2016-02-29

කිරිඇල්ලගේ පැණි ලියුම

විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් මෙවැනි ලියුමකට කථිකාචාර්ය පත්වීමක් දෙනු ඇතැයි මම නො සිතමි. 

එහෙම දෙන්නට සිදු වන තරමේ මැරවර බලයක් හා නායකත්වයක් මේ ආණ්ඩුවට නැත. තමන්ගේ වැරදි නැතිනම් උප කුලපති බිය විය යුතු නැත. 

මේ ලියුම මාධ්‍යවලට දෙන්නටත්, සමාජ මාධ්‍ය ඔස්සේ උසස් අධ්‍යාපන ඇමතිගේ රෙදි ගලවන්නටත් දැන් අපට පුළුවන. 

මෙවැනි ලියුම්වලින් වැඩක් ඇතත්, නැතත්, දේශපාලකයන් මෙවැනි ලියුම් දෙන එක වැරදි ය. 

ඒ අතර ම, මෙවැනි ලියුම් සම්බන්ධයෙන් දේශපාලකයන්ට පමණක් බනින එක ද වැරදි ය. මෙවැනි ලියුම් ඉල්ලා ඇවිටිලි කරමින් දේශපාලකයන් පසුපස යන්නේ මේ රටේ ජනතාවයි. මෙතැන නම්, එය කර තිබෙන්නේ උගතෙකැයි සැලකෙන අයෙකි. 

රජයේ රැකියා දිය යුතුව තිබෙන්නේ සුදුසු පුද්ගලයන්ට ය. ඒ සඳහා තෝරා ගැනීම කළ යුතුව තිබෙන්නේ පාරදෘශ්‍ය ක්‍රියාවලියක් ඔස්සේ ය. රජයේ රැකියා, උසස්වීම් හා තනතුරු බලාපොරොත්තුවෙන් දේශපාලකයන් පසුපස යාම ජනතාව පළමුකොට ම නැවැත්විය යුතු ය. 

එසේම, මෙවැනි ලියුම් ලියන්නන් හෙළිදරව් කළ යුතු ය. 

දේශපාලකයා අපේ කර මතට නංවා ගත්තේ අප ම ය. දැන්වත් ඌ බිමට ඇද දැමිය යුතු ය. 

මෙවැනි දේශපාලකයන් දේශපාලනයෙන් තොලොංචි කර දැමිය යුතු ය. ඒ සඳහා ඒ දේශපාලනය අවසන් කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-28

කුලී මිනීමරුවන්ට රජයේ සාක්කිකරුවන් වීමේ අවස්ථාව ලබා දිය යුතු ය

මහින්ද රාජපක්ෂගේ අඳුරු යුගයේ රහස් එකින් එක හෙළිදරව් වෙමින් තිබේ. 

වසීම් තජුඩීන් ඝාතනය වැනි අපරාධ කුමක් නිසා කරන ලද ඒවාදැයි සිතා ගැනීමට පවා අපහසු ය. 

සිංහල ජනතාව සමග සම්බන්ධව දේශපාලනය කරන්නට උත්සාහ කළ සාමකාමී දෙමළ දේශපාලනඥයකු වූ රවිරාජ් මරා දැමීම ගැන පසුගිය සතියේ අධිකරණයේදී වැදගත් හෙළිදරව්වක් සිදු විය. එහිදී පොලිස් ඔත්තු සේවා නිලධාරියකු පැවසුවේ රවිරාජ් මරා දැමීමට ගෝඨාභය රාජපක්ෂ කරුණා අම්මාන්ට පාර්ශ්වයට රු. මිලියන 50ක් ලබා දී ඇති බවයි. 

මෙම සාක්ෂි පොලිසිය හෝ රජය හෝ විසින් නිර්මානය කරනු ලබන ඒවා යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙයින් ඒවා අපක්ෂපාතීව විමර්ශනය කළ යුතු ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු එවකට සිටි පොලිස්පතිවරයා හා තවත් ඉහළ පොලිස් නිලධාරීන් දැන සිටි බව පැහැදිලි ය. ඔවුන්ගේ වගකීම තුළ ඇතැම් සාක්ෂි විනාශ කර තිබෙන බව දැන් හෙළිදරව් වී තිබේ. එසේ කරන්නට ඔවුන්ට අණ කළේ කවුරු ද? තවමත් ඔවුන්ගෙන් ප්‍රශ්න කර නැත.  

තජුඩීන් මිය ගියේ හදිසි අනතුරකින් නො වේ නම්, ඔහු ඝාතනය කළ අය සිටිය යුතු ය. රවිරාජ්,  ජෝසප් පරරාජසිංහම්, සිවරාම්, එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි පුද්ගලයන්ව ද ඝාතනය කළ ඝාතකයන් සිටිය යුතු ය. 

ඍජුව යුද්ධය හා සම්බන්ධව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වවලට පොදු සමාවක් පිරිනැමිය යුතු ය. එහෙත්, තජුඩීන් ඝාතනය වැනි සිද්ධි සම්බන්ධයෙන් එවැනි සමාවන් අදාළ වන්නේ නැත. 

මේවා කළ අය සෙවිය යුතු ය. ඊටත් වඩා වැදගත් වන්නේ එම කුලී මිනීමරුවන්ට නියෝග දුන් අය සෙවීමයි. 

ඒ වෙනුවෙන් කුලී මිනීමරුවන්ට ඉදිරිපත් වී රජයේ සාක්ෂිකරුවන් වීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතු ය. 

වාස් ගුණවර්ධන සිද්ධියේදී වූයේ අනෙක් පැත්ත ය. කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා රජයේ සාක්කිකරුවකු වී නීතියෙන් ගැලවී ගියේ ය. කුලී මිනීමරුවෝ මරණ දඬුවමට ලක් වූ හ. 

මෙම මිනීමැරුම් සඳහා අණ දුන් පුද්ගලයන්ට ද උවමනා නම් ඉදිරිපත් වී ඇත්ත කියන්නට අවස්ථාව දීම නරක ම නැත. 

බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ දුන් සාක්කිය: 

"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය අදාළ ලඝු නොවන නඩු විභාගය අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පැවැත්වූ අතර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සාක්කිකරු මෙසේ ද පැවසීය.
මට 2009 මඩකළපුවේ කල්ලඩි කෑම්ප් එකේ ස්ථාන මාරුවක් ලැබුණා. එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් ගැන කියන්න රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත්තා. 2006 මඩකළපුවේ රුද්‍රා මාස්ටර් යන අයගේ දුරකථන අංකයක් සොයාගෙන කතා කළා.
තොරතුරු ලබාගෙන මඩකළපුව ඒකකයේ ස්ථානාධිපතිව හිටිය පොලිස් පරීක්ෂක ධම්මික මහත්තයාට හෝ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහට දුන්නා. ඒවා ජාතික තොරතුරු ඒකකයේ එච් අංශයේ බාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ඩූල් මහතාට ලබා දෙනවා.
2005 මැයි ස්ථාන මාරුවක් ලැබුණා. කොළඹ ජාතික තොරතුරු කාර්යංශයට. එහි සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජයවර්ධන මහතා කිව්වා කරුණා පාර්ශ්වයේ තොරතුරු ලබාගන්න කියලා. ඒ අනුව මම කරුණා පාර්ශ්වයේ කොළඹ සිටින වැරන් නොහොත් විවේකානන්දන්, සාමි නොහොත් සුරේෂ් රුද්‍රා මාස්ටර්, ඉනිය බාරති නොහොත් කුමාරස්වාමි, මාරිකන් ජේශිලන් යන අය සමඟ දුරකථන සබඳතා පවත්වා අදහස් හා තොරතුරු ගත්තා.
කොළඹ සිටි අය මුණගැසී කතා කරනවා. ඊට අමතරව රාජ්‍ය තොරතුරු අංශ මඟින් සේෆ් හවුස් එකක් (ආරක්ෂක නිවසක්) ගංගාරාම පෙරහර මාවතේ පවත්වාගෙන ගියා. එහි වියදම් දැරුවේ රාජ්‍ය තොරතුරු බුද්ධි අංශයයි.
2006/11/2 හෝ 3 මම කොළඹ කොටුවට ගිය අවස්ථාවේදී කරුණා කණ්ඩායමේ වැරන් නොහොත් ශිවකාන්තන් විවේකානන්දන් යන අය මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන කියා හිටියා ළඟ ඉන්නවා නම් ටෙක්නිකල් එක ළඟට එන්න කියා. මම දහවල් 11 ට ක්‍රිස්තියානි පල්ලිය අසල මෙඩිකෙයා ළඟට ගියා. එතකොට මම දුටුවා ශිවකාන්තන් ත්‍රිවිලරයක් තුළ සිටිනවා. මම හොඳින් හඳුනන වැරන් පේස්ටි එකක් කකා ඉන්නවා දුටුවා. මං ත්‍රිවිලරය පිටුපස ගොස් හිඳගත්තා. මොකද වෙන්නේ කියලා මම ඇහුවා. තනියම ද ආවේ කියලා ඇහුවා. එතකොට වැරන් කිව්වා සුරේෂ් ඉන්නවා තවත් කට්ටියක් ඉන්නවා කියලා.
විනාඩි 10 කට පස්සේ මම දැක්කා උසාවිය පැත්තේ සාංචිආරච්චිවත්ත පංචිකාවත්ත හන්දිය පැත්තේ ඉඳන් තුන්දෙනෙක් ආවා. එතකොට සුරේෂ්, නේවි වජිර, සෙනෙවි පැමිණියා.
මෙම කොළපාට ත්‍රිවිල් රථය රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත් එකක්. වැරන් මට කිව්වා අපි අද ඉන්නේ පා. ම. රවිරාජ්ට වෙඩි තියන්න කියලා. ඒ අවස්ථාවේදී මම දුටුවා නාවික බුද්ධි අංශයෙන් රාජ්‍ය එස්. අයි. එස්. එකට බඳවාගෙන සිටින ප්‍රසාද්, වජිර, සෙනෙවි, අජිත් යන අය සිටියා.
ඔවුන් ඇවිත් ඉන්නේ රවිරාජ්ට ‍වෙඩි තියන්න කියලා මට හිතුණා. වජිර අතේ කළු මල්ලක් තිබුණා. ඒක අතේ තියාගෙන ඔහු ත්‍රිවිලරයට ගොඩවුණා.
ඊට පස්සේ වැරන් යන අය සමඟ කතා කළා. පසුව මම රාජ්‍ය බුද්ධි අංශය වෙත ආවා. මම සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන හමුවුණා. මම තනියම ගිහිල්ලා එතුමාට කිව්වා රවිරාජ් පාර්ලිමේන්තු මන්ත්‍රී මරන්න වැරන් ඇතුළු කණ්ඩායමක් සූදානමින් ටෙක්නිකල් හන්දියේ ඉන්නවා කියලා. එයා කිව්වා ස්පීකර් ෆෝන් දාලා වැරන්ට කතා කරන්න කියලා.
ඒ වෙලාවේ මම කතා කළා. වැරන්ගේ ඇහුවා ගිය වැඩේ හරි ගියේ නෑ නේද කියලා. කොහොමද කරන්නේ කියලා ඇහුවා. ඉස්සරහා දවසක කරන බව කිව්වා. ඕක කට් කරන්න කියලා ජයවර්ධන මහතා කිව්වා. එයා අධ්‍යක්ෂක කීර්ති ගජනායකට කතා කළා. ඒ දෙන්නා අතර විනාඩි 10 ක පමණ දුරකථන සංවාදයක් වුණා.
ජයවර්ධන මහත්තයා කිව්වා ඒ ගැන මොනවත් හොයන්න එපා කියලා. ඊට සති දෙකකට පස්සේ රවිරාජ්ට වෙඩි තිබ්බා. මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ පොලිස් අධිකාරි ඩූල් මහත්තයා එයාගේ කාමරයට මට එන්න කිව්වා.
මම ගියා. එතකොට මම දැක්කා නේවි සෙනෙවි, වජිර යන අය. ඔහුගේ නම පසුව මම දැනගත්තා චාමින්ද කියලා. ඔහු රුවන්වැල්ල පදිංචිකරුවෙක්. ඩූල් මහත්තයා ඇහුවා මේ අය කවුද? කියලා. මම කිව්වා රවිරාජ් ඝාතනයට ටෙක්නිකල් හන්දියට ඇවිත් හිටිය අය නේද? කියලා. එතකොට ඩූල් මහත්තයා කිව්වා මේ අය නාවික හමුදාවේ අපි යටතේ ඉන්න අය කියලා. මට යන්න කිව්වා. ලෙෆ්ටිනන් ප්‍රසාද්, සෙනෙවි, වජිර යන අයගේ නියම නම් දන්නේ නැහැ.
සිද්ධිය වෙලා සතියකට පසු වැරන් මියුසියම් එක ළඟදී හමුවුණා. මම රවිරාජ් ගේ සිද්ධිය ඇහුවා. එදා හිටිය කට්ටිය තමයි ගියේ. එදා වැඩේ අප්සට් ගියා. මාතා පාරේ ඇඩ්‍රස් එක ලැබුණා. එතනින් එළියට එන විට ගැහුවා.

තවත් අයෙක් හිටියා. ඔහු ජනාත්. රවිරාජ්ට වෙඩි තියන්න මඩකළපුවේ සිට පැමිණි ඔහු රට සිටි අයෙක්. රුද්‍රා මාස්ටර් ඔහු ගැන දන්නවා. වැරන් මට කිව්වා වැඩේ සක්සස් වූ නිසා ගෝඨාගෙන් සල්ලි කෝටි 5 ක් සංවිධානයට හම්බවුණා කියලා. එම සල්ලි ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා ලැබුණා. මම රවිරාජ් ඝාතන සිද්ධිය පොලිස් අධිකාරි ජයවර්ධන මහතාට කියන අවස්ථාවේදී කීර්ති ගජනායක මහතාට දුරකථන ඇමතුම දුන් විට ඒක ඉහළින් ලද ඕඩර් එකක් කියලා කිව්වා. ඒ අනුව මෙම රවිරාජ් ඝාතනය ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා දැනුවත්ව සිදුවූ බවට මා පවසනවා. රවිරාජ් ඝාතනයට හේතුව එල්. ටී. ටී. ඊ. සංවිධානයට උදව් කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව වෙඩි තියන්න ඇති කියලා මම හිතනවා. කීර්ති ගජනායක, වැරන්, ඩූල් යන අයගේ කුමන්ත්‍රණයක් බවට මා පවසනවා."


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-26

දෙදාස්ගණන්වල මුලදී වමේ අයගේ කැරැට්ටුව හෙවත් අමතක නො කරමු පැරණි කතා

2002දී එක්සත් ජාතික පක්ෂ රජය කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ ය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡාවලට මුල පුරන ලදී. බටහිර සංවර්ධිත රටවල ණය හා ආධාර ලබා ගනිමින් සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කළේ ය. එය ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වූ දැවැන්ත ආර්ථික වැඩසටහනකි.

