2016-09-20

විශ්වවිද්‍යාල සූදුවෙන් ජයගෙන අත්වැරැද්දක් නිසා පැරදුණ සිසුවෙකුගේ දුක්ගැනවිල්ලක්

මේ දුක්ගැනවිල්ල මොහොතකට කලින් ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගය සමත් වූ සිසුවෙකු දුරකථනයෙන් කතා කර හැඬූ කඳුළෙන් මට කියූ කතාවක්.

මේ දරුවා මොනරාගල දිස්ත්‍රික්කයේ ඈත පාසලක උසස් පෙළ සඳහා ඉංජිනේරු තාක්ෂණවේදය හදාරා විභාගය සමත් වූ සිසුවෙක්. ඔහුගේ දිස්ත්‍රික් ශ්‍රේණිය 10ට අඩු එකක්. සමස්ත ලංකා ශ්‍රේණිය 700 ආසන්න ගණනක්. ඉංජිනේරු තාක්ෂණවේදය විෂයෙන් තෝරා ගන්නා සිසුන් සංඛ්‍යාවට ඇතුළත් වන්නට ඔහුට සුදුසුකම් තිබෙනවා.

“මගේ ප්‍රතිඵලය හොඳ නිසා මම විශ්වවිද්‍යාලෙට තේරෙයි කියලායි බලාපොරොත්තු වුණේ. ඒ නිසා 2016 අවුරුද්දේ විභාගය කළෙත් නැහැ. විශ්වවිද්‍යාලයට අයදුම් කරනකොට මම ඉල්ලුවේ ජයවර්ධනපුර, සබරගමුව, වයඹ, රුහුණ කියන විශ්වවිද්‍යාලයි. මගේ පාඨමාලාව පවත්වන විශ්වවිද්‍යාල අටක් නම් කළ හැකිව තිබුණත් මම නම් කළේ හතරයි. දැන් නම් හිතෙනවා මම කර ගත්තෙ මෝඩ වැඩක් ය කියලා. ඒ වුණාට අපි දන්නෙ කොහොම ද විශ්වවිද්‍යාල ප්‍රවේශය මෙච්චර කෘරයි කියලා.

“ඒකෙනුත් සබරගමුව විශ්වවිද්‍යාලයට ඉංජිනේරු තාක්ෂණය සඳහා සිසුන් බඳවා නො ගන්නට පසුව තීරණය කරලා තියෙනවා. අයදුම් කරනකොට අපට ඒක කිව්වෙ නැහැ. අනෙක් විශ්වවිද්‍යාලවලට තේරෙන්නට තරම් මගේ ඉසෙඩ් ස්කෝර් එක මදි. දැන් මාව කිසිම විශ්වවිද්‍යාලයකට තේරිලා නැහැ. ඉංජිනේරු තාක්ෂණවේදයෙන් දිස්ත්‍රික්කයේ මට වඩා පහළ මට්ටම්වල ඉන්න අයටත් විශ්වවිද්‍යාල ලැබිලා.

“මම විශ්වවිද්‍යාල අට ම ඉල්ලුවා නම් මටත් මොකක් හෝ ලැබෙන්නට තිබුණා. ඒ වුණාට මං ඉල්ලපු විශ්වවිද්‍යාලයකට සිසුන් බඳවා නො ගන්න තීරණය කළේ මම අයදුම් කළාට පසුවයි. මට විශ්වවිද්‍යාලයක් නො ලැබෙන එක අසාධාරණයි නේ ද?"

මෙම සිසුවාගේ පියා ගොවියෙකි. සිසුවා නැවත විභාගයට පෙනී සිට ද නැත. විශ්වවිද්‍යාල සූදුවෙන් දරුවාට අත් වී තිබෙන්නේ භයානක පරාජයකි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස මම සිසුවාට කීවෙමි. දරුවා මේ මොහොත වන විටත් සිටින්නේ තදබල මානසික පීඩනයක බව මට දැනිණි. මෙය ජීවිතයක් සමග සෙල්ලමකි.

මගේ අදහස නම් මෙතැන පැහැදිලි මානව හිමිකම් උල්ලංඝනයක් සිදු වී ඇති බවයි. මෙම වරද නිවරද කළ යුතු ය.

