2016-10-31

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටිය සහ නීතියේ කාර්යභාරය

මෙය අපගේ පාඨකයකු විසින් කමෙන්ටුවක් ලෙස නිර්නාමිකව පළ කරන ලද අදහසකි. එහි ඉතා සුළු සංස්කරණයක් සිදු කර තිබේ. මුල් කමෙන්ටුව නීතිය, මහ බැංකු බැඳුම්කර හා සියඹලා ලිපිය සමග පළ වී තිබේ.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියට කළ හැකි වන්නේ කරුණු ගවේෂණයක් සහ ඒ පිළිබඳ වාර්තාකරණයක් පමණ යි. එමඟින් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සම්බන්ධයක් ඇති කෙරේ. ව්‍යවස්ථාදායකයේ අනුමැතිය මත මහජන මුදල් රාජ්‍යය විසින් වියදම් කරනු ලැබීම පිළිබඳ ප්‍රත්‍යාවලෝකනීය ආවේක්ෂණ සහ සංතුලන ක්‍රියාවලියක් එකී කොමිටිය ‍විසින් සිදු කරනු ලැබ විධායකයේ අවධානය පිණිස යොමු කෙරේ. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ මෙකී සීමාව අප විසින් වටහා ගත යුතු ය.

ඵෙතිහාසික ව මෙකි කොමිටිවල සභාපති ධුරය වාමාංශිකයනට ලැබීම රසවත් අහඹුවකි. එහෙත් නීරස සත්‍යය නම් බර්නාඩ් සොයිසාගේ (එවකට රාජ්‍ය ගිණුම් කොමිටිය යටතේ) සිට සුනිල් හඳුන්නෙත්ති දක්වා සභාපති ධුර දැරුවන් ද සාමාජිකයන්ගේ බහුතරය ද මෙකී රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ කාර්යභාරය හා සීමාව නැත හොත් ප්‍රොටෝකෝලය නො දැන හෝ දැන හෝ නො සලකා හැරීම යි. මෙකී කොමිටිය සඳහා නිර්දේශ වන සමාජිකයන් ද සභාපති ද ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිවාදයන් සහ න්‍යාය පත්‍ර මත කටයුතු නො කළ යුතු වීම මූලික අවශ්‍යතාවකි. එහෙත් වර්තමානය වන විට මෙකී කොමිටිය ද දේශපාලන පක්ෂ මූල ව ධ්‍රැවීකරණය වූ තවත් එක් සමූහයක් බවට පත් ව ඇත.

සුනිල් හඳුන්නෙත්ති හා එහි සාමාජිකයන් කොමිටියේ දී හැසිරෙනුයේ තම ප්‍රොටෝකෝලය පිළිබඳ වගේ වගක් නැති ව ය. සුනිල් හඳුන්නෙත්ති සභාපතිකම අතහරින්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මිස වෙනත් සැලකිය යුතු හේතුවකට නො වේ. කොමිටියක විවිධ මත ගැටුම් වන බව නො දැන සිටින්නට හඳුන්නෙත්කි යනු තොත්ත බබෙක් නො වේ. තමා භාර ගත් කාර්යය නිසි ලෙස අවසන් නො කර අතර මඟ දී හැර යෑම ජනතා විමුක්ති පෙරමුණේ අනන්‍ය ලක්ෂණයකි. හඳුන්නෙත්ති යනු හොඳ ජනතා විමුක්ති පෙරමුණු සමාජිකයෙකි. ඔහු මෙම නාඩගම නටන්නට සැරසෙන බව දුරදක්නා නුවණින් W3Lanka කල් තියා ම පැවසී ය (“වංගු බැහැ හඳුන්නෙත්ති. කෙළින් එන්න!” යන මැයෙන් පළ වූ ලිපිය බලන්න). 

සභාපති හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ සුපුරුදු න්‍යාය පත්‍රයට අනුව වරදකරුවන් නම් කර ඔවුනට දඬුවම් කළ යුතු බවට නිර්දේශාඥා නිකුත් කර යි. “තමා හැදූ” වාර්තාවක් පිළිබඳ මාධ්‍ය සංදර්ශන පවත්වන සභාපති හඳුන්නෙත්ති ඇතැම් සමාජිකයන් ප්‍රතිවිරුද්ධ මත දැරීම “හොරුන් ආරක්ෂා කිරීමක්” ලෙස අර්ථකථනය කර යි. අයෙක් කෝප් වාර්තාව යනු ජූරියේ තීන්දුව වැනි ඒකමතික හෝ බහුතර හෝ “තීන්දුවක්” විය යුතු බව පවසති. නීතිය පිළිබඳ ප්‍රවීණ ගුරුවරයෙක් වන සාමාජිකයෙක් යම් යම් පුද්ගලයනට දඬුවම් කිරීමට තමා කෝප් වාර්තාවෙන් නිර්දේශ කළ බව පවස යි. දඬුවම් කළ හැකි වන්නේ නීති ප්‍රකාර ව ය. එය අධිකරණයේ කාර්යභාරයකි. දශක හතරකට වඩා අතීතයේ දී අහෝසික කරන ලද අධිනීතිඥ නම් අපනාමයකින් තමා හඳුන්වා ගන්නා එම සාමාජිකයා මෙලෙස නිර්දේශ කළේ ගරු අධිකරණයට ද? එසේ කරන්නට ඔහුට බලතල පැවරී නැත. නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියේ කාර්යභාරය නැති නිසාවත් ‍ඔහු ඒ පිළිබඳ නො දන්නේ ද යන සැකය මසිත නැඟේ.

කොප් වාර්තාව මහ බැංකු බැඳුම්කර ගැටලුව අලළා මෙතරම් උත්කර්ෂණයට ලක් කළ යුතු ද යන්න විමසා බලනු වටී. කෝප් වාර්තාවේ බැරෑරුම්කම ඇගයිය යුත්තේ අදාළ කොමිටියේ සාමාජිකත්වය මත ය. මෙහි සාමාජිකත්වය සැකසෙන්නේ පාර්ලිමේන්තුවේ සමාජිකයන්ගෙනි. ලංකාව වැනි සර්වනියෝජිත පාර්ලිමේන්තුවක (ජාතික ලැයිස්තුව යනු සාමි මන්ත්‍රී මණ්ඩලයක් හෝ කොංග්‍රස් සභාවක් නො වේ) සාමාජිකයන්ගෙන් සැඳුම් ලත් පාර්ලිමේන්තු කොමිටිවල ඇති ප්‍රධාන ගැටලුව වන්නේ විමසුමට බඳුන් වන ප්‍රස්තුත කාරණය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත පුද්ගලයන් මෙම කොමිටිවල නො සිටීම ය. රාජ්‍ය ව්‍යවසාය වැනි ක්ෂේත්‍රයක් පිළිබඳ තීන්දු තීරණ හා නිර්දේශ නිකුත් කිරීමට තරම් සුවිශේෂි හැකියාවක් මෙම ඊනියා කොමිටුවලට පත් වන පුද්ගයනට නැත. අජිත් නිවරද ව වරක් පැවසූ ලෙස ම යම් ප්‍රස්තුත කාරණයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත විශේෂඥයෙකු විය යුතු නැත. එහෙත් එම කාරණය පිළිබඳ තීන්දු තීරණ ගෙන විසඳුමක් ලබා දීමට නම් අදාළ කාරණය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් හා විශාරදත්වයක් තිබිය යුතු ය. එසේ නො වන සාමාජිකත්වයකින් යුත් ඊනිය‍ා පාර්ලිමේන්තු කොමිටි මඟින් සිදු වන්නේ සාමාන්‍ය රටවැසියන් විසින් කරනු ලබන ප්‍රශ්න කිරීම ම විසඳුම් සෙවිය යුතු තැන දී ද සිදු කරනු ලැබීම ය. එවැනි කොමිටි වාර්තා බැරෑරුම් ලෙස ගෙන කටයුතු කිරීම රාජ්‍ය ව්‍යවසාය තව තවත් අකර්මණ්‍ය කිරීමකි. ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමති වූ කළ ඔහු මේ බව වටහා ගත් බව පෙනේ.

ඔහු විශේෂඥයන්ගෙන් යුත් සංස්ථා අංශයක් මුදල් අමාත්‍යාංශයේ පිහිටුවා ගෙන පාර්ලිමේන්තු කොමිටි කාර්යභාරය ඉටු කර ගත්තේ එනිසා ය. මෑතක් වන තුරු ම ඊනියා කෝප් වාර්තා කිසිවෙකු විසින් බැරෑරුම් ව සැලකුවේ ද නැත. ඒ පෙර කී හේතු නිසා ය. කෝප් නිර්දේශ යනු ඇමෙරිකාවේ කොංග්‍රසය හෝ එංගලන්තයේ සෙනටය හෝ වැනි විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති මණ්ඩලයක තීන්දු තීරණ නො වේ. ‍එසේ නම් මහජන මුදල් ද කාලය ද නාස්කි කරන අර්ථශූන්‍ය සංයුතියකින් යුත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියක් මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ මේ නටන නාඩගම කුමක් ද?

ආණ්ඩුව මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනයට මෙවැනි කොමිටියක් පත් කර ගන්නේ ම මෙවැනි නාඩගමක් නටමින් කාලය නාස්ති කිරීමට හා ජනතා අවධානය මෙවැනි නාඩගම්වලට යොමුකර ගැනීමට ය. මේ කොමිටි වාර්තාව පළ කළ පමණින් කිසිවක් සිදු ව නැත. හඳුන්නෙත්තිගේ බහුභූත සාක්ෂිවලින් සවිමත් නීති තර්කයක් හෝ නෛතික සාක්ෂියක් මතු ව එන්නේ නැත. එසේ වන්නට ද නො හැකි ය. ඔහු සහ ඔහුගේ ගෝල රෑනට කළ හැකි වන්නේ පොදු රටවැසියන් කරන ටික ම පමණි. 

අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු බැඳුම්කර සිද්ධියේ දී කර ඇති මැදිහත් වීම නෛතික ගැටලුවකට වඩා ආචාර ධර්මීය ගැටලුවකි. මහ බැංකුවේ බැඳුම්කර ගැනීමකට මහ බැංකුවේ අධිපතිගේ බෑණා ඉදිරිපත් වීම හා ඒවා ඔහු විසින් හිමි කර ගනු ලැබීම යනු බැඳියාව පිළිබඳ ගැටුමකි. බැඳියාව පිළිබඳ ගැටුමක් යනු මූලික ව ම ආචාර ධර්මීය කාරණයකි. එවැනි බැඳියාව පිළිබඳ ගැටලුවක් සිදු නො වන සේ කටයුතු කළ යුතු ව තිබිණි. ඔක්ස්ෆර්ඩ්හි ඉගෙන අන්තර්ජාතික ආයතන රැසක ඉහළ ම තනතුරු දැරූ අර්ජුන මහේන්ද්‍රන් සේ ම කොළඹ සරසවියේ නීතිය මැනැවින් උගත්, දශක හතරක දේශපාලන පරිචයක් ඇති අගමැති වික්‍රමසිංහ ද මෙම බැඳුම්කර ගනුදෙනුවේ බැඳියාව පිළිබඳ ගැටුම ද නෛතික තත්ත්වය ද දැන සිටි බවට මට නම් කිසිඳු සැකයක් නැත. බැඳියාව පිළිබඳ ගැටුමක් නෛතික ගැටලුවක් විය හැකි මුත් එය නෛතික ව සාධනය කිරීම පහසු කාර්යයක් නො වේ. ආචාර ධර්ම රැකිය යුත්තේ එමඟින් සුරැකෙන කාරණා නීතිය මඟින් සුරැකීමට අපහසු නිසා ය. හඳුන්නෙත්තිගේ ඕපාදූප කතා නෛතික සාක්ෂ්‍ය නො වේ. වැලිපාරවල හොර ගමන් යන්නෝ පිය සටහන් නො තබන්නට වග බලා ගනිති. අර්ජුන මහේන්ද්‍රන් නීතිය මඟින් නිදොස් කර නිදහස් කෙරෙනු ඇත. එහෙත් මානව චිත්තයේ යම් ගැඹුරු තැනෙක සැඟ ව ඇති හෘදය සාක්ෂිය නම් හැඟුමක් විසින් මේ ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයනට දිවි ඇති තුරා දඬුවම් කරනු ඇත. එම දඬුවමේ වේදනාව වැඩිපුර ම දැනෙනු ඇත්තේ දශක හතරකට වැඩි කාලයක් මූල්‍ය පාරිශුද්ධත්වයක් රැක ගෙන පැමිණි අගමැති වික්‍රමසිංහට ය. ඔහුට අත් වූ ඛේදනීය ඉරණම පිළිබඳ මම ද කනගාටු වෙමි.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටිය විසින් නැටුණු තොවිලයකුත් නැත; බෙරේ පළුවකුත් නැත. මහබැංකු බැඳුම්කර සිද්ධිය සහ කෝප් වාර්තාව විසින් අපට හඬ නඟා පවසන්නේ පශ්චාත් යටත්විජිත ලංකාවේ රජ්‍යකරණය තව දුරටත් ඉදිරියට ඇද ගෙන යා නො හැකි තරම් යල් පැන ඇති බව යි. එම රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය කිරීම යුහුසුළු ව කළ යුතු කාර්යයකි. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය යනු ව්‍යවස්ථාදායකය, විධායකය හා මූලික නීතිය යන ඒවායේ ව්‍යුහාත්මක හා කෘත්‍යාත්මක වෙනසක් සිදු කරන ආණ්ඩුකරණයේ වෙනසකි. ලාංකීය සමාජය රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු නො සලකා හැර ඇති සෙයකි. රජය ද සිවිල් සමාජය ද මාධ්‍යය ද මහ බැංකු බැඳුම්කර සිද්ධියක් හා කෝප් වාර්තාවක් දෙස ආලෝක ධාරා යොමු කර නෙතු පිය නො හෙළා බලා සිටින කල පැරණි වාමාංශිකයෙකුගේ මූලිකත්වයෙන් මෙරටේ මූලික නීතිය වෙනස් කරන්නට කටයුතු සිදු කෙරේ. සමස්ත රටවැසියා ම දායකත්ව ය දැක්විය යුතු මූලික නීතිය වෙනස් කිරීම යනු හුදු නෛතික කාර්යක් නො ව දේශප‍ාලන කාර්යයකි. මෙරටේ මූලික නීතිය වෙනස් කළ යුත්තේ උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පමණක් නො ව, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය කරා යන ගමනේ අනුශංගික කොටසක් ලෙස ය. ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය නැති වූයේ රාජ්‍යකරණයේ ස්වභාවය තුළ ය. එහෙත් අප ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සොයමින් සිටින්නේ එය ගිලිහීමට ‍අදාළ තැන නො වේ. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය වන තැන අඳුරේ තබා ප්‍රතිඵල රහිත කාර්යයක් වෙත අප විසින් ආලෝකය යොමු කරනු ලැබ ඇත. ප්‍රගතිශීලී බුද්ධිමතුන් රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ මීට වඩා අවධානය යොමු කළ යුතු ය. ඒ කාර්යය පැරණි වාමාංශිකයෙකුට බාර කර බලා සිටීම භයානකා චර්යාවකි. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ පැරණි වාමාංශිකයන්ගේ ඉතිහාසය බියකරු ය.

දහස් වරක් පවසනු ලැබූ දෙයක් අවසන යළිත් පවසමි. අප ඉඳිකටුව සොයමින් සිටින්නේ ආලෝකය ඇති පහන් කනුව යට ය. එහෙත් ඉඳි කටුව නැති වූයේ වෙන තැනක ය. ඉඳි කටුව නැති වූ තැනට ඔබගේ ඥානාලෝක කදම්බය යොමු කරන්න. අප ඉඳි කටුව සෙවිය යුත්තේ එය නැති වූ තැන ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-10-30

නීතිය, මහ බැංකු බැඳුම්කර හා සියඹලා

මම නීතිය හැදෑරූ කෙනෙක් නොවෙමි. මා නීතිය දන්නේ නීති ගරුක පුරවැසියකු දත යුතු මට්ටමට පමණි.

නීතියේ දර්ශනය ගැන නම් මම මෙලෝ දෙයක් නො දනිමි. මා මතු කරන මෙම ප්‍රශ්නය නීතියේ දර්ශනයට අදාළ දෙයක් නම්, කරුණාකර නීතිය දන්නා අය මෙය මෙහිදී හෝ වෙනත් තැනකදී පැහැදිලි කරන්න.

කෝප් කමිටුවේ වාර්තාවෙන් හෝ ඒ සඳහා පාදක කර ගත් විගණකාධිපති වාර්තාවෙන් හෝ මෙම බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ඔප්පු කිරීමට තරම් සාක්ෂි සොයාගෙන ඇතැයි නීති විශාරදයකු නො වූව ද මට සිතේ. ඉන්සයිඩර් ට්‍රේඩිං සිදු වූ බව පෙන්වීමට සුනිල් හඳුන්නෙත්ති දෙන සාක්කි වන අර්ජුන් මහේන්ද්‍රන් වෙන්දේසිය සිදු වන අතරේ ෆ්‍රන්ට් ඔෆිස් එකට ආවා, බැලුවා වැනි ඕපදූප මට්ටමේ තර්ක ය.

අනෙක් පැත්තෙන්, මුදල් සපයා ගැනීම සඳහා කලින් අනුගමනය කළ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් හා වෙන්දේසි යන ද්විත්ව ක්‍රමය වෙනුවට වෙන්දේසිය පමණක් සිදු කිරීමට ගත් තීරණය හා ණයට ගන්නා ප්‍රමාණය රු. බිලියන එකේ සිට රු. බිලියන 20 දක්වා වැඩි කිරීමට ගත් තීරණයත් වැරදි යයි නීතිය ඉදිරියේ ඔප්පු කළ හැකි ද? ඒ පිළිබඳ අර්ජුන් මහේන්ද්‍රන් සිය බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට ෂේප් එකේ කිව්වා වෙන්නට හැකි ය. ඒ නිසා ඔහු රෙඩි පිට පැමිණ සෙසු ප්‍රයිමරි ඩීලර්ලාට උඩින් ගේම ගසා තිබේ. එහෙත්, මේ මාමා බෑණා ඩබල මේකට කුමන්ත්‍රණය කළ බව ඔප්පු කරන්නට පුළුවන් ද? මට පැහැදිලි නැත.

