2016-09-02

සයිටම් වාමාංශිකයෝ

සරසවි සිසුන් අත වරද නැත. ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ ජීවිත කාලය තුළ ලද දැනුමේ, අත්දැකීම්වල හා ගොඩනැගුණු චින්තන වපසරියේ සීමාව තුළ ය. එහෙත්, වඩා අත්දැකීම් ඇති මිනිසුන් තරුණ ජීවිත සමග මේ අන්දමින් සෙල්ලම් නිර්මානය කිරීම හැමදාමත් සිදු වන ඛෙදවාචකයකි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය මේ වන විට සුසමාදර්ශීය වෙනසකට බඳුන් වී තිබේ. මෙය ආරම්භ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය සිසුවෝ ය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යනු ලංකාවේ සෞඛ්‍ය සේවාව වෛද්‍යවරුන්ගේ ග්‍රහණයට යටත් කරගෙන, එම ආධිපත්‍යය තුළ එය දැඩි ලෙස වානිජකරණය කර, එම තත්වය තව දුරටත් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිගාමී වෘත්තික කල්ලියකි. වෛද්‍යවරුන්ට සිත් සේ රෝගීන් සූරාකෑමට නම් දැඩි වෛද්‍ය හිඟයක් අවශ්‍ය ය. තමන්ගේ දින පොතක සේවා කාලය වාර්තාගත කර, මහජන මුදලින් අතිකාල දීමනා පවා ලබා ගැනීමේ වරප්‍රසාද හිමි කරගෙන තිබෙන තවත් වෘත්තියක් ලංකාවේ නැත.

දෙවනුව, දේශපාලන වශයෙන් පාරාජිකා වී සිටි වමේ පක්ෂ මෙම අරගලය සම්බන්ධයෙන් කෑදර පිළිවෙතක් අනුගමනය කළ හ. වෛද්‍ය වෘත්තිය ලංකාවේ මිනිසුන්ට සාමාන්‍ය වෘත්තිකභාවයකට වඩා පාරිභෝජනවාදයේ සංකේතාත්තමක වටිනාකමක් වී තිබේ. දොස්තරකම යනු නීත්‍යානුකූල අන්දමින්, සමාජ පිළිගැනීමක් සහිතව, ඉක්මණින් සමාජ හිනිපෙතේ ඉහළ නැගීමට දොරටු විවර කර ගත හැකි හා අධික ලෙස භාණ්ඩ හා සේවා පාරිභෝජනය කළ හැකි ජීවිතයකට දොර විවර කර දෙන සමාජ ලාලසාවකි. එම තත්වය ද ලාලසාවන් සමග අතිනත ගෙන යන තවත් මනෝභාවයක් වන ඊර්ෂ්‍යාව ද මෙම අරගලය බලමුළු ගැන්වීමට උපයෝගී කර ගන්නා ලදී.

ඒ සම්බන්ධයෙන් වන මත ගොඩනැගීම හරහා සයිටම් අරගලය ලෙස නම් කරන ලද ක්‍රියාකාරිත්වය සමාජ වෙනස සඳහා අරගලයක් ලෙස කෘත්‍රිමව සංඥාර්ථගත කරන ලදී. අවසානයේදී පාරාජිකා වූ වම්මු පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොන්ත්‍රාත්තුවට කර ගසා ඔවුන්ට සිය දෛනික ව්‍යාපාර කරගෙන යන්නට නිදහස සලසා දී තිබේ. වෛද්‍ය සිසුවෝ දේශනවලට යති. කලා සිසුවෝ වෛද්‍ය සිසුන්ගේ පටු අරගලය වෙනුවෙන් පාරේ යති.

සයිටම් අරගලය තනිකර ම පදනම් වන්නේ සන්නිවේදන ප්‍රබන්ධාවලියක් මත ය. නිදසුනක් ලෙස වාමාංශිකයන්ට දැන් සයිටම් යනු වාමාංශික සුජාතභාවය තීරණය කරන සාධකයක් බවට පත් වී තිබේ. එය කෙතරම් අාන්තික ද යත්, වාමාංශිකයන්ට මෙතෙක් ඉතිහාසයේදී ඉතා වැදගත් සාධකයක් වූ ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳ ස්ථාවරයේදී තිබුණු බෙදුම්කඩනයන් සියල්ල අමතක වී දැන් වාමාංශික අනන්‍යතාව තීරණය කරන ලිට්මස් පරීක්ෂාව බවට සයිටම් පත් කරගෙන තිබේ. දෙමළ අරගලයට එරෙහි යුද්ධයේදී දැරූ ස්ථාවරය දැන් තව දුරටත් අදාළ නැත. බලය බෙදීම සම්බන්ධයෙන් ස්ථාවරය ද අදාළ නැත. අදාළ එක ම කාරණය සයිටම් සම්බන්ධයෙන් ස්ථාවරයයි.

සයිටම් වැදගත් ම සාධකය වී තිබෙන්නේ මේ ඊනියා වාමාංශිකයන් පිරිසට පමණි. එහෙත්, ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ ගැඹුරු ප්‍රශ්නය සමස්ත සමාජයට ම අදාළ ය. වසරකදී සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව ලක්ෂ තුනකි. වසරකට උසස් පෙළ සමත් වන සංඛ්‍යාව ලක්ෂ එක හමාරකි. වසරකට ආණ්ඩුවේ සරසවි වලට ගන්නා සංඛ්‍යාව 22,000කි. ඒ අනුව වසරකදී අතරමං වන උසස් පෙළ සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 128,000කි. රජයේ නිදහස් යයි කියන, මහජන මුදලින් පවත්වාගෙන යන උසස් අධ්‍යාපන ක්‍රමයේ අසාර්ථකභාවය පෙන්නුම් කරන්නට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත. උසස් අධ්‍යාපන නිදහස තහවුරු කිරීම සඳහා විකල්ප අවශ්‍ය වී තිබෙන්නේ එම සංදර්භය තුළයි. එහිදී පෞද්ගලික අංශය මෙයට සහභාගි කර ගැනීමෙහි වරද කුමක් ද? පෞද්ගලික ව්‍යාපාරිකයන් කියන්නේ අප වෛර කළ යුතු පිරිසක් ද? පෞද්ගලික ව්‍යවසායකයන් ලෝකයට කළ කිසිම හොඳක් නැද්ද? එසේම, පෞද්ගලික ව්‍යවසායකයන් රජයට වඩා නරක හෝ රජය පෞද්ගලික ව්‍යවසායකයන්ට වඩා හොඳ ය කියන්නට තිබෙන සාධක මොනවා ද?

