2016-01-31

සොරකම, නීතිය හා කඳුළු

යෝෂිත ඇතුළ සීඑස්එන් නඩයට තමන්ගේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය හා වෙනත් මුදල් ලැබුණු හැටි පැහැදිලි කරන්නට බැරි වී තිබේ. 

එසේ නම් ඒ කළු සල්ලි බව පැහැදිලි ය. 

මේ මුදල් උපයා ගත්තේ කෙසේ ද? ඒවා දුන්නේ කවුරු ද? කිසිවෙක් ඒ තරම් මුදල් ඔවුන්ට පිරිනමන්නට හේතුව කුමක් ද? 

මේ මුදල් මේ රටේ මහජනතාවගෙන් සොරකම් කළ ඒවා හෝ මේ රට හා ජනතාව විකුණා කොමිස් ලෙස ලබා ගත් ඒවා ය. 

සරළව කීවොත්, තාත්තාගේ ජනාධිපති බලතල යොදාගෙන සොරකම් කළ සල්ලි ය. 

මේ ක්‍රියාත්මක වන්නේ නීතියයි. පමා වූ නීතියයි. අප සිතන ආකාරයට නීතිය පමා වූයේ නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයන්ගේ අකාර්යක්ෂමතාව නිසා ය. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් ඒවා වේගවත් වූයේ නැත. 

සිදු විය යුත්තේ එයයි. 

මහින්ද පුද්ගලයන් ශක්තිමත් කළේ ය. මේ ආණ්ඩුව සිය එක් වසරක ඉතිහාසය තුළ ආයතන ශක්තිමත් කර තිබේ. කුහක නැතිව වී ඇති වෙනස දකින්න. විවේචනයෙහිදී ධනාත්මක වන්න. 

මේ වනාහි කවුරු කවුරුත් තමන් වැපිරූ බීජවල අස්වනු නෙළන සමයයි. 

මහින්ද, දැන්වත් නවතින්න. 

ඒකාධිපතිවාදය, අවනීතිය වෙනුවෙන් සිහින දැකීම නවත්වන්න. 

ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආධිපත්‍යයට ඉඩ දෙන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-01-30

රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි

රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි 
අගමැති රනිල් වික්‍රමසිංහ කබ්බන් ෆෝම් කරමින් පාර්ලිමේන්තුවේ පවත්වන ලද දිග කතාව සම්පූර්ණයෙන් ම කියවීමි. රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් එය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට සිදු වූ හෙයින් අකුරක් නෑර කියවූයෙමි. 

රජයේ සන්නිවේදන අසාර්ථකභාවයට රනිල්ගේ කතාව ම නිදසුනකි. රනිල් ඒ කතාව පුරා ම දඩයමේ යාමක් ගැන කියයි. එහි තේරුම කුමක් ද යන්න මම නම් නො දනිමි. මාධ්‍යකරුවන් දඩයමේ යනවා ය කියන්නේ කුමක් ද? 

මට සිතෙන හැටියට රනිල් වික්‍රමසිංහට කියන්නට අවශ්‍යව තිබුණේ සාධාරණ කතාවකි. ඒ වනාහි මෙයයි. ලංකාවේ අධිකරණය, පොලිසිය හා මාධ්‍ය යන තුන ම නීතිය ක්‍රියාත්මක කිරීමෙහි ලා අතිශය වැදගත් බවත්, තුනෙහි ම භාවිතාවන්ගේ වැරදි ඇති බව හා ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යා යුතු බවත් ය. 

විශේෂයෙන් ම අධිකරණයෙහි හා පොලිසියෙහි අඩුපාඩු ඇති බවත්, ඒවා නිවැරදි කර ගත යුතු බවත්, මාධ්‍ය දේශපාලනික උවමනා වෙනුවෙන් ඒවා උලුප්පා නො දැක්විය යුතු බවත් ඔහු පැවසී ය.  

