2017-02-06

ජනප්‍රිය ගෝලීයකරණ විරෝධයේ මිථ්‍යාව හා විමුක්ති ජයසුන්දරගේ හත්ත

විමුක්ති ජයසුන්දරගේ චත්‍රක් (බිම්මල / හත්ත) අගනා චිත්‍රපටයකි. එය කතාවක් ලෙස කදිමට ගොඩනගා තිබේ. එහි සෞන්දර්යාත්මක සියුම් තැන් එමට ය. ඒවා රසබර ය. වෙන වෙන ම කතා කරන්නට බොහෝ දේ එහි තිබේ. චත්‍රක් සිනමාත්මක අතින් ද උසස් ය.

චත්‍රක් චිත්‍රපටයේ වස්තු විෂය වන්නේ සංවර්ධනයයි. සංවර්ධනය හේතුවෙන් ජීවිතයෙන් අවතැන් වන ජනයාගේ පරාරෝපණයේ කතාව එහි කදිමට නිරූපණය කර තිබේ.

ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ද වර්තමානයේ එක්තරා ජනප්‍රිය හා ප්‍රබුද්ධ විලාසිතාවකි. චත්‍රක් චිත්‍රපටයේ මුල් අර්ධය තුළ නිරූපණය වන සුදු සමැති දේශ සීමාරක්ෂක සෙබළා එවැනි අධි යථාර්ථවාදී රංගනයකි. එය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන නාගරික ජීවිතයෙන් පළා ගොස් වනගත ජීවිතයක් ගෙවන මානසික රෝගියාගේ මනසේ නිර්මිත භ්‍රාන්තියක් විය හැකි ය. එහෙත්, අධි යථාර්ථවාදය කලාත්මක වන්නේ කතා සංදර්භය තුළින් නිරායාසයෙන් පැන නැගි විටයි. එවැනි අවස්ථාවකට උදාහරණයක් ද චිත්‍රපටයේ අවසානයේ තිබේ. ඒ ගොඩනැගිල්ලේ ඉහළ සිට පහළට වැටී මිය ගිය ගෘහ නිර්මාන ශිල්පියා ඔහුගේ සේවකයා කියන කතාවක් අසා ‘බොරුකාරයා' යි කියන ජවනිකාව තුළයි. මෙම අවසානය දුටු මට මජීඩ් මජිඩිගේ කලර් ඔෆ් පැරඩයිස් චිත්‍රපටයේ අවසන් රූප රාමුව සිහිපත් විය. එහි ගඟේ ගිලී ගිය අන්ධ දරුවාගේ අතට රන් පැහැ එළියක් වැටෙන හා එය චලනය වනවා සේ පෙනෙන දර්ශනය වැනි ප්‍රබල අවසානයක් චත්‍රක් චිත්‍රපටයේ ද තිබේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ගෘහ නිර්මාන ශිල්පියා වනයේ ප්‍රාථමික ගෙයක් හැදීමට කණු ඉන්දන, ඒ කණු කඩා වැටෙන අපූරු සිහිනයක් ද චිත්‍රපටයේ අඩංගු වේ. 

චත්‍රක් චිත්‍රපටය සොබාදහම, ගැමි දිවිය හා පැරණි නගර මත සංවර්ධනය ක්‍රියාත්මක වන කෘර, අධිවේගී ස්වභාවය ඉතා මැනැවින් චිත්‍රණය කරන චිත්‍රපටයකි. ගැමියන්ගේ ගොවිබිම් කර්මාන්ත කලාපයක් ඉදි කිරීමට යයි බොරු කියා පවරාගෙන එහි නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. ගොවි බිම් අහිමි වූ ගැමියන් බලාපොරොත්තු වන රැකියා එයින් උත්පාදනය වන්නේ නැත. ඔවුන්ට ලැබී තිබෙන්නේ ඉදි කිරීම් ව්‍යාපෘතියෙහි අනාරක්ෂිත, අනතුරුදායක කුලී රැකියා හා ගැහැනුන්ට අනාගතයේ ලැබෙන ගෘහ සේවිකා රැකියා පිළිබඳ වැඩකට නැති බලාපොරොත්තුවක් පමණි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ගෘහ නිර්මාන ශිල්පියා හා ඔහුගේ බිරිය ජීවත් වන පැරණි නගරය ද අතීතයේ නතර වී තිබේ. පැරණි නාගරිකයන්ගේ ගරා වැටුණු ගොඩනැගිලි, දූවිල්ල, කසල, දරිද්‍රතාව, කාලකණ්ණිකම, ආගමික උන්මාදයන් හා උතුරා යන ජනගහණය මතින් නව අගනගර ඉදි වෙමින් තිබේ.

