2016-10-19

වෙළෙඳ ගිවිසුමක්‌ යනු කුමක්‌ද එහි වාසිය කාටද?

* ලලින්ද සුගතදාස

ශ්‍රී ලංකාව හා බැඳුණු අන්තර්ජාතික වෙළෙඳාමේ ඉතිහාසය වසර දහස්‌ ගණනක්‌ ඈතට දිව යයි. සේද මාවතේ සන්ධිස්‌ථානයක පිහිටා තිබීම ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වෙළෙඳාමේ ප්‍රධාන භූමිකාවක්‌ හිමිවීමට හේතු විණි. අනුරාධපුර සහ පොළොන්නරු යුගයේ ශ්‍රී ලංකාව වෙළඳ මධ්‍යස්‌ථානයක්‌ ලෙස පැවතුන අතර එදා එය රටට ආදායම් ගෙන දුන් ප්‍රධාන මාර්ගයකි. එහි ඇති ආර්ථිකමය සහ දේශපාලනික වැදගත්කම එදා සිටි රජවරුන් මැනවින් අවබෝධ කරගෙන සිටියෝය. පළමු විජයබාහු රජු බුරුමය සමඟත්, පළමු පරාක්‍රමබාහු රජු දකුණු ඉන්දියාව සමඟත්, පළමු බුවනෙකබාහු රජු ඊජිප්තුව සමඟත් වෙළෙඳ කටයුතු ශක්‌තිමත් කිරීමට පියවර ගත් බව සඳහන් වේ. එකල මැණික්‌, කුළුබඩු, ඇතුන්, වටිනා දැව වර්ග මෙරටින් අපනයනය කළ අතර සළුපිළි, බඳුන්, පිඟන් භාණ්‌ඩ, අසුන්, සුවඳ විලවුන් වැනි දෑ මෙරටට ආනයනය කරන ලදී. එදා රජවරුන් ඉදිකළ සමහර මහා නිර්මාණ මෙලෙස ලද අපනයන ආදායමෙන් ඉදිකරන ලද බව කියවේ. දහසයවන සියවසේ සිට පුරා වසර 400 ක කාලයක්‌ බටහිර ජාතීන් මෙරට ආධිපත්‍යය ලබා ගැනීමට උත්සාහ කළේ ඉන්දියානු සාගරයේ වෙළෙඳ ඒකාධිකාරය ස්‌ථාපනය කර ගැනීමටය. මෙම කාරණා දෙස බලන විට යමෙකුට හැඟී යන්නේ අන්තර්ජාතික වෙළෙඳාමට අප රටේ ඇති වැදගත්කම අප අවතක්‌සේරු නොකළ යුතු බවය.

රටවල් අතර සිදුවන වෙළඳාමෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රධානතම ප්‍රතිඵලයක්‌ වන්නේ ආර්ථික දියුණුව යි. සංවෘත ආර්ථිකවලට වඩා විවෘත ආර්ථික ඉහළ වර්ධන වේගයන් ලබා ගැනීමට සමත්ය. ඊට ප්‍රධාන හේතු කිහිපයක්‌ වන්නේ දේශීය නිෂ්පාදකයන්ට පුළුල් වෙළඳපොළක්‌ විවෘත වීම, නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ තාක්‌ෂණික දැනුම ලැබීම, විදෙස්‌ ආයෝජන රටට ගලා ඒම යනාදී කාරණාය. ඉන්දියාව තම ආර්ථිකය විවෘත කිරීම 1991 වසරේ අරඹන ලදී. ඉන් පසුව ශීඝ්‍ර වර්ධනයක්‌ ළඟා කර ගැනීමට ඉන්දියාව සමත් විය. චීනයේ 1978 වසරේ ඇරඹුණු ආර්ථික ප්‍රතිසංස්‌කරණ හරහා ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීමෙන් පසු දශක කිහිපයක්‌ තුළ වේගවත් පිම්මක්‌ ඉදිරියට පැනීමට එරට සමත් විය. ආසියානු ව්‍යාඝ්‍රයන් සිවු දෙනා ලෙස හඳුන්වන හොංකොං, සිංගප්පූරු, දකුණු කොරියාව, සහ තායිවානය දැවැන්ත දියුණුවක්‌ ළඟා කර ගත්තේ අපනයන ආර්ථිකයක්‌ කරා ගමන් කිරීමෙනි.

