2016-09-19

රමිඳු පෙරේරා නම් කවියාගේ සිතට නිදැල්ලේ එන සිතිවිලි

සැප්තැම්බර් 4 වන දා රාවය පුවත්පතේ පල වූ අජිත් පැරකුම් ජයසිංහ විසින් රචිත 'සයිටම් වාමාංශිකයෝ' නම් ලිපිය හා එම පුවත්පතේම පල වූ පුද්ගලික විශ්ව විද්‍යාලවලට සහය පල කරමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් දුන් සම්මුඛ සාකච්ඡාවකට ප්‍රතිචාර ලෙස රමිඳු පෙරේරා විසින් ලියන ලද ලිපියක් අක්ෂය වෙබ් අඩවියේ පළ වී තිබේ.

මෙම ලිපිය එම සම්පූර්ණ ලිපිය පිළිබඳ නො වේ. එහි පහත සඳහන් කොටසෙහි තර්කනය පිළිබඳවයි.

1. පලමුව කිව යුත්තේ අජිත් පැරකුම්ගේ ප්‍රස්තුත ලිපිය කිසිදු පදනමක් නොමැතිව අශාස්ත්‍රීය ලෙස සිතට එන සිතුවිලි ලිවීම පිලිබද කදිම සාම්පලයක් බවයි. කරුනු කිහිපයක් මෙසේය. ඔහුට අනුව රජයේ වෛද්‍යවරුන් සිතා මතා වෛද්‍ය හිගයක් රට තුල නඩත්තු කරති. ඒ රෝගීන්ව සූරාකෑමේ අරමුණෙනි. මෙවැනි නිගමනයකට අජිත් පැරකුම් එලැඹෙන්නට පදනම් කරගත් සාධක මොනවාද? මේ ආකාරයේ බරපතල ප්‍රකාශයක් ඔහු කරන්නේ කවර අනුභූතික සාක්ෂි මත පදනම්වද?

2. ඔහු තවදුරටත් කියන්නේ මෙම අරගලය වෛද්‍ය සිසුන්ගේ පටු අරගලයක් බවත්, වෛද්‍ය සිසුන් දේශනවලට යන විට ශාස්ත්‍ර පීඨවල සිසුන් පාරේ උද්ඝෝෂණ කරන බවත්ය. එය එසේ බව සිතීමට තිබෙන කැමැත්ත හැර මෙම ප්‍රකාශය සනාථ කරවන කිසිදු කරුණක් අජිත් පැරකුම් සතුව වේද? ඔහු මෙසේ ලියන්නේ පසුගිය දිනවල තිබූ ශිෂ්‍ය උද්ඝෝෂණවලට වෛද්‍ය සිසුන් කොපමණ පැමිණියාද,විශ්ව විද්‍යාල ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහවලට වෛද්‍ය සිසුන් සහභාගී වන අනුපාතය කවරක්ද ආදිය ගැන සොයා බැලීමකින් පසුවද?

3. ඔහුට අනුව සයිටම් විරෝධය පසුව වම්මුන් කර ගැසූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කොන්ත්‍රාත්තුවකි. එහෙත් සත්‍යය නම් මෙම ආයතනයට රාජපක්ෂ යුගයේ පටන් විරෝධය පල කිරීමට පුරෝගාමී වූයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධාන බවත් ඒ සම්බන්ධ ප්‍රමාණවත් විරෝධයක් නොදැක්වීම පිලිබදව එම සංවිධාන වෛද්‍ය නිලධාරී සංගමය කෙරෙහි විවේචනාත්මක වූ බවත්ය. අජිත් පැරකුම් ලියන්නේ මේ කිසිවක් සොයා නොබලාය.

4. මේ සරල නිදසුන් කිහිපය මුලින්ම සදහන් කලේ අජිත් පැරකුම් වැනි අය ලියන බොහෝ 'විශ්ලේෂණ' කරුනු මත පදනම් වූ දේවලට වඩා සිතට එන සිතිවිලි නිදැල්ලේ ලිවීමක් නියෝජනය කරන හෙයිනි. යම් සමාජ ක්‍රියාවලියක් විග්‍රහ කිරීමේ දී අප පදනම් විය යුත්තේ දත්ත සහ කරුණු මතය. සිතට එන සිතිවිලි නිදහසේ ලිවීම හොද කවියෙක්ගේ ලක්ෂණයක් විය හැකි වුවද සමාජ විචාරය සම්බන්ධව ගත් කල එය ඉතාම නරක දුබලතාවයකි.

මේ එක් එක් ඡේදයක් පිළිබඳ අප විසින් පෙරළා මෙම ප්‍ර‍ශ්න මතු කරන්නෙමු.

1.  දැන් මෙතැනදී අනුභූතික කියලා රමිඳු බර වචනයක් පාවිච්චි කරනවා. (වාමාංශිකයන් මෙවැනි බර වචනවලට හරි කැමතියි) මම හිතන්නේ ඔහු භාවිතා කරන්නේ empirical කියන ඉංග්‍රීසි වචනයේ සිංහල අරුත විය යුතුයි. මං මේ ලොකු වචන දන්නෙ නැති නිසා මම ඒවා ඉගෙන ගනිමිනුයි මේ ලියන්නේ. ඔහු අදහස් කළේ ඒ වචනය නම්, එහි තේරුම මෙන්න මෙහෙමයි:

1. derived from or guided by experience or experiment.
2. depending upon experience or observation alone, without using scientific method or theory, especially as in medicine.
3. provable or verifiable by experience or experiment. (dictionary.com)

අනුභූතික යන සංස්කෘත වචනයේ තේරුම මේ ලෙස සඳහන් වෙනවා.

(in philosophy) knowledge gained by means of the four pramāṇa-s (perception by the senses, inference, comparison, and verbal authority)

මවිසින් ඉදිරිපත් කරන නිරීක්ෂණය ඔය කියන ආකාරයේ අනුභූතික සාක්ෂි මත පදනම් කරන්න ය කියලා නේ ඔය කියන්නේ. මෙන්න අනුභූතික සාක්ෂි: වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට ඉවහල් විය හැකි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට රජයේ වෛද්‍යවරුන් දිගින් දිගට ම විරුද්ධ වීම, ශ්‍රී ලංකාවට වෛද්‍යවරුන් විදේශයන්ගෙන් ගෙනැවිත් සේවයේ යොදවනවාට විරුද්ධ වීම හා වෛද්‍ය හිඟය කේවල් කිරීම සඳහා භාවිතා කරමින් සෙසු රජයේ සේවකයන්ට වඩා වරප්‍ර‍සාද භුක්ති විඳිමින්, රජයේ සේවයේ යෙදෙන ගමන් ම පෞද්ගලික ව්‍යාපාරවල යෙදීම.

මේ අනුභූතික සාක්ෂි ඕනෑම කෙනෙක් දන්නා දේවල් මිස අලුත් කාරණා නෙමෙයි. මෙතැනදී ප්‍ර‍ශ්නය ඇති වන්නේ මෙහෙමයි. මේ සාක්ෂි පිළිගන්නට රමිඳු කැමති නැති බවක් පෙනෙනවා. ඒ වුණාට රමිඳු මෙහෙමත් කියනවා.

2009 යුද්ධය අවසාන වූ පසු ලංකාව නව ලිබරල්කරණයේ අලුත් අවධියකට පිවිසි අතර මේ වනවිට රාජපක්ෂ යුගයේ නව ලිබරල් ව්‍යාපෘතිය මත තවරා තිබූ ජාතිවාදී වහන්තරාව ඉවත් වී නිදහස් වෙළදපොලට අවශ්‍ය ලෙස සමාජය ප්‍රතිසංවිධානය වීමේ ව්‍යාපෘතිය නග්න ලෙස අප ඉදිරියේ දිග හැරෙමින් ඇත.

දැන් මම මෙහෙම ඇහුවොත් රමිඳු මොන වගේ උත්තරයක් දෙයි ද? ලංකාව නව ලිබරල්කරණයේ අලුත් අවධියකට පිවිසුණා ය කියා රමිඳු කියන්නේ කුමන අනුභූතික සාක්ෂි මත පදනම්ව ද?

රමිඳුගේ අනුභූතික සාක්ෂිත් අර මම ඉදිරිපත් කරපු ඒවා වගේ ම වෙන්න පුළුවන්.

