2016-11-14

ඉල් මහ 'ද්‍රෝහී' සැමරුම අද

ඡන්දය දුන් වරදට මරා දමන ලද ‘ද්‍රෝහියෙක්.'  ඔබට හෝ මට මෙවන් ඉරණමක් අත් කර නො දෙන්නට අරගල කරමු! 
ඊයේ ඉල් මහ විරුවන්ගේ දිනයයි. සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් වැරදි මගක ගිය මුත්, අවංකව සටන් කර දිවි දුන් ඒ සොයුරන්ට මගේ ආචාරය! 

ඉල් මහ විරුවන් නිසා ජීවිත අහිමි වූ 'ද්‍රෝහීන්ට' ද සමරු දිනයක් තිබිය යුතු යයි මම සිතමි. හේතුව, මූලික වශයෙන් මේ දෙවර්ගයෙන් එක් වර්ගයක් වඩා හොඳ හෝ වඩා නරක හෝ යයි මම නො සිතන බැවිනි. 

පහත පළ වන්නේ 1987-90 ජවිපෙ කැරැල්ලේදී සිදු වූ සත්‍ය සිදුවීම් දෙකකි. මෙවැනි සිදුවීම් තවත් රාශියක් සිදු විය. ඒවා ගැන දන්නා අය දැන් ද කිසිදු අවංක ස්වයං විවේචනයකින් තොර ව වත්මන් තරුණ පරපුර නො මග යවමින් සිටිති. එසේ කරන එක් පක්ෂයක නායකයෙක් කල් ඇතුව ම සිය දරු දෙදෙනා හා බිරිය ඕස්ට්‍රේලියාවේ පදිංචි කළේ ය.

අලුත් තරුණයන් නො මග යවන තවත් පිරිසක් සිටින්නේ විදේශගතව ය. තරුණයන්ට විප්ලව ගැන උපදෙස් දෙන්නේ මුහුණු පොතෙනි. ඔවුහු සිය දරුවන් සම්පූර්ණයෙන් ම මේ ඊනියා ලාංකීය විමුක්තියෙන් මුදාගෙන තිබෙන අතර ලංකාවේ තරුණයන්ට පමණක් විප්ලවීය වැරදි පාර පෙන්වමින් සිටිති.

ඔවුන්ගේ අතරමැදියන් ලෙස කටයුතු කරන විනාශයේ ඒජන්තයන්ට ඔවුන්ගෙන් විදෙස් රැකවරණ සඳහා පොරොන්දුවක් තිබේ. තවත් වරක් මේ අය පසුපස ගියත්, ලංකාවේ සිව්වන තරුණ පරම්පරාවකට වුව උරුම වන්නේ තවත් එක් සැමරුම් දිනයක් පමණක් වනු ඇත.

කැරැලි තුනක් ඔස්සේ ලංකාවේ අවංක, මුග්ධ තරුණයන් ලක්ෂ ගණනකට විනාශයේ පාර පෙන්වූ ආන්තික ජාතිවාදී හා මාක්ස්වාදී දේශපාලනයේ යථාර්ථය පෙන්වා දෙන අපට ඔවුන් කියන්නේ තරුණයන් නො මග යවන පිරිසක් ය කියා ය. එතැනින් නො නැවතී අපගේ මරණය ද ප්‍රාර්ථනා කරන සුපුරුදු තත්වයට ඔවුහු පත් වී සිටිති. අවුරුදු බොහෝ ගණනක් වයසට එකතු වී තිබියදීත් ආන්තික ජාතිවාදීන් හා මාක්ස්වාදීන් තවමත් එතැන ම ය. 

අප කරන්නේ තරුණයන් මුළා කිරීමක් යයි කීව ද, අපි එම කාර්යය ඉතා සතුටින් එය කරන්නෙමු. මන්ද, එය එසේ නො වන බව අප දන්නා නිසා ය. මෙය කියවන එක් අයෙකු හෝ අාන්තික මාක්ස්වාදීන්ගෙන් හා ඔවුන් සමග සම්මුතිගතව කටයුතු කරන ජාතිවාදීන්ගෙන් ඈත් වන්නේ නම් එය අපේ ජයග්‍රහණයකි.

ඉල් මහ ද්‍රෝහී සමරුව වෙනුවෙන් අපි කතා දෙකක් කියන්නෙමු.

පළමු කතාව අප මිතුරු අරුණ ප්‍රේමරත්නගේ කතාවයි.

‘නිදහස යනු උත්තරීතර වචනයකි. එහෙත් කර්මාන්ත සඳහා නිදහස යන සටන් පාඨය යටතේ ඉතාමත් කොල්ලකාරී යුද්ධ කරන ලදී. ශ්‍රමකරු නිදහස යන සටන් පාඨය යටතේ වැඩ කරන ජනයා මංකොල්ල කන ලදී.'
(වී. අයි. ලෙනින්. කළයුත්තේ කුමක් ද? තෝරාගත් කෘති වෙළුම් දොළහ. ප්‍රගති ප්‍රකාශක මන්දිරය. පිටුව 119.)