මෙය කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරන්න. තවත් මෙවැනි ප්‍රශ්න තිබේ නම්, ලියා එවන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

26 comments:

  1. "විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස මම සිසුවාට කීවෙමි."
    "මගේ අදහස නම් මෙතැන පැහැදිලි මානව හිමිකම් උල්ලංඝනයක් සිදු වී ඇති බවයි. මෙම වරද නිවරද කළ යුතු ය."

    ඔබ බැලූ බැල්මට නිවැරදිය. තවත් දිනයක් හෝ පමා නොවී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස මේ සිසුවා දැනුවත් කරන්න. ඊට සමගාමීව නොපමාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට උපදෙස් දෙන්න.

    අවශ්‍ය විටෙක අපේ සහය ඔබට හිමිවනු ඇත.

    - ASD

    ReplyDelete
    Replies
    1. මේ දරුවාට ලඟම ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කාර්යාලය මාතර යයි සිතමි. එහි ලිපිනය සහ අනෙකුත් විස්තර මෙසේය.

      ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
      ප්‍රාදේශීය සම්බන්ධීකාරක
      අංක 15,කාලිදාස මාවත, මාතර .
      දුරකථන/ෆැක්ස්: 041-2226533
      ව්ද්‍යුත් තැපෑල: hrcmatara@sltnet.lk

      -ASD

      Delete
  2. හරිම අසාධාරණයක් වෙලා තියෙන්නේ.

    සිස්ටම් එකේ වික්ටිම් කෙනෙක්.

    මෙවැනි කෙනෙකු සඳහා නේද ඇමතියෙකු යූජීසීයට ලිපියක් ලියා තිබුණේ?

    තමන් ගැන අධි තක්සේරුවක සිටීමත්, නිසි උපදෙස් නොලැබීමත් මෙයට හේතුවයි.

    අපේ කණ්ඩායමට අගෝස්තුවේ අප කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිපල දැන ගන්නේත් නැතුවයි, ඊළඟ වසරේ අප්‍රියෙල්වල තිබුණු විභාගයට මුදල් ගෙවා අයැදුම් කරන්න වුණේ.

    ReplyDelete
  3. දැන් විශ්වවිද්‍යාල අවස්ථා පුළුල් වෙලා තියෙන එකේ ඔය රජයේ මගුල් පස්සෙම පන්නන්නේ නැතිව අපිට බැරි වෙයිද ඒ ශිෂ්‍යයව සයිටම් එකට දාන්න. ඒකේ ඉංජිනේරු පීඨයක් තියෙනවලු. ඇයි අපි මේ එක පැත්තක් විතරක් හිතන්නේ.
    උසස් පෙළ අසමත් ශිෂ්‍යයොත් ඒකේ ඉන්න එකේ මෙච්චර දක්ෂ කොල්ලෙක්ව දාගන්න බැරි වෙන එක නෑ අපි උත්සාහ කළොත්.
    - නජිත් ඉන්දික

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මෙවැනි ප්‍රශ්නයක් ඔහුට ඉදිරිපත් කළ විට ඔහු මෙවැනි පිළිතුරක් වෙන්න ඇති දෙන්නේ. මං හිතන්නෙ මේ වගේ දේශපාලකයන් ප්‍රධාන ධාරාවේ නම් නැහැ. මම මේ ලිපිය ලිව්වෙ මොනරාගල පැත්තෙ ගොවියෙකුගෙ දරුවෙක් ගැන. ගොවියෙක් කිව්වාට ඔහු දිළින්දෙක් නෙමෙයි. මේ අවස්ථාව නැතිව ගියොත් ඔහු පෞද්ගලිකව වියදම් කර දරුවාට උගන්වයි. එහෙත්, ඔහු පොදු උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙවලා තියෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය සුදුසුකම් ලබලා තියෙනවා. එතකොට ඔහුට ඒ සඳහා පැහැදිලි හිමිකමක් තියෙනවා. ඒ හිමිකම ගන්න අන්තරේ හිටපු කැඳවුම්කරුවෙකුගෙ අවසර ගන්න ඕනැ නැහැ. අනෙක ඒ ප්‍රශ්නය මට කිව්වා ය කියලා මේ සිසුවාට විසඳුමක් නො දෙන්න ඒක හේතුවක් නෙමෙයි.

