2017-01-02

මගේ කාටුන් කලාව

අතපත ගාන්නට පටන් ගත්තෙ කොන්ඩම්වලින්  
වසර 2017 උදා වුණේ අක්ෂර මාධ්‍යයක පළ වූ මගේ පළමු සම්මුඛ සාකච්ඡාව කියවමින්.

ඔබත් කැමති නම් කියවන්න >>> එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ

සාමාන්‍ය පුරවැසියකු වන මගේ ජීවන අත්දැකීම් පණ්ඩිතයන්ට කෙසේ වෙතත්, අප වැනි බහුතර පුරවැසියන්ට වැදගත් විය හැකි නිසා සාහිත්‍යයකට නැගිය යුතු ය කියන අදහසේ මම කාලෙක ඉඳලා ඉන්නවා. ඒත් ඉතින් දරු පවුල් නඩත්තු කරන්නට දෛනික වැටුපට වැඩ කරන කම්කරුවන් වන අපට වැඩට යන්නට ගත වන කාලය හා වැඩ කිරීමට ගත වන කාලය හැරුණාම ඒ වගේ වැඩකට කාලය සොයා ගන්නා එක ලේසි නැහැ. ඒ වුණත්, එළියකන්දේ කතාවෙන් මේ වැඩේ පටන් ගන්නට බලාපොරොත්තු වෙනවා. 

2016 වසරේ මම මේ බ්ලොග් එකේ ලිපි 327ක් පළ කළා. එයින් 50ක් විතර විවිධ පුවත්පත්වලට ලියපුවා.

කියන්නසිංහල හා ඉංග්‍රීසි ලිපි 110ක් විතර ලිව්වා.

සති අන්තයේ අවම 10ක් ගණනේ සිලෝන් ටුඩේ පත්තරේට විශේෂාංග ලිපි 500ක්වත් පරිවර්තනය කරන්නට ඇති.

මගේ පැත්තෙන් මෙන් ම අදාළ ආයතනය පැත්තෙන් ද සිදු වුණ අනවබෝධයන් ගොඩක් මැද්දේ ජනමාධ්‍ය ප්‍ර‍තිව්‍යූහගතකරණය සඳහා වන ලේකම් කාර්යාලය වෙනුවෙන් ‘ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍ර‍ය හා වෘත්තිය නඟා සිටුවීමට සැලැස්මක්' කියන පිටු 250කට වැඩි වාර්තාවත් පරිවර්තනය කළා. ඒක මෙතැනින් කියවන්නට පුළුවන්.

තව වචන 20,000ක විතර සංස්කාරක මාර්ගෝපදේශ සංග්‍ර‍යක්, නිර්මාල්ගේ අලුත් ම තිසීසය ඇතුළු ශාස්ත්‍රීය ලේඛන ගණනාවක්, කාර්තුවකට වරක් පළ වන සමාගම් පුවත්පතක් ආදියත්, ඔප්පු තිරප්පු සහතික ආදී සිරම් බිරම් පරිවර්තන ගොන්නකුත් කළා. ලිවීම එක ම වෘත්තිය කර ගත් මුල් කාලයේ එතරම් තේරීම් කිරීමේ හැකියාව තිබුණෙ නැහැ.

