2016-05-31

බිම් මට්ටමට විහිදෙන ආණ්ඩුකරණයක් ඇති කරන්නේ කෙසේ ද?

Reuters Photo
බිම් මට්ටම දක්වා විහිදෙන ආණ්ඩුකරණයක් නිසි පරිදි ක්‍රියාත්මක නො වන බව පෙන්වා දුන් අවස්ථාවක් වන්නේ පසුගිය ගංවතුර ආපදා තත්වයයි. ආපදා මුල් අවස්ථාවේදී ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරිත්වයන් අවම මට්ටමක තිබිණි. බොහෝ සහන මෙහෙයුම්වලට මුල පිරුවේ ස්වේච්ඡා කණ්ඩායම් විසිනි. මෙහිදී සමාජ ජාල වෙබ් අඩවි ජනතාව බලමුළුගැන්වීම සඳහා පුළුල් අන්දමින් උපයෝගී කර ගන්නා ආකාරය දක්නට ලැබිණි.

රජය පිළිබඳ සාමාන්‍යයෙන් නැගෙන චෝදනාව සම්බන්ධ වන්නේ අකාර්යක්ෂමතාව සමගයි. එය වනාහි දීර්ඝ ඉතිහාසයක් සහිත තත්වයකි. එයට පිළියම් යෙදීම ද එවැනි ම දීර්ඝකාලීන ක්‍රියාවලියකි. එහෙත්, ඒ වෙනුවෙන් තීරණාත්මක මුලපිරීම් අවශ්‍ය වී තිබේ.

වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය පාලනය හා ආණ්ඩුකරණය පැත්තෙන් පැහැදිලි වෙනස්කම් සිදු වෙමින් තිබේ. රජය තුළ ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරය ශක්තිමත් කරනවා වෙනුවට ආයතන ශක්තිමත් කරමින් තිබේ. සරළව කියනවා නම් දේශපාලන ඇඟිලි ගැසීම් වෙනත් යුගවලට සාපේක්ෂව බොහෝ දුරට අඩු ය. එහෙත්, ලංකාවේ රාජ්‍ය ව්‍යූහය පිරිහී තිබෙන තරමේ මට්ටම අනුව එය ගොඩ ගැනීම පහසු නැත. රජයේ සේවයේ පුරුද්ද වී තිබෙන්නේ ම දේශපාලන බලාධිකාරය අතින් නැටවීම මිස ස්වාධීනව කටයුතු කිරීම නො වේ.

වර්තමානයේදී අර්බුදය හොඳින් ම දකින්නට ලැබෙන්නේ පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය තුළයි. සාමාන්‍ය මිනිසුන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට නො පැකිළෙන මෙම ආයතන දූෂිත දේශපාලකයන් ඉදිරියේ ක්‍රියාත්මක වන්නේ ඉතා මන්දගාමීව ය.

තවත් ඇතැම් නිලධාරීහු ස්වාධීනව කටයුතු කරන්නට දී තිබෙන අවස්ථාව පැත්තක තබමින් දේශපාලන අධිකාරියේ අවසරය පසුපස යති. එසේම, තීරණ නො ගෙන කල් මරති. විවිධ හේතු දක්වමින් ක්‍රියාවලි පමා කරති.

මේ පිළිබඳව අපගේ සමාජ ජාල පාඨකයකු විසින් දක්වන ලද අදහස මෙසේ ය:

“රාජ්‍ය ආයතන කාටවත් වග කියන්නැති තත්වයක් තියෙන්නේ. ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ට ඕනෑනම් පමණයි. එක රාජ්‍ය ආයතනයක ප්‍රමාදයක් නිසා තවත් රාජ්‍ය ආයතනයකින් කරගතයුතු වැඩක් ගැන ජනතාව පැමිණිලි කළොත් එම ආයතනය කරන්නේ අර දෙවැනි ආයතනයට සිහිකැඳවීමක් යැවීමයි. මෙවැනි සිහිකැඳවීම් හරියට බීරි අලියට වීණා ගායනා කරනවා වගේ. මෙයට උදාහරන විදියට අධිකරණ, රජයේ රසපරීක්‍ෂක, නීතිපති වැනි දෙපාර්තමේන්තු දැක්විය හැකියි."

අප සිතන අන්දමින් මෙම ලැයිස්තුව තවත් බොහෝ දිග ය. අප වෙත කරුණු දැක්වූ බස්නාහිර පළාතේ එක් පාසල් ගුරුවරියක පැවසුවේ ඇගේ මාසික වැටුප කිසිදු පැහැදිලි හේතුවක් නො දක්වමින් මාස හතරක් තිස්සේ අත්හිටුවා ඇති බවයි. මේ පිළිබඳව පැමිණිලි කිරීමට ඇය පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවා හමු වී තිබේ. ඇගේ ඉදිරියේ ම පළාත් ලේකම්වරයා අදාළ කලාප අධ්‍යක්ෂවරියට දුරකථනයෙන් අමතා වැටුප් ගෙවන ලෙස දැන්වුවත් එම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සිය වැටුප නො ගෙවූ බවයි. රජයේ සේවයේ තිබෙන මෙම කණගාටුදායක තත්වය ආණ්ඩුව හරි හැටි වටහාගෙන තිබේ ද යන්න අපැහැදිලි ය.

මේ අවස්ථාවෙදි ලංකාවේ ජනතාව අත්දකිමින් සිටින කටුක යථාර්ථය වන්නේ දේශපාලකයන්ට වඩා රජයේ නිලධාරීන් කොයි තරම් නරක ද යන්නයි.

මේ රජයේ නිලධාරීන් පවා කියන කරුණකක් වන්නේ 'මහින්දගේ කාලෙ ඔහොම නැහැ' යන්න ය. එයින් අදහස් වන්නේ 'ඒ කාලෙ නම් අපි දේශපාලකයන්ට බයේ වැඩ කළා' ය කියන එකයි. දැන් හිමි වී තිබෙන සාපේක්ෂ ස්වාධීනත්වය තුළ සිදු වී තිබෙන්නේ වැඩ නො කෙරෙන තැනට කටයුතු යෙදීමයි.

මේ පිළිබඳ තවත් පාඨකයකු සමාජ ජාල හරහා දැක්වූ අදහසක් මෙසේයි: "රජයේ ආයතනවල වැඩ ගැන පසුවිපරමක් වෙන බවක් පෙනෙන්නට නෑ. යම් කිසි කාරණාවක් සම්භන්ධව පසු විපරම මහජනයාගේම පෙළඹවීම මත පමණියි සිදුවන්නේ. අදාල නිලධාරීන්ට තමාගේ වගකීම තේරුම්ගන්න බැරිනම්, ආයතනික මට්ටමෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම හෝ නිදහසට කරුණු විමසීමක් සිදු වෙනවා ඉතාම අල්පයි. එසේ වෙනවා නම් වන්නේ දේශාපාලන හයියක් ඇත්තවුන්ගේ බල පෑමක් මත පමණයි."

මෙහි ඇති ගැටුම වන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය අතර තුලනයක් නැතිකමයි. පහළ මට්ටමේදී රජය ශක්තිමත් වන අතර ආණ්ඩුකරණය දුර්වල ය. ආණ්ඩුකරණය පහළට විහිදෙන නිල මාර්ග වන්නේ පළාත් සභා හා පළාත් පාලන ආයතනයි. මේ වන විට පළාත් සභා හතක පාලනය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍ර‍මුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අත ය. ශ්‍රීලනිපය තුළ ඇති පාර්ශ්ව අතර ගැටුම පළාත් සභා තුළින් ද ප්‍ර‍කාශයට පත් වේ.

පළාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණ කල් දමා තිබේ. තිබුණු පළාත් පාලන ආයතන ව්‍යූහය අසාර්ථක බව ඇත්තකි. එය වෙනස් කිරීමේ අවශ්‍යතාව කලක සිට සෑම අංශයකින් ම මතු කරමින් තිබේ.

ඒකමතිකව සංශෝධනය කරන ලද 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත හා 2012 අංක 22 දරන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත 2013 ජනවාරි 01 දින රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කර තිබේ. කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වූ නව මැතිවරණ ක්‍රමය මඟින් පළාත් පාලන බල ප්‍රදේශය කොට්ඨාසවලට බෙදා තිබේ. ඒ ඒ කොට්ඨාස නියෝජනය කිරීම සඳහා තම නියෝජිතයා ලෙස පත්කර යැවීමේ හැකියාව ජනතාව වෙත ලබා දී ඇත. පළාත් පාලන ආයතන නියෝජනයෙන් 25%ක් කාන්තාවන්ට වෙන් කිරීමට ආණ්ඩුව නීති සම්පාදනය කර තිබේ.

පළාත් පාලන මැතිවරණය නුදුරු අනාගතයේදී පවත්වන බවක් ප්‍ර‍කාශයට පත් කර තිබියදීත්, ආපදා අවස්ථාවකදීවත්, පහළ මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිත්වයක් දක්නට නො ලැබීම ද විමසා බැලිය යුතු තත්වයකි. මෙයට හේතුව ලෙස අප නම් දකින්නේ දේශපාලන පක්ෂ සංවිධාන යාන්ත්‍ර‍ණයන්ගේ දුර්වලකමයි.

2016-05-29 සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපියකි

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-29

Putting Nakkale to Maithri's English හෙවත් මෛත්‍රීගේ ඉංගිරිසියට නක්කලේ දැමීම

මහින්දලාගේ, විමල්ලාගේ, ගම්මන්පිලලාගේ ආසාව 
මෛත්‍රීට ජී 7 රාජ්‍ය නායක සමුළුවට ආරාධනා ලැබීම හා එහිදී ලෝක නායකයන් ඇසුරු කරන්නට ලැබීම ගැන ඒවාට ආසා කරන හාදයන් තුළ මාර ඉරිසියාවක් ඇති වී තිබේ. 

වෙනදා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතා කරන බටහිර විරෝධී දේශප්‍රේමියෝ මේ දවස්වල කතා කරන්නේ මෛත්‍රීගේ කඩ්ඩ ගැන ය. 

මෛත්‍රීට සිරාවට කඩ්ඩ බැරි බව සැබෑ ය. මෛත්‍රීට වඩා ලොකු රාජ්‍ය නායකයෝ ගොඩකට කඩ්ඩ බෑ ය. ඒක ලොකු ප්‍රශ්නයක් නො වේ. හොඳ භාෂණ පරිවර්තකයකු සේවයේ යොදවා ගන්නට පුළුවන.

මහින්ද දෙමළෙන් කතා පවා පැවැත්වූයේ ය. ඒ ටෙලිප්‍රොම්ප්ටරය උපයෝගී කරගෙන ය. 

කඩ්ඩ හෙවත් ඉංගිරිසි භාෂාව පිළිබඳ සමාජවාදී ස්ථාවරය කුමක් විය යුතු ද යන්න විමසීම මෙම ලිපියේ අරමුණයි. 

ලංකාවේ සමාජ ස්ථර අතර කොළඹ කේන්ද්‍රීය එක්තරා පිරිසකගේ භාෂාමය ආදර්ශ පාඨය වී තිබෙන්නේ ‘My Sinhala is not good' කියන එක ය. මෙය ඇත්තට ම එක්තරා රැකියා කට්ටලයක් සඳහා සුදුසුකමකි. මේ සුදුසුකම නිසා ඇත්තට ම ඒ රැකියා පමණක් නොව එම ආයතන ද අසාර්ථක වී තිබේ. ජාත්‍යන්තර රාජ්‍ය නො වන සංවිධාන උදාහරණයකි.

මෙම සමාජ ස්ථරය සමීපව ඇසුරු කරන විට දැකිය හැකි කරුණක් වන්නේ වෙනත් දේට වඩා ඉංග්‍රීසි භාෂාව ගැන අධි සංවේදීබවකින් යුක්ත වුව ද ඔවුන් තුළ ද සෑහෙන දුරට දේශීය ඉංග්‍රීසි ඌරුවේ අභාසය ඇති බවයි. 

ඉංග්‍රීසි ඇදහිල්ල නිසා මෙම සමාජ ස්ථරයට තව බොහෝ සංවාද මගහැරී තිබේ. ඔය සීඑන්එන් වගේ රූපවාහිනී චැනලවල විවිධ රටවල සිට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අය ද ඔය ලංකාවේ කඩුකාර සමාජය වගේ ය. ඒ අය ද ඒ රටවලදී පෙනී සිටින්නේ ලංකාවේ මේ මා කියන කට්ටිය වගේ ය. ඒ වුණාට ලංකාවේ තරම් කඩු පිස්සුවක් ලෝකයේ වෙන කොහේවත් තිබේදැයි සැක සහිත ය.

කඩුකාර සමාජය ගැන මා මේ කියන කාරණය හොඳින් ම නිරූපණය වන ක්ෂේත්‍රය ඉංග්‍රීසි සාහිත්‍යයයි. ලංකාවේ සිංහල කවිය හා නවකතාව වස්තු විෂය, ආකෘතිය, ශෛලීන් හා භාෂාව අතින් තිබෙන තැනට වඩා ලාංකීය ඉංග්‍රීසි සාහිත්‍යය ඇත්තේ ගව් ගානක් පසුපසිනි. ජාත්‍යන්තර සාහිත්‍යයට තබා දකුණු ආසියානු මට්ටමටවත් කිට්ටු වෙන්නට පුළුවන් ඉංග්‍රීසි ලේඛකයෝ ලංකාවේ ඉන්නවා ද යන්න සැක ය. එහෙත්, ඒක කියන්නට ලංකාවේ පඬිවරු බය ය. 

ලංකාවේ ජනතාවගෙන් 5%ක්වත් ඉංග්‍රීසියෙන් කතාවක් පවත්වන්නට දන්නේ නැත. එහෙත්, ඉංග්‍රීසිය යන්තමින් ගොඩ දාගන්නට ලංකාවේ බොහෝ සාමාන්‍ය උගත් ජනයාට පුළුවන. විශේෂයෙන් ම සරළ දෙයක් කියවා තේරුම් ගැනීමේ හැකියාව ඔවුන්ට තිබේ. එහෙත්, බොහෝ දෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරන්නට බියක් දක්වති. 

එයට හේතුව අර මං කියන කඩුකාර සමාජය හා ඒ සමාජය වන්දනා කරන ඊට පහළින් සිටින උගත් ස්ථරය ඉංග්‍රීසියෙන් කතා කරන අයගේ උච්චාරණය ගැන හා ව්‍යාකරණ දෝෂ ගැන නිති අවධානයෙන් සිටිමින් ඊනියා සානුකම්පිතභාවයකින් වැරදි නිවැරදි කිරීමට හෝ සමච්චලයට ලක් කිරීමට කටයුතු කරන එක ය.  

ලංකාවේ සාමාන්‍ය උගත්තු ඉංග්‍රීසියෙන් ලියන්නට නම් දක්වන්නේ පුදුමාකාර භීතියකි. එයට හේතුව, අර මා කී කඩුකාර සමාජය තමන්ගේ සමාජයෙන් බාහිර ඉංග්‍රීසියෙන් ලියන අයකු දුටු තැන මරා දමන්නට පවා සූදානම් නිසා ය. 

ලංකාවේ කඩුකාර සමාජය ද කොටස් දෙකකට බෙදිය හැකි ය. ඉන් එක් කොටසක් ලංකාවේ උගත් කඩුකාරයන් වන අතර ඔවුන් කතා කරන්නේත් ලියන්නේත් යල් පැන ගිය, යටත් විජිතවාදී, ආකයික් ඉංගිරිසියකි. මේ පිරිස හොඳින් හඳුනා ගැනීමට සන්ඩේ ඔබ්සර්වර් කතුවැකි කියවන්න. 

මෙවැනි ඉංග්‍රීසිකාරයන් නිසා සිදු වන එක් දෙයක් වන්නේ පොදු ජනතාව තව තවත් ඉංග්‍රීසියෙන් ඈත් වීමයි. මේ වන විට ඉංග්‍රීසි පුවත්පත් පවත්වාගෙන යනු ලබන්නේ තනිකර ම ව්‍යාපාරිකයන්ගේ අභිමානය වෙනුවෙනි. ලොකුකම වෙනුවෙන් පුවත්පත් හිමිකරුවන් ඉංගිරිසි පත්තර ගහන අතර, ව්‍යාපාරිකයන් ඒවායේ දැන්වීම් පළ කරන්නේ ද ලොකුකම නිසා ය. මේ දෙක ම අසාර්ථක වැඩ වේ. ඉංග්‍රීසි පුවත්පත්වල අලෙවි දත්ත සඟවා තබා ගැනීම මෙම ජාවාරමෙහි ප්‍රධාන අංගයකි. ඇත්තම කියනවා නම් ලංකාවට එක ඉංගිරිසි පුවත්පතකට වඩා අවශ්‍ය නැත. තරගකාරිත්වය වෙනුවෙන් දෙවැන්නක් තිබුණාට කමක් නැත.

ඉංග්‍රීසි රේඩියෝ හා රූපවාහිනී ද අන්තර්ගතයට වඩා සැලකිලිමත් වන්නේ උච්චාරණය සම්බන්ධයෙන් ය. 

කඩුකාර සමාජයේ අලුත් පිරිස වන්නේ ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල හා ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල අධ්‍යාපනය ලබා ව්‍යවහාර ඉංගිරිසිය හොඳින් දැනගෙන මෙරටට පැමිණ සිටින පිරිසයි. යමු වෙබ් අඩවිය මේ අයගේ ඉංගිරිසිය හඳුනාගත හැකි ස්ථානයකි. ඔවුන් අර කලින් කී තරම් භාෂා පිස්සෝ නො වෙති. එසේම, ඔවුන්ට එහෙමට ලාංකික හදවතක් ද නැත. එහෙම එකක් නැති ය කියා ඔවුන්ට අවුලකුත් නැත. 

ලංකාවේ දේශපාලකයන් අතර මහ ලොකු කඩුකාරයන් නැත. රනිල් වික්‍රමසිංහට කඩු හීනමානයක් ඇති බව පෙන්නා නැත. කඩුකාර ප්‍රජාවෙන් දේශපාලනයට පැමිණි රජීව් විජේසිංහ, දයාන් ජයතිලක වැනි අය පට්ට අසාර්ථක චරිත වේ. කඩුකාර සමාජයට දැන් දේශපාලකයන් හිඟ ය. ඒ නිසා හර්ෂට, එරාන්ට පමණක් නොව අයන්න හුයන්න කියන හරින්ට, ඡන්දෙන් පැරදුණු රෝසිට, වික්‍රමසිංහ භාර්යාවට පවා අධික ඉල්ලුමක් තිබේ.  

