2017-01-19

දූල්වල අලංකාරේ අලංකාරය ඔබ තවම දුටුවේ නැද්ද?

සම්මානලාභී නවකතා කියවීම නිසා අවසානයේදී ගත වූ කාලය වෙනුවෙන් ඇති වූ කලකිරීම හේතුවෙන් දූල්වල අලංකාරය මිළ දී ගැනීමෙන් හා කියවීමෙන් වැළකී සිටියමි. එහෙත්, පසුගිය දිනෙක පුස්තකාලයකදී අත ගැටුණු එය ගෙදර ගෙනැවිත් කියැවූ මට ඇති වූ විස්මය සමග නැවත එය කියවීමට පෙර මෙම සටහන තබමි.

ඉතිහාසය නැවත ලියන නවකතා යයි කියමින් ඉතිහාසගත කාන්තා චරිත සංසර්ගයේ යෙදුණු හැටි අවුස්සන හෝ එතනිනුත් එහාට ගොස් ඉතිහාසයේ කාන්තා චරිත සමග රමණය කරන හා ඉතිහාසය උඩ තබා වර්තමානයේ තම තමන්ගේ ඔලුවල පහළ වන විකාර සිතුවිලි මෝචනය කරන ඊනියා රැඩිකල් ඉතිහාස නවකතා රැල්ලට එරෙහිව නියම ඉතිහාස නවකතාව නම් මේ යයි කියන නවකතාවක් ලෙස සුමුදු නිරාගී සෙනෙවිරත්න ලියූ දූල්වල අලංකාරේ සැලකිය හැකි ය.

අපභ්‍රංස ගොඩක් කවරයට තබා බැඳ සීරියස් කියවීමක් අවශ්‍ය යයි තමන් ම හෝ තමන්ගේ හිතවතුන් ලවා කියවා ගන්නා කොළඹ සාහිත්‍ය මාෆියාවේ නවකතාව කෙසේ වෙතත්, ඉතා බැරෑරුම් කියවීමක් සැබැවින් ම ඉල්ලා සිටින ගැඹුරු නවකතාවකි, දූල්වල අලංකාරේ. එය වනාහි නැවත නැවත කියවා රස විඳ ගත හැකි නවකතාවකි.

දූල්වල අලංකාරේ ප්‍රස්තුත කර ගන්නේ චරිතවලටත් වඩා කාල රාමුවකි. සමාජ පරිවර්තනයකි. එහිදී වඩා වැදගත් වන්නේ සමාජයයි. චරිත වැදගත් වන්නේ දෙවනුවයි.

දූල්වල අලංකාරේට පසුබිම් වන 19වන සියවසේ අවසාන භාගය වනාහි රටෙහි අතිශය ප්‍රචණ්ඩ සමාජ විපර්යාසයක් සිදු වූ අවධියකි. ඉංග්‍රීසි යටත් විජිතවාදීන් විසින් දියත් කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ලංකාවේ ගොඩනැගෙමින් තිබුණු ධනවාදය පෞරාණික ස්වයං පෝෂිත ගමට බලපාන හැටි හා ඒ ඔස්සේ ගැමි ජන ජීවිතය දැවැන්ත විපර්යාසයකට ලක් වන හැටි සුමුදු නිරාගී වචනයෙන් චිත්‍රණය කරන්නේ දැවැන්ත පෙතිකඩක් මත සියුම් විස්තර සහිත චිත්‍රයක් අඳින්නා සේ ය. 

කතාවේ ප්‍රධාන චරිතයත් පාරම්පරික සිත්තරෙකි. රාජකාරි ක්‍රමය අහෝසි වී යාමත්, පන්සලට රාජ්‍යානුග්‍රහය නැති වී යාමත්, වෙහෙර විහාර ගරා වැටීමත් හේතුවෙන් සුරේන්දර නයිදේගේ ජීවනෝපාය බිඳ වැටෙයි. ඊටත් වඩා ඔහු වැදගත් ලෙස සලකන සිය පරම්පරා උරුමය රැක ගැනීම ඔහුට ඉතා දුෂ්කර වෙයි. ඔහුගෙන් පසු ඇත්තෙන් ම ඒ සිත්තර සම්ප්‍රදාය බිඳ වැටෙන බව පෙනේ. මේ වන විට පන්සල්වල ඇඳ තිබෙන චිත්‍ර ය කියන ජාතිය දෙස බැලූ විට අපට අහිමි වූ සම්ප්‍රදායේ තරම තේරුම් ගත හැකි ය.

දක්ෂ සිත්තරකු වීමේ පෙර ලකුණු පහළ කරමින් සිටි සුරේන්දර නයිදේගේ පුතා ජීවන් නයිදේ සිත්තර කර්මය හැර දමා, ගැමි ගොවි ජීවන රටාවෙනුත් මිදී, අලුතෙන් වැදගත් වන්නට පටන් ගත් මුදල් සෙවීම වෙනුවෙන් මිනිරන් පතල් කම්කරුවකු බවට පත් වේ. 

සුරේන්දර නයිදේගේ ඊළඟ සිසුවා වන ඔහුගේ දියණියගේ පුත් ඩිංගිරි පල්ලියේ පාසල් හරහා අධ්‍යාපනය ලැබ ඩේවිඩ් ලෙස නමත් වෙනස් කරගෙන අවසානයේදී සාර්ථක කර්මාන්තකරුවකු බවට පත් වේ. 

මේ අතර, මුඩුබිම් පනත හා විහාර දේවාලගම් පනත එයි. රාජකාරි ක්‍රමය අහෝසි කෙරේ. බ්‍රිතාන්‍යයෙන් පැමිණි වැවිලිකරුවෝ අක්කර දහස් ගණනින් මිළ දී ගෙන පළමුව කෝපි ද, දෙවනුව තේ ද වවති. ගැමියන්ට පොදු ඉඩම් හා අනාගත පරම්පරාවලට ව්‍යාප්ත වීම සඳහා ඉඩකඩ අහිමි වෙයි. හරකුන්ට කන්නට තණ බිම් නැති වෙයි. ගොවියන්ට යැපෙන්නට කුඹුරු මදි වෙයි. පරිසරයේ හා දේශගුණයේ සිදු වන විපර්යාස ගැන නම් ලේඛිකාව එතරම් අවධානයක් යොමු කර නැතැයි මට සිතේ.

සරළ, අල්පේච්ඡ ජීවිතයකට හුරු වූ උඩරට ගැමියෝ මේ විපර්යාසයට ප්‍රතිරෝධය දක්වති. කතුවරියගේ ස්පර්ශයට ලක් වන යුගය වන විට කැරැලි දෙකක් මර්දනය කර, සරදියෙල්වත් මරා දමා, ස්වදේශිකයන්ගේ කොඳු බිඳ දමා තිබුණු යුගයකි. සුද්දන්ට ගැති රණමල් බණ්ඩා වැනි ආරච්චිලාගේ සිට අලුත් හෝ අලුත් වූ ප්‍රභූ පැළැන්තියක් හිස ඔසවමින් සිටි යුගයකි. පහතරටින් මිනිරන් කර්මාන්තය හා රේන්ද කර්මාන්තය හරහා නව ධනපති පංතියක් නැගී සිටින අතර ඔවුහු වැවිලි කර්මාන්තයට ද පිවිසෙති. ඒ ප්‍රධාන වශයෙන් පොල් කර්මාන්තය ඔස්සේ ය.

සුමුදු නිරාගී අඩුවෙන් ස්පර්ශ කරන අංශ ද තිබේ. නුවරට කෝච්චි පාර දැමූ මෙම යුගය ඇඟ බදු වැනි තිරශ්චීන බදු පැණවුණු යුගයකි. ගැමි ජනයාට එදා දැනුණු පීඩනය දූල්වල අලංකාරේහි නිරූපිත තරමටත් වඩා වැඩි විය යුතු ය.

රාජකාරිය මිස වැටුප් ශ්‍රමය ගැන නො දැන සිටි සිංහල ගැමියා වතුවල වැඩට නො ගිය හෙයින් වැවිලිකරුවන් විසින් දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද දෙමළ වතු කම්කරුවන් විසින් ද උඩරට භූමි චිත්‍රය වෙනස් කරන ලදී. නවකතාවේ අවසන් හරියට එන විට සිංහල ගැමි ගැහැනුන් ද වතුවල වැඩට යන්නට පෙළඹෙන තත්වයක් නිර්මානය වී තිබේ.

මේ අතර සංස්කෘතික තලයේ සිදු වන දේ ද වැදගත් ය. පාරම්පරික සිත්තරකු වන සුරේන්දර නයිදේ ජීවත් වන ගම මැදින් අසු පිටින් යන ඔලීවියා නම් වන වතු හිමියාගේ බිරිඳ ද චිත්‍ර ශිල්පිනියකි. සුරේන්දර නයිදේට වත්තට පැන සිය එළදෙන කළ අලාභය පියවීම සඳහා පෙතිකඩ චිත්‍රයක් ඇඳ වතු හිමියාට දෙන්නට සිදු වෙයි. එහෙත්, ඔහුට කිසි දිනෙක ඔලීවියා හමු වන්නේ නැත. ඔලීවියාට සුරෙන්දර නයිදේ හමු වන්නේ නැතැයි කීවා නම් වඩා සාධාරණ ය. එහෙත්, අවසානයේදී බෘස් නම් සිත්තරාට සුරේන්දර නයිදේ හමු වෙයි. අලුත් චිත්‍ර කලාවක් බිහි වෙයි. මට මංජු ශ්‍රී සිහි විය.

දූල්වල අලංකාරේ ගැන මට නම් කියන්නට තිබෙන්නේ එය වනාහි ඔය සම්මාන ලබන කෘතිවලට වඩා පරම්පරාවක් ඉදිරියෙන් සිටින ජාත්‍යන්තර මට්ටමේ කෘතියක් බවයි. මා වඩාත් විස්මයට පත් වන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්න සිය පරිකල්පනය හා පර්යේෂණ විනය මෙහෙයවා නිර්මානය කරන මායාව යථාර්ථය සමග පැටලෙන තරමේ ඉන්ද්‍රජාලයක් වීම නිසායි. එය කියවන ඔබ පෞරාණික ලේඛන අධ්‍යයනය කරමින් දූල්වල ගම හා පැරණි සිත්තර පරම්පරා ගැන ද මහනුවර ඩේවිඩ් පෙරේරා සාප්පුව ගැන ද සෙව්වා නම් පුදුම විය යුතු නැත.   

මීට පෙර මා මෙවැනි කෘති කියවා ඇත්තේ ද සේපාලි මායාදුන්නේ, ලාංගනී ප්‍රනාන්දු අබේධීර, මුල් යුගයේ සුනේත්‍රා රාජකරුණානායක වැනි ගැහැනුන්ගෙන් ම වීම විස්මිත තත්වයකි. ලංකාවේ සාහිත්‍යය මත අඬු බඬු විහිදුවාගෙන සිටිමින් සම්මාන විනිශ්චය හා සම්මාන ලබා ගැනීම මාරුවෙන් මාරුවට කරන සාහිත්‍ය මාෆියාව හා එහිම කොටසක් වන විචාරක මාෆියාව මේ කාන්තාවන් ලිබ්බොක්කට තල්ලු කිරීම වළක්වා ගැනීම සිංහල සාහිත්‍යය බේරා ගැනීමේ අරගලයේ අතිශය වැදගත් කාර්යයකි.    

මෙයත් කියවන්න: සේපාලි මායාදුන්නේගේ මහාසාමි හා අතීතකාමයෙන් මිදෙන්නට අතීතය කියවීම




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

10 comments:

  1. "ඉතිහාසය නැවත ලියන නවකතා යයි කියමින් ඉතිහාසගත කාන්තා චරිත සංසර්ගයේ යෙදුණු හැටි අවුස්සන හෝ එතනිනුත් එහාට ගොස් ඉතිහාසයේ කාන්තා චරිත සමග රමණය කරන හා ඉතිහාසය උඩ තබා වර්තමානයේ තම තමන්ගේ ඔලුවල පහළ වන විකාර සිතුවිලි මෝචනය කරන ඊනියා රැඩිකල් ඉතිහාස නවකතා රැල්ල..."

    දැන්වත් උඹට ටිකක් හරි මොලේ පෑදුන එක ගැන සතුටුයි.

    "දූල්වල අලංකාරේ" කියවිය යුතු නවකතාවක්. හැබැයි " ජාත්‍යන්තර මට්ටමේ කෘතියක්..." කියන්න බෑ. මම ලයිසන් ගත්ත විචාරකයෙක් නම් නෙමෙයි. අපි මේ ලේඛිකාව ගැන "දෙන්නම් බැටේ" වර්ගයෙවත් "මාරයි" වර්ගයෙවත් විකාර විචාර නොකර ඉන්න එක හොඳයි.