ඉල් මහ විරුවන් ලෙස සමරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අරගල දෙකෙහි දී රජයේ නිල හා නිල නොලත් හමුදා අතින් මරණයට පත් වූ පිරිසයි. ඔවුන් යම් විමුක්තියක් උදෙසා සටන් කළ බවක් කියැවෙනවා. . එහෙත් මේ පිරිස මරණයට දැක්කවූ නායකත්වයට විමුක්තිය පිළිබඳ නිවැරදි අදහසක් තිබුනේ ද? ඔවුන් මියගියේ අනාගත පරම්පරාවට විමුක්තිය කරා යා හැකි මාර්ගයක් විවර කිරීම උදෙසා වූ සටනක දී ද?
ආරක්ෂක හමුදාවල පවුල් ඝාතනය කිරීමට තරම් සැහැසි වූ ජනතා විමුක්ති පෙරමුණට මේ හමුදා රණ විරුවන් බවට පත් වීමට ගත වූයේ දශක දෙකකටත් අඩු කාලයක්.
හමුදා සෙබළුන් ගැන පමණක් නොව මෙරට සියලු ජනතාව ගැන ඔවුන් තුළ වූයේ අනවබෝධයක්.

රජයේ හමුදා පිළිබඳව නිවැරදි අර්ථකථනයක් නොමැති පක්ෂයකට පීඩිත ජනතාව ගැන අර්ථකථනයක් තිබිය හැකි නොවේ.

මේ ජනතා විමුක්ති පෙරමුණේ දෘෂ්ටිමය ඌනතාව පිළිබඳ එක් උදාහරණයක් පමණයි.
මේ කතාව සිදු වුනේ 1989 දී.

ඔහු බරවාහන රියැදුරෙකු ලෙස මැදපෙරදිග රැකියාවකට යන්නේ සිය පෙම්වතිය සමග අලුත් ජීවිතයක් ඇරඹීමේ අදිටනින්. බරපතළ අනතුරකට ලක්ව ආපසු එන ඔහුට කාලයක් ඔත්පලව එක්තැන් වීමට සිදු වෙනවා. තවත් කාලයක් කිහිලි කරුවකින් ඇවිදිමින් ඔහු ගෙවන්නේ අතිශය දුෂ්කර ජීවිතයක්. සුව වූ පසුව යලිත් මැදපෙරදිග යන ඔහු තවත් කාලයක් එහි රැකියාව කරනවා. ඔහුගේ පෙම්වතිය ඇඳුම් මැසීමෙන් ජීවිකාව සොයා ගන්නවා. ඉදිරි ජීවිතය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කර ගෙන ඔහු යලිත් ලංකාවට එනවා. දෙදෙනාට එක් වීමට තවත් කාලයක් ගත වන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට ඉෂ්ට විය යුතු යුතුකම් ද නොපිරිහෙලා ඉටු කිරීම නිසයි. අන්තිමේ දී ඔවුන් නිවසක් ද තනාගෙන විවාහ වෙන විට දෙදෙනාගේම තරුණ විය ඉක්ම ගොසින්.

කෙටි කලක දී ම ඔවුන්ට දරුවෙක් ද ලැබෙනවා. මේ සිදුවීම වෙද්දී දරුවාට යන්තම් තුන් මසක් පිරුණා පමණයි.

එක් වැසි දිනෙක ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඔවුන්ගේ දොරට තට්ටු කරනවා. කිසිදු දේශපාලනයකට සම්බන්දතාවක් නැති ඔහු සැහැල්ලුවෙන් දොර විවර කරනවා. ඔහුව මිදුල වෙත ගෙනයන මේ පිරිස ඔහුට වෙඩි තබා මරා දමනවා. බිරිඳ මිදුලේ ඇති සැමියාගේ මළ කඳත්, නිවසේ සිටින බිළිඳාත් අතර එහා මෙහා යමින් හුදකලාව රැය පහන් කරනවා.

ඔහු මරා දැමීමට එකම හේතුව ඊට දින කීපයකට පෙර සිදු වූ මාගේ පියාගේ සහ රණතුංග මාමාගේ ඝාතන සාපරාධී මිනීමැරුම් බව කඩපිලක දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම පමණයි.

කීර්ති බාලසූරිය ජනතා විමුක්ති පෙරමුණේ අනාගත ඉරණම පෙර දකින්නේ 1970 තරම් ඈත කාලයක දී.

‘ජනතා විමුක්ති පෙරමුණ කිසිම විද්‍යත්මක න්‍යායක් මත පදනම්ව ක්‍රිියා කරන සංවිධානයක් නොවන නිසාම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය හැඩ ගැසී ඇත්තේ යථාර්ථයේ මතුපිට තලයේ දිස්වන දේවලට අනුව ය. මේ මතුපිට තලය පන්ති අරගලය විසින් නිරතුරුවම කළඹවනු ලබන නිසා ඒකාබද්ධ ඒකාකාර සංවිධානයක් පවත්වාගෙන යෑමට ඔවුන්ට කිසිම පුලුවන්කමක් නැත.