මේ කතාව සම්පූර්ණයෙන් ම අවුල් ජාලයකි. කතාවෙහි දක්ෂයෝ හැම විට ම වැඩෙහි දක්ෂයෝ හෝ අවංක මිනිස්සු නො වෙති. කෙසේ වෙතත්, තමන්ට කියන්නට අවශ්‍ය දේ ජනතාවට තේරෙන පැහැදිලි ආකාරයකින් කීමෙහි වගකීමක් පාලකයන්ට තිබේ. 

අධිකරණය, පොලිසිය හා මාධ්‍ය යනු මේ රටේ දූෂිත ම ආයතන යයි කියන්නට පුළුවන. අධිකරණය තුළ ම පගාව ගැනීම් සිදු වේ. සිර කූඩුවට නො දමා ඉන්නට හෝ කලින් දඩයක් ගෙවා වැරදිකරුවකු නිදහස් කිරීමට හෝ අවශ්‍ය ලේඛනයක් අධිකරණයෙන් ලබා දීමට හෝ රජයේ නිලධාරීන් පගා ගන්නේ නඩුකාරයන් ඉදිරිපිට ම ය. ඒ පොඩි පහේ ඒවා ය. විනිසුරුවරයෙක් පගාවක් ගන්නට ගෙදරකට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන වැඩි කලක් නැත. තත්වය එසේ වුණත්, ඈනුමක් අරින මිනිසුනුත් හිරේ යවන මානසික රෝගියෝත් මේවායේ සිටිති. 

පොලිසිය හුරු වී තිබෙන්නේ සිවිල් ආයතනයක් ලෙස වැඩ කරන්නට නො වේ. ඇඹිලිපිටියේදී පොලිස් නිලධාරීහු තරුණයකු උඩු මහලකින් බිමට තල්ලු කළ බවට චෝදනාවට ලක් වෙති. එම සිද්ධිය ගැන කියවෙන කතා සියල්ල සැක කළත්, එකක් පැහැදිලි ය. පොලිසිය මෙතැනදී කර ඇත්තේ තමන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළ මිනිසකු දැඩි ප්‍රචණ්ඩත්වයකට ලක් කිරීමයි. 

මාධ්‍ය හුරු වී ඇත්තේ කුමකට ද? සෑම සිද්ධියක් ම තමන්ගේ හා තම ස්වාමීන්ගේ වානිජ හා දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරන්නටයි.  රනිල් මතු කරන ප්‍රශ්නය සාධාරණ ය. ඇඹිලිපිටිය සිද්ධියේදී රජය, පොලිසිය දැඩිව විවේචනය කරන මාධ්‍ය හෝමාගම අධිකරණයේ ඥානසාර අඩව්ව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ වෙනත් ප්‍රතිපත්තියකි. 

රනිල් මාධ්‍යකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතිවාදය අවුස්සන්නට එපා කියා ය. ඒ වෙනුවෙන් ඔහු භාවිතා කළ වැරදි සන්නිවේදනය නිසා වැඩකට නැති කබ්බන් දෙතුන් දෙනෙක් මාර විදියට ෆෝම් වී සිටිති. ලංකාවේ විද්‍යුත් මාධ්‍යකරුවන් කියන්නේ පත්තරවල අනුන් ලියූ දේ කියවන, යූටියුබ්හි පළ වන වීඩියෝ තමන්ගේ ඒවා මෙන් අන්තර්ජාලය හරිහැටි පරිහරණය කරන්නට නො දන්නා මිනිසුන්ට පෙන්වා පොරවල් වී සිටින  කට්ටියකි. ඔවුන් වෙනුවෙන් මාධ්‍යවේදීන් යන වචනය භාවිතා කළ විට වෘත්තීය පරිණතභාවයකින් කටයුතු කළ ලසන්ත වික්‍රමතුංග, සිවරාම් වැනි අයට භාවිතා කරන්නට වචනයක් නැත. 


සේයා දැරියගේ මිනිය විකුණාගෙන කෑ මාධ්‍ය මෙම ඡායාරූපයේ සිටින දූෂණය කර මරා, ගලක් ගැට ගසා ළිඳක දමා තිබුණු, දර්ශන් කුගදාසන් නමැති සාම්පූර්හි පදිංචි මෙම දෙමළ දරුවා ගැන වාර්තා කළ ආකාරය විමසා බලන්න. මාධ්‍ය විසින් මේ දරුවා ගැන කිසිදු හැඟීමක් ඇති කළේ නැත්තේ ඇයි? හේතු පැහැදිලි ය. මෙම දරුවා පිරිමි ළමයකු නිසා එයින් කුණු රසය ඇවිස්සිය හැක්කේ පාඨකයන්ගෙන් සුළු පිරිසකගේ පමණි. අනෙක් පැත්තෙන් මේ දෙමළ දරුවෙකි. 

කවුරු කුමක් කීවත්, අධිකරණය හා පොලිසිය පැත්තෙන් යම් ප්‍රගතියක් දක්නට ලැබේ. රජයේ නායකයකු ලෙස රනිල් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ඇත්තට ම සාධාරණ ය. හෝමාගම විනිසුරුවරයාට ඥානසාරවාදී ත්‍රස්තයන්ගේ ආගම්වාදී, ජාතිවාදී බලපෑමට යට නො වී සිටින්නට ශක්තිය තිබිණි. එසේම, 2015 ජනවාරි 8දා සිට මාධ්‍ය විසින් යක්ෂාරෝපණය කරන ලද සැකකරුවන් කිසිවෙක් ආයුධ පෙන්නන්නට ගොස් පළා යද්දී වෙඩි කෑවේ හෝ ගඟේ ගිලුණේ නැති බවත් අප නැවත මතක් කර ගන්නවා නම් හොඳ ය. 

රජය මෙම ආයතනවලට බොහෝ දුරට ස්වාධීනව වැඩ කරන්නට ඉඩ දී තිබේ. ඇඟිලි ගැසීම් සම්පූර්ණයෙන් ම නැති වී ඇතැයි අපි නො සිතමු. මෙම ආයතන මෙන් ම මේ රටේ ජනතාව ද එක හා සමාන අන්දමින් දූෂිත ය. දූෂිත ජනතාවක් සිටින තැනක දූෂිත නැති ආයතන බලාපොරොත්තු විය නො හැකි ය. 

තරුණයකු පැහැරගෙන ගොස් අතට ම අසු වූ හිරුනිකාට සුටුස් ගා ඇප ලැබීම, පාස්පෝට් වංචා කළ විමල් වීරවංශට ඇප ලැබීම, ආගමන විගමන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුමාර් ගුනරත්නම්ට ඇප නො ලැබීම, ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නො ගන්නා ලෙස නියෝග නිකුත් වීම ආදිය පසුපස ඇත්තේ දේශපාලන ඇඟිලිගැසීම් බව සිතන්නට පුළුවන. එහෙත්, කුහක නැතිව බලන ඕනෑම කෙනෙකුට පසුගිය වසරක කාලය තුළ කෙතරම් වෙනසක් සිදු වී තිබේ ද යන්න වටහා ගත හැකි ය. 

විවේචනය අවශ්‍ය ය. එහි කිසිදු ගැටලුවක් නැත. එහෙත්, විවේචකයන් නීතිය වෙනුවට ප්රවර්ධනය කරන්නේ ඥානසාර පන්නයේ අවනීතිය, ජාතිවාදය හා ත්‍රස්තවාදය නම් එතැන බරපතල ගැටලුවකි. රනිල් ප්‍රශ්න කරන්නේ එයයි. 

රනිල් කළේ ඒ ගැන කතා කරන්නට ගොස් අහක ගිය කබ්බන් දෙතුන් දෙනෙක් ෆෝම් කිරීමයි. ආණ්ඩුවේ බොහෝ සන්නිවේදන කාර්යයන් මෙවැනි ය. රනිල් සංකේතවත් කළේ එයයි. ඔහු මෙවර කෙළවා ගන්නේ ඔහුගේ මෝඩ ජන සන්නිවේදන නඩය නිසා ය. ජනමාධ්‍ය හැසිරවීමේ සියුම් කාර්යයෙහිදී ඔවුහු අසාර්ථක ය. 

