2017-02-15

කුණු නම් ඉතින් පාරට තමයි

පීටර් ජෙරම් තිසරණ පෙරේරා ගත් ඉහත ඡායාරූපයට පොඩි වචන ටිකක් එකතු කර මුහුණු පොතේ පළ කළා.

එයට රසික සූරියආරච්චි පහත දැක්වෙන අදහස පළ කළා. ඔහු දකින විධියට මේ තත්වයට හේතු දෙකයි: එකක් අධ්‍යාපනයේ වැරැද්ද, අනික කුණු බැහැර කිරීමට නිසි ක්‍රමයක් නොතිබීම.

ලංකාවේ කසල කළමනාකරණයේ මහා ගැටලුව රසිකගේ වචන කීපය තුළ ගැබ් වී තිබෙනවා. හැබැයි, ගැබ් නො වන ඉතා වැදගත් කරුණක් තියෙනවා. අපි හැමෝ ම මේ ගැන කණගාටු වෙනවා. ඒ වුණාට කිසිවක් කරනවා ද? අපේ උද්ඝෝෂණ ප්‍ර‍මුඛතා ලැයිස්තුවේ කවදද කසල කළමනාකරණය තිබුණෙ? තිබුණා නම් තිබුණෙ අපේ ගෙවල් පැත්තට කුණු දාන එක නවත්වා ගැනීම විතරයි. අපේ ගෙවල් පැත්තට නො දා වෙන කොහෙට කුණු ගිහින් දැම්මත් අපට මොක ද?

ලංකාවේ පාසල්වල අනෙක් හැම දේම උගන්නනවා, ශිෂ්ට මිනිසෙකු ලෙස ජීවත් වන ආකාරය හැර. ඒවා පෙළ පොත්වලට, විෂයමාලාවලට ඇතුළත් කිරීම අනිවාර්ය නැහැ. ඒවා ගුරුවරුන්ට උගන්වන්නට පුළුවන් දේ. එහෙත්, විභාගවලට ළමයින් හුරු කිරීම මූලික වූ අධ්‍යාපන ක්‍ර‍මයක් තුළ ජීවිතයට ළමයින් හුරු කිරීමට කාලයක් ගුරුවරුන්ට නැහැ. මුදල් ඉපැයීම පරම අරමුණ වූ ලෝකයක ජීවිතය ගැන නැවතී හිතා බලන්නටවත් මිනිසුන්ට වෙලාවක් නැති ලෝකයකයි, ගුරුවරුනුත් ජීවත් වෙන්නේ. 

පාසල්වල විදුහල්පතිවරුන් හා ටියුෂන් ගුරුවරුන් කියන්නේ මේ වන විට රටේ සිටින ප්‍ර‍ධාන ම පෙළේ පරිසර සංහාරකයන් පිරිසක්. පාසල් ඉදිරිපිට ප්‍ර‍දර්ශනය කරන ඩිජිටල් බැනර් තඩිවලට මොකක්ද වෙන්නෙ? ඔවුන් ඒවා බැහැර කරනවා ද? නැහැ. පාසල්වල කසල කළමනාකරණය සඳහා ක්‍ර‍මවේද සකසනවා වෙනුවට ඔවුන් කරන්නේ ළමයින්ට පොලිතින් ගෙන ඒම තහනම් කිරීම වැනි දේ විතරයි. හැබැයි ඉතින් ලංකාව වගේ වල් බූරු නිදහසක් තිබෙන රටක තහනම් කිරීමත් නරක ම නැහැ.

පාසල් ඇරෙන වෙලාවට පාසල් බසයක් පසුපස ගියොත් බලාගන්නට පුළුවන් ඒවායින් පිටට වැටෙන පොලිතින් දවටන සංඛ්‍යාව. විවිධ දවටන, වතුර බෝතල් ආදිය වාහනවලින් පිටත පාරට විසි කර දමන එක ලංකාවේ ඉතා සාමාන්‍ය ක්‍රියාවක්.

