2017-02-02

උසස් අධ්‍යාපනය ඉගැන්වීම සහ ඉගෙන ගැනීම


අපි සව්දිය පුරමු වෙබ් පිටුවෙහි 2016 අගෝස්තු 7දා පළ වූ ලිපියකි. 

ලංකාවේ උසස් අධ්‍යාපනයේ ඉදිරි ගමන ගැන සංවාදය ආයෙත් ඉදිරියට ඇවිත්. ‘යමු’ කණ්ඩායමේ චන්දන ප්‍රසන්න, නිදහස් හෙවත් නොමිලේ අධ්‍යාපනය ලබා දීමට එරෙහි කඳවුරේ තර්ක ඉතා ම තදින් ‘දැනෙන්න’ ඉදිරිපත් කරලා තියෙනවා. සුපුරැදු පරිදි ඊට එරෙහි ප්‍රතිචාර වැඩියෙන් ම එල්ල වෙන්නේ පුද්ගලික අපහාස හැටියට. මේ අපහාස සහ බැණ වැදීම් පෙන්නුම් කරන වැදගත් ම දේ ‘නොමිලේ’ දෙන උසස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින බොහෝ අයට, ඒ පැත්තට තිබිය හැකි තර්ක හෝ ඒවාට එන සැබෑ විරෝධතා ගැන ඇති දැවැන්ත නො වැටහීම. හරියට ම නම් සයිටම් ආයතනයේ අර්බුදය සහ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ රැල්ල අපේ උසස් අධ්‍යාපනයේ ඇති සැබෑ ප්‍රශ්න තීරණාත්මක විදිහට එළියට දාලා තියෙනවා. නමුත් ඇත්තට ම ප්‍රශ්නය මොකක්ද කියලා හඳුනා ගන්නවට වඩා අන්තවාදී කඳවුරැ දෙකක් අතර ගිනි ඇවිලෙන තරගයක් විදිහටයි අද අධ්‍යාපනය පිළිබඳ මේ සංවාදය පවතින්නේ. ජයග්‍රහණය වෙනුවෙන් යම් යම් සැබෑ තොරතුරු යටපත් කිරීම, නො තකා හැරීම වගේ ම, විකෘති කිරීමත් දෙපැත්තෙන් ම කෙරෙනවා. ප්‍රශ්නයක් දැනෙන විදිහට එළියට ගේන්න නිතර ම අන්තවාදය හොඳ විදිහක් වුණත්, උසස් අධ්‍යාපනය ගැන හැකිතාක් එකඟ විය හැකි, දේශීය සහ ලෝක තත්ව යටතේ කෙරෙන සරල හෝ සමාලෝචනයකුත් තිබීම වැදගත්. රාජ්‍යය සහ අධ්‍යාපනයේ පතුළ තියෙන්නේ සංකීර්ණ පදනම්වල වුණත්, මේ දැනට පවතින ප්‍රශ්නෙට සාපේක්ෂ උත්තරයක් පිළිබඳ යෝජනාවක්.

එතන දි පළමුවෙන් ම පිළිගත යුතු දේ ලංකාවේ උසස් අධ්‍යාපනය දැනට පවතින ස්වරූපයෙන් ම දිගට ම පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙන අය සහ ඒ සඳහා පෙනී සිටින අය මේ සංවාදයේ සිටින දුර්වල ම පිරිස බව යි. පවතින ලෝක තත්වයත්, දැනට ලංකාවේ උසස් අධ්‍යාපනයේ ස්වරූපයත් මේ මතය මොන විදිහටවත් සාධාරණීකරණය කරන්නේ නැහැ. අපිට කළ හැකි හොඳ ම සහ එක ම දේ, එන වෙනස හැකි තරම් ගුණාත්මක පැත්තකට හරව ගන්න එක විතරයි. 