විගණකාධිපති කියන professional due care නැතිකම හා රජයට අවම පිරිවැය හා අවම අවදානම ඇති වන පරිදි වැඩ නො කිරීම පිළිබඳ චෝදනාව අපරාධ චෝදනාවක් ද? රාජපක්ෂ පාලන සමයේ හෙජිං ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු වී තිබෙන්නේ ද මෙය ම නො වේ ද? කරුණාකර දන්නා අය පාඨකයා දැනුවත් කිරීම සඳහා පැහැදිලි කර දෙන්න.

එහෙත්, මෙම නිලධාරීන් මේ අන්දමින් රජයට පාඩු වන අන්දමින් වෘත්තික නො වන අයුරින් කටයුතු කරන්නේ ම අයුතු ලාභ බලාපොරොත්තුවෙන් විය හැකි ය. පසුගියදා පදක්කම් පිටින් උසාවි ගිය හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා එසේ රජයට පාඩු වන අන්දමින් හා ඇවන්ට්ගාඩ් කොම්පැනියට ලාභ ලැබෙන අන්දමින් තීරණ තීන්දු ගෙන, විශ්‍රාම ගිය පසු විශාල වැටුප්වලට ඒ සමාගමේ රැකියාවලට ගිය හ. එය නීත්‍යානුකූල විය හැකි ය. එහෙත්, එතැන ගැටලුවක් නැද්ද?

දැන් මේ විදියට බැලුවා ම මහ බැංකුවේ වංචාවක් සිදු වී නැති බව නුදුරු කාලයේදී අධිකරණයේදී ඔප්පු වුවහොත් පුදුම විය යුතු ද? ඉන්පසු, මහ බැංකු බැඳුම්කර වංචාව යන යෙදුම පවා නීති විරෝධී විය හැකි ය.

මා මතු කරන නීතියේ අභියෝගය මෙයයි. දැන් යහපාලන ආණ්ඩුවේ ලොක්කන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමග එක්ව මහජන මුදල් හොරකම් කළේ නැතිනම්, ලංකාවේ සෑම පුරවැසියෙකු ම අමතර රු. 20,000 බැගින් ණය වුණේ කොහොම ද?

මහින්ද රාජපක්ෂට විරුද්ධව තවමත් කිසිදු චෝදනාවක් ගොනු කර හෝ නැත. ඒ කියන්නේ ඔහු නීතිය ඉදිරියේ පිරිසිදු චරිතයකි. එතකොට ඔහුගේ පාලන කාලයේදී රටේ ආර්ථිකය නැති භංගස්ථාන වන විදියට වැඩ සිදු වුණේ කෙසේ ද? ඔහුගේ පවුලේ අය සහ සහචරයෝ, මහළු ඩේසි ආච්චි පවා, හිටි හැටියේ මේ අන්දමින් ධනවත් වූයේ කෙසේ ද?

රාජපක්ෂ පවුලේ නඩේසන්, මුදිත ජයකොඩිට මල්වානේ අක්කර 16 පොල් වත්තක් පවරා දී ඇත්තේ ද මුදිත එය තමන්ගේ නො වන බව කියන්නේ ද ඇයි? එතරම් සුවිසල් දේපලකට අයිතිය ප්‍රකාශ කිරීමට කිසිවෙකු ඉදිරිපත් නො වන්නේ ඇයි? එවැනි අවස්ථාවකදී අදාළ දේපල රජයට පවරා ගැනීමෙන් සියල්ල අවසන් වන්නේ නම් එම තත්වය විග්‍රහ කර ගන්නේ කෙසේ ද?

විකුණන්නට සියඹලා ගෙන ආ මිනිහාගේ සියඹලා බරින් ඇටවලට, ලෙලිවලට, ගෝනියට ගිය බර අඩු කළ මුදලාලි කියා ඇත්තේ මුදල් ගෙවන්නට බරක් නැති බවයි. ඒ වෙලාවේ ඒ ගැමියා ඇසූ ප්‍රශ්නය නීතියටත් අදාළ ය. “එතකොට මුදලාලි මම සියඹලා ගෙනාවෙ ම නැද්ද?"

මම නීතිය ගැන බොහෝ දේ නො දනිමි. එහෙත්, ලංකාවේ දැනට පවතින නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන මගේ අදහස මෙයයි.

නීති උල්ලංඝනය කළ හැකි ක්‍රම සෙවීම සඳහා බුද්ධිය, වෘත්තිකභාවය, බලය හා ධනය භාවිතා වන අශිෂ්ට මිනිසුන් පිරි සමාජයකදී පවත්නා නීතිය අසාර්ථක ය.

පවත්නා නීතියට වඩා නො දියුණු අතීත නීති ක්‍රම මීට වඩා සාර්ථක බවක් මෙයින් කිසි සේත් ම අදහස් වන්නේ නැත. මා කියන්නේ නීති විද්‍යාර්ථීන් මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කළ යුතු බවයි.

පියා මාධ්‍ය ලෝකයේ දැවැන්තයකු වූ ද, මව බුර්ෂුවා සමාජයේ ඉදිරිපෙළ කලා හා සංස්කෘතික ක්‍රියාකාරිනියක ද වන, මාමා කෙනෙකු හිටපු ජනාධිපතිවරයකු වූ, පිළිගත් ප්‍රභූ පවුලක, රාජකීය විද්‍යාලයේ උගත්, නීති උපාධිධර, පොෂ් ඉංග්‍රීසි කතා කරන, මේස චාරිත්‍ර දත්, අවුරුදු 40ක පාර්ලිමේන්තු ඉතිහාසයක් ඇති, තුන්වරක් රටේ දෙවෙනි ලොකු පුටුවේ හිඳ ගත්, ලොව වටා සැරිසරා ඇති, ලෝක පිළිගැනීමක් ඇති, හරබර පොත් පත් කියවන බව කියන, මහැදුරුවරියකගේ ස්වාමි පුරුෂයා වන, රැක ගන්නට අනාගත පරපුරක් නැති හැම අතින් ම භාග්‍යවන්ත, යුරෝපීය ඇඳුම් අඳින, සුදු, උස මහත්තුරු පවා ලංකාවේ දුප්පත් අසරණ මිනිසුන්ගේ බෙල්ලට පිහිය තියා, හැඹිලිය සුද්ද කරන තත්වයක් තුළ ජනතාවනි,

කුමට එරට අධිකරණය, නීතිය හා විනිසුරන්?


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-10-28

දරුවාත් සමග ම බේසමේ වතුර විසි කර දමමු ද?

අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016 ඔක්තෝබර් 30 
(ලිව්වේ 27දා උදේ බව කරුණාවෙන් සලකන්න)

හිටපු ආරක්ෂක ලේකම්වරයා හා නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු දූෂණ පරීක්ෂණ හේතුවෙන් අධිකරණයට කැඳවීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍ර‍කාශය විසින් රටෙහි මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධ දූෂණවලට මෙම පුද්ගලයන් ඍජුව ම සම්බන්ධ බවට සාක්ෂි ඇති අතර, ඔවුන් අධිකරණයට කැඳවීම අසාධාරණ ක්‍රියාවක් හෝ දේශපාලන පලිගැනීමක් හෝ නො වේ. නිදසුනක් ලෙස, මෙම පුද්ගලයන් නාවික හමුදාපති ධුරය දරමින් ඇවන්ට්ගාඩ් සමාගමට වාසිදායක තීරණ ගෙන, විශ්‍රාම ගිය සැණින් ඉහළ වැටුප් මත එම සමාගමේ සේවයට බැඳුණු බවට සාක්ෂි තිබේ.

මෙවැනි දූෂණයක් සම්බන්ධ චෝදනාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ හිටපු සභාපතිවරයකු වූ ජගත් බාලපටබැඳිට ද තිබිණි. එම පුද්ගලයා 2008 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුව සිටියදී නිති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් රේගුවෙන් රඳවා ගත් වාහන 145 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දුවක් ලබා දී, ඉන්පසු එම එක් වාහනයක් ලබාගෙන තම නමට ලියාපදිංචි කර ගැනීම සම්බන්ධයෙන් සභාපතිවරයාට එරෙහිව ජවිපෙ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට පැමිණිලි කරන ලදී.

රාජ්‍ය නිලධාරීන් සිය බලතල පාවිච්චි කරමින් කරන මෙවැනි දූෂණ වැළැක්වීම හා එවැනි දූෂකයන්ට එරෙහිව කටයුතු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආ මහජන ව්‍යාපාරයේ මූලික අරමුණක් වූ බව ජනාධිපතිවරයාට අමතක වී තිබේ ද යන සැකය මේ සමග මතු විය.

එහෙත්, පසුව පුවත්පත් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මෙම කරුණ වැඩිදුරටත් පැහැදිලි කළේ ය. දිවයින පුවත්පත ජනාධිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලිව වචනගත කළේ මෙසේ ය: “එක්‌ කොටසකට හොරකම් කළා කියලා, දඬුවම් දීමට නෛතික ක්‍රියා මාර්ග ගනිමින්, තවත් කොටසකට හොරකම් කරන්න දෙන්න පුළුවන් කමක්‌ නැහැ."

මෙතැනදී මේ සොරකම් කරන ‘තවත් කොටස' යන්නෙන් ජනාධිපතිවරයා හඳුන්වන්නේ කවුරුද යන්න මේ දිනවල කෝප් කමිටුවේ සාකච්ඡා වෙමින් තිබේ. මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමෙහිදී අගමැති රනිල් වික්‍ර‍මසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය සඳහා තෝරා ගන්නා ලදැයි සැලකෙන අර්ජුන් මහේන්ද්‍ර‍න්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට දැවැන්ත වාසියක් සිදු වීම නීතිමය වශයෙන් වරදකැයි ඔප්පු වුණත්, නැතත්, එහි ඇත්තේ දැවැන්ත සදාචාරාත්මක ප්‍ර‍ශ්නයකි.

දූෂණ චෝදනාවක් නීතිය ඉදිරියේ ඔප්පු කිරීම පහසු නැත. කොටි සංවිධානයේ හිටපු නායකයකු වන කුමරන් පත්මනාදන් ආරක්ෂක අංශ විසින් ‘අත්අඩංගුවට' ගත් බව වාර්තා වී දැන් සත් වසකට වඩා ගත වී ඇත. ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කර නැත. කොටි සංවිධානයේ නැගෙනහිර අණ දෙන නිලධාරියා වී සිටි කරුණා අම්මාන්ට හෝ 1987-89 කැරැලි සමයේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු වූ සෝමවංශ අමරසිංහට එරෙහිව කිසි කලෙක චෝදනා එල්ල වූයේ නැත. ඔවුන් නිර්දෝෂී පුද්ගලයන් බවට නීති තර්ක ඉදිරිපත් කළ හැකි වුවත්, ඒවා පිළිගත හැකි ද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද කිසිදු දූෂණ හෝ අපරාධ හෝ චෝදනාවක් එල්ල වී නැත. එසේ වූ පමණින් ඔහු නිර්දෝෂී පුද්ගලයකු යයි පැවසීම සාධාරණ ද? 2005-2015 සමයේ මේ රටේ රාජ්‍ය අනුග්‍ර‍හයෙන් සිදු වූ දූෂණ, වංචා, අපරාධ සම්බන්ධයෙන් ඔහුට වගකීමක් නැති බව එයින් කියැවේ ද?

නීතිය හා යුක්තිය යනු හැම විට ම එකක් නො වන බව ඉහත කරුණුවලින් ඉතා පැහැදිලි ය. මේ කතාව මහ බැංකු බැඳුම්කර නිකුතුවට ද අදාළ ය.

ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක අඳෝනාව තේරුම් ගැනීම වැදගත් ය. එයා අපේ බලාපොරොත්තු සුන් කළා, අපව පාවා දුන්නා ආදී ප්‍ර‍කාශ ජනාධිපතිවරයාගේ ප්‍ර‍කාශයට වඩා බෙහෙවින් අදේශපාලනික ය. දේශපාලනය හා සදාචාරය ද හැම විට ම එකක් වන්නේ නැත. එබැවින් සදාචාරවත් දේශපාලනයක් යනු රෑ දුටු සිහිනයක් වීම අප කම්පා විය යුතු කාරණයක් නො වේ. ජනාධිපතිවරයා මේ කතා කරන්නේ සදාචාරවත් නො වන දේශපාලනයක් ගැන ද?

එහෙත්, අවසානය විසින් ආ මග සාධාරණීකරණය කරන්නේ ය යන කියමන ද මෙහිදී සිහිපත් වේ. ජනාධිපතිවරයා දිවයින පුවත්පතට මෙසේ පැවසී ය: “අපේ ආණ්‌ඩුවට ප්‍රධාන අරමුණු කිහිපයක්‌ තිබෙනවා. ජාතික සංහිඳියාව ශක්‌තිමත් කිරීමට ප්‍රමුඛත්වය දෙමින් සංවර්ධනය වඩා කාර්යක්‌ෂම සහ වේගවත් වන වැඩපිළිවෙළක්‌ සඳහා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ඇති කරගැනීම. මේ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව මේ වන විට සකසමින් පවතිනවා. එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ අවශ්‍ය වෙනවා. ඒ බලය ලබාගැනීම මමත් අගමැතිතුමත් සතු දෙයක්‌. ඒ ඉලක්‌කය ඇතිකර ගැනීමට යම් යම් බාධාවන් ඇතිවෙනවා නම් ඒක අපේ ආණ්‌ඩුවේ වැඩ පිළිවෙළට ප්‍රශ්නයක්‌. මේ නිසා මම හැමවිටම උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ තබාගෙන ආණ්‌ඩුවක්‌ ගෙනියන්නේ කොහොමද කියන එක ගැනයි. විධායක ජනාධිපතිවරයාට මොන තරම් බලතල තිබුණත් පාර්ලිමේන්තුවේ බලය නැතිනම් ඒ ආණ්‌ඩුවේ අරමුණු ඉෂ්ට කර ගන්න ඉඩක්‌ ලැබෙන්නේ නැහැ. මහජනතාව වෙනුවෙන් රජයේ යහපැවැත්ම සඳහා මමත් අගමැතිවරයාත් මේ තුනෙන් දෙකේ බලය රඳවා ගත යුතුවෙනවා. ඊට බාධා ඇති වෙනවා නම් අපේ ප්‍රධාන අරමුණ බිඳෙනවා."

ජනාධිපතිවරයාගේ කතාව විමසා බැලීමේදී මෙම ආස්ථානය වැදගත් බව මගේ අදහසයි. 2015 ජනවාරි 8 මහජන ව්‍යාපාරයේ ප්‍ර‍ගතිශීලී බලවේගවලට දැන් සිය ප්‍ර‍මුඛතා පිළිබඳ නැවත සලකා බලන්නට සිදු වන තත්වයක් උද්ගත වී ඇති බව පෙනේ. සරළව කිව්වොත්, වඩා වැදගත් වන්නේ හොරුන් ඇල්ලීම ද, නැතිනම් ඇති කර ගත් වෙනස්කම් චිරස්ථායී කර ගැනීම ද?හොරුන් ඇල්ලීම නො වැදගත් බවක් තමන් නො කියන බව ජනාධිපතිවරයා ද පවසයි. ඇත්තෙන් ම, ප්‍ර‍ශ්නය ඇත්තේ මෙතැන ය. සොරුන් නො වන්නේ කවුරු ද?

මහින්ද රාජපක්ෂ පාලනය විසින් දූෂණය විමධ්‍යගත කර පහළ ම තලය දක්වා විහිදුවන ලදී. රාජ්‍ය සේවය කොහොමත් දූෂණයට නැඹුරු ය. මහා පරිමාණ සොරකම් කෙරෙහි විශේෂ අවධානයක් අවශ්‍ය බව ඇත්තකි. එහෙත්, මහා පරිමාණ සොරුන් වනාහි අති දක්ෂයන් බව ද අප මතක තබා ගත යුතු ය. ධනවාදය හා දූෂණය එකට බැඳී ඇත. කොමිස් ආදිය එහි සාමාන්‍ය දේ බවට පත් වී තිබේ. එම දූෂණ සිදු වන ආකාරය ද ඉතා සංවිධානාත්මක ය. දූෂණය නැවැත්වීම ක්‍ර‍ම වෙනසක් හරහා සිදු විය යුතු අතර, එක රැයින් සම්පූර්ණ කළ නො හැකි ය. එය ප්‍ර‍ගතිශීලී බලවේගවල අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක් ඔස්සේ මහජන ඇපකැපවීම් හරහා දිනා ගත යුතු තත්වයකි.

එසේම, ඒ වෙනුවෙන් විප්ලවීය ඇපකැපවීමක් වර්තමාන ආණ්ඩුවෙහි ඇති බවක් ද නො පෙනේ. තත්වය මුළුමනින් ම නිශේධාත්මක බවක් ද එයින් අදහස් වන්නේ නැත. විශේෂයෙන් ම, ජනතාව වඩා බලාපොරොත්තු තැබූ එජාපයේ රනිල් වික්‍ර‍මසිංහ නායකත්වය පිළිබඳ විශ්වාසය බිඳ දැමීමට මහ බැංකු බැඳුම්කර සිද්ධිය ඉවහල් වී තිබේ. එහෙත්, මහජන අරගලය හරහා නිර්මානය වූ වගවීමේ යාන්ත්‍ර‍ණයෙන් රාජපක්ෂ ආණ්ඩුව සේ ගැලවී යාමට ඔවුන්ට නො හැකි ය.