මෙහිදී සිතේ තබා ගතයුතු වැදගත් කරුණක්‌ වන්නේ රටක ආර්ථිකය විවෘත කළ පමණින් එය එම රටේ ආර්ථික දියුණුවට හේතු නොවන බවය. රටක ආර්ථික දියුණුව සඳහා එම රටේ වෙළෙඳපොළ විවෘත වීම පමණක්‌ නොව, එහි වෙළෙඳ හවුල්කාර රටවල වෙළෙදපොළවල්ද ඒ හා සමානව විවෘත විය යුතුය. බටහිර වෙළෙඳපොළ ජය ගැනීමට ප්‍රධානම බාධකය ලෙස පැවතුණේ එම රටවල් විසින් පනවා තිබූ තීරු බදු සහ ආනයන කොන්දේසිය. හැටේ දශකයේදී හඳුන්වා දුන් ජී.එස්‌.පී ක්‍රමය මගින් අප වැනි සංවර්ධනය වන රටවලට බටහිර වෙළෙඳපොළ විවෘත වීමට උදව් විණි. ජී.එස්‌.පී ක්‍රමය මගින් සංවර්ධනය වන රටවල අපනයනකරුවන්ට සහනදාය තීරුබදු අනුපාතිකයක්‌ හිමි වේ. ඉන්පසු වසර 2005 දී හඳුන්වා දුන් ජී.එස්‌.පී ප්ලස්‌ ක්‍රමය මගින් සංවර්ධනය වන රටවලට යුරෝපීය වෙළෙඳපොළ විවර වුණි.

අන්තර්ජාතික වෙළෙඳාම ආර්ථිකයක යම් කාණ්‌ඩවලට වාසිදායක වුවද අනෙකුත් කාණ්‌ඩවලට අහිතකර ලෙස බලපෑ හැක. මෙම හේතුව නිසා රජයන් විසින් මෙම අහිතකර බලපෑම් අවම කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබේ. ආනයනික භාණ්‌ඩ මත දමන තීරු බදු මෙවන් ප්‍රචලිත ක්‍රියාමාර්ගයකි. එමගින් රජයට ආදායමක්‌ ද ලැබේ. උදාහරණයක්‌ ලෙස දේශීය වී ගොවියන් රැක ගැනීමට ලංකා රජය ආනයනික සහල් කිලෝවක්‌ මත රුපියල් 50 ක බද්දක්‌ පනවා ඇත. මෙම බද්ද පැනවූයේ නැති නම් විදේශ වෙළෙඳපොළ සමග තරග කිරීමට සිදුවන අතර දේශීය ගොවියන්ට ප්‍රමාණවත් මිලක්‌ නොලැබෙනු ඇත. නමුත් තීරු බදු ඉවත් කිරීම පාරිභෝගිකයන්ගේ පැත්තෙන් වාසිදායකය. ඊට හේතුව වන්නේ එවිට දැනට පවතිනවාට වඩා අඩු මිලට වෙළෙඳපොළෙන් සහල් මිල දී ගැනීමට හැකි වන නිසාය. බදුවලට අමතරව යම් යම් ආනයනික භාණ්‌ඩ මත විවිධ කොන්දේසි පනවා ඒවා අධෛර්යමත් කිරීමට රජය ක්‍රියා කරයි. උදාහරණයක්‌ ලෙස ආනයනික බලපත්‍ර දැක්‌විය හැක. මෙමගින් බලාපොරොත්තු වන්නේ කලින් හඳුනාගත් යම් යම් භාණ්‌ඩවල ආනයන සීමා කිරීමය.