මෙතනදි මුලින් ම, අපිට මග අරින්න බැරි සත්‍ය කරැණු ගණනාවක් බාර ගන්න වෙනවා. චන්දන කියනවා වගේ ම උපාධිධාරියෙක් එළියට දාන්න මහජන මුදලින් ලක්ෂ ගණනක් අනිවාර්යයෙන් ම වැය වෙනවා; ඒ එක්ක ම එළියට එන උපාධිධාරියාගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව පිළිබඳවත්, ඊට ගැලපෙන රැකියා පවතී ද යන්න ගැනත් ගැටලුවක් තියෙනවා. මේ කාරණයෙදි සිංහලෙන් විතරක් ඉගෙන ගන්නා කලා උපාධිධාරීන්ගේ දැනුම ගැනත්, රැකියා වෙනුවෙන් එහි ඇති ප්‍රයෝජනවත් බව ගැනත් විශේෂයෙන් ප්‍රශ්න කෙරෙනවා. උපාධියයි රැකියාවයි අතර සම්බන්ධය ගැන කතාව මදකට කල් තැබුවොත්, මෙතන වැදගත් ම දේ යොදවන මහජන මුදලට හරියන ගුණාත්මක බව ලබා දෙන අධ්‍යාපනයේ නැත්නම්, වහාම එය විසඳා ගත යුතු බව යි. ඒ වගේ ම එම අධ්‍යාපනය තව දුරටත් පොදු සමාජයේ දියුණුව වෙනුවෙන් කෙරෙන ඵලදායී ආයෝජනයක් නො වෙයි නම් ඒ සඳහා මහජන බදු මුදල් වැය කිරීම කිසිසේත් ම සාධාරණ නැහැ. ඊලඟට මේ ගුණාත්මක බව පහළ යාම සඳහා බලපාන්නේ, විශ්වවිද්‍යාල පද්ධතිය රටේ ආර්ථික පද්ධතිය සමග නො පෑහීම, හොඳ ගුරුවරුන් සහ පර්යේෂකයින් දේශීය විශ්වවිද්‍යාල සේවයේ වැඩි වශයෙන් රඳවා ගත නො හැකි වීම, යල් පැන ගිය දැනුම, විෂය නිර්දේශ සහ අහිතකර අධිකාරි පවත්වා ගෙන යාම, විවිධ භාෂා දැනුම නැති වීම, තාක්ෂණය සහ පහසුකම් නැති වීම, ශිෂ්‍ය සහ ගුරු ආකල්ප අධ්‍යාපනය දෙසට ඉලක්ක නොවීම, කළමණාකරණය දූෂිත වීම සහ දේශපාලනීකරණය වීම, රාජ්‍ය සහ දේශපාලන මැදිහත්වීම් හැම විට ම වංක සහ අවස්ථාවාදී වීම වගේ සංකීර්ණ හේතු රාශියක්.

නොමිළේ උසස් අධ්‍යාපනය ලබා දීමට විරුද්ධ අය මේ තත්වයට ඉදිරිපත් කරන විසඳුම ප්‍රධාන ආකාර දෙකක් ගන්නවා: පළමුවැන්න අලුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ව්‍යාප්ත කිරීම යි; දෙවැන්න නොමිලේ හෙවත් නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම අහෝසි කිරීම යි. පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා ඇතිවෙන තරගයේ දී රාජ්‍ය විශ්වවිද්‍යාල එක්කෝ තම අඩුපාඩු මොනයම් ආකාරයකින් හෝ නිවැරදි කර ගෙන, ගුණාත්මක බව වැඩි කර ගෙන තරගයට එකතු විය යුතු යි; නැත්නම් තරගයට මුහුණු දිය නො හැකිව අහෝසි වී යා යුතු යි. මේ මොන ක්‍රමයෙන් හෝ බදු ගෙවන්නන්ට අවසානයේ දී සාධාරණය හෝ නිදහස ලැබෙන බවයි ඔවුන් ගෙනෙන තර්කය; ඒ අනුව සයිටම් වැනි ආයතන සඳහා ඉඩ හැරීම හොඳ ආරම්භයක්. 

