2016-07-30

ඒකා බද්ධ වෛරය

ඒකාබද්ධ විපක්ෂය පාද යාත්‍රාවක් ආරම්භ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය මෙන් ම පාද යාත්‍රාව ද වියුක්ත සංසිද්ධියකි. වියුක්ත යයි කියන්නේ ඒවායේ සංවිධාන ස්වරූපයේ හෝ අරමුණුවල සංයුක්තබවක් දක්නට නො ලැබෙන නිසා ය.

ඒකාබද්ධ විපක්ෂය එක පැත්තකින් පැහැදිලි නායකත්වයකින් තොර එකකි. එහෙත්, එතරම් සමාජ බලයක් නැති කුඩා ජාතිවාදී කණ්ඩායම් විසින් තම පැවැත්ම හා අරමුණු වෙනුවෙන් ඇදගෙන යනු ලැබේ. උදාහරණයක් ලෙස, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බෙංගමුවේ නාලක හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ගෙවිඳු කුමාරතුංග වැනි අය විසින් නායකත්වය දෙන කුඩා කල්ලි ඒකාබද්ධ විපක්ෂය දරාගෙන සිටින ශක්තියයි. ඔවුන් ඒ වෙනුවෙන් ඇප කැප වීමට මූලික හේතුව ඔවුන්ට පැවැත්ම ඇත්තේ ද මෙම වැඩසටහනට උර දීම තුළ පමණක් වන බැවිනි.

පොදු දේපල පනත යටතේ ඇප නොමැතිව බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත වීම රාජපක්ෂ පවුල පැත්තෙන් පාද යාත්‍රාවේ සංවිධාන කටයුතුවලට මැදිහත් වීම අවම කිරීමට හේතු වී ඇති බව පෙනේ. රාජපක්ෂ පවුල මුහුණ දී සිටින ප්‍ර‍ධාන අර්බුදය වන්නේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ චෝදනායි. මේ වන විට පරීක්ෂණ බොහොමයක් සෙමින් මුත් ස්ථාවර අවසානයන් කරා ළඟා වෙමින් තිබේ. අපරිණතකම නිසා වඩා අපරීක්ෂාකාරී ලෙස කටයුතු කර තිබෙන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ වැනි අය ඉතා පහසුවෙන්  නීතියේ රැහැනට හසු වන අයුරු පෙනෙන්නට තිබේ. බැසිල් රාජපක්ෂ වැනි අය අධික බලකාමයෙන් පෙළුණු අයයි. මහින්ද හා ගෝඨාභය වඩා දක්ෂ ලෙස කටයුතු කර තිබේ. එහෙත්, පොලිසිය හා අධිකරණය අපක්ෂපාතීව කටයුතු කරන්නේ නම් ඔවුන්ට මෙම චෝදනාවලින් ගැලවීම පහසු වන්නේ නැත.

රාජපක්ෂ පවුල මුහුණ දී සිටින ඇත්ත උභතෝකෝටිකය වන්නේ ආණ්ඩුව සමග සම්මුතියකට එළඹීමෙන් හෝ ගැලවී ගත නො හැකි තරමට විමර්ශන සිදු වීම හා නඩු පැටලීමයි. ආණ්ඩුවට එරෙහිව යාමෙන් ඔවුන් තවත් හිර වෙන්නට තිබෙන ඉඩකඩ ගැන ඔවුහු බිය වෙති. ඒ අතරවාරයේ ම, වෙන විකල්පයක් නැතිකම ද ඔවුන්ට බල පා තිබේ. ඒ නිසා ඔවුන් ඒකාබද්ධ විපක්ෂය සමග යනමුත්, ඒ ගමන එතරම් අධිෂ්ඨානයකින් කරන බවක් දක්නට නැත. විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ තුළ මෙම ලක්ෂණය පැහැදිලිව දකින්නට ලැබේ. ඒකාබද්ධ විපක්ෂයේ වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය අවධානය යොමු වන එක් ප්‍ර‍ධාන කාරණයක් වන්නේ මහින්ද ඒවාට එනවා ද නැද්ද යන්නයි. ඇත්තම කියනවා නම් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකයන්ට ද ඔහු ගෙන්වා ගැනීම සඳහා දැඩි උත්සාහයක්  දරන්නට සිදු වේ.

රාජපක්ෂ පවුලේ මහින්ද, නාමල්, බැසිල් වැනි අය තුළ දැකිය හැකි ප්‍ර‍මුඛ ලක්ෂණයක් වන්නේ ඔවුන් ජනප්‍රිය රැළිවල ගොදුරු බවට පත් වෙන්නට හා ඉන්පසු ඒවායේ නායකත්වයට පත් වන්නට තිබෙන නැඹුරුවයි. එයට මූලික හේතුව වන්නේ මොවුන්ට පැහැදිලි දේශපාලන දැක්මක් නැතිකමයි. දෘෂ්ටිවාදීන් නො වන ඔවුන් හැම විට ම ජනප්‍රිය රැල්ල සමග ඇදෙති. එසේම, මහජන බලවේග විසින් ඉල්ලා සිටින නායකත්වය දීමේ දක්ෂකමක් ද ඔවුන්ට තිබේ.

මෙම ලක්ෂණය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ දශකය තුළ පැහැදිලිව දක්නට ලැබුණු අතර, දෙමළ අරගලය යුදමය වශයෙන් පරාජය කර ලංකාවේ දේශපාලනය සම්බන්ධ සුසමාදර්ශීය වෙනසක් ඇති කිරීමට ද මහින්ද නායකත්වය දුන්නේ ය. එහෙත්, ඔහුගේ මෙම ලක්ෂණය නිසා ම ඔහුට එම සුසමාදර්ශීය වෙනස ප්‍ර‍ගතිශීලී සමාජ විපර්යාසයක් වෙත යොමු කරන්නට ද රටේ වැඩි ස්ථාවරත්වයක් ඇති කිරීමට ද යොදා ගැනීමට හැකි වූයේ නැත. ඔහුට යම් පැවැත්මක් හෝ ඉතිරි වුණේ යුද්ධයේ ජයග්‍ර‍හණය වෙනුවෙන් දුන් නායකත්වය හා අතිශය දූෂිත මුත්, යුද්ධයෙන් පසු දියත් කරන ලද සංවර්ධන ව්‍යාපෘති නිසා ය.

දැක්මකින් තොරව, ජනප්‍රිය බලවේග විසින් මෙහෙයවෙන නායකත්වයකට ලැබිය හැකි උපරිම වාසනාව මහින්ද රාජපක්ෂට ලැබුණු අතර, අද වන විට, තව දුරටත් වාසනාව මත පමණක් යැපෙන්නට හැකියාවක් නැත. සීමාන්තිකව මිථ්‍යාව පසුපස යමින් සිටි මහින්ද රාජපක්ෂට බලය ගිලිහීමෙන් පසු තමන්ට හා තම පවුලට අත්පත් විය හැකි තත්වය පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් ලබා ගැනීමට හෝ හැකි වූයේ නැත. වර්තමානයේ ඔවුන් මුහුණ දී සිටින දුෂ්කර තත්වයට හේතුව එයයි.

දැන් ඔවුන්ට ඉක්මණින් මේ රජය වෙනස් කර කලින් පැවති ක්‍ර‍මය ස්ථාපිත කර ගන්නට අවශ්‍යව තිබේ. එහෙත්, ව්‍යවස්ථාව අනුව හෝ පාර්ලිමේන්තුවේ පවතින බල තුලනය තුළ හෝ එවැන්නක් කිරීමේ කිසිදු හැකියාවක් නැත. මන්ත්‍රීන් මිළ දී ගෙන පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කරන්නට ඇතැමෙක් තබා ඇති බලාපොරොත්තු සිහින පමණි. ඒවා බලය ඇති කාලයේ කළ හැකි වුවත්, බලයෙන් ගිලිහී දුබලව සිටින මහින්ද රාජපක්ෂලාට එසේ කරන්නට කිසිදු හැකියාවක් ඉතිරි වී නැත. එහෙත්, කුමන හෝ අද්භූත ආකාරයකින් ආණ්ඩු බලය අතට ගත්තත්, මහින්ද රාජපක්ෂ පාලනය පැවති දශකයේ තිබුණු පැරණි ක්‍ර‍මය නැවත ස්ථාපිත කර ගැනීම ඉතා පහසු නැත. හේතුව, පසුගිය වසර එකහමාරකට වැඩි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආයතන හා නීති පද්ධති යම් දුරකට ශක්තිමත් වී තිබෙන හෙයිනි.

එහෙත්, පාද යාත්‍රා වැනි වැඩසටහන්වලට සැලකිය යුතු සෙනගක් ආකර්ශනය කර ගැනීමේ හා ඉදිරි මැතිවරණයකදී ශක්තිමත් තුන්වන බලවේගයක් වීමේ හැකියාව මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයට ඇති බව පිළි ගත යුතු ය. එහෙත්, එම ශක්තිය අධි තක්සේරු කර ගත යුතු නැත. ඔවුන් ශ්‍රීලනිපයෙන් කොටසක් කඩා ගත හොත්, එය එම පක්ෂයට කෙටි කාලීනව දරුණු පහරක් වනු ඇත. එහෙත්, ශ්‍රීලනිපය අභිභවා දෙවන තැනට ඒමට හෝ ඒකාබද්ධ විපක්ෂයට පහසු නැත.

ඒකාබද්ධ විපක්ෂය තමනුත් සහභාගි වී කරගෙන යන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ව්‍යවස්ථා මර උගුලක් ලෙස නම් කරමින්, සිංහල-බෞද්ධයන් කුපිත කරමින් ජාතිවාදයේ පිළිසරණ සොයන්නේ ඔවුන්ට තිබෙන එකම මාර්ගය වැටී ඇත්තේ ජාතිවාදය තුළින් වන බැවිනි.

ඒකාබද්ධ විපක්ෂයට ශක්තියක් නැතැයි කිසිවකුට පැවසිය නො හැකි ය. ඒ පසුපස තිබෙන අයෝමය ශක්තිය පෝෂණය වන කාරණා කීපයක් තිබේ. ඉන් පළමුවැන්න ජාතිවාදය ද නො වේ. ඒ වනාහි සමාජය ඉහ වහා ගිය දූෂණ ලෝලී, උන්නතිකාමී, පාරිභෝජනවාදී අමන මානසිකත්වයයි. මෙම බලවේගයට අවශ්‍ය වන්නේ අන් කිසිවක් නොව, රාජපක්ෂ සමය තුළ තිබුණු දූෂිත, අයුක්ති සහගත, අවනීතික, පාදඩ ක්‍ර‍මය නැවත ස්ථාපිත කර ගැනීමයි. මන්ද, ඔවුන් යැපුණේ එයින් වන හෙයිනි. රාජපක්ෂ දශකය තුළ වූ ප්‍ර‍ධාන සමාජ මැදිහත්වීම වන්නේ දූෂණය, අයුක්තිය හා බොරුව සමාජයේ ඉහළ සිට පහළ දක්වා ඉහවහා යාමයි. මෙම සමාජ බලවේගයේ ස්වභාවය නිරූපණය කරන එක් ජවනිකාවක් පාද යාත්‍රාවේ මුල් දිනයේ ම සිදු විය.

ගිලන් රථ යනු රෝහල්වල ඉතා දුලබ සම්පතකි. ඒවා නිකම් තිබෙන අවස්ථා ඉතා විරළ ය. එසේම ඒවා රැගෙන නිකම් එහේ මෙහේ යාමට රියදුරන්ට හැකියාවක් ද නැත. යම් රෝගියකු රෝහලකට ඇරලූ ගිලන් රථයක් ඉක්මණින් ආපසු යා යුතු ය. මන්ද, එය ආපසු එනතෙක් තවත් අසාධ්‍ය රෝගියකු බලා සිටින්නට ඉඩ ඇති නිසා ය. එවැනි ගිලන් රථයකට පහර දීමෙන් මෙම බලවේගයේ උම්මත්තක ස්වභාවය හොඳින් නිරූපණය වේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-29

වර්තමාන වැඳිල්ලේ අජූව

වැඳිල්ල අද වන විට පට්ට ජෝක් එකක් වී තිබේ.

මෙහෙම ගොන් වැඳිල්ලක් සිංහල සංස්කෘතියේ තිබුණේ නැත. ඒක හැදුවේ දූ දරුවෝ වැනි ටෙලි නාට්ටිවලිනි. ඉන්පසු අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒක රුවිතෙට ඇරියේ ය.

පිදීමට බඳුන් වීමට කිසිදු සුදුසුකමක් නැති, එහෙත්, අනුන් ලවා පුදවාගෙන බලවත් වීමට කැමති හාමුදුරුවන්, ගුරුවරුන් හා දේශපාලකයන් විසින් මේ වැඳිල්ල අද වන විට සමාජ පිළිකාවක් බවට පත් කර තිබේ.

මේ වීඩියෝව එහි ඇති අජූව මොනවට නිරූපණය කරයි.

කරුණාකර ඔබේ දරුවාගේ කොන්ද බිඳ නො දමන්න. මේ කුණු වැඳිල්ලට විරුද්ධ වන්න. අඩු තරමේ වැඳීමේ ගෞරවයවත් තබා ගන්න.



මේ ට්ක කලකට ඉහත මවිසින් තබන ලද සටහනකි.

අකිලගේ වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල

පසුගිය ජුනි මාසයේ දිනක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අතින් සිදු වූ අත්වැරැද්දක් මෙසේ ඡායාරූපගත විය. පිරිවෙන් ආචාර්යවරුන්ට පත්වීම් ලිපි දීගෙන දීගෙන යද්දී, එක දිගට භික්ෂූන්ට දෙකට නැවී වැන්ද අකිල විරාජ් අතපසු වීමකින් ගිහි පරිවේණාචාර්යවරයකුට ද දෙකට නැවී වැන්දේ ය.

එය හුදු අත්වැරැද්දක් වුව ද ජනමාධ්‍ය ඒ ඔස්සේ අධ්‍යාපන ඇමතිවරයා උපහාසයට ලක් කළේ ය. අපි අද කතා කරන්නට යන්නේ අකිලගේ වැඳිල්ල ගැන නො වේ. පාසල්වල තිබෙන වැඳිල්ල ගැනයි. එය අකිලට අදාළ ය.

මේ වන විට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැඳිල්ල ක්‍රියාත්මක වන්නේ තනිකර ම අනාගත පරම්පරාවේ කොඳු නාරටිය බිඳ දැමීමේ වැඩසටහනක් ලෙස බව මගේ නිරීක්ෂණයයි. නගරයේ පාසල්වලට වඩා ගමේ පාසල්වල වැඳීමේ ක්‍රියාවලිය අවුල් සහගත ය. මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන්ගේ මෙන් ම ගුරු සංගම් හා වෙනත් සමාජ සංවිධානවල ද අවධානය යොමු විය යුතු ය. 

වැඳිල්ල පිළිබඳ මගේ අත්දැකීම අතිශය කඨෝර ය. වත්මන් හා අතීත සිසු සිසුවියන් පාරේ හමු වූ විට හිතවත්කමට වචනයක් දෙකක් කතා කළ සැණින් පවා, තැන නො තැන නො බලා ළමයි ගුරුවරුන්ට වඳිති. බස් නැවතුම්පළේදී හෝ පොළේදී කිසිවෙක් දෙකට නැවී ඔබට වඳින විට ඇති වන හැඟීම කෙබඳු ද? මට නම් වහා එතැනින් පළා යාමට සිත් වේ. එසේ නො කරන ලෙස මම සිසුන්ට උපදෙස් දී ඇත්තෙමි. එහෙත්, සමාජයේ තිබෙන පොදු රැල්ල තුළ අපට ද එසේ නො සැලකුවහොත් අප අමනාප වනු ඇති බව සිසුන් සිතන බව මගේ නිරීක්ෂණයයි.

