2016-11-29

මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට

හදිසි අනතුරකින් මව්පියන් මිය ගිය, එම අනතුරින් ම අසාධ්‍ය තත්වයට පත්, වයස මාස තුනක්, හතරක් වන දරුවෙක්. (ඡායාරූපය: පුෂ්පා සොයිසා)
විශ්වාස කරන්න දඩය රු.25000 කරා විතරයි සාමාන්‍යයෙන් එන ප්‍රමාණයට වඩා දිනකට රෝගීන් 100 ක්ම අඩු වෙලා.......

ඒ කියන්නෙ මේ දවස් වල දිනකට 350 ක් විතර හදිසි අනතුරු වලට ලක්වී ප්‍රතිකාර ගන්න එනවා. ඒත් මේ දවස් ටිකේ 250ටත් අඩුයි.........

මේ අවුරැද්දෙ ජනවාරි සිට අද දක්වා විවිධ අනතුරු හේතුව‍ෙන් පැමිණි රෝගීන්ගේ සංඛ්‍යාව 92‍,979 ක්. මෙම ප්‍රමාණයෙන් 15-17%ක් පමණ රිය අනතුරු වෙනවා.

ඔබත් අනතුරකට ලක් වූවොත් පමණක් අනතුරු වළක්වන්න කියන හඬට එකතු වේවි......

ඒත් අත පය අහිමි වී..... ජීවිත නැති වී ඔවුන් විඳින දුක මටවත් ප්‍රකාශ කළ නොහැක්කේ එය වචන ශක්තිය ඉක්මවන්නක් බැවිනුයි....

එකතු වෙන්න මේ මාරයාගෙන් මිනිසුන් බේරන්න.......

මහපාරේ 75%ක් ම පුද්ගල හේතු සාධක නිසා සිදු වන අනතුරු නිසා විනය තුළින් එය වළක්වා ගත හැකිනම් එයත් ලොකු වෙනසක් .......

මේ සටහන තබා තිබුණේ මාධ්‍යවලින් ඔබ නිතර දකින ජාතික රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා ය.

පහත ඡායාරූපය ගනු ලැබුවේ අපගේ පාඨකයකු විසින් මාතර නගරයේදී ය.

ඔහු එවූ සටහන මෙසේ ය:

ඊයෙ රෑ මාතර බස් නැවතුම්පොලේ දී ත්‍රී වීලර් සහ පුද්ගලික බස් සෙට් එක යන රස්තියාදු කාරයො එකතුවෙලා හැම බස් එකකම, ත්‍රී වීලරයක, ට්‍රක්, ඩිමෝ බට්ටො යන වාහනවල මේ පොස්ටරය ඇලෙව්වා..කුනුහරුප  කිය කියා.

බලන්න මේකට එරෙහි වන සෙට් එක දිහා
1.අන්තර් පලාත් පුද්ගලික බස් සංගමය
2.සමස්ත ලංකා පුද්ගලික බස් සංගමය
3.දකුණු පලාත් බස් රථ සමාගම් සම්මේලනය
4.සියලුම සී/ස මගී ප්‍රවාහන සමාගම්
5.සමස්ථ ලංකා අන්තර් පලාත් පාසල් ප්‍රවාහන සංගම්
6.ජාතික ඒකාබද්ධ ත්‍රී රෝද රථ රියදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සමිතිය.

මරු සෙට් එක නේද?
රජයේ ............... ......................ගේ සංගමය
රාජ්‍ය ................. ........................න්ගේ සංගමය
...................... .............................. ................................
ආදී සංගම් මේකට සම්බන්ධ වුනානම් ලංකාවේ ජඩ සෙට් එක සර්ව සමපූර්ණයි.

මෙම දඩ මුදල් ලංකාවට ගැලපේ ද නො ගැලපේ ද යන්න වෙන ම ප්‍ර‍ශ්නයකි. එහෙත්, මෙවැනි උද්ඝෝෂණ පාරේ දකුණෙන් ඉස්සර කරන්නට, රේල් පාරවල් හරහා කැමති ලෙස වාහන ධාවනය කරන්නට, අධි වේගයෙන් යන්නට, රියදුරු බලපත් නොමැතිව වාහන පදවන්නට, බීමත්ව රිය පදවන්නට අයිතිය ඉල්ලනවාට සමාන ය.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

කස්ත්‍රො මළා. අපත් මැරිලා ද?

කස්ත්‍රො මිය ගියා ය කියලා මට නම් කිසිම හැඟීමක් නැහැ. කොහොමත් අවුරුදු 90ක් ජීවත් වූ මිනිහෙකුගේ මරණය ගැන පවුලේ ඥාතියෙකුවත් දුක් විය යුතු නැහැ.එහෙම කෙනෙකු මිය ගියා ම පොඩි පාළුවක් වගේ දෙයක් තමයි තාවකාලිකව දැනෙන්නේ. දීර්ඝ කාලයක් ජීවත් වුණ පුද්ගලයා තමන්ට ලැබුණු කාලය තමන් කොහොම භාවිතා කළා ද කියන එක පෞද්ගලික දුකට, සතුටට හේතුවක් විතරයි.

මට කස්ත්‍රො ගැන ගුණකථන ලියන්න හිතෙන්නෙත් නැහැ. පස්සෙ කාලෙක මට බාර්වලදී පෞද්ගලිකව හමු වෙලා නැති විමල් කුමාර් ද කොස්තාව දැනෙන්නේ නැතුව ගියා වගේ අසූනමයෙන් පස්සෙ මට කියුබාවත් දැනෙන්නෙ නැතුව ගියා. ඒක නිකම් නිව්ස් එකක් විතරක් වෙලා ගියා.

හැබැයි මොකුත් නො ලියා හිටියොත් කට්ටිය හිතයි ද දන්නෙ නැහැ මං ධනවාදියෙක්, නවලිබරල්වාදියෙක් බ්ලා බ්ලා බ්ලා කියලා. මොකද, කවුරුහරි ප්‍රසිද්ධ පුද්ගලයෙකු හරි ලොක්කෙකු හරි මළා ම එයා ගැන කතා කරන එක ඉස්සර ඉඳලා ම තියෙන මෝස්තරයක්.

දැන් අපේ පරම්පරාවට කොහොමත් ඔබිචුවරි හෙවත් අවමංගල ශෝක ප්‍රකාශ තමයි උරුමය වෙලා තියෙන්නේ.

ලංකාවේ සාර්ථකව පවත්වාගෙන යන එක ම ප්‍රාදේශීය පුවත්පත තමයි උදයන්. ළඟදි දවසක් මං කිලිනොච්චියේ කාර්යාලයක තිබුණු උදයන් පත්තර මිටියක් පෙරළලා බැලුවා. ඒකෙ මං දැක්ක විශේෂ ම දෙය තමයි සෑම පත්තරයක ම මළවුන් වෙනුවෙන් පවුලේ ඥාති මිත්‍රාදීන් විසින් පළ කරන ලද ශෝක ප්‍රකාශ ගණනාවක් දැන්වීම් විදියට පළ වෙලා තිබෙනවා. ඒක එක්තරා සාහිත්‍ය ලේඛනයක්. ඒ වගේ ම මට පෙනුණු විදියට පුවත්පතේ ප්‍රධාන දැන්වීම් ආදායමත් ඒක.

මේ වැඩේ ඔය බෞද්ධ රූපවාහිනී නාලිකාත් කරනවා. කවුරුහරි මැරුණා ම ඒ අය වෙනුවෙන් රූපවාහිනියෙන් බණ කියන්නට සලස්වලා ඥාතීන්ගෙන් මුදල් අය කරනවා.

ලංකාවේ දර්ශනවාදීන්ගේ අවධානය මේ ඔබිචුවරි වගේ සීන්කෝන්වලටත් ඔන්න යොමු කළා ය කියල හිතාගන්නකෝ හිටං.

ඉතින් ආපහු ප්‍රස්තුතයට එමුකෝ. මං හිතන්නේ කස්ත්‍රෝ කියන්නේ සමාජවාදය වෙනුවෙන් අසාර්ථක පරීක්ෂණයක් කරපු තවත් කෙනෙක්. ඔහුත්, කිම් ඉල් සුංත් සමානයි. ඔවුන් තමන්ගේ පරීක්ෂණයේ නිරීක්ෂණ අවුල් වුණත්, පරීක්ෂණය අතහැර නො දා කරනවා. ඒක මාරයි කියලා කියන එක හරියට පරීක්ෂණයෙන් අපේක්ෂිත සත්‍යෙක්ෂණ නො ලැබෙන බව දැනගෙන ම උපන්‍යාසය අතහැර දමන්නේ නැතිව පරීක්ෂණ නලය දිගින් දිගට ම බන්සන් දාහකයට අල්ලගෙන ඉන්නවා වගේ වැඩක්.

ලෝක ඉතිහාසයේ සමාජවාදය හෝ වඩා යහපත් සමාජයන් වෙනුවෙන් කරපු සියලු පරීක්ෂණ අවුල්සහගත වෙන්නට පුළුවන්. අවසානයේ ලෝකය ඇවිත් තියෙන්නේ ඉබාගාතේ වගේයි කියා සිතෙන්නටත් පුළුවන්. සමාජවාදය තවත් ඒකාධිපතිවාදයකට ලඝු වෙනකොට, පෙරටුගාමී පක්ෂය තවත් ඒකාධිපතිවාදයක් පමණක් වන විට, අපි හිතුවා ප්‍රජාතන්ත්‍රවාදය වඩා දියුණුයි කියලා. ඒ වුණාට, දැන් එය බහුතරයේ වල් බූරු නිදහසක් බව බ්‍රෙක්සිට්, ට්‍රම්ප්, කොලොම්බියා ජනමතවිචාරණය වැනි උදාහරණ මගින් පෙන්වා දී තිබෙනවා.

මම හිතන්නේ චීනය, වියට්නාමය, නිකරගුවාව වගේ විප්ලව සිදු වුණ රටවල් කියුබාවට වඩා වෙනස් වුණේ වෙනත් පරීක්ෂණයකට මුල පුරපු නිසායි.

හැබැයි මම නම් හිතන්නේ මෙතන වැරැද්ද තියෙන්නේ උපන්‍යාසයේයි. සමාජවාදය කියා අපි අපේක්ෂා කරන්නේ මොකක් ද? සමාජවාදය කියන්නේ ධනපති පංතිය කන, බොන, අඳින, පළඳින, හිතන, දේශපාලනය කරන, සංවර්ධනය කරන විධියට ඒ දේවල් කරන්නට හැකියාව නිර්ධන පංතිය අතට ලබා ගැනීම ය කියන එක ද?

මට හිතෙනවා අපි තවමත් නතර වෙලා ඉන්නෙ අර්ථවත් ජීවිතයක් කියන්නේ මොකක් ද කියන ප්‍රශ්නෙ ගාව ය කියලා. සමාජවාදය වෙනුවෙන් දේශපාලනයත් ගිහින් තියෙන්නේ ඒ ප්‍රශ්නය මගහැර ගිය හෙවත් බයිපාස් කර ගිය පාරක.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-28

මහින්ද රාජපක්ෂ චීනෙට ගියේ NGO වැඩකටලු

මහින්ද රාජපක්ෂ ට්විටර් ගිනුමෙහි පළ වූ ඡායාරූපයකි
හිටපු ජනාධිපති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා චීන රජයේ ආරාධනයක් මත එරට සංචාරයක නිරත වූ බව ද එය මාර වැඩක් බව ද පසුගිය දිනවල රාජපක්ෂවාදීහු මාධ්‍ය ඔස්සේ ඔද වැඩූ හ.

එයින් නො නැවතුණු විමල් වීරවංශගේ හොරණෑව වන ලංකා සී නිව්ස් එය බීජිං වෙතින් ශ‍්‍රී ලංකාවට දෙන ලද දැඩි පණිවුඩයක් බව ද පැවසී ය. එහිදී පාදක කර ගනු ලැබුවේ ඉන්දීය ‘ද හින්දු’ පුවත් පතට මීරා ශ්‍රීනිවාසන් විසින් ලියන ලද අදහසකි. එම ලිපිය මෙතැනින්.

කොළඹ සිටින චීන තානාපතිවරයා සහ ශ‍්‍රී ලංකා රජය අතර ආතතීන් උපරිම වී ඇති තත්වයක් තුල මෙම සංචාරය ශ‍්‍රී ලංකාව තුල සිදුවන ඉන්දු-චීන සටනේ තීරණාත්මක පියවරක් යයි එම වාර්තාවන්හි දැක්වෙන බව ලංකා සී නිව්ස් සතුටින් පැවසී ය. 

මහින්ද රාජපක්ෂට රාජ්‍ය නායක මට්ටමේ පිළිගැනීමක් ලැබී ඇති බව ද රාජපක්ෂවාදීහු කියති. එසේම, ඔහු අද දින (28) චීන රාජ්‍ය නායකයන් හමු වන බව ද වාර්තා විය. ඒ බව තහවුරු වන වාර්තා හෝ ඡායාරූප තවමත් නිකුත් වී නැත.

එහෙත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්සී ක්සියැන්ලිං මේ ආතල් එක කුඩුපට්ටම් කර ඇත්තේ අනුකම්පා විරහිතව ය. 

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට, චීන තානාපතිවරයා රජයේ වගකිවයුත්තන්ට පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂට ආරාධනා කර තිබෙන්නේ චීන රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) විසින් බවයි. විදේශ රටවල හිටපු රාජ්‍ය නායකයන් මෙවැනි සැසි සඳහා කැඳවීම මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් කරගෙන යනු ලබන කාර්යයක් බව ඔහු පවසා ඇත. 

මහින්ද රාජපක්ෂ මේ වන විට මල් පොහොට්ටුව ලකුණින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක ජී.එල්. පීරිස්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ලොහාන් රත්වත්තේ සහ උදිත ලොකු බණ්ඩාර සමග චීන චාරිකාවක නියැලී සිටියි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-27

සෙම්බකප් පෙරුමාල් (සපුමල්) වීමේ සිට පැරකුම් පැරා වීම දක්වා ස්වීකරණ කතා

අවුෆ් ශෂී වීම
පහත දැක්වෙන නම් ලැයිස්තුව මා උපුටා ගත්තේ තරංගා කුලරත්න වෙතිනි.

  • සෙම්බකප් පෙරුමාල් (සපුමල්)
  • ජොආ ද ඔස්ට්‍රියා (විමලධර්මසූරිය)
  • කන්නසාමි නායක් (ශ්‍රී වික්‍රම රාජසිංහ)
  • වංශපූර්ණ දේවගේ ඩෙිවිඩ් (ගොංගාලේගොඩ බණ්ඩා)
  • ඉසබෙලා කොර්නේලියා (ගජමන් නෝනා)
  • ෆ්‍රැන්සිස්කෝ ෆනෑන්ඩු (පුරන් අප්පු)
  • ඩෙිවිඩ් හේවාවිතාරණ (අනගාරික ධර්මපාල)
  • රෆායෙල් තෙන්නකෝන් (රැපියෙල් තෙන්නකෝන්)
  • ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් (ආනන්ද සමරකෝන්)
  • ජෝසෆ් ජෝන් (සුනිල් ශාන්ත)
  • ඩේසි රාසම්මා ඩැනියෙල්ස් (රුක්මනී දේවි)
  • රීටා ජෙනෙවි ෆනෑන්ඩු (ලතා වල්පොල)
  • ඉවෝන් පෙරේරා (සන්ධ්‍යා කුමාරි)
  • රීටා අයිරින් ක්වියින් (ශාන්ති ලේඛා)
  • මොරිස් ඩයස් (චිත්‍රසේන)
  • ඇල්බට් පෙරේරා (අමරදේව)
  • පර්සි මහේන්ද්‍ර (මහින්ද රාජපක්ෂ)
  • බොනිෆස් පෙරේරා (රවීන්ද්‍ර රන්දෙනිය)
  • වසන්තා ඩොරින් පීටර්සන් (වසන්ති චතුරානි)
  • ෆැටිමා පතිරාජ (ගෝතමී පතිරාජ)
  • තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් (තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්)


කලක් ජනප්‍රිය නළුවකු වූ ශෂී විජේන්ද්‍රගේ කලින් නම වූයේ අවුෆ් ය. පසු කලෙක සිනමාවෙන් ඉවත් වූ ඔහු දැන් නැවතත් අවුෆ් යන නමින් මුස්ලිම් ජාතිකයකු ලෙස ජීවත් වෙයි.