සයිටම් විරෝධීන්ගේ සන්නිවේදනය තුළ අධ්‍යාපනය සම්බන්ධ පෞද්ගලික ව්‍යවසායකයන් යනු අරාජික වෙළඳපොළ බලවේගයකි. වෙළඳපොළ අරාජික විය හැක්කේ දුබල රාජ්‍යයක් ඇති රටක ය. ලංකාවේ රජය යනු ලක්ෂ 14කට වැඩි ශ්‍රමයක් කැටි කර ගත් දැවැන්ත ව්‍යූහයකි. රජයක මූලික කාර්යය විය යුත්තේ වෙළඳාම නො වේ. වෙළඳපොළ නියාමනය කිරීමයි. ලංකාවේ දැවැන්ත රජය අතිශය අකාර්යක්ෂම ය. එ් අකාර්යක්ෂමතාවට විසඳුම රජය තවත් විශාලනය කිරීම නො වේ.

වෙළඳපොළ විරෝධය වාමාංශිකයන්ගේ මෝස්තරයකි. වෙළඳපොලෙන් බැහැරව මිනිස් සබඳකම් පැවැත්වීම කළ හැකි ක්‍රමවේදයක් කිසිවෙක් යෝජනා කර නැත. වෙළඳපොළ යක්ෂාරෝපණය කරන අය අමතක කරන කාරණයක් වන්නේ එය වනාහි මිනිස් සමාජ පරිණාමයේ විශිෂ්ට ලක්ෂණයක් බවයි. වෙළඳපොළට විකල්ප ලෙස පෙන්නීමට උත්සාහ කරන සුබසාධන රාජ්‍යය ද අඩු වැඩි වශයෙන් වෙළඳපොළේ ම විකාශනයකි. එහි විශේෂත්වය අන් කිසිවක් නොව රාජ්‍ය ඒකාධිකාරයයි. සුබසාධනයේ නමින් රජය අධ්‍යාපන ව්‍යාපාර කරන්නේත් වෙළඳපොළේ ම ය. එය නොමිළේ අධ්‍යාපනයක් වන්නේ එය ලබා ගන්නා අයට පමණි. ඒ වෙනුවෙන් ගෙවන සමාජයට එය නො මිළේ අධ්‍යාපනයක් නොවේ. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර මුළුමනින් ම වෙළඳපොළකරණය කළ යුතු බව කිසිවෙක් කියන්නේ නැත. එහෙත්, සයිටම් වාමාංශිකයෝ එවැනි පිරිසක් සිටින බව සිතින් මවාගෙන සිටිති. දැන් වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාට ද එවැනි යක්ෂ වෙස් මුහුණක් පළන්දා ඔහු බැහැර කරන ක්‍රම සම්පාදනයේ වාමාංශිකයෝ යුහුසුළු වී සිටිති.

ප්‍රශ්නය වී තිබෙන්නේ අධ්‍යාපනයේ රාජ්‍ය ඒකාධිකාරය අධ්‍යාපන නිදහස තහවුරු කරන්නට අසමත් වීමයි. සයිටම් අතහැර බැලූ විට මේ වන විට සමස්ත අධ්‍යාපන පද්ධතිය ම ආපසු හැරවිය නො හැකි ලෙස වෙළඳපොළකරණය වී තිබේ. වෛද්‍ය අධ්‍යාපනය වෙළඳපොළකරණයට පමණක් එරෙහි වීම ඉතාම පටු ක්‍රියාවකි. මේ වන විට අධ්‍යාපන වෙළඳපොළකරණය ආපසු හරවන්නට බැරි තරම් විස්තීර්ණ වී තිබේ. නිදසුනක් ලෙස ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම පෞද්ගලික ය. පෙර පාසල් අධ්‍යාපනය යනු සෑම පුරවැසියකුගේ ම මුළු ජීවිතයට ම අදාළ දෙයකි. එය කිසිදු අයුරකින් වෛද්‍ය අධ්‍යාපනයට ද්විතීයක වන්නේ නැත. එහෙත්, කිසිවෙක් පෙර පාසල් අධ්‍යාපනය ගැන ප්‍රශ්න කරන්නේ නැත. එයින් ම සයිටම් දේශපාලනයේ කුහකකම පෙනේ. පෙර පාසල් අධ්‍යාපනය වැනි කරුණුවලදී රජයට කළ හැක්කේ නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීමයි. එහෙත්, ඒ වෙනුවෙන් කිසිවෙක් අවධානය යොමු කරන්නේ නැත. හේතුව කුමක් ද? එයින් දේශපාලන බලය ගොඩ නගා ගත නො හැකි ය.

සයිටම් වාමාංශිකයන්ගේ තර්කයක් වන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගන්නට ඉඩ දීමෙන් විෂමතා වැඩි වන බවයි. මෙය ඉතා බොළඳ තර්කයකි. සයිටම් පමණක් දකින ඔවුන්ට නො පෙනෙන කාරණයක් වන්නේ තමන්ගේ නම අගට පවා මුදල් ගෙවා ලබා ගත් සුදුසුකම් තිබෙන බවයි. උදාහරණයක් ලෙස, ලංකාවේ මේ වන විට වැඩියෙන් ම වෙළඳපොළකරණය වී තිබෙන්නේ වානිජ විෂය උපාධි සුදුසුකම් ය. ඒවා ලබාගෙන සමාජමය වශයෙන් සවිබල ගැන්වුණ සුවිසල් පිරිසක් මේ සමාජයේ සිටිති. ඒ සවිබලකරණය හේතුවෙන් විෂමතා අඩු වුණා මිස වැඩි වුණේ නැත. අනෙක් කාරණය මෙම උපාධි සුදුසුකම් මුදල් ගෙවා ලබා ගන්නට තිබුණා ය කියා ඒවායේ ගුණාත්මකභාවය පවත්වාගෙන යන්නට බැරි වී නැත. එහෙයින්, පෞද්ගලික අධ්‍යාපනය යනු අනිවාර්යයෙන් ම ගුණාත්මකභාවයක් නැති එකක් විය යුතු නැත.

සයිටම් වැනි පටු අරගල සමාජය වෙනස් කිරීම සඳහා දක්වන දායකත්වයක් නැත. ඒවා ප්‍රයෝජනවත් වන්නේ දේශපාලන වශයෙන් පාරාජිකා වී සිටින බලවේගවලට සමාජ පසුගාමිත්වය මත පදනම්ව කිසියම් උත්තේජනයක් ලබා ගැනීමට පමණි.

සිසුන්ට පහර දීම්, ජීවිත පරිත්‍යාග පිළිබඳ සමාජ ජාල ප්‍රචාර ආදී දැවැන්ත පෙර සූදානම් කිරීමකින් පසුව, පසුගිය බදාදා පවත්වන ලද සිසු උද්ඝෝෂණය වාමාංශික නායකයන් විසින් නිවැරදිව විග්‍රහ කර ගත යුතුව තිබේ. ඇල් මැරුණු පෙළපාලියට යම් කිසි ජීවයක් ලැබුණේ පොලිසියෙන් ඉල්ලා ගත් ජල ප්‍රහාරයෙනි.
- අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-09-04

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

46 comments:

  1. එක්තරා මහ රෝහලක ඝණකාධීකාරීවරයෙක් කියනවා බොහොමයක් දොස්තරලා දවස් 30ටම අතිකාල දීමනා අරගන්නවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔවු..
      පෙබරවාරි මාසේ ඔඩිට් කොරද්දි තමයි ඕක මාට්ටු වුනේ...

      Delete
    2. mekata visadumak SAITM haraha labey kiyala kohomada kiyanne.uttare hari saralay. patalawa ganna oni na. rajya vishva vidyala paddatiya duyunu karana nam harine.

      Delete
  2. ජනාදිපති ට ඔස්ට්‍රේලියා මාද්ය වලින් පගා ගත්තය කියලා චෝදනා කිරීම ගැන ලිපියක් ලියන්නෙම නැද්ද එහෙනම්?

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය වල පලවූ මෙම වාර්ථා වලට පදනම් වී ඇත්තේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මගින් සිදුකරනු ලබන පරීක්ෂණයකි. මේ පරීක්ෂණය තවම නිමවී, චෝදනා සනාථ කොට නොමැත. ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා කැබිනට් ඇමැතිවරයෙකු වශයෙන් කටයුතු කරණ සමයේ එම අදාළ අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ඕස්ට්‍රේලියානු සමාගමකට පිරිනැමීම සඳහා කොමිස් ඉල්ලූ බව මේ වාර්ථා වලින් කියැවේ. එය ඔහු කෙළින්ම ඉල්ලා සිටියාද නැත්නම් එම කොස් මුදල ලබා ගත්තාද යන්න මෙම වාර්තාවේ සඳහන් වන්නේ නැත. අනිත් අතට ලංකාවේ අපට මේ සිද්ධිය බ්‍රේකින් නිව්ස් එකක් නොවන බව අප සැම දන්නා යථාර්ථයයි. මෙවැනි ව්‍යාපෘති වලදී කොමිස් ලබාදීම බොහෝ විට ඕනෑම රටක සිදුවන දෙයකි. ලංකාව වැනි රටවල කොමිස් වශයෙන් කෙළින්ම මුදල් හුවමාරුවන අතර අල්ලස් පිලිබඳ දැඩි නීති ඇති ඔස්ට්‍රේලියාව වැනි රටවල නොයෙකුත් වක්‍ර ක්‍රම මගින් මේවා සිදුවේ. මෙතන ප්‍රශ්නයක් ඇත්නම් ඒ ගත්තු කොමිස් කුට්ටිය කොයිතරම් විශාලද යන්නය.

      Delete
    2. තැන්කූ බඩින්ඔස් තුමෝ...

      බලමු අපේ පැරා තුමාත් ඔයි මාතෘකාව සම්බන්දෙන් එතුමාගේ පුරවැසි මාජ්ජ වගකීම ඉස්ට කොරයිද කියලා....

      Delete
    3. එයා 2014 අග්ගිස්ස වෙනකල් මහරජාගේ සුවච කීකරු ගෝලයෙක් නේ. ඒ නිසා එයාට හෝ එයා එක්ක යහපාලනේට සෙට් වෙලා ඉන්න අනෙක් අය ගැන විතරක් නෙමෙයි, එක්සත් ජාතික පක්ෂය ගැනවත් සහතික දෙන්නට අපට උවමනාවක් නැහැ. ඔබට තිබෙන්නේ තව තව කරුණු සොයා වාර්තා කිරීමයි. අපිත් සොයන්නම්.

      Delete
    4. කිසිදු මුදලක් ගෙවා නැති බව එම සමාගමේ නිවීදනයකින් කියාතිබේ.එකී කතාන්දරය කිව් පුදගලයදා කලකට පෙර එම සමාගමෙන් අස් කර තිබේ.

      Delete
  3. සයිටම් කේස් එක ගැන නම් කියන්න දන්නේ නෑ. නමුත් මේක ආයෝජකයන් පැමිනීම කෙරෙහි තදින් බලපාන දෙයක්. කොන්දක් නැති ආන්ඩුවක් ඉන්න රටක ඉන්වෙස්ටස්ලා එන්නේ නෑ.. ඒක්කෝ අමු එකාධිපතිතියෙක් ඉන්න ඕන. එහෙම නැත්නම් හොන්ද පණ තියෙන ආන්ඩුවක් ඉන්න ඕන.

    ආර්ථික අග නගරයේ මෙහෙම පිස්සු කෙලින කොට මෙහේ එන්න ඉන්න එකා එන්නෙත් නෑ.. ටුවරිස්ට්ලටත් එපා වෙනවා නම්. ඉන්වෙස්ටස්ලා ගැන කුමන කතාද..?

    ReplyDelete
  4. තමන්ගෙම දිනපොතක් වැනි ලියවිල්ලක අත්සන් කරල ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන අතිකාලත් ලබාගන්න තමන්ට සිත්සේ රෝගීන් සූරාකෑමට කෘතිම වෛද්‍ය හිඟයක් මවාපාන මේ වෛද්‍ය වෘත්තිකයන්ට එරෙහිව ජනතා නැගී සිටීමක් අවශ්‍යයි.
    මුන්ගෙ දුෂ්ට බල අධිකාරිය ගැන සමාජයේ වෛරය ඇතිකල යුතුයි.වෛද්‍යවරුන් පොදු සතුරා ලෙස සලකන්න ඕන. මුන්ට ඔය කියන තරම් රට යන්න බෑ. මුන් ගේමටම ආවොත් ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙන්නල මිස අඩියක්වත් පස්සට ගන්න හොද නෑ.
    ලෝකෙ කොහෙවත් නැති ශ්‍රේෂ්ටත්වයක් ආරෝපාය කරගෙන. ඉස්සර නොමිලෙ වෙදකම් කරල ගෞරවයට පත් පැරණි වෙදුන්ට හිමිවූ ගෞරවයත් මුන් අරගෙන.
    මේ සමාජ ආකල්ප වෙනස් කරන්න ඕන.
    දැණුමේ ඒකාධිකාරය අවසන් කරල මුන් තවත් එක්තරා වෘත්තිකයන් පිරිසක් බවට පත් කරන්න ඕන.
    එඩිතර ආන්ඩුවක් මේකට ඕන.
    පැරාගෙ බ්ලොග් එකට තියන ගෞරවය නිසා හිතට එන වචන ලියන්නෙ නෑ. අමු තිත්ත සුද්ද සිංහලෙන් මේ ******* ලව ආමන්ත්‍රනය කරල ටයිප් කරපු කොමෙන්ට් එක ඩිලීට් කරල මේක දැම්මෙ.