මේ ජනමාධ්‍ය වැඩිපුර ම යැපෙන්නේ රාජ්‍ය අංශයේ දැන්වීම්වලිනි. එසේ ම, විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන්නේ පොදු හිමිකාරිත්වය යටතේ ඇති සංඛ්‍යාතයි. ඒවා පාලනය කරන රජයට එම සංඛ්‍යාත සම්බන්ධයෙන් අධිකාරියක් තිබේ. මහින්ද රාජපක්ෂ මේ සියල්ල ඉතා සියුම් ලෙස මෙන් ම, දැඩි අධිකාරිත්වකින් ද පාලනය කළේ ය. එය හරි නැති වුණත්, මාධ්‍ය වලිගයට බල්ලා නටවන්නට මහින්ද ඉඩ දුන්නේ නැත. 

රනිල්ගේ ජනසන්නිවේදනකාරයෝ තමන්ගේ වැඩේ නො කරති. රනිල් ඔවුන්ගේ වැඩේ කරන්නට යන විට අපට මතක් වන්නේ බල්ලාගේ වැඩේ කරන්නට ගිය බූරුවාගේ කතාවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-01-28

අප ඉන්දියාව සමග එක්ව යා යුත්තේ ඇයි?

ඉන්දියාව සමග අත්සන් කරන්නට යන බව කියන ආර්ථික, වෙළඳ ගිවිසුම්වලට විරුද්ධ වීම තමයි මේ දවස්වල මෝස්තරය. 

විශේෂයෙන් ම වාමාංශිකයන් වුණා ම එයට අනිවාර්යයෙන් ම විරුද්ධ විය යුතුයි වගේ අදහසක් තිබෙනවා. ඒ අදහස එන්නේ දෙමළ විරෝධයේ සිට ජවිපෙ ඉන්දියානු ව්‍යාප්තවාදය පංතිය දක්වා වාමාංශික ව්‍යාපාරය ආසාදනය කර තිබෙන විවිධ ආකාරයේ ජාතිවාදී විෂබීජවල බලපෑමෙන් බව පැහැදිලියි. 

පසුගිය දිනවල නිර්මාල් රංජිත් සහෝදරයා මේ පිළිබඳව ෆේස්බුක්හි දැක්වූ අදහසක් මා ප්‍රශ්න කළ විට ඇති වූ සංවාදය මෙසේයි: 

