2017-10-23

කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය

කූඹියෝ ටෙලි නාට්‍යය ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබීම එවැනි කලා නිර්මානයක් පැත්තෙන් සලකා බැලූ කල සුවිශේෂ තත්වයකැයි බැලූ බැල්මට පෙනේ. එහෙත් ඇත්තෙන් ම එය එසේ ද?

පසුගිය කාලයේ විකාශය වූ කුඩා දරුවකු ළමා මහණකු ලෙස රඟපාන ටෙලි නාට්‍යය ගැන ද, තවත් බොහෝ ටෙලි නාට්‍ය ගැන ද සමාජයේ කතාබහ නිර්මානය විය. එහෙත්, කූඹියෝ විශේෂ විය. එයට හේතුව, එය ටෙලිනාට්‍ය නො බලන, ඒවා සීරියස් කලා නිර්මාණ ලෙස නො තකන, එසේම, ටෙලි නාට්‍ය කලාත්මක ආකෘතිය ගැන දැඩි ලෙස විවේචනාත්මක ප්‍රජාවක් ඒ ගැන අලුතින් කතා කරන්නට වීමයි. එය එක පැත්තකින් කර්මාන්තයෙන් ගිලිහී ගොස් සිටි පිරිසක් ඒ වෙත ඇද බැඳ ගැනීමක් විය.

මා අවසන් වරට බැලූ ටෙලි නාට්‍යය සිල්ලර කාසි ය. තේමාව, අන්තර්ගතය, දෘෂ්ටිය වැනි බොහෝ සාධක අතින් එය කූඹියෝ ටෙලි නාට්‍යයට සමාන හෝ ඊටත් වඩා ‘ප්‍රගතිශීලී‘ පැත්තට බර එකකි. එය යථාර්ථවාදී කතාවක් වූ අතර අභව්‍ය ෆැන්ටසියක් වූයේ නැත. එහෙත් සිල්ලර කාසි ගැන කූඹියෝ ගැන තරම් ප්‍රගතිශීලී යයි තමන් හඳුන්වා ගන්නා කලා රසික ප්‍රජාව අතර උනන්දුවක් ඇති වූයේ නැත.

කියවන්න: සිල්ලර කාසි ටෙලි නාට්‍යයෙන් නිරූපිත මධ්‍යම පංතික තෘෂ්ණාව

සිල්ලර කාසි ගැන ඇති නො වූ උනන්දුවක් කූඹියෝ ගැන ඇති වූයේ ඇයි ද යන්න සාකච්ඡා කිරීමට උත්සාහයක් විනා මේ කූඹියෝ ටෙලි නාට්‍යය ගැන විචාරයක් හෝ රස වින්දනයක් හෝ නො වේ. එවැන්නක් ලියන්නට එහි අවසානය තෙක් බලා සිටිය යුතු බව සිතමි.

සිල්ලර කාසි ගැන අප විසින් තබන ලද සටහනෙහි අපි මෙසේ ලියුවෙමු. (නිල් පාටින් දැක්වෙන කොටස කියවීමට කම්මැලි නම් ඒ ටික මගහැර ඉතුරු ටික කියවා ආපසු එතැනට එන්න.)

“ලංකාවේ ධනවාදය අසාර්ථක වීමට ප්‍ර‍ධාන හේතුවක් වන්නේ ද ලංකාවේ ධනේශ්වර ක්‍ර‍මය උර දරාගෙන යන මධ්‍යම පංතියට සිය අපේක්ෂාවන් ඉටු කර දීමට ධනවාදය අසමත් වීම ය. ලංකාවේ මධ්‍යම පංතියට මූලික වශයෙන් ම අවශ්‍ය වන්නේ අධි පාරිභෝජනවාදී ජීවන විලාසයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම් ය. ඒ වෙනුවෙන් අවම ශාරීරික ශ්‍ර‍මයක් පමණක් සැපයීමට ඔවුහු සූදානම් ය. සරළව කිව්වොත් ලංකාවේ මධ්‍යම පංතියට අවශ්‍ය අඩුවෙන් වැඩ කර වැඩියෙන් ආදායම් ඉපැයිය හැකි ක්‍ර‍මයි. ඔවුන් රජය වන්දනා කරමින් රජයේ සේවයට ලොල් වන්නේ ඒ නිසා ය.

මෙහිදී ලංකාවේ පරමාදර්ශී වෘත්තීන් කීපයක් ඔස්සේ මධ්‍යම පංතික සිහිනය තේරුම් ගත හැකි ය. ඒ වෛද්‍ය, නීතිඥ හා දේශපාලක යන වෘත්තීන් තුනයි. මේ තුනේ ම අපේක්ෂාවන් උතුරන්නට සල්ලි හම්බ කිරීමයි. එහිදී ඔවුන්ට වෙනත් කිසිදු වෘත්තීය හෝ සමාජ හෝ සාරධර්මයක් අදාළ වන්නේ නැත.

මෙම වෘත්තීන් තුන එක් අතකින් ලංකාවේ පරමාදර්ශී රැකියා ද වේ. කවුරුත් අත්පත් කර ගැනීමට කැමති සමාජ තත්වයන් සහිත වෘත්තීන් වේ. ඒ හැර කුඩු විකිණීම, සල්ලි පොළියට දීම වැනි ජාවාරම් ද සමාජය ඉහ වහා ගොස් තිබේ.

ලංකාවේ කම්කරු පංතියට ද ඇත්තේ මධ්‍යම පංතික අපේක්ෂා ය. සියලු දේශපාලන පක්ෂ විසින් ඔවුන් වෙත ප්‍ර‍වර්ධනය කර තිබෙන්නේ ද මධ්‍යම පංතික පරමාදර්ශයන් ය. සරළව කිවහොත්, ඔවුන්ගේ අපේක්ෂාව ද ජීවන හිනිපෙතේ ඉහළ පඩිය වන මධ්‍යම පංතියට නැග වැඩ නො කර වැඩි පඩි ගත හැකි ක්‍ර‍මයක් සොයා ගැනීමයි.

ලංකාවේ ධනවාදී ක්‍ර‍මය තුළ අද වන විට තිබෙන ප්‍ර‍ධාන ගැටලුව එහි ප්‍ර‍ධාන සමාජ පංතිය වන මධ්‍යම පංතියේ ජීවන පරමාදර්ශ නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් කිරීමට රට අසමත් වීමයි.“

කූඹියෝ තනිකර ෆැන්ටසියක් මිස යථාර්ථවාදී නිර්මානයක් නො වේ. කලාත්මක පැත්තෙන් ගත් කල එහි කිසිදු වරදක් නැත. කූඹියෝ විසින් නිර්මානය කරනු ලබන්නේ අපූරු කලාත්මක ෆැන්ටසියකි. ජෙහාන්, ප්‍රියන්ත මහඋල්පත, ඔස්ටින් අයියා වැනි චරිත ඉතා ආකර්ශනීය ය. එහෙත්, එහි රචකයා පදනම් වන්නේ ඉතා යල්පැන ගිය අදහසක් මත ය. ඒ අනුව නරක යයි සමාජයේ සම්මත මිනිසුන් නරක වැඩ කළත්, හොඳ වැඩ කරන්නේ යයි කියන අයට වඩා විශිෂ්ට මානව ගුණදම් ඇති අයයි. ඔවුන් වැඩි දෙනෙකු හිත හොඳ චන්ඩි ය. 

හැත්තෑ ගණන්වල ජනප්‍රිය වූ සමාජවාදී සංකල්ප සමග මේ බොළඳ සමාජ සත්තා යථාර්ථවාදී අදහස පෑහිණි. මරුවා සමග වාසේ, යකඩයා වැනි චිත්‍රපට ද රන් බණ්ඩා සෙනෙවිරත්න ගණිකාවක් ගැන ලියූ ‘ළඳුනේ‘ වැනි ගීත ද ඒ සඳහා නිදසුන් ලෙස සැලකිය හැකි ය. 

මෙය අලුත් දෙයක් නො වේ. ඉතිහාසය පුරා අද දක්වා ම, කලා නිර්මානවල සිටින වීරයන් වනාහි සොබාදහමින් හා කෘර සමාජ යථාර්ථයන්ගෙන් බැට කන මිනිසුන්ගේ අසරණකම විසින් ගොඩනගනු ලබන ෆැන්ටසි තමා ය. 

රැජිනි කාන්ත් බැහැර කරන ඇතැමෙක් චේ ගුවේරා වන්දනා කරන්නේ දෙවැනි ක්‍රියාව වඩා ප්‍රබුද්ධ යයි සිතමිනි. එහෙත්, දෙකෙන් ම වන්නේ එක ම දෙයයි. චේ ගුවාරා පෝෂණය කරන්නේ මධ්‍යම පන්තික, වාමාංශික අසරණයන්ගේ විප්ලවවාදී ෆැන්ටසියයි. රැජිනි කාන්ත් වැඩ කරන ජනතාවගේ සාධාරණත්වය පිළිබඳ ෆැන්ටසියයි.

එහෙත්, රන්බණ්ඩා සෙනෙවිරත්නගේ ළඳුනේ ෆැන්ටසියේ ඇති ව්‍යාජත්වය අතික්‍රමණය කළ නිර්මාන අපි වින්දෙමු. ප්‍රබුද්ධයන්ගේ විචාරයට ලක් නො වුණත්, ජොලි සීයා ගයන බජාර් එකේ ලලක්කා එවැනි නිර්මානයකි. එය බොරු ෆැන්ටසිය පුපුරුවා දැමූ නිර්මානයකි.  

කූඹියෝ ටෙලි නාට්‍යයේ වීරයා වන ජෙහාන් ආමන්ත්‍රණය කරන්නේ කාගේ ෆැන්ටසියකටදැයි හඳුනා ගැනීම කූඹියෝ ටෙලි නාට්‍යය ගැඹුරින් රස විඳීමෙහිදී ඉතා වැදගත් ය.

නාගරික හා ගමෙන් නගරයට සංක්‍රමණය වූ උන්නතිකාමී මුත්, ඒ බව පිළි ගැනීමට අකැමැති තරුණ පරපුරක් එදත් සිටිය හ. අදත් සිටිති. එදා ඒ පරපුරේ සංකේතය අමරසිරි කලන්සූරිය සැලකිය හැකි ය. වර්තමාන උදාහරණ නො කියන්නේ ඔවුන් මාරාන්තික ලෙස තරහ වන, එලව එලවා පළි ගන්නා මිනිසුන් විය හැකි නිසා ය.

ඔවුහු බොහිමියානු ජීවන විලාසයකට ඇලුම් කරති. එය ප්‍රවර්ධනය කරති. නිදසුනක් ලෙස ඔවුන් වනාහි යහළුවන් සමග පණ පුදා එකට වැටී සිටින, සැබෑ මිනිසුන් හමු වන බව කියන බාර්වල සෙට් වෙන, ගංජා උරන, කලාකරුවන්ගේ යාළුවන් වූ ද, බුද්ධිමතුන්ගේ අනුගාමිකයන් වූ ද, වාමාංශිකයන් සමග අවුලක් නැත්තා වූ ද, සයිටම් විරෝධී සටන නැගලා යන විට එයට සපෝට් කරන්නා වූ ද, ජීවිතයේ අනෙකුත් සියලු කටයුතුවලදී ලිබරල් වූ ද, බෙල්ල ගහලා යන වැඩ කර මිය ගිය එවුන් වෙනුවෙන් කවි ලියන්නා වූ ද පිරිසකි. 

එහෙත්, ඔවුන් සමග ජීවත් වී බැලුවහොත් දැකිය හැකි වන්නේ ඔය කියන බොහිමියානු ලක්ෂණ බොහොමයක් අමු සෝබන බවයි. මේ බොහිමියානු පිරිමි බොහෝ දෙනෙකුගේ ඇත්ත නිරුවත් වන ප්‍රධාන තැන් කිහිපයක් ඇත. එකක් ගැහැනුන් හා පවුල් ය. අනෙක, බොහිමියානු ජීවිතය හරහා ගොස් සල්ලි උනන ටැප් එක ඇර ගන්නා ආකාරය ඉගෙන ගත් විට ඇති වන තත්වය ය. පිස්සන් සේ සල්ලි පසුපස දුවන ගමනුත් මේ පිරිස තමන් බොහිමියානුවකු යයි පෙනෙන ලෙස අඳිති, පළඳිති. එහෙත්, ඒ ඇඳුම් මිළ දී ගන්නේ ඉහළ ම පෙළේ අධි මිළ ඇඳුම් සාප්පුවලිනි. බොහිමියානුවන් සමග සෙට් වන්නට ඔවුන් එන්නේ ත්‍රීවීල්වල මුත් ඔවුන්ගේ ඇත්ත ඇල්ම වන සුඛෝපභෝගී, අධිමිළ වාහන ද ඔවුන් සතු ය. ඔවුන් ජීවත් වන ගෙවල්වල ගෘහ නිර්මාන ශිල්පය පවා එවැනි ය. 

කූඹියෝ ටෙලිනාට්‍යයේ ජෙහාන් යනු මේ ව්‍යාජ බොහිමියානුවන්ට අහිමි වූ ෆැන්ටසික ජීවිතයයි. උගතා, රැකියා විරහිතයා, දක්ෂයා, නිර්මානශීලියා, සිස්ටම් එකෙන් එලෝපු එකා, ඒකට සෙට් වෙන්න බැරි එකා, ක්‍රම විරෝධියා, බොරුව අල්ලන්නැති  එකා, බොරුකාරයන්ගේ රෙදි ගලවන එකා, උන්ට අමු ගේම් දෙන එකා, හිත හොඳ එකා, පීඩිතයන් වෙනුවෙන් පරිප්පු කන එකා, ඔවුන් වෙනුවෙන් අසීමිත මානව දයාවකින් යුක්ත උතුම් මිනිසා ආදී සියලු ලක්ෂණ අච්චාරු දමා හැදූ චරිතයකි, ජෙහාන්. 

සාත්තර කියන එවුන් එහෙම පහත දැක්වෙන ආකාරයේ දෙයක් කියූ විට එය ඇත්තකැයි පිළි ගැනීමට අප කවුරුත් කැමති ය. “මහත්තයගෙ හිත හොඳයි. ඒ වුණාට පැත්ත ගියත් ඇත්ත කියන නිසා මිනිසුන් තරහා වෙනවා. අසාධාරණේ පේන්න බැහැ. හිත උණු වෙනවා. අනුන් වෙනුවෙන් ඕනෑවට වඩා කරන්න යන එක නිසා තමයි අතේ ඉතුරුවක් නැත්තෙ.“

කූඹියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන් ද සාත්තරකාරයා විසින් අප ඉදිරියේ අප පිළිබඳව නිර්මානය කරන ෆැන්ටසිය වැනි දෙයකි. එහෙත් එය අප සතුටින් තබන පට්ටපල් බොරුවකි. කලා නිර්මානයකින් එය එසේ සිදු වීමෙහි කිසිදු අවුලක් නැත. මන්ද, මිනිසුන් කලාව පරිහරණය කරන්නේ සතුට, විනෝදය මූලික කරගෙන ය. සමාජ විප්ලව කරන්නට නො වේ. මිනිසුන්ට අවශ්‍ය විඳින්නට ය. දුක, බිය, ත්‍රාසය, පිළිකුල, කෘරත්වය වැනි ඕනෑම එකක් විඳිය හැකි ය. එසේම, ඒවා විඳින්නට කැමති අය ද සිටිති. ඔය මොන කෙහෙල්මල වින්දත් අවසානයේදී වැදගත් වන්නේ ජීවත් වීම වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් හෝ වැඩ කිරීම ය. කලාව වැඩක් වන්නේ එම කර්මාන්තයේ සිටින අයට ය. නැතිනම් විචාරකයන්ට ය. ඇත්තෙන් ම වැඩ කරන ජනතාවට කලාව යනු මූලිකව ම සතුට ය.

සතුට වෙනුවෙන් ගැහැණියක දූෂණය කරනවාට වඩා BDSM කාම වීඩියෝවක් අන්තර්ජාලයෙන් බලන එක ලේසි ය. එසේම, බොහිමියානු පන්නයෙන් ජීවත් වන්නට ගොස් ගෙදර ගෑනිගෙන් බැනුම් අහනවාට වඩා කූඹියෝ වැනි ටෙලි නාට්‍යයක් බලා ඒකෙ ජෙහාන්ට ලව් කිරීම ලේසි ය. පාර දිගේ වැනි පුරාවෘත්ත නිර්මානය වූයේ එසේ ය. හැමදාම බොහිමියන් වෙන්නට ගිය විමල් කුමාර් ද කොස්තලාට වූයේ බාර්වල පිනා ෂොට් එකක් වෙනුවෙන් එක එකාට කතන්දර කියමින් කාලකණ්ණි වෙන්නට ය. ඒ කතන්දර අහන එවුන් තමන්ගේ ෆැන්ටසිය වෙනුවෙන් විමල් කුමාර් ද කොස්තලා තවත් උෂාර් කළ හ. පත්තරවල කවි, කතා ලියූ හ. කොස්තා බීලා ම මළේ ය. කොස්තලා වර්ණනා කළ අය ජීවිතයේ එක් තැනකදී බොන එක නවත්තා කුටුම්බ වෙනුවෙන් සල්ලි හම්බ කිරීමට ගිය හ.

මේ බොහිමියානු හා සාංදෘෂ්ටිකවාදී ජීවිත පරමාදර්ශ හා යථාර්ථය අතර ගැටුම හොඳින් නිරූපණය කරන ජිවමාන නිදර්ශනයකි, ‘සත්‍යවාදියා.‘ 1989 කැරැල්ලේදී මෙවැනි බොහිමියානුවන් බොහෝ දෙනෙකුට ගඟේ යන්නට ආශිර්වාද කළ අය අතර ඔහු වඩා අවංක පුද්ගලයෙකි. 

කූඹියෝ රසවත් ටෙලි නාට්‍යයකි. එහෙත්, එය බලා සතුටු වෙනවා විනා එයින් සමාජය විවරණය වේ, එය විප්ලවයට දායක වන මාර වැඩකි ආදී විකාර සිතුවිලි ඇති කර ගත යුතු නැත. ඒවා නිර්මානය කරන කලාකරුවන්ට විප්ලවවාදී පක්ෂවල වැඩවලට ආරාධනා කළත් කමක් නැත. එහෙත් ඒවා දකින ජනතාව ඒවා වෙළඳ ගනුදෙනුවලින් එහාට නො යන වැඩ බව අවබෝධ කර ගත යුතු ය. 

මගේ මූලික තර්කය මෙයයි. කූඹියෝ වනාහි කබාලි චිත්‍රපටය ම තමා ය. ජෙහාන් යනු රැජිනි කාන්ත් ම තමා ය. වෙනස ඒ එක් එක් කලා ධාරා අගය කරන පිරිස් වෙනස් වීම ය. කබාලි බලා විසිල් ගහන අයත්, කූඹියෝ බලා ෆෑන් පේජ් හදන අයත් දෙගොල්ල ම එක ය. කරන්නේ එක ම දෙයකි. වෙනස ඇත්තේ කූඹියෝ බලන අය චුට්ටෙ බලන අයට වඩා ප්‍රබුද්ධ යයි සිතාගෙන සිටීම ය. 

කූඹියෝ වැනි ෆැන්ටසි ඉතා මිහිරි ය. ඒවා රස විඳීම ද ඉතා හොඳ ය. එහෙත්, ඒවා මහා දේශපාලනික මෙව්වා ය අරවා මේවා කියන්නට ඕනෑ නැත. කලාවෙන් එහෙම මහ ලොකු සමාජ වෙනස්කම් ඇති කළ හැකි ද යන්න වෙන ම කතා කළ යුතු විෂයකි. 

හැබැයි, සමාජය වෙනස් කරන්නට අවශ්‍ය කතිකාව පෙරට ගන්නට කලාවට යම් හැකියාවක් ඇති බව මම විශ්වාස කරමි.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-21

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට බ්‍රේක් ගැසිය යුත්තේ ඇයි?

සාමය ද ක්‍රියාවලියකි. එසේ නොමැතිව නිර්මානය කර අවසන් කළ හැකි චිත්‍රපට දර්ශනයක් වැනි අවස්ථාවක් නො වේ.

සාමය සඳහා බොහෝ දේ කළ යුතුව තිබේ. ආණ්ඩුක්‍රම ගොඩනැගීම යනු එයින් එකක් පමණි. එයට වුණත් පෙර කළ යුතු බොහෝ වැඩ කටයුතු තිබේ.

සාමය යනු එක පැත්තකින් ක්‍රියා මාලාවක් හෙවත් කැම්පේන් එකක් ද, තව පැත්තකින් බිස්නස් එකක් ද වේ.

සාම කොම්පැනි ගැන මතක් වන විට කුමාර් රූපසිංහලාගේ සුමනසිරි ලියනගේලාගේ තවත් එවැනි පීස්නික්ලාගේ බිස්නස් අමතක කර කතා කළ නො හැකි ය. (පීස්නික් යන වචනය සුමනසිරි ලියනගේගේ ම නිර්මානයකි. එයින් අදහස් වන්නේ රස්සාවට සාමය ගොඩනැගීම කරන අයයි. මෙවැනි අය විශාල වැටුප් වෙනුවෙන් සාම ව්‍යාපෘතිවල වැඩ කරන ගමන් යුද ව්‍යාපෘතිවලට ආවඩන්නෝ වූ හ. පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකින් මෛත්‍රීපාල සිරිසේන දිනාගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීකමකට තට්ටු කළ මලිත් ජයතිලක කුමාර් රූපසිංහ ළඟ වැඩ කළ එවැනි එක් පීස්නික් කෙනෙකි.) ඔවුන්ට අප බිස්නස්කාරයන් යයි කියන්නේ පැහැදිලි හේතුවක් මතයි. බිස්නස්කාරයන්ට දේශපාලනයක් නැත. ඔවුන්ට ඇත්තේ තමන් කරන ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය පිළිබඳ අදහසක් පමණි. බිස්නස්වලින් ලාභ නැතිව යන කල ඔවුහු ඒවා අතහැර දමා වෙන බිස්නස් කරති. ව්‍යාපෘති අවසන් වන විට මේ පීස්නික්ලා සාමය ගැන කතා කිරීම ද අවසන් කරති.

සාමය දේශපාලනය කර ගත් සිවිල් සමාජයක් ද අපේ රටේ ඇත. ඒවා ද රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති සමග සම්බන්ධ බව ඇත්තකි. එහෙත්, ව්‍යාපෘති ඇතත්, නැතත්, මේ පිරිස සාමය වෙනුවෙන් වැඩ කරති. එය ඔවුන්ට වෘත්තියෙන් එහාට ගිය දෙයකි. රස්සා නැති වුණත් ඔවුන් සාමය අත්හැර දමන්නේ නැත. මේ පිරිස වඩා අවංක පිරිසක් බව ඇත්තකි. එහෙත්, ඔවුන් අවංක තරමට දේශපාලනික නැත.

සාමය ගොඩනැගීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලියට ලඝු කරනු ලැබුවේ මේ සිවිල් සමාජ ස්ථරය විසිනි. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේ නියමුවා වන ජයම්පතී වික්‍රමරත්න පැමිණෙන්නේ මේ පසුබිමෙනි.

මූලික ගැටලුව ඔවුන් හෝ ඔවුන්ගේ අනුග්‍රාහකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහජනයා අතර ජනප්‍රිය නායකයන් නො වීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලිය හිර වන්නේ එතැන ය. සාම ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ලඝු කළ විට සිදු වන්නේ සාම ක්‍රියාවලිය ද එතැන ම හිර වීමයි.

අප ඉතා පැහැදිලිව කියන්නේ මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තල්ලු කිරීමට උත්සාහ කිරීම දේශපාලනික වශයෙන් සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් විය හැකි බවයි.

සාමය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනගන්නට දරන උත්සාහයේ අවසන් ප්‍රතිඵලය ලෙස සාම විරෝධී, ජාතිවාදී, ලිංගවාදී, අන්තවාදී, ප්‍රතිගාමීන් බලවත් වෙනවා නම්, ඒ සාම ක්‍රියාවලිය ම අසාර්ථක එකකි.

සාමය ආර්ථිකයත් සමග ඍජුව සම්බන්ධ ය. අප ඉතා පැහැදිලිව කියන්නේ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ආර්ථික සාමය ඇති කිරීම සඳහා වැඩ කිරීම බවයි. උදහරණයක් ලෙස, බලය බෙදා ගැනීමේ ව්‍යූහයන් තවදුරටත් පුළුල් කරන්නට යනවා වෙනුවට කළ යුතුව තිබෙන්නේ තිබෙන ව්‍යූහයන්වල ඵලසාධනය නැංවීමට කටයුතු කිරීමයි. පළාත් සභා බලතල හෝ තම පළාතේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීමට පළාත් නායකයන් අසමත් වන්නේ ඇයි ද යන්න සොයා බලන විට, රාජ්‍ය සේවය තුළ ඇති ගැටලුව හඳුනාගත හැකි ය. රාජ්‍ය සේවයේ ඵලදායිතාව නංවන තෙක්, කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ආවත් ජනතාවට වැඩක් නැත.

රාජ්‍ය සේවයේ ඵලදායිතාව නැංවීම පවා සාම ක්‍රියාවලියට ඍජුව ම අදාළ ය. එහෙත්, අපේ සාම ව්‍යාපෘති ලියැවී ඇත්තේ නිර්මානශීලී මනස්වලින් මෙහෙයවෙන අත්වලින් නො වේ. ඒවා යාන්ත්‍රික බළල් අත් බවට පත් වීමත් සාමය හරහා වැටුණු බරපතල බාධකයකි. 

නිදසුනක් ලෙස, අවුරුද්ද අන්තිමේ මේ දවස්වල කොළඹ, යාපනය වැනි තැන්වල ලොකු හෝටලයක මඟුල් ගෙයක් පවත්වන්නට බැරි තරමට වැඩමුළු, සම්මන්ත්‍රණ, ප්‍රතිපත්ති සාකච්ඡා ආදිය තිබේ. මේ වනාහි සාම ව්‍යාපෘතිවල සල්ලි වියදම් කර ගැනීමේ ඉලක්ක සපුරා ගන්නා ඒවා ය. මේ වැඩසටහන්වලට මේ වන විට මුහුණ දෙන්නට සිදු වී තිබෙන ලොකුම අභියෝගය සහභාගි වන්නට පිරිස් නැතිකමයි. එහෙත්, වාර්තා ලියා යැවිය යුතුව තිබේ. හැම සාම ක්‍රියාවලියක ම සේ ම මෙම සාම ක්‍රියාවලියේ ද අරමුදල් කණගාටුදායක ලෙස නාස්ති වෙමින් තිබේ. (කියවන්න කෝටි ගණන් වැය වන රජයේ තමාෂා හා ලංකාවේ උත්සව සංස්කෘතිය )

ඇත්ත කල් කදුරු තිත්ත ය. සාම ව්‍යාපාර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රීඩාව නවතා යළි තමන් දෙස ම බැලිය යුතුව තිබේ. සිවිල් සමාජය දේශපාලනික විය යුතු ය. 

මේ ලිපියත් කියවන්න. මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-20

මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද?

ලංකාවේ මේ මොහොතේ දේශපාලන සංවාදය තුළ අවධානයට ලක් වී තිබෙන ප්‍රධාන කාරණා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න බැඳුම්කර කොමිෂමයි. දෙවැන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

බැඳුම්කර කොමිෂම යනු යහපාලනය පිළිබඳ වර්තමාන ආණ්ඩුව හා විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන මේ රටේ ජනතාව විසින් තබන ලද විශ්වාසයේ මිනී පෙට්ටියයි. ඉතිරිව ඇත්තේ නඩු විභාගයක් හරහා පෙට්ටියට ඇණ ගැසීම හා ආදාහනය පමණි.

එවන් ආණ්ඩුවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවක් කළමනාකරණය කර ගත නො හැකි ය. හේතුව අන් කිසිවක් නොව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි ගැඹුරු සමාජ පරිවර්තනයක් සිදු කිරීමට අත ගසන නායකත්වයකට ප්‍රබල මහජන විශ්වාසයක් තිබිය යුතු වීමයි. වර්තමාන ආණ්ඩුවට එවැන්නක් නැත. එය ගොඩනගා ගැනීමට බැරි වීමට ප්‍ර‍ධාන හේතුව බැඳුම්කර ප්‍ර‍ශ්නයයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් දිනා ගැනීම සඳහා උප්පරවැට්ටියක් දමා ගත හැකි වීම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා ප්‍රමාණවත් නො වේ.

ලංකාවේ අලුත් ව්‍යවස්ථා ගෙන ආ 1972 හෝ 1978 අවුරුදු සලකා බලන විට පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ ඒ ඒ වකවානුවල පැවති ආණ්ඩු බලවත් හා ජනප්‍රිය තත්වයන්ගෙන් පැවති බවයි.

වසර 1978දී හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු බවට ප්‍රබල මතයක් සිවිල් සමාජය තුළ ඇති බව සැබෑ ය. එහෙත්, ඒ වනාහි බෙදුණු අදහසකි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර 1972ට කලින් පැවති විධායක අගමැති ක්‍රමය හඳුන්වා දීමෙන් ලංකාවේ ප්‍රශ්න විසඳේ යයි සිතීම මුලාවකි. කවුරු කොහොම කීවත්, ලංකාව නිදහස ලැබීමෙන් පසු ගත වූ දශක හතෙන් හතරක් ම අප ජීවත් වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ ය. ජාතික ප්‍රශ්නය ගැඹුරු වී, තිස් අවුරුදු යුද්ධයක් සිදු වූයේ ද, ඒ යුද්ධය අවසන් වූයේ ද විධායක ජනාධිපති ක්‍රමය තුළයි.

ලංකාවට නව ආණ්ඩුක්‍ර‍මයක් අවශ්‍ය බව ඇත්ත ය. එහෙත්, අවශ්‍ය කුමන ආකාරයේ ආණ්ඩුක්‍ර‍මයක් ද යන්න පිළිබඳ සමාජයේ එකඟතාවන් අවම ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතිකාව දිගට පවත්වාගෙන යාම ඉතා වැදගත් ය. එහෙත්, නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් ගෙන ඒම හදිසියේ කළ යුතු නො වේ. හේතුව අන් කිසිවක් නොව, පටු අරමුණු සහිත ආණ්ඩු විරෝධීන්ට එය පනින රිලවුන්ට බඳින ඉණිමගක් වන හෙයිනි. ආණ්ඩුව කොයි තරම් ප්‍ර‍ජාතාන්ත්‍රික ස්වරූපයෙන්, පොදු සහභාගිත්වයෙන් මෙම ක්‍රියාවලිය ගොඩනැගුවත්, ඒකාබද්ධ විපක්ෂය වැනි වල් සතුන් දැන් එයින් පිට පැන හමාර ය. ඔවුන් අල්ලා බැඳ ගැනීම කෙසේ වත් කළ නො හැකි ය. එහෙත්, ප්‍ර‍ශ්නය එය නො වේ. ඔවුන්ට පහසුවෙන් මෙහෙයවා ගත හැකි බලවත් ප්‍ර‍තිගාමිත්වයන් රැසක් සමාජයේ පැවතීමයි. ඒ ප්‍ර‍තිගාමීන් දැනටමත් කතා කිරීමට පටන් ගෙන තිබේ.

අලුත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයකටත් වඩා මේ රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගනු ලබන පියවරයි. ආර්ථික ස්ථාවරත්වය සමාජ ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය ය. අලුත් ආණ්ඩුක්‍ර‍මයක් ගැන තීරණාත්මක පියවර ගත හැක්කේ එවිට ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-19

මරණයේ තුඩුව එළියකන්ද ළඟදීම එළි දකී

එළියකන්ද පාර වර්තමානයේ: ඡායාරූපය උපුටා ගත්තේ මේ බ්ලොගයෙනි
එළියකන්ද වධකාගාරයේ ගෙවූ අවුරුද්දකුත්, සතියකුත්, මාසයකුත්, එක් දිනක් වන කාලය මගේ මුළු ජීවිතය ම හැඩගැස්වූ ක්ෂතිමය අත්දැකීමකි. අවුරුදු 25ක් තිස්සේ එය රචනා කරන්නේ කෙසේදැයි මම සිතා බලමින් සිටියෙමි. සත්තකින් ම කිහිප වරක් ම ඒ කතාව මුළුමනින් ම ලියා හෝ ලියන්නට පටන් ගෙන හෝ තිබේ. එවැනි අත්දැකීමක් සටහන් කිරීම එය විඳීමටත් වඩා අසීරු ය. 

එම සිදුවීම් දාමය දෙස උපේක්ෂාවෙන් බලන්නට හැකියාව අත්පත් කර ගන්නට ද මට බොහෝ කාලයක් ගත විය. ඒ හා සම්බන්ධ දේශපාලන හැඟීම්බරභාවයන්ගෙන් මා දැන් සම්පූර්ණයෙන් ම විනිර්මුක්ත වී ඇතැයි මම සිතමි. 

ඒ හා සම්බන්ධ විවිධ ගැටලු හේතුවෙන් අවසානයේදී මා තීරණය කර ඇත්තේ එය නවකතාවක් බවට පත් කරන්නට ය. නවකතාව ඇත්ත මත පදනම් වූ ප්‍රබන්ධයකි. පෞද්ගලික අත්දැකීමක් වාර්තාගත කරනවාට වඩා දුරක් නවකතාවක් ඔස්සේ යා හැකි වනු ඇතැයි මම සිතමි. 

එයින් මා උත්සාහ කරනුයේ ලංකා ඉතිහාසයේ එක්තරා යුගයක අත්දැකීම් ඇසුරෙන් තෝරා ගත් වස්තු බීජ කිහිපයක් ඇසුරු කරගෙන මිනිස් සන්තානයේ අඳුරු පැතිකඩ වෙත ආලෝක ධාරාවක් යොමු කරන්නට ය. 

දැන් මේ නවකතාව අවසන් අදියරේ ඇත. අවශ්‍ය පර්යේෂණ කිහිපයක් සඳහා මාතර පැත්තෙන් උපකාර කළ හැකි කිසිවෙකු වේ නම් කරුණාකර කියන්න. මේ අවුරුද්දේ පොත පළ කරන්නට බලාපොරොත්තු වෙමි. ප්‍රකාශකයකු සොයමින් සිටිමි. 