      Delete
    2. නියම උත්තරේ පැරා.අන්තරේ උන්ට බැරිද මේ වගේ අසාධාරණ වෙනුවෙනුත් පෙනි සිටින්න.

      Delete
  4. This happens every year. In university application form clearly mention that MARK ALL COURCES and UNIVERSITIES that you need to consider. But unfortunately most of students mark only few of them. As a result of that this type sad stories appear. Found this similar post in another web site.

    http://sudupoosa91.blogspot.com/2016/09/blog-post_99.html?m=1

    ReplyDelete
  5. මෙය ක්‍රමයේ වැරැද්දක්. කැමති වි.වි අනුපිලිවෙල භාවිතා කලයුතේ ලකුණු අනුව එම තැනැත්තාට එම වි.වි වලින් එකකට වැඩි ගණනකට සුදුසුනම් එයින් වඩා කැමති එක තෝරාගැනීමටය. කැමති අනුපිලිවෙලක් නැත්නම් හෝ සඳහන් කර නොමැති වි.වි කට ලකුණු ඇත්නම් එය ලබා දිය යුතුය. කැමති අනුපිලිවෙල යනු සඳහන් කර නැත්නම් වෙන වි.වි යක් එපා කීම යැයි සැලකීම නොගැලපේ

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අජිත් සහ නිරෝෂන්,
    සැබැවින්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමෙන් ගැටුමක් නිර්මාණය කිරීම මම අදහස් නොකළෙමි. නමුත් යම් මානව හිමිකමක් කඩවී ඇත්නම් හෝ කඩවීමකට ආසන්න අවස්ථාවක් නිර්මාණය වී ඇත්නම් අයෙකු මෙසේ පැමිණිලිකර තිබීම යම් ආයතනයක් සමග ගණදෙනු කිරීමකදී ඔහුට යම් ශක්තියක් ලබාදේ. කෙසේ නමුත් නිරෝෂන් පවසන ආකාරයට මෙය විසඳාගැනීමට හැකිනම් වඩා සුදුසුම දේ එයයි.මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලිකිරීම සඳහා කාල බාධකයක් නොමැත. නමුත් සාධාරණ කාලසීමාවක් තුළ පැමිණිල්ල ඉදිරිපත් කිරීම වඩා සුදුසුය.

    - ASD

    ReplyDelete
  8. පැරා, මේ දරුවට ඉක්මනින්ම යූ.ජී.සී. යට අභියාචනයක් ගොනු කරන්න කියන්න. ඒක
    දාල නිකන් ඉන්නැතුව කොළඹ ගිහින් එහි "අතිරේක ලේකම් (විශ්ව විද්යාල
    ප්‍රවේශ) " හමුවෙන්න කියන්න. ඔවුන් මේ වගේ ප්‍රශ්න ගැන හරිම සන්වේදීයි.
    එහෙමත් කරල පොඩ්ඩක් ට්‍රය් කරන්න කියන්න අදාළ වි.විශ්. වල පීඨාදිපතිවරු
    පොඩ්ඩක් හමුවෙන්න. මොකඩ අදාළ පීඨ වල ප්‍රවේශ සම්බන්ධව පීඨාධිපති සතු බලය
    ඉමහත්.
    මානව හිමිකම් යන්ඩ කලින් වැඩේ ගොඩින් බේරගන්ඩ බලමු. මොකද දැනටමත්
    යූ.ජී.සී. යට අපි ඔනවටත් වඩා නිදහසට කරුණු ඩීලා ඉවරයි. ඒක සෑහෙන්න දුරට
    ගැටෙන සුලු හා නයිතික ක්‍රියාවලියක්.
    දෙවනි ස්ටෙප් එක විදිහට මේකටව්යමු. නමුත් පැමිනිලි කරන්න වලන්ගු අදාළ
    කාලය ඉක්මවාගන්න එප පළවෙනි ස්ටෙප් එක තුලදී

    ReplyDelete
  9. මෙතන මානව හිමිකමක් උල්ලන්ඝයනය වී ඇති බවක් පෙනෙන්නේ නම් නෑ. නොඉල්ලු විශ්විද්යාලයක් ලබදෙන්නට ප්‍රතිපාදන කොමිෂමට අවසරයක් නෑ. නොලිල්ලු විශ්විද්යාලයක් ලබා දුන්න නම් තමයි මානව හිමිකම් කඩවීමක් ලෙස පෙන්විය හැක්කේ.