Ajith Perakum Jayasinghe ආර්ථික ජාතිවාදය ද තවත් ස්වෝත්තමවාදයකි. ජාතිවාදයෙන් ලෝකයට කිසිවක් ලැබෙන්නේ නැත. සීපා තුළ හොඳ, නරක දෙක ම තිබේ. එහෙත්, අප කැමති වුණත්, නැතත්, ලෝකයට ඉදිරියට යන්නට තිබෙන මාර්ගය ඇත්තේ දේශ සීමා මකා දැමීම හරහා ය. එය සමාජවාදය තුළින් සිදු නො වනවා ය කියා ජාතිවාදී වීමට වාමාංශිකයන්ට අයිතියක් නැත.
Nirmal Dewasiri මීට විරුද්ධ වීමට ආර්ථික ජාතිකවාදියකු වීම අවශ්‍යයැයි මම නොසිතමි. දැනට මගේ අවබෝධයට අනුව මේ හරයා ලංකාවට ආර්ථික වශයෙන් වාසි අත්වීමට ඇති ඉඩ අවමය. අජිත්ගේ ප්‍රෙව්ශය මා සිතන්නේ නම් ආර්ථික අරාජකවාදයක් ලෙසිනි. කෙසේ වෙතත් මේ පිළිබදව විස්තරාත්මකව සාකච්ඡා කිරීම අවශ්‍ය වේ.
Ajith Perakum Jayasinghe මාක්ස්වාදියකු වන ඔබ ‘ලංකාවට ආර්ථික වශයෙන් වාසි අත් වීම‘ යන යෙදුම ගැන නැවත සලකා බැලිය යුතු ය. මෙය දිගු කාලීනව කම්කරු පංතියට වාසිදායක ද නැද්ද යන්න සලකා බැලීම වඩා යුක්තියුක්ත ය.
Nirmal Dewasiri මා මාක්ස්වාදියකු වීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
Nirmal Dewasiri උතුරේ ඉන්දියානු ධීවර ප්‍රශ්නය පිළිබද 'මාක්ස්වාදියකු' ලෙස මා කුමන ස්ථාවරයක් ගත යුතුයැයි ඔබ සිතන්නේද?
Prabashwara Liyanghe මාක්ස්වාදියකු like emoticon
Ajith Perakum Jayasinghe ඔබ මාක්ස්වාදියකු නො වේ නම්, කලබල විය යුතු නැත.
Nirmal Dewasiri මා එසේ කියා නැත. මට ඇති ප්‍රශ්නය වන්නේ මාක්ස්වාදියෙක් වීම හෝ නොවීම මෙහිදී අදාළ වන්නේ කෙසේද යන්නයි.
චාමර කරුණාරත්න ඈ පකෝ නර්ස් ලා මෙහෙට ඉන්දියාවෙන් ගෙන්නමුද? එතකොට උඹේ ගෑණිට රස්සාව නැති වෙන එක හරි හාමුදුරුවොත් එක්ක පඩි වැඩි කරගන්න බැරි වෙනකොට උඹ මොකද කියන්නේ.දැන් නම් උඹට ඒත් ගාණක් නැහැ ඒ ඉස්සරනේ උඹ් නර්ස් ලා වෙනුවෙන් විතරක් කෑ ගැහුවෙ.දැන් ඉතින් සිරිකොතෙන් කුට්ටිය ...See More
Ajith Perakum Jayasinghe Nirmal Dewasiri කාරණය ඒක නම්, මාක්ස්වාදීන්ට ලංකාව නම් භෞමික හෝ දේශපාලන ඒකකය ගැන ඔය තරම් තිබෙන කැක්කුම කුමක් ද?
Nirmal Dewasiri එය භෞමික ඒකකය පිළිබද ප්‍රශ්නයක් නොව ඒ තුළ ජීවත්වන ජනයා පිළිබද ප්‍රශ්නයකි.
Ajith Perakum Jayasinghe මාක්ස්වාදියාට වැදගත් විය යුත්තේ ලෝකයේ ජීවත් වන මිනිසුන් හා ඒ අතරින් විශේෂයෙන් ම කම්කරුවන් මිස ලංකාවේ අය නො විය යුතු ය.
Nirmal Dewasiri Ajith මෙය නම් මාක්ස්වාදය ගැන ඉතාම පටු විවේචනයකි.
Ajith Perakum Jayasinghe නිර්මාල්, මේකට මම නම් සහයෝගය දෙන්නේ මේක දේශපාලන ප්‍ර‍ජාවන් පුළුල් අයුරින් ප්‍ර‍තිසංවිධානය වීමේ ක්‍රියාවලිය තුළ සිදු වන දෙයක් නිසායි. එහෙම නෙමෙයි කියලා තර්ක කරන්න පුළුවන්. ඒත්, පුළුල් ඉතිහාසය අරගෙන බැලුවොත්, මම නම් හිතන්නේ දේශපාලන ප්‍ර‍ජාවන් පුළුල් වීම මේ විදියට තමයි වෙලා තිබෙන්නේ. ඒක ප්‍ර‍චණ්ඩ වෙන්න පුළුවන්. ඉතිහාසය එහෙම තමයි.
Prabashwara Liyanghe Ajithge kamkaruwa Nirmal.

නිර්මාල්ගේ මූලික අදහස වුණේ මෙයයි:
අත්සන් කිරීමට සූදානම්වන "සීපා" ගිවිසුම ලංකාවට බෙහෙවින් අහිතකර එකක් වීම නොවැලැක්විය හැකිය. විශේෂයෙන් ඉන්දියානු ශ්‍රම වෙළදපොළ සමග තරග කිරීමට ලංකාවේ ශ්‍රම වෙළදපොළට නොහැකි තත්වයක් තුළ මේ ගිවිසුම ලංකාවේ ආර්ථිකය කෙරේ මරණීය බලපෑමක් කිරීමට ඇති ඉඩකඩ විශාලය. මේ ගිවිසුමට රාජපක්ෂ හිතවාදී කදවුර මාරාන්තික ලෙස විරුද්ධය. ඔවුන්ගේ එක තර්කයක් වන්නේ මේ ආණ්ඩුව මේ ගිවිසුමට අත්සන් කරන්නේ ආණ්ඩුවේ ඇති ඉන්දීය ගැතිබව නිසා බවයි. කෙසේ වෙතත් විමල් වීරවංශලාගේ වෙබ් අඩවියේ පලවන මේ ප්‍රවෘත්තිය මගින් මේ "ඉන්දියානු ගැති" ආණ්ඩු ප්‍රතිපත්ති පිළිබද අර්ථකතනය ප්‍රශ්න කෙරේ. මේ ප්‍රවෘත්තියට අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉන්දියානු මෝටර් රථවල ලංකාවේ වෙළද පොළට අහිතකර එකක් වී ඇත.