මේ තත්වය යම් තරමකින් හෝ සැබෑවක් වීමට නම් මූලික අවශ්‍යතා කිහිපයක් අත්‍යවශ්‍ය යි. පළමුවැන්න, රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තරගයක් දෙන පෞද්ගලික විශ්වවිද්‍යාල, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වඩා ඉහළ ප්‍රමිතියකින් යුක්ත වීම. එසේ වීමට නම් සාමාන්‍යයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල ඉක්මවා යන ආයෝජනයක් පෞද්ගලික විශ්ව විද්‍යාල වෙත යෙදවිය යුතු යි. සන්සන්දනාත්මකව වඩා ඉහළ පහසුකම්, නවතම දැනුම, විෂය නිර්දේශ සහ තාක්ෂණය අත් පත් කර ගැනීම, ඉහළ මට්ටමේ ගුරුවරුන් ආකර්ශනය කර ගත හැකි වීම, දේශපාලනීකරණය හෝ දූෂිත නොවූ කළමනාකරණය ආදිය මෙහි දී මූලික අවශ්‍යතා. නමුත් මේ හැම දෙයක් ම ඉක්මවා යන ප්‍රධාන ම අවශ්‍යතාව වෙන්නේ හැකියාව සහ දක්ෂතාවය පැත්තෙන් ඉහළ ම සිසු පිරිසක්.

මෙතන දි පෞද්ගලීකරණයට එරෙහිව ඇති තර්කත් සලකා බැලීම අවශ්‍ය යි. ලංකාව වැනි රටක අධ්‍යාපනය සඳහා අධික මිළක් ගෙවිය හැකි පිරිස ඉතා අඩු අතර, ඒ පිරිස අතරිනුත් විශ්වවිද්‍යාලවලට ඇතුලත් වීමේ අවශ්‍යතා සපුරන, දක්ෂ අයගේ පළමු තේරීම වෙන්නේ අනිවාර්යයෙන් ම විදේශීය විශ්වවිද්‍යාල. ඊලඟට කොහොමත් විදේශීය විශ්ව විද්‍යාල මගින් ඉංග්‍රීසි දැණුම ඇති, කැපී පෙනෙන දක්ෂ උපාධිධාරීන් පශ්චාත් උපාධි මගින් විදේශවලට ඇද ගන්නවා. එහෙම නම් ලංකාව වැනි රටක, පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉලක්ක විය හැක්කේ දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලවලට තේරීමේ අවශ්‍යතා සම්පූර්ණ නො කළ සහ විදේශීය විශ්වවිද්‍යාලවල වියදම දැරිය නො හැකි පිරිසක්. සාපේක්ෂව පොඩි වෙළඳපොළක් ඉලක්ක කරන මෙවැනි ආයතනවලට තරගකාරී ආයෝජන ලැබීමට සාධාරණ හේතුවක් නැහැ. ඒ වගේ ම ආයෝජන අඩු මෙවැනි ආයතනවලට උසස් දක්ෂතා ඇති සිසු පිරිසක්, හොඳ ගුරුවරුන් සහ පර්යේෂකයින් ආකර්ශනය කර ගැනීමේ හැකියාවත් අඩු යි; එහෙම යෝජිත ක්‍රමවේදයකුත් නැහැ. ලංකාවේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ලෝක ශ්‍රේණි ගත කිරීම්වලදී රාජ්‍ය විශ්ව විද්‍යාලවලටත් වඩා ගව් ගණනක් ඈතට යන්නේත් මේ නිසා. විශේෂයෙන් ම සමීක්ෂණවලින් පසු, විදේශීය විශ්වවිද්‍යාල ඔවුන්ගේ නිල ශාඛා ලංකාව වැනි රටවල ඇරඹීමට පසුබට වීමටත් හේතුව මෙය යි. ලංකාවේ සාමාන්‍ය ආර්ථික මට්ටම්වල සිටින අයටත් මේ ආයතනවලට ගෙවීමට සිදුවෙන සාපේක්ෂව අධික වියදම් දැරිය නො හැකි නිසා, මේ ආයතන උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා නැති, ඊට සුදුසු ඕනැ කෙනෙකුට අධ්‍යාපනය ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හැටියට පෙන්වීමත් අවංක නැහැ.