පහත දැක්වෙන්නේ පොතෙන් එක් කොටසකි. 

මුහුණ ඔබා තිබුණු ජීප් පතුල තෙත ගතියෙන් යුක්ත ය. ඔවුන් පාරට බසින්නට පෙර මඳ වැස්සක් වැටිණි. තෙත් උණුසුම් වාතයත්, ජීප් රියේ ඩීසල් දුමාරයත්, කණ් පතුල හාරන එන්ජින් හඬත්, මර බියත්, කලකිරීමත් මැදින් ඔහු ජීප් පතුලේ වමනය කළේ ය.
අවසානයේ එය ස්ථිරව නතර වන විට ඔහුගේ පා හිරි වැටී තිබිණි.

“බැහැපල්ලා.“

පාද දෙක පොළව මත සිටුවා ගන්නට උත්සාහ කළත්, පා හිරි වැටී තිබුණෙන් ඔහු බිම ඇද වැටුණේ ය.

“මේ මොකද මූ ගහන්නත් ඉස්සෙල්ලා මැරිල ද?“

පහර එල්ල වන්නට දැන් ඔන්න මෙන්න ය.

“මගෙ කකුල් හිරි වැටිලා.“

සෙබළෙක් ඔහුට උදව් කළේ ය. ඔවුහු ඇස් බැඳ සිටි රචක ඇදගෙන ගොස් ශාලාවක උස් පඩියකින් නංවා බිත්තියක් අද්දර බිම අතහැරියේ ය. රචක බිත්තියට පිට දී බිම වාඩි වී අන්දුන් කුන්දුන් වී ගිය මනස නිරවුල් කර ගැනීමට උත්සාහ කළේ ය.
මේ සියල්ල හීනයක් ද? එසේ නම් ඇහැරෙන්නේ නැත්තේ ඇයි?

තව මොහොතකට පසු රචක එතැනම, ඒ විදියට ම අසුන් ගෙන සිටියේ ය. ඔහුගේ සර්වාංගය ම පුපුරු ගසමින්, දැවෙමින්, මහා සීතලකට නිරාවරණය වූවා සේ වෙවුලමින් තිබිණි. මිරිස් කෑවා සේ ස්-ස් හඬින් හුස්ම ඉහළ අදිමින් හති ලන ඔහුත් නො දැන ම අඛණ්ඩ කෙඳිරියක් ඔහුගේ උගුරෙන් නැඟිණි. දැරිය නො හැකි තරම් බර ඇද වෙහෙසට පත්, කටින් සෙම හළන ගොනෙකුගේ කෙවිටි පහරින් තලන ලද සම මත නැගෙන රැළිති සේ තම සිරුර පුරා ද දහස් ගණනක් තිගැස්සුම් කම්පනය වෙතැයි රචකට සිතිණි. එහෙත්, ඒ කිසිවක් දැකිය නො හැකි තරමට කිටි කිටියේ රෙදි කඩකින් ඔහුගේ දෑස් බැඳ තිබේ.

වාහන රෝදවලින් ඇගිලි හෑරුණ, මඩ සහිත විශාල පිට්ටනියකැයි සිතිය හැකි සමතලා බිමක එහා කෙළවරට ගෙන ගොස් බිත්තියකට හේත්තු කර උණ පතුවලින් පිට මැද්දට ද පාදවලටද පහර පිට පහර දෙද්දී ඔහු බිම ඇද වැටිණි. ඔවුහු නො කඩවා ම පහර පිට පහර දුන් හ. හැම මාංශ පේශියකට ම, හැම අස්ථියකට ම දරා ගත නො හැකි වේදනාවක් දැනිණි. නො කඩවා ම ඊ-ඊ-ඊ හඬින් කෑ ගැසූ ගෑ ඔහුගේ දෑස් බැඳි රෙදිකඩ මොහොතකට ගැලවී ගියේ ය.

හාත්පස ආලෝකවත් කරමින් ගුප්ත කහ පැහැ සැර විදුලි පහන් එළි දල්වා තිබේ. අවට උස් කටුකම්බි වැට තුළ අවකාශයේ දිගු පාසල් ගොඩනැගිලි ශාලා ය. පිට්ටනියේ යුද ට්‍රක් රථ හා ජීප් ය. නාට්‍යානුසාරී ලෙස පහර දීම මෙහෙයවූ, යන්තමින් තුරුණු වියට එළඹුණු බව පෙනෙන, තවමත් දැලි රැවුල් වැවීම පමා වූ, අනෙක් අය ‘සර්‘ කියා අමතන හමුදා නිලධාරියා එල්ලේ ගසන පොල්ලක කෙළවර අග සිටගෙන බිම ඇද වැටී සිටි ඔහු දෙස බලා, “හහ් හහ් හා“ ගා කෘත්‍රිම ලෙස සිනාසුණේ ය.

නැවතත් ගුටි මුරය ඇරඹිණි. වේදනාව විසින් ම වේදනාව නිර්වින්දනය කළ බොහෝ වේලාවකට හෝ බොහෝ වේලාවක් ලෙස දැනුණු කෙටි කාලයකට පසු නිලධාරියා ‘නවත්වනු!‘ යි අණ කළේ ය.

‘හහ් හහ් හා,‘ යි නාට්‍යමය ලෙස යළි සිනාසුණු හේ ‘දැන් යනු!‘ යි කීවේ ය.

රචක නැගී සිටීමට උත්සාහ කළේ ය. ඒ සමග ම ඔහු කැරකී ගොස් ඇද වැටිණි. සොල්දාදුවෝ දෙදෙනෙක් ඔහුගේ උඩු බාහුවලින් ඩැහැගෙන ඇදගෙන ආහ. ගල් බොරළු මතින් ඇදෙන පා දෙක ගමනේ රිද්මයට මාරු කරන්නට රචක උත්සාහ කළේ ය.

ඔහුගේ මුළු ගත ම, කෙස්ස පවා දහදියෙන් පෙඟිණි. නහයෙන් දියාරු ඉස්මක් නොකඩවා ගලා ආවේ ය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-16

ලංකාවට හරි යන්නෙ මොන විදියෙ ආර්ථිකයක් ද?

ලංකාවේ ධනපති පන්තියේ ඉන්නේ මෙන්න මුන් වැනි එවුන් වීම ද රටට ගසා ඇති හෙණයකි 

අපේ රටේ තියෙන්නේ කුමන ආකාරයක ආර්ථිකයක් ද, සමාජ ක්‍ර‍මයක් ද කියන කාරණය අප සාකච්ඡා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ රටේ තිබෙන්නේ කලක සිට පතුරුවා හැරීමෙන් ඝනීභූත වූ මිථ්‍යා අදහස් පද්ධතියක්.

උදාහරණයක් විධියට ලංකාවේ පවතින්නේ ධනපති පාලනයක් ය කියන එක අමු ම අමු ප්‍ර‍ලාපයක්. ලංකාවේ බලවත් ම පන්තිය රජයෙන් යැපෙන මධ්‍යම පන්තියයි. දේශපාලකයන්ගේ සිට රජයේ නිලධාරීන් හරහා රජයේ සේවකයන් දක්වා විහිදෙන මෙම මධ්‍යම පන්තියට පහළින් රාජ්‍ය සහනාධාර මත යැපෙන ග්‍රාමීය දිළින්දන් ද විශාල ප්‍ර‍මාණයක් සිටිනවා. ඔවුන් ගොවීන් යයි කීවාට, වෘත්තීය ගොවීන් ලෙස හඳුන්වන්නට පුළුවන් පිරිස ප්‍ර‍තිශතයක් ලෙස අවමයි.

රාජ්‍ය උපකාර මත පවතින පූජක ප්‍ර‍ජාවේ ද මතවාදී බලපෑමට ලක් වන, රජයෙන් යැපෙන, මූලික වශයෙන් ම ග්‍රාමීය හා අර්ධ නාගරික වන මෙම මධ්‍යම පන්තිය තමයි ලංකාවේ සංඛ්‍යාත්මකවත්, ආර්ථිකවත් බලවත්. ලංකාවේ ශක්තිමත් ධනපති පන්තියක් නැහැ. ඉන්න ධනපතීන් අතරින් ද වැඩි පිරිස බයිං ඇන් සෙලිං කරන අය මිසක් කර්මාන්ත කෙරෙහි යොමු වන අය නෙමෙයි. කර්මාන්ත වෙත යොමු වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන්වීමේ කිසිදු සැබෑ උවමනාවක් ලංකාව පාලනය කරන මධ්‍යම පන්තියට නැහැ. ලංකාවෙ ධනපති පන්තියේ වැඩි දෙනෙකුගේ මූලික ගැටලුව ඔවුන් ඔය මොනවා හෝ විකුණා මුදල් උපයා සැප විඳීම ගැන හැර වෙනත් දෙයක් ගැන නො දන්නා පිරිසක් වීම. 

විවෘත ආර්ථිකයක් පිළිබඳ ලංකාවේ ඇත්තේ ද මිථ්‍යා අදහසක්. ලංකාවේ ආර්ථිකය ලෝකයේ සෙසු ආර්ථිකයන් වගේ ම විවෘත වන්නේ සාපේක්ෂවයි. හැබැයි, ලංකාවේ ආර්ථිකය මේ රටේ ම 1956ට කලින් තිබුණු ආර්ථිකයට සාපේක්ෂව තවමත් එතරම් විවෘත නැහැ. පනහ දශකයේ අග භාගයේ සිට ලංකාවේ ආර්ථිකයේ රාජ්‍ය අංශය පුළුල් කිරීම ආරම්භ වුණා. පෞද්ගලික දේපල රජයට පවරා ගනිමින් හා අලුතින් සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදිය ආරම්භ කරමින් රාජ්‍ය ව්‍යවසාය පුළුල් කෙරුණා. සමුපකාර වැනි පොදු හිමිකාරිත්වයන් සහිත ව්‍යවසාය පවා අනියමින් රජයට පවරා ගැනුණා. ඒ ව්‍යවසායවලට වෙළඳපොළ ප්‍ර‍මුඛත්වය දුන්නා විතරක් නෙමෙයි ඇතැම් ඒවා ඒ ක්ෂේත්‍ර‍වල ඒකාධිකාරයන් බවටත් පත් කළා.

සමාජවාදය නමින් ද හැඳින්වුණු මේ රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකය විවෘත කිරීමේ සංකේතාත්මක අවුරුද්ද ලෙස සමගි පෙරමුණු රජය පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි 1977 අවුරුද්ද සැලකෙනවා. ඒත්, මේ විවෘත කිරීමත් ඉතා සාපේක්ෂ එකක්. තවමත් රාජ්‍ය අංශය ඉතා ශක්තිමත්. රජය සිල්ලර වෙළඳාම දක්වා බොහෝ ව්‍යවසායන්හි යෙදී සිටිනවා. රාජ්‍ය ඒකාධිකාරයන් තවමත් පවත්වාගෙන යනවා. ඒ වගේ ම රාජ්‍ය බැංකු වැනි ව්‍යවසායන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය මුල්‍ය ප්‍ර‍තිපත්ති පවා සකසනවා.

මෙම බොහෝ රාජ්‍ය ව්‍යවසාය සුදු අලි. ඇතැම් ඒවා ඩයිනෝසර්ලා වගේ ආචීර්ණ කල්පිත ජීවීන්. උදාහරණයක් තමයි දුම්රිය. ලංගම වගේ ඒවා නිසා බස්රිය ධාවන කාලසටහන් ඒකාබද්ධ කරන්නට බැරි වී තිබෙනවා. ශ්‍රීලන්කන් වැනි රාජ්‍ය ව්‍යවසාය ආර්ථික දේහය මත වැඩෙන පිළල වගේයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශ විශාල වශයෙන් පෞද්ගලීකරණය වී තිබෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු සේවා සම්පාදනයෙහිදී දක්වන අකාර්යක්ෂමතාව නිසායි. රජය නඩත්තු කිරීමට බදු ගෙවන ගමන් ම මහජනතාවට සිය සාක්කුවෙන් සැලකිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය ආදී වියදමක් දරාගන්නට සිදු වී තිබෙනවා. මේ සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් විශාල රජයේ සේවක පිරිසකට වැටුප් හා වරප්‍ර‍සාද පිරිනැමීමට සිදු වී තිබෙන අතර, ඔවුන්ගේ ශ්‍ර‍ම ඵලදායිතාව ඉතා අඩුයි. මේ රාජ්‍ය සේවාවන් ඇත්තට ම සේවය කරන්නේ ඒවායේ රැකියා කරන මධ්‍යම පන්තියටයි. ඒවායින් මහජන සේවා සපයන්නේ ඒවායේ පැවැත්ම සාධාරණීකරණය කර ගන්නට අවශ්‍ය මට්ටමට පමණයි.

දැන් රජයට නැවත වරක් ආර්ථිකය තව ටිකක් විවෘත කරන්නට සිදු වී තිබෙන්නේ මේවායේ තිබෙන අකාර්යක්ෂමතාව හා තව දුරටත් ඒවා පවත්වාගෙන යන්නට බැරි වී තිබෙන නිසායි. එහෙත්, සුපුරුදු පරිදි ම රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය මෙය දකින්නේ ඔවුන්ගේ පැවැත්මට කරන ලද තර්ජනයක් ලෙසයි. ඔවුන් ඉතා ප්‍ර‍චණ්ඩ ලෙස වීදි බැස සටන් කරන්නේ ඒ නිසායි. එහෙත්, ඇත්ත එය නොවෙයි. පාලක මධ්‍යම පන්තිය වුණත් මේ ලිහිල්කරණය සිදු කරන්නේ ඔවුන්ට සිය වරප්‍ර‍සාදිත තත්වය රැක ගත හැකි පරිදි වත්මන් ක්‍ර‍මය රැක ගත හැකි පමණටයි.

එවැනි තත්වයක් තුළ මේ රටේ සැබෑ වෙනසක් අවශ්‍ය කරන සමාජ ස්ථර වන ව්‍යවසායකයන්ට හා සැබැවින් ම වැඩ කරන ජනතාවට පැහැදිලි ස්ථාවරයක සිට වැඩ කරන්නට සිදු වෙනවා. ඒ ලංකාවට අවශ්‍ය කුමන ආකාරයේ ආර්ථිකයක් ද යන්න සම්බන්ධයෙනුයි. 

මෙහිදී මගේ යෝජනාව වන්නේ ලංකාවට ගැලපෙන්නේ මනා රාජ්‍ය නියාමනයක් සහිත, පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත්, නිදහස් වෙළඳපොළ ආර්ථිකයක්. රජය ව්‍යසායකත්වයන්ට අත නො ගැසිය යුතුයි. රජයට එය බැරි බව නැවත නැවත ඔප්පු කරන්නට අවශ්‍ය නැහැ. 

ලංකාවේ තිබෙන දැවැන්ත රජයට කුමක්ද කරන්නෙ? එහිදී කළ හැකි හොඳම දෙය තමයි, වක්‍ර බදු අඩු කරමින් ආදායම් බදු වැනි ඍජු බදු ආදායම් වැඩි කර ගත හැකි පරිදි රජයේ බදු යාන්ත්‍රණය විධිමත් කිරීම, වෙළඳපොළ කාර්යක්ෂම ලෙස නියාමනය කිරීම හා දිළිඳු සමාජ කණ්ඩායම්වල අවශ්‍යතා දිළිඳුකම පිටුදැකීමේ අරමුණකින් යුක්තව ආමන්ත්‍රණය කිරීම. අපට අවශ්‍ය කාර්යක්ෂම රජයක් මිසක් තවත් විශාල රජයක් නෙමෙයි. 

අපි එදිනෙදා ප්‍රශ්න ගැන දේශපාලන ස්ථාවරයන් තේරිය යුතුව තිබෙන්නේ මෙවැනි දේශපාලන පදනමක ඉඳලායි. එහෙම නැතුව, රතු පාට ලෙලෙව්වාට කරන්නට පුළුවන් වෙන දෙයක් නැහැ. මොකද, සමාජවාදය යයි කියන රාජ්‍ය මූලික ධනවාදය දැන් අපේ රටේ කුරුවල් වෙලා ඉවරයි.

ඔබේ අදහස කුමක් ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-14

ලංකාවෙ තියෙන්නෙ විවෘත ආර්ථිකයක් ද?

ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකය හරියට වැඩ කළා ද යන්න පිළිබඳ සාකච්ඡා සභාවකට පසුගියදා මා සහභාගි වුණා. 

මේ මාතෘකාව ගැන හිතනකොට මට මතක් වෙන්නෙ මේ දවස්වල පෞද්ගලික අධ්‍යාපනය ගැන තිබෙන සංවාදය. ආර්ථිකය විවෘත කළ බව කියැවෙන්නෙ 1977දී. අවුරුදු 40කට පසුවත් පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය ද කියන සංවාදය තියෙන රටක ආර්ථිකය ඇත්තට ම විවෘත වෙලා ද?