අපි කුඩා කාලයේදී දෙමව්පියන්ට හා ගුරුවරුන්ට වැඳීම සිංහල අලුත් අවුරුද්ද, පාසල් වසරක ආරම්භය හා අවසානය, විශේෂ විභාග පූර්ව අවස්ථා ආදී සීමිත අවස්ථා ගණනකට සීමා විය. ඇත්තම කියනවා නම්, ම නම් මුලින් ම මව්පියන්ට වැන්දේ කසාද බඳින්නට පිටත් වූ දවසේ ය. මගේ මව්පියන් ද ගුරුවරුන් වූ මුත්, ළමයින් හා සිසුන් ලවා වන්දවා ගැනීමේ අමාරුවක් ඒ පරපුරට තිබුණේ නැත. එහෙත්, වත්මන් ගුරු පරපුරට වඩා අවංකකමකින් ඔවුහු ඉගැන්වීම කළ හ. ජීවිතයේ කිසිදාක ටියුෂන් නො කළ හ. අගහිඟකම් මැද දරුවන් හදා වඩාගෙන සාර්ථක ජීවිත ගත කළ හ.

එහෙත්, රූපවාහිනිය පැමිණීමෙන් පසු දූදරුවෝ වැනි ටෙලිනාට්‍ය ඔස්සේ දරුවන් දෙමව්පියන්ට වැඳීම ප්‍රවර්ධනය කරන ලදී. ගෙයින් දොට්ට බහින වාරයක් ගානේ ළමයින් දෙමව්පියන්ට වඳින සංස්කෘතියක් මේ රටේ තිබුණු බවට ව්‍යාජයක් ජනමාධ්‍ය මගින් මේ වන විට නිර්මානය කර තිබේ. 

මේ වන විට වැඳීම වැඩියෙන් සිදු වන්නේ මුදලට දෙන ටියුෂන් අධ්‍යාපනයේදී බව මගේ නිරීක්ෂණයයි. වානිජ චේතනාවෙන් කරන පහේ ශිෂ්‍යත්වය වැනි තරගකාරී ටියුෂන් පංතිවලදී ගුරුවරුන් තමන්ට හිමි නැති වටිනාකමක් නිර්මානය කර ගැනීමට වැඩි වැඩියෙන් වන්දවා ගනිති. 

ප්‍රාථමික ගුරුවරුන් වඳින හැටි ළමයින්ට කියා දෙන මුවාවෙන් ළමයින් බලෙන් බිම දමා වන්දවනු මම දැක ඇත්තෙමි. මගේ දියණියක් පාසලට ඇතුළත් වී දින කීපයකට පසු වඳින විට නැමෙනවා මදි යයි කියා ගුරුවරිය ඇය බලෙන් බිම ඔබන අයුරු මගේ දෑසින් දුටුවෙමි. වැඳිල්ල කෙතරම් විකාරයක් වී තිබේ ද යත් මගේ දියණියක් තවත් ළමුන් පිරිසක් සමග ඇගේ පංතිය පිරිසිදු කිරීම සඳහා මව්පියන් මුදල් ගෙවා යොදවා තිබෙන කාන්තාවට ද ඇය අතුගාමින් සිටියදී කුණු ගොඩේ වැටී වඳිනු මම දැක ඇත්තෙමි. ගුරුවරුන් බෞද්ධ නො වන දරුවන් ලවා පවා වන්දවා ගන්නා ආකාරය මම දැක ඇත්තෙමි. මගේ දරුවන් ඇතැම් මතක් වූ විට නින්දට යාමට පෙර මට ද වඳිතිි. මම ඔවුන්ගේ වැඳිල්ලට විරෝධයක් දක්වා නැතිමුත්, ඔවුන් වැඩිහිටියන්ට වැඳීම සඳහා දිරි ගන්වා තිබෙන්නේ සුවිශේෂ සමාජ අවස්ථාවලදී පමණි. 

මේ වන විට ඇතැම් ඥාති නිවසකට යන්නට නො සිතෙන තරමට වැඳිල්ල වධයක් වී තිබේ. එම නිවසට ගොස් එන්නට ලෑස්ති වන විට ගෙදර සියල්ලෝ පෝලිමේ ඇවිත් වැඳ වැටෙති. ඒ මදිවාට ඔවුන් අපගේ නිවසට පැමිණි විට ද යන්නට ලෑස්ති වී අපට වැඳ වැටෙති. මම සිංහලයෙක්මි. එහෙත් ආගමක් නො අදහමි. එබැවින් මගේ මව්පියන්ට සුවිශේෂ අවස්ථාවකදී වඳින්නට හැර අන් අයට වඳින්නට මම කැමැත්තක් නො දක්වමි. මට කිසිවෙක් වඳිනවාට ද මම නො කැමැත්තෙමි. 

මේ වැඳිල්ල අපේ දරුවන්ගේ කොන්ද බිඳ දමන බව මම කලින් ද කීවෙමි. වැඳීල්ල ආදරයේ ප්‍රකාශනයකැයි මම නො සිතමි. එය බලයට යටහත් පහත්භාවය ප්‍රකාශ කිරීමේ ස්වරූපයක් බවට පත් කරගෙන තිබේ. වැඩිහිටි පුද්ගලයන් නාමල් රාජපක්ෂ නම් බාලයාට වඳින ආකාරය පසුගිය කාලයේ සුලබ විය. මර්වින් සිල්වාගේ වැඳිල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ වැඳිල්ල වැනි දේ පසුගිය කාලයේ සෑහෙන්න කතාබහට ලක් විය. සමාජ පසුගාමිත්වයන් හයියෙන් වැළඳ ගැනීමෙන් වීරයන් වන්නට උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ වරක් මහ නායක හිමිවරුන් සමග සාකච්ඡාවට ගොස් වාඩි වුණේ වෙනත් විශේෂ අමුත්තන් මෙන් පහත් අසුන්වල නොව කාපට් එක උඩ ය. 

වැඳිල්ල සම්බන්ධයෙන් නීති රීති පැනවීම රජයකට අයිති කටයුත්තක් නො වේ. එහෙත්, වැඳීම සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්මානය කර ගැනීමේ බරපතල වගකීමක් ආගමික නායකයන්ට හා ගුරුවරුන්ට තිබේ. ගුරුවරුන් ළමයින්ට ආදරය ප්‍රකාශ කළ යුතු ය. ළමයින්ට ද ගුරුවරුන්ට ආදරය ප්‍රකාශ කරන්නට අවස්ථාව දිය යුතු ය. එහෙත්, වැඳීම බලහත්කාරයෙන් ප්‍රවර්ධනය නො කළ යුතු ය. එය ආයතනගත නො කළ යුතු ය. වැඳීම අනාගත පරපුරේ කොන්ද බිඳ දැමීම සඳහා යොදා ගැනීමට ඉඩ නො දිය යුතු ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-28

රාජපක්ෂලාගේ ඉරණම සංකේතවත් කරන ඉරිදා පුවත්පතේ සිද්ධිය

ඩ්‍රෝන් එකෙන් බාපු පත්තරේ 
පසුගිය මැයි මාසයේදී මහා සද්දයක් දමමින්, ඩ්‍රෝන්වලින් පත්තර බාමින්, වෝටර්ස් එජ්හි දැවැන්ත මගුලක් කා දියත් කරන ලද ඉරිදා පුවත්පත වසා දමා ඇති බව වාර්තා වේ. 

මූලික හේතුව අන් කිසිවක් නොව, එය අලෙවි කර ගන්නට බැරි වූ දැවැන්ත සුදු අලියකු වීමයි. 

ඉරිදා පුවත්පත වසා දැමීම රාජපක්ෂ කඳවුරේ දේශපාලනික ඉරණම සංකේතවත් කරන සිද්ධියකි. මහින්දව පුම්බන්නට අච්චු ගැසූ පුවත්පත මිළ දී ගන්නට පාඨකයන් නැති වීම ගැන මහින්ද නැවත කල්පනා කළ යුතු ය. ලංකා පුවත්පත කෙසේ හෝ පවත්වාගෙන යන්නට ජවිපෙ සමත්ව තිබෙන සංදර්භය තුළ ඉරිදා ජනහඬ සති කීපයකින් අභාවප්‍රාප්ත වීම දැවැන්ත පරාජයක් සලකුණු කරයි. 

මා සිතන පරිදි ඉරිදා වනාහි ඉතා ම කෙටි කලකින් වසා දමන ලද ජාතික පුවත්පතයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ රාජපක්ෂලාගේ මාධ්‍ය නඩය විසිනි. එහි කර්තෘ ධුරය දැරුවේ රාජපක්ෂවරුන්ට බැලමෙහෙ කිරීමෙන් මාධ්‍යකරුවකු වූ සුදර්මන් රදලියගොඩයි. ඔහුගේ පටන් පුවත්පතේ කළමනාකරණයට සම්බන්ධ වූ බොහෝ පිරිස් වනාහි රාජපක්ෂ පාලනය සමයේ දූෂණයේ ගිලී කුණු වී සිටි අයයි. 

පුවත්පත වැසෙන්නට ගිය කෙටි කාලය දෙස බලන විට දැකිය හැකි පැහැදිලි කරුණක් වන්නේ ව්‍යවසායක් ලෙස එය කෙතරම් අසාර්ථක ද යන්නයි. පුවත්පත් වෙළඳපොළේ යථාර්ථය වටහා ගනු වෙනුවට මොවුන් කළේ මහින්ද රාජපක්ෂලාගේ කළු සල්ලි බලාපොරොත්තුවෙන් දැවැන්ත නාස්තිකාර සමාගමක් ගොඩනගා ගැනීමයි. පුවත්පතට බඳවා ගත් මාධ්‍යකරුවන්ට ද ඉහළ වැටුප් ගෙවන බවට පොරොන්දු වී තිබේ. ඇතැමුන් එම සමාගමට බැඳී ඇත්තේ කරමින් සිටි රැකියා අතහැර දමා ය. 

මහජන මුදල් සීමාන්තික ලෙස කාබාසිනියා කරමින් දැවැන්ත වැටුප් සමග සුඛෝපභෝගී ජීවිතවලට හුරු වී සිටි මෙම මාධ්‍ය නඩයට විපක්ෂ දේශපාලනයට හුරු වන එක ලෙහෙසි නැත. 

ඔවුන් බලාපොරොත්තු වූ පරිදි රාජපක්ෂ පවුල හෝ ඔවුන්ගෙන් උපකාර ගත් ධනවත්තු මේ පුවත්පතට සල්ලි පොම්ප කර නැත. නැතිනම්, පොම්ප කළ මුදල් ද ආරම්භයේ සිට ම ගසා කෑම නිසා කරාම වැසී ගොස් ඇත. පුදුම වෙන්නට දෙයක් නැත. සුදර්මන් රදලියගොඩගේ සිට මේ කාගෙ කාගේත් කැරැට්ටුව කවුරුත් දනිති. 

දැන් මෙම පුවත්පත වසා දැමීමේ සිද්ධිය ගැන රාජපක්ෂ හිතවාදීන් කියන්නේ ඒ පසුපස එජාප කුමන්ත්‍ර‍ණයක් තිබූ බවයි. ඒකත් එහෙම නම් ඉතින් රාජපක්ෂට අබ සරණ ය. වැඩේ ගොඩදාගන්නට හදා ගත්ත පත්තර කොම්පැනිය ඇතුළටත් කඩාකප්පල්කාරයකු දමන්නට තරම් යූඇන්පියට හැකි වී තිබේ ය කීමෙන් රාජපක්ෂ ගෝලයෝ මහින්දව තව තවත් හෑල්ලු කර ගනිති. 

මෙම සිද්ධියේ දේශපාලනය පැත්තක තබමින් පුවත්පත් වැසී යාම පිළිබඳ ශාස්ත්‍රීය සාකච්ඡාවකට මුල පිරීමක් සිදු වී තිබේ. ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතු ය.
දොට්ට වැඩ්ඩ දවස 
 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-27

මුත්තයියාගේ මුරලිදරන් සහ ශෙහාන් කරුණාතිලකගේ චයිනමන්

Api Nodanna Pradeep Mathew 
මුරලි ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් පුහුණු කරන එක වැරදි ය ආදී බයිලා අතර මුරලි වෙනුවෙන් ජාතිය ම නැගිට්ට කතාවක් ද කියවේ.

සුසන්තිකාට තහනම් උත්තේජක චෝදනාව ආ වෙලාවේත් මේ ජාතියේ නැගිටිල්ල සිදු වුණේ ය.

ජාතිය කියන්නේ මොකක් ද?

මුරලි වෙනුවෙන් ජාතියේ නැගිටීම වැඩිපුර අවධාරණය කරන අතර නො කියා කියන දෙයක් වන්නේ මුරලි දෙමළ වුණත් ජාතිය ම ඔහු වෙනුවෙන් නැගිට්ට බව නො වේ ද?

ඒ කියන්නේ මුරලි වෙනුවෙන් ජාතිය ම නැගිට්ටත් ඩොට්, ඩොට්, ඩොට් කතාවක් නේ ද? අමු හිංගලෙන් කිව්වොත් ඌ පිට එකා බව නේ ද?

පහත දැක්වෙන්නේ 2011දී මා මුරලි ගැන තැබූ සටහනකි.


(2011 මාර්තු 19, W3Lanka) තාරකාවෝ බැබළෙන්නේ තමන්ගේ ම ආලෝකයෙනි. තමන්ට කියා එළියක් නැති ග්‍රහයෝ තාරකා‍වල එළිය තමන්ගේ සේ පරාවර්තනය කරති.

මුත්තයියා මුරලිදරන් තරුවකි. ඔහු ටෙස්ට් කඩුලු 800 ලබා ගත් අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික රූපවාහිනිය හරහා පැවසුවේ අලුතින් ඉදි වන පල්ලෙකැලේ ක්‍රීඩාංගනය මුරලිදරන්ගේ නමින් නම් කරන බවයි.

එහෙත්, පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගනය විවෘත විය. එය මුරලිදරන් නමින් නම් කරන බව මුලින් කීව ද එසේ සිදු වූයේ නැත.

මුරලිදරන් යනු ඉන්දීය සම්භවයකින් යුත් දෙමළ මිනිසෙකි. සිංහල අපි 1983දී මුරලිදරන්ගේ පවුලේ දේපල ගිනි තැබුවෙමු. මුරලිදරන්ට ලංකාවේ පුරවැසිකම පවා ලැබුණේ ඉපදී බොහෝ කලකට පසුවයි.

ලංකාව විසින් බිහි කරන ලද විශිෂ්ඨ ම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වුණාට ඔහු දෙමළෙකි. එහෙයින් ඔහු නමින් ක්‍රීඩාංගනයක් නම් කිරීම ලෙහෙසි නැත.

ක්‍රීඩාව තිබෙන්නේ විශ්වීය දෙයක් වන සතුට හා යහපැවැත්ම සඳහා ය. ඒකට ඔය ජාතික රෙද්දවල් වැනි දේශපාලනය අදාළ කර ගත යුතු සීමාවක් තිබේ. මුරලි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පුහුණු කර ගන්නා ඩොලර් ටික පවා මා සිතන පරිදි ලංකාවට ඔය ජාතිකවාදී අදහස්වලට වඩා ජාතික වශයෙන් වැදගත් ය. අනෙක එංගලන්තයේ දුවන අස්සයන්ට ලංකාවේ කම්මැලි මිනිසුන් ලවා ඔට්ටු අල්ලවා සල්ලි හම්බ කරන එවුන්ගේ තියෙන ජාතික මෙව්ව එක මොකක් ද?

