2016-10-30

නීතිය, මහ බැංකු බැඳුම්කර හා සියඹලා

මම නීතිය හැදෑරූ කෙනෙක් නොවෙමි. මා නීතිය දන්නේ නීති ගරුක පුරවැසියකු දත යුතු මට්ටමට පමණි.

නීතියේ දර්ශනය ගැන නම් මම මෙලෝ දෙයක් නො දනිමි. මා මතු කරන මෙම ප්‍රශ්නය නීතියේ දර්ශනයට අදාළ දෙයක් නම්, කරුණාකර නීතිය දන්නා අය මෙය මෙහිදී හෝ වෙනත් තැනකදී පැහැදිලි කරන්න.

කෝප් කමිටුවේ වාර්තාවෙන් හෝ ඒ සඳහා පාදක කර ගත් විගණකාධිපති වාර්තාවෙන් හෝ මෙම බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ඔප්පු කිරීමට තරම් සාක්ෂි සොයාගෙන ඇතැයි නීති විශාරදයකු නො වූව ද මට සිතේ. ඉන්සයිඩර් ට්‍රේඩිං සිදු වූ බව පෙන්වීමට සුනිල් හඳුන්නෙත්ති දෙන සාක්කි වන අර්ජුන් මහේන්ද්‍රන් වෙන්දේසිය සිදු වන අතරේ ෆ්‍රන්ට් ඔෆිස් එකට ආවා, බැලුවා වැනි ඕපදූප මට්ටමේ තර්ක ය.

අනෙක් පැත්තෙන්, මුදල් සපයා ගැනීම සඳහා කලින් අනුගමනය කළ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් හා වෙන්දේසි යන ද්විත්ව ක්‍රමය වෙනුවට වෙන්දේසිය පමණක් සිදු කිරීමට ගත් තීරණය හා ණයට ගන්නා ප්‍රමාණය රු. බිලියන එකේ සිට රු. බිලියන 20 දක්වා වැඩි කිරීමට ගත් තීරණයත් වැරදි යයි නීතිය ඉදිරියේ ඔප්පු කළ හැකි ද? ඒ පිළිබඳ අර්ජුන් මහේන්ද්‍රන් සිය බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට ෂේප් එකේ කිව්වා වෙන්නට හැකි ය. ඒ නිසා ඔහු රෙඩි පිට පැමිණ සෙසු ප්‍රයිමරි ඩීලර්ලාට උඩින් ගේම ගසා තිබේ. එහෙත්, මේ මාමා බෑණා ඩබල මේකට කුමන්ත්‍රණය කළ බව ඔප්පු කරන්නට පුළුවන් ද? මට පැහැදිලි නැත.

විගණකාධිපති කියන professional due care නැතිකම හා රජයට අවම පිරිවැය හා අවම අවදානම ඇති වන පරිදි වැඩ නො කිරීම පිළිබඳ චෝදනාව අපරාධ චෝදනාවක් ද? රාජපක්ෂ පාලන සමයේ හෙජිං ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු වී තිබෙන්නේ ද මෙය ම නො වේ ද? කරුණාකර දන්නා අය පාඨකයා දැනුවත් කිරීම සඳහා පැහැදිලි කර දෙන්න.

එහෙත්, මෙම නිලධාරීන් මේ අන්දමින් රජයට පාඩු වන අන්දමින් වෘත්තික නො වන අයුරින් කටයුතු කරන්නේ ම අයුතු ලාභ බලාපොරොත්තුවෙන් විය හැකි ය. පසුගියදා පදක්කම් පිටින් උසාවි ගිය හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා එසේ රජයට පාඩු වන අන්දමින් හා ඇවන්ට්ගාඩ් කොම්පැනියට ලාභ ලැබෙන අන්දමින් තීරණ තීන්දු ගෙන, විශ්‍රාම ගිය පසු විශාල වැටුප්වලට ඒ සමාගමේ රැකියාවලට ගිය හ. එය නීත්‍යානුකූල විය හැකි ය. එහෙත්, එතැන ගැටලුවක් නැද්ද?

දැන් මේ විදියට බැලුවා ම මහ බැංකුවේ වංචාවක් සිදු වී නැති බව නුදුරු කාලයේදී අධිකරණයේදී ඔප්පු වුවහොත් පුදුම විය යුතු ද? ඉන්පසු, මහ බැංකු බැඳුම්කර වංචාව යන යෙදුම පවා නීති විරෝධී විය හැකි ය.

මා මතු කරන නීතියේ අභියෝගය මෙයයි. දැන් යහපාලන ආණ්ඩුවේ ලොක්කන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමග එක්ව මහජන මුදල් හොරකම් කළේ නැතිනම්, ලංකාවේ සෑම පුරවැසියෙකු ම අමතර රු. 20,000 බැගින් ණය වුණේ කොහොම ද?

මහින්ද රාජපක්ෂට විරුද්ධව තවමත් කිසිදු චෝදනාවක් ගොනු කර හෝ නැත. ඒ කියන්නේ ඔහු නීතිය ඉදිරියේ පිරිසිදු චරිතයකි. එතකොට ඔහුගේ පාලන කාලයේදී රටේ ආර්ථිකය නැති භංගස්ථාන වන විදියට වැඩ සිදු වුණේ කෙසේ ද? ඔහුගේ පවුලේ අය සහ සහචරයෝ, මහළු ඩේසි ආච්චි පවා, හිටි හැටියේ මේ අන්දමින් ධනවත් වූයේ කෙසේ ද?

රාජපක්ෂ පවුලේ නඩේසන්, මුදිත ජයකොඩිට මල්වානේ අක්කර 16 පොල් වත්තක් පවරා දී ඇත්තේ ද මුදිත එය තමන්ගේ නො වන බව කියන්නේ ද ඇයි? එතරම් සුවිසල් දේපලකට අයිතිය ප්‍රකාශ කිරීමට කිසිවෙකු ඉදිරිපත් නො වන්නේ ඇයි? එවැනි අවස්ථාවකදී අදාළ දේපල රජයට පවරා ගැනීමෙන් සියල්ල අවසන් වන්නේ නම් එම තත්වය විග්‍රහ කර ගන්නේ කෙසේ ද?

විකුණන්නට සියඹලා ගෙන ආ මිනිහාගේ සියඹලා බරින් ඇටවලට, ලෙලිවලට, ගෝනියට ගිය බර අඩු කළ මුදලාලි කියා ඇත්තේ මුදල් ගෙවන්නට බරක් නැති බවයි. ඒ වෙලාවේ ඒ ගැමියා ඇසූ ප්‍රශ්නය නීතියටත් අදාළ ය. “එතකොට මුදලාලි මම සියඹලා ගෙනාවෙ ම නැද්ද?"

