2016-12-28

ගිනි ගහන හීතල

අපේ ගම 
මේ සටහන තබන්නෙ නත්තල් දවසෙ උදේ පාන්දර. මං හිතන්නෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ටත් අඩු ඇති. නොදකින් හීතල. අපට ඕව පුරුදු යැ. ඔය ඇලස්කාව පැත්තෙ කොහොම ඇද්ද?

උදේ පාන්දර මෝටර් සයිකලෙන් ගමනක් යන්න වුණා. මං ඉතින් යටට බොටම් එකයි, උඩට කලිසමයි, ටී ෂර්ට් එකයි, ජැකට් එකයි, රේන් කෝට් එකයි ඇඳගෙන බෙල්ලටත් රෙද්දක් බැඳගෙන, සපත්තු දෙකකුත් දාගෙන ගියා. ඒත් ඉතින් අත් මේස් නැහැ නේ.

සිගරැට් එකක් ගන්න ටවුමෙ මං කැමති හෝටලේකට ගොඩ වුණු ගමන් උණු උණුවෙ පොඩියට කපපු මස් කෑලි එක්ක හරක් මස් පීරිසියකුයි, කිරි හොදියි, ලුණු මිරිසුයි එක්ක රෝස් පාන් දෙකක් කැවුණා. (කෙළ ටික ගිලින ගමන් මට පාචනේ නො හැදේවා කියා ප්‍රාර්ථනා කරපල්ලා)

ඔය කැවුණා කියන එක කියනකොට අපේ නෙවිල් උදිත වීරසිංහව මතක් වෙනවා. ඒ දවස්වල ඌට හිරු පත්තරේ වැඩවලට යන්න සල්ලි දුන්නා ම ආපහු ගණන් බේරලා ඉතුරු සල්ලි දෙනකොට ගානක් අඩුයි. ඌ කියන්නෙ ඌට බීම බෝතලයක් පෙවුණා, ඒ ගමන් රෝල්ස් දෙකකුත් කැවුණා කියලයි.

ඉස්සර දවසක ජර්මනියෙ ඉඳන් ආපු මලික්ව සී ෆිෆ්ටියක පිටිපස්සෙ තියාගෙන පදින ගමන් මං ඇහුවා එහෙත් මෝටර් සයිකල් තියෙනව ද කියලා. එයා කිව්වෙ ඒව පදින්නෙ ක්‍රීඩාශීලිත්වයට ය, හීතල නිසා සාමාන්‍යයෙන් ඒවායෙ යන්න බැරි ය කියලායි. ඒක තේරෙන්නේ මේ වගේ දවසට මෝටර් සයිකල් පදිනකොට.

මෝටර් සයිකල් හීතල නියමෙට ම දැනෙන්නෙ වැස්සක් පායනකල් අගු පිලක බලාගෙන ඉඳලා එපා වෙලා, ඔය සපත්තු, පසුම්බි අරවා මේවා ෂොපිං බෑග්වල දාගෙන උන්නත් දාහයි, මළත් දාහයි කියලා පාරට බැහැලා ඉඳිකටු තුඩු වගේ වැහි බින්දු ඇනි ඇනී ගෙදර යනකොටයි. 

මට නම් ඔය හීතල කියන එක පෙන්නන්න බැහැ. එක සැරයක් හිරු පත්තරේට නුවරඑළිය පැත්තෙ නාට්‍ය උළෙලකට ආරාධනා ලැබුණා. භාෂණ කතා කළා යමු කියලා. බැනියම හෝදලා වේලෙන්න දාලයි තිබුණෙ. මං ඉතින් තුනී කමිසෙකුත් ඇඳගෙන රෑ බස් එකේ නැගලා නුවරඑළි ගියා. එදා එහේ හීන් පොද වැස්සක් එක්ක හීතල හුළං හමන මීදුම් ගලන දවසක්. කොළඹින්, උතුරු නැගෙනහිරින් සිරා නාට්‍යකාරයොත් ඇවිත් හිටියා. ඒක වතුකරයේ තිබුණු නාට්‍ය වැඩමුළුවක කලඑළි මංගල්‍යයක් වගේ. පංකාදු නාට්‍ය තිබුණා. මං මුළු දවසෙම වෙව්ල වෙව්ලා හිටියා. කතා කර ගන්නවත් බැහැ. දත් සැට් එක කට කට ගාලා එකට වදිනවා. සැනසුම් සුසුමක් හෙළුවේ එදා රෑ ආපහු එන්න බස් එකකට නැග්ගට පසුවයි. 