    මෙය සිසුවාගේ නොදැනුවත් කම නිසා සිදුවී ඇති දෙයක් බව පෙනෙන්නේ. බොහෝවිට මෙවැනි (මේ පළමුවර නිසා මේ ගැන කියන්න අමාරුයි) පාඨමාල වල පුරප්පාඩු තිබෙන නිසා සානුකම්පිතව සලකා බලා ලබාදෙන අවස්ථාවක් ඉල්ලාගන්නවා හැරෙන්න නීතියක් කල හැකි යමක් ඇති බවක් ප්‍රවේශය ගැන මගේ දැනුම අනුව නම් පෙනෙන්නේ නෑ.

    මේ ගැන ඉක්මනින් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. හොදම දේ කොළඹ ගහින් මේ ගැන සානුකම්පිතව බලා අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීම. අනික විෂමාලාවේ මේ පාඨමාලාව හැරෙන්නට මීට ඉහල පාඨමාලා නැති නිසා, ප්‍රයෝගිකව පුරප්පාඩු තිබිය හැක්කේ විදේශ ශිෂ්‍යත්ව හෝ නිවසින් දුර බැහැර නිසා ඈත විශ්ව්දියලයකට නොයන ඉහල සාමාජ ස්තර වල ගැහැණු ළමයි වැනි කීපයක් පමණක් විය හැකියි. එසේ විශ්විද්යාලයට නොයන කෙනෙක් සිටී නම් ඔහුට දන්වන ලෙස සමාජජාල තුලින් ඉල්ලා සිටිය හැකි වෙන්නට පුළුවන්. එහෙම අයෙකුගේ පුරප්පාඩුවකට රිංගා ගත හැකි වේවි එසේ සොයා ගත්තොත්. එය සානුකම්පිත පාඩම යටතේ මිසක් නීතිමය පදනම යටතේ බව මම සිතන්නේ නෑ.

    එහෙම ඉක්මන් නොවී තිබෙන පුරප්පාඩු සියල්ල පිරවීමෙන් පසු රටට දොස් පැවරීමෙන් වැඩක් වෙන එකක් නෑ. පුරප්පාඩු නොමැති නම් පීඨධිපති තුමෙකුට වුවද කළහැකි යමක් නැති වෙන්න පුළුවන්.

    විශ්විද්‍යාල ශිෂ්‍ය සංගම් කොමිෂන් සබාවත් සමග එකතු වෙලා ප්‍රවේශය ගැන ඉක්මනින් නගර මට්ටමින් මෙවැනි දැනුවත් කිරීම් කරන්න මුල් වෙනවා නම් ලබා අවුරුද්දේ මෙවැනි සිදුවීම් වලක්වා ගන්න හේතු වේවි.

    මේ ගැන දන්නා බලොග්කරුවන්ගෙන් ඉල්ලනවා, මෙවර ඉල්ලුම්පත්‍ර පුරවන අයට දැනුවත් වීමට මේ ගැන ලිපි කිහිපයක් ලියන ලෙස. එවිට ටික දෙනෙකු හෝ දැනුවත් වේවි.

    ReplyDelete
    Replies
    1. මෙවර ඉල්ලුම් කරන අයට, ගණිතය ජීව විද්‍යාව, තාක්ෂණ අංශ වලින් උසස් පෙළ කල අයට යම් දෙයක් විමසීමට ඇති නම් මගේ දැනුමේ හැටියට යම් මගපෙන්වීමක් කල හැකියි. එවැනි තවත් බ්ලොග් කරුවන් සිටින අතර ඔවුන්ද එසේ පිළිතුරු දෙවි කියා සිතනවා.

      Delete
    2. කිසිම හව්හරණක් නැති මිනිස්සුන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක වෙන රටක් මේක.