ලංකාවේ දේශපාලන සමාජයේ ඉන්නේ ඉංග්‍රීසි ගොඩදාගන්නට බැරිකමක් නැති, එහෙත් කඩුකාර සමාජයේ අවඥාවට ඇති බිය නිසා ඇඹරෙන, වෙනත් බොහෝ අංශවලින් කඩුකාර සමාජයට වඩා දක්ෂ, ඔය විමල් වීරවංශ, අනුර කුමාර දිසානායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වැනි අයයි. මේ අය නිදන්ගත කඩු හීනමානයෙන් පෙළෙති. එහෙයින් ම ඔවුහු ඉංග්‍රීසි පරිහරණයට බිය වෙති. ඒ ගමන් ම අනෙක් අයට කඩුව වරදින විට තමන්ගේ ගොලබාලයන් දමා කෝචොක් කරති. 

මේ දවස්වල මෛත්‍රීට නක්කලේ දාන්නේ මේ ගොබ්බයෝ ය. 

අපි මේ අවසන් වාක්‍යයෙන් ලංකාවේ ඇති ඉංග්‍රීසි ලෙඩ හඳුනා ගන්නට උත්සාහ කරමු.

මෙය මා පරිවර්තනය කරන්නෙ මෙසේ ය. මා වැනි අය කරන්නේ සිංහලෙන් සිතා ඉංග්‍රීසියට පරිවර්තනය කර ලියන එක ය. අපි ගෙවල්වල ඉංග්‍රීසි කතා කරන අය නො වෙමු.
Those are the snobs who laugh at Maithri's English these days. 

මේක අර රටතොට විස්තර හාදයා ලියන්නේ මෙසේ ය. මේ වනාහි අපේ අර නිදන්ගත ඉංග්‍රීසි හීනමානකාරයන් ලිව්වොත් ලියන විදියයි. ඒත්, උන් බය නිසා ලියන්නේ නැත.
These days, these idiots joke to Maithri. 

මේක ම අර ආකයික් කඩුකාරයකු ලිව්වොත් ලියන්නේ මෙසේ ය.
These parvenus are tongue in cheek in perpetuum whenever Maithri verbalizes the lingua franca of the perfidious Albion. 

දැන් මේක කියවලා මාත් මාරෙට කඩ්ඩ දන්නවා කියලා හිතන්න එපා. මෙතන තියෙන්නෙ සුට්ටි ටිරිකිස් එකක්. අපි සාමාන්‍යයෙන් ලියන විදියට ම ලියලා මෙන්න මේ සයිට් එකට ගිහින් ඒකෙන් කාටවත් නො තේරෙන වචන ටිකක් අරගෙන මෙතන ඇදල දාන එකයි තියෙන්නෙ. ටික කාලයක් මෙහෙම ලියනකොට මාර පොරක් වෙන්න පුළුවන් ලංකාවෙ. ඇයි කාටවත් තේරෙන්නෙ නැහැනේ.  

අර අලුත් කඩුකාර සෙට් එක ඕක ලිව්වොත් කොහොම ලියාවිද කියන එක මට තේරෙන්නේ නැත. 

ඉතින් මේ ලිපියෙන් අපි ගැන මොකුත් කියලා නැත්තේ මොකද කියලා වමේ සෙට් එක කලබල වේවි. නෑ, හදවතින් අප යුද බිමේ ඔබ තනි කරේ නැත කිසි දිනේ. ඕගොල්ලන්ගෙ වම ඉංගිරිසි ගාවදි කුජීත යටත් විජිතවාදීයි. ඕගොල්ලන්ගෙත් ආසාව ඔන්න ඔය ආකයික් ඉංග්ලිෂ් තමයි. ලියාගන්න බැරි නිසා පව්. එක්කෙනෙක් මේ දවස්වල මගේ බ්ලොග් එකේ වැඩ දානවා. තව ටිකකින් එයි. එයා කලින් ලිපියේ සිය සළු උනා යටත් විජිතවාදී සුළු ධනේශ්වර මානසිකත්වය ඉතා හොඳින් නිරූපණය කර තිබෙනවා. ගිහින් බලන්න. 

ඉංගිරිසිය සම්බන්ධයෙන් සමාජවාදී ස්ථාවරය මොකක්ද හැබෑට? මං හිතන්නේ අපි කාටත් තේරෙන සරළ, සුගම, ප්‍රකාශනශීලී, නිදහස්, ජාත්‍යන්තර ඉංගිරිසික් ගොඩනගා ගත යුතුයි. ඒ කියන්නේ ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ස්වදේශික ධනපති පංතික සංස්කෘතික ආධිපත්‍යයන්ගෙන් යටපත් නො වන ඉංග්‍රීසියක් ගොඩනගා ගත යුතුයි. සමාජවාදී ඉංගිරිසියක් වෙනුවෙන් කරන අරගලය ඇතුළෙ පශ්චාත් යටත් විජිත මානසිකත්වයන්ට එරෙහිව දැවැන්ත අරගලයක් තිබෙනවා. 

අප විසින් ජනරළ පුවත්පතට ලියන ලද සුන්දර ඉංගිරිසි ලිපි පෙළ මෙතැනින් කියවන්න. එය අපේ ඉංගිරිසියක් වෙනුවෙන් අප කරන අරගලයේ කොටසකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-28

මඩවල මදීනා සිට කුරුඳුවත්ත රාජකීය දක්වා ගෝත්‍රවාදී, ආගම්වාදී, ජාතිවාදී, ලිංගික, යටත් විජිතවාදී පාසල් වෙනස් කළ යුතු ය

මඩවල මදීනා මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් අභිවෘද්ධි සංගමය නම් නිල නො වන සංවිධානයක් විසින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යවා තිබෙන අත්සනක් නැති ලියුමක් හා එහි සිංහල ගුරුවරුන්ට එල්ල කළ බව කියන කුණු බිත්තර ප්‍රහාරයක් ය කියන වීඩියෝවක් මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබේ.

මුස්ලිම් පාසලක පාසල් සංවර්ධන සමිතිය සිය පාසලට මුස්ලිම් ගුරුවරු පමණක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම තුළ ඉන් එහාට ගිය කාරණයක් ද ඇත. ඔවුන් මඩවල මුස්ලිම් අය වෙනුවෙන් වැඩි අවස්ථාවක් ඉල්ලා තිබේ.

ඒ අතින් බැලූ කල එය ජාතිවාදී, ආගම්වාදී පමණක් නොව ප්‍රාදේශීයවාදී ඉල්ලීමකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට පටහැණි ය. එමගින් කියවෙන්නේ කිිසිදු පුද්ගලයකු වර්ගය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි වෙනත් හේතූන් මත වෙනස් කොට නොසැලකිය යුතු බවයි.

ගම්පොළ සහිරා විදුහලේ ද මේ හා සමාන ප්‍රශ්නයක් තිබේ.

මෙවැනි දේ සිංහල බෞද්ධ ආධිපත්‍යය සහිත පාසල්වල ද සිදු වේ. මා අවසන් වරට සේවය කළ කතෝලික කමක් ඇති සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් යුත් පාසලේ විදුහල්පතිනිය පාප්තුමා පැමිණි දිනයේ රටේ ම පාසල්වලට නිවාඩු දී තිබියදී නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරගය පැවැත්වූවා ය. ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ මව්පියන් වෙනුවෙන් ලංකා ගුරු සංගමය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ මුත්, අවසානයේදී අධ්‍යාපන බලධාරීන් තීරණය කළේ එය වරදක් නො වන බවයි. කතෝලික සිසුන්ට පාප්තුමාගේ දේවමෙහෙයට සහභාගි වීම සඳහා එදින නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළේ ද එකී නිලධාරීන් ම විසිනි. පැමිණිල්ල කළේ ලංකා ගුරු සංගමය නිසා අවසානයේදී සිදු වුණේ එහි ප්‍රාදේශීය නායකයා වූ මා පළි ගැනීමට ලක් වීමයි. කතෝලික ගුරු සංගමයේ නියෝජිතවරිය ද තමන්ට එයින් ප්‍රශ්නයක් ඇති නො වූ බවට සාක්කි දුන්නා ය.

මඩවල මදීනා විදුහල සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් නිර්මාල් රංජිත් දේවසිරි තබා ඇති සටහනක ගතානුගතික වාමාංශික ආකල්පය කැටි කර දක්වා තිබේ.

මඩවල මදීනා මධ්‍ය මහා විද්‍යාලයේ පාසැල් සංවර්ධන සමිතිය කලායැයි කියන ඉල්ලීමක් හා නැගෙනහිර මහ ඇමති පිළිබද සිද්ධිය නිසා මුස්ලිම් අන්තවාදය පිළිබද තේමාව නැවතත් කරළියට පැමිණ ඇත. මේ පිළිබදව කල්පනා කරන විට මගේ දේශපාලන ජීවිතය තීරණාත්මක ලෙස වෙනස් කළ අවස්ථාවක් මට සිහිවේ. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකුව සිටි දයා පතිරණ මට මුලින්ම හමුවූ අවස්ථාවයි. ඔහු තමාට සුපුරුදු පරිදි "උතුරේ ප්‍රශ්නය" ගැන මා කුමක් සිතන්නේදැයි විමසීය. මා කියූ දේහී හරය වූයේ උතුරේ ඇත්තේ දෙමළ "ජාතිවාදී" ව්‍යාපාරයක් බවයි. එවිට ඔහු පීඩිත ජාතියේ "ජාතිවාදය" හා පීඩක ජාතියේ "ජාතිවාදය" එක හා සමානව නොසලකන ලෙස මට පැවැසීය. මේ ප්‍රකාශය දේශපාලන වශයෙන් තරමක රළු සහ පැතලි එකක් ලෙස වර්තමානයේ පෙනී යන්නේ වුවත් ඒ හරහා මා ඉහත දක්වා ඇති අවස්ථා දෙක පිළීබදව අදහසක් ප්‍රකාශ කිරීමට පුළුවන.

එනම් කිසියම් සමාජ-දේශපාලන සැකැස්මක ආධිපත්‍යය හොබවන අනන්‍යාතා කණ්ඩායම තුළ ස්වොත්තමවාදී (Chauvinist) ප්‍රවණතා ශක්තිමත් වීමට සමාන්තරව අධිපති ව්‍යුහයන්ගෙන් බැහැර කෙරෙන අනන්‍යතා කණ්ඩායම් තුළ වැඩි වැඩියෙන් එවැනි ප්‍රවණතා ශක්තිමත් වීමේ නැඹුරුව ඇති වීමයි. මෙය විශම චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ. විශේෂයෙන් නැගෙනහිර මහ ඇමති පිළිබද සිද්ධිය සිංහල-බෞද්ධ දේශපාලනය මගින් වාර්ගීකකරණය කර ඇති මට්ටම දෙස බැලූ විට නැගෙනහිර මහ ඇමතිගේ ක්‍රියාව අනුමත නොකරන මුස්ලිම් පිරිස් පවා සිංහල-බෞද්ධ ප්‍රතිචාරය දෙස සැක මුසුව සහ එය හුදෙක් නැගෙනහිර මහ ඇමතිට එරෙහි ව්‍යාපාරයක් පමණක් නොව තමන්ට එරෙහි ව්‍යාපාරයක් ලෙස සංජානනය කිරීමේ නැඹුරුවක් ඇති වීම නොවැලැක්විය හැකිය. මක්නිසාද යත් මීට සමාන්තර ක්‍රියා සිංහල දේශපාලකයින් විසින් සිදුකරනු ලබන විට ඊට එරෙහිව මේ ආකාරයේ ප්‍රතික්‍රියා නොපැමි‍‍ෙණන බැවිණි.

මෙම ස්ථාවරය සම්බන්ධයෙන් මට නම් කියන්නට තිබෙන්නේ ඉතිහාසය තුළ මෙය ජාතිවාදයට එරෙහිව සටන් කිරීමේ අභියෝගය මගහැර යන්නට කැමති අයට ආරක්ෂිතව නිකම් සිටීම සඳහා පාවිච්චි වී තිබෙන මූලධාර්මික ස්ථාවරයක් පමණක් බවයි. එයින් අවසානයේදී සිදු වන්නේ සුළුතර මෙන් ම බහුතර ජාතිවාදයන් ද ශක්තිමත් වීමයි. වාමාංශිකයන් කළ යුතුව ඇත්තේ පුරුෂෝත්තමවාදය ද ඇතුළුව සියලු ස්වෝත්තමවාදයන්ට එරෙහිව අනම්‍ය ලෙස සටන් කිරීමයි. සමාජ අනන්‍යතාවන් පුළුල් වෙමින් යල්පැනගිය දේශපාලන ප්‍රජාවන් අහෝසි වී යන්නේ ඒ ඔස්සේ ය. 

ජාතිවාදය, ආගම්වාදය හමුවේ පරාජය වුවත්, ලංකා ගුරු සංගමය ඉහත උදාහරණයේදී කළ අරගලය මීට වඩා ප්‍රායෝගික ය. යථාර්ථවාදී ය. එය පරාජය වූයේ ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූවන් නියෝජනය කළ යුතු කතෝලික ගුරු සංගමය එය පාවා දීම නිසා ය. එසේ කර ගැනීම ඔවුන්ගේ ප්‍රශ්නයකි. මම නම් සිතන්නේ කතෝලික නමින් ගුරු සංගමයක් පිහිටුවා ගැනීම පවා වැරදි ය කියා ය. 

වාමාංශිකයන් අරගල කළ යුත්තේ සුළුතර ජාතිවාදය සාධාරණීකරණය කරන්නට නො වේ. සුළුතර වුවත්, බහුතර වුවත්, ජාතිවාදය නම් ජාතිවාදය ම තමා ය. ජාති, කුල, ආගම්, පාසල්, ගම් ආදී සියලු ස්වෝත්තමවාදයන් එක මිටින් ගෙන බැහැර කළ යුතු ය. 

ලංකාවේ ඇතැම් පාසල්වල තවමත් කුල ආධිපත්‍යයන් තිබේ. යම් යම් කුලවල අය හැර වෙනත් අයට ඒවායේ විදුහල්පතිකම් දැරිය නො හැකි ය. 

ජාති, ආගම්, ස්ත්‍රී පුරුෂ පදනම්වලින් පිහිටුවා ඇති පාසල්වලට එරෙහි විය යුතු ය. සියලු ආගමික හා ජාතික අනන්‍යතාවන් පාසල්වලින් ඉවත් කළ යුතු ය. බෞද්ධ පාසල්, කතෝලික පාසල්, හින්දු පාසල්, මුස්ලිම් පාසල්, බාලිකා පාසල්, පිරිමි පාසල් පමණක් නොව රාජකීය වැනි රදළ, පසුගාමී නම් ද අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළ යුතු ය. 

එසේම, මේ ප්‍රජාතාන්ත්‍රික 21වන සියවසේදී මොන රෙද්දෙ රාජකීය විද්‍යාල ද? ඒවා කොහේ සිටින රජ පැටවුන්ට ද? ඕනෑනම් ජනාධිපති විද්‍යාලය, ජනරජ විද්‍යාලය හෝ ප්‍රජාතාන්ත්‍රික විද්‍යාලය වැනි නමක් පාවිච්චි කළාට කමක් නැත. මේවා පවත්වාගෙන යන්නේ එංගලන්තේ මහ රැජිනගේ මුදලින් නොව ලංකාවේ මහජනතාවගේ බදු මුදලෙනි.

නිර්මාල් රංජිත් දේවසිරිගේ පාසල යයි මා සිතන මොරටුවේ ගාලු පාර අද්දර පිට්ටනියක් සමග ඇති අධිරාජ්‍යවාදී වේල්ස් කුමාරයා නමින් නම් කළ පාසල නිර්මාල් රංජිත් විද්‍යාලය ලෙස වෙනස් කළ යුතු යයි මම යෝජනා කරමි. නිර්මාල්ට කැමති නම් එය මාදුළුවාවේ සෝභිත හිමි විද්‍යාලය ලෙස යෝජනා කරන්නට පුළුවන. (අතීත කතාව දැන ගැනීමට මෙම ලිපිය බලන්න.) යෝජනා කරන්නට ඕනෑ කෙනෙකුට පුළුවන. 

අනාගත සමාජවාදී රජයක් යටතේ සියලු රජයේ පාසල්වල රදළ, යටත් විජිතවාදී, ගෝත්‍රික, ලිංගික නම් ඉවත් කළ යුතු ය. හැකි සෑම පාසලක ම ප්‍රධාන භාෂා මාධ්‍ය තුනෙන් ම ඉගැන්විය යුතු අතර, ඕනෑම ජාතියක, ආගමක, ලිංගයක සිසුන්ට ඉගෙනීමට හැකි විය යුතු ය. 

වාමාංශිකයන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ද ජාතික සාධකවලට වඩා භූගෝලීය සාධක මතු කරමින් බව මගේ ස්ථාවරයයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-27

අපි රනිල්ට - ඒ වුණාට - රනිල් අපට - ඉන්නවා ද?

සමහරු කියනවානේ අපි රනිල්ට කඩේ යනවා ය කියලා. එක අතකට එහෙම කියන එකේ වැරැද්දකුත් නැහැ.

රනිල් දීර්ඝ කාලයක් තිස්සේ රටේ පාලනයට ගැඹුරින් මැදිහත් වෙන්නට අවස්ථාවක් ඉල්ලමින් හිටියා. අපි දුන්නා. ඒක එච්චරයි.

රනිල්ට හොඳ අදහස් තියෙනවා. විශේෂයෙන් ම මේ දිනවල රනිල් අධ්‍යාපනය ගැන ඉදිරිපත් කරන අදහස් ඉතා ප්‍රගතිශීලීයි. ඒවා ධනවාදී අදහස් නෙමෙයි. සමාජවාදී අදහස්. අධ්‍යාපනය ගැන ධනවාදී අදහස අධ්‍යාපනයත් වෙළඳපොළකරණය කරන එක නේ. එහෙත්, රනිල් ප්‍රමුඛතාව දී තිබෙන්නේ වෙළඳපොළකරණයට නෙමෙයි. සැමට අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරන්නටයි.

මම හිතන්නේ 2004දී තමන් අගමැති ධුරය දැරූ ආණ්ඩුව කඩා වැටීමෙන් පසු රනිල් පුනරුත්ථාපනය වෙලා. ලංකාවේ ශක්තිමත් ධනපති පංතියක්වත්, කම්කරු පංතියක්වත් නැහැ. ලංකාව මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක් ක්‍රියාත්මක වෙන සුබසාධන රාජ්‍යයක්. ඒක තමයි ලංකාවේ ක්‍රමයේ අනන්‍යතාව. රනිල් කලින් යෝජනා කරපු යළි පුබුදමු ශ්‍රී ලංකා නව ලිබරල්වාදී වැඩසටහන ලංකාවට නො ගැලපෙන්න ප්‍රධාන හේතුව එ්කයි. මූලික වශයෙන් ඒක ඔසවා තබන්නට උවමනාවක් තිබෙන ධනපති පංතියක් ලංකාවේ නැහැ. මේක මේ මැදපෙරදිග ශ්‍රමිකාවන්, වතු කම්කාරියන්, ඇඟලුම් කම්කාරියන්  සූරා කාලා ජීවත් වන මධ්‍යම පංතියක ආධිපත්‍යය ඇති රටක් නේ. 