    ReplyDelete
  5. ලංකාව වැනි රටක ප්‍රගමණය උදෙසා මහින්ද රාජපක්ෂ වැනි පාලකයන් අවශ්‍ය වන බව කණගාටුවෙන් හෝ කිවයුත්තේ මෙවන් සිද්ධීන් වලට රජය මුහුණදෙන ආකාරය දකින විටදීය. ලී ක්වාන් යූ ලා සිංගප්පුරුව දියුණුකලේ ඒ රටේ මිනිසුන්ට දැඩි නීති පනවමින්, මාධ්‍ය මර්ධනය කරමින්, මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් වලට පයින් ගසමිනි. අද වුවද ඒ රටේ පාරේ කෙළ ගැසීම දඬුවම් ලැබියයුතු වරදකි. යහපාලන මොඩලය තවම ලංකාවට ගැලපෙන්නේ නැත. ඒවා ගැලපෙන්නේ උගත්, ශීලාචාර සමාජයන්ට මිස මැරයින්, ත්‍රාඩයින් පිරුණු සමාජයකට නොවේ. බුද්ධිමතුන් බිහිවන කේන්ද්‍රස්ථාන වන ලංකාවේ විශ්ව විද්‍යාලවල පවා බුද්ධිමත් සංවාදයක් නැත. ඒ හැම තැනකම වැඩකටයුතු සිදුවන්නේ තර්ජනයෙන් සහ මර්ධනයෙනි. එවන් සමාජයක් හැසිරවිය යුත්තේ මර්ධනයෙන්මය. කොටින්ම පහුගිය රජය තිබුනානම් ඔය එකෙක්වත් පාරට බහින්න තියා කටක් අරින්නේවත් නැතිය. මනුස්ස කමට රෙද්ද ඉස්සූ විට ලංකාවේ මිනිස්සු කරන්න යන්නේ ණයටමය.

    ReplyDelete
    Replies
    1. 100% එකඟ වෙනවා මේ කතාවට. මම හිතුවා 88-89 කාලයේ රනිල් වික්‍රමසිංහ ගේ කල්ක්‍රියාව නිසා එයාටවත් කොන්දක් තියනවයි කියලා. බැලුවහම කොන්ද තිබිලා තියෙන්නේ ජේ ආර් ටයි ප්රේමදාසටයි විතරයි. මෙයා පාවිච්චි කරලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ කොන්දවල්!

      Delete
  6. මම වෛද්‍ය සිසුවෙක්. රජයේ විශ්ව විද්‍යාලයකැ ඉගෙන ගන්නේ. ඇත්තටම කිව්වොත් අපේ ෆැකල්ටි එකෙත් ඇතැම් සිසු සිසුවියන් ඉන්නවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරෝධය නොදක්වන. හැබැයි ඒ අයට තමන්ගේ මතය ප්‍රසිද්ධියේ දක්වන්න බැහැ. අකමැති උනත් මේ විරෝධතා වලට යන්න වෙලා තියෙන්නේ. මොකද නැතිනං අනික් සිසුන් අතර කොන් වීමක් සිද්ධ වෙන්නේ. මේ පිකට් වලට යන්නේ නැති සිසුන්ව බැච් මිටින් වලදී නම් කරල බනිනවා මේ ශිෂ්‍ය සංගම් වල ඉන්න සහෝදර සිසුන්ගේ මෙහෙය වීම යටතේ. ෆැකල්ටි එකේ ඉන්නකොට කොන් වෙලා ඉන්න බැරි නිසා යන්න වෙනවා.

    අනික තමයි 31 දා තිබුණු පෙළපාලිය දවසේ බහුතර සිසුන් පෙළපාලියේ යනකොටත් දන්නේ නෑ ඒක යන්නේ කොහෙටද කියලා වත්. භාගයක් දුර යද්දී තමයි දන්නේ කොල්ලුපිටියට යනවා කියලත්.

    අනික තමයි බොහෝ සිසුන් කොළඹ අවට අය නෙමෙයි, පිට පළාත්වල අය. මේ අය දන්නෙත් නෑ කොහෙද යන්නේ කියලා. කලින් පාර පිකට් එකක් සංවිධානය කර සයිටම් එකට විරුද්ධව මේ වගේම. එකේදිත් මේ වගේ ඇවිත් ටවුන්හෝල් එක වටේ නිකං සිසුන්ව ඇවිද්දුවා. සිසුන් දන්නෙත් නෑ තමන් මේ එකම තැන ආයේ ආයේ වටේ කරකැවෙනවා කියලා.

    ජේවීපී සහ පෙරටුගාමී අතර වෙනසවත් දන්නේ නැති සිසුන් තමයි විශ්ව විද්‍යාල වල ඉන්න අති බහුතරය. ඔවුන් මේවාට යන්නේ මෙලෝ දෙයක් නොදැන. ඒක තමයි ඇත්ත. දැන් හෙට පිකට් එකක් තියෙනවා ඒකට එන්න කිව්වොත් අපි ක්ලිනික්, ලෙක්චර්ස් ටෝකන් කරලා එව්වට යන්න ඕනි. ඒක තමයි මෙතන යථාර්තය.

    ReplyDelete
    Replies
    1. // ෆැකල්ටි එකේ ඉන්නකොට කොන් වෙලා ඉන්න බැරි නිසා යන්න වෙනවා. //

      ඉස් ඉසෙල්ලාම කොන්දක් වගා කොරගනින් පුතේ...

      ජීවිතේ ඉදිරියටත් එක එකා කියන කොරන හන්දා අකමැත්තෙන් තීර ගන්න වේවි නැත්නම්...

      බය නැතිව අල පාත්තියක් වෙයන්...