මේ අදහස ඔහු පළ කළේ විමල් වීරවංශගේ ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළ වූ මෙන්න මේ පුවත බෙදා හදා ගනිමිනුයි. 

කාර් හීනය දියවේ.. මරුටි ලියාපදිංචියත් 31% කින් බහී..


එය අද දෙරණ වෙබ් අඩවියෙන් කොපි කර ගත් එකකි. 

මෙවැනි කාරණාවලදී වාමාංශිකයන් ජාතිවාදීන් හා ජාතික ධනවාදීන් ආදී සියලු බලවේග කදිමට මුසු වන ආකාරයට මෙම සිද්ධිය කදිම නිදසුනකි.

පෙරටුගාමී සමාජවාදියකු ලෙස පෙනී සිටින ව්‍යාජ ෆේස්බුක් ප්‍රොෆයිල්කාරයකු මගේ අදහසට ප්‍රතිචාර දැක්වූයේ සාමාන්‍යයෙන් ජාතිවාදීන් භාවිතා කරන ද්වේෂය පිරි, තර්ජනාත්මක වචනවලිනි. 


චාමර කරුණාරත්න ඈ පකෝ නර්ස් ලා මෙහෙට ඉන්දියාවෙන් ගෙන්නමුද? එතකොට උඹේ ගෑණිට රස්සාව නැති වෙන එක හරි හාමුදුරුවොත් එක්ක පඩි වැඩි කරගන්න බැරි වෙනකොට උඹ මොකද කියන්නේ.දැන් නම් උඹට ඒත් ගාණක් නැහැ ඒ ඉස්සරනේ උඹ් නර්ස් ලා වෙනුවෙන් විතරක් කෑ ගැහුවෙ.දැන් ඉතින් සිරිකොතෙන් කුට්ටිය හම්බ වෙනවා නේ.පකෝ දැන් උඹ් මේක තේරුම් කරපන් මේ ධනවාදයේ අර්බුධය.ඉන්දියාව උන්ගේ ශ්‍රම අතිරික්තය මෙහෙට දාන්න හදනවා.එතකොට මෙහෙත් ශ්‍රම අතිරික්තයක් එනවා.දැන් අපි දෙගොල්ලො එකතු වෙලා විප්ලව කරපන් උඹ රනිල් ට පුක දීදි ගාණ කපාගන්න කියලද උඹ කියන්නේ.මතක තියා ගනින් කඩාගෙන වැටෙනකොට ඔක්කොම එකට වැටෙන්නේ.තොගේ දරුවො දෙන්නගේ අනාගතේ ගැනවත් හිතපන් දැන් සිරිකොතෙන් එන කුට්ටියට පෙරේත නොවී කැරියා.

ඔහු මෙතරම් වියරු වට්ටන මගේ අදහස මෙයයි: ආර්ථික ජාතිවාදය ද තවත් ස්වෝත්තමවාදයකි. ජාතිවාදයෙන් ලෝකයට කිසිවක් ලැබෙන්නේ නැත. සීපා තුළ හොඳ, නරක දෙක ම තිබේ. එහෙත්, අප කැමති වුණත්, නැතත්, ලෝකයට ඉදිරියට යන්නට තිබෙන මාර්ගය ඇත්තේ දේශ සීමා මකා දැමීම හරහා ය. එය සමාජවාදය තුළින් සිදු නො වනවා ය කියා ජාතිවාදී වීමට වාමාංශිකයන්ට අයිතියක් නැත.
 