රමිඳු අහන්නේ දත්ත මත පදනම් වූ සාක්ෂි නම්, ඔන්න අපි දෙන්න ම අමාරුවේ. මොකද, එතකොට අපි දෙන්නට ම තව අධ්‍යයනය කරන්නට වෙනවා. දත්ත සපයන්නට වෙනවා. අදහස් ලියනකොට එසේ දත්ත මත පදනම් වෙන එක විද්‍යාත්මකයි. එහෙත්, රමිඳුට පුළුවන් ද දන්නෙ නැහැ ඔහු පදනම් වන මාක්ස්වාදය විද්‍යාත්මක ය කියා පෙන්වන්නට.

හැබැයි ඉතින් දැනට නම් රමිඳුයි, මමයි වෙනසක් නැහැ. ඔහු මේ කොටසේදී ලියන්නෙත් කිසිදු පදනමක් නොමැතිව අශාස්ත්‍රීය ලෙස සිතට එන සිතුවිලි ලිවීම පිලිබද කදිම සාම්පලයක් ම තමයි. හැබැයි, රමිඳු හිතාගෙන ඉන්නවා එයා මං වගේ නෙමෙයි කියලා. එච්චරයි වෙනස.

2. මං හිතන්නේ මෙතනදිත් අදාළ වෙන්නේ අංක 1 යටතේ සඳහන් කළ කරුණු ම තමයි.

3. මෙතනදී රමිඳුට අවශ්‍ය නම් පරණ පුවත් සබඳතා පුරුක් වගේ දේවලින් ඔහු කියන දෙයට සාක්ෂි සපයන්නට පුළුවන්. ඒ වුණාට, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධාන කියන්නේ වම ය කියන එක නම් අනුභූතික සාක්ෂිත් නැති, එසේ බව සිතීමට තිබෙන කැමැත්ත හැර මෙම ප්‍රකාශය සනාථ කරවන කිසිදු කරුණක් නැති සිතට එන සිතිවිලි නිදැල්ලේ ලිවීමක්. 

4. දැන් මේ ඡේදය මම නැවත මෙසේ ලිව්වොත් කොහොම ද?
“මේ සරල නිදසුන් කිහිපය මුලින්ම සදහන් කලේ රමිඳු පෙරේරා වැනි අය ලියන බොහෝ 'විශ්ලේෂණ' කරුනු මත පදනම් වූ දේවලට වඩා සිතට එන සිතිවිලි නිදැල්ලේ ලිවීමක් නියෝජනය කරන හෙයිනි. යම් සමාජ ක්‍රියාවලියක් විග්‍රහ කිරීමේ දී අප පදනම් විය යුත්තේ දත්ත සහ කරුණු මතය. සිතට එන සිතිවිලි නිදහසේ ලිවීම හොද කවියෙක්ගේ ලක්ෂණයක් විය හැකි වුවද සමාජ විචාරය සම්බන්ධව ගත් කල එය ඉතාම නරක දුබලතාවයකි."

රමිඳු පෙරේරා කියන්නේ තවම ඔහු කඩේ යවන්නට බලා සිටින සෙසු වාමාංශිකයන් මෙන් අං ගිලපු අංකූරෙක් නො වේ. ඔහුගේ සාපේක්ෂ අවංකකම නිසා ඔහු ප්‍ර‍ශ්නවලට විසඳුම් සෙවීමට උත්සුක වීම ඇත්තෙන් ම අගය කළ යුතු ය. කපටීන් හා කුහකයන් නො වී ඇත්ත සමාජ ප්‍ර‍ශ්න සමග සංවාද කළ හැක්කේ එසේ ය. එහෙත්, ලොකු රවුමක් ගොස් ඔහු ආපසු ඇවිත් ඉන්නේ අප සිටින තැනට ම ය. 

විශ්වවිද්‍යාල ප්‍ර‍ශ්නයට ඔහු යෝජනා කරන විසඳුම මෙන්න:

“ඒ අනුව දැනට තිබෙන අධ්‍යාපන ප්‍රශ්නය විසදීම සදහා ද්විත්ව ප්‍රවේශයක් අවශ්‍ය යැයි යෝජනා කල හැක. පලමුව අධ්‍යාපනයේ සම අවස්ථා සමාජයට තහවුරු කෙරෙන සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් ඇති කල හැකි එකම මාර්ගය වන නිදහස් අධ්‍යාපන පද්ධතිය පුලුල් කිරීම සදහා වූ අධිෂ්ඨානසහගත වැඩපිලිවෙලක් හා ඊට පහසුකම් සැලැසිය හැකි ලෙස ආර්ථිකය සංවිධානය කල හැකි මොඩලයක්.

“දෙවනුව, එය සිදු වන තුරු තාවකාලික අතරමැදි විසදුමක් ලෙස නාමික හෝ සහනදායී ගාස්තු මත සුදුසුකම්ලාභීන්ට රාජ්‍ය ආයතනවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම හා පවතින පුද්ගලික ආයතනවල ගාස්තු දැඩි සීමා කිරීමට යටත් කිරීම.

“දෙවැන්න අවශ්‍යයෙන්ම පලමුවැන්නට යටත් විය යුත්තකි. රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් අධ්‍යාපන පිලිවෙතට එරෙහිව ඉදිරිපත් කල හැකි වාම-ප්‍රජාතාන්ත්‍රීය විකල්පය වූ කලී එයයි.“ - රමිඳු පෙරේරා (අක්ෂය)

දෙවෙනි එක අඩු වැඩි වශයෙන් අප විසින් යෝජනා කරන එක ම තමා ය.

පළමුවෙනි එක ඔහුටවත් තේරෙනවා නම් පැහැදිලි කර දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

31 comments:

  1. අනුභූතික කියන්නේ මොන වගේ භූතයෙක්ට ද පැරා ?
    මේවා කියෝලා මගේ ඔලුවත් කචල් උනා
    අල්ලලා දාන්න
    අපේ හාමු මහත්තයට පින්සිද්ද වෙන්න ඕන
    පැරා අපිනං ලේස්තිවෙලා ඉන්නේ ITN එකේ අද රෑට යහපාලන වැල බලන්න.
    පැරත් දරුමල්ලෝ නිදිකරෝල ලේස්ති වෙන්න.
    පැරා කැමති මොන වගේ වැල වලටද ?

    ReplyDelete
    Replies
    1. තෝ වගේ මරාගේ වැල ඇද්ද එකෙක් හෙට අනිද්දට මරාගේ පවුලේ හැත්තම හිරේ ගියාම බෙල්ලේ වැල දාගන්නවා බලන්න තමයි අපි කැමති. හරිද වැලයෝ.

      Delete
    2. මරාගේ හොර තක්කඩි කාඩ පවුලයි උගේ වහල් බයි අමුම අමු ගොං හැත්ත බුරුත්තම පිටින් එල්ලුං ගහට ගියත් අපිට මොකෑ බන්. ඒක නෙවෙයි කේස් එක, මරාගෙ ගොබ්බ රැල යටින් රනිල් එක්ක ඩීල් දාගෙන බොරු නාටක විගඩං පෙන්න පෙන්න නටවන තොපි වගේ රනිල් හාමුගෙ සිරිකොත වැසිකිලි දිවෙන් ලොවන අමුම මැටි සක්කිලියන්ගේ ගොං බලාපොරොත්තු දැක්කම හිනා යන්නෙ පස්චාත් බාගෙන් ඕයි.

      බලං හිටපිය හෙට අනිද්දට මරාගේ පවුලේ හැත්තම හිරේ යවයි මේං කියල ගොං හැත්ත.

      Delete
    3. AnonymousSeptember 19, 2016 at 1:56 PM කැමති මොන වැලටද ? කොළු සීන් කෝන් වලට නේද ?
      අපේ අගමැති තුමාගේ අණින් බ්‍රොක් බැක් මවුන්ටන් වගේ ඒවත් පෙන්නයි

      Delete
    4. ඇත්තටම යහපාලන කියන වැදගත් වචනයත් දැන් විහිලුවක් වෙලා. විශේශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ශෙන් එක්කහු කරගත්ත අපත රැල නිසා. මෛත්‍රී කොච්චර සැලකුවත් ඕකුන් නම් සත පහකට ශුවර් නැහැ. ඔය ගොඩක් සංධාන පල් හොරුන්ගෙන් ආණ්ඩුවට සෙට් වෙච්ච උන්ගෙ හක්කෙ "මෛත්‍රී" තිබ්බත් බොක්කෙ ඉන්නෙ මරා කල්ලිය. ඉතින් මරා කල්ලියට විරුද්ධව ගේම අදින එක ලෙහෙසි නැහැ.