එක්තරා අවධියක දී පැවති එක්තරා පන්ති තත්වයකට කළ ප්‍රතික්‍රියාවක් වශයෙන් ඔවුන් ඇති කරගෙන ඇති එකමුතුව දේශපාලනික තත්වයේ ඇතිවන සෑම වෙනස්වීමක් විසින්ම අවුල් කර දමනු ලබයි. මධ්‍යම පන්තික සංවිධානයක් තුළ නිරන්තර අර්බුදයක් පවත්නේ එබැවිනි.

එක්තරා පන්ති තත්වයක දී සිංහල ජාතිවාදය ගැන කළ අවධාරණය වෙනත් පන්ති තත්වයක දී ඔවුන්ට කිරීම අපහසුවාක් මෙන්ම සන්නද්ධ නැගිටීමක් ගැන වරෙක කළ අවධාරණය ටික කලක් ඇතුළත වෙනස් කිරීමට ඔවුන්ට සිදු වේ. මේ වෙනස් කිරීම් නිසා ඒ ඒ තත්වයන්ට වෙන වෙනම ප්‍රතික්‍රියා කරන කොටස් නිරතුරුව කැඩී යෑම වැලැක්විය නොහැකිව තිබේ.

එමෙන්ම කැඩී ගිය කණ්ඩායම් කැඩී ගියේ කුමන පන්ති බලපෑමකට යටත්ව, මොන දිශාවකට ද යන්න ගැන කිසිම විග්‍රහයක් ඉදිරිපත් කිරීමට ද ඔවුන්ට පුලුවන්කමක් නැත. කළ හැකි එකම දෙය සී. අයි. ඒ. ඒජන්තයන් යැයි උන්ට පහර ගසා ගැනීමය.‘
(කීර්ති බාලසූරිය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා පන්ති ස්වභාවය. කම්කරු මාවත ප්ර්කාශන.18-19 පිටු. )

දැන් ජනතා විමුක්ති පෙරමුණ කළ යුතුව ඇත්තේ තම නායකත්වයේ පැවති දෘෂ්ටිමය ඌනතාව නිසා නිකරුණේ විනාශ වී ගිය පිරිස ගැන ස්වයං විවේචනයක් කරමින් තම දෘෂ්ටිමය ඌනතාව පිළිගෙන, දෘෂ්ටිමය වශයෙන් නිවැරදි මාර්ගයකට අවතීර්ණ වීම මිස මිය ගිය උන් විරුවන් ලෙස සමරමින් අතීතය නොදත් පරපුර තවත් විනාශයකට දැක්කීම නොවේ.

දෙවෙනි කතාව තවත් මිතුරියක වන රුවන්දිගේ ය.

1988 නොවැම්බරය හීෂණයෙන් පිරුණු සමයකි. එතැන් සිට කාලය වේගයෙන් ඉක්ම ගොසිනි. ඒ භීෂණයේ සිදුවීම් අද වන විට බොහෝ දෙනකුට අමතකව ගොස් තිබේ. 88-89 කාලය තුළ අතුරුදහන්වුවන් ගැනත්, මරා දැමුවන් ගැනත් අපි '90 දී කතා කළෙමු. මරණය දැක දැක මරා දැමුවන් වෙනුවෙන් ගුණ සමරු උත්සව පැවැත්විණි. මට අදටත් ඔවුන් ගැන ඇත්තේ ගෞරවයකි. මා හැදී වැඩී පෝෂණය වුයේ භීෂණය පිරුණු සමාජයකය. ඒ අවදියේ බොහෝ මිනිසුන් මරා දැමුවේ ඉතාමත් ම්ලේච්ඡ ආකාරයටය.

මා හැදී වැඩුණු ඒ භීෂණකාරී සමාජය අද ද ජීවමානව පවතී. මා මේ ලිපිය ලියන්නේ එබැවිනි. අතීත මතකයන් තුළින් මට ගැලවීමක් නැති බැවිණි.

වාමාංශිකයෙකු වූ මාගේ තාත්තා 1988 නොවැම්බර් 08 දා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලදී. ඔහු නමින් නන්දසේන සිල්වාය. ජීවිතයේ තිස් නම වැනි අවුරුද්දේදී ඔහු මරා දමන විට මා කුඩා දැරියකි. මා දන්නා පරිදි ඔහුගේ දේශපාලනය ආරම්භ වන්නේ 1971 කැරැල්ලට සමගාමීවය. ඒ 1971 කැරැල්ලට සම්බන්ධ වුවන් හා ඔහු අතර වූ දේශපාලන මිතුදම් නිසාවෙනි. මාගේ මතකයන් අතරේ ඔහු ඉතාමත් ප්‍රිය ජනක, සමාජයේ අනිත් මිනිසුන් උදෙසා වැඩ කළ පුද්ගලයෙකි.