රටක්‌ තුළ සිදු වන නිෂ්පාදනයෙන් කොටසක්‌ දේශීය පරිභෝජනයට අවශ්‍ය වන අතර ඉතුරු කොටස අපනයනය කරනු ලැබේ. අපනයනය රටක්‌ වශයෙන් ලබන ආදායම ලෙස සැලකිය හැක. රටේ පවතින සම්පත් හා තාක්‌ෂණ සීමාවන් නිසා සියලුම භාණ්‌ඩ රට තුළ නිෂ්පාදනය කිරීමට නොහැක. මේ හේතුවෙන් යම් යම් භාණ්‌ඩ ආනයනය කිරීමට සිදු වේ. මෙය රටක්‌ වශයෙන් සිදු කරනු ලබන වියදම් සේ සැලකිය හැක. අපනයන ප්‍රමාණයත් ආනයන ප්‍රමාණයත් අතර වෙනස වෙළෙඳ ශේෂය ලෙස හඳුන්වනු ලැබේ. අපනයන ප්‍රතිශතය ආනයන ප්‍රතිශතයට වඩා ඉහළ මට්‌ටමක තබා ගැනීම රටක ආර්ථිකයට සුබදායක වේ. අතීතයේ අප ආනයනය කළ ප්‍රමාණයට වඩා අපනයනය කළ ප්‍රමාණය වැඩි වුවද අද එම තත්ත්වය වෙනස්‌ වී ඇත. එදා ඉදිකළ මහා නිර්මාණ අපනයනයෙන් ලද විදේශ විනිමයෙන් ඉදිකළ බවට කලින් සඳහන් කරන ලදී. 2015 වසර වන විට අපනයන ප්‍රතිශතය දල දේශීය නිෂ්පාදනයෙන් 20% ක්‌ පමණ වූ අතර ආනයන ප්‍රතිශතය දල දේශීය නිෂ්පාදනයෙන් 28% කි. 2000 වර්ශයේ අපනයන ප්‍රතිශතය 40% ආසන්න අගයක්‌ ගත් අතර එම වසරේ සිට 2010 දක්‌වා අපනයන ප්‍රතිශතය ශීඝ්‍රෙයන් පහත වැටී ඇත. මෙලෙස ආනයන ප්‍රතිශතය අපනයන ප්‍රතිශතය ඉක්‌මවීම රුපියලේ අගය පහත වැටීමටද එක හේතුවකි.

අන්තර්ජාතික වෙළෙඳාම හරහා සෑම ආර්ථිකයක්‌ම එකිනෙකට බැඳී ඇත. මෙම සිද්ධාන්තය ගෝලීයකරණය නමින් හඳුන්වනු ලැබේ. එම නිසා එක්‌ රටක ආර්ථිකයක ඇති වන පසුගාමී තත්ත්වයක්‌ එම රටත් සමඟ ගනුදෙනු කරන අනෙකුත් හවුල්කාර රටවලට දැනෙනු ඇත. චීනයේ ප්‍රධානම වෙළෙඳ හවුල්කාර රට ඇමෙරිකාවය. 2008 වසරේ අමෙරිකානු ආර්ථිකයේ ඇති වූ පසුබෑම නිසා චීනයේ ආර්ථික වේගය 14.2% සිට 9.6% දක්‌වා අදාළ වුණි. මැද පෙරදිග රැකියා සඳහා විශාල ශ්‍රී ලාංකීය පිරිසක්‌ විදෙස්‌ ගතව ඇත. එමෙන්ම එය අප රටේ ප්‍රධාන තේ අපනයන වෙළෙඳ පොළකි. තෙල් මිල වාර්තාගත ලෙස පහත වැටීමත් දේශපාලන ව්‍යාකූල භාවයත් හේතුවෙන් මේ දිනවල මැද පෙරදිග ආර්ථිකයේ අර්බුදයක්‌ පවතී. මෙහි බලපෑම මැද පෙරදිග ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ටත් තේ අපනයන කරුවන්ටත් දැනෙමින් පවතී.