      Delete
  2. ලිපි දෙකම කියවා බැලුවා. පෙනෙන හැටියට රමිඳුගේ තර්ක වඩා නිවැරැදි බවක් පෙනෙනවා. අජිත් පැරකුම් සොයුරා මෙම කාරණය පිළිබඳව වඩාත් හැදෑරිය යුතු බව අප වැනි නූගතුන් ගේ වැටහීමයි. කෙසේ නමුත් වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම මද බැවින් වැඩි යමක් දැනට නොකියමි. තවත් මේ ගැන විස්තර සොයා බැලීමට ඉටා ගත්තෙමි. ස්තූතියි අජිත් මෙබඳු කාලෝචිත මාතෘකා කරලියට ගෙන ඒම ගැන.

    ReplyDelete
  3. ඉහත දෙවෙනි යෝජනාව තමා බොහොවිට සුදුසු ක්‍රමය හැටියට සැලකිය හැක්කෙ. උසස්පෙල ඉතා උසස් ලෙස සමත්වන්නන්ට නොමිලෙ අද්‍යාපනයත් අඩු ලකුණු එහෙත් සමත්වන්නන්ට සහනදායි ගාස්තු සහ නය ක්‍රමයක් යටතෙ රජයේ විශ්ව විද්‍යාල වල පාටමලා හදැරිමට අවස්ථා සලසා දිය හැකිය. මෙම යෝජනාව MY3 ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වී පැවතුනද එයද තවත් එක් පොරොන්දුවක් බවට පත්වූ බව පෙනේ.

    ReplyDelete
  4. 100%ක් stats සහ dataමත පදනම් වෙලා ලියුවොත් එක්සෙල් ශීට් එකක් වගේ තියෙයි. ලේඛකයකුට පුලුවන් තම්න්ගෙ දැනුම හා අත්දැකීම් මත විශ්ලේෂණයන් ඉදිරිපත් කරන්න. කියවන අයට හැකියාව තියෙන්න ඕනේ ඒවා නිවැරදිව පරිශීලනය කරන්න..

    ReplyDelete
  5. Onna Dan gamayath maathalange support ekata mithyawa wapuranawa, ane anichchan kiwwalu. Umbalath parissam weyalla, malagiya prana karayo gennannayi kathawa

    ReplyDelete
    Replies
    1. සිරාවට මාත් දැක්කා. කතා කරගෙන ගේම යන්නේ.

      Delete
  6. It all smells a rat to me! These guys could be up to creating some scam like some of those guys who used their blog publicity for horoscope reading like things! It all look pretty organised, looking at the gullibility o our common mass!

    ReplyDelete
  7. නො දන්න නිස යි අහන්නේ. දැන් ඔය රමිඳු ‍ලක්ඛිත පෙරේරාත් හිරු කණ්ඩායමේ න්‍යායාචාර්යවරයෙක් ලු ද? මේක මාර කෙළියක්නේ බං පැරා. දැන් බලාගෙන යද්දී රොහිත භාෂණ සහෝදරයලා, ටෙරල් අබේසිංහලා, ජූඩ් ලාල් ප්‍රනාන්‍ඳුලා තම යි හිරු කණ්ඩායමේ ඉඳලා නැත්තේ. අමතක වුණා අජිත් පැරකුම් ජයසිංහලා. මේ නාඩගම්වලට පැරත් වගකියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හිරු කණ්ඩායම කියන්නෙ කුඩු දුමියගෙ චැනල් එකේ ස්ටාෆ් එකද?

      Delete
  8. //රමිඳු ‍ලක්ඛිත පෙරේරාත් හිරු කණ්ඩායමේ න්‍යායාචාර්යවරයෙක් ලු// මම නම් දන්නෙ නැහැ.

    මේක මෙතන දාන එකා මම නො කියපු දෙයක් මෙතන ලියන්නෙ ඔය නම් තුන ලියාගෙන මං ලවා මොනවා හරි කියවා ගන්න වෙන්න ඇති.

    පව්! මාර ආසාවක් තියෙන්නෙ!

    යකෝ වැඩක් කරලා ප්‍රමෝට් වෙයල්ලා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයේ නවතම ප්‍රවනතාවය, එකිනෙකා පෞද්ගලිකව කකුල් පලල් කරගන්න එක පමනක්නම්, කියවන අපට පොඩි අපහසුවක්. සමාව භාජනයකට දාන්න ඕන එහෙම කිව්වට.

      Delete
  9. පැරා ගේ මෝඩ තර්කයේ වරද පෙන්වීමට පෙර කරුණු කීපයක්. 1: වෛද්‍ය වරුන්ගේ ජනප්‍රිය පාසල් ඉල්ලීමට මා විරුද්ධය. 2: degree mills නොවන විධිමත් තත්ත්ව පාලිත පුද්ගලික අද්යාපනයට මා පක්ෂය.

    දැන් පැරා ගේ තර්කය:

    පැරා කියන්නේ මේ කරුණු සාක්කි කියලා වෛද්‍ය වරු සිතා මතා වෛද්‍ය හිඟයක් නඩත්තු කරනවා කියන්න.

    // වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට ඉවහල් විය හැකි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට රජයේ වෛද්‍යවරුන් දිගින් දිගට ම විරුද්ධ වීම, ශ්‍රී ලංකාවට වෛද්‍යවරුන් විදේශයන්ගෙන් ගෙනැවිත් සේවයේ යොදවනවාට විරුද්ධ වීම හා වෛද්‍ය හිඟය කේවල් කිරීම සඳහා භාවිතා කරමින් සෙසු රජයේ සේවකයන්ට වඩා වරප්‍ර‍සාද භුක්ති විඳිමින්, රජයේ සේවයේ යෙදෙන ගමන් ම පෞද්ගලික ව්‍යාපාරවල යෙදීම. //

    වෛද්‍ය වරු මේවාට යම් යම් හේතු උඩ මේවා කරන එක ඇත්ත. මේ දේවල් කෙරුනා නම් (කොලිටිය කොහොම වෙතත්) රටේ වෛද්‍ය වරු වැඩි වෙන එකත් ඇත්ත. නමුත් ඒකෙන් ගම්‍ය වෙන්නේ නැහැ වෛද්‍ය වරු මේවා කරන්නේ රටේ වෛද්‍යවරු අඩු කරන්න ම ප්ලෑන් කරන් කියලා. මේවා සාක්කි නෙවෙයි.

    මේවා පිළිගත හැකි සාක්කි නම් පහත තර්කද ඇත්ත විය යුතුය.

    පැරාට රට ගිය උන් එක්ක ඇත්තේ පට්ට ඉරිසියාවකි.
    සාක්කි:
    පැරා ලංකාවේ ඉඳීම.
    රට ගිය උන් බොහොමයක් පැරාට වඩා හොඳ ජීවිත ගෙවීම.
    පැරා ලිව්වොත් උන් ගැන හොඳක් නොව නරකක් ම ලිවීම.

    පැරාට නූගතෙක් නිසා ඉගෙන ගත් දොස්තරලා ගැන පට්ට ඇරියස් එකක් ඇත.
    සාක්කි:
    ට්‍රයි කරලත් පැරාට ඩිග්රියක් ගන්න බැරි වීම. (ඇත්ත නේ)
    දොස්තරලාට ඩිග්රි තිබීම (හොඳයි නැද්ද)
    පැරා දොස්තරලා ගැන ලිව්වොත් ඇත්නම් නරකක්ම ලිවීම (යකෝ හැබෑ නේන්නම්)

    මූදු කොල්ලකරුවන්ගේ අඩු වීම ලෝකයේ උෂ්ණත්වය ඉහල යාමට හේතු වේ.
    සාක්කි:
    එන්න එන්නම මූදු කොල්ල කාරයෝ අඩු වෙනවා.
    එන්න එන්නම උෂ්ණත්වේ ඉහල යනවා.

    පැරා ට තේරෙන ඉංග්‍රීසි ටික correlation does not mean causation යන්න තේරීමට ප්‍රමාණවත් ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. අනෙක මේ ඊනියා "සාක්කි" කරුණු වශයෙන් ද පදනම් විරහිතය.

      1. සයිටම් එකට විරුද්ධ උන් සියල්ල "පුද්ගලික අධ්‍යාපනයට" විරුද්ධ බව කීම බාල තර්කයකි.

      2. විදේශ රටවල උපාදි ගෙන එන උන්ට මේ රටේ වැඩ කිරීමට වෛද්‍ය සභාවෙන් පිලි ගන්නා ප්‍රතිපාදන ඇත. එයට මා දන්නා පරිදි නම් බහුතරයක් වෛද්‍ය වරු විරුද්ධ නැත. වෘත්තිකයන් විදේශ වලින් හෝල් සේල් ආනයනය කරන ගිවිසුම් වලට විරුද්ධ දොස්තරලා පමණක් නොවේ. එංගලන්තයේ සුද්දන් Brexit එකට චන්දය දුන් හේතු අරූ ගෙන් වත් අසා දැන ගන්න.