මම නීතිය ගැන බොහෝ දේ නො දනිමි. එහෙත්, ලංකාවේ දැනට පවතින නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන මගේ අදහස මෙයයි.

නීති උල්ලංඝනය කළ හැකි ක්‍රම සෙවීම සඳහා බුද්ධිය, වෘත්තිකභාවය, බලය හා ධනය භාවිතා වන අශිෂ්ට මිනිසුන් පිරි සමාජයකදී පවත්නා නීතිය අසාර්ථක ය.

පවත්නා නීතියට වඩා නො දියුණු අතීත නීති ක්‍රම මීට වඩා සාර්ථක බවක් මෙයින් කිසි සේත් ම අදහස් වන්නේ නැත. මා කියන්නේ නීති විද්‍යාර්ථීන් මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කළ යුතු බවයි.

පියා මාධ්‍ය ලෝකයේ දැවැන්තයකු වූ ද, මව බුර්ෂුවා සමාජයේ ඉදිරිපෙළ කලා හා සංස්කෘතික ක්‍රියාකාරිනියක ද වන, මාමා කෙනෙකු හිටපු ජනාධිපතිවරයකු වූ, පිළිගත් ප්‍රභූ පවුලක, රාජකීය විද්‍යාලයේ උගත්, නීති උපාධිධර, පොෂ් ඉංග්‍රීසි කතා කරන, මේස චාරිත්‍ර දත්, අවුරුදු 40ක පාර්ලිමේන්තු ඉතිහාසයක් ඇති, තුන්වරක් රටේ දෙවෙනි ලොකු පුටුවේ හිඳ ගත්, ලොව වටා සැරිසරා ඇති, ලෝක පිළිගැනීමක් ඇති, හරබර පොත් පත් කියවන බව කියන, මහැදුරුවරියකගේ ස්වාමි පුරුෂයා වන, රැක ගන්නට අනාගත පරපුරක් නැති හැම අතින් ම භාග්‍යවන්ත, යුරෝපීය ඇඳුම් අඳින, සුදු, උස මහත්තුරු පවා ලංකාවේ දුප්පත් අසරණ මිනිසුන්ගේ බෙල්ලට පිහිය තියා, හැඹිලිය සුද්ද කරන තත්වයක් තුළ ජනතාවනි,

කුමට එරට අධිකරණය, නීතිය හා විනිසුරන්?


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

31 comments:

  1. Superb... I was thinking about the same. No one can prove this fraud in the current system.

    ReplyDelete
  2. ඔතනදි අජිත් පෙරේරා කියන කතාව වැදගත්... මෙතෙක් කලක් සැන්ට්‍රල් බෑන්ක් එකේ වෙලා තියෙන ක්‍රමය අනුව මේක නීතී විරෝධී කියන්න බෑ කොහොමවත්. මට නම් හිතෙන්නේ ඕකට බලවන නඩුව එකම විකාරයක් වෙයි... ඊට වඩා හොඳයි ඉෂුස් ඔක්කොම කැන්සල් කරලා දාන එක. එතකොට රාජපක්ෂලත් ෂේප්, මහෙන්ද්‍රෙන්ලත් ෂේප්, සිරිසේනත් ෂේප්. අර වොමල් කියනවා වගේ අරුන්ගේ ඒවට මුන්ගේ එවා කැපුනාම උත්තරේ බින්දුව වෙනවා..

    මේක සෙල්ලම්ක් නෙමෙයි අර බන්දුලයා ගහපු පොල්වල, එතකොට දවස ගානේ පන්සල් යන ඒවල ප්‍රතිඵල තමයි මේ..

    ReplyDelete
  3. තමන් ගේ ඥාතියෙකු සම්බන්ධ සමාගමකට ටෙන්ඩර් දීම නේද ෆොන්සේකා දඬුවම් විඳි වරදත්?

    ReplyDelete
  4. මහේන්ද්‍රන් වරදක් කරලා නැහැ. රජයට ඔය කියන පාඩුවක් වෙලත් නැහැ. කෝප් එකේ වාර්තාවේ කියන්නේ කෝටි 88 පාඩුවක් වෙලා තියෙනවා කියල. දැන් කොයිකද හරි? බිලියන 60ද? කෝටි 88ද? කව්රුහරි මුලින්ම කියනවද වෙච්ච පාඩුව කීයද කියල. කොහොමද එක්කෙනෙක් රු 20000නය වෙලා තියෙන්නේ. යුඑන්පී එක හරියට ප්‍රශ්න ටික අහලා ෆුට්නොට්ස් දාල තියෙනවා විගනකාදිපති හිරවෙන්නම. නීතියෙන් අනිවාර්යෙන් අර්ජුන් නිවැරදි වෙනවා. ඒ අර්ජුන් වරදක් කරලා නැති නිසා. ඉන්සයිඩර් කතාව අදාළ වෙන්නෙත් නැහැ. වෙන්දේසියට පෙර බිලියන 10ගන්න කැමතිද කියල මහා බැන්කුවෙන්ම ප්‍රයිමරි දීලස්ර්ස්ලට කෝල් කරලා ඇහුව කියල සාක්කි වලදී කියවුන කියල වාර්තාවේ තියෙනවා.
    ඕක තනිකර දේශපාලන ගේම් එකක්. රනිල් මහේන්ද්‍රන්ව ආරක්ෂා කරන්නේ එතන වරදක් නැති බව ඔහුට හොඳටම ෂුවර් නිසයි.

    ReplyDelete
    Replies
    1. මනුස්සයෝ(?) ඉස්සෙල්ලාම වාර්තාව කියවනවා. Footnotes දාපු මන්ත්‍රීලත් නිගමන වලට එකඟයි. වාර්තාවේ තියෙන්න පිටු 55 යි. අපිට කියවන්න ලැබෙන්නේ ඒක. අපිට කියවන්න නොලැබෙන ඇමුණුම් 25 ක් තියනවා. ඒවා සියල්ල නොකියව "විශේෂ(අ)ඥ මත ප්‍රකාශ කරන්න එපා. මම කියවපු වාර්තාවේදි නම් විගණකාධිපති හිරවෙලා නැහැ. විගණකාධිපති අලාභය ගණනය කරණ ක්‍රමය සහ කමිටුවේ ඇතැම් සාමාජිකයන් අලාභය ගණනය කරන ක්‍රමය පිලිබඳ පරස්පරයක් මතුවෙලා තිබුනා.