අපි දශක අටක් අතීතයට ගිහින් කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ 1940 දශකය සලකා බැලුවොත්, අපේ රට එදා තරම් විවෘත ද? කන්නන්ගර මහතා පාසල් රජයට පවරා ගත්තෙ නැහැ. ඔහු කළේ ඒ වන විට පැවතුණ පාසල් පද්ධතිය තුළට සැමට අධ්‍යාපනය ලැබීමට තිබෙන හිමිකම පිළිබඳ ප්‍ර‍තිපත්ති ඇතුළත් කිරීම් ගෙන එමින් සමාන්තරව ගුණාත්මක රාජ්‍ය අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම ආරම්භ කළ එකයි. ඔහු පිහිටවපු මධ්‍ය මහා විද්‍යාල හා ඒවාට දක්ෂ දරුවන්ට ලබා දුන් ශිෂ්‍යත්ව මෙහිදී ඉතා වැදගත්.

අධ්‍යාපනය හා ආර්ථිකය විවෘත කිරීම එකිනෙකට නො ගැලපෙන කරුණු දෙකක් ය කියා ඔබ හිතන්නට පුළුවන්. එහෙත්, අධ්‍යාපනය පිළිබඳ මා ඉදිරිපත් කළ මේ නිදසුනෙන් ආර්ථිකය පිළිබඳ ප්‍ර‍කාශ වෙනවා.

අපට ඇත්තෙන් ම විවෘත ආර්ථිකයක් තිබුණේ 1950 දශකයට පෙර කාලේයි. හැටේ දශකයේ විතර පටන් අපේ රට වේගයෙන් සංවෘත ආර්ථිකයක් බවට පත් වුණා. මාක්ස්වාදී හා කේන්සියානු ආර්ථික සංකල්පවල බලපෑම නිසා ලංකාවේ 1970 දශකය තුළදී ඉතා සංවෘත, ජාතිකවාදී, ස්වයංපෝෂී ආර්ථිකයක් ඇති කරන්නට උත්සාහ කෙරුණා. එහෙත් එයත් සාපේක්ෂයි. මේ ආර්ථික ක්‍ර‍මය යැපුණේත් තේ, රබර්, පොල් අපනයනය මතයි.

වසර 1977න් පසු උදා වුණා ය කියන විවෘත ආර්ථිකයේ විවෘතභාවයත් ඉතා සාපේක්ෂ තත්වයක්. එය කලින් තිබුණු ප්‍ර‍තිපත්තිවලට වඩා විවෘත වන්නට පුළුවන්. ඒත්, ඒකත් එහෙම ලොකුවට විවෘත ආර්ථිකයක් නෙමෙයි.

වසර 1978දී හඳුන්වා දෙන ලද අලුත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන් ලංකාවේ නම ශ්‍රී ලංකා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී, සමාජවාදී ජනරජය ලෙස වෙනස් කළා. ඊට පසු කලෙක නුගේගොඩදී පැවැත්වුණු මහජන රැළියකදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ නම පැහැදිලි කළා. ඒ වන විට ලංකාවේ දැවැන්ත රාජ්‍ය ආර්ථිකයක් ගොඩනැගිලායි තිබුණේ. මේ දැවැන්ත රාජ්‍ය අංශය විසින් ඉතා බලවත් මධ්‍යම පන්තියකුත් නිර්මානය කරලායි තිබුණේ. ලංකාවේ කිසිදු කලෙක දේශපාලනික වශයෙන් ශක්තිමත් ධනපති පන්තියක් ඉඳලා නැහැ. මේ මධ්‍යම පන්තියේ බලයට නවලිබරල්වාදීන් ලෙස ඉතිහාසගත වී තිබෙන ජේ.ආර්. ජයවර්ධන හා ඔහුගේ බෑණා වන රනිල් වික්‍ර‍මසිංහ පවා යටත් වුණා. ඒ නිසා මේ රාජ්‍ය අංශය ආරක්ෂා කරමින් තමයි සියල්ල සිදු වුණේ. අඩු තරමේ රාජ්‍ය අංශයෙන් මධ්‍යම පන්තියට ඇති වාසිදායක තත්වය හෝ ආරක්ෂා කර දීමට ඔවුන් යොමු වුණා.

ලංකාවේ ආර්ථිකය විවෘත කිරීම සිදු වුණේ රජයෙන් යැපුණු මධ්‍යම පන්තිය ඇතුළු වෙනත් සමාජ ස්ථරයන්ගේ උවමනාවන් ආරක්ෂා කර ගත හැකි සීමාවට විතරයි. උදාහරණයක් ලෙස අපේ රටේ සහල් වෙළඳපොළ විවෘත කරන්නට කිසිදු රජයක් කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට රජයෙන් සහනාධාර දෙමින් ගැමි දිළින්දන්ගේ යැපුම් කෘෂිකර්මාන්තය නඩත්තු කිරීම අද දක්වා ම සිදු වෙනවා.

වසර 1977දී සිදු වුණේ ඇත්තෙන් ම ආර්ථිකය විවෘත කිරීමක් නම් අඩු තරමේ ආයෝජකයන්ට හෝ ලංකාවට පැමිණ ව්‍යවසායන් ආරම්භ කිරීම පහසු විය යුතුයි. එහෙත් එය තවමත් සිදු වී නැහැ. එදා 1977දී සිදු වුණේ තව දුරටත් ඉදිරියට යන්නට බැරිකම නිසා ආර්ථිකයේ සීමා තරමක් ලිහිල් කිරීමයි. එහෙම කරලාත් අර ලාභදායී නැති දැවැන්ත රාජ්‍ය අංශය දිගින් දිගට ම පවත්වාගෙන යාම තමයි සිදු වුණේ. උදාහරණයක් විදියට බැංකු ක්ෂේත්‍රයේ ලිබරල් ප්‍ර‍තිපත්ති ක්‍රියාත්මක වන්නේ නැහැ, රාජ්‍ය බැංකු ආරක්ෂා කර ගත යුතු නිසා. බලශක්ති ක්ෂේත්‍ර‍ය ලිබරල්කරණය වන්නේ නැහැ විදුලිබල මණ්ඩලය රැක ගත යුතු නිසා. දුම්රිය සේවය ලිබරල්කරණය වීමක් හෝ කිසිදු කැපී පෙනෙන සංවර්ධනයක් සිදු වෙන්නේ නැහැ දුම්රිය දෙපාර්තමේන්තුව රැක ගන්නට ඕනැ නිසා. කාලසටහන් ඒකාබද්ධ කර බස් සේවා විධිමත් කරන්නට බැහැ ලංගම රැක ගන්නට ඕනැ නිසා.

දැන් වෙලා තියෙන්නේ අපි ආයෙත් ඉදිරියට යන්නට බැරි දැවැන්ත හිර වීමක අහු වෙලා. දැන් ආයෙමත් අපට සිදු වෙලා තිබෙනවා ආර්ථිකය තව ටිකක් ලිබරල්කරණය කරලා බලන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-12

රජයේ මාධ්‍යවලට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට කළ හැකි දේ

අප මිත්‍ර සුදර්ශන ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වීම පිළිබඳ කුමන ගැටලු මධ්‍යයේ හෝ වත්මන් පාලනය ප්‍රතිගාමිත්වයෙන් ආරක්ෂා කරමින් මෙතැනින් ඉදිරියට යාම පිළිබඳ සිතන පුරවැසියකු වන මට ඉතා වැදගත්. හේතුව, ඔහු ඉතා කෙටි කාලයක් තුළ රජයේ ගුවන් විදුලි සංස්ථාව තුළ කළ මැදිහත්වීමේ ඵලදායිත්වයයි. දෙයක් වේ නම් සුදුස්සාට ම අයිති විය යුතු කියන එක ලංකාවේ සිදු වන්නේ කලාතුරකින්. සුදර්ශන ගුණවර්ධන ඒ අතින් වාසනා ගුණයක් ඇති කෙනෙක්. සුබපැතුම්!

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය යනු වැඩකට නැති රාජ්‍ය ආයතනයක වැඩක් කළ නො හැකි තනතුරක් ය යන්න ඇතැමෙකුගේ අදහසක්. එහෙත්, එය එසේ විය යුතු ද?

මීට කලින් මේ තනතුර දැරූ අප මිත්‍ර රංග කලන්සූරියගේ කාලයේ ඔහු මාධ්‍ය සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමටත්, මහජන ආකල්ප වෙනස් කිරීමටත් සුවිශේෂ වැඩකොටසක් කළා. එහිදී තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත සම්බන්ධයෙන් ඔහු කළ වැඩකොටස ඉතා වැදගත්. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමෙන් පසු එය ජනතාව අතරට ගෙන යාම සඳහා ඔහු තවත් සංවිධාන සමග එකතු වී කරපු කාර්යභාරය විශිෂ්ටයි.

එහෙත්, ප්‍රවෘත්ති මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත නම් මතභේදයට තුඩු දුන්නා. මා මේ සම්බන්ධයෙන් විවෘතව ම පවසන්නේ මාධ්‍ය දිනෙන් දින ගෝලීය අවකාශයක් තුළ ස්ථානගත වෙමින් තිබියදී ජාතික මට්ටමෙන් නියාමනය කිරීම කළ නො හැක්කක් බවයි. උදාහරණයක් ලෙස දැන් වුණත් ලංකා ඊ නිව්ස් සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණයට හෝ කිසිවක් කරන්නට පුළුවන් තත්වයක් නැති බව පෙනී ගොස් තිබෙනවා. අනාගතේදී රූපවාහිනිය පවා ගෝලීය මාධ්‍ය අවකාශයන් තුළ ස්ථාපිත වෙනවා. සිංහලෙන් කරන මාධ්‍යකරණයන් පවා තව දුරටත් ලංකාවේ දේශසීමාවට සීමා වෙන්නෙ නැහැ. ජාතික නියාමනයන් අසාර්ථක වන්නෙ එතැනදීයි.

නියාමනය සම්බන්ධයෙන් මා ඉදිරිපත් කළ තවත් අදහසක් තමයි රාජ්‍ය මාධ්‍ය හරියට කරලා පෙන්වීම. ඒ කියන්නෙ, ලාභ වෙනුවෙන් බාල වැඩ නො කර, මාධ්‍යකරණය නම් මේ යයි පෙන්විය හැකි මාධ්‍ය භාවිතාවක් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ කිරීම. එහෙම කරනකොට රාජ්‍ය මාධ්‍යවලට ප්‍රමිති නිර්මානය කරන්නට පුළුවන්. පෞද්ගලික මාධ්‍ය මනින්නට ඒ ප්‍රමිති භාවිතා කරන්නට පුළුවන්. ගුවන් විදුලි සංස්ථාවේ සිදු වූ විපර්යාසය පෞද්ගලික රේඩියෝවලටත් බලපෑමක් කර ඇති බව සියුම්ව නිරීක්ෂණය කර බැලුවොත් වටහා ගත හැකියි.

රාජ්‍ය මාධ්‍යවල ප්‍රමිති ඉහළ නැංවීම ලේසි වැඩක් නෙමෙයි. ඒකට මූලික හේතුව, පසුගිය කාලයක් පුරා ඒවායේ සේවකයන් ලෙස පිරවූ දේශපාලන පත්වීම්ලාභීන්ගේ දැනුමේ, කුසලතාවල වගේ ම ආකල්පවලත් තිබෙන ගැටලුව.

හැබැයි, සුදර්ශන ගුණවර්ධන ගුවන් විදුලි සංස්ථාව වගේ වඩා දුෂ්කර තැනක මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා කියලායි මා සිතන්නේ. තනතුරක් ලැබුණාම බොහෝ අය කරන්නේ තමන් සිටි සමාජයත් සමග පරතරයක් නිර්මානය කර ගන්න එක. මේක පෞරුෂ ගැටලුවක්. වර්තමාන ආණ්ඩුවෙන් තනතුරු ගත් බොහෝ දෙනෙකුටත් මේ දේ සිදු වුණා. හැබැයි, සුදර්ශන එහෙම නො කර, සමාජ සම්බන්ධතා ශක්තිමත් කර ගත්තා විතරක් නෙමෙයි, ගුවන් විදුලියේ දොරටු විවෘතත් කළා.

ඊයේ පැවැත්වුණු ආර්ථික නිදහස පිළිබඳ සමුළුවේදීත් මා පෙන්වා දුන් කරුණක් වන්නේ ඉන්න හාල්කෑලි අතරින් නායකයන් පත් කර ගන්නවා වෙනුවට නායකයන් ගොඩනගා ගැනීම වෙනුවෙන් අප වැඩ කළ යුතු බවයි. ඒක සමාජ වගකීමක්.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය කියන්නේ රටේ සියලු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යවලට නායකත්වය දිය හැකි වගකිවයුතු තනතුරක්. රංග කලන්සූරිය වැඩි අවධානයක් යොමු කළේ ප්‍රතිපත්ති තලයටයි. එහෙත්, ප්‍රායෝගිකව ප්‍රවෘත්ති පැත්තෙන් විශාල වැඩකොටසක් කිරීමේ හැකියාව මේ තනතුරටත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් තිබෙනවා. රජයේ ප්‍රතිරූපය ශක්තිමත් කරන්නටත්, විවෘත වෙළඳපොළ තුළ රජයේ වැදගත් මැදිහත්වීම් ඉස්මතු කර දක්වන්නටත්, රජයේ සේවයේ මහජන වගවීම අවධාරණය කරන්නටත්, රජය සම්බන්ධයෙන් මහජන ආකල්ප සුබවාදී අතට හරවන්නටත් සියලු රාජ්‍ය ආයතන අතරින් හරස් අතට විහිදෙමින් සුවිශේෂ වැඩකොටසක් කිරීමේ හැකියාව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට තිබෙනවා.

සමාජය වෙනස් කරන්නට නම් ජාතිවාදී හා මාක්ස්වාදී මනෝ විකාරවලින් ඔද්දල් වූ මනස් සහිත ලාංකීය ජනතාව අතර ගැඹුරට විහිදෙන කතිකාවක් අවශ්‍ය වෙනවා. හැම දේට ම වගේ මේ දේටත් නායකත්වයන් ගොඩනගා ගත යුතුයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-09

සයිටම් වසා නො දැමිය යුත්තේ ඇයි?

රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන් දැන් අවුරුද්දක පමණ සිට පන්ති වර්ජනයේ බව කියනු ලැබේ. එහෙත්, පසුගියදා මහා ශිෂ්‍ය සංගමය විසින් විද්‍යා පීඨ සිසුන්ට එරෙහිව මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය නිසා කැලනිය විශ්වවිද්‍යාලය වසන බවට උප කුලපතිවරයා විසින් කරන ලද නිවේදනය අනුව, වෛද්‍ය පීඨ සිසුන් හැර සෙසු සියලු අභ්‍යන්තර සිසුන්ට විශ්වවිද්‍යාලය වසන ලදී. පන්ති වර්ජනය කර සිටින සිසුන්ට විශ්වවිද්‍යාල නො වසන්නේ ඇයි?

ඇත්ත පන්ති වර්ජනයක් සිදු නො වීම හොඳ තත්වයකි. මහජන මුදලින් වෛද්‍ය පීඨ නඩත්තු කරන්නේ එයට තේරෙන සිසුන් හරියට ඉගෙන ගනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එය හරියට නො කරන අමනයන් මේ රටේ බදු ගෙවන ජනතාවට කරන්නේ වංචාවකි.

වෛද්‍ය සිසුන්ටත්, ඔවුන් උසිගන්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයටත්, සිසුන් ගොනාට අන්දා රටේ සාමය කඩාකප්පල් කිරීමට මාන බලන පසුගාමී දේශපාලන බලවේගවලටත් මූලික සටන් පාඨය වී තිබෙන්නේ සයිටම් විශ්වවිද්‍යාලය වසනු යන්නයි.

සයිටම් වසා නො දමන බව උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා නැවතත් අවධාරණය කළේ ය. ඉතා පැහැදිලිව ම එය නො කළ යුතු දෙයකි. එය බරපතල දේශපාලන ආර්ථික ප්‍රතිවිපාක සහිත ක්‍රියාවකි.

සයිටම් යනු ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු ඇති තැනක් බවට ඇති තර්කය අපි පිළිගනිමු. එහෙත්, මෙම ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුව බොහෝ රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවලට අදාළ ය. පෞද්ගලික ව්‍යවසායක් වන සයිටම් ආරම්භ කළේ පෞද්ගලික අධ්‍යාපනය දිරිගැන්වීමේ රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියකට අනුව නම්, එහි ගුණාත්මකභාවය නැංවීම සඳහා උපකාර කිරීමේ වගකීම ද රජය සතු ය. අනෙක් පැත්තෙන් එහි ලාභ නියාමනය කිරීමට ද රජයට හැකියාවක් ඇත. 

පෞද්ගලික ව්‍යවසායන් ය කියා ව්‍යවසායකයන් පිටුදැකිය යුතු නැත. උදාහරණයක් ලෙස, MAS යනු පෞද්ගලික ව්‍යවසායක් වුව ද, එය මේ රටේ කාන්තාවන් ඇතුළු වැඩි ම පිරිසකට රැකියා සපයා තිබෙන පෞද්ගලික ආයතනය නිසා එය මේ රටේ සම්පතකි. එය රැක ගැනීම රජයේ ද වගකීමකි. වත්මන් සංදර්භය තුළ රජය යනු පෞද්ගලික අංශය මත ආධිපත්‍යය පතුරුවන ව්‍යූහයක් නොව, පෞද්ගලික අංශයට නායකත්වය දෙන ආයතනයකි. 