මම මේ දිනවල ශෙහාන් ගුණසේකරගේ චයිනමන් පොතේ දිලීප අබේසේකර විසින් කරන ලද විශිෂ්ට පරිවර්තනය කියවා හමාර කරමින් සිටිමි. සිංහල පරිවර්තනයට පෙර තමන් එය ඉංගිරිසියට පරිවර්තනය කරන්නට ඇතැයි ශෙහාන්ට සිතෙන සිතිවිල්ල සාධාරණ ය. 

මට නම් ඔය ඇඩ්වර්ටයිසිංකාරයන් අල්ලන්නේ නැත. උන් හිතන තරම් ලොකුවක් ඇඩ්වර්ටයිසිංවල නැත. මල්ටිබොන්ඩ් වෙනුවෙන් ඇලෙව්වොත් ඇලෙව්වාමයි කියන වචන දෙක ලියා තමන් එදා රුපියල් ලක්ෂ දෙකක් ගත් බව ආරියසිරි විතානගේ කයිය ගසයි. ඇඩ්වටයිසිං කයිවාරුකාරයෝ තමන්ගේ සමාගම් ව්‍යාපාරික ඩීල් වෙනුවෙන් කොම්පැනිවල ලොක්කන්ට සල්ලිවල සිට ගැහැනු දක්වා දෙන දොළ පිදේනි ගැනත් කතා කරනවා නම් හොඳ ය. අනෙක් පැත්තෙන්, ලංකාවේ ලොකු ලොකු ඇඩ්වටයිසිං පොරවල් අප වැනි චූල පරිවර්තක කම්කරුවන්ට පොලු තියන හිරිකිත ආකාරය ගැන කියන්න ද ලැජ්ජා ය. වැඩේ කරගෙන උන් ඇඟ බේරා ගන්නේ ක්ලයන්ට් ඒකට කැමති නැති වුණා ය කියමිනි. දවසක් එක් ඇඩ්වටයිසිංකාරියෙකුට මා කීවේ ක්ලයන්ට් එක්ක ............ එක ඔයාගේ වැඩක්, මං පරිවර්තන කළේ ඌට නෙමෙයි, ඔයාටනේ කියල.

ඇඩ්වටයිසිංකාරයන් ගැන තියෙන හිරිකිත නිසා මුලින් මං මේ පොත බලන්න පවා අකැමැති වුණත්, අම්මපා, ඇඩ්වටයිසිංකාරයෝ දෙන්නෙක් කරපු මේ පොත ඇත්තට ම මරු!

මට සුගතපාල ද සිල්වා අවසන් සමයේදී කළ අමුතු ඉලංදාරියා පරිවර්තනය සිහි වේ. ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයි පරිවර්තනයේදී සුගතපාල සිල්වා අසමත් වූ දෙයක් කිරීමට දිලීප සමත් වී තිබේ.

ලංකාව ගැන ලියැවුණ පොතක් ලිවීමේදී ඉංග්‍රීසියෙන් ලියන පුද්ගලයාට වඩා පරිවර්තකයා අත්දැකීමට භාෂාත්මකව සමීප ය. එහිදී පරිවර්තනය භාෂාව පැත්තෙන් මුල් ඉංග්‍රීසි ලේඛනය අභිභවනය කිරීම අත්‍යවශ්‍ය ය.

චයිනමන් තරමක් දිග වැඩි ය. බොහෝ වැල්වටාරම් ඉවත් කළ හැකිව තිබිණි. එහෙත්, විනෝදය සඳහා කියවීමට ඒවා නරක නැත. සිංහල නවකතාකරුවන් ළඟ තිබෙන ළඟින් යන්න බැරි දාර්ශනික මෙව්ව එක ශෙහාන් ළඟ නැත. ඒක හරි අපූරු ය. චයිනමන් විනෝදය සඳහා කියවිය හැකි පොතක් වුවත්, එහි යටිතලය ස්පර්ශ කරන්නේ ධනවාදය හා ජාතිවාදය විසින් ක්‍රීඩාව දූෂ්‍ය කර ඇති ආකාරයයි. එය ලංකා ඉතිහාසයේ එක් තලයක් අපූරු සදය උපහාසයකින් විවරණය කරන්නකි.

ප්‍ර‍දීප් මැතිව්ගේ ප්‍ර‍බන්ධ චරිතය ඔස්සේ ශෙහාන් ගුණසේකර ලංකාවේ ජාතීන් අතර ප්‍ර‍ශ්නය ද පසුබිමින් චිත්‍රණය කරයි.

මුරලිදරන් පිළිබඳ අලුත් ම සිද්ධිය ඔස්සේ චයිනමන් සජීවීකරණය වනු දක්නට ලැබේ. 

චයිනමන් කතාවේ ප්‍ර‍දීප් මැතිව් යනු බොරු හා ඇත්ත දෙක ම ය. මේ තියෙන්නෙ එයාගෙ වෙබ් අඩවිය.

ඇත්ත හා හා ප්‍ර‍බන්ධය අතර සම්බන්ධය ගැන කියැවුණ මේ අවස්ථාවේදී මට සමන් වික්‍ර‍මආරච්චිගේ අසන්ධිමිත්තා නව කතාව ගැනත් ලිවිය යුතුයි කියලා හිතෙනවා. මේ වන විට අසන්ධිමිත්තා සුවර්ණ පුස්තකෙන් කපා හැර ඇති බව වාර්තා වේ. පොත් ලියන කාලයට සම්මාන ගනිමින්, නො ලියන කාලයට සම්මාන විනිශ්චය කරන ලංකාවේ සාහිත්‍ය විනිසුරුවරුන්ට එවැනි කෘතියක අපූර්වත්වය තේරුම් ගැනීමට බැරි වීම පුදුමයට කාරණයක් නො වේ.

වරලත් විචාරකයිනි, ප්ලීස්, ඔබට නො වේ.  රස විඳින අප වැනි සාමාන්‍ය මිනිසුන්ට ය. (අනන්‍යතා අර්බුදවලට බෙහෙත් සපයනු නො ලැබේ.)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

W3Lanka ලක්ෂ 40ක් ගත් බවට නැගෙන චෝදනාවේ ඇත්ත නැත්ත

ඉස්ක්‍රා පුවත්පතේ මාධ්‍යකරුවන් මහජන මුදලින් මෝටර් සයිකල් ඉල්ලන යුගයක අපි ............  
අද අපේ හිට් කවුන්ටරය පිටු කියවීම් සංඛ්‍යාව ලක්ෂ 40ක් ලෙස දක්වනු ඇත. 

2009දී අපි මෙම බ්ලොගය පටන් ගත්තෙමු. බ්ලොගර් වෙබ් අඩවිය හිට් කවුන්ටරය දුන්නේ අප මෙය පටන් ගත්තාට සෑහෙන කාලයකට පසු ය. එසේම, අපි මෙම ලිපි ෆේස්බුක් හා ට්විටර් හරහා ද බෙදා හදා ගනිමු. පුවත්පත්වලත් පළ කරන්නෙමු. එහෙයින් අපගේ ලිපි කියවූ තරමක් විශාල පිරිසක් සිටින බව අපි සිතන්නෙමු.

අප ලියන්නේ මුදල්වලට ය කියා ද, අපගේ අරමුණ රනිල්ට / එජාපයට / රාජ්‍ය නොවන සංවිධානවලට / කොටින්ට / බටහිරට / ඉන්දියාවට කඩේ යන එක ය කියා බොහෝ දෙනා සිය කැමැත්ත පරිදි කියති. ඉදිරියටත් තමන් කැමති දෙයක් කියා ගත්තාට අපට කමක් නැත. උවමනාවට වඩා මේ කතාව කීමෙන් එහි වලංගුභාවය නැති කර ගත්තේ චෝදනාව කරන අය ම ය. 

ලෝකය පාරිභෝජනවාදයට නතු වී ඇති තරම කෙතරම් ද යත්, විකල්ප දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අයට පවා, මුදලට නොව දේශපාලන අරමුණක් වෙනුවෙන් අප මෙය කරන බව තේරුම් ගන්නට හැකියාවක් නැත. ඔවුන්ට අනුකම්පා කිරීම හැර අපට වෙන කරන්නට දෙයක් නැත. 

එහෙත්, වසර 12ක පමණ කාලයක් තිස්සේ මගේ මූලික දේශපාලන මැදිහත්වීම් අවකාශය සමාජ මාධ්‍ය බවට පත් කරගෙන සිටින මගේ අත්දැකීම් කීපයක් ඒවා ගැන දැන ගන්නට කැමති අය සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙමි. 

මෙම බ්ලොග් අඩවිය හා ඒ ආශ්‍රිත සමාජ මාධ්‍ය කටයුතු දැන් කලක සිට ම පූර්ණ කාලීන වෘත්තියක තරම් කාර්ය බහුල වී තිබේ. අධ්‍යයනය කිරීම, කියවීම, ලිවීම, සංවාදවල යෙදීම ආදී කටයුතු අඛණ්ඩව කරන්නට සිදු වී තිබේ. සතතාභ්‍යාසය හේතුවෙන් වේගයෙන් ලිවීමේ හැකියාව මට ලැබී තිබේ. නිදසුනක් ලෙස මෙම කෙටිකතාව ලියන්නට මට ගත වූයේ පැය භාගයක පමණ කාලයකි. ලියන්නට කලින් බොහෝ සේ අධ්‍යයනය කළ යුතු ය. මේ කතාව ලියන්නට පෙර මම ගංවතුර අනාථයන්ගේ කඳවුරු බලන්නට ගියෙමි. සහන කටයුතුවල නියැලී සිටින නිලධාරීන් සමග සාකච්ඡා කළෙමි. ලිවීමට වඩා හැදෑරීම දුෂ්කර ය.

ලක්ෂ ගණන් පාඨකයන් ලිපි කියවන්නට නො පැමිණියත්, කවියක් ලිව්වත් දාහක් හමාරක් කියවන නිසා ලංකාවේ හැටියට තෘප්තිමත් වන්නට බැරිකමක් නැත. අප ලියන මාතෘකා ඉතා ජනප්‍රිය ඒවා නො වේ. 

අප අරගල කරන්නේ සමාජවාදී ජීවිතයක් වෙනුවෙන් බව අපි කියන්නෙමු. සමාජවාදය යනු රාජ්‍ය බලය ගැනීමෙන් පසු පමණක් කළ හැකි දෙයක් නො වේ. සමාජවාදය ජීවන අරගලයකි. ප්‍රතිපත්ති ගරුකව ජීවත් වීමත්, සමාජවාදී ඇසකින් ලෝකය දෙස බලන්නට උත්සාහ කිරීමත්, සංවාදයත් එහි අංග වේ. අපි දීර්ඝ කාලයක සිට එම භාවිතාවේ යෙදී සිටින්නෙමු. 

උපායශීලිත්වය හා නිර්මානශීලිත්වය ඉතා වැදගත් බව අපි සිතමු. මෙම බ්ලොග් අඩවියේදී අපි ඒවා උපරිමයෙන් පාවිච්චි කළෙමු. අප සමාජවාදය ගැන සංවාද කරන්නට එදිනෙදා සිදුවීම් යොදා ගන්නේ ඒ නිසා ය. 

කුමන හෝ දේශපාලන කාර්යයක යෙදෙන්නේ නම් අතහරින්නේ නැතිව අරගල කිරීම ඉතා වැදගත් ය. බ්ලොග්කරණය එසේ අතහැර නො දමා දිගට ම කරගෙන යාම අති දුෂ්කර එක් දේශපාලනික කාර්යයකි. නො කියවීම, නො තකා හැරීම, සල්ලිවලට ලියනවා ය කීම, වෙනත් අවලාද නැගීම, කඩාකප්පල්කාරිත්වය, මානසික වධ දීම, ශාරීරික හිංසනය හෝ ඒ සම්බන්ධ තර්ජන, පවුල්වලට තර්ජනය කිරීම ආදී දේ දරා ගැනීමට ඔබට හැකි විය යුතු ය. 

මේ සියල්ල මැද ඔබ ඔබගේ ජීවිතය මැනැවින් කළමනාකරණය කර ගත යුතු ය. මෙම බ්ලොගය නිසා මම දිනපතා උදේ හතරට හෝ ඊට පෙර අවදි වෙමි. ගුරු වෘත්තියෙන් සමු ගන්නා විටත් මගේ මූලික වැටුප රු. 18,000ක් පමණි. එහෙත්, මෙම බ්ලොගයේ පළ කළ දැන්වීම් කෑල්ලකින් මම සාර්ථක ඔන්ලයින් පරිවර්තන සේවාවක් පවත්වා ගෙන ගියෙමි. එය කෑලි ගණනට වැඩ කරන බුද්ධිමය කම්කරු කාර්යයකි. ස්වයං රැකියාවකි. ව්‍යවසායකි. 

දේශපාලනය, රැකියාව ආදී කටයුතු මැද ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ද ගත කරන්නට අපට අවස්ථාව ලැබුණේ ඒ නිසා ය. අධික උන්නතිකාමයකින් නො පෙළෙන, ආගම, ජ්‍යෝතිෂය වැනි විනාශකාරී දේ සමග නො බැඳුණු පවුලක් සමග ජීවත් වන එකත් ලොකු සම්පතකි. 

අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීමට ඇති ආසාව නිසා එසේ ලෙහෙසියෙන් මුදල් හම්බ කළ හැකි යයි උගන්වමින් මුදල් හම්බ කරන අයට නිතිපතා අහු වන ලංකාවේ මිනිසුන්ට මට කියන්නට ඇත්තේ අන්තර්ජාලයෙන් ද ලෙහෙසියෙන් මුදල් ඉපැයිය නො හැකි බවයි. එහෙත්, අන්තර්ජාලය ව්‍යවසායකත්වයට කදිම පදනමකි. එය බුද්ධිමත්ව හා නිර්මානශීලීව භාවිතා කළ යුතු ය. 

තව බොහෝ දේ ලිවිය හැකි ය. එහෙත්, එයින් ඔබට ප්‍රයෝජනයක් ඇද්දැයි නො දනිමි. එහෙයින් මෙතැනින් නවතිමි. අලුත් ව්‍යාපෘතියකට අත ගැසීමට අදහසක් තිබේ. එතෙක් තව අවුරුද්දක්වත් මෙම බ්ලොගය පවත්වාගෙන යන්නෙමි. ඒ වන විට හිට් කවුන්ටරය පිටු දැක්ම කෝටි භාගයක් සලකුණු කරනු ඇතැයි සිතමි. 

හතරයි බිංදු හය අල්ල ගන්න හිතාගෙන හිටියට කෝච්චියෙන් බැහැල බලනකොට ඒක පැනල හිටං

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-26

ලැජ්ජා නැති මහමුදලි කිරිඇල්ල ඉල්ලා අස් වෙනු!

විරැකියාවෙන් පෙළෙන අයෙකුට රැකියාවක් දීම කිසිවිටකත් දූෂණ ක්‍රියාවක්‌ නොවන බව උසස්‌ අධ්‍යාපන සහ මහා මාර්ග ඇමැති සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල ඊයේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවසූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මෙම ඇමතිවරයාට දූෂණයක් යනු කුමක් ද යන්න කියා දිය යුතු ය.

රජයේ තනතුරුවලට වැටුප් ගෙවන්නේ මහජන මුදලිනි. එම නිසා රජයෙන් වැටුප් ලබන තනතුරුවලට බඳවා ගැනීමේදී පාරදෘෂ්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු ය. මහාමාර්ග අමාත්‍යංශයට උපදේශකවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බවට ප්‍රසිද්ධ මාධ්‍යයකින් දැනුම් දුන්නේ නැත. අමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡාවේදී අඩු තරමේ බඳවා ගත් පිරිසට මහාමාර්ග කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දීමට තිබෙන සුදුසුකම් හෝ හෙළි කළ බවක් දක්නට නො ලැබේ.