      විස්ස විජ්ජාලේ ඉන්න ජෙප්පෝ සහ කුරුට්ටෝ ඔයි කියන තරම් පොරවල් නෙවෙයි... උන් බය ගුල්ලෝ....

      Delete
    2. මහසෝන ගැහුවාම දත් ගැලවිල විතරක් බේරුනොත් නම් සාරස පිහටවේවි.

      Delete
  7. පෞද්ගලික අධ්‍යාපනයේ වරදක් ඇතැයි මම නොසිතමි. වරද ඇත්තේ රජය පැත්තෙනි.නිසි ප්‍රමිතියක් හෝ අධීක්ෂණ ක්‍රමවේදයක් නොමැතිව මූල්‍යමය සහ දේශපාලනමය අරමුණු සහ වාසි වෙනුවෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවන බව පෙනෙන්නට තිබීම ගැටළු සහගතය.

    ReplyDelete
    Replies
    1. Agreed. The intake process has to be transparent and through a merit list. The government could introduce a loan scheme to suitable students who are unable to pay the full fee.

      Delete
    2. //නිසි ප්‍රමිතියක් හෝ අධීක්ෂණ ක්‍රමවේදයක් // +++++

      සහ ඕනෑම ආර්ථික මට්ටමක කෙනෙකුට ඇතුලත් විය හැකි සිසු ණය ක්‍රමයක්

      Delete
  8. වැදගත් පෝස්ට් එකක්. ඒත් ගොඩක් සයිටම් විරෝධීන් තර්ක කරන්නෙ ඒකට හරි සායනික පහසුකම් නැති එක ගැන. ඒකට තාම හරි විසඳුමක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. සයිටම් එකේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය යුතුයි. ඒ වගේ ම, එහි අය කිරීම් ද ඇතුළුව එය දැඩිව නියාමනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සේවාවන් මුදලක් අය කර රජයෙන් ලබා දෙන එක එච්චර දෙයක් නෙමෙයි. පෞද්ගලික සමාගම්වලට රජයේ ඉඩම් බදු දෙන එකේ ඕක මහ ලොකු වැඩක් යැ.

      එතනිනුත් එහාට ගිහින් මේ ආයතනය පොදු මහජන ආයතනයක් බවට පත් කළත් අපි විරුද්ධ නැහැ. හැබැයි වෙනත් විෂය ක්ෂේත්‍ර‍වල පෞද්ගලිකව ඉගෙන ගන්නට තිබෙන නිදහස වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් විතරක් අහිමි කළ යුතු නැහැ.

      Delete
    2. ඒක හරි!සයිටම් අයින් කරනව නම් අනිත් පෞද්ගලික අධ්‍යාපන ආයතනත් අයින් කල යුතුයි.

      Delete
    3. සරදියෙල්//ඒත් ගොඩක් සයිටම් විරෝධීන් තර්ක කරන්නෙ ඒකට හරි සායනික පහසුකම් නැති එක ගැන.//ඔබ හරියටම හරි, මෙන්න මේක තමයි මූලික ප්‍රශ්නය.

      පැරා, ඔබේ 2016-08-22 "මා නූගතකු වූ හැටි හා අධ්‍යාපනයේ නිදහසට පක්ෂ වූ හැටි" ලිපියට මා කල කොමෙන්ටුව මෙහිදී අදාලයැයි සිතමි. ඉන් කොටසක් යලි මෙහි උපුටමි.

      "පෞද්ගලික විවිද්‍යාල ගැන මගේ අදහස: විවිද්‍යාල පෞද්ගලිකව තිබීම මම ලොකු ප්‍රශ්නයක් විදියට දකින්නේ නැහැ. දන්න තරමින් හැම විශය ධාරාවකම පෞවිවිද්‍යාල ලංකාවේ තියෙනවා, පෞවෛද්‍ය විද්‍යාල ඇර. ඇයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එනකොට පමනක් මේක වෙනස් වෙන්නේ? අපි ගනිමු ඉංජිනේරු ක්ශේත්‍රය. ලංකාවේ රජයේ ඉංජිනේරු විවිද්‍යාල වලට, ඉංජිනේරුවන්ට, ඉංජිනේරු සිසුන්ට පෞද්ගලික ඉංජිනේරු විවිද්‍යාල වලට විරුද්ධව පෞ වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ සටන වගේ එකක් කරන්න බැහැ කවදාවත්. විද්‍යා, වානිජ්‍ය, කලා ක්ශේත්‍ර වලදී රජයේ - පෞද්ගලික ලෙස සටනක් ඇත්තෙම නැහැ. මම හිතන විදියට ඒකට හේතුව, ඒ කුමන ක්ශේත්‍රයක්වත් එච්චර මිනිස් ජීවිතයට සංවේදී ක්ශේත්‍ර නෙවෙයි වෛද්‍ය ක්ශේත්‍රය තරම්.

      ලංකාවේ පෞ විවිද්‍යාල දැම්මොත් නවතින්නේ ඉන්දියාවේ වගේ මිසක සිංගප්පූරුවේ හෝ මැලේශියාවේ හෝ බටහිර රටක වගේ නෙවෙයි කියන එක සාමාන්‍ය දැනුමක්. පෞ.වෛ.විවිද්‍යාල වලට එරෙහි මෙතරම් දැවැන්ත විරෝධයක් එන්නේ කුහකකම, දොස්තරලාගේ උන්නතිකාමය, (පැරනි අර්ථයෙන්) නිදහස් අධ්‍යාපනප්‍රේමීන්ගේ නූතන නොවන හණමිටි චින්තනයේ ප්‍රශ්නයක් වගේ දැකලා මේක ගොඩ දාන්න බැහැ. ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. රජයේ දොස්තරලා ඒක උඩ පිනුම් ගහනවා. ඒක වෙනම කතාවක්.

      මේ කතිකාවේ, අනුරුද්ධ ප්‍රදීප් කියන කතාව ඇත්තටම සෙන්සිබල්. ලෝකෙ ඉහලම විවිද්‍යාල (හාවඩ්, ප්‍රින්ස්ටන්, යේල්...) ලාබ ලබන ආයතන ලෙස නොවෙයි පවතින්නේ. ලංකාවේදී නම්, රජයේ විවිද්‍යාල ධාරිතාව වැඩිකොට, නිශ්චිත සිසුන් ප්‍රමානයක් මුදල්ගෙවන පදනම මත බඳවා ගැනීමයි ඔහු යෝජනා කරන්නේ. ඒ මුදල් නැවත විවිද්යාලයේ ධාරිතාවය වැඩිකිරීමට යෙදවිය හැකියි. මෙය ජවිපෙ ගෙනෙන "සැමට විවිද්‍යාල අධ්‍යාපනය" වගේ මනෝරාජික අදහසක් නෙවෙයි."