      3. වෛද්‍ය හිඟය කේවල් කිරීමට නම් සයිටම් රජයට පවරා ගන්නට ඉල්ලන්නේ ඇයි? මා මේ ඉල්ලීමට විරුද්ධ වුවත්, මේ කරුණම පැරගේ තර්කයේ අඩුව පෙන්වයි. සයිටම් එකේ උන් එක්ක ෆයිට් කරනවට වඩා අමාරුයි නේ එහෙනම් තව ආණ්ඩුවේ ෆැකල්ටි එකක් එක්ක රස්සා වලට ෆයිට් කරන්න.


      Delete
    2. Please see my thought on this below- in ano comment 10.36pm

      Delete
    3. Profile Ano,

      Nicely explained. Thanks a lot mate.

      Delete
    4. ඉන්දික එල මචං

      Delete
    5. ඇනොනිමස් ඉහත දක්වන කරුණුවලිනුත් පෙනෙන්නේ අනුභූතික සාක්ෂි පිළිගැනීම නො ගැනීම පුද්ගල කැමැත්ත මත තීරණය වන දෙයක් බවයි.

      මා පිළිබඳ අනුභූතික සාක්ෂි ඉදිරියේ වරහන් ඇතුළේ ඔහු ලියා තිබෙන්නේ ඔහුගේ කැමැත්ත.

      මේක මං හිතන්නේ ඔය දර්ශනවාදීන්ගෙන් අහලා දැන ගත යුතු කාරණයක්.

      Delete
  10. Doctorsla thamange panthiya, bamunu kulaya, gobba status eka maintain karanna, protect karaganna katayuthu karana bawa rahasak nemeyi. Pasugiya wasara kihipayaka mowun strike karapu hethu tikak hoyala balanna.
    Nurse lata training ekak denawata wiruddhawa me gobbayo island wide strike ekak kale mona sadachara padanamakinda? Rogiyata athi mona karunawakinda? Thamange waraprasada araksha kara ganimata Nihina lesa strike pawichchi karana bawa obalata nopenunata as aragena inna samanya minihata hondin ma penawa. Ethana thiyenne thamange panthiya thathwaya elesama pawathwa gena yame asawa noweda? Medical science igena ganna shishyainta clinical practice laba denna wiruddha wenne, ekata wiruddhawa strike karanne Mona sadacharamaya padanamakinda?

    ReplyDelete
  11. පුස්සෑලැව පොලිස් සිරමැදිරියක තරුණයෙක් දිවි නසා ගැනීම නිසා පොලිසියට එරෙහි උද්ඝෝෂණයකදී එහි පැමිණි අමාත්‍ය පී. දිගම්බරන් උද්ඝෝෂකයන් ඉදිරියේ පොලිස්පතිට දුරකථනයෙන් අමතා පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති වහාම මාරු කිරීම නියෝග කල අයුරැත් ඒ අනුව එම නිලධාරියා ගම්පොල පොලීසියට අනුයුක්ත කොට තිබීම ගැනත් මහජන අයිතීන් සුරැකීමේ පදනම විරෝධය පල කරයි.

    එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    පොලිස් කොමිසමේ බලතල ඇමති දිගම්බරන්ට ලැබුනේ කවදාද ?

    පුස්සෑලැව බල ප‍්‍රදේශයේ සිරමැදිරියක් ඇතුලත දිවි නසා ගත් තරුණයෙක් වෙනුවෙන් පොලිසියට එරෙහි උද්ඝෝෂණයක් දැකගත හැකි විය. එහිදී යහපාලනය වෙනුවෙන් කැප වුණු ප‍්‍රබල අමාත්‍යවරයෙකු වන පී. දිගම්බරන් මැතිතුමා විසින් එම උද්ඝෝෂකයන් ඉදිරියේ පොලිස්පති තුමාට දුරකථනයෙන් අමතා ස්ථානාධිපති තුමා වහාම මාරු කිරීම නියෝග කරන අයුරු දැකගත හැකි විය. එහි ප‍්‍රතිඵලය විශේෂ රාජකාරි ලෙස ඔහුව ගම්පොල පොලීසියට අනුයුක්ත කොට ඇත.

    තරුණයාගේ සිදුවීම අප හෙලා දකින අතර පසුගිය රජයට බැණ වැද 19 වන සංශෝදනය සම්මත කොට ස්වාධීන කොමිෂන් සභා පිහිටවා ඇති මොහොතක ඇමති දිගම්බරන්ට මෙසේ නියෝග දිය හැක්කේ කෙසේද ?

    තවද තොන්ඩමන් පොලිස් ස්ථානවල යකා නැටු අකාරය අප දන්නා අතර මොහුද ඊට නොදැනිව ආකාරයට ක‍්‍රියා කිරීම යහපාලන ආණ්ඩුවකින් අප බලාපොරොත්තු දෙය නොවන අතර වහාම මෙය ඇමතිවරයාගේ ක‍්‍රියාකාලාපය ගැන රජයේ ස්ථාවර වහා රටට හෙලි කරන ලෙස අප ඉල්ලා සිටින අතර තවද පොලිස් කොමිසම ද මේ සම්බන්ධයන් පරීක්ෂණයක් සිදුකල යුතු බවද අප ඉල්ලා සිටිමු.

    ස්තූතියි,
    මෙයට,
    ජාතික සංවිධායක – අසේල සම්පත්

    ReplyDelete
  12. මේ විකාර හින්ද මාතලන් ගැන කතා කරන්න අමතක වෙනව.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔසී රටේ පොර ටෝක් ඔස්තාද් බකපණ්ඩිත උන්නාන්සෙ ගැනත් ටෝක් කරන්න අමතක උනා ඒ ගමන්ම !

      Delete
    2. මේ බර්නින්ංග් ඉෂූ එක ගැන උන්වහන්සේගේ ඥාණ කදම්බය තවම යොමු වී නැති සෙයකි!

      Delete
  13. සටන් විරාමයට පෙර ලියවුණු සාමකාමී ලියවිල්ලක් බව කරුණාවෙන් සලකන්න!

    1/5

    රමිඳු ලක්ඛික පෙරේරාගේ රොමෑන්තික කවියට පිළිතුරු දෙන අජිත් පැරකුම් ජයසිංහගේ වාද බයිලාව පිළිබඳ සංසන්දනාත්මක දර්ශන විද්‍යාත්මක පරිකථනයක්
    =====================================================================================================

    තරුණ වාමාංශික බුද්ධිමතෙකු වන රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා විසින් ලියවුණු ලිපියක් විශ්ලේෂණය කරන ප්‍රවීණ දේශපාලන විචාරක, පෙරපරදෙදිග භාෂාදර්ශන විශාරද සහ විශ්‍රාමික ඉංගිරිසි උපගුරු අජිත් පැරකුම් ජයසිංහ මහත්මා අනුභූතික යන පදය පිළිබඳ විද්වත් අදහස් දැක්වීමක් කරයි. පෙරපරදෙදිග භාෂා දර්ශනය පිළිබඳ ජයසිංහ මහත්මා තරම් විශාරදත්වයක් මෙම ලියුම්කරුට නොමැති වුව ද ලියුම්කරුගේ නැණ පමණට ජයසිංහ මහත්මාගේ විග්‍රහය ඉදිරියට ගෙන යාම මෙම ලිපියෙහි අරමුණ ය.

    රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා ජයසිංහ මහත්මාගේ අදහසක් පිළිබඳ මෙසේ පවස යි (උපුටනය පෙරේරා මහත්මා ලියා ඇති ආකාරයෙන් ම දක්වා ඇති බව සලකන්න):

    “ඔහුට අනුව රජයේ වෛද්‍යවරුන් සිතා මතා වෛද්‍ය හිගයක් රට තුල නඩත්තු කරති. ඒ රෝගීන්ව සූරාකෑමේ අරමුණෙනි. මෙවැනි නිගමනයකට අජිත් පැරකුම් එලැඹෙන්නට පදනම් කරගත් සාධක මොනවාද? මේ ආකාරයේ බරපතල ප්‍රකාශයක් ඔහු කරන්නේ කවර අනුභූතික සාක්ෂි මත පදනම්වද?”

