පවා පත් වූ හ. එය පාඨකයා කෘතිය ගැන කතා කිරීම වළක්වන ත්‍රස්තවාදයක ස්වරූපය ගෙන තිබේ.  

නිදසුනක් ‍ලෙස, 2015 වසරේ ලියැවුණ නවකතා අතරින් දැන් ස්වර්ණ පුස්තකවලට නම් වී තිබෙන ඇතැම් කෘති හා පසුගිය සමයේ අප කතා බහට ලක් කළ සුරේඛා සමරසේනගේ ‘මේ කතාව' වැනි කෘති සසඳා බලන්න. සුවර්ණ පුස්තකයෙන් කපා හරින ලද සමන් වික්‍රමආරච්චිගේ අසන්ධිමිත්තා නවකතාව රස විඳින්නට අපට අවශ්‍ය වූ මුත් මෙතන ඇවිත් එක එකා කියූ කතා සමග අප කල්පනා කළේ එවැනි විචාරක තගෙකුගේ නවකතාවක් වෙනුවෙන් අප එක එකාගෙන් බැනුම් අසන්නේ කුමට ද යන්නයි. එහෙත්, අප නම් සිතන්නේ අසන්ධිමිත්තා යනු සම්මාන සඳහා නිර්දේශ වී තිබෙන නවකතාවලට වඩා උසස් කෘතියක් බවයි. 

න්‍යාය වන්දනාකරුවන් විසින් ඇත්තෙන් ම කර තිබෙන්නේ විචාරය හුදී ජනයා වෙතින් ඈත් කර දැමීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට පොදු ජන රුචිකත්වය තවත් පිරිහී තිබේ. පත්තිනි දින සීයක් ප්‍රදර්ශනය වීම නිමිත්තෙන් එහි අධ්‍යක්ෂවරයා වන සිංහල මහාචාර්යවරයකු වන සුනිල් ආරියරත්න පවසන අදහසකින් මේ තත්වය තේරුම් ගත හැකි ය.

පත්තිනි ලද විචාරක ප්‍රතිචාර වලින් සියයට අනූපහක්‌ම සාධනීය නෑ. මට දිනපතා ඊ.ඒ.පී සමාගමෙන් ආදායම් වාර්තා ලැබෙනවා. ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වල 'පත්තිනි' සම්බන්ධව නිර්ධය විචාර පළවූ දිනට පසුදින ආදායම් වාර්තා නිර්ක්‍ෂණය කරද්දී චිත්‍රපටයට එක රුපියලක හෝ බලපෑමක්‌ කරන්නට එම විචාරකයන් සමත් නොවූ බව මට ප්‍රතක්‍ෂ වුණා. බොහෝ කලකට ඉහතදී ජයවිලාල් විලේගොඩ, කරුණාසේන ජයලත්, රෙජී සිරිවර්ධන, ඒ. ඡේ. ගුණවර්ධන, බෙනඩික්‌ට්‌ දොඩම්පෙගම වැනි විචාරකයන්ට චිත්‍රපටයක්‌ ඔසොවා තබන්නටත්, චිත්‍රපටයක්‌ වානිජමය වශයෙන් අසාර්ථක කරන්නටත් හැකියාවක්‌ තිබුණා. මට මතක්‌ වෙනවා මහාචාර්ය සරච්චන්ද්‍රයන් දිනමිණට ලියූ ගම්පෙරළිය විචාරය. "ගම්පෙරළිය" පොදු රසිකයා වෙත වගේම සම්භාව්‍ය රසිකයා වෙත ගෙන යන්නටත් සරච්චන්ද්‍රයන්ගේ එම විචාරය සමත් වුණා. 
- සුනිල් ආරියරත්න, දිවයින පුවත්පත 

මෙම තත්වයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට නවකතාව වැනි ක්ෂේත්‍රවල ජනතාවට බලපෑමක් වන විචාරය බවට පත් වී තිබෙන්නේ ස්වර්ණ පුස්තක වැනි සම්මාන උළෙලවල නිර්දේශයයි. හතරවරං සාහිත්‍යකරුවන් යයි සිතා සිටින සම්මානලාභී ලේඛකයන් ලොසින්ජරවලට රණ්ඩු වන පොඩි ළමයින් සේ සම්මානවලට ගහ බැන ගන්නේ ඒ නිසා ය. විචාර යයි ලියවෙන පල් හෑලි සාමාන්‍ය රසිකයන් නො කියවන්නේත්, ඒවායින් පොදු ජන රුචිකත්වය අංශු මාත්‍රයකින්වත් ඉහළ නො යන්නේත් මේ තක්කඩි පණ්ඩිතමානී විචාරය නිසා ය. 

විචාරය යනු පාඨකයාට කෘතිය රස විඳීම පහසු කරන වියමනක් මිස රසවින්දනය එපා කරන, විචාරකයා දන්නා දේවල පට්ටංදරයක් නො විය යුතු ය. 

අනෙක් කාරණය වන්නේ විචාරය හා ප්‍රචාරය අතර තිබෙන සම්බන්ධයයි. විශේෂයෙන් ම මෙම නව න්‍යායයන් පදනම් කර ගත් විචාරකයන්ගේ විචාරක චර්යාව නිරීක්ෂණය කර බලන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මොවුන් විචාර ලියා ඇති කෘති මොනවා ද? ඒවාට පමණක් ඔවුන් විචාර ලියා තිබෙන්නේ ඇයි? ඒ පසුපස තිබූ හේතු හුදෙක් ම බුද්ධිවාදී කාරණා පමණක් ද? 