1980 වැඩ වර්ජනයට හසු වූ ඔහු, බණ්ඩාරවෙල ඌව කරඳගොල්ලේ ගොවිපළක් ආරම්භ කරන ලදී. ගොවිපළ ඇරඹීම හරහා වැඩ වර්ජනයට හසු වු ඔහුගේ ඇතැම් මිතුරන්ටද ජීවන මාර්ගයක් සැපයීමට හැකිවීම ගැන ඔහු සතුටු විය. ඌව කරඳගොල්ලේ පාසල ගොඩ නැගීමට ඔහු වෙහෙස මහන්සිව කටයුතු කළේය. උසස් පෙළ ළමුන්ට නොමිලේ අමතර පන්ති පැවැත්වීමත් ඔහු විසින් ආරම්භ කරන ලදි. ගමේ සෙසු ළමුන් මෙන් දුෂ්කරතා විඳින්නට පුරුදු වෙන්නැයි කී ඔහු මුලින් කරඳගොල්ල ගමේ ඉස්කොලෙට අප යැවීය. තාත්තා පාසැලට උදව් කළ නිසා අප කෙරෙහි විශේෂ සැළකුම් දක්වනු දැකීම ඔහු පි්‍රය නොකළේය. පාසැල් නාට්‍ය සඳහා මා දෙවරක්ම තෝරා ගැනීම රුචි නොකළ තාත්තා පාසැලට ගොස් 'හැකියාව තිඛෙන වෙනත් දරුවෝ මේ පන්තියේ නැතිදැ'යි ඇසූ අයුරු මට අද මෙන් මතකය. මිනිසුන්ට ආදරයෙන් සළකන්නට මට කියා දුන්නේ තාත්තාය. ගොවිපොළ හරහා යනෙන ගම් වැසියන් නවතා කොළඹින් ගෙනා විටමින් සහ යකඩ පෙති තාත්තා ඛෙදා දෙන අයුරු මට දැනුදු මතකය. 1983 කලූ ජුලිය අවදියේ අපේ ගෙදර දෙමළ මිනිසුන්ගෙන් පිරී තිබිණ. තාත්තා හැකි හැම විටකම අන් අයට උදව් කළේය. නමුත් ඔහුගේ සමාජ ක්‍රියාකාරීත්වයන් ගැන අපට ඒ අවදියේ ගැඹුරු අවබෝධයක් නොතිබිණ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988 නොවැම්බර් 08 දින මාගේ තාත්තා සාහසික ලෙස මරා දැමීමට ප්‍රධාන හේතුව වුයේ වාමාංශික මත දරන්නෙක් ලෙස එවකට ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය ඔහු ප්‍රසිද්ධියේ හෙළා දුටු හෙයිනි. ඔහු ජාතිවාදයට සහ පුද්ගල ඝාතනයට එරෙහිව විවෘතව කතා කළේය. නන්දන මාරසිංහ සහ විජය කුමාරතුංග ඝාතනයන් ඔහු ප්‍රසිද්ධියේම හෙළා දැක්කේය. මාරසිංහ ඝාතනයෙන් පසු, තාත්තා නන්දන මාරසිංහයන්ගේ විශාල සේයාරුවක් ගේ ඉදිරිපස එල්ලා ඒ ගැන ශෝකයෙන් කතා කළ බව මට මතකය. ළදැරියක වූ මම මාරසිංහ යනු කවරෙක්දැයි ගැඹුරින් දැන නොසිටියෙමි. නමුත් තාත්තාගේ වේදනාව තුළින් ඔහු පිළිබඳව මා තුළ චිත්‍රණය වූ රුව දැනුදු මතකයේ තැන්පත්ව තිබේ.

තාත්තා නිතර තමන්ගේ මරණය ගැන කතා කළේය. නමුත් ඔහු වීරයෙක් නිසා ඔහු නොමැරෙනු ඇතැයි මම සිතීමි. මාගේ කුඩා ලෝකයේ අපරාජිත වීරයා වූයේ මගේ තාත්තාය. ඔහු මරා දැමිය හැක්කේ කාටද? ඇතැම් විටක මා තුරුළට ගෙන මාක්ස්ගේ හෝ ලෙනින්ගේ කෘතියක් හඬ නගා කීමට ඔහු පුරුදුව සිටියේය. මට එහි කිසිත් නොතේරිණ. නමුත් මම ඔහේ අසා සිටියෙමි. කුඩා කාලයේ සිට ඒවාට අපේ කණ හුරු කරනු වස් ඒවා කියවන්නේ යැයි වරක් ඔහු කී බව මට මතකය. ඔහු ලෝකය දකින ආකාරය පුංචි මා සමඟ ඛෙදා ගත්තේ ඔහු ගේ මරණය දැන සිටි නිසා යැයි මට අද වැටහේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ මගේ තාත්තා එවන් මිනිසෙකි.