මෙම තත්වය තුළ ප්‍ර‍ගතිශීලී බලවේග මුහුණ දෙන්නේ සංකීර්ණ තත්වයකටයි. එක පැත්තකින් ජාතිවාදය, ඒකාධිපතිවාදය, ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධය, දූෂණය, භීෂණය පෙරමුණු කර ගත් ප්‍ර‍තිගාමී දක්ෂිණාංශික බලවේගය රාජපක්ෂ නායකත්වයෙන් යළි නැගී සිටීමට උත්සාහ කරන පසුබිමක් තුළ අප කළ යුතුව තිබෙන්නේ කුමක් ද?

එය දරුවාත් සමග ම බේසමේ වතුර විසි කර දැමීම නො විය යුතු බව පැහැදිලි ය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ධනේශ්වර අවනීතියට ගූ ගැසූ මිනිසුන් ගැන කියන 'උසාවිය නිහඬයි'

නැවත නැවත දකින කමලාවතී 
ප්‍රෙස් ෂෝ එකට ප්‍රසන්නගෙන් ආරාධනාවක් ලද මුත් මට එයට යන්නට බැරි විය. රීගල් සිනමා ශාලාවට ගොස් ප්‍රසන්න විතානගේගේ උසාවිය නිහඬයි චිත්‍රපටය බැලුවෙමි. පැයක පමණ ධාවන කාලයකින් යුක්ත වාර්තා චිත්‍රපටයක් බැලීමට රීගල් සිනමා ශාලාවේ සැලකිය යුුතු පිරිසක් සිටිනු දැක අධිකරණයට ස්තුති කරන්නට සිත් විය. ලබා දුන් ප්‍රචාරය අගනේ ය.

වාර්තා චිත්‍රපටයක් වෙනම ම චිත්‍රපට ශාලාවක ප්‍රදර්ශනය කිරීම සිංහල සිනමාවට අලුත් ම තත්වයකි. අතීතයේදී වෘත්තාන්ත චිත්‍රපට සමග වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලදී. පවුල් සංවිධාන සංගමය වෙනුවෙන් අමරනාත් ජයතිලක විසින් නිර්මානය කරන ලද යුවතිපති චිත්‍රපටය අධ්‍යාපනික චිත්‍රපටයක් වුව ද එය වාර්තා චිත්‍රපටයක් නො වේ. මා සිතන පරිදි නම් මේ ලංකාවේ සිනමා ශාලාවක වෙනම ම පෙන්වන පළමු සිංහල වාර්තා චිත්‍රපටයයි. මා වැරදි නම් දන්නා කෙනෙකුට නිවැරදි කළ හැකි ය.

රජයේ චිත්‍රපට ඒකකය විසින් ද හොඳ වාර්තා චිත්‍රපට නිර්මානය කළේ ය. එසේ ම, රූපවාහිනියට ද විශිෂ්ට වාර්තා චිත්‍රපට නිර්මානය වී තිබේ. තිලක් ජයරත්න බිඳුණුවැව ඝාතනය පිළිබඳ කළ වාර්තා චිත්‍රපටය ද ලංකාවේ අභියෝගාත්මක නිර්මානයකි. එය ප්‍රදර්ශනය කිරීමට අනන්ත බාධක ඇති විය. එබැවින් එය බැලුවේ ඉතා සීමිත පිරිසක් පමණි.

උසාවිය නිහඬයි ප්‍රදර්ශනය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය කෙරෙහි අවධානය යොමු වී තිබෙන අතිශය වැදගත් කාල වකවානුවක ය. ලංකාවේ අධිකරණය ස්වාධීන නැති බව පීඩිතයෝ ඕනෑවටත් වඩා හොඳින් දනිති. එය රෝම ලන්දේසි නීති පද්ධතිය මත පදනම්ව බ්‍රිතාන්‍ය අධිකරණය අනුකරණය කරමින් සංවිධානය කරන ලද මුත්, එය බොහෝ දුරට හැඩගැසී තිබෙන්නේ සිංහල රජුන්ගේ මහනඩුවෙහි හෙවත් ප්‍රධාන අධිකරණයෙහි ලක්ෂණවලිනි. බොහෝ විනිසුරන් සිය සේවාදායකයන් ඉදිරියේ රඟන්නට උත්සාහ කරන්නේ මහනඩුවේ නඩු ඇසූ රජුගේ භූමිකාවයි.

මෙය කෙතරම් මුල් බැසගත් බලපෑමක් ද යත්, ලංකාවේ විප්ලවවාදී ව්‍යාපාරවල අධිකරණ ද මහනඩු ම තමා ය. මේ පිළිබඳ හොඳ ම උදාහරණය කොටි සංවිධානය මහත්තයාගේ නඩුව ඇසූ ආකාරයයි. හැත්තෑ එකේ කැරැල්ල සමයේ ජවිපෙ සිරකඳවුරුවල පිහිටවූ ජනතා අධිකරණවල නඩු ඇසූ ආකාරය රංජිත් හෙන්නායකආරච්චිගේ බක්මහ කඳුළ කෘතියෙන් කියවිය හැකි ය. 1989 ගැන නො කියන්නේ එහි තිබුණේ ඊටත් අන්ත පොල්කටු උසාවි නිසා ය.

මෙකී ඊනියා නඩුකාර රජවරුන්ගේ අධිකරණ ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් අතර ඇති අහසට පොළව අතර පරතරය විසින් ආදර්ශවත් මිනිසුන් නිර්මානය කරනවා ද, මානසික අසහනයෙන් යුත් දුෂ්ටයන් නිර්මානය කරනවා ද යන්න ගැන අධ්‍යයනය කළ යුතු ය. එහෙත්, සරත් නන්ද සිල්වා, සරත් ආබෘ හා උසාවිය නිහඬයි චිත්‍රපටයේ අවධානය යොමු වන ලෙනින් රත්නායක වැනි චරිත දෙස අවධානය යොමු කළ විට දකින්නට හැකි වන්නේ දෙවෙනි කාරණය සැබෑවක් බවයි. ආදර්ශවත් විනිසුරුවරු ලංකාවේ නැති බවක් මෙයින් අදහස් වන්නේ නැත. (කරුණාකර ශිරානි බණ්ඩාරනායක ගැන වාද බයිලා නො කියන්න. ඇය ද අයත් වන්නේ ආබෘලාගේ පරපුරට ම බව මතක් කර දිය යුතු ය. ඇයට එරෙහි නඩුව වත්මන් සමයේ යට ගසන ලදී.)

චිත්‍රපටයේ සඳහන් වන ආකාරයට ලෙනින් රත්නායක යනු නිර්භයව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අධිකරණ සේවයට එක් වූ වංචනිකයෙකි. එසේම, දරුණු ලිංගික අසහනයකින් පෙළෙන්නෙකි. ආර්තවය සිදු වෙමින් සිටි දිළිඳු ගැහැනියක් සිය බලය අපහරණය කරමින් කාමරයකට ගෙන ගොස් එක් රැයක් තුළ සිව් වරක් දූෂණය කිරීමට තරම් අසහනයක් ඔහුට ඇත. ආදරයකින් තොරව ලිංගිකව එක් වන, ලිංගික කාර්යය හුදෙක් තමන්ගේ ශුක්‍රානු ටික පිට කර ගැනීමට එහා රසයක් ලෙස නො සලකන, ජීවිතයේ මූලික රසයන්වත් නො දන්නා මෙවැනි මිනිසුන් රජුන් සේ නඩු අහන රටකට පායාවිද ඉර දෙවියෝ?

මානසික රෝහල්වල සිටිය යුතු අය නඩු අහන ලංකාවේ අධිකරණය ගැන සංවාදය පෝෂණය කිරීමට උසාවිය නිහඬයි චිත්‍රපටයෙන් දොර විවර වී තිබේ. ලෙනින් රත්නායක වැනි බඩුකාරයකු නඩුකාරයකු වී කරන අවකල්ක්‍රියා හමුවේ පීඩිතයන් මුහුණ දෙන තත්වයට විසඳුම් සෙවිය යුත්තේ කෙසේ ද?

ලංකාව නායකයන් නැති රටකි. උදාහරණයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවට රටට නායකත්වයක් දිය හැකි වෙනත් කිසිවකු ඇද්දැයි අප ප්‍රගතිශීලී කඳවුරෙන් ඇසූ කල කිසිවෙකු පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ නැත. මෙම ප්‍රශ්නය තවමත් විවෘත ය. නිර්නාමිකව නො ව, නමින් පැමිණ යෝජනාවක් කරන්නට නො බියව ඉදිරිපත් වන්න.

එහෙව් රටක, සාධාරණ විනිසුරන් වන්නට තරම් පුළුල් මිනිසුන් සොයා ගන්නට බැරි වීම ගැන පුදුම විය යුතු නැත. එහෙත් අපට විනිසුරන් අවශ්‍ය ය. විනිසුරන් මැනැවින් පුහුණු කිරීම, ඔවුන්ට මනෝ විද්‍යාව, උපදේශනය වැනි විෂයන් ද ගැඹුරින් ඉගැන්වීම, ඔවුන් කටයුතු කළ යුතු නීතිමය හා ආචාරධාර්මික වැඩරාමුව මනාව සැකසීම හා විනිශ්චය මෙවලම් පැහැදිලිව සංවිධානය කිරීම කළ හැකි ය. එකී මෙවලම් භාවිතා කරමින් තීන්දු දෙන වෘත්තීය නඩුකාරයන් මිස රජවරුන් අපට අවශ්‍ය නැත. විනිසුරන් දෙන තීන්දු විමසා බැලීම සඳහා පවතින ක්‍රම තව සරළ කළ යුතු ය. එසේම, විනිසුරන් හොඳින් නියාමනය කිරීම ද අවශ්‍ය ය.

විනිසුරු භූමිකාවෙන් ඔබ්බෙහි සාමාන්‍ය ජීවිත ගත කිරීමට එම තනතුරු දරන පුද්ගලයන්ට අවස්ථාව ලබා දිය යුතු ය. ඒ සඳහා මූලිකව ම අධිකරණ භූමියේ තිබෙන භීෂණය නැති කළ යුතු ය. කැස්සාට, කිඹුහුමක් ඇරියාට අහිංසකයන්ට අත්තනෝමතික ලෙස දඩ ගසන, හිරේ අරින එක වළක්වන්නට නීති පැනවිය යුතු ය. අධිකරණ භූමියේ තිබෙන වැඩවසම් අභිචාර තහනම් කළ යුතු ය. අධිකරණ ගරුත්වය නිර්මානය කර ගත යුත්තේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියෙනි. මේ අභිචාර අවශ්‍යව තිබෙන්නේ සමාජය තුළ අධිකරණය කෙරෙහි නැති ගරුත්වය බලෙන් ලබා ගැනීමටයි. අධිකරණය තරම් අල්ලස රජ වූ තැනක් ලංකාවේ තව කොහේවත් නැත. නඩුකාරයා ඉදිරියේ ම බන්ධනාගාර නිලධාරීහු, අධිකරණ නිලධාරීහු පගා මරති. නඩුකාරයෝ ද පගා ගන්නට ගොස් අසු වූ අවස්ථා තිබේ.

මෙසේ වන්නට ප්‍රධාන හේතුව ලංකාවේ බලවත් හා අතිශය ධනවත් වෘත්තික පිරිසක් වන නීතිඥයන්ගේ වෘත්තිකමය නො වන චර්යාවයි. වීදි අයිනේ දූලි වැකුණු කඩකාමරවල ගැවසෙන, වෘත්තීය ගරුත්වය වෙනුවට සල්ලි ගැන පමණක් ම සිතන, අඩු තරමේ බිල්පතක්වත් නිකුත් නො කරන, ආදායම් බදු වංචා කරන, නවීන තාක්ෂණයක් භාවිතා නො කරන, නඩුකාරයන්ට පන්දම් අල්ලන, පීඩිතයන් සූරාකෑම ම එක ම අරමුණ කර ගත් සාමාන්‍ය නීති වෘත්තිකයන් විසින් නිර්මානය කරන නීති වෘත්තියේ චිත්‍රය වෙනස් නො වන තාක් කල් ලංකාවේ අධිකරණ පද්ධතිය ද වෙනස් කළ නො හැකි ය. නීතිඥ සංගමයට හා ප්‍රගතිශීලී නීතිඥයන්ට මෙහිදී විශාල කාර්යභාරයක් පැවරේ.

උසාවිය නිහඬයි චිත්‍රපටය නිර්මානය වන්නේ දැඩි සීමා පද්ධතියක් තුළයි. එහි රූපරාමු නිර්මානය ම දැඩි අභියෝගයකි. තමන් අතට පත් වෙන සීමිත රූපරාමු ප්‍රමාණය තුළ ප්‍රේක්ෂක අවධානය රඳවා ගනිමින් බලවත් සමාජ සතුරකු වන ධනේශ්වර අවනීතියට එරෙහිව සාධාරණත්වය සඳහා පීඩිතයන් කරන අරගලයක හරය ග්‍රහණය කර ගන්නට ප්‍රසන්න දැඩි වෙහෙසක් දරයි. නීතියේ බලය විසින් පීඩිත ස්ත්‍රිය නිහඬ කර දූෂණයට ලක් කරන ආකාරය, එය දූෂණයක් නො වන ස්වකැමැත්තෙන් සිදු වූ දෙයක් ලෙස අර්ථකථනය කිරීමේ නීතිමය ප්‍රවණතාව, බිත්තියට ම තල්ලු කර, අන්ත අසරණභාවයට පත් කරන ලද පීඩිතයන්ගේ විරෝධය නඩුකාරයාට හා අධිකරණයට ගූ ගැසීම දක්වා දිගු වන හැටි ආදිය ප්‍රසන්න ඉතා සිනමාරූපී ලෙස ඉදිරිපත් කරයි. ලංකාවේ ඊනියා ධනේශ්වර අධිකරණයේ විකෘතිය අපූර්වාකාරයෙන් චිත්‍රණය කිරීමේ කූටප්‍රාප්තිය සිදු වන්නේ ජනරංජනගේ චිත්‍ර හා අසූචි ප්‍රහාරය එල්ල කළ වින්දිතයාගේ (හෝ නළුවකුගේ) හඬ ඇසුරෙනි. සිනමාවේදී හඬ, මිනිස් කටහඬ, ඉතා ප්‍රබල ලෙස යොදා ගත් අවස්ථාවකට එය නිදසුනකි. මට මතක් වන ශබ්දය භාවිතා කිරීමේ මෙවැනි ප්‍රබල අවස්ථාවකි, විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස චිත්‍රපටයේ හේමසිරි ලියනගේ කියන කැටකිරිල්ලගේ කතාව.

එහෙත් උසාවිය නිහඬයි චිත්‍රපටය රාවයේ ගවේශනය ඉක්මවා යන්නට හෝ වික්ටර් අයිවන් විසින් නායකත්වය දෙන ලද අරගලයේ ගැඹුර සිනමාත්මක ලෙස ග්‍රහණය කර ගන්නට සමත් වී ද යන්න ප්‍රශ්නයකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-10-27

නඩුකාරයාගේ සිට බඩුකාරයා දක්වා

පදවියේ මාධ්‍යකරුවකු ද වන ගුරුවරයකුට වරක් මුහුණ දෙන්නට සිදු වූ සිද්ධියක් මෙසේ ය එක් වැසිබර සැන්දෑවක. ඔහුගේ යතුරු පැදිය අනතුරකට මුහුණ දුන්නේ ය. ඔහුගේ යතුරුපැදිය ගැටුණේ පොලිස් නිලධාරියකු පදවාගෙන ආ යතුරුපැදියකයි. නවතා තිබුණු යතුරුපැදි දෙක හා එහි පැවති උණුසුම් කතාබහ දැක වාහනය නවත්වා කරුණු විමසූ හිතවතකුට මාධ්‍යකරුවා පැවසුවේ තමන්ගේ යතුරුපැදියේ පොලිස්කාරයකු හැපුණු බවයි. 

මෙය ඇසූ පොලිස් නිලධාරියාට කේන්ති ගියේ ය. 

“ඇයි ඔයා මාළුකාරයා වගේ අපට පොලිස්කාරයා කියන්නෙ? අපි ඔයාට එහෙම කියන්නෙ නැහැනේ," පොලිස් නිලධාරියා ඇසී ය. 

“ඉතින් නඩු අහන කෙනාට නඩුකාරයා කියනවා නම් ඔයාට පොලිස්කාරයා කිව්වා ම වැරැද්ද මොකක් ද?" ගුරුවරයාගේ පිළිතුර විය.

නඩුකාරයා කිව්වා ම ගරුසරු මදි නිසා නඩුකාර හාමුදුරුවන් යයි කීවාට ඒ කාරයා කෑල්ල හැලී නැත. එහෙත් පොලිස්කාර හාමුදුරුවන් යයි කීවොත් එය විහිළුවක් බවට පත් වේ. 

නඩුකාරයාට විනිසුරු යයි කීම ප්‍රමාණවත් ය. ගුරුවරයාට සර් කියා ආමන්ත්‍රණය කරන පුරුද්ද නිසා ඇතැමෙක් තවමත් මට නම අගට මචං වෙනුවට සර් කෑල්ලක් දමා කතා කරති. මෙය මට මහත් කරදරයක් බව එසේ කතා කරන අයට දැනගැනීම සඳහා පවසමි. මා දැන් ගුරුවරයකු නො වේ. ගුරුවරුන්ට සර් කියා ද ගුරුවරියන්ට මිස් කියා ද කතා කිරීම ඇතැමෙක් හිතන තරම් ලොකු ගරු නම්බුවක් නො වේ. එයින් ඇත්තෙන් ම ඇඟවෙන්නේ රැකියාව පමණි.