      Delete
    3. ඔව්ව ඔහොම තමයි Anonymous මිත්‍රයා,

      නීතිය ක්‍රියාත්මක නොවී තමුන්ට ඕනේ දේ නොවෙනකොට නීතියක් නෑ කියල මිනිස්සු කියනවා. නීතියේ හැටියට නීතිය ක්‍රියාත්මක වෙනකොටත් ඒ මිනිස්සුම ආඩපාලි කියනව. ඕව අපි වගේ රටවල සාමාන්‍ය දේවල්.

      නොඉල්ලපු විශ්ව්දියාලයක් ඔය ළමයට ලැබුන නම් ඔය කතාව කවුරුවත් කියන්නේ නෑ. නොඉල්ලපු විශ්විද්යාලයක් ලැබුන නම් එවෙලාවට ඔබලා ඉල්ලන්නේ නීතිය අකුරට. ඒවගේම කොමිසමේ පාරදෘශ්‍ය භාවය වගේ හැමදේම ප්‍රශ්න කරලා සමහරවිට ඇමති නීතියට පිටින් ළමයි විශ්විද්යල වලට රින්ගවන්වා කියන්න පුළුවන්.

      ඕව කොහොමත් ඔහොම තමයි. :D

      තවත් ළමයෙකුට ඔය දේ නොවෙන්න දැනුවත් කරන එක තමයි ඉතින් අපිට කරන්න පුලුවන් වැදගත් දේ.

      Delete
    4. මේ ලමයට වුනු කරදරය ගැන කනගාටුයි. ඒත් බොහෝ දුරට ඔක්කොම පීට ඉල්ලන්න නැතුව ඉන්න ඇත්තෙ වෙන කිසියම් උවමනාවකින් වෙන්න ඇති.
      සබරෙ ගන්න හිටපු ගානත් එක්කම අනෙක් ඒවට අරන් තියෙන නිසා එහෙම අසාදාරනයකුත් නෑ නේද​?
      කොහොමටත් තමන් නොඉල්ලූ පාටමාලා හෝ පීට කොමිසමෙන් දෙන්න ගත්තොත් පැරාට දවසට දෙක ගානෙ ඒවටම පෝස්ට් දාන්න වෙයි.

      Delete
    5. @ කෙන්කියුෂා: අවිද්‍යාවෙන් (බටහිර) විද්‍යාවට September 21, 2016 at 11:10 AM

      //නීතිය ක්‍රියාත්මක නොවී තමුන්ට ඕනේ දේ නොවෙනකොට නීතියක් නෑ කියල මිනිස්සු කියනවා. නීතියේ හැටියට නීතිය ක්‍රියාත්මක වෙනකොටත් ඒ මිනිස්සුම ආඩපාලි කියනව. ඕව අපි වගේ රටවල සාමාන්‍ය දේවල්.//

      දැන් කියපන්කො මේක හැම එකාටම එක වගේ නීතිය අකුරටම සිද්ධවෙන රටක්ද කියලා? ඇමති හරි බලයක් තියෙන එකෙකුට මේ දේ උනොත් ඌ අපේ පැරාට කියලා එවයිද?

      ලොකු උන් ඉස්සරහා පරඬැල් වගේ නලියන නීතිය පොඩ්ඩක් නවලා මූව ඇතුළට ගත්තා කියලා ඒක ජාතික අපරාධයක්ද? අනික සුදුසුකම් තියාගෙන.

      නාමල් බේබි ලෝයර් වුණ හැටි, රිචඩ් පතිරණගේ කොල්ලා මෙඩිකල් කොලේජ් ගිය හැටි මතක නැද්ද?

      Delete
  10. ඉස්සර නම් අපේ නාමෝල් බේබි හිටියා මේ ගැන බලන්න.
    බැරිද දන්නෙ නෑ දහම් බේබිගෙ හරි චතු නගාගෙන් හරි හෙල්ප් එකක් ගන්න.