රටක පැවතිය යුත්තේ රාජ්‍ය සේවාවන් පමණක් ය යන්න ඉතා යල් පැන ගිය ආකල්පයකි. එය අධ්‍යාපනයට, සෞඛ්‍යයට ද අදාළ ය. රජයේ ම ගණනය කිරීම් අනුව, සෞඛ්‍යය සඳහා රටේ සිදු වන වියදම්වලින් 44%ක් ම මහජනතාව තම සාක්කුවෙන් කරන වියදම් ය. අධ්‍යාපනය වෙනුවෙන් මහජනයා තම සාක්කුවෙන් කරන වියදම් ප්‍රතිශතය මීටත් අධික විය හැකි ය. බදු ගෙවන ජනතාව අධ්‍යාපනය, සෞඛ්‍යය වෙනුවෙන් දෙවරක් නො ගෙවිය යුතු බවට තර්ක කරන අය මේ කරුණු දන්නවා ද? මහජනතාව ගෙවන බදුවලට සිදු වන්නේ කුමක් ද? එයින් විශාල ප්‍රමාණයක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප්වලට ය. සෞඛ්‍යය සම්බන්ධයෙන් ගතහොත්, දොස්තරලා ප්‍රධාන රජයේ සේවකයන් තමන් ගන්නා වැටුපට සාධාරණ සේවයක් මහජනතාවට ලබා දෙනවා ද? මහජනතාව කරන මෙම වියදම් වෙනුවෙන් ඔවුන්ට උසස් සේවාවන් ලැබෙන බවට තහවුරු කිරීමේ වගකීමක් රජයට තිබේ. 

දේශපාලන අරමුණු සහිත ආණ්ඩුවක පාලනයට යටත් රජයට වඩා එවැනි අරමුණුවලින් තොර ස්වාධීන ආයතන තිබීම හොඳ ය. එහෙත්, ලංකාවේ රාජ්‍ය ආර්ථිකය විසින් අධ්‍යාපනය හා සම්බන්ධ ස්වාධීන ආයතන විනාශ කර දමන ලදී. ඊනියා සමාජවාදය විසින් සමුපකාර ව්‍යාපාරය පවා විවිධ සේවා සමුපකාර සමිති නමින් රාජ්‍ය බලපෑමට යටත් කළ රටක ස්වාධීන විශ්වවිද්‍යාල බිහි කිරීම අභියෝගයකි.

මෙවැනි ප්‍රයත්නයක් වෙනුවෙන් මුලපිරීමක් හෝ කිරීමට එඩිතරකමක් තිබුණේ මහාචාර්ය සුචරිත ගම්ලත්ට පමණි. එහෙත්, එම සංකල්පය වෙනත් පිරිස් අත බාහිර උපාධි කඩයක තත්වයට පිරිහිණි. එවැනි දෙයක් කිරීමට එඩිතරකමක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හෝ නැත. 

පෞද්ගලික ව්‍යවසායකයන් යනු අපරාධකරුවන් පිරිසක් ලෙස සැලකීමේ මානසිකත්වය එක පැත්තකින් වාමාංශිකයන් විසින් ඇති කර තිබෙන එකකි. අනෙක් පැත්තෙන්, ලංකාවේ ධනපති පන්තිය ගොඩනැගෙන ප්‍රධාන ක්‍රමය වන්නේ රජයේ මුදල් සොරකම් කිරීම හා වෙනත් වංචා හා දූෂණයි. එබැවින් ධනපති පන්තිය යනු සොරුන් පිරිසකැයි සිතීමෙහි අසාධාරණයක් ද නැත. ඒ අතර එසේ සිතන පිරිස කවුරු ද? ලංකාවේ මහජනතාව පිරිසිදු පිරිසක් ද? ඔවුන් ද සොරුන් නො වේ යයි කියන්නේ කෙසේ ද? පාරට බැස්ස විට නීතියක් නො තකන, අල්ලස් ගන්නා හා දෙන, දේශපාලක සොරුන්ට වන්දනාමාන කරන, චෞර නිලධාරීන් ආරක්ෂා කරන ලංකාවේ මහජනතාව ද සාන්ත දාන්ත තීන්ත කූඩු නො වේ.

නෙවිල් ප්‍රනාන්දු සොරෙකු ද නැද්ද යන්න සොයන්නට අපට විශේෂ උවමනාවක් නැත. ඔහු මහත්මයකු නම් නො වන බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. ඔහු වනාහි දේශපාලනය කළ, මහමග රණ්ඩු සරුවල් කර ගන්නා සාමාන්‍ය ලාංකිකයෙකි. කෙසේ වෙතත්, ඔහු අභියෝගාත්මක ව්‍යවසායකයෙකි. ඔහු රැක ගැනීම ඔහු වැනි වෙනත් අයගේ විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වේ.

නෙවිල් ප්‍රනාන්දුට හා සයිටම් ආයතනයට සොර චෝදනාව නගන දොස්තරලා කීදෙනෙකුට තමන් රජයේ රෝහලේ වැඩ කරන සත්‍ය කාලය හා තමන් විසින් ම පුරවන දිනපොතකින් ලබා ගන්නා අතිකාල ආදිය පිළිබඳ විමර්ශනයකට මුහුණ දෙන්නට පුළුවන් ද? එතැන ඇත්තේ මහජන මුදල් මහ දවල් මංකොල්ලකෑමක් නො වේ ද?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලලිත් කොතලාවල විනාශ කළේ ය. දඬුවම් මුදලාලි මරා දැම්මේ ය. සියලු තැන්පත්කරුවන් එකවර සිය මුදල් ආපසු ලබා ගන්නට ආවොත් කඩා නො වැටෙන කිසිදු බැංකුවක්, මුල්‍ය ආයතනයක් ලංකාවේ නැත. ව්‍යවසායකයන් ක්‍රියාත්මක වන්නේ ණය රෝලක් ඇතුළේ ය. ඔවුන් විනාශ කිරීමෙන් රටේ ආර්ථිකයට ද දැඩි හානියක් සිදු වේ. එය පුද්ගලයකු විනාශ කිරීමෙන් ලබන සන්තුෂ්ටියට වඩා වැඩි දෙයකි.

ටිරාන් අලස් යනු රාජපක්ෂලා විසින් දේශපාලන හේතු මත විනාශ කරන්නට උත්සාහ කළ තවත් ව්‍යවසායකයෙකි. ඔහුගේ පුවත්පත් සමාගම වරක් සම්පූර්ණයෙන් ම බිඳ දමන ලදී. අවසානයේදී එය වසා දමන්නට ද සිදු විය.

ලොකුවිතාන, ධම්මික පෙරේරා වැනි අය ළඟ තිබෙන්නේ රාජපක්ෂලාගේ සල්ලි බව බොහෝ දෙනා කියති. එහෙත්, වර්තමාන ආණ්ඩුව ඔවුන් විනාශ කරනවා වෙනුවට ඔවුන්ගේ මුදල් ආයෝජනය කිරීමට ඉඩ ප්‍රස්ථා සලසා දුන්නේ ය. එය බුද්ධිමත් පියවරකි. 

ව්‍යවසායකයන් විනාශ කිරීම රජයේ වත්මන් ආර්ථික ප්‍රතිපත්තියට කිසි සේත් ම අනුකූල නැත. වෙනත් කිසිවකුට මෙම ප්‍රතිපත්තියට විකල්ප ද නැත. ලංකාවට ඉදිරියට යන්නට හැක්කේ පෞද්ගලික අංශය සමග සම්බන්ධ වෙමින් පමණි. එහි කිසිදු වරදක් නැත.

ලංකාවට හොඳ නායකයන්, හොඳ දේශපාලකයන්, හොඳ නඩුකාරයන්, හොඳ රාජ්‍ය නිලධාරීන්, හොඳ ව්‍යවසායකයන් පමණක් නොව, හොඳ ජනතාවක් ද නැත. ලංකාව ඉදිරියට යා යුත්තේ ඉන්න තැන සිට ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-08

කැලනි හිඟන්නන් බිහි කරන විශ්වවිද්‍යාල සංස්කෘතිය

පඤ්ඤාය පරිසුජ්ජති: "ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත්වන්න"
ජවිපෙට පෙසපට අන්තරේට හා කොළඹ කේන්ද්‍රීය ෆේස්බුක් විප්ලවවාදී තවත් කල්ලි සම සම්බන්ධ කැලනි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් විද්‍යා පීඨයේ සිසුන්ගේ ප්‍රදර්ශනයක් කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් පොදු ජනතාවට පැත්තෙන් විවේචන එල්ල වෙද්දී මා ඉහත නම් සඳහන් කළ බලවේග පිට්ටු කෑවා සේ සිටිනු පෙනේ.

මෙම ප්‍රදර්ශනය කඩාකප්පල් කරන්නේ එයට බහුජාතික සමාගම්වල වෙළඳ අරමුණු සම්බන්ධ ය, හමුදාව සම්බන්ධ ය ආදී වශයෙන් චෝදනා එල්ල කරමිනි.

මේ බහුජාතික සමාගම් කතාව ම දැන් යල් පැන ගිය එකකි. වේගයෙන් පුළුල් වෙමින් තිබෙන ගෝලීය වෙළඳපොළ තුළ ජාතික සමාගම්වලට පැවැත්මක් නැත. ගෝලීය තලයේ සම්බන්ධකම්වලින් තොරව මධ්‍ය හෝ සුළු පරිමාණ කර්මාන්තයකටවත් දැන් පැවතිය නො හැකි ය. ආර්ථික ජාතිකවාදය යල් පැන ගොසින් හමාර ය. එය ජීවත් වන්නේ ජාතිවාදය සමග අත්වැල් බැඳගෙන දෘෂ්ටිවාදී තලයක පමණි.

ප්‍රාග්ධනයට නිදහස් සංචලනය සඳහා පුළුල් නිදහසක් හිමිව තිබේ. ජාතිවාදී දෘෂ්ටිවාදයන් මුල් බැසගෙන තිබෙන ලංකාව වැනි රටවල් පවා කොටස් වෙළඳපොළවල් විදේශ ආයෝජනවලට විවෘත කර තිබේ. එසේම, ඍජු විදේශ ආයෝජනවලට වන්දනාමාන කරනු ලැබේ. බහුජාතික සමාගම් හා බහුජාතික නොවන සමාගම් හඳුනා ගැනීම ඉතා දුෂ්කර ය.

කොකා කෝලා ප්‍රතික්ෂේප කළ යුත්තේ අලියා බීම ප්‍රතික්ෂේප කරන පදනමින් ම ය. මේ බීම වර්ග කොයිකත් යැපෙන්නේ ප්‍රචාරණය හා ඒ මත පදනම් වූ ව්‍යාජ විඥානයක් මත ය. කොකා කෝලා බහු ජාතික සමාගමක් වුණා ය කියා අලියා බීම කුඩා සමාගමක් වුණා ය කියා ඒවායේ අරමුණු අතර වෙනසක් නැත.

වඩා යහපත් හා මානුෂික සමාජයක් වෙනුවෙන් සමාගම්වල අධික ලාභ ලැබීමේ වෙළඳ අරමුණුවලට එරෙහිව සටන් කළ යුතුව තිබෙනවා. ඒත්, ඒ තහනම් කිරීම් ඔස්සේ නෙමෙයි. වැළඳ නො ගැනීම ඔස්සේයි. වැළඳ නො ගැනීම බිහි වන්නේ සමාජය හා පුද්ගල ජීවිත වඩා සබුද්ධික හා උසස් වීමත් සමගයි.

විශ්වවිද්‍යාලවල අධිපති දේශපාලනය කියන්නේ සබුද්ධික එකක් නොවෙයි. එය පවත්වාගෙන යන්නේ නවක වදය, තහනම, ආධිපත්‍යය, මැර බලය, මොබ් මානසිකත්වය, ත්‍රස්තවාදය, හිංසාව ආදිය පදනම් කරගෙන තනිකර කෘත්‍රිම වටපිටාවකයි.

එ් නිසා තමයි, විශ්වවිද්‍යාලවලින් පිට වන පිරිස් අතර විශ්වවිද්‍යාලයෙන් ගෙන ආ අයියා මල්ලී කීම් හා පරණ කාඩ් වැනි බොල් හර පද්ධතීන් ටිකක් හැර හරවත් කිසිවක් ඉතිරි නො වන්නේ.

මෙම ඊනියා විශ්වවිද්‍යාල ශිෂ්‍ය උප සංස්කෘතිය විසින් ලංකාවේ අධ්‍යාපනයට, සංස්කෘතියට, දේශපාලනයට පමණක් නොව ආර්ථිකයට පවා කරන හානිය අති විශාලයි. එහෙත්, එය මුල් බැසගෙන ඇති ගැඹුර අනුව එය වෙනස් කිරීමත් පහසු නැහැ. හැබැයි, එය වෙනස් කිරීම ගැන සමාජය ගැඹුරින් සිතිය යුතුයි. 

කෙසේ වෙතත්, මෙයත් කිව යුතුයි. ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල මේ හිඟන සංස්කෘතිය පරාජය කර හමාරයි. එහි ඇති වානිජමය ලක්ෂණ කෙසේ වෙතත්, මේ හිඟන සංස්කෘතිය පැරදවීම තුළ ඔවුන් සැලකිය යුතු ගුණාත්මකභාවයක් අත්පත් කරගෙනත් හමාරයි.

දැන් මෙහෙමත් කල්පනා කර බලන්න. රජයේ විශ්වවිද්‍යාල සමාජයට එපා වන තත්වයක් නිර්මානය කර දෙන මේ ඊනියා රැඩිකල් බලවේග ඇත්තට ම සේවය කරන්නේ ඔවුන් මාරාන්තික ලෙස විරුද්ධ යයි කියන නවලිබරල්වාදයට නොවේ ද?


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-07

මගේ උපන් දිනය දා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධනගෙන් ලැබුණු අපූරු තෑග්ග

සැප්තැම්බර් 27දා මගේ උපන් දිනය. එදා උදේ මම ගුවන් විදුලි සංස්ථාවට ගියේ ඇමති රිෂාද් බදියුදීන් එක්ක වැඩසටහනක් කරන්න. ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදු වන ප්‍රහාර, මුස්ලිම් අන්තවාදයක් තිබේ ද, සංහිඳියාව ඇති කර ගන්නෙ කෙසේ ද, යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට තමයි සැලසුම වුණේ. මගේ සාරප්‍රභාගිර වැඩසටහන තිබෙන්නේ සිකුරාදා වුණත්, මේ විශේෂ වැඩසටහන කරන්නට ලැබුණු ආරාධනය මා සතුටින් භාර ගත්තා. අවස්ථා ඉල්ලමින් කිසිවකු පසුපස යාම මගේ ප්‍රතිපත්තිය නෙමෙයි. හැබැයි, කිසියම් දවසක මට යම් කෙනෙකු අවස්ථාවක් දුන්නා නම් මා එයට උපරිම සාධාරණය කර තිබෙනවා. 

ඒත්, ඇමතිවරයා පෙර දින රාත්‍රියේ සිට සම්බන්ධ කර ගන්නට බැරිවයි තිබුණේ. ඒ නිසා හිස් අතින් එක පාරට ම වැඩසටහනක් කරන්නට ය කියලා ගුවන් විදුලි ප්‍රවීණයකු නො වන මට සිදු වුණා. ඒ පසුගිය සැප්තැම්බර් 26දා, ඒ කියන්නෙ ඊට කලින් දවසේ ගල්කිස්සේදී භික්ෂූන් ඇතුළු ජාතිවාදී ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිෂමේ රැකවරණය යටතේ සිටි රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසකට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව වැඩසටහනක් කිරීමයි.

මා ළඟ තිබුණෙ දුරකථන අංක කීපයක් පමණයි. ඒවායින් ඇතැම් ඒවා ඒ මොහොතේ සොයා ගත් ඒවායි. සම්පත් සල්පිටිකෝරාළගේත්, ඒ මොහොතේ සිටි ක්‍රියාකාරී සහායිකාවගේත් සහාය ඇතිව, ගීතයක් වාදනය කරමින් එළියට ඇවිත් දුරකථන ඇමතුම් ගනිමින්, පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින්, කාලය ගනිමින්, තටමමින් කරපු මේ වැඩසටහන දැලිපිහියෙන් කිරි කෑම වගේ දෙයක් වුණත් ඇත්තෙන් ම එය අපූරු අත්දැකීමක් වුණා.

රේඩියෝ කියන්නෙ මගේ මාධ්‍ය අනුරාගයන් අතර තිබී අමතක කර දමන ලද එකක්. එහෙත්, සුදර්ශන ගුණවර්ධන ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තනතුරට පත් වීමත් සමග බලාපොරොත්තු රහිත මොහොතක රේඩියෝ වැඩසටහන් කීපයක් කරන්නට ලැබුණු අවස්ථාව මා වැළඳගත්තෙ මහත් ආසාවෙන්. මගේ රේඩියෝ මාධ්‍ය අත්දැකීම් පිළිබඳවත් රසවත් කතාවක් කියන්නට තිබෙනවා. පුංචි කාලෙ ප්‍රවෘත්ති කියන්නා වගේ පත්තර කියවපු කාලෙ ඉඳන්, රජරට සේවයේ වැඩ කරපු කෙටි කාලය, බීබීසියේ ප්‍රියත් ලියනගේ සමග ඇති වුණ ගැටුම දක්වා ඒ කතාව ඔබ කැමති නම් පසු කලෙක සටහන් කරන්නම්.