එවකට ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරව සිටි ප්‍රබල ම නායකයකු වූ කුමාර් ගුනරත්නම් හා තවත් අය විසින් පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කරන ලද කාරණයක් වූයේ මෙම වැඩසටහන ඉදිරියට ගියහොත් තම පක්ෂයට අවස්ථාවක් නො ලැබෙන නිසා එය නැවැත්විය යුතු බවයි. කුමාර් ගුනරත්නම් එදා මේ සාකච්ඡාව පිළිබඳ ජවිපෙ නො වන වෙනත් පුද්ගලයකු සමග හෙළිදරව් කළේ ය. 

මෙම වකවානුවේදී ම කොටි සංවිධානය ද කල්පනා කළේ සාම ගිවිසුම තමන් හිර කරන්නට අටවන ලද උගුලක් බවයි. මේ පිළිබඳව කොටි සංවිධානයේ මාධ්‍ය මෙහෙයුම්කරුවකු වන සිවරාම් විවෘතව ම ලිව්වේ ය. බාලකුමාර් වැනි අය එදා හිරු පුවත්පත සමග පැවති සාකච්ඡාවලදී මෙම අදහස් ඉදිරිපත් කළේ ය. විශේෂයෙන් ම පශ්චාත් සුනාමි මෙහෙයුම් යාන්ත්‍රණය හෙවත් පී-ටොම්ස් සමග කටයුතු කරන්නට සිදු වන විට කොටි සංවිධානය දැඩි අපහසුතාවකට පත්ව තිබිණි. ඒ ඔස්සේ තමන් ආයතනික වී දෙමළ ඊලාම් අරගලය ගිලිහී යනු ඇතැයි ඔවුහු බිය වූ හ. (විමුක්ති කොටින්ගේ පිපාසය දෙමළ ඊලමයි යනු ඔවුන්ගේ සටන් පාඨයක් විය.) ඒ වන විට දකුණේ ආණ්ඩුව ද වෙනස් වී තිබුණු නිසා, සාම සාකච්ඡා ඉදිරියට යයි ද කියන ගැටලුව ද ඔවුන්ට තිබිණි. 

කුමාර් ගුනරත්නම්ලා විසින් කරන ලද ඉහත කී සාකච්ඡාවෙන් පසු ජවිපෙ පෙර නොවූ විරූ අන්දමින් ජාතිවාදය අවුස්සමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග කුමන්ත්‍රණය කරමින් එජාප ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නො වන ව්‍යවස්ථා උගුලකින් පෙරළා දැමුවේ ය. ඉන් පසු කොටි සංවිධානය උතුරේ දියත් කළ මැතිවරණ වර්ජනයේ පිහිටාරක්ෂාව ලබා ගනිමින් ප්‍රතිගාමී ජාතිවාදියකු වන මහින්ද ජනාධිපති පදවියට පත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ වැඩසටහන අවසන් කළේ ය. 

ජවිපෙ මහින්දගේ ආණ්ඩුවට එක් වූයේ නැත. එසමයේදී කුමාර් ගුනරත්නම් ඉහත කී පුද්ගලයා සමග කීවේ බැසිල් රාජපක්ෂලා සොරකම් කරන්නට පටන් ගන්නා බව දන්නා බවත්, ඔවුන් සමග හවුල් වීමට තමන්ට උවමනාවක් නැති බවත් ය. ඔවුන්ට තිබුණේ රට ගැන ප්‍රශ්නයක් නොව තමන්ගේ පක්ෂය ගැන ප්‍රශ්නයකි.

ඇතැම් විට, ජවිපෙට ඒ සමය වන විට බලය ගැනීම සඳහා වැඩපිළිවෙලක් තිබෙන්නට ඇත. එහෙත්, ඒ වන විට ජවිපෙ ජාතිවාදය සමග පැටලී සිටි තරමේ ප්‍රතිඵලයක් ලෙස මහින්දට විමල් වීරවංශ ඇතුළු කුට්ටියක් ජවිපෙන් කඩා ගන්නට හැකි විය. ඉන් පසු කුමාර් ගුනරත්නම්ලා ජවිපෙ දෙකට කැඩුවේ ය. 

දෙකට කීවාට ඒක හරියට කුමාර්ලා හතරෙන් තුනක් කඩාගෙන ගියා වැනි ය. එහෙත්, පසුව එම කොටස ක්‍රමානුකූලව දිය කර හරින ලදී. අවසානයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ඉතිරි වුණේ බොළඳ ලෙස විජේවීර අනුගමනය කරන ගතානුගතික මාක්ස්වාදීන් පිරිසකි. 

2002 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ මම හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙක් වීමි. හිරු කණ්ඩායම බොහෝ දුරට හිටියේ සිවරාම් සිටි ස්ථාවරයේ ය. එසේම, දෙමළ අරගලය ලංකාවේ සමාජ අරගලයේ ඉදිරි පෙරමුණ ය යන න්‍යාය රෝහිත භාෂණ ගොඩනැගුවේ ය. ඒ අනුව අප ද ගොඩනැගෙමින් පැවති තත්වය විග්‍රහ කර ගත්තේ වැළැක්විය යුතු ධනේශ්වර ප්‍රහාරයක් ලෙසයි. එහෙත්, දකුණේ සමාජයේ නැගී එමින් තිබුණු ජාතිවාදී ප්‍රවණතාව හේතුවෙන් අපි අපගේ ස්ථාවරය නිවැරදි ද යන විචිකිච්ඡාවෙන් යුතු වීමු. ධනවාදය ජාතිවාදයට වඩා ඉදිරිගාමී බව හිරු කණ්ඩායමේ අභ්‍යන්තර සාකච්ඡාවලදී ඉදිරිපත් විය. 

මෙම වකවානුව වන විට සිවිල් සමාජ සංවිධානවල ගෝලීයකරණ විරෝධී උද්ඝෝෂණය ප්‍රබල මට්ටමක තිබිණි. සරත් ප්‍රනාන්දුගේ සමාජ ආර්ථික දැක්මෙහි දිග පළල හා රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති වාර්තා තුළ සිර වී තිබුණු මෙම ව්‍යාපාරය අවසානයේදී ජාතිවාදයේ උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන ලදී. එය අවසන් වූයේ එහි නායක මහමාන්කඩවල පියරතන හිමි ව්‍යාපාරය අත්හැර දමා මහින්දගේ ආණ්ඩුවේ සංස්ථාවක අධ්‍යක්ෂකමක් භාර ගැනීමෙනි.  

මේ වකවානුවේදී නිර්මාල් රංජිත් දේවසිරිලා (සුමිත් චාමින්ද ඇතුළුව) කෙළින් ම මහින්ද රාජපක්ෂට උදව් කළ හ. මට මතක හැටියට ඒ නව ලිබරල්වාදයට එරෙහි ස්ථාවරයකිනි. මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තේ වර්තමානයේදී අති පාරිශුද්ධ වීමට දරන උත්සාහය තුළ ඔවුන්ට  තමන්ගේ ලේ වැකි අතීතය පෑගී ඇති බැවිනි.

නියමින් හෝ අනියමින් ඉහත කී සියල්ලෝ අප ද ඇතුළුව එදා ජාතිවාදයට සේවය කළෙමු. ජාතිවාදය දෙමළ වුවත්, සිංහල වුවත් ඒ දෙකක් නොව එකකි.

අප සියලු දෙනා ආවරණය වුණේ 2002 රනිල්ගේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන නව ලිබරල්වාදී ධනේශ්වර ප්‍රහාරයක් ය යන ස්ථාවරයට ය. 

අප අද කතා කරන අදහස් එදා ද හිරු කණ්ඩායම අභ්‍යන්තරයේ සාකච්ඡා කෙරිණි. ජාතිකවාදය අරුත් සුන් දෙයක් බව අපි අභ්‍යන්තරව අවබෝධ කරගෙන සිටියෙමු. එහෙත්, අවසානයේදී රෝහිත භාෂණ දෙමළ ජාතිවාදයට දිවි හිමියෙන් සේවය කිරීම තෝරා ගත්තේ ය. ඔහු ඇත්තෙන් ම දෙමළ ජාතිවාදී උගුලක සිරකරුවෙක් වූයේ ය. ජේ.ඩී.එස් වෙබ් අඩවියෙන් වර්තමානයේදී ඇසෙන්නේ ඔහුට සිදු වූ අලකලංචියේ වේදනාත්මක විලාපයයි.

මා මේ අතීත කතාව සිහිපත් කළේ එය වර්තමානයට සම්බන්ධ වන නිසා ය. ඒ සම්බන්ධය කෙබඳු ද යන්න මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. 

මේ කාරණාවලට එකඟ නො වන අයට තමන්ගේ ඉතිහාසය පිළිබඳ තමන්ට පැහැදිලි කර දෙන්නට හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-24

මුස්ලිම් කාන්තාවක් වීම නිසා කථිකාචාර්ය ධුරයක් ලබා නො දීමට එරෙහිව නඩු කී ශානාස්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන

ඇගේ ගූගල් පිටුවෙන් ලබා ගන්නා ලද ඡායාරූපයකි.
“අද ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. මේ දැන් (Feb. 24 around 11am) ලංකා ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක නඩු තීන්දුවක් ලැබුණා. Muslim කාන්තාවක වීම නිසාම කොළඹ විශ්වවිද්‍යාලය විසින් බලහත්කාරයෙන් ජනසන්නිවේදන අංශයේ සේවය අහිමි කරපු සහකාර කථිකාචාරිනී ශානාස් මාස දෙකක් තුල නැවත සේවයේ පිහිටුවන්න කියලා."

පෙබරවාරි 24දා මධ්‍යාහ්නයේදී මෙම සටහන ෆේස්බුක්හි තැබුවේ ආයතනයේ CAFFE හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනුයි.

මොකක් ද මේ නඩුව? මම ඒ ගැන දැනගන්නට කතා කළා රජිත්ටත්, ශානාස්ටත්.

ඇය සේහු අලාඋදීන් ෆාතිමා ශානාස්. මෙම කතාවට අදාළ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ලබා දුන්නේ 2011දී ශානාස් විසින් ගොනු කරන ලද අංක SC (FR) 238/2011 දරණ මානව හිමිකම් පෙත්සම වෙනුවෙන්. ඇය ඒ පෙත්සම ගොනු කළේ ඇයට සිදු වූ බරපතල අසාධාරණයක් නිසායි. ඒ අසාධාරණයට මුහුණ දුන් තවත් අයත් සිටියදී ඇය තනිවම සිය ඉරණමට එරෙහිව අරගල කළා. ඒකයි වැදගත්කම. ඇයට ඒ වෙනුවෙන් ශක්තිය ලබා දුන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරිවරයකු වූ ජ්‍යේෂ්ඨ නීතිඥ කේ.ජී. ජිනසේනයි.

ශානාස්ගේ පැමිණිල්ල වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ පුවත්පත් කලාව පිළිබඳ කථිකාචාර්ය ධුරයකට අයදුම්කර, නියමාකාරයෙන් පත් කරන ලද තෝරාගැනීමේ මණ්ඩලයක් විසින් ඇය එම තනතුර සඳහා ඒකච්ඡන්දයෙන් නිර්දේශ කර තිබියදීත්, ඇය මුස්ලිම් ජාතික කාන්තාවක් වීම නිසා එවකට සිටි උප කුලපතිවරිය විසින් ඇගේ පත්වීම වැළැක්වීමෙන් ඇගේ මානව හිමිකම් කඩ වීම වෙනුවෙන් සහනයක් ලබා දිය යුතු බවයි.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 12 (1) හා 12 (2) වගන්ති මෙමගින් උල්ලංඝනය වන බවට ඇය පෙත්සමින් කරුණු ඉදිරිපත් කළා.

ශානාස් කැලනිය විශ්වවිද්‍යාලයෙන් 2006දී ජනසන්නිවේදන විෂය සඳහා දෙවන පංතියේ අධි සාමාර්ථයක් ලබා ගත්තා. ඉන් පසුව ඇය කැලනිය විශ්වවිද්‍යාලය විසින් තාවකාලික කථිකාචාර්ය ධුරයකට පත් කරනු ලැබුවා. උපාධි අපේක්ෂිකාවක් ලෙසත් ඇය ඉතා සක්‍රියව ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ කටයුතු කළා.

2008දී කොළඹ විශ්වවිද්‍යාලය විසින් පුවත්පත් කලාව කථිකාචාර්ය ධුරයක් සඳහා අයදුම්පත් කැඳෙව්වා. එහෙත් බඳවා ගත්තේ නැහැ. නැවතත්, 2010දී අයදුම් කළා. 21දෙනෙකු අයදුම් කර තිබුණත් අවශ්‍ය සුදුසුකම් තිබුණේ දෙදෙනෙකුට පමණයි. විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් පත් කරන ලද තේරීම් මණ්ඩලය ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේ ඇය පමණයි.

පෙබරවාරි 10දා පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයෙන් පසුව තේරීම් මණ්ඩලය විසින් ඒකච්ඡන්දයෙන් ඇය තනතුරට සුදුසු බව නිර්දේශ කළා. ඒ තේරීම් මණ්ඩලයේ සාමාජිකයන් වුණේ මහාචාර්ය ඉන්ද්‍ර‍ලාල් ද සිල්වා, සී. මාලියද්ද, මහාචාර්ය සරත් විජේසූරිය, පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි හා ආචාර්ය ඒ. හපුආරච්චි මහත්මියයි. එහෙත්, ශානාස් මුස්ලිම් අපේක්ෂිකාවක් නිසා පත්වීම සිදු කිරීමේ බලධාරියා වූ එවකට සිටි උප කුලපතිවරිය වූ ක්ෂණිකා හිරිඹුරේගම ඇය පත් කිරීමට අකැමැති වූ බව ශානාස් පෙත්සමේ සඳහන් කළා.

විශ්වවිද්‍යාලය විසින් නැවත වතාවක් 2011දී තනතුර සඳහා අයදුම්පත් කැඳෙව්වා.

ශානාස් බහු සංස්කෘතික පසුබිමක හැදුණු වැඩුණු දැරියක්. ද්විතීයක අධ්‍යාපනය මාවතගම මධ්‍ය මහා විද්‍යාලයෙන් හා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ලැබූ ඇය සාමාන්‍ය පෙළ බුද්ධාගම විෂය ද සමත් වී තිබෙනවා. අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ඇය සිංහල මාධ්‍යයෙන් නාට්‍ය හා රංග කලාව හා උඩරට නැටුම් හදාරා විශිෂ්ට සාමාර්ථ ලැබුවා.

අවස්ථා කීපයකදී ම ඇය ඉස්ලාම් දහම පිළිබඳ විශ්වවිද්‍යාලයේදී ආරාධිත දේශන ද පවත්වා තිබෙන බව ඇය පෙත්සමේ ද සඳහන් කළා.

නීතිඥ යසන්ති බණ්ඩාරගේ උපදෙස් පරිදි ජ්‍යේෂ්ඨ නීතිඥ කේ.ජී. ජිනසේන, උදේශි සේනාරත්න සමග ශානාස් වෙනුවෙන් පෙනී සිටියා. නඩු තීන්දුව අනුව ඇය අදාළ තනතුරෙහි සේවයේ පිහිටුවීමට නියමිතයි.