    ReplyDelete
  11. සාමාන්‍යයෙන් වෙන්නේ සබරගමුවට බඳවගන්න හිටපු ලමයි අනික් සරසවි අතර බෙදා දෙන එක. ඔතනදි පීඨාධිපති කෙනෙක්ව හම්බවෙන එක කරන්න බෑ, මොකද ඔය කියන නමින් සබරගමුවේ පීඨයක් නෑ. ඒත් ගැටළුව තමයි ලමයින්ට සරසවි ලබාදෙන්නේ ඒ ළමයින්ගේ මත. එතකොට මේ කියන විදිහට ජපුරට මදි නම් ඊළඟට බලනවා සබරගමුවට. දැන් සබරගමුව නැති හින්දා බලනවා දාපු අනික් වයඹ හා රුහුණ. එතකොට ඒවාට තේරෙන්න ලකුණු නැත්නම් තව කැම්පස් දාලාත් නැත්නම් අනුයුක්ත කිරීමේ ප්‍රශ්නයක් එනවා. ඒත් ගැටළුව දිස්ත්‍රික්කයේ 10 වෙලා ඉඳලත් මෙයාට ජපුරට එන්න ලකුණු නැති වුනත් අනික් කැම්පස් දෙකෙන් එකකටත් එන්න ලකුණු නැහැ කියන එක.

    ReplyDelete
  12. විශ්ව විද්‍යාල වලට තෝරණ ක්‍රමය නිකං ලොතරුයියක් වගේ දෙයක් . මම විශ්ව විද්‍යාලයට ගියේ අවුූරුදු 35 කට ඉස්සර. නමුත් තවම තියෙන්නේ එදා තිබ්බ ක්‍රමයමයි. මේක ගැන මහජන අදහස් විමසා කාලයට සුදුසු ක්‍රමයක් සැදිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. z ස්කෝ ආවට සහ ඔය තාක්ශන කතාවත් එක්ක දැන් මේක ඩක්වත් ලුවිස් මැච් එකක් වගේ වෙලා

      Delete
  13. මෙතන නීතියෙන් යමක් කරන්න අමාරුයි. කරන්න තියෙන හොඳමදේ AnonymousSeptember 21, 2016 at 9:03 AM කියල තියෙනවා. අපේ කාලෙ නම් මුලින්ම විශ්ව විද්‍යාල පාඨමාලා තමන් කැමති අනු පිලිවෙලට ඉල්ලන්න ඕනෙ. ගණිත අංශෙ සිසුවෙක් නම්, ඉංජිනේරු, ප්‍රමාණ සමීක්ෂණ, පරිගණක, භෞතික විද්‍යා වගේ පාඨමාලා අනු පිලිවෙලට ඉල්ලිය හැකියි. ඒ ඒ පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල, වෙනම අනු පිලිවෙලටත් ඉල්ලිය යුතුයි. මෙතන සිසුවාගේ වෙන ගැටළුවක් ඇතිබව පේනවා. ඔහු ඉල්ලූ පාඨමාලාවේ අවම ලකුණු ඇත්නම්, ඔහු විශ්ව විද්‍යාලය සඳහන් නොකළත් පුරප්පාඩු ඇති විශ්ව විද්‍යාලයක් ලැබෙනවා. හැබැයි කෙනෙක් හොඳින් ලකුණු ලබා ගත්තා කියා එක පාඨමාලාවක් පමණක් (උදා: ඉංජිනේරු ) ඉල්ලා ඇත්නම්, එම පාඨමාලාවට ලකුණු මදිවූ අවස්ථාවක, වෙනත් පාඨමාලා ලබා දෙන්නේ නෑ. මෙහිදී වැඩිම ලකුණු අවශ්‍ය මොන පාඨමාලාවටද යන්න තීරණය වෙන්නේ, සිසුන් වැඩිපුර ඉල්ලන පාඨමාලාව අනුව. මේ සියලුම උපදෙස් සහ පසුගිය වසරවල Z score අගයන් යූජීසිය මගින් ලබා දෙන අයදුම් පත්‍රය සහිත පොතේ අඩංගුයි. ප්‍රශ්නය වෙන්නෙ ලංකාවෙ A3ක් ගත්ත සමහර සිසුන්ටත් මෙම විස්තර කියවා නිවැරදිව අයදුම් කිරීමට නොහැකිවීම. භාෂා 3න්ම පලවෙන නිසා මෙය භාෂා ප්‍රශ්නයක් නොව, සිසුන්ගේ තේරුම් ගැනීමේ නොහැකියාව. මොකද ලංකාවෙ අධ්‍යාපනය තුල සිසුන් හුරු වෙලා තියෙන්නෙ ගුරුවරයා පොවනකම් බලා හිඳීම, නැත්නම් හැම සිසුවාම ටියුෂන් යාමේ අවශ්‍යතාවයක් නෑනෙ, ටියුෂන් ඕනෙ දුර්වල සිසුන්ට පමණයි. ඉතින් අයදුම් පත්‍රය පුරවන හැටිත් ටියුෂන් පන්තියෙ කළා නම්, මෙහෙම වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා,