මම ලේඛකයෙකු ය කිව්වොත් සමහරුන්ට කේන්ති යන නිසා මෙහෙම කියන්නම්. මම වෘත්තීය වශයෙන් ලියන කම්කරුවෙක්. මේ අවුරුද්දෙ මම උපයපු හැම සතයක් ම ඉපැයුවේ ලියලායි. ඒ වගේ ම මුදල් උපයන්න ලිව්වා වගේ තව ගුණයක් නිකම් ද ලිව්වා. ඒකත් ඔය වෙළඳ ප්‍ර‍චාරණයෙදි වගේ වචන දෙකක් තුනක් ලියලා ලක්ෂ දෙකක් තුනක් ගන්නවා වගේ නෙමෙයි. වචන ගානට, පිටු ගානට දුෂ්කර ක්‍රියා කරලායි. බස්වල, කෝච්චිවල තෙරපිලා, දවස පුරා වැඩ කරලා අමාරුවෙන් ජීවත් වුණාට මට නම් ජීවිතේ එහෙම දුකක් ය කියලා දැනෙන්නෙ නැහැ. සාමාන්‍ය ප්‍රීතිමත් ජීවිතයකට ප්‍ර‍මාණවත් විධියට මම මුදල් ඉපැයුවා. අනාගතය වෙනුවෙන් පුංචි ඉතිරියකුත් කරන්නට අවශ්‍ය නිසා ඒකත් කළා. ණය නැහැ. ලොකු වාහන, ඉහළ පෙළේ කෑම බීම, පිටරට සවාරි ආදිය අත්පත් කර ගන්නට මට බැරි නිසා ඒවා මගේ අපේක්ෂා ලැයිස්තුවේ නැහැ. පවුලත් එක්ක සතුටින් ජීවත් වුණා. මිතුරු සමාගමයට ලැබුණ වෙලාව නම් මදි වගේ. මගට ගත වන කාලය වැඩියි නේ. ඒ වුණාට පුළු පුළුවන් විදියට බස් එකේදි පොත් ටිකක් එහෙමත් කියෙව්වා.

අවසානයේ ගත්තාම කම්කරුවකු වන මම මේ අවුරුද්ද ගත කළේ සතුටින්. මා වගේ ලොකු අපේක්ෂාවන් නැති කම්කරුවන් බොහෝ දෙනෙකු අපේ ගම්වල, මගතොටේ නිතිපතා මට හමු වෙනවා. ලොකු අපේක්ෂා නැතිව සාමාන්‍ය විධියට ජීවත් වුණ බොහෝ දෙනෙකු මම දන්නා තරමින් නම් සතුටින් ජීවත් වුණා. බේබදුකම, ලෙඩ රෝග, ස්වාභාවික ආපදා වැනි දේවලින් ඇතැමෙකුට කරදර වුණා. ජීවිතේ කියන්නේ දුක, සතුට දෙක ම එකට වියාපු රටා පැදුරක්. අපි ඒක උඩ ඉපදී, සැතපී, මිය යනවා. එච්චරයි.

වසර 2016 අන්තිම හරිය වන විට මම බොහෝ පරිවර්තන කටයුතු සම්බන්ධ වගකීම්වලින් ඉවත් වුණා. රසවත් හා හරවත් වැඩ විතරක් තවමත් කරන බව කියන්නේ එහෙම දේවල් කරන්නට අවශ්‍ය අය වෙනුවෙන්. ලබන අවුරුද්දෙ මා හිතාගෙන ඉන්නෙ නිර්මානාත්මක ලේඛනය පැත්තට වැඩි අවධානයක් යොමු කරන්නටයි. ජීවත් වෙන්න අවශ්‍ය තරමට විතරක් වෙනත් ඒවා ලියනවා.

මේ බ්ලොග් එකට ඒක අදාළ නැහැ. හේතුව, මේක මම කරන්නේ මගේ දේශපාලන වගකීමක් ලෙස සලකායි. (මේ වෙනුවෙන් මට ලැබෙන බව කියන ඩොලර්, යුරෝ, රුපියල් ආදිය තවම ලැබී නැති බැවින් හැකි ඉක්මණින් ලැබෙන්නට සලස්වනවා නම් හොඳ ය.)

ඒ අතරෙ ගිය අවුරුද්දෙ මගේ ලොකු ම ජයග්‍ර‍හණය විදියට මම සලකන්නෙ මම අලුතෙන් අත ගහපු මෙන්න මේ වැඩේ. ඒක මගේ පුංචි කුසලතාවක් වැඩි දියුණු කර ගන්නට කළ වැඩක්. කුසලතා ගොඩනගා ගැනීම ජීවනෝපායට වුණත් වැදගත්. කාටුන් එකක් ඇඳීම වුණත් මිනිස් සිරුර, වෙනත් වස්තු, අවකාශය, ආලෝකය, වර්ණ, රේඛා ගැන කරන එක්තරා කියවීමක්. මේ එකතුව මම පළ කරන්නෙ මගේ සතුට මිතුරු ඔබත් එක්ක බෙදා ගන්නටයි. පිළිවෙලකට නෙමෙයි දාලා තියෙන්නෙ. අන්තිමට ඇන්දේ අර නත්තල් කාටුන් එකයි. 