නිදසුනක් ලෙස මම එක් කරුණක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි. රාජ්‍ය නොවන සංවිධාන ආධාර යටතේ කර ඇති නිර්මානවලට මොවුන් වැඩිපුර විචාර ලියා තිබේ ද නැද්ද යන්න අධ්‍යයනය කර බලන්න. 

උපුල් ශාන්ත සන්නස්ගල විසින් අජිත් ගලප්පත්ති සම්බන්ධයෙන් කියන ලද, උපුල්ට ඔප්පු කරන්නට බැරි වූ කාරණය වන විචාර ලියන්නට මුදල් ඉල්ලුවා ය කියන කාරණය වෙනත් සංදර්භයන් තුළ ඇත්ත යයි නො සිතන්නට සාධාරණ හේතු තිබේ ද? 

ලංකාවේ බොහෝ විචාරකයන් යයි කියන අය පෙනී සිටින තරම් අහිංසක ද? සද්භාවයෙන් යුතුව කටයුතු කරන්නෝ ද? වෙළඳපොළ විරෝධීන් යයි කියන අය තමන් වෙළඳපොළේ අලෙවි කර ගන්නේ නැද්ද? 

ඔවුන් තෝරා ගත් කෘති වෙනුවෙන් පමණක් විචාර කරන්නේ ඇයි? විචාරය සඳහා කෘති තෝරා ගැනීමේ තමන්ගේ පදනම විවෘතව පැහැදිලි කරන්නට ඔවුන්ට හැකියාවක් තිබේ ද? දැන හැඳුනුම්කම, මිතුරුකම, මුදල් ගනුදෙනු, ලිංගිකත්වය, සමාජ ගනුදෙනු ආදියෙන් තොරව, හුදෙක් ම කෘතිය පමණක් සැලකිල්ලට ගනිමින් කරන විචාර කලාවක් ලංකාවේ තිබේ ද? 

විචාරය ද බොහෝ දුරට ප්‍රචාරයක් වන නිසා කලා කෘතියක් අලෙවි කිරීමෙන් ලාභ ලබන සන්නස්ගල වැනි නිෂ්පාදකයෙක් විචාරකයකුට ඔහුගේ මහන්සිය ගෙවන එක වැරදි යයි අපි නො කියමු. එහෙත්, විචාරකයන් යයි කියන අය මුදලට, බලයට, ලිංගිකත්වයට, කීර්තියට ආදී කාරණාවලට ගිජුව ව්‍යාජ විචාර සිදු කරනවා නම් එය කෙතරම් නිවැරදි ක්‍රියාවක් ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

13 comments:

  1. ඔබේ ලිපිය බොහෝ වටිනා තැන් මතු කරයි.
    ........................................................................................
    මගේ මතකයේ හැටියට නම් සුනිල් ආරියරත්න මහතා විශ්‍රාමගියේ සම්මානිත මහාචාර්යවරයෙකු ලෙස බුහුමන් ලබමිනි. ඔහු සිංහල මහාචාර්යවරයෙකු වන සුනිල් ආරියරත්න ලෙස නැවත හැදින්වීම කෙතරම් සුදුසුද යන්න ඔබ හෝ මෙහි පැමිණෙන වෙනත් අයෙකු තරමක් විස්තර කරන්නේ නම් ස්තුති වෙමි.

    මෙය ලිපියට එතරම්ම වැදගත් නොවුවද එය විමසීමට ලැබුණු හොඳ අවස්ථාවක් නිසා එය ඇසීමට සිතුවෙමි.

    ReplyDelete
  2. මේ අයුරින්ම සුනිල් ආරියරත්න ගේ උප්පලවණ්ණා විචාර ගැන හෙන්රි වර්නකුලසූරිය ලියූ 'ප්‍රචාරයට නතුවූ විචාරය' පොතේ කතුවරයා ගේ හෝ අද්‍යක්ශක වරයාගේ නැත්නම් නිශ්පාදකගේ සිවිල් බලයට නතුවන විචාර ගැන අගනා හෙලිදරව්වක් තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. හෙන්රි මෙය දකීවි යැයි සිතමි.

      1. හෙන්රි ගේ පොත ගැන විචාර පළ වුණා ද?

      2. හෙන්රි ගේ පොතේ සඳහන්ව ඇති විචාර අතර හෙන්රි ගේ මිතුරන් ලියූ විචාර ඇතුළත් ද?

      3. උප්පලවන්නා ප්‍රචාරය ඒ සමාගමේ ම, පත්තිනිට අදාලවත් ලංකාවේ දැකිය හැකිද?

      Delete
  3. නම සඳහන් කළ නොහැකි සිනමාකරුවෙකු මෙසේ කීවා.

    සුනිල් ආරියරත්න තමන් ගේ පත්තිනි ගැන සඳහන් කරමින් අප සමග කියා සිටියේ අනේ ඕගොල්ලෝ නම් මේ චිත්‍රපටය බලන්න නාවට කමක් නෑ කියායි! ඔහු එයින් අදහස් කලේ එහි සිනමාත්මක ගුණය ගැන ඔහු හොඳන් දන්නා බවයි.