ගෝලීයකරණය හේතුවෙන් වෙළෙඳපොළ තරගකාරිත්වය මින් පෙර නොවූ සේ ඉහළ ගොස්‌ ඇත. එම නිසා රටක අපනයන මට්‌ටම ඉහළ දැමීමට නම් එම රට තරගකාරී විය යුතුය. මෑතකදී කළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව "ලෝක තරගකාරී දර්ශකයේ" (Global Competitiveness Index) ශ්‍රී ලංකාවට 68 වැනි ස්‌ථානයත් ඉන්දියාවට 55 වැනි ස්‌ථානයත් හිමිව ඇත. මෙම දර්ශකයට අනුව අපගේ දුර්වලම අංශය වන්නේ ශ්‍රම වෙළෙඳපොළේ ඵලදායකත්වය වන අතර ශ්‍රේණිගත කිරීම් අනුව එම අංශයේ අපට හිමි වන්නේ රටවල් 140 ක්‌ අතරින් 130 වැනි ස්‌ථානයයි. ශ්‍රම වෙළෙඳපොළේ ඵලදායකත්වය ගත් කල ඉන්දියාවට හිමිවන්නේ 103 වැනි ස්‌ථානයයි. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙය අත්‍යවශ්‍ය සාධකයකි.

අන්තර්ජාතික වෙළෙඳාම සඳහා රටවල් විසින් යොදා ගන්නා ප්‍රධාන මෙවලමක්‌ වන්නේ නිදහස්‌ වෙළඳ ගිවිසුම්ය. දැනට ඉන්දියාව පකිස්‌තානය ඇතුළු රටවල් කිහිපයක්‌ සහ කලාප කිහිපයක්‌ සමඟ ශ්‍රී ලංකාවේද නිදහස්‌ වෙළෙඳ ගිවිසුම් පවතී. ඈත ඉතිහාසයේ සිටම අප රට විසින් වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන ඇති බවට සාක්‌ෂි තිබේ. පළමු බුවනෙකබාහු රජතුමා ඊජිප්තුව සමඟ අලි ඇතුන් ඇතුළු නොයෙක්‌ භාණ්‌ඩ සැපයීමට ඇති කරගත් වෙළෙඳ ගිවිසුම මීට කදිම උදාහරණයකි. කලාප වශයෙන් ද ලොව විවිධ රටවල් වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන ඇත. උදාහරණයක්‌ ලෙස සාක්‌ කලාපය, ආසියානු පැසිෆික්‌ කලාපය දැක්‌විය හැක. යුරෝපීය හවූල (European Union) යනු ඉහත සඳහන් කළ ආකාරයේ වෙළෙඳ ගිවිසුම් වලින් එහාට ගිය සංකීර්ණ පද්ධතියකි. රටවල් 28 ක්‌ මෙහි සාමාජිකත්වය ලබාගෙන ඇත. මෙහි ප්‍රධාන අරමුණක්‌ වන්නේ සාමාජික රටවල්වල භූමි සීමා හරහා භාණ්‌ඩ හා සේවා නිදහස්‌ව ගනුදෙනු කිරීමට ඉඩ ප්‍රස්‌ථා සලසා දීමයි. ඒ අනුව දේශසීමා වලදී භාණ්‌ඩ හා සේවා බදු වලින් නිදහස්‌ වේ. මෙම ගිවිසුම හේතුවෙන් සාමාජික රටවල් අතර වෙළෙඳාම දියුණු වුණ අතර යුරෝපීය ආර්ථිකය ශක්‌තිමත් වුණි. නමුත් මෑතකදී තිබූ ජන මත විචාරණයේදී යුරෝපීය හවුලෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යයේ ජනතාව තීරණය කරන ලදී. මෙය බොහෝ විචාරකයන්ගේ අවධානය දිනාගත් පුවතක්‌ විය. මින් ලෝක ආර්ථිකයට කවර ආකාරයේ බලපෑමක්‌ ඇතිවේ දැයි පිළිබඳව තවමත් පැහැදිලි නොමැත.

