2017-01-13

එහෙම නැහැ හාමුදුරුවනේ

ස්ලොත්
ඉස්සර අපේ ගමේ බණ ගෙවල්වල අත්‍යවශ්‍ය සේවාවක් ඉටු කරපු චරිතයක් තමයි මෝනිස් අයියා.

මෝනිස් අයියා රුක් වඩුවෙක්. ඒ කියන්නේ ගස් කපන්නෙක්.

ඔහු මිටියි. වැඩ කරලා ම පෙනුම බොහොම රළුයි. කර්කශයි. ඒත්, ඔහු අහිංසක මිනිහෙක්. වැඩත් ටිකක් හෙමින්. හැබැයි සීරුවෙන්. කෙටි අත් පොරවත් අතින් අරගෙන මෝනිස් අයියා හෙමින් සැරේ ගස් දිගේ යන්නෙ හරියට අර මහා කම්මැලි පෙනුමක් තිබෙන ස්ලොත් (sloth) වර්ගයේ සතෙකු වගෙයි.

මට මතක විදියට මෝනිස් අයියා ඉරුම් පට්ටල් වැඩ කළේ නැහැ. ගස් කපන එක තමයි කළේ. ලී කොට පලංචිය උඩ තියාගෙන සති ගණන් තිස්සේ ඉරන ඉරුම්කාර යුගල අතර මෝනිස් අයියා ඉන්නවා දැකපු බවක් මට මතක නැහැ.

මෝනිස් අයියා පන්සලේ හොඳ උපාසකයෙක්. පසළොස්වක පෝයට සිල් ගන්නවා විතරක් නෙමෙයි, ගමේ ම බණ ගෙවල්වලට හාමුදුරුවන් එක්ක පසුගමන් යන්නත් මෝනිස් අයියා එකතු වුණා.

මෝනිස් අයියාගේ රාජකාරිය මොකක් ද දන්නවා ද? හාමුදුරුවන් බණට කියන වාක්‍යයක්, වාක්‍යයක් ගානේ මෝනිස් අයිය “එහෙමයි හාමුදුරුවනේ" යි කියනවා. වැදගත් කෑලිවලදි සාදු කියනවා. හැබැයි, ඔය මාතර පැත්තේ වගේ බණ දෙසන හාමුදුරුවන් “බුදු රජාණන් වහන්සේ" කියන කොට ම සාාාදු කියන විලාසිතාව අපේ ගම්වල තිබුණෙ නැහැ. මං ඒක ඇහුවෙ මාතර පැත්තෙ සිට ගුවන් විදුලියෙන් විකාශය කළ පෝ දා වැඩසටහන්වලට සවන් දෙන විටයි.

අපේ ගමේ පන්සල එතකොට වානිජකරණය වෙලා තිබුණෙ නැහැ. එහි වැඩ සිටි හාමුදුරුවන් ඔය ඉඳහිට නො වැළැක්විය හැකි හේතු මත සීලයක් දෙකක් බිඳ ගත්තාට, ගමේ මිනිසුන් හූරා නො කාපු, දානෙ නැතිනම්, තමන් ම පොල් ගහකට නැගලා කුරුම්බා ගෙඩියක් කඩාගෙන බීලා සද්ද නැතුව හිටපු, බණ මඩුවෙ, ආවාස ගෙයි සිංහල උළු එහා මෙහා වෙනකොට තමන් ම වහලට නැගලා ඒවා හදා ගත්ත, ගමේ ජනතාවගේ ආගමික ඕනැකම්වලදී ඒ වෙනුවෙන් ඇපකැප වුණු නියම හාමුදුරු කෙනෙක්.

හාමුදුරුවන්ට විතරක් නෙමෙයි මෝනිස් අයියටත් හිටි ගමන් අසූහාරදාහට කේන්ති යනවා. හාමුදුරුවෝ බණ ගෙවල්වලදි හිටි ගමන් ඇනුම්පද කියලා ලෙඩ දාගන්නවා. හැබැයි, මේ කතාව එහෙම එකක් නෙමෙයි.

ඒ දවස්වල අප පොඩි නිසා විකාර කරන ලොකු අය බීල ද, නැද්ද කියන එක අපට හරියට තේරෙන්නෙ නැහැ. අපේ හාමුදුරුවන්ටත් සමහර බණ දෙසන කොට බ්‍රේක් නැහැ. පැය ගණන් බණ කියනවා. මේක වුණේ එහෙම දවසක. එදා එක්කෝ මෝනිස් අයියා දවල් ගස් කපලා ඇඟේ පතේ රුදාවෙන් ඉන්නත් ඇති. මෝනිස් අයියා බිව්වද නැද්ද කියලා මා දන්නේ නැහැ. ඒ කාලෙ මිනිසුන් වැඩිපුර බිව්වෙ රා. 

සාමාන්‍යයෙන් බණ ය කියන්නේ ඉතින් වැඩිය කවුරුවත් අහන ජාතියක් නෙමෙයි නේ. බණ අහනවා නම් ඉතින් ලංකාවෙ බණ කියන විදියට මේක සුරපුරක් වෙන්න ඕනැ. ඒ බණේදිත් කට්ටිය සුපුරුදු විදියට නිදි කිරුවා. කොහොමත්, පැට්‍රොමැක්ස් ලාම්පුවේ හුළං බහිනකොට එන අඩ එළියේ නිදි කිරන්න ලේසියි. එදා මෝනිස් අයියත් වෙනදට වඩා කිරුවා. කොච්චර කිරුවා ද කියනවා නම් ‘එහෙමයි හාමුදුරුවනේ' කියන එකත් අමතක වුණා.