සමස්තයක් ලෙස මිනිස් කසලින් පිරුණු දරිද්‍රතාවේ මහා සාගර මැදින් සමෘද්ධියේ දූපත් මතු වෙමින් තිබේ. කොංක්‍රීට් සහ යකඩවලින් පෙට්ටි හා කූඩු ඉදි වෙමින් තිබේ. එහෙත්, ඒ කා වෙනුවෙන් ද?

මේ ප්‍රශ්නය කොළඹදී ද මතු වේ. කොළඹ නගරයේ හැම තැන ම ඉදි වෙමින් තිබෙන කෝටි ගණන් වටිනා කොන්ඩොමිනියම් වාසස්ථාන පද්ධති කා වෙනුවෙන් ද? කොළඹ නගරයේ වැඩ කරන සාමාන්‍ය මධ්‍යම පංතිකයන්ට ඒවා මිළ දී ගැනීමේ හැකියාව නැත. ඒවා හිමි කර ගන්නේ කවුරු ද? නගරයේ උපන්, එහි ජීවත් වන හා වැඩ කරන ජනයාට අයිති නො වන සංවර්ධනයේ අරුත කුමක් ද?

එහෙත්, ඉහත කී ආකාරයේ වාසස්ථාන හිමි කර ගන්නා සමාජ ස්ථරයක් ද තිබේ. ඔවුන් කවුරු ද? පිට සක්වළින් පැමිණි පිරිසක් ද?

චත්‍රක් චිත්‍රපටයෙහි හරය තරමක් දුරට ව්‍යාජ වන්නේ මෙතැනදී ය. එමගින් ප්‍රවර්ධනය වන්නේ සමස්ත කතාවේ එක් පාර්ශ්වයක් පමණි. එම පාර්ශ්වය වනාහි රාජ්‍ය නොවන සංවිධාන ගෝලීයකරණ විරෝධයේ සීමාව තුළ හිරවුණු, සංවර්ධනය පිළිබඳ නොගැඹුරු, ජනප්‍රිය මිථ්‍යාවක් බව මගේ අදහසයි.

එය පීඩිතයන්ගේ නො දන්නාකමේ සීමාව තුළ සිරගත වේ. පීඩිතයන් දන්නා දේ පමණක් ඔවුන්ට කියා දී, නව ඥානයකින් ඔවුන් පෝෂණය නො කර, ජීවිතයේ කාලකණ්ණිකම ගැන කලකිරීමක් පමණක් ඉතිරි කර අවසන් වේ.

නවීන සංවර්ධනය යනු පිටසක්වළ ජීවීන් පිරිසක් වෙනුවෙන් සිදු වන්නක් නො වේ. පහළ පංතික ජනයා දිව විකාගෙන එම ජීවිතය අත්පත් කර ගන්නට කරන අරගලයක් ද මේ කතාව තුළ තිබේ. අධ්‍යක්ෂවරයා සිතා මතා එම කතාව මග හරියි. ඒ ඔස්සේ ඔහු පීඩිත පංතික ජනයා ගතානුගතික වාමාංශිකයන්ගේ පැසසුමට ලක් විය හැකි විදියේ භාවාතිශකරණයකට ලක් කරයි.

එය පීඩිත පංති කෙරෙහි ගතානුගතික වාමාංශිකයන්ගේ ඊනියා රොමැන්තික් අනුකම්පාව සමග කදිමට පෑහේ. එහෙත්, එය දේශපාලනිකව අමු ම අමු ව්‍යාජයකි.

පීඩිතයන් යනු ඉසුරු සොයා සංවර්ධිත රටවලට යන්නට ගොස්, සංවර්ධිත ජාතීන්ගේ ජාතිවාදය නිසා එය කර ගන්නට බැරි වූ විට පිස්සු වට්ටා ගන්නා තරම් අහිංසක, අසරණයෝ පිරිසක් නො වෙති. එසේම, පරිසර අන්තවාදීන් හා සංවර්ධන විරෝධී අන්තවාදීන් පතන ආකාරයට උත්කර්ෂයට නගන ලද ෆැන්ටසික පැරණි ගමට ආපසු යාමේ හෝ වනගත වීමේ අතීතකාමී කාංසාවක් ද පීඩිතයන්ට නැත. ඔවුන් වනාහි සංවර්ධනය හා ධනවාදය තුළ ජීවිතය සමග පොර බදන, අරගලකාරී ජනතාවක් මිස ජීවිතය අතහැර දැමූ අසරණයන් පිරිසක් නො වේ. 