රජිත් කීර්ති තෙන්නකෝන්වත්, ආගමන විගමන කටයුතු සම්බන්ධ නිලධාරීන්වත් සම්බන්ධ කර ගනිමින් ක්ෂණිකව කරපු ඒ රේඩියෝ වැඩසටහන තමයි පහත දැක්වෙන්නේ. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. මගේ උපන් දිනය දන්නේත් නැතිව සුදර්ශන ගුණවර්ධන මිතුරා දුන් මේ තෑග්ග මගේ ජීවිතයේ සොඳුරු මතකයක්. හැබැයි වැඩසටහන අඳුරු සිද්ධියක් ගැන. කැමති නම් අහන්න.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-05

පහේ ශිෂ්‍යත්වය ගැන කුමක් කළ යුතු ද?

පහේ ශිෂ්‍යත්වය ගැන තවත් ලිපියක් මෙතනින් 
පහේ ශිෂ්‍යත්වය කියන්නෙ වර්තමාන තත්වය අනුව ජීවිතේ වැදගත් කඩඉමක්. එය ලංකාවේ ළමයින්ගේ ජීවිත බරපතල විපර්යාසයකට ලක් කරන දැඩි තරගකාරී විභාගයක්. එය නිදහස්, නිර්මානශීලී අනාගත පරපුරක් බිහි කිරීමේ ලා බරපතල බාධාවක් බව ඇත්ත. ඒ පිළිබඳ විවේචන එමටයි.

ඒ වුණාට මේ විභාගය දිහා ජනප්‍රිය නිශේධාත්මක ඇසින් බලන එක හරි ද?

මේ පිළිබඳ සිතන්නට මා පෙළඹුණේ පිලිප් ශාන්තගේ ‘ශිෂ්‍යත්ව විභාගය ජීවිතයකට කිසිම වටිනාකමක් එකතු නොකරයි' කියන අදහසත් එක්ක.

ග්‍රාමීය හෝ නාගරික පරිවාරයන්ගේ දරුවකුට රජයේ වඩාහොඳ පාසලකට ඇතුළත් වන්නට තිබෙන එකම සාධාරණ අවස්ථාව පහේ ශිෂ්‍යත්වයයි. එහෙත්, ඒ සඳහා අසාමාන්‍ය දක්ෂකමක් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස, අනුරාධපුරයේ සිට කිලෝමීටර් 150ක් පමණ ඈතින් පිහිටි වැලිඔය ගජබාපුර සිංහල පාසලේ දරුවෙකුට ලකුණු 160ක් ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එහෙම කළත්, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට තරම් ඒ ලකුණු ප්‍රමාණවත් නැහැ.

ගමේ පාසල හොඳම පාසල යන්න ඇත්තක් නො වේ. ගමේ පාසල්වල පහසුකම් අවමයි. උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම් ලැබෙන්නේ මෙතනින් තේරී හොඳ පාසල්වලට යන දරුවන්ට ය. මේ සියලු වටිනාකම් ශිෂ්‍යත්වය අසමත් වන පරිවාරයේ පාසල්වල දරුවන්ට අහිමි වේ.

ශිෂ්‍යත්වයෙන් වටිනාකම් එකතු වෙන්නෙ නැහැ ය කියන එක වැරදියි. මේකට විසඳුමක් යෝජනා නො කර පහේ ශිෂ්‍යත්වයට බනින එක තේරුමක් නැහැ. මගේ දුව පහේ ශිෂ්‍යත්වය ලිව්වා. ඇය දැනට එතරම් අධ්‍යාපනයට නැඹුරු අයෙකු නෙමෙයි. පාසලේ හවස පන්ති තිබුණා. තවත් පන්තියකටත් ඇය ගියා. මගේ බිරිඳ ගෙදරදී උදව් කළා. ඒ වුණාට එයා ඒ එකක්වත් ඇඟට ගත්තේ නැහැ. එයාගේ ගානට විතරයි එයා කළේ. මට හිතෙන විදියට ලොකු පීඩනයක් එයා ගත්තෙ නැහැ. අපට තිබුණා. ස්විමිං හා නැටුම් පන්ති නවත්වන්නට වුණා. ඒක ලොස් එකක්. හැබැයි, එයා එච්චර ක්‍රීඩාවට දක්ෂ ළමයෙකු නෙමෙයි. එයා ලියන රචනාවලට හැමදාම හොඳ ලකුණු ලැබෙනවා. ගණිතයට ටිකක් දුර්වලයි. මං උදේ කතා කරලා ඇහුවා ප්‍රතිඵල බලමුද කියලා. අනෙක් පැත්ත හැරිලා නිදා ගත්තා. ලකුණු 152ක් තියෙනවා. මගේ පෞද්ගලික අත්දැකීම නම්, මේ ශිෂ්‍යත්වය වෙනුවෙන් කරපු වැඩ කිරීම නිසා දරුවාගේ යම් අධ්‍යාපනික අඩුපාඩු නැති වුණා. අධ්‍යාපනයට නැඹුරු නැති ළමයෙකු ඒ පැත්තට නැඹුරු වුණා. විශේෂයෙන් ම ගණිතය පැත්තෙන් ලබපු සංවර්ධනය වැදගත්.

පහේ ශිෂ්‍යත්වය පටන් ගත්තෙ කන්නන්ගර මහත්තයා හතළිස්ගණන්වල. ගමේ සාමාන්‍ය ගැහැනියක වෙන්නට ඉඩ තිබුණ මගේ නැන්දම්මා ඉංග්‍රීසි ගුරුවරියක වුණේ පහේ ශිෂ්‍යත්වය නිසා. මගේ නැන්දම්මාගේ ජීවිතයට එකතු වෙලා තියෙන්නෙ වටිනාකමක් නෙමෙයි ද?

මම 1975දී පහේ ශිෂ්‍යත්වය සමත් වුණා. පිරිමි ළමයින් දෙන්නයි පාස් වුණේ. එකෙක් කොළඹ ආනන්දෙට ගියා. මං මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙම නතර වුණා. දරුවන් සිව්දෙනෙකු සිටි, ගෙයක් හදා ගන්නට දත කමින් සිටි, රැකියාව විතරක් තිබුණු රජයේ ගුරු යුවලකගේ පුතකු වන මට ශිෂ්‍යත්ව සල්ලි නො ලැබීමත්, මගේ මව්පියන්ට මා වඩා හොඳ පාසලකට යවන්නට වියදම් දරා ගැනීමට නො හැකි වීමත් එයට හේතු වෙන්නට ඇති. මං ගිය ඉස්කෝලෙ විෂය අධ්‍යාපනය පිළිබඳ ගැටලු තිබුණෙ නැහැ. ඒත්, විෂය බාහිර වැඩ සඳහා එක ක්ලබ් එකක්වත් තිබුණෙ නැහැ. බිග් මැච් එකක් නිසා පැවතුණු ක්‍රිකට් හැරෙන්නට වෙන කිසිම ක්‍රීඩාවක් අවම හෝ පිළිවෙලකට කෙරුණෙ නැහැ. ජීවිතයට වටිනාකම් එකතු වෙන්නෙ විෂය අධ්‍යාපනයෙන් ම නෙමෙයි. මේ වගේ ඉස්කෝලවලින් නව යොවුන් වියේ අපේ පොපියන උනන්දුවට බුබුළු නැගෙන්නට අවකාශයක් සපයන්නට බැරි වුණා. ඒ නිසා තමයි, මෙවැනි පාසල්වලට ගිය අපි වගේ ළමයි, විවෘත වුණ ආස්වාදනීය අවකාශය වන කැරැලිකාරී දේශපාලනය වෙත යොමු වුණේ.

මෙය පිලිප් කියන්නා සේ පෞද්ගලික ආවේගයක් නෙමෙයි. සජීවී උදාහරණයක්. පහේ ශිෂ්‍යත්වයෙන් ජීවිතවලට එකතු වෙන හොඳ දේත්, නරක දේත් දෙකම තියෙනවා. පහේ ශිෂ්‍යත්වය කියන්නෙ ක්‍රියාවලියක්. ඒක හුදෙක් විභාගය සහ ප්‍රතිඵලය පමණක් නොවෙයි. අනෙක පහේ ශිෂ්‍යත්වය ඒ වයසේ දරුවන්ට කරන හානිය හා සමාන ම එකක් උසස් පෙළ විසින් ඒ වයස් කාණ්ඩයේ දරුවන්ටත් කරනවා. මේවායේ ගැටලු තිබෙනවා. ලංකාවේ සමස්ත අධ්‍යාපනය ම ගැටලු ගොඩක් තමයි. හැබැයි ඒවාට විසඳුම් හොයන්නට වන්නේ තිබෙන දේවල් වෙනස් කරමින් මිස පරමාදර්ශ උඩින් පාත් කරමින් නෙමෙයි.

පහේ ශිෂ්‍යත්වයට නිකම් බැන්නා ය කියලා වැඩක් නැහැ. මේ ගැන ටිකක් ගැඹුරින් සංවාදයක් ගොඩනගා ගන්නට ඕනැ. ඒ ගැන කරුණු සහිත තවත් ලිපියක් මා ලිව්වා. එයත් කියවන්න.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-03

ධර්මසේන පතිරාජගේ ස්වරූප හා ඇන්ටික් ලයිෆ්

ධර්මසේන පතිරාජ ලංකාවේ ජ්‍යේෂ්ඨ හා ශ්‍රේෂ්ඨ සිනමාධරයකු බව අමතක නො කරමින් ස්වරූප චිත්‍රපටය ගැන මට හිතෙන හැටි බොරු ව්‍යාජ වර්ණනා නැතුව මෙසේ ලියමි.

එම චිත්‍ර‍පටය කියැවිය හැකි ප්‍ර‍ධාන ආකාර දෙකක් තිබේ.

1. කෆ්කාගේ රූපාන්තරණය නම් කෙටි නවකතාවේ අනුවර්තනයක් ලෙස
2. කෆ්කාගෙන් අභාසය ලද ස්වාධීන කෘතියක් ලෙස

ලංකාවේ මුදල් ගෙවා චිත්‍ර‍පට බලන අප වැනි සාමාන්‍ය සිනමා රසිකයන් කෆ්කා කියවා ඇතැයි කෆ්කා කියවූ බව කියන, චිත්‍ර‍පටයේ ප්‍රෙස් ෂෝ එක නොමිළේ බලන, විචාරකයන් යයි තමන් හඳුන්වා ගන්නා, ධර්මසේන පතිරාජට පතී යි කියන, පතී සමග එකට වැඩ කර ඇති, පතී සමග බීලා තියෙන ප්‍ර‍භූන් පිළි ගන්නේ නැත. එබැවින්, ඔවුන්ට අනුව මෝඩයන් වන අපට මෙම චිත්‍ර‍පටය කෆ්කාගේ නවකතාව සිනමාවට අනුවර්තනය කර ගැනීමක් ද යන්න අදාළ නැත. අප යන්නේ චිත්‍ර‍පටයක් බලා රසයක් විඳින්නට ය. ප්‍රහේලිකාවකින් ඔලුව කුරුවල් කර ගන්නට නො වේ.

කෆ්කා අමතක කර වෙනම මෙම චිත්‍ර‍පටය සලකා බැලුවහොත්, එම චිත්‍ර‍පටයේ රූප රාමු හැම එකකම ඇති මූලික ලක්ෂණය වන antique ගතිය හෙවත් පෞරාණිකත්වය අමතක කර චිත්‍ර‍පටය රස විඳිය නො හැකි ය.

එහි ඇත්තේ කිසියම් ඉතිහාසයකට අයිති පැරණි ගෘහ නිර්මාන, ගෘහෝපකරණ, ඇඳුම් පැළඳුම් ආදිය නො වේ. එහි ඇත්තේ දිරා ගිය, මළ බැඳුණු, කැඩුණු-බිඳුණු, හම ගිය ඇන්ටික් දේවල් ය. එහි සිටින මිනිසුන් ද එසේ ය.

එය ඉතිහාසය ප්‍ර‍තිනිර්මානය කිරීමේ උත්සාහයක් නො වේ. කෆ්කාට ද කාලය අදාළ නැත. මෙම චිත්‍ර‍පටය ද ඉතිහාසයේ එක් අවධියක් නිරූපණය කරන එකක් නො වේ. මෙහි සෑම රූප රාමුවක් පාසා ම ඇත්තේ ඇන්ටික් ය. එහි මූලික ලක්ෂණය මෙම පෞරාණිකත්වයයි. එහි සිටින මිනිසුන් වනාහි ඇන්ටික් ලෝකයක ජීවත් වන මළගිය පරාණකාරයන් වැනි පිරිසකි. එහි මූලික විකාරරූපිත්වය එයයි. අනෙක් සියල්ල ම රූප රචනා වන්නේ මෙම පෞරාණිකත්වය තුළයි.

සිනමාකරුවා සෑම රූප රාමුවක් තුළ ම ඉතා පරිසමාප්ත කලා අධ්‍යක්ෂණයකින් හා ආලෝක පාලනයකින් යුක්තව මේ පෞරාණිකත්වය නඩත්තු කරයි. චිත්‍ර‍පටයේ සිදුවීම් පෙළගැස්ම මෙම පෞරාණික පසුතලය තුළ පිහිටුවයි. 

එහි ප්‍ර‍ධාන චරිතය වන ග්‍රෙගරි නම් තරුණ වෙළඳ සේවකයා දිනක් උදෑසන කුරුමිනියකු හෝ වෙනත් අද්භූත සතකු වෙයි. එතැන් සිට පෙළගැසෙන්නේ ග්‍රෙගරි කුරුමිනියකු වීම නිසා ඔහුගේ පවුලේ සිදු වන ආර්ථික, සමාජමය හා භාවමය විපර්යාසයයි.

කුරුමිනියා භාරගැනීම, ඔහු සමග ජීවත් වීම හා කුරුමිනියාගෙන් ගැලවීම පිළිබඳ කතාව එහි සියුම් අන්තර් සම්බන්ධයන් ද සමග තේරුම් ගැනීමට නම් කෆ්කාගේ රූපාන්තරණය නවකතාව කියවන්නට ම සිදු වේ. එය නො කියවූ අයට චිත්‍ර‍පටය තේරෙන්නේ නැත. එබැවින් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට බැනලා වැඩක් නැත. එතනින් එහාට මේ චිත්‍ර‍පටය විවරණය කිරීම පණ්ඩිත විචාරකයන්ගේ වැඩකි.

කෆ්කාගේ රූපාන්තරණය කෙටි නවකතාව වනාහි ඕනෑම පාඨකයකුට මහත් ආසාවෙන් කියවිය හැකි රසවත් කෘතියකි. එය විකාරරූපී සාහිත්‍ය කෘතියක් ලෙස පසු කලෙක අර්ථ නිරූපණය වන්නට ඇත. ඒ අනුව, ඒ ශෛලියෙන් ලියන වෙනත් රචකයන් ද බිහි වන්නට ඇත. එවැනි රචනා ශෛලි ලංකාවේ අය ද අනුගමනය කළ හ. ඒවා විකාරරූපී, අධියථාර්ථවාදී වැනි නම්වලින් හැඳින්විණි. එහෙත්, මේ බොහෝ පසුකාලීන ලේඛකයන් ඒවා ලිව්වේ ඒ ශෛලියෙන් ලියන රැල්ලට, විලාසිතාවට නිසා ඒ බොහෝ ඒවා කියවා රස විඳීම දුෂ්කර ප්‍රහේලිකා ය. ඒවායේ නැත්තේ කෆ්කා තුළ තිබූ අපූර්වත්වයයි. එයට හේතුව, මේ රචකයන් කෆ්කා මෙන් කිසියම් ස්වාභාවික මනෝභාවයකින් නිර්මානයට පිවිසෙනවා වෙනුවට කෘත්‍රිමව එය ඇති කර ගැනීමට උත්සාහ කිරීමයි.

අධියථාර්ථවාදය ඉතා සියුම් නිර්මානශීලිත්වයකින් හසු කර ගත් එක් අවස්ථාවක් මෙම චිත්‍ර‍පටයේ තිබේ. ඒ ග්‍රෙගරි තම කාර්යාලයේ කැඩපතින් මුහුණ බලන අවස්ථාවයි. එම අවස්ථාවේදී ග්‍රෙගරි ඉවත් වී ගියත්, කණ්ණාඩියෙහි ග්‍රෙගරිගේ රූපය රැඳී තිබේ. අධියථාර්ථවාදය වනාහි පරිකල්පනයේ ඉහළ තලයකි. එය නිර්මානය තුළින් නිසගයෙන් උපදින නිර්මාණශීලිත්වයකි. කෘත්‍රිමව ඇති කළ හැක්කක් නො වේ. 