හැබැයි මං වින්ද ගින්දර වගේ හීතල වින්දේ 1989 භීෂණ කාලෙදියි. දවසක් ආරක්ෂිත තැනක රැය ගෙවන්නට හිතාගෙන මං ගෝනාපීනුවලින් බැහැලා කෙරදේවල අයියලගෙ ගෙදර ගියා. පක්ෂෙ ඉතින් එහෙම නේ කියන්නෙ. කලින් එක වතාවයි මං එහේ ගිහින් තිබුණෙ. කළුවරේ මට පාර හොයා ගන්න බැරි වුණා. කාගෙන්වත් අහන්න විදියකුත් නැහැ. කාගෙ ගෙදර කියලා අහන්න ද? ඒ ගමේ ඉන්න ඔක්කොම පිරිමි කෙරදේවල අයියලා නේ. දෙතුන් පාරක් එහා මෙහා යනකොට මිනිසුන් අමුතු විදියට මා දිහා බලනවා වගේ මට හිතුණා. ආපහු යන්නත් බැහැ. යන්න තැනකුත් ළඟ පාත නැහැ. ඕනැ එකක් කියලා මං පාර අයිනේ වෙලක පාවරක පිදුරු ගොඩක ඇල වුණා. හීතල වුණාට හීන් දාඩිය දාන්න පටන් ගත්තෙ කිරි බැබළෙන්න හඳ පායනකොටයි. මගේ සුදු කමිසෙ හෙලවෙනකොට ඒ කිට්ටුව කන්දක් උඩ ගෙදරක බලු නරියෙක් පටන් ගත්තෙ නැතෑ උඩු බුරන්න.

මේ ගෙදර ගියත් අපි නිදා ගත්තෙ ගේ අද්දර බැද්දේ ගෝනියක් එළාගෙන, ගෝනියක් පොරවගෙන. නහයවත් එළියෙ තියාගන්න දෙන්නෙ නැහැ වේස කැළෑ මදුරුවෝ. මං හිතන්නෙ ඒ කාලෙ සර්පයන් පරිණාමය වෙලා තිබුණෙ නැහැ. එක්කො එහෙම නැතිනම් උන්ට වඩා විසකුරු ජාතියක් නිසා උන් ජේවීපීකාරයන්ව කෑවෙ නැහැ. දවසක් මම තනියම එහෙම නිදා ගන්න අතරෙ අනෝරා වැස්සක් වැස්සා. ගෙදර අයියත් නිදා ගන්නෙ වෙන ගෙදරක. අක්කා විතරයි ගෙදර. එහෙව් එකේ මට පුළුවන් ද ආපහු යන්න. එළි වෙනකල් කොස් ගහක් යට ඉන්න වුණා. 

වරක් මං ඉන්දියාවෙ බැංගලෝර් සිට බොම්බෙ යන රේල් පාරෙ නගරයක් වන රායිචූර්වල දවස් දෙක තුනක් හිටියා. උෂ්ණත්වය සෙල්සියස් 43යි. ඒත් දාඩිය නැහැ. බොන වතුරවලට වෙන දෙයක් නැහැ. රෑ පට්ට මුත්‍රා දැවිල්ලක් හැදුණා. ලංකාවේ අපට උෂ්ණත්වයට වඩා දැනෙන්නේ ආර්ද්‍රතාවයි. දාඩිය තමයි ප්‍රශ්නෙ. 