මෙම ලැයිස්තුවට තවත් නම් එකතු කිරීමේ හැකියාව ඔබට තිබේ.

මෙහි නම් වෙනස් කිරීමකට අමතරව  ආගම්, ජාති වෙනස් කිරීම් ද තිබේ. වෙනත් ජාතීන්ට, ආගම්වලට අයත් පුද්ගලයන් සිංහල බෞද්ධයන් බවට මේ අන්දමින් වෙනස් වීම අප අර්ථකථනය කරන්නේ කෙසේ ද?

මෙසේ මිනිසුන් සිය කැමැත්තෙන් ජාතිය, ආගම, කුලය වැනි අනන්‍යතා ඉවත දමා අලුත් අනන්‍යතා වැළඳ ගැනීමේ ක්‍රියාවලිය ස්වීකරණය (assimilation) ලෙස හැඳින්වේ. ස්වීකරණය සඳහා බොහෝ විට හේතු වන්නේ සංක්‍රමණය, වෙළඳාම,  රැකියා, සංස්කෘතික අන්තර් සම්බන්ධතා ආදියයි. ස්වීකරණයේදී බොහෝ විට සිදු වන්නේ බහුතර හෝ බලවත් ප්‍රජාව තුළට සුළුතරයන් ස්වීකරණය වීමයි.

මෙහිදී ඉහත ලැයිස්තුවේ සඳහන් වන පුද්ගලයන් සිය අනන්‍යතා වෙනස් කරගෙන තිබෙන්නේ තමන්ට තිබෙන වෙළඳපොළ ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා යයි සැලකිය හැකි ය.

“මේක ඉතාම සිත්ගන්නා සුළු ලැයිස්තුවක්. ඇත්ත වශයෙන්ම පුද්ගල නම්වල විකාශය ඇසුරෙන් ලංකාවේ ඉතිහාසය ලිවීමට පුළුවන්. සිංහලයාගේ නම් තැබීමේ රටාවේ ව්‍යුහය මදක් විභාග කිරීමෙන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ මූලික සාරාත්මවාදී කියාපෑම් (existentialist claims) විසංයෝජනය කිරීමට පුළුවන්," යි මෙම ලැයිස්තුව පළ වූ තැන නිර්මාල් රංජිත් දේවසිරි සටහන් කළේ ය.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයන්හිදී සිංහලයෝ ද මහා පරිමාණෙන් සිය අනන්‍යතා වෙනස් කර ගත් හ.

මේ අතර, ලංකාවට පසුකාලීනව දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ කරාව, දුරාව කුලවලට අයත් ජනයා ද සිංහල අනන්‍යතාව තුළට ස්වීකරණය වූ හ.

සිංහලයන් මේ අන්දමින් දෙමළ, මුස්ලිම් සුළු ජාතික අනන්‍යතා තුළට ස්වීකරණය වූ අවස්ථා ද විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දක්නට ලැබේ.

උතුරු කොළඹ සිට හලාවත දක්වා වෙරළබඩ තීරයේ ක්‍රිස්තියානි දෙමළ ජනයා ද මේ අනදමින් ම සිංහල සමාජය තුළට ස්වීකරණය වෙමින් සිටිති.

එහෙත්, ස්වීකරණය යනු බලහත්කාරයෙන් කළ හැකි ක්‍රියාවක් නො වේ. එසේම සුමුදු ලෙස සිදු වන්නක් ද නො වේ.

ස්වීකරණය පිළිබඳ න්‍යායයන් රැසක් ඇත. 1920, 30 දශකවල චිකාගෝ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගත් සමාජ විද්‍යාවේ චිකාගෝ ගුරුකුලය විසින් සංවර්ධනය කරන ලද ස්වීකරණය පිළිබඳ ක්‍රියාවලි න්‍යාය අනුව එය සිදු වන්නේ සම්බන්ධකම් ඇති කර ගැනීම, ගැටුම්, ප්‍රතියෝජනය (accommodation) හා ස්වීකරණය යන ක්‍රියාවලිය හරහා ය.

කෙසේ වෙතත්, ස්වීකරණය යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. කිසිදු න්‍යායකින් එය පූර්ණ ලෙස පැහැදිලි කර නැති අතර, මානව සමාජයේ සංවර්ධනයත් සමග ස්වීකරණය සිදු වන ආකාරයන් ද වෙනස් වේ.

එසේම, ස්වීකරණය යනු ලෙහෙසියෙන් සම්පූර්ණ වන ක්‍රියාවලියක් ද නො වේ. ඇතැම් ප්‍රජාවන් යම් කාල පරාසයන් තුළ කිසි සේත් ම ස්වීකරණය වන්නේ ද නැත.

ස්වීකරණය පිළිබඳ මෙම සටහන තබන්නට හේතු වුණේ, පුළුල් දේශපාලන අනන්‍යතා සංවර්ධනය කිරීමෙහිදී ස්වීකරණය ඉතා වැදගත් නිසා ය. අප සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලන අනන්‍යතාවන් ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් පෙනී සිටින විට ස්වීකරණයේ ප්‍රවණතා කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය ය.

ස්වීකරණය ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තරිකව පමණක් සිදු වන ක්‍රියාවලියක් නො වේ. ලාංකිකයන් ලෝක ප්‍රජාව තුළ ස්වීකරණය වන ආකාරය හඳුනාගත හැකි සාධක ද තිබේ.

මා පාසල් යන සමයේ මගේ ගුරුවරයකුගේ පුතකුගේ නම සම්බන්ධයෙන් මතු වූ ආරාවුලක් තිබිණි. ගුරුවරුන් ද, ළමයි ද මෙම සිසුවා රෝහණ ලෙස ආමන්ත්‍රණය කිරීම ගුරුවරයාගේ අප්‍රසාදයට හේතු විය.

“රෝහණ නෙමෙයි අයිසෙ, රොහාන් රොහාාාන්," යි ගුරුවරයා කියයි.

රෝහණ කියනවාට වඩා රොහාන් කියන එක තුළ ජාත්‍යන්තර හෝ බටහිර ඌරුවක් තිබේ. මෙසේ නම් නවීකරණය කර ගත් අය රැසක් සිටිති.

රම්‍යා රමායා වීම, සන්ධ්‍යා සැන්ඩි වීම, කුමාර කුමා වීම, ජයසිංහ ජේ වීම, පැරකුම් පැරා වීම එවැනි නිදසුන් කීපයක් පමණි. නම් වෙනස් වන ආකාරය කොතරම් රසවත් ද යන්න කල්පනා කර ඔබේ අදහස් හා උදාහරණ ද මෙහි සටහන් කරන්න.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-25

ඉන්දීය මුදල් නෝට්ටු අවලංගුවේ කතාව

රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කරන්නට ඉන්දියා රජය ගත් හදිසි තීන්දුව ලෝකය පුරා ම අවධානයට ලක් වුණා. පැරණි නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු ලබා ගන්නට පෝලිමේ ගිය ජනයා අතර සිටි අගමැති මෝදිගේ මවගේ ඡායාරූපය ද ලොව පුරා ප්‍රසිද්ධ වුණා.

මේ වන විට ඉන්දීය රුපියලක් ශ්‍රී ලංකා රුපියල් දෙකකට වඩා වැඩියි. ඒ නිසා මෙම නෝට්ටු හරියට ලංකාවේ රු. 1000 නෝට්ටු හා රු. 2000 නෝට්ටු(?) අලුත් කරනවා වගේ වැඩක්.

ඉන්දියාවේ මහ බැංකුව වන සංචිත බැංකුව මේ අනුව අවලංගු කරන ලද නෝට්ටු කොළ බිලියන 20ක් කීතු කීතුවලට ඉරා දමා ඒ කැබලි ඉඩම් ගොඩ කිරීමට යොදා ගැනීමට නියමිතයි. පසුගිය මාර්තු වන විට ඉන්දියාවේ නෝට්ටු කොළ බිලියන 90ක් විතර සංසරණය වෙමින් තිබුණු බව වාර්තා වෙනවා. ඒ අතරින් සෑම නෝට්ටු පහකින් ම හතරක් එක්කෝ පන්සීයේ හෝ දාහේ කොළයි. මෙම පියවර ඉන්දියාවේ සල්ලි කොළවලින් 86%ක් ම අලුත් කිරීම හා සමානයි.

ඉන්දියාව තමයි ලෝකයේ දෙවන ලොකු ම මුදල් නෝට්ටු හා කාසි භාවිතා කරන්නා. එරට දෙවෙනි වන්නේ චීනයට පමණයි. ඉන්දියාව තමන්ගේ සල්ලි තමන් ම අච්චු ගසා ගන්නවා. නෝට්ටු මුද්‍රණාල හතරකුත්, කාසි වාත්තු ස්ථාන හතරකුත් ඉන්දියාව සතු වෙනවා.

එක රැයින් සල්ලි කොළ තහනම් කිරීමේ මෙම තීරණය ඉන්දීය රජය ගත්තේ දූෂණ හා කළු සල්ලි ජාවාරම් පිටුදකින්නටයි. කළු සල්ලි යනු යම් ගනුදෙනු මගින් උපයාගෙන, උපයා ගත් ආකාරය පැහැදිලි කිරීමට බැරි නිසා සඟවාගෙන සිටින සල්ලියි. 2007 වන විට ඉන්දියාවේ 24%ක පමණ කළු ආර්ථිකයක් පැවති බව ලෝක බැංකුව තක්සේරු කර තිබුණා.

මෙම පියවර මගින් සඟවා තිබෙන රුපියල් බිලියන ගණනක් ආපසු ආර්ථිකයට ලබා ගැනීමට හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තු වෙනවා. ආදායම් බදු වංචාකරුවන් හා වෙනත් ජාවාරම්කරුවන් විසින් බැංකුවල තැන්පත් නො කර සඟවාගෙන සිටින මුදල් මෙමගින් ආපසු ආර්ථිකයට ලැබෙනවා. එසේම, සංසරණය වෙමින් තිබෙන නීති විරෝධීව මුද්‍රණය කළ හොර සල්ලි ද භාවිතයෙන් ඉවත් වෙනවා. අලුතෙන් රු. 2000 නෝට්ටුවක් ද ඉන්දීය මහ බැංකුව විසින් හඳුන්වා දී තිබෙනවා.

සාමාන්‍යයෙන් කළු සල්ලි ජාවාරම්කරුවන් විසින් කරනු ලබන දෙයක් වන්නේ මුදල් නෝට්ටු දී රත්තරං මිළ දී ගෙන ඒවා සඟවා තබා ගැනීමයි. එහෙත්, ක්ෂණිකව මුදල් නෝට්ටු තහනම් කිරීම නිසා එසේ කිරීමට ද බැරි වෙනවා. එහෙත්, නොවැම්බර් 8 හා 9 දිනවල ඉන්දියන් රන්කරුවන් දිවා රෑ නො බලා වැඩ කළ බව ද වාර්තා වෙනවා. ඒ කළු සල්ලි රත්තරං බවට පත් කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙසයි. රත්තරංවලට හරවන ලද කළු සල්ලි අල්ලා ගැනීම ලෙහෙසි කාර්යයක් නෙමෙයි. ඉන්දියාවේ කළු ආර්ථිකය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් තරම් විශාල බවට තක්සේරු තිබෙනවා.

තමන් සතු තහනම් නෝට්ටු බැංකුවලට හෝ තැපැල් කාර්යාලවලට භාර දී ඒ මුදල් ගිනුම්වලට බැර කර ගැනීමේ හැකියාව ජනතාවට ලැබෙනවා. රු. 4000ක් දක්වා මුදල් බැංකු ගිනුමක් නොමැතිව මාරු කර ගන්නට පුළුවන්. ඒ වෙනුවෙන් 2016 දෙසැම්බර් 30 දක්වා කාලය ලබා දී තිබෙනවා. සල්ලි කොළ සඟවාගෙන සිටි අය දැන් ඒවා බැංකු කරා ගෙන එන විට, බදු නිලධාරීන්ගේ උකුසු ඇස ඒ වෙත යොමු විය හැකියි.

හැබැයි මේ අතර පැරණි නෝට්ටු අඩු මුදලට මිළ දී ගන්නා අයත් බිහි වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව දාහේ කොළ රුපියල් හත්සීයට, අටසීයට ගන්නා අයත් ඉන්න බවයි නිල නො වන වාර්තා පවසන්නේ.

ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥයකු හා ඉන්දියාවේ කලින් පැවති කොංග්‍රස් ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික උපදේශක වන කෞෂික් බාසු මේ මුදල් නෝට්ටු හුවමාරුව ගැන කීවේ එය දුර්වල ආර්ථික ක්‍රියාවක් බව හා එයින් සිදු වන හානිය එහි වාසිවලට වඩා වැඩි බවයි. අලුත් මුදල් නෝට්ටුවලින් ද කළු සල්ලි ගොඩගසා ගැනීම පෙර පරිදි ම සිදු විය හැකි බව තවත් ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දුන්නා. එහෙත්, මෙයට විරුද්ධ මත දරන ආර්ථික විද්‍යාඥයන් ද සිටිනවා.

කෙසේ වෙතත්, ඉන්දීය රජයේ මෙම තීරණය නිසා අපහසුවට පත් බොහෝ පිරිස් සිටිනවා. ඉන්දියාවේ නගරවල බැංකු ශාඛා රැසක් තිබුණත්, කිලෝමීටර් පහක් ඇතුළත බැංකු ශාඛාවක් ඇත්තේ ඉන්දීය ගැමි ජනතාවගෙන් 27%කට පමණයි. ඉන්දියාවේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, අන්තර්ජාල මුදල් හුවමාරු වැනි ක්‍රමවලට වඩා කොළ සල්ලි භාවිතය තවමත් ඉහළයි. ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ ෆ්ලෙචර් විද්‍යාලය විසින් 2012දී කරන ලද සමීක්ෂණයකට අනුව, ඉන්දියාවේ ගනුදෙනුවලින් 86.6%ක් ම තවමත් සිදු වන්නේ කෙළින් ම මුදල් නෝට්ටුවලින්. දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතිකව ඉන්දියාවේ නෝට්ටු මුදල් භාවිතය12%ක් වෙනවා. මෙය දියුණු ආර්ථිකයන් ඇති රටවලට සාපේක්ෂව ඉතා ඉහළ අනුපාතිකයක්.

කෙටි කාලීනව ඉන්දීය ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය අඩු කිරීමට මෙම මුදල් නෝට්ටු අලුත් කිරීමේ ක්‍රියාවලිය ඉවහල් වී තිබෙනවා. දේපල, වාහනවල සිට හාල්, සිල්ලර බඩු දක්වා හැම මට්ටමක ම මිළ දී ගැනීම් පසුගිය සතියේදී සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙන බව වාර්තා වෙනවා.

මේ නිසා ඉන්දීය ජනයා බොහෝ සේ පීඩාවට පත් වී තිබෙනවා. බැංකු හා මුදල් යන්ත්‍ර අසල දක්නට ලැබෙන දිගු පෝලිම් මෙයට නිදසුනක්. දිගු පෝලිමක ගියත් අවසානයේදී මුදල් යන්ත්‍රවල නෝට්ටු අවසන් වීම නිසා බලාපොරොත්තු සුන් වී ආපසු හැරෙන්නට සිදු වන අවස්ථා එමටයි. මුදල් ආපසු ලබා ගැනීම සීමා කර තිබෙන නිසා රෝග පීඩා ආදිය වෙනුවෙන් අවශ්‍ය මුදල් ගෙවා ගන්නට පවා ඇතැමෙකුට බැරි වී තිබෙනවා. දුක සේ මුදල් උපයාගෙන ඉතිරි කර ගත් ගැමියන්, සුළු වෙළෙන්දන්, ගොවියන්, කම්කරුවන් හා නිවසේ අල්මාරියේ සඟවාගෙන මුදල් ඉතිරි කළ ගෘහනියන් වැනි පිරිස් මෙමගින් මහත් දුෂ්කරතාවට පත් වී තිබෙනවා. මේ හා සම්බන්ධ රසකතාත් කියැවෙනවා. ඇතැම් භාර්යාවන් විසින් සඟවාගෙන සිටි මුදල් ස්වාමිපුරුෂයන්ට අසු වී තිබෙන්නේ මේ සමගයි. කෙසේ වෙතත්, මෙම මුදල් නෝට්ටු තහනම ගැන අවබෝධයක් නැති දුප්පතුන් විශාල පිරිසකට තමන්ගේ ඉතුරුම් අහිමි වීම පිළිබඳ කතා ලබන අවුරුද්දේ සිට අසන්නට ලැබෙන එක වළක්වන්නට බැරි වේවි.

