2016-12-31

තිහේ ලොතරැයිය ඇදෙයි ද?

ජනවාරි 1 සිට ලොතරැයි මිළ රු. 30 වන බව කියනු ලැබේ.

ලොතරැයි මිළ වැඩි නම් ඒවා මිළ දී නො ගෙන සිටිය හැකි ය. එහෙත් ප්‍රශ්නයක් තිබේ. ඒ ලොතරැයි විකිණීමෙන් ජීවත් වන 250,000ක් පමණ වන බව කියන පිරිසගේ ජීවනෝපාය අහිමි වනු ඇති බවට නැගෙන තර්කයයි.

ලොතරැයි අලෙවිය තරමක් අඩු වී නැවත ස්ථායී වනු ඇත. ලොතරැයි වෙළෙන්දන්ට සාධාරණ කොමිස් මුදලක් ගෙවිය යුතු ය. එහෙත්, මිළ වැඩි කිරීමත් සමග ම කොමිස් ප්‍රතිශතය අවම කර ඇති බවක් කියැවේ.

ලොතරැයි වෙළඳුන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ආබාධිතයෝ සිටිති. මෙතැනින් පිවිස ආබාධිත ලොතරැයි වෙළෙන්දකු සමග මා කළ කතා බහක් කියැවිය හැකි ය.

කෙසේ වෙතත්, ලොතරැයි යනු ඇත්තෙන් ම අධෛර්යය කළ යුතු දෙයකි. රජය ලොතරැයි පටන් ගත්තේ ආදායම් උපදවා ගැනීමේ මාර්ගයක් ලෙසයි. රජය ඉලක්ක කළ යුත්තේ කෙළින් ම ආදායම් බදු අය කර ගැනීම මිස මෙවැනි මහජනයා රවටන ජිමික් නො වේ. 

අනෙක් පැත්තෙන් රජය ලොතරැයි මගින් කරන්නට උත්සාහ කරන්නේ පහළ පන්තික ජනතාව තුළ වාසනාව පිළිබඳ මිථ්‍යාවක් නිර්මානය කිරීමයි. දිනෙක ජය නියත යන යෙදුම කාලකන්නිකම මැද ආර්ථික සමෘද්ධියේ ජීවන බලාපොරොත්තුවක් පිළිබඳ මිථ්‍යාව අලෙවි කරන කදිම වචන කට්ටලයකි. 

ලොතරැයි මිළ දී ගන්නන් වැඩි දෙනෙක් දිළිඳු ජනතාව හා පහළ මධ්‍යම පංතිකයන් බව නිරීක්ෂණය කළ හැකි ය. 

ලොතරැයි විකුණන සාමාන්‍ය වෙළඳුන්ට ඔවුන් දරන වෙහෙසට සරිලන ආදායමක් ලැබෙන්නේ නැත. උදේ සිට රෑ වන තෙක් උගුර ලේ රස වන තුරු කෑ ගසමින්, ගිනි අව්වේ වේලෙමින් කරන නිරර්ථක රැකියාව ඔවුන් ද තමන්ට යුක්තියුක්ත කර ගන්නේ තමන්ටත් ඉතිරි වූ ටිකට් පතකට යම් දිනෙක දිනුමක් ඇදෙනු ඇතැයි සිතාගෙන ය. 

ලොතරැයි විකිණීම ආබාධිත ජනයා වැනි සීමිත පිරිසකට සීමා විය යුතු අතර හැකි හැම කෙනෙකු ම එයින් ඉවත් කර ඵලදායී ශ්‍රම කාර්යයකට යොදවන්නට රජය වග බලා ගත යුතු ය. 

මහජනයාගේ පැත්තෙන් ද මෙවැනි නිරර්ථක කාර්යයන්ගෙන් ඉවත් වීම සමාජ වගකීමක් ය යන හැඟීම ඇති කර ගත යුතු ය.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-30

වික්‍රම සිංහයා හා ගල්ලෙන ලොක් කර ගත් සිංහබාහුලා හමුවේ ඵලදායී වැඩ කරන ජනතාව

රනිල්ගේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන ලියමින් මාතලන් පැවසූයේ චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී ය කියා ය.

ඇත්තට ම රනිල්ගේ චේතනා පරිශුද්ධ ද? රනිල් බැඳුම්කර ගේම ගැහුවේ තනිකර ම තමන්ගේ පක්ෂයට ඡන්දය කරන්නට සල්ලි නැති නිසා ද? රනිල් කීයක්වත් ගත්තේ ම නැද්ද?

ඒ වගේ ම රනිල් සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් විශේෂ සංවර්ධකයන් පිරිසකට නීති මුක්තිය සහිත බලතල පවරා දෙන්නට ගියේ රට සංවර්ධනය කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් ද? නැතිනම් වෙන මොකක් හරි එකක් නිසා ද?

සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන සුමිත් චාමින්ද ඉතා ගැඹුරු භාෂාවකින් විශ්ලේෂණයක් ලියා ඇත. එහි සඳහන් නො වන තහනම් වචන දෙකක් ඇත. ඒ වනාහි මධ්‍යම පංතිය හා රාජ්‍ය සේවයයි. ඇත්ත ම කියනවා නම් සංවර්ධන විශේෂ විධිවිධාන පනත විශ්ලේෂණය කරන්නට අත්‍යවශ්‍ය වචන දෙක ඒවා ය. මෙවැනි විශ්ලේෂණ ප්‍රබන්ධ වන්නේ එහෙයිනි. ප්‍රබන්ධ බොරු නො වේ. එහෙත්, ඒවා අමු යථාර්ථය නො ව, යථාර්ථයේ අර්ථකථනයි.

රනිල්ගේ උත්සාහයේ ඇති සරළ යථාර්ථය මෙයයි. රනිල් වනාහි ජාතියේ පියාගේ පියා වන සිංහයා වැනි පොරකි. ධනවාදය ගැන නිබන්ධන ලියන මාක්ස්වාදී මධ්‍යම පංතිකයන් ද ඇතුළත් වන තමන්ගේ පංතියට කන්නට දෙන්නට වික්‍රම සිංහයා මං පහරන්නට යයි. මිනී මස් කන සිංහයා සිය පවුලට ඇපල්, දොඩම් ගෙනැවිත් දෙයි. ඔරිජිනල් කතාවේ සුප්පාදේවිත්, සිංහබාහුත්, සිංහ සීවලීත් ගල්ලෙන තුළ සිර කර සිටිති. වර්තමාන කතාවේ ගල්ලෙනේ දොර වසා ගන්නේ සිංහබාහුලා ම ය.

ලංකාවේ අර්බුදය වනාහි අමුතු මගුලක් නො වේ. ග්‍රීසිය වැනි රටවල දැන් කලක සිට මේ සිංහබාහු නාටකය රඟ දැක්වෙමින් තිබේ. ලංකාවේ අනුර කුමාර දිසානායකගේ සිට පහළට වාමාංශිකයන් රඟපාන භූමිකා ග්‍රීසියේ කවටයන් රඟ පා හප කළ ජවනිකාවල අමු කොපි කිරීම් ය.

ලංකාවේ මූලික ප්‍රශ්නය ධනවාදයේ පිළිකාවකි. එය සමස්ත රාජ්‍ය දේහය පුරා ම පැතිරෙමින් තිබේ. කීමෝතෙරපි කර සුව කරන්නට නම් මුලින් පිළිකාව තිබෙන තැන හඳුනා ගත යුතු ය. එහෙත්, ප්‍රශ්නය වන්නේ ලංකාවේ ප්‍රශ්නයට උත්තර සොයන අය ද පිළිකා සෛල ම වීමයි. පිළිකාව අනෙකක් නො ව, රජයයි. රාජ්‍ය අංශයයි. එයින් යැපෙන මධ්‍යම පංතියයි. දේශපාලකයෝ, රාජ්‍ය නිලධාරීහු හා රාජ්‍ය සේවකයෝයි. වෙනත් ආකාරවලින් රජයෙන් යැපෙන්නෝයි.

මිලියන 20 ඉක්මවා ඇති රටේ ජනගහණයෙන් මිලියන 1.5ක් ගැහැනු හා මිනිස්සු මේ ආකාරයෙන් කෙළින් ම රජයෙන් යැපෙන්නෝ ය. මේ අතරින් ඉහළ තලය වන දේශපාලකයන් හා රජයේ නිලධාරීන් රාජ්‍ය කළමනාකරණය මුවාවෙන් දැවැන්ත පරිමාණයෙන් මහජන මුදල් ගසා කති. තීරු බදු රහිතව වාහන ආනයනය කරගෙන විකුණා බදු වංචා කළ දේශපාලක චෞරයෝ දැන් කුලියටත් වාහන ඉල්ලති. ඔවුන්ට මුවා වී සද්ද බද්ද නැතුව ම රජයේ උසස් නිලධාරීහු ද මේ වංචාව කරති. පහළ මට්ටමේ රජයේ සේවකයන් අතර සොරකමේ සංකේතය ලෙස සැලකිය හැකි පිරිසක් වන්නේ වෛද්‍යවරු ය. (මේ හොරකම නො කරන, ඇත්තට ම වැඩ කරන වෛද්‍යවරු කලබල විය යුතු නැත. අනෙක් අයට සුපුරුදු කුණුහරුප කීමේ අයිතිය තිබේ.) ලංකාවේ බොහෝ වෛද්‍යවරු රෝහලට පැමිණ සුළු වැඩ කොටසක් කර, චැනල් සේවයට දවස ගත කරන ගමන් අතිකාල, ඔන්කෝල් ආදිය බොරුවට වාර්තා කරමින් අවමය රු. 30,000කට වැඩි මහජන මුදලක් සෑම මසක ම වැටුපට අමතරව සොරකම් කරති.

අප වෛද්‍යවරුන් උදාහරණයට ගන්නේ ඔවුන් සමග ඇති පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නො ව, ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ සිහින වෘත්තිය එය නිසා ය. එය සිහිනයක් වන්නේ මේ වරප්‍රසාද හා අසීමිත ලෙස ධනය ඉපැයීමට හා බදු වංචා කරමින් සැප විඳීමට තිබෙන නිදහස නිසා ය. එහෙම නැතිනම්, හරියට වැඩ නො කර ටියුෂන්, පොසිටිව් තින්කිං දේශන ආදිය කරන විශ්වවිද්‍යාල ඇදුරන් ද, තවත් බොහෝ රජයේ සේවකයන් ද අයත් වන්නේ එම වර්ගයට ම ය.

රාජ්‍ය සේවයේ ඉහළ මට්ටමේ දේශපාලකයන්ගේ සිට පහළ දක්වා ම අරමුණ වැඩ නො කර හෝ අඩුවෙන් වැඩ කර උපරිම වැටුප් හා වරප්‍රසාද ගැනීමයි. මේ පහත් මහජන මුදල් වංචාව සාධාරණීකරණය කර ගන්නේ සුබසාධනයේ මුවාවෙනි. ඇත්ත කතාව නම් රාජ්‍ය අංශය පවතින්නේ මහජන සුබසාධනය වෙනුවෙන් නොව, එහි සේවකයන්ගේ සුඛ විහරණය වෙනුවෙනි. සුබසාධනය ආවරණ පදයකි.

ලංකාවේ ඵලදායී වැඩ කරන ජනතාවගේ හිස මත කඩා වැටී තිබෙන ලොකු ම බර මෙම දැවැන්ත, අකාර්යක්ෂම රජයයි. මහජනතාවගෙන් සූරාකන බදු මෙන් ම, අනාගත පරම්පරා උගස් තබා ලබා ගන්නා ණය ද වැය කරන්නේ මේ සූර චෞරයන් පිරිස නඩත්තු කරන්නට ය.

ලංකාවේ කිසිවෙක් මේ ඇත්ත කතා කරන්නේ නැත. හේතුව, කයිවාරු ගහන පක්ෂ, සංවිධාන හා පුද්ගලයන් කවුරුත් පදනම් වන්නේ මේ සූරා කන මධ්‍යම පංතිය මත නිසා ය. 

ජනතා විමුක්ති පෙරමුණේ සිට එක්සත් ජාතික පක්ෂය දක්වා කිසිවෙක් මේ ඇත්ත ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරන්නේ නැත. විසඳුම අන් කිසිවක් නො ව, රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීමයි. එසේම, රාජ්‍ය අංශයට ලබා දී තිබෙන අසාධාරණ වරප්‍රසාද ඉවත් කිරීමයි. රාජ්‍ය සේවය වෙනුවට ඵලදායී වැඩ කරන කම්කරු පංතියට ප්‍රමුඛත්වය දීමයි.

රනිල් වික්‍රමසිංහ කරන්නේ එය ද? නැත. රනිල් වනාහි ඇත්තෙන් ම මේ චෞර මධ්‍යම පංතියට මේ මොහොතේ ලබා ගත හැකිව තිබෙන හොඳ ම නියෝජිතයා ය. ඔහු කරන්නට උත්සාහ කරන්නේ කොහෙන් හෝ හොර ආයෝජකයන් ටිකක් ගෙනැවිත් මේ මධ්‍යම පංතියට හා මධ්‍යම පංතික ජීවන පරමාදර්ශ මත කටයුතු කරන ලාංකික කම්මැලියන්ට කන්නට දීමට ක්‍රමයක් සෙවීමයි.

ඇත්ත ය. හම්බන්තොට පිහිටුවනු ලබන කර්මාන්ත ශාලාවල අවසානයේදී වැඩ කරන්නට එන්නේත් චීන්නු ම තමා ය. ලංකාවේ කම්මැලියන් ඒවායේ රස්සාවට යන්නේ නැත. ගියත් වැඩි කල් ඉන්නේ නැත. උන් කරනු ඇත්තේ චීන කම්කරුවන්ට ත්‍රිරෝද රථ එළවීම, ඔවුන්ට කාමර කුලියට දීම, බඩු පොට්වල ගනිකාවන් වීම, පාර අයිනේ තබාගෙන තැඹිලි විකිණීම වැනි දේ ය. ලොකු ධනපතියන් චීන කම්කරුවන්ට කැසිනෝ ක්ලබ් දමනු ඇත. හැබැයි ඉතින් ඒකෙනුත් ලංකාවේ ආර්ථිකය තල්ලු වනු ඇත. ලංකාවේ මධ්‍යම පංතික ජීවන ප්‍රමිති අනුව, මිනිසුන්ට අවශ්‍ය දවසේ වැඩි කාලයක් සමාජවාදය, දේශප්‍රේමය හා වෙනත් ඕපාදූප කතා කරමින්, ඈනුම් අරිමින් සිටීම මිස වැඩ කිරීම නො වේ. ඒ වැඩේට ඔය කියන සිරම් බිරම් රස්සා හොඳ ය. ආයෝජකයන් ගෙන්වා ගන්නවා නම්, එක්ටා වැනි ගිවිසුම් හරහා වැඩ කරන්නට ශ්‍රමිකයන් ද පිටරටින් ගෙන්වා ගන්නට අනිවාර්යයෙන් ම සිදු වනු ඇත.