“එයා සර් කෙනෙක්. එයාගේ නෝනා මිස් කෙනෙක්," කී විට එයින් අදහස් වන්නේ ඔවුන් කරන රැකියා ය.

මේ අතර එයා මිසී කෙනෙකු ය කීවොත් එයින් අදහස් වන්නේ ඇය හෙදියක බවයි. පිරිමි හෙද නිලධාරීන්ට පිරිමි මිසී කියන යෙදුම භාවිතා කරන්නේ අපහාසයට ය.  

ඇනස්ලි-බර්ටි-සැමුවෙල් විනෝද සමයක මාධ්‍යකරුවන් දෙදෙනෙකු ගවේශනයකට ගොස් තමන් පත්තරකාරයන් බව අමාරිස් අයියාට කියයි. 

“දැන් පත්තර කීය ද? බෝතල් ගන්නෙ නැද්ද?" අමාරිස් අයියා අසයි. 

ඇතැම් පත්තරකාරයන් කරන අසික්කිත වැඩ දිහා බැලූ විට බෝතල් පත්තරකාරයා නම්බුකාර රස්සාවක් කරන්නෙකි. 

එහෙව් මාධ්‍යකරුවන්ටත් තමන් මාධ්‍යවේදියකු යයි කියාගන්නට උවමනා ය. මම නම් කිසි දිනෙක මෙම වචනය භාවිතා නො කරමි. මාධ්‍යකරුවා යන නම මෙම රැකියාවට ප්‍රමාණවත් ය. මාධ්‍යවේදියකු යයි කිව යුත්තේ එහි සෑහෙන ප්‍රවීණයකුට ය. 

මම නම් බ්ලොග්කාරයෙකි. 

සමහර රැකියා කරන අයට තමන්ගේ තනතුරු නාමය ගැටලුවකි. පසුගිය කාලයේ දුම්රිය රියදුරන්ට සිය තනතුරු නාමය පයිලට් ලෙස වෙනස් කර ගන්නට උවමනා වී තිබිණි. 

රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය සේවයට අයත් එම්.එල්.ටී. ලෙස හැඳින්වෙමින් සිටි වෘත්තික පිරිස තම තනතුරු නාමය වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ ලෙස වෙනස් කර ගත් හ. දැන් විද්‍යාඥයාට යන කල මොකක් ද යන්න වෙන ම විමසා බැලිය යුතු ය. 

ටීචර් කියා ගුරුවරියට ආමන්ත්‍රණය කළත් ගුරුවරයාට ටීචර් කිව්වොත් ගුටි කන්නට සිදු වේ. එහෙත්, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වෛද්‍යවරුන්ට ඩොක්ට කියා කිව හැකි ය. 

ටෙලි නාට්‍යවල හා චිත්‍රපටවල සිවිල් වැසියෝ පොලිස් නිලධාරීන්ට ඉන්ස්පෙක්ටර් ආදී වශයෙන් ද හමුදා නිලධාරීන්ට කැප්ටන්, බ්‍රිගේඩියර් ආදී ලෙස ද අමතනු දක්නට ලැබේ. එහෙත්, ඒ චිත්‍රපටවල පමණ ය. සාමාන්‍ය මිනිසුන් ඒගොල්ලන්ට සර් කියනු ඇතැයි ඒ උදවිය බලාපොරොත්තු වෙති. 

පොලිස් කොස්තාපල්ලාට, සාජන්ලාට රාළහාමි යයි කීව ද, එස්.අයි. සිට ඉහළට ඉන්නේ මහත්තයලා ය.

දවසක් මට එක් හමුදා සෙබළෙකු කීවේ පොලිසිය හමුදාව සමග ඉරිසියා බවයි. එයට හේතුව ලෙස ඔහු දැක්වූයේ තමන්ගේ ඉහළ නිලධාරීන්ට සර් කියද්දී පොලිසියේ ඉහළ නිලධාරීන්ට මහත්තයා කියන බවයි. 

මේ අතර තවත් අලකලංචියක් වන්නේ වතුවල ටී මේකර් මහත්තුරුන්ට ය. ටී මේකර් යනු ෆැක්ටරි මැනේජර් කෙනෙකි. එහෙත්, දැන් ලංකාවේ තේ කඩවල තේ හදන අය ද ටී මේකර්ලා ය. පත්තරවල ලුහුඬු දැන්වීම් තීරයේ ටී මේකර්ලා ඉල්ලා දැන්වීම් පළ වේ.

ඉංග්‍රීසියෙහි මේ ගැටලුව නැත. ඊයේ ඩේලි නිව්ස් පුවත්පතේ පළ වූ මට් ඇන් ජෙෆ් කාටුනයේ මට් අලුත සේවයට බැඳුණු බාබර් කෙනෙකි. ඔහුගේ පළමු පාරිභෝගිකයාගේ මුහුණේ සබන් ගා සැරසෙන විට මට් කලින් වැඩ කර පුරුදු කෙනෙකුදැයි පාරිභෝගිකයා අසයි. මට් නැතැයි කියයි. ඔහු කලින් කළ රස්සාව කුමක්දැයි පාරිභෝගිකයා අසයි. “බුචර්." මට්ගේ පිළිතුර එයයි. 

බුචර්ට සිංහලෙන් කියන්නට සිදු වන්නේ මස්කඩකාරයා කියා ය. එහෙත් බුචර්ලා ඉන්නේ කඩවල විතරක් නොවේ. ඒ නිසා එම තනතුර සඳහා වඩා සුදුසු වදන බුචර්කාරයා ද? බුචර්වරයා ද? දෙක ම අවුලක් නැත. 

එහෙත් නඩුකාරයා කීවාට නඩුවරයා කියන්නට බැරි ය. විනිසුරුවරයා කියන එක වඩා හොඳ ය. 

මේ සටහන ලියැවුණේ ප්‍රසන්නගේ උසාවිය නිහඬයි චිත්‍රපටය ගැන ලියන්නට ගොසිනි. ඒක පස්සෙ ලියනවා ය.

ලෙනින් රත්නායක බඩුකාරයෙකි. එහෙත් එය රස්සාවක් නො වේ. එහෙත්, එහෙම කියන්නටත් බැරි ය. බඩුකාරකම රස්සාවට කරන පිරිමි ලිංගික ශ්‍රමිකයෝ සිටිති. මචං චිත්‍රපටයේ එවැනි චරිතයක් හමු වේ.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-10-25

රජයේ සේවිකාවක් මාතෘ නිවාඩු ගන්න මාසෙට හත්දාහක් බැගින් ගෙවිය යුතු ශ්‍රී ඊලම

ඇය යාපනයේ තරුණියකි. යාපනය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියකි.

ඇය දැන් රජයේ ගුරුවරියකි. මුල් පත්වීමේ කොන්දේසි අනුව ඇය වසර පහක් පත් කළ පාසලේ දුෂ්කර සේවයේ යෙදිය යුතු ය. ඇය මුල් පත්වීම ලැබුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලකට ය. පහසු පාසලක් ලබා ගැනීමට කෙතරම් උත්සාහ කළත් එය බැරි වූ නිසා දැන් ඇය එහි උගන්වයි.

විවාහක ඇයට දරුවකු ලැබිණි. රජයේ සේවකය කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසු දින 84ක පූර්ණ වැටුප් සහිත මාතෘ නිවාඩු ලැබේ. තමන් කැමති නම් අර්ධ වැටුප් සහිතව තවත් දින 84ක් ද, වැටුප් රහිතව තවත් දින 84ක් ද මාතෘ නිවාඩු ලබා ගත හැකි ය.

ඇය මාතෘ නිවාඩු යාමට පෙර ඇගේ පාසලේ විදුහල්පතිවරයා ඇයට කොන්දේසියක් දැමුවේ ය. ඒ ඇය නිවාඩු පිට සිටින කාලය තුළදී ඇගේ වැඩ ආවරණය කිරීම සඳහා විදුහල්පති විසින් සොයා දෙන ස්වේච්ඡා ගුරුවරියට ඇය රු. 7000ක වැටුපක් ගෙවිය යුතු බවයි.

දැන් ඇය මෙවැනි හත්දාහේ කෑලි කීපයක් ගෙවා තිබේ.

මෙම සිද්ධිය මට කීවේ ඇය දන්නා හඳුනන කෙනෙකි. ඇය ඒ බව එම පුද්ගලයාට පවසා ඇත. එම පුද්ගලයා මට මේ බව කී විට මම මෙම පාසලේ නම කුමක් ද යන්න විමසුවෙමි. එහෙත්, මට මේ කතාව කියූ අය එය දැන නොසිටියේ ය. එම පාසල කුමක්දැයි දැන ගැනීමට එම පුද්ගලයා උත්සාහ කළ විට අදාළ ගුරුවරිය මේ සම්බන්ධ කිසිවක් කරනවාට කිසි සේත් ම කැමැත්තක් නො දක්වන බව දැනගන්නට ලැබිණි. එබැවින් මට මෙම විස්තරය කියූ පුද්ගලයා ද අදාළ පාසලේ නම මට හෙළිදරව් කිරීමට මැලිකමක් දැක්වූයේ ය.

මම මේ පිළිබඳව ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සහෝදරයා සමග කතා කළෙමි. ඔහු ද එවන් සිදුවීම් සිදු වන බව දැන සිටි අතර නිශ්චිතව වාර්තා ලැබුණු තැන්වල එවැනි ක්‍රියා සිදු වීම වැළැක්වීමට කටයුතු කර ඇති බව පැවසුවේ ය. අදාළ ගුරුවරිය එම පාසලේ නම හෝ ලබා දීමට කැමැත්තක් නො දක්වන සංදර්භය තුළ කාට වුණත් මේවාට මැදිහත් වීමට අපහසු ය. මේවා සිදු වන්නේ හොර රහසේ ය. දරුවන්ගේ අධ්‍යාපනය, ගුරු හිඟය වැනි සෙන්ටිමෙන්ටල් සීනි තවරාගෙන ය.

ඔබේ දරුවාගේ හෙට දවස හැඩගස්වන ගුරුවරුන් මෙවැනි දීන තත්වයකට පත් වන්නේ ඇයි?

ගුරුවරයකු ලෙස සේවය කර ඇති විදුහල්පතිවරයකු මේ අන්දමින් සහෝදර ගුරුවරියකගේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නට එඩිතර වන්නේ කොහොම ද?

තමන්ගේ හිමිකම් හා අනුන්ගේ හිමිකම් ගැන නො දත් මෙවැනි ගුරුවරුන්ගෙන් ඔබේ දරුවාගේ මානව හිමිකම් සුරැකේ යයි ඔබට බලාපොරොත්තු විය හැකි ද?

අනෙක් පැත්තෙන් මෙය අධ්‍යාපන පෞද්ගලීකරණයේ ම තවත් පැතිකඩකි. එය ලෝකයේ වෙනත් කොහේවත් තිබේදැයි මම නො දනිමි.

මෙවැනි අයථා ක්‍රියා සිදු වන්නේ රජයේ රැකියාවක් ලබා දීමට පමණක් නො වේ. පහසු පාසලකට මාරුවක් දීම, ඉන්න පාසලේ ම දිගට ම සිටීම වැනි දේවලට ද මෙවැනි අයථා ගනුදෙනු සිදු වේ. ඇතැම් ගනුදෙනු ශාරීරික ඒවා ය.

මෙම ප්‍රශ්න අතිශය සංකීර්ණ තත්වයන් වේ. රජය කුමක් ද යන්න තේරුම් ගැනීම සරළ නැත. එහෙත්, එම තේරුම් ගැනීම ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය තේරුම් ගැනීම සඳහා අතිශය වැදගත් ය. සමාජ ක්‍රමය වෙනස් කිරීමට පළමුව අප මෙම ක්‍රමය නිවැරදිව තේරුම් ගත යුතු ය.

ලංකාවේ පවතින්නේ ධනවාදී ක්‍රමයක් වුව, එය ධනපති පංතියේ ආධිපත්‍යයෙන් යුත් ධනවාදී ක්‍රමයක් නො වන සංකීර්ණ එකකි.

මේ ගැන සිතීමට සරළ සංඛ්‍යාතියක් ඉදිරිපත් කරමි.

ලංකාවේ රජයේ සේවකයන් ලක්ෂ 14ක් පමණ ද, රජයේ සේවයේ විශ්‍රාමිකයන් ලක්ෂ පහක් පමණ ද සිටිති. දේශපාලකයන්, රාජ්‍ය බැංකු, සංස්ථා හා වෙනත් රාජ්‍ය ව්‍යවසායවල සේවකයන් සමග ගත් කල ලක්ෂ 20ක් පමණ ජනයා කෙළින් ම රජය සමග සම්බන්ධ ය.

ලංකාවේ පවුල් ලක්ෂ 50ක් පමණ ඇත. ඒ අතරින් පවුල් ලක්ෂ 15ක්වත් රජයේ සෘජු පාර්ශ්වකරුවෝ ය. බදු ආදායමින්, රාජ්‍ය ණයවලින් යැපෙන්නෝ ය.

ලංකාවේ රජයේ හිමිකාරයන් වන්නේ මෙම මධ්‍යම පංතියයි.

තවත් සංඛ්‍යාතියක් දක්වන්නේ නම්, මෙම ලක්ෂ 20 අතර විශ්‍රාමිකයන් ද ඇතුළුව දේශපාලකයෝ 1000කට අඩු ගණනක් සිටිති. ඔවුහු තීරු බදු රහිත වාහන බලපත්‍ර ආදියෙන් මහජන මුදල් ගසා කන බව කවුරුත් දනිති. මන්ත්‍රීවරුන්ගේ එක් වාහන බලපත්‍රයක් කෝටි දෙකකට පමණ විකුණන බව ද වාර්තා වේ.

අප සියලු දෙනා කතා කරන්නේ දේශපාලකයන් කරන මෙම බදු වංචාව ගැනයි.

එහෙත්, කළමනාකරණ, පරිපාලන හා වෘත්තික තලවල රජයේ නිලධාරීන් 40,000ක් අතරින් සැලකිය යුතු පිරිසක් ද අවුරුදු පහකට වරක් මෙම තීරු බදු වංචාව කරති. එහෙත්, අප ඒ ගැන කතා කරන්නේ නැත.

මෙම වංචාව නැවැත්විය යුතු බවට මහජන මතයක් ගොඩනැගීමට සිවිල් සමාජය උත්සාහ කරද්දී සිදු වූයේ කුමක් ද? ධනපති යයි කියන පක්ෂ පමණක් නො ව, පහළ මධ්‍යම පංතික පක්ෂ ද සද්ද නැතුව සිටියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සංවිධාන වර්ජන තර්ජන ගෙන ආවේ ය. අවසානයේදී පනින රිලවුන්ට ඉනිමං බැඳිණි. දේශපාලකයන්ගේ වාහන බලපත්‍ර වංචාව යුක්තියුක්ත කිරීමට දායක වුණේ රාජ්‍ය නිලධාරීහු ය. 

මෙය සුබසාධන රාජ්‍යයක් යයි කියන අයට අප මීට පෙර කී දෙයක් නැවත මතක් කරමි. මෙම රජය පවතින්නේ සුබසාධනය වෙනුවෙන් ය යන්න මිථ්‍යාවකි. සුබසාධනය පවත්වාගෙන යන්නේ පීඩිතයන් සූරා කන මෙම රජයේ පැවැත්ම සාධාරණීකරණය කරන්නට ය.

මෙම නින්දිත අකටයුත්ත සිදු වන්නේ දෙමළ පාලනයක් ඇති උතුරු පළාත් සභාවේ වීම බලය බෙදා ගැනීමේ කතිකාවේ තවත් තලයක් ස්පර්ශ කිරීමට ද යොදා ගත හැකි ය. 

අප කලින් කී ගුරුවරිය මෙම රාජ්‍ය අංශයේ පහළ ම තලයේ සිටින්නියකි. ඇය සිය මානව හිමිකමක් මේ අන්දමින් ස්වකැමැත්තෙන් පාවා දෙන්නේ ඇයි ද යන්න විග්‍රහ කිරීමට අසමත් දර්ශනවාදවලින් වර්තමානයට වැඩක් නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

යාපනයේ පොලිස් විරෝධී හර්තාලය රටට ම වැදගත් ඇයි?

අද යාපනයේදී පැවැත්වෙන හර්තාලය මුළු රට ම වෙනුවෙන් කරන එකක් ලෙස අප පිළිගත යුතු ය. කළ යුතු ය.

තරුණයන් දෙදෙනාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ. එහෙව් එකේ තවත් හර්තාල් කුමට ද?

හර්තාල් කළත්, නැතත්, නීතිය ක්‍රියාත්මක වීම හා දඬුවම් ලැබීම සිදු වන්නේ ඉතා මන්දගාමීව බව පැහැදිලි ය.

හර්තාල් කළ යුත්තේ වැදගත් හේතුවක් නිසා ය. ඒ පොලිස් ප්‍ර‍තිසංස්කරණ වෙනුවෙනි.

ලංකාවේ පොලිසිය නීති දන්නේ නැත. ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ අද ලංකාදීප පුවත්පතට පවසා ඇති පරිදි පොලිසිය විසින් වාහනයක් නතර කරන්නට අණ කළ විට නවතා විස්තර පැවසීම මහජන වගකීමකි. එහෙත්, අණ නො තකා ධාවනය වන වාහනයකට වෙඩි තැබීමට පොලිසියට අවසර නැතුවා පමණක් නො ව එය නීති විරෝධී ද වේ. එසේ අණ නො තකා ධාවනය වන්නේ නම් කළ යුතු වන්නේ ලුහුබැඳු අත්අඩංගුවට ගැනීම හෝ ඊළඟ පොලිස් මුරපොළට දැනුම් දී අත්අඩංගුවට ගැනීමයි.

ට්‍රැෆික් පොලිස් නිලධාරීහු රියදුරන් අතින් ඉරි කැපෙන්නට ඉඩ ඇති පටු මාර්ග අසල ගස් අස්සේ, ගෙවල් අස්සේ සැඟවී සිට හිටි හැටියේ පාරට පැන වාහන නවත්වති.