ඊලඟට පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට පක්ෂ අය පෙන්වා දෙන තවත් කාරණයක් වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා තාක්ෂණික ආයතනය, ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලය සහ මැසුචුසෙස්ට් තාක්ෂණික ආයතනය වැනි රාජ්‍ය නොවන ආයතන, ලෝක ශ්‍රේණි ගත කිරීම්වලදී ඉහළ ම මට්ටම්වලට පැමිණීම යි. නමුත් මෙවැනි ආයතන, රාජ්‍ය නොවන ආයතන හැටියට පැවතීම සම්පූර්ණයෙන් ම වෙනත් පසුබිමකින් සිදු වෙන්නක්. අනෙක් විශ්ව විද්‍යාල රාජ්‍ය භාරයට ගනිද්දී, ඒවා රාජ්‍යයට නො ගැනුනේ එවකට ඒවායේ පැවැති නො බැඳි ස්වරූපය සහ ස්වාධීනත්වය වඩාත් තහවුරු කිරීමේ අරමුණින්. ලෝක මට්ටමෙන් විශ්ව විද්‍යාල රාජ්‍යයන්ට අනුබද්ධ කිරීමට පෙර සිට ම, මේ ආයතන ස්වාධීන ආයතන ලෙස අන්තර්ජාතික කීර්තියට පත් වූ ඒවා. ඒ වගේ ම, මේ උසස් අධ්‍යාපන ආයතන ආරම්භ වෙන්නේ අනුග්‍රාහක පරිත්‍යාගවලින් සහ තවමත් පාලනය වෙන්නේ ඡන්දයෙන් පත්වෙන භාරකාර මණ්ඩලවලින්; ඒ වගේ ම ඒවා රජයෙන් විශේෂ බදු සහන සහ අනුග්‍රහ ලබන, ලාබ නොලබන ආයතන. මේ විශ්ව විද්‍යාලවලට ඇමරිකානු සිසුන් බඳවා ගැනීමේ දී ඉහළ ම සුදුසුකම් මිස ගාස්තු ගෙවීමේ හැකියාව කොහෙත් ම සලකා බලන්නේ නැහැ; සියළුම සිසුන් සඳහා කවර හෝ මට්ටමක ශිෂ්‍යත්ව ලබා දෙන අතර, ඉහළ සුදුසුකම් ඇති විදේශීය සිසුන්ට අර්ධ ගාස්තු ගෙවීමේ පදනම මත ඒවාට ඇතුල් විය හැකි යි. මේ සඳහා ඔවුන් අරමුදල් රැස්කරන්නේ ලෝකයේ ඉහළ ම පර්යේෂණවලට සහ ව්‍යාපෘතිවලට අවශ්‍ය සේවා ලබා දීමෙන් සහ සහ පරිත්‍යාග ආයෝජනය කිරීමෙන්. රාජ්‍යයන්ට නිල වශයෙන් අනුබද්ධ වුනත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් වැනි සරසවිත් හැකි තාක් තම ස්වාධීනත්වය සහ ප්‍රමිතිය ආරක්ෂා කර ගන්නේත් මෙවැනි ක්‍රම මගින්. එංගලන්තයේත් මෑත කාලයේ දී පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹුණු නමුත්, ඒවාත් ලාබ නො ලබන, භාරකාර මණ්ඩලවලින් පාලනය වෙන, බරපතල නියාමනයන්ට යටත් විශ්ව විද්‍යාල. මෙවැනි පාලන ක්‍රම එක්තරා විදිහකට විකුණන දේ මගින් නො විකුණන අධ්‍යාපනය නඩත්තු කිරීමේ ක්‍රමයක්; එහෙම නැත්නම් විකුණන අතර ම අධ්‍යාපනයේ නිරත අයට විකුණන බව හංගන ක්‍රමයක්. නූතන ක්‍රමය ඇතුළේ දැනට ඇති එක ම තාවකාලික හෝ විකල්පය ඒක විතර යි.