සාමාන්‍ය රසිකයකු වන මා කලා කෘතියක වඩාත් ම අගය කරන දෙය වන්නේ එහි අපූර්වත්වයයි. කලා කෘතියක අපූර්වත්වය බිහි වන්නේ එහි අව්‍යාජත්වයෙන් හා නිර්මාපකයාගේ පරිකල්පනීය ශක්තියෙනි. අපූර්ව කලා කෘති බලෙන් ඉපැදවිය නො හැකි ය. ඒවා නිසගයෙන් පැන නගියි. කලාකරුවා කළ යුතුව තිබෙන්නේ අව්‍යාජව ජීවත් වීම හා නිර්මානකරණයේ යෙදීමයි. වෘත්තීය කලාකරුවන්ට මෙය කොතරම් දුරට කළ හැකිදැයි මම නො දනිමි. එසේම, චිත්‍ර‍පටය වැනි සාමූහික හා වෙළඳපොළ පාදක නිර්මානයකදී ද යම් සංකීර්ණත්වයන් තිබිය හැකි මුත්, මූලික කලාත්මක සංකල්පය සම්බන්ධයෙන් මා කියූ දෙය අදාළ ය.

ධර්මසේන පතිරාජගේ අරමුණ වන්නේ කෆ්කාගේ නවකතාව රූපයට නැගීමයි. එබැවින් ස්වරූප විවරණය කළ යුත්තේ කෆ්කාගේ රූපාන්තරණය නවකතාවට අනන්‍යවයි. කුරුමිනියා චිත්‍ර‍ණය කරනවාට කෆ්කා අකැමැති වූ බව මම අසා ඇත්තෙමි. එය රූපයට නැගීම ම එක් අතකින් නවකතාවේ රසය චිත්‍ර‍පටය තුළ මරා දැමීමක් වන්නට පුළුවන.

කෆ්කාගේ නවකතාව පතිරාජගේ සිනමාත්මක රූපරචනය තුළ ප්‍ර‍තිනිර්මානය කිරීමේදී මට නම් එය ඉහත මා කී පෞරාණිකත්වයෙන් වෙන් කළ නො හැකි ය. එකී පෞරාණිකත්වය මා තුළ නිර්මානය කරන්නේ ප්‍රහේලිකාවකි. කෆ්කාගේ කෘතිය ප්‍රහේලිකාවක් නො වේ.

එසේම, නවකතාවේ බොහෝ වැදගත් දේ ධර්මසේන පතිරාජට මගහැරෙන බව මගේ අදහසයි. නිදසුනක් ලෙස කුරුමිනියා හා සමග පවුලේ අයගේ අන්තර් සම්බන්ධය ද, එය වෙනස් වන හැටි ද, ඒ හා සම්බන්ධ මනෝභාවයන් ද කෆ්කා ගැඹුරින් විග්‍ර‍හ කරයි. පතිරාජ ඒවා මතුපිටින් අතපතගායි. කෆ්කා ලියන්නේ උත්තම පුරුෂ කථනයකට සමීප ග්‍රෙගර්ගේ චරිතය මූලික කර ගත් ප්‍ර‍ථම පුරුෂ කථනයකිනි. ධර්මසේන පතිරාජගේ කථනය දුරස්ථ ප්‍ර‍ථම පුරුෂ එකකි.

නිදසුනක් ලෙස ග්‍රෙගරිට තමන් කලින් ඇලුම් කළ කිරිවල රස නො දැනී යන අයුර අපට වැටහේ ද? ඔහුගේ නැගනිය ඔහුට සපයන ආහාරවලට කර ඇති වෙනස වැනි දේ අපට පහසුවෙන් තේරෙනවා ද? ග්‍රේටාගේ වයලින් වාදනයට සවන් දෙන්නට කුරුමිනියා පැමිණීම, වාදනයේ රසයෙන් ගිලිහී සිටි බෝඩිංකාරයන් කුරුමිනියා දැකීම, ග්‍රෙගරිගේ පියා කුරුමිනියාට ඇපල් ගෙඩියකින් පහර දීම, ඇපල් ගෙඩිය කුරුමිනියාගේ සිරුරෙහි රැඳීම, ආදම් කෑ ඇපල් ගෙඩියෙන් සේ මේ ඇපල් ගෙඩියෙන් ද ග්‍රෙගරි ඇතුළු සියලු දෙනාට යථාර්ථය අවබෝධ වෙන්නට පටන් ගැනීම වැනි කෆ්කාගේ නවකතාවේ නාට්‍යමය සිදුවීම් ස්වරූප චිත්‍ර‍පටයෙහි ඉදිරිපත් කර ඇත්තේ හැඟීම්වලින් තොර වියළිබවකිනි. 

අප වැනි ගෙදර වැඩ ගොඩක් කර චිත්‍ර‍පට බලන්නට නො එන, විචාරක පඬිවරුන් නො වන සාමාන්‍ය රසිකයන්ට ස්වරූප මහා කම්මැලි චිත්‍ර‍පටයක් වන්නේ ඒ නිසා ය.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-10-01

පාසල් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණයේ දේශපාලනය

පාසල් සිසුන් හතළිස් ලක්ෂයක් ආවරණය කරන සුරක්ෂා රක්ෂණය මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරන ප්‍රධාන ම දෙයයි. අප විමසා බලන්නට උත්සාහ කරන්නෙ එහි වෙළඳපොළ වටිනාකම නොව දේශපාලන වැදගත්කමයි.

අපි මේ වන විට වාමාංශිකයන්ගේ විප්ලවය පිළිබඳ අදහස අතහැර හමාර බව ඔබ දන්නවා ඇති. අවුරුදු 75ක් විතර පරණ ලාංකීය වාමාංශික අදහස තවදුරටත් අල්ලාගෙන ඉන්නට තරම් අතීතකාමී නොස්ටැල්ජික් මනසක් අපට නැහැ. සොරි. 

යම් ක්‍රමයක් දිගින් දිගට ම අසාර්ථක වෙනවා නම් එය අතහැර වෙනත් ක්‍රමයක් අත්හදා බැලීමේ එඩිතරකම අපට තියෙන්නට ඕනැ. ඒ නිසා තමයි අපි මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුක්ත, රාජ්‍ය ඒකාධිකාරී, සංවෘත, අර්ධ සමාජවාදී අර්ථ ක්‍රමය අතහැරලා ලිබරල්, නිදහස්, සමාජ වෙළඳපොළ ආර්ථිකයක් වෙනුවෙන් පෙනී ඉන්නෙ.

ඒකට එක හේතුවක් තමයි, පවත්නා ක්‍රමයට තව දුරටත් ඉදිරියට යන්නට බැරි වීම. එජාප, ශ්‍රීලනිප, ජවිපෙ, පෙසප, දෙජාස වගේ මධ්‍යම පන්තික පක්ෂවලට ඇත්තට ම මේ ක්‍රමය වෙනස් කරන්නට උවමනාවක් නැහැ. මොකද, පවත්නා ක්‍රමය විශේෂයෙන් ම රජයෙන් යැපෙන රනිල් වික්‍රමසිංහගේ සිට පාසල් ගුරුවරයකු හා 'විප්ලවීය දර්ශනවාදියකු' වන විදර්ශන කන්නන්ගර දක්වා මධ්‍යම පන්තියට මල් මසුරන්. විෂමතා තිබුණත්, මේ කවුරුත් කය නො වෙහෙසා හෝ සාපේක්ෂව අඩුවෙන් වෙහෙසා බඩ කට පුරවා ගන්නා අය. ඒගොල්ලන්ගෙ දේශපාලනය තමන්ගෙ කොටස වැඩි කර ගැනීමට විතරයි.

අප ඔවුන්ගෙන් වෙනස් වන්නෙ අප ඉතා පැහැදිලිව ම මේ පන්තියෙන් පිටත සමාජ ස්ථර දෙකක් වන ව්‍යවසායකයන් හා සැබැවින් ම වැඩ කරන ජනතාව බලසතු කිරීම වෙනුවෙන් පෙනී සිටින නිසායි. 

එතනදී අපි ඉතා පැහැදිලිව ම කියනවා ලංකාවේ ලොකුම සමාජ ගැටලුව මේ රජයේ තිබෙන දැවැන්තකම බව. එය ප්‍රමාණයෙන් කුඩා කළ යුතුයි. ඒ වගේ ම කාර්යක්ෂම කළ යුතුයි. දැනට අඩු තරමේ මහජන මුදලින් පඩි කන, වරප්‍රසාද භුක්ති විඳින ජනාධිපතිගේ සිට සනීපාරක්ෂක කම්කරුවා දක්වා පිරිස තම වැටුපට වග විය යුතු තත්වයට පත් කළ යුතුයි. 

තව කට්ටියක් ඉන්නවා. ඒ තමයි, මහජන මුදලින් ඇල වේලි නඩත්තු කර දෙන, පොහොර සහනාධාර දෙන, අස්වනුත් මිළ දී ගත යුතු, දිළිඳු සහනාධාර එහෙමත් ගන්නා, තමන් ගොවීන් ය කියා හඳුන්වා ගන්නා ග්‍රාමීය දිළින්දන්. පරම්පරා ගණනක් තිස්සේ මේ දිළින්දන් මහජන මුදලින් මේ රටේ දිළිඳුකම නඩත්තු කරනවා, බේබදුකම, අලසකම හා ග්‍රාමීය පසුගාමිත්වයත් එක්ක. 

මේ තත්වයන් වෙනස් කරන්නේ කොහොම ද? ඒකට ලංකාව මොඩ් කළ යුතුයි. සියල්ල ආණ්ඩුව විසින් නිකම් දිය යුතුයි කියන හිඟන මානසිකත්වය නැති කළ යුතුයි. ජීවිතය විඳින්නට නම් මහන්සි වී වැඩ කළ යුතුයි කියන ආකල්පය සමාජයේ ඇති කළ යුතුයි. ත්‍රීවීල් පාක්වල කට බලිය බලියා ඈනුම් අරිමින් සිටින නූගත් තරුණයින් වෘත්තීය පුහුණුවලට යැවිය යුතුයි. සදාකාලිකව පුරප්පාඩු පිය නො වෙන කර්මාන්තශාලාවල වැඩට තරුණ තරුණියන් යොමු කළ යුතුයි. තරුණ තරුණියන් තුළ වැඩ කිරීම හොඳ දෙයක් ය කියන ආකල්පය ඇති කළ යුතුයි. ආණ්ඩුවේ රස්සාවලට විරවමින් කලා උපාධි හැදෑරීම හා දේශපාලකයන්ට පෝස්ටර් ගැසීම වැනි නිරර්ථක දේවලින් තරුණ පරපුර ගලවා ගත යුතුයි. නුපුහුණු ගෘහ සේවිකාවන් ලෙස ගැහැනුන් පිටරට යන එක අවම කළ යුතුයි. කාන්තාවන් ගෙවල්වල බත් තම්බ තම්බා, ඕපාදූප දොඩවමින් ඉන්නවා වෙනුවට ශ්‍රම බලකායට තල්ලු කළ යුතුයි. 

වර්තමාන ආණ්ඩුවේ මොන ගැටලු තිබුණත්, මේ කාරණා සම්බන්ධයෙන් යම් දැක්මක් ඔවුන්ට තිබෙනවා. අප සහයෝගය දෙන්නෙ ඒ නිසායි. මූලිකවම මා ඉහත දක්වන ලද ගැටලු වෙනුවෙන් මේ රටේ වෙනත් කිසිදු දේශපාලන බලවේගයකට විසඳුමක් නැහැ. ඔවුන් එහෙම ප්‍රශ්න ඇති බවක්වත් දන්නෙත් නැහැ. 

වර්තමාන ආණ්ඩුව විසින් මේ රටේ ඇති කරන ලද ගැඹුරට විහිදෙන ප්‍රතිසංස්කරණ තිබෙනවා. ඒවායේ ගැඹුර අවබෝධ කර ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ. දන්න එවුනුත් නො දන්නවා වගේ ඉන්නවා. මා මේ කතා කරන්නෙ දැනට තියෙන ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වගේ බොහෝ දෙනෙකුට ලොකු වෙලා තියෙන, මට නම් වැදගත් නැති කාරණා ගැන නෙමෙයි. මට වැදගත් වන්නෙ දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට ගත් පියවර, වෘත්තීය පුහුණු පාඨමාලා ගාස්තුවලින් නිදහස් කිරීම, සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන් පාසල්වලදී ම වෘත්තීය පුහුණුවට සූදානම් කිරීම, රජයේ සේවයට බඳවා ගැනීම් සීමා කිරීම, බදු ප්‍රතිපත්තිය විධිමත් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරි ගැන්වීම, ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට අවධානය යොමු කිරීම, පෞද්ගලික අංශය දිරි ගැන්වීම, ආපදා රක්ෂණය වැනි දේයි. 

මේ එකක්වත් ඉතා හොඳින් මේ රජය විසින් කරන බවක් අප කියන්නේ නැහැ. හැබැයි, ඒවා සංකල්ප වශයෙන් හෝ හොඳයි. අප උත්සාහ කළ යුත්තේ මෙතනින් ඉදිරියට යාමට මිස ආපස්සට එන්නට නොවෙයි. ලංකාවට ගැලපෙන ආණ්ඩුවක් හදා ගැනීම කියන්නෙත් අරගලයක්. 

එතනින් පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණයේ දේශපාලනයට පිවිසෙමු. මේ ඔස්සේ සිදු වන දෙයක් තමයි, රක්ෂණ ක්‍රමවල වැදගත්කම පිළිබඳ රටේ ජනතාවගේ අවබෝධය පුළුල් වීම. දැනට රක්ෂණ සමාගම්වලින් ක්‍රියාත්මක කරනු ලබන, ලාභය ම මූලික කර ගත් රක්ෂණ ක්‍රම වෙනුවට සමාජ රක්ෂණයක වැදගත්කම පිළිබඳ අවබෝධයක් මෙයින් ජනතාවට ලබා දිය හැකියි. 

මේ රක්ෂණය සෞඛ්‍යය සමග සම්බන්ධයි. නිදහස් සෞඛ්‍යය කියන්නේ රජයේ රෝහල්වලින් පමණක් ප්‍රතිකාර ලබා ගැනීම ය කියලා තමයි ලංකාවේ වාමාංශිකයන් විසින් පීඩිත ජනතාවන්ට උගන්වලා තියෙන්නෙ. ඒ වගේම තමයි, වර්තමානය වන විට පෞද්ගලික රෝහල් ගාස්තු ජනතාවට දරා ගන්නටත් බැහැ. මේ තත්වයන් වෙනස් වන්නටත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට තිබෙන තත්වය වන මහජන මුදල් රෝහල් සේවකයන්ට වැටුප් ලෙස දිය වී යද්දී මහජනතාවට චැනල් සෙන්ටර්, ඩිස්පෙන්සරි, ෆාමසිවලට අත මිට දිය කර ගන්නට සිදු වීම වෙනස් කරන්නටත් ලංකාවට ගැලපෙන සමාජ රක්ෂණ ක්‍රමයකට හැකියාව ලැබේවි. 

සුරක්ෂා රක්ෂණය ඒ දෙසට තැබූ වැදගත් දේශපාලනික ඉදිරි පියවරක් ය කියා අප කියන්නේ ඒ නිසායි. දැන් ඉතින් මෙතන ඇවිත් ලියන්නට ඕනැ තරම් අඩුපාඩු ඔබේ හිතට නැගෙනවා ඇති. අපි නැහැ කියන්නෙ නැහැ. හැබැයි, මීට කලින් තිබුණු ඒව මීට එහා. දැන් අපි කල්පනා කරන්නට ඕනැ මෙතනින් එහාට යන විදිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

දියුණු වෙන්ඩ හරි පාර (හැදෙන කොලුවාගෙන්)

ඡායාරූපයේ ඉන්නේ මේ අකාරයට දියුණු වූ දුක දිනා ජයගත් හපනෙකු වන ඩෑන් ප්‍රියසාද් ය. 
උපුටා ගැනීම හැදෙන කොලුවා බ්ලොග් අඩවියෙනි.

දියුණු වෙන්ඩ ආසද?
මෙන්න කෙටිම මඟ

අවශ්‍ය දෑ:
ෆේස් බුක් ගිණුමක් සහ ඩේටා ස්වල්පයක්

මුලින්ම සාදා ගත් බුකියෙන් ෆේස්බුුක් පිටුවක් සාදා ගන්න. එයට අවශ්‍ය පරිදි නමක් දා ගත හැකිය. "අපි යක්කු යකෝ", "මෝහිනී බලකාය", "අපේ රට බොලව්- හම ගහනවා අඩී" වැනි නමක් සෑහේ.

දැන් එම පිටුවෙන් මරක්කලයන්ට දෙමළුන්ට උදේ සිට රෑ වෙනකන් කෑමට පෙර වරක් සහ කෑමට පසු දෙවරක් ආකාරයට ලෙලි යන්ඩ බැනිය යුතුය. Post ෂෙයා කල යුතුය.ව්‍යාකරණ වැරදූනාට බිය නොවන්න. ඔබ share කරන ඕනෑම පෝස්ටුවක් වරු තුනෙන් viral කිරීමට තරම් හරක් පැටවු ප්‍රමාණයක් මේ දූපතේ පෙර පිනට ඉපදී sorry පහළ වී ඇති බැවින් worry වීම අනවශ්‍යයි.