දිනක් මා රාත්‍රියේ ගමනක් යන විට පාළු තුන්මංහන්දියක් අසලදී මා ධාවනය කරන ප්‍ර‍ධාන මාර්ගය නො වන අතුරු මාර්ගයක සිට ජංගම දුරකථන විදුලි පන්දමක් වනමින් පොලිස් නිලධාරියෙකු පාරට පැන මා නැවතී ය. ඔවුන් අත ගිනි අවි තිබුණ අතර මා එය නො දුටුවා නම් වෙඩි තබන්නට තිබිණි. එසේ කරන්නේ ඇයිදැයි ඇසූ විට පොලිස් නිලධාරියා කීවේ තමන්ට විදුලි පන්දම් ලබා දී නැති බවයි. ඒ කාලයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නිසා පැමිණිලි කිරීමෙන් වැඩක් නැති හෙයින් මම එය අතහැර දැමුවෙමි. මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් දැන් නම් මහජනතාව පැමිණිලි කළ යුතු ය.

වැරදි උපදෙස් දෙන, පහසුකම් නො දෙන, පහළ පොලිස් නිලධාරින්ට වධ දෙන පොලිස් ලොක්කන් නිසා අවසානයේ එල්ලුම් ගස් යන්නට සිදු විය හැක්කේ දිළිඳු පොලිස් කොස්තාපල් කෙනෙකුට විය හැකි ය.

මෙවැනි ප්‍ර‍ශ්නවලදී අප ඔවුන් පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය. පොලිස් නිලධාරීන් නීතියට අනුව පමණක් කටයුතු කළ යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-10-23

කර්නල් මීඩින්, කැරැලි, ඝාතනයට ලක් වන්නෝ හා ඝාතකයෝ

කොටි සංවිධානය විසින් සටන් විරාමය අතරතුර මරා දමන ලදැයි කියැවෙන කර්නල් තුවාන් රිස්ලි මීඩින් 
1989 කැරැල්ලේ ජවිපෙ භූමිකාව විප්ලවීය එකක් හෝ අහිංසක එකක් හෝ නො වේ. මුග්ධ එකකි.

යුදමය වශයෙන් පරිණත වීමේ කිසිදු උත්සාහයක් නැතිව, අසාර්ථක මිලිටරි ප්‍රහාර කීපයක් හරහා ලබා ගත් ප්‍රචාරක වාසිය භාවිතා කර, පුද්ගල ඝාතන ඔස්සේ ඉදිරියට යමින්, නිසි මොහොතේ සම්මුතියකට පිවිසෙන්නට උත්සාහ නො කර, නායකත්වය ද සමග දස දහස් ගණනක් ජවිපෙ සාමාජිකයන්, හිතවතුන්,තරුණයන් හා සාමාන්‍ය මිනිසුන් විනාශය කරා යොමු කළ ජවිපෙ දෙවෙනි කැරැල්ල වනාහි ඓතිහාසික අපකීර්තියකි.

මේ කාරණයේදී ජවිපෙ නායකත්වය කටයුතු කළේ උපායික වශයෙන් ඉතාම දුර්වල ලෙස ය. ඔවුහු ප්‍රේමදාස ආණ්ඩුව බිත්තියට හේත්තු කර, ඉන් පසු දෙගිඩියාවෙන් සිටි හමුදාව ඔහුට පක්ෂපාතී වන තත්වයට පත් කර, එයිනුත් නො නැවතී නායකයන් බුරුතු පිටින් එක පාරට අසු වී මිය යන තරම් අපරීක්ෂාකාරිත්වයකින් ද කටයුතු කළ හ. අවසාන වශයෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදු වුණ අතර එ් මිනිස් ඝාතන අත්‍යවශ්‍ය එ්වා නො වී ය.

රන්ජන් විජේරත්න හා දැන් මහණ දම් පුරන අනුරාධපුර පැත්ත භාරව සිටි අණ දෙන නිලධාරියා ඇතුළු ඇතැම් හමුදා නායකයන් මෙන් ම තවත් ඇතැම් දේශපාලකයන් ද කටයුතු කළේ ලේ පිපාසයෙනි.

එම කැරැල්ල මර්දනය කළ ආකාරය ද ඒ හා සමානව ම හමුදාවට හා එජාප රජයට අපකීර්තියකි.

එම කැරැල්ලෙහි මධ්‍යම මට්ටමේ සාමාජිකයකු ලෙස ජවිපෙ කැරැල්ල සම්බන්ධයෙන් මගේ ස්වයං විවේචනය මා පළ කර ඇත්තේ කිසිදු කලෙක ජවිපෙ දේශපාලනයට නැවත සම්බන්ධ නො වීමෙන් හා අගතියෙන් තොරව සමාජය වෙනස් කිරීමේ උවමනාවෙන් කටයුතු කරන රැඩිකල් ව්‍යාපාර ගොඩනැගීමට උර දීමෙනි. වර්තමානයේදී ද මා කරමින් සිටින්නේ එයයි. තවත් තරුණ පරම්පරාවක් එවැනි ස්වයං විනාශයකට ගොදුරු වීම වැළැක්වීම කැරැලි සම්බන්ධ අත්දැකීම් ඇති අපගේ වගකීමක් ලෙස මම සලකමි.

පසුගිය දිනෙක වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් තබන ලද සටහනක් හේතුවෙන් මට මා අවුරුද්දකුත්, මාසයකුත්, දවසක් සිරගතව සිටි නැවත එළියකන්ද වධකාගාරය සිහිපත් විය. ඔහු ලියා තිබුණේ කොටි සංවිධානය විසින් මරා දමන ලදැයි සැලකෙන ලුතිනන් තුවාන් මීඩින් ගැන ය. ඔහු ලියූ සටහන මෙසේ ය:


ලුතිනන් කර්නල් තුවාන් මීඩීන්
ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට හමු වන්නේ 2003 වසරේදී ය​. එම වසරේදී යුද ආතතිය සහ සංග්‍රාම විඩාව පිලිබඳ දේශනයක් කිරීමට උතුරට ගිය අවස්ථාවකදී මට ඔහුව හමු විය​. එවකට ඔහු මේජර්වරයෙකු වූයේය​. තුවාන් මීඩීන් සේවය කලේ යුද හමුදා බුද්ධි අංශයේය​. ඔහු තුල ඉතා හොඳ දැණුමක් තිබුනේය​. එම නිසා අප සුභාශ් හෝටලයේදී සංවාදයේ යෙදුනෙමු.
මේ කාලයේ මම ප්‍රභාකරන් ගේ මානසික තත්වයන් පිලිබඳව පොතක් ලියමින් සිටියෙමි. ඒ නිසා මේජර් මීඩීන් ප්‍රභාකරන් සහ ඔහුගේ අභ්‍යන්තර කවය පිලිබඳ දැන සිටි කරුණු මෙම පොත ලිවීමේදී මට ඉතා ප්‍රයෝජනවත් විය​. ප්‍රභාකරන් ගේ කායාරක්‍ෂකයන් අතර උන්ඩ ප්‍රතිග්‍රාහකයන් තිදෙනෙකු සිටින බව ඔහු හෙලි කලේය​. මෙම තොරතුර උසස් හමුදා නිලධාරීන් පවා දැන සිටියේ නැත​.
2005 වසරේදී වරක් ඔහු මා සොයා කොලඹ හමුදා රෝහලට ආවේය​. මා විසින් මෝහන ප්‍රතිකාර මගින් සුව කරන ලද සංවර්තන ආබාධ ( Conversion Disorders ) තිබූ රෝගීන් කීප දෙනෙකු සමග ඔහු කතා කලේය​. එසේම මගේ මෝහන ප්‍රතිකාර සැසියක් ද ඔහු නිරීක්‍ෂණය කලේය​. තවද අත් අඩංගුවට ගත් කොටි සාමාජිකයන්ට පහර දී තොරතුරු ගන්නවා වෙනුවට මෝහනය කිරීමෙන් තොරතුරු ලබා ගත හැකිදැයි බැලීම ඔහුගේ අභිප්‍රාය විය​.
අවසන් වරට ඔහු මා හමුවූ දිනයේ ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට මෙසේ කීවේය " තව ස්වල්ප දිනකින් ඔබට මාව ඝාතනය කලා කියා ආරංචි වෙයි. මගේ අවමංගල උත්සවයට පැමිණ වැතිර සිටින මා දෙස බලන්න​. මෘත ශරීරයක් ව වැතිර සිටින මේ මිනිසා බොහෝ රහස් දන්නේය​. ඒවා හෙලි කලහොත් බොහෝ දේශපාලකයන් හමුදා නිලධාරීන් බලවත් අපහසුතාවට පත් වනු ඇත​. එම නිසා මම ඒ රහස් රැගෙන මගේ මිනී ව​ළට යමි."

ඔහු මට මෙය කීවේ කොලඹ යුද හමුදා රෝහලේ මානසික රෝග වාට්ටුවේ මගේ ප්‍රතිකාර කාමරයේදීය​. මම ඔහුගේ මරණය පිලිබඳ කතාව බැරෑරුම්ව නොගත්තෙමි. නමුත් ඉන් සති කීපයකට පසුව ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් කොටින් ගේ බුද්ධි අංශය විසින් ඝාතනය කල බව මට ආරංචි විය​.


ෆේස්බුක්හි මේ සම්බන්ධයෙන් සිදු වූ සංවාදය තුළ තවත් වැදගත් කරුණු තිබේ.

1966 ජුලි 27දා හම්බන්තොටදී උපන්, ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් උගෙන සිය සොයුරා ගත් මග ඔස්සේ යමින් 1986දී හමුදාවට බැඳුණු තුවාන් රිස්ලි මීඩින් මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක් වන්නේ කිරිබත්ගොඩ ඔහුගේ නිවස ආසන්න තැනකදී 2005 ඔක්තෝබර් 29දා ය. ඒ වන විටත් රජය හා කොටි සංවිධානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් තිබුණු මුත් දෙපාර්ශ්වය විසින් ම සටන් විරාමය උල්ලංඝනය කරමින් තිබිණි. කොටි සංවිධානය ඉහළ පෙළේ ඉලක්ක රැසක් ගත් අතර පළමු බුද්ධිබලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් මීඩින් ඒ අතර ඉහළ ම පෙළේ එකකි.

ලුතිනන් මීඩින් කෙනෙකු ගැන මට ද මතකයක් තිබේ. සොල්දාදුවකු ලෙස ඒ මීඩින් පිළිබඳ දැන් මට ඇත්තේ උපේක්ෂා සහගත අදහසකි. මට මතක හැටියට ඔහු විසින් අත්අඩංගුවට ගන්නා ලද දෙවුන්දර කොට්ටාසයේ ජවිපෙ ලේකම්වරයා ඔහුගේ තුවක්කුව රැගෙන යන තරම් හීලෑ කර ගන්නට ඔහු සමත් වී සිටි බව මට සිහිපත් වේ. මෙම කොට්ඨාස ලේකම්වරයාගේ අලුත පත් වී ආ දේශපාලන අංශ ප්‍රධානියා ලෙස මා ඔහු හමු වන විට මා ඇඳ සිටියේ දිය වී ගොස් තිබුණු පරණ කමිසයක් හා කලිසමකි. මට මතක හැටියට එය එකල මට තිබුණු එක ම ඇඳුම හෝ ඇඳුම් දෙක තුනෙන් එකක් විය. ඒ වෙලාවේ මා දෙස බැලූ ඔහු මට ඇඳුම් ටිකක් ලබා දීමට පොරොන්දු විය. එහෙත්, ඊට පෙර මා අත්අඩංගුවට පත් විය. ඔහු ද අසු වී හමුදාවට සහයෝගය දෙන පුද්ගලයකු බවට පත් විය. මට මතක හැටියට ඔහුගේ නම කපිල ය. මා ඔහු පිළිබඳ තොරතුරු දැන ගැනීමට මීට මොහොතකට පෙර එවක එළියකන්දේ සිටි මිතුරකුට දුරකථන ඇමතුමක් දුන් විට ඔහු කීවේ ඔහුව අල්ලා දුන්නේ ද එම පුද්ගලයා බව ය.

මෙම කොට්ඨාස ලේකම්වරයා හමුදා නිලධාරීන්ගේ මිතුරකු සේ හැසිරුණේ ය. වරක් ඔහු මීඩින් සමග එළියකන්දට පැමිණ හමුදා නිලධාරීන් සමග කැරම් ගසමින් සිටියදී, සිරකරුවන් අතර සිටි මා දැක, මා ඔහුට හමු වූ අවස්ථාව හා ඔහු මට ඇඳුම් වගයක් දෙන්නට පොරොන්දු වූ බව මතකදැයි ඇසී ය.

මෙම ලෙෆ්ටිනන්ට් මීඩින්ගෙන් මට පෞද්ගලිකව කිසිදු වරදක් සිදු වී නැත. වරක් ඔහු සිටි හෙට්ටියාවල කඳවුරට ප්‍රශ්න කිරීමක් සඳහා මා ගෙන ගිය එළියකන්ද හමුදා කඳවුර භාර නිලධාරියා මීඩින් සමග මත්පැන් බීමෙන් පසු මා එහි අමතකව හෝ හිතාමතා හෝ දමා ගියේ ය. එදින එම කඳවුරේ සෙබළු මට දරුණු ලෙස පහර දුන් අතර මට සිිහිය ආවේ ද පැය කීපයකට පසුවයි. පැය හතරක පමණ කාලය තුළ සිදු වූ දෙය මට කිසි සේත් ම නැවත සිහි එළවා ගත නො හැකි ය. මර බියෙන් මා ඔවුන්ට බැණ වැදුණු බව ද, එබැවින් මට බිම දමාගෙන අතින් පයින් පහර දුන් බව ද පසුව වෙනත් සිරකරුවෙක් මට කීවේ ය. මට ඒ කිසිවක් මතක නැත. 

ඉන්පසු දින ගණනක් මගේ දෑත්, දෙපය හා ඇස් බැඳ එම කඳවුරේ සිරකරුවන් දමා සිටි පොල්ලතු මඩුවේ දමා තිබිණි. දින ගණනකට පසු මීඩින් මඩුව අසලට පැමිණ, සිරකරුවන් බලා, මා එහි සිටිනු දැක, එදින ම සවස මා ආපසු එළියකන්දට පිටත් කළේ ය. ඔහු නිතර එළියකන්දට පැමිණියේ ය. ඒ එම කඳවුර භාරව සිටි ලුතිනන්වරයා සමග මත්පැන් බීමටයි.

මෙම සිරකරුවන් අතර ජවිපෙට උපකාර කළ චෝදනාවට රැගෙන විත් තිබුණු ප්‍රදේශයේ වැඩිහිටි භික්ෂුවක් ද සිටියේ ය. එම භික්ෂුවගේ සිරුර මෝටර් බයිසිකලයක සයිලන්සරයෙන් පුළුස්සා සුව වූ තුවාල කැළැල් තිබුණු අතර, කඳවුරේදී ඔහුට සලකනු ලැබුවේ තිරිසන් සතෙකුට සේ ඉතා නින්දිත ආකාරයටයි. මෙම භික්ෂුව තුළින් මට නම් සෙසු තරුණ කැරැළිකරුවනට වඩා පරිණත, උපේක්ෂා සහගතබවක් දක්නට ලැබිණි.

හෙට්ටියාවල කඳවුරේ තිබුණු සුවිශේෂ වධක ක්‍රමයක් වන්නේ කුරුසයේ ගැසීමයි. සිරකරුවා දෑත්වලින් පුවක් කොටයක බැඳ දින ගණනක් එල්ලා තබන බව මා අසා ඇත. දැක නැත. එහෙත්, එය අවසන් වූ පසු මඩුවට ගෙනැවිත් දමන ලද සිරකරුවන්ගේ දෑත් අක්‍රිය වී තිබිණි. බත් කටක් අනා කටට ගන්නට බැරිව ඔවුහු මාස ගණනක් දුක් වින්ද හ.

මීඩින් යටතේ තිබුණු තලල්ල, හෙට්ටියාවල කඳවුරු සිරකරුවන්ට ඉතා නින්දිත ලෙස සැලකූ සහ වධ දී මරා දැමූ ඒවා ය. එහි යම් ජාතිවාදී ස්වරූපයක් තිබුණු බව මගේ හැඟීමයි. එහෙත්, සිංහල හමුදා නිලධාරීන් අණ දුන් කඳවුරුවල ක්‍රියාකාරිත්වයේ ද වෙනසක් තිබුණේ නැති නිසා මට එය සහතික කර කීමට බැරි ය. එම වකවානුවේ තුවාන් මීඩිං දක්ෂ නිලධාරියකු වූ බවක් මට නම් නිරීක්ෂණය වූයේ නැත.

මා සමග අත්අඩංගුවට ගෙන, එළියකන්දේ රඳවා සිටි, නාලන්දා විද්‍යාලයේ සිසුවකු ලෙස සිටියදී ජවිපෙ දේශපාලනයට එක් වූ දක්ෂ තරුණයකු වූ චම්ලි හෙවත් රත්නායක  අතුරුදහන් වුණේ මා මීඩින්ගේ හෙට්ටියාවල කඳවුරට ගෙන ගොස් සිටියදී ය. චම්ලි මාතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ නායකයා විය. ජවිපෙ විසින් පත්තු කරන ලද මුල් ම බිම් බෝම්බය වූ ගන්දර බිම් බෝම්බය ඇතුළු සිද්ධි කීපයක වගකීම ඔහු භාර ගත්තේ ය. එසේම, ඔහු ආරක්ෂක අංශ සමග කිසියම් ආකාරයක සම්මුතියක් ඇති කර ගැනීමට ද දක්ෂ වූයේ ය. මගේ ජීවිතය බේරෙන්නට ද එය ඉවහල් වන්නට ඇත. එහෙත්, ඔහු තමන් ගැන හෙළිදරව් කර තිබුණේ මා දන්නා තොරතුරු පමණි. ඔහු කිසිවකු පාවා දුන්නේ ද නැත. අප මාස ගණනක් එළියකන්දේ සිටි මුත්, මට කිසි දිනෙක ඔහු සමග කතා කරන්නට ලැබුණේ නැත. ඔහුව සෙසු අයගෙන් වෙන් කර තබන ලදී. ගෙදර අයට ද පෙන්වන ලදී. ඔහු හා මා වෙනුවෙන් රැඳවුම් නියෝග ද ගෙන තිබිණි.