මෙම නඩු තීන්දුවෙහි වැදගත්කම ගැන කතා කරමින් රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේ මෙය වැදගත් වන්නේ මුස්ලිම් කාන්තාවක් වීම නිසා ඇයට මෙම අවස්ථාව අහිමි කිරීම නිසා පමණක් නො වන බවයි. මේ වනාහි එක්තරා යුගයක ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ දක්නට ලැබුණු මූලික ලක්ෂණයක් බවයි ඔහු පවසන්නේ. එම යුගයේදී මේ සියල්ල හසුරුවනු ලැබුවේ දේශපාලන හස්තයන් විසින් බව ද ඔහු පැවසුවා. මෙම නඩු තීන්දුව එම යුගයේ අවසානය ලකුණු කිරීම සඳහා ඉවහල් වන්නක් බවයි ඔහුගේ අදහස.  

එපමණක් නොවෙයි, අධිකරණයට ද නිදහස් ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබී ඇති බවක් මෙයින් පෙන්නුම් කරන බව රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-23

ඉන්දියාව සමග නිදහස් ආර්ථික හා තාක්ෂණික ගිවිසුම ඉදිරියට ගෙන යනු!

යෝජිත ඉන්දු - ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුම ප්‍රසිද්ධ කළ යුතු ය. එය මහජන සංවාදයට බඳුන් කළ යුතු ය. පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු ය.

ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බරපතල වගකීමක් ආණ්ඩුවට තිබේ.

මේ වන විට මහින්ද රාජපක්ෂගේ මුදලින් යැපෙන මාධ්‍ය හා දේශපාලනය යනු කඩාකප්පල්කාරිත්වය යි සිතා සිටින පක්ෂ හා කල්ලිවලට සම්බන්ධ මාධ්‍ය ගජරාමෙට කරමින් සිටින්නේ එට්කා නම් බිල්ලකු නිර්මානය කරමින් සමාජය බියපත් කිරීමයි. එය ඔවුන් හඳුන්වන්නේ මාධ්‍ය නිදහස ලෙසයි.

මෙම මාධ්‍ය විසින් ප්‍රබන්ධ කරනු ලබන පුවත් පිළිබඳ නිදසුනක් ලෙස මෙම සබඳතා පුරුකෙහි ඇති ප්‍රවෘත්තිය දක්වමි. මෙහි මාතෘකාවෙන් කියන ආකාරයට තමන්ට රැකියා නැති නිසා ශ්‍රී ලංකාවේ රැකියා ලබා ගැනීම පිණිස එට්කා ගිවිසුම අත්සන් කරන්නැයි ඉන්දියාවේ රැකියා විරහිතයන් උද්ඝෝෂණය කරන බවයි. එහෙත්, ප්‍රවෘත්තියෙහි එහෙම දෙයක් නැත.

එට්කා සම්බන්ධයෙන් වන මාධ්‍ය ප්‍රචාර තනිකර ම මෙවැනි ඒවා ය. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ලෙස පෙනෙන ආකාරයට ලාංකිකයන් අන්දා වීඩියෝ නිර්මානය කර තිබෙන ආකාරය ද අපි දුටුවෙමු. මෙහොතකට පෙර මා දුටු වීඩියෝවක ඇත්තේ බරනැස වීදියක දත් බඳින මිනිසකු පිළිබඳ විස්තරයකි. දත් බඳින අය දන්ත කාර්මිකයන් මිස දන්ත ශල්‍ය වෛද්‍යවරු නොවෙති. පිළිගත් දන්ත කාර්මිකයකු වීමට ද විධිමත් පිළිවෙලක් තිබේ. එහෙත්, ඒ විධිමත් පිළිවෙලවල් අනුගමනය නො කරන හොර වෙද්දු ලංකාවේ ද ඕනෑ තරම් සිටිති. එ් කාරණා එසේ වෙද්දී එම වීඩියෝව ෆේස්බුක්හි බෙදාගෙන තිබුණේ එට්කා ගිවිසුමෙන් පසු ලංකාවේ දන්ත වෛද්‍ය විද්‍යාවට වන්නේ මෙය බව කියමිනි.

ලංකාවේ හොර වෙද්දු හිටියේ පේමන්ට් එකේ නොව රජගෙදරයි. එලියන්ත වයිට් නම් හොර වෙදා උදාහරණයකි. මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහය හොර වෙදුන්ට ලැබුණා ය කියා ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාවට කිසිදු හානියක් වූයේ නැත. මරදන්කඩවල වෑල්ඩිං වෙදා හිටියා ය කියා විකලාංග වෛද්‍ය විද්‍යාවට මොකවත් වූයේ නැත. වෙන දේවල් වුණේ මෝඩයන්ගේ අත පයවලට ය.

මාධ්‍ය විසින් කළ යුතුව තිබෙන්නේ බුද්ධිමත් සාකච්ඡා ඇති කිරීම මිස බිල්ලන් නිර්මානය කරමින් සමාජය බිය වැද්දීම නො වේ. ඉන්දියානු විරෝධය යනු ලංකාවේ සිංහල සමාජය තුළ මුල් බැසගෙන තිබෙන ජාතිවාදයේ හා දෙමළ විරෝධයේ ම තවත් එක් ස්වරූපයකි. ඉන්දියානු විරෝධය ඔස්සේ කරන්නේ ද ඒ සිංහල ජාතිවාදයට ආමන්ත්‍රණය කිරීමයි.

එට්කා විරෝධී උද්ඝෝෂණයේ මාධ්‍ය භූමිකාව මේ ජාතිවාදය ඉතා පැහැදිලිව නිරූපණය කරයි. එට්කා විරෝධී වෘත්තිකයන්ගේ කෙරුවාව ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ඒ ගැන මුළු රට ම දනිති. වෛද්‍යවරු වැඩි දෙනෙක් රජයෙන් සාපේක්ෂව ඉහළ වැටුප් අරගෙන, මහජනතාවට සේවය නො කර, පෞද්ගලික වෛද්‍ය ව්‍යාපාරවල යෙදී සිටින බව හා ඔවුන් හික්මවන්නට හා ශිෂ්ට කරන්නට ගන්නා ඕනෑම උත්සාහයකදී මහජනතාව විපතට පත් කරන බවට තර්ජනය කරමින් වර්ජන අසිපත ලෙලවන වෘත්තිකයන් පිරිසක් බව නො දන්නේ කවුරු ද?

දේශපාලනය යනු කඩාකප්පල්කාරිත්වය යයි සිතා සිටින වාමාංශික දේශපාලන පක්ෂ හා ඊනියා විප්ලවවාදියෝ එට්කා විරෝධී උද්ඝෝෂණය පිටුපස අභිරුචියෙන් යන්නේ එළුවාගේ සෙළවෙන වෘෂණ කෝෂ දැන් දැන් වැටෙනු ඇතැයි සිතමින් තොල කට ලෙව කමින් පස්සෙන් ගිය නරියා සේ ය. තමන්ට සෙනග හා ඡන්ද නැති අර්බුදය ඍජු හෝ වක්‍ර‍ ජාතිවාදයන්ගෙන් වසා ගන්නට ඔවුන් ඉතිහාසය පුරා ම දැරූ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බව ඔවුන් කිසි දිනෙක තක්සේරු කර ගන්නේ නැත.

ලෝකය සමග නිදහස් ආර්ථික ගිවිසුම් අත්සන් කරමින් ඉදිරියට යන්නට නො වේ නම්, අති විශාල වශයෙන් ණය ගනිමින් හම්බන්තොට වරාය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති දියත් කළේ කුමටදැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කරන ප්‍රශ්න කිරීම ඉතා නිවැරදි ය. මේවා කර ඇත්තේ අනාගත පරම්පරා උගසට තබමිනි. අප ඒ ණය ගෙවිය යුතු ය. ලංකාව වැනි කුඩා ආර්ථිකයන්ට ආර්ථික ජාතිවාදයෙන් කිසිවක් ලැබෙන්නේ නැත. ජාතිකවාදී ස්වයංපෝෂණ ප්‍රතිපත්තිවලින් භාණ්ඩ හිඟය හා දරිද්‍රතාව හැර අන් කිසිවක් ලැබෙන්නේ නැත.

නිදහස් ආර්ථික ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවල පදනම වන්නේ දීම හා ගැනීමයි. සම්පූර්ණයෙන් ම වෙනත් රටකට යටත් වන ආර්ථික ගිවිසුම් අත්සන් කරන්නට ලෝකයේ කිසිදු රටකට උවමනාවක් නැත. එසේම වෙනත් ජාතික ආර්ථිකයන් හා ලෝකය සමග සම්බන්ධ නො වෙමින් කිසිදු ජාතික ආර්ථිකයකට ඉදිරියට යන්නට බැරි ය. ලංකාව වැනි රටකට කොහොමත් බැරි ය. නිදහස් ආර්ථික ගිවිසුම් විග්‍ර‍හ කර ගත යුත්තේ ඒ පදනමිනි.

දේශපාලනිකව අප ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික ගිවිසුමට සහයෝගය දක්වන්නේ ඇයි ද යන්න අපි කලින් ලිපියක ද පැහැදිලි කළෙමු. එහි මෙසේ සඳහන් විය:

ආර්ථික ජාතිවාදය ද තවත් ස්වෝත්තමවාදයකි. ජාතිවාදයෙන් ලෝකයට කිසිවක් ලැබෙන්නේ නැත. සීපා තුළ හොඳ, නරක දෙක ම තිබේ. එහෙත්, අප කැමති වුණත්, නැතත්, ලෝකයට ඉදිරියට යන්නට තිබෙන මාර්ගය ඇත්තේ දේශ සීමා මකා දැමීම හරහා ය. එය සමාජවාදය තුළින් සිදු නො වනවා ය කියා ජාතිවාදී වීමට වාමාංශිකයන්ට අයිතියක් නැත.

ඉන්දියාව සමග අත්සන් කරන්නට යන ගිවිසුම්වල ඇත්තේ නරක පමණක් නො වේ. එහි හොඳ ද තිබේ. හොඳ දක්වන අය හොඳ පමණක් පෙන්වා දෙති. නරක දකින අය පෙන්වා දෙන්නේ නරක ම පමණි. මේ පිළිබඳ පැහැදිලි අදහසක් පළ කළ හැක්කේ හැඟීම්බර කතාවලින් නො වේ. විද්‍යාත්මක අධ්‍යයනයකින් පමණි. කිසිවෙක් එවැන්නක් කරන්නේ නැත. ඉන්දියාවේ රස්සාවලට ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව ගැන පුවත් හොය හොයා නැවත පළ කිරීම ඊට වඩා පහසු ය.

මගේ මූලික අදහස මෙයයි. ඉතිහාසය ඉදිරියට යන්නේ රට රටවල්, ජාතීන් හා සමාජයන් අතර ආර්ථික, දේශපාලන, සමාජ සම්බන්ධතා ශක්තිමත් වෙමින් ය. එසේ ශක්තිමත් වන විට මිනිසුන්ගේ දේශපාලන ප්‍රජාවන් ද පුළුල් වේ. නිදසුනක් ලෙස පසුගිය සියවසේ මුල වන විට සිටි සිංහල භාෂාව කතා කරන උඩරට, පහතරට, ගොවිගම, කරාව ආදී දේශපාලන ප්‍රජාවන් දැන් වඩා පුළුල් සිංහල දේශපාලන ප්‍රජාවක සංවිධානගත වී සිටිති. යුරෝපා සංගමය තුළ යුරෝපා ප්‍රජාවක් ගොඩනැගෙමින් ඇත.

කොමියුනිස්ට්වාදීන්ගේ පරමාදර්ශී ලෝක කොමියුනිස්ට් සමාජය බිහි වන්නේ ද මෙසේ දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමෙනි. ඔවුන් මූලධාර්මිකව ජාතිවාදයට විරුද්ධ වන්නේ ඒ නිසා ය. එහෙත්, දේශපාලන ප්‍රජාවන් පුළුල් කර ගන්නට අප සමාජවාදී විප්ලවය සිදු වන තෙක් බලා සිටිය යුතු නැත. මාක්ස්වාදීන් ජාතිවාදයේ වෙළෙමින් එසේ බලා සිටියදී පවා ඉතිහාසය ඉදිරියට යන්නේ ය.

ඉතිහාසය හැම විට ම සාමකාමී වී නැත. ඇතැම් අවස්ථාවලදී එය ප්‍රචණ්ඩ වී තිබේ. උදාහරණයක් ලෙස අවසන් ඊලාම් යුද්ධය සලකන්න. කොටි සංවිධානය හා රජය සාම සාකච්ඡා වෙනුවට යුද්ධය තෝරා ගත් හ. කෙතරම් නරක දෙයක් වුවත්, ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ මෑත ඉතිහාසයේ වැදගත් ම සුසමාදර්ශීය වෙනස ඇති වුණේ එකී ප්‍රචණ්ඩ ක්‍රියාවලිය නිසා ය. ඉතිහාසයෙන් මෙවැනි නිදසුන් ඕනෑ තරම් සොයා ගත හැකි ය.

මා කියන්නේ සරළ දෙයකි. අප ලෝකය සමග සම්බන්ධ විය යුතු ය. ඒ සඳහා මුලින් ම ඉන්දියාව සමග සම්බන්ධ විය යුතු ය. (ලංකාවේ ජාතික සංහිඳියාව ද මෙතැනදී අදාළ ය) සාකච්ඡා කළ යුතුව තිබෙන්නේ එම ප්‍රතිව්‍යූහගත වීම ප්‍රචණ්ඩ නො වන ආකාරයෙන් හා අවම හානි සිදු වන ආකාරයෙන් කර ගැනීම පිළිබඳව ය. දෙපැත්තෙහි ම ඇතැම් කොටස් මෙමගින් තාවකාලික පීඩාවන්ට ලක් වෙති. එහෙත්, ලංකාවේ ජනතාව ඉතිහාසයක් පුරා සිය ආර්ථික ප්‍ර‍ත්‍යාස්ථිතිය පෙන්වා තිබේ. ඔවුන් කාලයත් සමග පහසුවෙන් නව තත්වයන්ට හැඩගැසෙති.

නිදසුනක් ලෙස කණ්ඩලම හෝටලය ඉදි කරන්නට යද්දී එයට එරෙහිව වාමාංශිකයන්ගේ හා සිවිල් සමාජයේ මූලිකත්වයෙන් දැවැන්ත අරගලයක් සිදු විය. එහෙත්, දැන් එදා විරෝධය පළ කළ වාමාංශිකයෝත් දැන් නව තත්වයට හැඩගැසී ඇත.

ලොකු රටක් නිසා අප ඉන්දියාවට බිය විය යුතු නැත.