පසුගිය දිනෙක මාර්ග සංවර්ධන අධිකාරියෙන් අපේ නිරතුරු සිල් සුවඳ පැතිරෙන, සුන්දර, මනස්කාන්ත, පිටිසර ගම මැදින් යන ප්‍ර‍ධාන පාරේ දෙපැත්තේ තණකොළ කැපුවා. උසට වැඩුණු තණ ගස් කැපෙනකොට යටින් මතු වෙන්නේ පොලිතින් බෑග්, ප්ලාස්ටික් බෝතල් ආදියයි. මේවා කිසිම දවසක, කවුරුවත් ඒ තැන්වලින් ඉවත් කරන්නේ නැහැ. සුළඟ, වැස්ස විසින් මුහුදට ගෙන ගොස් දැමුවොත් මිස ඒවාට කිසි දෙයක් සිදු වන්නේ නැහැ. උදැල්ලකින් පොළව පාරක් ගැහුවාම අපට හසු වන්නේ ප්ලාස්ටික්, පොලිතින්. නගර සීමාවලින් බැහැර කසල එකතු කිරීමේ කිසිම ක්‍ර‍මයක් ලංකාවේ නැහැ. මහජන මුදලින් කරන කසල කළමනාකරණයෙන් ආවරණය වන්නේ රටේ මුළු භූමියෙන් සුළු ප්‍ර‍තිශතයක් පමණයි. ගම්වල දිරාපත් නො වන කසල කළමනාකරණය දැන් බරපතල ප්‍ර‍ශ්නයක් වෙලා. සියලු ජල මාර්ග හා ඉවුරුවල ප්ලාස්ටික්, පොලිතින් ගොඩගැහිලා. සුන්දර ස්ථාන කිසිවක් මේ උවදුරින් බේරිලා නැහැ. දීප ව්‍යාප්ත විධිමත් කසල කළමනාකරණ ක්‍ර‍මවේදයක් ලංකාවට අත්‍යවශ්‍යයි. හදිසියි. සංචාරක කර්මාන්තය සංවර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනවා නම් රජය මේ කෙරෙහි වහා අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි.

මේ පිංතූරයේ තිබෙනවා වගේ කසල මලු පාරට විසි කිරීම ලංකාවේ හැම තැනම සුලබ ක්‍රියාවක්. ජෝන් පර්කින්ස් ලියූ Confessions of an Economic Hit Man නම් පොතේ සඳහන් වන ආකාරයට ඉස්සර කාලේ සවුදි අරාබියේ ප්‍ර‍ධාන නගරවලට එළුවන් අත්‍යවශ්‍ය වුණාලු. ඒ කසල ශෝධනය සඳහා. ඒත්, අපේ රටේ දැන් එළුවෙකුට, හරකෙකුට අවේලාවක වැඩි වෙලාවක් පාරේ යන්නට පුළුවන් වාතාවරණයක් නැහැ. අයාලේ යන හරකුන්, එළුවන් පහුවෙනිදා ඉන්නෙ මස් කඩේ කොක්කේ.

හැබැයි, අයාලේ යන මිනිසුන් පිරිසක් නම් පළාත් පාලන ආයතනවල මැම්බර්ලා වෙලා හිටියා. පළාත් පාලන ආයතනවලින් කරන ලද එකම වැදගත් වැඩේ වුණේ කුණු අදින එකයි. ඒකත්, හරියට කෙරුණෙ නැහැ. පළාත් පාලන මැම්බර්ලා නැතුව පවා තවමත් ඒ මට්ටමෙන් ඒ වැඩේ කෙරෙනවා. මේ මෑතදී වෙබ් මාධ්‍යවේදීන් එක්ක තිබුණු සාකච්ඡාවකදී මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය අපූරු කතාවක් කිව්වා. ඔහු කියන පරිදි දෙවියන් හැම දෙයක් ම දන්නවා. හැබැයි දෙවියනුත් නො දන්නා කාරණය වන්නේ පළාත් පාලන මැතිවරණය පවත්වන දිනයයි. කසල කළමනාකරණය කරන එකට පළාත් පාලන ආයතන ම ඕනැ නැහැ. ඇත්තෙන් ම රජය කුණු අදින වැඩේ කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් පෞද්ගලික අංශය සහභාගි කර ගන්නට පුළුවන්. හැබැයි ඉතින් අන්තරෙනුයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයෙනුයි, වාමාංශික බුවාලාගෙනුයි අහලා ඉන්න වෙයි. මොකද, කුණු ඇදීම පෞද්ගලීකරණය කරන එක ගැන ඇරිස්ටෝටල්, මාක්ස්, ලකාන්, ජිජැක්, බදියු එහෙම මොනවා කියලා තියෙනවද කියලා ඒගොල්ලන්නේ දන්නෙ. අනෙක් පාර කියයි කසල කළමනාකරණය වගේ මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය අංග වෙළඳපොළකරණය කරන එක අපරාධයක් ය කියලා.