      මම නම් මේ බැඳුම්කර ගැන වැඩිය දන්නෙ නැහැ. ඉතින් ඔබ මහේන්ද්‍රන් වරදක් කරලා නැති බව සහ රජයට ඔය කියන පාඩුවක් වෙලත් නැති බව සාක්ෂි සහිතව පැහැදිලි කරලා
      කමෙන්ට් නෙමෙයි පොස්ට් කිහිපයක් එව්වත් අජිත් ඒවා පළකරයි.

      රනිල් මොකටද මහේන්ද්‍රන්ව ආරක්ෂා කරන්න ගියෙ? එයාට තිබුනේ ස්වාධීන පරීක්ෂණයකට ඉඩ හරින්න. දැක්කද පාර්ලිමේන්තු කතාවේදී කොතරම් අසරණ වුනාද කියල? රනිල් ඔක්කොම දන්නවා දේශපාලනය ඇරෙන්න.

      Delete
    2. වාර්තාව කියෝලා තමයි හරකෝ (?) කතා කරන්නේ.
      අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනවද. දැන් මලබද්දේ පන දාගෙන කැගහපු බිලියන 60 පාඩුයි කියන කතාව බොරුවක් නේද? විගනකාදිපතිගේ ගණන් හදිල්ලයි මලබද්දේ ගණන් හැදිල්ලයි දෙකම එකපාර හරිවෙන්න බැහැනේ

      Delete
    3. මම නං වැඩිය මේ ගැන දන්නේ නෑ. නමුත් Anonymous October 30, 2016 at 1:44 PM කියන කතාව හරි වගෙයි මටත් හිතෙන්නෙ. මෙතන ප්‍රශ්නෙ මූලිකවම පාඩුවක් උනාද නැද්ද කියන එකනෙ. කෝප් කමිටුව ඒකමතිකව නිගමනයකට ඇවිල්ල තියනව පාඩුවක් වුනා සහ මහේන්ද්‍රන් වගකිවයුතුයි කියල. පාඩුව ගණනය කිරීමට කලින් පාඩුවක් වුනාද නැද්ද කියල නේද හොයන්න ඕනෑ ?

      දැන් Anonymous October 30, 2016 at 5:55 PM මේ ගනදෙනුවෙන් කිසිම පාඩුවක් වුනේ නැහැ සහ මහේන්ද්‍රන් මේකට සම්බන්ධ නෑ කියල සරලව පැහැදිලි කළොත් හොඳයි පැරා මේ ගැන අහල තියන ප්‍රශ්නවලට උත්තරත් එක්ක.

      Delete
  5. මේ වාර්තාවෙන් එකම දෙයයි පැහැදිලි වන්නේ. විගනකාදිපතිගේ නොදැනුම, නැතිනම් ජවිපෙ විගනකාදිපතිව අල්ලේ නටවනවා. එකක් කියන්න පුළුවන්. ආර්ථිකය හා බැඳුම්කර ගැනනම් ජවිපෙටවත් විගනකාදිපතිටවත් මෙලෝ දැනීමක් නැහැ. ජවිපෙ තමන්ට තේරෙන තරමට අවංකව කටයුතු කළා වෙන්න පුළුවන්. අවංක වුනත් වැඩක් නැහැනේ මෝඩනම්.
    නිදහස් වෙළඳපොල ආර්ථිකයක් ක්‍රියාත්මක කරන්න ප්‍රතිපත්තිය කරගත් රටක සිදුවෙන ආර්ථික කටයුතු වල ලාබය හෝ පාඩුව රජයේ නියාමනය මත තීරණය වන අගයන් පදනම් කරගත්තු අංක මත පදනම් වෙලා ගණන් හදන එක වැරදියි කියන මූලික දේවත් මුන්ට තේරුම් ගන්න බැරිනම් තව කවර කතාද

    ReplyDelete
    Replies
    1. මනුස්සයෝ(?),

      "නිදහස් වෙළඳපොල ආර්ථිකයක් ක්‍රියාත්මක කරන්න ප්‍රතිපත්තිය කරගත් රටක සිදුවෙන ආර්ථික කටයුතු වල ලාබය හෝ පාඩුව රජයේ නියාමනය මත තීරණය වන අගයන් පදනම් කරගත්තු අංක මත පදනම් වෙලා ගණන් හදන එක වැරදියි කියන මූලික දේ..."

      බරසාර න්‍යායක්නෙ කියල තියෙන්නෙ. ඔය තියරිය භාවිතා කරන රටක් ඒ භාවිතයේ සරල උදාහරණයක් එක්ක පැහැදිලි කරන්න.

      ගමේ පන්සලක සල්පිලක මල්වට්ටි වෙන්දෙසියකදිත් උපරිම ලංසුව ලැබෙන විදියට පන්සලට උපරිම වාසිය ලැබෙන විදියට නේද කටයුතු කරන්නෙ?

      Delete
    2. හෆ්ෆා.. මුන් වගේ ජනතාවට තමයි මේ රිපෝර්ට් එක ආමන්ත්රණේ කරන්නේ. අඩුගානේ වෙන්දේසියක් කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? එහෙම නියාමනය කරන ගානට බොන්ඩ්ස් විකුනන එක හරිනම් කෙලින්ම පොලිය අඩුම කරලා (1% විතර) විකුන්නම ඉවරනේ. එතකොට රජයට ලාබ වෙලා ආර්ථිකේ හොඳ වෙනවද?

      Delete
    3. මේ මහින්දලා ගේ පැහැදිලි කිරීම.
      මූලාශ්‍රය: http://www.mahinda.info/2015/08/bond-scam-video/

      ඉතින් Anonymous October 30, 2016 at 6:02 PM තුමාත් මේ වගේ සරලව පැහැදිලි කරන්නකො.

      Delete
    4. මා මේ මහ බැංකු මූල්‍ය ගණුදෙණුව ගැන මූලාශ්‍ර වාර්තා හෝ කෝප් වාර්තාව හෝ කියවා නෑ.

      මට ඇති ප්‍රශ්නය නම් බිලියන විස්සක ණය සපයා, පර්ෆෙචුවල් සමාගම එක වසරක් තුළ ඔය කියන තරම් ලාබයක් ලබාගන්නේ කෙලෙසද කියායි. ඔවුන් ගේ ලාබය යනු මහබැංකු බොන්ඩ් සඳහා ලැබෙන පොළියෙන් වානිජ බැංකුවලින් හෝ අන් අරමුදල්වලින් ණයට ගත් මුදල්වලට ගෙවන පොලියෙන් පසු ඉතිරිවෙන මුදල නේද?

      Delete
    5. රසික,
      පර්පෙටුවල් ලාබ ලැබුවේ වැඩි බැඳුම්කර ප්‍රමාණයක් මිලදී ගැනීම තුල ද්විතීක වෙළඳපොල හැසිරවීම මගින්. පළමුව, 2014ට වඩා 2015 දී PT මිලදීගත්තු බැඳුම්කර ප්‍රමාණය විශාල ලෙස වැඩිවෙලා තියෙනවා. මහින්දලාගේ වීඩියෝ එකේම ඒක පිළිගන්නවනේ. ඉතින් වැඩි ප්‍රමාණයක් විකුනනකොට ලාබය වැඩි වෙනවා. මහින්දලා කියන විදියට බැඳුම්කර ඉතාම පොඩ්ඩක් ගත්ත 2014 දීත් PT එකේ ලාබය බිලියන 1කට කිට්ටුයි බැඳුම්කර විකුණලා. ඉතින් 2015 ඊට වඩා වැඩි වෙන එක සාධාරණයි.
      දෙවැනිව බැඳුම්කර විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමෙන් ද්විතීක වෙළඳපොලේ යම් ඒකාධිකාරයක් ලැබෙනවා. එක නිසාත් ලාබෙ වැඩිවෙනවා. ඔය දෙවැනිව කියපු දේ වලක්වන්න ඇමරිකාව වගේ රටවල නීති තියෙනව මුළු බැඳුම්කර ප්‍රමනෙන් යම්කිසි ප්‍රමනෙකට වඩා එක ප්‍රයිමරි දීලර් කෙනෙකුට ගන්න බැහැ කියල.

      Delete
    6. විගනකාදිපති වැරදි ඇයි කියා සහ ඉල්ලුම සැපයුම් පිලිබඳ මූලික න්‍යාය නොසලකා හැරීම ගැන දැනගැනීමට පහත දී ඇති පිළිතුර කියවන්න. මහින්දගේ වීඩියෝ ඒකත් බොහෝ උපකාරී උනා.

      Delete
  6. මට ආපු ප්‍රශ්නෙත් ඕක.
    ඕක සම්බන්ධයෙන් ලියන්න හදලා හරියට කරුණු තහවුරු කරගන්න බැරිවුණ හින්ද නොලීවෙ.
    ලංකාවෙ හැමදාම වුණේ මේක.
    මැති ඇමතිවරු අපේ ඇස් ඉදිරිපිට සංවර්ධනේ වෙනව. ඒත් ඔප්පු කරන්න වැරැද්දක් කරල නෑ.
    නෝ සියඹලා ඇට් ඕල්

    ReplyDelete
    Replies
    1. ඊට වඩා කේස් එකක් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට දාන්න කලිබ් උඹලට කොහොමද වාර්ථාව ආවේ කියන එක.. සමහර විට මේ කේස් එකට හිරේ යන්නේ උඹ වෙන්නත් පුළුවන්... මොකෝ කිං කැකිල්ලේ නේ රජ කරන්නේ...

      Delete
    2. උඩුවා දන්නේ ෆ්රැන්ජිපානි ගහන්න විතරයි.

      ලියන්න දන්නේ මැල්ලුම් විතරයි.

      Delete
  7. With friends like you, යහපාලනය does not need enemies.
    When Ranil has trumpeters like you, he does not need any more servants.

    ReplyDelete
  8. නියමයි.
    ජයවේවා..!!

    ReplyDelete
  9. //කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්// පැරාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අධිකරණයක් සහ විනිසුරන් බිහිකලාටද පැරාට ස්තුති කරන්නේ

      Delete
  10. අජිත් පෙන්වා දෙන කරුණු කීපය වැදගත්. අජිත්ගේ සාධනීය ප්‍රශ්න කිරීම තුළ මතු වන වැදගත් කතිකාව වන්නේ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටිය සහ නීතියේ කාර්යභාරය කවරාකාර ද යන්න යි.

    රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියට කළ හැකි වන්නේ කරුණු ගවේෂණයක් සහ ඒ පිළිබඳ වාර්තාකරණයක් පමණ යි. එමඟින් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සම්බන්ධයක් ඇති කෙරේ. ව්‍යවස්ථාදායකයේ අනුමැතිය මත මහජන මුදල් රාජ්‍යය විසින් වියදම් කරනු ලැබීම පිළිබඳ ප්‍රත්‍යවලෝකනීය ආවේක්ෂණ සහ සංතුලන ක්‍රියාවලියක් එකී කොමිටිය ‍විසින් සිදු කරනු ලැබ විධායකයේ අවධානය පිණිස යොමු කෙරේ. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ මෙකී සීමාව අප විසින් වටහා ගත යුතු ය. ‍‍ඵෙතිහාසික ව මෙකි කොමිටිවල සභාපති ධුරය වාමාංශිකයනට ලැබීම රසවත් අහඹුවකි. එහෙත් නීරස සත්‍යය නම් බර්නාඩ් සොයිසාගේ (එවකට රාජ්‍ය ගිණුම් කොමිටිය යටතේ) සිට සුනිල් හඳුන්නෙත්ති දක්වා සභාපති ධුර දැරුවන් ද සාමාජිකයන්ගේ බහුතරය ද මෙකී රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ කාර්යභාරය හා සීමාව නැත හොත් ප්‍රොටෝකෝලය (අජිත්ගේ “ප්‍රොටෝකෝලය” යන පේටන්ට් වදන ප්‍රතිරෑපණ අයිතිය උල්ලංඝනය කර මම භාවිතයට ගනිමි!) නො දැන හෝ දැන හෝ නො සලකා හැරීම යි. මෙකී කොමිටිය සඳහා නිර්දේශ වන සමාජිකයන් ද සභාපති ද ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිවාදයන් සහ න්‍යාය පත්‍ර මත කටයුතු නො කළ යුතු වීම මූලික අවශ්‍යතාවයකි. එහෙත් වර්තමානය වන විට මෙකී කොමිටිය ද දේශපාලන පක්ෂ මූල ව ධ්‍රැවීකරණය වූ තවත් එක් සමූහයක් බවට පත් ව ඇත.

    සුනිල් හඳුන්නෙත්ති හා එහි සාමාජිකයන් කොමිටියේ දී හැසිරෙනුයේ තම ප්‍රොටෝකෝලය පිළිබඳ වගේ වගක් නැති ව ය. සුනිල් හඳුන්නෙත්ති සභාපතිකම අතහරින්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මිස වෙනත් සැලකිය යුතු හේතුවකට නො වේ. කොමිටියක විවිධ මත ගැටුම් වන බව නො දැන සිටින්නට හඳුන්නෙත්කි යනු තොත්ත බබෙක් නො වේ. තමා භාර ගත් කාර්යය නිසි ලෙස අවසන් නො කර අතර මඟ දී හැර යෑම ජනතා විමුක්ති පෙරමුණේ අනන්‍ය ලක්ෂණයකි. හඳුන්නෙත්ති යනු හොඳ ජනතා විමුක්ති පෙරමුණු සමාජිකයෙකි. ඔහු මෙම නාඩගම නටන්නට සැරසෙන බව දුරදක්නා නුවණින් අජිත් කල් තියා ම පැවසී ය (“හඳුන්නෙත්ති වංගු එපා” යන මැයෙන් පළ වූ ලිපිය බලන්න). සභාපති හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ සුපුරුදු න්‍යාය පත්‍රයට අනුව වරදකරුවන් නම් කර ඔවුනට දඬුවම් කළ යුතු බවට නිර්දේශාඥා නිකුත් කර යි. “තමා හැදූ” වාර්තාවක් පිළිබඳ මාධ්‍ය සංදර්ශන පවත්වන සභාපති හඳුන්නෙත්ති ඇතැම් සමාජිකයන් ප්‍රතිවිරුද්ධ මත දැරීම “හොරුන් ආරක්ෂා කිරීමක්” ලෙස අර්ථකථනය කර යි. අයෙක් කෝප් වාර්තාව යනු ජූරියේ තීන්දුව වැනි ඒකමතික හෝ බහුතර හෝ “තීන්දුවක්” විය යුතු බව පවසති. නීතිය පිළිබඳ ප්‍රවීණ ගුරුවරයෙක් වන සාමාජිකයෙක් යම් යම් පුද්ගලයනට දඬුවම් කිරීමට තමා කෝප් වාර්තාවෙන් නිර්දේශ කළ බව පවස යි. දඬුවම් කළ හැකි වන්නේ නීති ප්‍රකාර ව ය. එය අධිකරණයේ කාර්යභාරයකි. දශක හතරකට වඩා අතීතයේ දී අහෝසික කරන ලද අධිනීතිඥ නම් අපනාමයකින් තමා හඳුන්වා ගන්නා එම සාමාජිකයා මෙලෙස නිර්දේශ කළේ ගරු අධිකරණයට ද? එසේ කරන්නට ඔහුට බලතල පැවරී නැත. නීති විද්‍යාල ප්‍රවේශ විභායට රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියේ කාර්යභාරය නැති නිසාවත් ‍ඔහු ඒ පිළිබඳ නො දන්නේ ද යන සැකය මසිත නැඟේ.

    කොප් වාර්තාව මහ බැංකු බැඳුම්කර ගැටලුව අලළා මෙතරම් උත්කර්ෂණයට ලක් කළ යුතු ද යන්න විමසා බලනු වටී. කෝප් වාර්තාවේ බැරෑරුම්කම ඇගයිය යුත්තේ අදාළ කොමිටියේ සාමාජිකත්වය මත ය. මෙහි සාමාජිකත්වය සැකසෙන්නේ පාර්ලිමේන්තුවේ සමාජිකයන්ගෙනි. ලංකාව වැනි සර්වනියෝජිත පාර්ලිමේන්තුවක (ජාතික ලැයිස්තුව යනු සාමි මන්ත්‍රී මණ්ඩලයක් හෝ කොංග්‍රස් සභාවක් නො වේ) සාමාජිකයන්ගෙන් සැඳුම් ලත් පාර්ලිමේන්තු කොමිටිවල ඇති ප්‍රධාන ගැටලුව වන්නේ විමසුමට බඳුන් වන ප්‍රස්තුත කාරණය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත පුද්ගලයන් මෙම කොමිටිවල නො සිටීම ය. රාජ්‍ය ව්‍යවසාය වැනි ක්ෂේත්‍රයක් පිළිබඳ තීන්දු තීරණ හා නිර්දේශ නිකුත් කිරීමට තරම් සුවිශේෂි හැකියාවක් මෙම ඊනියා කොමිටුවලට පත් වන පුද්ගයනට නැත. අජිත් නිවරද ව වරක් පැවසූ ලෙස ම යම් ප්‍රස්තුත කාරණයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත විශේෂඥයෙකු විය යුතු නැත. එහෙත් එම කාරණය පිළිබඳ තීන්දු තීරණ ගෙන විසඳුමක් ලබා දීමට නම් අදාළ කාරණය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් හා විශාරදත්වයක් තිබිය යුතු ය. එසේ නො වන සාමාජිකත්වයකින් යුත් ඊනිය‍ා පාර්ලිමේන්තු කොමිටි මඟින් සිදු වන්නේ සාමාන්‍ය රටවැසියන් විසින් කරනු ලබන ප්‍රශ්න කිරීම ම විසඳුම් සෙවිය යුතු තැන දී ද සිදු කරනු ලැබීම ය. එවැනි කොමිටි වාර්තා බැරෑරුම් ලෙස ගෙන කටයුතු කිරීම රාජ්‍ය ව්‍යවසාය තව තවත් අකර්මණ්‍ය කිරීමකි. ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමති වූ කළ ඔහු මේ බව වටහා ගත් බව පෙනේ.

    ReplyDelete
  11. ඔහු විශේෂඥයන්ගෙන් යුත් සංස්ථා අංශයක් මුදල් අමාත්‍යාංශයේ පිහිටුවා ගෙන පාර්ලිමෙන්තු කොමිටි කාර්යභාරය ඉටු කර ගත්තේ එනිසා ය. මෑතක් වන තුරු ම ඊනියා කෝප් වාර්තා කිසිවෙකු විසින් බැරෑරුම් ව සැලකුවේ ද නැත. ඒ පෙර කී හේතු නිසා ය. කෝප් නිර්දේශ යනු ඇමෙරිකාවේ කොංග්‍රසය හෝ එංගලන්තයේ සෙනටය හෝ වැනි විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති මණ්ඩලයක තීන්දු තීරණ නො වේ. ‍එසේ නම් මහජන මුදල් ද කාලය ද නාස්කි කරන අර්ථශූන්‍ය සංයුතියකින් යුත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියක් මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ මේ නටන නාඩගම කුමක් ද?

    ආණ්ඩුව මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනයට මෙවැනි කොමිටියක් පත් කර ගන්නේ ම මෙවැනි නාඩගමක් නටමින් කාලය නාස්ති කිරීමට හා ජනතා අවධානය මෙවැනි නාඩගම්වලට යොමුකර ගැනීමට ය. මේ කොමිටි වාර්තාව පළ කළ පමණින් කිසිවක් සිදු ව නැත. හඳුන්නෙත්තිගේ බහුභූත සාක්ෂිවලින් සවිමත් නීති තර්කයක් හෝ නෛතික සාක්ෂියක් මතු ව එන්නේ නැත. එසේ වන්නට ද නො හැකි ය. ඔහු සහ ඔහුගේ ගෝල රෑනට කළ හැකි වන්නේ පොදු රටවැසියන් කරන ටික ම පමණි. විගණකාධිපති වාර්තා ද අවශේෂ වාර්තා ද නිලධාරීන් ප්‍රශ්න කිරීමේ වරය ද අජිත්ට ලබා දුන්නා නම් හඳුන්නෙත්තිගේ ඊනියා කෝප් වාර්තාවට වඩා පදනමක් සහිත වාර්තාවක් ඊට අඩු කාලයක දී අජිත් විසින් ලබා දෙනු ලබන බව මට විශ්වාස ය.

    අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු බැඳුම්කර සිද්ධියේ දී කර ඇති මැදිහත් වීම නෛතික ගැටලුවකට වඩා ආචාර ධර්මීය ගැටලුවකි. මහ බැංකුවේ බැඳුම්කර ගැනීමකට මහ බැංකුවේ අධිපතිගේ බෑණා ඉදිරිපත් වීම හා ඒවා ඔහු විසින් හිමි කර ගනු ලැබීම යනු බැඳියාව පිළිබඳ ගැටුමකි. බැඳියාව පිළිබඳ ගැටුමක් යනු මූලික ව ම ආචාර ධර්මීය කාරණයකි. එවැනි බැඳියාව පිළිබඳ ගැටලුවක් සිදු නො වන සේ කටයුතු කළ යුතු ව තිබිණි. ඔක්ස්ෆර්ඩ්හි ඉගෙන අන්තර්ජාතික ආයතන රැසක ඉහළ ම තනතුරු දැරූ අර්ජුන මහේන්ද්‍රන් සේ ම කොළඹ සරසවියේ නීතිය මැනැවින් උගත්, දශක හතරක දේශපාලන පරිචයක් ඇති අගමැති වික්‍රමසිංහ ද මෙම බැඳුම්කර ගනුදෙනුවේ බැඳියාව පිළිබඳ ගැටුම ද නෛතික තත්ත්වය ද දැන සිටි බවට මට නම් කිසිඳු සැකයක් නැත. බැඳියාව පිළිබඳ ගැටුමක් නෛතික ගැටලුවක් විය හැකි මුත් එය නෛතික ව සාධනය කිරීම පහසු කාර්යයක් නො වේ. ආචාර ධර්ම රුකිය යුත්තේ එමඟින් සුරැකෙන කාරණා නීතිය මඟින් සුරැකීමට අපහසු නිසා ය. හඳුන්නෙත්තිගේ ඕපාදූප කතා නෛතික සාක්ෂ්‍ය නො වේ. වැලිපාරවල හොර ගමන් යන්නෝ පිය සටහන් නො තබන්නට වග බලා ගනිති. අර්ජුන මහේන්ද්‍රන් නීතිය මඟින් නිදොස් කර නිදහස් කෙරෙනු ඇත. එහෙත් මානව චිත්තයේ යම් ගැඹුරු තැනෙක සැඟ ව ඇති හෘදය සාක්ෂිය නම් හැඟුමක් විසින් මේ ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයනට දිවි ඇති තුරා දඬුවම් කරනු ඇත. එම දඬුවමේ වේදනාව වැඩිපුර ම දැනෙනු ඇත්තේ දශක හතරකට වැඩි කාලයක් මූල්‍ය පාරිශුද්ධත්වයක් රැක ගෙන පැමිණි අගමැති වික්‍රමසිංහට ය. ඔහුට අත් වූ ඛේදනීය ඉරණම පිළිබඳ මම ද කනගාටු වෙමි.

    ReplyDelete
  12. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටිය විසින් නැටුණු තොවිලයකුත් නැත; බෙරේ පළුවකුත් නැත. මහබැංකු බැඳුම්කර සිද්ධිය සහ කෝප් වාර්තාව විසින් අපට හඬ නඟා පවසන්නේ පශ්චාත් යටත්විජිත ලංකාවේ රජ්‍යකරණය තව දුරටත් ඉදිරියට ඇද ගෙන යා නො හැකි තරම් යල් පැන ඇති බව යි. එම රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය කිරීම යුහුසුළු ව කළ යුතු කාර්යයකි. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය යනු ව්‍යවස්ථාදායකය, විධායකය හා මූලික නීතිය යන ඒවායේ ව්‍යුහාත්මක හා කෘත්‍යාත්මක වෙනසක් සිදු කරන ආණ්ඩුකරණයේ වෙනසකි. ලාංකීය සමාජය රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු නො සලකා හැර ඇති සෙයකි. රජය ද සිවිල් සමාජය ද මාධ්‍යය ද මහ බැංකු බැඳුම්කර සිද්ධියක් හා කෝප් වාර්තාවක් දෙස ආලෝක ධාරා යොමු කර නෙතු පිය නො හෙළා බලා සිටින කල පැරණි වාමාංශිකයෙකුගේ මූලිකත්වයෙන් මෙරටේ මූලික නීතිය වෙනස් කරන්නට කටයුතු සිදු කෙරේ. සමස්ත රටවැසියා ම දායකත්ව ය දැක්විය යුතු මූලික නීතිය වෙනස් කිරීම යනු හුදු නෛතික කාර්යක් නො ව දේශප‍ාලන කාර්යයකි. මෙරටේ මූලික නීතිය වෙනස් කළ යුත්තේ උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පමණක් නො ව, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය කරා යන ගමනේ අනුශංගික කොටසක් ලෙස ය. ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය නැති වූයේ රාජ්‍යකරණයේ ස්වභාවය තුළ ය. එහෙත් අප ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සොයමින් සිටින්නේ එය ගිලිහීමට ‍අදාළ තැන නො වේ. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය වන තැන අඳුරේ තබා ප්‍රතිඵල රහිත කාර්යයක් වෙත අප විසින් ආලෝකය යොමු කරනු ලැබ ඇත. සමාජය නම් සරසවියෙන් බිහි වූ අජිත් වැනි බුද්ධිමතුන් රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ මීට වඩා අවධානය යොමු කළ යුතු ය. ඒ කාර්යය පැරණි වාමාංශිකයෙකුට බාර කර බලා සිටීම භයානකා චර්යාවකි. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ පැරණි වාමාංශිකයන්ගේ ඉතිහාසය බියකරු ය.

