2017 වසරේ මා බැලූ කැමති ම සිංහල චිත්‍රපටය – නිනෝ ලයිව්

යථාර්ථය තියෙන්නේ රියලිටියට පිටින් නිනෝ

නිනෝ ලයිව්

වානිජ රූපවාහිනිය රියලිටි කියන වචනෙට හරි අපූරු තේරුමක් දීලා තියෙනවා. රියලිටි කියන්නෙ යථාර්ථය වුණාට රියලිටි ෂෝ එකක් කියන්නෙ යථාර්ථය ම නෙමෙයි. නිර්මානය කරපු යථාර්ථයක්. නිර්මිත යථාර්ථයක්.

ඒ කියන්නෙ මෙහෙමයි. මේ සාමාන්‍ය විදියට සිංදු කියමින් හිටපු කොල්ලන්ව කෙල්ලන්ව ඒකෙදි මේකප් දාලා, සුදු කරලා, ස්ලිම් කරලා, ලස්සනට අන්දලා, උන්ගෙ අම්මලාවත් අන්දලා, අඬවලා ඒක යථාර්ථය ය කියලා අපවත් අන්දනවා.

නිනෝ ලයිව් චිත්‍රපටයේ තියෙන්නෙ අමුතුම රියලිටි වැඩසටහනක්. ඒක හරි පරිකල්පනීය අතිශයෝක්තියක්. ඒකෙ නිනෝගෙ තාත්තා නෝමන් මුදල් වෙනුවෙක් නිනෝගෙ මුළු ජීවිතේ ම රියලිටි ෂෝ එකක් බවට පත් කරනවා. ඉතින් අප දකිනවා නිනෝ ජීවත් වෙනවා අර හින්දි චිත්‍රපටවල තියෙන විධියෙ සොඳුරු ලෝකෙක. උදාහරණයක් විදියට නව යොවුන් වියේ නිනෝට අපේ ළමයින්ට වගේ යුනිෆෝම් ඇඳගෙන ඉස්කෝලෙ යන, කුකුළු කූඩු වගේ ටියුෂන් පන්තිවල ඉගෙන ගන්න මළ වදේ නැහැ. එයා හින්දි චිත්‍රපටවල තියෙන කොලේජ් එකක් වගේ තැනක ලස්සනට ඉගෙන ගන්නවා.

රූපවාහිනිය කියන්නෙ මෙන්න මේ වගේ නිර්මිත යථාර්ථයක් අපේ ඇහේ අතුල්ලන තැනක්. නිනෝට වගේ ම අපටත් ඒක සැබෑ ජීවිතය කියා හිතෙනවා. හැබැයි, අපේ ගෙවල් තියෙන වතු නිනෝ ඉන්න හවුසිං ස්කීම් එක වගේ නො වන බවත් අප දන්නවා. හැබැයි දන්නෙ නැහැ වගේ ඉන්නවා.

මේක මං කැමති උදාහරණයකින් පෙන්වන්නම්. මේ උදාහරණයට මං කැමති මේ කෘර, ප්‍රචණ්ඩ ක්‍රියාව නිසා තමයි විශේෂයෙන් ම ගැමි තරුණයාගේ කොන්ද කැඩෙන්නෙ. කැම්පස් ගියාම උන්ව අන්තවාදී දේශපාලන සංවිධානවලට ලේසියෙන් අන්දාගන්නට පුළුවන් වෙන්නෙත්, සිස්ටම් එක⁣ට වහල් වූ කුහක පාරිභෝජනවාදීන් වන්නෙත් ඒ නිසායි. ඒ තමයි වැඳිල්ල.

පැරණි සිංහල සංස්කෘතිය තුළ මව්පියන්ට, වැඩිහිටියන්ට වැඳීම කියන එක මේ අද කාලෙ වගේ ජෝක් වෙලා තිබුණෙ නැහැ. සිංහල අවුරුද්දට එහෙම මව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට බුලත් දීලා වඳින චාරිත්‍රයක් තිබුණා. දොට්ට බහින, බහින සැරයක් ගානෙ ගෙදර ඉන්න ඔක්කොම වැඩිහිටියන්ට වඳින, නෑ ගෙවල්වල ගිහින් ළමයින් ලවා ඒ ගෙවල්වල හැම වැඩිහිටියාටම වත්දවන, ඊට පස්සෙ උනුත් වඳින මේ මළ ඉලව් සංස්කෘතිය හැදුවෙ තනිකර ජාතික රූපවාහිනියෙ ගිය ඔය දූදරුවෝ වගේ සෝප් ඔපරාවලින්.

දැන් මං මේක කිව්වාම සමහරුන්ට හරි කේන්තියි. නිනෝ ලයිව් චිත්‍රපටයේ නිනෝට තේරෙනවා, තමන් මොකක්ද ලොකු බොරුවක් ඇතුළෙ ජීවත් වන බව. නිනෝ ඒකට එරෙහිව කැරැලි ගහනවා. එතකොට චිත්‍රපටය බලන අපට පවා හිතෙනවා මේ කොල්ලට පිස්සු ය කියලා. දැන් අර කේන්ති කට්ටිය මට පිස්සු ය කියලා හිතන්නෙත් ඒ වගේ තමයි.