    ReplyDelete
  4. නවකතා ලියන්නේ ඩිග්‍රි නැති උන්. ඒකට නීතී රීතී නෑ.. ඒත් විචාර කරන්න නම් වරලත් වෙන්න ඕන. ඒකට රීතියක් තියෙනවා. සම්ප්‍රදායක් තියෙනවා. විචාර නෙමෙයි මළ විකාර.. හොඳම විචාරය තමයි කට කතාව.. හැබයි මාකටින් මෙතඩ් එකකුත් තියෙනවා.. ඒ තමයි ගරිල්ලා මාකටින්.. හඳගම හා මොහාන් රාජ් යොදා ගන්නේ ඒක.. මම දන්න ගොඩක් උන් ඉන්නවා මොහාන් රාජ්ගේ පොත් ගන්නවා කියවලා නෑ.. උන් ගාව තමිලිනිත් තියෙනවා.. ඒත් මඩොල්දූව තියා බැද්දෙගමවත් කියවලා නෑ.. ඉට්ටෑයිල් එකට පොත් ගන්නවා, සෝ බලනවා, සම හරක් පොතත් එක්ක සෙල්පිත් දානවා..

    ReplyDelete
  5. ගලප්පත්ති එරෙහි ව සන්නස්ගල නඩුවේ තීන්දුව අජිත් පැරකුම් ජයසිංහ මත සිදු කරන ආචරණය


    ප්‍රවීණ සමාජ-දේශපාලන-කලා විචාරක උපුල් ශාන්ත සන්නස්ගලයනට එරෙහි ව අජිත් ගලප්පත්ති නම් ස්වාධීන විචාරකයෙකු යැයි පැවසෙන තැනැත්තෙකු විසින් වර්ෂ දෙදහස් අටේ දී කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කරනු ලැබූ අපකීර්තනය නිමිති කර ගත් නඩුවක තීන්දුව පසු ගිය දිනක නිකුත් වී ඇත. දෙදහස් අට වර්ෂයේ ජුලි මස අට වැනි දින සජීවී ව ද ජුලි මස දහතුන් වැනි දින පටිගත ව ද පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශනය වූ කතිකා වැඩසටහනක දී සන්නස්ගලයන් විසින් ගලප්පත්ති යන තැනැත්තා අරබයා කරනු ලැබූ ප්‍රකාශයකින් එම තැනැත්තාගේ කිතුසිරුරට නිග්‍රහ වූ බවත් එම නිග්‍රහට වන්දි ලෙස රුපියල් මිලියන දහයක් අය කර ගැනීමට එම තැනැත්තාට නඩු නිමිත්තක් පහළ වී ඇති බවත් පවසමින් අංක DMR 05975/08 යටතේ අදාළ නඩුව ගොනු කෙරිණි. ගලප්පත්ති නමැත්තාට සිදු කෙරුණු අපකීර්තනය ලෙස වර නැඟුණේ කලකට පෙර සන්නස්ගලයන් විසින් නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටයක් පිළිබඳ විචාරයක් ලියා පළ කිරීම උදෙසා ගලප්පත්ති නමැත්තා මුදල් ඉල්ලා සිටි බව පෙර කී වැඩසටහනේ දී සන්නස්ගලයන් විසින් පවසනු ලැබීම ය. සන්නස්ගලයන් තම ප්‍රකාශය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීමට සමත් නො වූ බව ද එම ප්‍රකාශයෙන් ගලප්පත්ති නමැත්තාට ස්වාධීන විචාරකයෙකු ලෙස පවතින කීර්තිප්‍රභාවට හානි වූ බව ද ගරු අධිකරණය විසින් නිගමනය කෙරිණි. එම අපකීර්තනයයෙන් ගලප්පත්ති නමැත්තාට වූ හානිය මූල්‍යපාදක ව නිමානය කළ නො හැකි වුව ද අවම වශයෙන් රුපියල් මිලියන පහක් වන්දි ලෙස ගලප්පත්ති නමැත්තාට ගෙවනු ලැබිය යුතු බව ගරු අධිකරණය විසින් නියෝග කෙරිණි. එම වන්දි මුදලෙන් සමඩක් සන්නස්ගලයන් විසින් ද ඉතිරි සමඩ සන්නස්ගලයන්ගේ ප්‍රකාශය විකාශනය කළ රූපවාහිනී නාළිකාව විසින් ද ගෙවිය යුතු බව ද පැවසිණි. උත්තරීතර අධිකරණයේ තීන්දුව අපි ගෞරවපූර්වක ව පිළිගනිමු. මෙම සටහනින් එම තීන්දුව පිළිබඳ කිසිදු සංශයක් හෝ විරෝධයක් හෝ නො පළ කෙරෙන බව සවිඥානික ව ම අවධාරණය කරමු.

    සන්නස්ගලයෝ ප්‍රකට සිංහල භාෂා ආචාර්යවරයෙක් ද ශාස්ත්‍රවන්තයෙක් ද සාර්ථක ව්‍යාපාරිකයෙක් ද වෙති. සමකාලීන සහ සම්භාව්‍ය සාහිත්‍යයේ අභිවර්ධනයට ඔවුන් විසින් ශාස්ත්‍රීය ව ද ව්‍යාපාරික ව ද ප්‍රාමාණික සම්ප්‍රදානයක් සිදු කෙරුණු බව පැවසිය යුතු ය. සන්නස්ගලයන්ගේ “අපේ සිංහල පන්තිය” ප්‍රවීණ විචාරක මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් විසින් “උපුල්ගේ කුකුල් (කුකුළු) කූඩුව” ලෙස සදයෝපහාසාත්මක ව හඳවන්වනු ලැබු ව ද, එමඟින් සිංහල භාෂාසාහිත්‍යය විෂයක් ලෙස ප්‍රචලිත කිරීමට සැලකිය යුතු මෙහෙයක් ඉටු වී තිබේ. සන්නස්ගලයනට හිමි ව තිබූ ග්‍රන්ථ ප්‍රකාශනායතනය විසින් ආර්ථික ව ලාභදායක නො වන විෂයනට අදාළ කෘති වුව පළ කරනු ලැබීමෙන් ආධුනික හා ප්‍රවීණ දෙපිරිසට ම සේවයක් සිදු ව ඇත.

    සන්නස්ගලයෝ මින් පෙර ද ශාස්ත්‍රීය කටයුතුවලට අදාළ නඩුහබ කීපයක පැටලුණහ. ඒවා ප්‍රතිරූපණ හිමිකම නිමිති කර ගත් නඩුහබ ය. මනමේ නාට්‍යයේ පෙළ පළ කිරීම පිළිබඳ ඔවුන් සරච්චන්ද්‍ර සිරිමතිය සමඟ නඩුවක පැටලුණු කල අපගේ අදහස වූයේ එය එතුමිය සමඟ මන්ත්‍රණයෙන් සමථනය කර ගත යුතු බව ය. අවසානයේ දී එය එසේ සිදු විණි. ඔවුන් වර්තමානයේ පැටලී සිටින ප්‍රතිරූපණ හිමිකම පිළිබඳ තවත් නඩුවක් ද එලෙස ම මන්ත්‍රණයෙන් සමථනය කර ගත යුතු බව අපගේ අදහස ය.

    ගලප්පත්ති නමැත්තා පිළිබඳ නඩුව නම් අපකීර්තනය පිළිබඳ නඩුවකි. සන්නස්ගලයන් පැවසූ පරිදි ගලප්පත්ති නමැත්තා අදාළ විත්‍රපටය පිළිබඳ විචාරයක් ලියා පළ කිරීමට මුදල් ගත්තේ ද නො ගත්තේ ද යන්න අපි නො දනිමු. එහෙත් අධිකරණ විනිශ්චය ප්‍රකාර ව එසේ මුදල් නො ගත් බව කිසිදු සංශයකින් තොර ව අපි පිළිගනිමු. පවතින නීතියට ගරු කිරීම ශිෂ්ට ලක්ෂණයකි. නීතියක් රීතියක් නැත්තේ අශිෂ්ටයනට බව අපි විශ්වාස කරමු. පවතින නීතියේ ලුහුඬුකම් සකසා ගැනීම හෝ ඒවා ඉවත් කිරීම හෝ අප විසින් කරනු ලැබිය යුතු වන්නේ ශිෂ්ට සම්මත ක්‍රමයට ය. බාන බිඳගත් ගවයෙකු සේ සතර දිග දිව යෑමෙන් නීති සංශෝධනය හෝ අපලෝපනය හෝ සමලෝපනය හෝ කළ නො හැකි ය.

    අදහස් පළ කිරීම සහ අපකීර්තනය යන ක්‍රියාවල සීමා නිර්ණය කෙරෙන නිර්ණායක ඉතා සියුම් ය; වැදගත් ය. වර්ෂ දෙදහස් දෙකට පෙර පැවති ඊනියා සාපරාධී අපහාස නීතියට පදනම් වූ දණ්ඩ නීති සංග්‍රහයේ දහනව වන පරිච්ඡේදයේ හාරසිය හැත්තෑනව වැනි වගන්තිය වුව දීර්ඝ වූයේ ද එනිසා ය. වර්තමානයේ සාපරාධී අපහාස නීතිය සමාලෝපනය වී තිබුණ ද සිවිල් අපහාස නීතිය යටතේ අගතියට පත් වූවනට නෛතික සරණ පැතිය හැකි ය. ගලප්පත්ති නමැත්තා සරණ ගොස් ඇත්තේ එම නීතියේ ය.

    Cont ...

    ReplyDelete
  6. අප පවසන සෑම සියලු අදහසක් ම සාක්ෂ්‍ය මත නෛතික ව සාධනය කිරීම කළ නො හැකි ය. අපකීර්තනය පිළිබඳ නීති දර්ශනයේ දී “අදහස” අපකීර්තන නීතියට ආධීන නො වන බව පොදුවේ පිළිගැනෙන නමුත් නෛතික අර්ථයෙන් අදහස යන්න නිර්වචනය වන ආකාරය අනුව ප්‍රකාශනයේ නිදහසට දෘඪතර සීමාකරණයක් සිදු වේ. අදහස් යනු අසත්‍යය යයි සාධනය කළ හැකි වන කරුණුමය අභිධානයන් නොමැති ප්‍රකාශන ය; නැත හොත් සත්‍ය කරුණු පැවසෙන බව සාධාරණ ව අර්ථකථනය කළ නො හැකි ප්‍රකාශන ය. කිසි යම් භාෂාත්මක ප්‍රයෝගයකින් සත්‍ය කරුණු සඟ වන ලද ප්‍රකාශන ද අදහස් ලෙස නො සැලකේ. එනයින් අදහස් යනු නෛතික අර්ථයෙන් ඉතා සීමිත පරාසයක විහිදෙන්නකි.

    යම් අදහසක් හෝ ප්‍රකාශයක් හෝ සාක්ෂ්‍යය මත නෛතික ව සාධනය කළ නො හැකි වූ පමණින් එම අදහස හෝ ප්‍රකාශය හෝ අසත්‍යය යන නිගමනයට පරිග්‍රාහික ව එළඹිය නො හැකි ය. පසු ගිය දශකය තුළ රාජ්‍ය තන්ත්‍රය හෙබ වූවනට නැඟෙන බොහෝ චෝදනා නෛතික ව තහවුරු කිරීම සරල කාර්යයක් නො වේ. එහෙත් ඔවුනට නැඟෙන චෝදනා අසත්‍ය නො වන බව ව්‍යවහාරික ඥානයෙන් පැවසිය හැකි ය. යම් අදහසක් හෝ ප්‍රකාශයක් හෝ නෛතික ව තහවුරු කිරීමට සාක්ෂ්‍ය අප සතු ව නැති වූ පමණින් අපි නිහඬ විය යුතු වෙමු ද? දූෂණ, වංචා ඈ නේක චෝදනාවනට ලක් වූ, සැබෑ ලෙස ම ඒවාට සම්බන්ධ වූවෝ “හොඳ යි පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න” යයි සාඩම්බර ලීලාවෙන් පවසති. වෘත්තීය ව දූෂණ, වංචා ඈ අකටයුතුවලට සම්බන්ධවන්නන් නෛතික ව එම අකටයුතුකම් තහවුරු කළ හැකි වන සේ සාක්ෂ්‍ය ශේෂ නො කරන බව කවුරු නම් නො දනිත් ද?

    පුළුල් ව සැලකූ විට අපකීර්තනය පිළිබඳ නෛතික දණ්ඩනය යනු අදහස් ප්‍රකාශනයට එරෙහි වන සීමාවකි. ප්‍රවෘත්තිවල මූලප්‍රභවවල නිරවද්‍යතාව පිළිබඳ සම්භාවිත රීතීන් මාධ්‍යකරණයේ පවතී. ප්‍රමුඛධාරාවේ සම්මත මාධ්‍ය මූලප්‍රභවයන්හි නිරවද්‍යතාව සම්පරීක්ෂා නො කර ප්‍රවෘත්ති පළ නො කරන්නේ එනිසා ය. අන්තර්ජාලය පුළුල් ව ව්‍යාප්ත වූ පසු ගිය දශක දෙකක පමණ කාලයේ දී සමාජජාල, වියුණුසටහන් අඩවි, එසැණ පුවත් ඈ නන් නයින් වර්ධිත වෛකල්පික ජනසන්නිවේදන ක්‍රම ඔස්සේ තොරතුරු සන්නිවේදනය වන්නට වූ කල පෙර කී දෘඪ රීතීන් ලිහිල් ව ව්‍යවහාර වන්නට විණ. විශේෂයෙන් ම විවාදසම්පන්න මාතෘකා පිළිබඳ අදහස් පළ වීමට තිබූ සීමා බිඳ වැටිණි. නෛතික නො වූ පරිවේෂණ සාක්ෂ්‍ය මත පිහිටා ව්‍යවහාරික ඥානයෙන් තමන් එළඹි නිගමන ද ඒවා පිළිබඳ තම අදහස් ද නිදහසේ පළ වන්නට විණ. දේශීය විදේශීය වියුණුසටහන් අඩවි රැසක් මෙම ශික්ෂාව මත පිහිටා ඇත.

    නෛතික ව තහවුරු කළ හැකි සාක්ෂ්‍ය මත ම අදහස් ප්‍රකාශ කිරීම සිදු විය යුතු නම් එම නිර්ණායකයට අනුගත ව ප්‍රකාශ කළ හැකි අදහස් ඉතා සීමිත වනු ඇත. එසේ විය යුතු වූයේ නම්, ලාංකේය සිංහල භාෂා වියුණුසටහන්කරණයේ සම්මානිත අග්‍රේසරයා වන මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ මූලාදර්ශීය වියුණුසටහන් අඩවිය වන ඩබ්ලිව් තුන ලංකාහි පළ වන ලිපි ප්‍රමාණය හස්තාංගුලිකාසංබ්‍යාත වන්නට ඉඩ තිබිණි. ජයසිංහයන් විසින් ලියවෙන බොහෝ වියුණුසටහන් නෛතික ව තහවුරු කළ නො හැකි කරුණු මත පදනම් ව ඇත; බොහෝ කරුණු කනින්කොනින් ඇසූ ළිඳ ළඟ සංගම් සම්ඵප්‍රලාප ය; අතැම් කරුණු පට්ටපල් චේතිය බොරු ය; තවත් කරුණු හුදු පුද්ගාලාලම්බන කලල්පතනයන් ය. ජයසිංහයන් පැටලෙන්නේ ද එසේ මෙසේ පුද්ගලයන් සමඟ නො වේ. ජයසිංහයෝ තෝරුන්, මෝරුන් සමඟ විනා කූනිස්සන්, හාල්මැස්සන් සමඟ නො පැටලෙති. ඔහුහු මිලියන හතරකට වැඩි පාඨක සමාජයක සාඩම්බර හිමිකරුවාණෝ ද වෙති. එහෙත් ජයසිංහයනට එරෙහි ව අපකීර්තන නඩුවක් මේ සා දීර්ඝ කාලයක් තුළ පැවරූවෝ කවරහු ද? කිසිවෙකු එසේ කර ඇති බවක් අපි නො දනිමු. එපමණ නො වේ; සමහරෙක් ජයසිංහයනට එරෙහි ව සාහසික කරුණු අඩංගු ප්‍රකාශන ආලෝචන ලෙස පළ කරති. ඒවා සැබෑ අපකීර්තන ය. එහෙත් පැසුණු නරකෙසින් බුහුමන් ලබන අඩසියවසක් ලෙව්හි වැසි ජයසිංහයෝ නම් කිසි කළ නො කිපෙති; අපකීර්තනය නිමිත කර නඩු මඟට නො බසිති. ඇතැම් විට තමන් නිර්දය විවේචනයට ලක් කරමින් නිරිනාමික ව ලියවුණු ආලෝචන ද ඔවුහු නො ලසා නව වියුණුසටහන් ලෙස පළ කරති; ඒවායේ අඩංගු විලම්බීත වැකි වියත් සභා මැද ඇද දමති. තමනට එරෙහි ව නැඟි අපකීර්තන ඔවුහු සූර ලෙස කීර්තියක් බවට පත් කර ගනිති.

    තොරතුරුවල නිරවද්‍යතාව යනු ස්ථිතිකයක් නො ව ගතිකයකි. තවත් ආකාරයකින් පැවසුවහොත් තොරතුරුවල නිරවද්‍යතාව යනු සංශ්‍රේණික ව වර්ධනය වී ඉස්මතු වන වන ක්‍රියාවලියකි. ජයසිංහයෝ පරිවේෂණ සාක්ෂ්‍ය මත තම ව්‍යවහාරික ඥානයෙන් එළඹෙන නිගමන ඩබ්ලිව් තුන ලංකාහි පළ කරති. ඇතැම් පාඨකයෝ එම නිගමනවල ලුහු තැන් පෙන්වා දෙමින් ද ඒවා නිවරද කරමින් ද ආලෝචන පළ කරති. ජයසිංහයෝ යළිත් තම අස්ථානය පහදමින් ආලෝචන මඟින් ප්‍රතිචාර දක්වති. ඇතැම් විට තමන්ගේ ලුහු ප්‍රකාශන නාමික ව පැමිණ තුතිපූර්වක ව නිවරද කර, ඉන් පසු නිර්ණාමික ව පැමිණ වරද පෙන්වා දුන්නවුනට ශිෂ්ට භාෂාවෙන් ප්‍රශංසා කරති. මේ සියල්ල සිදුවන විට ඔවුන් මුලින් පැවසූ තොරතුරුවල නිරවද්‍යතාව ද සම්පරීක්ෂා වේ.

    Cont ...

    ReplyDelete
    Replies
    1. ඔය නිර්නාමික කතාව මට අදාළ නැත. මම මගේ බ්ලොගයේ හෝ අන් කිසිදු තැනක නිර්නාමිකව හෝ ව්‍යාජ නම්වලින් පෙනී සිට නැත. තමන් පෙනී සිටින දෙයෙහි වගකීම භාර ගත යුතු බව මගේ ප්‍රතිපත්තියයි. බ්ලොග් පරිකතාවල පමණක් නොව, අතිශය භයානක මුහුණත්වල ද මම ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කර තිබේ. එය පිළි නො ගෙන අභූත චෝදනා නගන අයට එය කෙතරම් පැහැදිලි කර දුන්නත් ඔවුන් පිළි ගන්නේ නැත. ඒ ගැන මට කරන්නට දෙයක් නැත.

      Delete
  7. කිසි යම් සමාජයක් ශිෂ්ටත්වයෙන් සංතෘප්තියට පත් වන කල කිනම් ආකාරයක හෝ අදහස් පළ කිරීමට ඇති නිදහස තහවුරු විය යුතු ය. ඊනියා සාපරාධී අපකීර්තන නීතියට එරෙහි ව අතීතයේ දී සමාජ කතිකාවක් ගොඩ නැඟූ සේ ම, වර්තමානයේ දී ඊනියා කිතුසිරුරුවල සාඩම්බර හිමිකරුවන් අවිචාරවත් ලෙස සිවිල් අපකීර්තන නීතියේ සරණ යාමට එරෙහි ව අපි සමාජ කතිකාවක් ගොඩ නැඟිය යුතු වෙමු. අපකීර්තන නීතිය පැවතිය යුතු වන්නේ ඇයි? යන ප්‍රශ්නයට නීති දර්ශනය අනුව බොහෝ කරුණු ඉදිරිපත් කළ හැකි වුව ද අප එය ඇගයිය යුතු වන්නේ පුළුල් ව ප්‍රකාශනයේ නිදහස පාදක කර ගෙන ය. කවර හෝ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමේ දී එම ප්‍රකාශය කළ තැනැත්තා නෛතික දණ්ඩනයකට ලක් කිරීමට වඩා වර්ධිත හා සුශික්ෂිත ක්‍රම පවතී. මානව සමාජය නෛතික දණ්ඩනය මත ම ශික්ෂණය කිරීම යනු ශිෂ්ටත්වයෙන් අසංතෘප්ත ප්‍රාථමික සමාජවල ලාක්ෂණිකයකි. මෙවැනි නීති සමාලෝපනය කිරීමට ද වඩා වැදගත් වන්නේ ඒවායේ සරණ යාමට පෙර ඊනියා කිතුසිරුරුවල සාඩම්බර හිමිකරුවන් ළාමකත්වයෙන් මිඳී පරිණත ව සිතීම ය.