ඒක නැති වුණා ම හාමුදුරුවන්ටත් බණ කියවෙන්නෙ නැහැ වගේ වෙන්න ඇති.

"එහෙම නේද මෝනිස්?" හාමුදුරුවෝ කීප වතාවක් ම ඇහුවා.

"එහෙමයි, එහෙමයි හාමුදුරුවනේ," යි මෝනිස් අයියා නින්දෙන් නැගිටලා කලබලෙන් කියනකොට ඒක බණ දේශනාව මැද්දෙ පොඩි කොමිට් කෑල්ලක් වුණා.

කට්ටිය තමන්ට හිනා වෙන බව දැනගෙන මෝනිස් අයියට කේන්ති ගියත්, නිදිමත ඊටත් වැඩි නිසා ආයෙත් කිරා වැටුණා.

"එහෙම නේද මෝනිස්?" හාමුදුරුවෝ ඔලොක්කුවට වගේ ඇහුවා.

මෝනිස් අයියා නැගිට්ටා.

"නෑ. එහෙම නැහැ," යි කියපු මෝනිස් අයියා පාර දිගට කුටු කුටු ගගා බැන බැන කළුවරේ ම ගෙදර ගියා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

15 comments:

  1. බණ කතාවක් දාල තියෙන්නේ අද පෝය නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අද ලියන්නෙ පිනට ඒකයී මේ....

      Delete
  2. යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි....
    ලස්සනට ගලාගෙන යනවා...
    පට්ට නිර්මාණයක්.....
    සිරා.පට්ට .....
    සාර්ථක නිර්මාණයක් කාලීන අදහසක් පෙරටු කරගෙන.......
    පට්ට නිර්මාණය මචං
    පට්ට පට පට..

    ReplyDelete
    Replies
    1. “යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි....“

      පට්ට, සිරා මාරයි වගේ කෙලින්ම කියනවට වැඩිය මේක පට්ට!

      Delete
  3. මේක ලියවුණේ මේ දවස්වල රඟ දැක්වෙන ලංකාවේ දාර්ශනිකයන් සම්බන්ධ නාට්ටියක් දකිද්දී ය.

    ඇත්තම කිව්වොත්, ලංකාවේ ලෝකල් දාර්ශනිකයන් හැසිරෙන්නේ හරියට ඔය මෝනිස් අයියා වගේ ය.

    ඒ වුණාට ඒක අදාළ කර නො ගෙන මේ කතාව රස විඳින්න. දාර්ශනික මෝනිස්ලා ගැන ලිපිය පසුව පළ කරමි.

    ReplyDelete
  4. මගෙ යාලුවෙක් බන අහල මලා

    ReplyDelete
  5. ගනගෙඩියො දුප්පත් මිනිස්සු සූරාකන්නෙ නැතිව වෙන මොන බලුවැඩේ කෙරුවත් මටනම් කමක් නෑ.අන්තහ්පුර ,බාර් පංසලේ තියාගත්තත් කමක් නෑ.

    ReplyDelete
  6. පැරාත් කාලෙකට ඉස්සර එහෙයියෙකු වෙලා හිටියා නේද?

    ReplyDelete
  7. මේ මෝනිස් අඩුම ගානේ එහෙම නැහැ කියලා යන්න ගියා. සමහර මෝනිස්ලා හීනෙනුත් එහෙමයි හාමුදුරුවනේ කියනවා.

    ReplyDelete
  8. ඈ ළමයිනේ,

    තමන්ගෙ නැතිවෙච්ච කොමෙන්ට්ද මොනවද අර මකබාව හොයන්න සිරිකොතේ “සට්ටඹි - ඇට්ටඹි රාල” දැන් ආයෙත් තමන්ගෙ රට, ජාතිය, ආගමට ගරහන්න පටන් අරං වගේ? බලහල්ලකො එකෙත් හැටි ? මේ “සට්ටඹි - ඇට්ටඹි රාල” කියන විදියටයි උගේ වරෙත්තුවො කියන විදියටයි අපේ හාමුදුරුවරුයි බුද්දාගමයි තමයි මේ හැම හෙනේටම මුල. අනේ ළමයිනේ මං ඉස්සරත් ඔය වගේ අලුගුත්තේරු කාලකණ්නි ගැන ලියපු කවියක් තමයි මේ පහත තියෙන්නෙ.


    පොරණ අපි බුද්ධං
    ඒවා දැන් විරුද්ධං
    දැනට අපි සුද්ධං
    මතකවත් නැත ස්‌වස්‌ති සිද්ධං

    - පෑලියගොඩ දොන් පෑලිස්‌ අප්පුහාමි

    ReplyDelete
  9. රසවත් ලිපියක්

    ReplyDelete
  10. Thank you for taking us back to Seventies. I too remember well this character Monis Ayya. His primary task was plucking coconuts. He charged one coconut per tree. As you said I remember he is tempered. As I heard those days during his childhood Monis Ayya was an intelligent student in the school. But the below average family circumstances of the rural life dragged him into the circumstances elaborated in your article. He was a frequent usual casual worker at our place in the village. Still I remember with gratitude that he used to tell us old stories in the village. Unfortunately, our struggle to set sail in the urbanized atmosphere has deleted the memories of such beautiful stories.

    One thing I do not agree with your subsequent comments by depicting the similarities between Local Philosophers and Monis Ayya just taking one un-deliberated act by the latter, for whom I possess higher degree of gratitude not only for the service that he has rendered to the society at that time either at a negligible cost or at no cost as well as his stories that healed our minds. The current society needs more Monis Ayyas, the healers than Local Philosophers, the critics.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.