ඒ අතරවාරයේ ලාංකික වීරයන් නිකම් ඉන්නේ ද නැත. සිංහලුන්ට හා දෙමළුන්ට එදිරිව මුස්ලිම්හු ද, මුස්ලිමුන්ට එදිරිව සිංහලු හා දෙමළු ද පැටව් ගසති. ලංකාවේ ජනගහණ වර්ධනය සිදු වන ආකාරය අනුව තව ලක්ෂ පනහක් ජනතාව මේ ජනගහණයට එකතු වන්නට නියමිත ය. (මේ පිළිබඳ ලංකාවේ ප්‍රමුඛ ජනවිකාස විද්‍යාඥයකුගේ අදහස් මෙතැනින් කියවන්න) (Read in English) මේ ඉන්න ටිකත් එක්කත් බෙදා ගන්නට මදි සම්පත් තව කටවල් ලක්ෂ පනහක් සමග කන්නට ගිය කල සිදු වන දේ තේරුම් ගන්නා එක තම තමන්ට ම භාර ය.

ඇත්ත ම කියනවා නම්, මේ ප්‍රශ්න ගැන දුර දිග සිතා බලා කටයුතු කරන වර්තමානයේ සිටින එකම පාලකයා රනිල් ය. පරමාදර්ශ, ප්‍රතිපත්ති ආදිය සමග ජීවත් වෙමින් පෙම්වතුන් නඩත්තු කරන වීරයකු ලෙස ඉතිහාසගත වෙනවා ද, ඕන පුකක් කියා වර්තමාන මොහොතේ කළ යුතු දේ කරනවා ද යන තෝරා ගැනීම හමුවේ රනිල් ඇත්තට ම මේ රටේ මධ්‍යම පංතිය වෙනුවෙන් බෙල්ල දෙමින් තිබේ. එහෙත්, ඔහු තමන්ගේ එක ම ගැලවුම්කාරයා බව තේරුම් ගන්නට තරම් ලංකාවේ කුහක මධ්‍යම පංතියට උවමනාවක් නැත.

ලංකාව වැනි බහුබූත රටකට එන්නට තරම් පිස්සුවක් ලොව ප්‍රධාන පෙළේ ආයෝජකයන්ට නැත. ගෙන්වා ගන්නට සිදු වන්නේ චීන මාක්ස්වාදී අධිරාජ්‍යවාදීන් හා වෙනත් චෞරයන් ය. රනිල්ගේ ඔය සංවර්ධන විශේෂ විධිවිධාන පනත යනු එවැනි යකුන් බැඳගෙන වැඩ කිරීම සඳහා යක්කුන්ට වඩා කපටි කට්ටඩින් පිරිසකට බලය හා අවස්ථාව දීම සඳහා යෝජනා කළ එකකි. යකුන් සමග ඩීල්වලින් ලංකාව දිනනවා ද පරදිනවා ද යන්නට ද මේ නීති අදාළ ය. මේවා පිරිසිදු ගනුදෙනු නො වේ. ලංකාව තිබෙන්නේ පාරිශුද්ධ ලිබරල් ප්‍රතිපත්ති ඔස්සේ ඉදිරියට යා හැකි මංසන්ධියක නො වේ. ගූ බෙට්ටේ ඉස්සරහත් පස්සත් දෙක ම ගූ ය.

රනිල්ට වීරයකු වන්නට බැරි ය. එහෙත්, රනිල් කරමින් සිටින්නේ මේ මොහොතේ ලංකාව වැනි ගුබ්බෑයමක පාලකයකුට මේ ගුබ්බෑයම පවත්වාගෙන යන්නට කළ හැකිව තිබෙන දේ ය. රනිල්ට තිබෙන ප්‍රශ්නය ඔහුට සහායක පදනමක් නැතිකමයි. එහෙමත් නැතිනම් සහායක පදනමක් හදාගන්නට බැරිකමයි. එසේම, ඔහුගේ ලිබරල් පසුබිම ද ඔහුට බාධාවකි. විරුද්ධව කතා කරන එවුන්ගේ කටට පිස්තෝල කටක් ඔබන විදියේ පාලකයකු මේවා කරනවා නම් ඉවසා සිටින්නට සූදානම් වීරයන්ගෙන් පිරුණු රටක ඔහු අසාර්ථක වීමට ඇති ඉඩ වැඩි ය.

මධ්‍යම පංතික වීරයන්ට රනිල් විවේචනය කරන්නට පුළුවන. එහෙත්, විකල්ප ඉදිරිපත් කරන්නට බැරි ය.

අප යෝජනා කරන ප්‍රතිපත්තිය මෙයයි. ලංකාවේ ධනවාදයට කේනීසියානු බාධක පුපුරුවා හරින්නට ඉඩ දිය යුතු ය. වෙනත් ආකාරයකින් කියනවා නම්, මධ්‍යම පංතියට බලය දෙන ඊනියා සුබසාධනවාදී ආර්ථිකය වෙනුවට ධනපති පංතිය අතට බලය ගොනු වන අමු නිරුවත් ධනවාදයට සහාය දිය යුතු ය. ඒ එකකට වඩා අනෙක හොඳ නිසා නො ව, මුල් එක අසාර්ථක වී හමාර නිසා ය. එසේම දෙවෙනි එක සාර්ථක වන නිසා ද නො වේ. අඩු තරමේ එය විසින් අරගල බිම වඩා පැහැදිලි බෙදීම් සහිත එකක් බවට පත් කරනු ඇත. 

මූලිකව ම ඵලදායී වැඩ කරන ජනතාව මධ්‍යම පංතික දේශපාලනික හා දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයෙන් ගලවා ගත යුතු ය. අප වැඩ කළ යුත්තේ ඵලදායී වැඩ කරන කම්කරු පංතියේ බලය වෙනුවෙනි. 

(අප ලියන්නේ වීරයන් ලෙස ඉතිහාසගත වන්නට නො ව, ඉතිහාසයේ නිශ්චිත මොහොත වෙනුවෙන් මැදිහත් වීමක් ලෙස පමණක් බව ද කරුණාවෙන් සලකන්න.) 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-29

ජිජැක් ද? ශීශෙක් ද? සිසැක් ද?

මුලින් ම කියන්න ඕනැ මා කිසිම දාර්ශනිකයකු සම්බන්ධයෙන් දේශීය නියෝජිතයකු නො වන බව. මේක ලියන්නේ අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න අය එක්ක අත්දැකීමක් බෙදා ගන්නටයි. එහෙම නැතිව කිසිම දාර්ශනිකයකු හෝ ශාස්තෘවරයකු ගැන විස්තරයක් මෙහි නැත.

ලෝකෙ තියෙන ශබ්ද ඔක්කොම සිංහල භාෂාවෙ නැහැ. සරළව ම කිව්වොත් ඉංග්‍රීසි o, t, v, w, z වැනි ශබ්ද සිංහලේ නැහැ.

ඒ වගේ ම තමයි දෙමළ භාෂාවෙ තිබෙන ලයනු රයනු වැනි සමහර ශබ්දත් සිංහලේ නැහැ.

සිංහල භාෂාවෙ තියෙන ශබ්ද ඔක්කොටමවත් වර්ණ හෙවත් අකුරු නැහැ. උදාහරණයක් ලෙස ගස කියන වචනෙ ගන්න.

ග්+අ+ස්+අ

ඔය අයනු දෙකෙන්ම උච්චාරණය කරන්නේ එක ම ශබ්දයක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් අයන්න කියන්නේ ඔය මුල් අයන්නේ ශබ්දයටයි. දෙවෙනි අයන්නෙන් එන ශබ්දයට අකුරක් නැහැ.

එහෙව් එකේ, අපි නො දන්න භාෂාවල වචන ශබ්ද කරන හැටි අපි කොහොමද දන්නෙ?

අද කාලෙ ඒ දේ එතරම් ම අමාරු නැහැ.

දැන් මේ මතභේදයට තුඩු දීලා තියෙන වචනය ගන්නකෝ. Slavoj Žižek

අපි කොහොමද මේ වචනය උච්චාරණය කරන හැටි හොයා ගන්නෙ?

මේකට මුලින් ම මේ වචනය අයත් වෙන භාෂාව සොයා ගන්න ඕනැ. ඒක ටිකක් මොළේ පාවිච්චි කරලා කරන්න ඕනැ වැඩක්.

මේ Slavoj Žižek ස්ලෝවීනියානුවකු බව අන්තර්ජාලයෙන් සොයා ගන්නට පුළුවන්.

දැන් මේ වැඩේට ක්‍ර‍ම ගණනාවක් තිබෙනවා.

මේ වගේ විවිධ භාෂාවල වචන උච්චාරණය කරන්නට උදව් කරන වෙබ් අඩවි තිබෙනවා.

http://www.pronouncekiwi.com/Slavoj%20Zizek

https://www.howtopronounce.com/search/Slavoj%20%C5%BDi%C5%BEek/?h

නැතිනම් ගූගල් ගිහින් how to pronounce Slavoj Žižek ලෙස සෙවුමක් කරලා බලන්නට පුළුවන්.

විවිධ උච්චාරණ ලැබෙනවා. ඒත්, ඒවා හරි ද? Slavoj Žižek ස්ලෝවීනියානුවකු බවඅපි දන්නවා. ඒ නිසා ඔහුගේ නමේ සම්භවය බොහෝ දුරට ස්ලෝවීනියානු විය හැකියි. ඒ නිසා අපි සොයන්න ඕනැ ඒ භාෂාවේ උච්චාරණයයි. 

ගූගල් ට්‍රාන්ස්ලේට් ගිහින් එතන ශබ්ද වෙන හැටි බලන එක වඩා විශ්වාසනීය වන්නේ එතැනදීයි. එහි ස්ලෝවීනියානු භාෂාව තිබෙනවා. හැබැයි ස්ලෝවැක් භාෂාව එක්ක පටලවා ගන්නට එපා. ස්ලෝවීනියානු භාෂාව ස්ලෝවැක් භාෂාවට වඩා සමීප වන්නේ ක්‍රොඒෂියානු භාෂාවටයි.

මේ ගැන  තවත් ටිකක් සොයන්නට අපි මෙහෙමත් ගූගල් සෙවුමක් කරලා බැලුවා. how Slovenian language pronounces Slavoj Žižek

එතැනින් තමයි මෙන්න මේ තොරතුර ලැබුණේ. ඒත් ඉතින් මේක හරියට ම හරි ද කියලා අහන්නට වෙන්නේ ස්ලෝවීනියානු භාෂා විශාරදයෙකුගෙන් තමයි.

මේ ශබ්ද කිරීම ශිශෙක් කියන ශබ්දයට ටිකක් සමීපයි. හැබැයි සර්වසම නැහැ.ලෝකෙ තිබෙන සෑම ශාබ්දික විවිධත්වයක් ම ලියා දක්වන්නට වර්ණ අපට නැහැ. කිසිම භාෂාවකට නැහැ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-28

ගිනි ගහන හීතල

අපේ ගම 
මේ සටහන තබන්නෙ නත්තල් දවසෙ උදේ පාන්දර. මං හිතන්නෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ටත් අඩු ඇති. නොදකින් හීතල. අපට ඕව පුරුදු යැ. ඔය ඇලස්කාව පැත්තෙ කොහොම ඇද්ද?

උදේ පාන්දර මෝටර් සයිකලෙන් ගමනක් යන්න වුණා. මං ඉතින් යටට බොටම් එකයි, උඩට කලිසමයි, ටී ෂර්ට් එකයි, ජැකට් එකයි, රේන් කෝට් එකයි ඇඳගෙන බෙල්ලටත් රෙද්දක් බැඳගෙන, සපත්තු දෙකකුත් දාගෙන ගියා. ඒත් ඉතින් අත් මේස් නැහැ නේ.

සිගරැට් එකක් ගන්න ටවුමෙ මං කැමති හෝටලේකට ගොඩ වුණු ගමන් උණු උණුවෙ පොඩියට කපපු මස් කෑලි එක්ක හරක් මස් පීරිසියකුයි, කිරි හොදියි, ලුණු මිරිසුයි එක්ක රෝස් පාන් දෙකක් කැවුණා. (කෙළ ටික ගිලින ගමන් මට පාචනේ නො හැදේවා කියා ප්‍රාර්ථනා කරපල්ලා)

ඔය කැවුණා කියන එක කියනකොට අපේ නෙවිල් උදිත වීරසිංහව මතක් වෙනවා. ඒ දවස්වල ඌට හිරු පත්තරේ වැඩවලට යන්න සල්ලි දුන්නා ම ආපහු ගණන් බේරලා ඉතුරු සල්ලි දෙනකොට ගානක් අඩුයි. ඌ කියන්නෙ ඌට බීම බෝතලයක් පෙවුණා, ඒ ගමන් රෝල්ස් දෙකකුත් කැවුණා කියලයි.

ඉස්සර දවසක ජර්මනියෙ ඉඳන් ආපු මලික්ව සී ෆිෆ්ටියක පිටිපස්සෙ තියාගෙන පදින ගමන් මං ඇහුවා එහෙත් මෝටර් සයිකල් තියෙනව ද කියලා. එයා කිව්වෙ ඒව පදින්නෙ ක්‍රීඩාශීලිත්වයට ය, හීතල නිසා සාමාන්‍යයෙන් ඒවායෙ යන්න බැරි ය කියලායි. ඒක තේරෙන්නේ මේ වගේ දවසට මෝටර් සයිකල් පදිනකොට.

මෝටර් සයිකල් හීතල නියමෙට ම දැනෙන්නෙ වැස්සක් පායනකල් අගු පිලක බලාගෙන ඉඳලා එපා වෙලා, ඔය සපත්තු, පසුම්බි අරවා මේවා ෂොපිං බෑග්වල දාගෙන උන්නත් දාහයි, මළත් දාහයි කියලා පාරට බැහැලා ඉඳිකටු තුඩු වගේ වැහි බින්දු ඇනි ඇනී ගෙදර යනකොටයි. 

මට නම් ඔය හීතල කියන එක පෙන්නන්න බැහැ. එක සැරයක් හිරු පත්තරේට නුවරඑළිය පැත්තෙ නාට්‍ය උළෙලකට ආරාධනා ලැබුණා. භාෂණ කතා කළා යමු කියලා. බැනියම හෝදලා වේලෙන්න දාලයි තිබුණෙ. මං ඉතින් තුනී කමිසෙකුත් ඇඳගෙන රෑ බස් එකේ නැගලා නුවරඑළි ගියා. එදා එහේ හීන් පොද වැස්සක් එක්ක හීතල හුළං හමන මීදුම් ගලන දවසක්. කොළඹින්, උතුරු නැගෙනහිරින් සිරා නාට්‍යකාරයොත් ඇවිත් හිටියා. ඒක වතුකරයේ තිබුණු නාට්‍ය වැඩමුළුවක කලඑළි මංගල්‍යයක් වගේ. පංකාදු නාට්‍ය තිබුණා. මං මුළු දවසෙම වෙව්ල වෙව්ලා හිටියා. කතා කර ගන්නවත් බැහැ. දත් සැට් එක කට කට ගාලා එකට වදිනවා. සැනසුම් සුසුමක් හෙළුවේ එදා රෑ ආපහු එන්න බස් එකකට නැග්ගට පසුවයි. 