බිත්තියෙන් එහා පැත්තේ සිට මේ තරුණයා විමුක්ති ගී උරුවම් බෑ අයුරු අද ද මට සිහිපත් වේ.

එහෙත්, 1990 දෙසැම්බරයේදී පමණ අත්අඩංගුවට පත් වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ ගාමිනී විජේගුණසේකර හෙවත් රිචඩ් හෙවත් අතුරලිය චම්ලි විසින් හෙළිදරව් කර නො තිබුණු වගකීමක් ආරක්ෂක අංශවලට හෙළිදරව් කළේ ය. එම වකවානුවේ පුවත්පත් කැබැල්ලක තිබී කියවා දැන ගත් ආකාරයට, එම වගකීම අනුව චම්ලි ආරක්ෂක අංශයේ සම්බන්ධකම් සම්බන්ධීකරණය කිරීමක් කර තිබිණි. මා අසා ඇති පරිදි චම්ලිව තලල්ල කඳවුරට යවා ඝාතනය කර තිබෙන්නේ මෙම පාවාදීම නිසා ය.  

චම්ලිගේ වාසගම මට මතක අන්දමින් දිසානායක ය. මීඩින් ඝාතනය කළේ යයි සැලකෙන අන්ද්‍රාහැන්නදිගේ චමින්ද දර්ශන හෙවත් අයිස් මංජු මීඩින්ට මුණගස්වන්නේ පිටකොටුවේ ශාන්ත ජෝන් මාළු වෙළඳපොළේ ව්‍යාපාරිකයකු වූ චම්ලි දිසානායක නම් අයෙකු බව ද සඳහන් වේ. ඒ චම්ලි හා මේ චම්ලි එක ම අයෙකුදැයි මම නො දනිමි. අයිස් මංජු ගන්දර පැත්තට සම්බන්ධ ව්‍යාපාරිකයකු වීම ද සුවිශේෂ ය. ගන්දර යනු 1989දී ලුතිනන් මීඩින් සේවය කළ තලල්ල කඳවුර ආසන්න ප්‍රදේශයකි. ඝාතනයෙන් පසු අයිස් මංජු කොටි පාලන ප්‍රදේශ වෙත පළා ගිය බව වාර්තා විය. යුද පරාජයෙන් පසු ඔහු සිවිල් වැසියන් සමග අවතැන් කඳවුරක වෙසෙන බවට දිනමිණ වාර්තාවක් පළ විය. තවත් වාර්තාවක අයිස් මංජු අත්අඩංගුවට ගත් බව පළ වූ මුත් ඉන් පසු කුමක් වීදැයි නො දනිමු. 

මීඩින්ට තිබී ඇත්තේ අමුතු සම්බන්ධකම් ය. ඔහු ඝාතනයට ලක් වන රාත්‍රියේ ඔහුගේ ආරාධනාව පිට නිවසට රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණෙන්නේ ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ පවුලයි. ඔහු හමුදා ප්‍රොටොකෝල්වලට පටහැණි අයුරින් ඔහුගේ පෞද්ගලික කටයුතු හා රාජකාරි කටයුතු මිශ්‍ර කරගෙන වැඩ කර ඇති බව පෙනේ. ඔහු දක්ෂ නිලධාරියකු ද යන්න මම නො දනිමි. ජවිපෙ කැරැල්ල මර්දනය කරන සමයේ නම් ඔහු තුළින් කිසිදු සුවිශේෂ දක්ෂකමක් පෙනුණේ නැත.

ජවිපෙ යනු මිලිටරි වශයෙන් ඉතා දුර්වල ව්‍යාපාරයකි. යුද නීති නො තකා මර්දනය කරන්නට අවසර ලැබුණු පසු එය මර්දනය කරන්නට විශේෂ දක්ෂතාවක් අවශ්‍ය වූයේ නැත. එහිදී සිදු වුණේ තිරශ්චීන ලෙස අහිංසකයන් හා සාමාන්‍ය ජවිපෙ සාමාජිකයන් බුරුතු පිටින් වධ දී මරා දැමීමයි. එයට විශේෂ දක්ෂතාවක් අවශ්‍ය නැත.

මෙම සටහන තබන්නේ ජවිපෙ කැරැලිකරුවන් සම්බන්ධයෙන් මෙන් ම හමුදා සෙබළ තරුණයන් සම්බන්ධයෙන් ද අගතියකින් තොරව ය. ඝාතනයට ලක් වන්නා සේ ම, ඝාතනය කරන්නා ද එක ම කාසියේ දෙපැත්ත වන් ගොදුරු වෙති. මගේ අරමුණ සත්‍යය සාකච්ඡා කිරීමෙන් එවන් සිදුවීම් නැවත සිදු නො වන තත්වයක් නිර්මානය කිරීම පමණි.

ලංකාවේ තරුණයන්ට ඝාතනය වීම හා ඝාතනය කිරීම හැර වෙන දෙයක් උරුම කර දුන්නා නම්, මීඩින්, රත්නායක හෙවත් චම්ලි හා තවත් බොහෝ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ ආදී තරුණයන්ගේ නිර්මානශීලිත්වයෙන් හා ශ්‍රමයෙන් ලක්බිම සමෘද්ධිමත් වන්නට තිබිණි.

තුවාන් රිස්ලි මීඩින් ගැන තවත් වැදගත් ලිපි කීපයක්

සන්ඩේ ඔබ්සර්වර්
සන්ඩේ ටයිම්ස්
ලංකා ලයිබ්‍රරි


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් මරා දැමීම හා පොලිස් ප්‍රචණ්ඩත්වය

වනසා දමන ලද තාරුණ්‍යයක අහිංසකකම 
යාපනයේ පොලිස් වෙඩි තැබීමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු කණගාටුදායක ලෙස මියගොස් තිබේ.

පොලිසිය මිනිසුන් මරා දැමීම උතුරේ මෙන් ම දකුණේ ද සුලබ සිදුවීම් ය. එහි යම් අඩුවක් දක්නට ලැබුණේ 2015 ජනවාරි 8දායින් පසු ය. ඉන් පෙර, අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මරා දැමීම සිදු වුණේ මහජන ආශිර්වාදය මැද ය. ඒ ඝාතන මාධ්‍ය විසින් පමණක් නොව අධිකරණය විසින් ද සාධාරණීකරණය කරන ලදී. ඒවා එකල පැවති ආණ්ඩුවේ ප්‍රතිපත්ති විය.

ප්‍රවීණ නළු නිහාල් සිල්වා ඝාතනය ද මේ අන්දමේ ම එකකි. 1989 දෙසැම්බර් මාසයේදී පොලිසිය විසින් මරා දමන විට ඔහු එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ හිතවතකු ද විය. එහෙත්, පොලිස් අණ නො තකා ගියා යයි කියා පොලිසිය ඔහු මරා දැමුවේ ය. පොලිසිය කකුල්වලට වෙඩි තැබුවොත් සාමාන්‍යයෙන් වදින්නේ ඔලුවට ය. ඔලුවට ම වෙඩි තියන්නට අණ දී තිබෙනවා නම් මෙවැනි අපරාධ සිදු වන්නේ නැත. එහෙනම් වෙඩි වදින්නේ කරටිවලට විය හැකි ය.

යාපනයේ කොකුවිල්හි වෙඩි තැබීමෙන් මිය ගොස් තිබෙන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වන කන්දරෝඩෙයි පදිංචි 24 හැවිරිදි සුලක්ෂන් සුකන්දරාජා සහ කිලිනොච්චිහි පදිංචි 23 හැවිරිදි ගජන් නඩරාජා ය. වෙඩි තැබීමෙන් එක් සිසුවකු මියගොස් ඇති බව ද අනෙක් සිසුවාගේ මරණයට හේතුව මෝටර් බයිසිකලය හැපීමෙන් ඇති වූ තුවාල බව ද වාර්තා වේ.

මෙම පොලිස් ඝාතනය දෙමළ ජාතිවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය විසින් අර්ථ නිරූපණය කර තිබෙන්නේ සිංහල පොලිසිය විසින් දෙමළ සිසුන් ඝාතනය කිරීමක් ලෙසයි. පොලිසිය ද සමූලඝාතක හමුදාවට වෙනස් නො වන බව ද එහි මාතෘකාවේ ම දැක්වේ. එහෙත්, මෙය ජාතිවාදී සිද්ධියක් වන බවට කිසිදු සාක්ෂියක් තවමත් ලැබී නැත.

මෙම වෙඩිතැබීම සිදු කළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මුලින් පැවසුවේ අහසට වෙඩි තැබූ බව යයි පොලිසිය භාර ඇමති සාගල රත්නායක පවසයි. ඇත්ත වෙන්නටත් පුළුවන. පොලිසියේ ඉලක්ක ඉතිහාසය පුරා ම එවැනි ය.

දිවුලපිටියේ බරවාවිල එස්.එම්. කැලුම් සුබසිංහගේ මරණය ද මෙවැනි සිදුවීමකි. එහිදී දිවුලපිටිය පොලිසියේ නිලධාරියෙකු පුද්ගලයකුට වෙඩි තැබීමට සැරසෙන අයුර මහමග ගමන් කළ වාහනයක කැමරාවේ වීඩියෝගත වී තිබුණේ මෙසේ ය.



එහෙත්, පොලිසිය ඒ ගැන කීවේ මෙසේ ය:



මෙම සිද්ධියේදී පොලිසියට ඇති වූයේ යයි කියන තුවාල මිනිසකු මරා දැමීම සාධාරණීකරණය කරන්නට යොදා ගන්නා හැටි බලන්න.

යාපනය ඝාතනය ඉතා බරපතල ලෙස සලකන්නේ එය සංහිඳියාවට බාධාවක් යයි කියමිනි. එහෙත්, සංහිඳියාවට අදාළ කරුණක් මෙතැන තිබේ ද?

පසුගිය කාලයේ උතුරේ පොලිසිවල සේවය කිරීම සඳහා දෙමළ පොලිස් නිලධාරීන් රැසක් බඳවා ගන්නා ලදී. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගේ වාර්ගික සංයුතිය විමසා බැලීම ද තීරණය කිරීමට පුළුවන.මෙහිදී වැදගත් ය.

සිංහල බහුතරයකින් සමන්විත පොලිසිය වෙනුවට දෙමළ නිලධාරීන් සිටින පොලිසියක් තබා මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය වෙනුවට පළාත් පොලිසියක් පත් කර ගත්තත්, මීට වඩා වෙනස් තත්වයක් ඇති වනු ඇතැයි අපි නො සිතමු. පොලිසිය ක්‍රියා කරන ආකාරය වෙනස් කළ යුතු ය.

සිංහල, දෙමළ කියා භේදයකින් තොරව, ලංකාවේ පොලිසිය නීතියට ගරු කරන්නේ නැත. වෙනස් කළ යුත්තේ එයයි.

එසේම, සිංහල, දෙමළ කියා භේදයක් නැතිව, ලංකාවේ ජනතාව ද නීතියට ගරු කරන්නේ නැත. ලංකාවේ ජනතාව වැඩිපුර ම නීති කඩන තැන මහාමාර්ගයයි. නීති කඩන්නේ රියදුරන් පමණක් නො වේ. පයින් යන්නන්, බස් මගීන් ආදීහු ද නීති කඩති.

පොලිසිය පමණක් නොව, ජනතාව ද වෙනස් විය යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-10-22

නිවී යන වාමාංශික දිදුලන තාරකාවක පශ්චාත් භාගයේ කළු කුහරය

අනාගත පරම්පරාවල උරුමය ඝාතකයන් හා ඝාතනය වන්නන් ලෙස බෙදී නො යාමට: W3Lanka
කාලයක සිට ම අපගේ බ්ලොග් අඩවියේ වෛරී පරිකතා ලියන පිරිසක් සම්බන්ධයෙන් අප විසින් කරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයේ හා ඉන් පසු ඔවුන් විසින් ම කරන ලද හෙළිදරව් කිරීම්වල ප්‍රතිඵල ලෙස අප විසින් වටහාගෙන තිබෙන්නේ එම පිරිස වනාහි මා ද කලක් සම්බන්ධව සිටි එක්තරා ආන්තික, මධ්‍යම පංතික දේශපාලන කණ්ඩායමක නායකයා (ඔහු තමන් විසින් දමන කමෙන්ටුවල තමන් හඳුන්වා ගන්නේ වාමාංශික දේශපාලනයේ දිදුලන තාරකාව ලෙසයි), ඔහුගේ බිරිඳ හා තවත් ඔවුන් හා සම්බන්ධ සුළු පිරිසක් බවයි.

එය ඔප්පු කිරීමට අනුභූතික සාක්ෂි අපේක්ෂා කරන අයට මෙම බ්ලොගයේ ඉතිහාසය තුළ පරිකතා අධ්‍යයනය කරන ලෙස අපි ආරාධනා කරමු.

තාරකාවක අවසාන කාලයේ එය මිය යමින් නිර්මානය වන්නේ කළු කුහරයකි. විප්ලවවාදී දේශපාලනයේ දිදුලමින් සිටියේ යයි සිතා සිටි තාරකා නිවී යන විට ඇති වන තත්වය ඔවුන්ගේ පරිකතාවක් ඇසුරින් මෙම සටහන අවසානයේ දැක්වේ.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරය විසින් ඇත්තෙන් ම මේ රටට උරුම කර දී තිබෙන්නේ කාලකන්නිකම පමණි. මේ රටේ ඉතිහාසය තුළ සිදු වූ සෑම ප්‍රතිසංස්කරණයකට ම වාමාංශිකයන් විරුද්ධ වී තිබේ. ඔවුන් කිසි කලෙක රාජ්‍ය බලය සියතට ගැනීමේ බුද්ධිමත් අධිෂ්ඨානයකින් කටයුතු කර ද නැත. (තරුණ පරම්පරා පිටින් පාලකයන් ලවා මැරවූ මෝඩකම් නම් කර තිබේ.) ආණ්ඩුවල හවුල්කාර පක්ෂ ලෙස සිටියදී පවා කාර්යක්ෂමව කටයුතු කළ ඉතිහාසයක් ඔවුන්ට නැත.

ලංකාවේ රාජ්‍යය දැඩි මධ්‍යම පංතික ආධිපත්‍යයකින් යුක්ත එකක් බවට පත් කිරීමට වාමාංශිකයන්ගේ ඊනියා සමාජවාදී අදහස් දැඩිව ඉවහල් විය. මෙම ශක්මතිමත් මධ්‍යම පංතියේ මෙන් ම, ලංකාවේ ධනපති පක්ෂ ලෙස හැඳින්වෙන මධ්‍යම පංතික පක්ෂවල ද විඥානය හැඩගැස්වීමෙහි ලා වාමාංශිකයන් විශාල බලපෑමක් කර තිබේ. ජේ.ආර්. ජයවර්ධන වැනි දක්ෂිණාංශිකයෙකුට පවා එහි මූලික හැඩය වෙනස් කිරීමට හැකි වූයේ නැත. අනෙක් පැත්තෙන් මෙම දක්ෂිණාංශිකකම හා වාමාංශිකකම අතර ඇති වෙනස ද පැහැදිලි නැත. භාවිතාවේදී වාමාංශිකයෝ අන්ත දක්ෂිණාංශික ය.

1970-77 සමයේ සමාජවාදයේ නාමයෙන් ශක්තිමත් කරන ලද සංවෘත, රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකයේ කූටප්‍රාප්තිය සිදු වූයේ මහින්ද රාජපක්ෂ පාලනය තුළයි. වර්තමානයේදී ද ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුව මෙම මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර රාජ්‍යයයි. ලංකාවේ වාමාංශිකයන්ට මෙකී ක්‍රමය ගැන පවා තිබෙන්නේ මනෝමූලික, ප්‍රබන්ධාත්මක විග්‍රහයකි.

එසේම, වාමාංශිකයන්ගේ දැඩිතර ආගමික කල්ලිවාදය තුළ සිදු වී තිබෙන්නේ වාමාංශික අදහස් දරන්නන් අතර සමගිය නිර්මානය වීමට වඩා කුඩා, කුඩා කල්ලි රැසක් අතර ආධිපත්‍යය සඳහා ස්වෝත්තමවාදී උග්‍ර තරගයක නියැළීමයි. එහිදී, ඔවුන්ට කිසි කලෙක නියම සතුරා හඳුනා ගන්නට ලැබෙන්නේ නැත.

අප පෙර කී දිදුලන තාරකාව අප පිළිබඳ තබන ලද පරිකතාවක් නිදසුනක් ලෙස දැක්විය හැකි ය. ඒ මෙසේ ය: //අජිත් පැරකුම් ජයසිංහ නම් ‍පොදු සතුරාට එරෙහි ව අපි සියලු වෙනස්කම් ඉවත ලා එකාවන් ව නැඟී සිටිය යුතු වෙමු. එම සටන අප අවසන් කළ යුතු වන්නේ අජිත් පැරකුම් ජයසිංහගේ සිරිකොත ව්‍යාපෘතිය පමණක් නො ව ඊනියා යහපාලන ආණ්ඩුව ද පරාජය කිරීමෙනි. එම කාර්යයේ දී අපි අපගේ නොමඳ සහය සාරසතුමනට ද මයුරවිලයනට ද කොන්දේසි විරහිත ව ලබා දෙන්නෙමු.//

ඇත්තෙන් ම මෙම වාමාංශික කල්ලි, කණ්ඩායම් සමාජයෙන් අහෝසි වී ගොස් හමාර ය. එහෙත්, ලංකාවේ සමාජය වෙනස් කිරීමේ හා සමාජවාදය පිහිටුවීමේ සැබෑ උවමනාවක් තිබෙන අයට වාමාංශික ව්‍යාපාරය අධ්‍යයනය කිරීමටත්, තමන් ගොඩනගන අලුත් ව්‍යාපාරවල භාවිතාවන් වාමාංශික අගතීන්ගෙන් මුදා ගැනීමටත් සිදු වේ.