මා සහ අක්කා අවසන් වරට තාත්තා දුටුවේ නොවැම්බර් 03 වෙනිදා පාසැල් නේවාසිකාගාරයේදීය. ඉන් පස් දිනක් ඇතුළත ඔහු මරා දැමිණ. ඔහු සමඟින් තවත් 04 දෙනකු ඝාතනයට ලක් විණ. දෙදෙනකු යාබදව තිබූ ගොවිපලවල් හී අයිතිකරුවෝ වූහ. ඒ දෙදෙනාම දෙමළ ජාතිකයන් වූ අතර කිසිදු කි්‍රයාකාරී දේශපාලනයක් නොකළවුන්ය. ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලද්දේ කුමන හේතුවක් නිසා දැයි මම අද ද නොදනිමි. අනෙක් දෙදෙනාගෙන් අයෙක් ගොවිපොළේ කටයුතු සඳහා අත් උදව්වට හොරණ ප්‍රදේශයේ සිට ආ වඩු කාර්මිකයෙකු වූ රෝහණය. දෙවැන්නා වුයේ ජයවර්ධන අන්කල්ය. (ඔහු වාමාංශික කි්‍රයාකාරිකයෙකු වූ වසන්ත දිසානායකයන්ගේ බාල සොහොයුරාය.) ජයවර්ධන අන්කල් එවකට කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් විය. සරසවි වසා දැමීම හේතුවෙන් ගෙදරට වී සිටි ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ සැළසුම්කරුවෙකු වූ මගේ තාත්තාගෙන් ප්‍රායෝගික දෑ උගෙනීමට අපේ ගෙදරට විත් සිටි බව මට මතකය. ඔවුන් සියල්ලෝ අපේ නිවස තුළදීම අමු අමුවේ මරා දැමිණ. අනතුරුව නිවස මුළුමණින්ම ගිනිබත් කරන ලදී. සුරතලයට ඇති කරන්නට යැයි කියා රාවණඇල්ලේ තාත්තාගේ මිතුරෙකු මට ගෙනවිත් දී තිබූ මුව පැටවාද මරා දමා තිබිණ.

මරණයට පෙර තාත්තාට වධ දුන්නා දැයි මම නොදනිමි. ජයවර්දන අන්කල් ගේ දකුණු අත කපා වෙන් කොට, තාත්තාගේ කඳින් වෙන් කළ හිස සමග අප නිවසට එන ප්‍රධාන පාරේහි ගසක එල්ලා තිබිණ. ඔහු වෙනුවෙන් අවමගුල් චාරිත්‍ර තහනම් කළ ඝාතකයින් එසේ කළහොත් අපෙන් පළිගන්නා බවට තර්ජනාත්මකව දන්වා තිබිණ. මටත්, අක්කාටත් තාත්තාගේ අවමංගල්‍යය තහනම් අඩවියක් විණ. ඔහු අපෙන් සමු නොගත්තේය. ඔහුගේ මුහුණ සිඹ සමු දෙන්නට මටත් අක්කාටත් නොහැකි විය. මට ලෝකය සහ ආදරය ගැන කියා දුන් තාත්තා ඒ තරම් බිහිසුණු මරණයක ගොදුරක් වූයේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගෙන් මට අදත් අසන්නට ඇති ප්‍රශ්නය එයයි.

ගිනිබත් කොට දැමූ ගේ දොරට යට වී ළමා විය පිළිබඳ මාගේ සියළු මතක සටහන් දැවී හළු විය. අඩුම වශයෙන් තාත්තාගේ සේයාරුවක් හෝ අපට ඉතිරි නොවිණ. එදා ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය විවේචනය කළ පුද්ගලයින්ට ඔවුන් දුන් දඩුවම් එබඳු ය. ඒ ඝාතකයෝ අද වුවද නිදැල්ලේ හැසිරෙමින් සිටින බව මම දනිමි. ඒ රුධිරයේ වගකීමෙන් වත්මන් ජවිපෙ නායකයින්ට ගැළවී ගත හැක්කේ අප සමාජයක් වශයෙන් ශිෂ්ඨත්වයක් නොපෙනෙන මානයක ජීවත්වන බැවිනි. මගේ තාත්තාගේ ඝාතකයන්ට එරෙහිව නැගි සිටිය යුත්තේ කෙසේ දැයි මම අදටත් නොදනිමි.

තාත්තාගේ මරණයෙන් පසුව ඔහුගේ දේශපාලන මිතුරෝ තැන තැන ගෙනයමින් අනේක දුෂ්කරතා මැද අපව සඟවා රැක බලා ගත්හ. ඒ මනුෂ්‍යත්වයට මම අදද ගරු කරන්නෙමි. අපේ ළමා විය පලා යා නොහැකි නපුරු සිහිනයක් විණ. අකාරුණික ලෝකය පිළිබඳ අඳුරු සිතුවම අපේ හදවත් පතුළටම කිඳා බැස්සේ ඒ කුඩා වියේදීමය. තාත්තාගේ දේශපාලන මිතුරෙකු මා සහ අක්කාට රැකවරණය දෙමින් අපව නඩත්තු කොට ජීවිතය ගොඩ නගා නොදෙන්නට, අපට කුමක් වනු ඇතිදැයි මට සිතාගත නොහැකිය.