ඉන්දියාවේ ජාතිවාදී ප්‍රවණතා මෙල්ල කර ගැනීමේ දේශපාලන ප්‍රගතිශීලිත්වය ගොඩනගා ගත යුත්තේ අප විසිනි. අප බොහෝ කාරණාවලදී ඉන්දියාවට ඉදිරියෙන් සිටින බව අප අමතක නො කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-21

උඩුවෙ ........... (ලිංගවාදී සිරස්තලයකැයි එල්ල වූ චෝදනාව නිසා මාතෘකාව ඉවත් කරන ලදී)

මේ කිසිවෙක් තවම අලි හොරු බව ඔප්පු වී නැත. 
උඩුවේ ධම්මාලෝක නම් සිවුරු අඳින ටොම් පචයා සිය අලි හොරකම වසා ගන්නට පත්තරවල ඇඩ් දමමින් කරන විගඩම් දුටු විට මතක් වන්නේ ‘එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා - සියක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා' යන කියමනයි.

බුද්ධාගමේ මුවාවෙන් වෙන මොකක්දෝ වැඩක් කරගෙන යමින් සිට අතරමගදී පාර්ලිමේන්තුත් ගිය උඩුවේ ධම්මාලෝක බෞද්ධයකු නො වන බව ඔහු  කර තිබෙන නීච වැඩ දෙකකින් පැහැදිලිව ඔප්පු වේ.

එකක් අසරණ අලි පැටවකු මව් තුරුල්ලෙන් සොරකම් කරගෙන පැමිණ දම්වැල්වලින් බැඳ වසර ගණනක් වධ දුන් ආකාරයයි. මේ නීච දුර්ජනයන් බොහෝ විට අලි පැටවුන් සොරකම් කර ගන්නේ ඇතින්න මරා දමලා ය.

අනෙක, චේතිය රජ්ජුරුවන් ද ලජ්ජාවෙන් ඇඹරෙන තරමේ බොරුවක් කියමින් මේ අලියා පෙරහරට ගෙන ආ කිසිවෙකු විසින් පන්සලේ දමා ගිය පසු තමන් හදා වඩා ගත් බව කීමයි.

අලියා එහෙම දමලා ගියා නම් ඒ කාලේ ම වන ජීවී කාර්යාලයට දැනුම් දිය යුතුව තිබිණි.

මේ සියලු පාදඩකම්වලට රැකවරණය සලසා දුන්නේ දස වසක අඳුරු යුගයක නිර්මාතෘ මහින්ද රාජපක්ෂ බව අමුතුවෙන් කිව යුතු නැත.

පහත පළ වන්නේ එදා පරිසර හිතවාදියකු විසින් උඩුවේ ගණ තැනගේ අලි හොරකමට එරෙහිව කළ පරාජිත අරගලයක් ගැන මතක සටහනකි.

සජීව විජේවීර ඔබට අපගේ ප්‍රණාමය!

මේක සෑහෙන්න දිග කතාවක් වර්ෂය 2005ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. මට මතකයි උන්වහන්සේ පිළිගන්න තැන සිට ඉමදුව නගරයට පෙරහැරකින් වඩම්මවාගෙන යන පාර සරසන්න මම බෞද්ධ කොඩි හොයන්න සෑහෙන්න මහන්සි වුණා. එදා මම සැදැහැවත් බෞද්ධයෙක් විදියට මේ අවස්ථාවට සහභාගී වුණේ මා ඉතා ගරු කළ, ඇළුම් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් උපන් දැඩි ගෞරවයකින්.

ඊට පස්සේ යළිත් උඩුවේ ධම්මාලෝක හිමියන් මගේ ඇස් ඉදිරිපිට සත්‍ය වශයෙන් ම පෙනී සිටින්නේ 2011 අගෝස්තු මාසයේ 22 දා රාත්‍රියේ.
ඒ කතාව මෙන්න මෙහෙමයි.

මමත්, බිරිඳත් දරුවන් හා අම්මාත් සමග කොළඹ ගියේ අපේ මල්ලී Nadeeka Jayanath Wijeweera ගේ නිවසට. ඇදිරි වැටීගෙන එද්දී අපි තීරණය කළා බිරිඳගේ නංගීගේ Madhavi Lokukaravia නිවසට රාත්‍රී නවාතැන් සඳහා යාමට තලවතුගොඩ තිබූ මල්ලිගේ නිවසේ සිට මගේ වාහනය පාරට දමා මද දුරක් යද්දී ඉස්සරහා අසුනේ සිටි පොඩි පුතා කෑ ගහනවා.

‘‘අප්පච්චී, අප්පච්චී. අන්න අලි පැටියෙක්."

ඇත්තමයි. පුංචි අලිපැටියෙක් කොළඹ ප්‍රධාන මාර්ගයක යන ලොරියක පටවගෙන යනවා. ඒ වනවිට සිදුවෙමින් පැවති අලි ජාවාරම ගැන මා කරුණු සොයමින් සිටියේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව මේ තරම් පොඩි අලියෙක් සිටිය නොහැකි නිසා මා වහාම ඒ බව දැනුම් දීමට පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථනයෙන් කතාකළත් 119 සුපුරුදු පරිදි කාර්ය බහුලයි. අවසානයේ දී කරන්නට දෙයක් තිබුණේ නැහැ. තලවතුගොඩ පසුකර මද දුරරක් යන විට අලි ලොරිය පසු කර ගිය මම කාරය නවතා ලොරියේ ඡායාරූප කිහිපයක් ගත්තා.

නමුත් එයින් සෑහීමකට පත් නොවූ මම බත්තරමුල්ල ඉසුරුපාය පසු කර ගිය විට ඇති පාලම් තුන අසළ දී මේ ලොරිය නවතා ගැනීම සඳහා මගේ කාරයේ එක් පැත්තක් ලොරියේ ගැටීමට සැලුස්වුවත් ලොරිය නවැත්තුවේ නැහැ. අවසානයේ ඇතුල්කෝට්ටේ හන්දිය අසළ දී පාරේ සිටි පොලිස් නිලධාරියකුට මේ ලොරිය ගැන දන්වා ලොරිය නවතා ගැනීමට මට හැකිවුණා.

ඒ වනවිට මම මගේ මල්ලිටත්, Madura De Silva , Nadika Hapuarachchi , Jagath Gunawardana, Sajeewa Chamikara, Karyawasam Thilak (තිලක් කාරියවසම්), Pubudu Weerarathna වැනි කිහිප දෙනකුට මේ පණිවිඩය දී අවසන්. ඔවුන් ද එතැනට පැමිණෙමින් සිටියේ මගේ සහයට. (එදා ඔවුන් නොපැමිණෙන්නට අද මා ජීවතුන් අතර නොසිටින්නටත් ඉඩ තිබුණා.)

ලොරිය නැවැත්වූ වහාම එහි රියදුරා සහ ඇත්ගොව්වා පැමිණ කීවේ මේ අලියා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලට අරගෙන යන බවයි. අලියා ගෙන ආවේ පන්නිපිටියේ විහාරස්ථානයකින් (සියල්ලෝම දනිති) බවත් ඔවුන් කීවා. නමුත් ඔවුන් සතුව අලියාගේ බලපත්‍රයේ පිටපතක් හෝ අලියා ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් හෝ තිබුණේ නැහැ.

මේ වේලාවේ වාහන තදබදය හේතුවෙන් අලියා සහිත ලොරියටත් මටත් වැලිකඩ පොලිසියට යන ලෙස පොලිස් නිලධාරියා උපදෙස් දීම නිසා අපි එහි ගියෙමු. නමුත් පොලිසියට ගිය වහාම අපිට දෝෂාරෝපණය කළ පොලිසි ස්ථානාධිපතිවරයා කියා සිටියේ හාමුදුරුවන් තමන්ට කෝල් කළ බවයි. වහාම අලියා රැගෙන යන ලෙසත් පිස්සු නටන්නේ නැතිව ඉන්නා ලෙසත් පොලිසිය මටත් ඒ වනවිට එහි පැමිණි මගේ මිතුරන් කිහිප දෙනකුටත් දෝස්මුරයක් දැම්මා.

ලොරිය කඩිනමින් පොලිසියෙන් ඉවත්ව ගියත් අපේ Nadika Hapuarachchi තවත් කිහිප දෙනකු සමග ලොරිය පසුපස හඹා ගොස් ලංකා හොස්පිට්ල් ඉදිරිපිට දී යළිත් ලොරිය කොටු කර ගත්තා.
මේ වනවිට රටේ මාධ්‍ය ආයතන රැසකට මා මේ පිළිබඳ දැනුම් දුන්නේ වනයෙන් ගෙන ආ පුංචි හොර අලි පැටවකු ප්‍රවාහණය කරමින් සිටිය දී පරිසරවේදීන් පිරිසක් විසින් අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කරන බවයි. සියළු මාධ්‍ය ආයතනවලින් පුදුමාකාර සහයෝගයක් ලැබුණේ මොහොතකින්.

වනජීවී වැටලීම් නිලධාරීන් ද ක්ෂණයකින් එතැනට පැමිණිය. ඒ පැමිණි මොහොතේ පටන් රට පුරා සිටින වනජීවී විෂය භාර ඇමතිවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රබලයන්, වෙනත් දේශපාලකයන් කතා කරමින් අලියා මුදා හරින ලෙස දැනුම් දුන්නා.

නමුත් මාධ්‍ය හමුවේ ඊට ඉඩක් ලැබුණේ නැහැ.

පැය ගණනක මහන්සියක ප්‍රතිඵලය වුණේ අලියා වනජීවී භාරයට පත්කර බත්තරමුල්ලට රැගෙන යාමයි. නමුත් අලි ජාවාරම් කරුවන් මෙය අවසන් කළේ නැහැ.

මා හැමදාමත් ගරු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් බත්තරමුල්ල වනජීවී කාර්යාලයට වැඩියා.

උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙතෙක් අසා තිබුණේ ධර්මය පිළිබඳ කරුණු පමණයි. නමුත් එදා අපි අපේ අම්මලා තාත්තලාගේ උප්පැන්න සහතිකත් අහ ගත්තේ ඒ ශ්‍රී මුඛයෙන්මයි.

අවසානයේ අපේ කණ්ඩායමත් 40ක් පමණ වුණා. ( කොළඹ සිටි මගේ යහළුවන් හා පරිසරයට හිතැති බොහෝ දෙනකු මෙතැනට පැමිණ විශාල සහයක් ශක්තියක් සැපයුවා මට මතකයි.)

මේ අතර එක් මිතුරෙක් සිය පුතු වඩාගෙන මධ්‍යම රාත්‍රිය පසුවන තුරු සිටියේ පරිසරයට ඇති ඇල්ම නිසා. පුතුට නින්ද ගිහින් තිබිය දී එතැනට ගිය හාමුදුරුවෝ මෙහෙම අහනවා.

‘‘මේ දරුව කාගෙද ? "

‘‘මගේ හාමුදුරුවනේ"

‘‘ වෙන්න බෑ. උඹලවගේ අවලම් එවුන්ට දරුවො ලැබෙන්නේ නැහැ. මේ අලි පැටියා මම කවලා පොවලා හදා ගත්තේ. උඹලා ඒවා විනාශ කරනවා. මේ දරුවෝ උඹලගේ නෝනා වල් කමේ ගිහින් හදා ගත්තුවා."

මගේ මිත්‍රයා මෙහෙම කිව්වා. - ‘‘හාමුදුරුවනේ ඒ කාලේ ඡන්දෙ ඉල්ලද්දී මම ඇවිත් වැඩ කළේ මේ වගේ කතා අහගන්න නෙවෙයි. ඔබ වහන්සේලා වගේ අය පාර්ලිමේන්තු යවලා උස්සල තියපු අපිට මේව හොඳ පාඩම්."

මා මෙහි සඳහන් කළේ එදා කී දේ වලින් ලිවිය හැකි දේ පමණයි. අනිත් දේවල් ලියන්න තියා අහගෙන ඉන්නවත් බැහැ.

මධ්‍යම රාත්‍රියත් පසුවන තුරු අලියා නීති විරෝධී බව හැඟවීමට අප කළ සටන අවසන් වුණේ රටේ ඉහළම පුරවැසියකුගෙන් ලැබුණු ඇමතුමක් සමගින්.

එදා අපි ගෙවල්වල යන්න එළියට බහිද්දී වනජීවී නිලධාරීන් කීවේ මහත්තයෝ යන්න එපා. වාහනවල ටයර් කපලා. එළියේ ලොරිවල ඉන්නවා පොලු තියාගෙන කණ්ඩායමක්. මහත්තයලාට ගහන්න ඇවිත්.
මෙන්න බෞද්ධ පිරුවටයට සැඟවී සිටින අලි ජාවාරම් කාරයන්ගේ කෙරුවාව.

අවසානයේ අපිට සිදුවුණා පොලිස් ආරක්ෂාව ඉල්ලන්න. පොලිසිය පැමිණ ලොරිවල සිටි පොලු සහිත මැරයන් යළි හරවා යැවූ පසු අපි ගෙවල්වල ගියේ පොලිස් ආරක්ෂාවත් සහිතව.

මේ තමයි එදා ක්‍රියාත්මක වූ අලි ජාවාරමේ සැබෑ තත්ත්වය.

මේ අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-19

නීතිය ඉදිරියේ සියල්ලෝ ම සමාන ය. ශිරානි බණ්ඩාරනායක වැඩිපුර සමාන ය.


එක්සත් ජාතික පක්ෂයේ කිසිදු දිස්ත්‍රික් ලැයිස්තුවක හෝ ජාතික ලැයිස්තුවේ නො සිටි සරත් ෆොන්සේකා එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නඩු පවරා තිබේ. ඒ පිළිබඳව අධිකරණය බලා ගන්නවා ඇත. 

මේ අතර, වගකිව යුතු තනතුරක් දැරූ අයෙකු ලෙස වසර තුනක් තිස්සේ ව්‍යාජ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වරදට නඩු පවරනු ලැබ සිටි මහින්ද රාජපක්ෂ විසින් පත් කර, දෝෂාභියෝගයට ද ලක් කරන ලද හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පවරා ඇති නඩුව අල්ලස් කොමිෂම විසින් ඉල්ලා අස් කර ගැනීම නිසා ඇය නිදොස් කොට නිදහස් කරනු ලැබ තිබේ. 

දුමින්ද සිල්වාට නඩු පවරා තිබෙන්නේ ද මෙම චෝදනාව යටතේ ම ය. 

රටේ නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත්, අග විනිසුරුටත්, සාමාන්‍ය ජනයාටත් එකක් විය යුතු ය. 

නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමාන යයි කීවත් ඇතැම් පුරවැසියන් වැඩිපුර සමාන බවට ශිරානි බණ්ඩාරනායක සාක්කියකි. 

නීතිය මේ අන්දමින් අපහරණය කරන තත්වයක් තුළ ශිරානි බණ්ඩාරනායකගේ ඉල්ලීම වැනි ම ඉල්ලීමක් ඉදිරිපත් කරන කුමාර් ගුනරත්නම්ගේ පාටියට ද එය ලබා දීමේ ගැටලුවක් මම නම් නො දකිමි. 