    අර ආගම් විනාස කරන්න ඕනෑ, මධ්‍යම පන්තිය කුඩු කරන්න ඕනෑ වගේ මල ඉලව් විකාර නොලිය මේවගෙ යමක් ගන්න පුළුවන් දෙයක් ලියපං.

    රෑටවත් අර ගෝත්‍රික නිර්මාක්ස්වාදී සරොං කඩමාල්ල නොඇඳ පිජාම එකක් ඇඳපන්. රෑට නිකං කිඹුල කිරිමැටි ගිලිනව වගේ බත් ගිලින්න එපා. අපි වගේ ටෝස්ට් විත් සුප් එහෙම නැත්නම් ෆිෂ් කෝසස් වගේ දෙයක් කාපන්. කෑමට කලින් වයින් වීදුරුවක් බොන එක හොඳයි. රනිල් හාමු ආදර්ශයට ගනින්.

    කෝ උඹ කේන්දරේ එව්වෙ නෑනේ. 26ට කලින් එව්වොත් වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. පිජාමා නෙමෙයි බං. ෆිෂ් කෝසස් කෑවට වැඩක් නැහැ. ඉංග්‍රීසි හරියට උච්චාරණය කරන හැටි ඉගෙන ගනින්. අපි වගේ ගමේ මිනිසුන් උච්චාරණය කරන විදියට වචන කියන්න එපා.

      කොහෙද ඉතින් ආදර්ශෙට ගන්නෙ මරු පොරක් නේ.

      කොහොම වුණත් කමක් නැහැ. උඹේ අදහසට ස්තුතියි. දිගට ම වරෙන් ආතල් දෙන්න.

      Delete
    2. ඔය ජාත්‍යන්තර මට්ටම ගැනත් කියන්න දෙයක් තියෙනවා. ඕකෙ උඹලා හිතන තරම් මගුලක් නැහැ. උඹලා හිතන්නෙ ඉතින් හම සුදු නම්, ඉංග්‍රීසි කතා කරනවා නම්, ඒකෙ මාර මෙව්ව එකක් ඇති ය කියලනේ. එහෙම තමයි ඔය පිටරට ගිහින් බැලමෙහෙ කරනකොට හිතෙන්නේ.

      ජාත්‍යන්තර වෙන්නේ රටවල් කීපයක මිනිසුන්ට විඳ ගන්නට පහසු වන පොදුබවත් එක්කයි. දැන් හැරී පොටර් ජාත්‍යන්තරයි කියලා ඒකෙ මහ ලොකු බක්කක් තියෙනව ද?

      ලංකාවෙ ලේඛක ගොබ්බසේනලාත් ඔය දූපත් මානසිකත්වය අතෑරලා අඩු තරමේ ඉන්දියාවටවත් ව්‍යාප්ත වෙන්නට උත්සාහ කළ යුතුයි.

      Delete
  2. මෙහෙමයි පැරා වැඩේ. උඹගේ ඔය කෙලිපැංචිගේ නවකතාව ද මොකක් ද කියන එකටයි ඒක උඩ දාන උඹටයි දුවන්න ගහන්න පුළුවන්. ඒත් අපි දැන් එහෙම කරන්නේ නැහැ. උඹ නිසාමයි අපි ඒක ක්‍රමය ඉගෙන ගත්තේ. මොකද ඕක නවකතාව ද මොකක් ක ද එක ගැන ඩිකොන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් ලිව්වොත් ඔය හාල්කෑලි උඩ යනවා. මෙකොද උඹලා වගේ ගෑනු නමක දැක්ක ගමන් හරි චෝයි නවකතාව කියන නෂ්ටකාමීන් දැන් වැහිවැහලානේ. උඹට අපි ගහන්නේ නැත්තේ එකම එක හේතුවක් නිසා. උඹ අර සේපාලි ගැන ලියපු වචන ටික නම් හරි ම අගෙයි පැරා. උඹේ දහසක් ගොන්කම් අමනකම් මැද වුණත් උඹත් කලා විචාරකයෙක් තමා කියලා අපිට හිතුණේ උඹ සේපාලිගේ පොත ගැන කිව්ව වචන ටි‍කෙන්. උඹ සුනාමියට කලින් කලාවිචාරය ගැන මොනවා හරි ටිකක් ඉගෙන ගෙන තියෙනවා බලාගෙන යනකොට. අමුණපන්කෝ බං ඒ පෝස්ට් එක මේ පෝස් එකටම.