ඉන්දියාව 1948දී හා 1976දීත් මෙසේ මුදල් නෝට්ටු අවලංගු කිරීම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ද 1972 අයවැය යෝජනා ඉදිරිපත් කළ මුදල් ඇමති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මෙවැනි දෙයක් කළේ ය. එවකට පැවති ලොකු ම මුදල් නෝට්ටු වන රු. 50 හා 100 අවලංගු කරන ලද අතර ජනතාවට එම නෝට්ටු අලුත් මුදල් නෝට්ටුවලට මාරු කර ගැනීමට ලබා දුන්නේ සති දෙකක කාලයක් පමණි.

මේ කාලයේ ම එක් ගුවන් විදුලි නිවේදකයෙක් අප්‍රේල් 01දාවක රටේ ජනතාවට විහිළුවක් කරන්නට සිතා එක් මුදල් නෝට්ටුවක් අවලංගු කරන්නට රජය තීරණය කර ඇති බැවින් එම මුදල් නෝට්ටු බැංකුවට භාර දී වෙනත් මුදල් ලබා ගන්නා ලෙස ජාතික ගුවන් විදුලියෙන් නිවේදනය කළේ ය. ඒ කාලය අද කාලය වගේ නො වේ. එවක රටේ තිබුණේ එක් ගුවන් විදුලියක් පමණි. ඒ නිසා ම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයකු කළ මෙම මෝඩ විහිළුව ඇත්තකැයි ජනතාව විශ්වාස කළ හ. පැය කීපයක් යන්නට පෙර රටේ බැංකු එකී මුදල් නෝට්ටු අතින් ගත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. අවසානයේදී එකී පුවත බොරුවක් බව ගුවන් විදුලියෙන් ම නිවේදනය කරන්නට රජයට සිදු විය. ඒ අවස්ථාවේදී වැඩ තහනම් කරන ලද මෙම නිවේදකයා පසුගිය ආණ්ඩුව සමයේ ජාතික රූපවාහිනියෙන් රටට ම උපදෙස් දෙන අත්තප්පෙකුගේ භූමිකාව රඟ පෑවේ ය.

ඇමරිකානු රූපවාහිනී හා සිනමා විකට නළුවකු වන ග්‍රවුචෝ මාක්ස් වරක් පැවසූ පරිදි සල්ලිවලින් ප්‍රීතිය මිළ දී ගත නො හැකිමුත්, එයින් ඔබට ඔබ කැමති ස්වරූපයේ කාලකන්නිකම තෝරා ගන්නට පුළුවන්.

(රාවය - තනියාය, 2016-11-27)


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-24

රුපියල් 25,000 දඩය නිසා පීඩාවට පත් වන අසරණ මගමරුවෝ

මම අවම වශයෙන් සතියට දින පහක්වත් යතුරුපැදියේ, බසයේ, දුම්රියේ දිනකට කිලෝමීටර් 150ක් පමණ ගමන් කරන මගියෙක්මි. ඒ මදිවාට කිලෝමීටර් දෙක තුනක් පයින් යන පදිකයෙක්මි. ඒ නිසා මා මේ ඉදිරිපත් කරන්නේ නිරීක්ෂණයෙන් ලබා ගන්නා ලද සාක්ෂි මත පදනම් වූ කරුණු සමුදායකි. ඒ නිසා අනුභූතික සාක්ෂි මොනවාදැයි නො අසන්න.

මාර්ග නීති කඩකිරීමේ ප්‍රධාන වැරදි හතක් වෙනුවෙන් දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මම පක්ෂ වෙමි. එම වැරදි හත මෙසේ ය.


  1. බීමත්ව රිය පැදවීම
  2. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම
  3. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට සිය රථය පැදවීමට අවසර දීම
  4. අධික වේගය
  5. වම් පසින් වාහන පසුකර යාම
  6. නොසැලකිලිමත් අයුරින් දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පැදවීම
  7. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම


මේ අතරින් වැරදීමකින් අහම්බෙන් සිදු වීමට ඉඩක් ඇත්තේ වම්පසින් ඉස්සර කිරීමේ වරද පමණි. සෙසු වැරදි සිතා මතා කරන ඒවා ය.

මේ පිළිබඳ දැඩි විරෝධයක් දක්වන බස් රියදුරන් පිළිබඳ මම ඉතා සමීපව නිරීක්ෂණය කර ඇත්තෙමි. මම නිදසුන් කීපයක් ඉදිරිපත් කරමි. උදෑසන අත්වැල්තොට, බදුරලිය, පැලවත්ත, වලල්ලාවිට වැනි ප්‍රදේශවලින් ගමන් ආරම්භ කර අධික ලෙස සෙනග පටවාගෙන මතුගම නගරය හරහා යන බස් රථ රැසක් තිබේ. මේ අතරින් ලංගම බස් හැර පෞද්ගලික බස් උදේ 9 වන විට පිටකොටුවට පැමිණ, ඉන් පසු පැය හයක්, හතක් කොහේ හෝ නවත්වා තිබී යළි පිටත් වන්නේ සවස හතරෙන් පසුවයි. එහෙත්, පාරට බැස්ස පසු මෙම රියදුරන්ට තිබෙන්නේ පුදුම හදිසියකි.

උදෑසන 5.45ත් 6.30ත් අතර මතුගම පසු කර යන මෙම බස් කන්දරාව කලුතර දක්වා ඇති මාර්ගය තරග ධාවන පථයක් බවට පත් කරයි. කිසිදු රියදුරෙක් කිසිදු මාර්ග නීතියක් තකන්නේ නැත. වමෙන් පවා ඉස්සර කරන අවස්ථා තිබේ. බස් නැවතුම්පොළවල්, කහ ඉරි, සුදු ඉරි ආදී කිසිවක් ගණන් ගන්නේ නැත. ඒ මදිවාට සියයකට වැඩි සෙනග පටවාගෙන අධික වේගයෙන් රිය පදවන ගමන් රියදුරෝ දුරකථන ඇමතුම් ද ලබා ගනිති.ඉදිරියෙන් යන බසය, පසුපසින් යන බසය ගැන තොරතුරු ද හුවමාරු කර ගනිති. අධික ලෙස හෝන් ගසති. බ්‍රේක් ගසති. කොතරම් වේගයෙන් ධාවනය කළත්, හැම තැන ම නවත්වන නිසා මෙම බස් මතුගම සිට කොළඹට යාමට හා ආපසු ඒමට පැය තුනක පමණ කාලයක් ගනිති. ඒ නිසා දිනපතා කොළඹ යන මගීන් වැඩි දෙනෙක් කලුතරින් බැස අධික ලෙස තදබද වූ දුම්රියෙන් කොළඹ යනවා මිස මේ බස්වල වාඩි වී යන්නේ නැත.

වැඩේ කියන්නේ, මේ කාලය අතරතුර මතුගම, දොඩන්ගොඩ පොලිසි අවදි වී නැත.

බස් නැවතුම්පොළවල් අවුල් කරන්නේ ද බස් රියදුරෝ ය. ඔවුන් අතරමග නවත්වා මගීන් ගන්නා නිසා මගීහු නැවතුම්පළවලට මෙහා රැඳී සිටිති. ඔවුන් එහි රැඳී සිටින නිසා බස් ඒ තැන්වල නවත්වනු ලැබේ. වරදට මුල සොයන එක කලින් ඉපදුණේ කිකිළි ද, බිත්තරේ ද යන්න සොයනවා වැනි ය.

කිසි ගණනක් නැතිව කහ ඉරි උඩ බස් නවත්වාගෙන බුලත් විට කන රියදුරෝ සිටිති. මොවුන් සුක්කානම ඉදිරියේ වාඩි වූ විට උන්ට වඩා ලොක්කන් නැති මුත්, ඇත්ත වශයෙන් ම ගතහොත් මේ වනාහි නූගත් මෝඩයෝ ය. ඔවුන් වැරදි කරන්නේ ප්‍රධාන වශයෙන් ම උද්දච්ඡ මෝඩකම හා නූගත්කම නිසා ය.

රු. 25,000 දඩය යනු මොවුන්ගේ මාසික වැටුපට පොඩ්ඩක් අඩු එකක් වුව ද, මොවුන්ට නීතිය ඉගෙන ගන්නට නම් වෙන ක්‍රමයක් නැති බව මගේ අදහසයි.

පාරේ යන පදිකයෝ ද මේ ජාතියේ ම ය. ඔවුන්ට ද මේ අන්දමින් ම දැඩි දඩ පැනවිය යුතුව තිබේ. පටු මංවල වම් පැත්තෙන් කණ ගොන්නුන් සේ යන, කහ ඉර අප්පගේ බූදලේ යයි සිතාගෙන හිතුණු හැටියට එය මතින් යන පදිකයන් ද රියදුරන් අතින් වන වැරදිවලට වගකිව යුතු ය.

කිසිදු මාර්ග නීතියක් නො තකන තවත් පිරිසක් ද සිටිති. ඒ වනාහි ප්‍රභූ ආරක්ෂකයෝ ය. ප්‍රභූවරුන් යයි කීවාට මේ වනාහි මහජන මුදලින් ජීවත් වන දේශපාලුවෝ ය. ඔවුන්ගේ ඇති ප්‍රභූකමක් ද නැත. එසේ ම, මේ වන විට දේශපාලුවන්ට ඇති ආරක්ෂක ප්‍රශ්නයක් ද නැත. එසේ ම බල්ලට ඇති වැඩකුත් නැහැ, හෙමින් ගමනකුත් නැහැ ය කීවා සේ මුන් කරන වැඩක් නැතත්, පුක කඩා ගත් කඩින් සේ අතන මෙතන දුවන එකේ ද කෙළවරක් නැත. මුන්ට ද මාර්ග නීති අදාළ විය යුතු ය.

පූර්ණ කාලීන රියදුරු රැකියාවල යෙදී සිටින දුප්පතෙකුට රු. 25,000ක් දඩ ගසා, ඒ දඩය ගෙවා ගන්නට බැරුව එම මිනිසා හිරේ යවා, දරු පවුල අනාථ කිරීමෙන් රටට සෙතක් වන්නේ නැත. එබැවින් මේ දඩ මුදල අඩු කළ යුතු ය. එහෙත්, මාර්ග විනය ගැන මීට වඩා දැඩිව සැලකිලිමත් විය යුතු ය.

නිදි කිරන සිරිපාල දන්නා ප්‍රවාහනයක් නැත. පොදු ප්‍රවාහනය දියුණු කරන්නට, මාර්ග තදබදය අවම කරන්නට කිසිවක් නො කර, දඩ වැඩි කිරීමෙන් පමණක් රටට යහපතක් වන්නේ නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-23

අකිලට මල් මිටක්

අකිල අතින් වැඳිල්ල කිච වූ හැටි. අනාගත පරම්පරාවල කොඳු බිඳ දමන තවත් ක්‍රියාවක් වන්නේ මේ නො මනා වැඳ වැටීම් ය. 
අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමති ධුරය හොබවන සමයේ ගන්නා ලද ඇතැම් රැඩිකල් තීරණ අගය කළ යුතු ය.

සාමාන්‍යයෙන් මෑත වකවානුවේදී මීට පෙර අධ්‍යාපන ඇමති ධුර දැරූ කිසිවෙක් පවත්නා තත්වයන් වෙනස් කිරීමට කිසිවක් කළේ නැත.

එවැනි තත්වයක් තුළ කොතනින් හෝ යම් යම් දේ ආරම්භ කිරීම අගය කළ යුතු ය.

පාසල් ගුරුවරුන් සිසුන්ගෙන් මුදල්, තෑගි ආදිය ලබා ගැනීම අල්ලස් පනත යටතේ වරදක් බව මතක් කර දීම ඉතා වැදගත් ය. ඩී.එස්. සේනානායක විදුහලේ සමාරම්භක විදුහල්පති වී සිටි නැසීගිය ආර්.අයි.ටී. අලස්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගන්නා ලද මෙම වසංගතය අද වන විට පාසල් පද්ධතිය තුළ ඔඩු දුවා ඇති බව නො දන්නේ මහ පොළවේ පස් පාගා නැති අය පමණි.

පාසල් ගුරුවරුන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැති බව ඇත්තකි. එ් නිසා ම, පාසල් ගුරු වෘත්තියට යන ඇතැමුන් කිසිදු දක්ෂකමක් නැති, වෙනත් වැඩක් කර ගන්නට බැරි අලස කාලකන්නින් බව ද ඇත්තකි. ඔවුන් විසින් අනාගත පරම්පරාවල ඔලු භක්ෂණය කරනු ලැබේ.

විශේෂයෙන් ම ප්‍රාථමික පන්තිවලට ගණිතය, විද්‍යාව, භාෂා, සෞන්දර්ය විෂයයන්ට ඉහළ සාමාර්ථ ලබා ගත් පුහුණු ගුරුවරුන් පත් කළ යුතුව තිබුණත්, වර්තමානයේදී ප්‍රාථමික පංතිවලට ඉගැන්වීමට යෙදවෙන පිරිස වන්නේ ප්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනයේදී එතරම් සාර්ථක නො වූ පිරිසකි.

අනෙක් පැත්තෙන්, මේ වන විට ටියුෂන් වසංගතය පෙර පාසල දක්වා ම පැතිර තිබේ. පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවා පවා තමන්ගේ ටියුෂන් පංතියට ගෙන්වා ගන්නට බලපෑම් කරන ගුරුවරුන් මම දනිමි. එසේ නො යවන දරුවන්ගෙන් පළි ගන්නා එක ද, වාරාවසානයේ, වර්ෂාවසානයේ බලපෑම් කර තෑගි ලබා ගැනීම ද ප්‍රාථමික පන්තිවල ඉතා සුලභ තත්වයකි.

ද්විතීයක හා උසස් පෙළ පන්තිවලදී ඔය සෙල්ලම ඒ තරම්ම කරන්නට බැරි තරමට සිසුන් දැනුවත් ව සිටින මුත්, මෙම පන්තිවලදී ද ටියුෂන් ජාවාරම සඳහා ළමයින්ට බලපෑම් කිරීම සිදු වේ.

ගුරුවරයාට තම ගෞරවය රැක ගන්නට බැරි නම්, නීති මගින් හෝ ගුරු ගෞරවය ආරක්ෂා වන පසුබිමක් සැකසීම නරක නැත.

පාසල්වල විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ පහත් ක්‍රියාවලට ආවරණය සලසා ගැනීම පිණිස පසුගිය කාලයේ කරන ලද දෙයක් වන්නේ දෙමව්පියන්, විශේෂයෙන් ම දරුවන්ගේ මව්වරුන් පීඩාවට පත් කිරීමයි. පාසල්වලට සාරි අනිවාර්ය කිරීම මෙහි එක් පැතිකඩකි. අධ්‍යාපන ඇමතිවරයා විසින් එය තහනම් කර තිබේ. එහෙත්, පාසලකට සුදුසු ඇඳුමක් ඇඳගෙන යාම මව්පියන්ගේ මෙන් ම ගුරුවරියන්ගේ ද වගකීමකි. අඟපසඟ නිරාවරණය කිරීම නො හොබී නම්, එය ගුරුවරියන්ගේ සාරිවලින් මතු වී පෙනෙන බුරියට ද අදාළ ය. ගුරු බුරි දැක බස්නාහිර මහ ඇමතිටත් අසහනයක් ඇති විය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ටත් 13 ශ්‍රේණිය දක්වා පාසල තුළ රැඳී ඵලදායී යමක් ඉගෙන ගන්නට සැලැස්වීම හොඳ දෙයකි. මෙයින්, රටේ සිටින නරක ම ළමා අපචාරකරුවන් පිරිසක් වන විදුහල්පතිලාගේ ගෙම්බර් එක ද බැස්සවිය හැකි ය. හේතුව, මැරෑටි ම කොලු සෙට් එකකින් එකොළහෙන් පසුව හෝ ගැලවෙන්නට විදුහල්පතිලාට බැරි වීම නිසා ය.

උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීමේ යෝජනාවට විරුද්ධ බොහෝ අය මන්ත්‍රීන්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට තීරු බදු සහිත වාහන ආනයනය හරහා විශාල මුදලක් යටි මඩි ගසා ගන්නට පාර කපා දෙනවාට විරුද්ධ නැත. ටැබ් යෝජනාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වැදගත් ය.