1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මේ දක්‌වා බලයට පත්වූ සෑම ආණ්‌ඩුවක්‌ම රැකියා නැති අයට රැකියා ලබාදුන් බව සිහිපත් කළ හෙතෙම නීත්‍යනුකූල පදනමකින් රැකියා ලබාදී තිබේ නම් එහි ඇති වරද කුමක්‌ දැයි ප්‍රශ්න කර තිබේ.

මෙම පත්වීම් දුන් ආකාරය නීත්‍යානුකූල නැතුවා පමණක් නොව, මීට පෙර පැවති ආණ්ඩු කළ ආකාරයට ම දූෂණ ක්‍රියාවල යෙදෙන්නට නම් අලුත් ආණ්ඩුවක් අවශ්‍ය නො වන බව ද පරණ ආණ්ඩුවලින් ම දූෂණය කර ගන්නට හැකියාව තිබුණු බව ද ඇමති කිරිඇල්ලට මතක් කර දිය යුතු ය.

පසුගිය කාලයේ ද මහජන මුදලින් පිංපඩි ගෙවන රැකියා දුන් බව කවුරුත් දනිති. එ් කාලයේ ද අපි ඒවාට විරුද්ධ වුණෙමු. විමල් වීරවංශ සිය ඇම්බැට්ටයන්ගේ බිරියන් ඇතුළු පවුල්වල අයට ගෙදර නිකම් ම සිට පඩි ගන්නට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රැකියා දී තිබිණි. ඔවුන් කිසිදු තැනක කිසිදු රාජකාරියක් කර තිබුණේ නැත. පසුගිය ආණ්ඩුව උපදේශකයන් 250ක් පත් කර තිබූ බවක් ද ඒ ගැන පරීක්ෂණ නො කෙරෙන බව ද ඇමති කිරිඇල්ල කියයි. පරීක්ෂණ කළ යුත්තේ අප ද? අප ඔබට බලය දුන්නේ ඒ ගැන පරීක්ෂණ කිරීමට මිස, ඒවා නො කර, ඒ වැරදිවලට ආවරණය වෙමින් තව තවත් වැරදි කරන්නට නො වේ.

මේ වනාහි අමු අමුවේ මහජන මුදල් මංකොල්ලකෑම් ය. ඒවා දූෂණ නො වේ යයි කියන්නට දිව නැමෙන්නේ පල් හොරුන්ට පමණි.

මෙම සිද්ධිය පිළිබඳ ලක්බිම පුවත්පතේ පළ වූ වාර්තාව මෙසේ ය: 
මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරුන් ලෙස 45 දෙනකු පත්කර ඇති බවත් මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරදීමට සහය දුන් අයට අවස්ථාවක් ලබාදිය යුතු නිසා උපදේශක තනතුරු පිරිනැමූ බවත් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.

රුපියල් 25000ක වැටුපක් හා රුපියල් 40000ක ගමන් වියදම් දීමනාවක් යටතේ මෙම උපදේශකයින් බඳවා ගත් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි

නලින්ද ජයතිස්ස මහතා -
උපදේශකවරුන් ගණන කීයද?

කිරිඇල්ල මහතා - හතළිස් පහයි.

නලින්ද ජයතිස්ස මහතා -
මේ උපදේශක තනතුරකට සම්පූර්ණයෙන් රුපියල් 65000ක මුදලක් ලැබෙනවා. මා ළඟ ඇති ‍ලේඛනයේ උපදේශකවරුන් 56ක් ඉන්නවා. ගම්‍පොල හාලිඇල විහාරයේ වට්ටප්පල සීවලී හිමියන්ට නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශක තනතුර දුන්නේ කුමන මාර්ග ඵලයක් ලබාගැනීමටද?

කිරිඇල්ල මහතා - ඔබ ඇහුවේ සුභාෂ් යටවර ගැන විතරයි. ඒකට මම උත්තර දුන්නා.

නලින්ද ජයතිස්ස මහතා - මා ළඟ ඇති ‍ලේඛනයේ මේ හාමුදුරුවන්ගේ නමත් තියෙනවා.

කිරිඇල්ල මහතා -
ඔබ දැනගත යුතුයි මහනුවර අපි ජනාධිපතිවරණයේදී ඡන්ද 81,000කින් දිනුවා. මහ මැතිවරණයත් ඉහළින්ම ජයගත්තා. අපට ජයග්‍රහණය අත්කර දුන් අයට අවස්ථාවක් ලබාදීම අපගේ වගකීමක්.

නලින්ද ජයතිස්ස මහතා -
නිමල් චන්ද්‍රසිරි නමැත්තකුට උපදේශකකමක් ලබාදීලා. ඔහු සාමාන්‍ය පෙළ පමණයි සමත්. උපදේශක තනතුරු මෙහෙම අයටද දෙන්නේ? ප්‍රාදේශීය සභාවක විපක්ෂ නායක කෙනෙකුටත් උපදේශකකමක් ලබාදීලා. ඔහු සාමාන්‍ය පෙළ පමණයි සමත්.

කිරිඇල්ල මහතා - ඒවා අතිරේක සුදුසුකම්. සම්මුඛ පරීක්ෂණයකට කැඳවලයි මේ තනතුරු දුන්නේ.
නලින්ද ජයතිස්ස මහතා - නුවර අරුප්‍පොලවත්තේ සමින්ද සමරසූරිය, සිරිල් සමරසූරිය එකම පවු‍ලේ එකම ගෙදර එකම ලිපිනය. මේකද යහපාලනය? ඔය ප්‍රතිපත්ති අගමැතිවරයා පිළිගන්නවාද?
කිරිඇල්ල මහතා - එකම පවු‍ලේ අයට දීලා තියෙනවා නම් මම ඒ ගැන හොයා බලන්නම්. පසුගිය රජය කාලයේ උපදේශක තනතුරු 250ක් දුන්නා. ඒ ගැනත් පරීක්ෂණ කරන්නේ නැහැ.
 පැතුම් වික්‍රමරත්න - රන්මලී සෝමසිරි (ලක්බිම)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.


2016-07-25

අපි නො දන්න ඒලියන්ල

අසූ තුනේ කළු ජුලියෙදි
දෙමළුන් හට ගල් ගැහුවේ
එකම එකම සිංහලයයි
ඒකගෙ නම නිර්මාල් ය

අනෙක් එවුන් සියලු දෙනා
දෙමළුන් බේරා ගත්තා
බේරා බේරා බේරා 
බේරෙ වගේ මනුස්සකම

අසූ තුනේ කළු ජූලිය
සිංහලුන්ගෙ මනුස්සකම
උතුරා ගැලු සමයක් විය
ඔය කියන්නෙ කවියො එහෙම

බේරී බේරී බේරී
දෙමළු මළා ලේ බේරී
ආසාවෙන් අපි බැලුවා
ගිනි කෙළි සිරි - සිරි සිරි සිරි

අපි නම් නෑ දෙමළු මැරුවෙ
අපි බේරා ගත්ත උන්ව
උන්ව මැරුවෙ ඒලියන්ල
ඒලියන්ල ඒලියන්ල

කඩ කැඩුවේ ඒලියන්ල
ගිනි තිබ්බේ ඒලියන්ල
ඔක්කොම කළෙ ඒලියන්ල
අපි නො දන්න ඒලියන්ල

පැරකුම් ජයසිංහ
2016-07-25


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-22

දෙමළාට ඇති ප්‍ර‍ශ්නය කොච්චර උත්තර දුන්නත් ප්‍ර‍ශ්නය කුමක්දැයි නැවත නැවත ඇසීමයි

දෙමළ ජනයාට ඇති ප්‍ර‍ශ්නය ගැන උපුල් කුමාරප්පෙරුම රාවයට ලියන ලද ලිපියක් හා සම්බන්ධව සමාජ මාධ්‍ය සංවාදයකදී නැවත වතාවක් දෙමළාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද යන ප්‍ර‍ශ්නය නඟා තිබිණි. එතැන මම මෙවැනි පිළිතුරක් දුන්නෙමි. “ලංකාවේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය ඉතා සරළ ය. එනම්, කොයි තරම් පැහැදිලි කර දුන්නත්, ඒ පැහැදිලි කිරීම් නො තකා හැර, අලුත් වටයකින් නැවත දෙමළාට ඇති ප්‍රශ්නය කුමක්දැයි ඇසීමයි. උදාහරණයක් ලෙස, නිර්මාල් රංජිත් මේ ගැන පැහැදිලි කරමින් පොතක් ම ලියුවේ ය. දැන් ඔබ මේ ප්‍රශ්නය නිර්මාල්ගෙන් අසන්නේ නැතිව උපුල් කුමාරප්පෙරුමගෙන් අසයි. මෙය ඇත්තෙන් ම දෙමළාගේ ප්‍රශ්නයක් නොව සිංහලයාගේ ප්‍රශ්නයකි." මගේ මිතුරෙක් එයට එකතු කිරීමක් කරමින් එය සිංහල බෞද්ධයාගේ ප්‍ර‍ශ්නයක් බව කීවේ ය.

සිංහල ජාතිවාදී පදනමින් මෙම ප්‍ර‍ශ්නය මතු කරන අය බොහෝ විට කියන්නේ වාමාංශිකයන්ට එයට පිළිතුරක් නැති බවයි. මෙයට මගේ පිළිතුර කිසිවෙක් මගෙන් අසා නැත. ඇසුවා නම් මා දෙන පිළිතුර මෙසේ ය:

මා ජීවත් වන මතුගම ප්‍රදේශයේ දෙමළ කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුප සිංහල කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුපට වඩා අඩු ය. එහෙත්, බොහෝ විට වෙහෙසකර වැඩ සඳහා පළපුරුදු දෙමළ කම්කරුවෝ වැඩි වැඩ ප්‍ර‍මාණයක් කරති. සිංහල කම්කරුවන්ට මෙන් නොව, දෙමළ කම්කරුවන්ට හෙළා තලා කතා කරන්නටත්, වැඩිපුර වැඩ කරන්නැයි බල කරන්නටත්, කෑම හා තේ ආදිය අඩු ගුණාත්මකභාවයකින් ලබා දෙන්නටත් සිංහල ස්වාමිවරු කටයුතු කරති.

දෙමළ කම්කරුවාට එසේ සලකන්නේ දෙමළ වීම නිසා ය. මා ජීවත් වන ප්‍රදේශයේ වැඩිපුර ජීවත් වන්නේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ය. ඔවුහු දෙමළ ජනයා අතර ද පීඩිත පිරිසකි. උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ ජනයා ජාතික පදනමින් කරන බලය බෙදීමක් සම්බන්ධ ඉල්ලීම ඉටු වුවත්, ඉන්දීය සම්භවය සහිත දෙමළ ජනයා මුහුණ දෙන ගැටලුවලට විසඳුමක් නැත.

ලංකාවේ දෙමළ බස කතා කරන ජනයාට ඇති සියලු ප්‍ර‍ශ්න දේශපාලනයට ලඝු කළ නො හැකි වුවත්, දේශපාලනය එහි ප්‍ර‍ධාන කොටසකි. තත්වයන් වෙනස් කිරීමේදී දේශපාලනය ඉතා වැදගත් ය. ඒ නිසා දෙමළ අරගලයේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ දේශපාලන බලය වර්ධනය කර ගැනීම වෙනුවෙනි. දෙමළ අරගලයේ මූලික ඉල්ලීම දේශපාලන බලයයි. එනම්, තමන් ජීවත් වන ප්‍රදේශවල පාලනය වැඩි ස්වාධීනත්වයකින් කර ගත හැකි බලයයි. එහි අන්තයෙහි සිටින කොටස් පූර්ණ ස්වාධීනත්වය ඉල්ලා සිටිති.

තමන් බහුතර ප්‍ර‍ජාවක් ලෙස ජීවත් වන ප්‍රදේශවල පාලනය තමන්ට හසුරුවා ගත හැකි අන්දමේ දේශපාලන බලයක් ඉල්ලා සිටීම ප්‍ර‍තිගාමී ඉල්ලීමක් නො වේ. එය වනාහි ජනතාව වෙත වැඩිපුර බලය බෙදී යාමට ඉවහල් වන ප්‍ර‍ගතිශීලී ඉල්ලීමකි. එහෙත්, ජාතික පදනමින් බලය බෙදීමට වඩා භූගෝලීය පදනමින් බලය බෙදීම ප්‍ර‍ගතිශීලී ය.

මෙතැනදී මතු වන ප්‍ර‍ශ්නයක් තිබේ. ලංකාව ජාතීන් අතර ප්‍ර‍ශ්නයක් තිබෙන, ජාතීන් අතර තිස් අවුරුදු සිවිල් යුද්ධයක් ඇති වුණ, ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ බරපතල ප්‍ර‍ශ්න ඇති රටක් බව අපට අමතක කළ නො හැකි ය. ලංකාවේ උතුරු-නැගෙනහිර දෙමළ, කඳුරට දෙමළ, නැගෙනහිර මුස්ලිම් යන ප්‍ර‍ධාන සුළුතර ප්‍ර‍ාවන් තුනෙන් ම ජාතික පදනමින් බලය බෙදා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන සංදර්භයක එය නො තකා හැර භූගෝලීය පදනමින් ම බලය බෙදිය යුතු යයි කීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ක්‍රියාවක් වන්නේ නැත.

මෙයට හේතු වන මූලික කාරණය වන්නේ ශ්‍රී ලාංකික රාජ්‍යයේ තිබෙන ජාතික අසමමිතිකත්වයයි. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් නො වේ. රාජ්‍යය තුළ බුදු දහමට සෙසු ආගම්වලට නැති සුවිශේෂ ස්ථානයක් හිමි වී තිබේ. එසේ සිදු වූයේ නිශ්චිත ඓතිහාසික පරිණාමයක් තුළ ය. එසේම, ප්‍රායෝගික තත්වයන් තුළ ලංකාවේ දේශපාලන නායකත්වය සිංහල බෞද්ධයකුට පමණක් හිමි වන සම්ප්‍ර‍දායක් ද නිර්මානය වී තිබේ. ශ්‍රී ලංකාවේ භෞතික රාජ්‍ය සැකැස්ම සිදු වී තිබෙන්නේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ප්‍ර‍ජාවට වැඩි බලයක් හිමි වන ආකාරයට ය. මේවා සිදු වන්නේ තනිකර ම ව්‍යවස්ථා නීති මගින් නො වේ. තවත් සමාජ, සංස්කෘතික සාධක රැසක් ඒ කෙරෙහි බලපායි. ඒ නිසා, ලංකාවේ ජාතීන් ප්‍ර‍ශ්නයක් නැති ය කියන්නට හෝ ජාතීන් අතර ඇති ප්‍ර‍ශ්නයට ජාතික නො වන විසඳුමක් දෙන්නට හෝ බැරි ය. කෙතරම් ප්‍ර‍ගතිශීලී වුණත් භෞමික පදනම මත බලය බෙදීමක් ලංකාවේ ප්‍රායෝගික නො වන්නේ එම සංදර්භය තුළයි. එය අනාගතයේ යම් දවසක අපේක්ෂා කළ යුතු තත්වයකි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය සංහිඳියාව ගොඩනගා ගන්නා තෙක් අප ජාතීන් අතර බලය බෙදාගන්නා ක්‍ර‍ම ඔස්සේ ගමන් කළ යුතුව තිබේ.

පසුගිය දිනවල යාපනය විශ්වවිද්‍යාලයේදී දෙමළ සිසුන් විසින් සිංහල සිසුන් පිරිසකට පහර දුන් සිද්ධිය ජාතිවාදී සිදුවීමකි. සිද්ධිය සම්බන්ධයෙන් කවුරු රෙදි හෝදන්නට හැදුවත් එහි ඇත්තේ ජාතිවාදය බව සඟවන්නට බැරි ය. එය වනාහි ලංකාව සමස්තයක් ලෙස ගත් විට සුළුතර වන දෙමළ ජාතිවාදය, තමන් බහුතරය වන උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී හැමදාමත් හැසිරුණ විධියයි.

මුස්ලිම් සුළුතරය ඉදිරියේ දෙමළ ජාතිවාදය ඉතිහාසයක් පුරා මෙසේ කටයුතු කර තිබේ. එය කෙතරම් තිරශ්චීන වූවා ද යත්, උතුරු නැගෙනහිර පළාත්වල මුස්ලිම් වාර්ගික ශුද්ධියක් ද කොටි සංවිධානයේ නායකත්වයෙන්, දෙමළ ජාතිවාදීන්ගේ ආශිර්වාදයෙන් සිදු විය. ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන්ගේ පශ්චාත්තාපයක් නැතිකම ඔවුන් ප්‍රදර්ශනය කළේ අවසන් ඊලාම් යුද්ධයේ ආරම්භය මූතූර් වෙත ගෙන යාමෙනි. අවසන් ඊලාම් යුද්ධයේදී කොටි සංවිධානය හමුදාවට මුල් වෙඩිමුරය තැබීමට තෝරා ගත්තේ මූතූර් මුස්ලිම් ජනතාවගේ ඔලුවලට උඩිනි.

සිංහල ජනතාව හමුවේ දෙමළ ජාතිවාදය යම් විනයගත වීමක් සිදු වුණා නම් එසේ වුණේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිංහල ජාතිවාදීන් ද දෙමළ ජාතිවාදය හා සමාන හෝ ඊටත් වැඩි කෘර ජාතිවාදයකින් දෙමළ ජනයා මතට කඩා පනින්නට හැමදාමත් සූදානමින් සිටි නිසා ය. සිංහලයන්ගේ ජාතිවාදී ව්‍යාපෘතියට රාජ්‍ය හා මිලිටරි බලය ද උපයෝගී කර ගැනිණි. එබැවින් සිංහල, දෙමළ ජාතිවාදයන් අතර ගැටුමින් හැමදාමත් වැඩිපුර තුවාල ලැබුවේ දෙමළ ජාතියයි.

කොටි සංවිධානයේ පරාජය යනු දෙමළ ජාතිවාදයේ තීරණාත්මක පරාජයකි. මොන යම් ආකාරයකින් හෝ එවැනි පරාජයන් වළක්වා නො ගෙන අරගලයක් ඉදිරියට ගෙන යන්නට බැරි ය. එහෙත්, දෙමළ ජාතිවාදයේ තිබුණු සීමාවන් හේතුවෙන් පරාජය වළක්වා ගැනීමට ඔවුන්ට බැරි විය. කොපමණ වලි කෑවත් දෙමළ ජාතිවාදීන්ට නැවත 2002 සටන් විරාමය අත්සන් කරන විට ඔවුන් සිටි ප්‍රබල තත්වයට නැවත එන්නට බැරි ය. මේ යථාර්ථය තේරුම් නො ගන්නේ නම්, ඇත්තෙන් ම සිදු වන්නේ තව දුරටත් විනාශයට පාර කපා ගැනීමයි.

මේ බව විශේෂයෙන් සඳහන් කරන්නට සිදු වුණේ විශේෂයෙන් ම දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍ර‍ගතිශීලී ස්ථාවරවල සිටින සිංහල වාමාංශිකයන් බොහෝ දෙනෙක් දිගින් දිගට ම දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් මෘදු හැඟීම් දැරීම හා දෙමළ ජාතිවාදය ප්‍ර‍තිචාරාත්මක සුළුතර ජාතිවාදයක පදනමින් සාධාරණීකරණය කරන්නට උත්සාහ දරන ආකාරයක් නිරීක්ෂණය කිරීම නිසා ය. ජාතිවාදයට පිළිතුර ජාතිවාදය නො වේ. මහ ජාතිවාදයට වඩා සුළුතර ජාතිවාදය ප්‍රගතිශීලී වන්නේ නැත. කලින් ඇති වුණේ කොයි ජාතිවාදය ද කියන එක සෙවීම මුලින් ඉපදුණේ කිකිළි ද බිත්තරේ ද සොයනවා වැනි මුග්ධ වැඩකි. අප විමසිය යුත්තේ ජාතිවාදයේ මුල් නොව එහි අග්ගිස්ස හෙවත් එය අවසන් කරන ආකාරයයි.

වාමාංශිකයන් ඉතා පැහැදිලිව ජාතිවාදයෙන් වෙන් විය යුතු ය. ජාතීන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම ලෙස සුළුතර ජාතිවාදයන් හෝ ප්‍ර‍වර්ධනය නො කළ යුතු ය. වාමාංශිකයන් පෙනී සිටිය යුත්තේ සුළුතර ජාතිවාදයන් වෙනුවෙන් නොව, ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම වෙනුවෙනි. සරළව කිවහොත්, ජාතිය යනු වාමාංශිකයන්ට අදාළ දෙයක් නො වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-21

කිරිඇල්ලගේ ..............

2015 ජනවාරි 8දා ජනාධිපතිවරණයෙන් අප මහින්ද රාජපක්ෂ ගෙදර යැව්වේ තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු බලයට පත් කර ගැනීමට නො වේ. අප විරෝධය සලකුණු කළේ පුද්ගලයකුට, පවුලකට වඩා ක්‍ර‍මයකටයි.

ඒ ක්‍ර‍මය තුළ සිදු වූ දේ එපරිද්දෙන් ම නව ක්‍ර‍මය තුළත් සිදු වනවා නම් එය බරපතල තත්වයකි.

උදාහරණයකින් විමසමු.

ලාල් කුලරත්න නළුවෙක් හා ගුරුවරයෙකි. පසුව දේශපාලනයට පිවිසි ඔහු විමල් වීරවංශ පාක්ෂිකයෙකි. ඔහුට ඉංජිනේරු සංස්ථාවේ ණය අංශයේ විශේෂ තනතුරක් දරන්නට ඇති සුදුසුකම් මොනවාදැයි අපි නො දනිමු. සමහර විට එහි සේවකයන් පිනවන්නට අර බට්ටි ටෙලි නාට්ටියේ කළ රිලා නැටුම වැනි මොකක් හෝ කරන්නට ඇත. ඒක ප්‍ර‍ශ්නයක් නැත. එහෙත්, ඔහු මෙසේ ද කළේ ය. ඔහුගේ බිරිඳගේ නමින් වාහනයක් මිළ දී ගෙන එය ඉංජිනේරු සංස්ථාවට කුලියට දී ඉන් පසු එම වාහනය ඔහුගේ නිල වාහනය ලෙස පාවිච්චි කළේ ය. එහි ඉන්ධන හා කුලිය ලෙස රුපියල් ලක්ෂ 28ක් ලබාගෙන තිබේ.

විමල් වීරවංශලා කළ ජාවාරම්වල හැටියට මෙය ඉතා කුඩා එකකි. මේ වනාහි කලක් රටේ සමාජවාදී විප්ලවය කරන්නට ගිය අය ය. එහෙත්, අමාත්‍යාංශයක් ලැබුණු සැණින් මේ බඩගිනිකාරයන් කළේ පවුල් පිටින් වල ඉහ ගැනීමයි. විමල්ගේ ගෝලබාලයින් බොහෝ දෙනෙක් ඔහුගේ අමාත්‍යාංශයෙන් හොරා කෑවෝ ය. අඩු තරමේ තමන්ගේ භාර්යාවගේ නම පේරෝලකට දමා ගෙදර සිට වැටුප ගැනීම හෝ කළ හ. මේ සුළු පරිමාණ හොරකම් විභාග කරන්නට තව දීර්ඝ කාලයක් ගත වනු ඇත.

යහපාලනය යටතේ ද එවැනි දේ සිදු වන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල විවෘතව පිළි ගත්තේ වෙන කොතනකදී හෝ නොව පාර්ලිමේන්තුවේදී ම ය.  පහත පළ වන්නේ ලක්බිම පුවත්පතේ සිද්ධිය හා සම්බන්ධයෙන් පළ වූ වාර්තාවකි.


මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරුන් ලෙස 45 දෙනකු පත්කර ඇති බවත් මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරදීමට සහය දුන් අයට අවස්ථාවක් ලබාදිය යුතු නිසා උපදේශක තනතුරු පිරිනැමූ බවත් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.

රුපියල් 25000ක වැටුපක් හා රුපියල් 40000ක ගමන් වියදම් දීමනාවක් යටතේ මෙම උපදේශකයින් බඳවා ගත් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි

නලින්ද ජයතිස්ස මහතා -
උපදේශකවරුන් ගණන කීයද?

කිරිඇල්ල මහතා - හතළිස් පහයි.

නලින්ද ජයතිස්ස මහතා -
මේ උපදේශක තනතුරකට සම්පූර්ණයෙන් රුපියල් 65000ක මුදලක් ලැබෙනවා. මා ළඟ ඇති ‍ලේඛනයේ උපදේශකවරුන් 56ක් ඉන්නවා. ගම්‍පොල හාලිඇල විහාරයේ වට්ටප්පල සීවලී හිමියන්ට නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශක තනතුර දුන්නේ කුමන මාර්ග ඵලයක් ලබාගැනීමටද?

කිරිඇල්ල මහතා - ඔබ ඇහුවේ සුභාෂ් යටවර ගැන විතරයි. ඒකට මම උත්තර දුන්නා.

නලින්ද ජයතිස්ස මහතා - මා ළඟ ඇති ‍ලේඛනයේ මේ හාමුදුරුවන්ගේ නමත් තියෙනවා.

කිරිඇල්ල මහතා -
ඔබ දැනගත යුතුයි මහනුවර අපි ජනාධිපතිවරණයේදී ඡන්ද 81,000කින් දිනුවා. මහ මැතිවරණයත් ඉහළින්ම ජයගත්තා. අපට ජයග්‍රහණය අත්කර දුන් අයට අවස්ථාවක් ලබාදීම අපගේ වගකීමක්.

නලින්ද ජයතිස්ස මහතා -
නිමල් චන්ද්‍රසිරි නමැත්තකුට උපදේශකකමක් ලබාදීලා. ඔහු සාමාන්‍ය පෙළ පමණයි සමත්. උපදේශක තනතුරු මෙහෙම අයටද දෙන්නේ? ප්‍රාදේශීය සභාවක විපක්ෂ නායක කෙනෙකුටත් උපදේශකකමක් ලබාදීලා. ඔහු සාමාන්‍ය පෙළ පමණයි සමත්.

කිරිඇල්ල මහතා - ඒවා අතිරේක සුදුසුකම්. සම්මුඛ පරීක්ෂණයකට කැඳවලයි මේ තනතුරු දුන්නේ.
නලින්ද ජයතිස්ස මහතා - නුවර අරුප්‍පොලවත්තේ සමින්ද සමරසූරිය, සිරිල් සමරසූරිය එකම පවු‍ලේ එකම ගෙදර එකම ලිපිනය. මේකද යහපාලනය? ඔය ප්‍රතිපත්ති අගමැතිවරයා පිළිගන්නවාද?
කිරිඇල්ල මහතා - එකම පවු‍ලේ අයට දීලා තියෙනවා නම් මම ඒ ගැන හොයා බලන්නම්. පසුගිය රජය කාලයේ උපදේශක තනතුරු 250ක් දුන්නා. ඒ ගැනත් පරීක්ෂණ කරන්නේ නැහැ.

පැතුම් වික්‍රමරත්න - රන්මලී සෝමසිරි (ලක්බිම)
යහපාලන ඇමතිවරයකුට මෙවැනි දෙයක් විවෘතව පිළිගන්නට තරම් මෝඩකමක් හා ලජ්ජා නැතිකමක් තිබීම ගැන ලජ්ජා විය යුත්තේ අප ය. 

යහපාලනය යනු මහින්ද රාජපක්ෂ කාලයේ කළා සේ මේ අන්දමින් බෙදාගෙන කෑම ද? මේ බෙදාගෙන කන්නේ කාගේ සල්ලි ද? 

ලජ්ජා නැති ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිකමින් ඉල්ලා අස් විය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-20

බදු නොගසන, සියල්ල නිකම් දෙන සුරංගනාවන්ගේ ආණ්ඩුවක් වහා පිහිටුවනු!


වැට් බද්ද වැඩි කිරීමට නො හැකි වූ නිසා ආණ්ඩුව දැන් තෙල් මිළ රුපියල් දහයකින් වැඩි කිරීමට සැරසෙන බව දිනේෂ් ගුණවර්ධන පවසයි. ගාමිනී ලොකුගේ කියන්නේ තමන් වැට් බද්ද ෆ්ලැට් කළ බවයි. වැට් බද්දට එරෙහිව නඩු කී වීරවංශ කතා කරන්නේ මාර උජාරුවෙනි. 

මේ ආණ්ඩුව ද නාස්ති කරයි. දූෂණයේ ද යෙදෙයි. ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායකගේ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිලි කුලිය එවැනි එක් සිද්ධියක් පමණි. එහෙත්, අද වන විට අඩු තරමේ දූෂණය දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ පිළිගත් ආදායම් මාර්ගයක් ලෙස නො සැලකෙන තත්වයක් හෝ නිර්මානය කර ගැනීමට මේ රටේ ජනතාව සමත් වී තිබේ. එය කෙතරම් විශාල ජයග්‍රහණයක් ද යන්න පැහැදිලි වන්නේ මහජන මුදල් සොරකම් කිරීම හා නාස්ති කිරීම නිසා හිරේ ගිය නාමල්ලා, බැසිල්ලා පෙන්නන උජාරුව නිසා ය. දුමින්දලා ඇතුළු මේ ආණ්ඩුවේ කට්ටියට එරෙහිව ද විමර්ශන සිදු විය යුතු ය. විපක්ෂය උද්ඝෝෂණ කළ යුත්තේ තමන්ගේ සොරකම් පිළිබඳ පරීක්ෂණ නො කරන්නට ය කියා නොව, ආණ්ඩුවේ සොරුන්ට එරෙහිව විමර්ශන නො කෙරෙන්නේ ඇයි ද කියා ය. 

එහෙත්, විපක්ෂය ආණ්ඩුවේ දූෂණ පිළිබඳ කිසිදු ශක්තිමත් හඬක් නගන්නේ නැත. ඔවුන් උත්සාහ ගන්නේ තමන්ගේ දූෂණ විමර්ශනය වන එක වළක්වා ගැනීම සඳහා ඩීල් දමා ගන්නට පමණි. 

දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් වගකිව යුතු දූෂණ සිදු වන බව ඇත්ත ය. එහෙත්, රජයේ ආදායම්වලින් වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ දේශපාලකයන්ගේ හා රජය සමග කොන්ත්‍රාත් කරන්නන්ගේ දූෂණවලට වඩා, රජයේ සේවක පඩිනඩි, පෙන්ෂන් ආදිය ගෙවන්නට ය. අමාත්‍යාංශවලට වෙන් කර ඇති මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් පුනරාවර්තන හෙවත් එදිනෙදා වියදම් ය. 

එසේම, යටිතල පහසුකම් සංවර්ධන කටයුතු හා වෙනත් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රජයට මුදල් අවශ්‍ය ය. ඒවා සපයා ගන්නා යථාර්ථවාදී මාර්ගය වන්නේ බදු මුදල් ය. ලංකාවේ ජනතාව නිසි පරිදි ආදායම් බදු ගෙවන්නේවත්, රජයේ එකතු කිරීම් යාන්ත්‍රණයන්ට හරි හැටි ආදායම් බදු එකතු කර ගත හැකි වැඩපිළිවෙලක්වත් නැත. රජයේ සේවකයන්ට කෙතරම් වැටුප් ගෙව්වත් රජයට ආදායම් එකතු කර දෙන එකවත් හරි පිළිවෙලකට වෙන්නේ නැත. 