ශ්‍රමිකාවන්, වතු කම්කාරියන්, ඇඟලුම් කම්කාරියන්  කිව්වාම අවුල් නේ. මොකද මේවාට තියෙන්නේ පුරුෂ ලිංගික නාමපදනේ. හැබැයි බහුතරය ස්ත්‍රීන්. ඒ නිසා මෙහෙම කියන එක තමයි සාධාරණ.

රනිල්ට ආපහු එමුකෝ. හැබැයි ඉතින් කතන්දරවලින් වැඩක් නැහැ. වැඩයි ඕනැ. එහෙම වැඩක් තවම නම් දකින්නට නැහැ. කමක් නැහැ අපි හිතමුකො තවම පෙර සූදානම් වෙනවා කියලා. හැබැයි රජෝ, දැන් නම් ඒක ඇති වගේ.

රාජ්‍ය පාලනය පැත්තෙන් නම් යම් යම් වෙනස්කම් සිදු වෙමින් තිබෙනවා. පුද්ගලයන් ශක්තිමත් වෙනවා වෙනුවට ආයතන ශක්තිමත් වෙමින් තිබෙනවා. ඒ වුණාට ලංකාවේ රාජ්‍ය ව්‍යූහය කුණු වී තිබෙන තරමේ මට්ටම අනුව එහෙම ලේසියෙන් ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ. ඒවාට පුරුද්ද තියෙන්නේ ම දේශපාලකයන් අතින් නැටවෙන්නට මිස ස්වාධීනව කටයුතු කරන්නට නෙමෙයි.

මේ අර්බුදය හොඳින් ම දකින්නට ලැබෙන්නේ පොලිසිය හා අධිකරණය තුළයි. සාමාන්‍ය මිනිසුන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට නො පැකිළෙන මේ අය දේශපාලකයන් ඉදිරියේ ඇඹරෙනවා. ස්වාධීනව කටයුතු කරන්නට දී තිබෙන අවස්ථාව පැත්තක තබමින් ක්‍රියාත්මක වෙන්න දේශපාලන අධිකාරියේ අවසරය සොයනවා. ඒක ලැබෙනකල් තෙපරබානවා. ඔන්න රාජ්‍ය සේවය ස්වාධීන කළාම ඇති වන තත්වය!

මේ අවස්ථාවෙදි ලංකාවේ ජනතාව අත්දකිමින් සිටින කටුක යථාර්ථය වන්නේ දේශපාලකයන්ට වඩා රජයේ නිලධාරීන් කොයි තරම් නරක ද යන්නයි.

මේ රජයේ නිලධාරීන් පවා කියන එකක් තමයි මහින්දගේ කාලෙ ඔහොම නැහැ කියන එක. ඒ කියන්නේ ඒ කාලෙ නම් අපි දේශපාලකයන් කිව්වාම වැඩ කළා ය කියන එකයි. දැන් ස්වාධීනයි නේ. ඒ නිසා වැඩ නො කෙරෙන විදිය තමයි ක්‍රමය වෙලා තියෙන්නේ.

ඒ නිසා තමයි මෛත්‍රීගෙත්, රනිල්ගෙත් පොර ටෝක්වලින් සුරංගනා කතාවක ආතල් එකවත් ගන්න බැරි වෙලා තිබෙන්නේ.

රාජ්‍ය අංශය කාර්යක්ෂම නො කර කොහේවත් යන්න බැරි බව ඉතා පැහැදිලියි. මෛත්‍රීට, රනිල්ට තියෙන ගැටලුව වන්නේ මේ අකාර්යක්ෂම, රාජ්‍ය සේවක කසල බලවේගය පණ ගන්වන්න තරම් ශක්තියක් ඔවුන්ට නැති වීමයි. දැනට තිබෙන තත්වය අනුව නම් උන් වැඩ කරන්නේ බයට විතරයි. උන්ගේ ආකල්ප වෙනස් කිරීම ලේසි කෙළියක් නෙමෙයි.

රනිල් අපිට - අපි රනිල්ට කියලා එකක් නැහැ. රනිල්ට කියන්න තියෙන්නේ අපි ඔබ ඉල්ලූ අවස්ථාව දුන්නා. අපි ජවිපෙ වගේ නෙමෙයි. අද ආණ්ඩු පත් කරලා හෙට ඉඳන් ඒක පෙරළන්නට දඟළන පුහු වීරයෝ නෙමෙයි. තවමත් අපි ආණ්ඩුව ආරක්ෂා කරන්නේ ඒ පදනමින්. එහෙම නැතිව අපි ඔබෙන් කිසිම වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් නෙමෙයි. අපි ආණ්ඩුවට උදව් කරන්නේ දේශපාලනිකව ඉදිරියට යන්නට විතරයි. 

ඉතින් මේ තත්වයට විසඳුමකුත් යෝජනා කරන්නට පුළුවන්. මේ වන විට ආණ්ඩුව තිබෙන්නේ පාර්ලිමේන්තු මට්ටමේ විතරයි. පළාත් සභාවල තිබෙන්නේ එලොවටත්, මෙලොවටත් නැති විකාරයක්. පළාත් පාලන ආයතන අක්‍රිය කරලා. 

ආණ්ඩුව පහළ මට්ටමට ගෙන එන්නට කළ හැකි හොඳ දෙයක් තමයි, හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම. බිම් මට්ටමේදී ජවිපෙට තිබෙන ප්‍රාමාණිකව කුඩා ශක්තිය හැර වෙනත් බලයක් කිසිවකුට නැති බව පශ්චාත් ගංවතුර සමයේදී පැහැදිලිව පෙනුණා. ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතනවලට පත් කර තිබෙන උදේනි අතුකෝරළ පන්නයේ තක්කඩින් ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න පෙනුණා නේ ද? කෝ උන් ආවද ගංවතුරෙන් පීඩාවට පත් මිනිසුන්ට උදව් කරන්න? 

සියලු දේශපාලන පක්ෂවලට අලුතින් හිතන්නට අවශ්‍ය නම් පටන් ගන්න තැනක් තමයි මේ පළාත් පාලන දේශපාලනය. ජවිපෙ හෝ ඒ ගැන බැරෑරුම්ව හිතන්නට පෙළඹෙනවා නම් ලොකු දෙයක්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-26

ජාතික උරුමයන් ද බිලි ගන්නා ආගමික රැවටීම්

ආගම යනු අතිශය පෞද්ගලික විශ්වාස පද්ධතියකි. එහෙයින් පිළිගත් ආගමික සංස්ථා හා පුද්ගලයන්ගේ ආගම් යනු හැම විට ම එකක් නො වේ. එසේම, පිළිගත් ආගමික සංස්ථා හා ශාස්තෘවරුන්ගේ ආගම් ද එක ම වන්නේ නැත.

ඒවා සන්සන්දනය කර ආගමික, අනාගමිකභාවයන් විනිශ්චය කරන්නට කිසිවෙකුට අයිතියක් නැත. පිටිදූවේ සිරිධම්ම හිමි බුදු වී තිබේ ද යන්න ඔහුගේත්, ඔහුගේ අනුගාමිකයන්ගේත් ප්‍රශ්නයක් පමණි.

පසුගිය දිනෙක ඉන්දියාවේ හින්දු ඉවැන්ජලිකයකු වන ආට් ඔෆ් ලිවිං පදනමේ නිර්මාතෘ ශ්‍රී ශ්‍රී රවි ශංකර් ලංකාවට පැමිණියේ ය. රවිශංකර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී සිදු විය. ඉන් පසුව ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද හමු වී ඔහුට විශේෂ සළුවක් පළදවා ආශිර්වාද කළේ ය. රවි ශංකර් අරලියගහ මන්දිරයේදී දේශනයක් පැවැත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ඔහුගේ බිරියගේ ද සහභාගීත්වයෙනි.

මම ඉන්දියාවේදී ශ්‍රී ශ්‍රී රවි ශංකර්ගේ ආට් ඔෆ් ලිවිං මධ්‍යස්ථානයේ පැවැත්වුණු සතියක වැඩසටහනකට සහභාගි වී ඇත්තෙමි. විවිධාකාර වූ මෙම වැඩසටහන් වෙනුවෙන් මුදල් අය කරනු ලැබේ. ඉන්දියාවේදී මා සහභාගි වූ අන්තර් ආගමික සාම වැඩසටහනක් විසින් මා වෙනුවෙන් මුදල් ගෙවන ලදී. මා ආගම් අදහන්නකු නො වන බව දැන සිටි නිසා කැමති නම් පමණක් එයට සහභාගි වන ලෙස ඔවුහු පැවසූ හ.

කුෂ්වාන්ත් සිංගේ Burial at Sea කියවීමෙන් පසු ශාස්තෘ නවකතාව ලිවීම සඳහා මූලබීජය රෝපණය වෙමින් තිබුණු මෙසමයෙහි මට ආට් ඔෆ් ලිවිං මධ්‍යස්ථානය කදිම අධ්‍යයනයක් විය.

එය ලංකාවේ විශ්වවිද්‍යාලයක් තරම් සුවිසල් තැනකි. එහි විවිධ පංති කාමර, දේශන ශාලා ආදියෙහි විවිධ තරාතිරම්වල මිනිස්සු අධ්‍යාත්මික ඉගෙනීම් කරති. පාඩම් උගන්වන ස්වේච්ඡා ගුරුවරු වැඩිදෙනෙක් මෘදුකාංග ඉංජිනේරුවෝ, ගුවන් යානාවල සේවය කරන අය වැනි ඉහළ මධ්‍යම පංතික රැකියා කරන හෝ කළ අය හෝ බව ඔවුහු පවසති. එතැනට වැඩිපුර එන්නේ ද එවැනි ම ඉහළ මධ්‍යම පංතිකයෝ ය. එය ආගමක් පමණක් නොව බිග් බිස්නස් එකකි.

මා සහභාගි වූ පාඨමාලාවේ මහලොකු දෙයක් නො තිබිණි. ශ්‍රී ශ්‍රී රවි ශංකර් එක් කලෙක කිසිවකු සමග සම්බන්ධතා නැතිව කිසියම් ගුප්ත තත්වයකට පත්ව එහිදී දෙවියන් හමු වූ බව ද දෙවියන් ඔහුට සුදර්ශන් ක්‍රියා නම් ඥානයක් දුන් බව ද කියා අප එම සුදර්ශන් ක්‍රියාවට පුහුණු කරනු ලැබේ. එය වනාහි ප්‍රාණායම්, භස්ත්‍රිකා ආදී පැරණි ආශ්වාස ප්‍ර‍ශ්වාස ව්‍යායාම ආශ්‍ර‍ය කරගෙන නිර්මානය කරන ලද ශරීරය හා මනස පිරිසිදු කරනවා යයි කියන ක්‍රියාවකි. මම එය එක් වරක් කළෙමි. එමගින් කරනුයේ හුස්ම ගැනීම ආයාසයෙන් ස්වාභාවික රිද්මයෙන් කෘත්‍රිම රිද්මයකට හැරවීමයි. එය ඉතා වෙහෙසකර, වේදනාකාරී ක්‍රියාවකි. එහෙයින් එය කර අවසන් කළ පසු මහත් සනීපයක් දැනේ. ඒ සුවය ලැබෙන්නේ සුදර්ශන් ක්‍රියා නිසා බව ගුරුවරයා පැවසී ය.

වෑල්ඩිං වෙදා ගාවට ගොස් කැඩුණු අතක් කපන්නට ආසන්න තත්වයකට පත් කර ගත් මගේ මිතුරියක් කීවේ වෙදා ඇගේ අත පත්තු තබා තදින් වෙලූ බවත්, එය ඉතා දැඩි වේදනාකාරී වූ බවත්, එය ලිහූ පසු පුදුම සහනයක් ලද බවත් ය.

මේ වනාහි මිනිසුන් රවටන එක් සුලබ ක්‍ර‍මයකි. දැඩි වේදනාවකට පසු දැනෙන සහනය අමුතු සුවයක් ලෙස පෙන්නා මිනිසුන් රැවටිය හැකි ය.

සොබාදහම විසින් දී තිබෙන රිද්මයන්ට හැර වෙනත් ආකාරයන්ට අමාරුවෙන් හුස්ම ගන්නට මට නම් උවමනාවක් නැත. ඒ නිසා මගේ සුදර්ශන් ක්‍රියා එතැනින් අවසන් විය.

පුනරුත්ථාපන වැඩසටහනකදී මේ ලෙස ම මම ආනාපාන සති භාවනාව ද අත්හදා බලා ඇත්තෙමි. මට නම් හිතෙන්නේ හිත එක් තැන් කරන්නේ මොන මගුලට ද කියා ය. හිත පාලනය කර ගත යුතු බව නම් මම ද පිළිගනිමි. එහෙත්, ඒ වෙනුවෙන් මනසට වධ දෙන්නට මට නම් උවමනාවක් නැත.

දේශපාලකයෝ ආගම් එකතු කරන්නේ මුද්දර එකතු කරනවා වගේ ය. ඔවුහු ආගම්වලින් අච්චාරු වී ඇත. අරලියගහ මන්දිරයේ නො තැවරුණු ආගමික කිළුටක් නැති තරම් ය.

මේ ආගමික රැවටීම් වෙනුවෙන් ජාතික උරුමයන් ද බිල්ලට දී තිබේ. ආගමික උත්සවයක් වෙනුවෙන් නොබෝදා කෞතුකාගාරයෙන් අරලියගහ මන්දිරයට ගෙනා පුරාවස්තු බුදුපිළිමයකට හානි සිදු කර තිබේ.

මේ දිනවල ලංකාවේ තවත් ආගමිකයන් පිරිසකට ප්‍රශ්නයක් වී ඇත්තේ Zizek කියන නම උච්චාරණය කරන ආකාරය ගැන ය. තමන් එම දාර්ශනිකයාගේ ඔරිජිනල් බැතිමතුන් බව ප්‍රකාශ කරන්නට හදන්නේ තමන් එම නම උච්චාරණය කරන ආකාරය පිළිබඳ තර්ක කිරීමෙනි. මෙය ද නිවැරදි උච්චාරණය බුද්ධ ද බුද්ධා ද වැනි ප්‍රශ්නයකි.

Zizekගේ මූලික අදහසක් වන්නේ වර්තමාන දේශපාලනය තේරුම් ගැනීමට වෙනස් ආකාරයක දාර්ශනික සංකල්පනාවක් අවශ්‍ය බවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-25

ප්‍රොටොකෝල් නො දන්නා අාණ්ඩුකාරයාට හා හමුදාවට නැගෙනහිර මහ ඇමතිවරයා ඒවා කියා දීම වැරදි ද?

You the Governor don't know the protocol
නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්නට උත්සවයකදී බැන වදින දර්ශනයක් පිළිබඳ ලොකු හාහූවක් ඇති වී තිබේ.

මෙම සිද්ධිය වී ඇත්තේ පාසලක පැවැත්වුණු උත්සවයකදී ය. නැඟෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු සහ ඇමරිකානු තානාපති අතුල් කේශාප් ද උත්සවයට සහභාගි වී තිබේ.

මෙම උත්සවයට මහ ඇමතිවරයාට ආරාධනා කර නො තිබුණු බව වාර්තා වේ. එබැවින් අදාළ හමුදා නිලධාරියා මහ ඇමතිවරයාට උත්සව සභාවෙන් ඉවත් වන්නට කියූ බවක් පෙනේ. 

මේ පිළිබඳව ලංකා ඊ නිව්ස්හි මෙවැනි අදහසක් පළ වේ. 

මෙම තිරිසන් හැසිරීම වාර්ථාවන්නේ සාම්පූර් මහා විද්‍යාලයට නව විද්‍යාගාරයක් සහ පරිඝණක ඒකකයක් පරිත්‍යාගකිරීමේ උත්සව අවස්ථාවේදීය. මෙහි මූල්‍ය බරපැන ඩේවිඩ් පීරිස් ආයතනය විසින් දරා තිබූ අතර අනෙක් සියළු මානව සම්පත් දායකත්වය ලබාදුන්නේ ශ්‍රි ලංකා නාවුක හමුදාව විසිනි. පළාත් සභා අමාත්‍යංශය විසින් සිදුකලයුතු මෙවැන්නක් සඳහා පෞද්ගලික අංශයේ සහ නාවුක හමුදාවේ මැදිහත්වීම පැසසිය යුතුය.

මේ රටේ බුද්ධිමත් සිවිල් සමාජයට අයත් අය පවා මෙම අදහස අනුමත කර තිබෙනු දැක්කෙමි. මේ අදහස වැරදි ය. 

පාසල් අධ්‍යාපනය යනු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභාවේ විෂයකි. මේ වන විටත් මධ්‍යම ආණ්ඩුව ජාතික පාසල් නමින් පාසල් කට්ටලයක් පවත්වාගෙන යමින් මෙම විෂයට අනවශ්‍ය ඇඟිලිගැසීමක් කරයි. එතැනින් නො නැවතී යුද හමුදාව ද කොම්පඤ්ඤවීදියේ පාසලක් දමාගෙන අධ්‍යාපනයට අනවශ්‍ය ඇඟිලිගැසීම් කරයි. මේවා සිදු නො විය යුුතු ය.

සමාගමක් සිය සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස කිසියම් සංවර්ධනයක් කරන එක හොඳ දෙයකි. එහෙත්, මා දන්නා තරමින් මෙම සමාජ සත්කාරක වියදම් ඔවුුහු බදු ගෙවීම්වලින් අඩු කරති. (මා වැරදි නම් නිවැරදි කළ හැකි ය.) ඒ නිසා මෙවැනි කටයුතුවල වැදගත්කම ඇත්තේ සමාජයීය වශයෙන් මිස ආර්ථික වශයෙන් නො වේ. නාවික හමුදාව ශ්‍රම දායකත්වය සැපයීම ද එවැනි ම දෙයකි. මන්ද, එම ශ්‍රම දායකත්වය හා වෙනත් දේ වෙනුවෙන් මේ රටේ මහජනතාව ඔවුන්ට වැටුප් ගෙවා ඇති බැවිනි. එහෙයින්, මෙවැනි කාරණාවලදී මේ තරම් සංවේදී වෙන්නට දෙයක් නැත. 

මෙවැනි සමාජ සත්කාරක කටයුතු අඩු තක්සේරු කිරීමක් මෙමගින් සිදු වන්නේ නැත. එහෙත්, තමන්ට නැති අයිතිවාසිකම් නිර්මානය කර ගැනීම සමාජ සත්කාරකත්වයට අදාළ නැත. සමාජ සත්කාරකත්වය යනු තමන් හොඳ හිතින් යමක් කර ඉවත් වීමයි. ඒ වෙනුවෙන් බලයක් හෝ වෙනත් යමක් බලාපොරොත්තු වීම නො වේ. 