හැබැයි ඉතින් කසල කියන්නේ ධනයයි. පොලිතින්, ප්ලාස්ටික් කියන්නේ කසල බැහැර කිරීමේදී මුහුණ දෙන ප්‍ර‍ධාන අභියෝගයයි. එහෙත්, ඒවා‍ ආරක්ෂිත පරිසරයක පූර්ණ ලෙස දහනය කිරීමෙන් බලශක්තිය නිපදවන්නට හෝ පුළුවන්. එහෙත්, සිදු වන්නේ ඒවා නිකම් තැන තැන ගොඩගැසීම පමණයි. පොලිතින්, ප්ලාස්ටික් බැහැර කරන්නට කිසිම විධිමත් ක්‍ර‍මයක් නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් කියන්නේ බොරු. ඉඳහිට අප්‍ර‍සිද්ධියේ නගරවල පවත්වන ප්ලාස්ටික්, පොලිතින් එකතු කිරීමේ සංදර්ශන හැර වෙනත් විධිමත් බැහැර කිරීමේ ක්‍ර‍මයක් නැහැ.

හැබැයි, කිසිදු අරපරිස්සමකින් තොරව ප්ලාස්ටික්, පොලිතින් පරිසරයට මුදා හරිනවා. මුදලාලිලා, සුපර් මාකට්වල ගෑල්ලමයි එහෙම ආදරේ පළ කරන්නෙත් බඩු වැඩිපුර පොලිතින් කවරවල දාලා දීලායි. කවර එපා කිව්වොත් එගොල්ලන්ට පුදුමයි. ගෙදරින් බෑග් අරගෙන එන අය ඒගොල්ලන්ට කරදරයක් වගේ. ඉවක් බවක් නැතිව පොලිතින්, ප්ලාස්ටික් බෙදා හරින කඩවල, සුපර් මාකට්වලට දිරාපත් නොවන අපද්‍ර‍ව්‍ය කළමනාකරණය වෙනුවෙන් බද්දක් පැනවිය යුතුයි. එම අපද්‍ර‍ව්‍ය ආපසු ලබා ගෙන විධිමත් අන්දමින් බැහැර කරන අයට බදු සහන ලබා දිය යුතුයි. දිරාපත් නො වන අපද්‍ර‍ව්‍ය කළමනාකරණය වෙනුවෙන් වන බදු පළාත් පාලන ආයතන විසින් මනා ලෙස භාවිතා කළ යුතුයි.

ඒ වගේම තමයි, ඵලදායී, අත්‍යවශ්‍ය සේවාවක් කරන කම්කරු පිරිසක් වන සනීපාරක්ෂක කම්කරුවන්ට ඉහළ වැටුප් ගෙවීම වෙනුවෙන් සෙසු වැඩ කරන ජනයාත් පෙනී සිටිය යුතුයි. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාවත් ඉතා වැදගත්. බලන්න, කොළඹ නගරයේ පවා පිළිකුල් සහගත කුණු ලොරිවල පිටුපස එල්ලී මේ මිනිසුන් කරන අවදානම් සහගත රැකියාවේ ස්වභාවය. රක්ෂණාවරණ, නොමිලේ වෛද්‍ය පහසුකම්, අවදානම් දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස විතරක් නෙමෙයි, තීරුබදු රහිතව යතුරුපැදියක්වත් ආනයනය කර ගැනීමේ වරප්‍ර‍සාදය හෝ ඔවුන්ට ලබා දිය යුතුයි.

හැබැයි ඉතින් 2020 වෙනකොට මේ ඔක්කොම නියමෙට වෙයි කියලා සිරාවටම බලාපොරොත්තු තියන්නට පුළුවන්. මොකද, ලංකාවෙ පරිසර ඇමති සිරා පොරක් නේ.

මම නම් කියන්නේ අපේ පැත්තෙන් කරන්නට පුළුවන් දේ හරි කරන්නට අප උත්සාහ කළ යුතුයි. පර්චස් දහයෙ ඉඩම් කෑල්ලක වුණත් කුණු වලක් කපා ගන්නට බැරිකමක් නැහැ උවමනාව තිබෙනවා නම්. ඒ වගේම, පොලිතින්, ප්ලාස්ටික් භාවිතයත් අපට අවම කරන්නට පුළුවන්. අඩු ගානෙ පාරට විසි නො කර, වත්තේ කොණක ගිනි තබා පිළිකාකාරක සමස්ත සමාජය ම එක්ක බෙදා ගන්නත් පුළුවන්. පස්සෙ බැරියැ පිළිකා කුමන්ත්‍ර‍ණය ගැන බටහිරට බනින්න. ඔය වෙසක්, පොසොන්, ඇසළ, නිකිණිවලට දන්සැල් ෆන් ගන්න සමාජවලට පුළුවන් ඕනැ නම් බෞද්ධ කොඩි, සිංහ කොඩි දාගෙන, සෙටප්වල දේශාභිමානී ගීත දාගෙන ප්ලාස්ටික්, පොලිතින්වලින් පරිසරය සුද්ද කරන්න. 

මං ලිව්වා මදැයි. ඉතුරු ටික ඔබට.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

20 comments:

  1. පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය සීමා කිරීම නොවෙයි ප්‍රශ්නෙට විෂඳුම.
    පොලිතීන්, ප්ලාස්ටික් එදිනෙදා ජන ජීවිතයට අත්‍යාවශ්‍ය වෙලා. විශේෂයෙන් ආහාර ව්ල පිරිසිදුභාවය සඳහා.
    කල යුත්තේ ක්‍රමවත් කසල කලමණාකරනයයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. පොලිතින් එන්න කලින් බස්වල නිතර තිබුණු වලියක් මතක් වුණා. හබරල කොළේ මාළු ඔතාගෙන බස් එකට නගින මගියෙකු නිසා තව කෙනෙකුගේ ඇඟේ මාළු ලේ ගෑවුණාමයි ඒ වලි.

      පොලිතින් විරෝධයත් ඔය මාකට් විරෝධය වගේ අන්තවාදයක්.

      Delete
  2. රසික සූරියආරච්චි පහත දැක්වෙන අදහස පළ කළා. ඔහු දකින විධියට මේ තත්වයට හේතු දෙකයි: එකක් අධ්‍යාපනයේ වැරැද්ද, ......දන්නා පුක

    ReplyDelete
    Replies
    1. මම පුක ගැන දනිමි. එයින් මලපහ කරමි.

      ඔබට පුකක් නොමැති නිසා දෝ මුවෙන් අදාල කාර්යය කරන බව පෙනේ!

      ʘ‿ʘ


      Delete
    2. මම පුක ගැන දනිමි. එයින් මලපහ කරමි. ඉන්පසුව වැසිකිලි කොලෙන් පුක පිසදා ගනිමි

      Delete
  3. ලංකාව කියන්නේ අශිෂ්ඨත්වය රජයන රටක්. ඒවගේ රටක ගුරුවරුන්ට ළමයින් වෙත කරන්න පුළුවන් ලොකුම හානිය තමයි ඹවුන් ශිෂ්ඨ සම්පන්න මිනිසුන් කිරීම.

    ReplyDelete
    Replies
    1. contd.

      උදා- තමන්ගේ රස්සාව හරියට කරපු විගණන නිළධාරියෙක් වෙච්ච ලලිත් අඹන්වලට ඇසිඩ් වැදෙනවා මූන නැති වෙන්නම. මහබැංකු හොරාකාපු උන් ෂේප් වෙද්දී හොරකම එළිකරපු නිළධාරීන්ට තොණ්ඩුව වැටෙන්වා. සරත් අඹේපිටියට ගේම හම්බුණ හැටි කොහොමද? ලංකාව පට්ට රටක්.

      Delete
  4. අධිරාජ්‍යවාදී ඇමරිකාවේ මෙහෙමයි වෙන්නේ.
    http://www.montgomerycountymd.gov/bag/

    ReplyDelete
  5. සුපර්මාකට් සහ අනෙකුත් කඩවලට පොලිතින් බෑග් එකක් නිකුත් කිරීමේදි පැන්ස පහක් අයකිරීමේ ක්‍රමයක් ගෙනාවා. ඒ තුලින් සෑහෙන්න සිලි සිලි බෑග්ස් භාවිතය අඩුවුනා. සීයට අනූවක් විතර දැන් තමන්ගෙම බෑග්ස් අරන් ශොපින්ග් යනවා.

    කොළඹ කුණු කොලොන්නාවට එපා...කොලොන්නාවේ කුණු ඒකලට එපා....මොකක්ද විසඳුම....

    ReplyDelete
  6. කුණු බරපතල ප්‍රශ්නයකි.

    ReplyDelete
  7. ඒ දවස්වල තමන්ගෙ පශ්චාත් භාගය රජාට පරිත්‍යාග කර ගමට යන පාරට "පැරකුම් ජයසිංහ මාවත" යයි බෝඩ් එකක් දාගත්තනං නරකද? .. කාපටුත් කරල එහෙම.

    ReplyDelete
  8. අප්පට සිරි. පැරා පුකත් දෙනවද?

    ReplyDelete
  9. මා කුඩා කාලයේ ගමේ ඉන්නා විට අජිත් කියා ඇති පරිදි කුණුවලක් මගින් කුණු කලමනාකරණය ඉඝෙන ගත්තෙමි.

    නමුත් නගරයට ආ පසු එය තව දුරටත් කරන්නට නොහැකි විය.

    මේ ඒ ගැන කතාවයි.
    https://rasikalogy.blogspot.com/2015/06/latter-day-litter-later.html

    ReplyDelete
  10. අපේ දෙමව්පියන්ගෙනුත්, පාසලෙනුත් අප උගත්තේ කුණු බැහැර කර හැකි පරිදි පුළුස්සා දැමීමයි.

    නාගරික කුණු කළමනාකරණය ගැන මා අත්දැකීම් ලැබුවේ ඕස්ටේ‍රලියාවට සංක්‍රමණය කළ පසුවයි.

    https://rasikalogy.blogspot.com/2015/06/blog-post.html

    ඒ ඕස්ටේ‍රලියානු කුණු රෙජීමය නිසා හොඳ ළමුන් බිහිවෙන ආකාරය ගැන කතාවයි!

    ReplyDelete
  11. සියල්ල පටන් ගන්නේ නිවසෙනි.

    මේ කුණු කතා දෙක කියවන්න.
    https://rasikalogy.blogspot.com/2015/06/local-rubbish.html

    ලෝකල් ඒවා ය. ෆොරීන් කුණු නොවේ!

    ReplyDelete
  12. "අන්තරෙනුයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයෙනුයි, වාමාංශික බුවාලාගෙනුයි අහලා ඉන්න වෙයි. මොකද, කුණු ඇදීම පෞද්ගලීකරණය කරන එක ගැන ඇරිස්ටෝටල්, මාක්ස්, ලකාන්, ජිජැක්, බදියු එහෙම මොනවා කියලා තියෙනවද කියලා ඒගොල්ලන්නේ දන්නෙ. අනෙක් පාර කියයි කසල කළමනාකරණය වගේ මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය අංග වෙළඳපොළකරණය කරන එක අපරාධයක් ය කියලා."" ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාවත් ඉතා වැදගත්. බලන්න, කොළඹ නගරයේ පවා පිළිකුල් සහගත කුණු ලොරිවල පිටුපස එල්ලී මේ මිනිසුන් කරන අවදානම් සහගත රැකියාවේ ස්වභාවය. රක්ෂණාවරණ, නොමිලේ වෛද්‍ය පහසුකම්, අවදානම් දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස විතරක් නෙමෙයි, තීරුබදු රහිතව යතුරුපැදියක්වත් ආනයනය කර ගැනීමේ වරප්‍ර‍සාදය හෝ ඔවුන්ට ලබා දිය යුතුයි."

    A very informative article that nobody should miss!Full of humour too!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.