හැබැයි මං වින්ද ගින්දර වගේ හීතල වින්දේ 1989 භීෂණ කාලෙදියි. දවසක් ආරක්ෂිත තැනක රැය ගෙවන්නට හිතාගෙන මං ගෝනාපීනුවලින් බැහැලා කෙරදේවල අයියලගෙ ගෙදර ගියා. පක්ෂෙ ඉතින් එහෙම නේ කියන්නෙ. කලින් එක වතාවයි මං එහේ ගිහින් තිබුණෙ. කළුවරේ මට පාර හොයා ගන්න බැරි වුණා. කාගෙන්වත් අහන්න විදියකුත් නැහැ. කාගෙ ගෙදර කියලා අහන්න ද? ඒ ගමේ ඉන්න ඔක්කොම පිරිමි කෙරදේවල අයියලා නේ. දෙතුන් පාරක් එහා මෙහා යනකොට මිනිසුන් අමුතු විදියට මා දිහා බලනවා වගේ මට හිතුණා. ආපහු යන්නත් බැහැ. යන්න තැනකුත් ළඟ පාත නැහැ. ඕනැ එකක් කියලා මං පාර අයිනේ වෙලක පාවරක පිදුරු ගොඩක ඇල වුණා. හීතල වුණාට හීන් දාඩිය දාන්න පටන් ගත්තෙ කිරි බැබළෙන්න හඳ පායනකොටයි. මගේ සුදු කමිසෙ හෙලවෙනකොට ඒ කිට්ටුව කන්දක් උඩ ගෙදරක බලු නරියෙක් පටන් ගත්තෙ නැතෑ උඩු බුරන්න.

මේ ගෙදර ගියත් අපි නිදා ගත්තෙ ගේ අද්දර බැද්දේ ගෝනියක් එළාගෙන, ගෝනියක් පොරවගෙන. නහයවත් එළියෙ තියාගන්න දෙන්නෙ නැහැ වේස කැළෑ මදුරුවෝ. මං හිතන්නෙ ඒ කාලෙ සර්පයන් පරිණාමය වෙලා තිබුණෙ නැහැ. එක්කො එහෙම නැතිනම් උන්ට වඩා විසකුරු ජාතියක් නිසා උන් ජේවීපීකාරයන්ව කෑවෙ නැහැ. දවසක් මම තනියම එහෙම නිදා ගන්න අතරෙ අනෝරා වැස්සක් වැස්සා. ගෙදර අයියත් නිදා ගන්නෙ වෙන ගෙදරක. අක්කා විතරයි ගෙදර. එහෙව් එකේ මට පුළුවන් ද ආපහු යන්න. එළි වෙනකල් කොස් ගහක් යට ඉන්න වුණා. 

වරක් මං ඉන්දියාවෙ බැංගලෝර් සිට බොම්බෙ යන රේල් පාරෙ නගරයක් වන රායිචූර්වල දවස් දෙක තුනක් හිටියා. උෂ්ණත්වය සෙල්සියස් 43යි. ඒත් දාඩිය නැහැ. බොන වතුරවලට වෙන දෙයක් නැහැ. රෑ පට්ට මුත්‍රා දැවිල්ලක් හැදුණා. ලංකාවේ අපට උෂ්ණත්වයට වඩා දැනෙන්නේ ආර්ද්‍රතාවයි. දාඩිය තමයි ප්‍රශ්නෙ. 

අපේ ගම් පැත්තේ කාලෙකට කොච්චර දාඩිය දැම්මත් උෂ්ණත්වය නම් මම හිතන්නෙ කිසිම දවසක සෙල්සියස් 35ට වඩා යන්නෙ නැහැ. ස්වෝත්තමවාදයක් හින්ද නෙමෙයි කියන්නෙ. අපේ එවුන්ට අගයක් නැති වුණාට මේක මරු රට ඕයි!

ලංකාවේ කට්ටිය අගෝස්තු මාසෙට එහෙමත්, උණුසුම් මිත්‍රත්වය වගේ වචන පාවිච්චි කරනවා. ලංකාවට වැඩිය ගැලපෙන්නෙ සීතල මිත්‍රත්වයක්.

මං කසාද බැන්දෙ අවුරුදු 19කට කලින් දෙසැම්බරේක. හරි ෂෝක් ය කියලා හිතෙනවා ඇති. ඒ වුණාට 1997 අවුරුද්දෙ එල් නිනෝ නිසා දෙසැම්බර් මාසෙත් තිබුණෙ අගෝස්තු රස්නයක්. මදැයි ඉඳල ඉඳල හනිමූන් ගියා.

අපේ පොඩි එකී නිදාගන්නකොට උඩට ඇඳුම් අඳින්න අකැමැතියි. මේක ලියන අතරෙ මං නැගිටලා ගිහින් පොරවපු රෙද්ද හරිගස්සලා ආවා.

දළු කඩන ගැහැනු තුන්දෙනෙක් කතා කර කර පාර දිගේ ගියා. තේ ගස් අස්සේ පින්න කොහොම ඇද්ද? ඒ වුණාට මේ වගේ වෙලාවට පහළ ළිඳේ වතුර නම් ටිකක් උණුසුම්. ඒකට විද්‍යාත්මක හේතුව මොකක් වෙන්න පුළුවන් ද?


අපේ එවුන්ට අගයක් නැති වුණාට මේක මරු රට ඕයි!



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-26

සුනාමිය හා දේශපාලන සුනාමිය අතරතුර

අම්බලන්ගොඩ
සුනාමිය එනකොට ලංකාවේ දේශපාලන කණ්ඩායම් දෙකක ඇතුළෙ කැළඹීම් තිබුණා. එක්ස් කණ්ඩායම සුනාමි දවසෙ ඒ දේශපාලන සුනාමියට අහු වුණා. ඒත් හිරු කණ්ඩායම ඇතුළෙ ඒ සුනාමිය සුළි කැරකෙමින් තව කාලයක් තිස්සෙ ඇදී ගියා. වෙන් වෙලාත් අපි එකට වැඩ කරමින් හිටියා. පත්තරෙත් පළ වුණා.

සුනාමියට පසුවදා අජිත් සී. හේරත් වීඩියෝ කැමරාවකුත් අරගෙන තෙල්වත්තෙ ගියා. මළමිනී මාද අජිත්ගෙ අත්දැකීම අප හැමට ම කම්පනයක් වුණා. ටික දිනකට පස්සෙ අජිතුයි මායි මෝටර් සයිකලේක නැවත වතාවක් එහි ගියේ සිදු වෙමින් තිබෙන්නේ මොනවද කියලා හොයා බලන්නටයි. අපි බොහෝ මිනිසුන් හමු වුණා. කතා කළා. ඒ අතරින් සුවිශේෂ හමුවීමක් තමයි සුනාමියේදී මළමිනී වැළලීමදක්වා බොහෝ වැඩ කළ බද්දේගම සමිත හිමියන් හැඩිදෙමළකන්ද පන්සලේදී හමු වී කරපු සම්මුඛ සාකච්ඡාව.

පහත පළ වන්නේ එදා මා ගත් පිංතූර අතරින් කීපයක්.

අැමරිකන් හමුදාව - කොග්ගල (මේ පිංතූරය හිරු පත්තරේ මුල් පිටුවේ තුන්කාලක් ප්‍රමාණයෙන් පළ කළා)
උනවටුන
ඇමරිකන් හමුදාව පිළි ගන්නා හබරාදූව ජනතාව (හිරු පත්තරේ මුල් පිටුවේ ගිය ඡායාරූපයක්)
පැරෑලිය
හික්කඩුව (සුනාමියෙන් විනාශ වූ මේ පැරණි ගෙවල්වල බිත්ති බැඳ තිබූ හිරිගල්වලට වෙළඳපොළක් තිබුණා)
ඇමරිකන් හමුදාව - සීනිගම
උනවටුන

සුනාමිය දවසේ හවස මම පයාගල ගියා. ඒ ගැන කතාව මෙතනින්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-25

කොලොම්බියාවේ ගරිල්ලන්ගේ 52 වසරක අරගලයක සාමකාමී නිමාව

කොලොම්බියාව මධ්‍යම ඇමරිකාවේ පිහිටි රටකි. එම භූමියේ පැවති ස්වදේශික ජනාවාස යටපත් කරමින් එරට ස්පාඤ්ඤ ආධිපත්‍යය පිහිටුවීම ආරම්භ වූයේ 16වන සියවසේදී ය. මුල් කාලීන ස්පාඤ්ඤ යටත් පාලනය බිඳ දමමින් 1819දී කොලොම්බියාව, ඉක්වදෝරය, පැනමාව හා වෙනිසියුලාව ඇතුළත් ග්‍රෑන් කොලොම්බියා රාජ්‍යය පිහිටුවන ලදී. වසර 1830 වන විට ඉක්වදෝරය හා වෙනිසියුලාව ඉවත් වූ අතර, 20වන සියවස මුලදී පැනමාව වෙන් විය. වර්තමාන කොලොම්බියාව බිහි වූයේ එහි ප්‍ර‍තිඵලයක් ලෙසයි.

වසර 2015 සංඛ්‍යාලේඛන අනුව ඩොලර් බිලියන 667.4ක දළ දේශීය නිෂ්පාදිතයක් ඇති එරට ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 13,800කි.  මිලියන 47ක ජනගහණයක් ජීවත් වන කොලොම්බියාවේ 84%කට වැඩි බහුතර ජනගහණය වන්නේ සුදු ස්පාඤ්ඤ ලතින් ඇමරිකානුවෝ ය. ස්වදේශික ඇමරිකානු ඉන්දියානුවන්ගේ ප්‍ර‍තිශතය 10%ක් පමණ වේ. එරට ඉතිහාසය පුරා ම සිවිල් යුද්ධ හා බරපතල දේශපාලන ගැටුම් තිබිණි. ඇතැම් සිවිල් යුද්ධ නිසා ලක්ෂ ගණන් ජනයා මිය ගිය හ. එහෙත්, එහිදී ජනවාර්ගික ගැටුම්වලට වඩා ප්‍ර‍මුඛ වී තිබෙන්නේ දේශපාලන වෙනස්කම් ය.

වර්තමාන අර්බුදයට මුල් වූ කොලොම්බියාවේ සන්නද්ධ හමුදා බලකා හෙවත් FARC නම් වන වාමාංශික ගරිල්ලා කණ්ඩායම බිහි වන්නේ 1964දී ය. ඒ කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශය ලෙසයි. එය ප්‍ර‍ධාන වශයෙන් ම සැදුම් ලැබුවේ ඉඩම් හිමිකාරිත්වය වැනි ආර්ථික විෂමතාවන්ට එරෙහිව සටන් කළ කුඩා ගොවියන් හා ඉඩම් කම්කරුවන්ගෙනි. එරට ඉඩම්වලින් අති විශාල ප්‍ර‍මාණයක් රජය විසින් පෞද්ගලික අංශයට විකුණා දමා තිබේ. මේ වන විට FARC ගරිල්ලන්ට 6000ක 7000ක පමණ ගරිල්ලා භට පිරිසක් අයත් වේ. ඒ අතර කාන්තාවෝ මෙන් ම ළමයි ද විශාල පිරිසක් සිටිති. වර්තමාන නායකයා ප්‍ර‍සිද්ධ වී සිටින්නේ ටිමොචෙන්කෝ යන නමිනි.

FARC ධනවත් ගරිල්ලා සංවිධානයක් ලෙස සැලකේ. කොලොම්බියාව ලොව ප්‍ර‍ධානතම මත්ද්‍ර‍ව්‍ය නිෂ්පාදකයකු වන අතර FARC සංවිධානය මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වාහනයෙන් ද, මත්ද්‍ර‍ව්‍ය නිෂ්පාදනය කරන්නන්ගෙන් බදු, කප්පම් ආදිය ලබා ගැනීමෙන් ද විශාල ධනයක් උපයන බවට චෝදනා එල්ල වේ. FARC ගරිල්ලන් නිරතුරුව කොලොම්බියා පොලිසියට හා සන්නද්ධ හමුදාවලට ප්‍ර‍හාර එල්ල කරයි. එක්සත් ජනපදයේ ආධාර ලබන කොලොම්බියා හමුදාව විසින් FARC ප්‍ර‍ධාන නායකයන් දෙදෙනෙකු ඇතුළු නායකයන් රැසක් ඝාතනය කරන ලද මුත් කැරැල්ල සම්පූර්ණයෙන් ම මර්දනය කිරීමට අසමත් විය.

අර්බුදයට විසඳුමක් සෙවීමේ සාම සාකච්ඡා ආරම්භ වූයේ 1998දී ය. එවකට ජනාධිපති අන්ද්‍රෙස් පැස්ට්‍රානා ඇරන්ගෝ විසින් සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා ස්විට්සර්ලන්තය තරම් විශාල භූමියක ප්‍ර‍හාරවලින් තොර නිදහස් කලාපයක් FARC ගරිල්ලන්ට පිරිනමන ලදී. කොලොම්බියා ජනාධිපතිවරයා හා FARC සමාරම්භක මැනුවෙල් මැරුලැන්ඩා අතර ඍජු සාකච්ඡා පවා පැවැත්විණි. 2001 ඔක්තෝබරයේදී දෙපාර්ශ්වය විසින් සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස ගිවිසුමක් අත්සන් කරන ලදී.

එහෙත්, 2002දී සාම සාකච්ඡා බිඳ වැටුණු අතර දෙපාර්ශ්වය විසින් ම ප්‍ර‍හාර උත්සන්න කරන ලදී. FARC  ගරිල්ලන්ගේ දැඩි විරෝධය මැද ජනාධිපති අල්වාරෝ උරිබේ බලයට පත් වූයේ ගරිල්ලන්ට එරෙහිව ප්‍ර‍හාර දැඩි කරන බවට පොරොන්දු වෙමිනි. ඉන් පසු, කොලොම්බියා රජය දක්ෂිණාංශික එක්සත් ස්වයං ආරක්ෂක සන්නද්ධ හමුදා (AUC) සමග සාම ගිවිසුමකට එළඹුණේ ය. ප්‍ර‍ධාන වශයෙන් ම වාමාංශිකයන්ට එරෙහිව සටන් කළ, ඉඩම් හිමියන්ගෙන් හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අනුග්‍ර‍හය ලද  අතුරු හමුදා කණ්ඩායමක් වන AUC සමග එක්ව සිටි 32,000ක් අතුරු හමුදා භටයන් මානව හිමිකම් සංවිධාන විසින් විවේචනය කරන ලද සමාවක් යටතේ අවිහරණය ආරම්භ කරන ලදී. ජනාධිපති උරිබෙ මෙම අතුරු හමුදා සමග සම්බන්ධකම් තිබුණු බවට චෝදනා එල්ල විය. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදය සමග නිදහස් වෙළඳ ගිවිසුම අනුමත කර ගැනීමට මත්ද්‍ර‍ව්‍ය චෝදනා එල්ල වූ අතුරු හමුදා නායකයන් 14ක් නඩු විභාග සඳහා එක්සත් ජනපදයට භාර දීමට රජයට සිදු විය. ඇමරිකා කොංග්‍ර‍සය නිදහස් වෙළඳ ගිවිසුම අනුමත කළේ ඉන් පසුවයි.

 FARC සංවිධානයටත් වඩා පැරණි, එහෙත් ප්‍ර‍මාණයෙන් කුඩා තවත් වාමාංශික ගරිල්ලා සංවිධානයක් වූ ජාතික විමුක්ති හමුදාව (NLA) සමග සාම සාකච්ඡා 2005දී ආරම්භ විය. මෙම වාමාංශික ගරිල්ලා සංවිධාන දෙක ද එකිනෙකාට එදිරිවාදී වූ මුත් පසු කලෙක අවබෝධාත්මක තත්වයකට පත් වූ හ.  

2007දී වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් ද FARC ගරිල්ලන් හා කොලොම්බියා රජය අතර සාකච්ඡා යළි ආරම්භ කිරීමට උත්සාහ කළේ ය. වෙනිසියුලාව ගරිල්ලන්ට උපකාර කරන බවට කොලොම්බියාවෙන් චෝදනා එල්ල විය. කොලොම්බියාව ඇමරිකා එක්සත් ජනපද හිතවාදී රටක් වීම නිසා වෙනිසියුලාවත් සමග මතභේද ඇති විය. කොලොම්බියාව ඇමරිකන් හමුදාවලට තම මූලස්ථානයන් භාවිතා කිරීමට ඉඩ දුන් අතර, ඇමරිකා එක්සත් ජනපදය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට පිවිසීමට උත්සාහ කළේ ය. 

2010දී වත්මන් ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් බලයට පත් වීමෙන් පසු FARC ගරිල්ලන් සමග යළි සාම ප්‍ර‍යත්නයන් ආරම්භ විය. එහෙත්, ප්‍ර‍හාර දිගට ම සිදු විය. 2011දී රජයේ හමුදා FARC නායක ඇල්ෆොන්සෝ කැනෝ මරා දැමීමට සමත් විය.

2012දී කියුබාවෙහිදී FARC සංවිධානය සමග සාම සාකච්ඡා ආරම්භ විය. 2014දී ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් නැවත බලයට පත් වූයේ ය. 2016 ජුනි මස කොලොම්බියා රජය හා  FARC සංවිධානය අතර සටන් විරාම හා අවිහරණ ගිවිසුමක් අත්සන් කරන ලදී. වසර 52ක් තිස්සේ දිග්ගැසුණු, ලක්ෂ දෙකක් ජීවිත බිලි ගත් සිවිල් යුද්ධය නිමා කරමින් සැප්තැම්බරයේදී කොලොම්බියා රජය හා FARC සංවිධානය අතර සාම ගිවිසුමක් අත්සන් කරන ලදී.

එහෙත්, ඔක්තෝබර් මාසයේදී පවත්වන ලද ජනමත විචාරණයෙහිදී කොලොම්බියා රජය හා FARC ගරිල්ලන් අතර සාම ගිවිසුම සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් විය. හිටපු ජනාධිපති අල්වාරෝ උරිබෙ ඇතුළු එයට විරුද්ධ වූවන්ගේ අදහස වූයේ සාම ගිවිසුම ගරිල්ලන්ට වැඩිපුර වාසිදායක එකක් බවයි. එය සාම ක්‍රියාවලිය පිළිබඳ තදබල සැක සංකා ඇති කරන ලද අවස්ථාවක් වුවත් ජනාධිපති සැන්ටෝස් ගරිල්ලන් සමග සාකච්ඡා කර නොවැම්බරයේදී නව සාම ගිවිසුමක් අත්සන් කළේ ය.කොලොම්බියාවේ කොංග්‍ර‍සය විසින් අනුමත කරන ලද මෙම නව ගිවිසුම ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත.

මෙම සාම ගිවිසුම ඔස්සේ අවි බිම තබන FARC සංවිධානයේ සාමාජිකයන්ට මිනීමැරීම්, පැහැරගෙන යාම්, මංකොල්ලකෑම් ආදිය සම්බන්ධයෙන් පාපොච්චාරණ මත පදනම් වූ සමාවක් ලැබෙන්නට නියමිත ය. ඔවුන්ට ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලනයට පිවිසීමට අවස්ථාව ලැබේ. මෙම සාම ගිවිසුම ක්‍රියාත්මක වන ආකාරය ඉදිරි කාලයේදී නිරීක්ෂණය කළ හැකි ය.

නොබෙල් සාම ත්‍යාගය දිනූ සැන්ටෝස් NLA සමග ද සාකච්ඡා ආරම්භ කර තිබේ. 

රාවය තනියාය, 2016-12-25


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-23

සයින් ඕ රිසයින් සටන හා දේශපාලක රථගාය

මේ විදියට ගමන් යන අයත් මේ රටේ තවම සිටිති.
අගය කළ යුතු හුදකලා අරගල දෙකක් සිදු වෙමින් තිබේ.

එකක්, පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ කරන සයින් ඕ රිසයින් අරගලයයි.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58දෙනෙකුට කුලී පදනම මත වාහ ලබාගැනීම සඳහා වූ ගිවිසුමට අත්සන් කිරීම ඔහු ප්‍ර‍තික්ෂේප කර තිබේ.

අනෙක් සටන සිවිල් සමාජ ක්‍රියාධරයකු හා මහජන නඩුකර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු කරන අරගලයයි. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 85ක් මහජන සේවය පිණිස ඔවුන්ට තීරු බදු රහිතව ආනයනය කර ගන්නට ඉඩ දී තිබූ වාහන අන්සතු කර මහජන මුදලින් අති විශාල අයුතු ලාභයක් ලබා තිබෙන බවට ඔහු පැමිණිලි කර තිබේ. මෙය අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ වරදක් බව ද රජයේ වාර්තා අනුව වසරකට මෙමගින් අහිමි වන බදු මුදල රුපියල් බිලියන 40ක් බව ද ඔහු පෙන්වා දෙයි.

මේ පෙරේත, හිඟන මන්ත්‍රීන් අතර මුදල් ඇමති රවි කරුණානායක ද, රනිල් වික්‍ර‍මසිංහගේ ගජමිතුරු මලික් සමරවික්‍ර‍ම ද සිටිති. එසේම, තමන් මාර ප්‍ර‍භූ පවුලක රිදී හැන්ද කටේ ගහගෙන උපන් බවට පුරසාරම් දොඩන සුජීව සේනසිංහ, මතු බුදු වන අතුරලියේ රතන, පිවිතුරු කයිවාරු උදය ගම්මන්පිල, දිසාපාමොක් ග්‍රේරෝ, චමල් රාජපක්ෂ, විමල් වීරවංශ හා පසුගිය දිනවල වාහන එපා යි මාධ්‍ය සංදර්ශන පෙන්වූ පාලිත තෙවරප්පෙරුම වැනි අය ද සිටිති.

තමන්ට ආනයනය කර ගන්නට දුන් වාහනය විකුණා ගත් මොවුන් ඇතැමෙකු මේ වන විටත් අමාත්‍යාංශ හරහා වාහන ලබාගෙන තිබේ. කුලී පදනම යටතේ වාහන ගන්නට යන අය අතර ද මෙම හිඟන, පෙරේත, හොරු සිටිති.

මහජන මුදලට කෙළවන මේ පෙරේත වැඩේ දැන් කලක සිට සිදු වෙමින් තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ වැනි දූෂණ චෝදනා ලැබූවන් තමන් ආදායම් ඉපයූ ආකාරය පැහැදිලි කරද්දී ද තීරු බදු රහිතව ගෙන්වූ වාහන විකිණූ බව විවෘතව ම කියති.

මේ වැඩේ කරන්නේ දේශපාලකයන් පමණක් නො වේ. නිමල් බෝපගේලා වැනි රජයේ ඉහළ හා මධ්‍යම මට්ටමේ පරිපාලන නිලධාරීහු ද, දොස්තරලා වැනි වෘත්තිකයෝ ද එසේ කරති. මොවුන් මහජන මුදලින් ලබන වැටුප්, දීමනා හා වෙනත් වරප්‍ර‍සාදවලට අමතරව අවුරුදු පහකට වරක් ගෙඩි පිටින් ම මෙසේ බදු වංචාවෙන් ගානක් කපා ගනිති.

මෙමගින් රටේ සංවර්ධනයට යොදවන්නට තිබූ රුපියල් බිලියන ගණනක් අහිමි වූවාට අමතරව, අනවශ්‍ය අන්දමින් වාහන, අමතර කොටස් හා ඉන්ධන ආනයනය කිරීම නිසා මෙරට ඵලදායී වැඩ කරන ජනතාව ඉපැයූ විශාල මුදලක් ද රටට අහිමි විය. 

තීරු බදු රහිත වාහන බලපත්‍ර වරප්‍රසාදය ඉවත් කරන්නට දේශපාලකයන් පැත්තෙන් යෝජනා ඉදිරිපත් වූ විට රජයේ ඉහළ නිලධාරීන් පැත්තෙන් මතු වූ විරෝධය සමග සිදු වූයේ කුමක් ද? තිබුණු තත්වය ඒ ලෙස ම නැවත ස්ථාපිත වීමයි. දැන් නැවත වතාවක් 500කට අඩු දේශපාලකයෝ ද 40,000ක් පමණ රජයේ නිලධාරීහු ද පොදු මහජනතාව ගෙවන බද්ද මගහැර වාහන ආනයනය කර විකුණා ලාභ ලබති. තීරු බදු රහිත වාහන වරප්‍රසාදයට එරෙහිව මෙරට කිසිදු රැඩිකල් සංවිධානයක් සටන් කර තිබේ ද යන්න නැවත සිතා බලන්න. හේතුව ඒවායේ නායක කාරකාදීන් මේ අයුතු ලාභ ලබන මධ්‍යම පංතිකයෝ ය. 

හොර මන්ත්‍රීලාගේ සම්පූර්ණ ලේඛනය මෙසේ ය:

Udaya Gammanpila, Sujeewa Senasinghe, Shehan Semasinghe, Ramesh Pathirana, Kanchana Wijesekara, Annamalai Sivasakthi, Nimal Lansa, Pavithra Wanniarachchi, Priyantha Asoka, D. Sitharthan, Mahinda Samarasinghe, Sathasivam Viyalanderan, Mohan Lal Grero, Suddathcharige Premarathna, Hettiarachchige Wijepala, M.A.K.A.K. Mannapperuma, Indika Anuruddha, Somasundaram Senadhirajah, P.K. Thewarapperuma, Priyal Nishantha de Silva, Imran Maharoof, J. Wakkumbura, Sivagnanam Shritharan, Sisira Jayakody, Don Hector Appuhamy, S.C. Muthukumarana, Chamal Rajapaksa, Rohini Kumari Wijeratne, Sudarshani Fernandopulle, S. Sivamohan, D.V. Chanaka Dinushan, Athuraliye Rathana Thera, Lohan Ratwatte, Wimal Weerawansa, Wimalaweera Dissanayake, A.D. Premadasa, Palitha Rangebandara, A.B.U.D. Pathirana, Ranjith Aluwihare, Priyankara Jayaratne, Janaka Bandara Tennakoon, Nishantha Muthuhettigamage, Gamini Lokuge, Srinal Maxim de Mel, Kanchana Herath, Chandima Wijesiri, Wasantha Senanayake, Ajith P. Perera, M.L.A.M. Hizbullah, Anura Priyadarshana Yapa, Ghanamuthu Srineshan, Sidney Jayaratne, Vijeyakala Maheswaran, Wasantha Aluwihare, Berugoda Arachchige Vijitha, A. Adaikalanathan, Sanath Nishantha Perera, Nuwan Wijewardena, Sumedha G. Jayasena, Bandula Gunawardena, Mahindananda Aluthgamage, Anuradha Jayaratne, Sarath Fonseka, John Amaratunga, Dilum Amunugama, R. Sampanthan, Vadivel Suresh, R.G. Sriyani Wijewickrema, Prasanna Ranaweera, Lakshman Kiriella, D.M. Swaminathan, Malik Samarawickrema, Nalaka Colonne, M.S. Thowfeek, Arundhika Fernando, Ravi Karunanayake, Ali Zahir Maulana, J.C. Alawathawala, Thenuka Widanagamage, Chandrasiri Gajadera, L.P.J. Seneviratne, Harin Fernando, Chandima Weerakkody.

(තොපි හොරු ය. පුළුවන් නම් අපට නඩු දාපියව්)



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-21

1989 හා මහින්ද රාජපක්ෂ

ධර්මන් වික්‍ර‍මරත්න ලියූ ජවිපෙ දෙවෙනි කැරැල්ල කෘතිය පුදනු ලැබුවේ මහින්දට ය
මහින්දගේ ඩ්‍ර‍යිවර් ය කියූ පුද්ගලයෙකු සහ විතාරන්දෙනියේ උක්කුවාගේ මල්ලී ඇතුළු හතර පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් 1990 අගභාගයේ සිට වීරවිල රැඳවුම් කඳවුරේ රඳවා හිටියා. ඔවුන්ට තිබුණු චෝදනාව ලෙස ප්‍ර‍සිද්ධ වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තලාව පැත්තේ යූඇන්පීකාරයෙකුව මරන්නට කාරයක ඩිකියේ දාගෙන යාමයි.

කාරෙක මහින්දගේ ද? ඩ්‍ර‍යිවර් මහින්දගේ ද? මේ කණ්ඩායම කාගේ ද? මහින්දට ඔවුන් සමග සම්බන්ධකම් තිබුණා ද? මහින්ද දේශපාලන වාසි සඳහා එදා තිබුණු භීෂණ තත්වය පාවිච්චි කළා ද?

තමන් අල්ලා ගත් හමුදාවෙන් ගැලවීම සඳහා අසවල්, අසවල් ජේවීපීකාරයන් මැරුවේ අප යයි ඔවුන් කීවා ද?

ඔවුන් පොලිසියට භාර දුන්නේ ඇයි? පොලිසිය ඔවුන් ජවිපෙ සැකකරුවන් සිටි වීරවිල කඳවුරට ගෙනත් දැමුවේ ඇයි? ඔවුන් වීරවිල කඳවුරට ගෙනැවිත් දැමීම කඳවුරේ රැඳවියන් අතර කලබලකාරී තත්වයක් ඇති කිරීමට හේතු වූයේ ඇයි?