අපේ ගම් පැත්තේ කාලෙකට කොච්චර දාඩිය දැම්මත් උෂ්ණත්වය නම් මම හිතන්නෙ කිසිම දවසක සෙල්සියස් 35ට වඩා යන්නෙ නැහැ. ස්වෝත්තමවාදයක් හින්ද නෙමෙයි කියන්නෙ. අපේ එවුන්ට අගයක් නැති වුණාට මේක මරු රට ඕයි!

ලංකාවේ කට්ටිය අගෝස්තු මාසෙට එහෙමත්, උණුසුම් මිත්‍රත්වය වගේ වචන පාවිච්චි කරනවා. ලංකාවට වැඩිය ගැලපෙන්නෙ සීතල මිත්‍රත්වයක්.

මං කසාද බැන්දෙ අවුරුදු 19කට කලින් දෙසැම්බරේක. හරි ෂෝක් ය කියලා හිතෙනවා ඇති. ඒ වුණාට 1997 අවුරුද්දෙ එල් නිනෝ නිසා දෙසැම්බර් මාසෙත් තිබුණෙ අගෝස්තු රස්නයක්. මදැයි ඉඳල ඉඳල හනිමූන් ගියා.

අපේ පොඩි එකී නිදාගන්නකොට උඩට ඇඳුම් අඳින්න අකැමැතියි. මේක ලියන අතරෙ මං නැගිටලා ගිහින් පොරවපු රෙද්ද හරිගස්සලා ආවා.

දළු කඩන ගැහැනු තුන්දෙනෙක් කතා කර කර පාර දිගේ ගියා. තේ ගස් අස්සේ පින්න කොහොම ඇද්ද? ඒ වුණාට මේ වගේ වෙලාවට පහළ ළිඳේ වතුර නම් ටිකක් උණුසුම්. ඒකට විද්‍යාත්මක හේතුව මොකක් වෙන්න පුළුවන් ද?


අපේ එවුන්ට අගයක් නැති වුණාට මේක මරු රට ඕයි!



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

32 comments:

  1. අද මෙහෙ උදේ උෂ්ණත්වය සෙල්සියස් 2යි. ලබන මාසෙ -5 විතර වෙනවා. හැන්දෑවට හීනියට විශ්කි හරි බ්‍රැන්ඩි ශොට් එකක් දාගත්තාම නියමෙට නින්ද යනව ඕයි.

    ReplyDelete
  2. ඒකට විද්‍යාත්මක හේතුව මොකක් වෙන්න පුළුවන් ද?
    The soil is bad conductor of heat . That is heat does not transfer easily through soil . For example you can touch the outside wall of a raging fireplace without feeling much of the heat . In the winters , winds are responsible for the temperature to drop . The surfaces become cold but the cold does not penetrate much into the ground . The ground water thus does not lose its heat as fast as the air above does . So when we pump out ground water it feels warm . Also add to it the friction that is caused when you are pumping water up through the pipe which heats it further . Same reason applies in the opposite direction during summers .

    However , this explanation is valid only in temperate climates that is most of Asia , Africa , South America . Where the day temperature is 15 degrees to 25 degrees . It is not applicable to areas like Alaska where the temperature goes down to -30 degrees . Then even the ground water become solid ice and is warm no more .

    ReplyDelete
  3. සුපුරුදු ශෛල්‍යයෙන් වෙනස් වුනාට මේක නියමයි, පැරා.මොකක්ද අමුතුම ගතියක් තියනවා

    ReplyDelete
  4. //මට නම් ඔය හීතල කියන එක පෙන්නන්න බැහැ. //
    හා හා පැරා එහෙම කියන්න එපා.
    හීතල රටවලින් තමයි ඩොලර් එන්නේ.
    - මීට සාරස

    ReplyDelete
  5. මට නම් සීතල හොඳයි, රස්නය නරකයි.

    සීතලට ඇඳුම්, තොප්පි, මේස්වලින් ආරක්ෂාව තියෙනවා. රස්නෙට ඇඳුම් සේරම ගැලෙව්වත් පලක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔසී වල මොන හීතලක්ද බන්. හීතල රටක ජීවත් වෙලා බලන්න ඕනේ හීතල හොඳද නරකද කියල.