      තාක්ෂණ විෂය ගිය අවුරුද්දේ නේ ආවේ. එකෙන් යන්න පුළුවන් ඔය පාඨමාලව හා නීතිය වැනි විවෘත්ත ඒවාට පමණයි කියල ආරංචිය.

      ප්‍රරතිපාදන කොමිසමේ මේ සබැඳියේ 2 වෙනි පිටුවේ 14 වෙනි වගන්තිය කියවීමෙන් ඔබට නව නීති රෙගුලාසි අවබෝධ කරගත හැකි වෙනු ඇත.

      මේවා ලියන්නේ ඔය කියපු සිසුවාට දොස් පවරන්න නෙවෙයි. වෙනත් කෙනෙකුට ඔය ටික නොවෙන්න දැනගන්න.

      Delete
  14. ශිෂ්‍යත්වය පාස්වෙලා කොළඹට ඉස්කෝලවලට එන ළමයි විශ්ව විද්‍යාලයට යන්නේ කොළබ ජිවත්වන ජන අනුපාතයට අනුව දෙන කෝටා එකෙන් . එතකොට අර ළමයා සහ ඔහු හෝ ඈයගේ දෙමව්පියන්ගේ ජන අනුපාතය අනුව වෙනත් දිස්ත්‍රක්කයක ළමයෙකුට වාසියක් වෙන අතර කොළඉපදී කොළබ ඉස්කෝලේ ගිිය ළමයෙකුට අසාධාරණයක් වෙනවා . මේවා ගැනත් ලියන්න පැරා !

    ReplyDelete
  15. සබරගමුව සරසවි තාක්ෂණ පීඨය, රත්නපුරයටත් පඹහින්නටත් දෙකටම නැති වීමට නිදහස් අධ්‍යාපනයේ සුරැකීම වෙනුවෙන් කියල බොරුවට කෑගහන ශිෂ්‍ය සංගම්නුත් වග කියන්න ඕනේ.

    නොවැදගත් හේතුවක් නිසා අවසානයේ වුනේ රාජ්‍ය විශ්විද්යලයකට එක්වෙන්නට තිබුන තවත් වටිනා තාක්ෂණ පීඨයක් නැතිවීම පමණයි. භාහිර දේශපාලනය සහ දුර්මත නිසා එක තැන හිරවෙලා තිබෙන කටුබැද්ද තාක්ෂණ ආයතනය ගැන කියන්න තිබෙන්නේ ඊට කිට්ටු කතාවක්.

    නිදහස් අධ්‍යාපනේ රැකගන්න කියන කෑගහන මිනිස්සුම මේවා හිරකරන එක තමයි කණගාටුව.

    ReplyDelete
  16. මේ බ්ලොග් පෝස්ට් එක හරහා ගොඩනැගෙන සංවාදයෙන්වත්, වැරදීමකින්, නොදැණුවත්කමින් හෝ මොනයම් ආකාරයකින් හෝ අසාධාරනයකට, අපහසුතාවයකට පත්වෙන හැකියාවක් ඇති මෙවන් දරුවන්ට නිසි උපදෙස් හා මගපෙන්වීමක් ලැබෙනවා නම් එය බ්ලොග්කරුවෙක් අතින්වූ උතුම් යුතුකමක් කියා මා හිතනවා.

    පැරා ඇතුලු සියල්ලන්ටම ශක්තිය සහ ධෛර්‍ය්ය!!!!!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.