    ප්‍රස්තුත නඩු තීන්දුවෙන් නව ප්‍රාණයක් ලබා නුදුරු අනාගතයේ දී උට්ඨානයට පත් වනු ඇති පිරිස නම් පෙර සඳහන් කළ “හොඳ යි පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න” යයි වහසි බස් පවසන අසත්පුරුෂයෝ ය. ඔවුන් තමනට එරෙහි ව නැඟෙන චෝදනා යටපත් කරනු වස් ඊනියා අපකීර්තන නීතියේ සරණ තව තවත් සොයා යනු ඇත. රූපවාහිනියේ හෝ වෙනත් තැනෙක හෝ මුළු ගැන්වෙන කතිකා මණ්ඩපයකට දුරකථනයෙන් සම්බන්ධ වන අයෙකු තමනට එරෙහි ව අදහසක් දැක් වූ විට, “මේ අපහාසයට මම තමුසෙට විරුද්ධ ව නඩු දානවා” යයි පවසන්නෝ ද එකී පුද්ගලයෝ ම ය.

    ගලප්පත්ති එරෙහි ව සන්නස්ගල නඩුවේ තීන්දුව විසින් සන්නස්ගලයනට පමණක් නො ව ඔවුන් සමඟ පැවති කතිකා වැඩසටහන විකාශනය කළ රූපවාහිනි ආයතනයට ද දඬුවම් කරනු ලැබ ඇත. එය නීති ප්‍රකාර ව සංයුක්ත ලෙස නිරවද්‍ය තීන්දුවක් බවට අප තුළ සංශයක් නැත. එහෙත් එමඟින් වියුක්ත ලෙස ඇති කරනු ලබන ආචරණය නො සලකා හැරිය යුතු නැත. මෙකී ආචරණයේ අනිසි ඵල ලෙස ජයසිංහයන්ගේ වියුණුසටහන් අඩවියේ පළ වන ආලෝචන පිළිබඳ ඔවුන් විසින් ඉදිරියේ දී දෘඪතර ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීමට ද හැකි ය. එමගින් ඔවුන්ගේ වාරණයේ අයෝමය පාදපාව තව තවත් ශක්තිමත් වන්නට ද හැකි ය. එනිසා මතුගම අජිත් පැරකුම් ජයසිංහයනට නෛතික ප්‍රශ්න ඇති විය හැකි ආකාරයේ ආලෝචන පළ කිරීම පිළිබඳ අප කිසි යම් ස්වයංවාරණයක් ඇති කර ගත යුතු ය.

    සන්නස්ගලයනට මෙම ඛේදාන්තයට මුහුණ දීමට සිදු වූයේ කවර නම් සහේතුක හෝ අහේතුක හෝ කරුණක් නිසා ද? පාළි ත්‍රිපිටකයේ ධම්මපදපාළියේ නිරය වර්ගයේ “අභූතවාදී නිරයං උපෙති - යොචාපි කත්වා නකරොමි චාහ - උභොපිතෙ පෙච්ච සමා භවන්ති - නිහීන කම්මා මනුජා පරත්ථ” (පදනම් විරහිත අසත්‍ය අපවාද අන්‍යයනට නඟන තැනැත්තේ ද යම් ක්‍රියාවක් තමන් විසින් කළේ වුව නො කළ බව පවසන තැනැත්තේ ද යන පහත් ක්‍රියා ඇති මනුෂ්‍යයෝ දෙදෙනා ම මිය ගොස් නිරයේ සමාන ව උපදිති) යනුවෙන් ද සුත්ත නිපාතයේ චූල වර්ගයේ ධම්මික සූත්‍රයේ “සභග්ගතො වා පරිසග්ගතො වා - එකස්ස චෙතො න මුසා භණෙය්‍ය - න භාණයෙ භණතං නානුජඤ්ඤා - සබ්බං අභූතං පරිවජ්ජයෙය්‍යවප” (සභාවකට ගියේ හෝ පිරිසක් මැදට ගියේ හෝ තනි වූ පුද්ගලයෙකු සමඟ හෝ අසත්‍ය කරුණු නො බිණිය යුතු ය; අන්‍යයන් ලවා හෝ නො බිණවිය යුතු ය; බිණීමට අනුබල නො දිය යුතු ය; පදනම්ක් නැති නො සිදු වූ සියල්ල දුරු කළ යුතු ය) යනුවෙන් ද පැවසෙන ශික්ෂාව සන්නස්ගලයන් විසින් නො සලකා කටයුතු කරනු ලැබීම නිසා ද? නැත හොත් ශුද්ධ වූ බයිබලයේ හිතෝපදේශ ග්‍රන්ථයේ “An hypocrite with his mouth destroyeth his neighbour: but through knowledge shall the just be delivered.” යනුවෙන් ද කොලොසියන්ස් ග්‍රන්ථයේ “Let your speech be alway with grace, seasoned with salt, that ye may know how ye ought to answer every man.” යනුවෙන් ද පැවසෙන ශික්ෂාව නො සලකා සන්නස්ගලයන් විසින් කටයුතු කරනු ලැබීම නිසා ද? මෙකී ආගමික ශික්ෂාවන්හි සත්‍යාසත්‍යතාව කුමක් වුව ද සන්නස්ගලයන් මුහුණ දුන් ඛේදාන්තය විසින් අපගේ අවධානයට යොමු කරවනු ලබන වැදගත් කරුණක් තිබේ. එනම් පවතින නීතිය තුළ සිටිමින් එය උල්ලංඝනය නො වන සේ අපගේ අදහස් පළ කිරීමේ සූක්ෂ්ම ක්‍රමවල වැදගත්කම යි.