මන්ද, ඔහු ද ඇති හැකි අයෙකි. 

නීති අකුරට ක්‍රියාත්මක කළ යුත්තේ අප වැනි සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොවැ!

නීති විශාරදයන්ට නීති කඩන්නට ලයිසන් ඇත. දුප්පත් මිනිසුන් නීතිය නො දැන සිටීම නිදහසට කරුණක් නො වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-17

කිලිනොච්චියේ සිට ලියමි


සටන් විරාම සමයෙන් පසු පළමු වතාවට යාපනයේ හා කිලිනොච්චියේ ඇවිද්දෙමි. මිනිසුන් හමු වුණෙමි. එය යුද සංචරණයක් නො වේ. වන්දනාවක් ද නො වේ. මම කිසිදු තැනක් විශේෂයෙන් බලන්නට නො ගියෙමි. එය නිකම් ගමනකි. 

කලින් හමු වූ ඇතැම් මිනිසුන් දැන් හමු විය නො හැක. අප පාගන පොළව මත ඔවුන්ගේ ලේ තැවරී තිබිය හැකි ය. 

බොහෝ දේ වෙනස් වී ඇත. අලුත් මං ඉදි වී ඇත. ඒ මත සමතල තාර පලස් ය. වීදි දෙපස සල්පිල් ය. වෙළඳාම සරු ය. සුන්බුන් බිම ඇද දමා අලුත් ගොඩනැගිලි ඉදි වී ඇත. පාර හරහා මුර කපොළු නැත. පලාලි ගුවන් තොටුපළ වටා තවමත් අධි ආරක්ෂක කලාපයකි. එයට යට වී ඇත්තේ ජනතාවගේ ඉඩම් ය. පොලිසියේ ලොකු ලොක්කෝ සිංහලයෝ ය. ඔවුහු තේරෙන හැටියට පැමිණිලි විසඳති. අපට හමු වූ දෙමළ මිතුරෝ හඩන්නට බැරි නිසා සිනාසෙති. 

හමුදාව කඳවුරුවල සිටිති. කිලිනොච්චියේ පන්සලක ශබ්ද විකාශනයෙන් පිරිත් පිට වේ. බීතෝවන් එලිසා වෙනුවෙන් රචනා කළ වාදනය රැගෙන චූන් පාන් රථයක් පාරේ යයි. කරණවෑමිහලක මහ හඬින් වේග රිද්ම ගීයක් වාදනය වේ. තරුණයෝ නව රිද්මයට කොණ්ඩය කපති. අල්ලපු කඩයේ ශාරීරික ව්‍යායාම කරමින් තවත් තරුණයන් පිරිසක් ඇඟ හදා ගනිති. 

ඒ කාලයේ අප සිංහල යයි දැනගත් විට එදිරිවාදී හෝ සැකමුසු හෝ ඇසින් අප දෙස බැලූ සිංහල නොදත් මිනිසුන් වෙනුවට කෑම කඩයේදී හමු වන්නේ සිංහලෙන් කතා කර, සුහදව සංග්‍රහ කරන දෙමළ මිනිසුන් ය. 

කුඹුරුවල අස්වනු නෙළා අවසන් වෙමින් තිබේ. වී පටවා ගත් ලොරි බරට බරේ ඇදී යයි. මිනිස්සු, ගැහැනු, ළමයි ජීවිතය සොයා බයිසිකල් පදිති. තැන තැන පොලිතින් එක් රැස් වෙමින් තිබේ. මිනිසුන්ගේ මුහුණුවල විවිධ කතා ලියැවී ඇත. ඒ මතින් දැල්වෙන්නේ බලාපොරොත්තු ය. 

බොහෝ දේ වෙනස් වී ඇත. බොහෝ දේ දකුණේ ජීවිතයට සමාන වෙමින් තිබේ. අපි මාධ්‍ය ගැන කතා කළෙමු. මාධ්‍ය අපරාධ වාර්තා කරන්නේ හැඟීම් ප්‍රකෝප කරන ලෙස බව මිතුරෙක් කීය. ‘උදයන් කියන්නේ දෙමළ ජාතික සන්ධානය කියන එක. වාලම්පුරි ප්‍රචාරය කරන්නේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලාගේ දෙමළ ජාතිවාදී අදහස්. ඔය දෙකම වැඩක් නැහැ,' නිහඬ දෙමළ මිතුරෙක් මා සමග කීවේ ය. 

‘මේ ලැබිල තියෙන අවස්ථාව පාවිච්චි කරන්න ඕනැ මිනිසුන් විදියට අපි එකතු වෙන්නයි.' ඔහු කී වදන් මගේ දෙසවන් පුරා රැව් දෙයි. 

රේල් ගේට්ටුව වැසිණි. රතු එළි නිවි නිවී දැල්වෙයි. කිලිනොච්චියේ අබලන් ඒ 9 මහා මාර්ගයට සමාන්තරව දිගු වැලි මගක් දිගේ පයින් ගමන් කරන අතර එය කුමක්දැයි අතීතයේ දිනෙක මම මිතුරකුගෙන් ඇසීමි. 

“ඒ තමයි, ඉස්සර රේල් පාර. සටන්කරුවෝ සිල්පර කොටන්වලින් බංකර් හැදුවා."

මම දුක් වුණෙමි. ඒ අන් කිසිවක් නිසා නොව මම දුම්රියවලට ආදරය කරන නිසා ය. 

“දෙමළ ඊලම පුංචි රාජ්‍යයක්. ඒකට මහාමාර්ග විතරක් ඇති. දුම්රිය පාරවල් ඕනැ නැහැ," මිතුරා කීවේ ය. අප අතර දේශපාලන මතභේදයක් ඇති වූ පසු ඔහු කිසි දිනෙක මා හා කතා කළේ නැත. 

යුද්ධය බුර බුරා ඇවිලෙද්දී ඔහු විදේශගත වූයේ ය. පුංචි දෙමළ ඊලම වෙනුවෙන් පළා නො ගොස් සටන් කළ මිනිස්සු ඒ බිමේ ම වැළලී ගිය හ. ඊට වඩා ලොකු ශ්‍රී ලංකාව ඉතිරි විය. 

රතු පාට දුම්රියක් වේගයෙන් ධාවනය විය. රතු පාට එළි නිවී ගේට්ටුව ඇරිණි. කහපාට එළියක් නිරතුරුව දැල්වෙයි. එය කොළ පාට එළියක් නො වන්නේ ඇයිදැයි කල්පනා කිරීම වැදගත් ය.


 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-16

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉගෙන ගන්න කැමති නැත්තේ ඇයි?

මගේ රත්තරං යාලුවනේ, මේ ෆොටෝ එක හරි ලස්සනයි නේ ද? ඒ නිසා මං ඒක ඔයාලටත් පෙන්නන්න තමයි මෙතන දාන්නේ. මේ ඡායාරූපයයි, ලිපියයි අතර සම්බන්ධයක් නැහැ, හොඳේ! 
උපදේශක කාරක සභා වෙනුවට පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන ආංශික අධීක්‍ෂණ කාරක සභා පිළිබඳ වැඩමුළුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් ඇත්තෙන් ම සහභාගි වී තිබෙන්නේ 50ක් පමණ බව වාර්තා වේ.

මහජන මුදල් වැය කරමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්පත් දායකයන් ලෙස සහභාගි කරවාගෙන පවත්වන්නට යෙදුණ මෙම වැඩමුළුවෙන් ප්‍රයෝජනයක් ගන්නට මන්ත්‍රීවරුන් නො පැමිණියේ ඇයි?

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයන් සිටින නිසා සන්නිවේදන ගැටලුවක් ඇති වේ යයි සිතිය නො හැකි ය.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීන් පත් වී තිබෙන සංදර්භය තුළ මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ගැන ඔවුන්ට තිබෙන දැනුම ඉතා අල්ප බව පෙනේ. විපක්ෂයේ සිටින අය සිතන්නේ තමන් පත් වී සිටින්නේ ම ආණ්ඩුව පෙරළන්නට ය කියා ය. ඇමතිකම් නැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පවා තමන්ට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් වගකීමක් ඇතැයි සිතන බවක් නො පෙනේ.

රාජ්‍ය පාලනය යයි ඔවුන් වැඩිදෙනෙක් සිතාගෙන සිටින්නේ කුමක් ද යන්න ද ප්‍රශ්නයකි.

සාමාන්‍යයෙන් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හුරු වී සිටින්නේ තමන් නියෝජනය කරන ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට, එම ප්‍රශ්න නිරාකරණය වන පරිදි නීති සම්පාදනයට හා යහපාලනයට නො වේ. ඔවුන් වැඩි දෙනෙක් කරන්නේ තමන්ගේ නායකයා සතුටු කිරීම, ඒ වෙනුවෙන් අවශ්‍ය පරිදි විහිළුකාරයකු හෝ මැරවරයකු වීම, නායකයාට කේලම් කියා අනෙක් අය කපාගෙන තනතුරක් ලබා ගැනීම, එම තනතුරේ බලයෙන් තමන්ට, තම පවුලේ ඥාතීන්ට, හිතවතුන්ට, පාක්ෂිකයන්ට වැඩිපුර බෙදා ගැනීම වැනි දේ ය.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීන් ශික්ෂණය කිරීම අතිශය දුෂ්කර ය. 

එහෙව් සංදර්භයක රාජ්‍ය පාලන බලතල තමන්ටත් පැවරෙන මෙවැනි අලුත් ක්‍රමයක් දරා ගන්නට ඔවුන්ට හැකියාවක් නැත. මෙහෙම වන්නේ ඒ නිසා ය.

තවත් සමහර මන්ත්‍රීවරුන් සිතාගෙන සිටින්නේ තමන් සියල්ල දන්නවා ය කියා ය. එබැවින් ඔවුන්ට අමුතුවෙන් ඉගෙන ගන්නට දෙයක් නැත. 

දිගු කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි පරිණත පුද්ගලයකු යයි කිව හැකි දිනේෂ් ගුණවර්ධන මෙම වැඩමුළුව ගැන කරන ප්‍රකාශය බලන්න.

“විපක්‌ෂ නායකයාටත් බැරිවුණා එයාගේ කණ්‌ඩායම ගෙන්වා ගන්න. ජවිපෙ මන්ත්‍රීවරුන් නෑ. ටී.එන්.ඒ. ඡේ.වී.පී. සහ ආණ්‌ඩුව එකතු වුණාම ඔක්‌කොම මන්ත්‍රීවරු 175 ක්‌ එන්න ඕනෑ. ඒත් අගමැතිට බැරිවුණා ඒ අයව ගෙන්වා ගන්න. මොකක්‌ද මේ විහිළුව? අපිත් පස්‌ හය දෙනෙක්‌ ආවා. අපි නෑවිත් හිටියා නම් අපිට චෝදනා කරයි.

“බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ආවා. වෙස්‌මිනිස්‌ටර් පාර්ලිමේන්තුවේ අය ඇවිත් හිටියා. රුපියල් කෝටි ගාණක්‌ වියදම් කරලා මේක කරන්න බැරිනම් නොකර ඉන්න තිබුණා. නැතිනම් පාර්ලිමේන්තුව ඇතුළේ මේක නොකර එළියේ තියන්න තිබුණා. පාර්ලිමේන්තු සේවකයෝ ශාලාවට දාලා මන්ත්‍රීවරුන් නැති හිඩැස පිරවූවා. බ්‍රිතාන්‍යයෙන් ආපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සේවකයන් මන්ත්‍රීවරුන් විදිහට පෙන්වන්නයි උත්සාහ කළේ. මොකද්ද මේ රට රවටන විහිළුව. මේක පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක්‌ කිරීමක්‌. කාරක සභා ගැන දැනුවත් කරන වැඩමුළුවට එන්නෙ නැති මන්ත්‍රීවරු ඔය කාරක සභාවලට එයිද? ඇමැතිවරුත් නෑ. නියෝජ්‍ය ඇමැතිවරුත් නෑ. ඒ බව අගමැතිවරයා එයාගේ කතාවෙන්ම පිළිගත්තනේ."

දිනේෂ් ගුණවර්ධන කියන්නට උත්සාහ කරන්නේ මෙම වැඩමුළුවට මන්ත්‍රීවරුන් සහභාගි නො වීම අගමැතිවරයාගේ වරදක් බවයි. ඒක හරියට ඉස්කෝලේ ගණන් මිස් උගන්නන්නේ නැත්තේ ප්‍රින්සිපල් මිස්ලාට බනින්නේ නැති නිසා ය කියනවා වැනි  කතාවකි. ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මන්ත්‍රීවරුන් යනු මෙවැනි වැඩසටහන්වලට කෙවිට භාවිතා කර දැක්කිය යුතු පිරිසක් බව නො වේ ද?

දිනේෂ් කරන්නේ උඩ බලාගෙන කෙළ ගැසීමක් නො වේ ද?

අවසානයේදී ඇත්තෙන් ම වරද තිබෙන්නේ මහජනතාව වන අප අත ය. කාලකන්නින්, නිකමුන්, යමක් උගත නො හැකි මුග්ධයන්, සියල්ල දන්නේ යයි සිතා සිටින අති පණ්ඩිතයන්, අලසයන්, මහජනයා නියෝජනය කිරීම යනු මැරවරකම් ය සිතනවුන්, සොරුන්, වංචාකාරයන්, පාර්ලිමේන්තුව යනු කැන්ටිමකැයි සිතාගෙන සිටිනවුන් පත් කර ඇරියේ වෙන කවුරු ද අප ම තමා ය. ඒ නිසා මහජනතාව තම තමන්ට ම තලා ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-15

මහජනතාවගේ විකාශන තරංග සොරාගත් මහරාජාගේ සිට ජවිපෙ දක්වා සැමගෙන් ඒවා ආපසු ලබාගෙන පාරදෘෂ්‍ය ලෙස නැවත බෙදා දෙනු!

‘‘හිහ්, හිහ්, හිහ්! ඔය වගේ සද්ද ඇහෙනවා නේද? දැන් හැමදාම ඤාව් ඤාව් කියන බැළලියෝ හිටපු ගමන් ඔන්න ඔය වගේ සද්ද කරනවා රෑට. එතකොට අපි මොකක්ද කරන්නේ ගඩොල් බාගයක් අරගෙන ඒ එන පැත්තට ගහනවා නේද. මූසලයි, මුස්පේන්තුයි කියලා තමයි ගම්වල උදවිය කියන්නේ. ඉතින් ඔය දන්නෝ බුදුන්ගේ කියන ගීතය ටවර් හෝල් යුගයේ ඉදන් ඉතාමත් උත්තරීතර ගීතයක් විදියට, බොදු බැති ගීතයක් විදියට, දන මන පුබුදුවාලන ඉතාමත් උතුම් ගීතයක් විදියට තමයි සැළකුවේ."