      Delete
    2. කවුද ඔසී කතාවක් කිව්වේ?

      මේ පැරා කියන්නේ උඳුවප් දුරුතු හීතල ගැන. නුවරේලියෙත් මල් තුහින හැදෙන කාලේ.

      Delete
  6. මේ පැරාගෙ දුව නේද?

    ReplyDelete
  7. පඩත්තර දේශපාලකයන්, මමත්වය පිරුණු කුහක, බලයට හා ධනයට කෑදර මිනිසුන්ගෙන් තොර වුවා නම් මේකත් හොද රටක් තමයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් උන්ව පත් කරගන්නෙ අපි ම තමයි.

      Delete
  8. කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් නිසා හරක් මස්,ඌරු මස් කෑම සම්පූර්ණයෙන් නවත්වා ඇති නිසා පැරා ගේ කෑම ගැන කෙළ ගිලීමටම සිදුවිය.

    ReplyDelete
    Replies
    1. මටත් හීනියට ඔය ප්‍ර‍ශ්නෙ ආවා. මං දැන් අවුරුද්දක් විතර තිස්සෙ වැඩට එද්දි, යද්දි කිලෝමීටර් දෙක තුනක් පයින් යනවා. ඒකෙන් ඒ ප්‍ර‍ශ්නෙ විසඳුණා.

      Delete
  9. අපේ පැත්තට 26 වෙනිදායි න් පස්සේ හීතල අඩු උනා...
    27 පාන්දර වෙනද තරම් මීදුම තිබුනෙත් නැහැ, හීතලත් නැති උනා...
    අද තත්ත්වය කොහොමද දන්නේ නැහැ, මම ආපහු කොළඹ ආවා...

    කොහොම උනත් මමනම් මේ වගේ එන මද හීතලට කැමතියි, නුවරඑළියේ තද හීතල දවස් දෙක තුනකට හොඳ උනාට දිගටම ඉන්න හොඳ මදි බව තමයි මගේ අදහස...

    ReplyDelete
  10. ‘89 යි සීතලයි එක්ක මගේ අත්දැකීම්..
    http://sumithniriella.blogspot.com/2012/08/blog-post.html

    ReplyDelete
  11. මේකෙන් වැරදි අදහසක් ඇති වෙනවා. මම පුරුද්දට සිගරැට් බොන කෙනෙක් නෙමෙයි. ඒ වගේ ම ඉඳහිට දුමක් දාන එක මහා පාපයක් ලෙස සලකන කෙනෙකුත් නෙමෙයි. හීතලට, ඩ්‍රින්ක් එකක් දැම්මාම, නිදිමතේ වාහන පදවනකෙට එහෙම ඒකෙ ප්‍රයෝජනයක් තියෙනවා.

    ReplyDelete
  12. mama kalinuth me prasne ahuwwa, para keti katha ehema liyanne nadda..?

    ReplyDelete
    Replies
    1. මම 1996දී පුස්තකාල සේවා මණ්ඩලේ අනුග්‍ර‍හයෙන් කෙටිකතා පොතක් පළ කළා. ඒක දැන් විකිණිලා ඉවරයි. නම කතා කරන බළලා. ලියපු කෙටි කතා තියෙනවා. පළ කරන්නට ඕනැ.

      මේ කෙටිකතාව කියවන්න. ඒක මම ලියපු එකක්: ගංවතුර කඳවුරේ නයනා

      Delete
  13. මං වැඩ කරන්නේ ගුවන් සමාගමක. රටවල් 30 ක විතර ගිහිං තියෙනවා. මාසේ දවස් තිහ ඉන්නේ රටවල් 5-6 ක. සීතලට නං මාත් ආසා නෑ. කොහේ ගියත් ලංකාවේ කොළඹ දේශගුණය වගේ නං මට ලෝකේ කොහෙවත් අල්ලන්නේ නෑ. සිරාවටම මේක මරුම රටක් තමයි. පැරාගේ උණු උණු පාන් කෑම ගැන අහලා මස් හොදි,පරිප්පු එක්ක උණු උණු පාන් කාලා, තේ එකකුත් බිල සිගරට් එකකුත් බිමේ ආසාවක් ඇතිවිය. ඒත් දැන් ඉන්නේ ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆ්‍රුට් වල. මෙහෙ තියෙන ලඩ පාන් හරියන්නේ නෑ අපිට. අනිද්දා ගියාම කන්න ඕනා.