    ඉහත ප්‍රකාශයේ එන “අනුභූතික සාක්ෂි” යන වදන් ද්වයය නෙත ගැටි සැණ ජයසිංහ මහත්මා දණ්ඩෙන් පෙ‍ළන ලද සර්පයෙකු සේ කිපෙන්නේ “දැන් මෙතැනදී අනුභූතික කියලා රමිඳු බර වචනයක් පාවිච්චි කරනවා. (වාමාංශිකයන් මෙවැනි බර වචනවලට හරි කැමතියි)” යනාදී වාග් ප්‍රහාරයක් පෙරේරා මහත්මාට මතු නො ව සමස්ත වාමාංශික සුධීමත් ප්‍රජාවට ම එල්ල කර යි. ඉනික්බිති ව ජයසිංහ මහත්මා භාෂාදර්ශන විෂයෙහි තම අසමසම පාණ්ඩිත්‍ය විදහා දක්වමින් “අනුභූතික” යන වදනට අරුත්නිරුත් දක්ව යි. ජයසිංහ මහත්මා අනුභූතික යන්නට ඉංගිරිසියෙන් ද සංස්කෘතයෙන් ද අරුත් බිණි යි.

    ජයසිංහ මහත්මා දිවුරුම් දුන් වෘත්තීය භාෂා පරිවර්කයෙකු බව පැවසේ. ඒ මහත්මාගේ භාෂා පරිවර්තන සේවය ලබා ගන්නා ජාතික සහ අන්තර්ජාතික ආයතන නාමාවලියක් ද ඒ මහත්මාගේ නිල වියුණුසටහන් අඩවියෙහි දැක ගත හැකි ය. ලාංකික භාෂා පරිවර්තකයන්ගේ අනන්‍ය ලාක්‍ෂණිකයක් ජයසිංහ මහත්මා වෙතින් ද විද්‍යාමාන වේ. එනම් මෙවලම් පරිවර්තන (mechanical translations) කිරීමේ නැඹුරුව යි. පරිවර්තනය කළ යුතු පෙළ වදනින් වදන ගෙන ශබ්දකෝෂය පෙරළා එම වදන්වල අරුත් ගෙන පරිවර්තිත පෙළ සැකසීම මෙවලම් පරිවර්තනයන්හි දී සිදු වේ. ප්‍රතිඵල ලෙස අගනා විසුළු පරිවර්තන බිහි වේ.

    එකී මෙවලම් පරිවර්තන නැඹුරු ව නිසා දෝ ජයසිංහ මහත්මා “අනුභූතික සාක්ෂි” යන සුනිශ්විත සංකල්පය නිරූපණය කෙරෙන පද ද්වයයෙන් “අනුභූතික” යන පදය වෙන් ව ගෙන ශබ්දකෝෂ පෙරළමින් නන් නයින් අරුත් බිණි යි. ප්‍රතිඵල ලෙස අගනා විසුළු අරුත් විවරු බිහි වේ. වාම බුද්ධිමතෙකු වන රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා විසින් සුනිශ්චිත අර්ථයක යෙදෙන සංකල්පයක් විකෘති කරන අජිත් පැරකුම් ජයසිංහ මහත්මා එමතු නො ව පෙරේරා මහත්මාගේ තර්කයනට ද විසුළු කර යි.

    අනුභූතික සාක්ෂි (සාක්‍ෂ්‍ය) යනු අපරදිග දර්ශනයෙහි ද පෙරදිග දර්ශනයෙහි ද මනාව විග්‍රහ වන්නකි. ජයසිංහ මහත්මා විසින් විශේෂ කර සඳහන් කරනු ලැබූ නිසා මෙම ලියුම්කරු අනුභූතිය, අනුභූතික සහ අනුභූතික සාක්‍ෂ්‍ය පිළිබඳ පෙරපරදෙදිග දර්ශන විද්‍යාහි විග්‍රහයන් කීපයක් මෙලෙස සක්‍ෂිප්ත ව දක්වනු රිසි ය.

    පළමු ව අපරදිග (බටහිර) දර්ශනය වෙත යොමු වෙමු. දැනුම පිළිබඳ අධ්‍යයනය හෙවත් විද්‍යාව බටහිර දර්ශනයෙහි ඥාන විභාගය (epistemology) නම් වේ. දැනුම පිළිබඳ අධ්‍යයනය බටහිර දර්ශනයෙහි අතිමූලික සංරචකයකි. දැනුමෙහි ස්වභාවය, විශ්වාසය සහ යුක්තිසාධනය ඥාන විභාගයෙහි මූලිකාංග ය. සලකනු ලබන යම් දැනුමක් පිළිබඳ විශ්වාසය යුක්තිසාධනය කිරීම යනු දැනුම පිළිබඳ කතිකාවෙහි ඉතා වැදගත් අවස්ථාවකි.

    දැනුමෙහි ප්‍රභවය හා පැවැත්ම අනුව දැනුම පිළිබඳ අධ්‍යයනය හෙවත් ඥාන විභාගය සංරචක කීපයකට වෙන් කළ හැකි ය:

    1. දැනුම බිහි වන්නේ මූලික ව ම සංවේදන අනුභූතීන් හෙවත් අත්දැකීම් නිර්ණායක (පාදක) කර ගෙන ය යන සංකල්පය - මෙය අනුභූතිවාදය (empiricism) නමි.

    2. දැනුම බිහි වන්නේ මූලික ව ම බුද්ධිය හා අපෝහනය නිර්ණායක (පාදක) කර ගෙන ය යන සංකල්පය - මෙය බුද්ධිවාදය/හේතුවාදය (rationalism) නමි.

    3. දැනුම යනුවෙන් සප්‍රමාණික ස්ථිතියක් පවතින්නේ නැත. එනිසා සප්‍රමාණික දැනුම ලබා ගත නො හැකි ය යන සංකල්පය - මෙය සංශයවාදය (scepticism) නමි.

    මෙම ලිපියෙහි විෂය පථයට අයත් වනුයේ අනුභූතිවාදය නිසා අපි අනුභූතිවාදය පිළිබඳ විමසා බලමු. දැනුම බිහි වන්නේ මූලික ව ම සංවේදන අනුභූතීන් හෙවත් අත්දැකීම් නිර්ණායක (පාදක) කර ගෙන ය යන්න අනුභූතිවාදයෙහි පදනම බව පෙර සඳහන් කෙරිණි.

    Cont ...

    ReplyDelete
  14. 2/5

    අනුභූතිවාදීහු සහජ දැනුම (innate knowledge), පුර්ව දැනුම (a priori knowledge) හෝ අන්තර්ඥානය (intuition), අවිෂ්කරණය (revelation), උද්ධාරය (deduction), උද්ගමනය (induction) යනාදී ක්‍රම මඟින් එළඹි දැනුම නො පිළිගනිති. අනුභූතිවාදීන්ගේ පිළිගැනීම වනුයේ ඉන්‍ද්‍රියගෝචර ව සංවේදනය මඟින් එළඹි දැනුම ය. එවන් අනුභූතික දැනුම ස්වභාවික (ජෛවීය සහ භෞතීය) විද්‍යාවන්හි එළඹ ගනු ලබන්නේ පර්යේෂණ ඔස්සේ සංවේදනය කරනු ලබන සාක්‍ෂ්‍ය මඟිනි.

    අනුභූතික සාක්‍ෂ්‍ය (සාක්ෂි) යනු යම් දැනුමක සත්‍යාසත්‍යතාව පිළිබඳ විශ්වාසය යුක්තිසාධනය කිරීම සඳහා උපයෝගී කර ගත හැකි, සංවේදන අත්දැකීම් (අනුභූතීන්) මත පදනම් වූ තොරතුරු ය. මෙකී අනුභූතික සාක්‍ෂ්‍ය (empirical evidence) බටහිර විද්‍යාවෙහි මූලික පදනම වන විද්‍යාත්මක ක්‍රමයෙහි සංඝටනීය අංගයකි (බටහිර වෛද්‍ය විද්‍යාවෙහි විද්‍යාත්මක පදනම අලළා ටොරන්ටෝවෙහි බන්‍ධුල කුදලාගම විසින් ලියවුණු සටහනෙහි විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ විග්‍රහයක් අඩංගු ව ඇත). අනුභූතික සාක්‍ෂ්‍යයන්හි නිර්වචනීය ලාක්‍ෂණික නම් එම සාක්‍ෂ්‍ය සමාචායනය කරනු ලැබූ සුපැහැදිලි ක්‍රමවේදයක් තිබීම, එම සාක්‍ෂ්‍ය ප්‍රතිසිද්ධ සහ සම්පරීක්‍ෂා කරනු ලැබිය හැකි වීම සහ එම සාක්‍ෂ්‍ය මඟින් අධ්‍යයනය කරනු ලබන ප්‍රපංචය පිළිබඳ සුපැහැදිලි නිර්වචනයක් තිබීම යනාදිය ය. අනුභූතික සාක්‍ෂ්‍ය සමාචායනයෙහි (රැස් කිරීමෙහි) දී අනභිනත (unbiased) වීම දැනුම පිළිබඳ වලංගුතාවක් ඇති වීම සඳහා ආවශ්‍යයික ය. අනුභූතික සාක්‍ෂ්‍ය ස්වභාවික විද්‍යාවන්හි‍ සේ ම සමාජ විද්‍යාවන්හි ද උපයෝගී වේ. අනුභූතික සාක්‍ෂ්‍ය, ප්‍රමාණාත්මක (quantitative) සේ ම ගුණාත්මක (qualitative) ද විය හැකි ය. ඒ දෙවර්ගයෙහි ම අනුභූතික සාක්‍ෂ්‍ය සංඛ්‍යාන විද්‍යාත්මක ව විශ්ලේෂණය කළ හැකි ය. අනුභූතික සාක්‍ෂ්‍ය තුළ ගැබ් වූ “අර්ථවිභව සහිත කරුණු (facts) සහ සංඛ්‍යා (figures)” හෙවත් දත්ත (data), තොරතුරු (information) සහ දැනුම (knowledge) බවට පත් වන්නේ මෙකී ක්‍රියාවලිය අවසානයෙහි දී ය.