මෙහෙම කියන්නේ තරුණ වියේදී, ඒ කාලයේ සංස්කෘතිය කනවා යයි මේ අන්දමින් ම චෝදනාවට ලක් වූ සිරස රේඩියෝවෙන් එළියට ආ නිවේදකයකු වන සංඛ අමර්ජිත් පෙරේරායි. අද කාලේ රූපවාහිනී මාධ්‍යවේදීන් යයි කියන්නේ පත්තරවල අනුන් ලියූ දේ කියවන ගමන් තමන්ගේ මනස්ගාත ඒවාට එකතු කරන අයටයි. ඉතින් මේ සංඛ අමර්ජිත් මාධ්‍ය‘වේදියා' පත්තර කියවන ගමන් වැඩි දුරටත් මෙසේ කීවේ ය.

“අමරදේව මහත්තයාගෙන් පටන් ගත්තම බොහෝ ගායක ගායිකාවන් ඉතාමත් ගෞරවයෙන්, භක්තියෙන්, සැදැහි සිතෙන් යුතුව මෙම ගීතය ගායනා කළ. නමුත් ඔය විදියට ඔය ගීතය විකෘති කළේ පසුගිය පෙබරවාරි 4 වෙනිදා ජාතික නිදහස් දිනය සමරන්නට කියලා පවත්වපු උත්සවයකදී. ඉතින් ඔපෙරා ද මොනවද කියන්නට දන්නේ නැහැ.

“කේමදාස මාස්ටරුත් ඔපෙරා කරා. හැබැයි ඒ ගීතවලට තිබෙන්නා වූ ගෞරවය ආරක්ෂාකර ගනිමින් තමයි එතුමා ගෞරවනීය විදියට ඔපෙරා කරේ. ඇයි මේ වටිනා කියන දේවල් වලට මේ විදියට කරන්නේ. ගඩොල් බාග බලාපොරොත්තුවෙන් මේ වගේ දේවල් කරනවද කියන්නට අපි දන්නේ නැහැ‘‘

දන්නෝ බුදුන්ගේ ගීය සම්බන්ධයෙන් ඔහුගේ මේ අදහස් පළ වන්නේ පසුගිය නිදහස් දිනයේදී ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික සොප්‍රානෝ ඔපරා ගායිකාවක වන ක්‍රිශානි ජයසිංහ පසුගිය නිදහස් දිනයේදී දන්නෝ බුදුන්ගේ ගීය ගායනා කළ ආකාරය පිළිබඳවයි. ක්‍රිශානි යනු බටහිර සංගීතය පමණක් නොව, නීතිය සම්බන්ධයෙන් ද උපාධිධාරිනියකි. ලංකාවේ හිටපු ඔරු පැදීමේ ශූරියකි. ඇය කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (London) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි කර ගැනීමට සමත් වූ අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ උපදේශිකාවක් ලෙස ද සේවය කළ ලංකාවට ආභරණයක් වන් කාන්තාවකි. 

අනෙක් පැත්තෙන් දන්නෝ බුදුන්ගේ යනු 1903 දී ජෝන්ද සිල්වා විසින් රචනා කරන ලද සිරිසඟබෝ නාට්‍යය වෙනුවෙන් විශ්වනාත් ලවුජී නමැති ඉන්දියානු සංගීතඥයා විසින් නිර්මානය කරන ලද තනුවකි. එය ජර්මානු ජාතික සංගීතඥයකු වන වැග්නර්ගේ මුල් නිර්මානයක් අභාසයෙන් කරන ලද්දක් ලෙස සැලකේ. 

සංඛ අමර්ජිත් නම් මේ කිසිවක් නො දන්නා මාධ්‍ය‘වේදියා' ගඩොල් බාගයකින් ගැසිය යුතු බැළලියකැයි අපහාස කරන්නේ ඇයටයි.

මෙම වැඩසටහන විකාශය කළ දෙරණ මාධ්‍යය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අගමැති රනිල් වික්‍ර‍මසිංහ පැවසුවේ මහජනයාට හිමි ගුවන් විකාශ තරංග භාවිතා කර ‘බල්ලන්ට බලු වැඩ කරන්නට නො දෙන' බව ද පවසමිනි.

ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂකයන් මෙන් ම රූපවාහිනී චැනල්වල අයිතිකාරයන් ද සිතාගෙන ඉන්නේ රූපවාහිනී විකාශය ඒවායේ අයිතිකාරයන්ගේ අප්පාගේ බූදලයක් ය කියා ය. රනිල් කියන කතාව ඔවුන්ට තේරෙන්නේ නැත. මාධ්‍ය සංවිධානවලට තේරෙන්නේ ද නැත.

ලංකාවේ විද්‍යුත් චුම්බක විකාශ සංඛ්‍යාත පරාසය යනු මේ රටේ මහජනතාවට අයිති දේපලකි. එය ජාත්‍යන්තරව ම පිළි ගත් කාරණයකි. අපි එය බලාකියාගන්නට රජයට භාර දී තිබේ. රජය ද එහි අයිතිකරු නො වේ. එහෙව් සංදර්භයක හඩ්ඩා හෙවත් හඩ්සන් සමරසිංහ, සංඛ අමරජිත්, චතුර අල්විස් වැනි කුලියට කහින පණුවන් පමණක් නොව මහරාජා, දිලිත් ජයවීර, රේනෝ සිල්වා වැනි අය පවා ඔවුන් හිතන තරම් ලොක්කෝ නොවෙති.

ලංකාවේ විකාශන තරංග පරාසය බෙදා දෙන ආකාරය නීත්‍යානුකූල නැත. එය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ ප්‍ර‍ජාතාන්ත්‍රික මූලධර්මවලට ද පටහැණි ය. පාසලක කැන්ටිමක් බදු දෙන විටත් ටෙන්ඩර් කැඳවා, ඕනෑම කෙනෙකුට විවෘතව මිළ ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී සුදුස්සා තෝරා ගනු ලැබේ. පොදු දේපලවල භාරකරු වන රජය ඒවා සම්බන්ධයෙන් පාරදෘෂ්‍ය අන්දමින් කටයුතු කළ යුතු බව ඉතා පැහැදිලි ය. 

රජය පොදු දේපලවල හිමිකරු නොව ඒවායේ භාරකරු පමණක් බව එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් මහමාන්කඩවල පියරතන හිමියන් විසින් පවරන ලද නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවෙහි පැහැදිලිව දැක්වේ. මෙය දේවානම්පියතිස්ස රජු සමයට අයත් සෙල්ලිපියක පවා දැක්වෙන යහපාලන මූලධර්මයකි.

එසේ නම්, මහජනතාවට අයිති පොදු දේපලක් වන ගුවන් විදුලි විකාශ පරාසය පමණක් යාලු මිත්‍ර‍කමට, පගාවට හිතවතුන්ට බෙදා දුන්නේ කෙසේ ද? මහජනතාවගේ ගුවන් විදුලි පරාසයෙන් සංඛ්‍යාත සොරකම් කළ සොරුන් අතර ජනතා විමුක්ති පෙරමුණ ද සිටින නිසා ඔවුන් දැන්වත් මේ ගැන කතා කළ යුතු ය.

මහජනතාවගේ සංඛ්‍යාත සොරකම් කරගත් අයට ජන මනස විකෘති කරන, ජාතිවාදී, ආගම්වාදී, ස්ත්‍රී විරෝධී වැඩසටහන් විකාශනය කිරීමට ඉඩ දීමට ආණ්ඩුවට අයිතියක් නැත. එහෙම වැඩසටහන් ඉදිරිපත් කිරීම මාධ්‍ය නිදහස වන්නේ ද නැත.

මහජනයාට හිමි සංඛ්‍යාත පරාසය විනිවිද පෙනෙනසුළු ලෙස නැවත බෙදා දිය යුතු ය. සංඛ්‍යාත ලබා දීමේදී මහජන සේවා විකාශවලට ප්‍ර‍මුඛතාව දිය යුතු ය.

මහජන සේවා විකාශ යනු මොනවාදැයි ලංකාවේ සිටින මාධ්‍ය ඔස්තාර්ලා වන චතුර අල්විස්ලා, සංඛ අමර්ජිත්ලා, හඩ්සන් සමරසිංහලා අහලාවත් ඇති යයි නො සිතමි. ඒ ගරන වෙන ම කතා කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-13

යෝෂිතට අඬන්නට සිදු වුණේ ඇයි?

යෝෂිත රාජපක්ෂ මහින්දගේ පුත්‍ර‍යා බව අමතක කරමු. ඔහු ධනවත් පවුලක සැපට හැදී වැඩුණු දරුවෙකි.

එවන් දරුවකුට සිර ගෙය අපායක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහි ඇඳ - පුටු - මේස, කාමර නැත. කොමෝඩ් සහිත වැසිකිළි ද නැත. විදුලි පංකා, වායු සමන නැත. මදුරු දැල් නැත. නිදාගන්නට සිදු වන්නේ බිම එළූ පැදුරකයි. නාන්නට වන්නේ ටැංකියට පිරවූ වතුර බාල්දියෙන් ඇදගෙන ය.

සාමාන්‍ය දරුවෙකු මෙසේ සිරගත වුණානම් යෝෂිත දැන් මුහුණ දෙන ප්‍ර‍ශ්නවලට අමතරව පරණ සිරකරුවන්ගෙන් පශ්චාත් භාගය පරිස්සම් කර ගැනීමේ ප්‍ර‍ශ්නයට ද මුහුණ දෙන්නට සිදු වනු ඇත.

මෙම සිද්ධිය ලංකාවේ සියලු තාත්තලාට පාඩමකි.

පාඩම් උගත යුතු තවත් සිද්ධියක් කලින් සිදු විය. ඒ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කුලියට මිනී මැරීමට සිය පුතා හවුල් කරගෙන දෙන්නා එක්ක ම මරණ දඬුවමට ලක් වීමයි.

යෝෂිතගේ තත්වය ඊට වඩා දරුණු ය.

ඔහු ඉපදෙන්නේ බලවත් තාත්තා කෙනෙකුට දාව ය. ඔහු වැඩෙන්නේ බලයෙන් උමතු වූ තාත්තා කෙනෙකුගේ රැකවරණය තුළ ය.

තමන්ගේ දියණිය ද ගණිකා වෘත්තියට යොමු වනවාට ගනිකාවක කැමති නැත. තමන්ගේ දරුවන් සොරකමට යොමු වෙනවාට සොරා කැමති නැත. එහෙත්, දේශපාලනය නමින් ලංකාවේ හැඳින්වෙන පජාති වැඩේ කරන තාත්තලා තමන්ගේ දරුවන් ද එයට යොමු කරති.

මහින්ද තමන්ගේ දරුවන් හැදුවේ නීතිය යනු තමන් ය කියන සංදර්භයක ය. මේ දරුවන් හැදුණේ රටේ නීතිය, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සම්ප්‍ර‍දායන් පමණක් නොව හොඳ-නරක පවා නො දන්නා පසුබිමක ය. මෙසේ හඬන්නට සිදු වන්නේ ඒ නිසා ය.

මහින්දගේ කාලයේ යුද විරෝධී ස්ථාවරයක සිටි නිසා ඇති වූ ජීවිත තර්ජන හේතුවෙන් මට වරක් ඉන්දියාවට පළා යන්නට සිදු විය. රැකියාවෙන් නිවාඩු ඉල්ලුව ද නො ලැබුණ බැවින් මම සංචාරක වීසා මත රටින් පළා ගියෙමි. මාස කීපයකින් ආපසු පැමිණෙන විට මගේ රැකියාව අහිමි කර තිබිණි. ආපසු අභියාචනා කර, දඬුවම් ලෙස වැටුප් වර්ධක දෙකක් ද අත්හිටුවමින්, උසස්වීම්වලට ද මග අවුරමින් මට ආපසු රැකියාව ලැබුණේ වසර තුනකට පසුවයි. මා කළ වරද නො දන්වා විදේශගත වීමයි. මහජන මුදලින් පුහුණුව ලද, මහජන මුදලින් රට රටවල සැරිසැරූ යෝෂිත රාජපක්ෂ මෙම වරද වාර හතළිහක් පමණ කර තිබේ. මට එක් වරකට ලැබුණ දඬුවම මොහුට මේ වාර ගණනට නො ලැබිය යුතු හේතුව කුමක් ද? 

නීතිය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය, ආචාර ධර්ම, සංස්කෘතිය ආදී කිසිවක් නො දත් පසුබිමක හැදුණු මොවුන් නැවත සමාජගත කළ යුත්තේ පුනරුත්ථාපනය කරලා ය. එහෙම කළ යුතු තව විශාල පිරිසක් මහින්ද වටේ සිටිති.

ලංකාවේ සමස්ත සමාජය ම ස්වයං පුනරුත්ථාපනයකට ලක් කළ යුතුව තිබේ. 


පුතා හිරේ. මහින්ද සංදර්ශනාත්මක ලෙස හම්බන්තොට වෙරළේ මුහුදේ නාමින්.


පහත පළ වන්නේ ෆෙස්බුක්හි අපගේ මිතුරකු විසින් තබන ලද සටහනකි.

මේ ඉන්නෙ ලංකා හමුදාව විසින් එතෙක් මෙතෙක් බිහි කරපු විශිෂ්ඨතම යුධ විරුවො දෙන්නෙක් (අනෙක් ඡායාරූපය ඉහත මුලින් ම පළ කළ ඡායාරූපයයි).

පළවෙනි පින්තූරෙ ඉන්නෙ අවස්ථා වැඩිම ගණනකදී ත්‍රස්තවාදීන් වැඩිම දෙනෙකුට මරණය අත්කරදීපු ස්නයිපර් වෙඩික්කරුවා නීරෝ. එහෙම නැත්තං ආනමඩුව මඩපලාන ඉස්කෝලෙ ඉගෙන ගෙන හමුදාවට බැඳිලා දියතලාවෙදි පුහුණු වෙලා ස්නයිපර් වෙඩික්කරුවෙක් වෙච්චි ලයනල් ප්‍රේමසිරි.