    උඹ දෙවැනි සැරේ ඔය පොත් කෑල්ල කියවන්න කලින් සතියක් දවස‍ට පැය බාගේ ගානේ ඔළුවෙන් හිටන් හිටපං. ඊට පස්සේ ඔය නවකතාවද මොකක්ද එක ආයෙත් කියවපං. ඊට පස්සේ මෙන්න මේ පුරස්න දෙකට අවංක උත්තර දීපං.

    1.උඹේ ඔය කෙලිපැංචිගේ මොකක්ද එකෙන් 18 වන ශතවර්ෂයේ උඩරට හරි ලාංකාවේ හරි සමාජ සම්බන්ධතාවල හෞතිකවාදී යතාර්තය නිරූපණය කෙරෙනවාද?

    2.අතීතය වර්තමාන සදහා ගයිඩන්ස් එකක් නොකරන් අනේ අතීතය මාරයි මෙයා සුද්දා තමයි සැවිජ් කලේ අපේ අතීත ෆීස්ට් එක කියලජ ඔජ වඩවන්න පල්හෑලි ලිව්වම ඒවාට කියන නම ද කලාව කියන්නේ.

    සතියක් දවසට පැය බාටග් ගානේ ඔලඅවෙනි හිටන් ඉදලා ඊට පස්සේ උඩ පුරස්න දෙකට උත්තර දීපං. උඹ පලවෙනි සැරේ පොත කියවලා නැහැ. උඹ පොත දිහා බලං කියවලා තියෙන්නේ උඹේ හිටත් තියෙන මනස්ගාත. උඹට පුළුවනිනම් ඔය උඹ කියන මාර රැඩිකල් කෙලිපැංචිගේ මොකක්ද එකේ උඹ ඔය තියෙනවයි කියන මෙව්වා වලට අදාල කොටස් කෝට් කරපං බලන්න. පලයං බං යන්න. මතුගම විතති පත්තරේට පච ටාක ලායන් හිටහං බං. උඹලා අපි දන්න කලා විචාර.

    සැ.යු. පැරා කව්ද පැරා අර වැඩසටහන මෙහෙයවන ලමයා. හරි අගේට වැඩසටහන මෙහෙයවනවා. අර සිසිල්ගේ හිස්ටරික් දොණියැන්දට වඩා දහසක් හොදයි.

    ReplyDelete
    Replies
    1. පිළිතුරු:
      1. ඔව්.
      2. නැහැ.

      උඹේ ඔලුවෙ තියෙන මනස්ගාත පැත්තකින් තියලා මුලින් පොත කියවපන්. කොහෙද ඉතින්, මේක චිත්‍ර‍පටි බලන්නැතුව විචාර කරන එවුන් ඉන්න රටනේ.

      නවකතා ලියන්නේ උඹ කියන ඔය විදියේ ඒවා කරන්න නෙමෙයි. ඒකට තමයි ඉතිහාසය තියෙන්නේ. නවකතාව කියවලා උඹට ඕනැ දේවල් තියෙනවා ද කියලා හොයාපන්.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. මේ පොත ගැන සේන තෝරදෙනියත් ලියලා තිබුනා. ඒකෙ කියලා තිබුනෙ මෙයැයි මධ්‍යම පංතිකයි, දේශපාලනය තේරෙන්නෙ නැති නිසා පීඩිතයන්ගෙ දුක රොමැන්තික් කරනවයි වගේ දේවල්.
    මමත් මේ පොත රසවින්දා.

    ReplyDelete
  5. පහුගිය සාහිත්‍ය උත්සවයෙන් ගත්ත පොත් අතරින් හොඳම පොත.. අර සුවර්ණ පුස්තකයනම් මෙලෝ රහක් නෑ.

    ReplyDelete
  6. පැරා,මේ පොතත් හමුවුනොත් කියවා බලන්න.
    නින්දගම- අශෝකා හේරත්
    මහනුවර අකුරණ ප්‍රදේශය පසුබිම් කරගත් 1920 කාලයේ සැබෑ සිදුවීම් මාලාවක් විවරණය කෙරෙන නවකතාවක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.