උසස් අධ්‍යාපනය ‘නිදහස්’ වෙළඳ පොළට අත හැරීමෙන් සාර්ථක ප්‍රතිපල ලැබිය හැකි නම් ඒවා මුලින් ම සාර්ථක විය යුත්තේ ඇමරිකාව, බටහිර යුරෝපය සහ සැකැන්ඩනේවියන් රටවල යි. නමුත් මේ රටවල් සියල්ල ම උසස් අධ්‍යාපන ආයතනවල සාපේක්ෂ ස්වාධීනත්වය එම රටවල ඉහළ ජීවන ප්‍රමිතියේ අවියෝජනීය කොටසක් බව හඳුනාගෙන තියෙනවා. ඇමරිකාව සහ එංගලන්තය ඒවායේ ප්‍රධාන උසස් අධ්‍යාපන ආයතන පනත් මගින් ම ලාබ නො ලබන, රජයෙන් හෝ පරිත්‍යාග ආයෝජනවලින් පමණක් යැපෙන ආයතන බවට පත් කර තිබෙන අතර, සීමිත තත්ව යටතේ පවත්වා ගෙන යන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල භාරකාර මණ්ඩලවලින් ම නියාමනය විය යුතු යි; උපාධි පිරිනැමීමේ බලය ද ඇත්තේ පිළිගත් ප්‍රමිතිගත විශ්ව විද්‍යාලවලට පමණයි. සැකැන්ඩිනේවියන් රටවල නම් ප්‍රධාන අධ්‍යයන ආයතන මුලුමනින් ම මෙන් පාලනය වෙන්නේ රජයේ අරමුදල් සහ ශිෂ්‍යත්ව ක්‍රම මගින්. 

එහෙනම් අපේ රටට ගැලපෙන සහ පැවතිය හැකි උසස් අධ්‍යාපන ආකෘතියක් පටන් ගන්න වෙන්නෙත් දැනට තිබෙන ආකෘතිය කඩිනම් පරිවර්තනයකට භාජනය කිරීමෙන් පමණ යි. රාජ්‍ය විශ්ව විද්‍යාලවල අරමුදල් පරිහරණය සහ පරිපාලනය යම් තදබල නියාමනයක් යටතේ ස්වාධීන කිරීම, ඒ සඳහා පෞද්ගලික ආයෝජනවලට ඇරයුම් කිරීම, ඵලදායී ව්‍යාපෘති සඳහා උසස් ප්‍රමිතියකින් යුත් පර්යේෂණ ඇරඹීම, සිසු ගුරු හවුල් මත පදනම් වෙන ප්‍රායෝගික ව්‍යාපෘති ආරම්භ කිරීම, ඇතුලත්වීමේ අවම අවශ්‍යතා සපුරන දේශීය සහ විදේශීය සිසුන්ට ගෙවා ඉගෙන ගත හැකි සරසවි අවස්ථා දීම ආදිය මෙවැනි යෝජනා. ඒ වගේ ම ඉහළ සුදුසුකම් සපුරන සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය, සුදුසුකම් යම් මට්ටමක් දක්වා ගාස්තුවලින් ඌණ පූරණය කළ හැකි ක්‍රම සැකසීම වැනි දේ ත් කළ හැකි යි. මේ මගින් හැකියාවන් සහිත හොඳ ගුරුවරුන් ඉහළ ගෙවීම් සහිතව සරසවි තුළ රඳවා ගැනීමට හැකි වීම, වැඩි සිසු පිරිසකට සරසවි වරම් දීම, ආර්ථික හැකියාවන් සහිත පිරිස විශ්ව විද්‍යාල පද්ධතියට ආකර්ශනය කර ගැනීම සහ විශ්ව විද්‍යාල සාමාන්‍ය නීතියට සහ සේවා ලබන්නන්ට වග කිව යුතු වීම ආදිය බලාපොරොත්තු විය හැකි යි. එවැනි තරගකාරී ආකෘති බිහිවීමෙන් පසුව සම්පූර්ණයෙන් ම පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව සිතා බැලිය හැකියි. නමුත් මෙවැනි ක්‍රමයක් සඳහා බල කිරීමට සහ ක්‍රමවත් සහ අවංක වැඩපිළිවෙලක් සැකසීමට නම්, ලංකාවේ පිරිහුණු සමස්ත දේශපාලන-ආර්ථික ආකෘතිය ප්‍රධාන බාධකයක් හැටියට පවතින බව පිළිගන්න වෙනවා. මෙවැනි වියුක්ත කතිකාවලින් එවැනි සංකීර්ණ අභියෝග ජය ගත හැක්කේ කෙසේද යන්නත් වෙන ම සංවාදයක්.