ඒවා එච්චර සිරා නැහැ. ඒ නිසා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුගේ කාර්යය මොකක් ද කියලා අවබෝධ කර නො ගෙන, මටත්, මගේ පවුලටත් සාප කරමින් කමෙන්ට් කරන අය තමන්ගේ ඩේටා පරිස්සම් කරගෙන නිකම් ඉන්න. මේ අවුරුද්දේ මට බැනලා දාන කමෙන්ට්වලට ඉඩ නැති බව ද කරුණාවෙන් සලකන්න. පෞද්ගලික අත්දැකීම් ලියන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි, මාත් කැමති ඒ වගේ දේ කියවන්නට නිසායි. පුද්ගලයකුගේ අත්දැකීමක් කියන්නේ දැනුමක්. ඒක බෙදා ගැනීම ගැන ඒ පුද්ගලයාට බනින එක නෙමෙයි වෙන්න ඕනැ. තමන්ට ඒකෙන් ගත හැකි දෙයක් තිබෙනවා නම් ගන්නා එක. ලංකාවේ සිංහලෙන් කියවන ඇතැම් පුද්ගලයන්ට ඒ විනය නැහැ. ඒ වගේ ම මේ නව මාධ්‍යවල තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි, කවුරුහරි තමන්ගේ ආශාවේ වස්තුවෙන් ප්‍රමෝදයක් ලබනවා වගේ පෙනෙනවා නම් ඇනොනිමස් ඇවිත් කුණුහරුප කියලා, පවුලට, දරුවන්ට බැනලා ඒක නවත්වන්නට උත්සාහ කරන එක. මතක තියාගන්න මේ ඇනොනිමස් ගහලයන් කියන්නේ අමුතු කට්ටියක් නෙමෙයි, ඔය පොත් දොරට වැඩුම්, සම්මන්ත්‍රණ වගේ කොළඹ කවවල එහෙම හමු වෙන, ඉරිසියාව සඟවාගෙන හිනා වෙන, බොහොම අහිංසක මහත්මාකමකින් හැසිරෙන මිනිසුන් බව.

මං 2017ත් කාටුන් අඳින්නට බලාපොරොත්තු වෙනවා, වෙලාව ලැබෙන හැටියට. මට කොච්චර බැන්නත් මා මේ බ්ලොගය ලිවීම ඇතුළු දේශපාලන වැඩ නවත්තන්නේ නැත්තේ ඇයි ද කියන එක අර උඩ ලින්ක් එකේ දාලා තියෙන සම්මුඛ සාකච්ඡාවේ මම කියනවා.

(නාලක ගුණවර්ධන ඇතුළු මා දිරිගැන්වූ සැමට ස්තුතියි.) 


කුලියාපිටිය 



මැයි දිනය 

යහපාලනය 

බෝට්ටු ජනතාව 

මෝටර් සයිකල් අනතුරු 

ජාතික පාරිභෝගික මිළ දර්ශනය 
ජවිපෙ ගුනරත්නම්ව හඳුනන්නෙ නැහැනේ 

අලුත් අවුරුදු ක්‍රීඩා

පාර්ලිමේන්තුව

ළමා විවාහ 

නත්තල් 

මෙගාපොලිස් 


ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වය 

තනිකඩ මව්වරු
පවුල් පසුබිම් වාර්තාව
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

18 comments:

  1. පැරා, පැරාව ම කාටූන් එකකට (caricature style) ඇඳලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේකයි වැඩේ. ලස්සන විකෘති කරලානේ කාටුන් අඳින්නේ. අනෙක් පැත්ත වෙයි ද දන්නෙ නැහැ.

      Delete
    2. මෙන්න මාත් කාටූන් අඳින්න පටන් ගත්තා. විනාඩි පහක්වත් ගියේ නෑ ප්‍රොෆයිල් ෆොටෝ එක බලාගෙන ඇඳපු නිසා.
      https://www.facebook.com/photo.php?fbid=10154944387283793

      රැවුල සුදුපාටට අඳින්නේ කොහොමද මන්දා?

      Delete
  2. කැමතිම කාටූන්: යහපාලනය සහ පාර්ලිමේන්තුව.