විදේශ තානාපතිවරයකු පාසලකට ගෙන්වාගෙන උත්සවයක් පවත්වනවා නම් එයට පළාතේ අධ්‍යාපන ඇමතිවරයාගේ අවසරයක් තිබිය යුතු ය. මෙම උත්සවයට නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමති එස්. තන්ඩයුදපානි සහභාගි වූ බවක් වාර්තා වන්නේ නැත.

රජය මෙවැනි ගැටුම් ඇති වීම වැළැක්විය යුතු ය. ඔස්ටින් ප්‍රනාන්දු වැනි පළපුරුදු පරිපාලකයකුගෙන් බලාපොරොත්තු වන්නේ මෙම සමබරතාව ඇති කිරීමයි.

මෙහිදී මහ ඇමතිවරයා කියන කාරණය ඇත්ත ය. අදාළ හමුදා කපිතාන්වරයා ප්‍රොටොකෝල් ගැන දන්නේ නැති බව පැහැදිලි ය. දේශපාලකයා මෙතැනදී මතු කරන්නේ වැදගත් දේශපාලන ප්‍රශ්නයකි. එය බලය බෙදීම, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණාවලට සම්බන්ධ ඉතා වැදගත් ප්‍රශ්නයකි. 

ඔහු දරුණු ම ප්‍රකාශය කරන්නේ හමුදා කපිතාන්වරයාට නො වේ. ඔහු එම ප්‍රකාශය කරන්නේ නැගෙනහිර ආණ්ඩුකාරවරයාට ය. You the Governor don't know the protocol යයි කියන විට ආණ්ඩුකාරවරයා තමන්ගේ වරද තේරුම් ගන්නා බවක් පෙනේ. 

මෙම කපිතාන්වරයා මෙන් ම ආණ්ඩුකාරවරයා ද ප්‍රොටොකෝල් ගැන දන්නේ නැත. දන්නවා නම්, පළාතේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධානියාට නිසි ගෞරවය නො දී ඉන්නේ නැත. ප්‍රොටොකෝල් යනු රාජ්‍ය පාලන හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ නීති හා පටිපාටි වේ. 

දැන් මෙම සිද්ධිය අල්ලාගෙන ‘තම්බියෙක් සිංහල කැප්ටන් කෙනෙකුට බැන්නා' ය යන ජාතිවාදී ප්‍රචාරය ගෙන යන ආකාරයක් දක්නට ලැබේ. 

මෙවැනි ගැටුම්වලට ප්‍රධාන හේතුව තමන්ට අදාළ නැති වැඩ කරන්නට යාමයි. හමුදාවට කිසි සේත් ම අධ්‍යාපනය අදාළ නැත. හමුදාව මෙවැනි කටයුතුවලට මැදිහත් විය යුත්තේ පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ නම් පමණි. 

ප්‍රොටොකෝල් නො දන්නාකම ලංකාවේ බරපතල ගැටලුවකි. ලංකාවේ හැම දෙයකට ම අදාළ නීතියක් හා වගකිව යුතු ආයතනයක් තිබේ. 

ගංවතුර වැනි හදිසි ආපදා තත්වයන්හි අරාජිකත්වය රජයන මුල් අවස්ථාවේදී හැර අන් තත්වයන්වලදී පුරවැසියන් කළ යුත්තේ අදාළ ආයතන ශක්තිමත් කිරීමයි. ඊයේ මම රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියෙමි. ගංවතුරින් විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම එතැනින් සිදු වෙමින් තිබේ. අඩුපාඩු තිබෙන්නේ ලංකාවේ රජයේ සේවයේ අකාර්යක්ෂමතාව නිසායි. සංවිධාන හා පුද්ගලයන් කළ යුත්තේ එම අඩුපාඩු නැති කර ආයතන ශක්තිමත් කිරීම සඳහා අදාළ පියවර ගැනීමයි. අදාළ ආයතන බයිපාස් කරමින් ඒ තැන්වලට තමන් ආදේශ වන්නට නො යා යුතු ය. 

එහෙත්, මොබ් මානසිකත්වය වීරත්වය ලෙස සලකන ශ්‍රී ලංකාව නම් රටේ ප්‍රොටොකෝල් බිඳ දමමින් ආයතන යටපත් කරමින් මොබ් මැදිහත් වන අවස්ථා ඉතා සුලබ ය. පාලිත තෙවරප්පෙරුමගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා මොබ් දේශපාලකයන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රැඩිකල් වාමාංශික පක්ෂ, සිරස වැනි මාධ්‍ය, පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් ආදිය මෙසේ ප්‍රොටොකෝල් විරෝධී මොබ් මානසිකත්වය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛ සංවිධානයි. 

තිස් වසරක යුද්ධය ද මෙවැනි තත්වයක් ඇති වීමට හේතු විය. පශ්චාත් යුදකාලීනව වරින් වර මෙවැනි ගැටුම් ඇති වීම ස්වාභාවික ය. රජයක් ඉන්නේ ඒවා කළමනාකරණය කරන්නට ය. 

ප්‍රොටොකෝල් පිළිබඳ දැනුම පාසල් හා විශ්වවිද්‍යාල හරහා ලබා දිය යුතු මෘදු කුසලතාවකි. එය සමාජ සංවිධාන ව්‍යූහයේ අත්‍යවශ්‍ය අංගයකි. තීරණ ගැනීමේ කටයුතුවලදී එය අත්‍යවශ්‍ය ය. 

හමුදා යනු ප්‍රොටොකෝල් ගැන දැඩි අවධානයක් සහිත ආයතන ව්‍යූහයකි. සිවිල් කටයුතුවලට මැදිහත් වන හමුදාවලට ප්‍රොටොකෝල් පිළිබඳ හොඳ දැනුමක් ලබා දිය යුතු ය. දේශපාලන සංවිධාන ද අනිවාර්යයෙන් ම ප්‍රොටොකෝල් දැන ගත යුතු ය. 

ප්‍රොටොකෝල් නැතිනම් නැගෙනහිර මහ ඇමතිවරයාට ඩේවිඩ් පීරිස් කොම්පැනියේ වැඩපළට පැමිණ නට් හයි කරන්නටත් පුළුවන. නාවික හමුදාවේ තුවක්කු අරගෙන කුරුල්ලන්ට වෙඩි තියන්නට යන්නට ද පුළුවන. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-24

ඔබ අඳුරු කොදෙව්වට කැන්දන් යාද කුමාරි

අනුර සේනානායක ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියකු පමණක් නොව ගායකයකු ද වේ. ඔහුගේ ගී ජනප්‍රිය ය.

තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මවිසින් ලියූ සටහනක අදහස වුණේ එවැනි දේ කරන්නට මහින්ද රාජපක්ෂ රජයට හෝ රාජපක්ෂ පවුලට හෝ උවමනාවක් ඇතැයි සිතිය නො හැකි බවයි. (රාජපක්ෂ රජවරුන්, කුමාරවරුන් හා බැලයන් පුනරුත්ථාපනය කිරීම)

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ අවස්ථාවේදී ද මා තර්ක කළේ රාජපක්ෂ ආණ්ඩුව සිවරාම්, ලසන්ත වික්‍රමතුංග වැනි ජනමාධ්‍යකරුවන් ඝාතනය කළේ ඔවුන් දේශපාලනික වශයෙන් දැඩි ලෙස අභියෝගාත්මක වූ නිසා බවයි. ප්‍රගීත් වැනි අයෙකු මරා දමන්නට ඔවුන්ට උවමනාවක් නැති බව මගේ අදහස විය. (ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කතිකාව නව මානයකට | The dialogue on Prageeth Ekneligoda moves to a new dimension - කිඹුලකු නොවී ඔහු ගැන සිතමු)

අන්තර් විශ්වවද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් දෙදෙනෙකුගේ මරණය ගැන රජයට චෝදනා කරද්දී මම නම් සිතුවේ එය ඉතා මුග්ධ කුමන්ත්‍රණ න්‍යායක් බවයි.

එහෙත්, අවසානයේදී මා ලියූ දේ දෙස මට ස්වයං විවේචනාත්මකව බලන්නට සිදු වී තිබේ. දැන් යන පරීක්ෂණ අනුව පෙනී යන්නේ විනෝදය සඳහා මිනීමැරීමක් ද එකල සිදු වී තිබේ ය කියා ය.

එවැනි ක්‍රියාවලට ආවරණය සැපයූ දේශපාලකයන්, නිලධාරීන් හා සාමාන්‍ය ජනයා විශාල පිරිසක් මේ රටේ සිටිය හ. ඔවුන් එසේ කළේ එක්කෝ වරප්‍රසාද වෙනුවෙනි. නැතිනම් බයට ය. එහෙමත් නැතිනම්, අවනීතිය එකල සාමාන්‍ය තත්වය වී තිබුණු බැවිනි.

එකල පැවති තත්වය නිරූපණය කිරීමට හොඳම උදාහරණය රට පුරා ම පොලිස් නිලධාරීන් විසින් කරන ලද අපරාධ සැකකරුවන් ඝාතනය කිරීමේ ක්‍රියාවලියයි. එය කෙතරම් සාමාන්‍ය දෙයක් බවට පත් වුණේ ද යත්, භයානක අපරාධයක් සිදු වූ වහා ම ජනමාධ්‍ය හා සාමාන්‍ය ජනයා අපේක්ෂා කළේ ම ඒ සැකකරුවන් මරා දැමිය යුතු බවයි. තම අපේක්ෂාව ඉටු කළ පොලිසිය කෙරෙහි ඔවුන් මහත් ආදරයක් ද ප්‍රකාශ කළ අතර ජනමාධ්‍ය මේ ඝාතන වාර්තා කළේ පොලිසිය විසින් මරා දමන ලද මිනිසුන් කෙරෙහි තව තවත් වෛරය කුළු ගන්වමින් පොලිස් ක්‍රියාමාර්ගය සාධාරණීකරණය වන සේ ය.

පොලිසිය අවි පෙන්වන්නට යන මුවාවෙන් අපරාධ සැකකරුවන් රැගෙන ගොස්, ඔවුන් පැන යන්නට උත්සාහ කළ බව කියා වෙඩි තබා හෝ ගඟක ගිල්වා මරා දැමුවේ ය. ඒ කිසිවෙක් කිසිදු කලක නීතිය ඉදිරියේ අපරාධකරුවන් වන්නේ නැත. හේතුව ඔවුන්ට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය නො ලැබුණු බැවිනි. එසේම, එම අපරාධවලට ඇත්තෙන් ම සම්බන්ධ නැති, පූර්ව විනිශ්චයන් නිසා ජනතාවගේ හා පොලිසියේ වෛරයට ලක් වූ මිනිසුනුත් එසේ මරා දමන්නට ඇත.

මෙම ඝාතනවලට අධිකරණ රැකවරණය පවා ලැබිණි. පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් කියන කරුණු බොරු බව කවුරුත් දැන සිටිය හ. එහෙත්, ඒවා අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්නට හැකියාවක් නො තිබිණි.

මෙම ක්‍රියාවලිය ද දේශපාලන මෙහෙයවීමකින් යුක්ත එකක් වූ බව ඔප්පු වන්නේ 2015 ජනවාරි 8න් පසු දේශපාලන අනුග්‍රහය අහිමි වී යාමෙන් පසු ඒවා සිදු නො වන නිසා ය.

රාජපක්ෂ පාලනය යටතේ පොලිසිය පත් වූ තත්වය පෙන්වීමට හොඳම නිදසුන වන්නේ හිටපු පොලිස්පතිවරයකුට එල්ල වී තිබෙන මත්ද්‍රව්‍ය චෝදනා ය. එම පොලිස්පතිවරයා හොර රහෙසේ ම රටින් පළා ගියේ ය. මේවා පිළිබඳ තවමත් පරීක්ෂණ සිදු වන්නේ නැත.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කුලියට මිනී මරා අසු වී දැන් හිරේ ය. සාමාන්‍ය කුලී මිනීමරුවන් තමන්ගේ දරුවන් එවැනි ක්‍රියාවලට සම්බන්ධ කර නො ගත්තත්, මේ ඉහළ පෙළේ තාත්තා ගේම් දී ඇත්තේ සිය පුතයා ද සමග ය.

අනුර සේනානායක මේ පොලිස් ප්‍රචණ්ඩත්වයට හා අපරාධකරණයට උඩගෙඩි දුන් තවත් නිලධාරියෙකි.

රජයේ සේවයේ ඉහළ නිලධාරීන්ට ඉහළ සමාජ සුරක්ෂිතභාවයක් තිබේ. ඔවුන්ට සාමාන්‍යයෙන් හොඳ වැටුප් ලැබේ. මැරෙනකල් මහජන මුදලින් විශ්‍රාම වැටුප් ද ලැබේ. තවත් වරප්‍රසාද රැසක් ද ඇත. 

ඔවුන් කටයුතු කළ යුත්තේ නීති ප්‍රකාරව ය. දේශපාලන ඇණැවුම් අනුව නො වේ. අනුර සේනානායකට ගෙවන්නට සිදු වන වන්දිය වනාහි රජයේ සේවකයන්ට නැවත වතාවක් උගන්වන පාඩමකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-23

දූෂණ, වංචා, අපරාධ ගැන විමර්ශන නිසි පරිදි සිදු නො වන්නේ ඇයි? ගල් ගසා මරන උපුල් පිළිබඳ විමර්ශනය පදනම් කරගෙන විමසමු

අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ, 2016-05-22 

රාජපක්ෂ යුගයේ සොරුන්, දූෂිතයන් ගැන කොයි තරම් හෙළිදරව් කිරීම් සිදු වුණත් ඔවුන්ට එරෙහිව ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැති බවට නිරන්තරයෙන් ම චෝදනා මතු වේ. ආණ්ඩුවේ ම මැති ඇමතිවරු පවා මේ සම්බන්ධයෙන් තම අතෘප්තිය ප්‍ර‍කාශ කර තිබේ.

සොරකම්, වංචාවලට සම්බන්ධ බවට සමාජයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෝ ම කෝ අපි සොරකම් කළා නම් අල්ලන්නෙ නැත්තෙ ඇයිදැයි අසන්නට පෙළඹෙති. එය ගැන කතා කරන විට නූතන ජන ව්‍යවහාරයේ ඇති විහිළු කතාවක් සිහිපත් වේ.

දුම්රියේ ටිකට් නොමැතිව හොරෙන් ආ මගියෙක් වේදිකාවේදී ටිකට් පරීක්ෂකවරයකුට මාට්ටු වූයේ ය.

"කෝ ටිකට්?"

"ටිකට් තියෙන්නෙ කොහොමද, මං කෝච්චියෙ ආවෙ නැහැනේ," මගියා කීවේ ය.

"තමුන් කෝච්චියෙ ආවෙ ටිකට් නැතිව නේ ද?"

"පිස්සුද? මං කෝච්චියෙ ආවෙ නැහැ. කෝච්චියෙ ආවා නම් ටිකට් තියෙන්න එපා යැ."

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් වූ රාජපක්ෂ පවුලේ සිට ඇමති මණ්ඩලය හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා පිරිස දූෂණ චෝදනා පිළිබඳ මතු කරන තර්කය ද මෙවැනි ය.

දූෂණ කළා නම් චෝදනා තිබෙන්න එපායැ යන තර්කය ඔවුහු රැගෙන එති. ඔවුන් කියන පරිදි චෝදනා නැත්තේ දූෂණ නො කළ නිසා ය.

ඇත්තම තත්වය නම් ‍චෝදනා නැත්තේ විමර්ශන නැති නිසා ය. දේශපාලකයන්ගේ දූෂණවලට එරෙහිව ක්‍රියාමාර්ග නො ගැනීම පසුගිය දිනවල සාමාන්‍ය තත්වය විය. පොලිසිය නම්නීකරණය වී තිබුණේ ම දූෂණ ගැන විමර්ශනය නො කරන්නට මිස කරන්නට නො වේ. එසේම, සමස්ත රාජ්‍ය ව්‍යූහය ම පාහේ දූෂණයට නම්නීකරණය කර තිබුණු එකක් විය. සමාජය තුළ මුල් බැසගෙන තිබෙන දූෂණය ‍අ‍හෝසි කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ.

තත්වය පැහැදිලි කර ගත හැකි සිදුවීමක් ගිය සතියේ සිදු විය. දකුණු පළාත් සභා ධීවර ඇමති ඩී.වී. උපුල් යනු පසුගිය පළාත් සභා මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ සහයෝගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කර තේරී පත් වූ අයෙකි. මහින්ද රාජපක්ෂ නැවත බලයට පත් වූ පසු මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට පොලිස් කොස්තාපල් දක්වා නිලධාරීන් ගල් ගසා මැරිය යුතු ය යන වෛරී ප්‍රකාශය ඔහු කරන්නේ නාමල් රාජපක්ෂ වේදිකාවේ තබාගෙන ය. ඔහු එම ප්‍රකාශය කරන්නේ මීට වසරකට පෙර 2015 මැයි 31දා ය.

මෙම වෛරී ප්‍රකාශය ඉතා පැහැදිලිව ම රාජ්‍ය විරෝධී ප්‍රකාශයක් වන අතර, රාජ්‍ය සේවකයන් පිරිසකට එල්ල කරන ලද මරණ තර්ජනයක් ද වේ. එම නිලධාරීන් විසින් කර තිබෙන එක ම දෙය නීතිය ක්‍රියාත්මක කරමින් පැමිණිලි විභාග කිරීමයි. මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය හැකි බව එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. එසේම, උපුල්ගේ ප්‍රකාශය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදය වැනි ප්‍රචණ්ඩත්වයක් ප්‍රවර්ධනය කරන ත්‍රස්තවාදී ප්‍රකාශයක් ද වේ.

මේ සම්බන්ධයෙන් ඩී.වී. උපුල් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට නිදහස් කරන ලදී. ජුනි 12දා නාමල් රාජපක්ෂ රහස් පොලිසියට කැඳවනු ලැබුවේ ද මෙම ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්න කරන්නට ය.

වසරකට පමණ පසුව, පසුගිය සතියේ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගත් විට රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ කොළඹ විශ්වවිද්‍යාලය විසින් ඩී.වී. උපුල්ගේ ප්‍රකාශය පිළිබඳ ඇති වීඩියෝ සාක්ෂි පිළිබඳ වාර්තාව තවමත් අධිකරණයට ඉදිරිපත් කර නැති බවයි.

මෙම ප්‍රකාශය සිදු කරන වීඩියෝව දැනටත් අන්තර්ජාලයේ තිබේ. එය යූටියුබ් සමාජ ජාලය වෙත ඇතුළත් කළ අය හා ඒ අනුව එය වීඩියෝගත කළ අය සොයා ගැනීම දුෂ්කර නැත. අධිකරණය කොළඹ විශ්වවිද්‍යාලයට පවරන්නට ඇත්තේ මෙම වීඩියෝවේ සත්‍යාසත්‍යතාව විමර්ශනය කිරීමයි. එවැනි විමර්ශනයක් සඳහා මෙතරම් කල් ගැනීම සාධාරණ ද? දැන් මෙම නඩුව ඔක්තෝබර් 26 දක්වා කල් තබා තිබේ.

මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ දූෂණ, අපරාධ හා ඒවා පිළිබඳ විමර්ශන සමග ද රජයේ නිලධාරීන් පවා සම්බන්ධ ව සිටි බවට සාධක රැසක් හෙළිදරව් වී තිබේ. තජුඩීන් ඝාතන විමර්ශනයේදී ඒ බව හෙළිදරව් වෙමින් තිබේ. මේ වන විටත්, නාරාහේන්පිට පොලිසියේ හිටපු අපරාධ ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකරගේ ක්‍රියා කලාපය පිළිබඳව ද විමර්ශනවල දැඩි අවධානය යොමු වී තිබේ.

පසුගිය කාලයේ සිදු වූ දූෂණවල තරම අනුව විමර්ශනය සඳහා සමස්ත පොලිසිය ම යෙදෙව්වත් ප්‍රමාණවත් වන්නේ නැත. රාජ්‍ය බලය යොදවමින් දේශපාලකයන් තම දූෂණ යට ගසා ගත් බව නො දන්නේ කවුරු ද? ඒ ජනාධිපති මන්දිරයේ ලිපි ගොනු අතන මෙතන සඟවා තිබියදී හමු විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතාගේ රියදුරු විසින් හෙළිදරව් කරන ලද පරිදි 2015 ජනවාරි 7දා රු.කෝටි 1260ක මුදලක් බැංකුවකින් ඉවත් කරගෙන තිබේ.

රජය තුළ දූෂණය ආරම්භ වුයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ නො වේ. එය මහින්ද රාජපක්ෂ යුගයේ අවසානයෙන් නිම වූ බවක් ද අපි නො කියමු. එහෙත්, මහින්ද රාජපක්ෂ සමය සුවිශේෂ වන්නේ රාජපක්ෂ යුගය යනු දූෂණය බිම් මට්ටම දක්වා ම විමධ්‍යගත කළ අවදියක් නිසා ය. මිග් 27 ගුවන් යානා හතරක් යුක්රේනයෙන් මිළ දී ගැනීමේදී සිදු වී තිබෙන වංචාවේ සිට දිවිනැගුම වංචාව, ඇවන්ට්ගාඩ් වංචාව වැනි මහා පරිමාණ වංචාවල සිට ඇමතිවරුන්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දක්වා ම කොන්ත්‍රාත් හා කොමිස් මගඩි හා ඊටත් පහළින් ගොවි සංවිධාන විසින් ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම දක්වා දූෂණය විහිදිණි. රාජ්‍ය සේවයේ පහළ ම මට්ටම පවා මේ දූෂණය සමග ගැටගැසී තිබේ. නිකම් සිට හෝ අඩුවෙන් වැඩ කර මහජන මුදලින් වැටුප් ලබා ගන්නා රජයේ සේවකයෝ, මහජන මුදලින් ලැබෙන පොහොර සහනාධාරය නාස්ති කරන ගොවියෝ, සත්‍ය ආදායම් සඟවා සමෘද්ධි සහනාධාර ලබා ගන්නා දිළින්දෝ පවා මේ දූෂණයේ කොටස්කරුවෝ ය.

තම, තම දෝතේ පමණින් දූෂණ සාගරයෙන් නෙළා ගන්නා අස්වැන්න වෙනුවෙන් රාජපක්ෂ පාලනය සමග ගැටගැසුණු දැවැන්ත මහජන බලවේගයක් මේ රටේ සිටිති. ලංකාවේ දූෂිත වන්නේ දේශපාලකයන් හා නිලධාරීන් පමණක් නො වේ. ජනතාව ද අතිශය දූෂිත ය. දූෂණ, වංචා හා අපරාධ පිළිබඳ විමර්ශන නිසි පරිදි කරන්නට අවශ්‍ය උනන්දුව හා ශක්තිය රාජ්‍ය ව්‍යූහයට නැති වන්නේ මෙම සංදර්භය තුළ ය.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-21

ඔපරේෂන් ගංවතුර ගැන නිරීක්ෂණ කීපයක්

මේගොල්ලන් ගැන හිතපු මිනිස්සුත් හිටියා
2016 මැයි ගංවතුර හා නායයාමෙන් විපතට පත් අනාථයන්ට පිහිට වීමේ මෙහෙයුම තවමත් ඉදිරියට යනවා. එය ලංකාවේ මිනිසුන් තමන් අනුන්ගේ දුක වෙනුවෙන් උණු වන හිත හොඳ මිනිසුන් බව පෙන්වන්නට ලොකු උත්සාහයක් ගත් අවස්ථාවක්. 

හොඳ මිනිසුන් ලෙස පෙනී ඉන්නට උත්සාහ කරන එක වුණත් නරක නැහැනේ. එතකොට සමාජය සමස්තයක් ලෙස අංශු මාත්‍රයකින් හරි ඉදිරියට යනවා. 

විවිධ අරමුණු වෙනුවෙන් ජන සමූහයන් ගොඩනගාගෙන සිටින බොහෝ දෙනෙක් ආධාර එකතු කරන්න, බෙදා දෙන්න, උදව් කරන්න මහන්සි වෙනවා. තම තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් බොහෝ අය බොහෝ දේ කරනවා. 

මේ අතරෙ දේශපාලන, ව්‍යාපාරික හා මාධ්‍ය මුද්‍රා තබා ගැනීමේ උත්සාහයකුත් දකින්න ලැබෙනවා. ඒත්, ඉතින් වැඩක් කරලා ලකුණු දාගත්තත් මොක ද? 

හැබැයි ඉතින් වටින්නේ කිසිදු අපේක්ෂාවකින් තොරව නිහඬව වැඩ කරපු මිනිසුන්ගේ මිනිස්කමයි. වැදගත් වන්නේ තමන්ගේ කාර්යභාරය කිරීම මිස එය කළ බව කියා කෑ ගැසීම නෙමෙයි.

මේක ලංකාවේ ආරක්ෂක හමුදාවල නව මානයක් මතු වුණ අවස්ථාවක්. මෙය ආරක්ෂක හමුදා වෘත්තික මට්ටමේ සැබෑ මානුෂික මුදාගැනීමේ මෙහෙයුමකට උර දුන් අවස්ථාවක්. ඒ වගේ ම ඔවුන් රජය නියෝජනය කරමින් ඉතා නිහඬව හා වෘත්තික ස්වරූපයෙන් එම කාර්යයට මැදිහත් වුණා. මම හිතන්නේ මේ දේ උතුරේ වුණත් ඔවුන් වර්තමානයේදී මේ විදියට ම වැඩ කරයි.

රජයත් මෙයින් ලකුණු දාගන්නට සංදර්ශනාත්මකව කටයුතු කරනවාට වඩා මෙහෙයුම විධිමත් කරන්නට උත්සාහ කළා. මෝස්තරේට ආණ්ඩුව කෝ අපි තමයි ඔක්කොම කරන්නෙ කියලා කෑ ගහන කට්ටිය කෑගැහුවත්, රජය කියන්නේ දේශපාලකයන් විතරක් නෙමෙයි. ඇමතිවරු, නිලධාරි, රජයේ මාධ්‍ය හමුදා සෙබළු, වෛද්‍යවරු, හෙදියෝ, රියදුරෝ, කම්කරුවෝ ආදී පුළුල් යාන්ත්‍රණයක් රජයට අයිතියි. රජය මෙතනදී කරන මැදිහත්වීම තමයි ප්‍රධාන. අනෙක් අයට පුළුවන් ඒකට උදව් කරන එකයි. රජයට තමයි මෙහිදී වැඩි වගකීමක් තියෙන්නේ. කවුරුවත් ඒකට ආදේශ වෙන්න උත්සාහ කරන්නට ඕනැ නැහැ.  

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් කළ කාර්යය වැදගත් වන්නේ ජනතාවගේ හෘදය සාක්ෂිය අවදි කරන්නට එය දැක්වූ දායකත්වය නිසායි. මානුෂීය ආධාර සැපයීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අව්‍යාජ ලෙස මැදිහත්ව කටයුතු කරනු දක්නට ලැබෙනවා. ඒ වුණාට වැඩි වැඩ කොටසක් කළේ ඒ පිළිබඳ ෆේස්බුක්හි සටහන් නො තැබූ මිනිසුන් විසින් ය කියන එක සමාජ මාධ්‍යවල ඉන්න අපි නිහතමානීව පිළිගන්නවා නම් හොඳයි. ඒ නිසා ටිකක් කල්පනා කරලා ඕනෑවට වඩා ෂෝ එක දාන එක නවත්තනවා නම් හොඳයි.

සමහරු වැඩ කරන ගමන් බැබළෙන්නත් උත්සාහ කළා. ඒකෙ වරදක් නැහැ. වැඩක් කරන ගමන් නේ. 

මේ ගැන ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර සහෝදරයා දක්වා තිබෙන අදහස ඉතා වැදගත් ය කියා මා සිතුවේ, ඇතැම් වාමාංශිකයන් 2009 මැයි සිහිපත් කරමින් ආන්තික අදහසක් ඉදිරිපත් කළ නිසායි. රටේ ම විපක්ෂ නායකකමට පත් කර ගත්තත්, යාපනේ අර්ධද්වීප මානසිකත්වයෙන් එළියට එන්නට බැරි ආර්. සම්බන්ධන් අයිති වෙන්නෙත් මේ අයගේ වර්ගයට ම තමයි. සකල දේශවාසී දෙමළ, සිංහල, ජාතිවාදීන් එක්සත්ව, එක් සිත්ව මොකුත් නො වුණා වගේ හැසිරෙන හැටි දැක්කා ම විලි ලැජ්ජාවෙ සන්තෝසයි අප්පා. 

පහත පළ වන්නේ ප්‍රියාන්ගේ අදහස අන්එඩිටඩ්: 

“2009 වසරේ වෙසක් මාසයේ උතුරේ ජනයා යුද්ධයේ ඊනියා ජයග්‍රහණයෙන් ජීවිත,උන්හිටිතැන්,අහිමිව පීඩාවට පත්වෙද්දී හඬක් නොනැගූ මාධ්‍ය 2016 වසරේ දකුණේ ගංවතුරින්,නායයාමෙන් පීඩාවට පත්වන මිනිසුන් ගැන හඬ නැඟීම සමහර සංවේදී කවියන්ට,බ්ලොග්කරුවන්ට,ෆේස්බුක් පොරවල්ට ප්‍රශ්නයකි.මට නම් එකී ප්‍රශ්නයම උත්තරයකි.සිදුවූයේ වාර්ගික යුද්ධයක් යයි අර්ථ ගන්වා ගැනීමට මොළය ඇති මේ මහත්තුරුන්ට වාර්ගික යුද්ධයකදී යුද්ධ කරන්නේ ජනවර්ග දෙකක් නිසා ඊනියා ජයග්‍රාහී ජනවර්ගය,පරාජිතයින්ගේ පීඩාව කෙරෙහි සංවේදි වෙන්නේ නැති බව වටහාගන්නට අමාරුය.ඊනියා ජයග්‍රාහී ජනවර්ගයේ දෘෂ්ටිවාදයෙන් පෝෂිත ජනමාධ්‍ය යුද්ධයේ ජයග්‍රහණය උත්කර්ෂයට නංවන තරමට පරාජිතයාගේ සෝ සුසුම කෙරෙහි සංවේදි වන්නේ නැති බව පිළිගන්නට අමාරුය.ගං වතුර හෝ නායයාම් වලට වාර්ගික බේදයක් නැත.ඊනියා ජයග්‍රාහකයෙක් හෝ නැත.මේ මොහොතේ පීඩාවට පත්වූ මිනිසුන්ට ශ්‍රමයෙන්,අත ඇති සොච්චමකින් හෝ අත නොදී බුකියේ වීරයින්වී 'අද නඟන හඬ එදා තිබුණේ නෑ'යි පොර ටෝක් දීම 'අතීත සිංහල රට මාරයි."කිය කියා මේ මොහොතේ නිකමුන්වී උඩ බලාගෙන සිටින සිංහල ජාතිවාදී/ගෝත්‍රිකවාදීන්ගේ මානසිකත්වයේ අනෙක් පස නෙවෙයිද?

“ජනමාධ්‍ය විසින් මේ විපත විකුණාගෙන කන බව මේ මහත්තුරුන්ගේ තවත් ජනප්‍රිය මතයකි.ඒක ඇත්තය.ඒත් ඒක එහෙම වෙන්නේ'ජනමාධ්‍යට ආවේණික ප්‍රශ්නයක්'නිසා නොවන බව මේ මහත්තුරුන්ට තේරුම් ගැනීම අසීරුය.ධනවාදය යැපෙන්නේ ව්‍යසන මතය.එය තේරුම් ගැනීමට අවශ්‍යනම් නයෝමි ක්ලෙයින්ගේ'ව්‍යසන මත යැපෙන ධනවාදය'නම් කුඩා ලිපිය වුවද ප්‍රමාණවත්ය.ධනපති ජනමාධ්‍ය ක්‍රියාකරන්නේද මේ ව්‍යුහයේ කොටස්කාරයින් ලෙස විනා එයින් ස්වායත්ත වූ 'ශුද්ධ ගැලවුම්කරුවා'ලෙස නොවේ.එසේ ක්‍රියා කිරීමට හැකියාවක් ඊට නැත.ඒත් මහ පොළොවේ යථාර්ථය පිළිගැනීමට අප මැලිවිය යුතු නොවේ.එන්.ජී.ඕ බිල්ලා රටේ මතවාදයේ අධිපති වුවද සුනාමි ව්‍යසනයෙන් පසු එන්.ජී.ඕ කළ වැඩ කොටසෙන් දශමයක්වත් කරන්නට ආණ්ඩුවට හැකිවූයේ නැත.මෙහි තේරුම සුනාමි ආධාර ලෙස එන්.ජී.ඕ වලට ලැබුණු මුදල් සියල්ල පීඩාවට පත් ජනයාට ලැබුණු බව හෝ ඔවුන් හොරා නොකෑ බව නොවේ.ඔවුන් හොරු නම් පාලකයින් කම්බ හොරු බවය.හිටපු පාලකයා බව සුනාමි ආධාර තමන්ගේ පුද්ගලික බැංකු ගිණුමෙහි තැන්පත් කර යටිමඩි ගසා ගත් බව නොරහසකි.එහෙව් තත්ත්වයක ජනමාධ්‍ය ආයතනයක් විපතකදී මැදිහත්වීම ලංකාව වැනි කුඩා මාධ්‍ය වෙළඳපොළක් ඇති,දුප්පත් මාධ්‍ය කර්මාන්තයක් ඇති රටක ඉතා සුළු'බ්‍රෑන්ඩ් ප්‍රමෝෂන්'එකක් මිස වඩා ලාභ ලැබිය හැකි ආයෝජනයක් නොවේ.ලැබෙන්නේ සංකේත ප්‍රාග්ධනයක් පමණි.ජනමාධ්‍යට මේ හිස් අවකාශය හෝ පුරවන්නට හැකිවෙන්නේ පාලකයින් ඇතුළු වගකිව යුත්තන්ගේ නොහැකියාවේ පරිමාව අනුවය.නිදසුනක් ලෙස එදා සුනාමි උවදුරට එන්.ජී.ඕ මැදහත් නොවුණා නම් මේ සා අවම මට්ටමකින් හෝ පීඩාවට පත්වූවන්ට නැඟිටින්න‍ට නොහැකිය.මෙදා ජනමාධ්‍ය මැදිහත් නොවුණානම් පීඩාවට පත්වූ ජනයාට හුළංය.

“දින දෙකක් යනතුරුත් ආහාරපාන නැතිව,මරුවා පෙනි පෙනී හිටපු බොහෝ පිරිසක් ගැන පුද්ගලික අත්දැකීම් මං අත්දුටුවෙමි.ඒ බොහෝ අය සම්බන්ධයෙන් මාධ්‍ය මැදිහත්වී බලධාරීන්ට විටෙන් විට කරනු බලපෑම් අහක දැමිය නොහැකි තැනකට ඔවුන් තල්ලු වූයේ අවසාන මොහොතේ හෝ ඉදිරිපත් නොවුණහොත් තොරතුරු දැන්නා මාධ්‍ය මගින් දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් එය තමන්ගේ පැවැත්මට බාධාවක් වන නිසා මිස මොවුන් බේරාගැනීමෙන් පිං අත්වන බව ඔවුන් විශ්වාස කළ නිසා නොවේ.දින දෙකක් යනතුරුත් ආපදා කළමනාකරණ ඇමතිට මාධ්‍ය හමුවක් තියා අදහසක් හෝ ප්‍රකාශ කරන්නට බැරිවිය.ජනපතිට අගමැතිට විශේෂ ප්‍රකාශයක් කළේත් දින දෙකකට පසුය.එහෙත් ආපදා ඇමතිගේ ප්‍රකාශයේ පීඩාවට පත් මිනිසුන්ගේ සංඛ්‍යා ලේඛන හෝ ජනපති/අගමැතිගේ ප්‍රකාශවල ආපදාවන්ට වෙන් කළ මුදල් ගැන සංඛ්‍යා ලේඛන මිස වෙනයම් ගත යුතු කිසවක් තිබුණේ නැත.සැබවින්ම ඒවා විශේෂ ප්‍රකාශ නොවුණා පමණක් නොව ඒ සියලු තොරතුරු ඒ වනවිටත් රටේ ජනයා දැන සිටියේය.ආපදා කළමනාකරණය කියන්නේ පීඩාවට පත්වූ මිනිසුන්ගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන එකට නොවේ.රටක් පාලනය කිරීම යනු මුදල් වෙන් කිරීම පමණක් නොවේ.අහවල් අහවල් නාලිකාව යයි උඩදැමිය යුතු නැති වුවද එහෙව් නාලිකා හෝ නොතිබුණේ නම් විපතට පත් වූවන්ට බත් පැකැට්ටුවක් වත් ලැබෙන්නේ නැත.සංවිධාන හෝ ආයතනවල නම් ඉස්සරහට දමා නොගත්තද,ෆේස්බුක් එකේ ෆොටෝ නොදැම්මද,පොර ටෝක් නොදුන්නද නිහඬව බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් මේ මොහොතේ වැඩකරන බවද නොකියා බැරිය.කෙටියෙන්ම කිවහැක්කේ මෙයයි.අශ්වයා ගිය පසු ඉස්තාලය වසාදැමීමෙන් පලක් නැතිවා සේම අශ්වයන් නැති තැනක ඉස්තාල පමණක් වසා තබාගැනීමෙන්ද පලක් නැත.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-20

ලංකාවේ ආගමික ශාස්තෘවරුන්ගේ යාවත්කාලීන කළ ලේඛනය

දිවයින ඉරිදා පුවත්පත ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගමින් පළ කර ඇති අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සොයාබැලීමට මේ වනවිටත් නීතිවේදීන් කණ්ඩායමකට භාරදී ඇති බවත් එම පුවත්පතට එරෙහිව 'පුවත්පත් මණ්ඩලයට' හා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කිරීමට බලා පොරොත්තුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය දිනෙක පැවසුවා.