    ReplyDelete
  14. සීතල පිළිබඳ පැරකුමු අදහසට අප එතරම් එකඟ නැතත් අපි මෙම මාහැඟි ලිපිය මහත් සේ අගයමු. මෙහි එන කරුණු තවත් විස්තීර්ණය කර පොතක් වුව ලිවිය හැකි තරම් ය. එයට "ධ්‍රැවය" වැනි නමක් වුව යෙදිය හැකි ය ("සමකය" යන වචනය පැරකුමුවනට ආසාත්මික නිසා). පැරකුමු මෙලෙස දිගට ම ලියන්නේ නම් කමලා දාස්ගේ ස්වයංඅපදානය වැනි අව්‍යාජ ප්‍රකාශනයක් වුව බිහි විය හැකි ය!

    නො දන්නා නිසා දැන ගනු පිණිස ම විමසමු: පැරකුමු මෙලෙස මධුරමනෝහර අතීත සැමරුම් ලියන්නට උගත්තේ ද යුක්තිය පත්තරයෙන් හෝ සුනන්දගෙන් හෝ සූජීවගෙන් හෝ ද?

    සීතල උඳුවප් මාසය වමේ (පුළුල් සම්භාව්‍ය අර්ථයෙන්) ව්‍යාපාරයේ ගමන් මඟ තීරණය කළ සිදුවීම් මාලාවක් ඇරඹුණු මාසයකි. උඳුවප් සාම මාසය සමරනු වස් අපි පසු ගිය ලිපිය පිළිබඳ පැවසිය යුතු කිසිවක් නො පැවසිමු. මුනිවත හොඳ යි දෙබසින් දුක වැඩි හින්දා!

    පැරකුමුවනට අපගේ උණුසුම් සුබ පැතුම්! අපි හොඳ දේ අගයන්නට පසුබට නො වෙමු.

    වම පැරැණි මිතු කැල

    ReplyDelete
    Replies
    1. ඔයාල ඉතින් ඔය ආන්ඩුවෙන් හන්බුවෙන රිෆියුජි එලවන්ස් එකෙන් ඔය ලාබ විශ්කි ශොට් එකක් ගහගෙන ඔය සීතල ගෙවල දාන්න වෙන මොනව කොරන්නද

      Delete
  15. ආ පැරා ඔය කියන්නේ උගේ කෙරුවාව. හිරු පත්තරෙයි කොටි ඔත්තු කාරයොයි එන්ජීඕ සැට් එකයි එක්ක එකතු වෙලා හම්පඩ ගිය රතු බංකොලොත් සමාජවාදයේ ජාතික විරෝදී වැඩසටහන් කරපු හැටි එලියට පැන්න නේද? උඹ පදවිය පැත්තේ ගිහිල්ල එන්ජීඕ එක්ක කොටින්ට ඔත්තු දීපු හැටිත් පොඩ්ඩක් කියපන්කො ඔහොම්ම.

    ReplyDelete
    Replies
    1. ආ ඉඳපන් පොඩ්ඩක්. මේ උඹ ඇවිත් ඕක කියනකල් මං හිටියෙ.