එය දුෂ්කර කාර්යයකි. මන්ද, පැරණි පරම්පරාවේ කුහකයෝ බොරුවෙන්, දැනුමෙන්, මුදලින් පමණක් නොව යුරෝපයට වීසා අරන් දෙන පොරොන්දුවලින් පවා නව පරපුර පාලනය කිරීමෙහි සමත් ය. 

වාමාංශිකයන් හා අවස්ථාවාදී ලෙස ජාතිවාදය වැළඳගෙන ජාතිකවාදීන් ලෙස පෙනී සිටි වාමාංශිකයන් විසින් පරම්පරා දෙකක, සිංහල, දෙමළ තරුණයන් ලක්ෂ ගණනක් කැරැළි තුනක් හා එමගින් යුක්තියුක්ත කරන ලද රාජ්‍ය යුදවාදය ඔස්සේ වල පල්ලට යවා තිබේ. සමස්තයක් ලෙස රට ම දේශපාලන නායකත්වයක් නැති අසරණභාවයක් වෙත තල්ලු කර තිබෙන්නේ ද අනාගත පරම්පරාවලට කාලකන්නිකම ම උරුම කර දී තිබෙන්නේ ද මෙම ඊනියා අරගළ හරහා ය.

සිල්ලර ලෙස තරුණයන් රවටා තවත් පරම්පරාවක් ගඟේ යැවීම වැළැක්වීම අපි අපේ පරම යුතුකමක් ලෙස සලකමු. විශේෂයෙන් ම දෙමළ අරගළය සාම ක්‍රියාවලියෙන් ඔබ්බට තල්ලු කිරීමට දායක වී, ස්වයං නාශක යුද්ධයක් වෙත යොමු කර, විකල්ප කණ්ඩායම් ආරක්ෂක අංශවලට පාවා දී, දෙමළ කැරැලිකරුවන් වන්නියේ යුද බිම්වල දැවී අළු වී යද්දී, තමන් පමණක් පවුල් පිටින් යුරෝපයට පැනගෙන, දැන් එහි සිට ලංකාවේ වම ගොඩනගන්නට දඟළන, ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක සාමාජිකයන් යයි සිතන, භ්‍රාන්ති හෙවත් හලුසිනේෂන් (hallucination) මානසිකත්වයක සිටින පිරිස්වලින් අනාගත පරම්පරා බේරා ගත යුතු ය.

ඔවුන්ගේ පරිකතාව රතු පැහැයෙන් ද අපගේ අදහස් ඔවුන් අප තල්ලු කර දමන්නට කැමති සිරිකොතේ කොළ පැහැයෙන් ද දක්වා තිබේ.

ඈ බොල ගෙරියෝ, උඹ හිතවා ද අපත් උඹ වගේ සල්ලිවලට අපේ ආත්මය පාවා දෙන බව? ගොබ්බයෙකු වුණත් ගොබ්බ කතා නො කියා හිටපිය. (ඔවුන් මෙසේ කියන්නේ රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් ගෙන ඔවුන් කරන වෙබ් අඩවියක් හරියට කරන ලෙස මා කියූ විට ය.) 

අප උඹ අතහැර දමා දැන් බොහෝ කල් වෙනවා. උඹ අපේ ප්‍රහාරයෙන් කම්පනය වෙලා උඹේ මානසික ලෙඩේ යළි මතු වෙලා අර අහිංසක ගැහැනියත් දරුවන් දෙදෙනාත් මරා ගෙන කන්න යන බව ආරංචි වුණාට පස්සේ අප මෙතන උඹට ප්‍රහාර එල්ල කරන එක අඩු කළා; මානුෂික හේතු මත. (මා සිතන පරිදි මේ ඔවුන් තමන්ගේ අත්දැකීම් හරහා මගේ ජීවිතය ප්‍රක්ෂේපණය කර ගන්නා ආකාරයයි.) ඒත් උඹ මේ රටේ තරුණ පරම්පරාව නොමඟ යැවීමේ කොන්ත්‍රාත්තුව දිගට ම කර ගෙන යනවා නම් අපට සිද්ධ වෙනවා උඔ කරළියෙන් ඉවතට විසි වෙන්න ම ගහන්න. (එය කොන්ත්‍රාත්තුවක් නො ව සමාජ වගකීමකි) අපේ තරුණ පරම්පරාව කියන්නේ අපේ රටේ අනාගත ය. අපේ රටේ අනාගතය විනාශ කරන්න උඹ වගේ මානසික ලෙඩෙකුට ඉඩ දෙන්න බැහැ; ඉඩ දෙන්නෙත් නැහැ.

උඹ ඔය උඩ දාන වර්ණකුල ද මොකා ද මහ ලොකු චරිතයක් වෙන්නේ උඹ වගේ හීනමානකාරයන්ට විතර යි. එක අතකින් බැලූ විට විප්ලවීය පත්තරයක් නසන්න වෑයම් කර කිච වුණ එකෙක් ඒ ජාතියෙ ම එකෙකු වීරත්වයෙන් සැලකීම අරුමයක් නො වේ. (මේ මා ඔවුන් කරන්නට උත්සාහ කරන ආකාරයේ වෙබ් අඩවියක් හරියට කරන හැටි සම්බන්ධයෙන් කලම්බු ටෙලිග්‍රාෆ් ආදර්ශයට ගන්නැයි කියූ විට දැක්වූ ප්‍රතිචාරයයි. මෙතන කර තිබෙන නම් විපර්යාසය ගැන සිතන විට ලංකාවේ වාමාංශික දේශපාලන යටිතලයේ ඇති කුලවාදය ගැනත් අවධානය යොමු කරන්න.) උ‍ඹ කියන්න කියන්න කියමින් මතුගම ටෙලිග්‍රාප් එකක් අටවා ගත්තාට උඹට කලම්බු ටෙලිග්‍රාප් එකට ලියන ආකාරයේ විද්වත් මණ්ඩලයක් ලැබෙන්නේ නැහැ. මොක ද මහින්දපාල එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? ජෙහාන් එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? හූල් එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? නැහැ නෙ? අඩු ම ගණනේ රැඩිකල් අදහස් තිබෙන ලස්සන චරිතයක් වන ශාමිනි සේරසිංහවත් එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? නැහැ නේ? (ඔවුන්ගේ වීරයන්ගේ නම්වලින් ප්‍රකාශ වන්නේ පහළ මධ්‍යම පංතියෙන් පැවත එන විධිමත් අධ්‍යාපන සුදුසුකම් නැති මෙම වාමාංශිකයන්ට තිබෙන ඉහළ මධ්‍යම පංතික ආසාවන් ය.) 

උඹට කොහොමත් වැඩි කාලයක් අපේ තරුණ පරම්පරාව නොමඟ යවන්න ‍බැරි බව පෙනෙනවා. මොක ද අක්ෂය කියලා ආකර්ෂණීය කතිකා මණ්ඩපයක් දැන් තරුණ පරම්පරාව සඳහා තිබෙන නිසා. (අක්ෂය කණ්ඩායම කැමති නම් තමන් නො කරන විප්ලව අනුන් ලවා කරවන්නට තතනන මොවුන්ගෙන් පරිස්සම් විය හැකි ය. මේ වන විට, ඔවුන් අක්ෂය වටා පොදිකමින් ඔවුන් අන්දමන්ද කර ඇති බව පෙනේ. ලංකාවේ දේශපාලනය කරන්නට මාසෙකට රු. 10,000ක් බැගින් මාස තුනක් අඛණ්ඩව මොවුන් වෙතින් ගෙන්වා ගැනීමට හැකි නම් ඒකත් ලොකු දෙයකි.) අපේ පරම්පරාවේ සුමනේ වුණත් අක්ෂයට කැමති යි. (වැඩිපුර ම පරිස්සම් විය යුතු චරිතයක් වන්නේ මේ සුමනේ ය. සුමනේ ගැන තේරුම් ගන්නට සුමනේගේ ඉතිහාසය අධ්‍යයනය කර බලන්න. සුමනේගේ විශ්‍රාම සැලසුම සකස් කිරීමේ වගකීම භාර ගැනීමට උනන්දු නො වන්න.) උඹ නැති වෙන අනෙක් කාරණය තමා මේ දිනවල පෙරටුගාමින්ගේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන න්‍යාය හා භාවිතාව පිළිබඳ ප්‍රබල සංවාදය. (වෙනත් කණ්ඩායම්වල අභ්‍යන්තරයට මැදිහත් වී ඒවා තුළ වියවුල් ඇති කර විනාශ කිරීමේ ඉතිහාසයක් මොවුන්ට තිබේ. වැඩිදුර විස්තර දියැසේ වසන්ත දිසානායකගෙන් අසා දැන ගත හැකි ය.) යම් විධියකින් පුබුදු ජයගොඩ සහෝදරයා ප්‍රමුඛ පිළ පුළුල් සමාජ ක්‍රියාකාරීත්වයක් ලෙස පෙරටුගාමී දේශපාලනය සමාජගත කළහොත් උඹේ බොරු සෝබන සියල්ල අවසන් පැරා. එතකොට තමා උඹට සිද්ධ වෙන්නේ ඇත්තට ම අනිච්චාවත සංඛාරා කියලා ඩබ්ලිව් තුන ලංකා එකේ දා ගන්න. (මේ වනාහි බළලුන් ලවා කොස්ඇට බාවා ගැනීමේ අරමුණින් කරන මරණීය තර්ජනයකි. මීට පෙර ඔවුන් උත්සාහ කළේ මහින්ද රාජපක්ෂ පාලනය මගින් මෙය ඉටු කර ගන්නටයි.) උඹ කාලයකට පෙර උඹ ම එහෙම දා ගෙන ප්‍රචාරණයක් ගත්ත නිර්ලජ්ජිත වැඩේ මතක ඇති නේ ද උඹට?

අනාගත පරපුරේ සුරක්ෂිතතාව සඳහා අපි අජිත් පැරකුම් ජයසිංහගේ කුලී ව්‍යාපෘතිය බිඳ දමන්නෙමු. උඹේ කිච වැඩ ගැන අප ලියූ සියලු දේ උඹේ නම යමෙක් ගූගල් කළ සැණින් මතු ව එන බව මතක තබා ගනිං පැරා. (මා දැන් මගේ නම ගූගල්හි සිංහලෙන් විමසා බැලූ විට ප්‍රතිඵල 15,400ක් ඇති බව දක්නට ලැබිණි. පිටුවක් දෙකක් බැලුවෙමි. අවුලක් නැත. ඔබත් කැමති නම් බලන්න.) උඹ වීරයා නම් උඹේ මය අනුකාරක කියන්න කියන්න එකේ කමෙන්ට්ස් දමන්න පහසුකම සපයපං. එක සතියෙන් කියන්න කියන්න ඉවරයි ඉවරයි කරලා පෙන්වන්නම්. (මෙසේ කියන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන මාධ්‍යවේදියෙකි. එහි කමෙන්ට් දමන්නට පුළුවන. ඒ සඳහා යම් මූලික සාක්ෂරතාවක් අවශ්‍ය ය.) දැන් ඉතිං පිනක් දහමක් කර‍ ගෙන හිටපං පැරා. (මොවුන්ගේ ආගම් අතර මාක්ස්වාදය පමණක් නො ව, බුද්ධාගම හා ක්‍රිස්තියානිය ද තිබේ. අපට ආගම් නැත.) 

අප මෙම පරිකතාව මෙසේ විශ්ලේෂණය කර දක්වන්නේ ම අනාගත පරම්පරාවලට මේවා කියවා තමන්ගේ කටයුතු ගැන නැවත, නැවතත් සිතීමෙහි අවස්ථාව ලබා දීමටයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-10-21

තේ වතු තව දුරටත් ඕනෑ ද?

අජිත් පැරකුම් ජයසිංහ, රාවය, 2016-10-23
ලංකාවේ වතු කම්කරුවන් යනු තවමත් වහල්භාවයෙන් නො මිදුණු ප්‍ර‍ජාවකි. ජීවත් වීමට දිනකට රු. 1000කට වැටුපක් ඉල්ලා ඔවුන් කළ අරගලය ඔවුන්ගේ වැටුප රු. සිට රු. 730 දක්වා පමණක් වැඩි වීමෙන් අවසන් වූ බව මාධ්‍ය වාර්තා කරයි. ඇතැමෙක් එය ජයග්‍රහණයක් ලෙස ද තවත් අය එය පරාජයක් ලෙස ද සලකති. රු. 730ක දෛනික වැටුපක් වර්තමාන ජීවන වියදම සමග සැසඳෙන්නේ නැති බව පැහැදිලි ය.

වතු කම්කරුවෙකුගේ කලින් තිබූ දෛනික වැටුප රු. 620කි. ඉන් මූලික වැටුප රු. 450 කි. දිරි දීමනා වශයෙන් රු. 30 ක් වැටුපට එක්වන අතර තවත් රු. 140ක් පැමිණීමේ දීමනාව වශයෙන් ලබා දෙන ලදී.පැමිණීමේ දීමනාව වන රු. 140 ලබා ගැනීම සඳහා 75‍% ක පැමිණීමේ ප‍්‍රතිශතයක් සම්පූර්ණ කළ යුතු ය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.730 දක්වා වැඩි කරනු ලැබුවේ මෙසේ ය: මූලික වැටුප රු. 500 දක්වා වැඩි කර ඇත. දිරි දීමනාව රු. 60 දක්වා ද, පැමිණීමේ දීමනාව රු. 170 දක්වා ද වැඩි කර තිබේ.

මෙම වැටුප ලබා ගැනීම සඳහා කම්කරුවකු විසින් දිනකට තේ දළු කිලෝ 18-20 අතර ප‍්‍රමාණයක් නෙළිය යුතු ය. රබර් කිරි කැපීම හා වෙනත් වතු කම්කරු රැකියා සම්බන්ධයෙන් ද මෙවැනි ඉලක්ක තිබේ. වතු කම්කරුවන්ට වැඩ ලැබෙන දින ගණන තීරණය වන්නේ වත්තේ ස්වභාවය අනුවයි. ඇතැම් වතුවල කම්කරුවන්ට මාසයකට දින 14ක්වත් වැඩ ලැබෙන්නේ නැත. වතු කම්කරුවන් ගැන කතා කරන විට අපගේ ද අවධානය වැඩි වශයෙන් යොමු වන්නේ තේ වගාව ආශ්‍රිත කම්කරුවන්ට ය. එහෙත්, රබර්, පොල්, කුරුඳු, දුම්කොළ, කුළුබඩු හා ඔයිල්පාම් වැනි වගාවන් ආශ්‍රිත වතු කම්කරුවෝ ද සිටිති. ඔවුන්ට වෙනස් ජීවනෝපාය ගැටලු තිබේ. ඒ කෙරෙහි අවධානයක් යොමු නො වන තරම් ය.

මෙම වැටුප් වැඩිවීම සඳහා අදාළ වන සාමූහික ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2015 අප්‍රේල් මාසයේදී ය. දෙවසරක් වෙනුවෙන් වන 2013දී අත්සන් කරන ලද සාමූහික ගිවිසුම 2015 මාර්තු මාසයෙන් කල් ඉකුත් වුවත්, පුරා වසර එකහමාරක් ගත වන තෙක් වතු සේවක වැටුප් සම්බන්ධයෙන් සාමූහික ගිවිසුමකට එළඹීමට සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අසමත් විය. ඒ වෙනුවෙන් සාකච්ඡා වට 20කට වඩා පවත්වන ලද බව වාර්තා වේ. අවසානයේදී සිදු වූයේ වතු කම්කරුවන්ට හිමි විය යුතුව තිබූ වැටුප් වැඩි වීමක් වසර එකහමාරක් තිස්සේ ම අත්හිටුවා තිබීමයි.

වතු කම්කරු දෛනික වැටුප ඇත්තෙන් ම වැඩි කර තිබෙන්නේ රු. 50කින් පමණි. ඒ රු. 450 සිට 500 දක්වා ය. බොහෝ මාධ්‍ය මෙම යථාර්ථය වාර්තා කළේ නැත. වතු සමාගම් වැටුප් වැඩි කිරීමකට එකඟ වූයේ නැත. ඔවුන් කියන්නේ වතු පාඩු ලබන බවයි. හාම්පුතුන්ට අවශ්‍ය ජීවන වියදම මත නො ව, ඵලදායිතාව මත පදනම් වූ වැටුප් ය.

වතු හාම්පුතුන් ඒ සම්බන්ධයෙන් දොස් පවරන්නේ ශ්‍රමිකයන්ටයි. කෙන්යාව, ඉන්දියාව වැනි රටවල වතු කම්කරුවන් දිනකට දළු කිලෝ 30කට වඩා නෙළද්දී, ලංකාවේ වතු කම්කරුවන් නෙළන දළු ප්‍රමාණය කිලෝ 20ට අඩු බව ඔවුහු පෙන්වා දෙති. එහෙයින් සමස්ත නිෂ්පාදන වියදමින් 70%ක් ශ්‍ර‍ම වියදම් බව ඔවුහු පවසති. එහෙත්, කම්කරු නායකයන් පෙන්වා දෙන්නේ එයට හේතුව වැරදි කළමනාකරණය හා නව තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය නො කිරීම බවයි.