    // ලොකු අපේක්ෂාවන් නැති කම්කරුවන් බොහෝ දෙනෙකු අපේ ගම්වල, මගතොටේ නිතිපතා මට හමු වෙනවා.......... ජීවිතේ කියන්නේ දුක, සතුට දෙක ම එකට වියාපු රටා පැදුරක්. අපි ඒක උඩ ඉපදී, සැතපී, මිය යනවා. එච්චරයි.//

    හොඳම, සහ වැදගත්ම කතා තියෙන්නෙ ඔවැනි තැන්වල. පැරාගෙ කතාව බොහොම කාළයක ඉඳලා කියවන්න බලාගෙන හිටි එකක්. ස්තූතියි.

    දන්නා තරමින් අපේ රටේ සමාජ විද්වතුන් නැ. දන්න එකම විද්වතා, මහාචාර්ය රත්නපාල දැන් නෑ. විවිධ සමාජ ස්ථර සහ ඒවායේ විච්චේදන බොහොම රසවත් කතාන්දර වෙයි කියලාමට හිතෙනවා. පැරාගේ රචනා ශෛල්‍යය , අපට කම්මැලිකමක් නැතුව , ඒ කතාවෙන් කොටසකවත් අඩුව පුරවයි කියලා බලාපොරොත්තුවෙනවා.

    මේක කියන එක හොඳද කියලා දෙකට-දෙවාරනේ හිටියෙ, ඔන්න ඔහේ කියලම දානවා. පොඩි සිදුවීම් සහ සුළු විස්තර කපාහරින්න එපා , එව්ව බොහොම රසවත් , අර " මට රෝස් පාන් දෙකක් කැව්නා, ඊට පස්සෙ ගෝලීප් එකකුත් පෙව්නා" ජාතියෙ එව්වා

    ReplyDelete
  3. අජිත් මේ බ්ලොග් පෝස්ටුවෙන් කියන යථාර්තය මටත් බෙහෙවින් අදාලයි. මාත් කුලී වැඩ කරන්නෙක්. ලස්සනට freelancer කිව්වට අවසාන විනිශ්චයේදී අපට ආසා වැඩම තෝරා ගෙන කරන්න නිදහස නෑ. හිත සුවයට මා කරන්නේ නොමිලේ පොදු උන්නතියට වැදගත් ලිවීම් හා දේශන ආදිය නිතර කරන එකයි. ඒක මගේ අභ්‍යන්තර රොබින්හුඩ් සම්ප්‍රදාය. ඒ කියන්නේ ගෙවන වැඩවලින් ජීවිකාව සළසා ගෙන, පොදු වැඩ නොමිලයේ කිරීම.

    ReplyDelete
  4. ජවිපෙට සම්බන්ධ වීමේ සිට එයින් ඉවත්වීම දකවා පොතක් ලියා පලකරන්න

    ReplyDelete
  5. අජිත් පැරකුම් කියන්නේ නොම්බර එකේ තක්කඩි කුහකයෙක්. අජිත්ව අදුරන අය දන්නවා එයාගේ හැටි. ජිවිතේට කාටවත් උදව්වක් කරන්නේ නැති මුඩුමෙක් අජිත් කියන්නේ. ඩොක්ටර් රුවන් ගේ ලිපිය මං කියෙව්වා. එතනත් මෙයා පොයිය ගහලා තියෙන්නේ. සටන් සගයෝ පාවලා දීලා මුදල් අරන් අජිත් ඉන්දියාවට පැන්නා. පානදුරේ ප්‍රශාන්ත සගයා, ගැහැටවෙල කිත්සිරි සහෝදරයා ගැන මතක් වෙන්නේ නැද්ද? ඒ මිනිස්සු ජීවිතය පුජා කළා. කිත්සිරිගේ රත්තරන් බඩු, මුදල් කෝ? යටත් වෙන්න කලින් ප්‍රශාන්ත ලග තිබුණු අරමුදල් කාටද දුන්නේ? එව්වා ගැන කියලා නෑ එතන. අජිත්ගේ ජීවිතේම බොරුවක්. ලැජ්ජයි අජිත්.