කොහොම වුණත් මෙවැනි පිළිතුරක් ප්‍රතික්ෂේප කළොත් ලංකාවේ සිදුවිය හැක්කේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වඩා ගුණාත්මක බවෙන් අඩු කුඩා කණ්ඩායම් ඉලක්ක කර ගත් ‘සරසවි කඩ’ වැනි ආයතන බිහි වීමයි. මේ අයට තමන්ගේ වෙළඳපොළ ව්‍යාප්ත කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයක් තියෙනවා. එතනදි තරගය එක්ක සේවාවේ ගුණාත්මකභාවය ඉහළ යෑම පිළිබඳ න්‍යායාත්මක සංකල්පය බල පවත්වන්නේ වෙළඳ පොළකට බලපාන අනෙකුත් සියළු ම ප්‍රයෝගික සාධක ඉවත් කළ පසු පමණයි. ඒත් ලංකාව වැනි රටක සිසුන්ගේ මූල්‍යයමය දැරීමේ හැකියාව ඉහළ නො යන නිසා සහ වෙළඳපොළ සීමිත නිසා, මේ ආයතනවලට එකිනෙකා එක්ක තරග කළ හැක්කේ ප්‍රමිතිය සමග ම මිල පහළ දැමීමෙන් පමණ යි. ඊලඟට අනියම් රාජ්‍ය බලපෑම් සහ දූෂිත ක්‍රම මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තවත් අඩපණ කිරීමට ඔවුන් උත්සාහ කරනු ඇති. ඒ වගේ ම, අසත්‍ය වෙළඳ ප්‍රචාරණය, තරගකාරයා අනියම් ක්‍රම මගින් විනාශ කිරීම, දූෂිත ක්‍රම මගින් රජයෙන් ම ණය ලබා ගැනීම, වක්‍ර දේශපාලන බලපෑම් ආදිය ලංකාව වැනි දූෂිත රටක සුලබව ක්‍රියාවේ යෙදෙන වෙළඳ උපක්‍රම. මෙවැනි තත්වයක් යටතේ ප්‍රමිතියෙන් අඩු රාජ්‍ය අධ්‍යාපනය වෙනුවට ප්‍රමිතියෙන් අඩු පෞද්ගලික අධ්‍යාපනයක් සහ ඒ හා බැඳුණු දැනටත් වඩා දරැණු අක්‍රමවත් ප්‍රශ්නාවලියක් තමයි වැඩියෙන් ම බලාපොරොත්තු විය හැක්කේ. එවිට රැකියා අවස්ථාවලට ගැලපෙන උපාධි නිර්මාණය පවා ආපහු වෙළඳ පාඨයක් විතරක් වීමට ඇති ඉඩ වැඩියි.

නමුත් මෙතනදි පෙන්වන, ‘පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයේ දී අඩු ප්‍රමිතියක අධ්‍යාපනයට වුණත් ගෙවන්න ඕනැ ඒ අධ්‍යාපනය ලබන පුද්ගලයා මිසක් සමාන්‍ය මහජනතාව නෙමයි’ කියන එක බැලු බැල්මට හොඳ තර්කයක්. නමුත් අඩු ප්‍රමිතියක අධ්‍යාපනයට මුලදි කවුරු ගෙව්වත්, ඒ අය වැඩට බැස්සහම අවසාන ගෙවීම කරන්න වෙන්නේ ආපහු හැමෝට ම. ඒක දැනටත් එහෙම නම්, ඉස්සරහටත් එහෙම ම පවතින ක්‍රමයකින් අපිට වැඩක් නැහැ. අපිට ඕනැ වැඩි ප්‍රමිතියකින් යුත් ප්‍රයෝජනයක් ඇති දියුණු අධ්‍යාපන ක්‍රමයක් දැනට පවතින සහ ලෝක මට්ටමෙන් ම වෙනස්වෙන ක්‍රමය ඇතුළේ හදා ගන්න මිසක් අධ්‍යාපනයත් ලාබ ලබන ව්‍යාපාරයක් කරන්නෙ කොහොමද කියන එක නෙමෙ යි. අනිත් දේවල් වගේ නෙමෙයි අධ්‍යාපනය විකුණන්න නම් අධ්‍යාපනයක් කෙරෙන්න ඕනැ; මොකද ඒකට තියෙන්නේ සංකේතීය වටිනාකමක් විතරක් නෙමෙයි නිසා. විකිපීඩියා වගේ නිදහස් අධ්‍යාපන ක්‍රම ඕනැ වෙන්නෙත්, ඒකට ඉඩ දීල තියෙන්නෙත් ඒක යි. හැබැයි බෙදා හදා ගන්න කොට වැඩිවෙන අධ්‍යාපනය, විකුණන කොට හෙමින් ම නැතිවෙලා යනවා. ඒක විකිණීමේ තියෙන ලොකු ලෙඩක්; විකිණීම ලෝකෙට කියල දෙන අය දන්න, හැබැයි හංඟාගෙන ඉන්න රහසක්...

—'අපි සව්දිය පුරමු'

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

8 comments:

  1. මට පෙනෙන වැදගත්ම වාක්‍යය වන්නේ, //එවැනි තරගකාරී ආකෘති බිහිවීමෙන් පසුව සම්පූර්ණයෙන් ම පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව සිතා බැලිය හැකියි.//

    මම නම් හිතන්නේ "පුද්ගලික විශ්විද්‍යාල" කියන වචනේ එක්ක කතා වුනාට බොහෝ දෙනෙක් කතා වෙන්නේ කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සෞන්දර්යය හා කළා යන රාජ්‍ය විශ්විද්‍යාල හැරුණුවිට මුදල් ගෙවා ඉගෙන ගන්න විශ්විද්‍යාල ගැනයි. ඒවා තනිකරම පුද්ගලික නොවී උපයා ගන්න මුදලින් සහ අරමුදල් වලින් නඩත්තු වෙන රජයේ හෝ අර්ධ රාජ්‍ය ආයතන වෙනවා නම් වැඩිපුර හොදයි. උසස්පෙළ සමත් වෙන හැමෝටම නොමිලේ විශ්විද්යාලයක් දෙන්න දැනට අපේ ආර්ථික ශක්තිය බොහොම මදි.

    UNIVOTEC වගේ රජයේ විශ්විද්යලවලිනුත් උසස්පෙළ අසමත් අයටත් උපාධි ගන්න ක්‍රමයක් තිබෙනවා. නමුත් ඒ අවස්ථා ගණන හොදටම මදි. අනික මේවා වෙනුවෙන් තවත් බදු ගෙවන්න මිනිස්සුන්ට අපහසුයි. ඒ නිසයි උසස්පෙළ සමත් ඉගෙන ගන්න කැමති අනිත් අයට දෙමවුපියන්ගේ මුදලින් හෝ ශිෂ්‍ය ණය වැනි ක්‍රමවලින් මුදල් ගෙවා ඉගෙන උපාධියක් ගන්න ක්‍රමයක් තියෙන එක වැදගත්.

    නමුත් අවශ්‍ය ප්‍රවීණතාවය නැතුව කිසිවෙකුට උපාධි ලැබෙනවා නම් ඊට හැමෝම වගේ විරුද්ධයි. ඒ නිසා තමයි සියලු විශ්වවිද්‍යාල වල උපාධි වල සහ පශ්චාත් උපාධි වල ගුණාත්මක භාවය පාලනය කිරීමට ස්වාධීන ආයතන ඇති විය යුත්තේ.

    නමුත් දැන් වෙන්නේ ධනවාදය-සමාජවාදය-උපාධියේ ගුණාත්මක භාවය ඔක්කොම එකට පටලලා අවුලක් හදන එක.

    ReplyDelete
  2. Is it true that the SAITAM Pass outs do not need to face the general final year medical exam or act 16 exam?

    ReplyDelete
  3. මේ ගැටලුවෙන් අඩකට වඩා විසඳන්න පුලුවන් රාජ්‍ය විශ්ව විද්‍යාලවල කලා සහ මානව ශාස්ත්‍ර විෂයන් ඉගැන්වීමට අනුක්‍රමයෙන් ඉංග්‍රිසි මාධ්‍ය පමණක් යොදා ගැනීමෙන්. ඒ මගින් උසස් අධ්‍යාපනයට යොමුවන අයට වඩා ගැඹුරැ ගුණාත්මක දැනුමක් ලබාගන්න පුලුවන්. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාවල දැනුම අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබාදෙන වැඩසටහන් එමටයි. එහෙත් එවැනි ප්‍රතිපත්තියක් ගැන කතිකාවක් ශිෂ්‍යන්ගෙ පැත්තෙන් වත් ආචාර්යවරුන්ගෙ පැත්තෙන්වත් තාම ඇතිවෙල නැහැ.