පීඩිතයන්ගේ ජීවිත ද ඇත්තේ චලනයක ය. ලංකාවේ උදාහරණයකින් ගත්තොත්, මැද පෙරදිග ගොස් හෝ කුඩු විකුණා හෝ කුලියට මිනී මරා හෝ උපයා ගත් මුදලින් කොළඹ පැල්පත් නිවාසවල සිදු වී තිබෙන විපර්යාසය නිරීක්ෂණය කරන්න. ඇත්ත ජීවිතය න්‍යායික රාමුවලින් දකින ලෝකයට වඩා හාත්පසින් ම වෙනස් ය.

චත්‍රක් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය කොළඹ තරංගනී සිනමා ශාලාවේ පෙන්වද්දී එය බලන්නට පැමිණි ආරාධිත ජනයා කවුරු ද? ඔවුන් කොළඹ සිදු වන සංවර්ධනය නිසා අවතැන් වූ පීඩිතයෝ ද? නැතිනම් කොළඹ සංවර්ධනය අත්පත් කර ගන්නට පිටසක්වළින් පැමිණි ජීවීන් පිරිසක් ද? නැත. ඒත් මිනිස්සු ය. ඔවුන්ගේ ජීවිත සමස්ත කතාව තුළ නිශ්චිත තැනක තිබේ. එවැන්නක් නැතැයි කියා හැසිරීම ප්‍රෝඩාවකි. නාගරීකරණය තුළ මිනිස් ජීවිතවල කතාව සංවර්ධනය පිළිබඳ ජනප්‍රිය මිථ්‍යාවන්ට වඩා සංකීර්ණ ය.

2011දී නිෂ්පාදිත චත්‍රක් යනු ලාංකික සිනමාකරුවකු වන විමුක්ති ජයසුන්දර විසින් නිර්මානය කරන ලද, ජාත්‍යන්තරව ප්‍රදර්ශනය කරන ලද, බෙංගාලි චිත්‍රපටයකි. දූපත්වාසී මනස් ඇති ලාංකික කලාකරුවන්ට විමුක්ති ආදර්ශයකි. 

මේ චිත්‍රපටය පෙබරවාරි 24දා රාත්‍රියේ දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය කරන බව අසන්නට ලැබිණි. හතර වටෙන් එක එක දැන්වීම් කෑලි මතු වන රූපවාහිනී තිරයක එවැනි උසස්, කලාත්මක චිත්‍රපටයක් බලන්නට සිදු වන කාලකණ්ණිකම ගැන ඔබ සිතන්නේ කුමක් ද?   



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

14 comments:

  1. අපි මෙහෙමවත් බලමු.

    https://isohunt.to/torrent_details/12089724/Chatrak-Mushroom-2011-Bangla-Movie-1CD-DVDRip-Non-Retail-x264-AAC-raJonbOy

    ReplyDelete
    Replies
    1. මේකෙන් ගිහින් ෆිල්ම් එක බලන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? අරව මේවා ඩවුන්ලෝඩ් කරන්න කියනවා මිසක් ෆිල්ම් එකක් පෙන්නන්නේ නෑනේ.. සක්..

      Delete
    2. oka torrent eka , torrent client ekak use karala ( uTorrent wage ) oka download karanna puluwan

      Delete
    3. /////කමියො....මෙතනට ගිහින් බලන්න. එතන ෆිල්ම් එක තියෙනවා./////

      OOPS, THIS CONTENT IS NOT AVAILABLE IN YOUR COUNTRY :(

      Delete
    4. අයියෝ සොරි. මම බැලුවෙ එතනින්.

      Delete
    5. මම ඊයෙ මේ ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරල තමයි බැලුවෙ කොලිටි එක නම් එච්චර හොඳ නැහැ. ඒත් බලන්න පුලුවන්. ටොරාන්ට් ඩව්න්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර් එකකින් ඩව්න්ලෝඩ් කරගන්න. මම ඩව්න්ලෝඩ් කරගත්තෙ Deluge සොෆ්ට්වෙයා එකෙන්.