දින දෙක තුනකින් ඔබට facebook request ගලා එනු ඇත. දැන් මීළඟ අදියරට සූදානම් විය යුතුය. දුෂ්කර පන්සලක දෙකක photos සොයා ගත යුතුය. ආධාර එකතු කිරී⁣මේ මූලිකත්වය ඔබ ගත යුතුය . Post දෙක තුනක්, දුරකතන අංකය සහ ගිණුම් අංකයද සහිතව share කරන්න. හාන්දුරු කෙනෙකුත් සෙට් වේ නම් ක්ෂණික ප්‍රතිඵල අත්වේ. ඔබ post කරන දේ දැක අතින් අරන් කක්කි පොජ්ජේ තියාගන්නා උන් මෙහේ මදිවට කොරියාවෙත් ඕනෑතරම් සිටිති. මුදල් ෂට ෂට ගා account එකට ගලනු ඇත.

ලැබුණු සියලුම මුදල් හොරා කෑමට හෝ අධාර දීමට තරම් රට හරකෙක් නොවන්න. සුළුවට ආධාර කරන්න. ලොකුවට photo අල්ලන්න. එවිට ඊළඟ project එකටත් මුදල් අනුමත වනු ඇත.මසකින් ඔබට කාර් පොඩ්ඩක් මිළදී ගත හැකි වනු හැක. Car එකේ යන ගමන් තම්බි කඩයක් දෙකක් video කර upload කිරීම අනාගත ආයෝජනයක් වනු ඇත.

සාර්ථකත්වය පසුව comment කරන්ඩ අෑ......

හැදෙන කොලුවා මෙතනින් ෆලෝ කරන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-28

ජාතිවාදය යනු කුමක්ද ?

ජාතිවාදය කියන්නේ මොකක්ද කියලා සංවාදයක් මේ දවස්වල සමාජ මාධ්‍යවල සිදු වෙනවා. මේ ඒකට මගේ සත පහ. මේක අනුභූතික ද, මේ අදහස්වල මූලාශ්‍ර හෙවත් මේවා කියපු තද පොරවල් කවුද ආදී රෙද්දවල් මට වැදගත් නැහැ. මම ඇකඩමික් බුවෙක් නෙමෙයි. ඒ නිසා මට ඒ ඇකඩමික් සම්ප්‍රදායන් වැදගත් නැහැ. මම සහතික නො ලත් සාමාන්‍ය දේශපාලන ක්‍රියාකාරිකයෙකු මිසක් සහතික ගන්නට හෝ ගත් සහතික නඩත්තු කරන්නට හෝ ලියන කෙනෙක් නෙමෙයි. මා වනාහි මට ඕනැ මගුලක් ලියන කෙනෙක්. හැබැයි, මා උත්සාහ කරනවා මා ලියන ඒවායින් සමාජයේ චර්යාත්මක වෙනස්කම් ඇති වන නිල අල්ලන්න. මං දේශපාලනය කරන්නෙ එහෙමයි. මා කරන දේශපාලනයටත්, මා ලියන දේවල්වලටත් මා වගකියනවා.

ජාතිවාදය මිසක් ජාතිකවාදය කියලා අමුතු එකක් තිබේ යයි මා නම් පිළි ගන්නේ නැහැ. ලංකාවෙ ජාතීන් වගයක් තියෙනවා, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, වැදි ආදී වශයෙන්. ඒවා ඔක්කොම එක සමාන ජාතීන්. වෙනස්කම් තිබෙන්නේ බලය අතින් විතරයි. එම ජාතීන් කිසිවකට ඔවුන්ට ම පමණක් සුවිශේෂ වූ කිසිදු සුවිශේෂ අනන්‍යතාවක් නැහැ. යම් යම් අනන්‍ය සංස්කෘතික ලක්ෂණ තියෙනවා. භාෂාවේ සිට අඳින ඇඳුම දක්වා අනෙක් සියල්ලම සෙසු සංස්කෘතීන් සමග සම්මිශ්‍රණය වූ දේවල්. ඔය හැමෝම අද වන විට ෆේස්බුක් එහෙම හරහා ගෝලීය සංස්කෘතියක් සමග සම්බන්ධ වී සිටිනවා.

නිර්මාල් කියනවා වගේ 19වන සියවසේදී ජාතීන් කියන දේශපාලන ප්‍රජාවන් (polities) ගොඩනැගෙන්නට පටන් ගත්තා. මේවාට දේශපාලන ප්‍රජාවන් කියන්නෙ දේශපාලනයෙදි ඒවා වැදගත් වන නිසායි. කුලයත් දේශපාලනයෙදි තවමත් වැදගත් ප්‍රජාවක්. හැබැයි, ඒක මූලික නැහැ. වර්තමානයේදී මූලික වන්නෙ ජාතිය හා ආගම. ඒ අනුව ලංකාවෙ මේ වන විට ජාති-ආගමික දේශපාලන ප්‍රජාවන් තියෙන්නෙ මෙහෙම.

සිංහල-බෞද්ධ
දෙමළ-හින්දු
සිංහල-ක්‍රිස්තියානි
දෙමළ-ක්‍රිස්තියානි
(ක්‍රිස්තියානි කිව්වාමත්, කතෝලික, එංගලන්ත සභා, ඉවැන්ජලික ආදී වෙනස්කම් තිබුණත් ඒ වෙනස්කම් දේශපාලනයෙදි එතරම් බලපෑම් සහගත නැහැ.)
ඉස්ලාම්-මුස්ලිම්
ඉස්ලාම්-මැලේ (දේශපාලනික වශයෙන් ශක්තිමත් නැහැ)
කඳුරට දෙමළ (ඔවුන් අතර ආගමික වෙනස්කම් එතරම් මූලික නැහැ. හේතුව ඔවුන් ඒ තරම් ම දේශපාලනික වශයෙන් ශක්තිමත් නැහැ)
වැදි ජාතිය දේශපාලනික ප්‍රජාවක් ලෙස සලකන්නට තරම් ඔවුන්ට බලයක් නැහැ.

ලංකාව කියන ඒකීය රාජ්‍ය ව්‍යූහය ගොඩනැගුවෙ ඉංග්‍රීසීන් විසින් වුණාට, ඔවුන් නො ආවත්, ලෝකය දියුණු වන විට ලංකාවේ ඒකීය පාලනයක් බිහි වෙන්නට ඉඩ තිබුණා. ඒ නිසා මේක හැදුවෙ ඉංග්‍රීසීන් ය කියන එක හෝ ඒ නිසා ඒක යුක්තියුක්ත නැහැ ය කියන එක තේරුමක් නැහැ.

ජාතියකට රාජ්‍යයක් කියන එක යථාර්ථයක් නෙමෙයි. ලෝකෙ හැම තැනම තියෙන්නෙ ප්‍රබල ජාතියක ආධිපත්‍යයෙන් යුක්ත රාජ්‍යයන්. ජාතික ප්‍රශ්න හා ජාතික විමුක්ති අරගල කියන්නෙ ජාතීන් ප්‍රබලත්වය හා ආධිපත්‍යය අත්පත් කර ගන්නට කරන අරගල.

මේක ලංකාවට අදාළව ගත්තොත්, ලංකාවෙ සිංහල-බෞද්ධ ජාති-ආගමික දේශපාලන ප්‍රජාව තමයි ප්‍රබල. ඔවුන් සිංහල-ක්‍රිස්තියානි ප්‍රජාවත් සමග එකතු වී සිය දේශපාලන ප්‍රජාව පුළුල් කර ගන්නවා. දෙමළ ජාතිය තුළත් මේ හා සමාන දෙයක් සිදු වෙනවා. මේ අතරවාරයේ මේ ජාතීන් දෙකේ ම කුල අනන්‍යතා යටපත් වෙනවා. යටපත් වෙනවා කියන්නෙ නැති වෙන එක නෙමෙයි.

දැන් මේ ජාති-ආගමික දේශපාලන අනන්‍යතාවන් බදාගෙන ඉන්න අය විසින් එය පවත්වාගෙන යන්නට අදහස් පද්ධති ගොඩනගාගෙන තිබෙනවා. ඒකෙ කිසි අවුලක් නැහැ. හැබැයි, ලෝකෙ ඉදිරියට යන්නෙ දේශපාලන ප්‍රජාවන් පුළල් කර ගනිමින්. කැමති වුණත්, අකැමැති වුණත්, ඒක අනිවාර්යයෙන් ම සිදු වෙනවා. ඒක සිදු වන්නෙ සන්නිවේදනයේ, ප්‍රවාහනයේ, වෙළඳපොළේ, මුල්‍ය ආර්ථිකයේ, විද්‍යාවේ, තාක්ෂණයේ ඇති වන සංවර්ධනයත් එක්ක. ජාති-ආගමික දේශපාලන අනන්‍යතා රැක ගන්නට පුළුවන් එක්තරා සීමාවකට විතරයි. ඒක හුදු දෘෂ්ටිවාදීමය සටන් පාඨවලට ලඝු වෙනවා. දේශපාලන යථාර්ථයේදී ඒවාට පැවැත්මක් නැහැ.

මේක උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, මෑත වකවානුවේදී ජාතිවාදය හමුවේ වඩා පුළුල් දේශපාලන අනන්‍යතාවන් දණ බිම නැමූ ප්‍රබල ම අවස්ථාව තමයි, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම. ඒක තනිකර ම බ්‍රිතාන්‍යයේ දේශපාලන නායකයන්ගේ මෝඩ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලයක්. හැබැයි, මෙතනදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයට අයත් නො වන රාජ්‍යයක් ලෙස යුරෝපයේ ප්‍රතිව්‍යූහගත වන ආකාරය බොහෝ විට සමාන වනු ඇත්තෙ ස්විට්සර්ලන්තයට මිසක් ලංකාවට හෝ උතුරු කොරියාවට නෙමෙයි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුණත්, දේශපාලන ප්‍රජාවන් පුළුල් වන එක නවතින්නෙ නැහැ. ඒ පුළුල් වීම ලෝක ප්‍රජාවක් කරා අඛණ්ඩව සිදු වන එකක් නිසා ඒකට විශේෂ අතරමග නාමකරණයනුත් වැදගත් නැහැ. ඕනැ නම්, යුරෝපා, දකුණු ආසියාතික වගේ ඒවා පාවිච්චි කළාට ගැටලුවකුත් නැහැ. ඒවයෙත් එල්ලිලා ඉන්නට ඕනැ නැහැ.

ලංකාවෙ ලාංකික ජාතියක් නැහැ. ඒ වුණාට ලාංකීය කියන එක පුළුල් දේශපාලන ප්‍රජාවක් පිළිබඳ සිහිනයක් වැනි දෙයක්. ඉන්දීය, ජර්මානු දේශපාලන ප්‍රජා වුණත් එහෙමයි. ඊට වඩා පුළුල් එකක් තමයි යුරෝපා දේශපාලන ප්‍රජාව.

ජර්මනියේ මතු වන ජාතිවාදී රැල්ලට වුණත්, දැනට පවතින තත්වයන් තුළ ලොකු දෙයක් කරන්නට බැහැ. ඒකත් නරේන්ද්‍ර මෝදි කියන හින්දු ජාතිවාදියා ඉන්දියාවේ අගමැති වුණාට වඩා දෙයක් වෙයි කියලා හිතන්නට බැහැ. ලෝකෙ නැවත හිට්ලර්ලා බිහි වෙන්නෙ නැහැ. ඕනැ නම් පිලිපීනය වගේ පරිවාරයේ රටක එවැනි අය බිහි වේවි. එයින් ලෝක දේශපාලනයට කිසිවක් වෙන්නෙ නැහැ.

මා කියන මේ දේවල් වෙනස් වෙන්නට පුළුවන් ලෝක යුද්ධයක් වගේ දෙයකින් විතරයි. හැබැයි, තුන්වන ලෝක යුද්ධයකින් පස්සෙ නැවත සංවිධානය වෙන්නට ලෝකයක් ඉතිරි වෙන්නෙ නැති නිසා එවැන්නකින් පස්සෙ සමාජවාදය ගොඩනගන්නට පුළුවන් වෙයි කියලා හිතාගෙන වතුර කොරහේ කිඹුලන් දකින වාමාංශිකයන්ට සුරතාන්තය ලබා ගන්නට වෙන්නෙ හස්ත සංසර්ගයෙන් විතරමයි.

වාමාංශිකයන්ට වෙච්ච ලොකුම පැටලිල්ල තමයි, ජාතිය වැළඳගැනීම. අධිපති ජාතිවාදය වේවා, පීඩිත ජාතිවාදය වේවා, මේ කිසිවක් ප්‍රගතිශීලී හරයන්ගෙන් යුක්ත ඒවා නෙමෙයි. වාමාංශිකයන් ජාතිවාදයන් සමග ගනුදෙනු කළ යුතු නැහැ ය කියා මෙයින් කියැවෙන්නෙ නැහැ. ඒ ගනුදෙනුව සිදු විය යුත්තෙ ඓතිහාසික, භූගෝලීය තත්වයන්ට අනුකූලවයි. එහෙම නැතුව, රොමැන්තික් ලාලසාවකින් නෙමෙයි. ජාතික අරගල සමග ප්‍රගතිශීලින් සම්බන්ධ විය යුත්තෙ එක් මූලධාර්මික පදනමකින්. ඒ කියන්නෙ එකී ජාතික අරගලය දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමෙහි ලා කොයි තරම් ඉවහල් වෙනවා ද කියන පදනම මත.

මේක ලංකාවට අදාළව ගත්තොත්, ලංකාවේ ජාතීන් අතර ගැටුමේ ඉතා ගැඹුරු සුසමාදර්ශීය වෙනසක් ප්‍රභාකරන්ගේ මරණයෙන් සලකුණු වුණා. දෙමළ අරගලය පරාජය වීම වළක්වා ගන්නට දෙමළ නායකයන් අසමත් වීම කියන්නේ ඔවුන් විසින් ම සිංහල ජාතියට අත්පත් කර දුන් අමතර වාසියක්. එතනින් එහාට කලින් තිබුණු වෙනම රාජ්‍ය, සහ-සන්ධීය, සන්ධීය ආදී යෝජනා ප්‍රායෝගික නැහැ. ඒවා වෙනුවෙන් මරාගෙන මැරෙන්නට යාමෙන් දෙමළ ජාතියට අත්පත් වන කිසිම දෙයක් නැහැ.

ලංකාවට අදාළව සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදයන්ගේ තව දුරටත් කිසිදු ප්‍රගතිශීලී විභවයක් නැහැ. ඒ නිසා ඔය ජාතිවාදී කතිකාවන්ගේ හා ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම්වල එල්ලී සිටීමේ කිසිම තේරුමක් නැහැ. ඒවාට ඉඩක් නො දිය යුතු බවක් එයින් අදහස් වන්නේ නැහැ. මා කියන්නෙ ප්‍රගතිශීලීන් එය මහ ලොකුවට අදාළ කර ගත යුතු නැති බවයි.

ලංකාව දේශපාලනිකව ප්‍රතිව්‍යූහගත කිරීමේදී වඩා වැදගත් වන්නේ මධ්‍යම රජයේ දේශපාලනය තුළට සියලු ජාතීන් අනුගත කර ගැනීමයි. පළාත් සභාවලට හා එයිනුත් පහළට බලතල ලබා දීම වැදගත් වන්නෙ ඒ සංදර්භය තුළයි. වෙන් වීමේ සිහිනය යටි සිතේ තියාගෙන බලය ඉල්ලන බලවේගවලට බම්බු ගහගන්නැයි ඉතා පැහැදිලිව, නිරවුල්ව කියන්නට සිදු වී තිබෙනවා.

වාමාංශික දේවාල හා යාඥා මධ්‍යස්ථානත්, ජාතිවාදී නැටුම් පන්තිත් අතහැර එජාපය, ශ්‍රීලනිපය, පොදු ජන පෙරමුණ වැනි ප්‍රධාන ධාරාවේ දේශපාලනය එක්ක වැඩ කිරීම වැදගත් මෙන්න මේ සංදර්භය තුළයි. අපි වැඩ කළ යුත්තෙ පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමට උත්ප්‍රේරක වන්නට මිසක් ජාතිවාදී දේශපාලන අනන්‍යතාවන් ශක්තිමත් කරන්නට නෙමෙයි. ඒ වෙනුවෙන් වැඩ කරන අය එසේ කර ගැනීම පවා, හැරමිටිය වනන දුර අනෙකාගේ නැහැ තුඩ ළඟින් අවසන් වන තෙක් අපට ප්‍රශ්නයක් නැහැ.

අප අසන ප්‍රශ්නය නම් වාමාංශිකයන්ට මේ ජාතිවාදී අටමගල සමග ඇති පයුරුපාසානය කුමක් ද යන්නයි. ප්‍රගතිශීලීභාවය වමෙන් වෙන් වී වෙනම සලකුණු වන්නෙ එතැනින්. ප්‍රගතිශීලීන් වැඩ කරන්නෙ වඩා අනාගතවාදී දේශපාලන බලවේග එක්ක. වමට වඩා ලංකාවෙ සම්ප්‍රදායික ‘දකුණ' අනාගතවාදීයි. ඇත්ත ඒකයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.