    දහස් වරක් පවසනු ලැබූ දෙයන් අවසන යළිත් පවසමි. අප ඉඳිකටුව සොයමින් සිටින්නේ ආලෝකය ඇති පහන් කනුව යට ය. එහෙත් ඉඳි කටුව නැති වූයේ වෙන තැනක ය. අජිත්, ඉඳි කටුව නැති වූ තැනට ඔබගේ ඥානාලෝක කදම්බය යොමු කරන්න. අප ඉඳි කටුව සෙවිය යුත්තේ එය නැති වූ තැන ය.

    ReplyDelete
    Replies
    1. අතිශය වැදගත් අදහස් දැක්වීමකි. මා පිළිබඳ සඳහන් කොටස් ඉවත් කර බ්ලොග් ලිපියක් ලෙස පළ කරමි.

      Delete
  13. විගනකාදිපතිගේ ලාබ පාඩු ගණන් හැදීම වැරදි වෙන්නේ ඇයි?
    මුලින්ම මෙන්න මේ සමීකරණේ පාවිච්චි කරලා ගාන හදලා බලන්න.
    http://www.moneychimp.com/articles/finworks/fmbondytm.htm
    C(1+r)-1 + C(1+r)-2 + C(1+r)-3+ ….+ C(1+r)-Y + B(1+r)-1 = P

    විගනකාදිපති කරලා තියෙන්නේ හරිම සරල(වැරදි) ගණනය කිරීමක්.
    වෙන්දේසි කැඳවපු බිලියන 1 සඳහා (වඩාත් නිවැරදිව බිලියන 1.402) වෙන්දේසියේදී ලැබුණු පොලි අනුපාතය 10.47%.
    ඉල්ලුම සැපයුම පිලිබඳ අබමල් රේණුවක දැනුමක් තියෙනවනම් ඉල්ලන ගාන වැඩිවෙනවිට පොලිය ඉහල යනබව පිළිගන්න ඕනේ.
    cont...

    ReplyDelete
  14. වෙළඳපොල ඇත්ත පොලී අනුපාතය වෙන්දේසියේදී පිළිඹිබු වෙලා තියෙනවා. අපිට කියන්න පුළුවන් එකම දේ තව වැඩි ප්‍රමාණයක් සඳහා ඉල්ලුම් කලොත් තවත් පොලිය ඉහල යනවා කියන එක විතරයි. පාඩුවක් හෝ ලාබයක් ගණන් හදන්න බැහැ. පාඩුවක් වෙන්නත් පුළුවන්. මහින්දගේ වීඩියෝ එකේ තර්කය පිළිගන්නවානම් ලාබයක් වෙලා තියෙන්නත් පුළුවන්. බිලියන 1 විතරක් දැන්වීමේ දාපු එක වැරදියි. නමුත් එයින් රජයට පාඩුවක් වෙනවා කියන තර්කය මහින්දලගේම වීඩියෝ එකේ කියන දේවල් වලින් බිඳ වැටෙනවා.
    මට කියන්න ඕනේ ඕක නෙමෙයි. විගනකාදිපතිගේ සෙල්ලම ගැන.
    මේ මනුස්සය කරලා තියෙන්නේ පාඩුව ගණන් බැලීමේදී බිලියන 1.402 ට අමතරව ගත්තු සියලුම මුදල් සඳහා නැවත 9.48% කියන තමන් කොහෙන්ද හොයාගත්තු ගානක් මත පදනම්වෙලා ගණන් හැදීමයි. අඩු ගානේ බිලියන් 1.402 ට ලැබුන පොලිය වන 10.47% මත පදනම් වෙලා ගැන හැදුවනම් තව සාධාරණයි කියන්න තිබුන. තනිකර කොලේ වහල ගැහිල්ලක් කරලා තියෙන්නේ. දැන් විගනකාදිපති හිතන්නේ බිලියන 10ම වෙන්දේසි දැම්මමනම් බිලියන 1.402 ටපස්සේ ආපහු පොලිය 9.48% ට බහිනවා කියලද? අන්න එක තමයි කියන්නේ විගනකාදිපතිට ඉල්ලුම සැපයුම ගැන මෙලෝ දැනීමක් නැහැ කියල. නැතිනම් කාගේ හරි කොන්තරාත් එකක් කරනවා වෙන්නත් පුළුවන්. ඒත් කුමන්ත්‍රණ කතා කියන එකෙන් වැඩක් නැහැ. රජය දැනගන්න ඕනේ එහෙම කුමන්ත්‍රණයක් තියේනම් නිසි පියවර ගන්න.
    සරලම දේ මේකයි. රිපෝර්ට් එකේ කියන ගණන් හිලව් ඉතින් සාමාන්‍ය මිනිස්සු පිලිගත්තට මූල්‍ය විශේෂඥයෙක් දාල ස්ටඩි එක කරලා පෙන්නුවාම උසාවිය පිළිගන්නේ නැහැ.
    ඉතින් යූඑන්පී මන්ත්‍රීන්ගේ තර්කය ඉතාම සාධාරණයි. පමණක් නොවෙයි, උසාවියේදී නිකන්ම ඔප්පු වෙනවා ඔය කියන පාඩුවේ ගණන් හැදීම වැරදි කියල.
    හැබැයි ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක රජයට ලාබද පාඩුද හෝ මහා බැංකුවේ ප්‍රශ්නයක් නෙමෙයි. PT එක සහ EPF ETF ඇතුළුව ප්‍රයිමරි දීලර්ස්ලාගේ Conduct එක පිලිබඳ ප්‍රශනයක්. යූඑන්පී අය ෆොරෙන්සික් ඉන්වෙස්ටිගේෂන් එකක් ඉල්ලන්නේ ඒකයි.

    ReplyDelete
  15. (Some parts were missin. This is a complete repost.)