    ReplyDelete
  4. Private educating shouldn't be frowned upon ,But it can be very dangerous when private education institutons are started as profit making ventures .For example just after ordinary levels one can get registered for a degree at places like ANC and can get the degree in 3 years .It is true in some western countries one get a degree without completing normal school education but such a person cannot straight away goto a uni. He will definitely have to do few years of foundation level courses before registering for a degree course.Most of first world countries have very good regulatory mechanisms governing all higher education institutions and make sure those institutions follow them.

    ReplyDelete
  5. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල මුදල් අය කර ඉගැන්විය යුතුයි. ආදායම් ඇති අයගෙන් ගන්නා මුදල්වලින් අඩු ආදායම් අය වැඩි ගණනකට නොමිලේ ඉගැන්විය හැකියි. ඇත්ත නිදහස් අධ්‍යාපනය වියයුත්තේ දිස්ත්‍රික් ක්‍රමයකට තෝරාගන්නා හැම එකාටම නොමිලේ ඉගැන්වීමෙන් නොව විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබන සියලුදෙනාට අධ්‍යාපනය ලැබීමට සැලැස්වීමයි. එය කල හැක්කේ මුදල් ඇති අයගෙන් අය කර නැති අයට නොමිලේ හා සාමාන්ය අයට සහන ක්‍රමයකට ඉගැන්වීමෙන් පමණි. දැන් උසස් පෙල පාස්වෙන අයගෙන් සමහරකට පමණක් නොමිලේ රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගැන්වීම නිදහස් අධ්‍යාපනයක් නොවේ. එය අසාධාරන අද්‍යාපනයකි. පෞද්ගලිකව ඉගන ගැනීමට ආර්ථික ශක්තියක් නැති දිස්ත්‍රික් ක්‍රමයට නොතේරෙන අයට යාමට තැනක් නැත. එවැනි දුප්පත් අයට සාධාරණයක් කිරීමට නම් ඇති හැකි අයට රජයේ විශ්වවිද්යාලවල මුදල් අය කර උගන්වා දුප්පත් අයට නොමිලේ අද්යාපනය ලැබීමට ඇති අවස්ථා වැඩි කලහැකි ක්‍රමයක් ඇති කල යුතුය. එය මේ යල් පැන ගිය නිදහස් අජ්ජාපන මන්තරේ මතුරමින් බැරිය.

    ReplyDelete
  6. පැරා,සිංහළ මාධ්‍යයෙන් විද්‍යාව ඉගැන්වීම ආරම්භ කීරීමට යෑමේදී එයටද විරුද්ධ වූ අය අප සමාජයේ එකළ සිට ඇත.ඔවුන්ගේ එක තර්කයක් වී ඇත්තේ අවශ්‍ය පොත්පත් නොමැතිය යන්නයි.කඩිනමින් සිංහළ මාධ්‍ය විද්‍යා පොතපත සකසා ගුණසේන සමාගම සමඟ එක්ව ඒවා මුද්‍රණය කරවා එම තර්කය බිඳ හෙළීමට හරිස්චන්ද්‍ර විජේතුංග මහතා සුවිශේෂ මෙහෙවරක් කර ඇත.අදටත් මෙය බොහෝදෙනෙකු නොදන්නා අගැයීමකට ලක් නොවූ විශිෂ්ට මෙහෙවරකි.හැකිනම් එතුමා සම්බන්ධ කරගෙන තොරතුරු විමසා ලිපියක් ලියන්නේ නම් මැනවි යයි සිතමි.

    ReplyDelete
  7. එතුමා පසුකලෙක භුමිපුත්‍ර පක්ෂය නමින් දේශපාලනයේද නිරත වූ හරිස්චන්ද්‍ර විජේතුංග මහතාය.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.