ඉන්දියාව සමග අත්සන් කරන්නට යන ගිවිසුම්වල ඇත්තේ නරක පමණක් නො වේ. එහි හොඳ ද තිබේ. හොඳ දක්වන අය හොඳ පමණක් පෙන්වා දෙති. නරක දකින අය පෙන්වා දෙන්නේ නරක ම පමණි. මේ පිළිබඳ පැහැදිලි අදහසක් පළ කළ හැක්කේ හැඟීම්බර කතාවලින් නො වේ. විද්‍යාත්මක අධ්‍යයනයකින් පමණි. කිසිවෙක් එවැන්නක් කරන්නේ නැත. ඉන්දියාවේ රස්සාවලට ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව ගැන පුවත් හොය හොයා නැවත පළ කිරීම ඊට වඩා පහසු ය.

මගේ මූලික අදහස මෙයයි. ඉතිහාසය ඉදිරියට යන්නේ රට රටවල්, ජාතීන් හා සමාජයන් අතර ආර්ථික, දේශපාලන, සමාජ සම්බන්ධතා ශක්තිමත් වෙමින් ය. එසේ ශක්තිමත් වන විට මිනිසුන්ගේ දේශපාලන ප්‍රජාවන් ද පුළුල් වේ. නිදසුනක් ලෙස පසුගිය සියවසේ මුල වන විට සිටි සිංහල භාෂාව කතා කරන උඩරට, පහතරට, ගොවිගම, කරාව ආදී දේශපාලන ප්‍රජාවන් දැන් වඩා පුළුල් සිංහල දේශපාලන ප්‍රජාවක සංවිධානගත වී සිටිති. යුරෝපා සංගමය තුළ යුරෝපා ප්‍රජාවක් ගොඩනැගෙමින් ඇත.

කොමියුනිස්ට්වාදීන්ගේ පරමාදර්ශී ලෝක කොමියුනිස්ට් සමාජය බිහි වන්නේ ද මෙසේ දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමෙනි. ඔවුන් මූලධාර්මිකව ජාතිවාදයට විරුද්ධ වන්නේ ඒ නිසා ය. එහෙත්, දේශපාලන ප්‍රජාවන් පුළුල් කර ගන්නට අප සමාජවාදී විප්ලවය සිදු වන තෙක් බලා සිටිය යුතු නැත. මාක්ස්වාදීන් ජාතිවාදයේ වෙළෙමින් එසේ බලා සිටියදී පවා ඉතිහාසය ඉදිරියට යන්නේ ය. 

ඉතිහාසය හැම විට ම සාමකාමී වී නැත. ඇතැම් අවස්ථාවලදී එය ප්‍රචණ්ඩ වී තිබේ. උදාහරණයක් ලෙස අවසන් ඊලාම් යුද්ධය සලකන්න. කොටි සංවිධානය හා රජය සාම සාකච්ඡා වෙනුවට යුද්ධය තෝරා ගත් හ. කෙතරම් නරක දෙයක් වුවත්, ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ මෑත ඉතිහාසයේ වැදගත් ම සුසමාදර්ශීය වෙනස ඇති වුණේ එකී ප්‍රචණ්ඩ ක්‍රියාවලිය නිසා ය. ඉතිහාසයෙන් මෙවැනි නිදසුන් ඕනෑ තරම් සොයා ගත හැකි ය. 

මා කියන්නේ සරළ දෙයකි. අප ලෝකය සමග සම්බන්ධ විය යුතු ය. ඒ සඳහා මුලින් ම ඉන්දියාව සමග සම්බන්ධ විය යුතු ය. (ලංකාවේ ජාතික සංහිඳියාව ද මෙතැනදී අදාළ ය) සාකච්ඡා කළ යුතුව තිබෙන්නේ එම ප්‍රතිව්‍යූහගත වීම ප්‍රචණ්ඩ නො වන ආකාරයෙන් හා අවම හානි සිදු වන ආකාරයෙන් කර ගැනීම පිළිබඳව ය. දෙපැත්තෙහි ම ඇතැම් කොටස් මෙමගින් තාවකාලික පීඩාවන්ට ලක් වෙති. එහෙත්, ලංකාවේ ජනතාව ඉතිහාසයක් පුරා සිය ආර්ථික ප්‍ර‍ත්‍යාස්ථිතිය පෙන්වා තිබේ. ඔවුන් කාලයත් සමග පහසුවෙන් නව තත්වයන්ට හැඩගැසෙති. 