බුද්ධිය තියෙන මිනිහට තමන් ජීවත් වන්නෙ නිර්මිත යථාර්ථයක් ඇතුළෙ ය කියන එක තේරෙනවා. හැබැයි එතකොට සමාජය අපෙන් අපේක්ෂා කරනවා, ඒක භාර ගත යුතුයි කියලා. නිනෝට අධ්‍යක්ෂවරු ස්ටුඩියෝ එක ගැන කියා දෙනවා. එයා ස්ටුඩියෝ එකේ සිටිය යුතුයි. ස්ටුඩියෝ එකෙන් පැනල ගියොත් ඔක්කොම අවුල්.

හැබැයි, ඩේට් කරන්න චිත්‍රපට ශාලාවක බොක්ස් ටිකට් එකකට සල්ලි නැති, බෝඩිං ගාස්තුව ගෙවා ගන්නට බැරි, කඩෙන් පරාටා එකක් කාලා ජීවත් වෙන යථා ලෝකයේ ඉන්න අය මේ නිර්මිත යථාර්ථයේ ඉන්න නිනෝ වගේ වෙන්නට ආසාවෙන් බලා ඉන්නවා.

නිනෝ වගේ නෙමෙයි, අපට ජීවත් වෙන්නට වෙලා තියෙන්නේ රියලිටි ෂෝ ගොඩක් මැද.

අපේ පාලකයන්, රූපවාහිනී එහෙම අපට කියන්නෙ අනාගතය සුබයි, කාලා බීලා ජොලියෙ ඉන්න කියලා. පූජකයන් අපට කියනවා අපේ ජීවිත කාලකණ්ණි වෙලා තියෙන්නෙ අපි ආගමික නැති නිසා ය කියලා. අපි උන්ට පගා දීලා පරලොව ජීවිතය හරි සුඛිත මුදිත වේවා කියා ප්‍රාර්ථනා කරවා ගන්නවා. කට්ටඩි අපට ප්‍රාතිහාර්යයන් ගැන බලා⁣පොරොත්තු ඇති කරනවා. අපේ දුකට හේතුව දෙමළා ය, හම්බයා ය කියමින් ජාතිවාදියෝ උන් මරන්නට යන්නට කතා කරනවා.

ඔය අතරෙ වාමාංශිකයන් කියනවා ආදරණීය ජනතාවනි, උයාලා දෑසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි, සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටියි. උයාලා ෂෝයි. ධනපති කියලා ජාතියක් නව ලිබරල් කියලා මෙව්ව එකක් කරනවා. එන්න යන්න අපි උන් අපෙන් සොරා ගත් ලැම්බොගිනිය සොයන්න කියලා. අපි පාරෙ නානවා. උන්ගෙ ළමයි යුරෝපෙ ලැම්බොගිනි පදිනවා.

මේ කට්ටියම එකතු වෙලා අප තුළ සිටින පාරිභෝජනවාදී පෙරේතයා අපෙන් හංගනවා. පොදු මිනිස් සමාජය විදියට ප්‍රශ්නවලට විසඳුම් හොයන එක වළක්වන්නට අප වර්ණ, ජාති, පංති, පක්ෂ ලෙස බෙදා වෙන් කර, තවත් මිනිසුන් පිරිසකට වෛර කරන්නට යොමු කරනවා.

විමුක්තිය තියෙන්නෙ මේ කිර්මිත යථාර්ථයන්ට පිටත. නිදහසේ හිතමු ය කියලා අපි ඔ⁣බෙන් කෑගහලා බැගෑපත්ව ඉල්ලන්නේ ඒ නිසායි.

අජිත් පැරකුම් ජයසිංහ (2017 ජුනි මස ලියූ සටහනකි.)

Please follow and like us:

3 thoughts on “2017 වසරේ මා බැලූ කැමති ම සිංහල චිත්‍රපටය – නිනෝ ලයිව්

  1. මේක මේ The Truman Show කියන ෆිල්ම් එකේ ලාබ කොපියක් නෙ .

    ඔරිජිනල් එක ගැන මෙතනින් බලා ගන්න පුළුවන්-
    TheTrumanShow
    හරි එක දැක්කට පස්සෙ නිනො ලයිව් මොකද්ද කියල හිතෙයි.

    1. ෂේක්ස්පියර් නාට්‍ය හැදුවෙත් අනුන්ගෙ කතාවලින්. වඩා වැදගත් වෙනත් නිර්මානයකින් අභාසය ලබන එක නෙමෙයි. අමු අමුවෙ කොපි කරන්නෙ නැතුව පරිකල්පනය මෙහෙයවලා නිර්මානයක් කරන එක. නිනෝ ලයිව් ඒ වගේ එකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *