2017-01-09

පුස් හැලට්

කුරුල්ලන්ට කලින් ගෙවත්තෙන් 
මං තුනේ, හතරෙ වගේ පන්තිවල ඉන්න කාලෙ, ඒ කියන්නෙ සිරිමාවොලාගෙ ඇන්නැම්ලාගෙ සමගි පෙරමුණු ආණ්ඩුව කාලෙ, අපේ මාමා කෙනෙකුගේ මගුල් ගෙයක් තිබුණා. ඒකට උයන්න ආවෙ මුස්ලිම් කට්ටියක්. මිනිස්සු නම් කිව්වෙ තම්බි කියලායි. 

ඒ කාලෙ අපේ ගම්වල මගුල් ගෙවල්වල හැටියට ඒක ටිකක් හොඳ එකක් වෙන්නැති. හරක් මස් එහෙමත් තිබුණා. ඒ වෙනකොට කුකුළු මස් ජාතියේ මාංශාහාරය වෙලා තිබුණෙ නැහැ. සාමාන්‍ය මගුල් ගෙවල්වල දුන්නෙ මාළු. ඒ වෙනුවෙන් මාළු ගේන්න කට්ටිය බේරුවල යනවා. 

වැදගතුන්ට සීල් අරක්කුත්, ගැමියන්ට කසිප්පුත් දෙක ම තිබුණා. කොයි එක වුණත්, පිළිගන්වනු ලැබුවේ හොර රහසේයි. කාමරයට ගිහින් කට්ටිය ළඟ, ළඟ නවාගෙන රැවුල් පිහදදා හොරු වගේ එළියට එන එක තමයි වුණේ. මේ හුඟක් බොනපාට්ලා ෂැන්ඩි, බයිට් පාවිච්චි කළේ නැහැ.

එදා හැන්දෑවෙ සාජ්ජෙදි අපේ තාත්තා පිනුං ගහලා නැටුවා. මං හිතන්නෙ ඒ තමයි අපේ තාත්තා අවසාන වතාවට පොඩ්ඩක් පාවිච්චි කරපු අවස්ථාව. පළමුවෙනි අවස්ථාවත් වෙන්න ඇති සමහර විට. අපි වගේ නෙමෙයි, වැදගත් විදියට ජීවත් වුණු වැදගත් ඉස්කෝලෙ මහත්තුරු නේ.

ඒ කාලෙ ඔය බුෆේ නැහැ. මගුල් මේසය වටේට හිටගෙන ගමේ තරුණ ගැටව් කෑ ගහ ගහ අඩුපාඩු ගෙන එමින් අමුත්තන්ට බත්, වෑංජන බෙදුවා. ගෑල්ලමයින්ට එහෙම වැඩිපුර බත් බෙදුවා. එපා කියද්දි කාට කාටත් තව බෙදුවා. මොකෝ උන්ගෙ බත් යැ. හරි හරියට විහිළුත් කළා. උනුත් සැරින් සැරේ අර කාමරේට ගිහින් ආපු නිසා වෙන්න ඇති සමහරු එපා කියද්දි පිට අල්ල උඩිනුත් හොදි බෙදුවා. බීලා ආපු එවුන්ට බීපු සංග්‍රහ කරන්නෝ කොත ගහලා බත් බෙදුවා. සමහරු ඒ රුවන්වැලිසෑ උඩම බුදිය ගත්තා. 

මං නම් මගුල් ගෙවල්වල ගියාම දඩබඩ ගාලා කාලා ඉස්සෙල්ලා අත හෝද ගන්නයි බලන්නෙ. නැතිනම් ඉතින් අර සංග්‍රහ කරන ඉලන්දාරි ළඟට කරන දහ පහළොස් දෙනෙක් අත හෝදපු කාඩි හොද්දට ඔබලා අත හෝදන්න වුණොත් කාපුවා ඔක්කාරෙට එනවා. 

ඒ කාලෙ ගම්වල ඕනැ තරම් පලතුරු තිබුණා. හැබැයි පලතුරු සලාද හදලා කන ක්‍රමයක් තිබුණෙ නැහැ. දැන් අලුත් ක්‍රමේට කරනවා වගේ පලතුරු කෑලි වෙන වෙන ම කාලා බඩේදි සලාදෙ හදා ගන්න ක්‍රමයත් තිබුණෙ නැහැ. පලතුරු කෑවෙ වෙන වෙන ම. වැල ගෙඩිය ගහ යට තියාගෙන ම. අඹ, රඹුටන්, ජම්බු එහෙම ගස් උඩ ම. මගුල් මේස ළඟ කෙහෙල් කැන් පිටින් එල්ලලා තිබුණා කඩේ වගේ. ඒවා ඉදෙව්වෙ අද වගේ කාබයිඩ් ගහලා නෙමෙයි. දවස් දෙක තුනකට කලින් වලක දාලා වහලා දුං ගහලායි. 

අපේ ගම කිට්ටුව ඕවිටිගල ගැන කතාවක් තියෙනවා. කලින් මරපු ගෝනෙකුව මගුල් ගෙදරකට ගන්න ඔය වගේ වල දාලා තිබ්බලු. වල දාලා තියෙන්නෙ අං තට්ටුව උඩට ඉන්න. අං තට්ටුවට පොඩි තට්ටුවක් දාලා බලලා කියනවා ලු මොකවත් වෙලා නැහැ ය කියලා. 

අපේ මාමගෙ මඟුල් ගෙදරට උයන්න ආපු කෝකියෝ පලතුරු ජාති කීපයක් පොඩියට කපලා ලොකු බාල්දියකට දාලා, මුද්දරප්පලම්, රටඉඳි එහෙමත් දාලා, පැරකුම් උකු කිරි ටින් වගේකුත් ඒ උඩින් හලලා, තව සීනි එහෙමත් දාලා, පත්තකින් කලවං කරලා හැදුවා ඉටි චොහොරයක්. 

අපේ අම්මලා එහෙම නම් ඒවා කටේ තිබ්බෙ නැහැ. ඒක දැක්කත් බඩ දඟලනවා ය කිව්වා. ඒ වුණාට අවුලක් නැහැ. අපි නං කෑවා. අපි ඉතින් නො කන්නෙ මොනව ද? 

ඒ කෑම ජාතියට අපේ ගමේ අය කිව්වෙ පුස්හැලට් කියලායි.

මේ මගුල් ගෙදරදි තමයි මම මුලින්ම සිගරැට්ටෙකක් බිව්වෙ. මගුල් ගෙවල්වල ඒවා දෙනවනේ ඒ කාලෙ. අපි දෙක තුනක් ඉස්සුවා. පස්සෙ විස්තර කියන්නම්.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

33 comments:

  1. මොනාද සර් මේ ගෙඩි ජාතිය ,දුරට පේන්නෙනං ඇඹුල් පේර වගේ

    ReplyDelete
    Replies
    1. ඔය චෙරි වර්ගයක්. පැළ කඩේකින් ගෙනත් ඉන්දුවේ. සෑහෙන්න ගෙඩි හැදෙනවා. ටිකක් ඇඹුලයි.

      Delete
  2. අපේ ගමේ මඟුල් ගෙවල් වල නම් මුල් කාලයේදී පෘට් සැලඩ් තිබුනේ නෑ. මඟුල් මේසෙදි කෑම කන්න වාඩි වෙනකොට බොකුටු පිඟන් දෙකක් එක උඩ එක නවලා තිබුණා. එකක් බත් කන්න. අනිත් එක කිරි පැණි කන්න. බත් කාල ඉවරුන ගමන්ම කවුරුහරි ඇවිත් උඩ පිඟාන අරගෙන අත හෝදන්න වතුර කෝප්පය දෙනවා. ඊළඟට අනිත් පිඟානට කිරි පැණි බෙදාගෙන කනවා. පෘට් සැලඩ් දෙන කාලේ එනකොට ඒවා කප් එකට දාල ඊට උඩින් පැරකුම් කිරි ටිකක් හලලා තිබුණා. පැරාගෙ නමට පැරකුම් කෑල්ල එන්න ඇත්තෙත් පැරකුම් කිරි නිසාද දන්නෑ?

    ReplyDelete
  3. එතකොට කොයි කාලෙද අර අස්ටෝමේ මේසෙට බැදපු කුකුළා ආවෙ ? ඌ ඉඳලමත් දවසක තමයි කැපෙන්නෙ. ඒ එක්කම අයිස් කෝපි එහෙකුත් ආව මට මතක හැටියට

    ReplyDelete
  4. හෙහ්,හෙහ් "කුකුළු මස් ජාතියේ මාංශාහාරය".මතක මංපෙත දිගේ. නියමයි,දේශපාලන කතරට දියබිඳක්! ස්තූතියි.

    ReplyDelete
  5. ඒකාලේ මයිසූර් පරිප්පු ටිකක්, සැමන් ටින් එකක්, රටලුනු සම්බෝලය්ක් විතරක් කන්න ලැබුනත් ඉතින් මගුල් ගෙදරක ගියා වගේ තමයි. ලොරියක එල්ලිලා, කොළඹ වෙසක් බලන්න ගිහින් එනකොට, මොරටුවේ පරණ පාර ගාලු පාර වෙලා තිබුන එ කාලේ, ලී මඩු අයිතිකාරයෙක්ගේ දන්සැල වැඳ පුදා ගත්ත.සම්බා හාලේ බත්,මෛසූර් පරිප්පු, සීනි සම්බෝල, පපඩම්, සුදුරෙදි දමපු මේස, අතපිහිදාගන්න ටිසූ, අම්මප එහෙම මගුල් කෑමක් වත් දැකල තිබුනේ නැහැ අපේ ගම් පළාතේ. ( මීගහතැන්නේ)

    ReplyDelete
    Replies
    1. මමත් ඔයකිට්ටුව තමයි , ඒදවස්වල මගුල් ගෙවල් වල බඩ පැලෙන්න කන්න දුන්නා , අපිට මතක කාලයේ ගම් කුකුලන් තමයි විශේෂ මාංස ආහාරය උනේ ,එක ගෙදරක කොචිචි අච්චාරුවක් තිබුණා

      Delete
  6. මඟුල් ගෙවල් ගැන ලිව්වේ නැද්ද මන්දා... මාත් ලියන්න ඕනා ඇස්ටෝන් ගෙවල් වල විස්තරයක්....

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි වචනෙ. ඇස්ටෝං.

      Delete
    2. මඟුල් ගෙයක් කිව්වේ මනමාලිගේ ගෙදර තිබුණ උත්සවේට. ඇස්ටෝන් කිව්වේ මනමාලි කැන්දාගෙන ඇවිත් මනමාලයාගේ ගෙදර තියපු උත්සවේට. ඇස්ටෝන් ගෙවල්වල නම් වලියක් වරදින්නේ නෑ.

      Delete
  7. පැරාගේ කාලයට දශක එක හමාරකට පස්සේ (1980 දශකයේ අගභාගයේ විතර) කාලයේත් කුකුළු මස් කියන්නේ ලක්ෂරි කෑමක් - ඒ දවස්වල හරක්මස් තමයි ලාභදායක, ඉරිදට වගේ ඌරු මස් තිබුනා. කුකුළු මස් සුලභ වෙන්න ගත්තේ 1995 න් විතර පස්සේ කාලයේ.
    ඒ දවස්වල මඟුල් ගෙවල්වල කෑම ගැන නම් දැන් මතකයක් නෑ - හැබැයි ඔය කාලය වනවිට පෲට් සැලඩ් අතුරුපසක් ලෙස ප්‍රචලිත වී අවසානයි.

    ReplyDelete
  8. ඇත්තටම දේසපාලනේ අතෑරල වගේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද මල්ලි. මෙන්න මේක මාර හිට් වුණා. හම්බන්තොට සිද්ධියට කලින් දවසේ.

      Delete
    2. අම්මප ? දවල්ද ?

      Delete
    3. දවල් හිට් වුණේ නාමල්ලටනේ. මේක රෑම හිට් වුණා. ඇයි අවුල් ද?

      Delete
    4. කුහුඹුවාට උගේ මුත්‍ර ධාරාව ගංගාවක් කිව්වලු. මොකෝ comment නැතුව දැන් full අවුල්ද ?

      Delete
    5. උඹලා වගේ ඉරිසියාකාරයන් දාන කමෙන්ට් කන්නයැ බං. මාතෘකාවට අදාළව කමෙන්ට් දාන මහත්තුරු කීපදෙනෙක් හිටියාම හොඳටම ඇති.

      Delete
    6. හඃ හඃ හඃ ! අර රනිල්, මලික්, රවී වගේ මහත්තුරුද බං?

      ටිංකිරි, මේ අහපං ඔය බ්ලොග් පොස්ට් කෑලි ගානට සොච්චමට විකිනෙන්න එපා බං උන්ට. project එකක් කතාකරගනින්. ලොකු ගානක් ඉල්ලපන්. perks ගැන bargain කරපන්.

      දැන් මේක වේලි වේලි තිබුනට උඹේ counter එක අනුව මිලියන හතර පැනලානේ. ලංකාවේ ජනගහනයම මිලියන් 20 යි. ඉතින් කොච්චර bargaining power එක්කක්ද බං උඹට තියෙන්නේ.අනික මේක බ්ලොග් නෙමෙයි වෙබ්. මේක .com address එකක් බව කවුද බං දන්නේ? බ්ලොග් වගේද වෙබ් සෙල්ලං කිව්වලු.

      මං උඹට කලිනුත් කිව්වනෙ මේ මලඉලව් බ්ලොග් ලිවිල්ල අල්ලල දාල advertising creative copywriting වලට freelance වත් වරෙන් කියල.මොකටද බං මහා පාන්දර පයින්, බස් කොච්චි වල දවස ගානේ කොළඹ ඇවිල්ල තුට්ටු දෙකට විකිනෙන්නේ?

      මේ අපි වගේ project basis with all the perks වැඩ කරපං.

      Delete
    7. පැරාටත් පුලුවන් මාලින්ද සෙනෙවිරත්න වගේ ෆ්‍රී ලාන්ස් කොපි රයිටර් කෙනෙක් වෙන්න

      Delete
  9. පුස් සැලට් කිව්වට මේව ගොඩක් චොර වෙච්චි ගස්ලබු අච්චාරු !

    මටනං දැක්කහම බඩ දඟලනව 😬

    ReplyDelete
  10. දැන් දේශපාලනේ අර කලවම් වුණ දියාරු වුණ පල් වුණ ෆෘට් සැලඩ් එකක් තමා සර්. අතීත කාමය ගැන ලියන්න. කියවන්න ආසයි.

    ReplyDelete
  11. ඕවිටිගල මගුල් ගෙදරකට කකුළුවෝ ගෙනාපු එක ගැනත් කතාවක් තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ලියන්න. මට හරියට මතක නැහැ.

      Delete
    2. ඔවිටිගලත් තුම්පනේ වගේනේ, ලිං එහෙම ඉස්සුවේ නැද්ද ඔවිටිගල අයත්.

      Delete
  12. පැරා.....දේශපාලනය ගැන පාට, පක්ෂ, සහ පුද්ගල කැම්පේන් වෙනුවෙන් බ්ලොග්කාරයින් ඇට්ටෝම් දාන වෙලාවක පැරා මෙහෙම වෙනසක් කෙරු එක ගැන සතුටුයි.

    මගුල් මේසෙක වාඩි වෙන්න ලැබිච්ච කාලයක් මතක නැහැ. බැඳපු එවුන් දෙන්නා කොච්චර කට්ටක් කනවද, හැත්ත බුරුත්ත කාලා ඉවරවෙනකං එකම මේසේ වාඩිවෙලා ඉඳගෙන. එක අතකින් ඒවා අපේ මිනිස්සුන්ගේ චාරිත්‍රනේ කියලා හිත හදාගන්න පුලුවන්.

    මම කාලයක් හෝමාගම වෙඩින්වලට ප්‍රසිද්ධ ආයතනයක මැනේජරය වෙලා හිටියා. ඒවට එන්නේ ලොකු පොරවල් නෙමේ. අපඉ උඹලා වගේ සාමාන්‍ය උදවිය. මාර වැඩ වෙන්නේ. සමහරක් කතා හරි දුකයි. සමහරක් කතා භයානකයි. සමහරක් ඒවා හරි ෆනි. තරු පහේ හෝටල්වල කතාත් ඊට දෙවෙනි නැහැ.

    මම ලඟකදි දැක්කා අර අලුත් පලතුරු කපලා, කපලා හදන ෆෘට් සැලඩ් එක උඩට, මැන්ගො පල්ප් ටින් කඩලා දානවා. රහ අතින් හොඳයි. හැබැයි ප්‍රසන්ටේශන් එක ලා චෝර්.

    තරුන කාලේ අපි තුන් හතර දෙනෙක්, අමතර ආදායමකට, මගුල් ගෙවල් වල කෙටරින් කොන්ත්‍රාර්ත් කරා. ඒකත් මාර ජොලි ගේමක්. මතක් වෙනකොට හිනාත් යනවා.

    ReplyDelete
  13. 77 චන්දෙට කොහෙද (එහෙම නැත්නම් දින්න ආණ්ඩුව සෙලිබ්‍රේට් කරන්නද කොහෙද ) චීනෙන් කුකුල් මස් ගෙන්වල සතොසින් බෙදා හැරිය වගේ පොඩි කාලෙ මතකයක් තියනව

    ReplyDelete
  14. ඇස්ටෝං මේසේ උඩට වඩා කෑම මේසේ යට තියේ, පොඩිවුන් නොකා ඉතිරිකළ කෙසෙල්, කෙසෙල් ලෙලි, කිරිබත් බාග, හැපෙන්නැති මස්, හය්ය කැවුම් සේරම මේසය යටට, රවුන් තුන හතරක් මේසේ ලෝඩ් කරාට පස්සේ පෑගිලා දොරවෙට්ට කෑම උඩින් තමයි යන්න තියෙන්නේ.

    ReplyDelete
  15. තුනේ හතරෙදි සිගරැට් බීලා නේ. ආය මක්කටෙයි ඉතින් ඒ ගැන කතා.

    අර මරපු ගෝනයෙ කතාවදැන ගන්න ආසයි. උස්සපු සිගරට්ටු ගැනත් ලියනව නම් කැමති......

    මෙච්චර රසට ලියන ලේඛකයෙක් , අච්චර කැත දේශපාලනය මක්කට ලියනව ද මන්දා....

    මේ ලිපියට මම බොහොම මනාපයි.මෙහෙමෙකක් ලීවට ඉස්තුතියි.

    ReplyDelete
  16. ඇත්තටම තුප්පහි දේශපාලනේට වඩා මේ අතීතකාමේ රහයි.ඔහේ කොහොමත් ඕනි ජරා ගොඩක් රහට ලියන්න දස්සය නේ.නරකද ඔය කප්පරක් අත්දැකීම් පොතකට ගත්තොත්.

    ReplyDelete
  17. මම අන්තිමට ගිය මඟුල් ගේ තිබ්බේ ජර්මනියේ. වෙනම සංගීත කණ්ඩායමක් හෙම ගෙන්නලා. හෝටලේක . කෑම බිමත් හොඳයි. බොන්න එපා වෙනකල්. ලස්සන ගැහැණු ළමයෙක් සින්දු කීව ඇවිත් . ඒක නෙමේ හයිලයිට් එක. කාල බිලා ඉවර වෙලා සම්ප්‍රදායිකව පිඟන් පොල ගහලා කැඩුව බිත්තියක් අයිනට ගිහින්. වැඩිම ජොලිය ගත්තේ ඒ වැඩෙන්.
    පැරාගේ මේ ලිවිල්ලේ අමුතුම ගතියක් තියනවා. මැවිලා පේනවා ඒ කාලේ.

    ReplyDelete
  18. අර කෑම බෙදීමට වෙන්න ඕන “අනුංගෙ මගුලෙදි තමංගෙ ආදරේ පෙන්නනව“ කියන පිරුළ හැදුනෙ.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.