නිදසුනක් ලෙස කණ්ඩලම හෝටලය ඉදි කරන්නට යද්දී එයට එරෙහිව වාමාංශිකයන්ගේ හා සිවිල් සමාජයේ මූලිකත්වයෙන් දැවැන්ත අරගලයක් සිදු විය. එහෙත්, දැන් එදා විරෝධය පළ කළ වාමාංශිකයෝත් දැන් නව තත්වයට හැඩගැසී ඇත. 

ලොකු රටක් නිසා අප ඉන්දියාවට බිය විය යුතු නැත.

ඉන්දියාවේ ජාතිවාදී ප්‍රවණතා මෙල්ල කර ගැනීමේ දේශපාලන ප්‍රගතිශීලිත්වය ගොඩනගා ගත යුත්තේ අප විසිනි. අප බොහෝ කාරණාවලදී ඉන්දියාවට ඉදිරියෙන් සිටින බව අප අමතක නො කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-01-26

අධිකරණ ඥාන සාරය

ඥානසාර ඊයේ අධිකරණයේදී අඩව්වක් ඇල්ලුවේ ය. 

ඥානසාර අරගලය මෙසේ කැටි කර දැක්විය හැකි ය.

ප්‍ර‍ගීත් එක්නැලිගොඩ මරා දමනු ලැබුවේ ඔහු සිංහල ජාතිවාදියකු නො වූ නිසා ය. (ඔහු ත්‍ර‍ස්තවාදියකු වූ බවට කිසිදු සාක්ෂියක් නැත.) ඒ නිසා ඔහු මරා දැමීම නිවැරදි ක්‍රියාවකි. එබැවින් ප්‍ර‍ගීත් එක්නැලිගොඩ මරා දැමූවන් අත්අඩංගුවට නො ගත යුතු ය. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො කළ යුතු ය. 

ඥානසාර සිංහල ජාතිවාදී පදනමින් නීතිය අභියෝගයට ලක් කරන ආකාරය අර්ථකථනය කළ හැක්කේ එසේ ය.

ඥානසාර විවෘත අධිකරණයේදී ම නිතියට අභියෝග කළේ ය. එහෙත්, ඔහු ඒ වෙලාවේ අත්අඩංගුවට ගත්තේ නැත. සාමාන්‍ය මිනිහෙක් නම් උසාවියේදී ඈනුමක් ඇරියත් ඒ වෙලාවේ ම අත්අඩංගුවට ගනු ලැබේ. 

ඥානසාර සාමාන්‍ය මිනිසකුට වෙනස් වන්නේ ඔහු ජාතිවාදී චීවරධාරියකු නිසා ය. 

ඔහු වැනි අය පෙනී සිටින්නේ ජාතිවාදී මිනීමරුවන්ට සදාකාලික මුක්තිය ලබා දීම වෙනුවෙනි.

එය අමුතු තත්වයක් නො වේ. 

වැලිකඩ ඝාතනය වැනි පැහැදිලි සාක්ෂි සහිත ජාතිවාදී ඝාතන රැසක වගඋත්තරකරුවෝ අදත් නිදහසේ ජීවත් වෙති. 

ප්‍ර‍ගීත් එක්නැලිගොඩ ඝාතකයන්ටත් ඒ අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබිණි. 

එක් මිනිස් ප්‍රාණියකු නො සිටියා නම්. 

එක් ගැහැණියක විසින් අඛණ්ඩව ගෙන යන ලද අභීත අරගලයක් නො තිබුණා නම්. 

සන්ධ්‍යා එක්නැලිගොඩ, ඔබට ශක්තිය හා ධෛර්යය පතමු!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.