    ලුහුඬුකම් තිබුණ ද පවතින නීතිය නො සලකා කටයුතු කිරීම බුද්ධිගෝචර නො වේ. නෛතික ප්‍රශ්න ඇති නො වන සේ අදහස් ප්‍රකාශ කිරීම ද නිපුණතාවකි. එය ප්‍රගුණ කිරීම විවාදාපන්න විෂයන් පිළිබඳ ලේඛනයේ යෙදෙන සුධීමතුන්ගේ වගකීමකි. ඩබ්ලිව් තුන ලංකා රැක ගැනීම සමාජ-දේශපාලන කතිකාව රැක ගැනීමකි. ඒ සඳහා අප ඩබ්ලිව් තුන ලංකාහි නිර්මාතෘ සහ පරිපාලක මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ සංස්කාරක වගකීම සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙමු. ජයසිංහයෝ මෙම ආයාචනය මෙසේ සාර ප්‍රකාශනයකට නඟති:

    Cont ...

    ReplyDelete
  8. “ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.”

    ප්‍රකාශනයේ නිදහස හා අපකීර්තන නීතිය අතර පවතින සංඝට්ටනය මූලික අයිතිවාසිකම් පිළිබඳ කතිකාවේ සංඝටනීය අංගයකි. එම සංඝට්ටනය මානව සමාජයේ ආරම්භයේ සිට අද දක්වා ම පවතින්නකි. බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ සිට ත්‍රිපිටකයේ සූත්‍රපිටකය ඔස්සේ ලාංකේය සිවිල් නීති සංග්‍රහය දක්වා ද ජේසුන් වහන්සේට එරෙහි ව ව්‍යාජ භක්තිකයන්ගේ සිට බුදුන් වහන්සේට එරෙහි ව තීර්ථකයන් ඔස්සේ ගලප්පත්ති නමැත්තාට එරෙහි ව සන්නස්ගලයන් දක්වා ද අපකීර්තනය පිළිබඳ කතිකාව පුළුල් ව පැකිර තිබේ. විනිශ්චයකාර සුප්පයියා ශර්වානන්ද ලංකාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ලියූ තමන්ගේ මාහැඟි ග්‍රන්ථයෙහි ලා සඳහන් කරන පරිදි අපකීර්තනය පිළිබඳ නීතිය විසින් අන්වේෂණය කරනු ලබන්නේ අදහස් ප්‍රකාශනයේ නිදහසත් යම් පුද්ගලයෙකුට තම කීර්තිය අනිසි නිග්‍රහ කිරීම්වලින් ආරක්ෂා කර පවත්වා ගැනීමට ඇති අයිතියත් අතර පවතින සංඝට්ටනය සමථනය කිරීම ය. මෙකී සමථනය වූ කලී ප්‍රකාශනයේ නිදහස සහ අපකීර්තනයේ නිෂේධය අතර ගතික සමතුලිතතාවකි. එම ගතික සමතුලිතතාව ස්ථානගත වන්නේ ප්‍රකාශනයේ නිදහස සහ අපකීර්තනයේ නිෂේධය අතර සමමිතික විභේදනයක් ඇති වන ලෙස ද? නැත හොත් ප්‍රකාශනයේ නිදහස දෙසට වඩා නැඹුරු ව ද? එසේත් නැති නම් අපකීර්තනයේ නිෂේධය දෙසට වඩා නැඹුරු ව ද? මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු ඒකවිධ නො වේ; ඒවා බහුවිධ වේ. එකී බහුවිධ පිළිතුරු සමෝධානය කිරීම කළ යුතු වන්නේ පුළුල් සමාජ-දේශපාලන කතිකාවකින් ය. නීතිය යනු ප්‍රගතිය කරා මානව සමාජය ප්‍රගමනය වීමට උපකාර වන පදනමක් මිස සමාජ ප්‍රගමනයට බාධා කරන යදමක් නො විය යුතු ය. සෑම ගැටලුවකට ම විසඳුම නීතියේ සරණ යාම ම නො වන බව සියලු සත්ත්වයෝ වටහා ගනිත්වා!

    End.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඔබේ බසත් ඔබත් සමග ම එපා වී ඇත. ලියන්නට, ලියන්නට, ලියන්නට තැනක් නැත්තෙක් බස් වසුරැ හෙලන බව පමණක් දැනේ. කෙනෙකුට සුචරිත බස පමණක් මදි බවත් හිසත් අවශ්‍ය බවත් මනාව වැටහේ!

      Delete
    2. මේ ආලෝචනකරුවා පැරාගේ පරණ ණය කාරයෙක් ද මන්දා?

      අම්මපා කොහෙන්ද මේ තරම් දිගු ආලෝචන ලියන්න කාලය? රැකියා දෙකක් අතර මැද ද ඉන්නේ?

      Delete
  9. සමහර විචාරකයො පොත් විචාරය කරන්නෙ සල්ලිවලටත් එහා දේවල් අරමුණු කරගෙන. ගෑනු ලියන පොත්වලට විචාර ලියලා දාර්ශනික කතා කියල ඒ ගෑනුන්ව ලිංගිකවත් පාවිච්චි කරල උන්ගෙ පර්ස් එකටත් විදලා ඊලඟට පොතක් ලියන තව ලේඛිකාවකට බැල්ම දානවා. ඕක තමයි ලංකාවෙ පශ්චාත් නූතනවාදී විචාර විධි ක්‍රමය.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.