මේ ලිපිය අවසන් කිරීමට පෙර තවත් යමක් ලිවීමට කැමැත්තෙමි. මාගේ පියාගේ මුල්කාලීන දේශපාලන මිතුරෝ විවිධ වූ සමාජ කාර්යයන්හි මේ දක්වා නිරත වෙති. ඒ බොහෝ දෙනෙකුට ඔවුන්ගේ වූ මාවත් හමු වී තිබේ. අහම්ඛෙන් හෝ අප හමු වූ විටක 'මේ නන්දේ ගේ දුව - මේ අර සහෝදරයා ගේ දරුවා'යි කියා සෙනෙහසින් අමතති. නමුත් අප හදවත් තූල මිරිකෙමින් පවතින වේදනාව ඔවුන්ට දැනේදැයි මම නොදනිමි. හොඳ මිනිසෙක් වූ මාගේ තාත්තා මරා දැමුණේ ඇයිදැයි අපට පහදා දෙන්නට ඔවුන්ටද නොහැකි වී තිබේ. ඒ මහා වේදනාව අප විසින් අපගේ මරණය දක්වා දරාගෙන යා යුතුව ඇත. කිසිවෙක් කිසිදු පිළිතුරක් දීමට උත්සාහ නොගනී. ඒ වේදනාවෙන් නිදහස් වීමට අපට උදව් නොකරයි.

කිසිම කෙනකුට කිසිම කෙනකු මැරීමට අයිතියක් නොමැති බව මගේ හැඟීමයි. යම් කිසි ඝාතනයක් සිදු වූයේ ඇයි දැයි යන ප්‍රශ්නය ඇසීමට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතියක් තිබිය යුතුය. අදටත් ලංකාව තුළ දකුණේ හා උතුරේද විරුද්ධ මත දරණ පුද්ගයන් මරා දමන බව මම දනිමි.

මේ ලිපිය 1988-89දී මරා දැමුණු සෑම මිනිසෙකු වෙනුවෙන්ම ඉටු නොවූ යුක්තිය පිළිබඳ වේදනාවෙන් ලියූවකි. අතීතයේ වූ රුදුරු මිනිස් ඝාතනවලට වගඋත්තරකරුවන් සෙවීමට කිසිවෙක් උත්සුක නොවූ නිසාත්, දිවි ගළවාගත්තවුන් ඒ ගැන කතා බහ නොකළ නිසාත් මේ දක්වාම මිනිස් ඝාතන සිදුවන සමාජයක අදටත් අපි ජීවත්වෙමු. උතුරේ සිට දකුණ තෙක් මේ දක්වාද විරුද්ද මතධාරීන් ඝාතනයට ලක් වන බව නොරහසකි. වෙනත් අදහසක් හෝ මතයක් දැරීමට ඕනෑම මනුෂ්‍යකු අයිතියක් තිබිය යුතු බව මගේ හැඟීමයි. ඝාතනය යනු අපරාධයකි. නමුත් ඝාතනයන් අමතක කොට, යුක්තිය පසිඳලීම පසෙක ලා ඝාතකයින් හා සහජීවනයට හුරුවීම ඊටත් වඩා සාපරාධයකි.

යුක්තිය සහ ශිෂ්ඨත්වය අහිමි වූ රටක මරා දැමූ එක් හොඳ මිනිසෙකු වූ තාත්තා පිළිබඳ මතකය වෙනුවෙන් මේ හැර මා වෙන කුමක් ලියන්නද?

රුවන්දි සිල්වා
(නන්දේ ගේ දුව)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

22 comments:

  1. හැමදාම මෝඩ වන ඒවන් තරුණයන් ගැන දුකයි!

    ඔවුන් සදා කල් කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් කොරන මෝඩයන්!!

    ReplyDelete
  2. මෙවන් ඝාතනය වූ අය ඇසින් දැක තිබෙන නිසා වචනයක් පාසා එකඟයි.

    ReplyDelete
    Replies
    1. 1989 my daughter was born I saw dad bodies floting in kakuganga and saw youngsters burning in tyre garlands.... for the shake of my daughter I decided leaving country ...scrified everything left empty pocket with two suitcases of cloths. ... still I love Srilanka

      Delete
  3. පැරා, ජවිපෙ පුද්ගල ඝාතන සම්ප්‍රදාය ගැන ගැටලු තිබෙනවා. පුද්ගල ඝාතනය විප්ලවීය නැහැ. ලෙනින් වරක පවසනවා "සාර් මරමු" කීමෙන් විප්ලවය කළ නො හැකි බව. එම සටන් පාඨය පෙර දැරි කර ගත් තමන්ගේ සහෝදරයා ලෙනින් විසින් විවේචනයට ලක් වෙනවා. ඔබ ද සම්මාදම් වූ දෙවන කැරැල්ලේ දී ජවිපෙ කීවේ "ජේ. ආර්. මරමු" වැනි නිර්මාර්ක්ස්වාදී ප්‍රලාප. ඔබට ඒ අතීතය සඟවන්න බැහැ වර්තමාන ලිබරල්වාදී සළුවට මුවා වී.