ජවිපෙ නිල පුවත්පත වන නියමුවා පත්තරේ කට්ටිය පසුගිය දිනවල ආණ්ඩුවෙන් දෙන මෝටර්සයිකලුත් ඉල්ලුවානේ. ඒ ගැන මේ ලිපියේ විස්තර තිබෙනවා. ජවිපෙ මන්ත්‍රීවරු හැමදාමත් මහජන මුදලින් දෙන බදු සහන මත ආනයනය කර ගත හැකි වාහන බලපත්‍ර ලබාගෙන තිබෙනවා. එ් නිසා එයට එරෙහිව ඔවුන් කවදාවත් හඬ නගන්නේ නැහැ.

ජවිපෙට තියෙන මූලික ගැටලුව කිසිදු ක්ෂේත්‍රයක බැරෑරුම් සාකච්ඡා සමග ජවිපෙට සම්බන්ධයක් නැති එකයි. පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම කියන්නේ පසුගිය කාලයේ මේ රටේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සංවාදයේදී මතු වූ මූලික කාරණාවක්. ඒ වගේ ම පුවත්පත් පැමිණිලි කොමිෂම ශක්තිමත් කිරීමත්, විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ද එවැනි ව්‍යූහයක් ගොඩනැගීම පිළිබඳවත් සංවාද කෙරුණා.

ජවිපෙ හදාගෙන තිබෙන පුංචි ස්වයං පෝෂිත ලෝකය වටේට තිබෙන හිස්කමේ ගැඹුරු සාගරය තරණය කරලා කිසිදු නව දැනුමකට ඇතුළු වෙන්නට බැහැ. ජවිපෙ මන්ත්‍රී දොස්තර නලින්ද ජයතිස්සගේ හෝමෝසෙක්ෂුවලිටි භීතිකාවත් මේ සඳහා තවත් උදාහරණයක්. 

ඔවුන් නව දැනුම සොයන්නේ තමන්ගේ මතය තහවුරු කර ගන්නටයි. සෙසු දැනුම ඔවුහු බැහැර කරනවා. ඒවාට ඔවුන්ගේ පුංචි ලෝකයට පිවිසෙන්නට වරම් නැහැ. 

මේ මානසික විනාශය කරන ප්‍රධාන බලවේගය ජවිපෙ වෙන්නට පුළුවන්. ඒත්, එය ජවිපෙට පමණක් සීමා වන කාරණයක් නෙමෙයි.

එහෙම වෙන්නෙ ඇයි?

මේ ලිපියේ අරමුණ වන්නේ එය ගවේශනය කරන එකයි. එහෙත්, ඒ කාරණය ජවිපෙට විතරක් සීමා කරන්න බැහැ. ඒ වගේ ම මෙය ලංකාවට විතරක් සීමා කරන්නත් බැහැ. 

මාක්ස්වාදය හා ගතානුගතික ආගම් අතර වෙනස මොකක්ද කියන එක කල්පනා කර බැලූ විට දැකිය හැකි ලක්ෂණයක් වන්නේ මේ දෙක ම එක සමාන ලක්ෂණවලින් යුක්ත බවයි. උදාහරණයක් ලෙස මාක්ස්වාදීන් නිතර භාවිතා කරන වචන කීපයක් ගන්න. ‘මාක්ස්වාදය හා විප්ලවය ගැන අචල විශ්වාසය.' මේකත් නිවන හෝ දෙවියන් ගැන ඇති භක්තියත් අතර හරයාත්මක වශයෙන් වෙනසක් නැහැ. 

තමන්ගේ ශක්තිය ගැන විශ්වාසය නැති අසරණ මිනිස්සු ආගම්වලින් විමුක්තිය සොයනවා වගේ ම තමයි නිර්මානශීලිත්වයක් නැති වාමාංශිකයන් පක්ෂයෙන් හා න්‍යායෙන් විමුක්තිය හොයන්නේත්. තමන්ව ගලවා ගන්න දෙවියන් දූතයෙක් එවයි කියා බලාගෙන ඉන්නවා වගේ මේගොල්ලනුත් පක්ෂයෙන් විප්ලවයට නායකයෙක් බිහි වෙයි කියලා දෑස් දල්වාගෙන බලා ඉන්නවා. කලින් බිහි වී මැරුණු ජීසස්ලාව සමරනවා. වැඩිපුර ඉච්ඡා භංගත්වයට පත් වුණ භක්තිකයන් ජේසු ජීවමානයි වගේ ප්‍රාතිහාර්ය පසුපස යනවා වගේ වාමාංශිකයෝත් තමන්ට නො තේරෙන දේවල් දොඩවන අලුත් පොත්කාරයන් පසුපස යනවා.

මාක්ස්වාදය වනාහි දෙවියන්ගේ තැනට සොබාදහම ආදේශ කර ගත් දේවවාදී ආගමක් ලෙස විග්‍රහ කර තිබෙනවා. 

මාක්ස්වාදය පදනම් කර ගත් හා එයින් කැඩී ගිය ලංකාවේ සියලු දේශපාලන ව්‍යාපාර ද මේ වගේ ආගමික ව්‍යූහයන් බව පෙනෙනවා. ප්‍රධාන ධාරාවේ ආගම් හා අතුරු ඉවැන්ජලික ආගමික කල්ලි අතර සම්බන්ධය හා ගැටුම වැනි දෙයකුත් වාමාංශිකයන් අතරත් දක්නට ලැබෙනවා. 

ක්‍රිස්තියානි ආගමේ නම් ගතානුගතික රෝමානු කතෝලික, එංගලන්ත සභා, රෙපරමාදු වැනි ව්‍යූහයන් හා ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් වැනි ඉවැන්ජලික ව්‍යූහයන් අතර සම්බන්ධය හා ගැටුම බලන්න. ඉවැන්ජලික නිකායන් සාපේක්ෂව කුඩායි. හැබැයි දැඩි මධ්‍යගතවාදීයි. ඒවා පදනම් වන්නේ ප්‍රාතිහාර්ය, දැඩි භක්තිය හා දණ්ඩනය මත. 

මේ වගේ ගැටුමක් බුද්ධාගමේත් තිබෙනවා. ගතානුගතික සියම්, රාමඤ්ඤ, අමරපුර නිකායික බෞද්ධ සංස්ථාවට පිටින් ඉවැන්ජලික බුද්ධාගමකුත් මතු වෙනවා. සිරිධම්ම, ඥානානන්ද, සිරිවර්ධන වගේ කට්ටිය ඒ අතර ඉන්න ප්‍රමුඛයෝයි. (මේ කලකට ඉහත ඒ ගැන ලියූ ලිපියක්

ඉස්ලාම් ආගමේත් මේක තිබෙනවා. ලංකාවේ කාතන්කුඩියේ මතු වූ නූතන ශාස්තෘවරයකු වූ ෆයිල්වාන් නිදසුනක්. 

ලංකාවේ මාක්ස්වාදී ආගමේත් මෙවැනි විභේදනයක් දකින්නට ලැබෙනවා. ජවිපෙ තමයි ලංකාවේ ඩිෆෝල්ට් මාක්ස්වාදී ආගමික සංස්ථාව. ඒකෙ වර්තමාන මහනායක අනුර කුමාර දිසානායක. ඒකෙන් කැඩිලා ගිය පෙසප අලුත් නිකායක්. ඒක හරියට අර විනයවර්ධන ව්‍යාපාරය වගේ රැඩිකල් එකක්. 

ඒ වගේ ම ලංකාවේ ඉවැන්ජලික මාක්ස්වාදී ආගමික කල්ලි ගණනාවක් ම තිබෙනවා. මේ ඉවැන්ජලිකයන් පදනම් වන්නේ ප්‍රාතිහාර්ය මත. මාක්ස්වාදී ආගමික කල්ලිවල ප්‍රාතිහාර්ය තිබෙන්නේ බර පොත්වල. ඔවුන් ලෝකයෙන් සොයාගෙන අමාරුවෙන් කියවන බව කියන දාර්ශනිකයන් මත. හැබැයි, ඔවුන්ට ඒ දර්ශනයන් ලංකාව සමග ගලප්පා ගන්නට අවශ්‍ය ප්‍රායෝගික දැනුම නැහැ. ඒ නිසා තමන්ගේ අනුගාමිකයන් තුළ වැඩි වැඩියෙන් ප්‍රවර්ධනය කරන්නේ භක්තිය හා පක්ෂපාතිත්වයේ අවශ්‍යතාවයි. ඒ වෙනුවෙන් ඔවුන් ම එක්තරා ආකාරයක ආගමික ශාස්තෘවරයෙක් ලෙස පෙනී සිටිනවා. 

වාමාංශික ආගමික කල්ලි හා ඒවායේ චූල ශාස්තෘවරුන් හඳුනාගන්න පුළුවන් ලක්ෂණ කීපයක් මෙහෙමයි. 


  • නායකයා කරන්නේ ෆුල්ටයිම් පොත් කියවන එක හා කලාතුරකින් යමක් ලියන එක. ලිව්වොත් ලියන්නේ කුරාණය වගේ කාටවත් සංස්කරණය කරන්නට බැරි දෙයක්. 
  • අනෙක් අයට තියෙන්නේ එයාට පොත් හොයා දෙන එක. එයා පොත් කියවන අතරේ එයාට බත් උයා දෙන එක. එයා පොත්වලින් මොකක් හරි තේරුම් ගත්තා ම ආකිමිඩීස් වගේ එළියට ඇවිත් යුරේකා කියනකොට ඇස්වල කඳුළු පුරෝගෙන ඒක අහන් ඉන්න එක වගේ පොඩි පොඩි අතානාත්තු. තව ඉතින් ඉඳ හිට සම්මන්ත්‍රණ තියෙනකොට පෝස්ටර් ගහන එක, බුක් මාක් විකුණන එක ව‍ගේ ශ්‍රේෂ්ඨ, අවදානම් සහගත වගකීමුත් පැවරෙනවා. 
  • අනුගාමිකයා නායකයාව ක්වෝට් කළ යුතුයි. නැතිනම් නායකයාගේ ශාස්තෘවරයාව ක්වෝට් කළ යුතුයි. වෙන අය බැහැ. ඒ අය විතරයි. 
  • නායකයා තමයි පක්ෂය. ඉතින් අචල විශ්වාසය ඉතා වැදගත්. නායකයා සියල්ල දන්නවා. ඔහු කළ යුතු දේ වෙලාවට කියාවි. එතකල් වේට් ඇන් සී! 
  • නායකයාගේ භක්තිමත් අනුගාමිකයන්ට නායකයාගෙන් විශේෂ වරදාන ලැබේ. එයාගේ කවි තමයි කවි. හරියට ප්‍රභාකරන්ට පුදුවෙයි රත්නදුරෙයි වගේ. ඒ අය ලියන, හදන නිර්මාන විතරයි විචාරයට ලක් වන්නේ. ඒවා තමයි කෘති. අනෙක් ඒවා ගණන් ගන්නේ ඒ අය තමන්ගේ සාක්කුවේ ඉන්න විදිය අනුවයි. (කවි ගැන විශේෂයෙන් කිව්වේ, අනුගාමිකයන්ට ඔය කවියක් හෙවත් නිසඳැසක් ලියාගෙන ඉන්න එක තමයි තියෙන්නේ.)
  • නායකයාට හෙවත් පක්ෂයට ද්‍රෝහී වෙනවා කියන අපරාධයට අවම දඬුවම මරණ දඬුවමයි. 


මේවා ගැන තවත් තොරතුරු දන්නා අයට අඩුපාඩු සම්පූර්ණ කරන්නට පුළුවන්. 

මේ ඉන්නේ ලංකාවේ බිහි වූ ප්‍රධාන වාමාංශික ශාස්තෘවරු (මේ ඇතැමෙක් ජාතිවාදීන් වන්නට පුළුවන. එහෙත් සම්භවය හා ක්‍රමවේදය එක ම ය):

  • නැසීගිය රෝහණ විජේවීර
  • නැසීගිය  වේලුපිල්ලේ ප්‍රභාකරන්
  • මහින්ද රාජපක්ෂ (ඔහුගේ නම මෙතැනට ඇතුළත් කිරීම ගැන යමෙකු ප්‍රශ්න කළ හැකි ය. එහෙත්, ප්‍රායෝගික මධ්‍යම පංතික විප්ලවයක් කරමින් ලංකාවේ වාමාංශිකයන්ගේ පංතිය වන මධ්‍යම පංතිය ශක්තිමත් කළ මධ්‍යම පංතියේ නායකයා ය. ඔහු උතුරු කොරියාවේ කිම් ජොන් ඉල් වැනි විප්ලවවාදියෙකි. විස්තර ඕනෑ නම් පසුවට) 
  • ප්‍රේමකුමාර් ගුනරත්නම්
  • නැසීගිය කමල් දේශප්‍රිය මන්නවත්ත 
  • රොහාන් පෙරේරා
  • දීප්ති කුමාර ගුණරත්න
  • රෝහිත භාෂණ අබේවර්ධන
  • නලින් ද සිල්වා
  • විජේ ඩයස්


වාමාංශික ශාස්තෘවරුන් වෙන්නට ට්‍රයි කර අතහැර දැමූ අඩු වැඩි වශයෙන් ආගමික ශාස්තෘවරුන් කීපදෙනෙක් මෙසේ ය. වානිජ හෝ වෙනත් කවර හෝ හේතු නිසා ඇතැමෙක් මොවුන් ශාස්තෘ මට්ටමේ සලකති. නැතිනම් ශාස්තෘ මට්ටමෙන් ගෙන විරුද්ධ වෙති

  • ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
  • නැසීගිය සරත් ප්‍රනාන්දු 
  • නැසීගිය සුනිලා අබේසේකර
  • කුමාර් රූපසිංහ
  • නැසීගිය බාලා තම්පෝ
  • පාඨලී චම්පික රණවක
  • නැසීගිය මහාචාර්ය සුචරිත ගම්ලත්


පහත දැක්වෙන්නේ තවම ශාස්තෘභාවය අත්පත් කර නො ගත්, ඒකට පෙරේතකම ඇති වෙන්ඩ ශාස්තෘලා ය. 

  • සිරිතුංග ජයසූරිය
  • සුමිත් චාමින්ද
  • විදර්ශන කන්නන්ගර
  • කේ.කේ. සමන් කුමාර
  • ගෙවිඳු කුමාරතුංග


ඉහත ලැයිස්තුවෙන් නම් ඉවත් කළ යුතු බවට හෝ වෙනත් අය එයට ඇතුළත් කළ යුතු බව සිතන්නේ නම් ඉදිරිපත් කරන්න. 

මේ ආගමික කල්ලි හා ඒවායේ ශාස්තෘවරුන් හඳුනා ගැනීම හා ඔවුන් කළමනාකරණය කර ගැනීම යහපත් සමාජයක් අපේක්ෂා කරන අය විසින් කළ යුතුව ඇති දෙයකි. 

ඇඩ් එක: 
අප ශාස්තෘ නවකතාව ලියුවේ ඔවුන් හඳුනාගැනීම සඳහා සංවාදයකට ඉවහල් කර ගැනීම ය. මේ සංවාදය මේ සම්ම ජාතියේ නො කෙරෙන්නට හේතුව ඉතා පැහැදිලි ය. අඩු ගානේ මෙහෙම පොතක් තිබේ ද කියා ඉහත නම් සඳහන් අයගෙන් අසා බලන්න. ඔවුන් එය දැක නැත. නිදාගෙන සිටිනවුන් අවදි කරන්නට බැරි ය. එහෙත්, අපි ඒ අරගලය අතහැර දමන්නේ නැත. පොත කියවන්නට අවශ්‍ය නම් එය ලබා ගත හැකි ආකාරය පිළිබඳ විස්තර බ්ලොගයේ වම් පැත්තේ කොලමේ තිබේ. 

ඇදහිලි කල්ලි පිළිබඳ නිශාන්ත කුලරත්න පරිවර්තනය කළ පොත ගැන විස්තර මෙතැනින්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-19

ආපදා කළමනාකරණය හා හෙල්පිං පොළොන්නරුව

දහසක් දේ කතා කරන මේ ඡායාරූපය ඩේලි නිව්ස් පුවත්පතෙනි. මං ඒ පත්තරේ කර්තෘ වුණානම් මේක පිටු කාලක් තරම්වත් ලොකුවට පළ කරමි.  
1994 – 2014 සමයේ ලොව පුරා වාර්තා වූ ආපදා අතරින් 43%ක් ම ගංවතුරයි. එයින් බිලියන් 2.5ක් ජනයා පීඩාවට පත් වූ හ. 1994 – 2014 සමයේදී ලොව පුරා බිලියනයක් ජනයා නියඟයෙන් පීඩාවට පත් වූ හ. එය ස්වාභාවික ආපදාවලින් පීඩාවට පත් වන්නන් සෑම සිව්දෙනෙකුගෙන් ම එක් අයෙකි. පීඩාවට පත් වන සෑම දහසකින් ම 79ක් සුනාමි මරණයි. භූමිකම්පා මරණ 4කි. මේ අනුව සුනාමි, ගොඩබිම ඇති වන භූමිකම්පා මෙන් 20 ගුණයක් භයානක ය. (ලෝකයේ ආපදා තත්වය ගැන විස්තර රැසක් මෙම ලිපියේ ඇත.)

දේශගුණික විපර්යාස හේතුවෙන් අද වන විට, ගංවතුර, කුණාටු වැනි ස්වාභාවික ආපදා සිදු වීම වසර 25කට පෙර තිබුණාට වඩා දෙගුණයකින් වැඩි වී තිබේ.

ශ්‍රී ලංකාවේ අපි ද වාර්ෂිකව දැවැන්ත ස්වාභාවික ආපදාවන්ට මුහුණ දී ඇති බව පසුගිය වසර දහයක පමණ අතීතය විමසා බලන විට පෙනේ. 

2004 සුනාමි ආපදාව යනු ශ්‍රී ලංකාව තවමත් පූර්ණ වශයෙන් ගොඩ නො ආ තත්වයකි. එහෙත්, විධිමත් පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතියක් තවමත් අපට නැත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විහිළුවක් බවට පත් වී තිබේ. 