      Delete
  2. *හතර වටෙන් එක එක දැන්වීම් කෑලි මතු වන රූපවාහිනී තිරයක එවැනි උසස්, කලාත්මක චිත්‍රපටයක් බලන්නට සිදු වන කාලකණ්ණිකම ගැන ඔබ සිතන්නේ කුමක් ද?*

    පැරා,
    මේ ප්‍රශ්නය හැම නාළිකාවකම තියෙනව. අඩුම ගානේ ten cricket නාළිකාවේ ක්‍රිකට් තරගයක් වත් බලන්න බෑ. එකම දැන්වීම බලලම එපා වෙනව.


    මං නම් ඉස්සරම රූපවාහිනියෙන් තමයි චිත්‍රපට බැලුවෙ. අවුරුදු ගානකින් බැලුවෙ නෑ ඒ විදියට.

    අයි.ටී.එන් එකේ චිත්‍රපටිය ඉවර වෙන්න විනාඩි 15ක් විතර තියල දානව මහ රෑ 12ට ප්‍රවෘත්ති. ඔන්න ආතල් වැඩ.

    ReplyDelete
  3. බිම්මල කුඩයක් වගේ නිසා චත්‍රක්?

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ චිත්‍රපටියේ ඇත්ත වශයෙන් ම ලිවිය යුත්තේ " ඡත්‍රක් " කියල යි.

      Delete
    2. sorry,..... මේ චිත්‍රපටියේ නම

      Delete
  4. පැරා,

    බලපන් මචං අද පොඩි වැඩකට අපේ office එකේ හතරදෙනෙක් එක්ක උදේම නුවර ගිහින් දවල් එන ගමන් කන්න වරකපොළ හරියෙ තිබුණු ලොකුවට පෙනුම තිබුණු joint එකක කන්න නැවැත්තුව.

    අනේ බන් ඇතුලට ගියාම customers ල කීපදෙනෙක් ඇර ඉතිරියෙ මැස්සෝ ඇහිරෙනවා. මචං අපේ ඩ්‍රයිවරයා එක විදියක පොරක්. ඌ teaching ඉඳල pension එක හදාගෙන දැන් අපි ගාව driving.මම වගේම ඌත් බ්ලොග් බලනව.

    හෝටලේ ඇතුලට ගිහිං වටපිට බලල එක පාරටම මහ හයියෙන් කිව්වේ නැතැයි "බලන්නකො සර්, හරියට පැරාගේ W3lanka වගේනෙ කියල.

    මට මචං පොලව පලාගෙන යන්න හිතුන. අපේ අනික් සෙට් එක කෑමට පෙර ගානට මගදී සෙට් වෙලා තිබුණු නිසා උන්ට meter වුනේ නැහැ.

    පොඩ්ඩක් මේ ගැන හිතපන් පැරා.

    ReplyDelete
    Replies
    1. ඉතුරු කෑල්ල අමතක උනා. මචං එතන කෑම අන්තිමයි. කාල එලියට එද්දී ඩ්‍රයිවරය ආයි කියාපි.

      “මං කිව්වේ සර්, හරියට පැරාගේ W3lanka වගේමනෙ මෙලෝ රහක් නෑ” කියල.

      පොඩ්ඩක් මේ ගැන හිතපන් පැරා.

      Delete
    2. උඹේ උපමා කතාව හරි දුර්වලයි බං. ඕකෙන් කියවෙන්නෙ දැන් හැමෝම මං ලියන ඒවා ගැන දන්නවයි කියන එක නේ. ඉස්සර කට්ටිය කිව්වෙ ඔහොම නෙමෙයි. කවුද උඹේ බ්ලොග් කඩමාල්ල කියවන්නෙ කියලයි.

      කාලය මැවු වෙනසක අරුමේ.

      ඒ ගමන් මේකත් කියන්නම්. අවුරුදු දහයක් අපි අල්ලන් හිටියෙ ඇයි කියලා තේරුම් ගනින්. දැන් කට්ටියට අලුතෙන් දේවල් පටන් අරගන්න වුණත් පුළුවන් අපි කට්ට කාගෙන මේ අවකාශයේ දේශපාලනය කළ නිසායි.

      අප ලියන දේවල් වැඩක් ම නැහැ කියලා බැහැර කළත්, අප මෙතන රැඳී නො සිටියා නම් සමාජ මාධ්‍ය අවකාශයේ මොනවා තිබෙන්න පුළුවන් ද කියලා හිතා බලන්න.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.