      - Dimithri

      Delete
    4. වෛද්‍ය ක්ෂේත්‍රය සෙසු ක්ෂේත්‍රවලට වඩා සංවේදී ය කියන එක ඇතුළේ මතවාදී ගොඩනැගීමක් ද තිබෙනවා. නිදසුනක් ලෙස පෙර පාසල් අධ්‍යාපනය ගැන එහෙම කිසිම සංවේදීතාවක් නැත්තේ ඒ ගොඩනැගීම ඇතුළෙයි.

      මේකේ පරස්පරය තමයි වෛද්‍ය අධ්‍යාපනය ගැන සංවේදී වන අය හොර දොස්තරලා ගැන සංවේදී නො වන එක. උදාහරණයක් ලෙස දේශීය වෛද්‍ය විද්‍යාව නමින් රජය දෙන උපාධි, සහතික, අවසර හා රැකියා නිසා සමාජයට සිදු වන හානිය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඇලපති වෛද්‍ය විද්‍යාව අනුව මේවා ඉතා පැහැදිලි ගර්හිත විද්‍යාවන් හා හොර වෙදකම්.

      වෛද්‍ය විද්‍යාව ගැන සංවේදී මිනිස්සු ඔපරේෂන් තියටර් එකක, එක්ස්රේ පරීක්ෂණයකට අනුව, විකලාංග විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය මත දමන ප්ලාස්ටර් එකක් මරදන්කඩවල වෑල්ඩිං වෙදා ගාවට ගෙනිහින් මේස පිහියෙන් කපලා අයින් කරලා ලේ ගමන් නො කරන පරිදි තදින් බැඳලා පසුව ලිහුවාට පස්සෙ තියෙන සහනය මාරයි කියලා සතුටු වෙන්නේ නැහැ.

      තවත් උදාහරණයක් කියන්නම්. එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණ ප්‍රකාශයේ කිව්වා ලංකාවේ ජ්‍යෝතිෂ විද්‍යා උපාධියක් ආරම්භ කරන කතාවක්. කවුරුද මේවාට විරුද්ධ වුණේ?

      ඔය සංවේදී කතාව මම පිළි නො ගන්නේ ඒ නිසායි.

      Delete
    5. "එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණ ප්‍රකාශයේ කිව්වා ලංකාවේ ජ්‍යෝතිෂ විද්‍යා උපාධියක් ආරම්භ කරන කතාවක්."

      ඇත්තටම එහෙම කිව්වද පැරා?

      බුදු සංතෝ අපේ මාමණ්ඩි හිටියනං තන්තෝසේ ඉහවහ යයි.

      Delete
    6. මං නං හිතන්නෙ ජ්‍යෝතිෂ විද්‍යා උපාධියක් විතරක් මදි. ඔය වැඩේට අඩු තරමේ විශ්වවිද්‍යාලයක් වත් දාන්න වෙයි. උප කුලපති සුමනදාස අබේගුණවර්ධනට දෙන්නම ඕනෑ. මහාචාර්ය කම් පීඨාදිපති කම් වලට චන්ද්‍රසිරි බණ්ඩාර, ඉන්දික තොටවත්ත. පී.ඩී. පෙරේරා, චින්තා වික්‍රමසිංහ, වාලම්පුරි නමෝ නාරායන, එතකොට ෆෙන්ෂුයි කාරයෝ ඔය ඉන්නෙ ඕසේට.තව පොඩ්ඩෙන් අමතක වුනා පියසේන රතුවිතාන.

      එතකොට කුලපතිකම කාටද? මහින්ද මහත්තය ගන්නෙ නැත්නම් නිලූකා ඒකනායකට දෙමුද?

      හැබැයි තව පරහක් තියනවා. අර ධනාත්මක චින්තනකාරයින්ට මොකද කරන්නෙ?

      Delete
    7. @ පැරා; ඇත්ත.. තවත් සංවේදී වියයුතු ක්ශේත්‍ර තියෙනවා. විශේශයෙන් ඔබ කියන පෙර පාසල් අධ්‍යාපනය. කාටවත් උනන්දුවක් නැහැ.

      අරක සංවේදියි මේකට වඩා. ඇයි මේක විතරක්. අරක නැත්නම් මේකත් එපා.. ඇත්ත.. සංවේදී කතාව කොම්ප්ලෙක්ස් තත්වයක් තමයි.

      මම කිව්වේ.. ලංකාවේ හැම විශය ධාරාවකම පෞ විවිද්‍යාල තියෙන්න පුලුවන්නම් පෞවෛද්‍ය විද්‍යාල විතරක් තියෙන්න බැරි ඇයි? ඔය සායනික පහසුකම් වල තත්වය පිලිබඳ ප්‍රශ්නයයි, ප්‍රවේශය පිලිබඳ ප්‍රශ්නයයි තමයි බරපතල කාරනා. ඒවා විසඳෙනවානම් ප්‍රශ්නයක් නැහැ. (ඉංජිනේරු සිසුවට නිවැරදි කර්මාන්ත පුහුනුව ලැබුනද කියලා අපි වොරි වෙන්නෙ නැහැ. ඒ අර සංවේදී හේතුව)

      සයිටම් නැනවත් ආයතනයක් නම්, මේ ප්‍රශ්න ඉතා සාර්ථකව විසඳා ගන්නවා ඇති. (ඔය විවාද වලට සාකච්චාවලට එන සයිටම් එකේ නිලධාරින් නම් එච්චර ඇඩ්වාන්ස් කට්ටියක් කියලා පේන්න නැහැ ) පරිසර ක්‍රියාකාරිකයන්ගේ දැවැන්ත විරෝධතා මැද ඉදිවුන, කන්ඩලම හෝටලය පසුව ලෝකයේ ඉහලම පරිසර සහතික ලබාගත්තා. ඒ, අර විරෝධතා නිසා ඔවුන්ට ඇතිවුනු මනා කලමනාකරනය ගැන පෙලඹවීම නිසා වන්නට පුලුවන්. කන්ඩලම උදාහරනය වින්-වින් එකක්. අවසාන විග්‍රහයේදී, පරිසර ක්‍රියාකාරිකයාත් දිනුම්, හෝටලයත් දිනුම්.