    වාමාංශික බුද්ධිමතෙකු වන රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා කරුණාසීතල හදවතින් අජිත් පැරකුම් ජයසිංහ මහත්මාට තම විග්‍රහයන් අනුභූතික සාක්‍ෂ්‍ය, කරුණු සහ දත්ත මත පදනම් කර ගන්නා ලෙස ද තම සිතට නැඟෙන හුදු සිතිවිලි මත පදනම් නො කර ගන්නා ලෙස ද ආයාචනා කරන්නේ අප පෙර සාකච්ඡා කළ දාර්ශනික අර්ථයෙනි. එය ම ඥාන විභාගයෙහි පාරිභාෂික වදනින් පවසතොත් මෙසේ ය: ජයසිංහ මහත්මාණනි, ඔබ ඔබගේ විග්‍රහය සංවේදන දත්තයක් (sense datum) මත පදනම් කර ගනු මිස විඥාන දත්තයක් (ideatum) මත පදනම් නො කර ගනු මැනවි.

    දැනුම පිළිබඳ අනුභූතවාදී (empiricist) එළඹුම බටහිර දර්ශනයෙහි මූලාරම්භයෙහි සිට ම පැවති බව නිරීක්‍ෂණය කළ හැකි ය. ක්‍රිස්තු පූර්වයෙන් තුන්වැනි ශතවර්ෂයෙහි දී ඇරිස්ටෝටල් තම “On the Soul” කෘතියෙහි ලා පවසන්නේ මිනිස් සිත උපතෙහි දී දැනුමෙන් තොර බව ය. කිසිවක් නො ලියවුණු හිස් පතුරු පාෂාණයක් (ලතින් - tabula rasa, ඉංගිරිසි - empty slate) වැනි මිනිස් සිත මත දැනුම නම් අකුරු ලියවෙනුයේ බාහිර ලෝකය පිළිබඳ සංවේදනයෙහි අනුභූතිය කරණ කර බව අනූභූතවාදයෙහි අග්‍රේසරයෙක් ලෙස ද සැලකිය හැකි වන ඇරිස්ටෝටල් (ගුරුකුලයක් ලෙස සැලකීමෙහි දී බුද්ධිවාදියෙක්/හේතුවාදියෙක් වුව ද) විශ්වාස කළේ ය. ඔහුගේ ගුරුවරයා වූ ඇතන්ස්හි ප්ලේටෝ විසින් පැවසුණු පරිදි මිනිස් සිතෙහි පූර්ව-ඥානය දිව්‍යලෝකයෙහි දෙවියන් වහන්සේ සතු ව පැවත එම පූර්ව-ඥානය උපතේ දී මෙලොවට පැමිණ කය සමඟ සම්බන්‍ධ වන බව ඇරිස්ටෝටල් පිළිගත් බවක් නො පෙනේ. ඇරිස්ටොටල්ගේ අතිමහත් ශාස්ත්‍රීය සම්ප්‍රදානය ගැඹුරින් හදාරා, ශාස්ත්‍රීය පර්යේෂණ කර, ඒ පිළිබඳ ප්‍රසිද්ධ දේශන පවත්වා ඇති ජයසිංහ මහතා මෙම කරුණු මනා සේ දනී.

    ක්‍රිස්තු වර්ෂයෙන් දාහත්වැනි ශතවර්ෂයෙහි දී එංගලන්තයෙහි උපන් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ ජෝන් ලොක් ඉංගිරිසි අනුභූතවාදයෙහි අපට හමුවන වැදගත් ම දාර්ශනිකයෙකු බව පැවසීම යුක්ති යුක්ත ය. අනුභූතවාදය නුතන අර්ථයට වර්ධනය කළ ආදිකර්තෘ ‍ජෝන් ලොක් ය. ඇරිස්ටෝටල්ගේ හිස් පාෂාණය ලොක් විසින් සුදු කඩදාසියක් බවට පත් කෙරුණු අතර එම කඩදාසිය මත දැනුම ලිවීම ජීවිත කාලය පුරා සංවේදන (sense), ප්‍රත්‍යක්‍ෂ/සංජානන (perception) සහ ආවර්ජන (reflection) මඟින් සිදු වන බවට සංකල්පයක් ඔහු විසින් ගොඩ නැඟිණි. ජෝන් ලොක් තම “An Essay Concerning Human Understanding” කෘතියෙහි සිවි වැනි අනුග්‍රන්ථයෙහි ලා දැනුම පිළිබඳ වැදගත් අදහස් පළ කර ඇත. සංවේදන අනුභූතියට-පසු (a posteriori) දැනුමක් මිස සංවේදන අනුභූතියට-පෙර (a priori) දැනුමක් පැවතිය නො හැකි බව ලොක්ගේ මූලික තර්කය විය.

    Cont ...

    ReplyDelete
  15. 3/5

    දැනුම පිළිබඳ ලියවෙන මෙම ලිපිය ආරම්භයෙහි දී අප අනූභූතවාදය (empiricism) සහ ‍බුද්ධිවාදය/හේතුවාදය (rationalism) යන ඉගැන්වීම් දෙකක් පිළිබඳ සාකච්ඡා කළෙමු. බේකන්, ලොක්, බර්ක්ලි, හ්‍යුම් වැනි අනූභූතවාදීන් දැනුම වූ කලී සංවේදන අනුභූතියට-පසු (a posterior) දැනුම ම විය යුතු යයි ද ‍ ඩෙකාට්, ස්පිනෝසා, ලයිබිනීස් වැනි බුද්ධිවාදීන්/හේතුවාදීන් දැනුම වූ කලී සංවේදන අනුභූතියට-පෙර (a priori) දැනුම ම විය යුතු යයි ද පැවසීම නිසා යුරෝපා බුද්ධි මණ්ඩලය ප්‍රකම්පනය කළ ශාස්ත්‍රීය සංවාදයක් ඇවිළී ගියේ ය.

    අනූභූතවාදය (empiricism) සහ ‍බුද්ධිවාදය/හේතුවාදය (rationalism) අතර ඇති වූ ගැටුම පිළිබඳ සමථනයක් ඇති වනුයේ දහඅටවැනි ශතවර්ෂයෙහි දී ජර්මනියෙහි එම්මැනුවෙල් කාන්ට් විසින් “A Critique of Pure Reason” නම් යුගකාරක කෘතිය ලිවීමත් සමඟ ය. කාන්ට් මධ්‍යස්ථ අස්ථානයක එළඹුණු බව පැවසිය හැකි ය. කාන්ට්ගේ අදහස වූයේ හුදු සංවේදන අනුභූතියට-පෙර (a priori) දැනුමක් පැවතිය හැකි වුවත් එමත ම පදනම් ව හුදු තර්කයෙන් ම දැනුම ළඟා කර ගත නො හැකි බවත්, එලෙස ම හුදු සංවේදන අනුභූතියෙන් ම දැනුම ළඟා කර ගත නො හැකි බවත් ය. කාන්ට් යෝජනා කරනුයේ සංවේදන අනුභූතියට-පෙර දැනුමක් පවතින නමුත් එම දැනුම වඩා වර්ධිත දැනුමක් බවට පත් කර ගත හැකි වනුයේ එකී සංවේදන අනුභූතියට-පෙර පවතින දැනුම අනුභූතික දනුම සමඟ සම්බන්‍ධ කර ගැනීමෙන් බව ය. අජිත් පැරකුම් ජයසිංහ මහත්මා සහ රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා අතර වන විසංවාදය සමථනයට ද කාන්ටියානු යෝජනාව යෝග්‍ය බව මෙම ලියුම්කරුගේ අදහස ය. ප්‍රායොගික ලෙස සැලකූ විට, පෙරේරා මහත්මා අනුභූතික සාක්‍ෂ්‍ය යන්නට කාන්ටියානු සහ පශ්චාත්-කාන්ටියානු අරුතක් දී ඇති බව සිතිය හැකි ය.

    “රජයේ වෛද්‍යවරුන් සිතා මතා වෛද්‍ය හිගයක් රට තුල නඩත්තු කරති. ඒ රෝගීන්ව සූරාකෑමේ අරමුණෙනි.” යනාදී බරපතළ ප්‍රකාශයක් ජයසිංහ මහත්මා ඉදිරිපත් කරන්නේ කුමන ශ්‍රාස්ත්‍රීය පදනමකින් ද? මෙම දැනුම ජයසිංහ මහත්මාට ලැ‍බුණේ සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ද? නැත හොත් සවඥතා ඥානයෙන් ද? එසේත් නැත හොත් මෙම ප්‍රකාශය ජයසිංහ මහත්මාගේ ප්‍රස්තුතමය විශ්වාසයක් (propositional belief) පමණක් ද? එනම් “රජයේ වෛද්‍යවරුන් සිතා මතා වෛද්‍ය හිගයක් රට තුල නඩත්තු කරති. ඒ රෝගීන්ව සූරාකෑමේ අරමුණෙනි.” යන ප්‍රස්තුතය හෝ ප්‍රස්තුත පද්ධතිය හෝ “පිළිබද විශ්වාසය” (belief that) ජයසිංහ මහත්මාගේ පදනම ද? එසේත් නැත හොත් “වෛද්‍යවරු යනු දුර්ජනයෝ ය” යන මූලික (සහ හුදු) විශ්වාසය මත පිහිටා ඉහත දැක් වූ ප්‍රස්තුත පිළිබඳ ජයසිංහ මහත්මාගේ විශ්වාසය, උද්ධාරය (deduction) හෝ උද්ගාමය (induction) මඟින් යුක්තිසාධනය (justification) කිරීම ඒ මහත්මාගේ පදනම ද?

    බුද්ධිමතෙකු වන රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා ඉල්ලා සිටින්නේ එවැනි බුද්ධිවාදය/හේතුවාදය (rationalism) මත පදනම් වූ ඥාන විභාගයක් නො වේ. ඔහු ඉල්ලා සිටින්නේ වෛද්‍යවරුන් පිළිබඳ ජයසිංහ මහත්මා විසින් පෙර දක්වන ලද දැනුමට අදාළ ජයසිංහ මහත්මාගේ විශ්වාසය, සංවේදන අනුභූතික (sense experience) ව යුක්තිසාධනය කර පෙන්වන ලෙස ය. විග්‍රහයන් අනුභූතික සාක්‍ෂ්‍ය (empirical evidence), කරුණු (facts) සහ දත්ත (data) මත පදනම් කර ගන්න යයි පැවසීමෙහි අර්ථය එසේ ය.

    අජිත් පැරකුම් ජයසිංහ මහත්මා සංස්කෘත භාෂා පඬිවරයෙක් වන නිසා දෝ අනුභූතිය යන සංස්කෘතයෙන් සිංහලයට තත්සම වූ වදනට විශිෂ්ට මෝනියර්-විලියම්ස් ශබ්දකෝෂය පෙරළා අරුත්නිරුත් සොය යි. මේ වූ කලී කව්සිළු‍මිණෙහි “කතක බොන මිහිවිතැ - හෙත කියඹුමිහිසිඳුවර - දුරැ ලන්නසින් පිඹි සේ - මුවමිහි ගතෙ මිහිසුරා” යන ගීයෙහි “මුව මී” යන්නෙහි අරුත සොරත ශබ්දකෝෂය පෙරළා බලා අරුත් බිණීම වැනි විසුළුවකි. ගුරුදේවයන් සිටියේ නම් කොක්හඬ ලා සිනාසෙනු නියත ය. රජතුමා ස්ත්‍රියකගේ මුඛයෙහි තිබූ කෙළ (ඛේටය) ගත්තේ යයි පැවසුවහොත් යස අගේට තියේවි නො වැ! ‍මුව මී යන්නට කෝෂාර්ථ ලෙස කෙළ යන්න ගත්තේ නම් කාව්‍යාර්ථය විකෘති වී විසුළුවක් වන බව පැහැදිලි ය.

    Cont ...

    ReplyDelete
  16. 4/5

    පෙරදිග දර්ශනයෙහි දැනුම පිළිබඳ විශිෂ්ට සම්ප්‍රදානයක් පවතී. ලිපියෙහි දිග සීමා කරනු වස් ඉතා සංක්‍ෂිප්ත ව ඒ පිළිබඳ පවසනු රිසි ය. දැනුම යන්නෙන් සිංහලයෙහි හැඳින්වෙන්න පෙරදිග දර්ශනය මූලික ව ලිය වී ඇති සංස්කෘතයෙහි ඥාන, විඥාන, ධී, බුද්ධි ආදී වචන කීපයකින් හැඳින්වේ. සුලභ ව භාවිත වචනය ඥාන ය. දැනුම යන්නට පර්යාය ලෙස ඉංගිරිසියෙහි යෙදෙන knowledge යන්න ඥාන යන්නට දාර්ශනික අර්ථයෙන් එතරම් ගැළපෙන බවක් නො පෙනේ. මක්නිසා ද යත් පෙරදිග දර්ශනයෙහි ඥාන යන්න සත්‍ය ඥාන සහ ව්‍යාජ ඥාන ලෙස දෙවැදෑරුම් වුව ද අපරදිග දර්ශනයෙහි knowledge යන්නෙහි එවැනි ද්විත්වාර්ථයක් නැති නිසා ය. ඥාන හෙවත් සිංහලයෙහි දැනුම ලෙස හඳුන්වන්න මූලික ව ස්මෘති (සිහි කිරීමෙන් එළඹෙන යන අරුතින් - remembrance) සහ අනුභූති (අත්දැකීමෙන් එළඹෙන යන අරුතින් - experience, වඩාත් නිවරද ව පවසතොත් වටහා ගන්නා යන අරුතින් apprehension) ලෙස වර්ග කළ හැකි ය. එනම් ස්මෘති මඟින් එළඹෙන ඥාන හැරුණු කල අවශේෂ ඥාන පොදුවේ අනුභූති ඥාන ලෙස සැලකේ. මෙම කරුණ අපගේ සාකච්ඡාවෙහි පසුවට වැදගත් වන නිසා අවධාරණය කරනු රිසි ය.

    ලිපියෙහි සන්දර්භය තුළ අපගේ අවධානය යොමු වන්නේ භාරතීය දර්ශනයෙහි අනුභූති ඥාන සහ එය ළඟා කර ගැනීමේ ක්‍රමවේදය නැත හොත් සාක්‍ෂ්‍ය පිළිබඳ ය. භාරතීය දර්ශනයෙහි ඥාන සහ ඥාන සාධනයෙහි ක්‍රමවේදය ප්‍රමාණ යනුවෙන් හැඳින්වේ. අප බටහිර දර්ශනයෙහි ඥාන විභාගය (epistemology) යනුවෙන් හැඳින්වූවට සමරූපීව භාරතීය දර්ශනයෙහි පවතින්නේ ප්‍රමාණ ය. ඥාන සාධනය වන්නේ ප්‍රත්‍යක්‍ෂ (සංජානනය - perception), අනුමාන (inference), උපමාන (comparison), අර්ථාපත්ති (උපග්‍රහණ - postulation), අනුපලබ්ධි (නිර්සංජානනීය ඥානන - non-perceptive cognition) සහ ශබ්ද (words of valid experts) යන ක්‍රමවලිනි.

    හාරතීය දර්ශනයෙහි දැනුම පිළිබඳ වැදගත් ම සම්ප්‍රදානය සිදු කරනු ලැබ ඇත්තේ න්‍යාය ගුරුකුලය විසිනි. න්‍යාය යනු ප්‍රමාණ පිළිබඳ අධ්‍යයනය හෙවත් විද්‍යාව යි. න්‍යාය ගුරුකුලය විසින් ඥාන සාධනය සඳහා උපයෝගී කර ගනු ලබන්නේ ප්‍රත්‍යක්‍ෂ (perception), අනුමාන (inference), උපමාන (comparison) සහ ශබ්ද (words of valid experts) යන ක්‍රම සතර ය. එම ක්‍රමයන්ගෙන් අපගේ සාකච්ඡාවට මූලික ව අදාළ වන ප්‍රත්‍යක්‍ෂ පිළිබඳ විමසමු. න්‍යාය ගුරුකුලයෙහි දීප්තිමත් න්‍යායයිකයා වූ අක්‍ෂපාද ගෞතමන්ගේ න්‍යායසූත්‍රය සහ ජයන්ත භට්ටයන්ගේ න්‍යායමංජරිය අප මෙහි දී මූලාශ්‍ර කර ගනිමු. ප්‍රත්‍යක්‍ෂ ලෞකික හා අලෞකික ලෙස දෙවැදෑරුම් ය.

    ලෞකික ප්‍රත්‍යක්‍ෂ යනු සංවේදන ඉන්‍ද්‍රිය බාහිර ලෝකයෙහි වස්තු සමඟ ස්පර්ශයෙන් එනම් ඉන්‍ද්‍රිය-වස්තු අන්තර්ක්‍රියාවෙන් ඉතා නිරවද්‍ය ඥාන සාධනයක් සිදු වීම යි. මෙහි දී සැලකෙන ඉන්‍ද්‍රීය සංවේදන නම් ඇස, කන, නාසය, ස්පර්ශය සහ රසය මඟින් සිදු වන සංවේදන ය. මෙකී ලෞකික ප්‍රත්‍යක්‍ෂ ඉන්‍ද්‍රර්ථසන්නිකර්ෂ (සංවේදන ඉන්‍ද්‍රිය හා වස්තුව ඍජු ව ඝට්ටනයෙන්) විය යුතු ය; අව්‍යපදේශ්‍ය (අන්‍යන්ගේ සංවේදන මත නො රඳන) විය යුතු ය; අව්‍යභිචාර (නො සැලෙන හා නො වෙනස්) විය යුතු ය; ව්‍යවසායාත්මක (නිසැක) විය යුතු ය.

    අලෞකික ප්‍රත්‍යක්‍ෂ යෝගජ/ප්‍රතිභා, සාමාන්‍යලක්‍ෂණප්‍රත්‍යක්‍ෂ සහ ඥානලක්‍ෂණප්‍රත්‍යක්‍ෂ යනාකාරවලින් සිදු වේ. මේවා මනස මූලික කර ගෙන සිදු වන ප්‍රත්‍යක්‍ෂ ය (භාරතීය දර්ශනයෙහි මනස යනු සංවේදන ඉන්‍ද්‍රියකි).

    මේ අනුව පෙනී යන කරුණක් නම් භාරතීය දර්ශනයෙහි සංවේදන අත්දැකීමෙන් (අනුභූතියෙන්) එළඹෙන දැනුම මූලික ව විග්‍රහ වන්නේ ලෞකික ප්‍රත්‍යක්‍ෂ (ordinary perception) නම් සංකල්පය තුළ බව ය. එනම් බටහිර දර්ශනයෙහි අනුභූතිවාදය (empiricism) ලෙස අප සාකච්ඡා කළ දැනුම පිළිබඳ විග්‍රහයට වඩාත් සමරූපී වනුයේ ‍භාරතීය දර්ශනයෙහි ලෞකික ප්‍රත්‍යක්‍ෂ (ordinary perception) ය. බටහිර දර්ශනයෙහි බුද්ධිවාදය/හේතුවාදය (rationalism) යටතට ගැනෙන අනුමාන (inference), උපමාන (comparison), අර්ථාපත්ති (උපග්‍රහණ - postulation) වැනි ඥාන සාධන ක්‍රම භාරතීය දර්ශනයෙහි එන අනුභූති (experience/apprehension) මත පදනම් වූ ඥාන (එනම් ස්මෘති හැර අවශේෂ ඥාන) සාධනයෙහි ක්‍රම ලෙස ගැනේ. මෙම වෙනස්කමට හේතුව සම්භාව්‍ය බටහිර දර්ශනයෙහි මනස සංවේදන ඉන්‍ද්‍රියක් ලෙස නො සැලකීමත් භාරතීය දර්ශනයෙහි මනස සංවේදන ඉන්‍ද්‍රියක් ලෙස සැලකීමත් බව මෙම ලියුම්කරුවා අධ්‍යයනය මත පදනම් ව විශ්වාස කර යි.

    Cont...

    ReplyDelete
  17. 5/5

    ශබ්දකෝෂ පෙරළා කෝෂාර්ථ ගෙන ශාස්ත්‍රීය සංකල්ප විශ්ලේෂණය කිරීම නුසුදුසු බව සලකනු ලබන්නේ මෙවැනි හේතු නිසා ය. ශබ්දකෝෂවල වචනාර්ථ සඳහන් කරනුයේ විවිධ සන්දර්භයන්ගෙන් ගෙන ය. සැබවින් ම විශිෂ්ට සංස්කෘත-ඉංගිරිසි සහ ඉංගිරිසි-සංස්කෘත ශබ්දකෝෂයක් වන මොනියර්-විලියම්ස් ශබ්දකෝෂය අප මෙහි සාකච්ඡා කළ දාර්ශනික කරුණු නිසි ලෙස සලකා අනුභූති යන්‍නට අරුත් බිණ තිබේ. එම අර්ථ නිසි ලෙස උපයුක්ත කිරීමට නම් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමක් ද තිබිය යුතු ය. ශාස්ත්‍රීය සංවාදයක දී එවැනි ශික්‍ෂා අතිශය වැදගත් ය. අජිත් පැරකුම් ජයසිංහ මහත්මා මෙම ලිපිය විවේක බුද්ධියෙන් කියවා ඉන් පසු නැවත වරක් මෝනියර්-විලියම්ස් ශබ්දකෝෂය විමර්ශනය කළ හොත් මෙම ලිපියෙන් පැවසෙන කරුණු නිසි ලෙස වැටහෙනු ඇත. එලෙස ම රමිඳු ලක්ඛිකපෙරේරා මහත්මා අනුභූතික සාක්‍ෂ්‍ය ලෙස හැඳින්වූයේ කුමක් ද? අනුභූතික සාක්‍ෂ්‍ය යන්න ඔහු ව්‍යවහාර කරන්නේ කුමන දාර්ශනික සන්දර්භයක් තුළ ද? යන කරුණු ද වඩාත් හොඳින් වැ‍ටහෙනු ඇත. මෙම ලිපිය කියවා ජයසිංහ මහත්මා විසින් සඳහන් කළ ශබ්දකෝෂ ද්වයය ම යළි විමර්ශනය කරන මෙන් අජිත් පැරකුම් ජයසිංහ මහත්මාට මෙම ලියුම්කරු ඉතා කාරුණික ව පවසනු රිසි ය.

    තරුණ වාමාංශික බුද්ධිමතෙකු වන රමිඳු ලක්ඛිකපෙරේරා මහත්මා වැනි සුනිශ්චිත වාම විප්ලවීය විභවයක් සහිත බුද්ධිජීවීන් රැක ගැනීම සමාජවාදී සාර සමාජයක් පිළිබඳ දැල්වුණු අපේක්‍ෂාවන්ගෙන් යුත් සැමගේ ඵෙතිහාසික කාර්යභාරයකි. ධනපති භීමරූපියාට එරෙහි ව තීරණාත්මක අනාගත විප්ලවීය අරගලයක පෙරටුගාමීන් විය හැකි වන්නේ එවන් වාම බුද්ධිමතුනට ය. මානව ජීවිතය වඩාත් සුපුෂ්පිත හා සුපරිපූර්ණ කර ගැනීමට එරෙහි ව පසමිතුරු ව සිටිනා ධනපති සමාජ සබඳතා සුනුවිසුනු කර දැමීමට රත් වූ රුධිරයෙන් ඔද වැටී නැඟී එන මාණවකමාණවිකාවනට විප්ලවීය විඥානය ලබා දීමට සමත් මාර්ක්ස්වාදී සම්ප්‍රදානයක් සිදු කරන්නට රමිඳු ලක්ඛිකපෙරේරා මහත්මාට හැකි වේවා!

    වැදගත් මාතෘකාවක් පිළිබඳ ගැඹුරු ශාස්ත්‍රීය කතිකාවක් ඇරඹූ කලක් වාමාංශිකයෙකු ව සිට පසු ව මිල්ටන් ෆ්‍රීඩ්මන් ආකාරයෙහි ලිබරල් ධනවාදියෙකු ව සිටින අපගේ සදාදරණීය අජිත් පැරකුම් ජයසිංහ මහත්මාට මෙම ලියුම්කරුගේ විශේෂ ප්‍රණාමය පුදන්නේ සතුටිනි. පිළිගනු මැනවි.

    සෑගිරියේ කීරාළ

    End.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.