අධ්‍යාපන ඇමතිවරයා පහේ ශිෂ්‍යත්වයටත් අත තබනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය තරමක් සංකීර්ණ ය. සෑම නගරයක ම, ගමක ම ඇති පාසල් සංවර්ධනය කිරීමෙන් පමණක් විෂමතා නැති වන්නේ නැත. ඒ සඳහා පාසල්වාදය ද පිටුදැකිය යුතු ය. පාසල්වාදය ගොඩනගන ප්‍රධාන බලවේගය වන ආදි ශිෂ්‍ය සංගම් අතේ දුරින් තැබීම සඳහා ද කටයුතු කළ යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-22

ව්‍යාඝ්‍රා, අවයව විකිණීම හා දේශපාලනය

විශාල මහජන පිරිවැයකින් නඩත්තු කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වනාහි මිනිසුන්ගේ අති පෞද්ගලික කාරණා වන ශිශ්නය නැගී ඒම, පිරිමින් පිරිමින් සමග සංසර්ගයේ යෙදීම වැනි කරුණු සාකච්ඡා කරන මණ්ඩපයක් වී තිබීම නිසා විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව ලියමි. 

මිනිසුන්ගේ සෙසු බොහෝ කටයුතු සමග ලිංගිකත්වය සම්බන්ධ වන්නා සේ දේශපාලනය සමග ද ලිංගිකත්වය සම්බන්ධ ය. ඒ ගැන පුදුම විය යුතු ද නැත. පුද්ගලයන්ගේ ලිංගික ආශාවන් ලෝක ඉතිහාසය වෙනස් කිරීමට පවා බල පා තිබේ.

විවාහ සම්බන්ධතා හා පවුල් සම්බන්ධතා ද අවසානයේදී ලිංගිකත්වය සමග සම්බන්ධ වේ. ලංකා ඉතිහාසයේ මෑත වකවානුව ගතහොත්, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ධුරයට පත් වීම පවා ලිංගිකත්වය සමග සම්බන්ධ කළ හැකි ය. මෑත ම වාර්තාව වන්නේ වාමාංශික පතාක යෝධයකු වන වාසුදේව නානායක්කාරගේ බිරිය අවුරුදු 10ක් ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයකු වී මහජන මුදලින් පඩි නඩි, වාහන, වරප්‍ර‍සාද ගැනීම ය.

කවුද අනේ එයා? එයැයි මහින්දට මොනව ද දන්නෙ නැහැ දුන්න උපදෙස්? ඔන්න ඔහොම එන්නකො වාසු. ඔයාට මාක්ස්ට වඩා මහින්ද ලොකු වුණේ මොකද කියල පුංචි අපට දැන් තේරෙයි.

කෙසේ වෙතත්, ලිංගික වහලියක වූ පමණින් ම ගැහැනියකට ලංකාවේ දේශපාලනය තුළ බලවත් තත්වයකට පත් වීම පහසු නැත. එහෙත් පිරිමින්ගේ තත්වය එසේ නො වේ.

හුදෙක් ලිංගික වහලුන් වීමෙන් ම ඉතා බලවත් ස්ථානවලට ගිය පිරිමි පුද්ගලයන් ගණනාවක් ම මේ ශ්‍රී ලංකාවේ සිටිති. ස්ත්‍රීන්ට කනිලිංගස් දීම හෙවත් දිවෙන් ස්ත්‍රී දේශපාලකයන් ප්‍රමෝදයට පත් කිරීමෙන් බලවත් වූ පුද්ගලයන් සිටි බව ද මේ අය දිවාකර නමින් හැඳින්වුණ බව ද එකල වාර්තා විය.

එමෙන් ම ගුද මාර්ග සංසර්ගයට ඉඩ සැලසීමෙන් පිරිමි දේශපාලකයන් සන්තර්පණය කිරීමෙන් ද දේශපාලනයේ බලවත් වීම දැන් විවෘතව ම හා වඩා සුලබව සිදු වෙමින් තිබෙන බවක්, ඔන්න අපි දන්නෑ, පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන නිසා අපට සිතේ.

තමන් ලිංගිකව සතුට ලබන ආකාරය අතිශය පෞද්ගලික කාරණයක් වන මුත්, තමන්ගේ ලිංගික වහලුන්, වහලියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පවා පත් කරන තත්වයක් තිබේ නම් එය හුදෙක් ම පෞද්ගලික කාරණාවක් වන්නේ නැත. එහෙයින් ඒ ගැන පාර්ලිමේන්තුවේත්, ජනමාධ්‍යවලත්, පාරෙ තොටේත් කතා කිරීම නරක නැත.  

සමලිංගිකත්වය හා දේශපාලනය අතර ඇති අන්තර් සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ලංකාවේ ධනපති පංතිය නන්නත්තාර වී තිබේ යයි කීවොත් එය බොරුවක් නො වේ. කොටින් ම කීවොත්, වර්තමාන අසාර්ථකත්වයෙන් පසු ධනපති පංතියට නායකත්වය දිය හැකි නායකයෙක් අහල පහළකවත් නැත.

ලංකාවේ ධනපති පංතියට නායකත්වයක් නැති වීම ගැන අප කණගාටු වන්නේ එක් හේතුවක් නිසා ය. එනම්, කම්කරු පංතියට ද නායකත්වයක් හෝ පංති විඥානයක්වත් නැති වීම නිසායි. එවැනි සංදර්භයකදී ලංකාවේ මධ්‍යම පංතිය විසින් රජය සිය වසඟයට ගෙන තිබීම නිසා සමස්ත ලංකාව මත ම කාලකන්නිකමේ කළු වළාවක් ඇද වැටී තිබේ.

මෑත කාලයේදී ස්ත්‍රීන් වෙනුවෙන් යම් යම් ප්‍රගතිශීලී නීති සම්පාදනය වීම් සිදු විය. පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාවෙන් 30%ක් කාන්තාවන්ට වෙන් කිරීම සම්බන්ධ නීති ගෙන ඒම එවැනි එක් දෙයකි.

එහෙත්, ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව සමලිංගිකත්වය ශ්‍රී ලංකාවේ දඬුවම් ලැබිය හැකි තහනම් ක්‍රියාවකි.

1883 සිට පවතින දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති යටතේ සමලිංගික හැසිරීම නීති විරෝධී කටයුත්තක් ලෙස සැලකේ. මෙම වගන්ති අනුව සමලිංගික හැසිරීමක කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යෙදෙන වැඩිහිටියකුට වසර 10 දක්වා බරපතල සිර දඬුවම් පැමිණ විය හැකි අතර අපරාධයට ගොදුරු වූ තැනැත්තා අවුරුදු 16කට අඩු වන අවස්ථාවේ දී එවන් පුද්ගලයකුට අවුරුදු 10කට නොඅඩු සහ අවුරුදු 20කට නොවැඩිබරපතල සිර දඬුවම් පැමිණවිය යුතු වේ. පසු කලක මෙයට කාන්තාවන් ද ඇතුළත් වන පරිදි නීති දැඩි කර තිබේ. (උපුටා ගැනීම විකල්ප)

2011දී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විවෘතව ම සමලිංගික අපහරණ චෝදනාවක් නැගුවේය.

පාර්ලිමේන්තුවේ පවා විවෘතව කතා කරන ලොකු ලොක්කන්ට ආඩම්බරයක් වී තිබෙන සමලිංගිකත්වය නිසා තවමත් අපේ රටේ පීඩිත සමරිසි ගැහැනුන්ට, පිරිමින්ට, ද්විලිංගිකයන්ට හා සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

ලංකාවේ බලවත් සමලිංගිකයන් මෙවැනි යල් පැන ගිය නීති සංශෝධනය කිරීමට හෝ කටයුතු නො කිරීම කණගාටුදායක ය.  

අවසාන වශයෙන් ලංකාවේ ධනපති පන්තිය ශිශ්නයෙන් මෙහෙයවෙන යුගය අවසන් කිරීම සඳහා තීරණාත්මක පියවර ගත යුතුව ඇති බව පමණක් මතක් කර දෙමින් මෙම සටහන අවසන් කරමි. 💀💀💀

(😏සමලිංගික විරෝධී, විෂම ලිංගික ස්වෝත්තමවාදී අදහස් පළ කිරීමෙන් වළකින්න. අපහාසාත්මක අදහස් ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න.) 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-21

ජනමාධ්‍යයට දේශපාලන බලපෑම් නැතිව ගියොත්, ලංකාවට ඩොලර් ලැබීම නැවතී අප වැනි ඩොලර් කාක්කන් කොළඹ ගස් යට මැරී වැටෙනු ඇත

ජනමාධ්‍යවලට තර්ජන කරනවා ය කියා අනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ද කියනවා ය. උන්නැහේගේ කාලේ නම් ඔය තර්ජන තිබුණේ නැත.

පාර්ලිමේන්තුවේදී ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇසූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් ඇමති සාගල රත්නායක පෙන්වා දුන් පරිදි රාජපක්ෂලාගේ මාධ්‍ය නිදහස මෙසේ ය:

2006 ජනවාරි සිට 2015 ජනවාරි 15 දක්වා

මාධ්‍යකරුවන්

මරාදැමීම් - 13
අතුරුදහන් කිරීම් - 01
පහරදීම් - 87
අත්අඩංගුවට ගැනීම් - 20
ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් - 5

මෙම සිදුවීම් සම්බන්ධයෙන් සාක්ෂි ද විනාශ කර ඇති බව ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

මාධ්‍යවේදී තිස්සනායගම්ට ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් දීම ද සිහිපත් කළ යුතු ය. දේශීය හා ජාත්‍යන්තර බලපෑම් නිසා පසුව ඔහු විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන ලදී. 

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධව කටයුතු කළ ඉසයිප්‍රියා වැනි මාධ්‍යකරුවන්ට අත් වූ ඉරණම ඇතැම් විට වාර්තාගත නො වන්නට පවා ඉඩ ඇත. 

2015 ජනවාරි 15 සිට මේ දක්වා තත්වය අපට වාර්තා වන්නේ මෙසේ ය:

රජයේ ඍජු අනුදැනුම, මෙහෙයවීම මත මාධ්‍යකරුවන්

මරාදැමීම් - 0
අතුරුදහන් කිරීම් - 0
පහරදීම් - 0
අත්අඩංගුවට ගැනීම් - 0
ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් - 0

මෙම සංඛ්‍යාලේඛන වැරදි නම් නිවැරදි කර දැක්වීමට ඔබට අවස්ථාව තිබේ. (මෙහෙම ගියොත්, ලංකාවට මානව හිමිකම්, මාධ්‍ය නිදහස, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ආදිය වෙනුවෙන් ඩොලර් ලැබීම නැවතී අප වැනි ඩොලර් කාක්කන් කොළඹ ගස් යට මැරී වැටෙනු ඇත.)

මීට අමතරව, මෑතදී,

රනිල් වික්‍රමසිංහ මහතා ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ‘ටොයිලට් පේපර්ස්' ලෙස හැඳින්වූයේ ය.ඊට කලින් තවත් දෙකයි පනහේ නිවේදකයකු පොර කළේ ය.

දෙරණ රූපවාහිනී නාලිකාවට එරෙහිව ජන‍මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරුණු දැක්වීම සදහා කාලයක් ලබාදී ඇත. මෙම නිලධාරියා මීට කලින් ද ඔය වගේ බහුබූත වැඩක් කළේ ය.

අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් විවේචනය කළේ ය.මීට කලින් මෙම ඇමතිවරයාට ඇවන්ට්ගාඩ් සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරීම ගැන ද ප්‍ර‍ශ්න තිබුණු බව මතක ය.

ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව ජාතික රූපවාහිනියට එරෙහිව වෛරී ප්‍ර‍කාශ කර තිබේ.මෙම භික්ෂුව වෛරී ප්‍ර‍කාශ හැර අන් යමක් දන්නේ ද?

මෙවැනි දේවලින් ද මාධ්‍යවේදීන් නම් මල් කැකුළුවල සිත් තදින් පෑරී තිබේ.

මාධ්‍ය හිමිකම්, මානව හිමිකම් ආදිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඒවාට විරුද්ධව දැවැන්ත හඬක් නඟනු පෙනේ. ඉතා සන්තෝස ජනක ය.

ඒ වුණාට මාධ්‍ය කෙරුවාව නම් කිසිදු වෙනසක් වී ඇති බවක් නො පෙනේ.

ප්‍ර‍ධාන ධාරාවේ මාධ්‍ය සමාජ ප්‍ර‍ශ්න ආමන්ත්‍ර‍ණය කරනවා වෙනුවට කරන්නේ කුණු රසැති දේශපාලන ඕපාදූප, ජාතිවාදය, පුරුෂෝත්තමවාදය වැනි දේ බෙදා හැරීමයි.

සරළ උදාහරණයක් දෙමි. දිනකට ලක්ෂ ගණනක් මගීන් යන එන දකුණු දුම්රිය මාර්ගයේ ලුනාව පාලම වෙනුවට අලුත් පාලමක් දැමීම සඳහා පසුගිය දින හතරක් දුම්රිය ධාවනය සිදු වුණේ මාතර-මොරටුව අතර හා රත්මලාන-කොටුව අතරයි. මේ පිළිබඳ ප්‍ර‍ධාන ධාරාවේ මාධ්‍ය කීයක් වාර්තා කළා ද?

ඊට කලින් දිනෙක දුම්රිය පීලි පැනීමක් නිසා මෙම මාර්ගයේ දුම්රියවල ගමන් ගන්නා කාර්යාල සේවකයන් ඇතුළු මගීන් ලක්ෂයක් පමණ දැඩි දුෂ්කරතාවකට මුහුණ දුන් හ. ඒ ගැන ජනමාධ්‍ය කීයක වාර්තා වුණා ද?

මේ කියවන ඔබ ඇතැමෙක් ද මෙම සිදුවීම් ගැන දැන ගන්නට ඇත්තේ පළමු වතාවට ය. මේවා ප්‍ර‍වෘත්ති නො වේ ද? ජනමාධ්‍ය තිබෙන්නේ මහජන ප්‍ර‍ශ්න කෙරෙහි වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරමින්, රජය හා වෙනත් ආයතන සාධනීය ලෙස විවේචනය කරමින් සමාජය යහපත් අන්දමින් වෙනස් කරන්නට දායක වන්නට ය.

එහෙත්, අපේ රටේ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් ලෙස තමන් හඳුන්වා ගන්නා පිරිස කරන්නේ මොනවා ද? මාධ්‍ය වෙනුවෙන් මුදල් යොදවන පුද්ගලයන්ගේ දේශපාලන හා වෙනත් උවමනා ඉටු කිරීම පුවත්පත් කලාව ද? මේ ආයෝජකයන් ඇතැමෙක් මාධ්‍ය හා මාධ්‍යවේදීන් භාවිතා කරන්නේ කළු සල්ලි සුදු කර ගැනීමේ ලොන්ඩරි කර්මාන්තයක් වෙනුවෙනි.

ජාතීන්, ආගම්, ස්ත්‍රීන්, පුරුෂයන් අතර භේද ඇති කිරීම, සමාජයට බිය විකිණීම, විෂමතා පුළුල් කිරීම, සමාජ ධ්‍රැවීකරණය වැඩි කිරීම, පහත් රුචිකත්වය ඇවිස්සීම, මිථ්‍යාව පැතිරවීම, මුග්ධත්වය බෝ කිරීම, දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය නැති කර රට පරිහාණියට පත් කිරීම වැනි ක්‍රියා ජනමාධ්‍යයේ වගකීම් ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

දෙවන ලෝක යුද සමයේ ඇමරිකාවේ නාසි පන්නයේ සිර කඳවුරු ගැන කියැවෙන ‘තුනී ලෑලි බිත්ති'

1941 දෙසැම්බර් 7දා ජපානය විසින්හවායිහි පර්ල් වරායට පහර දීමත් සමග ඇමරිකාවේ එක්සත් රාජ්‍ය හෙවත් ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට පැටලුණ බව අප දන්නා ඉතිහාස කතාවක්.

එහෙත්, එම සිදුවීමත් සමග ම ඇමරිකාවේ ජීවත් වූ ජපන් සම්භවයක් ඇති ප්‍රජාව මුහුණ දුන් තත්වයන් පිළිබඳ අපි දන්නේ අඩුවෙන්. ඇමරිකාව ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමග ම ඇමරිකාව තුළ ජීවත් වුණ ජපන් සම්භවයක් සහිත ප්‍රජාවට එරෙහිවත් අභ්‍යන්තර යුද්ධයක් ප්‍රකාශයට පත් වූ බව ඒ තරම් ප්‍රකට නැහැ.

ඩේවිඩ් පැට්නූඩ් (David Patneaude) විසින් මෙම සිදුවීම අධ්‍යයනය කර ලියන ලද, 2004දී පළ කරන ලද Thin Wood Walls (තුනී ලෑලි බිත්ති) නම් නවකතාව මෙම සිදුවීම තුළ මානුෂීය අන්තර් සබඳතා හා පුද්ගලයන්ගේ සහ සමාජයේ මනෝභාවයන් නිරූපණය කරන්නට දරන විශිෂ්ට උත්සාහයක් ලෙස සැලකිය හැකියි.

11 හැවිරිදි ජෝසප් හනාඩා සියැටල්හි ජීවත් වන සාමාන්‍ය ඇමරිකානු දරුවෙක්. ඔහුගේ පියා ජපානයෙන් සංක්‍රමණය වූ පරපුරකින් පැවතෙන්නෙක්. ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් විසින් නිකුත් කරන ලද විධායක නියෝග අංක 9066 යටතේ ඇමරිකන් රජය 120,000ක් ජපන් ජාතිකයන් සැකයට භාජනය කර, ඇමරිකන් ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඔවුන් පදිංචි වී සිටි ස්ථානවලින් ඉවත් කර ඉතා කටුක තත්වයන් යටතේ කඳවුරු ගත කර වසර ගණනක් තබා ගත්තා. එයින් ඒ ජනතාවගේ ජීවනෝපායන්, දේපල, ජීවිත බලාපොරොත්තු, දරුවන්ගේ අධ්‍යාපනය ආදිය කඩා වැටුණා.

එෆ්.බී.අයි. විසින් ජෝසප් හනාඩාගේ පියා වසර ගණනක් සිරගත කරනවා. ජෝසප්ගේ සහෝදරයා මයිකල් ඇමරිකන් හමුදාවට බැඳී යුද්ධයට යන්නේ සිය දේශප්‍රේමිත්වය ඔප්පු කරන්නටයි. අනෙක් පැත්තෙන් තරුණයන්ට මේ සිර කඳවුරුවලින් පිටතට යන්නට තිබුණු එක ම මාර්ගයත් එයයි. ඔහුට සිදු වන්නේ කුමක් ද? (කතාව කියවලා ම බලන්න)

මෙවැනි ජපන්-ඇමරිකන් තරුණයන් විශාල පිරිසක් යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරනවා. පසු කලෙක ජනාධිපති ටෘමන් ඔවුන් ගැන කියන්නේ මෙහෙමයි: “ඔබ සටන් කළේ සතුරා සමග පමණක් නොවෙයි. ඔබ පිළිබඳ තිබුණු පූර්ව විනිශ්චයන්ට එරෙහිවත් ඔබ සටන් කළා. එයින් ඔබ දිනුවා."

යුද්ධයෙන් පසුව මේ පිරිස් නිදහස් කරනු ලැබුවා. එහෙත්, ඔවුන් කඳවුරුගත කිරීමේ නියෝගයෙන් පසු, ඔවුන්ගේ දේපල විකිණුනේ කුණු කොල්ලයට නිසා ඇතැමෙකුට ආපසු යන්නට තැනක් තිබුණේත් නැහැ.

ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ සමයේදී ඔවුන්ගෙන් ඇමරිකානු රජය සමාව ගත් අතර, වන්දියක් ද ගෙවනු ලැබුවා. ඒ වුණත්, වසර 1999 වන තුරු ම මේ ජපන් ඇමරිකානුවන් අසාධාරණයට බඳුන් කළ අංක 9066 දරණ විධායක නියෝගය අවලංගු කළේ නැහැ. 

මෙසේ අසාධාරණ අන්දමින් සිරකඳවුරුගත කරන ලද කිසිදු ජපන් ඇමරිකානුවකු ඔත්තු බැලීම හෝ කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් නීතියෙන් වරදකරුවකු කරනු ලැබුවේ නැහැ. 

Thin Wood Walls පොත සිංහලයට පරිවර්තනය වී ඇති ද යන්න මම දන්නේ නැහැ. ඒත්, එහි හොඳ පරිවර්තනයක් සිදු වෙනවා නම් ඇත්තට ම ප්‍රයෝජනවත්.

මෙම වීඩියෝත් බලන්න:





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-19

අම්බරුවන් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීම

2015 ජනවාරි 8 විප්ලවයේ එක් මූලික අරමුණක් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි.

ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් ඔස්සේ එම කාර්යය ඉදිරියට යමින් තිබේ. අද දින එහි වැදගත් ඉදිරි පියවරක් තබන ලද බව වාර්තා විය.

අගමැති විසින් උප කමිටු හයක වාර්තා ව්‍යවස්ථාදායක සභාව වන පාර්ලිමේන්තුවට වෙත ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන් 11 බැගින් සමන්විත එම උප කමිටු හය සහ ඒවායේ සභාපතිත්වය දරන්නන් මෙසේ ය:

මූලික අයිතිවාසිකම් -ඇමති මහින්ද සමරසිංහල
අධිකරණ - ඇමති රාවුෆ් හකීම්
රාජ්‍ය සේවය - ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත
රාජ්‍ය මූල්‍ය - මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන (ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි)
නීතිය හා සාමය - ඇමති සාගල රත්නායක
කේන්ද්‍රය සහ පරිධිය එනම් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර ඇති සම්බන්ධතාව - ඩී. සිද්ධාර්ථන්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් වන නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම වැනි අය ද මෙම කමිටුවල සිටිති.

මෙම වාර්තා සකස් කිරීමේදී ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් මහජන නියෝජන ලබා ගැනීමේ කමිටුවේ වාර්තාව මත පාදක වන්නට ඇතැයි අපි සිතමු.

මෙම වාර්තා අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුව විසින් අධ්‍යයනය කිරීමට නියමිත ය. එහි මන්ත්‍රීන් 21 අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණතුංග ද සිටියි.

මෙම මෙහෙයුම් කමිටුව විසින් ද දෙසැම්බරයේදී වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය.

අප ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගැන විශේෂයෙන් සඳහන් කළේ ඔවුන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගැන දුර්මත ප්‍රවර්ධනය කරමින් සිටින බැවිනි. ඔවුහු ද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ කොටස්කරුවෝ ය.

මෙම වාර්තා පුළුල් මහජන සාකච්ඡාවකට භාජනය කළ යුතු ය. කෙටුම්පතක් සකස් කළ යුත්තේ ඉන් අනතුරුව ය.

එම කෙටුම්පත ද සංවාදයට භාජනය කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලබන ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයෙන් ද, ඉන් පසුව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු ය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍ර විරෝධී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, එහි ඒකාධිපති ජනාධිපති තනතුරෙන් හා විකාරරූපී මැතිවරණ ක්‍රමයෙන් ගැලවිය යුතු ය.

එසේම, රටට ගැලපෙන, බිම් මට්ටම දක්වා විහිදෙන බලය බෙදා හැරීමක් එහි අන්තර්ගත විය යුතු ය.

සිංහල, දෙමළ, මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද, මහජනතාවගේ ද සහභාගිත්වයෙන් සිදු වන මෙම ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් ය. එය සාර්ථක කර ගැනීම අප සැමගේ වගකීමකි. එම ක්‍රියාවලියට සහභාගි නො වී, පිටින් සිටිමින් කුමන්ත්‍රණ න්‍යාය ගොඩනැගීමෙහි යෙදී සිටින බලවේග පරාජය කිරීම ද එහිදී ඉතා වැදගත් ය.

මෑත ඉතිහාසය පුරා ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා යනු අන්තවාදී කල්ලි විසින් බලයට කෙටි මං සෙවීම සඳහා භාවිතා කළ අවස්ථා වේ. දැනුදු ඒකාබද්ධ විපක්ෂය හා රාජපක්ෂ පවුල සූදානමින් සිටින්නේ එයටයි. බොදු බල සේනා, රාවණා බලය, සිංහ ලේ වැනි අන්තවාදී බෞද්ධ සංවිධාන මෙන් ම තව්හිද් ජමාත් වැනි මුස්ලිම් සංවිධාන ද, දෙමළ ජාතිවාදී ඉතුරු බිතුරු ද, වාමාංශික අන්තවාදියෝ ද මෙවැනි අවස්ථා මත ආයෝජනය කිරීමට සූදානමින් සිටිති.

ජාතික හා ආගමික ගැටුම් ඇති කරන වෛරී ප්‍රකාශ කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නො බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව වාර්තා විය. නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට අන්තවාදී මහණුන්ගේ නරිනාටකවල චරිත බවට පත් වී සිටින පොලිස් කෝලම්වලට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක නො කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

දූෂණය කරන්නට ළමයින් ඉල්ලන තව්හීද් ජමාත් නායක රාසික් හා එවැනි සිංහල ජාතිවාදී උම්මත්තකයකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලගොඩඅත්තේ, අම්පිටියේ අම්බරුවන් වැනි තවත් සමාජ විරෝධීන් කිහිප දෙනෙකු ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් කැළඹීම් ඇති කිරීමට උත්සාහ කරමින් සිටිති. මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක මඩකලපුවට ගොස් අම්පිටියේ භික්ෂුව හමු වූ බවට ද වාර්තා තිබේ. ඔවුන්ට නීතියට ඔලොක්කු කරන්නන්ට ඉඩ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නට ලැබෙන්නේ නැත.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-18

බලවත් ජාතීන්ගේ ජාතිකවාදී ප්‍ර‍වණතා ගෝලීයකරණයේ අවසානය ද?

ඇමරිකාවේ එක්සත් රාජ්‍යයන්ගේ හෙවත් සිංහලෙන් කියැවෙන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ජය ගත් රිපබ්ලිකන් පාක්ෂික අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හැඳින්වෙන්නේ දක්ෂිණාංශික, ධනපති, වර්ණභේදවාදී, ජාතිවාදී, ලිංගවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපතිවාදී වැනි විශේෂණ පදවලිනි. ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකදී ඡන්දය දිනා ගැනීම සඳහා ප්‍රවර්ධනය කරන ලද අනන්‍යතාවන් දේශපාලනයේදී කොයි තරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනවා ද යන්න පිළිබඳ පැහැදිලි කර ගැනීමක් සඳහා ට්‍රම්ප්ගේ ධුර කාලයේ පළමු වසර ගත වන ආකාරය නිරීක්ෂණය කළ යුතු ය.

ඇතැමෙක් මෙය හිට්ලර් පැමිණි මග සමග සමපාත කිරීමට උත්සාහ කරති. හිට්ලර් ද 1933දී ජර්මනියේ ඒකාධිපති බලය තහවුරු කර ගත්තේ පශ්චාත් පළමු ලෝක යුද සමයේ පිහිටුවන ලද වයිමාර් ජනරජයේ ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම උපයෝගී කර ගනිමින් මැතිවරණ මාලාවක් ඔස්සේ ය. එහෙත්, හිට්ලර්ගේ නාසි පක්ෂය වනාහි දැවැන්ත දෘෂ්ටිවාදීමය ව්‍යාපාරයකි. එය ට්‍රම්ප්ගේ ක්ෂණික උන්නතිය වැනි අහඹුවක් ලෙස සැලකිය නො හැකි, පුළුල් දේශපාලන වැඩසටහනකි.

රිපබ්ලිකන් පක්ෂය තුළ ට්‍රම්ප්ගේ උන්නතිය වැනි ම තවත් උන්නතියක් වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය තුළ බර්නි සෑන්ඩර්ස්ගේ නැඟීමයි. හිලරි ක්ලින්ටන් සමග ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා තරග කළ සෑන්ඩර්ස් දක්ෂිණාංශික ට්‍රම්ප්ගේ වාමාංශික නිවුන් සහෝදරයා බඳු විය. සමාජ ප්‍රජාතාන්ත්‍රිකයකු වූ ඔහු ද ට්‍රම්ප් මෙන් ම අනපේක්ෂිතව ඉදිරියට පැමිණියෙකි. ඩිමොක්‍රටික් පක්ෂය තුළ පවා කැපී පෙනෙන පදනමක් නො තිබුණු දිගු කාලීන ස්වාධීන සෙනෙට් සභිකයකු වූ බර්නාර්ඩ් සෑන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂය තුළ හිලරි ක්ලින්ටන්ට කරට කර තරගයක් දෙන්නට සමත් වීම විස්මය ජනක විය.

බොහෝ විචාරකයන් විසින් බර්නි සෑන්ඩර්ස් හඳුනා ගනු ලබන්නේ සමාජ ප්‍රජාතාන්ත්‍රිකයකු ලෙසයි. ඇමරිකානු ආර්ථික අර්බුදය නිදහස් වෙළඳපොළ ගැටලුවක් ලෙස දක්වමින් හා රාජ්‍ය සුබසාධනවාදය අගයමින් ඔහු ඉදිරිපත් කළ අදහස් ඇමරිකාවේ පමණක් නොව ලොව පුරාමත් පහළ මධ්‍යම පංතිකයන් අතර ජනප්‍රිය විය. ට්‍රම්ප්ට පුළුල් සහයෝගයක් ලැබුණේ ද මෙම සමාජ ස්ථරයෙන් වීම කැපී පෙනේ. එසේ ම, මෙම ස්ථරයේ ස්ථාවරයන් අතර දෝලනය සිදු වන ආකාරය ද රසවත් ය. ආන්තික වමත්, ආන්තික දකුණත් අතර ඇතැම් විට විස්මය එළවනසුළු සීරුමාරු වීම් දක්නට ලැබේ. බර්නි සෑන්ඩර්ස් සමග සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පදනමින් අරගල කළ ඇමරිකානු පහළ මධ්‍යම  පංතික ජනයාට ඉන් පසු ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් වෙත සීරුමාරු වීම එතරම් අසීරු කරුණක් වී නැති බව පෙනේ. එයින් කියැවෙන්නේ මෙම පදනම්වල ඇති කිසියම් සමානකමක් නො වේ ද?

“ට‍්‍රම්ප්ට ඡන්දය දීමෙන් පලවූ ගැඹුරු කේන්තියේ තවත් ප‍්‍රකාශනයක් වනුයේ, ඩිමොක‍්‍රටික් ප‍්‍රාථමික වටයේදී වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ට ඡන්දය දී ඇති මිචිගන්, විස්කොන්සින්, බටහිර වර්ජීනියා, ඉන්ඩියානා සහ අයිඩහෝ ඇතුලු ප‍්‍රාන්ත රිපබ්ලිකන් අපේක්ෂකයාට ඡන්දය දී තිබීමය. නිර්ලජ්ජිත ලෙස සැන්ඩර්ස් ක්ලින්ටන්ට යටත් වීම හා ඔහු විසින් ඩිමොක‍්‍රටික් පක්ෂය වර්නනා කරනු ලැබීමේ කාරනා ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය සඳහා මූලික භූමිකාවක් ඉටු කලේය," යි බැරී ග්‍රේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ද බර්නි සෑන්ඩර්ස් වැනි ම දෘෂ්ටිවාදීමය සෝඩා බුබුළක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මොවුන්ගේ ආන්තික ස්ථාවරයන්ට මූලික හේතුවක් වන්නේ සංස්ථාපිතයට පිටතින් ඇතුළට කඩා වැදීම සඳහා ඔවුන්ට තිබූ මාර්ගය එය වීමයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ම ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු සිය ආන්තික ස්ථාවරයන්ගේ තියුණු මුවහත මොට්ට කර පෙන්වන්නට සෑහෙන උත්සාහයක් දරමින් සිටියි. මෙක්සිකෝව පැත්තෙන් ඉදි කරන බව කී තාප්පයේ හයිය ද, මුස්ලිමුන්ට රටට ඇතුළු වන්නට ඉඩ නො දෙන ආකාරය ද, රටින් පිටමං කරන බව කී අනවසර සංක්‍රමණිකයන් මිලියන ගණන ද දැන් ඔහු විසින් ම කපා කොටා අවම කරගෙනතිබේ. ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය අනුව ඔහු ජනාධිපතිවරණය විශිෂ්ට අන්දමින් ජය ගත්තත්, ඇමරිකානු ජනතාවගෙන් බහුතරයක් ඡන්දය දී තිබෙන්නේ හිලරි ක්ලින්ටන්ට ය. ඔහු හමුවේ තිබෙන පළමු අභියෝගය අැමරිකා එක්සත් ජනපදයේ සමාජය ආන්තිකව බෙදී වෙන් වීම හෙවත් ධ්‍රැවීකරණය වළක්වාගෙන සිය ජනාධිපතිත්වය තහවුරු කර ගැනීමයි.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අවසානයේදී ලොව පුරා ජාතිකවාදයේ මහා පිබිදීමක් ලෙස දකින අය ද සිටිති. එය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් විකාර සහගත ජාතිවාදී එහෙත් ප්‍රජාතාන්ත්‍රික තීරණයේ ම තවත් දිගුවක් ලෙස සැලකිය හැකි ය. එතැනින් නො නැවතී එය ප්‍රංශයේ හා ජර්මනියේ පැවැත්වෙන්නට නියමිත ප්‍රධාන මැතිවරණවලටත් බලපෑමක් කරනු ඇත.විශේෂයෙන් ම ප්‍රංශයේ ජනාධිපතිවරණයට තරග කරන ජාතිකවාදී සංරක්ෂණවාදී ජාතික පෙරමුණේ නායිකා මැරීන ල පෙන් මේ මොහොත වන විට ලෝකයේ ජාතිකවාදීන්ගේ මීළඟ අපේක්ෂාව වී තිබේ. ඇය ද, සිය ප්‍රංශ ජාතික ස්වෝත්තමවාදී, සංක්‍රමණික විරෝධී හා මුස්ලිම් විරෝධී සටන් පාඨ ඔස්සේ ජනප්‍රිය වන්නට උත්සාහ කරමින් සිටියි. ප්‍රංශයේ ජනාධිපතිවරණය 2017 අප්‍රේල් - මැයි කාලයේදී පැවැත්වීමට නියමිත ය. ජර්මනියේ හා නෙදර්ලන්තයේ ද ජනාධිපතිවරණ 2017 වසරේදී පැවැත්වීමට නියමිත ය.

ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයකු වන පාඨලී චම්පික රණවක මෙම තත්වය විග්‍රහ කරන්නේ ‘නිදහස් වෙළඳාම හා ගෝලීයකරණය අවසන් - ජාතිකවාදී ආරක්ෂණවාදය යළිත්' යන මාතෘකාව යටතේ විග්‍රහයක් කරමිනි. “බටහිර නිදහස් වෙළඳාම හා ගෝලීයකරණ ආර්ථික හා ආරක්ෂණ උපායන් වෙනස් වෙමින් පවතින බවය. ඒ අනුව හැසිරීමට චීනයට, ජපානයට හා ඉන්දියාවට සිදුවනු ඇත. ශ්‍රී ලංකාවද සිය ආරක්ෂාව හා ආර්ථික උපායමාර්ගය වහා වෙනස් කර ගත යුතුව ඇත," යි ඔහු කරන නිගමනය උවමනාවට වඩා කලින් කරන දෘෂ්ටිවාදීමය අපේක්ෂාවක් බව අපේ අදහසයි. තවදුරටත් පැසිපික් වෙළඳ ගිවිසුම (TPP) හෝ අත්ලන්තික් වෙළඳ ගිවිසුම (TTIP) හෝ වලංගු නැති බව ඔහු පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඒ සම්බන්ධයෙන් තීන්දු ගන්නටත් කලිනි. ජාතිකවාදීන්ගේ අපේක්ෂාව එවැනි තත්වයකි.

එහෙත්, ඇමරිකානු ජාතිකවාදය යනු ශ්‍රී ලාංකික ජාතිකවාදය වැනි දූපත්වාදයක් නො වේ. ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ජාතිකවාදය අධිරාජ්‍යවාදය හා නව යටත් විජිතවාදය ඔස්සේ ගොඩනැගුණු එකකි. එ්වායේ ජාතිකවාදී ප්‍ර‍වණතා ගමන් කරන්නේ සෙසු ජාතීන් යටත් කර ගන්නා නව යටත්විජිතවාදී ප්‍ර‍වණතාවන්ට මිස උතුරු කොරියානු පන්නයේ දූපත්වාදී ස්වෛරීභාවය දෙසට නො වේ.

ඒ බව බ්‍රිතාන්‍යයේ සිට ඇමරිකාව, ප්‍ර‍ංශය හරහා ජර්මනිය දක්වා පවතින ජනප්‍රිය දේශපාලන ප්‍ර‍වණතා අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි කර ගත හැකි ය. ඒවායේ ඇත්තේ චම්පික රණවක අපේක්ෂා කරන ආකාරයේ ගෝලීයකරණ විරෝධයක් ද? නැත. ප්‍රාග්ධන ගෝලීයකරණයට එරෙහි කිසිදු විරෝධයක් එහි නැත. ඕනෑ නම් සිදු වනු ඇත්තේ බලවත් රාජ්‍යවල ප්‍රාග්ධන ගෝලීයකරණය වඩා ආක්‍ර‍මණශීලී හා ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ස්වරූපයක් ගැනීමයි.

බලවත් රාජ්‍යවල නැගී එන ජාතිවාදය තුළ තිබෙන්නේ ශ්‍ර‍ම ගෝලීයකරණයට එරෙහිව පහළ මධ්‍යම පංතික පීඩිත ජනයා විසින් ඔසවාගෙන යන ජාතිවාදී සටන් පාඨ සමුදායකි. මුස්ලිම් විරෝධය ද අවසානයේදී සංක්‍ර‍මණික ප්‍ර‍ශ්නයේ ම දිගුවකි. කළු හා වෙනත් ඇමරිකානුවන්ට එරෙහි සුදු අභිමානය ද අවසානයේදී ශ්‍ර‍මයේ දෘෂ්ටිකෝණයෙන් විග්‍ර‍හ කරන්නට පුළුවන.

ඇමරිකාවේ මිලියන 30ක් අනවසර සංක්‍ර‍මණිකයන් සිටින බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. එය ලංකාවේ ජනගහණය මෙන් එකහමාරක පමණ තරමකි. ඔවුන් ඇමරිකාවේ ජීවත් වන්නේ කෙසේ ද? ඔවුන්ට ශ්‍ර‍ම වෙළඳපොළක් නොමැතිනම් ඔවුන්ට පැවතිය හැකි ද? ඇමරිකාවේ පහළ පංතික ජනයාට ජීවන දුෂ්කරතා ඇති වී තිබෙන්නේ මෙම සංක්‍ර‍මණික ශ්‍ර‍මිකයන් නිසා ය යන්න සම්පූර්ණ ඇත්තක් ද? අනෙක් පැත්තෙන් ඇමරිකාව කියන්නේ ම සංක්‍ර‍මණිකයන්ගෙන් සැදුණ රටකි. එවන් ජනතාවකට පරම්පරාවකට හෝ දෙකකට පසුව සංක්‍ර‍මණය වන තවත් පිරිසක් අනවසර සංක්‍ර‍මණිකයන් ලෙස හැඳින්වීමට අයිතියක් තිබේ ද?

ශ්‍රම ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරය අවසානයේදී බලවත් රාජ්‍යවල ජාතිකවාදී ආක්‍ර‍මණශීලිත්වය තවදුරටත් කුළුගන්වන එකකි. ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ජනාධිපති වූවා ය කියා මෙම අනවසර සංක්‍ර‍මණිකයන් බහුතරයක් ඉවත් කරන්නේ නැත. එසේ ඉවත් කරන්නට ද බැරි ය. මිලියන 30ක් වන මෙම කම්කරුවන්ගේ ලාභ ශ්‍ර‍මය ඇමරිකානු ආර්ථිකයේ දැවැන්ත ශක්තියකි.ඇමරිකාව ඔවුන් පිටමං කරන්නේ නැත. කරන්නේ ශ්‍ර‍ම කොන්දේසි තවත් තද කරමින් සූරාකෑම තීව්‍ර‍ කිරීමයි. අවසානයේදී එමගින් ඇමරිකානු ජාතික කම්කරුවන්ගේ තත්වය ආරක්ෂිත වන්නේ නැත. සිදු වන්නේ තවත් කම්කරු පිරිසක අනාරක්ෂිතභාවය වැඩි වීම පමණි. පහළ මධ්‍යම පංතියට යම් දුරකට සිය සුදු කරපටි රැකියා ආරක්ෂා කර ගන්නට හැකි වනු ඇත.

හිනා කා මැරෙන කාරණය වන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයියෙන්, තාවකාලික පදිංචියෙන්, ස්ථිර පදිංචියෙන්, ශිෂ්‍ය වීසාවෙන් බැරිනම් බෝට්ටුවෙන් හෝ ඇමරිකාවට, යුරෝපයට, ඔස්ට්‍රේලියාවට පැන ගන්නට බලාගෙන ජීවත් වන, ලෝකෙ කොයි රටකට ගියත් ආපසු එන එක ෂුවර් නැති නිසා කිසිදු රටකට පහසුවෙන් වීසා ලබා ගන්නට බැරි ශ්‍රී ලාංකිකයෝත් බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට, ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍ර‍ම්ප්ට හා ප්‍ර‍ංශයේ ල පෙන් වැන්නන්ට ආවැඩීමයි.

(රාවය තනියාය, 2016 නොවැම්බර් 18)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-16

ජනාධිපතිතුමාගෙ නියපොතු කපපු හැටි

ඊයෙ රාවයේ තිස්වන සංවත්සරය බලන්න ගියානේ.

මං ඉතින් යනකොට ටිකක් පරක්කු වෙලා. අපට ඉතින් ඔය බණ්ඩාරනායක මෙව්ව එක ගෙදර වගේ යැ. මං ඉතින් හෙණ ඈත බස් නැවතුමෙන් බැහැලා පයින් කොටලා ප්‍ර‍ධාන ඇතුළුවීම පැත්තෙන් ම රතු පලස මතින් ගිහින්, අහන්න කෙනෙක් නැති නිසා කැන්ටිමේ හාදයකුගෙනුත් අහලා ගියා කෙළින් පාරෙන් ම වහෙන් ඔරෝ නැතුව අදාළ ඉස්තානෙට. 

අප්පට සිරි! සිනා සිසී ඉන්නෙ නැතෑ කළු ඇඳුම් ඇඳපු හාදයො වගයක් මග. 

“මහත්තය දෙන්නකො බෑග් එක" කියලා ඉල්ලගෙන පොඩි සිකුරිටි හාදයෙක් අවුස්සන්න ගත්තා පිස්සගෙ පළා මල්ල. ඒ අතරෙ ලොකු සිකුරිටි බලපි මගෙ සර්වාංගය. සාක්කුවෙ මාරු කාසි වගයක් තිබිලා බීප් බීප් ගාපි!

බෑග් බලන පොඩි සිකුරිටි මං දවල්ට කන්න කෑම ගෙනාපු පෙට්ටියත් ඇරලා බලාපි. ඌට දෙයක් ඉතුරු කළේ නැහැ මං ඒකෙ. 

ඔය අස්සෙ තව හුට්ටප්පරයකුත් වුණා. අපේ දූලගෙන් නියපොතු කපන කටර් එකයි උන්ගෙ නියපොතුයි බේර ගන්න බැරි නිසා මං ඒක දාගෙන තිබුණ මගෙ බෑග් එකේ. කෙළියා තාප්පෙට. 

පොඩි සිකුරුටි මං හිතන්නෙ ඇත්තට ම මේ ආණ්ඩුවට මාර ආදරෙයි. මේ ආණ්ඩුව පොරවෙන්වත් කපන්න බැරි වෙන්න ඉස්සෙල්ලා මං නේල් කටර් එකෙන් කපයි කියලා ඌ හිතන්න ඇති. 

ඌ ඒක එකෙළ මෙකෙළ කරනකල් මං ලොකු සිකුරිටිට තෙලක් බෙදුවා. මේකට ලොකු ලොක්කො එන බව දන්නවා නම් මං එන්නෙත් නැහැ ය කියලා. ඌත් ඉතින් පූසා වගේ හිනා වෙන නිසා මං තවත් පොර වෙලා කිව්වා අපි නම් ඕකුන්ව ගණන් ගන්නෙ නැහැ කියලාත්. ඇත්ත නේ. අපට ඕකුන්ව ගණන් ගන්නවත් කිට්ටු කරන්න පුළුවනෑ.

කොහොමින් කොහොම හරි අදාළ තැනට ගියයි කියමුකෝ. මං නිමල් අබේසිංහට මේ කාරණේ කිව්වා ම “අර පැත්තෙන් ආවා නම් ඉවරයි නේ," කියලා කාර් පාක් එක පැත්ත පෙන්නුවා. මොකෙක්වත් චෙක් කරන්නෙ නැහැ. සිවිඩ්ඩෙන් කොස් ඇටේ පැඩ්ඩෙනවා වගේ සිම්ප්ලි හෝල් එක ඇතුළට යන්න පුළුවන්. 

අනේ මුන්ගෙ අම්මගෙ සිකුරිටි. සුයිසයිඩ් කාරයෙක් වුණත් ප්‍ර‍ධාන දොරටුවෙන් ආවොත් විතරයි මුන් පරීක්ෂා කරන්නෙ. උන්ට ම හරියන සිකුරිටි!

මං යනකොට වික්ටර් අයිවන් සහෝදරයාගේ කතාව අහවරයි. මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුණාට වැටුණෙ පොද වැස්සක් ය කියල ඔහු කියල තියෙනවා. මහ නියඟෙකට ඉතින් පොද වැස්සකින් ඇති වැඩක් තියෙනව යැ. පස්සෙ ජනාධිපතිතුමා කිව්වෙ ඒක මල් වැස්සක් ය කියලා. ඔව් ඉතින් ඒගොල්ලන්ට එහෙම නැතෑ. 

අනුර කුමාර දිසානායක දුන්නා ජනාධිපතියි, අගමැතියි වේදිකාවේ තියාගෙන ඇට්ටි හැළෙන්න. ලැජ්ජාවක් තියෙනවා නම් මූණ රතු වෙන්න ඕනැ කොණ්ඩ කුරුල්ලෙකුගෙ පුක වගේ. ඒ වුණාට ඉතින් අනුරටවත් එහෙම එකක් නැති එකේ මෛත්‍රීපාලට තියෙයි යැ. රනිල්ට නම් නැති බව පහුගිය දවස්වල ඔප්පු කරලා පෙන්නුවනේ. හැබැයි මං හිතන්නෙ සමාජයෙ තියෙන පොදු දෝස්මුර ටික ඔක්කොම අනුර දෙසා වැදෑරුවා.

ප්‍රේක්ෂකයන් අතරෙ හිටිය 2015 ජනවාරි 8 විප්ලවීය දේදුනු වර්ණ හමුදාව ම. රාවය වැදගත් වෙන්නෙ අලෙවිය නිසා නො වන බව දන්නා අනෙකුත් අයත් ඇවිත් හිටියා. 

මං හිතන්නෙ රාවය කළේ මෛත්‍රීටයි, රනිල්ටයි කර ගන්න බැරි වැඩක්. රාවය ඒ බැටෑලියන් එක ආපසු කැඳවා දුන්නා උන්නැහේලගෙ දුක් ගැනවිල්ල අහන්න. මෛත්‍රී හරි රනිල් හරි කැඳෙව්වා නම් නො යන අයත් එතන හිටියා. උදාහරණයක් තමයි මේ මම.

ඉතින් ඒ පිරිස ඉදිරියේ මෛත්‍රීයි, රනිලුයි හොටු පිහදමමින් අනුකම්පාව දිනා ගන්න උත්සාහ කළා. බොරු කියන්න ඕනැයැ. මට නම් පව් කියලා හිතුණා. ඒ හින්දා මාත් ආයෙමත් තීරණය කළා ඔන්න ඔහේ 2020 වෙනකල් සහයෝගය දීලා බලනවා ය කියලා. හැදෙනවා නම් හැදියව්. නැතිනම් මක බෑ වෙයව්. මොක්කු වුණත් ඉතින් අරුන්ට වඩා හොඳයි නේ. අඩු ගානෙ නිදහසේ බනින්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් හරි තියෙනව නේ.

අනුර දිසානායක නම් කියන්නේ ඒගොල්ලන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අලුත් බලවේගයක් හදන්න ඕනැ ය වගේ මෙව්වා එකක්. ඒකෙ අවුල තියෙන්නෙ ඉතින් අපට තියෙන්නෙ බලවේගෙ හදන්න විතරක් වෙන එකයි. දැන් වගේ බනින්නවත් පුළුවන් වෙයි ද දන්නෙ නැහැ.