      කෙසේ වුවත්, මට හිතෙන විදියට කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් යෝජනා කරන ක්‍රමය තමයි අයිඩියල් (විවිද්‍යාල යනු ලාබ නොලබන ආයතනයන් විය යුතුය කියන අදහස මත සිට). රජයේ විවිද්‍යාල ධාරිතාව වැඩිකොට, නිශ්චිත සිසුන් ප්‍රමානයක් මුදල්ගෙවන පදනම මත බඳවා ගැනීම සහ ඒ මුදල් නැවත විවිද්යාලයේ ධාරිතාවය වැඩිකිරීමට යෙදීම. මේ අදහස හැම විවිද්‍යාලයකම ක්‍රියාත්මක කලහැකියි, ඉල්ලුමක් ඇති ධාරා වල.

      සයිටම් ගැන කතාවෙදි දොස්තරලාගේ වෘත්තීය කුහකකම් ගැන කතා කිරීම නම් අදාල නැහැ. ඒක වෙනම සමාජයීය (ගෝත්‍රික?) ප්‍රශ්නයක්. සයිටම් ඇතත් නැතත් ඒ ගොල්ලො එහෙමම තමයි.

      සයිටම් තිබුනත් එකයි නැතත් එකයි අපිටනම් ඕවා නගින්න බැරි ඉහල අතු. අද රාවයේ වික්‍රමබාහු ඔහුගේ මතය කදිමට ප්‍රකාශකර තිබෙනවා. "පෞද්ගලික අධ්‍යාපනය සල්ලිකාරයන්ට. නිදහස් අධ්‍යාපනය සල්ලි නැති අයට. සල්ලි කාරයො ඒ ගොල්ලන්ගෙ සල්ලිවලින් ඉගෙනගන්නවානම් නිදහස් අධ්‍යාපනයට තියෙන බර යම්තරමකට හෝ අඩුවෙනවා "

      - Dimithri

      Delete
  9. @Sa rasaSeptember 2, 2016 at 1:11 PM
    //ඉස් ඉසෙල්ලාම කොන්දක් වගා කොරගනින් පුතේ...// +++++++++++++++
    පාසලේදිම කොඳු නාරටිය බිඳලනෙ යවන්නෙ. A+ @ any cost. එතැනින් එහා දෙයක් නොමැත.

    ReplyDelete
  10. ඒ කාලේ දකුණු කොරියාවේ ශිෂ්‍යයන්ගේ වීදි සටන් හැමදාම ටීවී එකේ පෙන්නුව, එත් අවුලක් නැතුව ඒ රට සංවර්ධනේ වෙලානෙ.

    ReplyDelete
  11. ඊළග ආත්මයේ හොඳ තැනක ඉපදීමට ඇති ආශාවත්, දරුවා දොස්තර කෙනෙකු කරවීමේ ආශාවත් දෙකම එකවගේ. අමු යතාර්තය ඇස්දෙකේ හැප්පි හැප්පි තිබුනත් දකින්නේ නෑ, ඇනිල ඇස් පොට්ට වෙනවා විතරයි. ඒ නිසා වෛද්‍ය මාපියාවට එරෙහිව මහ ජනතාව නම් පාරට ගන්න බෑ, දවසක පුංචි ජනතාව බහින්න පුළුවනි.

    තමුන්ගේ දරුවා දොස්තර කෙනෙක්ම කරන්න දඟලන්නේ, දරුවා දොස්තර තොර ලෝකයක් නොදකින්නේ ඒ මිනිසුන්ගේ ලොකය දැක්මේ පටුබව නිසයි, සුද්දගේ කාලේ ඉදලම ලංකාවේ බලවත්ව හිටි පවුල්වලත්, සහ ඒ කාලයේ මධ්‍යමපංතියේ වුන් උගතුන්ගේ පවුල් වලත් දරුවෝ දොස්තරලා වෙන්න මේ තරම් වලි කන්නේ නෑනේ.

    සොෂල් මීඩියා වලට කාර්යන් දෙකක් තියනවා,එකක් තමා වෛද්‍ය මාපියාවේ ජරා කූජීත බව හෙලි කිරීම, අපි නැතත් ඒක එයාලම අපූරුවට කරගන්නවා. අනෙක ලෝකයේ ඇති අවශ්ථා සහ යන පාර මංමුලා වූවන්ට පෙන්වා දීම,අපේ විදේශගත සහෝදර සහෝදරියන්ට එක අපූරුවට කරන්න පුළුවන් එයාලා ඒ පාරේ ගිය අයනේ, මුස්ලිම්මුන්ට බැන බැන ඉන්නැතුව අපිත් අපේ තරුණ පරපුරට මඟ පෙන්වමුද

    ReplyDelete
  12. Saitm ekata courts walin kalin lebuna theenduwa anuwa awissawella hospital eken forensic ha psychiatric walata th kaduwela MOH eken lebena community medi ekatath mudal gewanawa health ministry yata. Appointments thunata Rs.150000.00 gewanawa eka student kenek wenuwen . Ema mudal aragena awissawella hos. Eka diunu karannath puluwan nefa

    ReplyDelete
  13. මාතෘකාව සයිටම් වාමාංශිකයෝ නේ, ලංකාව අනාගාමික වෙන්න යන දවසට එයාලා “ආගමික වාමාංශිකයෝ“ වේවි. හොඳවෙලාවට එයාලට අර “ප්‍රගතිශීලී“ කියන වචනේ අමතක වෙලා, නැතිනම් අපිටයි ඔල්මොරොන්දම් වෙන්නේ.

    ReplyDelete
  14. wamanshikada nadda kiyana eka adala na. wamansikayan ha SAITAM kiyanne dekak. kanagatuwata hetuwa rate biddimat janathawa godak vadagath prasna waladi ewa wamanshikawadayakata lagu kirima. Rajaye vidaya niladaringe sangmaya gana ha vidayavaru gana tiyene vivechana ha 100% ekangaviya haka. namuth meyata visaduma SAITM haraha labey kiyala hitana eka tamay waradda. SAITAM yanu tawat gatalu godaka arambayak. Rajaye vaidyawarun gana mona vivechana tibinat api tawama viswasa karanawa yam gunathmaka bawayak tawama lankawe rohal paddatiya thula tibena bawa (anith rajya ayatahana ha sasadimedi). Ahinsaka leddunge wakugadu wani sarira kotas vikunana vaidyawaru ona taram lokaye sitina atara ewani jawaram lankaweda anagataye ativiya haka. bus gamunu wani buddumatum SAITM wata rokvi me sarasenne kumakatada yanna salaka baliya yuttaki.