තිලකසිරි ඒකනායක මෙසේ පවසයි. “ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය දෙස බැලු විට අප ඉන්නේ 1950ටත් එපිට බව සිතේ. එහි ඇත්තේ යල්පැනගිය තාලේ අනතුරු අඟවීම්ය. ජලාශවල ජල මට්ටම හෝ නායයෑමේ අවදානම් කලාප පිලිබඳ බලධරයෙක් අත්සන් කරන තුරු එහි පළ කරන්නට බැරිය. හරිනම් මේ මොහොතේ නිදිවර්ජිතව විනාඩියෙන් විනාඩිය ජනතාව දැනුවත් කරන බලධාරීන් හා ආධාර කණ්ඩායම් සම්බන්ධීකරණය කරන ප්‍රධානම් මාධ්‍යය විය යුත්තේ මේ වෙබ් අඩවියයි. ලෝකයේ බොහෝ රටවල ආපදා කළමනාකරණයට තොරතුරු සන්නිවේදන තාක්ෂනය ඉතා කාර්යක්ෂමව යොදා ගනිද්දී අඩු ගානේ හදිසි තත්වය පිලිබඳ සජීවී අප්ඩේට් එකක්වත් එහි නැත."

තත්වය එයයි. 

ස්වාභාවික ආපදාවලින් ආරක්ෂාව සලස්වා ගත හැකි එක් ආකාරයක් වන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් ජාතික මට්ටමෙන් මෙන් ම ප්‍රාදේශීය මට්ටමෙන් ද යළි විවරණය කිරීමයි. අවදානම් සහගත බෑවුම්වල හා ගංවතුරට ගොදුරු වන පහත් බිම්වල ජනයා ජීවත් විය යුතු නැත. මධ්‍ය කඳුකරයේ ඉහළ බිම්වල නැවත වන වගා කළ යුතු ය. ආර්ථික හා සමාජමය වශයෙන් ඵලදායී නො වන, දුෂ්කර ප්‍රදේශවල ඉඩම් හා ජන ජීවිත හැර දමා ජනයා නගර වෙත සංක්‍ර‍මණය වීම ආර්ථික මෙන් ම සමාජමය වශයෙන් ද ඵලදායී වනු ඇත. ඵලදායී නො වන කෘෂිකර්මාන්තයක් නිසා පුරන් වන කොළඹ, කලුතර, ගම්පහ, ගාල්ල වැනි දිස්ත්‍රික්කවල වැඩකට නැති හවුල්, තට්ටුමාරු කුඹුරු ඉඩම් පාරිසරික තුලනය ගැන සිතමින් විධිමත් අන්දමින් ගොඩ කර මිනිසුන්ට පදිංචි වීමට හා කර්මාන්ත පිහිටුවීමට ලබා දිය යුතු ය. ඒ වෙනුවෙන් ආයෝජන ලබා ගැනීම ද දුෂ්කර නො වනු ඇත. 

කොළඹ හා ප්‍ර‍ධාන නගරවල ගංවතුර යයි කියන පිටාරයට ප්‍ර‍ධාන හේතුව අන් කිසිවක් නොව, අවිධිමත් සංවර්ධනයයි. කොළඹ මෙගාපොලිස් සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මේ වැරදි නිවැරදි කිරීම ගැන ගැඹුරින් කල්පනා කළ යුතු ය. 

එසේම, මහජනතාව පරිසරය ගැන සංවේදී වීම ද අත්‍යවශ්‍ය ය. තමන්ගේ පර්චස් දහයේ, විස්සේ ලෝකය සුරක්ෂිත වන්නේ අවට පරිසරය සුරැකුණොත් පමණක් බව අප සිහි තබා ගත යුතු ය. වගකීමකින් තොරව කැළෑ කැපීම, ඉඩම් ගොඩ කිරීම, ගොඩනැගිලි ඉදි කිරීම, කසල බැහැර කිරීම ආදිය ගැන ජනතාව සැලකිලිමත් විය යුතු ය. 

රජය කළ යුතුව තිබෙන්නේ ආපදාවක් පැමිණි විට එයට ප්‍ර‍තිචාර දැක්වීම පමණක් නො වේ. ආපදාවන් කල් තබා වළක්වා ගැනීමට ද උත්සාහ කළ යුතු ය. බොහෝ ගංවතුර හානි හා නාය යාම්වලට හේතුව එවැනි සැලැස්මක් නැතිකමයි. 

රටක මනා හමුදාවක් තිබිය යුත්තේ ඇයි ද යන්න මෙම ආපදා අවස්ථාවේදී හමුදා විසින් කරන ලද මැදිහත්වීමෙන් පෙන්නුම් කෙරිණි. ඔවුන්ට අපේ ප්‍ර‍ණාමය හිමි විය යුතු ය. 

අනුන්ගේ විපතේදී අවංකව දුක් වන මිනිස්සු අප අතර බෙහෙවින් සිටිති. විපතට පත් ජනයාට උපකාර කිරීමට ඉදිරිපත් වන මිනිසුන්ගේ කාර්යභාරය ඇගයීමට ලක් විය යුතු ය. 

එහෙත් අපදාවලින් විපතට පත් වූවන් තවත් අපහසුවට පත් කරන ආපදා සංචාර හා ප්‍ර‍චාරක වැඩ නම් පිටුදැකිය යුතු ය. 

මහ වැසි මැද හෙල්පිං පොළොන්නරුව වැනි ගිනුම් විවෘත වනවා ද යන්න ගැන ද අවධානයෙන් සිටිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-18

යුද ජය කියා සමරන්නට ඇත්තේ යුද අපරාධ අතීතයකි

යුද ජය සමරන්නේ නැති එක ගැන ආණ්ඩුවට ප්‍රශංසා කරමි.

එය සැමරිය යුතු නැත. දිනුවේ රජයේ හමුදා ය. පරාජය වුණේ කොටි සංවිධානයේ හමුදාවයි. එහෙත්, දෙපැත්තේ ම මැරුණේ අප ඔබ වැනි මිනිස්සු ය. මිනිසුන් ලෙස අප පරාජිත ය. එහෙයින් හමුදා ලෙස යුද ජය සමරන්නට යාම තේරුමක් නැත. 

මෙම යුද්ධය නීති නැතිව කළ ක්‍රීඩාවකි. මුලදී ම ඒ මැච් එක දාගත්තේ මැච් නො ගැසිය යුතු තත්වයක ය. දෙපැත්තේ ම ක්‍රීඩකයන් ශාරීරික උත්තේජන ගෙන තිබියදී ය. ඒ ජාතිවාදයෙනි. එසේම දෙපැත්තේ ම පීඩිතයන්ට යුද්ධයක් දරා ගැනීමේ හැකියාවක් නො තිබිණි. 

ඊළඟට දෙපැත්තෙන් එක පැත්තක්වත් යුද නීති තැකුවේ නැත. දෙපැත්ත ම කීවේ යුද්ද කරන්නේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ය කියා ය. රජය කීවේ එය මුදා ගැනීමේ මෙහෙයුමක් ය කියා ය. රෙද්දෙ විමුක්තිය ය. රෙද්දෙ මුදා ගැනීම ය.

කොටි සංවිධානය යුද්ධයට ගියේ ම සියල්ල පරදුවට තබලා ය. පිටරට සුවපහසු ජීවිත ගත කරන ගමන් ලංකාවේ පීඩිත දෙමළ ජනයා යුද්ධයට තල්ලු කළ දෙමළ ඩයස්පෝරාව අවසානයේදී ලංකාවේ කොටි හමුදා විනාශ වන එක හා දෙමළ සිවිල් වැසියන් විශාල පිරිසකගේ ජීවිත වැනසෙන එක නිකම් බලා සිටියේ ය. 

ආණ්ඩුව මෙන් ම කොටි සංවිධානය ද යුද්ධයෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට තීන්දු කර තිබුණු සංදර්භයක් තුළ සාම දේශපාලනයට කළ හැකි කිසිවක් තිබුණේ නැත. 

කොටි සංවිධානය මෙන් ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ද යුද්ධයෙන් විපතට පත් දෙමළ සිවිල් වැසියන් ගැන තඹ දොයිතුවකට සැලකුවේ නැත. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුද ජයග්‍රහණය යනු යුද අපරාධග්‍රහණයකි. කොටි සංවිධානය ද යුද අපරාධ කළේ ය. 

උතුරේ කාලයක් තිස්සේ කොටින්ගේ නිල නොලත් රජයක් පැවතිණි. රජයක් යනු කොහේ තිබුණත් බලහත්කාරයකි. ප්‍රජාතන්ත්‍රවාදීව පත් වුණත්, ආණ්ඩුව යනු බලහත්කාරයකි. නිදසුනක් ලෙස රජය පවතින්නේ ජනතාව බිය වද්දා බදු අය කර ගැනීමෙනි. බදු පැහැර හරින්නන්ට නීතියෙන් දඬුවම් කරනු ලැබේ. උතුරේ පැවති ආණ්ඩුව වන කොටි සංවිධානය එහි වැසියන් යටත් කර ගත්තේ මේ රාජ්‍ය බලහත්කාරය භාවිතා කරමිනි. 

කොටි හමුදා, පොලිසිවලට කාඩරයන් බඳවා ගැනීමේදී මෙම රාජ්‍ය බලහත්කාරය පාවිච්චි කෙරිණි. 

එයට අමතරව, රජයන් ජනමාධ්‍ය, අධ්‍යාපනය, පරිපාලනය ආදිය ද සිය මතවාද ස්ථාපිත කිරීමට භාවිතා කරයි. කොටි සංවිධානය ද එ්වා කළේ ය. 

කොටි සංවිධානයට වසර ගණනාවක් තිස්සේ උතුරේ නිල නොලත් රාජ්‍යයක් පවත්වාගෙන යන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නිල ලත් ශ්‍රී ලංකා රජය වගකිව යුතු ය. එම නිල නො ලත් රාජ්‍යයේ යටත් වැසියන්ට එම රජයට යටත් වීම හැර වෙනත් විසඳුමක් නැත. ඔවුහු අසරණ ය. 

ගුවනින් බෝම්බ දමා, කාලතුවක්කු ගසා, වෙඩි තබා, අත්අඩංගුවට ගෙන, භාර වූ පසු බුරුතු පිටින් මරා දැමුවේ තමන් වගකිව යුතු වරදක ගොදුරු බවට පත් වී සිටි අසරණ ජනතාවකි. 

මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සහචරයන් දැවැන්ත යුද අපරාධයක වරදකරුවන් වන්නේ එසේ ය. එසේම, ඔහුට යුද්ධයට අනුබල දුන් ජවිපෙ, පෙසප (පූර්ව), ලසසප, කොප වැනි වාමාංශික පක්ෂ ද ඇතුළුව සියලු ජාතිවාදී පක්ෂ මෙම යුද අපරාධයේ හවුල්කරුවෝ ය. 

විශේෂයෙන් ම, ජනමාධ්‍ය ඇතුළු සිවිල් සමාජය ද යුද අපරාධකරුවෝ ය. 

කොටි සංවිධානයට යුද්ධ කරන්නට අනුබල දුන් සියල්ලෝ ද යුද අපරාධකරුවෝ ය. 

ජයග්‍රහණය කියා සමරන්නට ඇත්තේ මේ යුද අපරාධ අතීතයයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-05-17

අපි හැමෝම තකතීරුවො - අන්න ඒක නිසා තමයි - කෙස් පැලෙනා මොළකාරයො - අතළොස්සක් ඕන අපට

W3Lanka බ්ලොගය පවත්වාගෙන යන්නේ එහි රචකයාට ඇති මාර රීඩිං එක හා මාර අදහස් සමාජය වෙත දානය කිරීමට නො වේ. ඇත්තම කියනවා නම් එහෙම ලොකු මගුලක් මේ ලියන මා ළඟ නැත.

අශෝක හඳගමගේ චිත්‍ර‍පටය පිළිබඳ අප ලියූ සටහනත් එවැනි ය. එය ලිව්වේ වරලත් විචාරකයන්, කියවන්නන් හා සිතන්නන් ගැන මගේ රසවින්දනය නම් සටහන ලියූ දිනවල ම ය. එය රාවයට යැවූ දිනය පරීක්ෂා කර බැලුවෙමි. ඒ මැයි 2දා ය. බොරු නම් ජනරංජනගෙන් අහන්න.

ඒ නිසා පහත පළ වන සටහනේ මුල් වාක්‍යය ම වැරදි ය. මං එච්චර සිරා නැත. දෙවන වාක්‍යයේ ඇත්තේ මා කෙරෙහි වෛරය හා මගේ පැවැත්ම නිසා ඇති වී තිබෙන අසහනයයි. තුන්වන වාක්‍යයේ ඇත්තේ මා විසින් කරගෙන යන සංවාදයක් නිසා ඇති වී තිබෙන වේදනාවයි. හතරවන වාක්‍යය අමු බොරුවකි. කෙසේ වෙතත්, හඳගමගේ ඇගේ ඇස අග චිත්‍ර‍පටය ගැන මා ලියූ රසවින්දනයේ අදහසක් ලෙස ඇනොනිමස්ව පළ වුණත්, එම සටහන වැදගත් නිසා මෙහි යළි පළ කරමි. එහි බොහෝ කරුණු ගැන මට ලොකු ප්‍ර‍ශ්නයක් නැත. මගේ අදහස් සටහන තුළ ම රතු අකුරෙන් තබමි.

අජිත් පැරකුම් ජයසිංහ කල්පයක් පෙරුම් පුරා හඳයාගේ අභිනව සිනමාව පිළිබඳ ස්වකීය පැරාමය කියවීම පළ කර ඇත. සකල විධ ලෝක ධාතුවේ සෑම සියලු ගැටලුවකට ම පිළිතුරු සපයන ජයසිංහයන්ගේ මහා ආඛ්‍යානය විසින් ම එහි විසංයෝජනයක් ද ඉල්ලා සිටිනු ලැබේ. අජිත් පැරකුම් ජයසිංහ සුපුරුදු ලෙස තම මහා ආඛ්‍යානය අවසන් කරන්නේ වමට ආඬපාලියක් පැවසීමෙනි. ඉන් නො නවතින ජයසිංහයන් මනෝවිශ්ලේෂණය පිළිබඳ ද දැවැන්ත විනිශ්චයක් ලබා දෙයි.

අජිත් පැරකුම් ජයසිංහට අනුව හඳයා “ඇගේ ඇස අග” තුළින් වාමාංශිකයන්ට ද මනෝවිශ්ලේෂකයන්ට ද ටොෆි කවා ඇත. ඩේන්ටී, එඩ්නා, ඩයනා, යා-සොන්කෝ (මොනවද යකෝ ඒ ටොපි ජාතිය?) ඈ නේක ටොෆී නිෂ්පාදයන් සිටින රටක තමා ද “ඇගේ ඇස අග” නමින් ටොෆි නිෂ්පාදනයක් එළි දක්වන්නට තරම් හඳයාට මඤ්ඤං යැයි අපි නො සිතමු. ජයසිංහයන් වාමාංශිකයන් පිළිබඳ පවසන මුග්ධ ප්‍රකාශ අප විසින් දිගු කලක් තිස්සේ විචාරණයට ලක් කරනු ලැබ ඇත. එනිසා මෙම ආලෝචනය මඟින් අපි ජයසිංහයන් මනෝවිශ්ලේෂණයත් ඒ හා සබැඳි ලකානියානු මාර්ක්ස්වාදයත් ප්‍රංශ ව්‍යුහවාදයත් පිළිබඳ ප්‍රකට කරවන අස්ථානීය අනවබෝධයන් කීපයක් පිළිබඳ සම්පරීක්ෂා කරමු. (ඔච්චර බර වචන ඕනෑ නැත. මං ඕවා ගැන සිරාවට හදාරන්නේ නැත. යම් යම් දේ කියවලා නම් ඇත. ඒවා මතක තබා ගැනීමට මෙමරියේ ඉඩ වෙන් කර නැත.)

ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණය හෝ එයට යම් ආකාරයකින් විසංවාදී වූ යුංගේ ඉලෙක්ට්‍රා සංකීර්ණය හෝ එකී ද්විත්වය ව සමතික්‍රමණය කළ ලකාන්ගේ සංකේතීය පියා හෝ අජිත් පැරකුම් ජයසිංහ පවසන ආකාරයේ සීනි බෝල සංකල්පයන් නො වේ. ඒවා දාර්ශනික වශයෙන් සුනිශ්චිත සංකල්පයන් ය. (එකඟ ය. එහෙත්, සංකල්ප යනු මොනවා ද? සංකල්ප යනු සත්‍යයන් නො වේ. සත්‍යය වටහා ගැනීමට දරන ලද ප්‍ර‍යත්නයකි. අවසානයේදී සත්‍යය ද සංකල්පයක් විය හැකි ය. සත්‍යය කියනවාට වඩා සත්‍යයන් කියා කියන එක වඩා නිවැරදි වන්නට ද පුළුවන.

Concepts are the constituents of thoughts. Consequently, they are crucial to such psychological processes as categorization, inference, memory, learning, and decision-making. This much is relatively uncontroversial. But the nature of concepts—the kind of things concepts are—and the constraints that govern a theory of concepts have been the subject of much debate. This is due, at least in part, to the fact that disputes about concepts often reflect deeply opposing approaches to the study of the mind, to language, and even to philosophy itself. (මූලාශ්‍ර‍ය මෙතැනින්)


පරිවර්තනය: සංකල්ප යනු මොනවා ද? ප්‍ර‍තිඵලයක් ලෙස, ඒවා වර්ග කිරීම, මැදිහත් වීම, මතකය, ඉගෙනීම හා තීරණ ගැනීම වැනි මානසික ක්‍රියාවලි සඳහා වැදගත් වේ. ඒ දක්වා ඒවා සාපේක්ෂව මතභේදයන්ගෙන් තොර ය. එහෙත්, සංකල්පවල ස්වභාවය හා සංකල්ප න්‍යායක් පාලනය කරනු ලබන සීමා විවාදයට හේතු වේ.එසේ වන්නේ, අඩු තරමේ පාර්ශ්විකව හෝ සංකල්ප පිළිබඳ මතභේදවලින් බොහෝ විට නිරූපණය වන්නේ මනස පිළිබඳ හැදෑරීම, භාෂාව හා දර්ශනය වෙත පවා ප්‍රවේශ වීමේදී දක්නට ලැබෙන ගැඹුරින් ම පරස්පර වන ස්වභවයක් ය යන කරුණ මත ය.


සංකල්ප ලෝකය සමස්තයක් ලෙස ගැනීම කිසිවකුට කළ නො හැකි දෙයකි. කළ හැක්කේ සංකල්ප පිළිබඳ විවෘත මනසකින් යුක්ත වීම පමණි. යමෙකුට කිසියම් සංකල්පයක් ගැන වැඩිපුර හැදෑරිය හැකි ය. එය සත්‍යය ලෙස පිළිගැනීම යනු පෞද්ගලික දෙයකි. එහෙත්, එය අනෙකා මත පටවන්නට යාම ආගමික ප්‍ර‍චණ්ඩත්වයකි. අපේ දේශපාලනය තුළ අපි එයට එරෙහිව අරගලයක නියැලී සිටිමු. අප නිදහස් චින්තනය දිරිගන්වන්නේ ඒ නිසා ය.)