සම්බන්ධන් ලොක්කා පාසල් සාහිත්‍ය සමිතියක මගේ රට මාතෘකාවෙන් පහේ ළමයෙක් කරන විදියෙ කතාවක් කරද්දි රාවුෆ් හකීම් ලොක්කා කියෙව්වෙ නැතෑ ඔබ්සර්වර් එකට ලකී ලියන කොලෝනියල් කතුවැකිය වගේ එකක්. 

ඔය අස්සෙ රාවය තරුණ විචාරක තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන වගේකුත් දුන්නා. ජයග්‍රාහී තරුණ විචාරකයො ජනාධිපතිගේ පාද නමස්කාර කර කර ඔය ගත්තෙ සම්මාන. උන්ට දොස් කියල වැඩකුත් නැහැ. සභාවෙ තිබුණෙ ඔක්කොම ශ්‍රී නොම්මර කාලෙ ඩයල්.  

රාවයට සුබපතන්න දෙයක් නැහැ. මං රාවයෙ කොටසක් ද නැද්ද මං දන්නෙ නැහැ. ඒ වුණාට රාවය කියෙව්වෙ නැති වුණා ම අවුල් වගේ ඒකට ලිව්වෙ නැති වුණාමත් ටිකක් අවුල්. හෙට පාන්දර තුනට නැගිටින්න ඕනැ තනියායට ලිපියක් ලියන්න. උඩුවා අද දවසට කෝල් තුනක් ද හතරක් ද දුන්නා. හැදෙන සංස්කාරකවරු දෙපෙත්තෙන් දැනේ කිව්වලු. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ගණගෙඩි වන්නම


තම් දනත් දන තන
තන තනම් දන තන
තන තනම් දන තම් - දන නානා

යුත් සැරෙන් දිලිසෙන
මෘග හිසින් සසොබන
අං දෙකින් අඩදැන
දනුව ගො නා

කුණු සරුප් වැකි මුඛ
බරි දෙතොල් ලෙල දෙන
නෙත් රකුස් ලොඩි මෙන
සිවුර ව නා

අත් වනා ගසමින
වෙත් සතුන් සිරුරින
යුත් නිතින් අරිසස්
මළ පනි නා

නැත් නැණක් වැඩ ඇති
හිස් හිසින් නටමින
වෙත් මෙවන් ගණ ගෙඩි
වන්නමි නා

(ගණපති වන්නමේ ආභාසයෙනි. මුල් වන්නම මෙම පිටුවේ තිබේ.) 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-15

මාර්ග නීති පිළිපැද ආණ්ඩුව පෙරළමු

ආණ්ඩුව හදන්නේ අපෙන් බදු ගසා රැකෙන්නට ය.

ඒ හුකාරිස්වලට ඉඩ නො දෙමු.

අරක්කු වෙනුවට වයින් පෙරාගෙන බොමු. විස්තර මෙතනින්

සිගරැට් නො බී ඉමු. නැතුවම බැරි නම් ඊ සිගරැට් බොමු. පරණ ලිපියක් මෙතනින්.

වාහන දඩ නො ගෙවමු. ඒ සඳහා මාර්ග නීති අකුරට අනුගමනය කරමින් පාරේ යමු. 

ඒ සඳහා බස් රියදුරන් කළ යුත්තේ මෙන්න මෙවැනි සිම්පල් දේවල් තුනකි.

  1. ගමනේ මුල හරිය කොට කොටා ගොස් අග හරිය ඉගිලෙන්නේ නැතිව වේග සීමා තුළ එක ම ගානට දිගට ම යාම
  2. බස් හෝල්ට් අසලදී පමණක් පුවක් කෑල්ලක් හෝ බුලත් කොළ කෑල්ලක් බැගින් කෑම
  3. ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සීටීබීකාරයන්ට පගා දීම


ත්‍රිරෝද රියදුරන් අනුගමනය කළ යුත්තේ චූටි පියවර තුනකි

  1. සවුන්ඩ් සෙටප් එකෙන් අමරදේවගේ ස්ලෝ සිංදු ලෝ වොලියුම් දමාගෙන ඒ අනුව ධාවනය කිරීම
  2. ත්‍රිරෝද රියේ හැඬල් ලොක් එක ආපසු සවි කර ගැනීම
  3. ත්‍රිරෝද රියේ රෝද ගණනට එකක් අඩු පා ගණනක් ඇති අය පමණක් ඒවා පැදවීම


ටිපර් රියදුරන්ගේ සංගමය තවමත් ස්ට්‍රයික් කරන බව පවසා නැත. ඒ නිසා ඔවුන්ට උපදෙස් දෙන්නට යන්නේ නැත. 

මේ අතර පාරේ යන මගීන්ට මෙසේ කරන්නට පුළුවන. 

  1. පුක හෝදන අතේ ලේන්සුවක් ගැට ගසාගෙන තමන් යන්නේ පාරේ ඒ පැත්තෙන් නො වන බවට වග බලා ගැනීම
  2. කහ ඉර රජයේ දේපලක් නො ව, රාජපක්ෂවරුන්ගේ දේපලක් ලෙස සලකා කටයුතු කිරීම
  3. තමන්ගේ ජීවිතය ආණ්ඩුවේ නො ව තමන්ගේ ම බව නිතර සිහිපත් කර ගැනීම


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-11-14

ඉල් මහ 'ද්‍රෝහී' සැමරුම අද

ඡන්දය දුන් වරදට මරා දමන ලද ‘ද්‍රෝහියෙක්.'  ඔබට හෝ මට මෙවන් ඉරණමක් අත් කර නො දෙන්නට අරගල කරමු! 
ඊයේ ඉල් මහ විරුවන්ගේ දිනයයි. සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් වැරදි මගක ගිය මුත්, අවංකව සටන් කර දිවි දුන් ඒ සොයුරන්ට මගේ ආචාරය! 

ඉල් මහ විරුවන් නිසා ජීවිත අහිමි වූ 'ද්‍රෝහීන්ට' ද සමරු දිනයක් තිබිය යුතු යයි මම සිතමි. හේතුව, මූලික වශයෙන් මේ දෙවර්ගයෙන් එක් වර්ගයක් වඩා හොඳ හෝ වඩා නරක හෝ යයි මම නො සිතන බැවිනි. 

පහත පළ වන්නේ 1987-90 ජවිපෙ කැරැල්ලේදී සිදු වූ සත්‍ය සිදුවීම් දෙකකි. මෙවැනි සිදුවීම් තවත් රාශියක් සිදු විය. ඒවා ගැන දන්නා අය දැන් ද කිසිදු අවංක ස්වයං විවේචනයකින් තොර ව වත්මන් තරුණ පරපුර නො මග යවමින් සිටිති. එසේ කරන එක් පක්ෂයක නායකයෙක් කල් ඇතුව ම සිය දරු දෙදෙනා හා බිරිය ඕස්ට්‍රේලියාවේ පදිංචි කළේ ය.

අලුත් තරුණයන් නො මග යවන තවත් පිරිසක් සිටින්නේ විදේශගතව ය. තරුණයන්ට විප්ලව ගැන උපදෙස් දෙන්නේ මුහුණු පොතෙනි. ඔවුහු සිය දරුවන් සම්පූර්ණයෙන් ම මේ ඊනියා ලාංකීය විමුක්තියෙන් මුදාගෙන තිබෙන අතර ලංකාවේ තරුණයන්ට පමණක් විප්ලවීය වැරදි පාර පෙන්වමින් සිටිති.

ඔවුන්ගේ අතරමැදියන් ලෙස කටයුතු කරන විනාශයේ ඒජන්තයන්ට ඔවුන්ගෙන් විදෙස් රැකවරණ සඳහා පොරොන්දුවක් තිබේ. තවත් වරක් මේ අය පසුපස ගියත්, ලංකාවේ සිව්වන තරුණ පරම්පරාවකට වුව උරුම වන්නේ තවත් එක් සැමරුම් දිනයක් පමණක් වනු ඇත.

කැරැලි තුනක් ඔස්සේ ලංකාවේ අවංක, මුග්ධ තරුණයන් ලක්ෂ ගණනකට විනාශයේ පාර පෙන්වූ ආන්තික ජාතිවාදී හා මාක්ස්වාදී දේශපාලනයේ යථාර්ථය පෙන්වා දෙන අපට ඔවුන් කියන්නේ තරුණයන් නො මග යවන පිරිසක් ය කියා ය. එතැනින් නො නැවතී අපගේ මරණය ද ප්‍රාර්ථනා කරන සුපුරුදු තත්වයට ඔවුහු පත් වී සිටිති. අවුරුදු බොහෝ ගණනක් වයසට එකතු වී තිබියදීත් ආන්තික ජාතිවාදීන් හා මාක්ස්වාදීන් තවමත් එතැන ම ය. 

අප කරන්නේ තරුණයන් මුළා කිරීමක් යයි කීව ද, අපි එම කාර්යය ඉතා සතුටින් එය කරන්නෙමු. මන්ද, එය එසේ නො වන බව අප දන්නා නිසා ය. මෙය කියවන එක් අයෙකු හෝ අාන්තික මාක්ස්වාදීන්ගෙන් හා ඔවුන් සමග සම්මුතිගතව කටයුතු කරන ජාතිවාදීන්ගෙන් ඈත් වන්නේ නම් එය අපේ ජයග්‍රහණයකි.

ඉල් මහ ද්‍රෝහී සමරුව වෙනුවෙන් අපි කතා දෙකක් කියන්නෙමු.

පළමු කතාව අප මිතුරු අරුණ ප්‍රේමරත්නගේ කතාවයි.

‘නිදහස යනු උත්තරීතර වචනයකි. එහෙත් කර්මාන්ත සඳහා නිදහස යන සටන් පාඨය යටතේ ඉතාමත් කොල්ලකාරී යුද්ධ කරන ලදී. ශ්‍රමකරු නිදහස යන සටන් පාඨය යටතේ වැඩ කරන ජනයා මංකොල්ල කන ලදී.'
(වී. අයි. ලෙනින්. කළයුත්තේ කුමක් ද? තෝරාගත් කෘති වෙළුම් දොළහ. ප්‍රගති ප්‍රකාශක මන්දිරය. පිටුව 119.)

ඉල් මහ විරුවන් ලෙස සමරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අරගල දෙකෙහි දී රජයේ නිල හා නිල නොලත් හමුදා අතින් මරණයට පත් වූ පිරිසයි. ඔවුන් යම් විමුක්තියක් උදෙසා සටන් කළ බවක් කියැවෙනවා. . එහෙත් මේ පිරිස මරණයට දැක්කවූ නායකත්වයට විමුක්තිය පිළිබඳ නිවැරදි අදහසක් තිබුනේ ද? ඔවුන් මියගියේ අනාගත පරම්පරාවට විමුක්තිය කරා යා හැකි මාර්ගයක් විවර කිරීම උදෙසා වූ සටනක දී ද?
ආරක්ෂක හමුදාවල පවුල් ඝාතනය කිරීමට තරම් සැහැසි වූ ජනතා විමුක්ති පෙරමුණට මේ හමුදා රණ විරුවන් බවට පත් වීමට ගත වූයේ දශක දෙකකටත් අඩු කාලයක්.
හමුදා සෙබළුන් ගැන පමණක් නොව මෙරට සියලු ජනතාව ගැන ඔවුන් තුළ වූයේ අනවබෝධයක්.

රජයේ හමුදා පිළිබඳව නිවැරදි අර්ථකථනයක් නොමැති පක්ෂයකට පීඩිත ජනතාව ගැන අර්ථකථනයක් තිබිය හැකි නොවේ.

මේ ජනතා විමුක්ති පෙරමුණේ දෘෂ්ටිමය ඌනතාව පිළිබඳ එක් උදාහරණයක් පමණයි.
මේ කතාව සිදු වුනේ 1989 දී.

ඔහු බරවාහන රියැදුරෙකු ලෙස මැදපෙරදිග රැකියාවකට යන්නේ සිය පෙම්වතිය සමග අලුත් ජීවිතයක් ඇරඹීමේ අදිටනින්. බරපතළ අනතුරකට ලක්ව ආපසු එන ඔහුට කාලයක් ඔත්පලව එක්තැන් වීමට සිදු වෙනවා. තවත් කාලයක් කිහිලි කරුවකින් ඇවිදිමින් ඔහු ගෙවන්නේ අතිශය දුෂ්කර ජීවිතයක්. සුව වූ පසුව යලිත් මැදපෙරදිග යන ඔහු තවත් කාලයක් එහි රැකියාව කරනවා. ඔහුගේ පෙම්වතිය ඇඳුම් මැසීමෙන් ජීවිකාව සොයා ගන්නවා. ඉදිරි ජීවිතය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කර ගෙන ඔහු යලිත් ලංකාවට එනවා. දෙදෙනාට එක් වීමට තවත් කාලයක් ගත වන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට ඉෂ්ට විය යුතු යුතුකම් ද නොපිරිහෙලා ඉටු කිරීම නිසයි. අන්තිමේ දී ඔවුන් නිවසක් ද තනාගෙන විවාහ වෙන විට දෙදෙනාගේම තරුණ විය ඉක්ම ගොසින්.

කෙටි කලක දී ම ඔවුන්ට දරුවෙක් ද ලැබෙනවා. මේ සිදුවීම වෙද්දී දරුවාට යන්තම් තුන් මසක් පිරුණා පමණයි.

එක් වැසි දිනෙක ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඔවුන්ගේ දොරට තට්ටු කරනවා. කිසිදු දේශපාලනයකට සම්බන්දතාවක් නැති ඔහු සැහැල්ලුවෙන් දොර විවර කරනවා. ඔහුව මිදුල වෙත ගෙනයන මේ පිරිස ඔහුට වෙඩි තබා මරා දමනවා. බිරිඳ මිදුලේ ඇති සැමියාගේ මළ කඳත්, නිවසේ සිටින බිළිඳාත් අතර එහා මෙහා යමින් හුදකලාව රැය පහන් කරනවා.

ඔහු මරා දැමීමට එකම හේතුව ඊට දින කීපයකට පෙර සිදු වූ මාගේ පියාගේ සහ රණතුංග මාමාගේ ඝාතන සාපරාධී මිනීමැරුම් බව කඩපිලක දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම පමණයි.

කීර්ති බාලසූරිය ජනතා විමුක්ති පෙරමුණේ අනාගත ඉරණම පෙර දකින්නේ 1970 තරම් ඈත කාලයක දී.

‘ජනතා විමුක්ති පෙරමුණ කිසිම විද්‍යත්මක න්‍යායක් මත පදනම්ව ක්‍රිියා කරන සංවිධානයක් නොවන නිසාම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය හැඩ ගැසී ඇත්තේ යථාර්ථයේ මතුපිට තලයේ දිස්වන දේවලට අනුව ය. මේ මතුපිට තලය පන්ති අරගලය විසින් නිරතුරුවම කළඹවනු ලබන නිසා ඒකාබද්ධ ඒකාකාර සංවිධානයක් පවත්වාගෙන යෑමට ඔවුන්ට කිසිම පුලුවන්කමක් නැත.

එක්තරා අවධියක දී පැවති එක්තරා පන්ති තත්වයකට කළ ප්‍රතික්‍රියාවක් වශයෙන් ඔවුන් ඇති කරගෙන ඇති එකමුතුව දේශපාලනික තත්වයේ ඇතිවන සෑම වෙනස්වීමක් විසින්ම අවුල් කර දමනු ලබයි. මධ්‍යම පන්තික සංවිධානයක් තුළ නිරන්තර අර්බුදයක් පවත්නේ එබැවිනි.

එක්තරා පන්ති තත්වයක දී සිංහල ජාතිවාදය ගැන කළ අවධාරණය වෙනත් පන්ති තත්වයක දී ඔවුන්ට කිරීම අපහසුවාක් මෙන්ම සන්නද්ධ නැගිටීමක් ගැන වරෙක කළ අවධාරණය ටික කලක් ඇතුළත වෙනස් කිරීමට ඔවුන්ට සිදු වේ. මේ වෙනස් කිරීම් නිසා ඒ ඒ තත්වයන්ට වෙන වෙනම ප්‍රතික්‍රියා කරන කොටස් නිරතුරුව කැඩී යෑම වැලැක්විය නොහැකිව තිබේ.