තේ වගාවේ භූමි ඵලදායිතාව ද ඉතා අවම ය. ලංකාවේ තේ හෙක්ටෙයාරයකින් ලබන වාර්ෂික අස්වැන්න කිලෝ 1700ක් වෙද්දී තරගකාරී ඉන්දියාවේ හා කෙන්යාවේ එය 2000 ඉක්මවයි. එයටත් වග කිව යුත්තේ කම්කරුවෝ ද? නැත. එයට වගකිව යුත්තේ යටත් විජිත යුගයේ බොරු සෝබනය පවත්වාගෙන යන්නට අසරණ උත්සාහයක් දරන ලංකාවේ ඊනියා ප්ලාන්ටර් වෘත්තිකයන්, කළමනාකරණය හා නිසි ආයෝජන නො කර, මුඩු පොළවෙන් ලාභ ලබන්නට බලාගෙන සිටින වතු සමාගම් ය.

2016 තේ නිෂ්පාදනය කිලෝ මිලියන 300ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය වසර 2000න් පසු අඩු ම අස්වැන්නයි. එයින් අපේක්ෂිත ඩොලර් මිලියන 843 ආදායම ද 2007න් පසු අවම ආදායමයි.

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධාන තේ වෙළඳපොළවල් වන මැද පෙරදිග හා රුසියාව ආශ්‍රිතව මතු වී තිබෙන දේශපාලන කැළඹිලි තේ මිළ අඩු වීමට හේතු වී ඇති බවයි කර්මාන්ත මෙහෙයුම්කරුවන් පවසන්නේ. මැද පෙරදිග හා රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධාන තේ ගැනුම්කාර රාජ්‍ය දෙකක්. ශ්‍රී ලංකා තේවලට ඉහළ පෙළේ යුරෝපා වෙළඳපළෙහි විශාල අලෙවියක් නැත.

ආර්ථික සංගණනය යටතේ 2014 වසරේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීමේදී තේ වගාව කුඩා ගොවිකාරක අංශය හා වතු අංශය ලෙස ප්‍ර‍වර්ග දෙකක් ලෙස දක්වා තිබේ. ඒ අනුව අක්කර 20ට වැඩි තේ වගා තේ වතු ලෙසත්, අක්කර 20ට අඩු, පර්චස් 40ට වැඩි තේ වගා කුඩා තේ වතු ලෙසත් හඳුනාගෙන ඇත. කුඩා තේ වතු හිමියන් බොහෝ විට පවුලේ අයගේ හෝ බාහිර කම්කරුවන්ගේ හෝ සහයෝගය ඇතිව තමන්ගේ ඉඩමේ ම වැඩ කරන ගොවීන් පිරිසක් ලෙසත් හැඳින්විය හැකි ය.

මේ වන විට ලංකාවේ තේ හා රබර් කර්මාන්තයේ වැඩි පංගුවක් අයිති කුඩා වතු හිමියන්ටයි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 2012 වාර්ෂික වාර්තාවේ සඳහන් වන ආකාරයට එම වසරේ ජාතික තේ නිෂ්පාදනය වූ කිලෝග්‍රෑම් මිලියන් 326.27න් 71.4%කට ම දායක වුණේ කුඩා තේ වතු අංශයයි. 2012 වන විට කුඩා තේ වගාකරුවන් 390,346ක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන තිබුණි. 2014 වන විට කුඩා තේ වතු අංශය යටතේ ශ්‍රී ලංකාව තුළ තේ වගා කර තිබෙන මුළු බිම් ප්‍ර‍මාණය අක්කර 300,885ක් (හෙක්ටෙයාර් 121,764) බව ආර්ථික සංගණනයේදී වාර්තා විය.

වතු වගාව යටතේ තේ වගා කර තිබෙන බිම් ප්‍ර‍මාණය අක්කර 234,124ක් වෙනවා (හෙක්ටෙයාර් 94,749). 2002 වසරේ කෘෂි සංගණන දත්ත සමග සන්සන්දනය කළ විට 2014 වන විට වතුවල තේ වගා කළ බිම් ප්‍ර‍මාණය අක්කර 59,814කින් හෙවත් මුළු බිම් ප්‍ර‍මාණයෙන් 20.3%කින් අඩු වී තිබෙන බව දක්නට ලැබේ. වතු අංශයේ වැඩිම තේ වගාව දක්නට ලැබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේයි. 1970 වසරේදී රජයට පවරා ගන්නා ලද මෙම වතුවලින් වැඩි ප්‍රමාණයක් 1990 දශකයේදී නැවත සමාගම්ලට බදු දෙන ලදී. සමාගම්වල ඉල්ලීම අනුව බදු කාලය ද අවුරුදු 99 දක්වා දීර්ඝ කරන ලදී. එහෙත්, එය වැවිලි කර්මාන්තයේ දියුණුවට හේතු වී ඇති බවක් දක්නට ලැබෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ තේ වගාව ආශ්‍රිතව සෘජුව හා වක්‍ර‍ව ජීවනෝපාය සලසා ගන්නා පිරිස ලක්ෂ 30ක් පමණ වන බව මාධ්‍ය වාර්තා පවසයි. එය ලංකාවේ සමස්ත ජනගහණයෙන් 10%කට වැඩි ය. ඔවුන් අතරින් බහුතරය කාන්තාවන් වීම ද සුවිශේෂ තත්වයකි.

2012 වසරේ නිල ජන හා නිවාස සංගණන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 4.4%ක් ජීවත් වන්නේ වතු ආශ්‍රිතවයි. වතු කම්කරුවන් බහුතරයක් පාරම්පරිකව ජීවත් වන්නේ ඉතා අඩු පහසුකම් ඇති ලයින් කාමරවලයි. වයස අවුරුදු 5ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ගෙන් වැඩිම පිරිසක් වතු කම්කරු ජනතාවගේ දරුවන් ය. එසේම,රක්ත හීනතාවයෙන් පෙළෙන ගර්භනී මව්වරුන්ගෙන් වැඩිම පිරිසක් වන්නේ ද වතු කම්කරු පවුල්වල ගැහැනු ය. උපතේදි වැඩිම දරු මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේද වතු කම්කරු ප්‍රජාවෙනි. එහෙත්, මේ වන විට වතු කම්කරු රැකියා සඳහා ඇති අවස්ථා සංඛ්‍යාව මෙන් ම, ඒ වෙනුවෙන් තිබෙන ඉල්ලුම ද ශීඝ්‍රයෙන් අඩු වී යමින් තිබේ. මේ වන විට වතු කම්කරුවන් ලෙස සැලකිය හැකි ශ්‍රමිකයන් සංඛ්‍යාව දෙලක්ෂයක් පමණ වේ. ඔවුන් බහුතරයක් සේවය කරන්නේ වතු සමාගම් 23ක ය.

මෙම කම්කරුවන්ගෙන් ද 25%ක් පමණ කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කරන්නන් වන අතර ඔවුන්ට වැටුප් ගෙවන්නේ නෙළන දළු ප්‍රමාණය අනුව ය. එම දෛනික වැටුප රු. 730ට වඩා වැඩි ය. එහෙත්, ඔවුන් වෙනුවෙන් වතු සමාගම් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායකත්වයන් සපයන්නේ නැත. මෙම කම්කරුවන් ලබා ගන්නේ වතුවල ම ජීවත් වන කංකානම්වරුන් ලෙස හැඳින්වෙන ශ්‍රමබල සපයන්නන් කොන්ත්‍රාත්කරුවන් පිරිසක් හරහා ය.

මේ වන විට තේ හා රබර් ආශ්‍රිත වැවිලි කර්මාන්තය තිබෙන්නේ දරුණු අර්බුදයක ය. වතු සමාගම් පවසන ආකාරයට අර්බුදයට හේතුව ශ්‍රම ඵලදායීතාව කෙන්යාව, ඉන්දියාව වැනි රටවලට වඩා අඩු වීම එයට ප්‍රධාන හේතුව බවයි. එයින් නිෂ්පාදන වියදම් අධික වන නිසා ඒ රටවල් සමග තරග කිරීම දුෂ්කර බව ඔවුහු පෙන්වා දෙති. වතු කම්කරු වැටුප් ඒ තරම් සුවිසල් නම්, ඔවුන්ට ඉතා හොඳ ජීවන තත්වයක් හිමි විය යුතු ය. එහෙත්, එවැනි සමෘද්ධියක් වතු කම්කරු ප්‍රජාව අතර නැති බව කියන්නට සංඛ්‍යාලේඛන අවශ්‍ය නැත. රජයේ ඉඩම් බදු ගෙන සිටින වැවිලි සමාගම් දැන් වතු වගාව සම්බන්ධයෙන් රජයෙන් සහන ඉල්ලා සිටින තත්වයක් මතු වී තිබේ.

සමාගම්වලට ලාභයකුත් නැති, කම්කරුවන්ට සියවස් එකහමාරක් තිස්සේ කාලකන්නිකම හැර අන් යමක් අත් කර නො දුන්, භූමි ඵලදායිතාව ඉතා අඩු, පාරිසරික වශයෙන් ද විනාශකාරී වතු වගාව තව දුරටත් මේ අන්දමින් කරගෙන යාමේ තේරුමක් තිබේ ද යන්න කල්පනා කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතු ය. වතු කර්මාන්තය පිළිබඳ තක්සේරුවක් කිරීම සඳහා ජාත්‍යන්තර විගණන සමාගමක සේවය ලබා ගැනීමට රජය මේ වන විට පියවර ගෙන තිබේ. එහෙත්, වතු කර්මාන්තය යනු හුදෙක් ව්‍යාපාරික විගණනයකින් හෝ තක්සේරුවකින් හෝ පමණක් තේරුම් ගත හැකි ක්ෂේත්‍රයක් නො වේ. එ් සම්බන්ධ සමාජ විද්‍යාත්මක අධ්‍යයන ද වැදගත් ය. එසේම, කුඩා තේ වතු කර්මාන්තයෙහි තිබෙන සාපේක්ෂ සාර්ථකත්වය කෙරෙහි ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. පසුගිය දිනවල කුඩා තේ වතු හිමියන්ට දළු කිලෝවකට ගෙවන මුදලේ වාර්තාගත වැඩි වීමක් දක්නට ලැබුණු බව මාධ්‍යවල වාර්තා වුයේ නැත.

වැවිලි කර්මාන්තය ආශ්‍රිතව පුළුල් අධ්‍යයනයක් අවශ්‍ය ය. එහිදී ආර්ථික කාරණා පමණක් නො ව, සමාජ, සංස්කෘතික, ජනවාර්ගික, පාරිසරික ආදී සෑම අංශයක් කෙරෙහි ම ගැඹුරු අවධානයක් අවශ්‍ය ය. අනාගත ප්‍රතිපත්ති සම්පාදනයෙහිදී එය ඉතා වැදගත් ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-10-20

වතු කම්කරුවන්ගේ වැටුප ඇත්තට ම වැඩි වුණා ද?

19වන සියවසේදී මේ කම්කරුවන්ගේ මුතුන් මිත්තන් ලංකාවට ගෙන ආවේ ඉන්දියාවේ රාමනාදපුරම්, මානමදුරෙයි වානි දුගී දිස්ත්‍රික්කවලින් බව ද, ඔවුන් මෙරටට ගෙන ආවේ ශ්‍ර‍ම සැපයුම්කරුවකු කංකානම්වරයකුගේ යටතේ බව ද මාධ්‍යවේදී එස්. පියසේන ඔක්තෝබර් 14දා ලංකාදීප පුවත්පතේ සිය ආවර්ජන කොලමේ සඳහන් කරයි.

එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට 1939දී නුවරඑළියේ උඩහේවාහැට වතුයායක කම්කරුවන් සිය දෛනික වැටුප සත 40 සිට 45 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කරන ලද අරගලයේදී පොලිසිය කළ වෙඩි තැබීමෙන් ගෝවින්දන් නම් කම්කරුවා මිය ගියේ ය. ඒ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද පළමු ලාංකික කම්කරුවා විය හැකි ය.

මෙම ඝාතනයේ වගකීම එවකට ස්වදේශ කටයුතු ඇමති ඩී.බී. ජයතිලක මත පැටවීමට ආණ්ඩුකාවරයා ගත් තීරණයට විරුද්ධව ඇමතිවරුන් හත්දෙනෙක් ඉල්ලා අස් වූ හ.

පසුව මෙම ඝාතනයට වැරදිකරු පොලිස්පති බව තීරණය කරන ලදී. වතු කම්කරු ඉල්ලීම ද ලබා දෙන ලදී.

මෙම ඉතිහාස කතාව ද සටහන් වන්නට ඇත්තේ පසුගිය සතිවල වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවලට සමගාමීව ය. වතු කම්කරු දෛනික වැටුප රු. 730 දක්වා වැඩි කරන සාමූහික ගිවිසුමක් අත්සන් කරන ලද බව එයින් කියැවිණි. එහෙත් එය සත්‍යයක් නො වේ.

වතු කම්කරුවෙකුගේ කලින් තිබූ දෛනික වැටුප රු. 620කි. ඉන් මූලික වැටුප රු. 450 කි. දිරි දීමනා වශයෙන් රු. 30 ක් වැටුපට එක්වන අතර තවත් රු. 140ක් පැමිණීමේ දීමනාව වශයෙන් ලබා දෙන ලදී.පැමිණීමේ දීමනාව වන රු. 140 ලබා ගැනීම සඳහා 75‍% ක පැමිණීමේ ප‍්‍රතිශතයක් සම්පූර්ණ කළ යුතු ය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.730 දක්වා වැඩි කරනු ලැබුවේ මෙසේ ය: මූලික වැටුප රු. 500 දක්වා වැඩි කර ඇත. දිරි දීමනාව රු. 60 දක්වා ද, පැමිණීමේ දීමනාව රු. 170 දක්වා ද වැඩි කර තිබේ.

මෙම වැටුප ලබා ගැනීම සඳහා කම්කරුවකු විසින් දිනකට තේ දළු කිලෝ 18-20 අතර ප‍්‍රමාණයක් නෙළිය යුතු ය. රබර් කිරි කැපීම හා වෙනත් වතු කම්කරු රැකියා සම්බන්ධයෙන් ද මෙවැනි ඉලක්ක තිබේ. වතු කම්කරුවන්ට වැඩ ලැබෙන දින ගණන තීරණය වන්නේ වත්තේ ස්වභාවය අනුවයි. ඇතැම් වතුවල කම්කරුවන්ට මාසයකට දින 14ක්වත් වැඩ ලැබෙන්නේ නැත.

වතු කම්කරු දෛනික වැටුප ඇත්තෙන් ම වැඩි කර තිබෙන්නේ රු. 50කින් පමණි. ඒ රු. 450 සිට 500 දක්වා ය. බොහෝ මාධ්‍ය මෙම යථාර්ථය වාර්තා කළේ නැත.

වතු කම්කරු වැටුප් අර්බුදය හා වැවිලි කර්මාන්තයේ ගැටලුව ගැන ලිපියක් රාවය පුවත්පතට ලියමින් සිටිමි. එය හෙට මෙහි පළ කරනු ලැබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-10-19

සෘජු විදේශ ආයෝජනත් නැති නම් රජයේ ආර්ථික උපායමාර්ගය ඵලදායී ද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් මහ බැංකු වාර්තාව උපුටා දක්වමින් පළ කරන ලද පහත සඳහන් වාර්තාව සමග රජයේ ආර්ථික උපායමාර්ගය පිළිබඳ බරපතල ලෙස සලකා බැලීමට සිදු වන තත්වයක් නිර්මානය වී තිබේ.

මේ වසරේ (2016) මුල් මාස හයේදී ලද සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ගිය වසරේ (2016) මුල් මාස හයට සාපේක්‍ෂව සියයට 37.1 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

මේ අනුව ගිය වසරේදී (2016) මුල්මාස හයේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 533.8 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය මේ වසරේ (2016) මුල් මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 335.9 ක්‌ දක්‌වා අඩු වී ඇත.

ඉහත වගුව පෙන්වා දෙන ආකාරයට 2014 වසරේ මුල් මාස හයට  සාපේක්ෂව 2016 වසරේ මුල් මාස හයෙහි සෘජු විදේශ ආයෝජනවල කඩාවැටීම 50% ඉක්මවයි. 

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික උපායමාර්ගය තුළ ප්‍රධාන මූලෝපායක් වන්නේ සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමයි. රජයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද පුන පුනා කියන්නේ ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගම වැනි සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ගැන ය.

එපමණක් නො ව, අගමැති, ජනාධිපති, ඇමතිවරු හා නිලධාරීන් කෙළවරක් නැතිව රට යන්නේ ද මෙකී මූලික අරමුණ පෙරදැරි කරගෙන ය. 

රජය සිය මූලික ආර්ථික උපායමාර්ගයෙහිදී මෙතරම් අසාර්ථක නම්, එයට හේතු වහා විමසා බැලිය යුතුව තිබේ.

2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය වෙනස් කරමින් මේ රටේ ජනතාව විසින් තබන ලද බලාපොරොත්තු අතර ආර්ථිකය සංවර්ධනය කිරීම හා ණය බරෙන් රට මුදවා ගැනීම ප්‍රධාන වේ. මේ වන විට මේ දෙකම සිදු වන්නේ නැත. රජය කරමින් සිටින්නේ එදිනෙදා ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා තව තවත් ණය ගැනීමයි. 

අනෙක් පැත්තෙන්, යහපාලනය, නාස්තිය හා දූෂණය දුරලීම යන කාරණා පැත්තෙන් ද ආණ්ඩුව බලාපොරොත්තු සුන් කරමින් තිබේ.  

ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සිදු කිරීම යන කාරණය ද කොට උඩ යැව්වොත් 2015 ජනවාරි 8 වෙනස අවලංගු වී යන බව නිසැක ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.