    ReplyDelete
    Replies
    1. ඇයි දෙවුන්දර සුමනසිරි, පේදුරුතුඩුවෙ නඩරාජා වගේ කට්ටියගෙනුත් සල්ලි ගත්ත.

      තව සෙනෙහෙලතා නංගිට, තංගම්මා තංගච්චිට එහෙම කරපු ඒවාත් හෙළිදරව් කරන්නට බැරියැ.

      Delete
    2. ආගමික සංස්ථාවක ඇතුල්පැත්ත ගැන ලියන්න ගියාම විවේචන එන එක සාමාන්‍ය දෙයක්. ඒ විතරක් නෙමෙයි, කොහොම හරි කඩා කප්පල් කරලා නවත්තනවා. සංඝ සමාජයේ ඇතුල්පැත්ත ගැන ලියන්න ගිය කතා දෙකම මඟ නැවතුනා. ඕක ඉතිං කොමියුනිට්ස් දහමටත් පොදුයි.

      අජිත්ගෙ ජීවිතේ බොරුවක් උනාට අපට කමක් නෑ. ඒත් අපිට ඒ කතාව අහන්න දීලා , ඔය සහෝදරයා ඔහෙලගෙ ලැජ්ජා ඇති, සත්‍යවාදී විප්ලවය කරගෙන යන්න.

      Delete
  6. යහපාලන කාටුන් එක නියමයි. ජිවිත කතාව පොතක් විදිහට පල කරන්න.

    අජිත් ඇතුලු පවුලේ සියලු දෙනාටම සියලු දුක්ඛ දෝමනස්සයන් දුරීභූතව සුබම සුබ ජයෙන් ජයම පිරි නිරෝගිමත් නව වසරක් වේවා.

    ReplyDelete
  7. මම හිතන්නේ පැරා අවුරුද්දේ ලබපු ළොකුම ජයග්‍රහනය තමයි ඇනෝවරුන් කව්ද යන්න හඳුනා ගැනීම..

    පැරාට නම් තමන් එක්ක උන්න පක්ෂවල උනුත් ඇති.. මොකෝ පැරා එදා ඉඳන්ම ලියන මහත්තයෙක් නිසා.. ඒත් බ්ලොග් වල නම් ඒක කරන්නේ බ්ලොග් ලියන උන්මයි.. ඒක අගේට ඔප්පු උනා පසුගිය වසරේ..

    මම හිතන්නේ පැරාගේ ජීවන් අත්දකීම් ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් කෘතහස්ත ලේඛකයකු වන්න.. පැරා ඒ බව ඔප්පු කරලා එවරයි.. එකම දේ වැඩේට අත ගහන එක විතරයි..

    පැරාරත් කෙල්ලෝ දෙන්නාටත් හාමිනාටත් ඩොලර් පිරි වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. අන්ජනමෙන්ද බන් ඔප්පු කලේ? හුකෑස්

      Delete
  8. ඇනෝ කෙනෙකු ලෙස නිරතුරු එන්නෙමි
    පරුෂ වචන කිසිවිටෙකත් නොලියමි
    අවුරුදු පැතුමන් සටහන් නොකරමි
    නුඹගේ වෑයම නිරතුරු අගයමි

    ReplyDelete
  9. පැරා රැදවුම් කඳවුරේ දී කැම්පස් යන්න ළකුණු ගත්තානම් නම් උයන්දේව කෙනෙක් වෙන්න තිබ්බා
    පැරාට පුළුවන්කාර සහෝදරයෝ කැළතක්ම හිටියා නම් රිෆුයිජි අරං සුනන්ද වගේ ට්වීටර් ලේඛකයෙක් වෙන්න තිබ්බා

    කම්කරුවෙකු වූ පැරා වඩා සමීපයි.

    ReplyDelete
  10. I like Para's ideology and the simple way of his writing. Keep on writing. All the best.

    ReplyDelete
  11. Cartoons too are at a higher level. Congratulations

    ReplyDelete
  12. ඔබගේ ලිවීම මෙන්ම කාටුන් ඇඳීමේ හැකියාවද ඉතාම ඉහලයි. ඔබගේ ඉක්මනට පිටවන නිර්මානශීලි ලේඛන කියවීමට බලාපොරොත්තුවෙන් සිටිමි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.