එමෙන්ම කැඩී ගිය කණ්ඩායම් කැඩී ගියේ කුමන පන්ති බලපෑමකට යටත්ව, මොන දිශාවකට ද යන්න ගැන කිසිම විග්‍රහයක් ඉදිරිපත් කිරීමට ද ඔවුන්ට පුලුවන්කමක් නැත. කළ හැකි එකම දෙය සී. අයි. ඒ. ඒජන්තයන් යැයි උන්ට පහර ගසා ගැනීමය.‘
(කීර්ති බාලසූරිය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා පන්ති ස්වභාවය. කම්කරු මාවත ප්ර්කාශන.18-19 පිටු. )

දැන් ජනතා විමුක්ති පෙරමුණ කළ යුතුව ඇත්තේ තම නායකත්වයේ පැවති දෘෂ්ටිමය ඌනතාව නිසා නිකරුණේ විනාශ වී ගිය පිරිස ගැන ස්වයං විවේචනයක් කරමින් තම දෘෂ්ටිමය ඌනතාව පිළිගෙන, දෘෂ්ටිමය වශයෙන් නිවැරදි මාර්ගයකට අවතීර්ණ වීම මිස මිය ගිය උන් විරුවන් ලෙස සමරමින් අතීතය නොදත් පරපුර තවත් විනාශයකට දැක්කීම නොවේ.

දෙවෙනි කතාව තවත් මිතුරියක වන රුවන්දිගේ ය.

1988 නොවැම්බරය හීෂණයෙන් පිරුණු සමයකි. එතැන් සිට කාලය වේගයෙන් ඉක්ම ගොසිනි. ඒ භීෂණයේ සිදුවීම් අද වන විට බොහෝ දෙනකුට අමතකව ගොස් තිබේ. 88-89 කාලය තුළ අතුරුදහන්වුවන් ගැනත්, මරා දැමුවන් ගැනත් අපි '90 දී කතා කළෙමු. මරණය දැක දැක මරා දැමුවන් වෙනුවෙන් ගුණ සමරු උත්සව පැවැත්විණි. මට අදටත් ඔවුන් ගැන ඇත්තේ ගෞරවයකි. මා හැදී වැඩී පෝෂණය වුයේ භීෂණය පිරුණු සමාජයකය. ඒ අවදියේ බොහෝ මිනිසුන් මරා දැමුවේ ඉතාමත් ම්ලේච්ඡ ආකාරයටය.

මා හැදී වැඩුණු ඒ භීෂණකාරී සමාජය අද ද ජීවමානව පවතී. මා මේ ලිපිය ලියන්නේ එබැවිනි. අතීත මතකයන් තුළින් මට ගැලවීමක් නැති බැවිණි.

වාමාංශිකයෙකු වූ මාගේ තාත්තා 1988 නොවැම්බර් 08 දා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලදී. ඔහු නමින් නන්දසේන සිල්වාය. ජීවිතයේ තිස් නම වැනි අවුරුද්දේදී ඔහු මරා දමන විට මා කුඩා දැරියකි. මා දන්නා පරිදි ඔහුගේ දේශපාලනය ආරම්භ වන්නේ 1971 කැරැල්ලට සමගාමීවය. ඒ 1971 කැරැල්ලට සම්බන්ධ වුවන් හා ඔහු අතර වූ දේශපාලන මිතුදම් නිසාවෙනි. මාගේ මතකයන් අතරේ ඔහු ඉතාමත් ප්‍රිය ජනක, සමාජයේ අනිත් මිනිසුන් උදෙසා වැඩ කළ පුද්ගලයෙකි.

1980 වැඩ වර්ජනයට හසු වූ ඔහු, බණ්ඩාරවෙල ඌව කරඳගොල්ලේ ගොවිපළක් ආරම්භ කරන ලදී. ගොවිපළ ඇරඹීම හරහා වැඩ වර්ජනයට හසු වු ඔහුගේ ඇතැම් මිතුරන්ටද ජීවන මාර්ගයක් සැපයීමට හැකිවීම ගැන ඔහු සතුටු විය. ඌව කරඳගොල්ලේ පාසල ගොඩ නැගීමට ඔහු වෙහෙස මහන්සිව කටයුතු කළේය. උසස් පෙළ ළමුන්ට නොමිලේ අමතර පන්ති පැවැත්වීමත් ඔහු විසින් ආරම්භ කරන ලදි. ගමේ සෙසු ළමුන් මෙන් දුෂ්කරතා විඳින්නට පුරුදු වෙන්නැයි කී ඔහු මුලින් කරඳගොල්ල ගමේ ඉස්කොලෙට අප යැවීය. තාත්තා පාසැලට උදව් කළ නිසා අප කෙරෙහි විශේෂ සැළකුම් දක්වනු දැකීම ඔහු පි්‍රය නොකළේය. පාසැල් නාට්‍ය සඳහා මා දෙවරක්ම තෝරා ගැනීම රුචි නොකළ තාත්තා පාසැලට ගොස් 'හැකියාව තිඛෙන වෙනත් දරුවෝ මේ පන්තියේ නැතිදැ'යි ඇසූ අයුරු මට අද මෙන් මතකය. මිනිසුන්ට ආදරයෙන් සළකන්නට මට කියා දුන්නේ තාත්තාය. ගොවිපොළ හරහා යනෙන ගම් වැසියන් නවතා කොළඹින් ගෙනා විටමින් සහ යකඩ පෙති තාත්තා ඛෙදා දෙන අයුරු මට දැනුදු මතකය. 1983 කලූ ජුලිය අවදියේ අපේ ගෙදර දෙමළ මිනිසුන්ගෙන් පිරී තිබිණ. තාත්තා හැකි හැම විටකම අන් අයට උදව් කළේය. නමුත් ඔහුගේ සමාජ ක්‍රියාකාරීත්වයන් ගැන අපට ඒ අවදියේ ගැඹුරු අවබෝධයක් නොතිබිණ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988 නොවැම්බර් 08 දින මාගේ තාත්තා සාහසික ලෙස මරා දැමීමට ප්‍රධාන හේතුව වුයේ වාමාංශික මත දරන්නෙක් ලෙස එවකට ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය ඔහු ප්‍රසිද්ධියේ හෙළා දුටු හෙයිනි. ඔහු ජාතිවාදයට සහ පුද්ගල ඝාතනයට එරෙහිව විවෘතව කතා කළේය. නන්දන මාරසිංහ සහ විජය කුමාරතුංග ඝාතනයන් ඔහු ප්‍රසිද්ධියේම හෙළා දැක්කේය. මාරසිංහ ඝාතනයෙන් පසු, තාත්තා නන්දන මාරසිංහයන්ගේ විශාල සේයාරුවක් ගේ ඉදිරිපස එල්ලා ඒ ගැන ශෝකයෙන් කතා කළ බව මට මතකය. ළදැරියක වූ මම මාරසිංහ යනු කවරෙක්දැයි ගැඹුරින් දැන නොසිටියෙමි. නමුත් තාත්තාගේ වේදනාව තුළින් ඔහු පිළිබඳව මා තුළ චිත්‍රණය වූ රුව දැනුදු මතකයේ තැන්පත්ව තිබේ.

තාත්තා නිතර තමන්ගේ මරණය ගැන කතා කළේය. නමුත් ඔහු වීරයෙක් නිසා ඔහු නොමැරෙනු ඇතැයි මම සිතීමි. මාගේ කුඩා ලෝකයේ අපරාජිත වීරයා වූයේ මගේ තාත්තාය. ඔහු මරා දැමිය හැක්කේ කාටද? ඇතැම් විටක මා තුරුළට ගෙන මාක්ස්ගේ හෝ ලෙනින්ගේ කෘතියක් හඬ නගා කීමට ඔහු පුරුදුව සිටියේය. මට එහි කිසිත් නොතේරිණ. නමුත් මම ඔහේ අසා සිටියෙමි. කුඩා කාලයේ සිට ඒවාට අපේ කණ හුරු කරනු වස් ඒවා කියවන්නේ යැයි වරක් ඔහු කී බව මට මතකය. ඔහු ලෝකය දකින ආකාරය පුංචි මා සමඟ ඛෙදා ගත්තේ ඔහු ගේ මරණය දැන සිටි නිසා යැයි මට අද වැටහේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ මගේ තාත්තා එවන් මිනිසෙකි.

මා සහ අක්කා අවසන් වරට තාත්තා දුටුවේ නොවැම්බර් 03 වෙනිදා පාසැල් නේවාසිකාගාරයේදීය. ඉන් පස් දිනක් ඇතුළත ඔහු මරා දැමිණ. ඔහු සමඟින් තවත් 04 දෙනකු ඝාතනයට ලක් විණ. දෙදෙනකු යාබදව තිබූ ගොවිපලවල් හී අයිතිකරුවෝ වූහ. ඒ දෙදෙනාම දෙමළ ජාතිකයන් වූ අතර කිසිදු කි්‍රයාකාරී දේශපාලනයක් නොකළවුන්ය. ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලද්දේ කුමන හේතුවක් නිසා දැයි මම අද ද නොදනිමි. අනෙක් දෙදෙනාගෙන් අයෙක් ගොවිපොළේ කටයුතු සඳහා අත් උදව්වට හොරණ ප්‍රදේශයේ සිට ආ වඩු කාර්මිකයෙකු වූ රෝහණය. දෙවැන්නා වුයේ ජයවර්ධන අන්කල්ය. (ඔහු වාමාංශික කි්‍රයාකාරිකයෙකු වූ වසන්ත දිසානායකයන්ගේ බාල සොහොයුරාය.) ජයවර්ධන අන්කල් එවකට කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් විය. සරසවි වසා දැමීම හේතුවෙන් ගෙදරට වී සිටි ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ සැළසුම්කරුවෙකු වූ මගේ තාත්තාගෙන් ප්‍රායෝගික දෑ උගෙනීමට අපේ ගෙදරට විත් සිටි බව මට මතකය. ඔවුන් සියල්ලෝ අපේ නිවස තුළදීම අමු අමුවේ මරා දැමිණ. අනතුරුව නිවස මුළුමණින්ම ගිනිබත් කරන ලදී. සුරතලයට ඇති කරන්නට යැයි කියා රාවණඇල්ලේ තාත්තාගේ මිතුරෙකු මට ගෙනවිත් දී තිබූ මුව පැටවාද මරා දමා තිබිණ.

මරණයට පෙර තාත්තාට වධ දුන්නා දැයි මම නොදනිමි. ජයවර්දන අන්කල් ගේ දකුණු අත කපා වෙන් කොට, තාත්තාගේ කඳින් වෙන් කළ හිස සමග අප නිවසට එන ප්‍රධාන පාරේහි ගසක එල්ලා තිබිණ. ඔහු වෙනුවෙන් අවමගුල් චාරිත්‍ර තහනම් කළ ඝාතකයින් එසේ කළහොත් අපෙන් පළිගන්නා බවට තර්ජනාත්මකව දන්වා තිබිණ. මටත්, අක්කාටත් තාත්තාගේ අවමංගල්‍යය තහනම් අඩවියක් විණ. ඔහු අපෙන් සමු නොගත්තේය. ඔහුගේ මුහුණ සිඹ සමු දෙන්නට මටත් අක්කාටත් නොහැකි විය. මට ලෝකය සහ ආදරය ගැන කියා දුන් තාත්තා ඒ තරම් බිහිසුණු මරණයක ගොදුරක් වූයේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගෙන් මට අදත් අසන්නට ඇති ප්‍රශ්නය එයයි.

ගිනිබත් කොට දැමූ ගේ දොරට යට වී ළමා විය පිළිබඳ මාගේ සියළු මතක සටහන් දැවී හළු විය. අඩුම වශයෙන් තාත්තාගේ සේයාරුවක් හෝ අපට ඉතිරි නොවිණ. එදා ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය විවේචනය කළ පුද්ගලයින්ට ඔවුන් දුන් දඩුවම් එබඳු ය. ඒ ඝාතකයෝ අද වුවද නිදැල්ලේ හැසිරෙමින් සිටින බව මම දනිමි. ඒ රුධිරයේ වගකීමෙන් වත්මන් ජවිපෙ නායකයින්ට ගැළවී ගත හැක්කේ අප සමාජයක් වශයෙන් ශිෂ්ඨත්වයක් නොපෙනෙන මානයක ජීවත්වන බැවිනි. මගේ තාත්තාගේ ඝාතකයන්ට එරෙහිව නැගි සිටිය යුත්තේ කෙසේ දැයි මම අදටත් නොදනිමි.

තාත්තාගේ මරණයෙන් පසුව ඔහුගේ දේශපාලන මිතුරෝ තැන තැන ගෙනයමින් අනේක දුෂ්කරතා මැද අපව සඟවා රැක බලා ගත්හ. ඒ මනුෂ්‍යත්වයට මම අදද ගරු කරන්නෙමි. අපේ ළමා විය පලා යා නොහැකි නපුරු සිහිනයක් විණ. අකාරුණික ලෝකය පිළිබඳ අඳුරු සිතුවම අපේ හදවත් පතුළටම කිඳා බැස්සේ ඒ කුඩා වියේදීමය. තාත්තාගේ දේශපාලන මිතුරෙකු මා සහ අක්කාට රැකවරණය දෙමින් අපව නඩත්තු කොට ජීවිතය ගොඩ නගා නොදෙන්නට, අපට කුමක් වනු ඇතිදැයි මට සිතාගත නොහැකිය.

මේ ලිපිය අවසන් කිරීමට පෙර තවත් යමක් ලිවීමට කැමැත්තෙමි. මාගේ පියාගේ මුල්කාලීන දේශපාලන මිතුරෝ විවිධ වූ සමාජ කාර්යයන්හි මේ දක්වා නිරත වෙති. ඒ බොහෝ දෙනෙකුට ඔවුන්ගේ වූ මාවත් හමු වී තිබේ. අහම්ඛෙන් හෝ අප හමු වූ විටක 'මේ නන්දේ ගේ දුව - මේ අර සහෝදරයා ගේ දරුවා'යි කියා සෙනෙහසින් අමතති. නමුත් අප හදවත් තූල මිරිකෙමින් පවතින වේදනාව ඔවුන්ට දැනේදැයි මම නොදනිමි. හොඳ මිනිසෙක් වූ මාගේ තාත්තා මරා දැමුණේ ඇයිදැයි අපට පහදා දෙන්නට ඔවුන්ටද නොහැකි වී තිබේ. ඒ මහා වේදනාව අප විසින් අපගේ මරණය දක්වා දරාගෙන යා යුතුව ඇත. කිසිවෙක් කිසිදු පිළිතුරක් දීමට උත්සාහ නොගනී. ඒ වේදනාවෙන් නිදහස් වීමට අපට උදව් නොකරයි.

කිසිම කෙනකුට කිසිම කෙනකු මැරීමට අයිතියක් නොමැති බව මගේ හැඟීමයි. යම් කිසි ඝාතනයක් සිදු වූයේ ඇයි දැයි යන ප්‍රශ්නය ඇසීමට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතියක් තිබිය යුතුය. අදටත් ලංකාව තුළ දකුණේ හා උතුරේද විරුද්ධ මත දරණ පුද්ගයන් මරා දමන බව මම දනිමි.

මේ ලිපිය 1988-89දී මරා දැමුණු සෑම මිනිසෙකු වෙනුවෙන්ම ඉටු නොවූ යුක්තිය පිළිබඳ වේදනාවෙන් ලියූවකි. අතීතයේ වූ රුදුරු මිනිස් ඝාතනවලට වගඋත්තරකරුවන් සෙවීමට කිසිවෙක් උත්සුක නොවූ නිසාත්, දිවි ගළවාගත්තවුන් ඒ ගැන කතා බහ නොකළ නිසාත් මේ දක්වාම මිනිස් ඝාතන සිදුවන සමාජයක අදටත් අපි ජීවත්වෙමු. උතුරේ සිට දකුණ තෙක් මේ දක්වාද විරුද්ද මතධාරීන් ඝාතනයට ලක් වන බව නොරහසකි. වෙනත් අදහසක් හෝ මතයක් දැරීමට ඕනෑම මනුෂ්‍යකු අයිතියක් තිබිය යුතු බව මගේ හැඟීමයි. ඝාතනය යනු අපරාධයකි. නමුත් ඝාතනයන් අමතක කොට, යුක්තිය පසිඳලීම පසෙක ලා ඝාතකයින් හා සහජීවනයට හුරුවීම ඊටත් වඩා සාපරාධයකි.

යුක්තිය සහ ශිෂ්ඨත්වය අහිමි වූ රටක මරා දැමූ එක් හොඳ මිනිසෙකු වූ තාත්තා පිළිබඳ මතකය වෙනුවෙන් මේ හැර මා වෙන කුමක් ලියන්නද?

රුවන්දි සිල්වා
(නන්දේ ගේ දුව)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.