    නන්දන සහෝදරයා ගැන රුවන්දි දුව කරන කියවීම සංවේදී මානව සම්බන්ධයක් පදනම් කර ගත් එකක්. එය දේශපාලන කියවීමට වඩා සමීප ආත්ම කථනයකට. ඔබ එය දේශපාලනික ව භාවිත කිරීම එතරම් සාධනීය වැඩක් නො වේ. ඔබ නන්දනගේ දුව මෙතනට සම්බන්ධ කිරීම නිසා නන්දන සහෝදරයා පිළිබඳ දේශපාලන කියවීමකට බාධා පැමිණෙනවා. නන්දන සහෝදරයා ජවිපෙ වෙනුවෙන් මුල් කාලයේ කළ කාර්යභාරය නිශේධනය වන්නේ නැහැ ඔහුගේ අවසන් කාලයේ ක්‍රියාකාරීත්වයෙන්. පැරාට වැටහෙනවා ඇති අප පවසන දෙය.

    කරුණාඅම්මාන්ට, කේ.පී.ට කැමති අය ඒ විධියට ම පොට්ටුඅම්මාන්ට නඩේසන්ට කැමති නැහැ නේ. ඇයි කියන එක කතා නො කර ඉමු ඔබ ලියා තිබෙන්නේ තනි ඇහැට කඳුළු නැඟෙන සංවේදී නිර්දේශපාලනික ලිපියක් නිසා.

    ReplyDelete
    Replies
    1. මේ නන්දන මාරසිංහගේ දුව නො වේ. ඒ සහෝදරයා ද නන්දන මාරසිංහගේ පරපුරේ අයෙකි.

      මා සම්මාදම් වූ ජවිපෙ කැරැල්ලේ වැරදි මා විවෘතව විවේචනය කරන්නේ සහ එවැනි මුග්ධ දේශපාලනයකට විරුද්ධව සටන් කරන්නේ මා ඒ සම්බන්ධයෙන් කරන ක්‍රියාකාරී ස්වයං විවේචනයේ කොටසක් ලෙසයි.

      මෙය නිර්දේශපාලනික ලිපියක් යයි කීම මා නම් පිළි ගන්නේ නැහැ. මේවා පිළිබඳ විවෘතව කතා කිරිම තමයි දේශපාලනය.

      Delete
    2. විජේවීරගෙ පින්තූරෙ අදටත් පෝස්ටරේට දානවා ! මන්ත්‍රීවරු විතරක් නොවෙයි කාලයක් කැබිනට් ඇමතිවරුත් හිටපු ජ.වි.පෙ. කිසිදවසක රජයේ අතඩංගුවේදී මරාදාපු නායකයා ගැන පරීක්ෂනයක් ඉල්ලුවාද ?

      Delete
  4. ඇත්ත. නීතිවිරෝධී ලෙස 89 දී ඝාතනය කල ජවිපෙ සාමාජිකයන් හා අහිංසකයන් ගැන මගේ විරෝධය එලෙසමයි. එකපාරම මරන්නෙ නැතිව දරුනු වධ දීම ගැන ත් විරුද්ධයි. අනායාස මරනයක් දුන්නනම් තව කමක් නෑ.
    නමුත් ජවිපෙ හැම ඉල් මසකම මිනීමරුවන් සමරනවා. කමක් නෑ ඒ ඔවුන්ගෙ අයිතිය. නමුත් 88/89 ජවිපෙට බිලිවූ සැබෑ අහිංසකයනුත් සමරන්න ඕන. අජිත් ඉතා වැදගත් අදහසක් ඉදිරිපත් කලා.

    ජවිපෙන් මැරුම් කෑ අයට ද්‍රෝහී ලේබලයකුත් අලවලා. ඇත්තටම ඔවුන් කලේ පහතහ් සදහන් ද්‍රෝහි කම්.

    තමන් විශ්වාසකල පක්ෂයට වැඩකර නිලතල ලබා ගැනීම.
    ජවිපෙ ඇදිරිනීතිය උල්ලංඝනය කිරීම.
    ජවිපෙ බලහත්කාරී විරෝධතාවලට සහභාගි නොවීම
    ජවිපෙ තහනම නොතකා කඩ ඇරීම.
    ජවිපෙ විවේචනය කිරීම.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ට වඩා කොටි ග්‍රේට්... උන් සොෆ්ට් ටාගට් වගේම හාඩ් ටාගට් වලටත් ගේම දුන්නා.. රටේ නායකයටත් දෙසරයක්ම ගේම දුන්නා.. එකක් සාර්ථකයි..

      Delete
    2. තමන්ගෙ මිනීමරුවන් හැම වසරකම සමරන ජවිපෙ තමන් විසින් ඝාතනය කල අසරනයන් ගැන වචනයක්වත් කියා තිබෙනවාද.
      ඇත්තෙන්ම 89 දි ජවිපෙ බලයට ආවනම් රටේ ජනගහනයෙන් බාගයක්ම මරනව. මිනීමැරුමක් ප්‍රසිද්ධියෙ විවේචනය කලා කියලත් අහිංසකයෙක් මරල තියෙන්නෙ