ඔවුන් ගෙනත් දැමූ දාට පසුදින උදයේ, හම්බන්තොට පැත්තේ සිට වීරවිලට ගෙනැවිත් දමා තිබුණු ජවිපෙට සම්බන්ධ රැඳවුම්කරුවන් ඔවුන්ට පහර දුන්නේ ඇයි? කණ්ඩායමේ නායකයාගේ පණ බේරීම සඳහා ඔහු නැවත කිසි දිනෙක වීරවිලට නො එවා, තංගල්ල බන්ධනාගාරයේ රැඳවූයේ ඇයි? 

මේ වනාහි මා ඇසූ කතාවකි. සමහර සිදුවීම් මම දුටුවෙමි. එහෙත්, මේ පිළිබඳ ගවේශනය කිරීමේ හැකියාවක් මට තිබුණේ නැත. 

හම්බන්තොට පැත්තේ ජවිපෙ පැරණි සාමාජිකයන් මේ පිළිබඳ යම් යම් කරුණු දන්නවා ඇත. 

මහින්දගේ 1989 මැදිහත්වීම් පිළිබඳ කතා තිබුණත්, 2005දී මහින්ද බලයට ගෙන ඒමට ජවිපෙ කළ කාර්යභාරය තිබුණත්, මෙම සිදුවීම පිළිබඳ කුකුසක් මා තුළ හැමදාමත් තිබුණි. 1989 කැරැල්ල යනු අහිංසකයන්ගේ කැරැල්ලක් නො වේ. කැරැල්ල ද මර්දනය තරම් ම ප්‍ර‍චණ්ඩ ය. කෘර ය. 

රනිල් වික්‍ර‍මසිංහ වැනි කොළඹ බුර්ෂුවා පංතියේ නියෝජිතයන්ට පවා එහි නො පැටලී සිටින්නට බැරි වූ සංදර්භයක් තුළ මහින්ද එයට පැටලුණත් එය අමුතු දෙයක් නො වේ. 

ධර්මන් වික්‍ර‍මරත්න, මෙම තොරතුරු පිළිබඳව ගවේශනය කිරීම ඔබට භාරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-20

කුරුල්ලන් බලන්නට මතුගමට එන්න


මතුගම පැත්තෙ තොරතුරුත් අරගෙන මතුගම කට්ටියක් එකතු වෙලා පත්තරයක් ගහන්න ලැහැස්ති වෙනවා. මේ ලිපිය ලිව්වෙ ඔවුන්ගේ ඉල්ලීම මතයි. මතුගම කට්ටිය වෙනුවෙන් ඒ පත්තරේ ලබන අවුරුද්දේ නිකුත් වෙනවා. මතුගම නො වන කට්ටිය කැමති නම් ඇවිත් මේ ජවනිකාව බලලා යන්න. 

සවස හයත්, හයහමාරත් අතර එන්න මතුගම නගරයට. ඔබට අතිශය මනරම් දසුනක් දැක ගන්නට ලැබේවි. හැමදාම නැහැ. හැමතැනම නැහැ.

මේ දර්ශනය දකින්නට ලැබෙන්නේ සෑම වසරක ම සැප්තැම්බරයේ සිට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා පමණයි. සැප්තැම්බරයේ සිට කුරුල්ලන් ටික ටික ඇවිත් ඔක්තෝබරය අවසන් වන විට රෑට ලැගුම් ගන්නට එන කුරුල්ලන්ගෙන් මතුගම නගර මධ්‍යයේ සිට වීදි හතරේ ම විදුලි කම්බි වැසී යනවා. ප්‍රමාද වෙලා ලැගුම් ගන්නට එන කුරුල්ලෙකුට වසන්නට තැනක් නැති වන තරමට ලක්ෂ ගණනක් කුරුල්ලන් විදුලි කම්බි මත වසා ගන්නවා.

සවස හයයි කාලට විතර තමයි අහසේ සිට වළාකුළු වගේ ඔවුන් පහත් වන්නේ. විදුලි කම්බි මත ලගින්නට පෙර මේ කුරුලු වළාකුළු වට කීපයක් මතුගම අහසේ සරනවා. තල ගණනාවකට එක එක අතට පියඹන කුරුලු වළාකුළුවලින් පිරෙන සැඳෑ අහස අතිශය මනරම් දර්ශනයක්.

හවසට වැඩ ඇරී නිවෙස් වෙත යන මිනිසුන්ගේ කලබලයෙන් පිරුණු බස් නැවතුම්පල දෙක අසල අහසේත් මහා කුරුලු කලබලයක්. හීං හඬින් කතා දහසක්. ලක්ෂ ගණනක් පුංචි තටු සැලෙන, අහසින් රහස් කතා ඇහෙන, ගුප්ත සෞන්දර්යයකින් පිරුණු අපූරු විනාඩි කීපයක් මේ සන්ධ්‍යාවේ නිර්මානය වෙනවා. අහස දෙස නො බලන කෙනෙක් මේ සෞන්දර්යය නො දකින්නටත් පුළුවන්. ඔවුන් එතරම් නිහඬව ඇවිත් පිටව යන පක්ෂීන් වර්ගයක්.

විදුලි කම්බි යටින් යනකොට හිස මතට වැටෙන පුංචි සුදු පාට වසුරු පිඬක් නිසා කේන්ති යන අයත් හැමදාම ඉන්නවා. විදුලි කම්බිවල ඉඩකඩ මදි වූ විට නගරයේ කඩවල බිත්ති කයිරු මතත් ලගින මේ පුංචි මිතුරන් නිසා කඩ හිමියන්ට ගැටලුවකුත් තියෙනවා. ඒත්, මේ කුරුලු කලබලය දැන් අවුරුදු ගණනාවක සිට මතුගමට මිහිරියාවක්. සැප්තැම්බරය අග වන විට උන් නාවොත් මතුගමට පාළුවක් දැනේවි.

රූ පුරාමත් විදුලි කම්බියකින් පය ලිස්සා වැටෙන කුරුල්ලෙක් අලුතෙන් තැනක් සොයා නිදා සිටින කුරුල්ලන් අතර සක්ක ගහන්නට ගිය විට පැය ගණනක පුංචි කලබලයක් නිර්මානය වෙනවා. ඒත්, මහ වැසි මධ්‍යයේ පවා විදුලි එළි මැද මේ පුංචි කුරුල්ලන් සුවබර නින්දක් සැතපෙනවා.

ඉර පායාගෙන එනකොට ම ඔවුන් නික්ම යාම ආරම්භ වෙනවා. ඒක, සන්ධ්‍යාවේ තරම් ලොකු සංදර්ශනයක් නෙමෙයි. ඇහැරුණා. වටපිට බැලුවා. පරක්කු වෙලා වගේ රූං ගාලා ඉගිලුණා. එච්චරයි. දවල්ට මතුගමට එන අයට පාර දිගට, පදික වේදිකා දිගට තියෙන හුණුවලින් ඇන්දා වැනි ඉරි මොනවාද කියා ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ ඔබ ඇවිදින්නේ රෑ පුරා කුරුල්ලන් ගිය වැසිකිළිය මතිනුයි.

උදේට මතුගමින් ඉගිලෙන බස්වල නගින්න ලහි ලහියේ දුවන මිනිසුන් වගේ ම ඔවුනුත් කොහේදෝ ඉගිලිලා යනවා. උදේ හය වන විට ඔවුන් විදුලි කම්බි හිස් කර අවසන්. හතරමං හන්දියේ ඔර්ලෝසු කණුවේ ලගින පරෙයියන් පමණක් ගුමු ගුමු ගාමින් අනඟ රැඟුම් පාමින් ඉන්නවා දකින්නට පුළුවන්.

දවල් දවසේ මේ පුංචි කුරුල්ලන් යන්නේ කොහේ ද? ඔවුන් කෑම සොයා ගන්නේ කොතැනින් ද? කූඩු සදන්නේ කොහේ ද?

ඔවුන්ගේ ගහණය වැඩි වෙන ආකාරය නිරීක්ෂණය කළ විට ඔවුන් කූඩු සාදා පැටවුන් ඇති දැඩි කරගෙන නික්ම යන බව සිතන්නට පුළුවන්. ඔවුන් එන්නේ ඊසානදිගින් සුළං හමන්නට පටන් ගන්නවාත් සමගයි. පිට වී යන්නේ ඒ සුළං නතර වෙනවාත් එක්කයි. අප්‍රේල් මාසයේ අවුරුදු දවස් අවසන් වන විට ඔවුන් සියල්ලන් ම ආපසු ගිහින්. යන්නේ ඉන්දීය අර්ධද්වීපයේ කොහේට හරි වෙන්න ඇති. උතුරු ඉන්දියාවේ ශීත සමය ඔවුන් ලංකාවට සංක්‍රමණය වීමට පොළඹවන බවයි පක්ෂි විශේෂඥයන් පවසන්නේ.

මේ පක්ෂීන් රත්නපුර නගරයේත් මේ ආකාරයෙන් විදුලි කම්බි මත වසන බව වාර්තා වෙනවා. කොහොම වුණත්, මතුගමට ඔවුන් එන්නට පටන් අරන් අවුරුදු පහක් විතර ඇති.

මෙම පක්ෂීන් බාර්න් ස්වොලෝ (Barn Swallow) යන පක්ෂි වර්ගයයි. මොවුන් අටු වැහි ලිහිණියන් ලෙස සිංහලෙන් හඳුන්වන්නට පුළුවන්. විද්‍යාත්මක නාමය Hirundo Rustica ය. ලොව පුරා බොහෝ රටවල සිටින පක්ෂියකු වන අටු වැහි ලිහිණියා විවිධ වර්ණවලින් යුක්ත ගේ කුරුල්ලකු පමණ වන පක්ෂියෙක්. ලිහිණින්ට හිමි දිගු පියාපත් හා පෙඳය ඔවුන් ද සතු වෙනවා. මතුගමදී දකින්නට ලැබෙන අටු වැහි ලිහිණියා බඩවත සුදු පැහැති කළු පිහාටු ඇති ප්‍රභේදයක්. හිසෙහි තඹ පැහැයක් ද දකින්නට ලැබෙනවා. දක්ෂ පියාසරන්නෙකු වන අටු ලිහිණියා පියාසලමින් ම කෘමීන් ආහාරයට ගන්නවා. තෙත් බිම්, කුඹුරු පිටි, තැනිතලා ආදී ජලය ආශ්‍රිත පාරිසරික කලාපවල ඔවුන් සුලබව දැකිය හැකියි.

කෝප්ප වැනි කුඩා කූඩු තනා බිජු ලන අටුලිහිණියෝ ඒ සඳහා ගොඩනැගිලි බිත්ති ආදිය පාවිච්චි කරනවා.

කුඩා කෘමීන්ගෙන් පෝෂණය වන අටු වැහි ලිහිණියා ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දක්නට ලැබෙන සංක්‍රමණික පක්ෂි විශේෂයක් ලෙස සැලකෙනවා. එහෙත්, මතුගමදී ඔවුන් පෙන්වන සංදර්ශනය හැම තැන ම තිබෙන එකක් නෙමෙයි.




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-19

අච්චු කන්තෝරුකාරයෝ හෙවත් ප්‍රාදේශීය මාධ්‍ය‘වේදියෝ'

හම්බන්තොට වරායෙහිදී නාවික හමුදාපතිගේ ප්‍රහාරයට ලක් වූ රොෂාන් ගුණසේකර යනු දිවයින, දි අයිලන්ඩ් පුවත්පත්වල හා හිරු පුවත්පතේ සූරියවැව ප්‍රාදේශීය වාර්තාකරු ය.

ඔහුගේ නම මත්තල රොෂාන් දිලිප් කුමාර ලෙස ද පළ වේ.

ඔහු විසින් මේ වසරේ ලංකාදීප පුවත්පතට ද වාර්තා සපයා ඇති බව මෙම වාර්තාවෙන් පෙනේ.

අප මේ බව පෙන්වා දුන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අදහසක් ගම්‍ය කිරීමටයි. ඔවුන්ට තම ජීවිත පවත්වාගෙන යාමට කරන්නට සිදු වී තිබෙන ආර්ථික අරගලය සුළුපටු නො වේ. 

මෙම සටහන තබන මා ද ලංකාදීප හා යුක්තිය පුවත්පත්වල පදවිය වාර්තාකරු ලෙස යුද්ධය පැවති 1994 - 98 වකවානුවේදී සේවය කර ඇත්තෙමි. එහි සිදු වූ යුද ගැටුම් හා ත්‍ර‍ස්ත ප්‍ර‍හාර සම්බන්ධ වාර්තා ලංකාදීපයේ මුල පිටුවේ පවා පළ විය. ගමනාගමන දුෂ්කරතා දැඩිව පැවති එම ප්‍රදේශයේ මා ගමන් බිමන් ගියේ මා සේවය කළ පාසලේ මුරකරු, මා මිත්‍ර‍ හේරත් අයියාගේ මෝටර් සයිකලයෙනි. ඇතැම් ගමන් ද ඔහු මා සමග ගියේ ය. 

දුරකථන ඇමතුම් ලබා ගත හැකි වූයේ මා වැඩ කළ පාසලට කිලෝමීටර් හයක් පමණ ඈතින් පිහිටි තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉඳලා ය. පදවිය රෝහලේ සේවකයන්ගේ කාරුණික අනුග්‍ර‍හයෙන් ද දුරකථන ඇමතුමක් ලබා ගන්නට හැකි විය. ඇතැම් වාර්තා එවීම සඳහා මා කිලෝමීටර් 100ක් පමණ ඈතින් පිහිටි අනුරාධපුර නගරයට ගොස් ඇත්තෙමි. 

මේවා සමහර විට පළ වන්නේ ද නැත. පළ වුණත්, ඒවා වෙනුවෙන් ගෙවීම් කරන බව කීවත්, ඒ සුළු මුදල ලබා ගන්නට මම කිසිදු විටෙක ලංකාදීප කාර්යාලයේ රස්තියාදු නො වුණෙමි. වරක් දෙකක් එහි ගිය ගමන්වලින් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට ඇති තත්වය තේරුම් ගත්තෙමි. යුක්තිය පුවත්පත නම් සොයා බලා ගෙවීම් කළා පමණක් නො ව, ප්‍රාදේශීය මාධ්‍යකරුවන් වෙනුවෙන් වැඩමුළු පවා පැවැත්වූයේ ය. 

රැකියාවට බැඳුණු අලුත ලද සුළු වැටුපෙන් අතින් කටට ජීවිතයක් ගත කළ මම මේ කටයුතු වෙනුවෙන් ද මගේ වැටුප වැය කළෙමි. එය කළේ හුදෙක් ම ආස්වාදය පිණිස ය. ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස ප්‍රදේශයේ හඳුනා ගනු ලැබීමේ කීර්තිය ද ඒ ආස්වාදයේ ම කොටසකි. 

ඒ කාලයේ ලංකාදීප පුවත්පතින් මට හැඳුනුම්පතක් නිකුත් කර තිබිණි. එහි PRESS යනුවෙන් සටහන් කර තිබිණි. අනුරාධපුරයේ සිට පදවියට යන අතරමග මුර කපොලු හයකදී බසයෙන් බැස, පරීක්ෂාවට ලක් විය යුතු විය. වරක් මම ජාතික හැඳුනුම්පත වෙනුවට ඒ හැඳුනුම්පත දී බැලුවෙමි. 

“ආ, අච්චු කන්තෝරුවක ද වැඩ කරන්නෙ?" සොල්දාදුවා ඇසී ය. 

ප්‍රාදේශීය මාධ්‍යකරුවන් යනු මාධ්‍ය උණ නිසා වැඩ කරන පිරිසකි. ඔවුන්ට මාධ්‍ය ආයතන විසින් සාධාරණ අන්දමින් ගෙවීම් කරන්නේ නැත. ඒ නිසා ඔවුන් මාධ්‍ය ආයතන ගණනාවකට එක ම ප්‍ර‍වෘත්තිය සුළු සුළු වෙනස්කම් සහිතව සපයති. ඇතැම් විට සුළු සුළු නම් වෙනස්කම් ඇතිව මාධ්‍ය කීපයක වැඩ කරති. තවත් ඇතැම් විටක මාධ්‍ය ආයතන කීපයක වැඩ කරන අය එක්ව සහයෝගයෙන් ගේම ගසති. 

තමන්ට වාර්තාකරණය හා ආරක්ෂාව සම්බන්ධ කිසිදු පුහුණුවක් ලැබී නැති බව රොෂාන් කුමාර පුවත්පතකට පවසා තිබිණි. ආරක්ෂිත වාර්තාකරණය පිළිබඳ ප්‍රාදේශීය මාධ්‍යකරුවන් දැනුවත් කිරීමේ කිසිදු උවමනාවක් මාධ්‍ය ආයතනවලට නැත. එ් වෙනුවට  ජීවිතය පරදුවට තබා හෝ විකුණා ගත හැකි ඡායාරූපයක්, වීඩියෝවක්, ප්‍ර‍වෘත්තියක් එවන්නේ නම් ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සූරා කන මාධ්‍ය කළමනාකරුවන්ට හා කර්තෘ මාණ්ඩලිකයන්ට එය ප්‍ර‍මාණවත් ය. ගම් වැදුණු අලියකුගේ පහර කෑමෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවකු මිය ගියේ  එහි ප්‍ර‍තිඵලයක් ලෙසයි. 

පුවත්පත් කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත මාධ්‍ය සංවිධාන පවා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ හිමිකම් නියෝජනය කරන්නේ අවම මට්ටමෙනි. 

බොහෝ ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ අවසානයේදී ප්‍රාදේශීය දේශපාලකයකුගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයකු වී ප්‍රාදේශීය වාර්තාකාරකම නමට පමණක් තබා ගනිති. මාධ්‍ය උණ නිසා ප්‍රාදේශීය මාධ්‍යකරුවන් වන තරුණයෝ ඉතා ඉක්මණින් ම වෙනත් රැකියාවක් සොයා ගනිති.

මෙහිදී මාධ්‍යකාරිය යන වචනය භාවිතා නො වුණේ එවැනි මාධ්‍යකාරියන් සිටින්නේ ඉතාම අතළොස්සක් නිසා ය. මෙම ක්ෂේත්‍රයේ පවතින තත්වය ප්‍රාදේශීය මාධ්‍යකාරියන්ට තබා කර්තෘ මාණ්ඩලික මාධ්‍යකාරියන්ට පවා ගැටලු සහගත ය.

අවසානයේදී ගත් විට, ලංකාවේ ජනමාධ්‍ය වනාහි ප්‍රාදේශීය පුවත් කොළඹ කේන්ද්‍රීයව වර නගන ආයතන විශේෂයකි. ලංකාවේ ප්‍රාදේශීය පුවත් වාර්තාකරණය ඇත්තේ අතිශය පසුගාමී තත්වයක ය. එහි ගුණාත්මකභාවය නැංවීමට කටයුතු නො කරන තාක් කල් ගම ගැන අපට අසන්නට ලැබෙන්නේ අර්ධ සත්‍ය පමණි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-18

මාක්ස්වාදය, සමාජවාදය හා ආස්වාදය

අප මිත්‍ර චන්දන ගුණසිංහගේ පහත පළ වන සටහන උපුටාගෙන නැවත පළ කරන්නට හේතු වුණේ එහි තිබූ එක් අගනා වාක්‍යයක් නිසායි. 

“මාක්ස්වාදය, සමාජවාදය වගේ මහලොකු න්‍යාය වෙනුවට තිබුනෙ ආස්වාදය විතරයි," යන වාක්‍යය තුළ මම ලොකු ගැඹුරක් දකිනවා.

මගේ ජීවිත කාලෙන් වැඩි හරියක් ගෙවුණේ මාක්ස්වාදීන් හා සමාජවාදීන් එක්කයි. ඔවුන් අතරින් බොහෝදෙනෙකු තවමත් මා මගේ මිතුරන් ලෙස සලකනවා. ඔවුන් මා මගේ මිතුරන් ලෙස සලකනවා ද නැද්ද යන්න මා දන්නේ නැහැ. මට එහි වැදගත්කමකුත් නැහැ. 

මා මිතුරු ඇසුරට කැමති වුණත්, මිතුරු සම්බන්ධකම් නඩත්තු කිරීමේ පුරුද්දක් මට නැහැ. ඒක හොඳ දෙයක් නො වුණත්, බොරුවට හායි හූයි කියලා, ව්‍යාජ ලෙස සම්බන්ධකම් නඩත්තු කරන්නේ මොකට ද කියලා මට හිතෙනවා. 

මිතුරුකම කියන්නෙත් ආදරයේ ම තවත් ස්වරූපයක්. මම හිතන්නේ අව්‍යාජත්වය ආදරයේ මූලික ම ලක්ෂණයක් ය කියලායි. 

වාමාංශිකයන් ජීවිතය නො විඳ, විඳවනවා ය කියන එකත්, කුහක කුඩුකේඩුකම්වලින් පිරිලා ය කියන එකත් ඇත්තෙන් ම ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්කමක් නැහැ. 

මේකට මූලික හේතුව මොකක් ද? මම නම් දකින්නේ මූලික හේතුව තියෙන්නේ සහෝදරයා යන ආමන්ත්‍රණය ලැබීම සඳහා පුද්ගලයකු තුළ ගොඩනැගෙන දේවල් තුළයි. 

ඒකට පක්ෂයක, කණ්ඩායමක, කල්ලියක ආගමික ස්වරූපී භක්තිමත් අනුගාමිකයකු වෙන්නට අවශ්‍යයි. එම ආගමික ස්වරූපී සාමාජිකයා සිටින්නේ කිසියම් මෝහනයක හා මෝහයකයි. ඔහු කියන වචනය මා මෙහිදී යොදන්නේ මේ සාමාජිකයන් වැඩි දෙනෙකු පිරිමින් නිසායි. ඉඳහිට කාන්තාවනුත් ඉන්නවා.

ඔහු සිතන පරිදි මිනිස් ජීවිතයේ උත්තරීතර ම කාර්යය වන්නේ විප්ලවයට දායක වීමයි. එකී විප්ලවය කිසි දා සිදු නො වන්නක් නිසා මෙම උත්තරීතර කාර්යයත් සැමදා ඉතිරි වී තිබෙන දෙයක්. 

මාක්ස්වාදී, සමාජවාදී පක්ෂ සාමාජිකයා සිතන්නේ තමන් ලොව නිවැරදි ම දර්ශනයෙන් සිය මනස නිරවුල් කර ගත් අයෙකු ය කියායි. ඒ නිසා ඔහු සිතන්නේ ලොව විශිෂ්ටම මිනිසුන් පිරිස වන තම පක්ෂයේ සාමාජිකයන් අතර කෙනෙකු වීම නිසා ඔහු අනෙක් සියල්ලන්ට ම වඩා සුවිශේෂ පුද්ගලයකු වන බවයි. 

ඔහුට ඒ මානසිකත්වය දුන් පක්ෂය නො දන්නා දෙයක් නැහැ ය කියා ඔහු සිතනවා. එසේම, පක්ෂය අනිවාර්යයෙන් ම විප්ලවය කරනු ඇතැයි යන විශ්වාසය ද ඔහුට තිබෙනවා. ඒ නිසා ඔහුට ලොව සියල්ලට ම වඩා උතුම් දෙය වන්නේ පක්ෂයයි.

පක්ෂයට බාහිර සියලු දෙනා ඔහුට පෙනෙන්නේ යථාර්ථය අවබෝධ කර නො ගත්, අනුකම්පා හෝ වෛර කළ යුතු පිරිස් ය කියා ය. යම් යම් විෂයයන් සම්බන්ධයෙන් උගත් හා ප්‍රවීණ අය සිටියත්, ඔවුන් පක්ෂයට සම්බන්ධ වී නැත්තේ ඔවුන්ට යථාර්ථාවබෝධය නැති නිසා යයි ඔහු සිතනවා. ඒ නිසා ඔවුන් වනාහි යම් දිනෙක පක්ෂය විසින් මෙහෙයවා ගත යුතු පිරිසකැයි ඔහු සිතනවා. 

පක්ෂ මතවාදය සමග ගැටුම් ඇති කර ගත් අය හා පක්ෂය විසින් විනය හේතු මත නෙරපා දමන ලද බව නිවේදනය කළ අය වනාහි ඇසුරු නො කළ යුතු, වෛර කළ යුතු, හැකි පළමු අවස්ථාවේ ම විනාශ කළ යුතු පිරිසක් ලෙසයි ඔහු සිතන්නේ. 

මේ මනෝභාවය තුළ කලක් ජීවත් වූ පිරිස්වලට සිය ජීවිතය පුරාවට ම එහි බලපෑමෙන් මුළුමනින් ම මිදෙන්නට අපහසු බව පෙන්නුම් කරනවා. ඒ නිසා සියලු කුප්පකම් කර අවසාන කළ පසුව පවා යළි විවිධ ස්වරූපවලින් විප්ලව කරන්නට මුල පුරන්නට උත්සාහ කරන අය දකින්නට ලැබෙනවා. 

ඒ වගේ ම මෙම ආගමික පක්ෂවලින් ඉවත් වූ අයට අහිමි වූ ජීවිතයක හිස් තැනක් පිළිබඳ ඉච්ඡා භංගත්වයකුත් තිබෙනවා. ඒ අහිමි වූ ජීවිතය වන්නේ  සාමාන්‍ය මිත්‍රත්වය, ආදරය ආදිය සමග මුසු වූ ජීවිතයයි. 

අනාගත පරම්පරා හෝ මේ කාලකන්නි ඉරණමට ගොදුරු නො වන්නට නම්, දේශපාලනය යනු ජීවිතයේ බොහෝ පැතිකඩ අතර තවත් එක් පැතිකඩක් මිස මුළු ජීවිතය ම හෝ ජීවිතයේ වඩාත් ම වැදගත් දෙය නො වන්නේ ය යන අවබෝධය ලබා දිය යුතුයි. 

ජීවිතය කියන්නේ මාක්ස්වාදය, සමාජවාදය, සාංදෘෂ්ටිකවාදය හෝ වෙනත් කිසියම් වාදයක් නොව ආස්වාදයක් ය කියා සිතන එක ජීවිතය ගැන ගැඹුරු දැක්මක් ය කියා මා සිතනවා. 

බොබ් මාලෙගෙ get up stand up සිංදුවේ තිබෙන sick and tired of isms schisms කියන කොටසේ අදහසත් මේ එක්ක කිට්ටුයි. 

දේශපාලනය අවශ්‍ය අපට ආස්වාදනීය ජීවිතයක් ලබා ගන්නටයි. එහෙත්, දේශපාලනය අසාර්ථක වුණත් ජීවිතයට ආස්වාදය ලබා ගන්නට බැරිකමක් නැහැ. ආස්වාදය ලබන ආකාරය තීරණය වන්නේ පෞද්ගලික ජීවන පරමාදර්ශ එක්කයි. සමාජවාදී ජීවන පරමාදර්ශ මුළු ලෝකයට ම පොදු කරන්න හැදුව ව්‍යාජයක්. ඒක ධනේශ්වර පාරිභෝජනවාදයේ ම රතු පාට එකක්. සමාජයට කරදරයක් නො වන ආකාරයට ලබා ගන්නා ආස්වාදය තමයි පිළි ගත හැකි ආස්වාදය. 

ඒ නිසා තමයි අපි ස්වෝත්තමවාදයට එරෙහි විය යුත්තේ. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, පාසල්වාදය වගේ ම මාක්ස්වාදය, පශ්චාත් මාක්ස්වාදය හෝ වෙනත් වාදයන් ද ජීවිත ආස්වාදයට බාධා වන ස්වෝත්තමවාදයන් කර නො ගත යුතුයි. 

චන්දනගේ පහත පළ වන ලිපියට මුළුමනින් ම එකඟ වෙන්නට බැරි වුණත්, එහි ජීවිතය සම්බන්ධ වැදගත් කියවීමක් තිබෙනවා. 


වමෙන් ලිවීම හා දකුණෙන් කියවීම.....

උපතින්ම දකුණෙන් ලියපු මට වමෙන් ලියන්නැයි ආරාධනාවක් ලැබුනෙ පහුගිය දවසක. ඒ කියන්නෙ වමේ පක්ෂයක පුවත් පතක තීරු ලිපියක්. ඒක අභියෝගයක් උනත් මම බාරගත්ත.

සූදානමකට වම ගැන පොත පත එකතු කෙරුවත් වමේ මිනිසුන් ගැන කියවීම ඊට වඩා වැදගත්වුනා. මගෙ තාත්තට දේශපාලන උනක් තිබුන කෙනෙක්. එක්දහස් නමසිය පනස් ගනන්වල ඉඳල මිය යන කාලයට කිට්ටු වෙනකම් මැතිවරණ ප්‍රතිඵල, මැතිවරණ ප්‍රකාශන වගේ දේවල්වල එකතුවකුත් එයා ලඟ තිබුන. අන්තවාදී යූඑන්පී කාරයෙක් බවත් කියන්නම ඕනැ.

මෙරිල් කාරියවසම්, එදිරිවීර පේමරත්න වගේ අගලවත්තෙන් පාර්ලිමේන්තුවට ගිය ඇත්තන්ගේ මැතිවරණ මෙහෙයුම් ස්ථානයක් බවට මගේ නිවස පත්වුනෙත් ඒ හින්දමයි.

බොහොමයක් දවස්වලට මහ රෑ වෙනකම් මධුවිතත් මැද තියාගෙන තිබුන දේශපාලන සංවාද පුංචි අපිත් අහගෙන හිටිය.

අැත්තටම ඒවා රස කතා. මාක්ස්වාදය, සමාජවාදය වගේ මහලොකු න්‍යාය වෙනුවට තිබුනෙ ආස්වාදය විතරයි. 
වමේ මිනිසුන් ඇසුරු කරන්න ගත්තමයි දකුණේ මිනිසුන් කොච්චර සුන්දරද කියල දැනෙන්නෙ.

අවුරුදු ගානක් පීඩාවෙන් විපක්ෂයේ හිටපු UNP කාරයො අදටවත් මහින්ද රාජපක්ෂටවත් , UNP එකට බලය අහිමිකරපු චන්ද්‍රිකා ගැනවත් වෛරී සිතුවිලි ඇතියි කියල මම හිතන්නෙ නැහැ. පේමදාස මහත්තය මැරිච්ච වෙලාවෙ රතිඤ්ඤා පත්තු කළාට UNPකාරයො කිසි දවසක එහෙම කරන්නෙ නැහැ.

වම් ඉවුරෙ ඉන්න බහුතරයක් කුහක, කුඩුකේඩු, ජීවිතය විඳිනවා වෙනුවට විඳවන මනුස්ස කොටසක් කියලයි මට හිතෙන්නෙ.

සමහරුන්ට ඉන් මිදෙන්න අවශ්‍ය වුනත් අනිත් බලවේග ඔවුන්ව යටත්කර ගන්නා බවක් හැඟෙනවා.

අළුත් පරම්පරාව වම් ඉවුරට සේන්දු නොවෙන්නෙත් ඒ හින්දම වෙන්නත් ඇති..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-17

යූඇන්පියට රට විකුණන්න නො දී විප්ලවේ කොරහල්ලකො බං

මේවා රට විකුණගෙන කන සිස්ටම් කියලා ජෙප්පෝ කියන්නේ.
ඉතින් බං උඹලත් මේකෙන්ම කන්නේ නැතිව...
විප්ලවේ කොරහන්කෝ හිටන්...

අප මිත්‍ර බ්ලොග්කරුවකු වන මාතලන් විසින් ෆේස්බුක්හි තබන ලද මෙම සටහන මේ මොහොතේ අතිශය දේශපාලනික ප්‍රකාශයක් බව ද, අවශ්‍ය නම් ඔය වෙනත් නිතර කියන දේශපාලන රුවන් වැකි ගනයෙහි ම ලා සැලකිය හැකි බව ද කියමි.

2015 ජනවාරි 8 විප්ලවයට සහභාගි වූ අයට අරමුණු කීපයක් තිබුණු බව පෙනේ. එක් පිරිසකට අවශ්‍ය වී තිබෙන්නේ රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පමණි. ඒ අය හැකි ඉක්මණින් අත් සෝදාගෙන ඉවත් වූ අතර, එතැන් සිට හැසිරෙන්නේ තමන් එහෙම එකක් කළේ නැහැ වගේ ය. එපමණක් නො ව, දැන්, දැන් අනියමින් රාජපක්ෂලාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නට ද මේ අය පටන් ගෙන තිබේ.

මේ පිරිස ගිහින් පට්ටල් ගැහී තිබෙන්නේ අපි ඕවට නෑ, අපි දෙකට ම නෑ ආදී වශයෙන් සම්භාව්‍ය ටෝක් දෙමින් අවසානයේදී යටින් ගේම් ගසමින් ඇත්ත වශයෙන් ම රාජපක්ෂලා වෙනුවෙන් ම වැඩ කළ නඩ සමග වීම අහම්බ නො වේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කර ගත් සන්ධානයක් බලයට පැමිණීම යනු ඔළු මාරුවකට වඩා ආර්ථික ප්‍රතිපත්ති මාරුවක් බව තේරුම් ගන්නට බැරි තොත්ත බබාලා ඒ දවස්වල ම පැත්තකට විය යුතුව තිබිණි.

එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉතා හොඳ එකකැයි අපි නො කියමු. එහෙත්, අපට තියෙන ප්‍රශ්නය වන්නේ අප හමුවේ වෙනත් විකල්පයක් තිබේ ද යන්නයි.

කිසිදා භාවිතයට නො ගත්, භාවිතයට ගැනීමට තුන් හිතකවත් නැති මනෝරාජික අදහස්වලින් ඇති වැඩක් නැත. අප හමුවේ තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ බරපතල ගැටලුවකි.

එක පැත්තකින් ලෝකයෙහි තිබෙන්නේ ලංකාවට ලොකු අවස්ථාවක් ලබා ගත හැකි තත්වයක් නො වේ. ලංකාව තව දුරටත් ලාභ ශ්‍රමය මිළ දී ගත හැකි තැනක් නො වේ. නිදහස් වෙළඳ කලාපවල පමණක් කිසි දා නො පිරවෙන පුරප්පාඩු 20,000ක් තිබේ. ගම් මට්ටමේ පොල් ගෙඩියක් කඩා ගන්නට, තේ දළු ටික නෙළා ගන්නට, කුඹුරක් කොටා ගන්නට, කිතුලක් මැද ගන්නට ශ්‍රමිකයෙකු සොයා ගත නො හැකි ය. එහෙයින්, ලාභ ශ්‍රමය හා අඩු නිෂ්පාදන පිරිවැය සොයාගෙන ලංකාවට ආයෝජකයන් පැමිණෙන්නේ නැත.

අනෙක් පැත්තෙන්, මැද පෙරදිගින් ලැබෙන ආදායම්වල වර්ධනය ද අඩු වී තිබේ.

මේ රටින් අපනයනය කර ගන්නට තිබෙන තේ, රබර්, පොල්වලට ද ලොකු අපනයන ඉල්ලුමක් නැත.

ලංකාව වනාහි ව්‍යවසායකත්වය දිරි ගන්වන සමාජයක් නො වේ. තවත් මිනිසුන්ට රැකියා සපයමින්, තමන් ද ලාභ ලබන, ණය බර වැනි විශාල අනතුරු දරා ගන්නා ව්‍යවසායකයන්ට ලංකාවේ මිනිසුන් කියන්නේ ධනපතියා යන කුණුහරුප වචනයයි. ලංකාවේ වාමාංශිකයන් සිතන්නේ හා ජනතාවට කියන්නේ ලාංකිකයන්ගේ කාලකන්නි ඉරණමට හේතුව මේ ධනපතියන් බවයි. ඒ නිසා ඔවුන්ගේ වැඩි පඩි ඉල්ලා, අඩුවෙන් වැඩ කර, ඔවුන් මිරිකා බදු ගෙන, ඔවුන්ගේ ව්‍යවසායන් විනාශ කර දැමිය යුතු යයි ඔවුහු ජනතාවට උගන්වති.

ඒ ව්‍යවසායවල වැඩ කරන මිනිසුන්ට ඔවුහු අනුකම්පා කරති. ඔවුන්ට බැරි නම් ඔවුන්ගේ දරුවන්ට හෝ තමන් සේ රජයේ සේවකයන් වන්නට අවස්ථාව ලබා දීම යහපත් ජීවිතයක යතුර ලෙස ඔවුහු සලකති.

රජයේ සේවය වනාහි ඉතා පහසු, වැඩිපුර වැඩ නැති, අවශ්‍ය නම් වැඩ නො කර ම සිටිය හැකි, මොනවා කළත්, නො කළත්, ලෙහෙසියෙන් රස්සාව නැති නො වන, විශ්‍රාම වැටුප් සහිත සුරක්ෂිත ජීවිතයකි.

එහෙත්, ඇත්ත වශයෙන් ම මේ රටේ කාලකන්නිකම නිර්මානය කරන්නේ ඵලදායී වැඩක් නො කර, මහජන බදු මුදල් හා අනාගත පරම්පරා උගසට තබා ගත් ණයවලින් යැපෙන ලක්ෂ 15ක් පමණ වන දේශපාලකයන්ගෙන්, නිලධාරීන්ගෙන් හා රජයේ සේවකයන්ගෙන් සැදුම් ලත් සූරා කන මධ්‍යම පංතිය බව ද, ලංකාවේ සත්‍ය සමාජ ක්‍රමය වන්නේ මෙම මධ්‍යම පංතියේ ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක් බව ද මොවුන් පිළි ගන්නේ නැත. මන්ද, මනෝරාජික ධනපතියෙකුට බැනීම ඊට වඩා පහසු නිසා ය.

වාමාංශිකයන්ගේ විප්ලවය මහින්ද රාජපක්ෂ කොරලා හමාර කළේ ය. ඒ කියන්නේ මධ්‍යම පංතියට සැප දෙන දැවැන්ත රජයක් හැදුවේ ය. ඒ වෙනුවෙන් අනාගත පරම්පරා ගණනාවක් උගස් කරමින් ණය ගත්තේ ය. දැන් තිබෙන ප්‍රශ්නය එය තව දුරටත් පවත්වාගෙන යන්නට බැරිකමයි. පවත්නා රජය එජාප එකක් වුණත්, අතිශය බලවත් මධ්‍යම පංතියේ සහයෝගය නැතිව එම පක්ෂයට බලය පවත්වාගෙන යා නො හැකි ය. ඒ නිසා මධ්‍යම පංතිය රිදවන තීරණ හෙවත් ඵලදායී වැඩ නො කරන පිරිස්වලට කරන ගෙවීම් නැවැත්වීමේ තීරණ කිසිවක් ගන්නට එජාපය සූදානම් නැත. අනෙක් පැත්තෙන් පාලක සන්ධානයේ ශ්‍රීලනිපය යනු බොහෝ දුරට මධ්‍යම පංතියේ ප්‍රධාන ම පක්ෂයයි.

එජාපයේ ව්‍යවසායකත්ව හිතවාදී ස්ථරය මේ වන විට තරමක් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති වෙනස්කම් වෙනුවෙන් මුල පුරා තිබේ. ආයෝජකයන්ට සේවා සලසන්නට තිබෙන ආයෝජන මණ්ඩලය වැනි ආයතන එක් පාලනයක් යටතට ගනිමින්, සංවර්ධන කලාප පහක් හා සංවර්ධන මණ්ඩල නිර්මානය කරමින්, ඒවායේ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු මෙහෙයවන්නට නීති මුක්තිය ද ඇතුළු පුළුල් බලතල ඇති තවත් ආයතන කීපයක් ද හදමින්, සුපිරි බලතල ඇති ඇමති තනතුරු දෙකක් නිර්මානය කරන්නට පනතක් සම්මත කර ගන්නට එජාපය සැරසෙමින් සිටියි. මේ වන විට මෙම පනතට කැබිනට් අනුමැතිය ද හිමි වී තිබේ. මේවා සිදු වන්නේ එජාප ශ්‍රීලනිප සාකච්ඡා ඔස්සේ බව ද අප මතක තබා ගත යුතු ය. ශ්‍රීලනිපයේ ඇතැම් වාචාලයන් එළියේ කෑගැසුව ද, ඇතුළේ වැඩේ යන්නේ පූර්ණ අවබෝධයකිනි.

මේ ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල ගැටලු ඇති වේ. එහෙත්, ආර්ථික පැවැත්ම තහවුරු කර ගැනීමට බැරි වන්නේ නම් ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවලින් වැඩක් ගත නො හැකි වනු ඇත.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා 99 වසරක් වෙනුවෙන් 80%ක් චීනයට කොටස් හිමි, ලංකාවට 20%ක් පමණක් කොටස් හිමි සමාගමකට භාර දීම ගැන විවේචන අසන්නට ලැබේ. වැඩේ කියන්නේ ඔය රෙද්දවල් තියාගෙන හිටියා ය කියා ණය ගෙවන්නට තරම්වත් ආදායමක් ලැබෙන්නේ නැති නම් ඇති වැඩේ මොකක් ද කියා ය.

ලංකාවට සම්පත් ආරක්ෂා කර තබා ගත හැකි ය. එහෙත්, ඒ සම්පත්වලින් වැඩක් ගන්නට බැරි ය. මෙයට හොඳම උදාහරණය එප්පාවල පොස්පේට් නිධියයි. එය හාරා ගැනීම ඇමරිකානු සමාගමකට පැවරීමේ උත්සාහය පැරදවූයේ අප ද සහභාගි වූ දැවැන්ත අරගලයක් ඔස්සේ ය. ඉන් පසු එම අරගලයේ සංකේතීය නායකයා වූ මහමාන්කඩවල පියරතන හාමුදුරුවන් ද අධ්‍යක්ෂ ධුරයක් දරන සමාගමකට එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධ කටයුතු පැවරිණි. අවුරුදු 20කට පමණ පසුවත් එම සමාගමෙන් කරන නිෂ්පාදනයක් නැත. පොහොර නිධියක් මත සිටගෙන අපි පිටරටින් පොහොර ආනයනය කරමින් ගොවිතැන් කරන්නෙමු.

ආර්ථික ජාතිකවාදය වඳ එකක් බව පුන පුනා පෙනී ගොස් තිබෙන සංදර්භයක් තුළ, එජාප නායකත්වය කිසියම් විකල්පයක් වෙනුවෙන් උත්සාහයක් දරයි. එය හරි යාවි ද, වරදීවි ද යන්න දැන ගන්නට හැකි වන්නේ කොරලා ම බලලා ය.

දැන් ඉතින් මේ සුපිරි ඇමති තනතුරු දෙකට පත් වන්නට යන රනිල් වික්‍රමසිංහ හා මලික් සමරවික්‍රම ගැන හෝ භාණ්ඩාගාර බැඳුම්කර වංචාව ගැන අප දන්නා දේවල් ම නැවත, නැවත අපට කියා දෙන්නට උත්සාහ කරන අයට මට කීමට ඇත්තේ මෙයයි.

තමන්ගේ විකල්පය ඉදිරිපත් කරන්න. සියල්ල දත් වාමාංශිකයන්ට නම් තමන්ගේ විප්ලව මෙව්වා එක කරන්නට පුළුවන. හැබැයි, රජයේ රස්සා බලාගෙන ඉගෙන ගන්න, මොකුත් නො දන්නා කැම්පස් ළමයින් ගොනාට අන්දා පාරට දමා නො වේ. රජයේ රස්සා කරමින්, හැමදාම එක ම පිරිස රැස් වන කොළඹ කමිටු රැස්වීම්වලින් හා ෆේස්බුක් එකෙන් විප්ලව කරන එක නවතා ක්‍රියාධරයන් සටනට මුල පිරිය යුතු ය.