රජයට ආදායම් නොමැති විට මේ වියදම් පියවා ගන්නේ කෙසේ ද? විපක්ෂය බදු අය කරනවාටත් අකැමැති ය. ණය ගන්නවාටත් අකැමැති ය. පොදු විපක්ෂයේ චෞර නඩය පසුගිය අඳුරු දශකය තුළ හා ඊට පෙර තමන් සොරකම් කළ මහජන මුදල් රජයට ආපසු දී කිසිදු ආදර්ශයක් පෙන්වා ද නැත. රාජ්‍ය විරෝධී ක්‍රියා වෙනුවෙන් මහජන මුදලින් ලබා ගන්නා වැටුප් හා වරප්‍රසාද ද කිසිවක් නො ගෙන ඉන්නේ ද නැත

දැන් තිබෙන්නේ එක් විකල්පයකි. එනම්, රාජ්‍ය අංශයේ වියදම් තව දුරටත් කපා හැරීමයි. එහෙත් ඒකත් කරන්නට බැරි ය. විපක්ෂය පොහොර සහනාධාරය වැනි අවිධිමත් නාස්තිකාර ක්‍රියා විධිමත් කරන එකට පමණක් නොව වැඩකට නැති තීරු බදු සහන නවත්වනවාට පවා විරුද්ධ ය. ආණ්ඩුවට නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය කප්පාදු කරන්නට උවමනාවක් තිබුණත්, නැතත්, විපක්ෂය හැම විට ම මොර ගාන්නේ ආණ්ඩුව ඒවා කප්පාදු කරනවා ය කියා ය. 

ජනතාව බදු ගෙවන්නට අකැමැති වුණාට, රජය ඇති නැති සියලු ජනතාවට නොමිළේ පාසල් අධ්‍යාපනය, පෙළ පොත්, නිල ඇඳුම් රෙදි, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, නොමිළේ සෞඛ්‍ය පහසුකම්, රජයේ සේවකයන්ට තෙරපි තෙරපී වුණත් අඩු ගානට යන්න කෝච්චි, පැන්ෂන්, පිංපඩි, වැඩබැරි වුණත් උපාධිධාරීන්ට රස්සා, පාරවල්වලට කාපට්, කුඹුරුවලට පෝර, වීවලට සල්ලි ආදී හැම මගුලක් ම දිය යුතු ය. ඒ මදිවාට පාරට වීසි කරන කුණු, බලු බෙටි ආදියත් ඇදිය යුතු ය. ජනතාව කඳු බෑවුම් එළි කර ගෙවල් හදාගෙන නාය ගිය විට ඒවාට වන්දිත් ගෙවා, ඉඩමුත් දී, ගෙවලුත් හදා දිය යුතු ය. ගං ඉවුරුවල ගෙවල් හදාගෙන, පොලිතින් දමා කාණු අවහිර කරගෙන ගංවතුරෙන් යට කර ගත් විට ඒවාටත් වන්දි ගෙවිය යුතු ය.

මේ වගේ ජනාධිපති කෙනෙක්
සරළ ප්‍රශ්නය මෙයයි. ආදායම් නැතිව වියදම් විතරක් කරන්නට රජය සුරංගනාවක් ද? ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය තුළ ආණ්ඩු බලය ඇති කිහිප දෙනා හැර අනෙක් සියල්ලෝ ම විපක්ෂයේ ය. ආණ්ඩු බලය තියෙන එවුන් ද කටයුතු කරන ආකාරය අනුව ජනතාව එහෙම හිතන එකත් වැරදි නැත. 

එහෙත්, රජය යනු ජනතාවගෙන් පරිබාහිර දේශපාලකයන්ගේ දේපලක් නො වේ. ලංකාවේ නම් රජය නම් සමාගමෙහි ලාභය බෙදා ගන්නා අය වන්නේ දේශපාලකයෝ, රජය සමග කොන්ත්‍රාත් කරන්නෝ, නිලධාරීහු හා රජයේ සේවකයෝ ය. ලංකාවේ ධනේශ්වර ක්‍රමය තුළ රජය යනු ලොකු ම සූරාකන්නා ය. එම තත්වය වෙනස් කළ යුතු ය. එහෙත්, රජය විසින් සූරා කනු ලබන පීඩිතයන් පවා රජයේ පාර්ශ්වකාරයෝ ය. රජය පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් රටේ සියලු ජනතාවට වගකීමක් තිබේ.

වැඩේ කියන්නේ ලංකාවේ විපක්ෂය හා ජනතාව ආණ්ඩු විරෝධීන් පමණක් නොව රාජ්‍ය විරෝධීන් ද වීමයි. ඔවුන්ගේ ආකල්පවල ම ඇත්තේ රාජ්‍ය විරෝධයයි. කඩාකප්පල්කාරිත්වයයි. රජයේ දේශපාලකයින්ගේ සිට රජයේ සේවයේ පහළම සේවකයන් දක්වාත්, පොදු ජනතාවත් බලාගෙන ඉන්නේ ම රජය විනාශ කරන්නට ය. ආසන්නම නිදසුන මේ වැට් හුටපටයයි. 

වැට් බද්ද වැඩි කිරීමේ යෝජනාව අයවැය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත වූවකි. පාර්ලිමේන්තුව යනු නීති හදන ආයතනයයි. අධිකරණය නීති හදන්නේ නැත. කොහොමින් කොහොම හෝ නීති හදන ආයතනයේ සම්මත වූ වැට් බද්ද නීති විරෝධී කරන්නට අධිකරණය කටයුතු කර තිබේ. 

මෙම ලිපිය ලියන මම වැට් බද්දට පක්ෂ අයෙක් නොවේ. එහෙත්, පුරවැසියකු ලෙස මට රජයෙන් නිකම් කන්නට අවශ්‍යතාවක් නැත. මට අවශ්‍ය මගේ මූලික සේවාවන් මට සාධාරණ මිළක් දී ගන්නට හැකි ආකාරයට රජය මා ශක්තිමත් කරන එක ය. රජය මහ ලොකු දෙයක් කරන්නට අවශ්‍ය නැත. රජය ප්‍රතිපත්ති හරියට සම්පාදනය කරනවා නම් මට මගේ ජීවිතය ගොඩනගා ගන්නට පුළුවන. මෙතෙක් අප වැඩි දෙනෙක් කර තිබෙන්නේ ද එහෙම ය. 

අපට ද බැරි දවසක්, දුප්පත් වන, අසරණ වන දවසක් උදා විය හැකි ය. එදාට අප රැක බලා ගන්නට සුබසාධන සේවා තිබිය යුතු ය. 

එසේම, පොදු පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් අප රජයට බදු ගෙවිය යුතු ය. 

මහජන ආරක්ෂාව වෙනුවෙන් ද අප ගෙවිය යුතු ය. ලෝකය සමග සාමකාමීව සහයෝගයෙන් කටයුතු කරමින් රාජ්‍යාරක්ෂාව සහතික කිරීම ආණ්ඩුවේ වගකීමකි.

රජය මහජන මුදල් නාස්ති නො කළ යුතු ය. මහජන මුදල් සම්බන්ධයෙන් වග විය යුතු ය. මහජනතාවට සපයන සේවාවන් වෙනුවෙන් සාධාරණ වැටුපක් ලබන්නට රජයේ සේවකයන්ට, නිලධාරීන්ට, දේශපාලකයන්ට හිමිකමක් ඇත. 

ඔය කියන ටිකට වඩා මහා ලොකු දේවල් කරමින් අපේ ජීවිතවල හැම අස්සක් මුල්ලක් නෑර ම ඇඟිලි ගසන රජයක් අපට අවශ්‍ය නැත. 

සියල්ල වෙළඳපොළ විසින් නියාමනය විය යුතු බවක් අප කියන්නේ නැත. එසේම, අප වෙළඳපොළ විරෝධීහු ද නොවෙමු. වෙළඳපොළ නියාමනය රජයේ වගකීමකි. එහෙම නැතිව රජය වෙළඳාම් කරන්නට යා යුතු නැත. දැන වෙළඳං ය. නොදැන ගොවිතැන් ය. රජය මේ දෙකම දන්නේ නැත. රජය කළ යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනය හා නියාමනයයි.

අප ප්‍රවර්ධනය කරන සමාජවාදය තුළ රජය ශක්තිමත් කරන්නට අපට අවශ්‍ය නැත. අප පෙනී සිටින්නේ ස්වාධීන මහජන ආයතන ගොඩනැගීම වෙනුවෙනි. ඒ ගැන වෙනම කතා කරමු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-19

ජාතිවාදී රිලවුන්ගේ ගිනි ගත් වලිග කොන් කැපීම

මොවුන් සිංහල ද දෙමළ ද කියා මම නො දනිමි. එය හඳුනාගන්නට සාධක කිසිවක් ඔවුන්ගේ ශරීරවල නැත. එහෙත්, ඔවුන් මෘගයන් බව හඳුනා ගැනීම නම් ඉතා පහසු ය.  
යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් කවුරු රෙදි හෝදන්නට හැදුවත් එහි ඇත්තේ ජාතිවාදය බව සඟවන්නට බැරි ය. එය වනාහි ලංකාව සමස්තයක් ලෙස ගත් විට සුළුතර වන දෙමළ ජාතිවාදය, තමන් බහුතරය වන උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී හැමදාමත් හැසිරුණ විධියයි. 

මුස්ලිම් සුළුතරය ඉදිරියේ දෙමළ ජාතිවාදය ඉතිහාසයක් පුරා මෙසේ කටයුතු කර තිබේ. එය කෙතරම් තිරශ්චීන වූවා ද යත්, උතුරු නැගෙනහිර පළාත්වල මුස්ලිම් වාර්ගික ශුද්ධියක් ද කොටි සංවිධානයේ නායකත්වයෙන්, දෙමළ ජාතිවාදීන්ගේ ආශිර්වාදයෙන් සිදු විය. 

ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන්ගේ පශ්චාත්තාපයක් නැතිකම ඔවුන් ප්‍රදර්ශනය කළේ අවසන් ඊලාම් යුද්ධයේ ආරම්භය මූතූර් වෙත ගෙන යාමෙනි. අවසන් ඊලාම් යුද්ධයේදී කොටි සංවිධානය හමුදාවට මුල් වෙඩිමුරය තැබීමට තෝරා ගත්තේ මූතූර් මුස්ලිම් ජනතාවගේ ඔලුවලට උඩිනි.

සිංහල ජනතාව හමුවේ දෙමළ ජාතිවාදය යම් විනයගත වීමක් සිදු වුණා නම් එසේ වුණේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිංහලයන් ද දෙමළ ජාතිවාදය හා සමාන කෘර ජාතිවාදයකින් දෙමළ ජනයා මතට කඩා පනින්නට හැමදාමත් සූදානමින් සිටි නිසා ය. සිංහලයන්ගේ ජාතිවාදී ව්‍යාපෘතියට රාජ්‍ය හා මිලිටරි බලය ද උපයෝගී කර ගැනිණි. එබැවින් සිංහල, දෙමළ ජාතිවාදයන් අතර ගැටුමින් හැමදාමත් වැඩිපුර තුවාල ලැබුවේ දෙමළ ජාතියයි. 

කොටි සංවිධානයේ පරාජය යනු දෙමළ ජාතිවාදයේ තීරණාත්මක පරාජයකි. මොන යම් ආකාරයකින් හෝ එවැනි පරාජයන් වළක්වා නො ගෙන අරගලයක් ඉදිරියට ගෙන යන්නට බැරි ය. එහෙත්, දෙමළ ජාතිවාදයේ තිබුණු සීමාවන් හේතුවෙන් පරාජය වළක්වා ගැනීමට ඔවුන්ට බැරි විය. කොපමණ වලි කෑවත් දෙමළ ජාතිවාදීන්ට නැවත 2002 සටන් විරාමය අත්සන් කරන විට ඔවුන් සිටි ප්‍රබල තත්වයට නැවත එන්නට බැරි ය. මේ යථාර්ථය තේරුම් නො ගන්නේ නම්, ඇත්තෙන් ම සිදු වන්නේ තව දුරටත් විනාශයට පාර කපා ගැනීමයි.

සිංහල ජාතිවාදීන් සම්බන්ධයෙන් ද කියන්නට තිබෙන්නේ සමාන කාරණාවකි. තමන් මාර හොඳ බව පෙන්වන්නට කියන ප්‍රලාපවලින් තමන්ට සතුටු විය හැකි මුත්, එයින් ජාතිවාදය ඉක්මවා කිසිවක් කරන්නට බැරි ය. 

ඔය හොඳකම ය කියා කියන්නේ අන් කිසිවක් නො ව, සිංහලයන් දෙමළ ජනයාට කොළඹ ඇතුළු වෙනත් ප්‍රදේශවල සාමයෙන් ඉන්නට දී ඇතැයි කියන එක ය. එය කියන එවුන් සම්බන්ධයෙන් මට නම් කියන්නට ඇත්තේ ඉතා සරළ දෙයකි. 

 ඇත්ත වශයෙන් ම, සිංහල ජාතිවාදීන් දෙමළ ජනයාට කොළඹ ඇතුළු ප්‍රදේශවල සාමයෙන් ඉන්නට දී ඇත්තේ ඔවුන්ට විරුද්ධව කිසිවක් කරන්නට බැරි නිවට නියාලුකම නිසා ය. මහ ලොකු සිංහල ජාතිවාදීන් කිසිවෙකුට කළ හැකි දෙයක් නැත. අලි කයිය තිබුණාට ඔවුහු දෙමළුන්ට බය ය. ඉන්දියාවට බය ය. දෙමළ ඩයස්පෝරාවට බය ය. යුරෝපයට බව ය. එච්චර දුර යන්නට ඕනෑ නැත. ලංකාවේ ආණ්ඩුවට ද බය ය. සිංහල ජාතිවාදීන්ගේ ඔය කියන හොඳකම නිර්මානය වී තිබෙන්නේ ඔය කියන බයවල් නිසා මිස අන් කිසිවක් නිසා නො වේ. 

සමාජ ජාල ආදියෙන් වීරයන් වී සිටින සිංහල ජාතිවාදීන්ට අපි අභියෝගයක් කරමු. ඔබගේ සිත් ඇතුළේ සැඟවී තිබෙන කළු ජූලියක් නැවත ඇති කරන්නට හැකිනම් එනු ඉදිරියට. තොපට ජාතිවාදයෙන් කළ හැකි කිසිවක් නැත.

සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, ජාතිවාදීන් හැම දෙනෙක් ම අනුකම්පා විරහිතව, නීත්‍යානුකූලව මර්දනය කළ යුතු ය. දුටු තැන වෙඩි තැබීම දක්වා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත යුතු ය. 

යාපනය විශ්වවිද්‍යාලයේ ඩෙඟා නැටූ දෙමළ ජාතිවාදී පිස්සන් වහා අත්අඩංගුවට ගත යුතු ය. දකුණේ එයට සූදානම් වී සිටින පිස්සන් වෙනුවෙන් මාංචු සූදානම් කර තබා ගත යුතු ය. 

උතුරේ වෙන්ඩ ප්‍රභාකරන්ලාට මෙන් ම දකුණේ ඥානසාරලාට ද බෙදන්නට එක විධියේ හැන්දක් අවශ්‍ය ය. උතුරේ ජාතිවාදය අවුස්සන විග්නේශ්වරන්ලාට ද, දකුණේ ජාතිවාදය අවුස්සන ඔහුගේ මස්සිනාගේ කල්ලියේ විමල් වීරවංශලාට ද එක හා සමාන ලෙස සැලකිය යුතු ය. මේ රිලවුන් අල්ලා ඔවුන්ගේ ගිනි ගත් වලිගා කොන් කපා දැමිය යුතු කාලයකට අපි එළඹ සිටින්නෙමු.  