      Delete
    2. පැරා උඹ මෙතන අපිවත් චා කරන්නේ නැතු ව වෙන පෝස්ට් එකක් දාපං ඉක්මනට. උඹට පහුගිය පොස්ට් දෙකක ම උඹට කොපිරයිට්ස් නැති වැඩ දෙකක් කළා. ඒකට කමක් නැහැ. උඹ අර ආයුධ පුහුණුව ලබන වෙලාවක ගත්ත ෆොටෝ එකත් දා ගනිංකෝ. ඕනේ නම් අපි එවන්නම්. එක දෙයක් උඹ පැහැදිලි ව කියන්න ඕනේ පැරා. හිරු යුගය තුළ උඹේ අත්වල ලේ නො ගෑවුණු බව. හිරු යුගයට පෙරත් පසුත් උඹේ අත්වලත් ආහාරමාර්ගයේත් ලේ ගෑවී ඇති බව වෙන ම කතාවක්.

      Delete
  16. පැරාගේ පෝස්ට් එකට කොමෙන්ට් 30 යි. සරසගේ පොස්ට් එකට කොමෙන්ට් 70 යි. පැරා කරුණාකරලා ගෞරව ඇතිව රිටායර් වෙන්න. ඩ්‍රොප් කරන්න කලින් රිටායර් වෙන එක ඔයාට හොඳයි.

    ReplyDelete
  17. ඕක මිනිස්සුන්ට තියෙන දෙයක්. සීතල වැඩි වුනාම රස්නේ හොඳයි කියනවා. රස්නේ වැඩි වුනාම සීතල හොඳයි කියනවා. මම ඔය දෙකම උපරිමේට අත් විඳලා තියෙන නිසා දන්නවා දෙකම ඕනෑවට වඩා ඕනේ නැ කියලා. ඕමාන් වල ගිනි ගහණ රස්නේ ඉන්නකොට ඔය පැරා කියල සීතල හොඳ නෑ කියන කතා අදාල නෑ. ඒ වගේම තමයි පෝලන්තේ වෝර්සෝ වල ඉන්නකොට රස්නේ තමයි දිරවන්නේ නැති කතා අදාලත් නෑ. මම ඔය දෙකම විඳලා තියෙනවා.

    ReplyDelete
  18. සීතල චාටර් ය.
    මෙන්න ගස්ලබ්බගෙ සීතල අත්දැකීම
    උඹ නපුරු මායාකාරී
    ජයවේවා..!!

    ReplyDelete
  19. පැරා ජපන් ගිය වෙලාවෙ සීතලට ඇල්ලුවෙ නැද්ද ? මම ගිය සතියෙ ගිහින් ආවා, අංශක 6ට බැහැලා. පුදුම හොඳ, විණීතවත් මිනිස්සු, අපිට භාෂාව බැරි නිසා අවුල් වගේ වුණාට, ඒ මිනිස්සුන්ගෙ සිරිත්නම් පුදුමයි. ඔච්චර වාහන හදන රට වුණාට ගොඩක් දෙනෙක් පයින් යන්න කැමති, තට්ටු හතර පහ වුණත් පඩි පෙලින් නගින බහින, වෙලාවට වැඩ කරන කඩියො වගේ මිනිස්සු. ජපන් අත්දැකීමුත් ටිකක් ලිව්වානම් හොඳා...

    ReplyDelete
  20. Dan parage blo eka wele bawa. Sarasage blog eka thamayi bahala yanne ! Thamange janmayata agamata pahara dee ganna minihata pawathmak na

    ReplyDelete
  21. පැරා ගෙන් වෙනසක් ! ලස්සනයි .
    -SAM-

    ReplyDelete
  22. පැරා ගෙන් වෙනස් විදියේ පෝස්ටුවක්

    ReplyDelete
  23. මිනිස්සු මොකට සීතල පළාත් වල හනිමුන් යනව ද කියලා හිතා ගන්න පුලුවන් හීතලේ කරන්න පුලුවන් එකම වැඩේ එ්ක විතරයි කියල හිතන අයට තමා.

    හෙට ඉදන් මීදුම කපාන පාන්දරම බස් එකේ ඉස්කෝලෙ යනේක මතක් වෙද්දි සතුටක් දැනුනට ඉස්කෝලෙ ඇරිල ගිනි මද්දහනේ ගෙදර ඒම මතක් වෙද්දි නම් එපා වෙනවා....

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.