ජනතා විමුක්ති පෙරමුණ අනාගතයේ රට කරවන්නට බලාපොරොත්තු වන විදිය අධ්‍යයනය කළ හැකි ජවිපෙ විසින් පාලනය කරන සමුපකාරයක් තිබේ. ඒ අධ්‍යාපන සේවක සමුපකාර ණය දෙන සමිතියයි. එහි ප්‍රධාන වශයෙන් ම සාමාජිකයන් වන්නේ ගුරුවරුන් ය. අවුරුද්දකට, දෙකකට පෙර ජවිපෙ එහි බලය ඇල්ලුවේ ය. මේ වන විට සමිතිය කොට උඩ ය. විස්තර පසුව ලියමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-16

සුන්දර ඉංගිරිසි: වයස් පරාසය අනුව අපට නැති වචන

 A quinquagenarian - පනස්වියෙක්
Teenage කියන වයසට සිංහලෙන් කියන ගැටවර විය කියන වචනය ටිකක් අවුල් නිසා අපි යෝජනා කළා අලුත් වචනයක්. ඒ තමයි දහවිය. 

ඒක යෝජනා කරන්නට සිදු වුණේ එක් පරිවර්තනයක් වෙනුවෙන් එය අවශ්‍ය වුණ නිසායි.

සිද්ධිය පිළිබඳ විස්තරයක් මෙතන තියෙනවා. කියවා බලන්න. 

Teenagerට දහවියා කියලාත් එහි ස්ත්‍රී ලිංගික පදය දහවි කියලාත් යොදන්න පුළුවන්. 

වයස් කාණ්ඩයන්ට සිංහල වචන නැත්තේ දහවියේදී පමණක් නෙමෙයි. 

පහත සඳහන් වචන ඉංග්‍රීසියෙන් යෙදෙන්නේ ඒ ඒ වයස් කාණ්ඩයේ සිටින අය වෙනුවෙනුයි.  

Vicenarian: someone between 20 and 29 years of age
Tricenarian: someone between 30 and 39 years of age
Quadragenarian: someone between 40 and 49 years of age
Quinquagenarian: someone between 50 and 59 years of age
Sexagenarian: someone between 60 and 69 years of age
Septuagenarian: someone between 70 and 79 years of age
Octogenarian: someone between 80 and 89 years of age
Nonagenarian: someone between 90 and 99 years of age
Centenarian: someone between 100 and 109 years of age
Supercentenarian: someone over 110 years of age

මේ එකකටවත් සිංහල වචන නැහැ. 

සරල සිංහලෙන් විසිවියා, තිස්වියා, සාළිස්වියා, පනස්වියා ආදී වශයෙන් සියක්වියා වගේ යොදන්නට පුළුවන්. නැතිනම්, සංස්කෘත මුසු කරලා බර වචන හදන්නටත් පුළුවන්. 

ඉංග්‍රීසියේ තිබුණු පළියට සිංහලෙත් තියෙන්න ඕනෑ ය කියලා එකක් නැහැ. ඒ වුණාට ඉතින් මේවාට වචන හදාගන්නට උත්සාහ කළා ය කියලා භාෂාවට පාඩුවක් වෙන්නේ නැහැ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-12-15

ධර්ම චක්‍රය යනු නැව් සුක්කානම ද? රෝදය ද?


කොයි එක ද?
කඩයක විකුණන්නට තිබූ සපත්තුවල ධර්මචක්‍ර හෝ නැව් සුක්කානම් රූපයක් මුද්‍රණය කර තිබීම, රටේ අලුත් ම පොලිසිය වන සිවුරු පොලිසිය එම කඩයට පැන එහි සේවකයන්ට අඩන්තේට්ටම් කිරීම හා ඉන්පසු එම වීඩියෝව ෆේස්බුක් හරහා ප්‍රචාරය කිරීම නිසා පැරණි සංවාදයක් අලුත් වී තිබේ.

ලංකාවට භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයන් ලංකාවේ මිනිසුන්ට වැදගත් සලකුණු පිළිබඳ සංවේදී විය යුතු ය. හේතුව, ඔවුන් කරන්නේ ව්‍යාපාරයක් නිසා ය. වෙළෙන්දන්ට වැදගත් ලාභය මිස පටලැවිලි ඇති කර ගැනීම නො වේ.

ලංකාවේ බෞද්ධ ජනයා ධර්ම චක්‍රය ලෙස සලකන, වෙනත් රටවල ජනයා නැව් සුක්කානම ලෙස සලකන සලකුණ සහිත පාවහන් අලෙවි කිරීම නිසා ගැටලු ඇති වූ පළමු අවස්ථාව මෙය නො වේ.

2011දී ද නුගේගොඩ බෙවර්ලි හිල්ස් සාප්පුවේ තිබුණු මෙවැනි සපත්තු කිහිපයක් සිහල රාවය සංවිධානයේ මැදිහත් වීමෙන් පොලිසිය අත්අඩංගුවට ගත්තේ ය.


මෙම රූපයේ දක්වා ඇති පච්චයෙන් අදහස් වන්නේ නැව් සුක්කානමක් සේ මා නිසි මග ගෙන යන්න. එහෙත්, නැංගුරමක් සේ මා එක තැන නො රඳවන්න යන්නයි.

මෙවැනි පච්චයක් කොටා ගත් අයෙකු ගුවන් තොටුපළේදී ම ආපසු හරවා යවන්නට තරම් මුග්ධත්වයක් ලංකාවේ තිබේ.

එහෙත්, බෞද්ධයන් විසින් කළ යුතුව තිබෙන්නේ තමන්ගේ ධර්ම චක්‍රය නැව් සුක්කානමෙන් වෙන් කර ගැනීමයි.

ධර්ම චක්‍රය ගැන අදහස් දෙකක් ඇති බව අපගේ අධ්‍යයනවවලින් දැන ගැනීමට ලැබිණි. ධර්මචක්‍රය ආර්යාෂ්ටාංගික මාර්ගය නිරූපණය කරන ගරාදි අටකින් යුක්ත යයි ඇතැමෙක් තර්ක කරති.

ඒ අතර තවත් ඇතැමෙකු පවසන්නේ එය පහත කරුණු නිරූපණය වන පරිදි ගරාදි 24කින් යුක්ත විය යුතු බවයි.
  • දුක්ඛ ආර්ය සත්‍යය -12
  • දුක්ඛ සමුදය ආර්ය සත්‍යය -3
  • දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය -1
  • දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) -8

අශෝක අධිරාජයා සිය සංකේතය ලෙස භාවිතා කළේ දෙවෙනියට සඳහන් කළ ධර්ම චක්‍රය වන අතර ඉන්දීය ජාතික කොඩියේ ඇත්තේ එයයි.  

ගරාදි ගණන කෙසේ වෙතත්, අශෝක ධර්ම චක්‍රයේ නැව් සුක්කානමේ මෙන් නෙරුම් නැත. 

එහෙත්, ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ ඇති ධර්ම චක්‍රයේ නෙරුම් ඇත. 

ධර්මචක්‍රයට පාදක වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනුව චක්ක යනු රෝදය බව ද, පවත්තන යනු ප්‍රවර්තනය හෙවත් පෙරළවීම බව ද මඩිහේ පඤ්ඤාසීහ හිමි 1978දී පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය මෙතැනින්)

එම ලිිපියෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් මෙහි තිබේ. 

2011දී මේ පිළිබඳව ලිපියක් ලියමින් තිරිකුණාමලේ ආනන්ද හිමියෝ මෙසේ පැවසූ හ. 

ඉන්දියාවෙහි හා ලංකාවෙහි විවිධ ප්‍රදේශවලින් සොයාගත් ධර්මචක්‍රවල ගරාදි සංඛ්‍යාවෙහි වෙනස්‌කම් ඇතත් චක්‍රයක ආකෘතිය කොහිවත් වෙනස්‌ කැර නැත. ධර්මචක්‍රයෙහි ප්‍රවර්තනාර්ථය (ඉදිරියට කරකවා යෑවීම) මූලිකව ගම්‍ය කොට ඇති හෙයින් චක්‍රාකෘතියට විරුද්ධව රාමුවෙහි කොන් පෙන්වා දැක්‌වීම ඉතා සදොස්‌ ය. එයින් වන්නේ ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීමක්‌ නොව නිවර්තනය වීමකි." (මූලාශ්‍රය මෙතැනින්)

දීර්ඝ කාලයක සිට නො විසඳී පවතින මෙම ගැටලුව විසඳාගැනීම බෞද්ධාගමික නායකයන්ගේ වගකීමකි. එය ඉටු නො කර, අන්තවාදීන්ට ප්‍රචාරය සඳහා භාවිතා කිරීමට මේවා ඉතිරි කර තැබීමෙන් සිදු වන්නේ ගැටුම් ඇවිලීම පමණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

සිරියාවේ ඇලෙපෝහි යුද්ධය හා අපේ කාලයේ ඈන් ෆ්‍රෑන්ක්?

“මගේ තාත්තාට තුවාල වෙලා. මං අඬනවා," යන සංදේශය ට්විටර් මගින් ලෝකය සමග බෙදා හදා ගත්තේ බනා අල්-ආබෙද් නම් සත් හැවිරිදි සිරියානු දැරියයි. රුසියානු හා ඉරානියානු ආධාර ලබන සිරියානු රජයේ හමුදා විසින් කැරැලිකරුවන්ගේ ග්‍ර‍හණයෙන් සිරියාවේ ප්‍ර‍ධාන නගරයක් වන ඇලෙපෝ නගරය අල්ලා ගැනීමේ මෙහෙයුමේදී බනාත්, ඇගේ මව ෆාතිමාත් පසුගිය සැප්තැම්බරයේ සිට ඇගේ නමින් වන ට්විටර් ගිනුම හරහා ලෝකය සමග ඇලෙපෝහි තතු බෙදා හදා ගත්තා ය.

යුද ගැටුම් මැද, බෝම්බ තර්ජන මැද ඇය හා ඇගේ සොයුරු සොයුරියන් බියෙන් ගෙවන ජීවිතය ගැන ඇය තැබූ සටහන් ලෝකයේ අවධානයට ලක් වූ අතර කෙටි කලකින් ලක්ෂ දෙකක් පාඨකයෝ ඇගේ ට්විටර් ගිනුමට දායක වූ හ. මෙම සටහන තබන විට ඇය සිය අවසන් ට්විටර් සංදේශය ලියා තිබුණේ දෙසැම්බර් 13දා ය.

“මගේ නම බනා. මට වයස අවුරුදු 7යි. මම සජීවීව ලෝකය අමතන්නේ නැගෙනහිර ඇලෙපෝ සිටයි. මේ මැරෙන්නට හෝ ජීවත් වන්නට මට ඇති අවසන් අවස්ථාවයි," යි ඇය සටහන් කළා ය.

රුසියානු ජනාධිපති බෂාර් අල්-අසාද් මෑතදී මාධ්‍යයට පැවසුවේ මෙම බනාගේ ගිනුම තවත් එක් මාධ්‍ය බොරුවක් බවයි.

එහෙත්, වොෂින්ටන් පෝස්ට්හි කයිට්ලින් ගිබ්සන් පවසන්නේ බනා හා ඇගේ පවුල සත්‍ය බවයි. බනා මෙම ට්විටර් ගිනුම පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි ගුරුවරියක වන ඇගේ මවගේ උපකාරයෙනි. ඇගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරියක වීමයි. එසේම, පොතක් ලියන්නට ද ඇයට උවමනාව තිබේ. ඇය අපේ කාලයේ ඈන් ෆ්‍රෑන්ක් ද? 


ඇලෙපෝ වනාහි 2012 සිට ම යුදගැටුම්වලට මැදි වී තිබෙන සිරියාවේ ප්‍ර‍ධාන නගරයකි. සිරියානු රජය එහි බටහිර පෙදෙස පාලනය කළ අතර නැගෙනහිර පෙදෙස සිරියානු විපක්ෂය විසින් පාලනය කරන ලදී. 

සිරියානු ජාතික සන්ධානය ලෙස හැඳින්වෙන සිරියානු විපක්ෂ බලවේග යනු විවිධ කණ්ඩායම් රාශියක එකතුවක් මිස එක් මධ්‍යගත දේශපාලන ව්‍යාපාරයක් හෝ හමුදාවක් හෝ නො වේ. සිරියාවේ ප්‍ර‍ජාතාන්ත්‍රික ප්‍ර‍තිසංස්කරණ අපේක්ෂා කරන කණ්ඩායම්වල සිට ආන්තික කල්ලි දක්වා දහස් ගණනක් සන්නද්ධ කණ්ඩායම්වලින් සිරියානු විපක්ෂය සමන්විත වේ. සිරියානු විදෙස්ගත ප්‍ර‍ජාවෙන් හා අසාද් විරෝධී රාජ්‍ය, සංවිධාන හා පුද්ගලයන්ගෙන් ආධාර ලබන සිරියානු විපක්ෂය රටේ විශාල ප්‍රදේශයක් පාලනය කරයි.  

සිරියානු රජය හා විපක්ෂය අතර ගැටුමට බොහෝ කලකට පෙර සිට එරට කුර්දි ජනයා ජීවත් වන උතුරුදිග ප්‍රදේශ වෙනුවෙන් ෆෙඩරල් පාලනයක් සඳහා දිගු කාලීන අරගලයක් පැවතිණි.  සිරියානු විපක්ෂය මෙම ඉල්ලීමට විරුද්ධ ය.

මේ වන විට කුර්දි මහජන ආරක්ෂක ඒකක නම් වන කුර්දි හමුදා හා සිරියානු රජය අතර අවබෝධාත්මක තත්වයක් ගොඩනැගී තිබේ. එහෙත්, දෙපාර්ශ්වය ම එය ප්‍ර‍තික්ෂේප කරයි. කුර්දි හමුදා උතුරුදිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කැරැලිකරුවන්ට ද එරෙහිව සටන් කරමින් සිටියි. එහෙත්, අසල්වැසි තුර්කිය ඔවුන් සලකන්නේ එරට පදනම් කරගෙන 1980 දශකයේ සිට ම වෙනම කුර්දිස්තානයක් වෙනුවෙන් සටන් කරන කුර්දිස්තාන් කම්කරු පක්ෂයේ ම කොටසක් ලෙසයි. එහෙයින් තුර්කි හමුදා ඉස්ලාමීය රාජ්‍ය කැරැලිකරුවන්ට මෙන් ම කුර්දි මහජන ආරක්ෂක ඒකකවලට ද පහර දෙති. 

මෙම සටහන තබන මොහොත වන විට විපක්ෂ කැරැලිකරුවෝ ඇලෙපෝව අතහැර යමින් සිටිති. යුද්ධයට මැදි වී සිටින ජනයාට ඉවත් වීමට ඉඩ දී තිබේ. කැරැලිකරුවන් හා සිරියානු රජයේ හමුදා අතර සටන් විරාමයක් ඇති වී තිබෙන බව කැරැලිකරුවන්ගේ පැත්තෙන් ප්‍ර‍කාශයට පත් කර තිබුණත්, එය කැරැලිකරුවන්ගේ යටත් වීමක් බව පෙනෙන්නට තිබේ. එහෙයින් අසාද්ගේ හමුදා කෙතරම් දුරට කැරැලිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇද්ද යන්න පැහැදිලි නැත.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.