ජාතිවාදයට පිළිතුර ජාතිවාදය නො වේ. මහ ජාතිවාදයට වඩා සුළුතර ජාතිවාදය ප්‍රගතිශීලී වන්නේ නැත. කලින් ඇති වුණේ කොයි ජාතිවාදය ද කියන එක සෙවීම මුලින් ඉපදුණේ කිකිළි ද බිත්තරේ ද සොයනවා වැනි මුග්ධ වැඩකි. අප විමසිය යුත්තේ ජාතිවාදයේ මුල් නොව එහි අග්ගිස්ස හෙවත් එය විනාශ කරන ආකාරයයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-18

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අණ දුන්නේ කවුරු ද?

යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ වරදකරු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක
සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි මාසයේදී මහමගදී කෘර ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. එය මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති බව ද, ඇතැම් හිටපු බලධාරීන් කලබලයට පත් වී ඇති බව ද දක්නට ලැබේ.

දේශපාලන හා හමුදා ලොක්කන් වෙනුවෙන් නීති ඉක්මවා සේවය කරන්නට යන නිලධාරීන් අමාරුවේ වැටීම සුලබ තත්වයකි. ඇතැම් ඝාතන සම්බන්ධයෙන් ප්‍රමාද වී හෝ නීතිය ක්‍රියාත්මක වීම වළක්වන්නට අපරාධකරුවන්ට බැරි වී තිබේ.

මහින්ද රාජපක්ෂගේ අඳුරු දශකයේ අපරාධවල සුලමුල දැන් එකින් එක හෙළිදරව් වෙමින් තිබේ. එහෙත්, ඒවා හෙළිදරව් කිරීමටත්, වගඋත්තරකරුවන්ට දඬුවම් පැමිණවීමටත්, නැවත එවැනි සිදුවීම් සිදු නොවන තත්වයක් ඇති කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කිරීමට දැඩි දේශපාලනික අධිෂ්ඨානයක් ආණ්ඩුවට තිබෙන බවක් නො පෙනේ.

එහෙත්, දේශපාලකයන් වෙනුවෙන් අපරාධවල යෙදුණු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට ඔවුන් තනි වීම සාමාන්‍ය තත්වයකි.

2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ වරදකරු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් 2015 ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී. ඔහු සමග ඝාතනයට හවුල් වූ සෙස්සෝ පමණක් නොව, අණ දුන් නිලධාරියා ද අධිකරණය ඉදිරියේ සාක්ෂි ප්‍රමාණවත් නො වීම නිසා නිදහස් විය.

මෙම ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිදරව් වන්නේ මරා වැසිකිළි වලකට දැමීම පිණිස හමුදා භට පිරිසක් විසින් රැගෙන යමින් සිටියදී පළා යාමට සමත් වූ මහේෂ්වරන් නමැති දෙමළ සිවිල් වැසියෙක් පසුව ඒ පිළිබඳ රජයට සම්බන්ධ ඊපීඩීපී සංවිධානයට දැනුම් දීම නිසා ය.

පසුව ඊපීඩීපී සංවිධානයේ මැදිහත් වීමෙන් යුද හමුදා පොලිසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්විණි. සිද්ධිය වූ ස්ථානයට මහේෂ්වරන් රැගෙන ගොස් සිටියදී ඒ අසල ගැවසෙමින් සිටි හමුදා අනුඛණ්ඩයක් දැක ඔවුන් කැඳවා විමර්ශනය කළ අවස්ථාවේ මහේෂ්වරන් එම කණ්ඩායමේ සිටි සුනිල් රත්නායක හඳුනා ගත්තේ ය.

ඔහු සුනිල් රත්නායක හඳුනා ගන්නේ වැසිකිළි වළ අසල සිටි බෙලිකපන්නා ලෙසයි. බෙල්ල කැපීම සඳහා වැසිකිළි වළ අසලට රැගෙන යන විටත් වළ තුළ මිනිසුන් දඟළනු මහේෂ්වරන්ට දැනී තිබේ. සුනිල් රත්නායක දැකීමෙන් මහේෂ්වරන් අතිශය භීතියට පත් වූ බව වාර්තා වේ.

යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුනිල් රත්නායක විසින් මළ මිනී වළ දැමූ ස්ථානය පෙන්වන ලද අතර නඩුවේ සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබා දුන්නේ ද ඔහු විසිනි.

මෙවැනි ඝාතනයක් ඔප්පු කිරීම ඉතා දුෂ්කර ය. දක්ෂ නීතිඥයකුට තවමත් මහේෂ්වරන්ගේ සාක්කිය බිඳ සුනිල් නිදහස් කර ගන්නට අවස්ථාව තිබේ. සෙසු පිරිස නිදහස් වන්නේ ඒ නිසා ය. එහෙත්, සුනිල් තමා එම ඝාතනය කළ බව පිළි ගත් බවත්, එයට සම්බන්ධ සෙසු පිරිස් පාවා දුන් බවත් ඇත්තකි. ඔහුට එය කරන්නට නියෝග දුන් අය බේරී ඔහු පමණක් වරදකරු වූ බව ඇත්ත ය.

කුලියට මිනීමැරූ පීඩිතයන් ඔවුන් එයට පෙළඹවූ බලධාරීන් වෙනුවෙන් බෙල්ල දිය යුත්තේ කුමට ද? 

සත්‍යය හෙළිදරව් කිරීමට උපකාර කළ මෙවැනි වරදකරුවන් රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර ඔවුන්ට ලිහිල් දඬුවම් ලබා දිය යුතු ය. 

ඔවුන්ට මෙවැනි දඬුවම් ලබා දීම ඇත්තෙන් ම සත්‍යය හෙළිදරව් කරන්නට කැමති අපරාධ සහායකයින් අධෛර්ය කරන්නට හේතු වේ. 

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් කළ යුතුව තිබෙන්නේ එයට අණ දුන් පුද්ගලයන් හෙළිදරව් කර ගැනීමයි. එය සුළු සිද්ධියක් නො වේ. ඉහළින් ම පැමිණි අණකින් සිදු වූ දෙයකි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අණ දුන්නේ කවුරු ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-17

වාමාංශික පිරිමින් නවකතාවෙන් විච්ඡේදනය කිරීම

මං ඔය එන එන පිළිවෙලට පොත් කියවන කෙනෙක් නෙමෙයි. ඒත් මං කියවන්න හිතාගෙන හිටපු පොත් කීපයක් පසුගිය දිනවල මං කියෙව්වා. මහින්ද කුමාර සෙනරත් පරිවර්තනය කරපු මිහයිල් ෂෝලහොව්ගෙ 'දොන් නදිය නිසලව ගලා බසී' පොත් හතරයි, පී.බී. ජයසේකරගේ 'මරියා සිලොනිකා වස්තුව'යි, සුරේඛා සමරසේනගේ 'මේ කතාව'යි තමයි ඒ පොත්. ඕවා කියවන අතරෙ තව, තව එව්වාත් කියෙව්වා. ඒ වුණාට යමක් ලියන්න ඕනැ ය කියලා හිතෙන්නේ මේ පොත් ගැනයි.

මේ කතා තුනම කතා කරන්නේ එක ම දෙයක් පිළිබඳව. ඒ තමයි, මාක්ස්වාදී ආගමික දේශපාලනය. කවුරුවත් ඒක ආගමක් ය කියලා ඍජුව කියන්නෙ නැති වුණාට ඒක ආගමක් වගේ ජරාවක් ය කියන එක මේ හැමෝ ම අඩු වැඩි වශයෙන් පෙන්වා දෙනවා.

ෂෝලහොව් ලියන්නේ මාක්ස් ලෙනින්වාදී ආගම ව්‍යාප්ත වීම ආරම්භ වූ 1917 අවට කාලය තුළ සෝවියට් දේශයේ රතු පාට කුරුස යුද්ධ නිසා දොන් නදීබඩ කොසාක්වරුන්ගේ ජීවිතයට එයින් කරපු බලපෑම හෙවත් විනාශය ගැනයි. ස්වයං පෝෂිත ගොවි සමාජයක මිනිස්සු තමන්ට අදාළ නැති කම්කරු විප්ලවයක් එක්ක කරන අරගලය ගැන අතිශය ගැඹුරු සාහිත්‍යමය විග්‍රහයක් එහි අඩංගු වෙනවා. එය පරිවර්තනය කිරීම මහින්ද කරපු ලොකු වැඩක්.

පී.බී. ජයසේකර මූලිකව විෂය කර ගන්නේ වාම දේශපාලනයේ මාක්ස්වාදී යුගයේ අවසන් සමය නම්, සුරේඛා සමරසේන විෂය කර ගන්නේ පශ්චාත් මාක්ස්වාදී යුගය. එහෙත් මේ යුග තුන හරහාම ගලා යන්නේ එක ම ආගමික දුස්සීලයක්.

මාක්ස්වාදී හා පශ්චාත් මාක්ස්වාදී ආගමික සංස්ථාවන්ගේ හොඳ නරක හා එයින් සමාජයට සිදු වන බලපෑම පිළිබඳ සාකච්ඡා කරන මේ දෙන්නා යුග දෙකක ලේඛකයෝයි.

පී.බී. ජයසේකර සම්මත කතා ආකෘතිය තුළ රහස් සැඟවී ගත්, කුතුහලය සපිරි කතාවක් කියන ගමන් පරමාදර්ශී චරිතයක් ද ගොඩනගනවා. ඒ තමයි කරුණාපාල. අසරණ වුණ ගැහැනියකට වරදට සමාව දීපු, අනුන්ගේ ලෙයින් සැදුණු ආබාධිත දැරියක තමන්ගේ ම දරුවකු ලෙස රැක බලා ගන්නා, කම්කරුවන්ගේ, ගොවීන්ගේ අරගලවල ඉදිරියෙන් සිටින, නාට්‍ය කරන, මිනිස්කම උතුරා ගිය කරුණාපාල තමයි චරිතය. සියලු චරිත ගොඩනැගෙන්නේ මේ පරමාදර්ශී චරිතය වටායි. ඔහුගේ පරමාදර්ශයන් සමග තබා අපට සෙසු චරිත විනිශ්චය කරන්නට මාපකයක් ලේඛකයා ඉදිරිපත් කරනවා.

කතානායකයා වචනයේ පරිසමාප්ත අරුතින් ම උතුම් ජීවිත හා සමාජ අරමුණු වෙනුවෙන් කැප වුණ මානව දයාවේ ප්‍රතිමූර්තියක් වන් මිනිසෙක්. ඒ එක්තරා අතකට වාමාංශික පරමාදර්ශී මිනිසා හෙවත් වාමාංශිකයන්ගේ දේශපාලන ෆැන්ටසිය. එ් වුණාට මරියා සිලොනිකා වස්තුවේ අපට හමු වෙන චරිත ඒ ෆැන්ටසිය වන්දනා කරන ගමන් සාමාන්‍ය මිනිසුන් කරන කපටිකම්, කුහකකම් විතරක් නෙමෙයි පූර්ණ ආබාධිත දැරියක දූෂණය කිරීම වැනි නින්දිත අපරාධත් කරන අයයි.

ෂෝල‍හොව්ගේ කතාවේ මෙවැනි වීරයන් නැහැ. ඔහු පරමාදර්ශ හොයන්නේ නැහැ. රුසියානු විප්ලවයේ මුල් යුගයේ සෝවියට් දේශයට පක්ෂපාතී සමාජවාදී ලේඛකයකු ලෙස පවා ඔහු කරන්නේ පවත්නා ඇත්ත ඒ විදියට නිරූපණය කිරීම විතරයි. ඒත්, ලංකාවේ අපි වාමාංශික පරමාදර්ශී චරිත පරිකල්පනය කරන්නට පෙළඹෙන්නේ ඇයි? මං හිතන්නේ එහෙම වුණේ වාමාංශික දේශපාලනය තුළ අප මුහුණ දීපු බරපතල ගැටලුවක් නිසා ය කියලායි.

පී.බී. ජයසේකරට සුරේඛා සමරසේන හමු වෙන්නේ නැහැ. හේතුව සුරේඛා සමරසේන විග්‍රහ කරන යුගයයි, පී.බී. ජයසේකර විග්‍රහ කරන යුගයයි අතර තිබෙන වෙනස නිසා. සුරේඛා ලියන දේවල් හා ඒවා ලියන විධිය පී.බී. ජයසේකරට පවා දරා ගන්නත් බැරි වෙයි වගේ.

පී.බී. ජයසේකරගේ ලෝකයේ දේශපාලනික යයි සිතන ගැහැනිය අදේශපාලනිකයි. උන්නතිකාමියි. පාරිභෝජනවාදීයි. අමානුෂිකයි. ඒ තමයි කතානායකයාගේ බිරිය. පී.බී. ජයසේකරගේ ලෝකයේ පිරිමි දේශපාලනය කරනවා. ඒ පිරිමින්ට ගැහැනු පේන්නේ අදේශපාලනික, පටු සන්තර්පණයන් සොයා යන, වරදට සමාව දිය යුතු බොළඳ සත්ව කොට්ඨාසයක් ලෙසයි. 

එහෙත්, සුරේඛා කතා කරන්න පටන් ගන්නෙ පී.බී. ජයසේකර නිහඬ වෙන තැනින්. සුරේඛා සමරසේන කියලා ගැහැනියක් ඇවිත් පී.බී. ජයසේකරලාගේ වාමාංශික පිරිමි ලෝකයට නෙළාගෙන, නෙළාගෙන යනවා. වෘෂණ කෝෂවලින් අල්ලලා අඹරනවා. මූණට කෙළ ගහනවා. වාමාංශික රැවුල්කාර පිරිමින්ගේ කලිසම් ගලවලා පාරවල් දිගේ එළවනවා.

මේ ප්‍රහාරයේ මූල බීජය ලියැවුණේ සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා නවකතාවෙයි. වාමාංශික, රාජ්‍ය නොවන සංවිධාන පුරුෂ ලෝකයේ චරිතයක් අරගෙන සුනේත්‍රා ඒක ඒ අතට මේ අතට හරව හරවා එහි නිරුවත පෙන්වන්නේ ස්ත්‍රී ශ්‍රේෂ්ඨත්වයක් පිළිබඳ කිසියම් ආකාරයක ප්‍රති පුරුෂෝත්තමවාදී ස්ත්‍රී ස්වෝත්තමවාදයකින්.

මේ පොතට සම්මාන ලැබුණු වෙලාවේ පොදු පුරුෂයන්ගේ ලෝකයේ වීරයකු වූ සුචරිත ගම්ලත්ට මාරාවේශ වෙනවා. එයා පොදු පුරුෂයාට නෙළන්නේ මෙන්න මෙහෙමයි: "ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්‌. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව දැකල සුමිත්‍රා රාහුබද්ධ කියල කෙනෙක්‌ නාටාමි භාෂාවෙන් ඒ ජාතියෙම කතාවක්‌ ගොතල සම්මානෙකුත් ගත්ත. මේ වගේ පොත් ලියල පොත් කියවන මිනිස්‌සුන්ගෙ කාලය විනාශ කරන එක විශාල අපරාධයක්‌. හොඳ පොත් කියල මේ පපඩම් නවකතාවලට සම්මාන දෙන සාහිත්‍ය මණ්‌ඩලවල ඉන්න අයත් ඒ අපරාධයේ හවුල්කාරයෝ."

ඇය අවුරුදු පතා පොත් ලියනවා ය, භාෂාව හොඳ නැති ය වැනි විගඩම් මිස හරයක් ඇති විචාරයක් ඔවුන්ගේ කෘති සම්බන්ධයෙන් කිරීමට සුචරිත ගම්ලත් දක්වා කිසිදු විචාරකයෙක් සමත් වූයේ නැත. තමන්ගේ බැනිල්ලට පදනමක් අවශ්‍ය නිසා අන්තිමේදී බොහෝ දෙනෙක් එල්ලුණේ ‍ගුණදාස අමරසේකරගේ කරේ ය. ඔහු කී දෙයක් වන්නේ ඇගේ පොදු පුරුෂයා ව්‍යාජයක් ය කියා ය. ඒ කියන්නේ යථාර්ථවාදී නො වනවා ය කියා ය. ඒ වනාහි ඉතා නො ගැඹුරු, ව්‍යාජ ප්‍රකාශයකි. එහෙත්, මෙවැනි ගොබ්බ කතා ද ලංකාවේ විචාර ලෙස සැලකේ.