ප්‍රේමසිරි හමුදාවට බැඳුනෙ ඇයිද කියල හරියටම කියන්න අපි දන්නෙ නෑ. ගොඩක් දුරට රට ගැන තිබුණ ආදරේට වෙන්න ඇති. හමුදා රැකියාවකිං ලැබෙන ආර්ථික හයිය වුණත් ටිකක් හරි බලපාන්න ඇති. ඒ වගේම තනියෙං හරි රිකීටීම්ස් විදියට හරි ගිහිං කොටි මරද්දි දවස් ගණං බඩගින්නෙ ඉන්න කොට බොන්න වතුර ටිකක් නැති වෙනකොට තව චුට්ටකිං කොටිංගෙ පැත්තෙ ඉඳල එන උණ්ඩයක් ඔළුව පසාරු කරං යයි කියල හිතෙන කොට දියතලාව පුහුණු පාසලේ සාමාන්‍ය පුහුණුවක් විතරක් ලබාපු නීරෝට අඬන්න හිතුනද ඇඬුවද කියල කියන්න අපි දන්නෙ නෑ

වැදගත්ම දේ කොටි ත්‍රස්තවාදියො සිය ගාණක් තනියම මරලා පුදුමාතලන් අවසන් සටනෙදි දෑස් පියා ගත්තු නීරෝගෙ දෙමවුපියෝ බිරිඳ දරුවො දෙන්නා කොහොමද මොකද කරන්නෙ කියලත් අපි දන්නෙ නෑ

දෙවෙනි පින්තූරෙ ඉන්නෙත් ඊට නොදෙවෙනි සුපිරි යුධ විරුවෙක්. ඒ තමා යෝෂිත රාජපක්ෂ. නීරෝ හමුදාවට බැඳුනෙ ඇයි කියල හරියටම කියන්න අපි නොදන්නව වුණාට යෝෂිත හමුදාවට බැඳුනෙ ඇයි කියල අපි දන්නවා. එයා හමුදාවට බැඳුනෙ ලංකාවෙ අනිත් තරුණයොන්ව හමුදාවට බැඳෙන්න දිරිමත් කරන්න

හමුදාවට බැඳිලා දවස් විස්සකිං ත්‍රීකුණාමලේ නාවික පුහුණු කඳවුරේ හොඳම කැඩෙට් නිලධාරියා වෙලා රොයල් නේවල් ඇකඩමි එකේ පුහුණුවට ගිය යෝෂිත දරා ගැනීමේ ශක්තිය වගේ දේවල් ලංකාණ්ඩුවේ වියදමින්ම දැඩිව ප්‍රගුණ කල කෙනෙක්

මේ පින්තූරෙ ඉන්න යෝෂිත කඳුළු හලන්නෙ ඇයිද කියල කියන්න අපි හරියටම දන්නෙ නෑ. ඒ තමුන්ටත් නීරෝට වගේ යුධ බිමේදි වෙඩි පාරක් වැදුනොත් දරුවොන්ට බිරිඳට දෙමවුපියොන්ට වෙන දේ ගැන කල්පණා කරල වෙන්න බෑ තමයි. ඒත් මේ අඬන්නෙ තමුං දන්නෙවත් නැති අහලවත් නැති හීනෙකිංවත් හිතිලවත් නැති ටීවී චැනල් එකකට තමුං දැකලවත් නැති දන්නෙත් නැති මුදල් මිලියන් ගණනක් වියදම් වුනේ කොහොමද කියල හිතිල වෙන්න පුළුවං. එහෙම නැත්නං ඒකාලෙ තමුං නිසා මේ විදියට කඳුළු හලන්න වුණ මිනිස්සුන්ට මොන වගේ වේදනාවක් දැනෙන්න ඇතිද කියල හිතිල වෙන්නත් පුළුවං

හැබැයි අපි ඉන්තේරුවෙන්ම දන්නවා යෝෂිත මේ අඬන්නෙ රිමාන්ඩ් කාලය දීර්ඝ වෙච්චි නිසා අඳුරු සිර කුටියක තවත් දවස් දාහතරක් ගෙවන්න වෙන වේදනාව දරා ගන්න බැරි වීම නිසා නොවෙන බව. මොකද රෝයල් නේවල් ඇකඩමි එකේ පුහුණුව ලබාපු අපි වගේ අභිමානවත් රටක වසරේ විශිෂ්ඨතම තරුණයා බවට පවා පත් වුන ගාම්භීර වීර සිංහ පෝතකයෙක් ඒ වගේ සිල්ලර කාරණාවලට අඬන්න කිසිම හේතුවක් නෑ


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-12

මැරතන් කරු මරා දැමූ යුගයේ සිට ක්‍රීඩාවේ දයාසිරි යුගය දක්වා

කේ. ඒ. කරුණාරත්න මැරතන් දුවන වයසේදී 
ක්‍රීඩාවේ දයාසිරි යුගය යන වචනය තරමක අතිශයෝක්තියක් විය හැකි ය. එහෙත්, එවැනි යුගයක් නිර්මානය කිරීමට ඔහුට ශක්තිය ඇති බව දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ ය.

මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට යාම වැනි ක්‍රියාවලින් දයාසිරි පෙන්නූ අපරිණතකම මගහරවා ගන්නට හැකි නම් දයාසිරි ජාතික නායකත්වයකට ගොඩනගා ගත හැකි කෙනෙකි. පුරවැසි ක්‍රියාකාරිකයන් ලෙස අප නායකයන් හදා ගත යුත්තේ අපට දී ඇති මිනිස් ද්‍රව්‍යවලින් බව අපි මීට පෙර ද සඳහන් කළෙමු.

මහින්දානන්ද අලුත්ගමගේ වැනි ගොබ්බයකු විසින් කලක් තිස්සේ අරක් ගෙන තිබුණු ක්ෂේත්‍රයකට දයාසිරි වැන්නකු පිවිසි හැටියේ ම එය කක්කුස්සියක හඳුන්කූරක් පත්තු කළා සේ කැපී පෙනේ.

ඉන්දියාව වැනි දැවැන්ත ජනගහණයක් සහිත රටක් හමුවේ ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී පෙන්වන ලද දක්ෂතාව සුළුපටු එකක් නො වේ. එය වනාහි රටක් ලෙස අපට ඇති විභවයන් සංකේතාත්මකව පෙන්වූ අවස්ථාවකි.

එහිදී දක්ෂතා දැක්වූ තරුණ තරුණියන් වනාහි ලංකාවේ ජන විකාශ විවිධත්වය තුළින් මතු වූ පිරිසකි. මහින්දානන්ද අලුත්ගමලාගේ කාලයේ ඔසවා තබන ලද සිංහල, බෞද්ධ, ගැමි, පිරිමිකම තුළින් මතු වූ අය නො වේ.

මෙම ජන විවිධත්වය ගැන අප විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ක්‍රීඩාවේ පමණක් නො ව, සමස්ත සමාජ, ආර්ථික, දේශපාලන දේහයේ ම සාර්ථකත්වය රඳා පවතික්නේ විවිධත්වය දරාගත හැකි සාමය, සංහිඳියාව, සහජීවනය තුළ නිසා ය.

මැරතන් කරු හෙවත් කේ.ඒ. කරුණාරත්න යනු රටක් වෙනුවෙන් ගොඩක් දුර දිවූ මිනිසෙකි. කොටි සංවිධානය මේ අහිංසක මිනිසා මරා දමන්නේ මැරතන් තරගයක් සංවිධානය කරමින් සිටියදී ය. ප්‍රවීණ ජවන හා පිටිය ක්‍රීඩා පුහුණුකරුවකු වූ ලක්ෂ්මන් ද අල්විස් හා තවත් ක්‍රීඩකයන්, ක්‍රීඩා ලෝලීන් රැසක් මෙහිදී කොටි සංවිධානය විසින් මරා දමන ලදී.

ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මිලිටරි ඉලක්කයකැයි දෙමළ ජාතිවාදීන්ට කියන්නට පුළුවන. එහෙත්, ඔහු ලංකාවේ දෙමළ ජනයාටත් වඩා සුළුතර ජන කොටසක් නියෝජනය කළ දේශපාලනඥයෙකි.

අපි 2006දී කොටි සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා දමා, මූතූර් මුස්ලිම් වැසියන්ගේ හිසට උඩින් වෙඩි තබමින් යුද්ධයට මුල පිරූ අවධියේ මෙන් ම 2009දී මහින්ද රාජපක්ෂ යුද්ධය ජයගන්නා විටත් යුද්ධයට විරුද්ධව පෙනී සිටියෙමු.

මහින්ද රාජපක්ෂ යනු යුද්ධයේ හේතුවකට වඩා යුද්ධයේ ඵලයකැයි අපි විශ්වාස කරන්නෙමු. යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා තවත් සුළු පිරිසක් පමණක් වරදකරුවන් කරනවාට අප එකඟ නො වන්නේ එම සංදර්භය තුළයි. ලංකාවේ සිදු වූ යුද අපරාධවලට කොටි සංවිධානය ද, කොටි සංවිධානය යුද්ධයට තල්ලු කළ දෙමළ මධ්‍යම පංතිය ද, දෙමළ මාධ්‍ය ද, සියලු සිංහල ජාතිවාදීන් ද, බහුතරයක් සිංහල හා දෙමළ මාධ්‍ය ද, ජවිපෙ, පෙසප වැනි වාමාංශික පක්ෂ ද වගකිව යුතු ය.

මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණයේ තනි අයිතිකරුවා නො වන්නේ ද මෙම සංදර්භය තුළයි. දිගට ම යුද විරෝධීන් ව සිටි අපට නම් ඔහු වනාහි සුසමාදර්ශීය වෙනසක ප්‍රබල කාරකයෙක් පමණි. ඉතිහාසයේ ඔහුගේ භූමිකාව සලකුණු වී තිබේ. එය ආදරෙන් වැළඳ ගත යුතු හෝ වෛරයෙන් පිළිකෙව් කළ යුතු දෙයක් නො වේ. ඔහු කළේ ඔහුට ඉතිහාසය විසින් පවරන ලද වැඩ කොටසකි. ඔහු එය කළේ ය. එතැනින් එහාට දේ කිරීමට අසමත් වුණේ ය.

මහින්ද පසුපස යාම වෙනුවට ඉදිරිය ගැන සිතිය යුත්තේ එහෙයිනි. 

පහත වීඩියෝවේ ඇති සිද්ධිය වැනි දේ නැවත සිදු නො වන්නට නම් කළ යුතුව තිබෙන්නේ සාමය හා සංහිඳියාව ස්ථාපිත කිරීමයි. 

මිලිටරි මර්දනයෙන් හෝ ජාතිවාදයෙන් එය කළ නො හැකි ය. එය කළ හැක්කේ ජනතාව අතර අවබෝධයෙනි. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-11

මොන අලුත් පක්ෂ ද? සොරුන් සිටියේ ඔවුන්ට නියම තැනයි.

මහින්දගේ හොර පොල් නඩය පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් නටන්නේ ඔවුන්ගේ ම අර්බුදය නිසා ය. අලුතෙන් පක්ෂයක් හදනවා ය කියා කයිවාරු දෙඩුවත් හදන පක්ෂයක් ද නැත. 

මෙම පක්ෂයට එක් වන බව කියමින් මේ දිනවල පුවත්පත් සාකච්ඡා පවත්වන පළාත් පාලන මන්ත්‍රී නඩය ගෙන බලන්න. මොවුන්ගෙන් වැඩිදෙනෙක් පසුගිය වසර දහයක පමණ කාලයක් මෙම තනතුරු දැරූ අයයි. මූලික ලක්ෂණයක් වන්නේ ඔවුන් විසින් කරන ලද කිසිදු මහජන සේවාවක් නැතිකමයි. 

අනෙක් පැත්තෙන් මොවුන් පසුගිය කාලය පුරා ම කළේ කොන්ත්‍රාත් ආදියෙන් ගසා කෑම ය. 

මොවුන් වැඩි දෙනෙක් මීළඟ ඡන්දයේදී අනිවාර්යයෙන් ම පරාජය වේ. 

මහින්දව ගොනාට අන්දාගෙන ගොඩ යන පාරක් කපා ගන්නට ඔවුහු උත්සාහ දරති. මහින්ද වටා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස ද මහින්ද විකුණා පසුගිය ඡන්දය දිනා ගත්, මහින්දගෙන් ගොඩ යන්නට බලා සිටින අයයි. 

ඔවුන්ට අලුත් පක්ෂයක් පිහිටුවන්නට තිබෙන ලොකුම බාධාව අන් කිසිවක් නොව මහින්දගේ දෙගිඩියාවයි. 

මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල් හතරවරං චෞරයන්ට සිදු වී ඇත්තේ 'ගෙදර ගියොත් අඹු නසී - මග සිටියොත් තෝ නසී' පන්නයේ අලකලංචියකි. 

අලුත් පක්ෂයක් හැදුවත්, නැතත් ඔවුන්ට සිය හොරකම් නිසා හිරේ විලංගුවේ ලගින්නට සිදු වී තිබේ. 

ආණ්ඩුව මොවුන්ට කිසිදු බුරුලක් නො පෙන්විය යුතු ය. මන්ද, මේ අමනයන්ගෙන් කිසිදාක මෛත්‍රීට, රනිල්ට, සරත් ෆොන්සේකාට හා වෙනත් අයට බුරුලක් නො ලැබෙන බැවිනි. 

අනෙක් පැත්තෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූ ආකාරයට ඍජු විදේශ ආකර්ශනය වන බවක් පෙනෙන්නට නැත. ඉදිරියේදී අනිවාර්යයෙන් ම අලුත් ආර්ථික මූලෝපායන් කරා යන්නට සිදු වනු ඇත. ඒවා බොහෝ විට ජනප්‍රිය නැති ලුහුපෙවෙත් (austerity) ක්‍රියාමාර්ග වන්නට ඉඩ තිබේ. 

දූෂිත ජනතාවගේ, නිලධාරි පැළැන්තියේ හා දේශපාලකයන් දූෂණය වෙනුවෙන් බලමුළුගන්වා බලය ඩැහැගන්නට උත්සාහ කරන මෙවැනි සොර කල්ලියකට හිතුමතේ නටන්නට දී ඉදිරි ආර්ථික අර්බුදය තුළ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ආරක්ෂා කර ගන්නට බැරි වනු ඇත. 

එහෙයින්, සොරුන්ට හිමි තැන ඔවුන් සිටිය යුතු ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-10

පළවා හරින ලද ජනයාට ආපසු යාමට තිබෙන අයිතිය

කොටි සංවිධානය විසින් උතුරෙන් පළවා හරිනු ලැබූ, තවමත් සරණාගත කඳවුරුවල ජීවත් වන බව කියන මුස්ලිම් ජනතාව ඊයේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් හා උද්ඝෝෂණයක් කළ හ.

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හමු වී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නට ඔවුන් උත්සාහ කළ හ.

ඔවුන් ඉල්ලා සිටින්නේ ආපසු හැර දමා පැමිණි ගම් බිම්වල පදිංචි වී ජීවත් වන්නට අවස්ථාව ලබා දෙන ලෙසයි.  කොටි සංවිධානය සිය වාර්ගික ශුද්ධ කිරීමේ ප්‍ර‍තිපත්තිය මත 72,000ක් මුස්ලිම් වැසියන් උතුරු පළාතෙන් පළවා හරින ලදී. 

1983 කළු ජූලිය තුළ ද මෙවැනි ම වාර්ගික ශුද්ධ කිරීමක් සිදු විය. දිවයිනේ බොහෝ පළාත්වල ජීවත් වූ දෙමළ ජනයා පළවා හරින ලදී. 

යාපනය හා වෙනත් උතුරේ ප්‍රදේශවල ජීවත් වූ සිංහල පවුල් අවතැන් වීම ද මෙවැනි ම සංසිද්ධියකි. 

වාර්ගික ශුද්ධ කිරීම සමග අත්වැල් බැඳගෙන ගිය තවත් සංසිද්ධියක් වන්නේ ආක්‍ර‍මණකාරී පදිංචි කිරීම් ය. 1958 තරම් ඈත කාලයේදී පදවිය ජනපදයේ දෙමළ ජනයා පදිංචි කිරීම වළක්වන ලදී. වැලිඔය ජනපදය හමුදාව විසින් පිහිටුවන ලද මිලිටරි කොලනියකි. 