    ReplyDelete
  15. In some countries intake to all private universities are done through a government body based on a merit list. The process is transparent and no one is given favours in the selection process. Also students are provided with facilities to borrow money from banks to pay part of the course fee. I think Sri Lanka should adopt a similar system. That way bright students will not feel that they are left behind because of their financial status.

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ යෝජනාවක්, ආරම්බයට රජයේ මුදල් දාලා වෛද්‍ය පීඨ වල ධාරිතාව 10% වැඩි කරලා එය මුදල් ගෙවන නමුත් Z score එක ඉහළ අයට වෙන් කරානම්, වෙනත් පීඨ වලට තේරුණු අයත් බැංකු ණයක් අරන් ඒ ක්‍රමයට ඇතුල් වේවි.

      Delete
  16. [තමන්ගේ දින පොතක සේවා කාලය වාර්තාගත කර, මහජන මුදලින් අතිකාල දීමනා පවා ලබා ගැනීමේ වරප්‍රසාද හිමි කරගෙන තිබෙන තවත් වෘත්තියක් ලංකාවේ නැත]

    ආ ඒක තමා ඒ අයගේ විශේෂත්වේ. නර්ස්ලටත් ඔය වරප්‍රසාදයම තිබුණ නම් පැරා මේ ගැන මාරාන්තික නිශ්ශබ්දතාවයක ඉඳියි.

    ReplyDelete
    Replies
    1. ඒ උඹලාගේ හැටි ය. මා රජයේ සේවයේ ලක්ෂණ විවේචනය කළේ ඒ ලක්ෂණවලින් වාසි ලබන රජයේ සේවකයකු ව සිටියදී බව මතක් කර දෙමි.

      Delete
  17. සාමාන්‍යයෙන් ඉස්කෝලෙ ගන් කබරයෝ වගේ හිටිය ඇවුන් තමයි කැම්පස් ගිහින් සමජවාදේ ශිෂ්‍ය වියාපාර කරගෙන බොරු වීරයෝ වෙන්නේ. ඉතින් උන් කැම්පස් එකෙන් එලියට ආවහමත් නරි හමට උඩින් පොරවන් ඉන්න සිංහ හම ගලවන්නෙ නෑ. මම මේ කිව්වට ඔය වයිද්‍ය සංගමයේ ලොකු පොරවල් TV එකේ පොර ටෝක් දෙනකොට උන්ගේ මුනවල් දිහා පොඩ්ඩක් බලන් ඉන්න. උන්ට හරියට කැමරාව දිහා බලාගෙන කතා කරන්නවත් බෑ. මුණ හංගන් ඇස් කරව කරව හරියට ක්ෂණික මෝචන කාරයො වගේ. මමනම් කියන්නේ ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වන්නම ඕන.

    ReplyDelete
  18. කණ්ඩලම සිට සයිටම් දක්වා......
    එදා කණ්ඩලම හෝටලය තැනීමට එරෙහිව පැවති විරෝධතා සංදර්ශන සිහිපත්වේ.සයිටම්හි අධ්‍යාපන ප්‍රමිතියේ අඩුපාඩු ඇත්නම් ජාතික වෛද්‍ය සභාවට ඒ පිළිබඳව නිසි පියවර ගතහැකි නොවේද?අදාළ ප්‍රමිතිය නොමැති උපාධිය නිසා වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීම නොකර සිටිය නොහැකිද?

    ReplyDelete
    Replies
    1. පුළුවනිනේ, ඊට නිර්ණායක හදන්න ඕන, ඒ නිර්ණායක වලින් රජයේ පීඨත් මනින්න ඕන, රජයේ පීඨයක් අසමත් වුනොත් එහි පීඨාධිපතිවරයා වෛද්‍ය සභාවෙන් අයින් කරන්නත් ඕන.

      Delete
  19. ලoකාවේ පවුද්ගලික අoශය මැදිහත්වූ සෑම ක්ශේත්‍රයක්ම බිදවට්ටන ලදි...........
    නිදහස් සෞඛ්‍ය,නිදහස් ප්‍රවාහනය උදහරන ලෙස ගත හැකිය.................

    ඉතිරිව ඇත්තේ පන අදිමින් හෝ තිබෙන නිදහස් අද්‍යාපනය පමනි......................
    ඵයද මුදලාලිකරනය කලහොත් ලoකාවේ බහුතරයක් වන සාමාන‍ය දුප්පත් පවුල්වල දරුවන්ට ඇති ඵකම බලාපොරොත්තුවද අහිමිවනු ඇත.........................

    නැවත වැඩවසම් ක්‍රමය ස්තාපිත කිරීමට වික්‍රමසිහ හාමුලා රාජපස්ස හාමුලාට හැකි වනු ඇත.......................

    සිoගප්පුරු සිහිනයට, ඇට අටේ සිහිනයට, ආශ්චර්ය සිහිනයට, ෆොක්ස්වැගන් සිහිනයට රැවටුනු මෝඩ සිoහලයා පවුද්ගලික අද්‍යාපන හීනයටද රැවටී තමුන්ගේ දරුවන්ට තිබූ ඵකම සහනයද අහිමිකරගනු ඇත..............

    නහින දෙහිනකාලේ වත් සැපක් විද පොරක් වෙන්න ඔනයැයි සිතමින් ආන්ඩුවේ අසූචි බාල්දි සියතින් නාන පැරනි වමුන් ගැන අපටනම් අතිවන්නේ අපුලකි............................

    ReplyDelete
  20. බ්ලොග් ලියන පොරකුත් ඉන්නවා නේද මෙහෙම වෙච්චි?
    http://www.divaina.com/2016/09/04/feature14.html

    ReplyDelete
  21. මේ ගොල්ලෝ රාගම PMC එකටත් ඔය කතාම තමයි කිව්වේ. හැබැයි අද එකෙන් ඩිග්රි ගත්තු අය ඔය යස අගේට රස්සාව කරන්නේ. සමහරු ස්පෙෂලිස්ට්ස්ල වෙලත් ඉවරයි.

    ReplyDelete
  22. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නොවූ කල එය පෞද්ගලිකද රජයේද යන්න ගැටළුවක් නොවේ. නමුත් ලංකාවේ මේ වන විට ජිවන තත්වය ගත කල SAITM හි අය කිරීම දැරිය හැක්කේ ඉහත කියූ 128,000 කුමන ප්‍රතිෂතයකටද? ගැටලුව ඇත්තේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුලය. ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව පෞද්ගලික අංශයට සීමාවකින් තොරව භාවිතාවට ඉඩ දී අඟ බේරාගෙන සිටී. කතා කල යුත්තේ එයයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.