    විගනකාදිපතිගේ ලාබ පාඩු ගණන් හැදීම වැරදි වෙන්නේ ඇයි? (ගණන් නොතේරෙන කෂ්ටිය කොමෙන්ට් නොකරත්වා)
    ===============================================

    මුලින්ම මෙන්න මේ සමීකරණේ පාවිච්චි කරලා ගාන හදලා බලන්න.
    http://www.moneychimp.com/articles/finworks/fmbondytm.htm
    C(1+r)-1 + C(1+r)-2 + C(1+r)-3+ ….+ C(1+r)-Y + B(1+r)-1 = P

    විගනකාදිපති කරලා තියෙන්නේ හරිම සරල(වැරදි) ගණනය කිරීමක්.
    වෙන්දේසි කැඳවපු බිලියන 1 සඳහා (වඩාත් නිවැරදිව බිලියන 1.402) වෙන්දේසියේදී ලැබුණු පොලි අනුපාතය 10.47%.
    ඉල්ලුම සැපයුම පිලිබඳ අබමල් රේණුවක දැනුමක් තියෙනවනම් ඉල්ලන ගාන වැඩිවෙනවිට පොලිය ඉහල යනබව පිළිගන්න ඕනේ.
    cont...

    ReplyDelete
  16. මේ මහින්දලා ගේ පැහැදිලි කිරීම.
    http://www.mahinda.info/2015/08/bond-scam-video/
    මේ වීඩියෝ එකේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් සාධාරණීකරණය කරන්න මුලින්ම ගෙන තර්කයක් තමයි ඕක. අපි බිලියන 10 මොහොතකට අමතක කලොත් බිලියන 1 සඳහා ඔය විගනකාදිපති කියන 9.48% පොලියේ කෑලිත් හොයා ගන්න නැහැ. ඒ වෙනකොට පවතී පොලිය 9.48% නම් ඔය ඉල්ලපු බිලියන 1 සඳහා රජටය ඒ පොලිය නොලැබුණේ ඇයි? විගනකාදිපතිගේ ගණන් හැදීම හරිනම් බිලියන් 1 විතරක් ගත්තත් රජයට පාඩුවක් වෙලා (10.47%-9.48% පොලී වෙනස නිසා). ඒ කියන්නේ 9.48% කියන එක නිකන්ම නිකන් මනංකල්පිත අංකයක්.
    cont...

    ReplyDelete
  17. (සමීකරණය විසඳලා බැලුවොත් තේරෙයි විගනකාදිපති කියන ඔය පාඩුව වෙන්න බිලියන 1.402 ට වඩා වැඩිවෙන සැම රුපියලක්ම 9.48% පොලියට ලබාගන්න තිබුන කියල විගනකාදිපති උපකල්පනය කරල තිබුන බව. 9.48% කියන්නේ bid price එක 118ට ආසන්න ගණනක්. මේක තමයි යූඑන්පී මන්ත්‍රීවරුත් පෙන්නලා දුන්නේ. එකට එරෙහිව විගනකාදිපතිට තර්කයක් තිබුනේ නැහැ.)
    වෙළඳපොල ඇත්ත පොලී අනුපාතය වෙන්දේසියේදී පිළිඹිබු වෙලා තියෙනවා. අපිට කියන්න පුළුවන් එකම දේ තව වැඩි ප්‍රමාණයක් සඳහා ඉල්ලුම් කලොත් තවත් පොලිය ඉහල යනවා කියන එක විතරයි. පාඩුවක් හෝ ලාබයක් ගණන් හදන්න බැහැ. පාඩුවක් වෙන්නත් පුළුවන්. මහින්දගේ වීඩියෝ එකේ තර්කය පිළිගන්නවානම් ලාබයක් වෙලා තියෙන්නත් පුළුවන්. බිලියන 1 විතරක් දැන්වීමේ දාපු එක වැරදියි. නමුත් එයින් රජයට පාඩුවක් වෙනවා කියන තර්කය මහින්දලගේම වීඩියෝ එකේ කියන දේවල් වලින් බිඳ වැටෙනවා.
    cont...

    ReplyDelete
  18. මට කියන්න ඕනේ ඕක නෙමෙයි. විගනකාදිපතිගේ සෙල්ලම ගැන.
    මේ මනුස්සය කරලා තියෙන්නේ පාඩුව ගණන් බැලීමේදී බිලියන 1.402 ට අමතරව ගත්තු සියලුම මුදල් සඳහා නැවත 9.48% කියන තමන් කොහෙන්ද හොයාගත්තු ගානක් මත පදනම්වෙලා ගණන් හැදීමයි. අඩු ගානේ බිලියන් 1.402 ට ලැබුන පොලිය වන 10.47% මත පදනම් වෙලා ගැන හැදුවනම් තව සාධාරණයි කියන්න තිබුන. තනිකර කොලේ වහල ගැහිල්ලක් කරලා තියෙන්නේ. දැන් විගනකාදිපති හිතන්නේ බිලියන 10ම වෙන්දේසි දැම්මමනම් බිලියන 1.402 ටපස්සේ ආපහු පොලිය 9.48% ට බහිනවා කියලද? අන්න එක තමයි කියන්නේ විගනකාදිපතිට ඉල්ලුම සැපයුම ගැන මෙලෝ දැනීමක් නැහැ කියල. නැතිනම් කාගේ හරි කොන්තරාත් එකක් කරනවා වෙන්නත් පුළුවන්. ඒත් කුමන්ත්‍රණ කතා කියන එකෙන් වැඩක් නැහැ. රජය දැනගන්න ඕනේ එහෙම කුමන්ත්‍රණයක් තියේනම් නිසි පියවර ගන්න.
    සරලම දේ මේකයි. රිපෝර්ට් එකේ කියන ගණන් හිලව් ඉතින් සාමාන්‍ය මිනිස්සු පිලිගත්තට මූල්‍ය විශේෂඥයෙක් දාල ස්ටඩි එක කරලා පෙන්නුවාම උසාවිය පිළිගන්නේ නැහැ.
    ඉතින් යූඑන්පී මන්ත්‍රීන්ගේ තර්කය ඉතාම සාධාරණයි. පමණක් නොවෙයි, උසාවියේදී නිකන්ම ඔප්පු වෙනවා ඔය කියන පාඩුවේ ගණන් හැදීම වැරදි කියල.
    හැබැයි ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක රජයට ලාබද පාඩුද හෝ මහා බැංකුවේ ප්‍රශ්නයක් නෙමෙයි. PT එක සහ EPF ETF ඇතුළුව ප්‍රයිමරි දීලර්ස්ලාගේ Conduct එක පිලිබඳ ප්‍රශනයක්. යූඑන්පී අය ෆොරෙන්සික් ඉන්වෙස්ටිගේෂන් එකක් ඉල්ලන්නේ ඒකයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.