උතුරෙන් පළවා හරින ලද මුස්ලිම් ජනයාගේ දේපල කොටි සංවිධානයේ අනුදැනුම මත මංකොල්ල කනු ලැබුවේ ද මේ අන්දමට ම ය. 

අවතැන් වූ මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ද ගැටලු මතු වී තිබේ. 

ජාතිවාදය නිසා අවතැන් වන්නට සිදු වූ ජනයා ජාතිවාදීන් විසින් නැවත වටයකින් පාවිච්චි කරමින් සිටින බව පැහැදිලි ය. නිදසුනක් ලෙස, මේ වන විට නාවට්කුලි ප්‍රදේශයේ රජයේ ඉඩමක අනවසරයෙන් පදිංචි වී සිටින යාපනයෙන් පළවා හරින ලද සිංහල ජනයා පසුපස ජාතිවාදී බලවේග ක්‍රියාත්මක විය. කොටින් ම ඔවුන් අනවසරයෙන් පදිංචි වී සිටින ගමට සිංහලාරාමය යන ප්‍රකෝපකාරී නමක් පවා යොදාගෙන තිබේ. මේ ජාතිවාදීන්ට අවශ්‍ය වන්නේ උතුරෙන් පළවා හරින ලද සිංහල මිනිසුන් දෙමළ ජනයා සමග සහජීවනයෙන් ජීවත් වන පසුබිමක් නිර්මානය කරන්නට නො වේ. නැවත ජාතිවාදී ගැටුම් අවුළවා ගොඩනැගෙමින් ඇති සංහිඳියාව නැති කරන්නට ය. 

දෙමළ හා මුස්ලිම් ජාතිවාදී සංවිධාන ද කටයුතු කරන්නේ ඒ අන්දමින් ම ය. 

ජාතිවාදී ගැටුම් හේතුවෙන් දිගු කලක් පදිංචි වී සිටි ප්‍රදේශ හැර දමා එන්නට සිදු වූ ජනයාගේ ප්‍ර‍ශ්න සාධාරණ අන්දමින් විභාග කර විසඳුම් ලබා දිය යුතු ය. 

එහිදී සැලකිය යුතු කරුණු රැසක් තිබේ. ඔවුන්ට ස්ථිර දේපල තිබුණා ද, ඒවා විකිණුවා ද, විකිණුවේ සාධාරණ මිළකට ද, කුලී හෝ අනවසර පදිංචිකරුවන් නම් කෙතරම් කලක් පදිංචි වී සිටියා ද, අවතැන් වූ පසු ඔවුන්ට රජය විසින් ඉඩම් හා වෙනත් වන්දි ලබා දුන්නා ද, ඔවුන් නැවත පදිංචි කිරීම සාර්ථක වී තිබේ ද, ආපසු ඔවුන් සිටි ස්ථානවල පදිංචි වී සාර්ථක ලෙස ජීවිත ගොඩනගා ගැනීමට ඔවුන්ට තිබෙන ශක්‍යතාව කුමක් ද වැනි කාරණා නිසි අන්දමින් විභාග කර බැලිය යුතු ය. 

ජාතිවාදය නිසා පදිංචි ස්ථාන දමා එන්නට සිදු වීම කණගාටුදායක තත්වයක් බව සැබෑ ය. එහෙත්, වසර බොහෝ ගණනකට පසු ආපසු යාම ද සරළ කාර්යයක් නො වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-08

මහින්දලාට අලුත් පක්ෂය හදා ගන්න ඉඩ දෙන්න

මහින්දගේ පළාත් පාලන බලවේගයේ සංකේතයක් - උදේනි අතුකෝරල 
මහින්ද, ගෝඨාභය, බැසිල්, විමල්, උදය, දිනේෂ්, වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව, ඩලස්, බන්දුල ආදීන් එක්ව ශ්‍රීලනිපය කඩා අලුත් පක්ෂයක් පිහිටුවන්නට යන බවට මේ දිනවල ලොකු ටෝක් දෙමින් සිටිති.

මෙම පිරිස වෙන ම ගොනු වීම ඇත්තෙන් ම රටට කරන ලොකු සෙතකි. නම් වැල කියවූ පමණින් ම මොවුන් කවුරු ද යන්න පැහැදිලි ය. සරළව කිව්වොත්, මේ වනාහි පසුගිය අඳුරු දශකය තුළ මහජන මුදල් කාබාසිනියා කිරීමට නායකත්වය දුන් සොරමුල බව නො දන්නේ කවුරු ද? 

ඔවුන් පසුපසින් යන පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රී කැලත යනු ඔවුන්ගේ චෞර සහායකයෝ ය. නිදසුනක් ලෙස, කුමාර් වෙල්ගම පසුපසින් යන අයෙකු වන වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල යනු බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් අල්ලසක් ගන්නට යද්දී අතට ම හසු වූ නඩු පමා වීම නිසා ඇප පිට සිටින අයෙකි. මේ අය වනාහි ජනප්‍රිය පිරිසක් නො වේ. ඔවුන් ප්‍රසිද්ධ ය. වඩා නිවැරදිව කියනවා නම් කුප්‍රකට ය. එසේ ම සොරකම් කරන ලද මුදල් හා රාජ්‍ය බලය තුළ බලවත් ය. රාජ්‍ය බලය නැති වූ විට ඔවුන්ගේ දක්ෂකම් බලාගන්නට පුළුවන. 

මේ සියල්ලන්ට ම නඩු ඇත. ඒ නඩු සාධාරණව විභාග වුවහොත් මේ සියල්ලන් ම සිටිය යුත්තේ හිරේ ය. ඒ නිසා එය වළක්වා ගැනීමට වා නා වා පෝ නා පෝ ගේමක් දෙන්නට ඔවුන් පෙරට පැමිණ තිබේ. අප එය තේරුම් ගත යුතු ය. 

ඔවුන් අලුත් පක්ෂ හදන්නට යන මොහොත ද නල්ල මලේ එකකි. ඒ වනාහි ජාතික මට්ටමෙන් ලොකු බලපෑමක් කළ නො හැකි පළාත් පාලන ඡන්දය ඉදිරියේ ය. ඔවුන්ට කිව යුතුව ඇත්තේ ඔහොම යං කියා ය. 

ශ්‍රීලනිපය පැත්තෙන් ගත් කල මෙම පිරිස ඉවත් ව යාම පක්ෂයට දැවැන්ත ආශිර්වාදයක් කර ගත හැකි ය. පක්ෂය අත්පත් කරගෙන සිටින මේ බහිරවයන් පිරිස ඉවත් වී යාමත් සමග පක්ෂයට අලුත්, ප්‍රජාතන්ත්‍රවාදී, දක්ෂ හා පිරිසිදු දේශපාලන බලවේගයක් ආකර්ශනය කර ගැනීමේ අවස්ථාව විවෘත වේ. 

මෙවැනි අලුත් පක්ෂ ඡන්දයකදී දෙකකදී සෙල්ලම් දමනු ඇත. ඒ සඳහා පළාත් පාලන ඡන්දයක් හොඳට ම ඇති ය. අතීතයේදී ලලිත් ඇතුලත්මුදලි - ගාමිනී දිසානායක ඩබල විසින් බිහි කරන ලද තුන්වන බලවේගය හා මෑතදී සරත් ෆොන්සේකාට වූ දෙය අත්දැකීම් ලෙස ගත හැකි ය. ජවිපෙන් ලොකු ම කෑල්ලක් කැඩී ගියත් ජවිපෙට දිගු කාලීනව අභියෝග කිරීමට පෙසපට බැරි වීම තවත් උදාහරණයකි. 

මෛත්‍රීපාල ළඟ නො බලා දුර බැලිය යුතු ය. මොවුන්ට කඩාගෙන යනවා ය කියා පක්ෂය බ්ලැක්මේල් කිරීමට ඉඩ නො දිය යුතු ය. ඒ වෙනුවට කඩාගෙන පලයව් යි කියන්නට ආත්ම ශක්තිය ඔහුට තිබිය යුතු ය. තාවකාලික පසුබැස්මක් ඇති විය හැකි මුත්, අලුත් පිරිසක් සමග අලුත් ජවයකින් පටන් ගන්නට එය අවස්ථාවකි. 

අනෙක් පැත්තෙන්, මෙම බලවේගයේ ප්‍රචණ්ඩත්වයේ තරම වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමට ද වග බලා ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-02-07

හොර පොල් ගැහිල්ල හා තුන් මුල්ල පැනීම (ජන ක්‍රීඩා දෙකක්)

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සමග මේ සාකච්ඡා කරන්නේ කවුරු ද? 
මහින්දගේ හොර නඩය ඊයේ නාඩගම් කීපයක් රඟ දැක්වූ හ. නාට්‍යමය පුවත් නැතිව වේලෙන මාධ්‍යකරුවන්ට ඊයේ දිනය අමන්දානන්දයට හේතු වූ දිනයකි.

විමල් වීරවංශ රඟ පෑ එක්සත් ජාතීන්ට එරෙහි නාඩගම සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ සුළු දෙයකි. ඔහු හා ඔහුගේ අනුග්‍රාහකයා වූ මහින්ද රාජපක්ෂ ලංකාවේ ඒකාධිපතිකම් කළ සමයේ ඔවුන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ගන්නට තිබිණි. එසේම, ශ්‍රී ලංකාවටට ලෝකය සමග තිබුණු ආනයන අපනයන සම්බන්ධකම් නැති කර ස්වයංපෝෂිත ආර්ථිකයක් හදා ගන්නට තිබිණි.

අපට ඕනෑ රටකට අප යන එක ද, අපට ඕනෑ අයට පමණක් මේ රටට එන්නට ඉඩ දෙන එක ද කරන්නට තිබිණි. එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට ආවේ මහින්දගේ කාලේ ය.

එසේම, පිටරටවල් අපට අඩු පොළියට ණය විතරක් දෙන එක ද, එ් ණය අප කැමති ආකාරයට වියදම් කරන එක ද අත්හදා බලන්නට තිබිණි.

පිටරටවල් අපේ රටේ ආයෝජන කරන එක ද, අපේ රටේ කටයුතු ගැන අදහසක්වත් පළ නො කරන එක ද අත්හදා බලන්නට තිබිණි.

පිටරටවල් අපේ බඩු මිළ දී ගන්නා එක ද, ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන සමාජය ගැන කිසිවක් සොයා නො බලන එක ද අත්හදා බලන්නට තිබිණි.

පිටරටවලින් අපට සංචාරකයන් එවන එක ද, රටේ සිදු වන්නේ කුමක් ද යන්න සොයා නො බලා ඉඳීම ද අත්හදා බලන්නට තිබිණි.

අපේ වහල් ශ්‍රමිකයන් ලොව පුරා ඕනෑ ම රටකට වහල් සේවයට යවන එක ද, මේ රටට අප අකැමැති කිසිවෙකුට පය ගැසීමටවත් ඉඩ නො දෙන එක ද අත්හදා බලන්නට තිබිණි.

ආණ්ඩුවට අවශ්‍ය අන්දමින් මිනී මරන්නට හා සොරකම් කරන්නට ද, ඒ මිනී මරුවන් හා සොරුන් රණවිරුවන් ලෙස සලකා ඔවුන්ට මුක්තිය ලබා දීම නීතිගත කරන්නට ද ආණ්ඩුවට හැකියාව තිබිණි.

ආණ්ඩුව තමන් අත තිබුණු අඳුරු දශකය තුළ මහින්දටත්, විමල්ටත්, උදය ගම්මන්පිලටත්, ඔවුන්ගේ සොර නඩයටත් මේ සියල්ල කරන්නට තිබිණි.

ඉතින් ඒ කාලේ නො කළේ ඇයි?

සිනිගම නාඩගම ගැන නම් අමුතුවෙන් ලියන්නට අවශ්‍ය නැත. විහින් රෙද්ද කඩා ගත්තාට සීනිගම දෙයියන්ටවත් කරන්නට දෙයක් නැත.

ගහනවා ය කියූ පොල් ලක්ෂයෙන් දහයෙන් එකක්වත් ගසා ගන්නට බැරි විය. පොල් ගැහිල්ල ගැන ෆේස්බුක්හි පළ වූ සටහනක් මෙසේ ය:

යහපාලනේට විරුද්ධව පොල් ලක්ෂයක් ගසන බවට සතියකට උඩදී එකවරම බයි නායකතුමෙකුට කියවුනේ පෙර පුරුද්දටය. ඒ කාලේ ( අවුරුදු එකහමාරකට කලින් බං....) සීයේ දාහේ කතා තිබුනේ නැත. සේරම ලක්ෂයෙන් උඩ කතාය. මිලියන්ය. බිලියන්ය.
ඇත්තටම ඒ කාලයේ නම් පොල් දස ලක්ෂයක් වුව ගහන්නට දවස් දෙකෙන් ඕගනයිස් කරගත හැකිව තිබුණි. එක ෆැක්ස් එකකින් සියළු ජ.න.ව.ස.ම වතුවල පොල්,කලටි, කුරුවල් සියල්ල පසුදා පහන් වන විට නීත්‍යානුකූලව ලෙලි ගැසී සීනිගමය. පාන්දර 5 වන විට සී.ටී.බී බස් ඒවා ගසන්නට එන ඇම්බැට්ටයින්ගේ ගේ දොරකඩය. උන්ට දෙන බත් පාර්සලය සහ අරක්කු කාල උදේ 8 වන විට රෙඩිය. කලින්දා හවස ඉඳන් කපුටන්ගේ පවා ඇට මිරිකමින් පී.එස්.ඩී ය දේවාලේ ගාඩ් පිටය. පළමු පොලේ ගසන්නට එන අප්පච්චිට වඩාගන්න බබෙක් හමාරක්ද රෙඩිය. සියළු ටී.වී චැනල් පාන්දර හතරේ සිට සීනිගමය. ගාළු පාරේ අඩි 50 න් 50 ට පොලිස් ගාඩ්ය. සියළු ලයිට් කණූවල කටවුට්ය. බැනර්ය.
ලක්ෂයේ කතාව කියවුනේ ඒ පුරුද්දටය. ඒත් අන්තිමට ඉන් 100 න් 1 ක් වත් ගසා නැත. ඒ මදිවට හොරපොල් කැඩුවා කියා නරක නාමයක්ද, නඩේ ගුරාගේ පොකැට් එක දේවාලේදීම විද්ද බවට හද්ද කුජීත නිවුස් එකක්ද ලැබී ඇත. මට නම් පට්ට සතුටුය.
රිසිසේ මහජන දේපළ උලා කෑ කාලයේ තොපි එකෙකුටවත් දෙවියන් බුදුන් හිටියේ නැත. තොපි ඇදහුවේ සාටකයකි. තොපිට දෙවියන් මතක් වෙන්නේ කෙළවෙනකොටය.
ලොකුම දුක තොපිට හොඳම එකෙන් කෙළවන්නට කොන්ද පණ ඇති ආණ්ඩුවක් නැති එකය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.