අප රටට නැවතත් අතීතයේ තිබුණාක්‌ මෙන් සමෘද්ධිමත් පැරකුම් යුගයක්‌ ඇරඹීමට නම් අපනයන ඉහළ දැමිය යුතුය. මෙය සිදු කිරීමට නම් අනුකරණය මත පදනම් වූ ආර්ථිකයක්‌ නොව නව්‍යකරණය මත පදනම් වූ අපනයන ආර්ථිකයක්‌ ඇති කළ යුතුය. මෙම ගමනේ දී ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට විශාල කාර්යභාරයක්‌ ඉටුකිරීමට ඇත. මින් අදහස්‌ කරන්නේ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ චින්තනයේ විශාල වෙනසක්‌ ඇති විය යුතුය කියාය. ශ්‍රී ලංකාවට නව වෙළෙඳපොළ දොරටු විවෘත වීමට නම් මේ අවස්‌ථාවේ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් නව භාණ්‌ඩ, සේවා, සහ ක්‍රමවේද සොයා ගත යුතුය. මෙහිදී අපට අසල්වැසි ඉන්දියාවෙන් සහ අනෙකුත් නැගෙනහිර ආසියානු රටවල් වලින් බොහෝ පාඩම් ඉගෙන ගත යුතුව තිබේ.

* ලියුම්කරු RCB සමීක්‌ෂණ ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු ඔස්ට්‍රේලියාවේ එඩිත් කොවන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක්‌ ලබා ඇත.

(උපුටා ගැනීම දිවයින 2016 ඔක්තෝබර් 14)


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

7 comments:

  1. පැරා අවංකවම කියන්නෙ, පැරාගෙ දේශපාලනික සහ සාමාජීය විශ්ලේෂන වල ලෙවල් එකත් එක්ක බලනකොට මේ ආර්ථික විශ්ලේෂනයනම් බොහෝම පහල.
    ඒ පිළිබඳව ලිවීමට පෙර තව ගොඩක් කියවීමෙන් දැනුම ලබාගත යුතුයි.

    ReplyDelete
  2. ආණ්ඩුවක් මෙවැනි දෙයක් කරන විට විපක්‍ෂය එයට විරුද්ධවීම ලංකාවේ සම්ප්‍රදායයි.

    ජනතාව ගේ පැත්තෙන් බලන විට ඇති ලොකුම ප්‍රශ්නය නම්, බලයේ ඉන්නා දේශපාලුවන් ඉන්දියාවෙන් යෝජනා කිරීමට ඉඩ ඇති ලංකාවට අවාසි කොන්දේසිවලට එකඟවේද යන්නයි.

    පැරාලා ද විරුද්ධ වූ කූප්‍රකට ඉන්දු ලංකා ගිවිසුම මෙන්ම, මෑතදී සිදුකළ වාහන බදු වෙනස්කම් ඒ සඳහා ඇති හොඳම උදාහරණ වේ.

    කොන්දේසිවල සමමිතිකබවක් ඇතිනම්, දෙරට අතර වෙළඳාම සමාන කෙළිපිටියක් වී වැඩි ඵලදායීතාවය ඇති වෙළඳ ආයතන ජයගන්නවා ඇත.

    රුපියල් පනහක බද්දක් සමග බත් කෑම යනු සෑහෙන පූරුවේ පවකි.

    ReplyDelete
  3. එක්ටා ගිවිසුම ගැන මම දුටු සාධනීයම ලිපියක්...

    http://lankaenews.com/news/3594/si/si

    ReplyDelete
    Replies
    1. ගිවිසුම නොදැකම සාධනීයයි කිවුවා හිටන්

      Delete
  4. වටිනා ලිපියක් පැරා අයියෙ

    ReplyDelete
  5. Boss: Why are you copying from others?
    APJ: Because this new Boss/APJ feature is really making me nervous.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.