      Delete
    3. සහතික ඇත්ත. ජවිපෙන් මැරුවෙ අන්ත අසරන මිනිස්සු. දරුවගෙ බඩගින්නට කඩේ ලෑල්ලක් ඇරපු එකත් ඉන්දියාවත් එක්ක කුමන්ත්‍රනය කලා කියල මැරුව. නමුත් කොටි ගත්ත සමහර ටාගට් ගැන හිතනකොට කොටි නැතිවීම අඩුපාඩුවක් කියලත් හිතෙනව. මොකද කවදාවත් දඩුවම් නොලැබෙන දේශපාලුවන් දේශපාලන භූමියෙන් ඉවත් කල නිසා.
      88 අවුරුද්ද පුරාම ජවිපෙ මිනීමැරුව. ඇත්තටම 88 රටේ සැබෑ පාලකයො වුනේ ජවිපෙ. ජවිපෙට තේරෙන බාසාවෙන් ආන්ඩුව කතා කරන්න ගත්තට පස්සෙ තමන්ගෙ අයටත් දුක වේදනාව දැනෙනව කියල ජවිපෙ අය හිතුවෙ.
      තමන්ගෙ කීන්ක් ඇස් ඉදීපිට මැරුවම වේදනාව දැනීම එජාප වගෙ පක්ෂවල ගුනයක් ලෙසයි ඔවුන් හිතුවෙ.එක ඩිංගිරි බන්ඩෙක්
      බස් ස්ට්‍රයික් එක වෙලාවෙ බස් එක ගෙනිච්ච කියල නම වැරදිල ඩිංගිරි බන්ඩල පස් දෙනෙක්ම මැරුව .

      මේ මින්සුන් සමරන්න එපාද. පිලිම නෙලානොමැති මෙවැනි විරුවන් 10,000 ක් වත් ඉන්නව

      Delete
    4. ජවිපෙ,බන්ඩලා මැරීමේ ප්‍රොජෙක්ට් එකකුත්(කුල සංහාරයක්)යටින් දිවුවා.

      Delete
    5. රැකියාවට පත්තර විකිනීම කල මනුස්සයෙක් ලේක් හවුස් පතර විකිනුවා කියලා මරලදැම්මා
      මිනීමරුවා අදටත් ඉන්නවා

      Delete
  5. ජවිපෙට අනාගතයක් නෑ... ඔවුන්ගේ පක්ෂය තුල කිසිම පෞර්ෂයක් නෑ.. චාටර් වෙච්ච සෙට් එක කෝප් එකෙන් හරි ළකුණු දාගන්න බලන්නේ.. ආකර්ශණයක් තියෙන ලාල් කාන්තලාට, විද්‍යාරත්නලාට තැනක් නෑ..

    මට තියෙන ප්‍රශ්ණය තමයි මෙහේ උන්ට ත්‍රස්තවාදීන් සමරන්න පුළුවන් නම් උතුරේ උන්ට සමරන්න බැරි ඇයි කියන එකයි.. රෙද්දේ සංහිදියාව කියන්නේ ඕවටයි..

    ReplyDelete
  6. How ever I think socalism is there must be. Fool people take socalism wrong side. I come back to blog and put my new post too. I apalojise my blog frends to I not write long time too.

    ReplyDelete
    Replies
    1. යූ වෙයා ගෝ කන්ට්‍රිතොට ඩිස්ක්‍රිප්ෂන්. විතවුට් යූ වී ලෝන්ලි වොස්. අදර් සයිඩ්, යූ මස්ට් බී ටු ඉම්පෘ අවර් ඉංග්ලිෂ්.

      Delete
  7. මේ විරුවන් සැමරීමත් අපේ සිරි ලංකාවේ අනිත් වැඩ වාගේම තමා.
    කියන්නේ එකක්, කරන්නේ වෙන එකක්.
    හාමුදුරුවෝ සින්දු ලියනවා, දේශපාලලා බන කියනවා. බේකරියේ පොත් විකුනනවා.
    විරුවන් සැමරීම කියල කරන්නේ 'මරුවන්' සැමරීම.
    නඩු දාල හිරේ දාන්න ඕනේ සෙට් එකකට වීරයෝ කියල උපහාර දෙනවා.
    ඔය කැරලි වලට සම්බන්ධ අය දැන් කරන වැඩ දැක්කම, ඇත්තටම උන් බලය ගත්තනම්, ඥානසාරට කලින්ම රටට අබ සරණ තමයි.

    ReplyDelete
  8. ජවිපෙ ත්‍රස්තවාදි කැරලි දෙකේදිම මහජනයාගෙන් සොරාගත් මුදල් සහ වටිනා බඩුභාන්ඩ පසුකාලීනව ඔවුන්ගෙන් සමහරක් තම පුද්ගලික ආයෝජන ලෙස භාවිතාකර තමතමන්ගේ ව්‍යාපාර හා දේපල රැස්කර ධනපතියන්විය.තවද එවන් සමහරු UNP/SLFP හරහා පාර්ලිමේන්තුවට ගියහ.

    ReplyDelete
  9. 88 /89 ජ. වි. පෙ . සිටියේ වීරයෝ නොවේ බය ගුල්ලෝ .

    ReplyDelete
  10. ඉල්මහ විරු හට පොරනේ
    සරණයි අද තුන් සරණේ
    යූඇන්පී ගුණ වරුනේ
    සීනුව පල්ලෙනි පෙරුනේ

    - මයුරවිල මි

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.