ළදරුවෙකු තම මව සමඟ ද ළදැරියක තම පියා සමඟ ද ලිංගික සම්බන්ධතාවයට දක්වන “ආශාව” අවිඥානික ව ගතිකාවරෝධනයකට ලක් කර ගැනීම නිසා එකී ළදරුවාගේ හෝ ළදැරියගේ හෝ මනස තුළ ජනනය වන මනෝගතීන් හා භාවයන් ඥානනය කිරීම සඳහා ෆ්‍රොයිඩ් ඊඩිපස් සංකීර්ණය සංකල්පගත කළේ ය. එහි දී ඔහු සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ එන සොපොක්ලීස්ගේ ඊඩිපස් නාට්‍යාඛ්‍යායනයේ එක් චරිතයක නාමකරණය භාවිතා කර ඇත. යුං විසින් සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ එන සොපොක්ලීස්ගේ ම ඉලෙක්ට්‍රා නාට්‍යාඛ්‍යායනයේ එක් චරිතයක නාමකරණය භාවිතා කර සංකල්පගත කරන ලද ඉලෙක්ට්‍රා සංකීර්ණය හෙවත් ළදැරියක තම පියා සඳහා තම මව සමඟ කරන මනෝලිංගික තරඟය, ෆ්‍රොයිඩ් විසින් ඊඩිපස් සංකීරණය මඟින් ස්ත්‍රී පුරුෂ ද්විලිංගයට ම සාර්වත්‍ර කරන ලදී.

ෆ්‍රොයිඩ් පවසන “ආශාව” යනු මානව ජීවිතයේ වැදගත් ම ගාමක බලය යි. මෙකී “ආශාව” යනු කුමක් ද යන්න විග්‍රහ කරන ලකාන් පවසන්නේ එය හුදු කැමැත්තක් පමණක් නො ව “අහිමි වීම” පිළිබඳ සංවේදනයක් බව ය. ලකාන්ට අනුව මෙම “ආශාව” මානව ජීවිතයේ විවිධ අවධිවල දී විවිධ වස්තු හා සංකල්ප වෙත යොමු වේ. “ආශාව” මෙලෙස යොමු වන වස්තු හා සංකල්පවල සංඝටකයන්ගේ සාර්වත්‍ර කුලකය ලකාන් විසින් “මහා අනෙකා” හෙවත් “සංකේතීය සරණිය” ලෙස සංකල්පගත කෙරිණි (ලකාන් මේ සඳහා යොදා ගන්නා symbolic යන වදන ඔහු යොදන්නේ විශේෂණාර්ථයෙන් නො ව නාමාර්ථයෙන් ය). ෆ්‍රොයිඩ්ට අනුව ළදරුවා හෝ ළදැරිය හෝ තම “ආශාව” අවරෝධනය කර ගන්නේ වන්ධ්‍යකරණයට ලක් වීමට ඇති බිය නිසා වු ව ද ලකාන්ට අනුව එකී “ආශාව” අවරෝධනය කර ගනු ලබන්නේ මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළට ළදරුවා හෝ ළදැරිය හෝ අන්තර්ග්‍රහණය වීමේ දී එකී මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළ පවතින හාෂාත්මක සන්නිවේදනයත් අන්තර්පුද්ගල සම්බන්ධතාත් දෘෂ්ටිවාදීමය රීතීනුත් නීතියට අවනත වීමත් යන සංඝටකයන් සමඟ අනුගත වීමක් ලෙස ය. එනම් මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළට අන්තර්ග්‍රහණය වන ළදරුවා හෝ ළදැරිය හෝ එකී භාෂාත්මක ලෝකය තුළ ව්‍යභිචාරවාරණිත දෘෂ්ටිවාදමය රීතීන්ට හා නීතීන්ට අනුගත වීමක් ලෙස තම මව හෝ පියා හෝ කෙරෙහි පවතින මනෝලිංගික ආශාව අහිමි කර ගනී. මෙලෙස ළදරුවෙකු තම මව කෙරෙහි හෝ ළදැරියක තම පියා කෙරෙහි හෝ දක්වන “ආශාව” අත්හැරීමේ දී ඒ සඳහා විකල්පය ලෙස තෝරාගනු ලබන හැඟවුම්කාරකය කුමක් ද යන්න ලකාන් සංකල්පගත කළේ ය. ලකාන් එකී හැඟවුම්කාරකය “පීතෘ නාමය” ලෙස සංකල්පගත කළේ ය. එනම් මව පිළිබඳ ආශාව අහිමි වීම හැඟවුම්කරණය ලකානියානු “පීතෘ නාමය” යි. මෙනයින් අපට පෙනී යනුයේ ලකානියානු “පීතෘ නාමය” යනු සංකේතයක් බව ය. එනම් “පීතෘ නාමය” යන්නට “සංකේතීය පියා” යන්න පර්යාය වේ. “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” මේ අනුව පුරුෂ වීම ම අවශ්‍ය නැත. එය අහිමි කරනු ලැබූ ආශාවට අනුගත ව පුරුෂ හෝ ස්ත්‍රී හෝ විය හැකි ය. සැබවින් ම “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” යනු ලකානියානු ශාස්ත්‍රීය සම්ප්‍රදානයේ එන සංකේතීය, විත්තරූපීය හා යථාමය යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් එකක් පමණි. පූර්ව භාෂාත්මක අවධියේ දී මව තම මහා අනෙකා බවට පත් වුව ද, භාෂාත්මක අවධියේ දී පියා තම මහා අනෙකා වන්නා සේ ම මානව ජීවිතයේ පසු අවධිවල දී විවිධ බලාධිකාරීත්වයන් හා සමාජායතනයන් තම මහා අනෙකා බවට පත් වන බව ප්‍රංශ ව්‍යුහාත්මක මාර්ක්ස්වාදීහු න්‍යායසූත්‍රගත කළහ (මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය පිළිබඳ ජීවමාන නිදර්ශන අප මෙහි ලා නො දක්වනුයේ ජයසිංහයන් අමනාප විය හැකි බැවිනි). (මෙතැනදී මට නම් මේ න්‍යායික සංකල්ප ගැන කියන්නට තිබෙන්නේ වචන තුනකි. ඉතින් අපට මොකද? සංකල්ප ගැන මීට ඉහතදී මම කරුණු ඉදිරිපත් කළෙමි.)

“සංකේතීය පියා” යනු අජිත් පැරකුම් ජයසිංහ පවසන හෝ සිතන හෝ ආකාරයේ ටොෆියක් නො වේ. ජයසිංහයෝ මෙසේ පවසති:

//පළමුවැන්න චිත්‍ර‍පටයේ වියපත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාට පෙම් බඳින සිසුවියගේ පියා ගැන ඇය ලවා කියවන කතාවයි. ඒ අනුව ඇය සොයන්නේ පියා ය කියන්නට ද සංකේතීය පියා ගැන කතා කරන්නට කැමති අයට ඒ ගැන කතා කරන්නට ද දැන් අවස්ථාව තිබේ.//

//ඇය එක් අවස්ථාවක සිය පියා සහභාගි වන රූපවාහිනී වැඩසටහනක් නරඹමින් සිටියි. අවශ්‍ය නම් ඇය ද සංකේතීය පියා සොයමින් සිටින බව කිව හැකි ය.//

පියා අහිමි වූ තරුණියක වියපත් පුරුෂයෙකුට මනෝලිංගික ආසක්තතාවයක් පෑ පමණින් හෝ තවත් දැරියක තම පියා රූපවාහිනියේ නැරඹූ පමණින් හෝ අජිත් පැරකුම් ජයසිංහ නිගමනය කරනුයේ ඇය සංකේතීය පියා සොයන බව ය. ඒ කියනා ඊනියා “සංකේතීය පියා” ලකානියානු සංකේතීය පියෙකු නො ව පැරාමය සංකේත පියෙකු විය යුතු ය. ජයසිංහයන් තම මහා ආඛ්‍යානය සිංහල බසින් ලියා ඇත්තේ ස්ලාවෝ ජිජැක්ගේ වාසනාවකට ය. මක් නිසා ද යත් යම් හෙයකින් ජයසිංහයන්ගේ ලිපිය අන්තර්ජාතික බසකින් ලියැ වී විශිෂ්ට ම සමකාලීන ලකානියානු අර්ථකථනවේදියා වන ස්ලාවෝ ජිජැක් විසින් කියැවිණි නම් ජිජැක් වස කා ස්ලෝවේනියාවේ ශාන්ත මේරි කඳු මුදුනින් පැන සිය දිවි නසා ගනු නියත ය. (ලංකාවේ ජිජැක්වාදීන් කියන කරන දේවල් දන්නවා නම් ජිපැක් එතැනින් පැන බොහෝ කල් ය. ජිජැක් එතනින් පැන්නත් අපට නම් අසන්නට තිබෙන්නේ ඉතින් අපට පාන් ද කියා ය. ඉතිහාසය තුළ තව ඕනෑ තරම් දාර්ශනිකයන් බිහි වනු ඇත. හරියට සංගක්කාර විශ්‍රාම ගියා ය කියා ලංකාවේ ක්‍රිකට් නැති වෙන්නේ නැහැ වගේ ය.)

අජිත් පැරකුම් ජයසිංහට මාර්ක්ස්වාදයේ ව්‍යාකරණය නො තේරෙන නිසා ඔහු මාර්ක්ස්වාදීන් වන අපට සදයෝපහාස නඟන සේ ම, අජිත් පැරකුම් ජයසිංහට මනෝ විශ්ලේෂණයේ ව්‍යාකරණය ද නො තේරෙන නිසා ඔහු සර්පයාට ද සදයෝපහාස නඟයි. සත්‍ය ලෙස ම ජයසිංහයන් සදයෝපහාස නඟාගත යුක්තේ තමන්ට ම ය. පැරකුම් ජයසිංහයන්ට මඤ්ඤං වුණාට සමන් කුමාරයන්ට මඤ්ඤං නැත. (ව්‍යාකරණය ගැන හොඳම වාග් විද්‍යාත්මක සංකල්පයක් සිදත් සඟරාවේ තිබේ. එහි තිබෙන වහරනු සෙරෙන් සපයා යන්නෙහි අරුත විමසා බලන්න. ව්‍යාකරණය හැදෙන්නේ ව්‍යවහාරයෙන් ය. ලාංකීය සිංහල මාක්ස්වාදයේ මෙන් ම සිංහල මනෝ විශ්ලේෂණයේ ද ව්‍යාකරණය සෑදී ඇත්තේ ව්‍යවහාරික ලෝකයෙන් නො වේ. මනසිනි. මේවා විඥානවාදී ආගම් වන්නේ ඒ නිසා ය.)

දෘෂ්ටිවාද ප්‍රචාරණයට කලාකරුවන් කලාකෘති බිහි කළ යුතු නැත. වරක් ලෙනින් ම පවසා ඇත්තේ කලාව සම්බන්ධයෙන් නම් සෝවියට් නිල කලාකරුවන් කියවීමට වඩා ධනවාදී පුෂ්කින් කියවීම මනා බව ය. ප්‍රතිභාසම්පන්න කවියෙකු වූ මයාකොවුස්කි හුදෙක් විප්ලවයේ කවියා පමණක් වූයේ ද දෘෂ්ටිවාද ප්‍රචාරණයට කලාව භාවිතා කිරීමට යාම නිසා ය. සමාජ-දේශපාලන විප්ලවයේ දී කලාකරුවාගේ කාර්යභාරය මාර්ක්ස්වාදී අපට නම් පැහැදිලි ය. එනම් මානව ජීවිතය නිදහසේ සුපුෂ්පිත වන්නට බාධා කරන ඊනියා සමාජ සම්බන්ධතාවල අඵලත්වය ඉස්මතු කර ඒවා ප්‍රශ්න කරනු ලබන තැනට රසික ජනයාගේ ආනන්දයත් ප්‍රඥාවත් පුබුදුවාලීම ය. එලෙස අවදි වන ජනතාව මුළු ගන්වා විප්ලවීය වෙනස කිරීම දේශපාලන කාර්යයකි. (මෙය ඉතා අරුත්බර ප්‍ර‍කාශයකි. එ් මත පදනම්ව ගත්තත්, ඊනියා න්‍යායික සංකල්ප වන්දනා කිරීම යනු මිනිස් ජීවිතය නිදහසේ සුපුෂ්පිත වන්නට බාධාවකි. අප කරන්නේ ඔබ ඔය කියන ඊනියා සමාජ සම්බන්ධතාවල අඵලත්වය ඉස්මතු කර ඒවා ප්‍ර‍ශ්න කරන එක තමා ය. ඉතින් තරහා ඇයි? පැරාට රසික (සූරියආරච්චි?) වන්නට බැරි ද?)

පතී හෑත්තෑව දශකය පුරාවට ඉටු කළේ ද හඳයා පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ඉටු කළේ ද කලාකරුවාගේ එකී කාර්යභාරය ය. විශිෂ්ට කලාකෘතිවලින් අවදි වන මාණවමාණවිකාවන්ගේ විප්ලවීය විභවය විප්ලවීය යථාර්ථයක් බවට පරිවර්තනය කරනු පිණිස අවැසි වාම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟනු වෙනුවට අජිත් පැරකුම් ජයසිංහ කරමින් සිටින්නේ ධනපති පංතිය සමඟ සංවාස වී එහි ප්‍රමෝදයෙන් උද්දීපනය වී වාම විප්ලවීය දේශපාලනයට ගැරහීම ය. (පට්ට ම දාර්ශනික අවුල තිබෙන්නේ මෙහි ය. ඔය කියන මානව මානවිකාවෝ, විප්ලවීය විභවය, විප්ලවීය යථාර්ථය, වාම විප්ලවීය දේශපාලන ව්‍යාපාරය, ධනපති පංතිය සමඟ සංවාස වීම ආදිය ගැන කරන්නට පුළුවන් හොඳම දෙය ඩික්ෂනරියක් ලියන එක ය. මන්ද, ඕවා වර්තමානයේදී භාෂාත්මක සංකල්ප පමණක් බවට පත්ව ඇති නිසා ය. මේ වචන උසුරුවීමේ ලාංකික රජු වන සුචරිත ගම්ලත් නම් අවසානයේදී ඩික්ෂනරි වැඩේ කළේ ය.)

තරුණ ශිෂ්‍යාව වියපත් ආචාර්යවරයාට මනෝලිංගික ආසක්තතාවයක් පෑමත් එමඟින් අවසානයේ වන වියවුලත් පිළිබඳ නො දන්නා “සංකේතීය පියෙක්” අල්ලාගෙන නන්දොඩවන අජිත් පැරකුම් ජයසිංහට අවසානයේ දී එම වියවුල එසේ වූයේ ඇයි යන වැදගත් ම ප්‍රශ්නයට පිළිතුර මඟ හැරේ. ජයසිංහයෙනි, මානව ජීවිතය නිදහසේ සුෂුෂ්පිත ව වැඩෙන්නට බාධා කරන ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන් බිඳ දැමීමකින් තොර ව ළඟා කරගත හැකි විමුක්තියක් නොමැත. එකී ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන්ගේ ආරක්ෂකයා ද ප්‍රවර්ධකයා ද වන ධනපති පාලක පංතියට කොන්දේසි විරහිත ව පහර දී සුනු විසුනු නො කර ඔවුන් හා සංවාස වී ඔවුන්ගේ වසුරු බුදිමින් නන්දෙඩවීමෙන් ඔබ ද අප ද බලාපොරොත්තු වන සාර සමාජය යථාකරණය කර ගත නො හැකි ය. (මෙතනදී මට ගූ ගසා ඉන්පසු පොඩි සම්මානයක් ද දී තිබේ. ඒ අර ‘ඔබ ද අප ද බලාපොරොත්තු වන සාර සමාජය' කෑල්ලෙනි. තැන්කියු! තැන්කියු!)

අජිත් පැරකුම් ජයසිංහ කන්දක් විළි ලා වැදූ මුෂික පැටියා වන ඔහුගේ “ඇගේ ඇස අග” කියවීම නම් අජූව ය. මීට දශක එකහමාරකට පමණ පෙර එක් සොඳුරු සැඳෑවක කොළඔ නගරයේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ වේදිකාව මත සිට විද්වත් සභාවක් අමතා ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ අතිදීප්තිමත් තාරකාව වන රෝහිත හාෂණ සහෝදරයා ප්‍රසන්නගේ ඉර මැදියම පිළිබඳ කළ අර්ථවත් හා රසවත් විචාරය මට සිහි වේ. සමාජ-දේශපලෙනමය කලා විචාරය වූ කලී එවැන්නක් නො වේ ද? අජිත් පැරකුම් ජයසිංහයෙනි, තෙපි මේ සා කාලයක් කවර නම් නයක් උගත්තෙහි ද? (මෙහි තිබෙන අර අති දීප්තිමත් තාරකා කෑල්ල ප්‍ර‍සන්නගේ පුරහඳ කළුවර ගැන ඔය වගේ සම්මන්ත්‍ර‍ණයකදී කළ මාර දේශනයක් ගැන කතාවක් කියන්නම්. ඔහු ඒ විචාරය කළේ චිත්‍ර‍පටය බලන්නේ නැතිව ය. ඒ විචාරයට ප්‍ර‍සන්නත් කැමති වූ බව කියූ ඔහු ඔහුට සිදු වූ වැරදීමක් අසු වීම අහම්බෙන් මිස් වුණ හැටි ගැන කියූ කතාවෙන් අපි මාර ආතල් එකක් ගත්තෙමු. රෝහිත භාෂණ දක්ෂ පුද්ගලයකු බව මම මීට කලින් ද සඳහන් කර ඇත. එහෙත්, ඔවුන්ට සාමාන්‍ය සොඳුරු මිනිසුන් ලෙස ඉන්නට නො දී අදහන්නට යාමෙන් විනාශ වන්නනේ ඔවුන් ම ය. මං හිතන්නේ ලංකාවේ අය අදහන ෆොරින් දාර්ශනිකයෝත් ඔය වගේ විය හැකි ය. ඒ අතින් කැමරාවට විරිත්තන අයින්ස්ටයින් වැනි මිනිස්සු නම් සැබෑ ම මිනිස්සු ය. වීරයා මැරිලා ගොඩක් කල් ය.)

අවසානයේදී මෙම කමෙන්ට්කරු මගේ රසවින්දනය අජූව බව කියා සිය තීන්දුව දී තිබේ. අජූව වුණත්, නැතත්, ඒ මගේ රසවින්දනයයි. ඒ ගැන ඔබේ විනිශ්චයන් මට අදාළ නැත. මගේ රසවින්දනය වෙනස් වනවා නම් වන්නේ මගෙන් ම ය. 

අපි හැමෝම තකතීරුවො
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයො
අතළොස්සක් ඕන අපට
(හිට්ලර්ගේ ඇමති මණ්ඩලය - පරිවර්තනය විජිත ගුණරත්න)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.