පිරිමින්ගේ ස්වයංජාත වැනි දුර්වල නවකතාවලට සම්මාන දෙන විට ‍මේ විචාරකයන් මේ තරම් කිපුණේ නැති බව විමසා බැලුවොත් පෙනේ. සුනේත්‍රාගේ නවකතාව විශිෂ්ට එකක් නො වුණත්, එහි වැදගත්කම ඇති වන්නේ එය වාමාංශික අධිපතිවාදී විචාරකයන් කුපිත කළ ආකාරය නිසායි. වාමාංශික, එන්ජීඕ දේශපාලනයේ ඉතා සුලබ චරිතයක් වන පොදු පුරුෂයා කතාවේ පිරිමියා ව්‍යාජයක් ය කියා බැහැර කරන්නේ අන් කිසි හේතුවක් නිසා නෙමෙයි, සුනේත්‍රා ලංකාවේ වාමාංශිකයන්ගේ නිරුවත ඉදිරියේ දර්පණයක් සවි කරන නිසායි. 

මම ශාස්තෘ නවකතාව ලියපු වෙලාවෙත් මං මේ අත්දැකීමට මුහුණ දුන්නා. බොහෝ වාමාංශික පිරිමි ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ. ඒ පොත ගැන හැත්තැ එකේ මහ නඩුවේ විත්තිකාරයකු වූ ප්‍රේමපාල හේවාබටගේ හා පැට්‍රික් ප්‍රනාන්දු කිව්වේ ඒ පොත කියවන්න බැරි එකක් ය කියායි. පොත දොරට වැඩි දාට පහුවෙනිදා ම එය වැඩක් නැති එකක් ය කියා ලියපු ටැබූ සබ්ජෙක්ට්ස් පවා එක රැයින් පොත කියවා හමාර කළා. වාමාංශිකයෝ කියවීම ප්‍රතික්ෂේප කළා. මං ලියන රාවය පත්තරේ පවා ශාස්තෘ පොත ගැන වචනයක්වත් ලියවුණේ නැහැ. ඉන්ද්‍රනාම ද්විලිංගික වීම, විප්ලවවාදී කවියන් තමන්ගේ අතින් කුඩා දරුවන් ඝාතනය කළ අය වීම වැනි දේ දරා ගන්න වාමාංශිකයන්ට බැහැ. ඒවා ව්‍යාජ ය කියලා කිව්වාට ඒක තමයි ඇත්ත.  

වරක් අපි ජානකී සූරියආරච්චි නම් ළමා පොත් ලියන ළමා විය ඉක්මවා ගොස් නැති ලේඛිකාවගේ දොයියම්මා නම් කවිය ස්ත්‍රීවාදී ඇසකින් විමසමින් බ්ලොග් සටහනක් ලිව්වෙමු. ඊට පසු අපට කතා කළ ජානකී ඇයට ස්ත්‍රීවාදිනියක යයි කීම හරියට ත්‍රස්තවාදියකු කියන්නා වගේ ය කියා එම සටහන ඉවත් කරන්නැයි ඉල්ලා සිටියා ය. එය අපහාසාත්මක සටහනක් නො වන නිසාත්, පොත් ලියා විකුණනවා නම් ඒවා මිළ දී ගන්නා මිනිසුන්ට ඒවා ගැන කතා කරන්නට ඇති අයිතියට ගරු කළ යුතු බවත් මම ඇයට පෙන්වා දුන්නෙමි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ගාමිනී මතුරට වැනි එයාගේ අංකල්ලා ගැන කියමින් අැය මා බිය වද්දන්න ද උත්සාහ කළා ය.

සුනේත්‍රා රාජකරුණානායක වනාහි ජානකී සූරියආරච්චිගේ වර්ධනීය අවධියක් යයි මට සිතේ. ඇගේ පොදු පුරුෂයා විචාරක පිරිමින් භූමිතෙල් ගෑවුණු ගැරඬින් බවට පත් කිරීමට හේතු වුණේ ජානකීගේ දොයියම්මා සේ ස්ත්‍රියගේ සමාජ භූමිකාව ප්‍රශ්න කළ අහම්බ ස්වරූපය හේතුවෙන් වන්නටත් පුළුවන. එහෙත්, සුරේඛා වනාහි එවැනි ලේඛිකාවක් නො වේ. ඇය ලියන්නේ පණුවන් නලියන කාණු පල්ලවල් අත පත ගෑ කුණු වැකි අතකිනි.

මිනී කපන්නකු මළසිරුරකට දක්වන ගරුත්වය හෝ නො දක්වන සුරේඛා සමරසේන මේ ඊනියා වාමාංශිකයන්ගේ කුහක ලෝකය හම ගැසූ කුකුළකුගේ බොකු බඩවැල් ඇද දමා එය හොද්දට ගැනීම සඳහා ලී කොටයක් උඩ තබා කෑලි කෑලි කපනවා සේ කපා වළඳකට දමයි. එය පී.බී. ජයසේකරගේ මරියා සිලොනිකා වස්තුව සේ බළල් මස් පිස සුදු ඇතිරිලි සහිත මේසයක් මත දීසියක් ලෙස ඉදිරිපත් කිරීමක් නො වේ. එය වනාහි බළල් කුණ ඉඳා කාපියව් කියා අමුවෙන් ම මූණේ ගැසීමක් වැනි ය. එහි භාෂාව, ආකෘතිය ආදී සියලු ලක්ෂණ එසේ ය. ප්‍රබන්ධය යථාර්ථය බව ද යථාර්ථය ද ප්‍රබන්ධයක් බව ද යන කරුණු දෙක ම පසක් කර දෙන ඇගේ කතාව ලියන සුරේඛා සමරසේන ද එහි චරිතයකි.

ඉතින් සාහිත්‍ය විචාරය හා සම්මාන විනිශ්චය අරක් ගෙන සිටින, පොත් ලියන කාලයට ඒවාට සම්මාන ගැනීම ද නො ලියන කාලයට විනිශ්චය ද කරන ලංකාවේ සාහිත්‍ය මාෆියාව සුරේඛාගේ මේ කතාව ගැන කිසිවක් කතා නො කිරීම පුදුම විය යුතු කාරණයක් ද?

අප මෙම සටහන තබන්නේ සුරේඛා ගැසූ බෝම්බයෙන් තුවාල වී, එහෙත් රහසේ ප්‍රතිකාර කිරීම නිසා ඔඩු දුවා, කුණු වී ගිය තුවාලවල වෙලුම් පටි ඇද දමා ඕජස් ගලන ඇඟ මස් තවත් නිරාවරණය කර දැමීමට ය. හෙට අනිද්දා සම්මාන බෙදා ගන්නා විට සුරේඛා නම් ලේඛිකාවක් සිටි බව හා ඇය මේ කතාව නම් නවකතාවක් ලියූ බව අමතක නො විය යුතු හෙයින් සුරේඛාගේ මේ කතාව කියවිය යුතු ම පොතකැයි අපි නිර්දේශ කරන්නෙමු.

මෙය විචාරයක් නොව ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්න.

ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-14

තීරු බදු රහිත වාහන ජාවාරම තලතා අතුකෝරළගේ සිට සමන්ත විද්‍යාරත්න දක්වා

අපි මෙහෙමයි වැඩට යන්නෙ 
විදේශ රැකියා ඇමතිනියගේ වාහනයක් සම්බන්ධ වැදගත් ප්‍රශ්නයක් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් මතු කර තිබේ. ඔහු පවසන්නේ ඇමතිනිය සිය අමාත්‍යාංශයට වාහනයක් ආනයනය කර ඇති බවයි. 

එහෙත් ඒ පිළිබඳ පැහැදිලි කරන ඇමතිනී තලතා අතුකෝරළ වැදගත් කරුණු කීපයක් හෙළිදරව් කරයි. ඇය පවසන්නේ ඒ වනාහි තීරු බදු රහිතව තමා විසින් ආනයනය කර ගන්නා ලද වාහනයක් බවයි. 

මෙම වරප්‍රසාදය වසර 30ක පමණ කාලයක් තිස්සේ ඇති බව ද, එමගින් මන්ත්‍රීවරයකුට වසර පහකට වරක් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කර ගත හැකි බව ද ඇය පෙන්වා දෙයි. ඇගේ සොයුරා වන ගාමිනී අතුකෝරළ මන්ත්‍රීවරයකු ලෙස එසේ වාහන තුනක් ආනයනය කර ඇති බව ද, ඇය ද එසේ වාහන තුනක් ආනයනය කර තිබෙන බව ද ඒවා ගෙදර ඇති බව ද ඇය පවසයි. 

ගාමිනී අතුකෝරළගේ වාහන පැත්තකින් තියමු. මෙම ඇමතිනියට ගෙදර වාහන තුනක් තිබේ. ඊට අමතරව අමාත්‍යාංශයේ ද වාහන ඇත. අපට තිබෙන ප්‍රශ්නය මෙයයි. මෙච්චර වාහනවලින් දුවමින් කළ වැඩ කෝ? විදේශ රැකියාවල නියුක්ත වන ලාංකිකයන්ට පසුගිය කාලයේ මෙම අමාත්‍යාංශය විසින් කර ඇති කැපී පෙනෙන සේවා මොනවා ද? 

අනෙක් කාරණය වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම මෙසේ වාහන ආනයනය කරගෙන ඇති බවයි. ප්‍රශ්නය මතු කළ ජනතා විමුක්ති පෙරමුණ මෙම වරප්‍රසාදය පාවිච්චි කර වාහන ආනයනය කළේ නැද්ද? ජවිපෙ මන්ත්‍රීවරු 1994 සිට පාර්ලිමේන්තුවේ සිටිති. මෙතෙක් කල් ආනයනය කරන ලද තීරු බදු රහිත වාහන කෝ? ඒවායින් මහජනතාවට කරන ලද සේවය කුමක් ද? වසර පහක් ගත වන තෙක් විකිණිය නො හැකි ය යන කොන්දේසිය මත ලබා දෙන මෙම වාහනය විකුණා තමන් මුදල් ගත් බව හිටපු ජවිපෙ මන්ත්‍රී අජිත් කුමාර විවෘතව ම පැවසුවේ ය. 

මෙම තීරු බදු රහිත වාහන ජාවාරම කරන්නේ දේශපාලකයන් පමණක් නො වේ. රජයේ නිලධාරීහු ද ගජරාමෙට මෙම ජාවාරමේ යෙදෙති. 

බොහෝ දෙනෙක් කරන්නේ තීරු බදු රහිත වාහන බලපත්‍රය ගෙඩිය පිටින් ම වාහන ආනයනකරුවෙකුට විකුණා අවම වශයෙන් රු. ලක්ෂ 10කට වැඩි මුදලක් ලබා ගැනීමයි. මේ දේශපාලකයන්ට හා රජයේ නිලධාරීන්ට මේ රටේ මහජනතාව වසර පහකට වරක් අඩු ම තරමේ රු. ලක්ෂ 10ක් බෝනස් ලෙස ගෙවන්නෙමු. මෙය අවම වශයෙන් මාසයකට රු. 16,667ක බෝනස් එකකි.  

එය මෙරට බොහෝ වැඩ කරන මිනිසුන්ගේ මාසික වැටුපට සමාන මුදලකි. 

මේ රථගායේ තවත් පැත්තකි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-07-13

සිරිපාල ගෙදර පල!

නිමල් සිරිපාලත් ඔන්න වැඩක් කරලා. 

බස් ගාස්තුව සීයට හයකින් මෙව්ව කරලා. ඒ කියන්නේ තට්ටු කරන ගාස්තුව රුපියලකින් විතර බස්සලා. 

ඇත්තම කියනවා නම් මෙතන වෙලා තියෙන්නේ බස් ගාස්තුව අඩු වීමක්. ඉස්සර අවම ගාස්තුව රුපියල් අටනෙ. ඉතින් රුපියල් දහයක් දුන්නා ම කොන්දොස්තර රුපියල් දෙකකට තට්ටු කරනවා. දැන් අවම ගාස්තුව රුපියල් නමයනේ. එතකොට කොන්දොස්තර තට්ටු කරන්නේ එක සුපියලටයි. 

මං සාමාන්‍යයෙන් දිනපතා ගමන් බිමන් යන්නෙ අඩු ගානෙ ලක්ෂ පනහක් හැටක්වත් වටින වාහනේකින් විතරයි. ඒ කියන්නේ බස්වල හා කෝච්චිවල. මං නං ඔය සුපියලවල් දෙකවල් පඩේකට ගණන් ගන්නෙ නැහැ. ඕවා පර්ස් එකේ දාගත්තා ම ඒක ඉරෙන්න බලනවා. සාක්කුවේ දාගත්තා ම ඒක සිලිං බිලිං ගානවා. හිඟන්නෙකුට දුන්නොත් ඌ රවනවා. ඒ නිසා කොන්දොස්තරලා ඒක තියාගන්න එක ගැන මං සතුටුයි. ඔය කොන්දොස්තර මල්ලිලා රුපියලට දෙකට මාටියා ගහන අය ය කියලා පොදුවේ කිව්වට උන් ඇත්ත වශයෙන් ම අනෙක් පැත්තටත් ඔය වගේ කරනවා. ඒ කියන්නේ වැඩි පැත්තට විතරක් නෙමෙයි අඩු පැත්තටත් ගාන රවුම් කරන අවස්ථා ඕනැ තරම් තියෙනවා.  

හුඟක් අය හිතන්නේ ඔය වගේ රුපියලේ දෙකේ හොරකම් කරන්නෙ බස් කොන්දොස්තරලා විතරයි කියලා. ඒ වුණාට සුදු කිට් ගහන රේල්ලුවේ ඉස්ටේසන් මාස්ටර්ලා අතරත් ඔය වගේ පීචං හොරු ඉන්න බව මගේ අත්දැකීමයි. පව් රජයේ සේවය!

මට තියෙන ප්‍රශ්නය නිමල් සිරිපාල පසුගිය කාලෙ කරපු වෙන වැඩක් තියෙනවා ද කියන එකයි. මේ හාදයාට නිදි වදින එක ගැන ඉස්සර ලොකු ප්‍රසිද්ධියක් තිබුණා. දැන් ඒකත් බැරුව වගේ. නිදි කිරන එක තමයි වැඩිපුර කරන්නේ. 


ප්‍රවාහන ඇමති කිව්වට පුළුවන් නම් කියහන්කො අඩු ගානෙ පහුගිය අවුරුද්දක් තිස්සෙ පොදු ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් කරපු වැඩක් තියෙනවා නම්. 

බස් ගාස්තු වැඩි කරන එක හැර සිරිපාල පොදු ප්‍රවාහනය වෙනුවෙන් කරපු වැඩක් කිව්වොත් මං මේ බ්ලොග් එකේ එයා ගැන ප්‍රශස්තියක් ලියලා පළ කරනවා. 

සිරිසේනට ම හරි යන සිරිපාල. හැබැයි සිරිසේන ලොරි ටෝක්කාරයා. දෙන්නෙ නැතෑ හැමදාම ඇට්ටි හැලෙන ටෝකක්. හඩ්සන් සමරසිංහ පරාදයි. 

සිරිපාල නම් හැකි ඉක්මණින් ගෙදර යා යුතුයි. සිරිසේනත් කයිවාරු අතෑරලා වැඩක් කරන්න බලනවා නම් හොඳයි. නැතිනම් ඉතින් වැඩි දවසක් යන්න කලියෙන් අපි උඩ මාතෘකාවේ පාල සේන කරනවා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.